twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, August 29, 2011

පොඩි උදව්වක් කරන්නකො....!

අද කතාවක් ලියන්න වත්, අත්දැකීමක් බෙදා ගන්නවත්, මගේ අදහසක් කියන්න වත් නෙමෙයි මේ හදන්නෙ. ඇත්තටම පොඩි උදව්වක් ඉල්ලන්න මේ ලියන්නෙ. කරල දෙන්න පුලුවන් නම් ඉතින් පොඩි නෑ, ලොකු උදව්වක්. අනේ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො මකුලුවො එන්නෙ නැති වෙන්න ගහන්න පුලුවන් ස්ප්‍රේ එකක් හරි කරන්න පුලුවන් වෙන මොකක් හරි ජිල්මාට් එකක් හරි. හැබැයි ස්ප්‍රේ එකක් ගහල මකුලුවො මරන්න නෙමෙයි, උන් එන්නෙ නැති වෙන්න මොකක් හරි කරන්නයි ඕන. මැරෙන්න ගහන්න නම් ඕන තරම් කඩවල් වල තියනව නෙ. සත්තු මරන්න බෑ. 


මම ගූගල් දෙයියන්ගෙන් අහල බැලුව. මෑන් එක එක ජාති පෙන්නුව, ඒත් ඕව ලංකාවෙ ගන්න තියෙද දන්නෙ නෑ නෙ. ලංකාවෙ පේජ් වල නම් මුකුත් හොයාගන්න තිබුනෙ නෑ. ඊට පස්සෙ මට මතක් වුනේ බ්ලොග් අවකාශෙ කස්ටිය. ඉතින් ඔන්න මම දුක කියාගෙන ආව. ඇත්තටම මුන් මහ පුදුම වදයක් වෙලා තියෙන්නෙ. සති අන්තෙ ගෙදර ආවම, බැද්ද සුද්ද කරනව වගේ මකුලු දැල් කඩ කඩ තමයි කාමරේ ඇතුලට එන්න ඕන. සිවිලිමේ ඉඳල බිමට යනකල්ම මකුලුවො ගෙවල් හදාගෙන සැපට ඉන්නව. මම ඉතින් පිට ගෙදරක ඉන්නව වගේ තමයි මගේ කාමරේ ඉන්නෙ. 

අද හතිය හැදිල මැරුනත් කමක් නෑ කියල පටන් ගත්ත මකුලු දැල් කඩන්න. ගෙදරත් කවුරුවත් හිටියෙ නෑ, එතකොට තව නිදහස් නෙ. නිවී සැනසිල්ලෙ මට කරගන්න පුලුවන්. වෙනද නම් ඔය වගේ වැඩක් කරනකොට මගේ සෙට් එකේ පහක් හයක් විතර සෙට් කරගෙන කරන්නෙ. අද හිතුන තනියම කරන්න ඕන කියල. කොහොමත් ගෙවල් වල ඉන්නෙත් දෙන්නයි. බඩු ටික වෙන කාමරේකට දාල වැඩේ පටන් ගත්ත විතරයි මහිමය ආව. එක්කො උගේ වෙලාව හොඳ නැතුව ඇති, නැත්තන් ගෙවෙන්න මොකක් හරි අපලයක් තියෙන්න ඇති. පස්සෙ දෙන්නත් එක්ක මකුලු දැල් කඩල, අතුගාල, කාමරේ හෝදලම දැම්ම. ඊට පස්සෙ කාල තමයි මේක කොටන්න වාඩි වුනේ. උන් මැරෙන්නෙ නැති වෙන්න ගොඩක් පරෙස්සමට හෙමිහිට මකුලු දැල් කැඩුවෙ. ඒත් ඉතින් ටික දෙනක් අවසන් ගමන් ගියා. ඊට වැඩිය බේරන්න බෑ. යකා නගින වැඩේ කියන්නෙ මේ වෙනකොටත් කට්ටිය ආයෙත් වැඩ පටන් අරගෙන. මරන්නෙ නැතුව බේරපු මකුලුවො මට කින්ඩියට වගේ කට කොනින් හිනා වීගෙන ආයෙත් මකුලු දැල් බඳිනව. 

මේ කාමරේ දෙගොල්ලකට ඉන්න බෑ. එක්කො මම යන්න ඕන නැත්තන් මුන්ව එලවන්න ඕන. අනේ ඉතින් මුන්ව එලවන්න දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. ස්ප්‍රේ එකක් වගෙ දෙයක් නම් ගොඩක් හොඳයි. ඒක ලේසියි නෙ. මොකක් හරි විසඳුමක් දුන්නොත් ලොකු පිනක්!

Saturday, August 27, 2011

අවාසනාවට, ලැජ්ජ හිතෙන ඇත්ත කතාවක්

ගොඩක් කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. මගේ ලැපී මේ දවස් වල පිස්සු කෙලිනවා. කමෙන්ට් එකක් දාන්න පවා හරි අමාරුයි. එහෙමයි කියල ඇතෑරියෙ නෑ, කමෙන්ට් නම් කලා. මම ටික දවසක ඉඳල එක සිද්ධියක් ගැන ලියනවද නැද්ද කියල හිත හිත හිටියෙ. පස්සෙ හිතුව ලියනව කියල. ඇත්තටම මේව කියන්නත් ලැජ්ජයි. කමක් නෑ ලියනව, එකෙක් හරි මේ දේ ගැන හිතල බැලුවොත් ඒකත් ලොකු දෙයක්.ලොකු කළකිරීමකින් සහ තරහකින් මේ ලියන්නෙ.

මේ සිද්ධිය වුනේ මගේ යාලුවෙක්ට. යාලුවෙක් කිව්වෙ ඉස්සර හැමදාම හවසට සෙට් වෙලා කාඩ් ගහන අපේ බොක්කක්. අපි මිනිහට දිමුතු කියමු. ඌ අපේ සෙට් එකේ අනිත් උන්ට වැඩිය අවුරුදු 2ක් වැඩිමල්. දැන් මිනිහ කොළඹ ජොබ් එකක් කරනව. මිනිහගෙ කෑල්ල ජපුර කැම්පස් එකේ. කෑල්ල අපේ වයසෙ. අපේ සෙට් එකේ වෙන එකෙක්ට සල්ලි වගයක් ඕන වෙලා මගෙන් ඉල්ලුව. අපි ඌට කියමුකො දසුන් කියල. ඒ වෙලාවෙ මට සල්ලි දෙන්න තිබුනෙ නෑ. මම ඌට කිව්ව සල්ලි නෑ කියල. ඊට පස්සෙ ඌ අපේ කතා නායකය දිමුතුගෙන් සල්ලි ඉල්ලල.

දිමුතුගෙ බැංකු කාඩ් එක තියෙන්නෙ උගේ කෑල්ල ලඟලු. මොකටද ඒක තියාගෙන ඉන්නෙ කියල නම් දන්නෙ නෑ. කොහොමහරි දසුන් සල්ලි ඉල්ලුවම දිමුතු සල්ලි දෙන්න ටිකක් අදි මදි කලාලු.  මිනිහ වෙනදට කවදාවත් එහෙම කරන්නෙ නෑ. පස්සෙ දිමුතු කිව්වලු කෑල්ලට කියල කාඩ් එකෙන් අරන් දෙන්නම් කියල. ඊට පස්සෙ දිමුතු කෙල්ලට කියල සල්ලි අරන් දෙන්න කියල. ඒක කිව්ව ගමන් මේකට කෑල්ල හොඳටම බැනල. මොනව කියලද බැන්නෙ කියල නම් හරියටම දන්නෙ නෑ. බැන්න බව අපි දන්නෙත් පස්සෙ. ඌ හම්බ කරපු සල්ලි උගේ යාලුවෙක්ට උවමනාවකට දෙන්න ගියාම ඌ උගේ ගෑනිගෙන් බැනුම් අහන්න ඕන.:D


කොහොම හරි බැනල බැනල කෙල්ල සල්ලි අරගෙන. දැන් සල්ලි ගත්තට දසුන්ට දෙන්න විදියක් නැතිලු. දසුන්ට යන්න වෙලාවක් තිබුනෙ නැති නිසා දිමුතුගෙන් අහල උගේ පොතට දාන්න පුලුවන්ද කියල. ඒ දෙබස අපිට ආරංචි වුන විදියට මෙහෙමයි වෙලා තියෙන්නෙ.

දසුන්: දිමුතු අයියෙ මම අර සල්ලි ටික ගන්නෙ කොහොමද?

දිමුතු: සල්ලි ටික තාම අරකි ගාව බං. මට යන්න වෙලාවක් වුනේ නෑ. 

දසුන්: මට ඒ ටික හදිස්සියි නෙ. මේ, ඒ සල්ලි ටික මගේ පොතට දාන්න කියන්න බැරිද?

දිමුතු: අම්මෝ බෑ බං. උඹට දෙන්න සල්ලි ගන්න කියපු වෙලාවෙත් හොඳටම බැනුම් ඇහුව.

දසුන්: ඒ මොකද?

දිමුතු: අනේ මන්ද බං.

දසුන්: අනේ ඉතින් ඒකිට කියපන්කො මගේ පොතට සල්ලි දාන්න කියල.

දිමුතු: අනේ ආයෙත් බැනුම් අහන්න බෑ බං.

(දුරකථනය විසන්දි වෙයි.)

