twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, May 28, 2012

කල්පනා (II කොටස)

ඔන්න මම යුගයේ දියාරුම ආදර කතාව අරගෙන ආයෙත් ආව.:D අම්මෝ පළවෙනි කොටස දැම්මට පස්සේ කොට වැඩියි කියල කීප දෙනෙක්ම අනං මනං කියලා තිබුනා.:( මේ පාර එහෙම නොවෙන්න ලියනවා. කියවපු අයට දැන් පළවෙනි කොටස මතකත් නැතුව ඇති. පළවෙනි කොටස බලනවා නම් මෙතනින් යන්න.

.....................................................................................................................................................................

කලින් කොටසේ ඕනම ටිකක් කියන්න බැරි වෙලා නේ. මම සරණිව ඇඩ් කරගත්තට පස්සෙ එයාගෙ ප්‍රොෆයිල් එකෙන් එයාගෙ කැම්පස් එකයි ඩිග්‍රී එකයි බලාගත්තා. ඊට පස්සෙ මම කල්පනාලව ඇඩ් කරගත්තතෙ නිකන් ගෙස් කරලා නේ. පස්සෙ මම කල්පනා එක්ක කතා කරන්න ගත්තට පස්සෙ එයගෙ විස්තර අහල බලනකොට එයත් ඒ කැම්පස් එකේ ඒ ඩිග්‍රී එකමයි. ඊට පස්සෙ තමයි කල්පනාගේ යාලුවෙක් වීමේ මෙහෙයුම දියත් කලේ.

.....................................................................................................................................................................

කලින් කොටසේ කියපු විදියට මම කල්පනාට ඇත්තම විස්තරේ කිව්වා. හැබැයි ඊට පස්සේ එයා නිකන් අවුල් වගේ. කතා කරද්දීත් අමුතුයි, වෙනද වගේ ෆ්‍රෙන්ඩ්ලි නෑ, වැඩි වෙලා කතා කරන්නෙත් නෑ, වෙනදට සමහර වෙලාවට එයාම චැට් එක පටන් ගත්තට ඊට පස්සේ එහෙම පටන් ගත්තේ නෑ. මට තේරුනා වැඩේ දෙල් වෙලා තමයි කියලා. දවසක් චැට් එකට සෙට් වුන වෙලාවක මම ඇහුව ඔයා දැන් ඇයි නිකන් අමුතු වෙලා වගේ කියලා. එයා කිව්ව නේ මට දැන් ඔයාව විස්වාස නෑ කියලා.:( ඊට පස්සෙ මම සම්පූර්ණ කතවයි මගේ විස්තරයි ආයෙත් පාරක් කිව්වා. ඒත් හරි යන්නෙ නෑ වගෙ. ඒ පාර මම මගේ ඇත්ත එකවුන්ට් එකට එයාව ඇඩ් කළා. එයා ඒක ඇක්සෙප්ට් කලා. ඊට පස්සෙ කෙලින්ම ඇත්ත එකවුන්ට් එකෙන්මයි චැට් කළේ. ඊට පස්සේ ඉතින් ඔය පරණ සිද්ධිය ගැනයි වෙන වෙන දෙවලුයි කතා කර කර ඉන්නකොට එයා ආයෙත් ශේප් වුනා. එයාට තේරුනා මම කියන්නේ ඇත්ත කියලා.

වැඩේ ශේප් වුනාට පස්සෙ මම හෙමිහිට ආයෙත් වචනෙ දාල බැලුවා. ම්හු... ඒක හරියන්නේ නෑ. එයා සරණි ගැන නම් විස්තර කියන්න කැමතිම නෑ. මම වැඩිය බල කරල අහන්න ගියේ නෑ, එයා තරහ වුනොත් මුකුත් නෑ නේ. එ නිසා ශේප් එකේ කතා කර කර හිටියා. ඊට පස්සෙ අතරින් පතර ශේප් එකේ දෙපාරක් විතර ආයෙත් සරණි ගැන විස්තර අහුවා. අන්තිම වතාවෙ එය කිව්ව එයා අම්ම එක්ක ගෙයක් අරගෙන කැම්පස් එක කිට්ටුව නැවතිල ඉන්නේ කියලා. ඊට පස්සෙ කියපු දෙයින් මම බින්දුවටම වැටුනා. එයා කිව්වා එයා දන්න විදියට සරණිගෙ කොල්ලත් එහේ නැවතිල ඉන්නෙ කියලා. මිනිහ සමහර දවස් වලට කැම්පස් එක ලඟට එනවලු සරණිව එක්කන් යන්න. ඒ දෙන්න කැම්පස් ඉවර වුන ගමන් බඳීවි කියලත් කිව්වා. අයියෝ සල්ලි කිව්වලු...:'(

