twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, December 19, 2011

ඇගේ තනියට රැය පහන් කළෙමි

හ්ම්ම්, පෝස්ට් 50 කුත් ලිව්වා. 50ට සුභ පතපු හැමෝටම ආයෙත් පාරක් ගොඩාක් ස්තූතියි. බ්ලොගේට අලුත් ඇඳුමකුත් ඇන්දුවා. කලින් තිබුන එකට මම ගොඩක් ආසයි. ඒ වුනාට වෙනසක් කරන්න ඕන කියලා හිතුනා. පස්සෙ කාලෙක ආයෙත් ඒක දානවා. මට අම්ම ඕන කියන පෝස්ට් එකේ මම කියන්නේ නෑ කියල හිටපු මගේ ආදර කතාවේ පොඩි සිද්ධියක් කිව්ව නේ. ඊට පස්සේ මට හිතුනා ඒ කතාවේ තව විශේෂ සිද්ධියක් කියන්න ඕන කියලා. මේක නම් එච්චර ලස්සන කතාවක් නෙමෙයි. ඒත් මේ වගේ දේවලුත් වෙනවා කියලා දැනගන්න මම මේක කියනවා. හැබැයි ඉතින් දැන් කාලේ වෙන දේවල් වල හැටියට මේ වගේ දේවල් වෙනවා කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නැතුවත් ඇති. 

මේ සිද්ධිය වෙනකොටත් අපි යාළුවො කියන නමින් තමයි හිටියේ. මම එදා හිටියේ බෝඩිමේ. එතකොට මම උසස් පෙළ පළවෙනි අවුරුද්දේ හිටියේ. එදා අපේ ඉස්කෝලේ ස්පොට් මීට් එකට කලින් දවස. එදා එයා ටිකක් කලින් නිදා ගත්තා. ගුඩ් නයිට් මැසේජ් එකත් යවලා මම පාඩම් කර කර හිටියේ. ටිකක් රෑ වෙලා එයාගෙන් කෝල් එකක් එනවා. වෙලාව 11 - 12 අතර වගේ. මම බැලුවා මේ නිදාගන්න ගිය කෙනා මොකද කෝල් කරන්නේ කියලා. අනිත් එක අපි මැසේජ් කරගත්තට කෝල් කරන්නේ නෑ. හැම සති අන්තෙම යාලුවෙක්ගෙ හොස්ටල් එකේ තියන ෆෝන් බොක්ස් එකෙන් එයා මට කෝල් කරනවා. ඒ ඇරෙන්න මොබයිල් එකෙන් කෝල් එකක් ගන්නේ විශේෂ වෙලාවක විතරයි. මොකද ඒ කාලේ මේ වගේ කෝල් චාර්ජස් අඩු නෑ නේ. මාත් ඉක්මනට ආන්සර් කළා. එයා ටිකක් කලබලෙන් වගේ කතා කලේ. එයා මගෙන් physics පාස්ට් පේපර් එකක තියන ප්‍රශ්නයක් ගැන ඇහුවා. එයා කියන දේ හරියට පැහැදිලිත් නෑ. මම කරකවල අතෑරියා වගේ. physics එකස්පර්ට් මගෙන් ප්‍රශ්න අහන්නේ මොකද කියල. අනිත් එක මේ නිදාගෙන හිටපු ගෑනිට මහ රෑ එකපාරට මොකද physics ප්‍රශ්නයක් මතක් වුනේ? physics පේපර් එකවත් හීනෙන් දැක්කද දන්නේ නෑ.

මම  ඉතින් කෝකටත් කියලා පාස්ට් පේපර් පොත අරගෙන ඒ කියපු ප්‍රශ්නේ හොයන්න ගත්තා. දැන් මෙයා ඉවරයක්‌ නැතුව කියවනවා. මට තේරුණා ඇත්තටම මෙයාට  physics ප්‍රශ්නයක් අහගන්න නෙමෙයි ඕන වෙලා තියෙන්නේ කියලා. මට එතකොට තමයි තේරුනේ මෙයා හොඳටම බයවෙලා ඉන්නේ කියලා. මම ඇහුවා මොකක්ද ප්‍රශ්නේ, ඇයි බය වෙලා වගේ කියලා. ඒත් මුකුත් කියන්නේ නෑ. ඊට පස්සේ මම සැරෙන් ඇහුවා "මොකක්ද වෙලා තියෙන්නේ? මට කියන්න." කියලා. ඊට පස්සේ එයා කිව්වා, "මෙහෙම කියන්න බෑ, කියලා." දැන් ඉතින් මට විකාරයි. මම ආයෙත් ඇහුවා. ඊට පස්සේ එයා කිව්වා "මෙතන කියන්න බෑ, මැසේජ් එකක් දාන්නම්" කියලා. ඊට පස්සේ ආපු මැසේජ් එකේ ඇඟ හිරිවැටිලා යන කතාවක් කියලා තිබුනේ.

එයා කාමරේ නිදාගෙන හිටියලු. එයාගේ හොඳම යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් කෝල් එකක් ඇවිත්. එයාට කතා කරලා ඉවර වෙලා ආයෙත් නිදාගත්තලු. නින්ද කැඩුන නිසා ටික වෙලාවක් යනකල් හරියට නින්ද ගිහින් නෑ. එහෙම ඉන්නකොට එයාට දැනුනලු එයාගේ ඇඳ ළඟ කවුරුහරි ඉන්නවා කියලා. කළුවර නිසා හරියට පෙනුනේ නැති වුනාට එයාට තේරුනාලු බෝඩිමේ අන්කල් තමයි ඒ ඉන්නේ කියලා. එයාට කරගන්න දෙයක් හිතාගන්න බැරි වුනාලු. එයා කෑගහලත් නෑ. ඊට පස්සේ ඒ මිනිහ මෙයාගේ මූණ දිහාවට පාත් වෙලා. එයාට කළුවරේ ඡායාවක් පෙනුනලු ඒ මිනිහ එයාගේ මූණ පැත්තට පාත් වෙනවා. එතකොටම මෙයා ඇඳේ අනිත් පැත්තට හැරිලා. ඒ පාර අර මිනිහත් කලබල වෙලා ටක් ගාල කාමරෙන් එලියට ගිහින්. ඒ වෙලාවේම තමයි මෙයා මට කෝල් කරලා තියෙන්නේ. එයා බයෙන් ඉන්නේ අර මිනිහා ආයෙත් ආවොත් කියලා.

මම එහෙමම අනිත් පැත්තට කෝල් එකක් ගත්තා. එයා ඒ වෙනකොටත් එහෙමම ඇඳේ හිටියේ. ඒ කාමරේට දොරක් වත් නෑ. මම කිව්වා ඉක්මනට කාමරේ ලයිට් එක දාන්න කියලා. එතකොට අර මිනිහා දැනගන්නවා නේ එයා නිදි නෑ කියලා. අනිත් එක ලයිට් එකක් දාල තියන කාමරේකට හොරෙන් රිංගන්න හදන්නේ නෑ නේ. බෝඩිමේ ඇන්ටිත් ගෙදර ඉන්නවා. ඒ නිසා ඒ මිනිහා හොරෙන් රිංගන්න හැදුවොත් මිසක් බලහත්කාරෙන් කාමරේට එන්න හදන්නේ නෑ නේ. ඊට පස්සේ එයා ලයිට් එක දාල ආයෙත් ඇඳට ආව. එයා හොඳටම බය වෙලා, හරියට කතා කරගන්නත් බෑ. මටත් දැන් හොඳටම බයයි. ලයිට් එක දාල නිසා ඒ මිනිහා ආයෙත් එන්නේ නෑ කියල විස්වාසයක් තිබුනා, ඒත් ඉතින් වැරදිලාවත් මොකක් හරි වුනොත් කාට කියන්නද? මම කිව්වා වැරදිලාවත් ඒ මිනිහා ආයෙත් කාමරේට ආවොත් ඇන්ටිට ඇහෙන්න හයියෙන් කෑගහන්න කියලා. මගේ ළඟ එයාගේ බෝඩිමේ ෆෝන් නම්බර් එකත් තිබුනා. ඒ මිනිහා ආයෙත් ආවොත් මම ටක් ගාල ඒකට කෝල් කරන්න බලාගෙන හිටියේ. එතකොට ඇන්ටි ඇහැරෙනවා නේ. අනිත් එක එතකොට ඌත් බය වෙනවා නේ.

ඒ ඇරෙන්න මට ඒ වෙලාවේ කරන්න පුළුවන්කම තිබුනේ එයාගේ බය නැති වෙනකල් එයා එක්ක කතා කර කර ඉන්න එක විතරයි. ඊළඟ ප්‍රශ්නේ ෆෝන් එකේ සල්ලි. ඒ දවස් වල අපි දෙන්න ළඟ තිබුනේ ඩයලොග් ප්‍රී පේඩ් සිම් දෙකක්. My 5 ඇක්ටිව් කරලා තිබුන නිසා විනාඩියකට රුපියල් 2ක් යන්නේ. නැත්තන් රුපියල් 4ක් ද කොහෙද. මගේ ෆෝන් එකේ ලොකු ගානක් තිබුනේ නෑ. එයාගේ එකෙත් වැඩිය සල්ලි තිබුනේ නෑ. කොහොමහරි ඕන වුනොත් බෝඩිමට කෝල් එකක් දෙන්න මගේ එකේ සල්ලි තියෙන්නත් ඕන, මොනවා හරි වුනොත් මට කියන්න එයාගේ එකෙත් සල්ලි ඉතුරු කරගන්නත් ඕන. ඒ පාර මම අපේ බෝඩිමේ තිබුන ඔක්කොම ෆෝන් ටික අරගෙන ආව. ඔක්කොම කිව්වට ෆෝන් තිබුනේ මහිමයටයි තව දෙන්නෙකුටයි විතර. ඒ ඔක්කොගේම සල්ලි ඉවර වෙනකල් කතා කළා. එක දිගටම කතා කලේ නෑ. විටින් විට කතා කලේ සල්ලි ඉවර වෙන නිසා. කොහොම හරි ඒ ෆෝන් ටිකෙන් සැලකිය යුතු වෙලාවක් ඇද්ද.

මං ගැනම දුකයි මේවා මතක් වෙනකොට. මම ඊට පස්සේ ඩයලොග් එකට කෝල් එකක් ගත්තා. "මට පොඩි හදිස්සියක්, මට දැනට ෆෝන් එක රීචාර්ජ් කරගන්න ක්‍රමයක් තියනවද? මම පස්සේ ගෙවන්නම්" කියලා ඇහුවා. ඒ යකා කියනවා "ඔව් මහත්මයාට උදව් කරන්න පුළුවන්, මහත්මයාට තියෙන්නේ ලඟම තියන වෙළඳ සැලෙන් රීචාර්ජ් කාඩ් පතක් මිලදී ගෙන ඒකෙ තියන අංකය ඇතුලත් කරගෙන රීචාර්ජ් කරගන්න පමණයි" කියලා. මට ඉතින් අරූව බිම දාල බෙල්ල පාගල මරන්න තරම් තරහයි. මම ඇහුවා, "ඒක මම දන්නවා, මට මේ වෙලාවේ කාඩ් එකක් ගන්න විදියක් නෑ, වෙන කිසිම ක්‍රමයක් නැද්ද?" කියලා. මිනිහ කිව්වා වෙන කරන්න දෙයක් නෑ කියලා. මොනව කරන්නද ඉතින්? ඒ දවස් වල ලෝන් තිබුනෙත් නෑ නෙ. හැබැයි ටවුන් එකට ගියා නම් මට කාඩ් එකක් අරන් එන්න තිබුනා. බෝඩිමේ ඉඳල ටවුන් එකට කි.මි. 4 ක් විතර තිබුනේ. ටවුන් ඒකෙ නයිට් කඩ දෙක තුනක්ම තිබුනා. සයිකලෙත් තිබුනා, ඕන නම් අපේ එකෙක් ඇහැරවගෙන එක්ක යන්නත් තිබුනා. කොහොමහරි මට ඒක ඒ වෙලාවේ මතක් වුනේ නෑ.

ඊට පස්සේ මම ආයෙත් එයාට කෝල් එකක් ගත්තා. මම කිව්වා "රීචාර්ජ් කරගන්න විදියක් නෑ. එක දිගට කතා කරන්න එපා, සැරින් සැරේ ටික ටික කතා කරන්න. ෆෝන් එක අතේම තියාගන්න. මොනව හරි වුනොත් ටක් ගාල මට කෝල් කරන්න" කියලා. ඔය විදියට ගොඩක් වෙලාවක් කෝල් කර කර මිස් කෝල් දිදී හිටියා. අර මිනිහා ඇහැරගෙන හිටියත් කතා කරන සද්දේ, කෝල් කරන සද්දේ ඇහෙනකොට ආයෙත් එන්න හිතන්නේ නෑ නේ. කොහොමහරි ෆෝන් එකේ කීයක්‌ හරි ඉතුරු කරගන්න කිව්වට එයා මට කතා කරලා කතා කරලම සල්ලි ටික ඉවර කරගත්තා. දැන් මගේ එකෙත් තව පොඩි ගානයි තියෙන්නේ. මාත් ටික ටික කතා කර කර 4 විතර වෙනකල් කතා කළා. 4ට විතර මගේ එකෙත් සල්ලි ඉවරම වුනා. දැන් නම් එච්චර බයක් නෑ හැබැයි. ඔච්චර වෙලාවක් ගිහින් ඒ මිනිහ ආයෙත් එන එකක් නෑ කියල මට හිතුනා. මම කිව්වා කාමරේ ලයිට් එක දාලම තියන්න, පොඩ්ඩක් වත් නිදා ගන්න එපා කියලා. ඊට පස්සේ මම ඇඳේ වාඩි වෙලා බිත්තියට හේත්තු වෙලා හිටියා. මම එහෙම ගොඩක් වෙලා හිටියා. මට ඉතින් වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. ඊට පස්සේ මම ෆෝන් එකේ එලාම් එකත් තියාගෙන හාන්සි වුනා. 

උදෙන්ම එලාම් එකට ඇහැරිලා දුවගෙන ගිහින් එහා පැත්තේ කඩෙන් කාඩ් එකක් දාගෙන එයාට කෝල් කළා. බුදු සරණින් එයාට කිසි කරදරයක් වෙලා තිබුනේ නෑ. එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.  එයා එලි වෙනකල්ම ඇඳේ වාඩි වෙලා ඉඳල. එයා ඇන්ටිට මුකුත් කියන්න ගිහින් නෑ, වෙනද වගේ ලේස්ති වෙලා ඉස්කෝලේ ගියා. යන්න කලින් අම්මට කෝල් කරලා ඔක්කොම විස්තරේ කියලා. එයා ඒ වෙලාවේ කියල නැත්තේ අම්ම බය වෙයි කියලා. ඇත්ත ඉතින්, ඒ වෙලාවේ අම්මට කෝල් කළා නම් අම්මට බයටම මොනව හරි වෙනවා. එයාගේ අම්ම හිටියේ ගොඩාක් දුර. එයා හවස ඉස්කෝලේ ඇරිලා එහෙමම යාලුවෙක්ගෙ ගෙදර ගියා. පස්සේ අම්ම ඇවිත් අර බෝඩිමට ගිහින් එයාගේ බඩු ටික අරන් ඇවිල්ලා. අම්මත් ඒ ගැන මුකුත් කියන්න ගිහින් නෑ. බොරුවක් කියල ශේප් වෙලා ඇවිත්.

එදා රෑ එයයි අම්මයි දෙන්නම හිටියේ අර යාළුවගේ ගෙදර. එයාගේ අම්ම මට කතා කරලා නොසෑහෙන්න ස්තූති කළා. එයාගේ අම්ම මගේ ගැන දන්නවා. මම මැසේජ් කරන්න ගත්ත මුල් දවස් වලම එයා අම්මට මං ගැන කියලා තිබුනා. එයාගේ හැම දෙයක්ම අකුරක් නෑරම එයා අම්මට කියනවා. හැබැයි යාලුවෙක් විදියට විතරයි මාව අඳුන්වලා දීල තියෙන්නේ. ඊට පස්සේ එයත් කතා කරලා මට ගොඩාක් දේවල් කිව්වා. කොහොම වුනත් මම එදා එක දෙයක් හරියටම දැනගත්තා. ඒ මම එයාට කොච්චර ආදරේ කළාද කියන එක. මට ඒ වෙලාවේ ඇති වුන බයේ හැටියට මම තේරුම් ගත්තා මම එයාට කොච්චර ආදරේ කළාද කියලා. එයා ඉස්කෝලේ ගිහින් එයාගේ හොඳම යාළුවො දෙන්නටත් විස්තරේ කියලා. එයා මට කිව්වා යාළුවො දෙන්න මට තෑන්ක්ස් කළා කියලා. මම ලොවෙත් නැති ටෝකක් ඒ වෙලාවේ දුන්නේ. මම කිව්වා, "එයාල මට තෑන්ක්ස් කරන්නේ මොකටද? මම පරෙස්සම් කර ගත්තේ මගේ දෙයක් නේ" කියලා.:P කොහොමද මගේ ටෝක්ස්? අයියෝ සංසාරේ කිව්වලු! මගේ දෙයක් කිව්වට ඉතින් කලින් කිව්වා වගේ 'යාළුකම' කියන නම තමයි ඒ වෙනකොටත් අපේ සම්බන්දෙට තිබුනේ. ඒ වුනාට ඉතින් ඔහොම කතා තමයි යන්නේ. 

