twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Thursday, April 21, 2011

විෂය භාර දෙවියන් වෙත ලියමි

                                                                                                                     කසුන්,
                                                                                                                     "කසුන්ට හිතෙන හැටි",
                                                                                                                     බ්ලොග් අවකාශය.
                                                                                                                     2011/04/21

දේව සභාව,
තව්තිසාව

දෙවියන් වහන්ස,

මා මේ ලිපිය මුලු දේව සභාව වෙතටම යොමු කරන්නේ මාගේ ප්‍රශ්නයට අදාල දෙවියන් කවුරුන් දැයි මා නොදන්නා නිසාය. නමුත් මෙය අදාල වන්නේ විශය බාර දෙවියන් වහන්සේ වෙතය. අදාල දෙවියන් විසින් මෙය බාර ගෙන මෙයට ඉක්මන් විසඳුමක් දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. මම ප්‍රශ්නය ඍජුවම ඉදිරිපත් කරමි. මම තවම තනිකඩය. මෙය දැවෙන ප්‍රශ්නයක් බව ඔබ වහන්සේට අමුතුවෙන් කිව යුතු නැත. මෙය මට පමණක් ඇති ප්‍රශ්නයක් නොවේ. කෙල්ලන් කොල්ලන් විශාල සංඛ්‍යාවක් මේ ප්‍රශ්නයෙන් පීඩා විඳියි. අපේ බ්ලොග් ලියන මධුරංගයාද ඉන් එකෙකි. කෙල්ලන් කොල්ලන් පමනක් නොව ඇතැම් වැඩිහිටි ගැහැණුන් හා පිරිමින්ද මේ නිසා පීඩා විඳින බව ඔබ වහන්සේ සමහර විට නොදන්නවා විය හැක. ඒ සියල්ලන්ම වෙනුවෙන් මම ගේමට බැස්සේ ඒ නිසාය.


අත රිදෙන කල් මැසේජ් කරන්නට, කට රිදෙනකල් කතා කරන්නට, කන රිදෙනකල් අහන් ඉන්නට කෙනෙක් නැත. හුරතල් වෙන්නට, රන්ඩු වෙන්නට, බොරුවට තරහ වුනාම යාලු කරගන්නට කෙනෙක් නැත. හිතට දුකක් ආපු වෙලාවට දුක කියන්නට, ප්‍රශ්න වලින් ඔලුව පිරිච්ච වෙලාවට කතා කරල හිත හදාගන්නට, හයියෙන් අඬන්න හිතුන වෙලාවට උකුල උඩ ඔලුව තියාගෙන අඬන්නට කෙනෙක් නැත. උදේට කෝල් එකක් දී මා ඇහැරවා 'ගුඩ් මෝනිං' කියන්නට, රෑට 'ගුඩ් නයිට්' මැසේජ් එකක් එවන්නට, දවල්ට කෝල් එකක් දී කෑවද කියා අහන්නට කෙනෙක් නැත. හැම තිස්සෙම මගේ ගැන හොයන්නට, හැම තිස්සේම මගේ ලඟින් ඉන්නට, මගේම කියා කියන්නට කෙනෙක් නැත. ඉහත සඳහන් සියලුම කාරනා අත්‍යාවශ්‍ය කාරණා බව ඔබ වහන්සේට අමුතුවෙන් කිව යුතුද නැත.   

ඔබ වහන්සේ අප ගැන දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. මට මෙසේ වී ඇත්තේ ඒ නිසාය. අමාරුවෙන් කෙල්ලෙක්ට හිත ගියොත් ඒකට කොල්ලෙක් සිටී. නැත්තන් එකෙක් මට වඩා ඉස්සර වෙයි. අමාරුවෙන් හරි සෙට් කරගන්නා එකද වැඩි කල් අල්ලන්නේ නැත. පළමු එක නිළ නොවන වශයෙන් අවුරුදු 2ක් විතර ගලාගෙන ගියත් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ඔන්න මෙන්න තිබියදී දෙල් විය. දෙවැන්න තිබුනේ සතියක් පමණි. තුන්වැනි එක බොහෝම අමාරුවෙන් මගේ කටේ බලේට යාන්තම් සති තුනක් ඇද ගත්තේය. මට ඔබ වහන්සේ සමග හෙනම මල ය. එක්කෝ මා කරගන්නා එක කරගැනීමට දිය යුතුය, නැත්තන් හොඳ කෙනෙක් සොයා දිය යුතුය. ඒ එකක් වත් නැත. ඇති එකාට දෙක තුන ඇත, අපිට කිසිත් නැත. ඔබ වහන්සේගේ මේ ධනවාදී ආකල්ප ඉක්මනින්ම වෙනස් විය යුතුය. එසේ නොවුන හොත් කුමකින් කුමක් වේදැයි කිව නොහැක. පාරකදී වත් ඔබ වහන්සේ හමු වුනොත් දෙවියන් කියා බලන්නේ නැත.

දැන් මාගේ වයස 25 ටත් කිට්ටුය. රිදී ජුබිලිය සමරන්න වෙන්නේද තනිකඩවය. වැලන්ටයින් දින කීයක් නම් සාමාන්‍ය දවස් ලෙස ගෙවෙන්නට ඇත්ද? 

(මේ මූනු පොතේ මා වැනි තවත් එකෙක් පළ කර තිබූ පින්තූරයකි. ඔබ වහන්සේලාට මේ කන්නලව් ඇසෙන්නේ නැත්තේ ඇයි දැයි නොදනිමි.)


මට නම් දැන් එපාම වෙලාය. මගේ කරුමෙටම වැටුනේද මොරටුව විශ්ව විද්‍යාලයටය. එහි ඇති භයානක තත්ත්වය ඔබ වහන්සේ දන්නවා ඇතැයි සිතමි. නොදන්නේ නම් මෙම ලින්ක් එකෙන් ගොස් බලා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. එහෙයින් එතනින්ද කිසිදු සරණක් නැත. මා තෙරුම් ගත් දෙයක් නම් මගේ හැකියාවෙන් මට කිසිදා ගොඩයෑමට නොහැක. ඊට අනිවාර්යෙන්ම දේවාශිර්වාදය අවැසිය. ඔබ වහන්සේ යම් ආශ්චර්යක් කල යුතුවම ඇත. අපේ පරම්පරාවේ මුණුබුරු මිණිබිරියන් එකෙක් වත් ප්‍රොපෝසල් එකකින් විවාහ වී නැත. ඒ නිසා මමද එසේම විය යුතුය. මට අපේ පරම්පරාවේ දැලි ගෑමට නොහැක.