ඔය වෙනකොට මම ගමේ සෙට් එකටත් සීන් එක කියල තිබුනේ. උන් මට හරකට වගේ බනිනවා. කල්පනා අර කොල්ල ගැන කියපු කතවත් මම ගිහින් කිව්වා. කොහොමහරි මටත් හිතුනා මම තේරුමක් නැති වැඩක්ද මේ කරන්නෙ කියලා. පස්සෙ අපි මෙහෙම වැඩක් කළා. මම අර කලින් කොටසෙ කිව්වේ එයාගෙ යාලු අක්ක කෙනෙක් ඉන්නවා කියල මාත් අඳුරන, ඒ අක්කට අපේ එකෙක් ලවා කෝල් එකක් දුන්නා. ඌ මගෙ ෆෝන් එකෙන් හොරෙන් නම්බර් එක අරන් මට හොරෙන් එයාට කතා කරනවා වගේ තමයි කතා කලේ. ඔන්න ඔය කෝල් එකෙන් තමයි මගේ ජීවිතෙ බේරුනේ. ඒ අක්ක කතා කරපු එකාට ඇත්තම කියල තිබුනා. අවුරුද්දකටත් වඩා ෆෝන් එකෙන් කතා කර කර ඉඳලා අපි දෙන්න මුලින්ම හම්බවුන දවසෙ ඉඳලලු එයගෙ හිත වෙනස් වෙලා තියෙන්නෙ. මම හැඩ මදිලු. එයා ඒ දවස්වලමයි මගේ ගැන තිබුන අදහස අත ඇරලා තියෙන්නේ. හැබැයි එයා විභාගේ ඉවර වෙනකල් ඉඳලා ඒක කියන්න. ඔය කතාව අහුවට පස්සෙ නම් මට එයා ගැන හිතේ තිබුන හැඟීම නැති වෙලාම ගියා. එදා ඒ කෝල් එක නොගන්න සමහරවිට අද වෙනකල්ම මම එයා ගැන හිත හිත ඉන්න තිබුනා.

කොහොමහරි ඔය විදියට ඒ කතාව ඉවරයක්ම වෙලා ගියා. මම කල්පනාටත් විස්තරේ ඔක්කොම කිව්වා. එයත් කිව්වා එහෙම නම් ඒක නවත්තපු එක හොඳයි කියලා. හැබැයි කල්පනාගෙයි මගෙයි චැට් කිරිල්ල නම් එතනින් නැවතුනේ නෑ. ඊට පස්සේ මම කවදාවත් සරණි ගැන කල්පනාගෙන් ඇහුවේ නෑ. අපි යාළුවො විදියට චැට් කර කර හිටියා. කාලයත් එක්ක අපි ගොඩක් ෆිට් වුනා. දෙන්න ඔන්ලයින් හිටියොත් අනිවාර්යෙන්ම කතා කරන ගානට ඇවිත් ඒ වෙනකොට. ඒ කාලේ මම හැමතිස්සෙම ලැබ් එකට රිංගන්න පුරුදු වෙලා හිටියේ. ඉන්ටර්නෙට් මනී පිස්සුව ගහල තිබුනෙත් ඒ කාලේ. කල්පනා එක්ක චැට් කර කර ඇඩ් ක්ලික් කරන එක තමයි කරන්නේ.:) හැබැයි පස්සේ හැබැයි පස්සේ ලැබ් එකට යන එක ගොඩක් අඩු වුනා.  ඒ නිසා කල්පනා එක්ක චැට් කරන එකත් අඩු වුනා. ඊට පස්සේ ෆේස්බුක් එකේ මැසේජ් යවන්න ගත්තා. මම ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් තමයි මැසේජ් කලේ. ඔහොම මැසේජ් කර කර කාලයක් හිටියා. මැසේජ් දෙපැත්තට යන වේගය එන්න එන්නම වැඩි වුනා. පස්සේ එයා ෆෝන් එකෙන් ෆේස්බුක් යන තරමටම වැඩේ දුර දිග ගියා.

ඔන්න ඉතින් ඔහොම යනකොටලු කොල්ල ආයෙත් ගොනාට ඇන්දේ.:) ආයෙත් පාරක් යාළුකම එතනින් එහාට ගියා. ඒක මගේ පැත්තෙන් වුනා කියල මට හොඳටම තේරුනා. එයා නම් එහෙම මුකුත් පෙන්නුවේ නැතත් එයත් එහෙමයි කියලා මට තේරුනා. ඒක එහෙමයි කියලා තේරුම් ගන්න එක එච්චර අමාරු වුනේ නෑ. එයා ටිකක් ආඩම්බරයි හැබැයි, පුළුවන් තරම් එහෙම නොපෙනන ඉන්න තමයි උත්සහ කළේ. ඒ වුනාට ඉතින් ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවා නේ. මට මැසේජ් කරන එක එයාගේ ජීවිතේ අනිවාර්ය අංගයක් වුනා. එයා කැම්පස් ඉඳල ගෙදර ආවම එක පාරට කම්පියුටර් එක ඔන් කරන්න බැරි නිසා ආපු ගමන් ෆෝන් එකෙන් ෆේස්බුක් ගිහින් මැසේජ් එකක් දානවා. ඒ තරමට මට මැසේජ් කරන එක එයාට වැදගත් දෙයක් වුනා. ඔන්න ඔය කාලේ තමයි මම ට්‍රේනින් ගියේ. අර 'A-14 පාර' කවිය ලියන දවස් වල ආදර හුටපටයක් ඔලුවට ගහල තිබුනා කිව්වේ ඔන්න ඔය සීන් එක තමයි. හිතට දැනුන පාළුව තනිකම වැඩි වුනේ මේ හේතුව නිසා තමයි.

