twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, November 25, 2011

සැඳෑ අඳුරට මුසු වූ 'සරසවි ගී සිසිල'

කාලෙකින් ඔන්න බ්ලොගේ පැත්තේ ගොඩවුනා. පහුගිය දවස්‌ ටිකේ ෆලෝ කරපු බ්ලොග් ටික වත් කියවන්න වුනේ නෑ. පහුගිය දවස්‌ වල ලොකු වැඩකට හිර වෙලා හිටියේ. මේ මොහොත වෙනකොට නම් මම බොහොම සතුටෙන්, තෘප්තියකින්, ඒ වගේම අහිංසක ආඩම්බරයකින් ඉන්නේ. අපි බොහොම ආදරෙන්, කැපවීමෙන්, මහන්සියෙන් පටන් අරගෙන මාස 3ක් 4ක් තිස්සේ කරගෙන ගිය වැඩක් පෙරේදා බොහොම සාර්ථකව අවසන් වුනා. ඒ තමයි 17 වෙනි 'සරසවි ගී සිසිල'. ඔන්න ඕක නිසා තමයි පහුගිය දවස්‌ ටිකේ මේ පැත්තේ එන්න වුනෙත් නැත්තේ. මොරටුව කැම්පස් ආපු අය නම් හැමෝම වගේ මේ ගැන දන්නවා ඇති. නොවැම්බර් 24 දා මොරටුව කැම්පස් එකේ සුමනදාස මැද මිදුලේ තමයි 'සරසවි ගී සිසිල' පැවැත්වුනේ. මම මේ ගැන ලියන්නමයි බලාගෙන හිටියේ. කොහෙද ඉතින් පිණිබිඳු අක්ක මට කලින් ඒ ගැන ලියල නේ.:) මට හිතුන පිණිබිඳු අක්ක ඒවි කියල. මම බැලුව ඉන්නවද කියල, හොයාගන්න බැරි වුනා. ආහ් තව දෙයක්, මම මේ ලියන්නේ පම්පෝරියක් ගහන්න නෙමෙයි. මේක ලියන්නේ මගේ හිතේ තියන සතුටට සහ තෘප්තියට. සමහරවිට මේක කියවන අයට මේ කියන දේවල් වල වැඩක් නෑ කියල හිතෙයි. ඔන්න පස්සේ මට බැන බැන යන්න එපා හොඳද අපිට මොකටද මේව කියන්නේ කියල. මම පව්.:(


('ගොඩනැගිලි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය' කිව්වම නම් ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති. අපේ ශිෂ්‍ය සංගමයේ කලින් නම 'ප්‍රමාණ සමීක්ෂණ ශිෂ්‍ය සංගමය' (QSS). ඒත් ගිය අවුරුද්දේ අපේ ශිෂ්‍ය සංගමයේ නම 'ගොඩනැගිලි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය' නමින් වෙනස් වුනා.) අපේ දෙපාර්තමේන්තුවේ බැච් එකකට අවුරුදු හතරට කරන්න තියන වැඩ වලින් අන්තිම සහ වැදගත්ම වැඩේ තමයි 'සරසවි ගී සිසිල' සංවිධානය කරන එක. අපේ හදවතට එකඟව අපිට දැනෙන විදියට අනුව සහ බලපු අය කියපු විදියට අපි ඒක උපරිමයෙන්ම කළා. ඒ සතුට මෙච්චරයි කියල නම් කියල ඉවර කරන්න බෑ. අපි ඒ දේ හරියට කළා කියන තෘප්තිය හැමදාම අපේ හිත්වල තියේවි. අවුරුදු 17කට කලින් අපේ ජේෂ්ඨ කණ්ඩායමක් ආරම්භ කරපු මේ වැඩේ එදා ඉඳල හැම අවුරුද්දකම අපේ ජේෂ්ඨ ශිෂ්‍යයෝ බොහොම ආදරෙන් කරගෙන ආව. මේ පාර ඒක භාර වුනේ අපිට. ඒ කිව්වේ හැම අවුරුද්දකම ෆයිනල් ඉයර් බැච් එක තමයි ඒක කරන්නේ. ගිය අවුරුද්දේ ගී සිසිල ඉවර වුන වෙලාවේම අපි හිතා ගත්තා අපේ පාරත් අපි උපරිමයෙන්ම කරනවා කියල. ඉතින් මීට මාස 3කට විතර කලින් කළුතර බෝධීන් වහන්සේට බාරයක් වෙලාම ඒ වැඩේට මුල පිරුවා. ඊට පස්සේ මූලික වැඩ ටික සූදානම් කරගෙන පොඩ්ඩක් විතර ඒ වැඩ පරක්කු කරන්න වුනා රිසර්ච් එකේ වැඩ නිසා. හැබැයි අපේ සභාපතිතුමා නම් ඒ වැඩ අස්සෙත් එහෙ මෙහෙ දිව්වා අනුග්‍රාහකයො හොයන්න. ඊට පස්සේ මීට මාස එක හමාරක විතර ඉඳල තමයි ෆුල් ටයිම් වැඩ පටන් ගත්තේ.

මේ පාර ගායක ගායිකාවන් විදියට සහභාගී වුනේ වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, කරුණාරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන්. ඔය නම් ටික ඇහුණාම හිතාගන්න පුළුවන් නේ මොන විදියේ ප්‍රසංගයක්ද කියලා. දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය නම් හැම වතාවකම මේ ප්‍රසංගයට සහභාගී වෙලා තියනවා. ඒ වගේම වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි යන මහත්වරුත් බොහොමයක් ප්‍රසංග වලට සහභාගී වෙලා තියනවා. මේ ගායකයන්ගේ සින්දු ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. හැමදාම වගේ කථනයෙන් දායක වුනේ වසන්ත රෝහණ මහත්මයා, වාදනය සුසිල් අමරසිංහ ප්‍රමුඛ ගුවන් විදුලි වාදක මණ්ඩලය. වසන්ත රෝහණ මහත්මයාගේ දුව දැඩි ලෙස රෝගාතුර වෙලා ඉඳිද්දීත් තමයි එතුමා එදා ප්‍රසංගයට සහභාගී වුනේ. ඒ වගේම බොහොම සංවේගයෙන් මතක් කරන්න ඕන කෙනෙක් තමයි විජේරත්න රණතුංගයන්. ගී සිසිල ආරම්භයේ සිටම තබ්ලා වාදනයෙන් දායක වූ, ගිය වසර වෙනවිටත් බොහොම නිරෝගී සුවයෙන් සිටි එතුමා මේ වනවිට ජීවතුන් අතර නෑ.   



වැස්ස නම් අපිට ටිකක් කරදර කළා. අපිට විතරක් නෙමෙයි බලන්න ආපු අයටත් ඒකෙන් කරදර වුනා. කොහොමත් ගී සිසිල පැවැත්වෙන්නේ නොවැම්බර් දෙසැම්බර් මාස වල. ඒ කියන්නේ ඉතින් මෝසම් වැසි තදින්ම වැටෙන කාලයක් නේ. හැබැයි අපි දන්න ඉතිහාසයේ නම් කවදාවත් වැස්ස නිසා ගී සිසිලක් නවත්තන්න වෙලා නෑ. කළුතර බෝධීන් වහන්සේට බාර වෙලාම වැඩ පටන් ගන්න නිසා වෙන්න ඇති එහෙම කරදරයක් නොවෙන්නේ. ඒ වුනාට මේ පාර නම් අපි හොඳටම බය වුනා. දවල් ඉඳල අහස කළු කරලා තිබුනේ. හැමෝම වැඩ කලේ හොරෙන් උඩ බල බල. "නෑ නෑ අද වහින්නේ නෑ" කියල කවුරුත් කිව්වට හැමෝම හිත යටින් ලොකු බයකින් හිටියේ. කලින් දවසේ රෑත් අපේ කට්ටියක් ළඟ තිබුන පන්සලකට ගිහින් බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරලා ආවේ කිසිම විදියකින් කරදරයක් වෙන්න එපා කියල. එදා අහස දැකල සභාපතිතුමයි ලේකම්තුමයි ආයෙත් පන්සලට ගිහින් බාරයක් වෙලා තිබුනා.

කොහොම හරි 3.30 ට විතර වැහි පොද එක දෙක වැටෙන්න ගත්තා. ඒත් අපේ කට්ටිය නෑ නෑ වහින්නේ නෑ කිය කිය හිටියා. 3.45 ට එක පාරටම වැස්සක් පටන් ගත්තා. ටික වෙලාවකින් තරමක් තදට වහින්න පටන් ගත්ත. ඒ පාර අපේ කට්ටිය කියනවා "දැන්ම වහින එක හොඳයි, එතකොට හවස් වෙන්න පායනවා" කියල. අපි සුමනදාස මැද මිදුලට වෙලා බලාගෙන ඉන්නවා වැස්ස ඉවර වෙනකල්. ගොඩක් වෙලා බලාගෙන හිටියත් වැස්ස අඩු වෙන පාටක් නම් තිබුනේ නෑ. 6 ට තමයි ප්‍රසංගය පටන් ගන්න තියෙන්නේ. මොන කතා කිව්වත් ඒ වෙනකොට නම් අපි හොඳටම බය වෙලා හිටියේ. සමහරු ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා, සමහරු අහස දිහා බලාගෙන ඉන්නවා, සමහරු වැස්සට බනිනවා, එක විකාරයයි එතන. කොහොමහරි ඒ තද වැස්ස 4.45 වෙනකල්ම තිබුනා. ඒත් වැස්ස සම්පූර්ණයෙන්ම නැවතුනේ නෑ. පොද වැස්ස දිගටම තිබුනා. ඒ නිසා තෙමුන පුටු පිහදාල වැඩකුත් නෑ. ඒ අතරේ වැස්සේම මම අපේ ටී ෂර්ට් එක ඇඳගෙන එන්න ගියා.

