rss
twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Wednesday, September 19, 2012

කල්පනා (අවසාන කොටස)

අම්මියෝ කස්ටියට මාව මතකද මන්ද.:/ අමාරුවෙන් හරි මතක් කරගන්න ඉතින්...:D ඔන්න දැන් නම් ඉතින් කැම්පස් වැඩ ඉවරයි. විභාගත් ඉවර වෙලා ප්‍රතිඵලත් ඇවිත් තියෙන්නේ දැන්. ඒකත් යන්තං ඉවරයි. දැන් කොල්ල රස්සාවකුත් කරනවා. හැබැයි ඒ ගැන කතා නොකර ඉමු. මට දැන් සංසාරෙම එපා වෙලා තියෙන්නේ. තනි මිනිහෙක් පැය 8ක් 9ක් කොහොමද කියන්නකෝ පුටුවක වාඩි වෙලා ඉන්නේ.:D දවල් වරුවම හොස්ටල් එකට වෙලා නිදාගෙන හිටපු අපි රස්සා කරන්න ගියාම ඔහොම වෙනවා ඉතින්. බලමුකෝ කල් යනකොට හරි යාවිද කියලා. ඒ අතරේ ඉතින් ඔන්න ලොකූ වෙනසකුත් වුනා කොල්ලගේ ජීවිතේ. සමහරු දන්නවා, කොල්ල තනිකඩ ජීවිතේට තිත තිබ්බා. මධුරංගයෝ ඔන්න මම දැන් අර සින්දුව කියන්න එන්නේ නෑ.:v මගේ කෙලි පොඩ්ඩ නිසා ඉතින් මම ඔලුව උස්සගෙන ඉන්නවා. නැත්තන් මෙලහකට මොනව වෙයිද කියල හිතාගන්න බෑ. මැනගන්න බැරි තරම් ආදරයක් වගේම ලොකු ශක්තියකුත් එයාගෙන් මට ලැබෙනවා. මං ගැන හැමතිස්සෙම හොයල බලන්න, මාව බලාගන්න කෙනෙක් ඉන්න නිසා ජීවිතේ හරි ලස්සනයි දැන්.

කතාව අන්තිමට ලිව්වේ කවදද කියල මටත් මතක නෑ. මේ ලෝකේ වැඩක් නැතුව දැන් සති ගානක් තිස්සේ නිකන් හිටියා. ඒත් මේක ලියන්න බැරි වුනා නේ. දැන් නම් රස්සාවත් එක්ක බ්ලොග් එක ලියනවා කියන්නේ හීනයක්‌ වගේ. බ්ලොග් එක ජීවිතෙන් ඈත් වෙලාම ගිහින්. බොහොම අමාරුවෙන් මේ වෙලාව හොයා ගත්තේ. හරි දැන් අපි යුගයේ දියාරුම ආදර කතාවට එමුකො. මුල් කොටස් බලනවා නම් මෙතනින් යන්න. 

කල්පනා (IV කොටස) 
කල්පනා (V කොටස) 
.................................................................................................................................................................

මම කලින් කොටසේ කියපු විදියට මම කල්පනා ගැන අදහස අතෑරියට පස්සෙ එයා මාත් එක්ක හැමතිස්සෙම වගේ චැට් කරන්න ගත්තා. මම ඉතින් සීලෙ බිඳ ගන්නෙ නැතුව බොහොම පරිස්සමින් කතා කළා. එන්න එන්න චැට් කිරිල්ල වැඩි වුනා මිසක් අඩුවක් නම් වුනෙ නෑ. එයා මගේ ලඟින්ම ඉන්න උත්සහ කළා. මම චැට් එක නවත්තල යන්න හදනකොට 'ඇයි කසුන් යන්නෙ, මාත් එක්ක කතා කරන්න දැන් කැමති නැද්ද?' කියලා අහපු දවස්නුත් තිබුනා.

එයා මට ලං වෙන්න උත්සහ කරනවා කියන එක හොඳටම තෙරුනා මට. එයා ගැන අදහස සම්පූර්ණයෙන්ම අතෑරල තිබුන නිසා මම ඒ කිසි දෙයක් ගැන හිතුවෙ නෑ. එයාට මාව ඕනම නම් කියාවි නෙ කියල මම හිටියා.B-) ඔහොම කාලයක් ගත වුනා. ඊට පස්සෙ චැට් කිරිල්ල පොඩ්ඩක් විතර අඩු වුනා. මම ඉතින් ඒ ගැන හිතන්න, හොයන්න ගියෙ නෑ. මම වෙනද වගේම මගේ පාඩුවේ හිටියා. ආයෙත් ටික කාලෙකින් චැට් කිරිල්ල ආයෙත් වැඩි වුනා. ආයෙත් වෙනද වගේම දුටු තැන කතා කරන්න ගත්තා. ඊට පස්සෙ අමුතු අමුතු කතා ගොඩක් කිව්වා. "මම දැන් ඉස්සර වගෙ නෙමෙයි කසුන්, මම දැන් ගොඩක් වෙනස් වෙලා.", "මගේ වැරදි දැන් මට තේරෙනවා." ඔය වගේ කතා ගොඩයි. තව දවසක් මොකක් හරි කතා කර කර ඉන්නකොට කිව්වා "මිනිස්සුන්ට දෙයක් නැති වුනාම තමයි ඒකෙ වටිනාකම තේරෙන්නෙ" කියලා. හෙහ් අපි සැලෙයි ඕවට.:)