ඔන්න ඔහොමයි සිද්දිය වෙලා තියෙන්නෙ. කොහොමහරි දසුන්ගෙ වැඩේ කෙරුනෙ නෑ. දැන් හිතල බලන්නකො ඒ වුන දේ ගැන. ඌ දාඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි ඌට ඕන විදියට වියදම් කරන්න බෑ. උගේ ගෑණිට ඕන විදියට තමයි ඌ වියදම් කරන්න ඕන. කාඩ් එක කෑල්ල ඒකිගෙ ලඟ තියාගෙන ඉන්නෙ මොකටද කියල නම් දන්නෙ නෑ. සමහර විට ඒකි ඒකෙන් හිතේ හැටියට වියදම් කරනව ඇති. ඒ ගැන නම් හරියට කියන්න තාම අපි ලඟ තොරතුරු නෑ. ඒ මොනව උනත් ඌට තමන් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි තමන්ගෙ යාලුවෙක්ගෙ උවමනාවකට දෙන්න පුලුවන් කමක් නෑ. ඌ නටන්නෙ ගෑනිගෙ පදේට. උගේ ලඟ සල්ලි තිබ්බ නම් කවදාවත් ඌ නොදී ඉන්නෙ නෑ. ඒක අපිට හොඳටම ශුවර්. ඒත් කාඩ් එක ගෑනි ගාව නිසායි, ගෑනිට බය නිසයි ඌට කරන්න දෙයක් නෑ. 

ඕකිට මතක නෑ අපේ උන් ඔය ජෝඩුව නිසා කොච්චර කට්ට කාල තියෙද කියල. එක පාරක් දෙන්නත් එක්ක දවස පුරාම ඒකිගෙ ගෙවල් පැත්තෙ රවුම් ගහල රෑ වෙලා අරූට එන්න විදියක් නැතුව අපේ උන් තමයි ගිහින් එක්කගෙන ආවෙ. ඒ චන්දෙ දවසකට කලින් දවසෙ. බයික් දෙකකින් මහ රෑ ගිහින් අපේ උන් ඌව එක්කගෙන ආවෙ. ලස්සනම වැඩේ කියන්නෙ ඔය සල්ලි ඉල්ලපු දසුනුත් එදා ගියා ඌව එක්කගෙන එන්න. එහෙම කරපු එකාට තමයි ඔය වැඩේ කරේ. අපේ එකාට කොන්ද පණ තිබුන නම් සල්ලි ටික අරන් දෙන්න තිබුන. ඒ වුනාට ඇත්තම කතාව ඉතින් ඌට කොන්ද පණ නෑ. අපිට තමයි ලෝකෙ නැති ටෝක් දෙන්නෙ. අපිත් එක්ක කතා කරනකොට අපි මොනව කිව්වත් ඌ දාහක් තර්ක ගෙනල්ල හරි උගේ මතේ හරි කියල ඔප්පු කරනව. ඒ උනාට ගෑණි මොකක් හරි කිව්වොත් ඒක මොකක් වුනත් ඉස් මුදුනින්ම පිළිගන්නව. ඇත්තටම අපේ සෙට් එකට ලැජ්ජයි ඌ ගැන. මට නම් ඌ ගැන කියන්න තියෙන්නෙ ඉංග්‍රීසි අකුරු වලින් නම් P අකුරෙන් පටන් ගන්න සිංහලෙන් අකුරු හතරෙ වචනයක් විතරයි.

මම මේ දේවල් කියන්නෙ මේ සිද්ධිය නිසා විතරක් නෙමෙයි. කාලයක් තිස්සෙ දැකපු අහපු ගොඩක් දේවල් වලින් මම මේ කියන්නෙ. ඕක එක සිද්ධියක් විතරයි. සමහර වෙලාවට අපි කාඩ් ගහ ගහ ඉන්නකොට කෑල්ලගෙන් කෝල් එකක් ආවම අපිට කෑගහන්න එපා කියල කෝල් එක ආන්සර් කරල කියනව ගෙදර ඉන්නෙ කියල. වැරදිලාවත් කෝල් එකක් ගන්න පොඩ්ඩක් හරි පරක්කු වුනොත් ඊලඟට පුදුමාකාර බයකින් කෝල් එක ගන්නෙ. ඕව ගැන ඔක්කොම කියන්න ගියොත් මේක මෙගා සීරීස් එකක් වෙනව. අපිටත් කෙල්ලො කියල තියනව කොහේ හරි යනව නම් කියල යන්න, ගිහින් ආපු ගමන් කෝල් එකක් දෙන්න කියල. අපි එහෙම කරලත් තියනව. හැබැයි මේ විදියට මාව යටත් කරගන්න නම් කවුරුවත් උත්සාහවත් කරල නෑ.

අපි නම් දැනගත්ත ඇයි ඌ ඔච්චර ඒකිට බය කියල. ඒක උගේ කටින්ම දවසක් කියවුනා.  ඌ බයයි කෑල්ල ඌව දාල යයි කියල. ඌ කිව්ව, "මම දන්නව බං, මට ආයෙත් කවදාවත් ඔය වගේ කෙල්ලෙක් ලැබෙන්නෙ නෑ." උගේ ඒ සිතිවිල්ල තමයි හැම දේකටම හේතුව. කෙල්ල බොහොම ලස්සනට උගේ ඔලුවට ඒ විෂබීජෙ දාල තියෙන්නෙ. "මම තමයි මේ ලෝකෙ ඉන්න හොඳම කෙල්ල. ඔයාට කවදාවත් මං වගේ කෙනෙක් ලැබෙන්නෙ නෑ" කියල ඌගේ ඔලුවට දාල තියෙන්නෙ. දැන් ඉතින් ඒකි නැතිවෙයි කියන බයට ඒකි කියන කියන පදේට මූ නටනව. ඒකි කියන කියන පදේට නැටුවෙ නැත්තන් ඌව දාල යාවි කියල ඌ බයයි. මූ සිරාවටම හොඳ ගතිගුණ තියන, සුදු, හැන්ඩි කොල්ලෙක්. ඔයිට වඩා දහගුණයක් හොඳ, ලස්සන කෙල්ලෙක් ඌට හොයාගන්න පුලුවන්. ඒ වුනාට ඌ දැන් ගොනාට ඇඳල ඉන්නෙ. දැන් ඌව බේරගන්න බෑ.  ඌ නම් ඇත්තටම ඒකිට ආදරෙයි. ඒක ඌ කතා කරන වචනයක් වචනයක් පාසා පේනව. කෙල්ල ඒ ආදරේ ආයුධයක් කරන් ඉන්නෙ. අපි එක එක විදියට වටින් ගොඩින් කිව්ව ඌට. පස්සෙ මම කෙලින්ම කිව්ව ඒ ගැන. වැඩක් නෑ ඉතින් ආදරේ කරන්න ගියාම අන්ධ වෙනවනෙ. එහෙම වුනාම කොච්චර වැරදි තිබුනත් පේන්නෙ නෑ නෙ. මට දුක ඔය ලව් එකට මාත් වචනෙකින් හරි උදව් කරල තියන එක. 

මොකටද ඉතින් ඔහොම ජීවත් වෙලා. කොල්ලෙක් උනාම කොන්ද පන තියාගෙන ඉන්න බැරි නම් ඉතින් වැඩක් නෑ. අපි ඌට ඕක කෙලින්ම කිව්ව. ඌ කියන්නෙ "එහෙම එකක් නෑ, ඒ අපිට පේන හැටි" කියල. ඕන මගුලක් කරගන්න කියල අපි ඉන්නෙ. ඕව ඕනවට වඩා කියන්න ගිහින් අපි නිකන් නරක මිනිස්සු වෙනව ඊට පස්සෙ. අනේ මන්ද ඉතින් ඌට ලැජ්ජාවක් නැද්ද කියල. ඔය ඉතින් ඔය වගේ ඉන්න එකම එකත් නෙමෙයි නෙ. ඔය වගේ ඉන්න තව කොල්ලො කොච්චර ඇත්ද? සමහර කෙල්ලො කැමතියි තමන්ගෙ කොල්ලව තමන්ගෙ යටතෙ තියාගන්න. ඒකට අහු වුනොත් ඉතින් සොරිම තමයි. තමන් ඉන්න විදිය ගැන තීරණය තියෙන්නෙ තමන් අතේ. කෙල්ලට නැවීගෙන ඉන්න ගියොත් ඒක කෙල්ල පුරුද්දකටම තියා ගනීවි. ඔය ප්‍රසිද්ධ කියමනකුත් තියෙන්නෙ "කෙල්ලට එපා වෙනකල්, කොල්ල කෙල්ලගේ බල්ලාය" කියල. බල්ලෙක් වෙනවද, කොල්ල විදියටම ඉන්නවද කියන තීරණේ තියෙන්නෙ ඉතින් කොල්ලගෙ අතේම තමයි. හිතල බලන්න තමන්ට හොඳ මොකක්ද කියල. මම කිව්වෙ ඔය ප්‍රශ්නෙ එක පැත්තක් ගැන විතරයි. ඔය ප්‍රශ්නෙ අනිත් පැත්තටත් ඔය විදියටම වෙනව. 

දැන් කට්ටිය මගේ ගැන වැරදියට හිතන්න එපා. හිතන්න එපා ආදරේ දන්නෙ නැති, මහ අලි ඔලුවෙන් ඉන්න එකෙක් කියල. ආදරේ කියන එක නම් මම හොඳට දන්නව. මම ආදරේ වෙනුවෙන් ගොඩක් කැපකිරීම් පරිත්‍යාග කරල තියනව. ආදරේ කරපු කෙනාගෙ ආසවල් අනුව මගේ සමහර පුරුදු, මගේ ඇඳුම් පවා මම වෙනස් කරල තියනව. එයා කරන්න එපා කියපු දේවල් මම නොකර ඉඳලත් තියනව. ඒ වගේ දේවල් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. මොකද අපි ආදරේ කරද්දි අපේ ජීවිතේ ගැන ලොකු අයිතියක් අනිත් කෙනාට ලැබෙනව. එහෙම නැත්තන් වැඩකුත් නෑ. හැබැයි එහෙමයි කියල අපි කාගෙවත් රූකඩයක් වෙන්න වත්, දාල යාවි කියල බයෙ කියන කියන විදියට නටන්නවත් ඕන නෑ. එහෙම අය ඉන්නව නම් ඒ ගොල්ලන්ට යන්න දෙන එකමයි හොඳ. මොකද ඒ වගේ අය ඇත්තටම අපිට ආදරේ නෑ. ඒ වගේ අය වැඩිපුර ආදරේ කරන්නෙ තමන්ගෙ ආඩම්බරකමට, ලොකුකමට. ආදරේ කියල කවුරුවත් තමන්ගෙ ආත්ම ගරුත්වය නැති කරගන්න ඕන නෑ.