සයිට් එකට ඉන්ටනෙට් තිබුනෙ නෑ. මම එහේ යන්න කලින්ම කෝකටත් කියල ෆෝන් එකට ebuddy දාගෙන ගියේ. හවසට ඕෆ් වෙලා සමහර දවස් වලට චැට් එකට සෙට් වෙනවා. ඕෆ් වෙලා ගිය ගමන් මම බලනව ඉන්නවද කියලා. හිටියෙ නැත්තන් මම කරන්නෙ ලොග් වෙලාම ෆෝන් එක අතේ තියාගෙන හාන්සියක් දාගෙන ඉන්නවා. එතකොට එයා ඔන්ලයින් ආව ගමන් මම ඉන්නවා දැක්කම කතා කරනවා. චැට් එකක් අවම ෆෝන් එක vibrate වෙනවා, මම ඉතින් vibrate වෙනකල් ෆෝන් එක අතේ තියාගෙන හාන්සි වෙලා ඉන්නවා. එයත් හැමදාම වගේ ඒ වෙලවට ඔන්ලයින් එන්න පුරුදු වුනා. දවල් වරුවෙ ඔය වැඩේ කරන්න වෙන්නෙ නැති නිසා දවල් වරුව මැසේජ් කරන එක තමයි කලේ. එයා කැම්පස් ඉන්න දවස් වලට නම් වැඩිය මැසේජ් කලේ නෑ. ගෙදර ඉන්න දවස් වලට නම් නිතරම මැසේජ් කලා. ගිනි අව්වෙ පිච්චි පිච්චි ඉන්න වෙලවට ෆේස්බුක් ගිහින් බැලුවම එයාගෙ මැසේජ් එකක් තියනව නම් මහන්සිය කොහෙන් ගියාද කියල නෑ.

එතන මමයි අපේ බැච් එකේ තව එකෙකුයි ට්‍රේනින් හිටියා. දවසක් අපි දෙන්නට මහ පස් කඳු ටිකක් මනින්න කිව්ව අපේ ඉමීඩියට් බොස්. ඒව මේ ඔය ගෙවල් වල තියනව වගේ පස් ගොඩවල් නෙමෙයි, මීටර් 6, 7 විතර උස ඒවා. ඔය පස් කඳු මනින දවසෙත් මම ඒව උඩට වෙලා මැසේජ් කර කර හිටියෙ. එහෙම මැසේජ් එකක් ටයිප් කර කර පස් කන්දක් උඩ ඇවිදලා තව නූලෙන් බෙල්ල කඩාගන්නවා. ඔහොම ඉන්න අතරෙ තමයි මාව ආයෙත් කොලඹ හෙඩ් ඔෆිස් එකට ගෙන්න ගත්තෙ. ඊට පස්සෙ ඉතින් හැමදම වැඩ ඉවර වෙලා කැම්පස් ඇවිත් කෙලින්ම රිංගන්නෙ කැම්පස් එකේ ලැබ් එකට. චැට්ම තමයි වැඩේ ඊට පස්සේ. ඒක වහනකල්ම ඉඳලා තමයි යන්නේ.

පස්සෙ මම එයාගෙ නම්බර් එක ඉල්ල ගත්තා පොඩි බොරුවක් දාල. ඒ දවස් වල ෆේස්බුක් චැට් එක හරියට පිස්සු කෙලිනවා. මැසේජ් යන්නේ නැතුව හිර වෙලා තියනවා, ඉබේ ඕෆ්ලයින් යනවා, විකාර ගොඩයි. මම කිව්වා අවුලක් නැත්තන් මට ඔයාගේ නම්බර් එක දෙන්න, චැට් එක පිස්සු කෙලින වෙලාවට මොකද වුනේ කියලවත් බලාගන්න පුළුවන් නේ කියලා.;) එයත් ටක්ගාල නම්බර් එක දුන්නා. ඊට පස්සේ දවස් දෙකක් විතර චැට් එක පිස්සු කෙලපු වෙලාවට මොකද වුනේ කියලා මැසේජ් කරලා බලාගත්තා. ඔය අතරේ තමයි මම දෙවනි ට්‍රේනින් ප්ලේස් එකට ගියේ. අර 'මම ඔයා හිතන විදියේ කෙනෙක් නෙමෙයි කසුන්' පෝස්ට් එකේ කියපු තැන තමයි. ඒ පොස්ට් එකේ කියපු කෙල්ලයි, එතන හිටපු අපේ බැච් එකේ අනිත් උනු දෙන්නත් ඔය සීන් එක දැනගෙන හිටියේ. 

ඔහොම ඉඳල තව ටික දවසකින් මම තව පියවරක් ඉස්සරහට තිබ්බා. මම දවසක් ඇහුවා ෆෝන් එකට මැසේජ් කලාට කමක් නැද්ද කියලා. එයා කිව්වා කමක් නෑ කියලා. එදා ඉඳල පටන් ගත්තා ඒ වැඩේ. ඊට පස්සේ ෆේස්බුක් මැසේජ් අඩුවුනා. ඔය කාලේ වෙනකොට සීන් එක උච්චතම අවස්ථාවට ඇවිල්ලා තිබුනේ. ඔෆිස් එකේ වැඩ කරන අතරෙත් මැසේජ් කිරිල්ල දිගටම කරගෙන ගියා. ඒ වෙනකොට කොහෙහරි යනවා නම් කියල යන්න ඕන, ගිහින් ආවම කියන්න ඕන, ගුඩ් නයිට් මැසේජ්, ගුඩ් මෝනින් මැසේජ් වගේ හැම ආදර කතාවකටම වගේ පොදු වුන ඔක්කොම දේවල් අනිවාර්ය වෙලා තිබුනේ. තවත් කාලය ගන්න ඕන නෑ කියල හිතුන නිසා මම ගමේ සෙට් එකත එක්කත් කතා කරලා තීරණය කළා කල්පනාට හිතේ තියන දේ කියන්න ඕන කියලා. 