ඔහොම ඉන්න අතරේ අපේ එකෙක් මගේ හච් සිම් එක ඉල්ලුවා. "ඌ කිසිම හිතක් පපුවක් නැති විදියට කිව්වා "තෝ ඔය සිම් දෙක පාවිච්චි කරන්නෙ නැත්තන් මට දීපන්" කියලා.:( ඇත්තට ඉතින් මට ඒක වැඩකුත් නෑ නෙ දැන්. මම කිව්වා දෙන්නම් කියලා. දැන් වැඩේ තියෙන්නේ කල්පනාට දීපු සිම් එක තාම එයා ලඟ. ඒක දීපු දවසේමනේ වැඩේ ඥාව් උනේ. ඒක ඉතින් දැන් ඉල්ලන්න වෙනවා. කල්පනා ආයෙත් කතා කරපු වෙලාවක මම කිව්වා යලුවෙක් සිම් එක ඉල්ලුව, එවන්න පුලුවන්ද කියල. එයා ඇහුවා කොහොමද එවන්නෙ කියලා. මම කිව්ව තැපැල් කරන්න කියලා. එයා කිව්වා හා කියලා. හැබැයි ඔන්න ඊට පස්සෙ චැට් එක අවුල්. ඊට පස්සෙ අවුලෙන් වගේ කතා කලේ. එදා වැඩිය කතා නැතුව ඉක්මනටම චැට් එකෙනුත් ගියා. ඊට පස්සෙ ටික දවසක් යනකල් එහෙමයි. චැට් කරන එකත් අඩු වුනා.

ඔහොම ටික දවසක් ඉඳල එයා මාව නන්නත්තාර වෙන කතාවක් කිව්වා. එයාට මාව හම්බවෙන්න ඕන කිව්වා. මාත් එක්ක කතා කරන්න ඕන කිව්වා. මම නිකන් විපරීත වෙලා ගියා. මම කිව්ව ඉතින් අපි දෙන්න කොහොමත් කතා කරනව නේ කියලා. එහෙම මදිලු හම්බවෙලා කතා කරන්න ඕනලු. ඉතින් දෙයියනේ ඔහොම කිව්වම බෑ කියන්නෙ කොහොමද? ;) නෑ ඇත්තටම කිසිම අරමුනක් නැතිව මම හා කිව්වා. එයා පන්ති යන දවසට හම්බවෙන්න එන්නම් කිව්වා. එයා පන්ති කට් කරලා එන්න හදුවේ, මම කිව්ව එහෙම එපා, පන්ති ඉවර වෙලා හම්බවෙමු කියලා. ඊට පස්සෙ ඉතින් තැනයි වෙලාවයි කන්ෆර්ම් කරගත්තා. ඊට පස්සෙ ආයෙත් මෙයා අහනව ඔයාට මාත් එක්ක කතා කරන්න මුකුත් නැද්ද කියලා. මම කිව්වා ඉතින් විෂේශ මුකුත් නෑ කියලා. ඊට පස්සෙ ආයෙත් අහනව මුකුත්ම නැද්ද කියලා. මම කිව්වා නෑ කියලා. එතකොට කියනව ඔයා එන්න කමති නැත්තන් ඕන නෑ කියලා. මම කිව්ව ඉතින් මට එහෙම ඕනකමක් නම් නෑ, එත් ඕන නම් මම එන්නම් කියලා. අනේ මන්ද මෙ කෙල්ලො නම්, එයාට ඔන වුනෙ කොහොමහරි අන්තිමට මේක මගේ වුවමනවට එන ගමනක් වගේ කරගන්න. එහෙම කරලා ආයෙත් පාරක් මට කියලා පරණ කතාවම කියවගන්න ඕන වෙන්න අත්තේ. හෙහ් අපි අහුවේ ඕවට.

කොහොමහරි ඔන්න හම්බවෙන්න යන දවස කිට්ටු වුනා. එන්න කියපු දවසට දවස් දෙකකට කලින් මෙයා කිව්වනෙ "මට එන්න වෙන්නේ නෑ කසුන්" කියලා. වෙන මුකුත්ම කිව්වෙ නෑ, හේතුවක් කිව්වෙත් නෑ. මම ඉතින් අහන්න ගියෙත් නෑ. එයාගෙ වුවමනවට නේ හම්බවෙන්න එන්න හැදුවේ, එයාට ඕන නැත්තන් මටත් ඕන නෑ කියලා. කොහොමහරි වැඩේ ඥාව්. හැබැයි මෙහෙම දෙයක් තියනව. මට කිසිම අරමුනක් තිබුනේ නැති වුනාට මම යන්න ආසාවෙන් හිටියේ. ගොනාට ඇන්දෙ නැති වුනාට ඒ පාරත් හිත නම් රිදුන හොඳටම. මොකද කියන්න නම් දන්නෙ නෑ. මම මෙන්න මේ පෝස්ට් එක ලියල තියෙන්නෙ ඒ ගැන තමයි. ඊට පස්සෙ ඒ ගැන එයා කතා කලේ වත් නෑ. මම ඇහුවෙත් නෑ. ඊට දවස් දෙක තුනකට පස්සේ සිම් එක එවලා තිබුන. මම මහිමයගෙ ඇඩ්‍රස් එක දුන්නෙ එවන්න කියලා. ඔය වගේ මර්ඩර් කේස් වලට පාවිච්චි කරන්නෙ ඕකගෙ ඇඩ්‍රස් එක තමයි.:v