හිතල බලන්න ආදරේ නිසා කවුරුවත් ඔහොම ජීවත් වෙන්න ඕනද? ආදරේ කියන්නෙ ජීවිතේ ලස්සන කරන දෙයක්. කවුරුවත් ඒ නිසා විඳවන්න ඕන නෑ. ඔහොම තමන්ගෙ ආදර වන්තයා හෝ ආදර වන්තියව පාගගෙන ඉන්න අය හොඳට මතක තියාගන්න ඔය විදියට ඉන්න පුලුවන් ගොඩක් වෙලාවට කසාද බඳිනකල් විතරයි කියල. මොකද දාල යාවි කියන බය තියෙන්නෙ කසාද බඳිනකල් විතරයිනෙ. කසාද බැන්දට පස්සෙ ඉතින් ඕවට රිටර්න් එක පොලියත් එක්කම ලැබෙන්නත් පුලුවන්. අනිත් වැදගත්ම දේ තමයි තමන්ගෙ ආදර වන්තයා හෝ වන්තිය ගෙ යාලුවන්ගෙන් එයාව ඈත් කරන්න උත්සහ කරන්න එපා. ආදරේ කියන්නෙ ජීවිතේම නෙමෙයි, යාලුවො කියන්නෙත් ජීවිතේ ලොකු කොටසක්. කෙනෙක් ආදරය කරන්න පටන් ගත්ත කියල එයා තමන්ගෙ යාලුවන්ගෙන් ඈත් වෙන්න ඕන නෑ නෙ. යාලුවන්ගෙන් ආදරය කරන කෙනාව අයින් කරන්න හදනව කියන්නෙ තනිකරම ආත්මාර්ථකාමි කමක් විතරයි. ඒ වැරැද්ද නම් ගොඩක් වෙලාවට කරන්නෙ කෙල්ලො.  
...................................................................................................................................................................

ප.ලි. පෝස්ට් එක මේලෝකෙ රහක් නෑ වගේ නම් සමාවෙන්න ඕන. හිතේ තියන ආවේගයත් එක්ක ලිව්වෙ. ඒත් මම හිතනව මේකෙ හිතන්න දෙයක් ඇති කියල. හිතල බලන්න තමන් උඩ ඉන්න  පාර්ශව දෙකෙන් එකකට අයිති වෙනවද කියල. ඔන්න ඔහොමයි කසුන්ට හිතෙන්නෙ. ඔයගොල්ලන්ගෙ අදහසුත් බෙදාගන්න කැමතිනම් පහළින් කොටල යන්න. 





   

Sunday, August 14, 2011

නොපතමි යලි ඔබව



අතීතයේ දවසක
නොසිතූම මොහොතක
හැරදමා තනිකර
යන්නට ගියේ ඔබ

මා මැවූ නෙක සිහින
කඩා සුනු විසුනු කර
අඳුරු කර මගෙ ලොවම
ගියේ ඔබ ඈතකට

කොයිතරම් කිව්වත්
කොයිතරම් හැඬුවත්
තේරුම් ගත්තේ නෑ ඔබ මගේ සිත..
රලු වූයේ කෙලෙස
ඔය තරමටම
නොතේරෙන්නට මගෙ දුක..

දුකයි මට ඔබ නැතුව
පාලුයි මගෙ හිතට
විඳවමි සිතින් මම
ඔබේ මතක ලොව තුලම

එනමුදු කිසි දිනක
නොපතමි යලි ඔබව
මට උරුම තනිකමම
දැන් හොඳට හුරුයි මට

Friday, August 12, 2011

පමාවී දුටු සිහිනය

මට ආයෙත් පොඩි කතාවක් ලියන්න හිතුන. මේක නම් එකාංගික කතාවක්. පෝස්ට් එක ගොඩක් දිගයි වගේ පෙනුනට කියවනකොට එච්චර දිග නෑ. දෙබස් ගොඩක් තියන නිසයි එහෙම පේන්නෙ. හරි, කියවලම බලන්නකෝ. වැරැද්දක් අඩුපාඩුවක් තියනව නම් කියල යන්න, හිත රිදෙයි කියල නොකිය ඉන්න එපා.
....................................................................................................................................................................

මැදි විය ඉක්මවා ජීවිතේ සැඳෑ සමයට එළඹෙමින් පවතින යුවලක් වන සිරිසේන හා කමලා සූදානම් වූයේ දවල් කෑමට සිරිසේන ගේ හොඳම මිතුරෙකු වූ විජේදාස ගේ නිවස බලා යාමටයි. ඔවුන් එලියට විත් දොර වසනවාත් සමගම ගේට්ටුව සද්ද වූයෙන් දෙදෙනාම හැරී බලුවෝය.

"අනේ.. දුව!"

ඇය දිව විත් කමලාවත්, සිරිසේනවත් වැලඳ ගත්තාය. ඊලඟ මොහොතේ ඇගේ දෑස් අගින් කඳුලු කැට කීපයක් කඩා වැටෙන්නට විය. ඒවා පිසදැමූ කමලා ඇගේ මුහුණ පිරිමදින්නට විය.

"කොච්චර කාලෙකින්ද දූව දැක්කෙ. අපි කොච්චර ආසාවෙන්ද හිටියෙ මේ මූන බලාගන්න."

"මාත් කවදද එන්නෙ කියල බලාගෙන හිටියෙ අම්මෙ. අම්මයි තාත්තයි කොහෙද යන්න හැදුවෙ?"

"අපි යාලුවෙක්ගෙ ගෙදර දවල් කෑමකට යන්න කියල හැදුවෙ දුවේ. නෝනෙ, මම කියන්නද. ඔයා ඉන්න මම ගිහින් එන්නම්. අපේ කෙල්ල සති ගානකින් ආවට පස්සෙ තනියම දාල යන්නෙ කොහොමද."

"අනේ ඔව් මහත්තයෝ, මාත් ඒකමයි හිතුවෙ. එහෙම කරමු."

"අනේ ඔය දෙන්න ගිහින් එන්න, කමක් නෑ."

"ඔව් එහෙම කරමු නෝනෙ."

"අයියෝ ඉතින් කියන දෙයක් අහන්නෙ නෑ නෙ. අම්මයි තාත්තයි ගිහින් එන්නකො, මම මාස ගානකට මෙහේ ඉන්න බලාගෙන ආවෙ."

"හරි හරි, ඒක කමක් නෑ දුවේ. තාත්ත ගිහින් ඒවි."

තව දුරටත් තර්ක කිරීම නිශ්ඵල බව තේරුම් ගත් කල්පනා නිහඬ වූවාය.

"හරි මහත්තයෝ එහෙනම් පරෙස්සමින් ගිහින් එන්න. බුදු සරණයි. විජේට විස්තරේ කියන්න."

"හරි. මම එහෙනම් ගිහින් එන්නම් දුවේ."

"හොඳයි තාත්තෙ. බුදු සරණයි."

සිරිසේන නොපෙනී යනතෙක් හිඳ කමලාත්, කල්පනාත් ගෙතුලට ගියෝය.

"දුව ඇඳුම් මාරු කරගෙන එන්න. මම තේකක් හදන්නම්."

"හරි අම්මෙ"

කල්පනා කාමරය තුලට විත් දොර අසල නැවතුනාය. දෑස පියාගත් ඈ දීර්ඝ හුස්මක් ඇතුලට ගත්තාය. මල් සුවඳක් විඳින්නාක් මෙන් කීප විටක්ම ඇය කාමරයේ සුවඳ ආඝ්‍රහනය කලාය. මේ කාමරය හා බැඳුනු ඇගේ මතකයන් කොතරම් නම් ඇත්ද? කමලා තේ රැගෙන සාලයට එන විටත් කල්පනා එලියට පැමිණ නොසිටියාය. ඈ කාමරයේ එහා මෙහා ඇවිදිනු දොර රෙද්ද අතරින් කමලා දුටුවාය. නිරායාසයෙන් ඉහලට ඇදුනු දීර්ඝ හුස්ම පිටකල කමලා ඇයට කතා කලාය.

"දූ එන්න තේ බොන්න."

කමලාගේ හඬින් පියවි සිහිය එලවාගත් කල්පනා කාමරයෙන් එලියට ආවාය.

"ඇයි අම්ම බොන්නෙ නැද්ද?"

"මායි තාත්තයි තේකක් බීපු ගමන් එලියට බැස්සෙ දුවේ."

"හ්ම්ම්. තේක නම් හරිම රසයි අම්මෙ. මට තාමත් බෑ නෙ අම්ම වගේ රසට තේ හදන්න."

"ඔන්න මාත් ආයෙ ආව." කියමින් සිරිසේනද ගෙට ගොඩවිය.

"ඇයි මහත්තයො ආයි ආවෙ?"

"මට යන්න හිත දුන්නෙ නෑ නෝනෙ. කොච්චර කාලෙකින්ද කෙලී ගෙදර ආවෙ."

"අයියෝ මම දන්නෙ නෑ, ඔය දෙන්නට නම් පිස්සු. අපරාදෙ, කලින් දන්නව නම් මම අද නෑවිත් හෙටම එනව."

"විජේගෙ හිත නරක් වෙයිද දන්නෙ නෑ මහත්තයෝ."

"නෑ නෑ, මම මිනිහට කතා කලා. තාම අපිට උයන්න පටන් ගත්තෙ නෑ කිව්ව. මම විස්තරේ කියල කිව්ව පස්සෙ දවසක එන්නම් කියල."