ඉහත කරුණු සලකා බලා  ඉක්මනින්ම මගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මට සුදුසු කෙනෙක් සොයා බලා මල්සරා ලවා මට මල් දුන්නෙන් විද්දවීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. මෙය අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක් බව සිහි තබා ගනු මැනවි. නැත්තන් තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ගනන දෙකෝටි අනූනව ලක්ෂ අනූ නවදහස් නවසිය අනූ නවයක් වීම සක්කරයාටවත් වැලැක්විය නොහැකි වනු ඇත.

                               
                                                                                                          මීට,
                                                                                                          භක්තිමත් නර පනුවා,
                                                                                                          කසුන්.

..................................................................................................................................................................
ප.ලි. මේ පෝස්ට් එක කියවන අතලොස්සක් දෙනා හිතන්න එපා මේකගෙ ඔලුවෙ තියෙන්නෙම කෙල්ලෙක් හොයා ගන්න එක ගැන විතරයි කියල. අනේ එහෙම එකක් නෑ. මේ දවස් වල ටිකක් හිතේ අවුලෙන් ඉන්නෙ. එක එක ප්‍රශ්න. ඒව අමතක වෙලා යන්න කියල මොකක් හරි විකාරයක් කරන්න ඕන කියල හිතලයි මේක ලිව්වෙ.

ප.ලි.ප.ලි. මම වැලන්ටින් ගැන කියල තිබුනට මම නම් කෙල්ලෙක් හිටියත් ඒ දවස සෙලිබ්‍රේට් කරන්නෙ නෑ. ඇත්තටම ආදරේ කරනව නම් හැම දාම එක සමරන්න ඕන. එක දවසක් විතරක් බොරුවට දඟලන්න ඕන නෑ.

Monday, April 18, 2011

මා මළ පසු මගෙ සොහොනේ දුක් ගීයක් ලියනු මැනවි



දන්නවා ඔබ හොඳහැටිම
දකින්නට බැරි බව
ඔය ඇස් වල කඳුලු මට

දැන දැනත් ඒ වග
හඬන්නේ මෙලෙස කිම
වැතිරී මගෙ සොහොන මත

දන්නවා නම් මම
හඬන බව ඔබ මේ තරම්ම
මියැදෙන්නේ නෑ කිසි දිනක
ඔබේ ලඟින්ම සිටිනු මිස.


ප.ලි. මට මේ ෆොටෝ එක ලැබුනෙ facebook එකේ තිබිල. මට නම් මේක දැක්කම ගොඩක් දුක හිතුන. 

Thursday, April 14, 2011

හලේ... ඇයි මටම මෙහෙම වෙන්නෙ?

අවුරුද්ද ගැන නම් ඉතින් ගොඩක් අය කතා කරනවනේ. ඒක නිසා මම ඒ ගැන ලියන්නෙ නෑ කියල හිටියෙ. හැබැයි මට මේ දැන් වෙච්ච අකරතැබ්බය ගැන නම් ලියන්න ඕන කියල හිතුන. කන්න ලැබෙන කල් කරන්න දෙයක් තියෙන්නත් ඕන නෙ. ඒක නිසා ලියලම දානව.

දැන් ඔන්න ලිප ගිනි මොලවන්න ඔක්කොම ලේස්ති කරල තියෙන්නෙ. ප්‍රධාන ලිපේ වැඩේ කුස්සියේ යන අතරෙ කිරි උතුරවන සෙග්මන්ට් එක භාර වුනේ මටයි නංගිලා දෙන්නටයි. මම තමයි එතන හෙඩ්, නංගිල දෙන්න ඇසිස්ටන්ට්ස්ල. සිවිලිං ෂීට් කෑලි තුනක් උඩ ගඩොල් බාග තුනක් තියල ලිප සෙට් කරල තියෙන්නෙ. අවශ්‍ය සියල්ල සූදානම්. අපි දැන් එකින් එක බලමු. මුට්ටියක්, කිරි, හීනියට පලා ගත් දර (විශ්කම්බය 2.5 ට අඩු), දර ඇවිලෙන තෙක් පත්තු වීමට පොල් හනසු, ඉටි පන්දමක්, ඉටි පන්දම පත්තු කිරීමට ගිනි පෙට්ටියක් සහ හොඳ කුක් කෙනෙක් (ඒ කිව්වෙ මම. තේකක් වත් හදා ගන්න බැරි වුනාට මොකද මම තමයි ඉතින් දැන් කුකා.) මම දැන පොර ලයින් එකෙන් ඉන්නෙ. වැඩි කතාවක් නෑ, ස්ටේටස් තියාගෙන ඉන්න එපාය. දැන් ඔන්න ඉටි පන්දම පත්තු  කර ගත්ත. 1.05 ට විතර අර පොල් හනසු ටිකට ගිනි අව්ලගෙන බලාගෙන ඉන්නව නැකත එනකල්. පොඩි එකී තමයි සන්නිවේදන අංශය භාරව හිටියෙ. ඔන්න ඉතින් 1.06 ට "දැන් හරී" කියල පොඩි එකී බෙරිහන් දෙනකොට උතුර බලාගෙන පත්තු කරපු පොල් හනසු ටික ලිපෙන් තිබ්බ. ඊට පස්සෙ අර හීනියට පලාගත් දර හෙමිහිට උඩින් තිබ්බ. මල විනාසයයි, මේ පොල් හනසු පත්තු වෙන්නෙ නෑ නෙ. වටේ තියන කෙඳි ටික පත්තු වෙලා නිවිල යනව. කන්නලව්වක් වත් කරල වැඩේ ගොඩ දාගන්න ගින්නට අදිපති දෙයියො කවුද කියල දන්නෙත් නෑ. නම දන්නෙ නැතුව කන්නලව් කරල නෝන්ඩි වෙන්න බෑ නෙ. සිටිස් ගාල පොඩි එකී යවල ප්‍රදාන ලිපෙන් පොල් කොල ටිකක් ඉස්සුව. ඊට පස්සෙ දර ටික අයින් කරල පොල් කොල ටික පත්තු කරල දාල අයෙත් දර දැම්ම. පොල් හනසු ටිකකුත් ඔය අස්සෙන් අස්සෙන් එබුව. අම්මෝ යන්තන් වැඩේ ශේප්, දර ටික දැන් ඇවිලෙනව. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ, යාන්තන් නෝන්ඩි නොවී ජාමෙ බේර ගත්තෙ.