එදා සති අන්තෙක දවසක්. මම හිටියේ ගෙදර. යාළුවො සෙට් එකත් ඇවිත් හිටියේ, ඒ නිසා බයත් අඩුයි. කොල්ල ගත්ත ෆෝන් එක. අත එච්චරම වෙව්ලුවේ නෑ.:D "මට ඔයාට දෙයක් කියන්න තියනවා" කියලා මම මැසේජ් එකක් ගැහුවා. යවල ඉන්නවා දැන් බලාගෙන රිප්ලයි එනකල්. ම්හු... සද්දයක් නෑ. දැන් පොඩ්ඩක් විතර හිතට බයත් එක්ක. බලාගෙන ඉන්නවා ඉන්නවා රිප්ලයි නෑ. කොහොමහරි විනාඩි 40ක් විතර යනකල් රිප්ලයි නෑ. ඔන්න ඊට පස්සේ මැසේජ් එකක් ආව. 

කල්පනා: [මම නිදාගෙන හිටියේ කසුන්. දැනුයි ඇහැරුනේ. මොකක්ද කියන්න තියනවා කිව්වේ.]

ඔන්න එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.

මම: [මම බැලුවා මොකද සද්දයක් නැත්තේ කියලා. මට ඔයාට දෙයක් කියන්න තියනවා. හැබැයි මට ඔයා මුලින් පොරොන්දු වෙන්න මේක කිව්වට පස්සේ මාත් එක්ක තරහ වෙන්නේ නෑ කියලා.] 

කල්පනා: [හරි හරි මම තරහ වෙන්නේ නෑ, කියන්නකෝ.] 

මම: [මං ගැන වැරදියට හිතන්නත් බෑ හොඳද.]

කල්පනා: [හරි ළමයෝ, එහෙම වෙන්නේ නෑ.]

මම: [මම ඔයාට ආදරෙයි.] 

ඊට පස්සේ ටික වෙලාවක් යනකල් සද්දයක් නෑ. ටිකකින් මැසේජ් එකක් ආව.

කල්පනා: [ඔයා ඇත්තටමද කිව්වේ කසුන්?]

මම: [ඔව් කල්පනා. ඇයි ඔයාට මාව විසවාස නැද්ද?]

කල්පනා: [නෑ එහෙම දෙයක් නෙමෙයි කසුන්. ඔයා හරිම හොඳ කෙනෙක්. මම දන්නවා ඒක. ඒත් ඔයා දන්නවා නේද මම ඔයාට වඩා වැඩිමල් කියලා?]

මම: [මම ඒක දන්නවා කල්පනා. මට නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාට ඒක ප්‍රශ්නයක්ද?]

කල්පනා: [මට නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් කවද හරි අපේ ගෙදර අයට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද කසුන්.]

මම: [මාස 7යි නේ කල්පනා ඔයා මට වැඩිය වැඩිමල්. අනිත් එක මම ඔයාට ආදරේ නම්, ඔයාට මට ආදරේ කරන්න පුළුවන් නම් වසය කියන දේ ප්‍රශ්නයක් නෑ නේ.]

කල්පනා: [ඒක නම් ඇත්ත කසුන්. ඔයා ගොඩක් හොඳ කෙනෙක්.]

මම: [මට කෙලින්ම කියන්න කල්පනා ඔයාට ඒක ප්‍රශ්නයක්ද?]

කල්පනා: [නෑ නෑ, මට නම් ප්‍රශ්නයක් නෑ කසුන්.]

මම: [එහෙනම් ඔයා මට කැමතියි කියලා මම හිතා ගන්නද?]

කල්පනා: [මට තව ටිකක් හිතන්න ඕන කසුන්.]

මම: [හරි ඔයා හොඳට හිතලා උත්තරයක්‌ දෙන්න. මම එතකල් බලාගෙන ඉන්නම්.] 

(ඔය දෙබස ඔයිට වඩා දිගයි. මට දැන් මතක නෑ හරියට. කතාවේ අදහස මට මතක විදියට ඔය ලිව්වේ.) 

දැන් තමයි අමාරුම හරිය එන්නේ. උත්තරයක් එනකල් බලාගෙන ඉන්න එක. යාළුවො සෙට් එක ඉන්නකල් නම් අවුලක් තිබුනේ නෑ. උන් ගියාට පස්සේ තමයි තමයි ඉන්න බැරි වුනේ.  කොච්චර එයා මට ආදරෙයි කියල මට කලින් හිතිලා තිබුනත් ඒ වෙලාවේ ලොකු බයක් දැනුනා. හදිස්සියෙවත් එයා මට කැමති නෑ කිව්වොත් මොනවා වේවිද? මට ඒක දරාගන්න පුළුවන් වේවිද? මම හිතුවා හෙට උත්තරයක් ලැබේවි කියලා.  මට මතක විදියට එදා රෑ චැට් කලෙත් නෑ. මම ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් දාල නිදාගන්න ගියා.

Bas ek haa ke inthesar me raathi yuhi guzar jaayegi
ab tho bas uljaana he saath mere, neend kahaa aayegi
subha ki kiran naa jaani konsaa sandesh laayegi
rim jim se gun gunaayegi, yaa pyaas adhuree rehejaayegi
...................................................................................................................................................................

 

...................................................................................................................................................................

කල්පනා.....................

ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......

කල්පනා (III කොටස) 
 
ළඟදීම....!