ඔන්න ඔහොමයි ඒක ඇවිත් තිබුනේ. 

ඔන්න ඕක තමයි ඉතින් කෙටියෙන් කතාව. ඊට පස්සෙ චැට් කිරිල්ල ටිකක් අඩු වුනා. ඔය කාලෙ තමයි මම බ්ලොග් එකේ ෆේස්බුක් එකවුන්ට් එකට ඇබ්බැහි වුනේ. ඊට පස්සෙ ඉතින් මගේ ඇත්ත එකවුන්ට් එකට යන්නෙම නැති තරම් වුනා. ඒ නිසා චැට් කිරිල්ල නැවතිලාම ගියා. හැබැයි මම ඉඳල හිටලා ගිය වෙලාවට හරි දැක්කොත් එයා කතා කළා. දැන් නම් එයා හිත හදාගෙන ඇති. මේ ලඟදි දවසක මම ඒ එකවුන්ට එකට ගිය වෙලාවකත් එයා කතා කළා. මම පවුල් පන්සල් වුන කතාවත් කිව්වා.:) එයා මට විශ් කළා. මුකුත් වෙනසක් තිබුනෙත් නෑ. 

හැමදේම වෙන්නේ හොඳට කියලා කතාවක් තියනවා නේ. බලන් ගියාම ඒකත් ඇත්ත. එදා එහෙම වුනේ නැත්තන් අද මට මගේ කෙලි පොඩ්ඩව ලැබෙන්නේ නෑ නේ... වුන කිසි දෙයක් ගැන අද මට දුකක් නෑ. ඒ හැම දෙයින්ම මම ලොකු ලොකු පාඩම් ඉගෙන ගත්තා.  ඔන්න ඔහොමලු ඉතින් වුනේ.
 .................................................................................................................................................................

ප.ලි. මේකෙන් වැඩි හරියක් ලිව්වේ රස්සාවට ගිහින් දෙවනි දවසේ වැඩක් නැතුව බලාගෙන ඉන්න වෙලාවක.:) නෝට් පෑඩ් එකක් අරන් කෙටුවා. 

ප.ප.ලි. නිදි කිරා වැටි වැටි මේ ලියන්නේ.:/ මොනවා ලියනවද කියල මටත් ෂුවර් නෑ. අස්පට් වගේ නම් තරහ ගන්න එපා.          


 ඉවරායි......!

Friday, August 31, 2012

පමාවී පැමිණි වසන්තය





සුමුදු මුදු සඳ කිරණ
එළියයි වෙනදාට වැඩියෙන් අද
හමන මුදු මද පවන
සුවයයි ගෙනෙන්නේ ගතට
පිපිණු මල් වල සුවඳ
සුවඳයි වෙනදාටත් වැඩිය
කිමද මේ අරුමය 
වසන්තය උදාවීද මගේ ලොවට

පෙර කිසිදා නැති ලෙසට
හැඩ වෙලා මගේ ලොව
මේ නම් වසන්තයමැයි
උදා වූයේ මගෙ ලොවට

වසන්තය ඔබ,
පමා වූවා හොඳටම
එන්නට තිබුනේ
බොහෝ කලකට පෙර
කටුක ගිම්හානය 
රිදෙව්වා මා හොඳටම

එපා  කිසිදා 
හැරයන්නට මගේ ලොව
සොඳුරු වසන්තයේ 
සැනසෙන්නට ඉඩ දෙන්න
පොරොන්දුවක් වෙන්න
හැමදාටම ඔබ මට..
හැමදාමත් මේ ලෙසට 
මගේ ලොව ඉන්නා බවට



Wednesday, July 18, 2012

අද හොඳම දවස


 විඩාබර දෙනෙත් මත
සිහිනයක් තවරන්න,
ගිලන් වූ මේ කයට
සැනසුමක් ලැබ දෙන්න,
ඉඩක් ඇත්නම් ඔබට
බිඳක් මා වෙත එන්න,
හොඳම දවස අද
එන්න හැකිනම් ඔබට.

තුරුලට ගෙන මා
හිස පිරිමදින්නට,
සුන්දරම සිහිනයක 
මාව සතපවන්නට,
දහසකුත් වේදනා
ඇසිල්ලක පහව යන්නට,
හොඳම දවස අද
එන්න  හැකිනම් ඔබට.