ආයෙත් ඇඟේ ලේ වතුර වුනේ මුට්ටියෙ තිබුන කිරි ටික දැකල. මුට්ටියෙන් තුනෙන් දෙකක් වගේ තමයි කිරි තිබුනෙ. මේක උතුරන කොට හෙට වේවි. දැන් ඒපාර දඩි බිඩියෙ දර දානව. නංගිලා දෙන්නට දර දාන්න කියල මම සුපර්වයිස් කරගෙන හිටිය. කිරි ටික තාම හෙල්ලෙන්නෙ වත් නෑ. එනපොට හරියන්නෙ නෑ කියල මගේ මහා බුද්ධියට වැටහුනා. කොල්ල ආයෙත් වැඩේට බැස්ස. වටේටම දර දාල ගින්න තව වැඩි කරගත්ත. නංගිල දෙන්නත් මගේ දෙපැත්තෙන් බලාගෙන ඉන්නවා. ඔන්න දැන් තමයි සීන් එක වෙන්නෙ. එක පැත්තක ගින්දර නිවී ගෙන ආපු නිසා මම දර ටිකක් දාල පිඹින්න ගත්ත. එක පාරටම ලිපෙන් ඩෝං ගාල සද්දයක් ආව. සද්දෙට මායි නංගිලා දෙන්නයි පැත්තට විසි වෙලා ගියා. මට ආයෙත් ට්‍රැක් එකට එන්න තත්පර 2.63ක් ගියා.   

මොකක්ද යකෝ ඒ වුනේ? මාව මරන්න කවුරු හරි ලිපේ බෝම්බයක් වත් සෙට් කරලද? මම ටක් ගාල බැලුව නංගිල දෙන්නට මොකද කියල. හානියක් නෑ, පිපිරීමෙන් ඇති වුන කම්පනය නිසා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ලොකු එකීගෙ කලිසමට මුට්ටියේ තිබුන කිරි ටික විසි වෙලා. කිරි එච්චර රත් වෙලා තිබුනෙ නැති නිසා අවුලක් නෑ.

ප්‍රධාන ලිප ගාව හිටපු සහන කණ්ඩායම් ඒ වෙනකොටත් අනතුරු වුන ස්ථානයට වාර්තා කරල තිබුනෙ. ක්ෂණික පරීක්ෂණයකින් අනතුරුව කිසිවෙකුටත් අනතුරක් නෑ කියල සහන කණ්ඩායම් සනාථ කලා.  මම ලිපට කිට්ටු කරල බැලුව මොකක්ද සීන් එක කියල. ලිප වටේම ගිනි අගුරු කෑලි, ගඩොල් කැට තුන පෙරලිලා, මුට්ටිය ලිප මැද වැටිල, කිරි ටික ගේ පුරාම, එක විකාරයයි එතන. මම නම් හිතුවෙම බෝම්බයක්ම තමයි කියල. මුට්ටිය අයින් කරල බැලුවම තමයි තේරුනේ සීන් එක මොකක්ද කියල. උඩින්ම තිබුන සිවිලිං ෂීට් කෑල්ලෙ පලුවක් නෑ. රස්නෙට සිවිලිං ෂීට් එක පුපුරල. පස්සෙ තමයි හැම තැනම තිබුන පොඩි පොඩි සිවිලිං ෂීට කෑලි ටික මීටර් වුනේ. ඉතුරු සිවිලිං ෂීට් කෑල්ලෙත් ඉරි ගිහිල්ල. කවුද දෙයියනේ දන්නෙ ඔහොම එකක්? ඔයින් ගියා ඇති ඉතින්. අපි තුන් දෙනාම ලිප ලඟමයි හිටියෙ. මොකක් හරි වාසනාවකට කරදයක් වුනේ නෑ ඉතින්. මම ලිපට පිඹ පිඹ හිටියෙ, මගේ පැත්තට අඟුරු විසි වුනා නම් මූනටමයි වදින්නෙ. ගිනි අඟුරු කෑලි කාමරේ කොනේ තිබුන මේසෙ උඩත් තිබුන. ඔන්න ඔහොමයි කිරි උතුරවන සෙග්මන්ට් එක ඉවර වුනේ. කිරි උතුරවන්න වුනේ නෑ, කිරි ඉහිරෙව්ව. පස්සෙ ඉතින් කට්ටිය ශේප් එකේ ඒ ටික අස් කරල මොනවත් වුනේ නෑ වගේ හිටිය.

 ප.ලි. ඒ වෙලාවෙම ලියන්න ගත්තට ලියන්න වුනේ නෑ. දැන් තමයි ඉවර කලේ.

Tuesday, April 12, 2011

දැන් නැගිටින්න වස්තුවේ, පරක්කු වෙලා

ඇය හා මා හමුවීමට තීරණය කරගත් වෙලාව පසුවී විනාඩි 10ක් ගතවී ඇත. මගේ හද ගැස්ම වේගවත්ය. මොහොතින් මොහොත ෆෝන් එක ගෙන වෙලාව බලමි. මා අසල වාඩිවී සිටි තරුණ යුවලට මාගේ අපහසුතාව දැනෙන්නට ඇත. ඔවුන් මා දෙස බලා සිටිති. ඔවුන් මා දෙස බලා සිටින්නේ අනේ පව් කියන්නාක් මෙනි. මේ ඇය හා මාගේ පළමු හමුවීම නොවුවත් මම කිසි විටක ප්‍රමාද වී ඇයව හමුවීමට යන්නට නොකැමැත්තෙමි. ප්‍රමාද වී ඇයව වෙහෙසීමට, අපහසුතාවයට පත් කිරීමට මම කොහෙත්ම අකමැතිය. අනෙක් අතට මට වැඩ නැති වුවද ඇය බොහෝ කාර්ය බහුලය. ඇයගේ කාර්ය බහුල රැකියාවත් සමග මා හමුවීමට වෙලාවක් ඈ හදා ගන්නේ දැඩි කැපවීමකිනි. ඒ සියලු කරුණු නිසා මා කිසි දිනක පමා වී ඇය හමුවීමට ගොස් නැත. මේ පමාවූ ප්‍රථම අවස්ථාවයි.