:D :D :P :P



Thursday, May 17, 2012

කල්පනා (I කොටස)

හ්ම්ම්... අවසානය දවසින් දවස කිට්ටු වෙනවා. තව ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් සති ගානක් ඉතුරු වෙලා තියෙන්නේ. සෑම හමුවීමක්ම අවසන් වෙන්නේ වෙන් වීමකින් කියනවා නේ. මටත් ඒ වෙන් වීමට තව පොඩි කාලයයි ඉතුරු වෙලා තියෙන්නේ. තාම නම් ඒ ගැන දුකක් නෑ, ඒත් ඉස්සරහට මොනවා වේවිද කියලා දන්නේ නෑ. බලමුකෝ! දැන් හැමදේම කාලයට බාරදීල ඉන්න මාත් පුරුදු වෙලා. කිසි දෙයක් ගැන වැඩිය හිතන්නේ නෑ. මම මේ කැම්පස් එකෙන් අවුට් වෙන එක ගැන කිව්වේ හොඳේ.:)

දැන් මේ බ්ලොග් කෙරුවාවත් මගේ අනිත් වැඩ වගේම වෙලා. ලියන්නත් කම්මැලියි, කියවන්නත් කම්මැලියි, සමහර ඒවා කැමැත්තෙන් කියෙව්වත් කමෙන්ට් කරන්න කම්මැලියි. ඕක තමයි ඉතින් තත්ත්වේ. අනිත් එක කැම්පස් ඉවර වෙන්න ළඟ නිසා මේ දවස් වල වැඩත් වැඩියි. ඒ නිසාත් බ්ලොගේ පොඩ්ඩක් පැත්තකට ගිහින් තියෙන්නේ. තව ටික දවසකින් නම් බෙල්ල මුලින්ම හිර වෙනවා. ඒ නිසා ඊට කලින් මොකක් හරි කොටන්න ඕන කියල මේ අමාරුවෙන් හිත හදාගෙන ආවේ. දැන් මේ කියන්න යන කතාවත් අර උඩ කිව්වා වගේ වෙන් වීමක් ගැන තමයි කියන්න යන්නේ. මම මූනුපොතේ පොඩි ඇඩ් එකක් දාල එහෙම පටන් ගත්තේ වැඩේ.:D මට මේක ලියන්න හිතුනේ සාතන් අයියගේ මූනුපොතේ ස්ටේටස් එකක් නිසා.:) මිනිහ තමයි මට ඕක ආයෙත් මතක් කළේ.

හරි දැන් නමස්කාරය කිව්වා ඇති, දැන් කතාවට එමුකො. මේ කොටන්න හදන්නේ මගේ ඒක පාර්ශවික නොවුන තුන්වෙනි සහ අවසාන ආදර කතාව ගැන. මම අර ආයෙත් පාරක් හිත රිද්දුවා නේද පෝස්ට් එකේ කිව්වේ මෙයා ගැන තමයි. මගේ චානිකා සීරීස් එකේ අන්තිමට මාළු අයිය කියලා තිබුනා අනිත් ආදර කතා ටිකත් දාන්න කියලා. මම ඒකට එදා නම් කිව්වේ ඒ එකක් මම මේ බ්ලොග් එකේ ලියන්නවත් කැමති නැති මාතෘකාවක්, අනිත් දෙක කියන්න තරම් විශේෂයක් නෑ කියලා. මම එදා එහෙම කිව්වට මේ කතාව නම් පොඩ්ඩක් අමුතුයි. ඒකත් කියන්න ඕන කියල මට කලින් හිතුනා. හැබැයි පස්සේ හේතු දෙකක් නිසා ඕන නෑ කියලා නිකන් හිටියා. එකක් සමහරු මේක විශ්වාස කරන්නේ නැති වේවි කියල හිතුනා, අනිත් එක මූ මෙච්චර මෝඩද කියලා කියවන අයට හිතෙන්න පුළුවන් කියල හිතුන නිසා.:) ඕන වෙඩිමක් කියලා ලියල දානවා. විස්වාස නොකරන උන් නිකන් හිටපල්ලා, මම මෝඩයා කියල හිතන උන් එහෙම හිතාගනිල්ලා.:D වෙන් වීමක් ගැන කියනවා නම් ඉතින් හමුවීමක් තියෙන්නත් ඕන නේ. මේක අමුතුම ආකාරයක හමුවීමක්.

මට අම්ම ඕන පෝස්ට් එකෙයි ඇගේ තනියට රැය පහන් කළෙමි පෝස්ට් එකෙයි කියපු මගේ පළවෙනි ආදර කතාව උසස් පෙළ ඉවර වෙනවත් එක්කම අවසන් වුනා. (එයාගේ නම සරණි) ඊට පස්සේ කාලය තමයි මම ජීවිතේ අමාරුවෙන්ම ගත කරපු කාලය. ඒ කාලේ ගෙවා ගත්තේ කොහොමද කියලා මට තාම හිතාගන්න බෑ.:) බොහොම පරිශ්‍රමයකින් සාමාන්‍ය තත්ත්වයට ආවත් මට එයාව කොහොමවත් අමතක කරන්න නම් බැරි වුනා. මොකක් හරි දෙයක් වෙලා කවද හරි මට එයාව ලැබෙනවා නම් කියන සිතුවිල්ලේ තමයි මම හිටියේ. කැම්පස් ආවෙත් ඔය වගේ මානසිකත්වයක. හැබැයි මෙහෙට ආවට පස්සේ අලුත් පරිසරය, කැම්පස් සංස්කෘතිය, අලුත් යාළුවො, සින්නො, රැග් එක වගේ දේවල් නිසා ඒ මතකය ටිකක් යට ගියා. ඔහොම කාලය ගෙවිලා, රැග් එකත් ඉවර වෙලා අපිට නිදහසේ ඉන්න පුළුවන් කාලේ ආව. ඔන්න ඔය කාලේ තමයි ෆේස්බුක් කියන කතන්දරේ දැනගත්තේ. කැම්පස් එන්න කලින් එක පාරක් ෆේස්බුක් කියන නම නම් අහල තිබුන. හැබැයි කිසිම අදහසක් තිබුනේ නෑ ඒ ගැන. මෙහෙ ආවට පස්සේ තමයි අපේ එකෙක් මට ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා දුන්නේ.