මට එයාගේ අම්මත් එක්ක පුදුම තරහක් ආවේ කාමරේට දොරක් වත් නැති බෝඩිමක එයාව නැවැත්තුවා කියලා. අනිත් එක මට පුදුම අර මිනිහා ගෑනිත් ගෙදර ඉන්න වෙලාවේ එහෙම දෙයක් කරන්න හදපු එක. පුදුමාකාර අසහනයක් තියෙන්න ඇත්තේ. නැත්තන් ඉතින් ඔහොම දෙයක් කරාවිද. අපේ ලොකු අම්මගේ දුව හිටපු බෝඩිමකත් ටිකක් විතර ඔය වගේ වැඩක් වුනා. අක්කලා කාමරේ ඉන්න වෙලාවේ ඒ ගෙදර මිනිහා දොර රෙද්ද අතරින් බලාගෙන ඉඳල. අක්කල දැකල කෑගහලා.    

ඉතින් අක්කලා, නංගිලාට කියන්න තියෙන්නේ, කොයිතරම් විස්වාසවන්ත තැනක වුනත් කාමරේට ලොක් කරන්න පුළුවන් දොරක් නැති තැනක නම් නවතින්න එපා. අම්මල තාත්තලා වුනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන ගෑනු ළමයෙක්ව බෝඩ් කරද්දී. පොඩි වෙලාවක් ඇති ආයෙත් හදන්න බැරි තරම් වැරද්දක් වෙන්න. 

Thursday, December 15, 2011

අම්මෝ 50 යි


ඔන්න ඉතින් අද කසුන්ට, ඒ කිව්වේ මට, ගොඩක් සතුටු සහ වැදගත් දවසක්. මම දැන් මේ ලේස්ති වෙන්නේ මගේ 50 වෙනි පෝස්ටුව කොටන්න. හ්ම්ම් කොහොමද පටන් ගන්නේ? මම 50 වෙනි පෝස්ට් ඒකෙ ලියන්න ඕන දේවල් 44, 45 වගේ පෝස්ට් වල ඉඳලම හිත හිත හිටියේ. දැන් මට ඒ ටික ගලප ගන්න බෑ.:) ඉතින් මේ කියන්න හදන්නේ මම ආපු ගමන ගැන සහ ඒ ගමනේදී මට දැනුන දේවල්. මේ කියන දේවල් මේලෝකේ රහක් නැති වෙයිද මන්ද. එහෙම නොවෙන විදියට ලියන්න උපරිම උත්සාහ ගන්නම්.

මීට මාස නමයකට කලින්, ඒ කිව්වේ 2011 මාර්තු මාසේ තමයි මම සිංහල බ්ලොග් ලෝකෙට පය ගැහුවේ. මම බ්ලොග් කියන දේ ගැන මුලින්ම දැනගත්තේ මහිමයාගෙන්. හැබැයි බ්ලොග් එකක් ලියන්න ගන්න කල්ම මම හරියට බ්ලොග් කියවලා තිබුනේ නෑ. මහිම විටින් විටින් විට එවපු සමහර බ්ලොග් පෝස්ට් කියවලා තිබුණා. මට මතකයි ඌ එකපාරක් රත්ගමයා රිච්මන්ඩ් එක ගැන ලියපු කවියක් තියන පෝස්ට් එකක් එවලා තිබුණා. ඔය වගේ ඌ එවපු පෝස්ට් දෙක තුනක් කියවලා තිබුණා ඇරෙන්න මම හරියට බ්ලොග් එකක් කියවන්නවත් දැනගෙන හිටියේ නෑ. මහිමය මට බ්ලොග් කියවපන් කියලා කීප වතාවක්ම කිව්වත් මට කියවීමට තියන අඩු ආසාව නිසා මම ඌ කියපු දේ ඇහුවේ නෑ. හැබැයි එක්තරා හේතුවක් නිසා මට පස්සේ කාලෙක බ්ලොග් එකක් ලියන්න වුවමනාවක් ඇති වුනා.

හැබැයි ඒ වුවමනාව එච්චරම ලස්සන එකක් නම් නෙමෙයි. මම මේ දේ මීට කලින් එකම එක තැනක කමෙන්ට් එකක කියලා තියනවා. 2010 අවුරුද්දේ මැද විතර ඉඳලා මට 'Internet Money' පිස්සුවක් ගහලා තිබුනේ. මම පිස්සුවෙන් වගේ Ad ක්ලික් කර කර, Offers කම්ප්ලීට් කර කර හිටියේ ඒ කාලේ. ඔය අතරේ මට දැනගන්න ලැබුනා තමන්ගේම සයිට් එකක් තියනවා නම් ඒකෙ AdSense වගේ ඇඩ් දාල ඒකෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා. බ්ලොග් වලත් ඒ විදියට ඇඩ් දාල සල්ලි හොයන්න පුළුවන් කියලා මට කවුරුහරි කිව්වා. මම ඊට පස්සේ මහිමයගෙනුත් ඇහුවා සීන් එක. මිනිහත් හරියටම දැනගෙන හිටියේ නැති වුනාට එහෙම පුළුවන් කියලා මිනිහත් කිව්වා. ඊට පස්සේ මම උගෙන් බෙසික් ටික අහගෙන බ්ලොග් එකක් හදාගත්තා. මම ඔය වැඩේ පටන් ගන්නකොටම මිනිහා කිව්වා, "ඔන්න බලපන් උඹ ඔය ඇඩ් දාන්න ඕක පටන් ගත්තට ටික දවසක් යනකොට උඹට ඇඩ් අමතක වෙලා උඹ බොක්කෙන්ම බ්ලොග් එක ලියාවි" කියලා. මම එදා ඒ කතාව එච්චර ගනන් ගත්තේ නෑ. අපරාදේ කියන්න බෑ, පෝස්ට් 5ක් 6ක් විතර යනකොට ඌ කියපු දේ එහෙමම වුනා. කමෙන්ට් එක දෙක වැටෙනකොට, ෆලෝවර්සලා එක්කෙනා දෙන්නා එකතු වෙනකොට, දැකලවත් නැති පිරිසක් එක්ක බැඳීමක් ඇති වෙනකොට ඇඩ් කොහෙන් ගියාද දන්නේ නෑ. ඊට පස්සේ ඉතින් මම මගේ උපරිමයෙන්ම, බොක්කෙන්ම මේ බ්ලොග් එක ලියන්න ගත්තා. ආයේ ජීවිතේට ඇඩ් ගැන මතක් වුනේ වත් නෑ. ගොඩක් දෙනෙක්ට වෙනවා වගේ මගේ බ්ලොග් එක මගේ ජීවිතේම කොටසක් වුනා.

බ්ලොග් එකක් හදන්න ගත්තම මුලින්ම ආපු ප්‍රශ්නේ තමයි, බ්ලොග් එකට දාන නම සහ මගේ අන්වර්ථ නාමය මොකක්ද කියන එක. ඇත්ත විස්තර දාල ඇත්ත නමින් ලියන්න මම කැමති නෑ. එතකොට නිදහසේ හිතේ තියන දේවල් කියාගන්න බැරි වෙනවා. ඔහොම කල්පනා කරනකොට මට මතක් වුනා බොහොම හුරු පුරුදු නමක්, 'කසුන්'. කසුන් කියලා අපේ ඉස්කෝලේ කොල්ලෙක් හිටියා. අපේ සෙට් එක දෙපාරක් තුන් පාරක් විතර උගේ තාත්තව මරලා තියනවා. අපේ කාටහරි කොහේහරි හොර ගමනක් යන්න ඕන වුන ගමන් උන්ගේ තාත්ත නැති වෙනවා. අපේ සෙට් එකේ දෙතුන් දෙනෙක්ගේම ගෙවල් වලට විවිධ අවස්ථා වල ඔය බොරුව කියලා තියනවා. කොහොමහරි මට ඒ වෙලාවේ ඒ නම දාන්න ඕන කියලා හිතුනා. ඊට පස්සේ බ්ලොගේට 'කසුන්ට හිතෙන හැටි' කියලා නම වැටුනා.

2011 මාර්තු 14 වෙනිදා 'මට තේරෙන්නැති ආදරේ' කියන ලිපියෙන් තමයි මගේ බ්ලොග් ලිවිල්ල ආරම්භ වුනේ. මාස නමයක්ම ගියා පෝස්ට් 50 දාන්න. මම ඇත්තටම මාර කම්මැලියි. බ්ලොග් ලිවිල්ලටත් ඒක එහෙමම බලපෑවා. පහුගිය මැයි මාසේ එකම එක පෝස්ට් එකයි දාල තියෙන්නේ. අනිත් එක මට ලියන්න ගියාම මාර වෙලාවක් යනවා ලියන ටික ගැට ගහගන්න. මොකද මගේ ලිවීමේ හැකියාව එච්චර හොඳ නෑ. ඒ හේතු නිසා තමයි මම ගොඩක් හෙමින් ලියන්නේ. මගේ බ්ලොග් කියවිල්ලත් එහෙමම තමයි.  මගේ බ්ලොග් රෝල් එකේ තියන බ්ලොග් ටික නම් ඉඩක් තියන හැම දවසකම වගේ කියවනවා. සමහර වෙලාවට ඒවා වත් කියවන්න වෙන්නේ නෑ. හැබැයි සින්ඩියකට ගිහින් බ්ලොග් කියවන්නේ ගොඩක් අඩුවෙන්. කලින් කිව්වා වගේ කම්මැලි කම නිසා තමයි එහෙම වෙන්නේ. 

මම දෙවනි පෝස්ට් එකත් දාල තමයි හරියට බ්ලොග් කියවන්න ගත්තේ. මම මුලින්ම කියෙව්වේ රත්ගමයාගේ බ්ලොග් එකයි, නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි කියන බ්ලොග් එකයි. දෙකම ඕපන් කරගෙන මාරුවෙන් මාරුවට දෙකම කියෙව්වා. සමහර ඒවාට කමෙන්ට්නුත් දැම්මා. එදා වැඩේ හොඳටම නැගලා ගියා. ගොඩක්ම රෑ වෙනකල් ඒ දෙක කියෙව්වා. හැබැයි නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි කියන බ්ලොග් එක ලියන එක ඒ වෙනකොටත් එයා නවත්තලා තිබිලා තියෙන්නේ. නවත්තලා ටික දවසකින් තමයි මම ඒ පැත්තේ ගිහින් තියෙන්නේ.:(

මම ටික කාලෙකට පස්සේ ලාස්ට් රෝ එකටත් ලියන්න ගත්තා. ඒකට නම් තාම පෝස්ට් තුනයි හරි හතරයි හරි ලියලා තියෙන්නේ. මම මුලින්ම සින්ඩියකට කියලා ඇප්ලයි කලේ SBU එකට. ඒත් ඒකෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. ඊට පස්සේ තමයි ලාංකීය සිතුවිලි වලට මගේ බ්ලොග් එක දැම්මේ. ඊට පස්සේ නම් තියන තරමක් සින්ඩි වලට මම ඇප්ලයි කළා.:) මධුරංගයත් මට සින්ඩි දෙක තුනකම ලින්ක් එව්වා. ඔය දකුණු පැත්තේ තීරුවේ පහලම තියෙන්නේ මාව ඇතුලත් කරගත්ත සින්ඩි. තව ඔතන 'කොත්තු', 'සින්ඩිය', 'අඹ ගහ යට' කියන ඒවා නෑ. ඒ සින්ඩි වල බැනර් කෝඩ් හොයා ගන්න බැරිවුනා. ටික කාලයක් ගිහින් මම බ්ලොග් එකට ෆේස්බුක් එකවුන්ට් එකකුත් හදාගත්තා. ගොඩක් අයගේ එහෙම තියනවා දැකලයි මටත් ආස හිතුනේ. මධුරංගයා තමයි මාව මුලින්ම 'බ්ලොග් අවකාශයේ මිතුරෝ' කියන ගෲප් එකට ඇඩ් කලේ. ඇත්තටම මධුරංගය මුල ඉඳලම ගොඩක්ම ලොකු සහයෝගයක් දුන්නා මගේ ගමනට. මගේ දෙවනි පෝස්ට් එකේ ඉඳලම ඌ මාත් එක්ක හිටියා. ඊට පස්සේ 'ශ්‍රී ලාංකික බ්ලොග්කරුවන්ගේ එකතුව' හා 'I Am a Blog Reader මම බ්ලොග් කියවන්නෙක්මි' කියන ගෲප් වලටත් එකතු වුනා.

පොඩි සාර්ථකත්වයක් තිබුනට මම හිතපු තරම් තැනකට එන්න නම් මට බැරි වුනා. මුල් කාලේ මට හිතුනා මෙච්චර කාලෙකදී මෙච්චර තැනකට එන්න පුළුවන් කියලා. ඒත් ඒක එහෙම වුනේ නෑ.:) ගොඩක් දෙනෙක් වගේ මාත් කමෙන්ට් වලට, ෆලෝවර්ස්ලට නම් මාරම පෙරේතයි. මොකද කමෙන්ට් එකක්, ෆලෝවර් කෙනෙක් තමයි අපිට තව තවත් ඉස්සරහට යන්න තල්ලුව දෙන්නේ. කමෙන්ට් එකකින් ලැබෙන සතුට ගැන බ්ලොග් ලියන අයට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. පෝස්ට් එකක් දාපු දවසට, විසි වතාවක් විතර වත් ගිහින් බලනවා කමෙන්ට් වැටිලා තියෙන්නේ මොනවද කියලා. කමෙන්ට් වැටෙනකල් මේල් එක පැත්තක ඕපන් කරගෙන තියාගෙන ඉන්න වෙලාවලුත් තියනවා.:) හැබැයි එහෙමයි කියලා කමෙන්ට් දාන්න, ෆලෝ කරන්න කියලා මම කොහේදිවත් කාටවත් කියලා නම් නෑ. 'කසුන්ට හිතෙන හැටි' ලේබල් එකෙන් ලියපු පෝස්ට් වල අන්තිමට "කියවන අයගේ අදහසුත් දැනගන්න පුළුවන් නම් කැමතියි" කියලා ලියලා තියනවා. අනිත් අයගේ අදහසුත් එක්ක හොඳ සංවාදයක් ගොඩනගන්න පුළුවන් වෙන නිසයි එහෙම කිව්වේ. තව මම කියපු ප්‍රබන්ධයක මම ලිව්වා "අඩුපාඩු තියනවා නම් කියලා යන්න" කියලා. ඒ ඇරෙන්න කවදාවත් කමෙන්ට් කරන්න, ෆලෝ කරන්න කියලා බල කරලා නෑ. හිට්ස් වලටත් ටිකක් ආසයි, හැබැයි අර දෙක තරමටම නෑ.  