තව ඇත්තේ හෝල්ට් දෙකක් පමණි. එහෙත් බසයෙන් බැස මුහුදු වෙරලට යාමට පයින්ද සැලකිය යුතු දුරක් යා යුතුය. බසය හෝල්ට් එකේ නවත්වන්නටත් පෙර මම බසයෙන් පැන දුවන්නට පටන් ගතිමි. රුපියල් පනහේ ඉතුරු සල්ලි ගත්තේ නැති බව මතක් වුවත් මා නැවත නොහැරුනෙමි. මට හැකි උපරිම වේගයෙන් මම දුවමි. වෙලාව 5.52ය. මම ඇයට එන්නට කීවේ 5.30ට ය. මා උපතින්ම හති රෝගියෙකු වූ බැවින් දැන් මට දුවා ගන්නට නොහැකි තරම් හති වැටී ඇත.


එහෙත් ඇගේ සෙනෙහෙබර මුහුණ සිහි වනවිට මගේ හතිය නැති වෙන්නේය. ඇය වැඩ ඇරී එහෙමම පැමිණි නිසා සාරියකින් සැරසී පැමිණ සිටිනවා විය යුතුය. මම ඊට ගොඩක් කැමැත්තෙමි. ඇය සාරියට ගොඩාක් ලස්සනය, හුරුබුහුටිය. ඒ වගේම ඇය සාරිය ඇන්ද විට බොහොම වැදගත් පෙනුමක් උසුලයි. මම එයට වැඩියත්ම කැමති ඒ නිසාය. ඇත්තෙන්ම මම ඇය ගැන ගොඩක් ආඩම්බරය. යාලුවන් සමග වුවත් ඇය ගැන කතා කරද්දී මගේ හිස එසවී පපුව ඉදිරියට එන්නේ නිරායාසයෙනි.

මම වෙරළට ලඟා වුනෙමි. ඇය අපේ සුපුරුදු බංකුවේ වාඩි වී සිටින්නීය. ඇය නිශ්චලය, මුහුද දෙස නිසලව බලා සිටින්නීය. මම පිටුපසින් සෙමෙන් සෙමෙන් ලංවුනෙමි. ඇයට නොපෙනී ඇය වෙත යාමට ගත් උත්සාහය සුපුරුදු පරිදි අසාර්ථකය. ඈ කෙන්ද්‍රය වූ අරය මීටර් 5ක් වූ වෘත්තයකට මා ඇතුලු වූ වහාම ඇයට ඒ බව දැනේ. ඇය මා දෙස හැරී බැලුවාය. මම ඈ දෙස බැලුවේ බියෙනි. ඇය කවදාවත් මා ප්‍රමාද වූවා කියා මට නොබනින මම දනිමි. එහෙත් මාගේ ප්‍රමාදය ගැන ඇගේ මුහුණේ පොඩි හෝ අප්‍රසාදයක් තිබුනොත් මට ගොඩක් දුක සිතෙනු ඇත. එහෙත් එවැනි කිසිදු අප්‍රසාදයක් ඇගේ මුහුණේ නැත. ඒ වෙනුවට එහි වූයේ වෙනදා දකින සෙනෙහබර ලෙන්ගතු සිනහවමය. මේ මහ මුහුදටත් වඩා විශාල වූ කරුණාවක් දයාවක් ආදරයක් මා කරෙහි ඈ තුල විය. මා කෙතරම් වාසනාවන්ත දැයි මට සිතුනි.

එහෙත් ඇගේ මුහුණ ක්ෂණයෙන් වෙනස් වූයේ මා නොනවත්වා හති දමනු දුටු විටය. ඇගේ මුහුණෙ වූ හිනාව මැකී ඒ වෙනුවට තරහක් ආරූඪ වූයේ මා බලා සිටියදීමය.

"අදත් හොඳටම දුවල නේද? කොච්චර කියල තියනවද ළමයො ඔහොම දුවන්න එපා කියල. ඔයාට ඔහොම මහන්සි වෙන්න හොඳ නෑ කියල දන්නවනේ" ඇයට තරහ ගිය විට මා අමතන්නේ ළමයා කියාය.

"මම කියල තියනවනෙ පරක්කු වුනාට කමක් නෑ, මට කෝල් එකක් දීල හෙමින් එන්න කියල".

මා ඇයට පිළිතුරු දීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඒ වන විටත් කතා කරගැනීමට නොහැකි තරම් මට හති වැටී තිබුණු නිසාය. එය දුටු ඇය තරමක් බිය විය. ඇය ක්ෂණිකව මා අසලට පැමිණ මා අල්ලා බංකුවෙන් වාඩි කරවීය.

"කෝ ඉන්න".

ඇය මගේ කමිසයේ උඩ බොත්තම ගලවා මගේ පපුව අත ගාන්නට විය. මම අමරුවෙන් වචන ගැට ගසා ගත්තෙමි. "මට අමාරුවක් නෑ පැටියො, ඔයා බය වෙන්න එපා".

"ඒ වුනාට බලන්නකො ඔයා හති දාන හැටි". ඇය තාමත් තරහෙන්ය.

"ඒක ටික වෙලාවකින් ඇරිල යාවි". මම ඇයගේ අතින් අල්ලා මා අසලින් වාඩි කරවා ගත්තෙමි.

ඇය තවමත් මා හති දමනු බලා සිටී. හතිය මට සාමන්‍ය දෙයක් වුවද ඇය ඊට ගොඩක් බය ය.

"දැන් වතුර ටිකක් බොන්න." ඇය බෑගයෙන් එලියට ගත් වතුර බෝතලය මා අත තැබීය.