ඔය විදියට ඉතින් කාලේ ගෙවිලා ගියා. (මම කැම්පස් ආපු මුල්ම දවස් වල සරණිගේ යාලු අක්ක කෙනෙක් මට මැසේජ් එකක් දාල සුභ ආරංචියක් කියන්න තියනවා කියලා සරණිට කැම්පස් එකකට බෝට්ටුවක් ඇවිත් කිව්වා. හැබැයි මොන කැම්පස් එකේ මොන ඩිග්‍රියටද කියලා කිව්වේ නෑ.) මට හිතුන සරණිත් සමහර විට ෆේස්බුක් ඇති කියලා කැම්පස් නිසා. දවසක් මම සර්ච් කරලා බැලුවා. මෙන්න මෙයා ඉන්නවා...! ඊට පස්සේ ඉතින් අර යට ගිහින් තිබුන ඔක්කොම මතකය එක ක්ෂණයකින් ආයෙත් එලියට ආව. හදාගෙන හිටපු හිතට මොනවා වුනාද දන්නේ නෑ. මගේ හිතේ මොනවා තිබුනද කියලා දන්නේ නෑ, හැබැයි මම ඒ වෙලාවේම බොරු එකවුන්ට් එකක් හදලා ඒකිව ඇඩ් කරගත්තා. මගේ මොලේ කියන්නේ මැස්සෙක් වත් නැති හිස් එකවුන්ට් එකට තමයි ඒකිව ඇඩ් කළේ. (ඒ එකවුන්ට් එකේ නම මොකක්ද කියල දන්නවද බොලා?? ඒකෙ නමත් කසුන් චානක. මම කිව්වනේ ඕන හොර වැඩකට ඕක තමයි අහු වෙන්නේ.:)) හැබැයි වාසනාවට (හෝ අවාසනාවට) සරණි මාව ඇක්සෙප්ට් කරලා තිබුනා. හැබැයි එයා ඔන්ලයින් ආවේම නෑ. මම මැසේජ් එකක් දැම්මා නිකන්, බොහොම කෙටි පිළිතුරක් ලැබිලා තිබුනා ඒකට. මට දැන් මෙයාගේ විස්තර දැන ගන්න ලොකු වුවමනාවක් තිබුනා. එයා කොහෙද ඉන්නේ, යාලු වුන කොල්ල තාම ඉන්නවද, එයාට මාව මතකද, ඔය වගේ ප්‍රශ්න ගොඩයි මට.

ඊට පස්සේ මම කළ වැඩේ එයාගේ එකවුන්ට් එකේ ඉන්න කැම්පස් එකේ යාළුවො කියල හිතන්න පුළුවන් කෙල්ලෝ කොල්ලෝ 5ක් 6ක් ඇඩ් කරගත්තා. මට ඕන වුනේ උන් කවුරුහරි එක්ක ෆිට් වෙලා සරණි ගැන විස්තර අහගන්න. ඒක හිතන තරම් ලේසි නෑ කියලා මම දැනගෙන හිටියා. දන්නෙවත් නැති කෙනෙක් එක්ක කතා කරලා, යාළුකමක් හදාගෙන හොඳටම ෆිට් වෙලා නේ එහෙම දෙයක් අහනවා නම් අහන්න වෙන්නේ. ඒක ලොකු ප්‍රොසෙස් එකක් නේ. කොහොමහරි ඒ දේ කරනවා කියල හිතාගෙන තමයි මම ගේමට බැස්සේ. පස්සේ බලනකොට කෙල්ලෝ දෙන්නෙක්ද කොහෙද මාව ඇක්සෙප්ට් කරලා තිබුනා. හැබැයි දවස් දෙක තුනක්ම යනකල් ඔන්ලියින් දැක්කේ නෑ එක්කෙනෙක් වත්. මමත් කලබල නොවී හිටිය දවසක ඔන්ලයින් එනකල්ම. නැතුව එක පාරටම මැසේජ් එකක් දැම්මොත් මම මහ පැණියෙක් කියල හිතනවානේ.:)

ඉතින් ඔහොම ඉන්නකොට දවසක් අර දෙන්නගෙන් එක්කනෙක් ඔන්ලයින් ඉන්නවා දැක්කා. ඔන්න එතනින් තමයි මේ කතාව පටන් ගන්නේ. එදා ඒ ඔන්ලයින් හිටියේ කල්පනා, මේ කතාවේ කතා නායිකාව. ඉතින් හොඳ හුස්මක් අරගෙන දකුණු කකුල ඉස්සරහට තියලා hi කියලා ගහල යැව්වා. තත්තපර ගානකට පස්සේ එහා පැත්තෙනුත් hi කියල ආවේ මගේ මෙහෙයුමේ එක පියවරක් සාර්ථකයි නේද කියලා මට ලොකු සතුටකුත් අරගෙන. ඊට පස්සේ ඉතින් කතාව පටන් අරගෙන ශේප් එකේ ඇදගෙන ගියා. එයා අර සමහර කෙල්ලෝ වගේ කිසිම ආඩම්බර කමක් පෙන්නුවේ නෑ, බොහොම ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කළා. මටත් ඉතින් ඒක ලොකු පහසුවක් වුනා. එක පාරටම සීන් එක කියන්න බෑ නේ, ඒක නිසා ගොඩක් දවස් සාමාන්‍ය විදියට කතා කර කර හිටියා.