වැස්ස අඩු වෙනවා වැඩි වෙනවා, ඉවරයක්‌ නෑ. අද ගී සිසිල තියන්න බැරි වෙයිදෝ කියන බය නම් ඒ වෙලාවේ මට තදින්ම දැනුනා. ටික වෙලාවකින් වැස්ස අඩු වුනා. අපි එනකොටත් බලන්න ආපු අය  ප්‍රධාන දොරටුව ළඟ තිබුන පාලම යටට වෙලා ඉන්නවා ඇතුලට ගන්නකල්. ටික වෙලාවකින් වැස්ස සම්පූර්ණයෙන්ම නැවතුනා. එතකොට 5.30 විතර වෙලා. ඔන්න එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඊට පස්සේ තමයි යුද්දෙ පටන් ගත්තේ. වැස්ස නිසා ගොඩක් වැඩ කරගන්න බැරුව හිටියේ. ඒ මදිවට දැන් කොනක ඉඳල ආයෙත් පුටු පිහිදාන්න ඕන. අපියි පොඩි උන් ටිකයි පිස්සුවෙන් වගේ වැඩ කරලා කොහොමහරි ඒ වැඩ ටික ඉවර කරගත්තා. ස්ටේජ් එකේ වැඩයි, සවුන්ඩ්ස් ලයිට්ස් වගේ අනිත් ලොකු වැඩ ටිකයි ගොඩක්ම කලින් ඉවර කරගත්ත නිසා ප්‍රශ්නයක් වුනේ නෑ. නැත්තන් වැස්ස නිසා අපි අනාත වෙනවා.



ඊට පස්සේ ඉක්මනට අපු අයව ඇතුලට ගත්තා. වල කැන්ටින් එක පැත්තේ තිබුන දොර ඇරියම තමයි හීන් දාඩිය දැම්මේ. වලෙන් එකයි බලන්න ආපු අය. කොහොමහරි ඔක්කොම කරල 6.36 වෙනකොට වැඩේ පටන් ගත්තා. මෙච්චර බාධා වෙලත් අපි පරක්කු වුනේ විනාඩි තිහයි. ඊට පස්සේ ඉතින් හැම දෙයක්ම සැලසුම් කරපු විදියටම කරගන්න පුළුවන් වුනා. වැස්ස කියල නෑ, අපි තියල තිබුන පුටු 1500ම පිරුනා. පස්සේ 100 ටිකට් හරියේ හිටගෙනත් කට්ටිය හිටියා. ආයෙත් අන්තිම වෙලාවෙත් පොඩි පොද වැස්සක් පටන් ගත්තා. ඒ වෙලාවේ සින්දු කිව්වේ සුනිල් එදිරිසිංහ මහත්මය. වැස්ස නිසා කීප දෙනෙක් නැගිටල ගියා. ඒ වෙලාවේ ආයෙත් ලේ ටික වතුර වුනා. වාසනාවට වැස්ස ඊට වඩා වැඩි වුනේ නෑ. සංගීතයට සමවැදිලා හිටපු අයට ඒ වැස්ස ප්‍රශ්නයක් වුනේ නෑ. ආයෙත් කවුරුවත් නැගිටලා ගියෙත් නෑ. ඔය විදියට පොද වැස්සේම ගී සිසිල අවසන් වුනා.



ඔය ප්‍රසංගය ඔය විදියට සංවිධානය කරන්න අපේ කට්ටිය මාරම කට්ටක් කෑවා. සභාපතිතුමයි, ලේකම්තුමයි මේක පටන් ගත්ත වෙලාවේ ඉඳල අන්තිම මොහොත වෙනකල්ම පුදුම විදියට මේකට කැප වුනා. සභාපතිතුමා ගැන නම් කියල වැඩක් නෑ, හැම තත්ත්පරයකම උගේ ඔලුවේ තිබුනේ ගී සිසිල. ග්රූප් විදියට ගත්තොත් decoration ග්රූප් එකෙයි, souvenir ග්රූප් එකෙයි කොල්ලෝ ටිකයි තමයි මේකට වැඩියෙන්ම මහන්සි වුනේ. අන්තිම මාසේ විතර උන්ට හරියට නින්දක් තිබුනෙම නෑ. මේ ප්‍රසංගයේ අපි ලබාගත්ත සාර්ථකත්වයේ වැඩිම දායකත්වය උන්ගේ. ඔය වැඩේට බැච් එකක් විදියට ගත්තොත් අපේ කට්ටියගෙන් ලැබුන දායකත්වය එක එක විදියයි. කොල්ලෝ කෙල්ලෝ නිදි මරාගෙන වැඩ කරද්දී, ඒ කිසි දේකට සහභාගී නොවුන කොල්ලෝ කෙල්ලොත් හිටියා. ඒව කොහෙත් එහෙමනේ, මම ඒවා ගැන නම් කතා කරන්න යන්නේ නෑ. හේතු කීපයක් නිසා අපිට ජූනියර් බැච් දෙකකින් ලැබුන සහයෝගයත් ගොඩාක්ම අඩුයි. හැබැයි ඒ කිසි දෙයක් නිසා අපේ වැඩේ කිසි අඩු පාඩුවක් වුනේ නෑ. ඒ ගැන නම් අපි ගොඩක් ආඩම්බර වෙනවා. කොහොමහරි අවසානයේ කියන්න බැරි තරම් සතුටක් මට ඉතුරු වුනා. මම මෙච්චර සතුටු වෙනවා නම් අපේ සභාපතිතුමා, ලේකම්තුමා, decoration ග්රූප් එක, souvenir ග්රූප් එක, කොයිතරම් සතුටු වෙනවා ඇද්ද? 

හැබැයි ඉතින් දැන් සතුටු වුනා වගේ නෙමෙයි, රිසර්ච් එකේ වැඩ පටන් ගන්න ඕන. කෙල්ලෝ ටිකයි, සමහර කොල්ලොයි නම් literature review එක ඉවරත් ඇති. අපිට නම් තාම ඒක අල්ලන්නවත් වුනේ නෑ. කමක් නෑ, මෙච්චර කල් විභාග, කෝස් වර්ක්, ට්‍රේනින් කළා වගේ ඕකත් අපි කොහොමහරි ගොඩ දාගනීවී. ලකුණු නම් අඩු වෙයි, ඒකට කමක් නෑ. 

අපිට මේ ප්‍රසංගයට ප්‍රධාන අනුග්‍රහය දැක්වුයේ 'ජාතික ලොතරැයි මණ්ඩලය', 'ලංකා බැංකුව' සහ 'කිරුල FM'. souvenir එකට ඇඩ් ලබාදීමෙන් හා banner ලබාදීමෙන් අනුග්‍රහය දක්වූ හැමෝමත් මතක් කරන්න ඕන. ගී සිසිල සාර්ථක කරගන්න අපිට අනිත් දෙපාර්තමේන්තු වලින් ලැබුන සහයෝගයත් මතක් කරන්න ඕන. කටවුට් සහ වේදිකාවේ චිත්‍ර ඇන්දේ වාස්තු විද්‍යා දෙපාර්තමේන්තුවේ සහෝදරයෝ හතර දෙනෙක්. උන් පුදුම උදව්වක් කලේ. ඊළඟට මේ ප්‍රසංගය live streaming දෙන්න IT සහෝදරයෙක් ලොකු උදව්වක් දුන්නා. රේකොඩින් වලින් දායක වුනේ CSE එක. ඒ වගේම උපකුලපති තුමාගේ ඉඳල ආරක්ෂක සේවාව වෙනකල් අපිට සහයෝගය දීපු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හැමෝමත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම පිණිබිදු අක්ක ඇතුළු බලන්න ආපු හැමෝටමත් ස්තූතියි.:)        
 





Monday, November 14, 2011

මම කළේ වැරද්දක්ද?