මේ වෙනකොට කමෙන්ට් 966 ක් වැටිලා තියනවා. (මගේ ඒවත් එක්ක.) ඒක නම් බොහොම පොඩි ඉලක්කමක්. හිට්ස්  22516 ක් තියනවා මේක පබ්ලිෂ් කරන මොහොත වෙනකොට. ඒ අතරේ නම් මගේම හිට්ස් ටිකකුත් තියනවා. මුල්ම කාලේ මම දැනගෙන හිටියේ නෑ තමන්ගේ හිට්ස් කවුන්ට් නොවෙන්න හදන්න පුළුවන් කියලා. ටික දවසකින් තමා මම ඒ ඔප්ශන් එක දැකලා මගේ හිට්ස් කවුන්ට් වෙන්නේ නැති වෙන්න හැදුවේ. හිට් කවුන්ටර් එකකුයි කමෙන්ට් කවුන්ටර් එකකුයි මේ පෝස්ට් එක වෙනුවෙන්ම දැම්මා. නැත්තන් කවුරුහරි හිතුවොත් මූ බොරු කියන්නේ කියලා.:) (කමෙන්ට් කවුන්ටර් එකේ කෝඩ් එක ඉල්ලගත්තේ මකුළු පැංචිගෙන්.) ෆොලෝවර්සලා 130 ක් අද වෙනකොට මාත් එක්ක ඉන්නවා. ෆලෝවර්සලා ගැන කියනකොට මට මතක් වෙන්නේ, 90 ඉඳල 100 යන්න විඳපු දුක.:( අයියෝ සංසාරේ කිව්වලු. පෝස්ට් බර ගානක් ගියා 90 ඉඳලා 100 ට එන්න. සිරාවටම මම වෙන ප්‍රොෆයිල් එකකින් චෙක් කරලා බැලුවා ෆලෝ බට්න් එක කැඩිලාවත්ද කියලා.:D

හැම කමෙන්ට් එකටම මම හැමතිස්සෙම පුද්ගලිකව උත්තර දුන්නා. ගොඩක් පරණ පෝස්ට් වලට දාපු  සමහර කමෙන්ට් වලට නම් උත්තර දෙන්න බැරි වුනා. මම කමෙන්ට් වලට රිප්ලයි කරනවා වගේම මම දාපු කමෙන්ට් වලටත් දාන රිප්ලයි බලාගන්නත් මම ගොඩක් ආසයි. සමහර කමෙන්ට් වලට රිප්ලයි දානකල් දහ පහළොස් වතාවක් විතර ගිහින් බලපු වෙලාවලුත් තියනවා.:) ෆලෝ කරපු බ්ලොග් එකක් නෙමෙයි නම් සමහර වෙලාවට ඒ පෝස්ට් එක bookmark වලට දාගන්නවා පස්සේ රිප්ලයි එක බලාගන්න. හැබැයි අනිත් හැමෝටම කමෙන්ට් වලට රිප්ලයි කරලා මට විතරක් රිප්ලයි නැති වුන වෙලාවලුත් තිබුණා.:( මට මතක විදියට හය වතාවක් විතර එහෙම වුනා. ඒ දෙකක්ම මාළු අයියාගේ. මම ඕව මතක තියාගෙන ඉන්නේ.:D එක පාරක් සහෝදරියෙක්ගේ බ්ලොග් එකක එයාගේ පෙම්වතා එක්ක ප්‍රශ්නයක් වෙලා ඒ දුකට දාපු පෝස්ට් එකක් තිබුණා. මම එකට හිතල හිතල දිගම දිග කමෙන්ට් එකක් දැම්මා. අන්තිමට ඒකෙ මට ඇරෙන්න අනිත් හැම කමෙන්ට් එකටම රිප්ලයි කරලා තිබුණා. එච්චර දිග එකක් දැක්කේ නෑ වෙන්න නම් බෑ. හේතුව නම් මොකද කියල දන්නේ නෑ. කොහොමහරි මට ඒකට නම් හොඳටම අප්සට්. ඒ පාර මම ඒ කමෙන්ට් එකත් අයින් කරලා, ඒ බ්ලොග් එක මගේ බ්ලොග් රෝල් එකෙනුත් අයින් කරලා, ෆලෝ කරන එකත් නවත්තලා දැම්මා. මට එච්චරට අවුල් එයා ඒ කරපු වැඩේට.

බ්ලොග් ලිවිල්ලේදී මම ඉගෙන ගත්ත දෙයක් තමයි මොන දේ වුනත්, මම හරියි කියල පිළිගන්න මතය වෙනුවෙන් පෙනී සිටින්න ඕන කියන දේ සහ බය නැතුව ඒ දේ කියන්න ඕන කියන දේ. මම ඒ දේ වැඩියෙන්ම ඉගෙන ගත්තේ මාරයියගේ පෝස්ට් වලින්. මම කොහොමටත් ඉස්සර ඉඳලම ඇත්ත ජීවිතේදීත් ටිකක් විතර ඒ වගේ තමයි. ඇත්ත ජීවිතේදී ගොඩක් දෙනෙක් මට වැඩිය කැමතිත් නැත්තේ ඒ නිසාමද මන්ද. හැබැයි මෙතනදී නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඊටත් වඩා ලේසියි. ඒ නිසා පසු කාලීනව පෝස්ට් එකක හෝ කමෙන්ට් එකක වැරදි අදහසක් (මට තේරෙන විදියට) දැක්කොත් ඒක වැරදියි කියල කියන්න පුරුදු වුනා. හැබැයි පුළුවන් තරම් ඒ කෙනාට තරහ යන්නේ නැති වෙන්න, හිත රිදෙන්නේ නැති වෙන්න ඒක කියන්න මම උත්සාහ කළා. ඒක නිසා එකම එක වෙලාවකදී ඇරෙන්න එහෙම කියලා ප්‍රශ්නයක්, රණ්ඩුවක් ඇති වෙලා නෑ. එක පාරක් නම් එහෙම දෙයක් කියලා ලොකු වාදයක් ඇති වුනා. හැමෝටම මතක ඇතිනේ චැනල් 4 වීඩියෝ එක. ඒ කතාව යන කාලේ මම දැක්කා එක්තරා පෝස්ට් එකක්, ඒකෙ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා හමුදාව වැරදි කාරයෝ කරලා තිබුනේ. එතනදී නම් ලොකු කතාවක් ගියා. මම විතරක් නෙමෙයි, තව කීප දෙනෙක්ම ඒකට විරුද්ධව කතා කළා. ඒ ඇරෙන්න එහෙම රණ්ඩු වෙලා නම් නෑ මට මතක විදියට. හැබැයි එහෙම කියපු සමහර දේවල් නිසා ලඟින් හිටපු සමහර අය ටිකක් ඈත් වුනාද කියලත් හිතෙනවා.

බ්ලොග් කෙරුවාවෙන් ලැබුන වැදගත්ම දේ තමයි බොහොම සුන්දර අදහස් තියන පිරිසක් ආශ්‍රය කරන්න ලැබුන එක. ජීවිතේට දැකලා නැති අය වුනත් (තාම බ්ලොග් ලියන කාවවත් මුණගැහෙන්න ලැබිලා නෑ.), මේ කෙරෙන ගනුදෙනුව හරිම සුන්දරයි. දැකලවත් නැති අයත් එක්ක මෙච්චර බැඳීමක් ඇති වෙන්නේ කොහොමද කියලත් වෙලාවකට පුදුමයි. දුකකදී හිත හදන්න, ප්‍රශ්නයකදී ඒක විසඳගන්න උදව් වෙන්න, සතුටකදී ඒ සතුට බෙදාගන්න හොඳ යාළුවො ටිකක් මෙතන ඉන්නවා. මේ වර්චුවල් ලෝකෙන් එහාට ඒ යාළුකම ගෙනියන්න නම් තාම අවස්තාවක් ලැබිලා නෑ. ඒත් අනිවාර්යෙන්ම ඒ දේ ඉදිරියේදී වේවි. මම දකින විදියට බ්ලොග් එකක් ලියන්න පෙළඹෙන්නේ සංවේදී, සියුම් හැඟීම් තියන, ආදරණීය මිනිස්සු. හැබැයි සාමාන්‍ය සමාජය වගේම මෙතනත් විවිධාකාර මත දරන අය ඉන්නවා. මොකද ඉතින් බ්ලොගස්ර්ල කියන්නෙත් මිනිස්සුනේ. ඒ නිසා සුන්දර අදහස් තියන මිනිස්සු අතරේ අමුතු අමුතු ජාතියේ අයත් ඉන්නවා. බොරුවට රැඩිකල් වෙන්න හදන අය, පොර ටෝක්ස් දෙන අයත් මේ අතරේ මම දැකලා තියනවා. තමන් උයන්න දන්නේ නෑ කියන එක මහ ලොකු කමක් වගේ කියන සමහර කෙල්ලෝ, හැම දේකම වැරැද්දක් හොයන්න ඉන්න කොල්ලෝ, එකී මෙකී නොකී හැම ජාතියකම අය මෙතන ඉන්නවා. එක අතකට එහෙම විවිධත්වයක් තියන එකත් හොඳයි. එතකොට තමයි අර 90% විතර සුන්දර මිනිස්සුන්ගේ අගය වැඩි වැඩියෙන් තේරෙන්නේ.

දැන් ඔය උඩ කියල තියන සහ එතන කියවිලා නැති වැරදි, දුර්වලකම් සමහරවිට මගේ බ්ලොග් එකෙත් ඇති. ඒව මට තේරෙන්නේ නෑ නේ. ඒවා තේරෙන්නේ අනිත් අයට නේ.:) මම පුළුවන් තරම් උත්සහ කරනවා ඒ වගේ දේවල් ඇති නොවෙන්න ලියන්න. ඒත් ඉතින් මගේ අතිනුත් වැරදි වෙන්න පුළුවන් නේ. මාත් අර කිව්වා වගේ මනුස්සයෙක් නේ.

මගේ  සමහර පෝස්ට් තිබුනා මමම ගොඩක් රසවිඳපු. ඕනෑම  නිර්මාණයක් හොඳටම රස විඳින්න පුළුවන් ඒක කරපු කෙනාට කියනවනේ. ඒක ඇත්ත කියලා මට තේරුනේ බ්ලොග් කෙරුවාවෙන්. මෙහෙමනේ, මම දෙයක් ලියන්නේ මට හොඳයි කියල හිතෙන විදියට නේ. එතකොට ආයෙත් වතාවක් මමම ඒ දේවල් කියවනකොට ඒ ලියල තියන දේවල් හොඳයි කියලාම තමයි මට හිතෙන්නේ. අනිත් එක තමන්ට තමන්ගේ දේක වැරදි පේනවත් අඩුයි නේ. ඒ නිසා මම මගේ සමහර පෝස්ට් වලට ගොඩක් ආසයි. හැබැයි වෙන කෙනෙක්ට ඒවායේ ගොඩක් වැරදි අඩුපාඩු පේන්න පුළුවන්. මම ලියපු පෝස්ට් වලින් මම වැඩියෙන්ම විඳලා තියෙන්නේ 'දැන් නැගිටින්න වස්තුවේ, පරක්කු වෙලා' කියන පෝස්ට් එක. මේ ලඟදි මහිමයා නම් කිව්වා ඒක නිකන් 'කම්මුලේ හොටු' ටයිප් එකේ කතාවක් කියලා.:( ඒක එහෙම වෙන්න ඇති, ඒ වුනාට මම නම් ඒකට මාර ආසයි. ඒක කියවන වාරයක් පාසා මට හිතෙන්නේ ඒකෙ ඉන්න කොල්ල මම වුනානම් කියලා.:) 

ඉතින් මේ ගමන මේ විදියට එන්න මට ශක්තිය ධෛර්ය දුන්නේ කියවන ඔයගොල්ලෝ. ඒ ශක්තිය ධෛර්යය මට නොලැබෙන්න, මගේ අනිත් ගොඩක් වැඩ වගේ මේකත් අතරමැද නවතින්න තිබුනා. මුලින්ම මහිමයට ස්තූති කරන්න ඕන බ්ලොග් කියන්නේ මොකක්ද කියන එක මට කියලා දීල බ්ලොග් එකක් අටවගන්න හැටි කියල දුන්නට. ඌ නැත්තන් මම බ්ලොග් කියන දේ අදටත් දන්නේ නෑ. එහෙම වුනානම් මේ සුන්දර ඇසුර මට කවදාවත් නොලැබෙන්න තිබුනා. ඊළඟට මගේ පෝස්ට් වලට කමෙන්ට් දාල මාව දිරිමත් කරපු, අඩු පාඩු කියා දීපු, අදහස් බෙදා ගත්තු හැමෝටමත් ගොඩාක් ස්තූතියි. ඒ වගේම මගේ බ්ලොගේ ෆලෝ කරලා මාව දිරිමත් කරපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි. කමෙන්ට් නොකලත්, ෆලෝ නොකලත් මගේ පෝස්ට් බලපු හැමෝටමත් ස්තූතියි. ඇත්තටම මම හිතාගෙන හිටියේ නම් වශයෙන්ම මේ ස්තුතිය කරන්න. මොකද මට මෙතන අනිවාර්යෙන්ම කියාගන්න ඕන වුනු නම් ගොඩක් තියනවා. ඒ අය ගැන සඳහන් කරන්න මට ලොකු වුවමනාවක් තියනවා. ඒත් එහෙම කියන්න ගිහින් හදිස්සියේ හරි නමක් දෙකක් මග ඇරුනොත් ඒක ඊට හරි නෑ නේ. ඒ නිසා අකමැත්තෙන් හරි නම් වශයෙන් ස්තූති නොකර පොදුවේ ස්තූති කරනවා කියල හිත හදාගත්තා. ඒ වගේම සින්ඩි පවත්වාගෙන යන අයටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. මම ලියපු දේවල් කියවන අය අතරට ගෙනියන්න සින්ඩි වලින් ලැබුන සහයෝගය ගොඩක්ම මට වටිනවා. ඒ අයගේ සහයෝගය නැත්තන් ඉතින් අපිම ලියල අපිටම තමයි මේවා කියවන්න වෙන්නේ. ඒ හැමෝටමත් ගොඩක් ස්තුතියි. 

මෙච්චර කාලෙකට මම මොනවා හරි වැරදි දෙයක් ලියලා තියනවා නම් ඒකට සමාවෙන්න. ඒ වගේම පෝස්ට් එකක හෝ කමෙන්ට් එකක මම ලියපු දෙයකින් කාගේ හරි හිත රිදුනා නම් ඒකටත් මම සමාව ඉල්ලනවා. 

දැන් නම් මේක දිග වැඩියි වගේ නේද. හිතේ තියන ඔක්කොම ලිව්වා ඒකයි. ඉතින් මම කලින් කිව්වා වගේ මේ ගනුදෙනුව ගොඩක් සුන්දරයි. ඒ නිසාම පුළුවන් තරම් කාලයක් මේ බ්ලොග් ලෝකේ ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. දැන් මේ බ්ලොග් එක මගේ ජීවිතේ නැතුවම බැරි දෙයක් වෙලා. බ්ලොග් අවකාශයත් එක්ක කියාගන්න තේරෙන්නේ නැති අමුතුම බැඳීමක් ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසාම වෙන්න ඇති දැන් මම මගේ ඇත්ත fb එකවුන්ට් එකට යනවට වඩා බ්ලොග් එකට හදාගත්ත fb එකවුන්ට් එකට යන්නේ.:) මේ ගමන මේ තරම් ලස්සන වුනේ ඔය හැමදෙනාම මාත් එක්ක හිටපු නිසා. ඉතින් මෙච්චර කල් හිටියා වගේ ඉදිරියටත් මාත් එක්ක රැඳිලා මට සහයෝගය දේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.


Monday, December 12, 2011

වැදගැම්මකට නැති කුළ භේදයේ තවත් එක බිල්ලක්

මම මේ ආයෙමත් කුළ භේදය ගැන කතා කරන්න හදනවා නෙමෙයි. මම එක පාරක් ඒ ගැන කතා කරලා තියනවා නේ. මම මේ කියන්න හදන්නේ ඒ ප්‍රශ්නේ නිසා බින්දුවටම වැටිලා ඉන්න තවත් දෙන්නෙක් ගැන. ඒ කිව්වේ කුළ නොගැලපීම නිසා අන්ත අසරණ වෙලා ඉන්න තවත් ආදරවන්තයෝ දෙන්නෙක් ගැන. ඒ කොල්ලා මගේ රූමෙක්. කොළඹින් තරමක් ඈත ගමක කොල්ලෙක්. ඒ කෙල්ලගේ ගෙවල් තියෙන්නෙත් ඒ ලඟම. දෙන්නම ගිහින් තියෙන්නේ එකම ඉස්කෝලෙට. ඉතින් ඒ ආදර කතාව පටන් ගන්නේ ඉස්කෝලෙන්. කොහොම හරි කනින් කොනින් ගෙවල් වලට මේ සම්බන්දෙ ආරංචි වෙලා. කෙල්ලගේ ගෙදරින් මේ සම්බන්දෙට සම්පූර්ණයෙන්ම විරුද්ධයි ලු. පරණ කතාවම තමයි, කොල්ලගේ කුළේ මදි ලු. හැබැයි දෙන්න එහෙම කියලා සම්බන්දෙ නවත්තලා නෑ. කවදා හරි කෙල්ලගේ ගෙදර අය තේරුම් ගනීවි කියලා දෙන්නම බලාගෙන ඉඳලා. 