ගොඩක් ඉක්මනටම එයා මාත් එක්ක ෆිට් වුනා. සමහර දවස් වලට මම එයාව දැකලත් එයා කතා කරනකල් බලාගෙන ඉන්නවා.:) එයා දැක්කොත් අනිවා කතා කරන ගානට ෆිට් වුනා කොහොමහරි. මම හිතුවා දැන් සීන් එක කියන්න කාලේ හරි කියලා. ඊට පස්සේ මම දවසක් දෙයක් කියන්න තියනවා කියලා මුළු කතාවම කෙටියෙන් කිව්වා. කතාව කියලා එයා ගැන දැනගන්නයි මෙහෙම කලේ කියල කිව්වා. 

To be continued.....
..............................................................................................................................................................

ප.ලි. මගේ පෝස්ට් දිග වැඩියි කියල චෝදනා කරන නිසා ඔන්න පොඩි කෑල්ලයි දැම්මේ. පොඩි වැඩියි වගේ නම් කියන්නෝ. 

..............................................................................................................................................................

කල්පනා.....................

ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......

කල්පනා (II කොටස) 
 
ළඟදීම....!

:D :D :P :P


Sunday, May 13, 2012

ඔබා මාමේ ඔබට නිවන් සුව....!



අද දවසෙම බ්ලොග් අවකාශේ කියවෙන්නේ එකම දෙයක් ගැන. ඒ කාටත් නොකියම අපි අතරින් යන්නම ගිය ඔබා මාම ගැන. ඔබා මාම මේ හැම කෙනෙක්ගෙම හිතට කොච්චර සමීපද කියන එකට තවත් උදාහරණ ඕන නෑ. හැමෝටම හිත් වලට ඔබා මාමගේ සමුගැන්ම කොච්චර තදින් දැනුනද කියලා අද බ්ලොග් කියෙව්වම හොඳට තේරෙනවා. උදේ ඇහැරුන ගමන්ම මහිමය තමයි කෝල් කරලා ආරංචිය කිව්වේ. 

මම කවදාවත් ඔබා මාම එක්ක පුද්ගලිකව කතා කරලා නෑ. මූණට මූණ හමුවෙලා වත්, ස්කයිප් වත්, ගූගල් චැට් වත්, ෆේස්බුක් චැට් වත් ඔය කිසිම එකකින් ඔබා මාම එක්ක කතා කරලා නෑ. ඔබා මාම මගේ බ්ලොගේට ඇවිල්ල කමෙන්ට් එකක් දාල තියෙන්නෙත් එකම එක පාරයි. හැබැයි ඒ කිසි දෙයක් නැති වුනත් ඔබා මාම කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා හොඳටම තේරුම් ගත්තේ ඔබා මාමගේ බ්ලොග් අවකාශේ පුරාම තියන කමෙන්ට් වලින්. කවමදාවත් කාත් එක්කවත් රණ්ඩු වෙනවා දැකලා නෑ. කාවවත් අවතක්සේරු කරනවා, බනිනවා දැකලම නෑ. වැරද්දක් පෙන්නුවත් බොහොම ආදරෙන් ඒක පෙන්නලා දෙන්නේ. ඒ වගේම විශේෂම දේ ඔබා මාමගේ කමෙන්ට් වලින් වැඩිහරියක්ම කියවලා හිනා වෙන එකයි අපි කලේ. මිනිස්සු හිනස්සන්න ලොකු හැකියාවක් තිබුනා ඔබා මාමගේ කමෙන්ට් වලට. පෝස්ට් එකක කමෙන්ට් උඩින් පල්ලෙන් බලාගෙන යද්දී ඔබා මාමගේ කමෙන්ට් එක දැක්කොත් අනිවා නැවතිලා බලලා යන්නේ.   

තවත්  එකක් තමයි මොකක් හරි වාදයක් රණ්ඩුවක් යන තැනක මම දැකලා තියනවා ඔබා මාම ඇවිත් මොකක් හරි ජෝක් එකක් දාලා කට්ටියව කූල් කරලා යනවා. තමන් හිනා වෙලා ඉන්න ගමන් අනිත් අයවත් සතුටෙන් තියන්න තමයි ඔබා මාමා හැදුවේ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සොඳුරු මිනිසෙක් ඔබා මාමා කියන්නේ. ගතින් මහලු වුනත් හිතින් සුපිරිම තරුණයෙක්. ඒ වගේ කෙනෙක්ගේ ඇසුර ලබන්න මේ බ්ලොග් අවකාශය පින් කරලා තියනවා. හැබැයි මීට පස්සේ මේ බ්ලොග් අවකාශේ අයට ඔබා මාමගේ කමෙන්ට් එකක් බලන්න, ඔබා මාමගේ මඩ පාරක් කන්න පින නැති වේවි. ආව හැම කෙනෙකුටම යන්න වෙනවා, හැබැයි ඔබා මාම වගේ අයගේ මතකය හැමදාම මිනිස්සුන්ගේ හදවත් තුළ ඉතිරි වෙනවා. ඔබා මාම ගියාට ඒ මතකය කවදාවත් අපිව දාල යන්නේ නැති වේවි. 

ඔබා මාමේ නිවන් දකින ජාති දක්වාම අපි අතරේම ඉපදෙන්න. එහෙම ඉපදිලා ඇවිත් කමෙන්ට් එකක් දාලා මේ බ්ලොග් අවකාශේ ලස්සන කරලා යන්න. අපි බලාගෙන ඉන්නවා.