"හ්ම්ම් දැන් එහෙනම් මට දවල්ට උයන්න පටන් ගන්න වෙනව."

"යමු, අද මාත් එනව උයන්න. අම්ම ඇඳුම් මාරු කරන් එන්නකො."

ඇය පැමිණි පසු එහි වූ පාලුව මුලුමනින්ම නැති වූවා නොවේදැයි සිරිසේනට සිතුණි.

"තාත්තත් එන්නකො, ඒ පැත්තෙන් වාඩි වෙලා ඉන්න." ඇය සිරිසේනගේ අතින් අදින්නට විය.

"යමු එහෙනම්, මාත් එන්නම්."
....................................................................................................................................................................

ඔවුන් දිවා ආහාරය අවසන් කර ආලින්දයට වී සතුටු සාමීචියේ යෙදන්නට විය. ඒ මොහොතේ ඔවුන් බලාපොරොත්තු නොවූ අමුත්තෙක් අවසරයකින් තොරවම ගෙතුලට පැමිණියේය.

"ආහ් සහන් පුතා!"

"ආනේ සහන්, කොච්චර කාලෙකින්ද දැක්කෙ. එන්න වාඩි වෙන්න. දැන් ඉතින් අපිව මතක් වෙන්නෙවත් නෑ නේද? කෝල් එකක් වත් දුන්නෙ නෑ මතක ඇති කාලෙකින්." කල්පනා නෝක්කාඩු කියන්නට විය.

"අනේ එහෙම එකක් නෑ කල්පනා."

සහන් වෙනදාට වඩා වෙනස් බවත්, යම් අපහසුතාවයකින් සිටින බවත් සිරිසේනට වැටහිනි.

"පුතා, මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"අ... නෑ අංකල්, ප්‍රශ්නයක් නම් නෙමෙයි. මට ඇන්ටියි අංකලුයි එක්ක දෙයක් කතා කරන්න තියනව."

"ආහ්, එතකොට මම යන්න ඕනද?" කල්පනා ඇසුවේ සිනාසෙමිනි.

"නෑ, ඔයත් ඉන්න එක වැඩිය හොඳයි කල්පනා." ඔහුගේ පෙනුම බැරෑරුම්ය, සියල්ලන්ම ඔහු දෙස නෙත් යොමාගෙන සිටින්නෝය

"මම අද ඔයා ඉන්නව කියල නම් දන්නෙ නෑ. මම ඇන්ටියි අංකලුයි එක්ක කතා කරන්න ආවෙ. ඒත් මම ආවෙ ඔයා ගැන කතා කරන්න කල්පනා."

"මගේ ගැන?"

"ඔව්"

මද නිහැඬියාවක් පැතිර ගියේය. සහන්ගේ මුවින් පිටවන ඊලඟ වදන් පෙල ඇසීමට හැමෝම නොයිවසිලිමත් විය.

"මගේ ගැන වැරදියට හිතන්න එපා. අංකල් මම කැමතියි කල්පනාව කසාද බඳින්න."

කල්පනාට ඒ වදන් පෙල ඇසුනේ හෙනයක් පුපුරන්නාක් මෙනි. ඇය අයාගත් මුවින්, ඉහලට ගත් හුස්ම පහලට හෙලා ගත නොහැකිව සහන් දෙස බලා සිටියාය. සිරිසේන හා කමලාද දැඩි ලෙස විමතියට පත් වූ බවක් ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්නට විය.

"දැන් අවුරුදු තුන හමාරක් වෙනව. තාමත් කල්පනා අපේ එකා ගැනම හිත හිත ඉන්නව. ඔය විදියට ඔයාට හැමදාම ඉන්න බෑ නේද? ඔයා ඔහොම ජීවිතේ නාස්ති කරගන්නව කියන්නෙ ඒක අසංකට කරන අසාධාරණයක්."

සහන් පෙර කියූ දෙයින් විමතියට පත්ව සිටියත්, සහන් පසුව කියූ කතාව සිරිසේනත්, කමලාත් හිසා සලා අනුමත කලෝය. එතනින් එහාට වුනු කිසිම කතාවක් කල්පනාට නෑසුනාය. සහන් කල යෝජනාවෙන් ඈ සිහි මද තත්ත්වයට පත් වූවාක් මෙන් විය. නැවතත් සිහි එලබ ගත් කල්පනාට, සහන් තවමත් අම්මාට සහ තාත්තාට කරුණු පැහැදිලි කර දෙමින් සිටිනු දක්නට ලැබීය. ඇය වහා නැගිට කාමරය වෙත දිව ගියාය. ඇය නැගිට ගියේ කෝපයෙන්ද, දුකෙන්ද, කම්පනයෙන්ද කියා කිසිවෙකුටත් වැටහුනේ නැත. එහෙත් සහන් නොසැලී කතා කරන්නට විය.

"එහෙනම් ඇන්ටියි අංකලුයි කල්පනා කරල, කල්පනා එක්කයි, කල්පනාගෙ අම්මයි තාත්තයි එක්කත් කතා කරල මට කියන්න. මට හොඳටම විස්වාසයි මට කල්පනාව සතුටින් තියන්න, එයත් එක්ක හොඳින් ජීවත් වෙන්න පුලුවන් කියල."
....................................................................................................................................................................

සිරිසේන බර කල්පනාවකය. කමලා උයන අතරතුරේ සිරිසේන දෙස වරින් වර බැලුවෙ ඔහු යමක් පවසාවි යන බලාපොරොත්තුවෙනි. එහෙත් ඔහු අහස පොලොව ගැටලන්න කල්පනා කලා විනා කිසිත් නොකිව්වේය.

"මහත්තය මොකද හිතන්නෙ අර දරුව කියපු කතාව ගැන."

සිරිසේන තාමත් නිහඬය.

"මම නම් උඩින්ම කැමතියි මහත්තයො ඒ දරුවගෙ යෝජනාවට. ඒ දරුවව අපි පොඩි කාලෙ ඉඳලම දන්නව නෙ. කිසිම වරදක් කියන්න බැරි හොඳ දරුවෙක් නෙ. ඒ දරුවගෙ අම්ම තාත්ත වුනත් බොහොම වැදගත් මිනිස්සු නෙ."

"ඔව් ඒ කොල්ලගෙ නම් කිසිම අඩු පාඩුවක් නෑ. මාත් ඌට හරි කැමතියි. ඒ වගේ කොල්ලෙක් අපෙ කෙලීට බන්දල දෙන්න මාත් හරි කැමතියි."

සිරිසේන එසේ කීවද ඔහුගේ හිතේ යම් පරහක් ඇතිබව කමලාට දැනුනි.

"මේ පාරවත් මේ දරවව පිළිවෙලක් කරල දාමු මහත්තයෝ. අපි කොච්චර කල් ඉඳන් උත්සහ කලාද මේ දරුවට ආයෙත් කසාදයක් කරල දෙන්න. කොහෙද, තුන්සිය හැටපස් දවසෙම අපේ දරුව ගැන හිත හිත ඉන්නව මිසක් එහෙම දෙයක් ගැන හිතන්නෙවත් නෑ නෙ මේ ළමය. මේ වතාවෙ නම් බල කරල හරි මේ කටයුත්ත කරමු මහත්තයො. මේ කෙල්ලට හැමදාම මෙහෙම ඉන්න දෙන්න බෑ නෙ."

ඒක නම් ඇත්ත නෝනෙ. ඒ දේ නම් ඉක්මනට වෙන්න ඕන. ඒත්..."

"ඇයි මහත්තයෝ ඒත් කියන්නෙ? මොකක්ද ප්‍රශ්නෙ?"

"අනේ මන්ද නෝනෙ, මට මහ අමුත්තක් දැනෙනව. මේ කෙල්ලට අපේ කොල්ලව අමතක කරන්න බෑ කියල සහන් ළමය හොඳටම දන්නවනෙ. එහෙම එකේ ඒ ළමය මේ වගේ යෝජනාවක් කලේ ඇයි කියල මම කල්පනා කලේ."

කමලාට ඊට පිළිතුරක් නොවීය.

"බලමුකො. මම ඒ දරුවත් එක්ක ආයෙත් කතා කරල බලන්නම්." සිරිසේන නැගිට කුස්සියෙන් පිටවිය.
....................................................................................................................................................................

කල්පනා ඇඳට වී හිස් බැල්මකින් ජනේලයෙන් එලිය දෙස බලාගෙන සිටින්නීය. පෙරදින රාතියේ නින්දක් නොලැබූ බවත්, රැය පුරා හඬා ඇති බවත් ඇයගේ මුහුණ කියාපායි. ඇයට හඬන්නට තවත් කඳුලු නැත්තා සේය. අසංක හා ඇය විවාහ වූයේ අවුරුදු 5ක ආදර සම්බන්දයකින් අනතුරුවය. හැමෝගේම ආශීර්වාදය ලබා විවාහ දිවියට එලඹියත් මාසයයි දින පහකට පමණක් ඔවුන්ගේ විවාහ දිවිය සීමා විය. රැකියාව නිමවී නිවස බලා එන අතරතුර හදිසි අනතුරකින් අසංක සදහටම දෑස පියා ගත්තේ කල්පනාගෙ සිහින මාලිගා බිමටම සමතලා කරමිනි. අවුරුදු තුන හමාරකට පසුවත්  කල්පනාගෙ ජීවිතයේ වූයේ අසංකගේ මතකයම පමණක් විය. කල්පනාගේ දෙමව්පියුනුත් අසංකගේ දෙමව්පියන් වූ කමලාත් සිරිසේනත්, තවත් කසාදයක් කරගන්නා මෙන් කෙතරම් ඇවිටිලි කලද කල්පනා එය දැඩි ලෙසම ප්‍රතික්ශේප කලාය. ඒ අවුරුදු තුන හමාර තුල අම්මලා තාත්තල හතර දෙනකුගේ ආදරය ලබමින් කල්පනා ඇගේ ගෙදරත් අසංකගේ ගෙදරත් මාරුවෙන් මාරුවට කාලය ගත් කලාය. අමාරුවෙන් හිස ඔසවා ගත් කල්පනා අසංකගේ මේසය දෙසත්, ඒ මත ඇති ඔහුගේ ඡායාරූපය දෙසත් බලා සිටියාය.