ඒ කොල්ලා කැම්පස් එනකොටත් ඒ ප්‍රශ්නේ එහෙමමයි. දැන් කැම්පස් ඇවිල්ලත් අවුරුදු තුන හමාරක් වෙනවා. තාමත් ඒ කෙල්ලගේ ගෙදර අයගේ තීරණය එක පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ. මට මතකයි ආපු මුල්ම කාලෙත් ඌ කියලා තියනවා, "මේක හරි යන්නේ නෑ බං, මට කවදාවත් ඒකිව ලැබෙන්නේ නෑ" කියලා. කවදා හරි වෙන් වෙන්න වෙනවා කියල දැනගෙන හිටියත් ඒ ආදරේ දශමෙකින් වත් අඩු වුනේ නෑ. දරාගන්න බැරි තරම් බරක් හිතේ තියාගෙන, මුකුත් ප්‍රශ්නයක් නෑ වගේ තමයි උන් දෙන්නා මෙච්චර කල් හිටියේ. කාලයට ඉඩ දීල බලන් ඉන්නවා ඇරෙන්න උන් දෙන්නට වෙන කරන්න දෙයක් තිබුනෙත් නෑ. හැබැයි දැන් තත්ත්වය ගොඩක්ම දරුණු අතට හැරිලා තියෙන්නේ. දැන් ඒ ගෙදර මිනිස්සු ඒ කෙල්ලට දිගට හරහට මංගල යෝජනා ගේනවලු. ගෙවල් දොරවල් බලන්න මේ වෙනකොට කීප දෙනෙක්ම ඇවිල්ලත් තියනවලු. ඒ කෙල්ල අඬ අඬා මුගෙන් අහනවලු "ඔයා ගැන හිතේ තියාගෙන මම කොහොමද වෙන කෙනෙක් ඉස්සරහට බුලත් හෙප්පුවක් අරන් යන්නේ?" කියලා. ඒ කෙල්ල දැන් නිකන් පිස්සුවෙන් වගේලු ඉන්නේ. අපේ එකාට කරගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙලා තියෙන්නේ. 

දැන් ටික ටික අමුතු අමුතු දේවලුත් වෙන්න පටන් අරන්. දෙන්නම සමහර වෙලාවට කෝල් නොකර ඉන්නවා, සමහර වෙලාවට අනිත් කෙනා කෝල් කලාම ආන්සර් නොකර ඉන්නවා. දෙන්නම සමුගැනීමට ලේස්ති වෙනවද මන්දා. මට නම් හිතෙන්නේ එහෙමයි. එහෙම ඉන්න හැදුවට එහෙම ඉන්නත් බෑ. උපරිම දවසක් කතා නොකර ඉඳීවි. ඊට පස්සේ ආයෙත් ඉබේම කතා කෙරෙනවා. කොච්චර කතා කලත් විසඳුමක් හොයා ගන්න දෙන්නටම බෑ. ඌ ඉස්සර නම් කාමරේ ඉඳන්මයි කෝල් ගන්නේ. දැන් නම් ඌ එලියට ගිහින් කෝල් එක අරන් එන්නේ. සමහර විට ඉස්සර වගේ හිනාවෙලා කතා කරන්න බැරි නිසා වෙන්න ඇති.

මට කවදාවත් ඇහිලා නෑ කෝල් කරද්දී ඌ ඒ කෙල්ලට බනිනවා. නෝක්කාඩු නම් කියනවා සෑහෙන්න, ඒ ඇරෙන්න කවදාවත් රණ්ඩු වෙනවා ඇහිලා නෑ. ඇත්තම කියනවානම් කෝල් එකක් ගත්තම ඌත් බඩුව වෙනවා. අනිත් අයත් එක්ක ඉන්නකොට නම් ඌ පොඩ්ඩ ඇත්තන් තරහ යන, පපුවට පිහියෙන් අනින්න වගේ වචන කියන ඩයල් එකක්. ඒ වුනාට ඌ කෙල්ලට නම් මාරම ආදරෙන් කතා කරන්නේ. පහුගිය කාලෙම ඌ කෙල්ලගේ ෆොටෝ ටිකක් ගෙන්නගෙන ඒව එඩිට් කර කර දෙන්න එකට දාල ෆොටෝ හැදුවා. එහෙම හදපු ෆොටෝ 20 ක් විතර තියනවා මම හිතන්නේ. ඇත්ත ජීවිතේ උන් දෙන්නට එකට ඉන්න බැරි නිසා ඌ දෙන්න එකට ඉන්න බොරු ෆොටෝ දිහා බලලා සතුටු වෙනවා. එහෙම ආදරේකට තමයි මේ කණකොකා හඬන්න යන්නේ. 

ඒ කෙල්ල දැන් ගුරුවරියක්. ඒකි පළවෙනි පඩියෙන් ඌට අරන් දීපු බූල් බල්ලා ඉටි කවරෙක දාල තාමත් උගේ ඇඳේ ඔලුව තියන පැත්තේ එල්ලලා තියනවා. ඒ කෙල්ල මූට හැම මාසෙම සල්ලිත් දෙනවා. එකවුන්ට් එකක් ඕපන් කරලා මූට කාඩ් එකක් දීල තියෙන්නේ. කෙල්ල පඩි ගත්තම ඒකට සල්ලි දානවා. හම්බවෙන්න ගියාමත් බලෙන් හරි කීයක්‌ හරි ඇඟේ ගහල එවන්නේ. ඒ තරමටම කෙල්ලෙත් මූට ආදරෙයි. ඒත් ඒකිට ගෙදරට විරුද්ධ වෙන්න තරම් ශක්තියක් නෑ. ඒ කෙල්ල මොනම හේතුවක් නිසාවත් මූව නැති කරගන්න කැමතිත් නෑ. ඌ කියලත් තිබුණා ගෙදර අය කවදාවත් කැමති වෙන්නේ නෑ නේ, ඔයා මාව අමතක කරලා හිත හදාගන්න කියලා. ඒ කෙල්ල කොහොමටවත් ඒකට කැමති නෑ. ඒ කෙල්ල මාරම පීඩනයක් දරාගෙන ඉන්නේ. ඌ සමහර වෙලාවට දරාගන්නම බැරි වුනාම අපිත් එක්ක ඔය ගැන කියනවා. ඌ කියන දෙයක් අහන් ඉන්නවා මිසක් මම නම් උගෙන් මුකුත් අහන්න යන්නේ නෑ. මොකද මට ඒ වෙලාවට කෙලින් උගේ මූණ දිහා බලාගෙන ඉන්න බෑ. සමහර වෙලාවට ඌ ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. දැක්කේ නෑ වගේ ඉන්නවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ. මොකද ඔය ප්‍රශ්නෙට අපිටත් දෙන්න උත්තරයක්‌ නෑ.

දැන් අපි හදන්නේ කරන්න තියන අන්තිම දේත් කරලා බලන්න. ටික කාලෙකට කලින් ඔය ගැන කතා වෙන වෙලාවක මම ඌට කිව්වා ඔය වැඩේ කෙරෙන්නෙම නැත්තන් අපි ගෙදර අයට මොකක් හරි ගුරුකමක් හරි කරමු කියලා, කැමැත්ත ගන්න. ඌ ඒ වෙලාවේ කිව්වා වෙන කරන්නම දෙයක් නැති වුනොත් එහෙම හරි කරමු කියලා. තත්ත්වේ ගොඩක්ම නරක අතට හැරිලා කියල කියපු නිසා මම ලඟදි ඌට ඕක ආයෙත් මතක් කළා. වෙන කරන්නම දෙයක් නැති නිසා ඌත් ඒකට කැමති වුනා. දැන් ඊළඟට කියවන අයට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මම ඔය වගේ දේවල් විශ්වාස කරනවද කියලා. ඒකට මට හරියටම උත්තරයක්‌ දෙන්න බෑ. හැබැයි ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා නේ. ඒ නිසා ඒ දේත් කරලා බලන එකේ වරදක් නෑ නේ. හැබැයි කොච්චර කිව්වත් ඔය වගේ දේවල් සම්පූර්ණයෙන්ම බොරු කියල පැත්තකට කරලා දාන්න බෑ. මොකද ඒ වගේ දේවල් වලින් ලැබුන ප්‍රතිපල මම අහල තියනවා, දැකල තියනවා. වෙන කරන්නම දෙයක් නැති එකේ හරි ගියොත් එහෙමයි, නැත්තන් නෑ කියල ඒකත් කරලම බලනවා. ඒකට තැනක් හොයන වැඩේ මටම තමයි භාර වුනේ. 

කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ වැඩේ එච්චර හරි නැති වැඩක් කියලා. ඒත් මම නම් එහෙම හිතන්නේ නෑ. දෙන්නට දෙන්න කැමතියි, කොල්ලට හොඳ රස්සාවක් අනිවාර්යෙන්ම ලැබෙනවා, වෙන කිසිම අවුලකුත් නෑ. එතකොට කෙල්ලගේ ගෙදර අයට එකම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ කිසි වැඩකට නැති කුළේ නේ. ඒ නිසා ඒ මෝඩ අදහස වෙනස් කරන්න ඒ වගේ දෙයක් කරන එකේ කිසි වැරද්දක් නෑ කියලයි මම නම් හිතන්නේ. කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි කැමති කරවගන්න ඒ වගේ දෙයක් කරනවා නම් ඒක නම් මහම මහ චාටර්ම වැඩක්. මොකද ආදරේ කියන දේ බලෙන් ගන්න බෑ නේ. ඒත් මෙතන ප්‍රශ්නේ ඒක නෙමෙයි නේ. ඒ නිසා ඒකෙ වරදක් මම දකින්නේ නෑ. 

කිසිම වැඩකට නැති විකාර බෙදීමක් නිසා තවත් ජීවිත දෙකක් නාස්ති වෙලා යන්න දෙන්න බෑ. මොන විදියකින් හරි, උන් දෙන්නට දෙන්න අයිති වෙන්න කියන එකයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ. මොකද මම හොඳටම දන්නවා එහෙම නැති වුනාම තියන වේදනාව කොච්චරද කියලා.  


Friday, December 9, 2011

මට අම්ම ඕන




 මේ මගේ 48 වෙනි පෝස්ට් එක. මම 48 ට දාන්න කලින් හිතාගෙන හිටපු පෝස්ට් එක දාන්න වෙන්න නෑ. 'කෙල්ලන්ගේ අසාධාරණ කතා' කියන ලේබල් එකෙන් තමයි ඒක ලියවෙන්න තිබුනේ. හැබැයි පහුගිය දවස් වල ලියපු දේවල් වල හැටියට දැන් ඒකත් දැම්මොත් අක්කලා නංගිලා මාව කන්න හදාවි.:D ඒ නිසා ඒක දින නියමයක් නොමැතිව පස්සට දැම්මා. ඒ නිසා මම පරණ  මෙමරිය ස්කෑන් කරලා බැලුවා කොටන්න පුළුවන් මොනව හරි හොයාගන්න. එතකොට පොඩි සීන් එකක් මතක් වුනා. මේක හැබැයි ටිකක් විතර 18+ ‌ද මන්ද. ඒත් නෑ, ඒ ඉස්සර. දැන් නම් මේ වගේ දේවල් 14+ විතර ඇති මගෙ හිතේ.:) හරි දැන් කියන්න ගිය කතාවට එමුකො.

මම කලින් පෝස්ට් දෙක තුනකම කියලා තියනවා මගේ පළවෙනි ආදරේ ගැන මගේ බ්ලොග් එකේ මම ලියන්න කැමතිම නෑ කියලා. එහෙම වුනොත් වෙන කිසි දෙයක් ලියන්න වෙන්නෙත් නෑ, අනිත් එක එහෙම වුනොත් මේක මහා අඬෝවැඩියාවක් වෙනවා. හැබැයි දැන් මට මතක් වුන සිද්ධිය ඒ සම්බන්ධ පොඩි කතාවක්. ඔන්න ඔහේ ඒක විතරක් කියලා දානවා. ඊට කලින් පසුබිම පොඩ්ඩක් විස්තර කරලා ඉන්නම්, නැත්තන් තේරෙන්නේ නැති වුනොත්! මේ සම්බන්ධ ආදර කතාව (ඒක පාර්ශවික නොවන මගේ පළවෙනි ආදර කතාව) ඇති වුනේ ෆෝන් එකෙන්. (ගොනා කාලෙනේ) ඒ කෙල්ල අපේ බෝඩිමේ හිටපු කොල්ලෙක්ගේ යාලුවෙක්. ගෙවල් තිබුනේ කොළඹට ගොඩක් ඈත. අපේ පැත්තත් පහු කරගෙන තව 75 km විතර යන්න ඕන. එයා ඉස්කෝලේ ගියේ කොළඹ ප්‍රසිද්ධම බාලිකාවක. දවසක් ඒ කෙල්ල ඌත් එක්ක මැසේජ් කර කර ඉන්නවා දැකලා මම උගෙන් ඇහුවම යාලුවෙක් කිව්වා. යාලුවෙක් නම් ඉතින් අවුලක් නෑ නේ, මායි මහිමයයි, තව එකෙකුයි උගේ ෆෝන් එකෙන් නම්බර් එක හොරෙන් අරන් මහිමයාගේ ෆෝන් එකෙන් ආතල් එකට මැසේජ් යැව්වා. අනිත් දෙන්න එදා වැඩේ නැවැත්තුවට මම නැවැත්තුවේ නෑ. ඊට පස්සේ මම මගේ ෆෝන් එකෙන් දිගටම මැසේජ් යැව්වා. කොහොමහරි වැඩේ දුරදිග ගිහින් අන්තිමට නැවතුනේ දෙන්න ආදර වන්තයෝ වෙලා.

ඔන්න ඉතින් මේ කියන සිද්ධිය වෙනකොට අපි දෙන්නට දෙන්න ආදරේ ප්‍රකාශ කරලා තිබුනේ නෑ. හැබැයි දෙන්නගෙම හිත්වල ඒ දේ තිබුණා. යාළුකම කියන වචනේ තමයි පාවිච්චි වුනේ. හැබැයි අපේ ඒ යාළුකම ඒ වෙනකොට කූටප්‍රාප්තියට ඇවිල්ලා තිබුනේ. පන්ති ඇරිලා එන්නේ ෆෝන් එක ඔන් කරලා මැසේජ් එකක් යවන්න බලාගෙන. එදා මම කලින් ආපු දවසක්. එයා පන්ති ගිහින් ඇවිත් මැසේජ් එකක් දැම්මා. ඔහොම ටික වෙලාවක් මැසේජ් කර කර ඉන්නකොට එයා කිව්වා "මට උණ වගේ, ඇඟට අමාරුයි. මම නාගන්න යනවා" කියලා. යකෝ උණ හැදුනම නාල හරියනවද? මම කිව්වා "උණ නම් ඉතින් නාන්න එපා. ගොඩක් අමාරු නම් පෙනඩෝල් එකක් බොන්න" කියලා. ඊට පස්සේ මැසේජ් එකක් එනවා "බේත් බීල වැඩක් නෑ. මට අම්ම ඕන." කියලා. ඉතින් මම කොහෙන්ද අම්මව ගිහින් දෙන්නේ. මම ඉන්නෙත් කිලෝමීටර් බර ගානක් මෙහා, එයාගේ අම්ම ඉන්නේ ඊටත් කිලෝමීටර් 75 විතර එහා. ඉතින් කොහෙද අම්මව ගිහින් දෙන්නේ. මම ඒකට දුන්න උත්තරේ නම් මතක නෑ. ඊට පස්සේ "මම නාගෙන එන්නම්" කියලා මැසේජ් එකක් ආව. මට මල ඉතින්. ඇයි දෙයියනේ උණ කියල දැන් නාන්න යනවා. මම කිව්වා "කියන දේ අහන්න බැරි නම් ඕන දෙයක් කරගන්න" කියලා.