රාත්‍රිය තව දිගයි
තවම මග බලමි මම
හොඳම දවස අද 
කියන්න, එනවාද ඔබ...


පැයකටත් වැඩිය ඇඳේ පෙරලි පෙරලි ඉඳලා, බැරිම තැන දමල ගහල නැගිටලා, වෙන කරන්නම දෙයක් නැති නිසා නිදි දෙව්දුවට කවියක් ලිව්වා. මේක දැකලවත් නිදි දෙව්දුව ආවොත්... නිදි දෙව්දුව මගේ බ්ලොග් එක කියවනවද මන්ද..:/ ඇයි යකෝ ලෙඩා දුකා වෙච්චි මට මෙහෙම කරන්න වටිනවද නිදි දෙව්දුවට...??

Monday, July 16, 2012

කල්පනා ( V කොටස)

අම්මියෝ යාන්තන් අර විභාග කියන ජාතිය ඉවර වුනා. පස්සට ගිහින් ගිහින් අන්තිමට කොහොමහරි ඔන්න තිබුන. අපිත් ඉතින් ගිහින් ලියල ආව. තව චුට්ටෙන් ලේක්චර්සලා ගේ ස්ට්‍රයික් එකත් සෙට් වෙනවා. නූලෙන් විභාගේ ඉවර වුනේ ඊට කලින්. විභාග ඉවරායි කියල වැඩ නම් ඉවර නෑ මේ මාසේ ඉවර වෙනකල්ම එක එක සබ්මිෂන් තියනවා. ඒ අතරේ පොඩි ඉඩක් ලැබුන නිසා මේකේ තව කෑල්ලක් ලියන්න කියල හිතුනේ. හෆොයි දැන් නම් කියවපු අයට කතාව මතකත් නැතුව ඇති. අනේ ඔන්න අමාරුවෙන් හරි මතක් කරගන්න හොඳේ. කලින් කොටස් කියවනවා නම් මෙන්න පාර.

......................................................................................................................................................................

කලින් කොටසේ කියපු විදියට, දහසක් බලාපොරොත්තු තියාගෙන කල්පනාව මුණගැහෙන්න ගිය පළවෙනි දවසම අන්තිමට හිත් වේදනාවක් විතරක් ඉතුරු කරලා ගෙවිලා ගියා. එදා රෑ ගුඩ් නයිට් මැසේජ් එකවත් නැතුව නිදාගන්න ගියා. පහුවෙනිදා ඇහැරුණ ගමන්ම මම බැලුවේ මැසේජ් ඇවිත් තියේද කියලා, මැසේජ් නෑ...! කලින් දවසේ වෙච්ච ඔක්කොම මට එකින් එක මතක් වෙන්න ගත්තා. මම ටිකක් වෙලා බලාගෙන හිටියා මැසේජ් එකක් ඒවිද කියලා. ඒත් නැති නිසා මම හිත හදාගෙන එයාට මැසේජ් එකක් දැම්මා. ගුඩ් මෝනින් කියලා මම ඇහුවා ඊයේ මොකද වුනේ කියලා. ඒත් රිප්ලයි නෑ. ටිකක් වෙලා ඉඳලා මම ආයෙත් මැසේජ් එකක් දැම්මා. ඒත් සද්දයක් නෑ. ඊට පස්සෙ මම අයෙත් මැසේජ් එකක් දැම්ම ''ඔයාට මොකද්ද වෙලා තියෙන්නෙ? ඇයි කතා කරන්නෙ නැත්තේ?'' කියලා. ඔන්න ඊට පස්සේ රිප්ලයි එකක් අවා. ඊට හොඳයි ඒ රිප්ලයි එක නෑවිත්ම තිබුනා නම්.

''කසුන් අපි මේ සම්බන්දෙ නවත්තමු.''

මම ඒ දකින්නේ හීනයක් කියලා මොහොතකට හිතුනත් ඒක එහෙම නෙමෙයි තේරුනා. මට විනාඩි ගානක් යනකල් මුකුත් හිතාගන්න බැරුව බලාගෙන හිටිය මතකයි. ඊළඟට වෙන්නේ මොකක්ද, මම කරන්න ඕන මොකක්ද, මට මේ මුකුත් හිතා ගන්න බෑ. ඊට පස්සෙ මම අත් දෙක වෙව්ල වෙව්ල මැසේජ් එකක් දැම්ම, ''ඇයි එහෙම කියන්නෙ, මොකද එක පාරට වුනේ?" කියලා. ඊට පස්සෙ ආයෙත් අර පරණ කතා ටිකම තමයි කිව්වේ. ගෙදරින් කැමති නෑ, ගෙදරට හොරෙන් තවත් මේක කරන්න කැමති නෑ, ඔය වගේ කතා ගොඩක් කිව්වා. මට දැන් පිස්සුව වගේ. මම කියන්න පුලුවන් හැමදේම කිව්වා, එයාගෙ හිත වෙනස් කරන්න ගොඩක් උත්සහ ගත්ත, ඒත් එයා ඒ කිසි දෙයක් ගානකට වත් ගත්තෙ නෑ. එද දවසෙම එක දිගටම මම පුදුම උත්සහයක් ගත්තේ එයාගෙ හිත වෙනස් කරන්න. ඒත් කිසිම වැඩක් වුනේ නෑ. මම කියන දේවල් ගැන හිතල බලන්න වත් එයාට උවමනාවක් තිබුනේ නෑ. මම ඇහුවා එයාට කෝල් එකක් ගන්නද කියල, එයා එපා කිව්වා. කෝල් කලාට මුකුත් වෙනස් වෙන්නේ නෑ කිව්වා. ඒත් මම එයාට කෝල් එකක් ගත්තා, ආන්සර් කලෙ නෑ.