 
අපි අපේ ජීවිත වලදී ගොඩක් වැරදි තීරණ ගන්නවා. ගොඩක් වෙලාවට ඒ තීරණ වල වැරැද්ද තේරෙන්නේ කල් ගිහින්. එහෙම තේරෙනකොට ගොඩක් වෙලාවට ඒ දේවල් නිවැරදි කරන්න බැරි තැනට ඇවිත්. එතකොට ඉතින් වෙන්නේ ඒ දේවල් මතක් කර කර පසු තැවෙන්න. මට දැනට තේරෙන විදියට මම එහෙම ලොකු වැරදි තීරණ දෙකක් අරන් තියනවා මගේ ජීවිතේදී. (තව ඉස්සරහටත් එහෙම ගොඩක් ගනීවි :) ) දුක කියන්නේ ඉතින් ඒ දෙකම ආදරේ සම්බන්දයෙන් ගත්ත තීරණ. වැරදි තීරණ කියන්නේ ඉතින් වැරදි පුද්ගලයන්ට, වැරදි කාලේ, වැරදි විදියට ආදරේ කරන්න තීරණය කරපු එක තමයි වැරැද්ද. පළවෙනි එක වුනේ උසස් පෙළ කාලේ. මම මේ බ්ලොග් එකේ ලියන්න හිතන්නෙවත් නැති කතාවක් ඒක. ඒක ගැන ලිව්වොත් මේකේ වෙන මුකුත් ලියන්න වේලාවක් නැති වෙනවා. අනිත් එක එහෙම වුනොත් මේ බ්ලොග් එකම මහ අඬෝවැඩියාවක් වේවි. මම මුල්ම කාලේ ලියපු හිතේ දුකට ලියවුනු කවි පෝස්ට් එකේ තියෙන්නේ ඒකෙන් කෙලව ගත්තට පස්සේ, හිතේ දුකට ලියවෙච්ච නිසදැස් කෑලි. කොහොම හරි ඒකෙන් අන්තිමට වුනේ මෙඩිසින් යන්න හිටපු ඒකිට කෘෂි විද්‍යා පීඨයෙන් නවතින්න වුන එකයි, කැම්පස් යන්න හිටපු මගේ යාලුවෙකුට ඒක බැරිවුන එකයි, මගේ ප්‍රථිපල වලටත් සැලකිය යුතු තරමේ හානියක් වුන එකයි විතරයි.

මම දැන් මේ කොටන්න කියල ලේස්ති වුනේ මම ගත්ත දෙවැනි වැරදි තීරණේ ගැන. ඒක වුනේ මම කැම්පස් ආවට පස්සේ. මම අර විෂය භාර දෙවියන් වෙත ලියපු ලියුමේ කියපු සතියක ආදර කතාව ගැන තමයි මේ කියන්න යන්නේ. මම එතකොට සකන්ඩ් ඉයර් එකේ මුල හරි ෆස්ට් ඉයර් එකේ අග හරි. ඒ දවස් වල අලුත් බැච් එක ගන්න ඇප්ටිටියුඩ් ටෙස්ට් තිබුන. මම ඒ වෙලාවේ මොකක් හරි වැඩකට එලියට ගියා. ඒ යන අතරේ ඉතින් පොඩ්ඩක් අවට සිරි නරඹ නරඹ තමයි ගියේ. (අවට සිරි නැරඹුවා කිව්වට ඒ වෙලාවේ ඇවිත් හිටපු ගෑනු ළමයි දිහා බල බල නෙමෙයි ඔන්න ගියේ.) එහෙම යනකොට මට ටිකක් විතර හුරු පුරුදු කටහඬක් ඇහුනා.

"ඔයා මෙහේද ඉන්නේ?"

මම නැවතිලා බලනකොට හුරු පුරුදු මූනක්‌ මගේ දිහා බලාගෙන ඉන්නවා. සිටි පිටි ගාල පරණ රෙකොර්ඩ් ස්කෑන් කරලා බලනකොට මට ඩයල් එක මීටර් වුනා. ඒ 5 වසරේ අපේ පන්තියේ හිටපු කෙල්ලෙක්. අපේ ගෙවල් පැත්තෙමයි ඉන්නේ. ඊට පස්සේ පාරේදී එහෙම දෙතුන් පාරක් දැකල තිබුනට 5 වසරෙන් පස්සේ කතා කරලම නෑ. කොහොම හරි එයාට මාව මතක තිබිල. අපි එයාට චතුරි කියල කියමුකෝ.

"ආහ් චතුරි, මට අඳුර ගන්නත් බැරි වුනා."

"ඔයත් ගොඩක් වෙනස් වෙලා."

"මොකද මේ පැත්තේ?"

"අද IT ඇප්ටිටියුඩ් තියනවා නේ කසුන්. මම ඒකට ආවේ."

ඊට පස්සේ ටික වෙලාවක් කතා කර කර හිටියා. එයා ටිකක් විතර කළු කෙල්ලෙක්. ඒත් එයා ඉස්සරට සාපේක්ෂව ගොඩක් ලස්සන වෙලා. ඉස්සර එයා කොන්ඩේ කොටට කපාගෙන, කාත් එක්කවත් හරියට කතාවක් වත් නැති, පොතේම ඇලිල හිටපු කෙල්ලෙක්. මම එයත් එක්ක කතා කරපු වාර ගාන අතේ ඇඟිලි ගානට වඩා අඩු ඇති. ඒ වෙලාවේ නම් මට එහෙම කතා කරපු එකේ කිසිම විශේෂයක් තිබුනේ නෑ. ටිකක් වෙලා කතා කර කර ඉඳල මම ගියා.

මම ගමේ ගිය වෙලාවක අපේ සෙට් එකට නිකන් කිව්වා චතුරි මුණ ගැහුන එක ගැන. එයා අපේ ගෙවල් පැත්තෙ නිසා අපේ හැමෝම වගේ එයාව දන්නවා. අපේ එකෙක් ඒ වෙනකොට තුන්වෙනි පාරටත් උසස් පෙළ කරන්න පන්ති යනවා. ඒ එක පන්තියකට චතුරිත් එනවා. ඌයි තව එකෙකුයි දෙන්නෙක්ම කිව්වා එයා දැන් ඉස්සරට වඩා ගොඩක් ලස්සනයි කියල. මටත් ඉතින් ඒක තේරිලා තිබුනේ. ඔහොම ඉතින් ටික දවසක් ගෙවුනා. ඔන්න ඊට පස්සේ තමයි මම ගොනාට අඳින්න ගත්තේ. මට හිතුන ආයෙත් එයා එක්ක කතා කරන්න ඕන කියලා. මම අර පන්ති යන කොල්ලට කිව්වා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ රිසල්ට් බලල දෙන්න කියල පන්තියේදී එයාගේ නම්බර් එක ඉල්ලගෙන එන්න කියල. ඌ ගිහින් ඒක කිව්වම එයා නම්බර් එක දීල තිබුනා. ඊට පස්සේ මම කෝල් කරලා විභාග අංකෙ ඉල්ලගත්තා. මට මතක විදියට එයා තේරිලා තිබුනේ නෑ. මම ඉතින් කතා කරලා ඒක කිව්වා.

පස්සේ කොහොම හරි එයා වෙන කැම්පස් එකකට සිලෙක්ට් වෙලා තිබුනා. එයා ඒකෙ විස්තර අහගන්න මට දෙතුන් පාරක් විතර කෝල් කළා. මාත් එයාට කැම්පස් යන්න කලින් කීප වතාවත් කතා කළා. කොහොම හරි ඉතින් එයා කැම්පස් ගියා. ඊට පස්සේ තමයි යාලුවන්ගේ ආශිර්වාදය මැද කොල්ල ෆුල් ටයිම් ගේමට බැස්සේ. ඊට පස්සේ මම නිතරම එයාට මැසේජ් යවන්න පටන් ගත්ත. යවන පරක්කුවෙන් ඒවාට රිප්ලයිනුත් ආව. පස්සේ මම නිතරම කෝල් කරන්නත් ගත්ත. මම දවසක් එයා කැම්පස් යන්න යන වෙලාවක ගිහිල්ල මුණගැහිලත් ආව. ඔහොම ටික කාලයක් ගත වුනා. පස්සේ මම තීරණයක් ගත්ත එයාගෙන් අහනවා කියල. හැබැයි මට හොඳට මතකයි මම ඒ තීරණේ ගත්තේ එච්චර විශ්වාසෙකින් නෙමෙයි. මම කරන්න යන දේ ගැන මට කිසි ෆිට් එකක් තිබුනේ නෑ. ඔහේ නිකන් විකාරෙන් වගේ ඒ දේ කලේ. මට තාම හිතා ගන්න බෑ මම ඇයි ඒ තීරණේ ගත්තේ කියල. ඒ දවස්වල මම අර කලින් කියපු කෙනා ගැන ආයෙත් හිතල හිතල සෑහෙන්න මානසිකව වැටිලා හිටියේ. සමහර විට ඒ හැඟීමෙන් මිදෙන්න ඕනකමට මම ඒ තීරණේ ගන්න ඇති.

කොහොමහරි මම සති අන්තෙ යාලුවොත් එක්ක ඉන්න වෙලාවක මැසේජ් එකකින්ම එයාට ඒ ගැන කිව්වා.ඒ වෙලාවේ නම් උත්තරයක්‌ ලැබුනේ නෑ. මට මතක විදියට දවස් තුනකින් විතර පොඩ්ඩක් විතර අගේ කරලා මට කැමැත්ත දුන්නා. මම ඒ ටික ගැන වැඩිය විස්තර කියන්න යන්නේ නෑ. ඔන්න ඔය විදියට අපේ සතියක ආදර කතාව පටන් ගත්තා. 