"දුව...."

කල්පනා ප්‍රතිචාර නොදැක්වූවාය. කමලා ඇඳ මතින් වාඩි විය.

"තාමත් තරහෙන්ද ඉන්නෙ අපිත් එක්ක?"

කල්පනා නිහඬය.

"ඔයාට හැමදාම ඔහොම ඉන්න බෑ නෙ දරුවො. අපේ කොල්ල අපිව දාල යන්න ගියා. ඒත් දූ හැමදාම ඒ දරුව ගැන හිත හිතා ඉඳල ජීවිතේ නාස්ති කරගන්නවට අපි කවුරුවත් කැමති නෑ. දූට කියල ජීවිතයක් තියනව."

"අසංක තමයි අම්මෙ මගේ මුලු ජීවිතේම. ඇයි අම්මල ඒක තේරුම් ගන්නෙ නැත්තෙ. එයාගෙ මතකය ඇති මට මැරෙනකල්ම ජීවත් වෙන්න."

"දූගෙ හිතේ තියන ආදරේට එහෙම කිව්වට ඒක හරි යන්නෙ නෑ නෙ දුවේ. ජීවිතේ හොඳම කාලෙ මේ ගෙවෙන්නෙ. දරු පැටියෙක් හදාගෙන ගෙයක් දොරක් හදාගෙන ලස්සනට ඉන්න ඕන නෙ. ඒකයි ජීවිතේ කියන්නෙ. නැති වුන දෙයක් ගැනම හිත හිතා ඉන්න එක නෙමෙයි."

සිරිසේනද කාමරයට විත් උලුඅස්සට බර වුනේය.

"අනිත් එක සහන් ළමය කොච්චර හොඳ ළමයෙක්ද? පුතාගෙ හොඳම යාලුව, අපි පොඩි කාලෙ ඉඳලම දන්නව, ඔයත් හොඳටම අඳුනනව. ඔයාට පොඩ්ඩක් වත් බය වෙන්න දෙයක් නෑ. අපිටත් හිතේ කිසි බයක් නැතුව දූව දෙන්න පුලුවන්." කමලා නොනවත්වාම කියාගෙන ගියාය.

"අම්මලට මාව බරක්ද අම්මෙ? අපේ අම්මලටත් මාව මහ බරක් වෙලා. ඔය දෙන්නටත් එහෙමද? මාව ඔයගොල්ලන්ගෙ දරුවෙක් කියල හිතල ලඟ තියාගන්න බැරිද?"

ඒ වචන පෙළ කමලාව නිහඬ කිරීමට සමත් විය. එවර සිරිසේන කතාවට මැදිහත් විය.

"මොනවද දරුවො මේ කියන්නෙ, අපිට ඔයාව බරක් නෙමෙයි. ඒත් ගෑණු ළමයෙක් කවදාවත් දෙමව්පියන්ට අයිති නෑ. එයාව කවද හරි පිටට දෙන්න වෙනව. ඔය ළමය දැන් අපේම දරුවෙක්, ඉතින් අපිට කවද හරි ඔයාව කාටහරි දෙන්න වෙනව. අපේ ළමය නිසා ඔයා ළමය ඔහොම නිකන් නාස්ති වෙනව අපිට බලන් ඉන්න බෑ. මෙච්චර කල් ඔයගෙ කැමැත්තට ඉඩදීල අපි බලාගෙන හිටිය නෙ. දැන් වත් අපි කියන දේ අහන්න. අම්මයි තාත්තයි අද හවස මෙහේ එනව කිව්ව. ඒ ආවම මේ කටයුත්ත ස්ථීර කරගන්නව." සිරිසේන තරමක් දැඩි ස්වරයකින් පවසා කාමරයෙන් පිටව ගියේය. කමලා කල්පනාගෙ හිස අතගන්නට විය.

තමන්ට මෙවර ගැලවුමක් නැති බව කල්පනාට වැටහුනි. අසංකගේ දෙමව්පියන්ගෙ කැමැත්ත අනුව අනිවාර්යෙන්ම ඇයගේ දෙමව්පියන්ගෙද කැමැත්ත ලැබෙන බවත් ඉන්පසු ඒකමතිකවම මෙම යෝජනාව ස්ථීර වන බවත් ඇයට පසක් විය. සහන් ගැන මේ මොහොතේ කල්පනාගෙ හිතේ ඇති හැඟීම කල්පනාට වත් තේරුම් ගත නොහැකිය. එය තරහක්ද පිළිකුලක්ද නැත්හොත් වෙනයම් හැඟීමක්ද කියා පැහැදිලි නැත. අසංකගේ හොඳම යාලුවා වූ සහන් ගැන කල්පනාගෙ හිතේ තිබුනේ ලොකු ගෞරවයක් හා පහන් හැඟීමක්ය. දුකේදීත් සැපේදීත් හැමවිටම අසංක ලඟ සිටියේ සහන්ය. අසංකගේ හා කල්පනාගෙ ආදර කතාවට වැඩිම සහයෝගයක් ලැබුනේද සහන්ගෙනි. කල්පනා සිතුවිලි අතර අතරමං විය.

"ඇයි සහන් මේ වගේ යෝජනාවක් කලේ? එයා හොඳටම දන්නව මට කවදාවත් අසංක අමතක කරන්න බැරි බව. අපි දෙන්න කොච්චර අදරෙන් හිටියද කියල එයා හොඳටම දන්නව. ඒත් ඇයි මෙහෙම....? අසංක ඉන්න කාලෙ ඉඳලම සහන්ගෙ මගේ ගැන අසාවක් තිබුනද? නෑ නෑ ඒක නම් කොහොමවත් වෙන්න බෑ. සහන් ගොඩාක්ම හොඳ ළමයෙක්. එයා කවදාවත් මගේ දිහා වැරදි විදියට බලල නෑ. එහෙනම් මොකක්ද සහන්ට එක පාරට වුනේ? මොනව වුනත් ඉතින් දැන් මට කරන්න දෙයක් නෑ නෙ. සහන්ගෙ යෝජනාවට හැමෝම කැමති වුනොත් මට විරුද්ධ වෙන්න බෑ නෙ. අනිත් එක සහන්ට අකමැති වෙන්න මට කියන්න හේතුවක් ඇත්තෙත් නෑ. අසංක අමතක කරන්න බෑ කියන එක තවත් මෙයාලට කිව්වට වැඩක් නෑ."

සහන් සහ අම්මලා තාත්තලා හතර දෙනාගෙම සාකච්චා කිරීම් වලින් අනතුරුව කටයුත්ත ස්ථීර විය. අකමැත්තෙන් වුවත් තවත් අම්මලා තාත්තලාගෙ හිත රිද්දිය නොහැකි නිසා කල්පනාද කැමැත්ත දුන්නාය. සහන්ට කල්පනා සමග කතා කිරීමට අවශ්‍ය විය. ඔහු කල්පනාව කතා කරගෙන එලියට ගියේය.

"කල්පනා, මට මේක කියන්න. ඔයාගෙ අකමැත්තෙන් නෙමෙයි නේද මේ කටයුත්ත වෙන්නෙ?"

කල්පනා නිහඬය.

"කියන්න කල්පනා, ඔයා කොහොමවත් මේකට කැමැත්තක් නැත්තන් අපි මේ වැඩේ නවත්තමු. මම හිතුවෙ ඔයා පස්සෙ හරි තේරුම් ගනී කියල." සහන්ගේ හඬ දුර්වලය.

"මට ආයෙත් කසාදයක් බඳින්න නම් කිසිම කැමැත්තක් නෑ සහන්. ඒත් මෙයාල කවදාවත් මට එහෙම ඉන්න දෙන්නෙ නෑ. කවද හරි මට ආයෙත් කසාද බඳින්නම වෙනව. ඉතින් වෙන කාවහරි බැඳ ගන්නවට වඩා, මාව තේරුම් ගන්න පුලුවන් ඔයා එක්ක යන එක හොඳයි කියල මට හිතුන. ඒක නිසයි මාත් කැමැත්ත දුන්නෙ."

සහන් මොහොතක් කල්පනා දෙස බලා සිටියාය.

"ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක් කල්පනා. හරි අපි ඇතුලට යමු."

"අ... සහන්!"

"ඇයි කල්පනා?"

"මම ඔයාට බොරු බලාපොරොත්තු දෙන්න කැමති නෑ. මේ.... මම කියන්න හැදුවෙ..."

"මොකක්ද කල්පනා?"

"මට ඔයාට හොඳ බිරිඳක් වෙන්න පුලුවන් සහන්, ඒත්.... ඒත් මට ඔයට කවදාවත් ආදරේ කරන්න බැරි වේවි. ඔයා දන්නවනෙ අසංකගෙන් පස්සෙ කාටවත් දෙන්න ආදරයක් මගේ ලඟ නෑ කියල."
....................................................................................................................................................................

කල්පනාගෙ ඉල්ලීමට අනුව කල්පනාගෙ පැත්තෙන් බොහොම සුලුවටත්, සහන්ගේ පැත්තෙන් සාමාන්‍ය ආකාරයටත් මංගල උත්සවය සුදානම් විය. කල්පනාගෙ පැත්තෙන් උත්සවය පැවත්වුනේ අසංකගේ නිවසේය. යන්න සූදානම් වී කල්පනා කමලාවත් සිරිසේනත් බදාගෙන හැඬූ ආකාරය කාගෙත් නෙත් අගට කඳුලු ගෙනාවේය.