මා වතුර බී අවසන් වූ පසු ඇය ඇගේ පුංචි ලේන්සුව ගෙන මගේ මුහුණේ දහඩිය පිස දමන්නට විය. ඇගේ දෑස් දිලිසෙනු මට පෙනුනි. මෙතෙක් වේලා හිරකරගෙන උන්නු කඳුලු බිංදුවක් ඇගේ කම්මුල දිගේ පහලට එන්නට විය. තවත් කඳුලු බිංදු කීපයක්ම එය අනුකරනය කලේය. මා මේ ලෝකේ අකමැතිම දේ එයයි. ඇය මා හැරගියද මට කෙසේ හෝ හිත හදාගත හැක, එහෙත් ඇගේ ඇස්වල කඳුලු නම් මට කොහෙත්ම ඉවසිය නොහැක.

"ඔන්න ඉතින්! ඇයි මේ අඬන්නෙ? ඔයා දන්නවනේ මට ඔය ඇස්වල කඳුලු බලන්න බෑ කියල".

ඇඬිල්ල නවතින පාටක් නැත. "දැන් ඔයා හදන්නෙ මාවත් අඬවන්නද?"

ඇඬිල්ල ක්ෂණිකව අඩු විය. ඇගේ ඇඬිල්ල නැවැත්විය නොහැකි වෙලාවට මමද අඬන්නෙමි. මා අඬනවාට කොහෙත්ම අකමැති ඇය එවිට ක්ෂණිකව ඇඬිල්ල නවත්වයි. දැන් ඒ ක්‍රමය මා සතු ප්‍රබල අවියකි.  මම මගේ දෑතින්ම ඇගේ කඳුලු පිසදැම්මෙමි.

"මට පොරොන්දු වෙන්න ආයෙත් ඔහොම කරන්නෙ නෑ කියල. පරක්කු වෙනව නම් මට කෝල් එකක් දෙන්න මම ඉන්නං. මට ඔයා එනකල් දවසක් උනත් බලාගෙන ඉන්න පුලුවන්, ඒත් ඔයා ඔහොම දුක් විඳිනව බලන්න බෑ." හැඬිල්ල පාලනය කරගත් ඈ දුබල හඬින් පැවසීය.

මම හා කීමට ඔලුව වැනුවෙමි.

"ඔලුව වනල හරි යන්නෙ නෑ, මට පොරොන්දු වෙන්න". ඇය නැවතත් සැර විය.

"හරි හරි මම පොරොන්දු වෙනව".

"හ්ම්ම්..." ඇය දීර්ග හුස්මක් හෙලුවාය.

"මම අර වෙලාවෙ හොඳටම බය වුනා".

ඇය මගේ නළල මත නැවත එකතු වී තුබූ දහඩිය බින්දු කීපය අතින් පිස දැමුවාය. මම ඈ දෙසට නැවී ඇගේ නළල සිප ගත්තෙමි. ඇය දෑස පියාගෙන ගැඹුරින්ම ඒ මොහොත විඳ ගත්තාය. තත්පර කීපයක් යනතුරුම ඇය දෑස පියාගත් වනම සිටියාය.


"ඔයත් මට එක දෙයක් පොරොන්දු වෙන්න ඕන."

"කියන්න" ඇය මෘදුව පැවසුවාය.

"මටවත් දරාගන්න බැරි තරම් මට ආදරේ කරල මාව කවදාවත් දාල යන්නෙ නෑ නේද?"

ඇය කිසිත් නොකියා මගේ මුහුණ දෙස එක එල්ලේ මොහොතක් බලා සිටියාය. ඒ බැල්මෙන් මට පිලිතුරු ලැබිණි. ඊලඟ මොහොතේ ඇය මාව ලඟට ඇදගෙන පපුවට තුරුලු කර ගත්තාය. එහි උණුසුමත් ඇගේ හෘද ස්පන්දනයත් මට හොඳින් දැනේ. අප දෙදෙනාගේම හදවත් ගැහෙන්නේ එකටම බව මට දැනුනි.

"මේ පිස්සව දාල මම කොහේ යන්නද? අනික මම නැති වුනොත් කවුද මගේ පැටියව බලා ගන්නෙ? බය වෙන්න එපා, මම කවදාවත් දාල යන්නෙ නෑ. හැමදාම ලඟින් ඉඳගෙන බලාගන්නව, සත්තයි".

මුලු ලෝකයම මගේ වූවාක් මෙන් මට දැනුනි.

"මම එච්චරයි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ."

මම ඇගේ පපුවෙන් මෑත් වී එහෙමම ඇගේ උකුල මත හිස තබා ගත්තෙමි. එය මා මේ ලෝකේ ඉන්නට කැමතිම තැනයි. සුපුරුදු පරිදි ඇය මගේ හිස අතගාන්නට පටන් ගත්තාය. කටින් නොකිව්වත් මා එය බලාපොරොත්තු වෙන බව ඇය දනියි. ඉස්සර අම්මගේ ඔඩොක්කුවට වී අම්මා හිස අතගාන විට මා විඳි සුවය අද ඇයගේ ඔඩොක්කුවේද මම නොඅඩුව විඳිමි. හිස අත ගාන ගමන් ඇය මගේ හිස සිම්බාය.

"හ්ම්ම් කොල්ල ගොඩක් දවසකින් නාල නෑ නේද?"

" නෑ නෙ." මම කෙටියෙන් පිලිතුරු බැන්දේ මගේ දැහැනට බාධා වෙන නිසාවෙනි.

"ඉතින් දවල් වෙලාවට නා ගන්නකෝ පැටියො".

මම නිහඬය.

"ඉන්නකො මම ඔයා ලඟට ආවම කරන්නම්කො වැඩේ. කොල්ලව තම්බල ගන්නම්."

ඒ දවස වැඩි ඈතක නොවේවා යයි මම පැතිමි.

"තම්බල නෙමෙයි බැදල ගත්තත් කමක් නෑ ඔයා මගේ ලඟ ඉන්නව නම්".

ඇය කිසිත් නොකීවාය, දීර්ග හුස්මක් පමණක් හෙලුවාය.

එක වරම ඇය හිස අතගෑම නැවැත්තුවාය.

"දැන් පරක්කු වෙලා වස්තුවේ, නැගිටින්න."

මම නොසෙල්ලුනෙමි. "අනේ තව ටිකක් ඉමුකො".