දවස් දෙක තුනක් විතර සාමාන්‍ය විදියට ගෙවුනා. හැබැයි මට එයාගේ අමුත්තක් තේරුණා. මම කෝල් කලොත් විතරයි කතා කරන්නේ, එයා එක පාරක් වත් කෝල් කලේ නෑ. අඩු ගානේ මට කෝල් එකක් ගන්න කියලවත් කිව්වේ නෑ. මම කෝල් කලාම වුනත් වැඩි වෙලා කතා කරන්නේ නෑ. මට ඒක හොඳට තේරුණා. කතා කරන විදිය වුනත් හරි අමුතුයි. එයා නිකන් එච්චර කෙයා කරන්නේ නෑ වගේ තමයි කතා කලේ. මට ඉතින් මල පැනල හිටියේ. ඇයි යකෝ සතියක් වත් යන්න කලින් ඔහොම නම් අවුරුද්දක් දෙකක් ගියාම කොහොමට හිටීවිද? මම ගමේ සෙට් එකත් එක්කත් ඔය ගැන කිව්වා. උන් නම් කිව්වේ ටික දවසක් යනකොට හරි යාවි කියල. මම තවත් දවස දෙක තුනක් බැලුවා, කතාව ඒ විදියම තමයි. බැරිම තැන මම ඇහුවා "ඔයා ඇත්තටම මට ආදරේද, නැත්තන් මොකක් හරි ප්‍රශ්නයක් තියේද?" කියලා මේකි කිව්වනේ "මට අසයින්මන්ට් එකක් කරන්න තියනවා. පස්සෙ කියන්නම්" කියල. මට ඒ වෙලාවේ නම් යකා නැග්ග. ඔය ප්‍රශ්නෙට උත්තරයක්‌ දෙන්න බැරිනම් ඉතින් තවත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ නේ. මම ඒත් ඒ වෙලාවේ මුකුත් කිව්වේ නෑ.

පහුවෙනිදා මම ආයෙත් ඒ ප්‍රශ්නෙම ඇහුවා මැසේජ් එකකින්. මම දෙකෙන් එකක් බේර ගන්නවා කියල හිතාගෙනමයි කතාව පටන් ගත්තේ. එයා ඒකට දුන්නේ මෙන්න මෙහෙම උත්තරයක්‌.

"මට ඉගෙන ගන්න එකයි, මේ වැඩෙයි දෙකක් කරන්න බෑ කසුන්"

ආයේ ඉතින් ඒ ගැන තවත් වචනයක් වත් කතා කරන්න මට උවමනාවක් තිබුනේ නෑ. ඕනම දේක සීමාවක් තියෙන්න ඕන නේ. කැම්පස් ආපු ළමයෙක් ඔහොම කියනවා කියන්නේ ඒක බොරු කතන්දරයක් නේ. මම ඒ වෙලාවේම තීරණයක් ගත්තා. ඉගෙන ගන්න එක ඉතින් නවත්තන්න බෑ නේ. මම කිව්වා, 

"හරි චතුරි අපි එහෙනම් මේ සම්බන්දෙ නවත්තල දාමු." කියල. 

මට මතක විදියට ඒකට රිප්ලයි එකක් ආවේ නෑ. රිප්ලයි නෑ කියන්නේ ඉතින් ඒක එයාට ප්‍රශ්නයක් නෑ කියන එකනේ. ඒ මොහොතෙම මම එයා ගැන තිබුන හැම අදහසක්ම අතැරලා දැම්මා. මට හොඳට මතකයි මම කෝස් වර්ක් එකක් ප්‍රින්ට් අවුට් ගන්න එලියට ගිය වෙලාවක තමයි ඔය කතාව ගියේ. මම අන්තිම මැසේජ් එක යැව්වේ ප්‍රින්ට් අවුට් එක අරන් එන ගමන් පාරේදී. කොහොමහරි කැමැත්ත දීල හරියටම සතියකින් වගේ ඔය විදියට කතාව ඉවර වුනා. ඒ සති අන්තෙ එයත් ගෙදර එනවා කියල මට කලින් කියල තිබුනේ. මම හිතන් හිටියේ ගමේ ගිහින් එයත් එක්ක ගිහිල්ල හින්දි ෆිල්ම් එකක් බලනවා කියල. මට මතක විදියට ඒ දවස් වල හෝල් වල තිබුනේ 'Love Aaj Kal'. අන්තිමේ මොන ෆිල්ම්ද, ඊට කලින් මගේ ෆිල්ම් එක ඉවර වුනා. ආදරෙන් පරාද වුන අනිත් හැම වතාවකම සති ගනන් මූඩ් ගහල කන්න බොන්න වත් බැරුව හිටපු මට ඒ වෙලාවේ නම් ඒ ගැන කිසි දුකක් ඇති වුනේ නෑ. තරහක් විතරයි තිබුනේ එයා ගැන. ඒ හැම දෙයක්ම මොහොතකින් අමතක කරල කිසිම අවුලක් නැතුව මට ඉන්න පුළුවන් වුනා. ඒ මොකද කියල නම් අදටත් මම දන්නේ නෑ. සමහර විට නවත්තමු කියන තීරණේ මමම ගත්ත නිසා වෙන්න ඇති. අනිත් හැම වතාවකම අනිත් පාර්ශවෙන් නේ ඒ තීරණේ ගත්තේ. 

ඔය විදියට මම ඒ කතාව සම්පූර්ණයෙන්ම නැවැත්තුවත් එයා නම් ඒක එතනින් නැවැත්තුවේ නෑ. දවසකින් දෙකකින් විතර ආයෙත් කිසි දෙයක් වුනේ නෑ වගේ සාමාන්‍ය විදියට මැසේජ් කරන්න ගත්තා. අපේ සම්බන්දෙ නැවැත්තුවට එයා තාමත් මගේ යාලුවෙක්නෙ, ඒ නිසා මාත් ඒවට රිප්ලයි කළා. ඊට පස්සේ එක එක හින්ට් පාස් කරන්න, පරණ දේවල් මතක් කරන්න පටන් ගත්තා. ඒ අස්සෙත් සමහර වෙලාවට ඒකිම මැසේජ් කර කර ඒකිම ලොකු ලයින් දෙන්න ගත්ත කියපන්කො. මට ඒ සමහර කතා මතක් වෙනකොටත් හිනා යනවා.  මම ඉතින් ඔය මුකුත් ගනන් ගන්නේ නැතුව මැසේජ් එකක් ආවොත් රිප්ලයි කරගෙන මගේ පාඩුවේ හිටියා. පස්සේ එයා කෙලින්ම කිව්වා මම ඔයාට ආදරෙයි අපේ සම්බන්දෙ ආයෙත් පටන් ගමු කියන එක. එයා ගොඩාක් දේවල් කිව්වා. ආයෙත් වෙනස් කරන්න බැරි විදියට මම හිත හදාගෙන හිටපු නිසා ඒ කියපු කිසි දේකින් වැඩක් වුනේ නෑ. මම ඒව ගැන වැඩිය කියන්න යන්නේ නෑ, එහෙම වුනොත් මම පොර ටෝක් දෙනව කියල කට්ටිය හිතාවි.

හැබැයි මම ඇහුවා එහෙනම් ඇයි අරවගේ කතාවක් කිව්වේ කියල. එයා කිව්වා, එයා එහෙම කිව්වේ ඇයි කියල එයාවත් දන්නේ නෑ, ඒක අමතක කරලා දාන්න කියලා. එයා ගොඩාක් මැසේජ් එව්වා, තුන් හතර පාරක්ම කෝල් කළා, ඒත් ඒ එපා වුන එපා වීම වෙනස් කරන්න නම් එයාට බැරි වුනා. කොහොමහරි මාස දෙක තුනකින් විතර මැසේජ්, කෝල් එන එක නැවතුනා. මට තිබුන ප්‍රශ්නේ එයා ඔය කියන තරම් මට ආදරේ කළා නම් අර විදියට හැසිරුනේ, අර විදියේ කතාවක් කිව්වේ මොකද කියන එක. සමහර විට එයාට හිතෙන්න ඇති තව ටිකක් ගනන් උස්සන්න, තව ටිකක් අගේ කරන්න. නැත්තන් ඉතින් අරම වැඩ කරන්න ඕන නෑ නේ. යාලු වෙන්න කලින් නම් ටිකක් ආඩම්බර වෙන එක, ටිකක් ගනන් උස්සන එක අවුලක් නෑ. ඇත්තටම එහෙම වෙන්නත් ඕන, නැත්තන් කොල්ලයි බල්ලයි දෙන්නම යාලු වෙන්න එනවනේ. ඒත් දෙයියනේ යාලු වුනාට පස්සේ ආයෙත් ලොකු ලයින් දෙන්නේ මොකටද? මොකක්ද එහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ? මට නම් තේරෙන්නේ නෑ. කොහොම හරි මට නම් ඒව දිරවන්නේ නෑ. යාලු වෙන්න කලින් අගේ කළා මදි කියල හිතුනද දන්නේ නෑ.