එදා මගේ බයිසිකලේ මොකක් හරි අවුලක් වෙලා තිබුනේ. ඒ පාර මම ඒක හදන්න ගියා. ගිය අතරේ ආයෙත් මැසේජ් එකක් ආව නාගෙන ආව කියලා. මම හොඳටම තරහ ගිහිල්ල හිටියේ. මම මගේ කියල සලකන කෙනෙක් මම කියන දෙයක් අහන්නේ නැති වුනාම මට ගොඩක් තරහ යනවා. කොහොමහරි මම ඒ වෙලාවේ මොකක්ද කිව්වේ කියලා නම් මතක නෑ. ඊට පස්සේ මෙයා එක එක විකාර කියවනවා. "වැඩ කරන්න බෑ, එපා වෙලා ඉන්නේ, ගෙදර යන්න ඕන" ඔය වගේ කතා ගොඩයි. මට විකාරයි ඉතින්. ඇහුවට හරියට මුකුත් කියන්නෙත් නෑ. මම මේ බයිසිකලෙත් එක්කත් මල පැනලා ඉන්නේ. ඒ අස්සේ මෙයත් පිස්සු කියවනවා. මට ඉතින් හරි සන්තෝසයි. "අර ගහෙන්වැටිලා ඉන්න වෙලාවට සුරුට්ටු පත්තු කරන්න එනවා" කියලා කතාවක් තියෙන්නේ. ඒ වගේ තමයි වුනේ.  ආයෙත් මැසේජ් එකක් ආව, "ඔයා නම් පොඩි ළමයෙක් වගේ, කිසි දෙයක් තේරෙන්නේ නෑ නේ" කියලා. තේරෙන්න ඉතින් තේරෙන විදියට කියන්න එපාය. මම ගහලා යැව්වා, "මට ඔයා කියන දේවල් තේරෙන්නේ නෑ. කමක් නෑ, ඔයා පාඩම් වැඩ ටික හොඳට කරගන්න. මට එච්චරයි ඕන" කියලා.

ඊට පස්සේ රෑ වෙනකල් සද්දයක් තිබුනේ නෑ. රෑ වෙලා ආයෙත් මැසේජ් සාමාන්‍ය විදියට මැසේජ් කළා. මම හිතුවා දැන් පිස්සුව හොඳ ඇති කියලා. මම ආයෙත් ඒ ගැන අහන්න ගියෙත් නෑ. ටිකක් රෑ වෙලා මම වැඩ කර කර ඉන්නකොට ආයෙත් මැසේජ් එකක් ආව. ඒකෙ මුල ටික නම් මතක නෑ. අන්තිම ටික මෙන්න මෙහෙමයි තිබුනේ.

"............... Can't study now. Got into dat painful situation again." 

 අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. ඔන්න එතකොට තමයි මගේ මහා බුද්ධියට වැටහුනේ මොකක්ද මේ හවස ඉඳල මෙයා කියන්නේ කියලා. මම දැන් ඉතින් කරකවලා අත ඇරියා වගේ. මට හොඳටම අප්සට් මෙයා මෙච්චර කියලත් මට තේරුනේ නැති එකට. ඇයි දෙයියනේ ඉතින් කවුද හිතන්නේ මැරුවට ඔහොම දෙයක් කියාවි කියල. දැන් ඉතින් මොනවා කරන්නද? මම මැසේජ් එකක් දැම්මා, "අනේ මට දැනුයි ඔයා කියපු එක තේරුනේ. ඇත්තමයි ඔයා කියපු විදියට මට මේ වෙනකල් මුකුත් තේරුනේ නෑ. ඔයාට අමාරු නම් අද ටිකක් කලින් නිදා ගන්න. අද රෑ වෙනකල් ඉන්න එපා. මාත් දැන් නිදා ගන්නවා. මම අද ෆෝන් එක ඕෆ් කරනවා. මම උදේට මැසේජ් එකක් දාන්නම්." කියලා. (හරියටම වචන මතක නෑ, කොහොමහරි ඔය අදහස තමයි කියවුනේ.) ඊට පස්සේ එවෙලේම ෆෝන් එක ඕෆ් කළා. වෙනදට රෑට ෆෝන් එක ඕෆ් කරන්නේ නෑ. මම නිදා ගන්නවා කිව්වට නිදා ගත්තෙත් නෑ. මට එක පාරට ආපු ෂොක් එක නිසයි මම ෆෝන් එක ඕෆ් කරලා නිදා ගන්නවා කිව්වේ. මට ඉතින් එදා රෑ පිස්සුව වගේ වුන වැඩේට. උදේ ෆෝන් එක ඔන් කරනකොට මැසේජ් දෙකක් විතර ඇවිත් තිබුනා. එයා ඒක හරියට කිව්වේ නැති එකට සොරි කියලත් තිබ්බා. 

මේ කෙල්ලෝ නම් මාරයි, දෙයක් කියනකොට එක්කෝ හරියට තේරෙන්න කියන්න ඕන, නැත්තන් නොකිය ඉන්න ඕන. අනේ ඉතින් අසරණ අපි තමයි තැලෙන්නේ එහෙම නැති වුනාම.:)  පස්සේ දවසේ එයා එවපු මැසේජ් එකක තිබුණා "ඔයාගේ tiny flower (ඒ දවස් වල මම කතා කලේ ඒ නමින්) කෙල්ලෙක්, එයාට ඔයාට කියන්න බැරි දේවල් තියනවා" කියලා. යකෝ මේක හරි කෙලියක් නේ. කියන්න බැරි දේවල් තියනවා නම් නොකිය ඉන්න එපාය, බාගෙට කියලා පිස්සු වට්ටන්නේ නැතුව.:D කොහොමහරි ඒ සිද්ධිය ගැන මට පස්සේ පුදුම සතුටක්, ආඩම්බරයක් ඇති වුනේ. ඇයි ඉතින් තාම යාලුවෙක් විතරක් වෙලත් ඒ වගේ දෙයක් කියන්න තරම් විස්වාසයක්, සමීප බවක් තිබුන කියන එකට. ඒ කාලේ හැටියට සහ මගේ අත්දැකීම් එක්ක තමයි ඒක මහා ලොකු දෙයක් වුනේ. නැත්තන් ඉතින් අපේ කට්ටියට නම් ඕක මහා දෙයක් නෙමෙයි වෙන්න ඇති.:) කොහොමහරි එදා ඉඳල මම මාස දෙක තුනක් දවස් 28 ගනන් කර කර හිටියා. හැබැයි ඊට පස්සේ නම් එහෙම දෙයක් කවදාවත් කිව්වේ නෑ.:(

කොච්චර අමතක කරලා තිබුනත් ඔය වගේ සිද්ධි තාමත් මතක් වෙනවා. පොඩ්ඩක් ඇත්තන් ඇති ඒ වගේ සිද්ධි එකින් එක ඇස් ඉස්සරහ මැවෙන්න. ඒ සමහර දේවල් මතක් වෙද්දී හිනාත් යනවා. එහෙම හිනා යන්නේ, ඒ අතීතයේ තිබුන සුන්දරත්වය නිසාද, එහෙමත් නැත්තන් මම කොච්චර මෝඩද වුනාද කියල මතක් වෙන නිසාද කියලා නම් මම දන්නේ නෑ.

Monday, December 5, 2011

මෙන්න කරනවා නම් ලොවෙත් බිස්නස් එකක්

සැපට ජීවත් වෙන්න සල්ලි ගොඩක් වැදගත් දෙයක්. (සතුටින් ඉන්න නෙමෙයි හොඳද, සැපට ඉන්න. සතුටින් ඉන්න නම් සල්ලි එච්චර වැදගත් දෙයක් නෙමෙයි.) ඉතින් එහෙම සැපට ඉන්න හැමෝම කැමතියි නේ. ඒ නිසා අපි හැමෝම කැමතියි නේ කීයක්‌ හරි වැඩිපුර හොයාගන්න පුළුවන් නම්. එහෙම නේද? ඒක නිසා අපි රස්සාවකට අමතරව තව විවිධ ආයෝජන කරන්න පෙළඹෙනවා. ප්‍රාතමිකම ආයෝජන ක්‍රමය ඉතුරු කිරීමේ ගිනුමක දාන එකනේ. එතනින් ගියාම, ජීවිත රක්ෂණ, ස්ථාවර තැන්පතු, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ඒකක භාර, කොටස් වෙළඳ පොලේ ආයෝජනය වගේ විවිධාකාර වූ ආයෝජන වලට මිනිස්සු යොමු වෙනවා. ඒ හැම දෙයක්ම කරන්නේ වැඩි වැඩියෙන් කීයක්‌ හරි හොයාගන්න. හැබැයි ලංකාව වගේ රටවල මිනිස්සු තාමත් ආයෝජනය කරන්න පොඩි බයක් තියනවා. ආදී කාලේ ඉඳලම ඉතුරු කිරීමේ ගිණුමයි, ස්ථාවර තැන්පතුවයි තමයි එකම සහ හොඳම ආයෝජන මාධ්‍ය විදියට ගොඩක්ම මිනිස්සු සලකන්නේ. එතනින් එහාට ලෝකයක් නැති තරම්. හැබැයි එතනින් එහාට ගිය මිනිස්සු කොටස් වෙළඳ පොළ, ඒකක භාර වගේ නව ආයෝජන මාර්ග වලට පිවිසිලා වැඩි වැඩියෙන් මුදල් උපයනවා. (හැබැයි ඉතින් කොටස් වෙළඳ පොළ එහෙම නම් අවධානමත් ඒ වගේම වැඩියි.) ඔය අපේ සාතන් අයිය එහෙමත් කොටස් වෙළඳ පොළ කාපු ඩයල් එකක්. (තාමත් කනවා.:D) මෑන්ස් දවසට බර ගනන් හොයලා තියනවා. ආදායම් විස්තර හෙළි කරන එක හරි නැති නිසා කියන්නේ නෑ.:)

හැබැයි මම මේ ලේස්ති වුනේ පොදුවේ ආයෝජන මාර්ග ගැන කතා කරන්න නෙමෙයි. මම මේ කොටන්න හදන්නේ ලොවෙත් නැති ව්‍යාපාරයක් ගැන. ව්‍යාපාරයක් කියන්නේත් ආයෝජනයක්ම තමයි නේ. ඒක පොඩි ආයෝජනයක ඉඳල බිලියන ගනන් දක්වා වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් දෙනෙක් ව්‍යාපාරයක ආයෝජනය කරන්න බයයි. ඒ ඉතින් ඒවායේ තියන අවදානම නිසා. හැබැයි අවදානම අරගෙන ව්‍යාපාර වල ආයෝජනය කරන ගොඩක් මිනිස්සු හිතාගන්න බැරි තරම් ඉහලට යනවා. ඒ අවදානම ගන්න බය වුන මිනිස්සුන්ට ඊට ගොඩක් පහලින් නවතින්න වෙනවා. ඔය ආයෝජනය කරන මුදලේ අවධානම තමයි ඔය වගේ දේකට අතගහන්න තියන ලොකුම බාධාව. හැබැයි එහෙම කිසිම අවධානමක් නැති ව්‍යාපාරයක් තියනවා නම් හුඟ දෙනෙක් ඒ වගේ දේක ආයෝජනය කරාවි. අනිවාර්යෙන්ම තමන් යොදවපු මුදල අපතේ යන්නේ නෑ කියන එක සහ යොදවපු මුදලට හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවා කියන එක විශ්වාස නම් ඒ වගේ ව්‍යාපාරයක ආයෝජනය කරන්න කවුරුවත් බය වෙන්නේ නෑ නේ. ඒක නිසයි මම අද එහෙම ව්‍යාපාරයක් ගැන කට්ටියට කියන්න හදන්නේ.

බය  වෙන්න කිසිම දෙයක් නෑ, සීයක්ම විශ්වාසයි මේ ව්‍යාපාරයේ කිසිම අවධානමක් නෑ කියල. අනිවාර්යෙන්ම බලන් ඉඳිද්දී දියුණු කරන්න පුළුවන් ව්‍යාපාරයක් මේක. ජපානයේ නිෂ්පාදනය කරපු භාණ්ඩයක් ආනයනය කරලා මෙහෙ විකුනන්නයි තියෙන්නේ. ජපන් බඩු ගැන දන්නවා නේ, තත්ත්වය අතින් උපරිමයි නේ. ඒ නිසා ඒ ගැන බය වෙන්න දේකුත් නෑ. සතියක් වගේ කාලයක් ඇතුලත මෙහෙ වෙළඳ පොළ කිසි ප්‍රශ්නයක් නැතුව අල්ලගන්න පුළුවන්. මම වැඩේ පටන් ගන්න ඉන්නේ අපේ කැම්පස් එකෙන්. ආයෙත් කිසි කතාවක් නෑ සති දෙක තුනකින් ලක්ෂ ගානක් හොයන්න පුළුවන් කැම්පස් ඇතුලෙන් විතරක්. ආහ් කියන්න අමතක වුනානේ මේ භාණ්ඩේ ප්‍රයෝජනවත් වෙන්නේ පිරිමි පාර්ශවේට විතරයි. පිරිමි පාර්ශවෙනුත් තනිකඩ අයට තමා වැඩියෙන්ම ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් එහෙම අය ඕන තරම් ඉන්න නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අනිත් එක බිරිඳක් පෙම්වතියක් හිටියත් සමහර අයට මේක වැදගත් වෙන්න පුළුවන්. හරි හරි දැන් විස්තරේ කිව්වා ඇති, භාණ්ඩේ මොකක්ද කියල පෙන්නලා ඉන්නම්කො. 


ඔය තියෙන්නේ භාණ්ඩේ. හා හා දැන් ඉතින් පිරිමි පාර්ශවේ වල් විදියට එහෙම හිතන්න ලේස්ති වෙන්න එපා ඔන්න. කාන්තා පාර්ශවෙත් "ඊයා..." කියල කියන්න එහෙමත් එපා. මේකෙන් කෙරෙන්නේ මොකක්ද කියලා බලල ඉන්නකෝ. 
 
 
බලන්න කොච්චර සැපට ඉන්නවද කියලා. ආයෙ ඉතින් දවසම ඔහොම නිදාගෙනම ඉන්න පුළුවන් නේ. ඔය එක එක අනං මනං කොට්ට වගේද මේක. මෙතන තියන සැප දන්න අය ඕන තරම් ඇතිනේ. ඒ සැප විඳපු නැති අයට සහ විවිධ හේතු නිසා දැන් විඳින්න වෙන්නේ නැති අයට තමයි මේක තියෙන්නේ. (පළවෙනිම එක මම ඕඩර් කරලා තියෙන්නේ.:)) කිසි කතන්දරයක් නෑ, උණු කැවුම් වගේ විකිනෙනවා ෂුවර් එකටම. ඒකයි මම කිව්වේ කිසි බයක් නැතුව මේ ව්‍යාපාරයේ ආයෝජනය කරන්න පුළුවන් කියලා. 

 
 (බලන්නකෝ ඉතින් මී පැටව් වගේ නිදාගෙන ඉන්න ලස්සන.)

අනිවාර්යෙන්ම මේකට එන ඉල්ලුමත් එක්ක මට තනියම මේ වැඩේ කරගෙන යන්න බෑ. ඒකයි මම මේ ව්‍යාපාරෙට කීප දෙනෙක් එකතු කරගන්න හිතුවේ. ඔන්න එහෙනම් මේකේ හවුල් කාරයෝ විදියට මාත් එක්ක එකතු වෙන්න කැමති අය ඉන්නවා නම් කියන්න. ඕන කෙනෙක්ට පුළුවන් මේකට සම්බන්ධ වෙන්න. ආහ් ඊළඟට මේක මිලදී ගන්න කැමති අය ඉන්නවා නම් කියන්න. පළවෙනි ස්ටොක් එකෙන්ම ඒ අයට දෙන්නම්. හැබැයි කාන්තා පාර්ශ්වෙට නම් මේවා විකුනන්නේ නෑ. නීති විරෝදී වැඩ කළා කියල මට හිරේ විලංගුවේ වැටෙන්න බෑ.
.....................................................................................................................................................................
ප.ලි. මේකේ ගවුම දිගට තියන වර්ෂන් එකකුත් නිෂ්පාදනය කරවගන්න මේ වෙනකොට සාකච්චා පවත්වාගෙන යනවා. ඒකත් ළඟදීම ලැබේවි. ඒ නිසා මේක ඕන කරන අය මොන වර්ෂන් එකෙන්ද ඕන කියලත් කියල එවන්න.
 

Friday, December 2, 2011

දැන් එතකොට කොල්ලන්ගේ විතරමද වැරැද්ද?