"නැගිටින්න දැන් පරක්කු වෙලා"

ඇය මගේ උරය සොලවයි. මම ප්‍රතිචාර නොදැක්වුවෙමි. ඇය මගේ උරය වැරෙන්ම සොලවන්නට විය. මම මදක් කෝපයෙන් හැරී බැලුවෙමි.

"නැගිටපන් යකෝ, තෝ අද ලෙක්චර්ස් යන්නෙ නැද්ද?"

ඒ මගේ උඩ ඇඳේ එකාය.

"තෝ දවල් හීන බලනවද? නැගිටපන්. 8.10යි වෙලාව."


Friday, April 8, 2011

දරුවනි උඹලා මෙතරම් ගුණමකු වූයේ කෙසේද?

මා මේ ලිපිය ලියන්නේ තරමක් ආවේගයෙන් සහ කලකිරීමෙනි. මෙය පෝස්ට් එකක් දැමීමේ බලාපොරොත්තුවෙන් ලියන්නක් නොව හිතේ ඇතිවූ ආවේගයට හා කලකිරීමට ලියවෙන්නකි. මම අද ලොකු අම්මා සමග දානයකට සහභාගී වුනෙමි. ඒ වැඩිහිටි නිවාසයක දානයකටය.  එම වැඩිහිටි නිවාසය මගෙ නිවසට තරමක් ආසන්නයෙන් පිහිටා තිබුනේය. අප රාත්‍රී ආහරය රැගෙන යන විට ඔවුන් තැන් තැන් වලට වී අප එන තුරු බලාසිටියෝය. රෑ වුනු පසු රාත්‍රී ආහාරය ගෙන නින්දට යනු විනා කිරිමට කිසිත් ඔවුන්ට නැත. අප එහි ගිය පසු හැමෝම බුද්ධ පූජාව පිළිගැන්වීමට බුදු පහන අසලට රැස් වුනෝය. එහි වැඩිහිටියන් 30 දෙනෙක් සිටිති. බුද්ධ පූජාව නිමවූ පසු හැමෝම කෑම කාමරය දෙසට පිය මැන්නෝය. එහි බොහෝ තැන් වල කොට තාප්ප සහ අත් වැටවල් පිහිටා තිබුනේ දෙපා හරි හැටි වාරු නැති වැඩිහිටියන්ට වාරුවක් වන අටියෙනි. කෑම කාමරය  බිම් මට්ටමෙන් තරමක් පහලින් පිහිටා තිබූ බැවින් එයට පිවිසීමට පඩි පෙලක් බැස යා යුතුය. හැමොම ඉන් පහලට බැස ගත්තේ පඩි පෙලේ බිත්තියේ සවිකර තිබූ අත්වැටේ ආධාරයෙනි. ඔවුන් පහලට බැසීමට ගන්නා වෙහෙස තරමක් ඈතින් සිටි මට පැහැදිලිව පෙනුනි. කොහොමවත් පහලට බැසීමට නොහැකි සීයලා 6 දෙනෙක් එහි විය.  ඔවුන්ට කෑම බෙදා ඇඳ අසලට ගෙනවිත් දිය යුතු බව පාලකයා පැවසීය. හැමෝම කෑම කාමරයේ අසුන් ගත් පසු අපි කෑම බෙදන්නට පටන් ගත්තෙමු. තරමක් බරින් වැඩි වූ නිසා පරිප්පු භාජනය මට පැවරිනි. කෑම බෙදීමට පෙර කනවාදැයි අසා බෙදන ලෙස පාලකයා අපට උපදෙස් දුන් නිසා හැමෝගෙන්ම වෙන වෙනම අසා අවශ්‍ය තරමට පමණක් කෑම බෙදීමට අපි වග බලා ගත්තෙමු. ඔවුන් කෑම ගැනීම ආරම්භ කරන්නේ කෑම බෙදා අවසන් වී දානය දුන් අයට පින් දීමෙන්ද අනතුරුවය.

කෑම ගන්නා අතරතුර මම හැම කෙනාගේම මුහුනු දෙස පරීක්ෂාවෙන් බැලීමි. ඒ මුහුණු වල කිසිම හැඟීමක් සටහන්ව නැත. සතුටක් කියා දෙයක් ඇත්තේම නැත, දුකක්ද නැත. දුක යනු ඔවුන්ට බොහොමත්ම සාමාන්‍ය හැඟීමක් වෙන්නට ඇත. එම නිසා එය ඔවුන්ගේ මුහුණු වල කිසිත් සටහන් නොකරයි. කෑම ගන්නා අතරතුර වැරදීමකින් හෝ ඒ මුහුණක සිනාවක් මතු වේදෝයි මම විපරම් කළෙමි. එහෙත් මම අසාර්ථකය. හිස් බව විනා ඒ මුහුණු වල කිසිත් නැත. ඔවුන් කන අතරතුර අපි විටින් විට අඩු පාඩු අසා කෑම බෙදුවෙමු. අසුවොත් විනා බොහෝ දෙනෙක් අඩු පාඩුවක් තිබුනද නොකියති. කෑම කා අවසන් වූ පසු කැවිලි කීපයක් පිලිගැන්විනි. බොහෝ දෙනා එය පසුව කන්නට රැගෙන ගියෝය. ඉන්පසු ඔවුන් කෙලින්ම පියමැන්නෙ තමන්ගේ නිදන ශාලා වෙතටය. මා කලින් කිව්වා සේ කෑම කා නිදා ගනු විනා කිරිමට කිසිත් ඔවුන්ට නැත. කතා බහ කිරීමට දරු මල්ලන් නැත, සුරතල් කිරීමට මුණුබුරු මිණිබිරියන් නැත. ආච්චිලාගේ නිදන කාමර එක ශාලාවකත් සීයලාගේ නිදන කාමර තවත් ශාලාවකත් පිහිටා තිබුනි. ඔවුන් ඒ දෙස සෙමෙන් සෙමෙන් පිය මැන්නෝය. ඔවුන් බොහෝ දෙනා ශාලා දෙසට ගියේ "අපි යන්නම් පුතේ, බුදු සරණයි" කියාය. රැගෙන ආ භාජන නැවත අසුරා ගන්නා තුරු මම ඔවුන් දෙස බලා සිටියෙමි. ඒ මොහොතේ දහසක් දේ මා සිතට නැගෙන්නට විය.