එයා  බලාපොරොත්තු වෙන්න ඇත්තේ අර විදියට කලාම මම පස්සෙන් වැටීගෙන ඒවි කියල. අපේ උන් නම් කිව්වේ අනිවා එයාගේ යාළුවො ටික තමයි ඔහොම කරන්න කියන්න ඇත්තේ කියල. කොහොම හරි ඒ වැඩේ හරි ගියේ නැති නිසා එයාම ආයෙත් හැමදේම මුල ඉඳල පටන් ගන්න හැදුවේ. ඒත් එතකොට පරක්කු වැඩියි. මගේ ගැන කියනවා නම් එහෙම ලොකු ලයින් එකක් දෙන්න මට ඇති සුදුසුකමක් නම් නෑ. මම සල්ලිකාර පවුලකින් එන එකෙක් නෙමෙයි, මම හැන්ඩි කොල්ලෙකුත් නෙමෙයි. (මම කළුම කළු, කැත කොල්ලෙක්. මගේ ඇත්ත fb එකවුන්ට් එකේ ඉන්න අය නම් දන්නවා ඇති ඩයල් එක මොන වගේද කියලා.) ඒත් එහෙමයි කියල ඔහොම කාටවත් බාල්දු වෙන්න, පස්සෙන් වැටෙන්න නම් මම සුදානම් නෑ. කෙල්ලෙක් නැතිම වුනොත් ප්‍රපොසල් එකකින් බඳිනවා, එහෙමත් බැරි වුනොත් ඔය ඉතුරු ටිකත් තනියමම ඉන්නවා. ඒක ඔයිට වඩා දාහෙන් සම්පතයි. ඔය වගේ තැනකදී විතරක් නෙමෙයි, කවුරු වුනත් මට ලොකු ලයින් එකක් දුන්නොත් මාත් අනිත් පැත්තට එහෙමම තමයි. (හැබැයි හානියක් නැතුව එහෙම කරන්න පුළුවන් නම් විතරයි)

මේ මෑතක් වෙනකල් මගේ මූණු පොතේ එයා හිටියා. මේ ලඟකදී ඉඳල ආයෙත් අමුතු අමුතු කතා කියන්න ගත්තා. දවස් දෙක තුනක් බලල මම එයාව බ්ලොක් කරලම දැම්මා. මුකුත් හිතන්නේ බලන්නේ නැතුව ගත්ත මෝඩ තීරණයක් හින්ද ඔන්න ඔහොම දෙයක් තමයි වුනේ. පොඩි මානසික පීඩාවක් ඇරෙන්න මට නම් ලොකු හානියක් වුනේ නෑ. හැබැයි මට එයා ගැන නම් ඇත්තටම දුකයි. ඒක එයාගේ පලවෙනි ආදරේ. එයාගේ මැසේජ් වලිනුත් ඒක හොඳටම තේරෙනවා. ඒ නිසා වෙන්න ඇති එයාට ඒක අමතක කරන්න එච්චර අමාරු වුනේ. හැබැයි එයා එදා අර විදියේ කතාවක් නොකියන්න අපි අදටත් ආදරවන්තයෝ වෙන්න තිබුනා. ඒත් එයා ඒ කතාව ගොඩක් වෙනස් කළා. දැන් ඒ හැම දෙයක්ම අතීතයට එකතු වෙලා ඉවරයි. 

Monday, November 7, 2011

මට හමුවූ පුදුම මිනිස්සු

මුලින්ම කියන්න ඕන දැන් මේ කියන්න යන්නේ මගේ කතාවක්, මගේ අත්දැකීමක් නෙමෙයි කියල. මට පොතක් ලැබුන 'මට හමුවූ පුදුම මිනිස්සු' කියල. මේක මාස ගානක් තිස්සේ අපේ බෝඩිමේ තිබිල දැන් හොස්ටල් එකේ අපේ කාමරේ තියෙන්නේ. හවස කම්මැලි කමට එහාට මෙහාට පැද්දි පැද්දි ඉන්නකොට මේක දැක්ක. මාස ගානකින් නෙමෙයි අවුරුදු ගානකින් කතා පොතක් කියවල නැති නිසා මේක කියවන්න හිතුනා. මේ පොත ලියල තියෙන්නේ 'ජයසුමන ධර්මබන්ධු' කියන කෙනා. ඒ මනුස්සයාගේ ජීවිතේ විවිද අවස්ථාවල මුණගැහුන අරුම පුදුම මිනිස්සු ගැන තමයි මේ පොත ලියවිලා තියෙන්නේ. මේ පොතේ ඒ වගේ කතා 35ක් තියනවා. මේ පොත 'ඇම්. ඩී. ගුණසේන සහ සමාගමේ' ප්‍රකාශනයක්. 'ලිහිණි පොත්' යන නමින් තමයි මේ පොත ප්‍රකාශනයට පත් කරලා තියෙන්නේ. මේකේ පළමු මුද්‍රණය 1964.

අද  කාමරේ කවුරුත් නෑ, සේරම ගෙවල්වල ගිහින්. ඉතින් අද කාමරේ මගේ රාජ්ජේ. ඒක නිසා මේ පොතේ තියන හිතට අල්ලපු කතාවක් දෙකක් කොටන්න කියල තමයි මේ ලේස්ති වුනේ. මොකද අනිත් උන් ඉන්න වෙලාවක පොතක් බල බල ටයිප් කරන්න ගියොත් උන් බලයි මට පිස්සුද කියල. මම බ්ලොග් එකක් ලියන බව උන් දන්නෙත් නෑ. හරි දැන් පසුබිම විස්තර කළා ඇති. 
......................................................................................................................................................................

අඩු වයස්කාරිය.

අප  ජීවත්වන සමාජය පිලිබඳ විශාල අවබෝදයක් ලබා ගැනීමට මට හැකි වූයේ මා බදුලු රෝහලේ සේවයේ යෙදී සිටි කාලයේදී යැයි මට සිතේ. සමාජයේ නොයෙක් උස් පහත් පුද්ගලයින් හා සමග කතාබහ කිරීමට අවකාශ ලැබීම මීට හේතු වශයෙන් දැක්විය හැක. රෝහලේදී මට ලැබුණු කාර්යය ලෙඩුන් ඇතුලත් කිරීම නිසා ඔවුන් සමග නොයෙක් දේ ගැන සාකච්චා කිරීමටත් ඒ මගින් විශාල අවබෝධයක් ලබා ගැනීමටත් මට හැකි විය. රෝහලට ඇතුලත් වීමට එන ඇතැම් රෝගීන් තම දෙමව්පියන්ගේ නම් පවා නොදැන සිටීම මගේ පුදුමයට හේතුවක් විය. 

එදා මට රාජකාරිය කිරීමට නියමව තිබුනේ රාත්‍රී අටේ සිට සඳුදා උදේ අට දක්වාය. රාත්‍රී සේවය කිරීමට මා ඒ තරම් සතුටක් නොදැක්වූයේ මුළු රාත්‍රියම නිදි මැරීමට සිදුවන නිසාය. එසේ නමුත් අපට විවේක ගැනීම පිණිස ඇඳක් කාර්යාලයේ ම සවිකර තිබීම නිසා තරමක පහසුවක් දැනුනද වරින් වර පැමිණෙන රෝගීන් ගෙන් ඊටද බාධා පැමිණෙන්නට විය. 

රාත්‍රී  දහය පමණ වන විට රෝගීන් ගේ පැමිණීම අඩු වූයෙන් රෝගියෙකු පැමිණිය හොත් මා අවදි කරවන ලෙස සේවකයාට දන්වා ඇඳේ දිගා වුනෙමි. පෑ බාගයක් පමණ එසේ ඉන්නට ඇති. හදිස්සියේම, "මහත්තයා, මහත්තය ලෙඩෙක් ඇවිල්ල" යි සේවකයාගේ කටහඬ ඇසුණෙන් මම නැගිට මේසය වෙත පැමිණියෙමි.

මා ඉදිරිපිට බැලූ බැල්මට අවුරුදු හතළිහකට නොඅඩු යැයි කිව හැකි දුර්වල ශරීරයක් ඇති, හිස සිට දේ පතුල වැසෙන තෙක් රෙද්දක් පොරාගත් කාන්තාවක් සිටගෙන හුන්නාය. 

"මොකක්ද නම?" මම ඇයගෙන් ඇසුවෙමි. 

"එමලින් නෝනා." යි ඈ සිහින් හඬින් පිළිතුරු දුන්නාය. ඈ පිළිතුරු දුන් පිළිවෙලින් ඇයගේ රෝගය තරමක් බරපතල බව මට හැඟිණි.

"හිටගෙන ඉන්න අමාරු ඇති නෙව, ඔතනින් වාඩි වෙන්න." 

ඈ සෙමෙන් සෙමෙන් ඉදිරිපස අසුනේ වාඩිවූ පසු, 

"වයස කීයද?" යි මම ඇසුවෙමි. 

"තිස් තුනයි." ඇය කීවාය. 

නමත් වයසත් පොතෙහි ඇතුලත්කළ මා සේවකයා සමග ඈ වාට්ටුවට යවා නැවතත් ඇඳේ පෙරලුනෙමි. වාසනාවකට මෙන් ඉන් පසු රෝගීන් නොපැමිණියෙන් පැය කීපයක් සුව සේ නිදා ගැනීමට මට පුළුවන් විය. මා අවදි වනවිට පාන්දර පහට පමණ ඇත. 

මුහුණ කට සෝදා මා ආපහු කාමරයට ඇතුළු වනවාත් සමගම එහි සිටි සේවකයා, 

"මහත්තය හරි වැඩේ නේ වෙලා තියෙන්නේ." යි මා දෙස බලමින් කීවේය. 

"මොකද?" මම ප්‍රශ්න කළෙමි.

"අර ඊයේ රෑ වාට්ටුවට ඇතුළත් කරපු ගෑනි මහත්තයට මතකද?"

"ඔව්, ඔව්, අර මම වාඩි වෙන්නෙයි කීවේ, එයාද?"