මම පස්සෙ ඇහුව ඊයෙ මැසෙජ් කරන්න පරක්කු වුන නිසාද මේ කියලා. එහෙම එකක් නෙමෙයිලු. ඊයෙ හච් සිම් එක දුන්නට පස්සෙලු එහෙම හිතුනෙ. එයා මෙච්චර දවස් මැසෙජ් කලෙත් ගෙදරට හොරෙන්ලු, දැන් සිම් එකත් ලැබුනට පස්සෙ ගෙදරට හොරෙන් හැමතිස්සෙම කතා කරන්නත් වෙනවලු, ගෙදරින් අකමති දෙයක් එහෙම හොරෙන් කරන්න එයා කැමති නැතිලු. ඒ නිසා ඒ වෙලාවෙම තීරනය කලාලු මේක නවත්තනව කියලා. ඔය විදියට දවස් දෙකක්ම ගෙවිලා ගියා. කියන්න පුළුවන් හැම විදියටම කිව්වා, වැඩක් වුනේ නෑ. මම ජීවිතේට කාටවත් එච්චර බලු වෙලා නැතුව ඇති. අවුරුදු දෙකක් තිබිල නැති වුන පළවෙනි ආදරේ වෙනුවෙන් වත් මම එච්චර චාටර් වෙන්න නැතුව ඇති. කොහොමහරි සති අන්තෙත් ගෙවිල මම ආයෙත් කැම්පස් ආව. ඊට පස්සේ ඔෆිස් ගිහිල්ලත් දවස් ගානක් යනකල් අනිත් උන් එක්ක හරියට හිනාවෙලා ඉන්නවත් බැරි වුනා. අර මගේ ඩිවිෂන් එකේ හිටපු කෙල්ල පස්සේ කිව්වා ඒ දවස් ටිකේ ඒකි හරිම අමාරුවෙන් එතන හිටියේ කියලා. ඒ අස්සේ අපි බාරව හිටපු මිස්ගෙත් ලව් කේස් එකක් නිසා ඒ මිසුත් හෙන අප්සට් එකේ හිටියේ ඒ දවස් වල. අරකි කියනවා ඒ දවස්වල නිකන් මලගේක ඉන්නවා වගේලු හිටියේ.:D

බාහිරට පේන වේදනාව අඩු වුනත් හිත ඇතුලේ තියන වේදනාව එහෙමමයි කියලා මට තේරුනා. ඊළඟ සති අන්තෙත් මම ගෙදර ගියා. හිතේ දුකක් තියන වෙලාවට මම ඉන්න වැඩිපුරම ගමේ යාළුවො සෙට් එකත් එක්ක. එතකො‍ට ඒ වෙලාවට හරි දුක නැතුව යනවා. කොහොමහරි මේ වැඩේ හරියන්නේ නැති නිසා දරුණු තීරණයක් ගත්තා. ඒ අපේ O/L විද්‍යාව සර්ව හම්බවෙන්න යන්න. ඒ සර් මනෝවිද්‍යා උපදේශක කෙනෙක්. ඒ නිසා මොකක් හරි දරුණු ප්‍රශ්නයක් වුනාම අපි උස්සගෙන දුවන්නේ ඒ සර් ළඟට. කොහොමද අවුරුදු පහකට විතර කලින් උගන්නපු සර්ට ආදර ප්‍රශ්නයක් ගැන කියනකොට තියන ආතල් එක? :D හැබැයි අපේ එකෙකුත් ඔය වගේ ප්‍රශ්නෙකට ඒ සර්ගෙන් උපදෙස් අරන් තිබුනා. කොහොමහරි සර්ට මුළු කතාවම කිව්ව. සර් කතාව අහගෙන ඉඳල කිව්වේ මේ සිද්ධියේ හැටියට හොඳම දේ මට මේක අමතක කරලා මගේ හිත හදාගන්න එක කියලා. සර් කිව්වෙත් එයාට මේ සම්බන්දෙ කරගෙන යන්න කිසිම උවමනාවක් නෑ, ඒ නිසා මම මොනවා කලත් වැඩක් නැති වේවි කියලා. සර් ගොඩක් උපදෙස් දුන්නා කරන්න කියලා.