"පුතේ මේ අපට ඉන්න එකම දරුව. අපේ පුතා බලාගත්ත වගේ මලක් වගේ මේ කෙල්ලව බලා ගනින්. කවදාවත් දුකක් දෙන්න එපා." සිරිසේන කඳුල අතරින් වචන ගැට ගසා ගත්තේය.

දෙවැනි දිනයේ කටයුතු අවසන් කර කල්පනා සමග එදින රැය සහන්ගේ දෙමව්පියන් සමග ගත කල සහන් පසුදින කල්පනාව තමාගෙ අලුත් නිවසට කැඳවාගෙන ගියේය. සම්පූර්ණයෙන් වැඩ අවසන් කර නොතිබුනත් ජීවත් විය හැකි මට්ටමකට එය නිම වී තිබිණි. අවශ්‍ය බඩු බාහිරාදිය සහන් විසින් කලින් එහි ගෙනවිත් තබා තිබිණි. කල්පනාගෙ මුහුනේ තවමත් හිනාවක් නොමැත.

"කල්පනා, අපි ඕන නම් අද අසංකලගෙ ගෙදර ගිහින් එමු."

"අනේ කොච්චර දෙයක්ද සහන්, ගිහින් එමුකො!"

ඇයගේ මුහුණේ ඉරියව් වෙනස් වෙන ආකාරය සහන් හොඳින්ම දුටුවේය.

"හරි ඔයා වොශ් එකක් දාගෙන එන්නකො. ඔයාගෙ බඩු ටික ඇතුලෙන් තියාගෙන අපි දවල් වෙන්න ගිහින් එමු."

"හරි සහන්."

කල්පනා තුවායත් රැගෙන නාන කාමරය දෙසට ගියාය. සහන් රෙදි අල්මාරිය විවර කලේය. හැම තට්ටුවකම රෙදි ගුලි කර දමා තිබුනි. කල්පනාගෙ රෙදි තබා ගැනීම සඳහා තට්ටු දෙකක් ලබා දීමට අදහස් කල සහන් රෙදි සියල්ල ගෙන තට්ටු දෙකකට ගුලි කර ඔබන්නට විය. කල්පනා නැවතත් නාන කාමරයෙන් එලියට ආවේ සහන්ට තේකක් සාදා දී ඉන්පසු නාගැනීමේ අදහසිනි.

විශාල පරිශ්‍රමයකින් පසුව රෙදි ටික තට්ටු දෙකකට සීමා කරගන්නට සහන්ට හැකිවිය. ඉන්පසු ඔහු අවදානය යොමු කලේ ලාච්චුවටය. මුලින්ම ඔහුගේ ඇස ගැටුනේ එහි වූ අසංකගේ ඡායා රූපයයි. එය අතට ගත් ඔහු මදක් ඒ දෙස බලා සිටියේය.

"ඔන්න අසංක අවුරුදු තුන හමාරකට කලින් උඹ මගෙන් ගත්ත පොරොන්දුව අද මම ඉශ්ඨ කලා. මම දන්නව තාම ඒක ඉවර නෑ. මම පොරොන්දු වෙනව,  මම කල්පනාව ජීවිත කාලෙම මලක් වගේ බලාගන්නව කියල."  

සහන් තිගැස්සුනේ පිටුපසින් ඇසුණු කෝප්පයක් බිඳෙන හඬිනි. පිටුපස හරී බැලූ ඔහු දුටුවේ තමා දෙස විමතියෙන් බලා සිටින කල්පනාය. තමා කියූ දෙය ඇසී අය අත තිබූ තේ කෝප්පය අතෑරෙන්න ඇතැයි ඔහු තේරුම් ගත්තේ බිම ඉහිරී තිබූ තේ හා බිඳි ගිය කෝප්පයෙනි. ඇය නොසෙල්වී ඔහු දෙස බලා සිටියාය. මොහොතකින් ඇගේ දෙනත් වලින් කඳුල කඩා හැලෙන්න වූ අතර එය හැඬීමක් බවට පත් වීමට ගියේ තවත් සුලු මොහොතකි. කිසිත් නොකී ඈ බිඳුන කෝප්පයේ කැබලි එකතු කරන්නට විය. සහන්ද අසංකගේ ඡායා රූපය පසෙකින් තබා ඊට එක් විය.  

"එතකොට ඔයා මේ හැම දෙයක්ම කලේ අසංකට වුන පොරොන්දුව නිසාද?"

"ඔව් කල්පනා."

"අනේ මට කියන්න සහන් එයා මොනවද ඔයාට කිව්වෙ?"

සහන් බිම වාඩි වුනේය.

"ඇක්සිඩන්ට් එක වුන වෙලාවෙ මමනෙ එයාගෙ ලඟට ඉස්සෙල්ලම ගියේ. එයාට තේරිල තිබුනෙ එයාට බේරෙන්න බෑ කියල. අසංක මගේ අත අල්ලගෙන කිව්ව 'මචන් මට යන්න වෙලාව හරි වගේ. මට දුක කල්පනා ගැන බං. මම මැරුනොත් ඒකි හැමදාම මගේ ගැන හිත හිත ඉඳීවි. මම දන්නව ඒ කෙල්ල ගැන. මම කැමති නෑ බං මං නිසාවත් එයා දුක් විඳිනවට. උඹ මගේ හොඳම යාලුව, මට පොඩි කාලෙ ඉඳල කියන්න බැරි තරම් උදව් කරල තියනව. මට මේ පාරත් ලොකු උදව්වක් කරපන්. උඹ කල්පනාගෙ වගකීම ගනින්. උඹ එයාව කසාද බැඳල එයාව හොඳට බලාගනින්' කියල. මට කියන්න දෙයක් හිතා ගන්න බැරුව මම බලාගෙන හිටිය. එතකොට අසංක ආයෙත් කිව්ව 'ප්ලීස් මචන්, මම වෙනුවෙන් ඒ දේ කරපන්. මට එතකොට සැනසිල්ලෙ මැරෙන්න පුලුවන්. නැත්තන් ඒ කෙල්ල මම නිසා ජීවිතේම නාස්ති කරගනියි.' කියල. මම කිව්ව 'හරි බං මම ඒක කරන්නම්' කියල. එතකොටම ඌ හිනාවෙලා ඇස් දෙක පියා ගත්ත."

කල්පනා ඉකි ගසමින් අඬන්නට විය.

"මම අසංකට එහෙම පොරොන්දු වුනාට මට මොනව කරන්නද කියල හිතා ගන්න බැරුව හිටියෙ. මම මෙච්චර කල් බලන් හිටිය කල්පනා ඔයා අලුත් ජීවිතයක් පටන් ගනීවි කියල. අසංක කිව්ව වගේම ඔයා කලේ අසංක ගැන හිත හිතම ඉන්න එක විතරයි. අසංකගෙ අම්මල, ඔයාගෙ අම්මල, ඔයාගෙ යාලුවො, අපි හැමෝම කිව්වත් ඔයා අසංකගේ මතකෙත් එක්කම ජීවත් වුනා මිසක් එතනින් ඉස්සරහට යන්න උත්සහ කලේ වත් නෑ. අසංකට ඕන වුනේ ඒ දේ නෙමෙයි කල්පනා. ඒකයි මම හිතල හිතල අන්තිමට තීරණයක් අරන් ඔයාට ප්‍රොපෝස් කලේ."

"අසංක මට එච්චර ආදරේ කලාද සහන්? අන්තිම මොහොතෙත් හිතුවෙ මගේ අනාගතේ ගැනද?"

සහන් කල්පනා අසලින් වාඩි වුනේය.

"ඌ ඔයාට ආදරේ කරපු තරම ඔයාවත් දන්නෙ නැතුව ඇති කල්පනා. ඒ වගේම මම දන්නව ඔයත් කියන්න බැරි තරම් ඌට ආදරෙයි. ඒක කොයිතරම්ද කියලත් අපි කාටවත් තේරෙන් එකක් නෑ. මම කවදාවත් කියන්නෙ නෑ ඔයාට අසංකව අමතක කරන්න කියල. ඔයා ඒ මතක එක්ක ජීවත් වෙන්න, ප්‍රශ්නයක් නෑ. හැබැයි මොනව වුනත් ඔයා සතුටින් ඉන්න ඕන. මොකද මම අසංකට පොරොන්දු වුනා ඔයාව සතුටින් තියනව කියල."

කල්පනාගෙ හැඬීම ඇයටම පාළනය කරගත නොහැකි තත්ත්වයකට පත්විය. ඇය සහන්ගේ උකුල මතින් හිස තබා ගත්තාය.

"ඔයාට අසංක වෙනුවෙන් ඔය තරම් කැප කිරීමක් කරන්න පුලුවන්ද සහන්? ඔයා නම් දෙවි කෙනෙක්."

"මට අසංක වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කල්පනා."

"අනේ මට සමාවෙන්න සහන් මම ඔයා ගැන මෙච්චර දවස් වැරදියට හිතාගෙන හිටියෙ."

"මම දන්නව කල්පනා."

"ඒත් ඇයි සහන් ඔය අපිට මේ කතාව කලින් කිව්වෙ නැත්තෙ?"

"මම ඔයාට ඒක පස්සෙ හෙමිහිට කියන්න හිටියෙ. ඒක ඒ වෙලාවෙ කියල ඔයාලගෙ තීරණේට බලපෑමක් කරන්න මම කැමති වුනේ නෑ."
....................................................................................................................................................................

සහනුත් කල්පනාත් බොහෝ වේලාවක් තිස්සේ අසංකගේ සොහොන දිහා බලාගෙන සිටින්නෝය. කල්පනාගේ ඇඬීමෙන් රතුවූ ඇස් දැන් වියලී ගොසිනි. ඒවායේ අමුතුම දීප්තියක් විය. ඔවුන් හරහා හමාගිය සීතල සුලඟ කල්පනා දෑස පියාගෙන තදින්ම විඳගත්තාය.