"අන්න හරි ඒ ගෑනි මැරිල!" 

"මොනව? මැරිල?" එයම ප්‍රතිරාවය කළ මා "මොකද වෙලා තියෙන්නේ?" යි ඔහුගෙන් ඇසුවෙමි. 

"ඊයේ රෑ හදිස්සියේම අමාරු වෙලා ලොකු දොස්තර මහත්තයා ඇවිල්ලා බෙහෙතක් විදල තියනවා." 

"ඉතින්" 

"බෙහෙත විදල පැයක් යන්න හම්බුවුනේ නෑ ගෑනි මැරුණා. පස්සේ දැන් උදේ මරණෙ ගැන සෝදිසි කරල බැලුවහම ආරංචි වුනා ඒ ගෑනිගේ වයස අවුරුදු හතලිස් නමයක් ලු. ඉතින් ගෑනි වයස දීල තියෙන්නේ තිස් තුනයි කියල. දොස්තර මහත්තය අවුරුදු තිස් ගණනක් නිසා ශක්තිය ඇති කියල විදල තියෙන්නේ සැර බෙහෙතක්. බෙහෙතෙ සැරට ලු මැරිල තියෙන්නේ. මහ මෝඩ ගෑනියෙක් නේද මහත්තය?" කියමින් ඔහු කාමරයෙන් පිටවිය. 

"මෝඩ ගෑනු, මේ වගේ කී දෙනෙක් අකාලයේ මැරෙන්න ඇත්ද?" මම කල්පනා කළෙමි.
......................................................................................................................................................................

මිත්‍රයා

අවුරුද්ද අවසානය සාමාන්‍යයෙන් දෙමව්පියන් කාටත් වැඩ අධික සමයක් වෙයි. ඊට හේතුව දරුවන්ට අලුත් පත් පොත් අරන් දීමටත්, අලුත් අවුරුද්දේ පාසල් යාමට අලුත් ඇඳුම් පැළඳුම් සකස් කිරීමටත්, පාසල් නොයන දරුවන් පාසල්වලට අලුතින් ඇතුළත් කිරීමටත් තිබීමය. 

මා විවාහකයකු නොවූවත් මගේ අක්කාගේ කුඩා දියණිය පාසලකට ඇතුළත් කිරීම මට බාර දී තිබුණෙන් මේ දිනවල මටද වැඩ අධික සමයක් විය. 

"බලන්නකෝ මල්ලියේ දරුවා ඉස්කෝලෙට දාගන්න එපායැ. ඉස්කෝලෙකට අලුතින් ඇතුළත් කරන එකත් එච්චර ලේසි නෑ. ඒ වුනත් මල්ලිට නම් බැරිවෙන එකක් නෑ ඔය යාලුවෙක්ගෙ මාර්ගයෙන් දුවව ඉස්කෝලෙට දාගන්න." 

අක්කා මෙසේ කී විට "හොඳයි බලමු" යි මා කීවේ උසස් විදුහලක ප්‍රධානාචාර්ය වරයෙකු සමග ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන මගේ මිත්‍රයෙකු සිටි නිසා ඔහුගේ මාර්ගයෙන් දියණිය පාසලට ඇතුළත් කරගැනීමට හැකි වෙතැයි මා සිතූ බැවිනි. 

මගේ අදහස ඉෂ්ට කරගැනීමට සිතා එක් ඉරිදාවක උදෑසන දියණියත් සමග මා මිත්‍රයා පදිංචිව සිටි නිවෙසට ගියෙමි. ටික වේලාවක් ඔහු හා සමග කතා කරමින් සිට පසුව මා ආ කාරණාව ඔහුට කීවෙමි. මෙය ඉතාමත් බැරෑරුම් කටයුත්තක් බව කී ඔහු කෙසේ වෙතත් මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි නිසා ප්‍රධානාචාර්ය වරයාට ලිපියක් ලියා දීමට කැමති විය. මිත්‍රයාට මුව නොසෑහෙන සේ ස්තූති කරමින් ඒ ලිපියත් රැගෙන මා පසුවදා උදෑසනම දියණියත් කැටුව විදුහල වෙත ගියේ ප්‍රධානාචාර්ය වරයා මුණගැසීම පිණිසය. 

මා එහි යනවිට ප්‍රධානාචාර්ය වරයා පැමිණ නොසිටියෙන් ඔහු එනතුරු වාඩි වී සිටින ලෙස එහි සිටි ලිපිකරු මහතා මට කීවේය. නැවත වරක් මේ සඳහා පැමිණීමට නොහැකි නිසා මහත් බලාපොරොත්තු සහිතව මා ඔහු එනතුරු වාඩි වී සිටි අතර, අල්ලපු කාමරයෙන් ටැලිපෝන් සීනුවක් නාද වූයෙන් ලිපිකරු මහතා මා එහි තනිකර දමා ටැලිපෝන් පණිවිඩය ගැනීම පිණිස එහි ගියේය. 

සුළු වෙලාවකට පසු ඔහු නැවතත් එහි පැමිණියේ, "බලන්න මිස්ටර් මෙහෙමත් මිනිස්සු ඉන්නවා නේද ආ" කියමිනි.

"මොකද? මොකද?" ඔහුගේ කතාව අසාගනු රිසියෙන් මම ඇසීමි.

"නෑ අයිසෙ දැන් ටැලිපෝන් කළේ මිස්ටර් වීරසිංහ කියල එක්කෙනෙක්. එයා ඊයේ යාලුවෙකුට ලියුමක් දුන්නලු ළමයෙක් ඉස්කෝලෙට ගන්නෙයි කියල. යාලුවගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා ලියුම දුන්නට ඒ ගැන එච්චර සැලකිලිමත් වෙන්න ඕන නෑ කියල ප්‍රින්සිපල් මත්තයට කියන්නෙයි කියල දැන් ටැලිපෝන් කරලා කිව්ව. අම්මප මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ ආ"

මේ කතාවෙන් මා පුදුමයෙනුත් පුදුමයට පත් වූ නමුත් ඒ බවක් ඔහුට නොහැඟෙව්වේ වීරසිංහගේ ලියුම ගෙන ආ තැනැත්තා මා බව ඔහු දැනගනිතියි බියපත් වූ බැවිනි. ප්‍රධානාචාර්ය වරයා එන්නටත් කලින් ඒ තැනින් වහාම පිටවී ගිය මා ලියුමකැබලි වලට ඉරා දැම්මේ කේන්තිය පිරිමසා ගන්නා අදහසිනි. 
.....................................................................................................................................................................
ප.ලි. මම වචනයක් වත් වෙනස් කළේ නෑ. පොතේ තිබුන විදියටමයි දැම්මේ. 

Saturday, November 5, 2011

ඔබේ සුසුමින් මාද ජීවත් වෙමි.

ධනුක නැවතත් ඔරලෝසුව දෙස බැලුවේය. වේලාව 12.27යි. ඔහුගේ නොසන්සුන් කම තව තවත් වැඩි වන්නට විය. ඔහුගේ ගතත් සිතත් දෑසත් හොඳටම හෙම්බත් වී ඇති සෙයකි. එහි පැමිණ සිටි දහසක් දෙනා අතර ඔහු ඔහුට හිමි ආදරණීය මුහුණ සොයන්නට විය. එහෙත් ඔහු තව තවත් වෙහෙසටත්, කණස්සල්ලටත් පත් වූවා මිස ඔහු සොයන මුහුණ ඒ අතර නොවීය. ඔහු පෙර දින කීපයේ මතක අතර සැරිසරන්නට විය. වෙනදා මේ වේලාව වනවිට ඇය ඔහුත් සමග කාලය ගත කල ආකාරය ඔහුට සිහිවෙයි. ඔහුගේ යටි බඩ දෙසින් ඇතිවූ වේදනාව ඔහුට නොදැනුනේ ඔහුගේ හිතේ වේදනාව ඊට වඩා බොහෝ සෙයින් විශාල නිසා විය යුතුය. ඔහුට කතා කරන හෙදියගේ හඬ ඔහුට නෑසුනේ ඔහු ඇය ගැනම සිතුවිල්ලේ ගැලී සිටිය නිසා විය යුතුය.

"මිස්ටර් ධනුක...."

ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත. ඔහු සිටින තත්ත්වය අවබෝධ කරගත් හෙදිය ඔහු අසලටම පැමිණ ඔහුව ඇමතුවාය.

"වයිෆ් එනකල්ද බලන් ඉන්නේ?"

ධනුක පියවි සිහියට පැමිණියේ එවිටය.

"ආහ් මිස්... ඔව් එයා තාම නෑ නේ."

"ඒවි ඒවි." ඔහු දෙස අනුකම්පා සහගත බැල්මක් හෙලූ හෙදිය පැවසුවාය.

ඔහු දුර්වල සිනාවකින් පමනක් ඊට පිලිතුරු බැන්දේය.

"මම ආවේ ඔයා කාලද බලන්න. ඔයාට තව ටිකකින් බේතක් දෙන්න තියනවා."

එසේ කියා රාක්කය දෙස බැලූ හෙදියට පෙනුනේ බත් පාර්සලය තවමත් එසේම මේසය මත ඇති බවයි. ධනුක බිම බලාගෙන සිටියා විනා කිසිත් නොකිව්වේය.