Thursday, May 10, 2012

A-14 පාර

කාලෙකින් මුකුත් ලිව්වෙත් නෑ. අප්පෝ ලියන්නත් පස්ට කම්මැලියි අප්පා. ඒත් මේක පාලුවට යන්න දෙන්නත් හිතට දුකයි. ඒ නිසා පොඩි හොර වැඩක් කරන්න කියලා සෙට් වුනේ.:) මීට කලින් මම බ්ලොග් එකේ දාපු කවියක් ආයෙත් දාන්න කියලා හැදුවේ. කලින් කිව්වේ ගොඩාක් කලින්. ඒ කිව්වේ මගේ දෙවනි පෝස්ට් එකේ තමයි මම ඒක දැම්මේ. ඒක ගොඩක් දෙනෙක් දැකලත් නැති නිසා ආයෙත් දාන්න හිතුනා. එතකොට මගේ බ්ලොගේ පාලුවට යන්නෙත් නෑ නේ. හැබැයි පොඩි බොරුවක් එක්ක තමයි එදා මම ඒක දැම්මේ. මම එතන දැම්මේ ඒක මගේ මගේ යාලුවෙක් ලියපු එකක් කියලා. හැබැයි ඇත්ත කතාව ඒක මම ලියපු එකක්.:) මම එදා එහෙම දැම්මේ මගේ අනන්‍යතාවය අහු වෙයි කියලා බයට. දැන් නම් එහෙම අවුලක් නෑ, අපේ බැච් එකේ එකම එකයි බ්ලොග් කියවන්නේ, ඌත් දැන් දන්නවා මගේ බ්ලොග් එක ගැන. 

අපේ තර්ඩ් ඉයර් එකේ මුල තමයි ට්‍රේනින් යන්න තියෙන්නේ. මම මුලින්ම වැටුනේ මැදවච්චිය - මන්නාරම (A-14) පාරට. සයිට් එක තිබුනේ මැදවච්චිය ටවුන් එකේ ඉඳල කි.මි. 39ක් මන්නාරම පැත්තට වෙන්න. ඒ සයිට් එක තිබුන පැත්ත දරුණුවටම යුද්ධෙ තිබුන පැත්තක්. ඒ කාලෙත් බිම් බෝම්බ අයින් කරපු නැති පැති තිබුණා. අපි හිටපු හරියේ එකම එක ගෙයක් වත් නෑ. මට මතක විදියට කි.මි. 20ක් විතර මැදවච්චිය පැත්තට ගියාම තමයි ගමක් අහුවෙන්නේ. අපි හිටපු හරියේ ටිකක් එහාට වෙන්න සරණාගත කඳවුරු දෙකක්ද තුනක්ද තිබුනා. පොලිස් ස්ටේෂන් එකක් තිබුනා, ඊට අමතරව තැනින් තැන ආමි එකෙන් හිටියා. මිනිස්සු කියල එච්චරයි හිටියේ. හැබැයි ඔය පාරේ නම් වාහන යනවා එකම ගානට. UN එකේ ඒවා, RDA එකේ ඒවා, ට්‍රිප් යන වාහන, බස් ඔය වගේ ගොඩක් වාහන ගියා. පාරවල් කෙලින් නිසා උන් යන්නේ නම් හයිවේ එකේ යනවා වගේ. ඒ අස්සේ හිටී ගමන් මැති ඇමතිලත් යනවා. ඒ ඔක්කොම මන්නාරමට යන ඒවා.

මහ පුදුම පාළුවක් තිබුනේ එහෙ ගියාම. අනිත් එක පොඩි ආදර හුටපටයකුත් ඔලුවට ගහලා තිබුනේ ඒ කාලේ.:) ඉතින් විකාරයි වගේ එහෙ ඉන්නකොට. පළවෙනි සතියෙම මට ඉන්න වුනේ පාර හදන තැන. ස්ටාෆ් මදි වෙලා අපේ ට්‍රේනින් හිටපු දෙන්නට මාරුවෙන් මාරුවට ලේබර්ස්ලව සුපර්වයිස් කරන්න වුනා. ඉතින් දවසෙම ගිනි අව්වේ, දුවිල්ලයි ගල් කුඩුයි එක්ක ඉන්න ගියාම පුදුම සනීපයි. ඒ පාර කැඩිලා නිසා පුදුම දූවිල්ලක් තිබුනේ. ඒකට ගල් කුඩුත් එකතු වුනාම හරිම සන්තෝසයි. සතියක්ම මට එහෙම ඉන්න වුනා. අන්න එහෙම ගිනි අව්වේ ඉන්නකොට ලියවුන කවියක් තමයි මේ.


(මේ තියන කි.මි. කනුව ළඟ තමයි අපේ සයිට් ඔෆිස් එක තිබුනේ. මේක මම ගත්තේ එහෙන් එන්න බස් එක එනකල් ඉන්න වෙලාවේ.)

මම එහෙ හිටියේ සති තුනයි. හෙඩ් ඔෆිස් එකේ වැඩක් කියලා මාව ආයෙත් ගෙන්නගත්තා. මම ආපු ගමන් කලේ මේ කවිය ෆොටෝ එකට දාල හදපු එක.:) මගේ ඇත්ත මූනුපොතේ එකවුන්ට් එකේ ඉන්න අයට නම් බලන්න පුළුවන් මේක ඇති Wall Photos වල. සති තුනෙන් ඉවර වුන නිසා හොඳයි, තව හිටිය නම් පිස්සු හැදෙනවා.