"අපි දැන් යමුද කල්පනා? අසංකගෙ අම්මයි තාත්තයි බලන් ඉන්නව ඇති."

"මම තව චූට්ටක් ඉඳල එන්නද සහන්?"

"හරි කල්පනා, මම එහෙනම් වාහනෙන් ඉන්නම්."

"හරි සහන් මම ඉක්මනට එන්නම්."

Monday, August 8, 2011

කසුන් ගාමන්ට් ගියාය




කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. කියෙව්ව මිසක් ලියන්න මූඩ් එකක් තිබුනෙ නෑ පහුගිය දවස් වල. අපූරු පෝස්ට් සහ අපූරු කමෙන්ට් කියව කියව හිටිය. ලියන්න විශේෂ දෙයක් තිබුනෙත් නෑ. මට ඊයෙ මූන දීපු අත්දැකීමක් ගැන ලියන්න හිතුන. තාමත් අපේ කැම්පස් පටන් ගත්තෙත් නෑ නෙ. දැන් ඔන්න අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් වැටුප් විශමතා අයින් කරන්න කියල පෝස්ටරයක් ගහල. ඒ කියන්නෙ තව ස්ට්‍රයික් එකක් ලඟම එනව වගේ. හැබැයි එයාලට නම් වැඩිය දෙයක් කරන්න බැරි වේවි. කකා බිබී ගෙදරටම වෙලා ඉන්න එක දැන් නිකන් අවුල් වගේ. අවුරුදු 23ක් වෙලා කොල්ලෙක් නිකන් ගෙදරට වෙලා ඉන්නව කියන්නෙ චාටර් නෙ. මට නම් ඇත්තටම ඒක ගොඩක්ම තදට දැනුන. ඒක නිසා මම ගොඩක් දවස් ඉඳල පාර්ට් ටයිම් එකක් වත් හොයාගන්න කියල ට්‍රයි කලා. හරි ගියේ නෑ. සමහර පාර්ට් ටයිම් ජොබ් තිබුන ඒවට යන්න නිකන් මොකක්ද මොකක්ද වගේ. ඩේට එන්ට්‍රි ජොබ් එකක් වත් ඉන්ටර්නෙට් එකෙන් හොයා ගන්න බැලුව ඒකත් හරි ගියේ නෑ. 

අපේ සෙට් එකක් ගාමන්ට් වල පාර්ට් ටයිම් ජොබ් වලට යනව. මම ඒකට යනවද කියලත් හිතල පස්සෙ ඕන නෑ කියල නිකන් හිටිය. ඒත් අන්තිමට ඊයෙ තීරණයක් ගත්ත. ලැජ්ජාව පැත්තකින් තියල ඒකට යනව කියල හිත හදා ගත්ත. ඇයි ඉතින් හැමදාම කාකා බිබී නිකන් ඉන්න බෑ නෙ. මහ ගානකට නම් නෙමෙයි. රුපියල් හත්සීයකට තමයි ගියේ. මුකුත්ම නැතුවට වඩා හොඳයි නේ. ඒක ලංකාවෙ ප්‍රධානම පෙළේ ගාමන්ට් එකක්. අපේ එකෙක් තමයි ඒක සෙට් කලේ. මායි අපේ තව එකෙකුයි, කැම්පස් එකේ තව දෙන්නකුයි තමයි ඊයෙ ගියේ. රෑ කෑම දෙන්නෙ නැති නිසා කෑම එකකුත් අරගෙන ගියේ. සෙට් කරපු එකත් ආව අපිව ඇරලවන්න.

ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම දඩාස් ගාල සද්දයක් ආව. බලනකොට කාර් එකක් රිවස් කරල පිටිපස්සෙ තිබුන බයික් එකේ ඇනල. මම හිතුව වගේම ගෑනු කෙනෙක් තමයි  වාහනේ එලෙව්වෙ. තවත් ගෑණු කෙනෙක් එහා පැත්තෙ හිටිය. ටිකක් පොස් නෝනල දෙන්නෙක්. අපේ එකෙක් කිව්ව අනිවාර්යෙන්ම ඔය බයික් එක ඔහොමම තියල ඔය දෙන්න යනව කියල. මම යන ගමන් සීන් එක බලාගෙන ගියේ. එක්කෙනෙක් බැහැල ටිකක් වෙලා බයික් එක දිහා බලාගෙන හිටිය. අරූ කිව්ව වගේම ටික වෙලාවකින් දෙන්න මුකුත් වුනේ නෑ වගේ ශේප් එකේ යන්න ගියා. අර බයික් එක අඩුගානෙ කෙලින් කරල වත් ගියේ නෑ. එහෙම හරි නෑ නෙ. ලොකු, පොස් නෝනල නෙ.

කොහොම හරි එතන තිබුන පොතේ අත්සන් කරල අපි ඇතුලට ගියා. අපිව එක්කගෙන ගියපු එකා අපිවත් අරගෙන අරහෙන් මෙහෙන් හැරි හැරි ගොඩක් දුර ගියා. එදා යන්න තිබුන සෙක්ශන් එක තිබුනෙ ගාමන්ට් එකේ කොනක. අපිත් ඉතින් මග දිගට මග සලකුණු තියාගෙන ගියේ. මොකද අපිව සෙට් කරපු එකා එදා වැඩ කලේ නෑ. ඌ අපිව ඇරලවල ගියා. ඒක නිසා ආයෙත් එන්න පාර බලාගන්න ඕන නෙ. ඊට පස්සෙ ඕන අදාල සෙක්ශන් එකට ගිහින් අපිව දාල අපිව සෙට් කරපු එකා ගියා. එතන තිබුන පොතෙත් නම සයින් කරන්න ඕන. ඊට පස්සෙ තමයි ඉතින් ගේම පටන් ගන්නෙ. 

ටික වෙලාවක් යනකල් අපිට මුකුත් කිව්වෙ නෑ. අපි හිතුවෙ මුලු රෑම අයිස් පාර ගහගෙන ඉන්න පුලුවන් වෙයි කියල. ඔන්න පොරක් තඩි ට්‍රොලියක් තල්ලු කරන් ආව. ට්‍රොලි කිව්වට අර හොස්පිට්ල් වල තියනව වගේ ඒව නෙමෙයි. හතර දෙනකුට විතර එක පාර බැහැල නාන්න පුලුවන් ලොකු, උස බාත් ටබ් එකක් වගේ එකක්. ඒගොල්ලො ඒවට කියන්නෙ නැව් කියල. (ට්‍රොලි කියලම කියන තව පොඩි ට්‍රොලි වර්ගයකුත් තිබුන.) ඒකෙ දිග කලිසම් වගයක් තිබුනෙ. අපිට කිව්ව ඒකෙ තියන ලේබල් එක අනුව ඒව වර්ග කරල නවන්න කියල. ලේසි වැඩක්නෙ කියල ඉතින් අපිත් පටන් ගත්ත. ටික වෙලාවක් යනකොට තවත් ඒ සයිස්ම ට්‍රොලියක් අරන් ඇවිත් මේකත් නවන්න කිව්ව. හරි සන්තෝසයි එතකොට. ටික වෙලාවක් යනකොට රෙදි ගන්නයි, නවපු රෙදි තියන්නයි පාත් වෙලා කොන්ද රිදෙනව. ඒ ටික ඉවර කලා විතරයි වෙන වර්ගයක් උස්සගෙන ඇවිත් ඒ ටිකත් නවන්න කිව්ව. කොහොම හරි ඊට පස්සෙ එක එක්කෙනාට එක එක වැඩ සෙට් වුනේ.

ඒ සෙක්ශන් එකෙන් කරන්නෙ වොශ් කරල ඩ්‍රයි කරල ගේන රෙදි පැක් කරල ලොරි වලට පටවන එක. රෙදි එක එක විදියට පැක් කරනව. කාඩ්බෝඩ් පෙට්ටි වටලයි, රෙදි මලු වලටයි, ප්ලස්ටික් පෙට්ටි වලටයි. රෙදි මලු වලට පැක් කරද්දි අපි තමයි මල්ල අල්ලගෙන ඉන්න ඕන. ඒගොල්ලො ගනන් කර කර දානව. ඒක තමයි එපා වෙනම වැඩේ. ඒ රෙදි වල පුදුම ඩස්ට් එකක් තියෙන්නෙ. ඒ රෙදි වලට දාපු ඩයි එක තමයි ඒ එන්නෙ. මම ඉතින් උපතින්ම හති කාරය නෙ. මම කලේ අනිත් පැත්ත බලාගෙන හුස්මක් අරගෙන පුලුවන් තරම් හිර කරගෙන ඉන්නව, ඊට පස්සෙ ආයෙත් අනිත් පැත්ත හැරිල හුස්මක් ගන්නව. හතිය නැති කෙනෙක්ට වුනත් හතිය හැදෙන්න පුලුවන් ඒ ඩස්ට් එකට. නාස් ආවරන පාවිච්චි කරන්න කියල හැම තැනම බෝඩ් ගහල තියනව, එකෙක් වත් ඒව දාන්නෙ නෑ. අපිට දුන්නෙත් නෑ. ඒ මිනිස්සු කඩි වගේ. මැශින් එකක් ස්ටාර්ට් කලා වගේ රෙදි ගනන් කර කර මල්ලට විසි කරනව. අපි ඉතින් කොහොම හරි රෙදි වැටෙන්න නොදී මල්ල අල්ලගෙන ඉන්න ඕන.  එකක් වැටිල ඒක ගන්න ගියොත් තව 5ක් 6ක් වැටෙනව. ඒක නිසා රෙදි වැටුනොත් එහෙමම තියෙන්න දීල ගනන් කරල ඉවර වුනාම තමයි දාගන්නෙ. අනිත් එක රෙදි දාද්දි නිතරම බෑග් එක එහාට මෙහාට ගස්සල, උස්සල ඇතෑරල, අතින් තද කරල, ඉඩ හදාගන්න ඕන. නැත්තන් අන්තිමට මල්ල ගැටගහන්න ගියාම හෙනම ගේමක් දෙන්න ඕන. ඒක නිසා දාන අතරෙම ඉඩ හදාගන්නව. උස්සල අතාරින එක තමයි අමාරුම. ටිකක් වෙලා ගියාම ඇඟිලි හම යනව.