"ඇයි තාම කාල නැත්තේ? අර මනුස්සය බත් එක ගෙනත් දීල කොච්චර වෙලාද?"

"අරය ආවම කන්නම් මිස්."

"අනේ මන්ද ඔයාල නම්... වයිෆ් නැතුව බත් ටික තනියම කාගන්නවත් බෑ නේද?"

ධනුකගේ පිළිතුර නැවතත් සිනහවක් පමණක් විය.

"හැබැයි මම ඔයාට තව විනාඩි 15යි දෙන්නේ. වයිෆ් ආවත් නැතත් 1.45 වෙනකොට කාල ඉන්න ඕන හොඳද. හරියටම 1ට බේතක් දෙන්න තියනවා. කාල විනාඩි 15ක් වත් ඉඳල තමයි ඒ බේත බොන්න ඕන."

"හරි මිස්"

ලෙඩුන්  බැලීමට වාට්ටුවට පැමිණි පිරිස දෙස ඔහු බලා සිටියේ අසරණ දෑසිනි. දෙමාපියන්, බිරින්දෑවරුන්, දරුවන් පැමිණ අනිත් ලෙඩුන්ගේ සුවදුක් විමසන ආකාරය, ලඟට වී කතා කරන ආකාරය ඔහුට පෙනෙයි. දහසක් දෙනා මැද ඔහු තනිවී සිටින්නේය. තවත් වේලාවක් ඔහු වාට්ටුවට ඇතුළුවන දොර දෙස බලා සිටියේ කොයි මොහොතක ඇගේ රුව දැක ගැනීමේ අටියෙනි. තවදුරටත් බලාපොරොත්තු සුන් වූ ඔහු කොට්ටය ඇඳ විට්ටමට හේත්තු කර ඊට හේත්තු වී තදින්ම දෑස පියා ගත්තේය. ඇය පැමිණේයැයි තිබූ බලාපොරොත්තුව ඔහු කෙරෙන් ගිලිහී ඇති සෙයකි.

ඔහු නැවත දෑස් ඇරියේ තමා ලඟ යමෙක් වේගයෙන් හුස්ම ගන්නා හඬ කණ වැකීමෙනි. හොඳින් හුරු පුරුදු හඬක් වූ එය ඔහු හඳුනා ගත්තේය. ඔහු දෑස් හැර ඇය දෙස බැලීය. තදින්ම හති දමමින් සිටි ඇය අනුකම්පා සහගත බැල්මකින් ඔහු දෙස බලා සිටියාය.

"මම හිතුව ඔයාට නින්ද ගිහින් කියල."

ඔහු කිසිත් නොකිව්වේය. ඔහුට ඔරලෝසුව බැලුනේ නිරායාසයෙනි. වේලාව 12.41 වී තිබුණි. ඇයද ඔහු අනුව යමින් ඔරලෝසුව දෙස බැලුවාය. ඇයගේ පමාව නිසා ඔහු අමනාපයෙන් සිටින බව ඇයට පැහැදිලි විය.

"අද හදිස්සි වැඩක් වැටුන ධනුක. ඔෆිස් එකේ ලොක්කෝ ඔක්කොමත් එක්ක මීටින් එකක් තිබුන. කොහොමවත් එන්න විදියක් තිබුනේ නෑ. ඒකයි එන්න පරක්කු වුනේ. මාත් එක්ක තරහද?"

ධනුක නිහඬය.

"ඔයා මාත් එක්ක තරහෙන් නේද ඉන්නේ?"

ධනුක තවමත් නිහඬය. දීර්ඝ හුස්මක් පිටකළ ඇය ධනුකගේ හිස අත ගාන්නට විය.

"මට එන්න පරක්කු වෙයි කියල තේරුණ නිසයි මම කලින්ම සුමනෙගෙ අතේ කෑම එක එව්වේ. ඔක්කොම කෑව නේද?"

"මම තාම කෑවෙ නෑ."

ඔහු කිව්වේ ඇසෙන නෑසෙන ගානටය. රාක්කය දෙස බැලූ ඇය දුටුවේ කෑම පාර්සලය තවමත් රාක්කය මත ඇති ආකාරයයි. හදවත දවා අලු කරන තරම් වේදනකුත්, සියුම් තරහවකුත් ඈ තුල හටගත්තේ එකවිටමය.

"ඇයි දරුවො කෑවෙ නැත්තෙ? මේ ලෙඩ වෙලත් ඉන්න වෙලාවෙ නොකා හිටියම හරි යනවද? මම සුමනෙ අතේ කියලම එව්වනෙ මම පොඩ්ඩක් පරක්කු වෙනවා, බත් එක කන්න කියල."

ධනුක නිහඬය. ඇය බත්මුල පිඟාන මත තබා ලිහන්නට විය.

"ඇයි කෑවෙ නැත්තෙ කියන්නකෝ?

"මට බඩගින්නක් තිබුනෙ නෑ."

"බඩගින්නක් තිබුනෙ නෑ කියල හරි යන්නෙ නෑ නෙ. ඩොක්ටර් කිව්ව නේද හරියට වෙලාවටම කන්න, නැත්තන් ගැස්ට්‍රයිටීස් වැඩි වුනොත් සර්ජරි කරපු එක තව අමාරු වෙයි කියල."

ධනුක, තමාට ඉදිරියෙන් ඇති ඇඳේ සිටි රෝගියාට ඔහුගේ බිරිඳ සහ දරුවන් වටවී කෑම කවන ආකාරය දෙස බලා සිටින්නේය. සරණි බත් කටක් අනා ඔහුගේ මුවට ලං කළාය. ඇයට කියා බත් කටක් කවා ගැනීමට බොහෝ වෙලා බලා සිටියත්, ඔහු බත් කට කටට දමා ගත්තේ අමනාපයක් මවාගෙනය.

"ඔයා මම පරක්කු වුන තරහට නේද ඔයා නොකා හිටියේ."

"නෑ, එහෙම එකක් නෑ."

"නැත්තේ මොකද? මම දන්නේ නැද්ද ධනූ ඔයා ගැන. මාත් එක්ක තියන තරහට ඔයා ඔයාගෙන්ම පළිගන්න එපා."

"තරහකට නෙමෙයි සරණි, මම ඉතින් ඔයාට කියල කවාගන්න ආස නිසයි හිටියේ. ඔයාට ඉතින් මට වැඩිය රස්සාව ලොකු වුනානේ."

අවසන් වාක්‍යය ඔහුගේ මුවින් පිටවූයේ බොහෝ සිහින් හඬිනි. ධනුකගේ ඒ වචන සරණිට උල් පිහියකින් පපුව මැදට ඇන්නාක්‌ මෙන් විය. සරණිට කතා කිරීමට අවශ්‍ය වුවත් වචනයක් වත් කියාගත නොහැකි ලෙස ඇය ගොළු විය. බත් අනමින් සිටි ඇගේ අත පිඟාන මතම ගල් විය. ඇය තත්ත්පර කීපයක්ම ධනුකගේ මුහුණ දෙස එක එල්ලේ බලාගෙන සිටියාය. ඇගේ බැල්මෙන් මිදෙනු වස් ධනුක බිම බලාගත්තේය. ඇය නැවතත් ධනුකගේ මුහුණ තමා දෙසට හරවා ගත්තාය.

"මොකක්ද ධනුක ඒ කතාවේ තේරුම? පොඩ්ඩක් මාව තේරුම් ගන්නකෝ. ඇත්තටම මට කොහෙත්ම එන්න විදියක් තිබුනේ නෑ. නැත්තන් මම පරක්කු වෙන්නේ නෑ නෙ. ගොඩක්ම අර්ජන්ට් මීටින් එකක් තිබුනේ." 
 
"මේක ලන්ච් අවර් එකනේ. ලන්ච් අවර් එකේ මොන මීටින්ද?" 

"ප්‍රයිවට් කම්පැනි වලවැඩ කරන්න ගියාම ලන්ච් අවර් කියල බලන්නේ නෑ නෙ ධනුක. ඔයා මට වැඩිය හොඳට ඒක දන්නවා නෙ. අද සතියේ අන්තිම දවස නිසා ඒ වැඩේ අද කොහොම හරි ඉවර කරලා සබ්මිට් කරන්න ඕන කියල බොස් කිව්ව."

ඊට දෙන්නට පිළිතුරක් ධනුක සතු නොවීය.

"ඇයි ධනුක ඔහොම හිත රිද්දන්නේ? හැමදාම තුන් වේලටම ගේට්ටුව අරිනකොටම දුවගෙන ඇවිත්, එක දවසක් පොඩ්ඩක් පරක්කු වුන නිසාද ඔයා ඔහොම කියන්නේ? ඉස්පිරිතාලේ හිටපු දවස් අමතක කරන්න, මීට කලින් කවදාවත් මට ඔයාට වඩා කිසිම දෙයක් ලොකු වෙලා තියනවද? අපේ පොඩි එකාටත් වඩා මට ඔයාව වටිනවා කියල ඔයා හොඳටම දන්නව නේද?"

දිලිසෙමින්  තිබුණු ඇගේ ඇස් වලින් කඳුළු බිඳු පේලියක් කඩා හැලෙන්නට විය. ඇය නැවතත් බත් කටක් ගෙන ධනුකට ලං කළාය. ඇය නැවතත් කිසිත් කියාවි යැයි ධනුක සිතුවත් ඇය ඊට වඩා කිසිත් කියන්නට නොගියාය. ධනුක බඩගින්නේ සිටි නිසා ඇයට වුවමනා වූයේ ඉක්මනින් ඔහුට බත් ටික කැවීමටය.