  
කාලෙකින් දවස් දෙක තුනක නිවාඩුවක් ගත්තා. හැබැයි මුකුත් ලිව්වේ නැත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ පොඩි ප්‍රශ්නයක් නිසා.:) මගේ කලින් පෝස්ට් එකත් දවස් දෙක තුනක් අයින් කරලා තිබ්බා ඒ නිසා. දැන් නම් අවුලක් නෑ වගේ. අද මේ කොටන්න කියල ලේස්ති වුනේ ආදරය සම්බන්ධ ගැටළුවක් ගැන. මේ ගැන කලින් ගොඩක් ලියවිලාත් ඇති. ප්‍රශ්නේ තමයි මුලින් ආදරය ප්‍රකාශ කරන්න ඕන කොල්ලමද කියන එක. එහෙමත් නැත්තන් කෙල්ලෙක් මුලින් ආදරය ප්‍රකාශ කිරීම වැරදිද කියන එක. ඔය සම්බන්ධව ලියවුනු ගොඩාක් දෙනෙක් අදහස් දක්වපු ලිපියක් මම ටික කාලෙකට කලින් දැක්කා. බ්ලොග් සහෝදරියක් තමයි ඒක ලියල තිබුණේ. එයාට වුන සිද්ධියක් නිසා තමයි එයාට එහෙම ලියන්න හිතිලා තිබුණේ. ඒ සිද්ධියේ හැටියට එහෙම ලියන්න හිතුන එක 100% ක්ම සාධාරණයි. හැබැයි ඒකෙ සම්පූර්ණයෙන්ම වැරදිකාරයෝ කරලා තිබුනේ කොල්ලන්ව. ඒ ප්‍රශ්නෙදි කෙල්ලන්ගේ පැත්තෙන් වෙන වැරදි ගැන කියවිලා තිබුනේ නෑ. (ඒක ඉතින් සහෝදරියන්ගේ බ්ලොග් වල නිතරම දකින්න ලැබෙන දෙයක් නේ.:)) මම ඒකට කමෙන්ට් එකකුත් දැම්මා, රිප්ලයි නම් ලැබුනේ නෑ. මට පස්සේ දාල තිබුන කමෙන්ට් වලටත් රිප්ලයි කරලා නම් තිබුනා.:) මම එතන දාපු කමෙන්ට් එකේ කියපුවත් එක්ක තමයි මේ කියන්නේ. මට කාලෙකට පස්සේ මේ ගැන ආයෙත් මතක් වුනේ මේ ලඟදි බ්ලොග් සහෝදරියක් එක්ක චැට් එකෙන් කරපු කතා බහක් නිසා. එයාත් ටික කාලයක් තිස්සේ හිතේ තියන දේ කොල්ලට කියාගන්න බැරුව බලාගෙන ඉන්නවා. අපි ඒ ගැන ගොඩක් කතා කළා. ඒ කතා බහෙන් මට කලින් හිතිලා තිබුනේ නැති කාරණා ටිකකුත් දැනගත්තා. ඊට පස්සේ තමයි මට මේ ගැන ලියන්න හිතුනේ.

මුලින්ම කියන්න ඕන කෙල්ලෙක් මුලින් ආදරේ ප්‍රකාශ කළා කියල ඒ කෙල්ල චාටර් කෙල්ලෙක් කියල හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. කෙල්ලෙක්ට වුනත් තමන් කැමති කොල්ලෙක් තෝරාගෙන එයාට ආදරේ කරලා, එයාට ඒක කියන්න අයිතියක් තියෙන්න ඕන නේ. ඒකෙ කිසි කතාවක් නෑ. දුක කියන්නේ ඉතින් එහෙම කිව්වම කෙල්ල චාටර් කියල හිතන කොල්ලෝ ඉන්නවා. ඒක අවිවාදයෙන් පිළිගන්න වෙනවා. අපේ ලොකු අම්මගේ පොඩි පුතා ඇතුළුව කීපදෙනෙක්ම මට ඒ කතාව කියල තියනවා. ඒක වැරදියි කියල සාධනය කරන්න, එහෙමත් නැත්තන් එහෙම උන්ට බනින්න මම මේ වෙලාවේ උත්සාහ කරන්නේ නෑ. ඒක කවුරුත් දන්නවනේ, අමුතුවෙන් කරන්න ඕන නෑ නේ. අර මම කියපු පෝස්ට් එකෙත්, ඒකට වැටුන කමෙන්ට් වලත් ඒ ටික හොඳට පැහැදිලිවම වෙලා තිබුනා. මම උත්සාහ කරන්නේ කතා නොකෙරෙන පැත්ත ගැන කතා කරන්න. ඒ කිව්වේ කෙල්ලෝ ඇයි තමන්ගේ හිතේ තියන ආදරේ කියන්නේ නැතුව හිතේ හිරකරගෙන ඉන්නේ කියන එක ගැන කතා කරන්න. කොල්ලම මුලින් ආදරේ කියන්න ඕන කියල කොල්ලන්ට වඩා හිතාගෙන ඉන්නේ කෙල්ලෝ. ඒක බොහොම පැහැදිලියි. වෙනස තියෙන්නේ කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නෑ. අර මම කලින් කියපු පෝස්ට් එකේ කියවුණු විදියට නම් කෙල්ලෝ එහෙම ආදරේ කියන්නේ නැතුව ඉන්නේ කොල්ල කෙල්ල ගැන වැරදියට හිතයි කියන බය නිසාලු. හැබැයි ඇත්ත කතාව නම් කාරණේ ඒක විතරක් නෙමෙයි. එහෙම වෙන්න හේතු කීපයක්ම බලපාන්න පුළුවන්.

1. බය

මෙතන බය කිව්වේ සාමාන්‍යයෙන් ආදරයක් ප්‍රකාශ කරන්න තියන බය. ඒක ඉතින් කෙල්ලන්ට විතරක් නෙමෙයි, කොල්ලන්ටත් තියන එකක් නේ. (අප්පච්චියේ එක පාරක් කෙල්ලෙක්ගෙ මූණ බලාගෙන ඕක කියාගන්න බැරුව මම විඳපු දුකක්. මම තේරුණා මාව විජලනය වේගෙන එනවා කියල. පස්සේ මම බැරිම තැන ඇහුවා "ඔයාට තේරෙන්නේ නැද්ද මම කියන්න හදන දේ?" කියල. වෙලාවට කෙල්ල කිව්වා "මට තේරෙනවා" කියල.)

2. අර කලින් කිව්වා වගේ තමන් ගැන වැරදියට හිතාවි කියන හැඟීම

එහෙම පටු විදියට හිතන කොල්ලෝ ඉන්න නිසා මෙහෙම බයක් ඇතිවෙන එක සාධාරණයි. හැබැයි ඒකට උත්තරේ ආදරේ කියන්නේ නැතුව හිතේ තියාගෙන ඉන්න එක නෙමෙයි. මෙහෙමයි, ඕන කසාදයක් කියල ඕක කියල දාන්න. කොල්ල හොඳ කොල්ලෙක් නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ. එක්කෝ ආදරේ පිළිගනීවි, නැත්තන් වැදගත් විදියට ප්‍රතික්ෂේප කරාවි. කොල්ල අරම පටු විදියට හිතන එකෙක් නම් එයා ඒ නිසාම කෙල්ලව ප්‍රතික්ෂේප කරාවි. ඉතින් දෙයියනේ කොල්ල එහෙම පටු විදියට හිතන එකෙක් නම් එහෙම එකෙක් නැති වෙන එකමනේ හොඳ. කොහොමත් එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්නත් බෑ නේ. එතකොට ඒකෙන්ම මිනිහ කවුද කියල තේරුම් ගන්නත් පුළුවන් නේ.

3. ආඩම්බරකම

ඔන්න ඕක ගැන තමයි මට වැඩියෙන්ම කියන්න ඕන වුනේ. ඔය කොල්ලම ආදරේ කියනකල් බලාගෙන ඉන්න අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මෙන්න මේ හේතුව නිසා තමයි එහෙම කරන්නේ. ගොඩක් කෙල්ලො හිතාගෙන ඉන්නෙ කොල්ලම ඇවිල්ල තමයි මුලින් අහන්න ඕන කියල. කෙල්ලො කොච්චර ආදරේ කලත් තමන් මුලින් කිව්වොත් එක ලැජ්ජාවක් කියල තමයි ගොඩක් කෙල්ලො හිතන්නෙ. ලැජ්ජාවකටත්  වැඩිය ඒක මදි කමක් කියල තමයි හිතන්නේ. කොල්ලම පස්සෙන් වැටීගෙන ඇවිත් අහනව නම් තමයි කෙල්ලො කමති. ඔය ලොකු කතා කිව්වට කොල්ලෙක් පස්සෙන් එනකොට යලුවොත් එක්ක රස කර කර කියන්නයි, කැමතිද ඇහුවම අගේ කරන්නයි ලොකු ලයින් දෙන්නයි තමයි ගොඩක් කෙල්ලො කැමති. බොරු ආඩම්බරකමට නොකිය ඉඳල අන්තිමට කියනවා කොල්ලෝ වැරදියට හිතන නිසයි කියන්නේ නැත්තේ කියල. (හැමෝම ගැන නෙමෙයි මේ කියන්නේ හොඳද)  

මට මතකයි අර පෝස්ට් එකේ ඇනෝ සහෝදරියක් කියල තිබුන මතුපිටින් රොක් පොරවල් වගේ හිටියට අද සමාජයේ කොල්ලො ළඟ තියෙන්නේ ගල් යුගයේ මති මතාන්තර කියල. ඒකම තමයි ඉතින් අනිත් පැත්තටත් කියන්න වෙන්නෙ. කොන්ඩෙ ස්ට්‍රේට් කරල ඩෙනිම් ගහල රොක් පොරීල වගේ හිටියට ලංකාවේ කෙල්ලො ළඟ තියෙන්නෙත් ගල් යුගයේ මති මතාන්තර. ඔය වගේ තැනක ටෝක් දුන්නට ඇත්ත ජීවිතේ ඔය කියන අය ඔයිට වඩා හාත්පසින්ම වෙනස් චරිත රඟපාන්නේ. 

අර මාත් එක්ක චැට් කරපු සහෝදරී මෙහෙම කතාවක් කිව්වා. ගොඩක්ම කෙල්ලො එහෙම දෙයක් කියන්න බය ඊට පස්සෙ කොල්ල අනිත් අය ඉස්සරහ කෙල්ලව චාටර් කරාවි කියලලු. මන්ද මම නම් හිතන්නෙ නෑ කොල්ලෙක් එහෙම දෙයක් කරාවි කියල. මම නම් කවදාවත් එහෙම දෙයක් නම් අහල නෑ. තව එයා කිව්ව එහෙම කෙල්ල ඇහුවම සමහර කොල්ලො ආතල් එකට යාලු වෙනවලු. මම ඒ වෙලාවේ නම් ඒ ගැන එයාට මුකුත් කිව්වේ නෑ. හැබැයි මම නම් ඒ කතාව එච්චර විස්වාස කරන්නේ නෑ. එහෙම වෙන්නේ නෑම කියල මම කියන්න යන්නෙත් නෑ. ඒත් මෙහෙම හිතන්නකෝ, කෙල්ලෙක් කවුරු හරි කොල්ලෙක්ට ආදරේ කරන්න ගන්නවා නම් හොඳට හොයල බලල, හොඳ කොල්ලෙක් කියල හොඳටම විස්වාස නම් විතරනේ ආදරේ කරන්නේ. ඇත්තටම ගොඩක් කොල්ලෝ වගේ කෙල්ලෝ ආවට ගියාට ඔය වගේ අදහස් ඇති කරගන්නේ නෑ නේ. ඇඳුමක් ගන්න ගියාම කෙල්ලෝ තෝරන තේරිල්ලට කොල්ලෙක් තෝරාගන්නවා නම් කොයිතරම් නම් දේවල් හිතනවා ඇද්ද? ඉතින් එහෙම හොඳ කොල්ලෙක්ට ඔය වගේ දෙයක් කිව්වා කියල අර සහෝදරී කියපු වගේ දෙයක් වෙන්න තියන අවදානම ගොඩක්ම අඩුයි නේ. මම නම් කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අරම වෙයි මෙහෙම වෙයි බොරුවට හිතාගෙන කොල්ලම මුලින් කියන්න ඕන කියන එක සාධාරණීකරණය කරගන්න එක. 

දැන් ඔය මාත් එක්ක කතා කරපු සහෝදරීට නම් ඔය ප්‍රශ්න නෑ හොඳද. එයාට තියෙන්නේ මම කියපු පළවෙනි හේතුව විතරයි. ඒ කියන්නේ ඒක කියාගන්න පොඩි බයක් තියනවා එක හේතුවක් නිසා. (මේ ටික දැම්මේ මගේ ආරක්ෂාවට.:D)

ගොඩක්ම වෙලාවට කෙල්ලෝ කරන්නේ කොල්ලෙක්ට හිත ගියොත් කෙලින්ම කියන්නේ නැතුව වටින් ගොඩින් එක එක හින්ට් දීල කොල්ලව ෆෝම් කරගෙන කොල්ල ලවාම කියව ගන්න එකනේ. ඒක ඉතින් කොල්ලට තේරුනොත් හොඳයි. නැත්තන් ඉතින් හැමදාම පසුතැවෙන්න වෙන්නේ. පස්සේ කාලෙක කොල්ල දැනගත්තොත් කොල්ල වුනත් පසුතැවේවි. මම දන්න ඔහොම සිද්ධි ඕන තරම් තියනවා. දැන් ඉතින් ඔය විඳව විඳව ඉන්නවා. ඒවා නම් ඉතින් මෝඩ කම, වෙන කියන්න දෙයක් නෑ. මම දන්න දෙන්නෙක් ඉන්නවා, කෙල්ල කොල්ලට ගොඩක් කල් ඉඳල හිතෙන් ආදරේ කළා. ඒක එයා පෙන්නුවත් එක්ක. ඒ වුනාට ඒ කෙල්ල ගොඩක් සෝෂල්, හැමොත් එක්කම හොඳට හිනා වෙලා කතා බහ කරලා ඉන්න කෙල්ලෙක්. ඒ නිසා අර කොල්ලට ඒ කෙල්ලගේ වෙනසක් පෙනුනේ නෑ. කොහොමහරි කෙල්ල කිව්වෙත් නෑ, කොල්ල දැනගත්තෙත් නෑ, ඒක කාලයත් එක්කම එහෙමම වැළලිලා ගියා. පස්සේ ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වුනා. ඊටත් පස්සේ කෙල්ලගේ වෙන යාලුවෙක් කිව්වට පස්සේ තමයි කොල්ල දැනගත්තේ එහෙම එකක් තිබුන කියල. මේ ලඟදි ඔය දෙන්න චැට් කර කර ඉන්නකොට ඔය කතාව ඇදිල තිබුනා. ඒ කෙල්ල අදටත් සෑහෙන දුක් වෙනවා අරූව නොලැබුන එකට. එදා ඒ වචනේ කියාගන්න බැරි වුන එකට අදටත් ඒකි දුක් වෙනවා.

අවසාන වශයෙන් කොල්ලන්ට කියන්න තියෙන්නේ කෙල්ලක් එහෙම කිව්ව පලියට ඒකි චාටර් කෙල්ලක් කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා. ඒකෙන් හොයන්න බෑ කෙල්ල චාටර්ද නැද්ද කියල. ආදරය ප්‍රකාශ කිරීමේ සම අයිතිය පිළිගන්න. එහෙම කියන්න තරම් කෙල්ලෙක් පෙළඹෙනවා කියන්නේ දරාගන්න බැරි තරම් ආදරයක් එතන තියෙන්න පුළුවන්. අර කතාවක් තියෙන්නේ තමන් ආදරේ කරන කෙනා නෙමෙයි තමන්ට ආදරේ කරන කෙනා තෝරගන්න කියලා. ඉතින් එහෙම අවස්තාවක් ලැබුනම ඒක අවතක්සේරු කරන්න එපා.

කෙල්ලන්ට කියන්න තියෙන්නේ කවදාවත් ඔය වගේ දෙයක් හිතේ තියන් ඉන්නේ නැතුව කියල දාන්න. එතකොට කොල්ල අකමැති වුනත් හිත හරි නිදහස් මම කිව්වා නේද කියල. එහෙම නැති වුනොත් කවදාහරි පසු තැවෙන්න වෙනවා මම මේ දේ එයාට කිව්වා නම් කතාවේ වෙනසක් වෙන්න තිබුනා නේද කියල. ඒක හිතේ තියාගෙන ඉන්න එක තමන්ට වගේම ඒ කොල්ලටත් කරන අසාධාරණයක්. මොකද ඒ කොල්ලට ගොඩක් වටින කියන ආදරයක් නැති වෙන්න පුළුවන් කෙල්ල සද්ද නැතුව හිටියොත්. අරම වෙයි මෙහෙම වෙයි කියල තමන්ම තීරණය කරලා හිතේ තියන දේ නොකිය ඉන්න එපා. "අඳුරට ශාප කරමින් නොසිට එක පහනක් හරි දල්වන්න" කියල කතාවක් තියනවනේ. කෙල්ල මුලින් ආදරේ කියන එක ලැජ්ජාවක්, මදි කමක් කියල හිතන්න එපා. තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන දේ කරලා ඉන්න මුලින්ම. තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන දේ නොකර බොරුවට අනිත් අයට දොස් කියන්න එපා.  