ජීවිතේ අවසාන කාලය මෙසේ වැඩිහිටි නිවාසයක ගෙවන්න නම් ඔවුන් දුක් මහන්සි වී දරුවන් හැදුවේ කුමකටද? දස මසක් කුස දරා දරුවන් මෙලොවට බිහි කල අම්මාටත් නොවිඳිනා දුක් විඳ දරුවන් පෝෂණය කල තාත්තාටත් අවසානයේ හිමි වන්නේ වැඩිහිටි නිවාසයද? මිනිසුන් මෙතරම් ගුණමකු අසත්පුරුශයන් වූයේ කෙසේද? ඕනෑම අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවන්ට තම පණට වඩා ආදරේය. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඒ ආදරය දරුවන්ගෙන් අම්මලා තාත්තලාට ලැබෙන්නේ නැත්තේ ඇයිද යන්න ලොකු ප්‍රශ්නයකි. මෙය ස්වභාවධර්මයට වැරදුනු තැනක්ද? වැරැද්ද ඇත්තේ කොතන දැයි මට නම් හරි හැටි නොතේරේ.

සාරධර්ම, සංස්කෘතිය හා සිරිත් විරිත් උපරිමයෙන් රකිනවා යයි කියන ලංකාවෙ වැඩිහිටි නිවාස කොපමන ඇත්ද. දෙමාපියන්ට සැලකීම ඒ සංස්කෘතියට අදාල නොවේද? මෙම තත්ත්වය කෙසේ හෝ වෙනස් විය යුතුමය. හොඳින් කියා බැරි නම් නීති මගින් හෝ මෙයට පිලියමක් යෙදිය යුතුව ඇත. වැඩිහිටි නිවාස තුල ඔවුන්ට අවශ්‍ය හැම දේම තිබුනද එතැන එක අඩුවක් ඇත. ඒ සතුටයි. කොතරම් පහසුකම් තිබුනද සතුට කියන දේ ඔවුන් ලඟ නැත. එය රජයටවත්, වැඩිහිටි නිවාස වල පාළකයන්ට වත්, දානය ලබා දෙන අපිට වත් ලබාදිය නොහැක්කකි. එය ලබා දිය හැක්කේ ඔවුන්ගේ දූදරුවන්ටය. එහෙත් ඒ අමන දූදරුවන්ට එයට වෙලාවක් නැත්තා සේය. උන් උන්ගේ ලොක හදාගෙන දෙමාපියන් අමතක කර ඇත. 

මම කිසි විටෙක කිසිවෙකුටත් නරකක් වෙවා යයි ප්‍රාර්ථනා නොකරමි. එහෙත් මේ මොහොතේ නම් එය වෙනස්ය. මාගේ එකම ප්‍රාර්ථනය 'තම දෙමාපියන්ට සලකන්නේ නැති දරුවන්ට කිසි දාක හොඳක් නොවේවා, ඔවුන්ට ශාප වේවා' යන්නයි.

ඉතා වටිනා පින්කමකට සහභාගී වුවද මා නැවත පැමිණියේ හිතේ විශාල බරක් හිර කරගෙනය.


ප.ලි. දානය තිබුනෙ ඊයෙ. ඒත් මට ඊයෙ ලියල ඉවර කරගන්න බැරි වුනා. දැන් තමයි ඉවර කළේ.

Monday, April 4, 2011

ජීවිතේ සුන්දරද මෙතරම්

ගොඩක් දවසකින් තමයි මේ පෝස්ට් එකක් දාන්නෙ. විභාගයකට පාඩම් කලා. බාගයක් ඉවරයි, ඉතුරු බාගෙ අවුරුද්දෙන් පස්සෙ තියෙන්නෙ. අනිත් අයගෙ පෝස්ට් කියව කියව තමයි හිටියෙ. දාන්නෙ මොකක්ද කියල හිතනකොට මට කල්පනා වුනා ලස්සන සිද්දියක්. මම කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙ ඉන්නකොට දැකපු සීන් එකක්. ඒක මට ගොඩක් හිතට වැදුන දෙයක්. හරි දැන් නමස්කාරෙ කිව්ව ඇති කතාවට එමුකො.

ලෙක්චර් එකක් නැති වෙලාවක මම ගියා කැන්ටීන් එක පැත්තෙ තේකක් බොන්න. කන්නත් මොනවද අරගෙන (ගත්තෙ මොනවද කියල හරියට මතක නෑ) තේ එකකුත් අරගෙන මම මේසෙක වාඩි වුනා. ගත්ත එක කන්න හදනකොටම මට ලස්සන දර්ශනයක් මීටර් වුනා. මගේ මේසෙට මේස දෙකක් ඉස්සරහ මේසෙ ලස්සන කුරුලු ජෝඩුවක් තේ බොනවා.


  කුරුලු ජෝඩුවක් කිව්වට බය වෙන්න එපා, කොල්ලෙකුයි කෙල්ලෙකුයි. උන් දෙන්නගෙ හෙනම කිචි කිචිය. හිනා වෙනව හුරතල් වෙනව එතන එක විකාරයයි. කරුමෙ කියන්නෙ මට ඉතින් ඔය වගේ දෙයක් නම් සිටිස් ගාල මීටර් වෙනවා. මම දැන් ඉතින් කන ගමන් ඔය පැත්තට ඇහැ දාගෙන ඉන්නෙ. කොල්ල නම් තේක බීල ඉවර කලා. කෙල්ල නම් කොල්ලගෙ උරේට ඔලුව තියාගෙන තේක කනව. කෙල්ලගෙ කොන්ඩ රැල්ලක් මූනට වැටිල. ඒපාර කොල්ල එකත් එක්ක සෙල්ලම් කරනව. අර පූස් පැටියෙක්ට නූල් කෑල්ලක් ලැබුනම ඌ සෙල්ලම් කරන්නෙ, අන්න ඒ වගේ සීන් එකක් තමයි මට එක පාරට මතක් වුනේ.