ඒ වෙනකොටත් මම ගුඩ් මෝනින්, ගුඩ් නයිට් මැසේජ් පවා යැව්වා එයාට. ඒවාට රිප්ලයිත් ලැබුනා. ඒ කාලෙත් මම එයාට ආයෙත් තේරුම් කරලා දීල අදහස වෙනස් කරන්න ගොඩක් උත්සහ කළා. ඒත් ඒ කිසි දේකින් වැඩක් වුනේ නෑ. හැබැයි එක දෙයක් මට හොඳට තේරුනා, අපි දෙන්න අතරේ සම්බන්දෙ නැවැත්තුවට එයාට මගෙන් ඈත් වෙන්න වුවමනාවක් තිබුනේ නෑ. ඒ දවස් වලත් හැමදාම හවසට ඔෆිස් ඉවර වෙලා ඇවිත් ලැබ් එකට රිංගනවා. ගොඩක් දවස් වලට එයා ඔන්ලයින් හිටියා, ඒ හැමදාම වගේ අපි චැට් කළා. මම චැට් නොකලත් එයා හරි චැට් එක පටන් ගත්තා. අපේ සම්බන්දෙ නැවත්තුවට එයා හිටිගමන් අමුතු කතා කියනවා.ඒ කියන්නේ ඉතින් සම්බන්දෙ නැවත්තුව කිව්වට ඒක නිකන් හරියටම නැවතිලා නෑ වගේ. ඔහොම උනාම ඉතින් කොල්ල විකාර වෙනවා. ඒ වෙලාවට ඉතින් මම ආයෙත් වචනේ දාල බලනවා.:) ම්හු... වැඩක් නෑ, ඊට පස්සේ එයා හැසිරෙන්නේ මුකුත් වුනේ නෑ වගේ. 


 
කෙල්ලන්ට කොල්ලන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න කොච්චර ලොකු හැකියාවක් තියනවද කියලා මට ඒක ගැන පස්සේ කල්පනා කළාම හිතුනා.

මට  හරියට දින වකවානු මතක නෑ, කොහොමහරි සතියක් හරි දෙකක් හරි මම ගොනාට ඇඳ ඇඳ හිටියා. පොඩි පොඩි සිද්දි ගොඩක් තියනවා ඒවා වැඩක් නෑ වගේ. දැන් මේක ලියන්න පටන් අරන් මාස ගානක් වෙනවා නේ. කොහොමහරි මම වැඩේ හරියන්නේ නැති නිසා ආයෙත් ගියා විද්‍යාව සර්ව මුණගැහෙන්න. ඒ පාර නම් දොඹ හැලෙන්න අහගත්තා.:/ කලින් මුකුත් කිව්වේ නැත්තේ අප්සට් එකේ හිටිය නිසා කිව්වා. සතෙකුට වගේම නැතත් ඊට කිට්ටු වෙන්න බැන්න.:D බැනල බැනල කිව්වා එක පාරක් හරියට කතා කරලා දෙකෙන් එකක් බේරගන්න කියලා. ඒත් උත්තරේ නෑ නම් ආයෙත් ගුඩ් මෝනින් මැසේජ්, ගුඩ් නයිට් මැසේජ්, නිකන් මැසේජ් මුකුත් බෑ කිව්වා. උගුඩුවා වගේ අහගෙන හිටියට ආයෙත් ආවේ ඒක කරන්න පුලුවන්ද බැරිද කියන දෙගිඩියාවෙන්. ඇවිත් මම දවස් දෙක තුනක් ශේප් එකේ ආයෙත් වචනේ දාල බැලුව. වෙනසක් නෑ.

අන්තිමට කොල්ල බොහොම අමාරුවෙන් තීරණයක් ගත්ත. ටෙනින් ප්ලේස් එකේහිටපු කෙල්ලෝ දෙන්නගෙනුත් ඒකට ලොකු හයියක් ලැබුනා. විශේෂයෙන්ම මගේ සෙක්ෂන් එකේ හිටපු කෙල්ල. 'ඕනවට වඩා කෙල්ලෙක්ට ඔහොම සකන්ඩ් වෙන්න එපා' කිව්වා. ආයෙත් ඉතින් තවත් මොනවද.:) මම ඒ වෙලේම මැසේජ් එකක් දැම්මා හවස ඔන්ලයින් එන්න කියලා. ඊට පස්සේ රා කළ 16ක් බීපු කොටියෙක් වගේ මම හවස ලැබ් එකට ගියේ. යනකොට එයා ඔන්ලයින් හිටියා. මූඩ් ඒක බහින්න කලින් මම ටක් ගාල කතාව පටන් ගත්තා. මට හරියට මතක නම් නෑ, කොහොමහරි මම කිව්වා, "මට තව දුරටත් මෙහෙම ඉන්න එකෙන් හිත රිදෙන විතරයි, මට හරියටම වචනයක් කියන්න කියලා." එයා කිව්වා "මට ඒක තේරෙනවා" කියලා. හෑ?? එතකොට දැන දැනමයි එහෙම කරලා තියෙන්නේ. ඊට පස්සේ මම කිව්වා "මට මේ මොහොතේම හරියට වචනයක් කියන්න" කියලා. ඊට පස්සේ දැන් ඔන්න ඇඹරෙනවා, කියන්නේ නෑ හරියට. මම ඉතින් අර මූඩ් එක නැති වෙන්න දෙන්නේ නැතුව බොහොම අමාරුවෙන් හිටියා. බැරිම තැන මම ඇහුවා "ආයෙත් අපේ සම්බන්දෙ පටන් ගන්න පුලුවන්ද බැරිද?" කියල. ඔන්න එතකොට කිව්වා යාන්තන් වචනේ.