 .................................................................................................................................................................
ප.ලි. ඔන්න ඔහොමයි කසුන්ට හිතෙන්නේ. මේ ගැන හිතට එකඟව මොනවා හරි කියන්න තියනවා නම් කියලම යන්න.

Friday, November 25, 2011

සැඳෑ අඳුරට මුසු වූ 'සරසවි ගී සිසිල'

කාලෙකින් ඔන්න බ්ලොගේ පැත්තේ ගොඩවුනා. පහුගිය දවස්‌ ටිකේ ෆලෝ කරපු බ්ලොග් ටික වත් කියවන්න වුනේ නෑ. පහුගිය දවස්‌ වල ලොකු වැඩකට හිර වෙලා හිටියේ. මේ මොහොත වෙනකොට නම් මම බොහොම සතුටෙන්, තෘප්තියකින්, ඒ වගේම අහිංසක ආඩම්බරයකින් ඉන්නේ. අපි බොහොම ආදරෙන්, කැපවීමෙන්, මහන්සියෙන් පටන් අරගෙන මාස 3ක් 4ක් තිස්සේ කරගෙන ගිය වැඩක් පෙරේදා බොහොම සාර්ථකව අවසන් වුනා. ඒ තමයි 17 වෙනි 'සරසවි ගී සිසිල'. ඔන්න ඕක නිසා තමයි පහුගිය දවස්‌ ටිකේ මේ පැත්තේ එන්න වුනෙත් නැත්තේ. මොරටුව කැම්පස් ආපු අය නම් හැමෝම වගේ මේ ගැන දන්නවා ඇති. නොවැම්බර් 24 දා මොරටුව කැම්පස් එකේ සුමනදාස මැද මිදුලේ තමයි 'සරසවි ගී සිසිල' පැවැත්වුනේ. මම මේ ගැන ලියන්නමයි බලාගෙන හිටියේ. කොහෙද ඉතින් පිණිබිඳු අක්ක මට කලින් ඒ ගැන ලියල නේ.:) මට හිතුන පිණිබිඳු අක්ක ඒවි කියල. මම බැලුව ඉන්නවද කියල, හොයාගන්න බැරි වුනා. ආහ් තව දෙයක්, මම මේ ලියන්නේ පම්පෝරියක් ගහන්න නෙමෙයි. මේක ලියන්නේ මගේ හිතේ තියන සතුටට සහ තෘප්තියට. සමහරවිට මේක කියවන අයට මේ කියන දේවල් වල වැඩක් නෑ කියල හිතෙයි. ඔන්න පස්සේ මට බැන බැන යන්න එපා හොඳද අපිට මොකටද මේව කියන්නේ කියල. මම පව්.:(


('ගොඩනැගිලි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය' කිව්වම නම් ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති. අපේ ශිෂ්‍ය සංගමයේ කලින් නම 'ප්‍රමාණ සමීක්ෂණ ශිෂ්‍ය සංගමය' (QSS). ඒත් ගිය අවුරුද්දේ අපේ ශිෂ්‍ය සංගමයේ නම 'ගොඩනැගිලි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය' නමින් වෙනස් වුනා.) අපේ දෙපාර්තමේන්තුවේ බැච් එකකට අවුරුදු හතරට කරන්න තියන වැඩ වලින් අන්තිම සහ වැදගත්ම වැඩේ තමයි 'සරසවි ගී සිසිල' සංවිධානය කරන එක. අපේ හදවතට එකඟව අපිට දැනෙන විදියට අනුව සහ බලපු අය කියපු විදියට අපි ඒක උපරිමයෙන්ම කළා. ඒ සතුට මෙච්චරයි කියල නම් කියල ඉවර කරන්න බෑ. අපි ඒ දේ හරියට කළා කියන තෘප්තිය හැමදාම අපේ හිත්වල තියේවි. අවුරුදු 17කට කලින් අපේ ජේෂ්ඨ කණ්ඩායමක් ආරම්භ කරපු මේ වැඩේ එදා ඉඳල හැම අවුරුද්දකම අපේ ජේෂ්ඨ ශිෂ්‍යයෝ බොහොම ආදරෙන් කරගෙන ආව. මේ පාර ඒක භාර වුනේ අපිට. ඒ කිව්වේ හැම අවුරුද්දකම ෆයිනල් ඉයර් බැච් එක තමයි ඒක කරන්නේ. ගිය අවුරුද්දේ ගී සිසිල ඉවර වුන වෙලාවේම අපි හිතා ගත්තා අපේ පාරත් අපි උපරිමයෙන්ම කරනවා කියල. ඉතින් මීට මාස 3කට විතර කලින් කළුතර බෝධීන් වහන්සේට බාරයක් වෙලාම ඒ වැඩේට මුල පිරුවා. ඊට පස්සේ මූලික වැඩ ටික සූදානම් කරගෙන පොඩ්ඩක් විතර ඒ වැඩ පරක්කු කරන්න වුනා රිසර්ච් එකේ වැඩ නිසා. හැබැයි අපේ සභාපතිතුමා නම් ඒ වැඩ අස්සෙත් එහෙ මෙහෙ දිව්වා අනුග්‍රාහකයො හොයන්න. ඊට පස්සේ මීට මාස එක හමාරක විතර ඉඳල තමයි ෆුල් ටයිම් වැඩ පටන් ගත්තේ.

මේ පාර ගායක ගායිකාවන් විදියට සහභාගී වුනේ වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, කරුණාරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන්. ඔය නම් ටික ඇහුණාම හිතාගන්න පුළුවන් නේ මොන විදියේ ප්‍රසංගයක්ද කියලා. දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය නම් හැම වතාවකම මේ ප්‍රසංගයට සහභාගී වෙලා තියනවා. ඒ වගේම වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි යන මහත්වරුත් බොහොමයක් ප්‍රසංග වලට සහභාගී වෙලා තියනවා. මේ ගායකයන්ගේ සින්දු ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. හැමදාම වගේ කථනයෙන් දායක වුනේ වසන්ත රෝහණ මහත්මයා, වාදනය සුසිල් අමරසිංහ ප්‍රමුඛ ගුවන් විදුලි වාදක මණ්ඩලය. වසන්ත රෝහණ මහත්මයාගේ දුව දැඩි ලෙස රෝගාතුර වෙලා ඉඳිද්දීත් තමයි එතුමා එදා ප්‍රසංගයට සහභාගී වුනේ. ඒ වගේම බොහොම සංවේගයෙන් මතක් කරන්න ඕන කෙනෙක් තමයි විජේරත්න රණතුංගයන්. ගී සිසිල ආරම්භයේ සිටම තබ්ලා වාදනයෙන් දායක වූ, ගිය වසර වෙනවිටත් බොහොම නිරෝගී සුවයෙන් සිටි එතුමා මේ වනවිට ජීවතුන් අතර නෑ.   



වැස්ස නම් අපිට ටිකක් කරදර කළා. අපිට විතරක් නෙමෙයි බලන්න ආපු අයටත් ඒකෙන් කරදර වුනා. කොහොමත් ගී සිසිල පැවැත්වෙන්නේ නොවැම්බර් දෙසැම්බර් මාස වල. ඒ කියන්නේ ඉතින් මෝසම් වැසි තදින්ම වැටෙන කාලයක් නේ. හැබැයි අපි දන්න ඉතිහාසයේ නම් කවදාවත් වැස්ස නිසා ගී සිසිලක් නවත්තන්න වෙලා නෑ. කළුතර බෝධීන් වහන්සේට බාර වෙලාම වැඩ පටන් ගන්න නිසා වෙන්න ඇති එහෙම කරදරයක් නොවෙන්නේ. ඒ වුනාට මේ පාර නම් අපි හොඳටම බය වුනා. දවල් ඉඳල අහස කළු කරලා තිබුනේ. හැමෝම වැඩ කලේ හොරෙන් උඩ බල බල. "නෑ නෑ අද වහින්නේ නෑ" කියල කවුරුත් කිව්වට හැමෝම හිත යටින් ලොකු බයකින් හිටියේ. කලින් දවසේ රෑත් අපේ කට්ටියක් ළඟ තිබුන පන්සලකට ගිහින් බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරලා ආවේ කිසිම විදියකින් කරදරයක් වෙන්න එපා කියල. එදා අහස දැකල සභාපතිතුමයි ලේකම්තුමයි ආයෙත් පන්සලට ගිහින් බාරයක් වෙලා තිබුනා.

කොහොම හරි 3.30 ට විතර වැහි පොද එක දෙක වැටෙන්න ගත්තා. ඒත් අපේ කට්ටිය නෑ නෑ වහින්නේ නෑ කිය කිය හිටියා. 3.45 ට එක පාරටම වැස්සක් පටන් ගත්තා. ටික වෙලාවකින් තරමක් තදට වහින්න පටන් ගත්ත. ඒ පාර අපේ කට්ටිය කියනවා "දැන්ම වහින එක හොඳයි, එතකොට හවස් වෙන්න පායනවා" කියල. අපි සුමනදාස මැද මිදුලට වෙලා බලාගෙන ඉන්නවා වැස්ස ඉවර වෙනකල්. ගොඩක් වෙලා බලාගෙන හිටියත් වැස්ස අඩු වෙන පාටක් නම් තිබුනේ නෑ. 6 ට තමයි ප්‍රසංගය පටන් ගන්න තියෙන්නේ. මොන කතා කිව්වත් ඒ වෙනකොට නම් අපි හොඳටම බය වෙලා හිටියේ. සමහරු ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා, සමහරු අහස දිහා බලාගෙන ඉන්නවා, සමහරු වැස්සට බනිනවා, එක විකාරයයි එතන. කොහොමහරි ඒ තද වැස්ස 4.45 වෙනකල්ම තිබුනා. ඒත් වැස්ස සම්පූර්ණයෙන්ම නැවතුනේ නෑ. පොද වැස්ස දිගටම තිබුනා. ඒ නිසා තෙමුන පුටු පිහදාල වැඩකුත් නෑ. ඒ අතරේ වැස්සේම මම අපේ ටී ෂර්ට් එක ඇඳගෙන එන්න ගියා.

වැස්ස අඩු වෙනවා වැඩි වෙනවා, ඉවරයක්‌ නෑ. අද ගී සිසිල තියන්න බැරි වෙයිදෝ කියන බය නම් ඒ වෙලාවේ මට තදින්ම දැනුනා. ටික වෙලාවකින් වැස්ස අඩු වුනා. අපි එනකොටත් බලන්න ආපු අය  ප්‍රධාන දොරටුව ළඟ තිබුන පාලම යටට වෙලා ඉන්නවා ඇතුලට ගන්නකල්. ටික වෙලාවකින් වැස්ස සම්පූර්ණයෙන්ම නැවතුනා. එතකොට 5.30 විතර වෙලා. ඔන්න එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඊට පස්සේ තමයි යුද්දෙ පටන් ගත්තේ. වැස්ස නිසා ගොඩක් වැඩ කරගන්න බැරුව හිටියේ. ඒ මදිවට දැන් කොනක ඉඳල ආයෙත් පුටු පිහිදාන්න ඕන. අපියි පොඩි උන් ටිකයි පිස්සුවෙන් වගේ වැඩ කරලා කොහොමහරි ඒ වැඩ ටික ඉවර කරගත්තා. ස්ටේජ් එකේ වැඩයි, සවුන්ඩ්ස් ලයිට්ස් වගේ අනිත් ලොකු වැඩ ටිකයි ගොඩක්ම කලින් ඉවර කරගත්ත නිසා ප්‍රශ්නයක් වුනේ නෑ. නැත්තන් වැස්ස නිසා අපි අනාත වෙනවා.



ඊට පස්සේ ඉක්මනට අපු අයව ඇතුලට ගත්තා. වල කැන්ටින් එක පැත්තේ තිබුන දොර ඇරියම තමයි හීන් දාඩිය දැම්මේ. වලෙන් එකයි බලන්න ආපු අය. කොහොමහරි ඔක්කොම කරල 6.36 වෙනකොට වැඩේ පටන් ගත්තා. මෙච්චර බාධා වෙලත් අපි පරක්කු වුනේ විනාඩි තිහයි. ඊට පස්සේ ඉතින් හැම දෙයක්ම සැලසුම් කරපු විදියටම කරගන්න පුළුවන් වුනා. වැස්ස කියල නෑ, අපි තියල තිබුන පුටු 1500ම පිරුනා. පස්සේ 100 ටිකට් හරියේ හිටගෙනත් කට්ටිය හිටියා. ආයෙත් අන්තිම වෙලාවෙත් පොඩි පොද වැස්සක් පටන් ගත්තා. ඒ වෙලාවේ සින්දු කිව්වේ සුනිල් එදිරිසිංහ මහත්මය. වැස්ස නිසා කීප දෙනෙක් නැගිටල ගියා. ඒ වෙලාවේ ආයෙත් ලේ ටික වතුර වුනා. වාසනාවට වැස්ස ඊට වඩා වැඩි වුනේ නෑ. සංගීතයට සමවැදිලා හිටපු අයට ඒ වැස්ස ප්‍රශ්නයක් වුනේ නෑ. ආයෙත් කවුරුවත් නැගිටලා ගියෙත් නෑ. ඔය විදියට පොද වැස්සේම ගී සිසිල අවසන් වුනා.



ඔය ප්‍රසංගය ඔය විදියට සංවිධානය කරන්න අපේ කට්ටිය මාරම කට්ටක් කෑවා. සභාපතිතුමයි, ලේකම්තුමයි මේක පටන් ගත්ත වෙලාවේ ඉඳල අන්තිම මොහොත වෙනකල්ම පුදුම විදියට මේකට කැප වුනා. සභාපතිතුමා ගැන නම් කියල වැඩක් නෑ, හැම තත්ත්පරයකම උගේ ඔලුවේ තිබුනේ ගී සිසිල. ග්රූප් විදියට ගත්තොත් decoration ග්රූප් එකෙයි, souvenir ග්රූප් එකෙයි කොල්ලෝ ටිකයි තමයි මේකට වැඩියෙන්ම මහන්සි වුනේ. අන්තිම මාසේ විතර උන්ට හරියට නින්දක් තිබුනෙම නෑ. මේ ප්‍රසංගයේ අපි ලබාගත්ත සාර්ථකත්වයේ වැඩිම දායකත්වය උන්ගේ. ඔය වැඩේට බැච් එකක් විදියට ගත්තොත් අපේ කට්ටියගෙන් ලැබුන දායකත්වය එක එක විදියයි. කොල්ලෝ කෙල්ලෝ නිදි මරාගෙන වැඩ කරද්දී, ඒ කිසි දේකට සහභාගී නොවුන කොල්ලෝ කෙල්ලොත් හිටියා. ඒව කොහෙත් එහෙමනේ, මම ඒවා ගැන නම් කතා කරන්න යන්නේ නෑ. හේතු කීපයක් නිසා අපිට ජූනියර් බැච් දෙකකින් ලැබුන සහයෝගයත් ගොඩාක්ම අඩුයි. හැබැයි ඒ කිසි දෙයක් නිසා අපේ වැඩේ කිසි අඩු පාඩුවක් වුනේ නෑ. ඒ ගැන නම් අපි ගොඩක් ආඩම්බර වෙනවා. කොහොමහරි අවසානයේ කියන්න බැරි තරම් සතුටක් මට ඉතුරු වුනා. මම මෙච්චර සතුටු වෙනවා නම් අපේ සභාපතිතුමා, ලේකම්තුමා, decoration ග්රූප් එක, souvenir ග්රූප් එක, කොයිතරම් සතුටු වෙනවා ඇද්ද? 

හැබැයි ඉතින් දැන් සතුටු වුනා වගේ නෙමෙයි, රිසර්ච් එකේ වැඩ පටන් ගන්න ඕන. කෙල්ලෝ ටිකයි, සමහර කොල්ලොයි නම් literature review එක ඉවරත් ඇති. අපිට නම් තාම ඒක අල්ලන්නවත් වුනේ නෑ. කමක් නෑ, මෙච්චර කල් විභාග, කෝස් වර්ක්, ට්‍රේනින් කළා වගේ ඕකත් අපි කොහොමහරි ගොඩ දාගනීවී. ලකුණු නම් අඩු වෙයි, ඒකට කමක් නෑ. 