මේ තියෙන්නෙ එදා අපි කරපු වැඩ ලිස්ට් එක.

# රෙදි වර්ග කිරීම
# රෙදි නැවීම
# මල්ල ඇල්ලීම සහ ගැට ගැසීම
# ගලවා ඇති කාඩ්බෝඩ් පෙට්ටි සැකසීම
# පෙට්ටි වලට රෙදි දැමූ පසු ඒවා වසා සීල් කිරීම
# රෙදි මලු සහ පෙට්ටි නියමිත ස්ථාන වලට උස්සාගෙන හෝ ඇදගෙන යාම 
# ට්‍රක් රථ පැමිණි පසු ඒවාට රෙදි පැටවීම. 

අපි හතර දෙනයි තව එක කොල්ලෙකුයි තමයි එදා ටෙම්පරරි විදියට ඇවිත් තිබුනෙ. එතන හිටපු ගොඩක් කොල්ලො අපිටත් වඩා බාලයි. අපි කැම්පස් කිව්වම හතර දෙනක් විතර ඇරෙන්න ඔක්කොම අපිට අයියෙ කියල කිව්වෙ. හැබැයි එතන හිටපු කොල්ලෙ සෙට් එක නම් එල. අපිට බොහොම හොඳට කතා කලා. අයිය, මල්ලි, මචන්, කොල්ලො, වගේ වචන වලින් තමයි කතා කලේ. බැන්නෙ, කෑගැහුවෙ, ටෝක් දුන්නෙ නෑ. හැබැයි දෙන්නෙක් හිටිය ටිකක් ලොකු ලයින් දෙන. එහෙම ඩයල් කොහෙත් ඉන්නව නෙ. බයිට් කිරීම්, රන්ඩු වීම්, බැන ගැනීම්, හිනා වීම් නම් ගොඩයි. නැත්තන් ඉතින් නිදි මත වෙනව නෙ. එක පාරක් නම් එකෙක්ට ඇත්තටම මල පැන්න. මම හිතුවෙ ගැහුව තමයි කියල.

කොහොම හරි එක පොඩ්ඩක් වත් නිකන් ඉන්න වුනේ නෑ. එකක් ඉවර කරල පොඩ්ඩක් වාඩි වෙනකොටම තව එක්කෙනෙක් කතා කරනව. බර වැඩ ගොඩක් වෙලාවට සෙට් වුනේ අපි පස් දෙනාට. පර්මනන්ට් අය ගොඩක් වෙලාවට කරන්නෙ ගනන් කරන එක, ටැග් ලියන එක, ආපු රෙදි ස්ටොක් මාක් කරගන්න එක, බෑග් වලට අංක දාන එක වගේ ඒව. අපි තමයි බර අදින්න ඕන. මම ජීවිත කාලෙටම නවල තියනවට වඩා රෙදි නැව්ව ඒ පැය දොලහ ඇතුලත. ඇත්තටම එක නම් ශ්‍රමය සූරාගෙන කෑමක්. පැය දොලහක් එක දිගට වැඩ කරල රුපියල් 700යි දෙන්නෙ. අනිත් එක ඔහොම ටෙම්පරරි ගත්තම ETF, EPF ගෙවන්න ඕනත් නෑ නෙ. එතකොට වැඩ තියන කාලෙට විතරක් ගෙන්න ගන්නත් පුලුවන්. ගොඩක් ගාමන්ට් කාරයො ඔය වැඩේ කරනව. රෑ මැද ප්ලේන්ටි, ටී එහෙම දෙනව. 1ට ප්ලේන්ටිත් එක්ක කන්න රෝස් පාන් හරි මාලු පාන් වගේ දෙයක් හරි දෙනව. ආයෙත් පහට ටී එකක් දෙනව. ඊට පස්සෙ උදේ හත හමාරට කෑම දෙනව. ඒ ප්ලේන්ටියෙනුයි ටී එකෙනුයි තමයි ඔලුව උස්සගෙන හිටියෙ.

එතන මාරම ගේමක් යන්නෙ. ඒ ගේන රෙදි එවෙලෙ වොශ් කරල ඩ්‍රයි කරපුව. සේරම ඉතින් මැශින් වලින් තමයි කරන්නෙ. ඒ රෙදි අපි හිටපු සෙක්ශන් එකට ගේනකොටත් රස්නෙයි. සමහර ඒව අල්ලන්නවත් බැරි තරම් රස්නෙයි. පෝලිමට ට්‍රොලි අරගෙන එනව කට්ටිය. රෑ 7.30ට පටන් ගත්ත එක උදේ 7.30 වෙනකල්ම එක දිගටම රෙදි ආව. අපේ සෙට් එක කලින් දවස් වල වොශ් කරන තැනයි, ඩ්‍රයි කරන තැනයි වැඩ කරන්න සෙට් වෙලා තියනව. අමාරුම සෙක්ශන් එක ඩ්‍රයි කරන එකලු. ඒකෙ රෙදි මිරිකන්න තියනවලු. ඒක නම් පන යන වැඩක්ලු. ඒ ගොඩක් ඇඳුම් රට යවන ඒව. අපේ එකෙක් අහල තිබුන ඒ රෙදි වල ගනන්. පොකට් තියන ශෝට් එකක් 15000ක් විතර වෙනවලු. දිග කලිසමක් 20000ක් 25000ක් විතර වෙනවලු. කවුරු අඳිනවද මන්ද ඒව. හැබැයි ඒව අපි අඳින රෙදි වගේ නෙමෙයි. මාරම කොලිටි රෙදි තියෙන්නෙ. ඒව ඇඟට හරි සනීපයි. එක පාරක් ගෙනාව කොටම කොට ඩෙනිම් සායවල් ටිකක්. මම හොරෙන් මැන්න, දිග වියත් දෙකකටත් වඩා අඩුයි. අනේ ඒවත් රට යවන්නලු. :( තව පිරිමි අයට නානකොට අඳින කලිසම් සෙට් එකක් ආව. ඒකෙ කකුල් දෙක ගොඩාක් චූටි තීරුවකින් සෙට් වෙලා තියෙන්නෙ. මට ඇහුන කවුද කියනව "ඕක ඇන්දොත් _ _   _ _ එලියෙ" කියල.

එතන හරි පරෙස්සමින් ඉන්න ඕන. වැඩ කරන අය ටොලි අරන් යන්නෙ හයිවේ එකේ යනව වගේ. කොයි වලේ කකුල යට කරන් යාවිද දන්නෙ නෑ. එතන තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි වෙලාව යන්නෙ නැති එක. මම ගනන් හදල බැලුව, එතන විනාඩි 5ක් යන්න විනාඩි 15ක් යනව. වැඩේ කියන්නෙ මම ඒක එකෙකුට කියන්න යනකොටම ඌ මට ඒකම කිව්වනෙ. ඒ කියන්නෙ ඌටත් ඒක තේරිලා. අන්තිම පැය නම් මල විකාරෙන් හිටියෙ. කොහොම හරි ඉතින් රුපියල් 700ට රුපියල් 1400ක විතර මහන්සි වුනා.


මෙච්චර කල් අම්මල තාත්තල හම්බ කරපුව වියදම් කලා මිසක්, එදා තමයි තේරුනේ සල්ලි හොයන්න තියන අමාරුව. අපේ එකෙක් කියනව, "මම නම් මීට පස්සෙ කැන්ටිමෙන් රුපියල් 3ක් දීල තේකක් ගන්න කලින් තුන් පාරක් හිතනව" කියල. ඒක හරියටම හරි. දහයෙ රෝල් එකක් කන්න කලින් දහ පාරක් වත් හිතන්න ඕන. හැබැයි දාහක විතර බඩුවක් ගන්න ගියොත් තමයි වැඩේ.

කොහොම හරි හරියටම 7.30 වෙනකොටම එලියට පැන්න. අම්මෝ එතනින් එලියට ආවම තියන සනීපෙ. සමහර සෙක්ශන් වල කෙල්ලොත් නයිට් ශිෆ්ට් එක කරනව. අපි එනකොටම සෙට් එකක් එලියට ආව. මම එහෙම එකක් එදාමයි දන්නෙ. කොහොම හරි හොස්ටල් එකට ආවට නින්ද ගියෙත් නෑ, නිදි මත වැඩි නිසාද මන්ද සැරින් සැරේ බයවෙලා වගේ ඇහැරෙනව. හවස් වෙනකොට තමයි ඇඟම රිදෙන්න ගත්තෙ. බෙල්ල, කකුල් දෙක, යටි පතුල, අත් දෙක, උරහිස්, ඇඟිලි, සේරම රිදෙන්න ගත්ත. ඒ මදිවට ඔලුවෙ කැක්කුමකුත් ආව. කොහොම හරි එදයින් පස්සෙ පාර්ට් ටයි නම් එපාම වුනා. මම නම් ඊට පස්සෙම ගියේ නෑ. අපේ කට්ටිය නම් තාම යනව. මොනව වුනත් ඒ අත්දැකීමෙන් මිනිස්සු හම්බ කරන්න කොච්චර මහන්සි වෙනවද කියල ඉගෙන ගත්ත. ඔය තරම්ම නැතත්, අපිටත් ඉස්සරහට සල්ලි හම්බ කරන්න ලොකු මහන්සියක් වෙන්න වේවි.

...................................................................................................................................................................

ප.ලි. මේක ලියන්න අරන් දවස් තුන හතරක් වෙනව. ලියන්න වුනේ නෑ, දැන් තමයි ඉවර කලේ.