"බැහැ කසුන්...."

හරිනේ, ඕක අහගන්න නේ දැඟලුවේ. මට ඒ වෙලාවේ දැනුන දේවල් නම් විස්තර කරන්න තේරෙන්නේ නෑ. මට වැටෙන්න දෙයක් තිබුනේ නෑ තවත්, අන්තිමටම වැටිලා හිටියේ. ඒ නිසා ලොකු දුකක් ආවේ නෑ. ඒ වෙනුවට මම ආයෙත් මේ වෙනුවෙන් දුක් වෙන්නේ නෑ කියලා හිතට ලොකු හයියක් ආවා. මම එහෙනම යන්නම් කියලා බෝඩිමට ගියා. ආයෙත් මම ඒ ගැන හිතුවේ නෑ. ඕනෑම දේක සීමාවක් තියනවා නේ, එතනින් එහාට ගියාම නම් මට ආයෙත් ඒක ඕනම නෑ. ඊට පස්සේ ඉතින් මම විස්තරේ අපේ උන්ටයි සර්ටයි කිව්වා. සර් ආයෙත් බැන්නා මෙච්චර කල් ගත්තේ මොකද කියලා.:/ එදා රෑම ගුඩ් නයිට් මැසේජ් එක නැවැත්තුවා. උදේ ගුඩ් මෝනින් මැසේජ් එකත් නැවැත්තුවා. ඒ කියන්නේ කිසිම කන්ටෑක්ට් නැති උනා ඊට පස්සේ. දවස් දෙකක් විතර ඔහොම ගෙවුනා. මම ඇත්තටම යතා තත්ත්වයට පත්වේගෙන ආව. ඔන්න දවස් දෙකකට පස්සේ උදේ බස් එකට නැගලා වාඩි වෙලා ඉන්නකොට මැසේජ් එකක් ආව, කල්පනාගෙන්. 

"කසුන්, ඇයි දැන් ඔයා ගුඩ් මෝනින් මැසේජ් එකක් වත් ගුඩ් නයිට් මැසේජ් එකක් වත් එවන්නේ නැත්තේ? අපිට යාළුවො විදියට වත් ඉන්න බැරිද කසුන්? ඔයා දන්නේ නෑ මම හැමදාම ඔයාගෙන් ගුඩ් මෝනින් මැසේජ් එක එනකල් කොච්චර බලාගෙන ඉන්නවාද කියලා."

කාලා වරෙන්කො ඉතින්...! අර ඉතින් කොල්ල හදාගෙන හිටිය ඔක්කොම දේවල් ඉවරයි. වතුර එකකට වැටුන සෝඩියම් කෑල්ලක් වගේ කොල්ලගේ හිත දිය වෙලා ගියා. ඊට පස්සේ ඔය කතාව ඔහොම දිගට ගියා ටිකක් වෙලා. කොහොමහරි කොල්ල ඇන්ද ආයෙත් පාරක්. ඊට පස්සේ අපරාදේ කියන්න බෑ ආයෙත් ගුඩ් නයිට් ගුඩ් මෝනින් මැසේජ් පටන් ගත්තා. හැබැයි එහෙම කිව්වට මම යවනකල් එයා මැසේජ් එකක් එවන්නෙත් නෑ. මමම කලින් යවන්න ඕන. ටිකක් කල් යද්දී මට ආයෙත් තේරුනා මේ වැඩේ හරියන්නේ නෑ කියලා. විද්‍යාව සර් දැනගත්තා නම් පන්තිය ළඟ තියලා මට ගහන්නේ. ඒ පාර මම මුකුත් කියන්න ගියේ නෑ, සද්ද නැතුව මැසේජ් කරන එක නැවැත්තුවා. ඕනම නම් එයා එවාවි නේ කියලා මම හිතුවා. එයා මැසේජ් එව්වෙත් නෑ, ආයෙත් ඒ ගැන ඇහුවෙත් නෑ. ඊට පස්සේ ඒ වැඩේ එහෙමම නැවතුනා. ඒ පාර නම් මම කරදරයක් නැතුව හිත හදාගත්තා.:) 