කොහොම හරි කෙල්ලත් තේක කාල ඉවර කලා. දැන් මුන් දෙන්නගෙ ආයෙත් කිචි කිචිය. මට අහන්නත් හිතුන මොනවද දෙයියනේ ඔච්චර කතා කරන්න තියෙන්නෙ කියල. ඇයි යකෝ මුන්ගෙ කටවල් රිදෙන්නෙ නැද්ද? හිනාවෙනව, විරිත්තනව, ඔරවනව, බොරුවට තරහ වෙනව, ආයෙත් හිනා වෙනව, එතන නිකන් පෙර පාසලක් වගේ. එක පාරක් අර කෙල්ල කොල්ලගෙ උරහිසත් හැපුව. මමත් හපන්න කවුරු හරි හෙව්ව, වෙලාවට ලඟ පාත කවුරුවත් හිටියෙ නෑ. මම අතේ තිබුන තේ කෝප්පෙ හපාගෙන හිටිය. ඒපාර කොල්ල කෙල්ල දිහා හැරිල මේසෙ උඩ ඔලුව තියා ගත්ත. දැන් කෙල්ල කොල්ලගෙ ඔලුව අත ගානව. මට අර සිරසෙ ගිය 'දෙදාහක් ආදරෙන්' කතාවෙ සිංදුව මතක් උනා.

ඔබ මගේ වෙලා...
මගෙ ලඟට වෙලා...
නිවාඩු පාඩුවේ කියන්න
ආදරේ කියා...


ඒත් මුන්ගෙ කතාව නම් නවතින්නෙ නෑ. මගේ දකුණු පැත්තෙ මේසෙ හිටපු කෙල්ලො ටිකටත් දැන් තේරිලා මම කන්න වගේ අර දෙන්න දිහා බලගෙන ඉනනව කියල. උන් මගේ දිහා බලගෙන ඉන්නවා. මම ඉතින් වැරදි දෙයක් දිහා නෙමෙයිනෙ බලාගෙන ඉන්නෙ, උන්ට ඕන කුදයක් ගහ ගන්න කියල මම බලාගෙනම හිටිය.

ඒ පාර කෙල්ල බත් එකක් එලියට ගත්ත බෑග් එකෙන්. මම හිතන්නෙ තේ බීල ඩෙසර්ට් එකට කන්න වෙන්න ඇති. කොල්ලත් ඔලුව උස්සල දෙන්නත් එක්ක බත් එක කන්න පටන් ගත්ත. කෙල්ල පළවෙනිම කට කැව්වෙ කොල්ලට. ඒපාර කොල්ලත් කටක් අනල කෙල්ලට කැව්ව. දැන් වැඩේ දිගට යනව. කෙල්ල කොල්ලට කවනව, කොල්ල කෙල්ලට කවනව, මම උන් දෙන්න කන දිහා බලාගෙන ඉන්නව. දැන් මෙතන අමුතුම තරඟයක්. කෙල්ල බලන්නෙ කොල්ල තමන්ට කවන බත් කටට වඩා රස කටක් කොල්ලට කවන්න, කොල්ල බලන්නෙ කෙල්ල තමන්ට කවනවට වඩා රසට කෙල්ලට කවන්න. දැන් හෙනම ගේම, දෙන්න දැන් තරඟෙට එළවලු දාල අනනව. මට පේනව දැන් එළවලු ටික සිටි පිටි ගාල ඉවර වෙනව. ඔය කැම්පස් එක ලඟ කඩ වලින් කෑම ගත්තම හරි අමාරුවෙන් එලවලු ටික පිරිමහගන්නෙ. එහෙම එකේ ඔහොම කවන්න ගියොත් හොඳට තියේවි. මට තෙරුනා වෙන්න යන විනාසෙ. දැන් ඔන්න එක පාරටම වැඩේ නැවතුනා. මම ටිකක් ඉස්සිල බැලුව මොකද කියල. වැඩේ හරි මම කිව්වෙ, එළවලු ඉවර වෙලා. තව බත් එකෙන් බාගයක් විතර තියනවා. දැන් දෙන්න මූනට මූන බලගෙන හිනා වෙනව. දෙන්නටම හිනා වුන වැඩේට. පැත්තක හිටපු මටත් හිනා. ඒපාර දෙන්නත් එක්ක බත් ඇට ඇහිඳ ඇහිඳ කන්න පටන් ගත්ත. ගොන් කමනෙ ඉතින්, පිස්සුවෙන් වගේ එළවලු ටික කාල ඉවර වෙලා දැන් නිකන් බත් කනව.

ඒ ජීවිත කොයි තරම් නම් ලස්සනද කියල මට හිතුන. මම හිතනව ඒ පිටින් පෙනුන ලස්සන ඒ විදියටම ඇතුලතිනුත් ඇති කියල. මම ප්‍රාර්ථනා කලේ ඒ සතුට හැමදම උන් දෙන්න ලඟ තියෙන්න කියල. ඒ දෙන්න එකට ඉඳිද්දි ලෝකෙ පෙරලුනත් උන් දන්නෙ නෑ. එහෙම තමයි වෙන්නත් ඕන. එතකොට මොන ප්‍රශ්නෙ ආවත් ඒ දෙන්න එකට ඉන්නකල් සතුටින් ඉන්න පුලුවන්නෙ.




ඔන්න වැඩේ දෙල් වුනා. කොල්ලට තේරුනා මම උන් දෙන්න දිහා බලාගෙන ඉන්නව කියල. ඊට පස්සෙ කෙල්ලයි කොල්ලයි දෙන්නම මගේ දිහා දෙතුන් පාරක් බැලුව. අනේ ඉතින් මම වැරදි දෙයක් දිහා නෙමෙයිනෙ බලන් හිටියෙ. ඒ වුනට ඉතින් මම තවත් එතන ඉන්න එක උන්ගෙ නිදහසට බාධාවක් කියල මට තෙරුනා. ඇයි ඉතින් දැන් මම බලාගෙන ඉන්නෙ කියල දන්නවනෙ. සුනිල් එදිරිසිංහ මහත්තයගෙ සිංදුවක් කියාගෙන හිත හදාගෙන මම නැගිටල එන්න ආව.

හිඳීවි කොතැනක හෝ....
හිමිකාරයා උපන් නුඹේ නමින්,
වඩීවි කෙදිනක හෝ...
ඒ එනතුරා... හිත හදාගෙන ඉඳින්


ප.ලි. අර ඉතුරු බත් ටිකට මොකද කලේ කියල බලාගන්න බැරි වුනානෙ.