"සරණි! ඔයාට තරහ ගියාද?"

"තරහ ගියේ නෑ ධනුක, මට ගොඩක් දුක හිතුන මම මෙච්චර මහන්සියක් වෙද්දීත් ඔයා එහෙම කතාවක් කිව්වම."

"ඒක අමතක කරන්න සරණි. මට ඉබේම වගේ ඒක කියවනේ."

"ඉබේම කියවෙන්නේ ඉතින් හිතේ තියන දේවල් නේ."

"අනේ එහෙම නෑ. මට ඔයා පරක්කු වෙනකොට ගොඩක් දුක හිතුන. වෙනදට ඉතින් ගේට්ටුව අරිනකොට ඔයා මෙතන නේ."

"හ්ම්ම්, මම දන්නවා ඉතින් කොල්ල මම එනකල් පාර බලාගෙන ඉන්නවා කියල. මම මීටින් එකට ඉන්නේ නැතුව එන්න හදල බෝසාගෙන් හොඳට බැනුනුත් අහගත්ත."

"අනේ එහෙමද? මම දන්නවා සරණි.... කරන්නම දෙයක් නැති වුනොත් ඇරෙන්න ඔයා කවදාවත් නෑවිත් ඉන්නෙ නෑ කියල. මම කියපු කතාව අමතක කරල දාන්න."

එසේ කියූ ධනුක සරණිගේ ඇඟට හේත්තු වුනේය. ඇය ධනුකගේ හිස සිම්බාය.

"හ්ම්ම් අමතක කරන්න තමයි... මට කෑගහල අඬන්න හිතුන. හොස්පිටල් එක නිසා අමාරුවෙන් ඉවසගෙන හිටිය. සුලු පටු චෝදනාවක් නෙමෙයි නෙ ඔයා මට කලේ."

ඇය කිව්වේ නෝක්කාඩු ස්වරයෙනි. ධනුක කිසිත් නොකියා බිම බලගෙන සිටියේය. 

"හරි හරි පැටිය ඒක කමක් නෑ. දැන් කමුකො." ධනුකගේ මුහුණ දුටු සරණි කතාව වෙනස් කළාය. 
 
"ඔයා කාලද?"

"තාම නෑ ධනුක."

"එහෙනම් ඔයත් ඔහොමම ටිකක් කන්නකෝ." 

"හරි ඔයා තව ටිකක් කන්නකෝ, මම කන්නම්."

"ඉතින් මට කවන ගමන් ඔයත් ටිකක් කන්නකෝ." 

"හ්ම්ම්"

"ආහ් ඔයා ආවද? මම මේ මෙයා කාලද බලන්න ආවේ." හෙදිය සිනහවෙමින් එතනට පැමිණියාය.

"ඔව් මිස් අද පොඩ්ඩක් පරක්කු වුනා." 

"හ්ම්ම්, ඒක තමයි මෙච්චර වෙලා මූණ එල්ලගෙන හිටියේ. අපෝ බලන්න එපාය ඒ වෙලාවේ මූනේ හැටි. දැන් නම් හොඳට හිනා වෙලා ඉන්නවා." 

ධනුකත් සරණිත් සිනාසුනා මිස කිසිත් නොකිව්වෝය. 

"කොහොමහරි නෝන එනකල්ම හිටිය නේ බත් ටික කවාගන්න? මම මේ ආවේ තාමත් කාල නැත්තන් පැත්ත දාල හරි කවන්න." 

"තව චුට්ටෙන් මටත් පැත්ත දාල තමයි කවන්න වෙන්නේ. මාත් එක්ක තරහ වෙලා හිටියෙ මෙච්චර වෙලා." සරණිද කතාවට එක් වූවාය. 

"ඔය බොරු මිස්, එහෙම නෑ." 

"ආහ් නැත්තෙ මොකද, මට හිතා ගන්න පුළුවන් අර හිටපු විදියට. පොඩ්ඩක් එහෙ මෙහෙ වුනාට තරහ ගන්න එපා ඉතින්. මේ දවස් වල ඔයත් ගෙදර නැති නිසා එයාට වැඩ වැඩි ඇතිනේ." 

"අනේ ඔව් මිස්, මෙයත් ගෙදර නැති නිසා මට පිස්සුව වගේ මේ දවස් වල. වෙනදට මෙයත් ටිකක් හරි උදව් කරනව, දැන් එකත් නෑ නෙ. උදව් ඕනත් නෑ, පෙන්න හිටියත් හිතට හයියක් නෙ." 

ධනුක සරණි දෙස බැලුවේය.

"මේ ටිකේ ගෙදර ගියාම හරිම අවුල්. පොඩ්ඩගෙත් වාර විභහගේ කිට්ටුයි, ඒවත් බලන්න ඕනනේ. අනිත් එක ඔෆිස් එකෙත් වැඩ හිර වෙලා මේ දවස් වල. අදත් එන්න පරක්කු වුනේ ඒකයි."

සරණි ගැන ධනුකගේ හිතේ තදබල අනුකම්පාවක් ඇතිවිය. ඇයගේ හිත රිදවීම ගැන ඔහු බලවත් සේ පසුතැවීමට පත්වුනේය. 

"ඒකනේ, පවුනෙ මෙයාට."

ධනුක කිසිත් නොකියා බිම බලා සිටින්නේය. සරණි, ධනුකගේ හිස පිරිමදින්නට විය.

"ඔයා තමයි ඉතින් මෙයාව ඕනවට වැඩිය හුරතල් කරනව ඇත්තේ."

"අනේ ඔව් මිස්, වෙන කවුරු ඉතින් මෙයාව හුරතල් කරන්නද? පොඩ්ඩයි මෙයයි කියල ඉතින් මට වෙනසක් නෑ."

"අපෝ අපේ ගෙදරත් ඔහොම තමයි. අපේ එක්කෙනත් මේ වගේමයි. මහ බබාව බලාගන්න එක තමයි අමාරුම වැඩේ. උදේ ඉඳල හවස් වෙනකල් මහ කම්පැනියකුයි දාස් ගානක් මිනිස්සුයි හැන්ඩ්ල් කරනවා, හැබැයි ගෙදර ආපු ගමන් පොඩි එකා වගේ වෙනව. මම පේන්න හිටියේ නැත්තන් මූණ එල්ලගෙන තමයි ඉන්නේ."

"ආහ් එහෙනම් මම විතරක් නෙමෙයි නේද ඒ වගේ?" ධනුකගේ මුවට සිනහවක් නැගුණි. 

"නෑ නෑ තව ගොඩක් ඉන්නවා. ඉන්න, මම බේත් ටික අරන් එන්නම්. ඒ ටිකත් වයිෆ්ට කියලම පොවා ගන්න." 

හෙදිය සිනාසෙමින් යන්න ගියාය.

"තව පොඩ්ඩයි පැටියෝ, මේ ටිකත් කන්න." 

"සරණි, අනිත් දවසේ ඔෆිස් එකේ වැඩ දාල එන්න එපා. පොඩ්ඩක් පරක්කු වුනාට කමක් නෑ."

"නෑ නෑ, මාව රස්සාවෙන් අස් කලත් අනිත් දවසෙ අනිත් දවසෙ ගේට්ටුව අරින්නත් කලින් මම මෙතන ඇති."

"එහෙම එපා ළමයෝ. ඒ වැඩත් කෙරෙන්න ඕන නෙ. අනිත් එක මට දැන් ටිකක් හොඳයි නෙ." 

"හරි ධනූ, ඔයා ඒව ගැන හිතන්න එපා. ඔෆිස් එකේ වැඩ වගේද මට ඔයාගේ මූණ පොඩ්ඩක් බලාගන්න එක."

"හ්ම්ම්. පොඩ්ඩ මොකද, කරදර කරනවද?" 

"කරදරයක් නම් නෑ, තාත්තත් නැති නිසා අම්මට කරදර කරන්න එපා කිව්වම පාඩුවේ ඉන්නව." 

"දකින්නත් ආසයි." 

"මම හෙට එක්කගෙන එන්නම්කෝ."

"අනේ එක්කගෙන එන්න සරණි." 

"ආහ් ධනුක වතුර බොන්න, මම මේක හෝදගෙන එන්නම්." 

සරණි පිඟානත් රැගෙන වතුර කරාමය දෙසට යනු ධනුක ඇසිපිය නොහෙලා මෙන් බලා සිටියේය. ඇය නොපෙනී ගිය පසු යලි එනතෙක්‌ ඔහු නොයිවසිල්ලෙන් බලා සිටියේය. 
.....................................................................................................................................................................

ප.ලි. ගොඩක් දවසකින් මුකුත් ලිව්වේ නැති නිසා ලිව්වේ. ඒ වුනාට මේ ලෝකේ රහක් නෑ වගේ.:( කමක් නෑ ඉතින් පන දාගෙන කොටපු එකේ පබ්ලිෂ් කරල දානවා.

ප.ප.ලි. මාතෘකාව මාළු අයියගේ පෝස්ට් එකක පොඩ්ඩක් විතර කොපියක්.