මම ඊට පස්සේ ෆේස්බුක් එකේ වත් කතා කරන්න ගියේ නෑ, අමාරුවෙන් හදාගත්ත හිත ආයෙත් වෙනස් වෙන්න පුළුවන් නිසා. හැබැයි එයා නම් ඔන්ලයින් දැක්ක වෙලාවට කතා කරන්න ගත්තා. කතා කලාම කතා නොකර ඉන්න බෑ නේ, මම බොහොම පරෙස්සමින් යාලුවෙක් විදියට විතරක් කතා කළා. ඔය චැට් එක ඔහොමම දිගටම ගියා. මම හිතාගෙන හිටියේ කවදාවත් එයා චැට් එක පටන් ගත්තොත් මිසක් මම නම් චැට් කරන්න යන්නේ නෑ කියලා. ඔය සකන්ඩ් වුන ටික ඇතිනේ හොඳටම.:) එයා ඊට පස්සේ බොහොම ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කළේ. හැබැයි මම මගේ සීලේ බිඳ ගත්තේ නෑ ආයෙත්. කොහොමහරි මාව ඔන්ලයින් දුටු තැන කතා කරන ගනාට ආව එයා. මට හිතා ගන්න බැරි තාමත් ලං වෙන්න හදනකොට පුළුවන් තරම් ඈත් වෙලා, ඈත් වුනාම ඇයි ලං වෙන්න හදන්නේ කියලා. එයා හැබැයි කිව්වා අපි දෙන්න හැමදාටම යාළුවො කියලා. එහෙම කතා කළේ යාලු කමට වෙන්න ඇති කියලා හිතල මමත් හිටිය ඉතින්. 

එයා දවස් දෙකක්ම කිව්වා එයාව ඔන්ලයින් දැක්කොත් කතා නොකර යන්න එපා කියලා. කොල්ල ඉතින් ඒ පාර ලොවෙත් හිත ගල් කරන් හිටපු නිසා ඒවා ගැන වැඩිය හිතුවේ නෑ. කලින් වගේ නම් ආයෙත් අඳිනවා. මම දවස් දෙක තුනක් එයා දැකලා කතා කළා, කියලත් නොකර ඉන්න එක හරි නැති නිසා. ඊට පස්සේ ශේප් එකේ ආයෙත් දැක්කේ නෑ වගේ හිටියා. හැබැයි එයා නම් දකින හැම වෙලාවෙම කතා කළා. ඔය විදියට ඉතින් චැට් එක දිගටම කෙරීගෙන ගියා. ඇත්තටම එයා මොන දේ කලත් මට අද වෙනකල් වෛරයක් ඇති වෙලා නෑ. ඒ නිසා යාලුවෙක් විදියට මාත් කතා කළා. දැන් බොලා හිතන්නේ කතාව ඉවරයි කියලද?? නෑ, තව තියනවා...!
 .................................................................................................................................................................

ප. ලි.: අද නම් මෙලෝ රහක් නැතුව ඇති. උණ විකාරෙන් මේ ලිව්වේ.:D උණ හැදුනම නින්ද යන්නේ නැති නිසා මේක ලිව්වා.:)

ප. ප. ලි.: මගේ බ්ලොග් ඉතිහාසයේ පළවෙනි වතාවට ටික දෙනෙක් මගෙන් ඇහුව ඊළඟ කොටස දාන්නේ නැද්ද කියලා. මට පට්ට හැපිලු...:)   

Thursday, June 21, 2012

අඩුව




සීතම සීත සැඳෑ මදනල
පිසගෙන හමන මා ගත
කොඳුරන්නේ රහසක් මට
හෙමි හෙමින් රහසේම

හමන මුදු මද නල
හිරිගඩු පිපෙන සීතල
පෙළන්නේ  මා ගත
එපමණක් නොව සිතද

නිරුවත්  උඩුකයට 
දරණු බැහැ මේ සීතල
කිලිටි වූ කමිසයට
මඩිනු හැකිවෙද මේ දරුණු සීතල

ජීවිතේ තනිකම
මා වෙලාගත් පාළුව
හමන මේ සැඳෑ මද නල
කියාදෙන්නේ දෝ මට

නැති වෙන්නට මේ සීතල
තුරුළු වෙන්නට උණුසුමට
කෙනෙක් හිටියා නම් මට
මාත් බය නෑ මේ සීතලට 

:D :D :D :D :D :P 
.................................................................................................................................................................

හවසට ජනේලේ ලඟට වෙලා හීතල හුලං වැදි වැදි ඉන්නකොට හිතට ආපු කවියක් මේ....;) :D



Friday, June 15, 2012

බලා හිඳිමි මම

ඇයි ඔච්චර ආඩම්බර
එන්නකෝ මගේ ලඟට
බලන් ඉඳල බලන් ඉඳල
ඇති වෙලා මට දැන් හොඳටම

සති දෙකක් තිස්සේ ඉඳන්
බලාගෙන ඉන්නේ නුඹ ලඟට ගන්න
ඒත් ආඩම්බරකාර නුඹ
යන්නෙම තව ඈතට

දන්නේ නැහැ නුඹ තවම
කෙතරම් වටිනවාද නුඹ මට
මගේ හිත රිද්දන්නමද
යන්නේ තව තව ඈතට

දැන් නම් මට මල හොඳටම
ඉවරයක්‌ කරලා දාල මේ මගුල
ගෙදර යන්න ඉක්මනටම
දැන්වත් වරෙන් විභාගේ උඹ