අපිට මේ ප්‍රසංගයට ප්‍රධාන අනුග්‍රහය දැක්වුයේ 'ජාතික ලොතරැයි මණ්ඩලය', 'ලංකා බැංකුව' සහ 'කිරුල FM'. souvenir එකට ඇඩ් ලබාදීමෙන් හා banner ලබාදීමෙන් අනුග්‍රහය දක්වූ හැමෝමත් මතක් කරන්න ඕන. ගී සිසිල සාර්ථක කරගන්න අපිට අනිත් දෙපාර්තමේන්තු වලින් ලැබුන සහයෝගයත් මතක් කරන්න ඕන. කටවුට් සහ වේදිකාවේ චිත්‍ර ඇන්දේ වාස්තු විද්‍යා දෙපාර්තමේන්තුවේ සහෝදරයෝ හතර දෙනෙක්. උන් පුදුම උදව්වක් කලේ. ඊළඟට මේ ප්‍රසංගය live streaming දෙන්න IT සහෝදරයෙක් ලොකු උදව්වක් දුන්නා. රේකොඩින් වලින් දායක වුනේ CSE එක. ඒ වගේම උපකුලපති තුමාගේ ඉඳල ආරක්ෂක සේවාව වෙනකල් අපිට සහයෝගය දීපු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හැමෝමත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම පිණිබිදු අක්ක ඇතුළු බලන්න ආපු හැමෝටමත් ස්තූතියි.:)        
 





Monday, November 14, 2011

මම කළේ වැරද්දක්ද?

 
අපි අපේ ජීවිත වලදී ගොඩක් වැරදි තීරණ ගන්නවා. ගොඩක් වෙලාවට ඒ තීරණ වල වැරැද්ද තේරෙන්නේ කල් ගිහින්. එහෙම තේරෙනකොට ගොඩක් වෙලාවට ඒ දේවල් නිවැරදි කරන්න බැරි තැනට ඇවිත්. එතකොට ඉතින් වෙන්නේ ඒ දේවල් මතක් කර කර පසු තැවෙන්න. මට දැනට තේරෙන විදියට මම එහෙම ලොකු වැරදි තීරණ දෙකක් අරන් තියනවා මගේ ජීවිතේදී. (තව ඉස්සරහටත් එහෙම ගොඩක් ගනීවි :) ) දුක කියන්නේ ඉතින් ඒ දෙකම ආදරේ සම්බන්දයෙන් ගත්ත තීරණ. වැරදි තීරණ කියන්නේ ඉතින් වැරදි පුද්ගලයන්ට, වැරදි කාලේ, වැරදි විදියට ආදරේ කරන්න තීරණය කරපු එක තමයි වැරැද්ද. පළවෙනි එක වුනේ උසස් පෙළ කාලේ. මම මේ බ්ලොග් එකේ ලියන්න හිතන්නෙවත් නැති කතාවක් ඒක. ඒක ගැන ලිව්වොත් මේකේ වෙන මුකුත් ලියන්න වේලාවක් නැති වෙනවා. අනිත් එක එහෙම වුනොත් මේ බ්ලොග් එකම මහ අඬෝවැඩියාවක් වේවි. මම මුල්ම කාලේ ලියපු හිතේ දුකට ලියවුනු කවි පෝස්ට් එකේ තියෙන්නේ ඒකෙන් කෙලව ගත්තට පස්සේ, හිතේ දුකට ලියවෙච්ච නිසදැස් කෑලි. කොහොම හරි ඒකෙන් අන්තිමට වුනේ මෙඩිසින් යන්න හිටපු ඒකිට කෘෂි විද්‍යා පීඨයෙන් නවතින්න වුන එකයි, කැම්පස් යන්න හිටපු මගේ යාලුවෙකුට ඒක බැරිවුන එකයි, මගේ ප්‍රථිපල වලටත් සැලකිය යුතු තරමේ හානියක් වුන එකයි විතරයි.

මම දැන් මේ කොටන්න කියල ලේස්ති වුනේ මම ගත්ත දෙවැනි වැරදි තීරණේ ගැන. ඒක වුනේ මම කැම්පස් ආවට පස්සේ. මම අර විෂය භාර දෙවියන් වෙත ලියපු ලියුමේ කියපු සතියක ආදර කතාව ගැන තමයි මේ කියන්න යන්නේ. මම එතකොට සකන්ඩ් ඉයර් එකේ මුල හරි ෆස්ට් ඉයර් එකේ අග හරි. ඒ දවස් වල අලුත් බැච් එක ගන්න ඇප්ටිටියුඩ් ටෙස්ට් තිබුන. මම ඒ වෙලාවේ මොකක් හරි වැඩකට එලියට ගියා. ඒ යන අතරේ ඉතින් පොඩ්ඩක් අවට සිරි නරඹ නරඹ තමයි ගියේ. (අවට සිරි නැරඹුවා කිව්වට ඒ වෙලාවේ ඇවිත් හිටපු ගෑනු ළමයි දිහා බල බල නෙමෙයි ඔන්න ගියේ.) එහෙම යනකොට මට ටිකක් විතර හුරු පුරුදු කටහඬක් ඇහුනා.

"ඔයා මෙහේද ඉන්නේ?"

මම නැවතිලා බලනකොට හුරු පුරුදු මූනක්‌ මගේ දිහා බලාගෙන ඉන්නවා. සිටි පිටි ගාල පරණ රෙකොර්ඩ් ස්කෑන් කරලා බලනකොට මට ඩයල් එක මීටර් වුනා. ඒ 5 වසරේ අපේ පන්තියේ හිටපු කෙල්ලෙක්. අපේ ගෙවල් පැත්තෙමයි ඉන්නේ. ඊට පස්සේ පාරේදී එහෙම දෙතුන් පාරක් දැකල තිබුනට 5 වසරෙන් පස්සේ කතා කරලම නෑ. කොහොම හරි එයාට මාව මතක තිබිල. අපි එයාට චතුරි කියල කියමුකෝ.

"ආහ් චතුරි, මට අඳුර ගන්නත් බැරි වුනා."

"ඔයත් ගොඩක් වෙනස් වෙලා."

"මොකද මේ පැත්තේ?"

"අද IT ඇප්ටිටියුඩ් තියනවා නේ කසුන්. මම ඒකට ආවේ."

ඊට පස්සේ ටික වෙලාවක් කතා කර කර හිටියා. එයා ටිකක් විතර කළු කෙල්ලෙක්. ඒත් එයා ඉස්සරට සාපේක්ෂව ගොඩක් ලස්සන වෙලා. ඉස්සර එයා කොන්ඩේ කොටට කපාගෙන, කාත් එක්කවත් හරියට කතාවක් වත් නැති, පොතේම ඇලිල හිටපු කෙල්ලෙක්. මම එයත් එක්ක කතා කරපු වාර ගාන අතේ ඇඟිලි ගානට වඩා අඩු ඇති. ඒ වෙලාවේ නම් මට එහෙම කතා කරපු එකේ කිසිම විශේෂයක් තිබුනේ නෑ. ටිකක් වෙලා කතා කර කර ඉඳල මම ගියා.

මම ගමේ ගිය වෙලාවක අපේ සෙට් එකට නිකන් කිව්වා චතුරි මුණ ගැහුන එක ගැන. එයා අපේ ගෙවල් පැත්තෙ නිසා අපේ හැමෝම වගේ එයාව දන්නවා. අපේ එකෙක් ඒ වෙනකොට තුන්වෙනි පාරටත් උසස් පෙළ කරන්න පන්ති යනවා. ඒ එක පන්තියකට චතුරිත් එනවා. ඌයි තව එකෙකුයි දෙන්නෙක්ම කිව්වා එයා දැන් ඉස්සරට වඩා ගොඩක් ලස්සනයි කියල. මටත් ඉතින් ඒක තේරිලා තිබුනේ. ඔහොම ඉතින් ටික දවසක් ගෙවුනා. ඔන්න ඊට පස්සේ තමයි මම ගොනාට අඳින්න ගත්තේ. මට හිතුන ආයෙත් එයා එක්ක කතා කරන්න ඕන කියලා. මම අර පන්ති යන කොල්ලට කිව්වා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ රිසල්ට් බලල දෙන්න කියල පන්තියේදී එයාගේ නම්බර් එක ඉල්ලගෙන එන්න කියල. ඌ ගිහින් ඒක කිව්වම එයා නම්බර් එක දීල තිබුනා. ඊට පස්සේ මම කෝල් කරලා විභාග අංකෙ ඉල්ලගත්තා. මට මතක විදියට එයා තේරිලා තිබුනේ නෑ. මම ඉතින් කතා කරලා ඒක කිව්වා.

පස්සේ කොහොම හරි එයා වෙන කැම්පස් එකකට සිලෙක්ට් වෙලා තිබුනා. එයා ඒකෙ විස්තර අහගන්න මට දෙතුන් පාරක් විතර කෝල් කළා. මාත් එයාට කැම්පස් යන්න කලින් කීප වතාවත් කතා කළා. කොහොම හරි ඉතින් එයා කැම්පස් ගියා. ඊට පස්සේ තමයි යාලුවන්ගේ ආශිර්වාදය මැද කොල්ල ෆුල් ටයිම් ගේමට බැස්සේ. ඊට පස්සේ මම නිතරම එයාට මැසේජ් යවන්න පටන් ගත්ත. යවන පරක්කුවෙන් ඒවාට රිප්ලයිනුත් ආව. පස්සේ මම නිතරම කෝල් කරන්නත් ගත්ත. මම දවසක් එයා කැම්පස් යන්න යන වෙලාවක ගිහිල්ල මුණගැහිලත් ආව. ඔහොම ටික කාලයක් ගත වුනා. පස්සේ මම තීරණයක් ගත්ත එයාගෙන් අහනවා කියල. හැබැයි මට හොඳට මතකයි මම ඒ තීරණේ ගත්තේ එච්චර විශ්වාසෙකින් නෙමෙයි. මම කරන්න යන දේ ගැන මට කිසි ෆිට් එකක් තිබුනේ නෑ. ඔහේ නිකන් විකාරෙන් වගේ ඒ දේ කලේ. මට තාම හිතා ගන්න බෑ මම ඇයි ඒ තීරණේ ගත්තේ කියල. ඒ දවස්වල මම අර කලින් කියපු කෙනා ගැන ආයෙත් හිතල හිතල සෑහෙන්න මානසිකව වැටිලා හිටියේ. සමහර විට ඒ හැඟීමෙන් මිදෙන්න ඕනකමට මම ඒ තීරණේ ගන්න ඇති.

කොහොමහරි මම සති අන්තෙ යාලුවොත් එක්ක ඉන්න වෙලාවක මැසේජ් එකකින්ම එයාට ඒ ගැන කිව්වා.ඒ වෙලාවේ නම් උත්තරයක්‌ ලැබුනේ නෑ. මට මතක විදියට දවස් තුනකින් විතර පොඩ්ඩක් විතර අගේ කරලා මට කැමැත්ත දුන්නා. මම ඒ ටික ගැන වැඩිය විස්තර කියන්න යන්නේ නෑ. ඔන්න ඔය විදියට අපේ සතියක ආදර කතාව පටන් ගත්තා. 

දවස් දෙක තුනක් විතර සාමාන්‍ය විදියට ගෙවුනා. හැබැයි මට එයාගේ අමුත්තක් තේරුණා. මම කෝල් කලොත් විතරයි කතා කරන්නේ, එයා එක පාරක් වත් කෝල් කලේ නෑ. අඩු ගානේ මට කෝල් එකක් ගන්න කියලවත් කිව්වේ නෑ. මම කෝල් කලාම වුනත් වැඩි වෙලා කතා කරන්නේ නෑ. මට ඒක හොඳට තේරුණා. කතා කරන විදිය වුනත් හරි අමුතුයි. එයා නිකන් එච්චර කෙයා කරන්නේ නෑ වගේ තමයි කතා කලේ. මට ඉතින් මල පැනල හිටියේ. ඇයි යකෝ සතියක් වත් යන්න කලින් ඔහොම නම් අවුරුද්දක් දෙකක් ගියාම කොහොමට හිටීවිද? මම ගමේ සෙට් එකත් එක්කත් ඔය ගැන කිව්වා. උන් නම් කිව්වේ ටික දවසක් යනකොට හරි යාවි කියල. මම තවත් දවස දෙක තුනක් බැලුවා, කතාව ඒ විදියම තමයි. බැරිම තැන මම ඇහුවා "ඔයා ඇත්තටම මට ආදරේද, නැත්තන් මොකක් හරි ප්‍රශ්නයක් තියේද?" කියලා මේකි කිව්වනේ "මට අසයින්මන්ට් එකක් කරන්න තියනවා. පස්සෙ කියන්නම්" කියල. මට ඒ වෙලාවේ නම් යකා නැග්ග. ඔය ප්‍රශ්නෙට උත්තරයක්‌ දෙන්න බැරිනම් ඉතින් තවත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ නේ. මම ඒත් ඒ වෙලාවේ මුකුත් කිව්වේ නෑ.

පහුවෙනිදා මම ආයෙත් ඒ ප්‍රශ්නෙම ඇහුවා මැසේජ් එකකින්. මම දෙකෙන් එකක් බේර ගන්නවා කියල හිතාගෙනමයි කතාව පටන් ගත්තේ. එයා ඒකට දුන්නේ මෙන්න මෙහෙම උත්තරයක්‌.

"මට ඉගෙන ගන්න එකයි, මේ වැඩෙයි දෙකක් කරන්න බෑ කසුන්"

ආයේ ඉතින් ඒ ගැන තවත් වචනයක් වත් කතා කරන්න මට උවමනාවක් තිබුනේ නෑ. ඕනම දේක සීමාවක් තියෙන්න ඕන නේ. කැම්පස් ආපු ළමයෙක් ඔහොම කියනවා කියන්නේ ඒක බොරු කතන්දරයක් නේ. මම ඒ වෙලාවේම තීරණයක් ගත්තා. ඉගෙන ගන්න එක ඉතින් නවත්තන්න බෑ නේ. මම කිව්වා, 

"හරි චතුරි අපි එහෙනම් මේ සම්බන්දෙ නවත්තල දාමු." කියල. 

මට මතක විදියට ඒකට රිප්ලයි එකක් ආවේ නෑ. රිප්ලයි නෑ කියන්නේ ඉතින් ඒක එයාට ප්‍රශ්නයක් නෑ කියන එකනේ. ඒ මොහොතෙම මම එයා ගැන තිබුන හැම අදහසක්ම අතැරලා දැම්මා. මට හොඳට මතකයි මම කෝස් වර්ක් එකක් ප්‍රින්ට් අවුට් ගන්න එලියට ගිය වෙලාවක තමයි ඔය කතාව ගියේ. මම අන්තිම මැසේජ් එක යැව්වේ ප්‍රින්ට් අවුට් එක අරන් එන ගමන් පාරේදී. කොහොමහරි කැමැත්ත දීල හරියටම සතියකින් වගේ ඔය විදියට කතාව ඉවර වුනා. ඒ සති අන්තෙ එයත් ගෙදර එනවා කියල මට කලින් කියල තිබුනේ. මම හිතන් හිටියේ ගමේ ගිහින් එයත් එක්ක ගිහිල්ල හින්දි ෆිල්ම් එකක් බලනවා කියල. මට මතක විදියට ඒ දවස් වල හෝල් වල තිබුනේ 'Love Aaj Kal'. අන්තිමේ මොන ෆිල්ම්ද, ඊට කලින් මගේ ෆිල්ම් එක ඉවර වුනා. ආදරෙන් පරාද වුන අනිත් හැම වතාවකම සති ගනන් මූඩ් ගහල කන්න බොන්න වත් බැරුව හිටපු මට ඒ වෙලාවේ නම් ඒ ගැන කිසි දුකක් ඇති වුනේ නෑ. තරහක් විතරයි තිබුනේ එයා ගැන. ඒ හැම දෙයක්ම මොහොතකින් අමතක කරල කිසිම අවුලක් නැතුව මට ඉන්න පුළුවන් වුනා. ඒ මොකද කියල නම් අදටත් මම දන්නේ නෑ. සමහර විට නවත්තමු කියන තීරණේ මමම ගත්ත නිසා වෙන්න ඇති. අනිත් හැම වතාවකම අනිත් පාර්ශවෙන් නේ ඒ තීරණේ ගත්තේ. 

ඔය විදියට මම ඒ කතාව සම්පූර්ණයෙන්ම නැවැත්තුවත් එයා නම් ඒක එතනින් නැවැත්තුවේ නෑ. දවසකින් දෙකකින් විතර ආයෙත් කිසි දෙයක් වුනේ නෑ වගේ සාමාන්‍ය විදියට මැසේජ් කරන්න ගත්තා. අපේ සම්බන්දෙ නැවැත්තුවට එයා තාමත් මගේ යාලුවෙක්නෙ, ඒ නිසා මාත් ඒවට රිප්ලයි කළා. ඊට පස්සේ එක එක හින්ට් පාස් කරන්න, පරණ දේවල් මතක් කරන්න පටන් ගත්තා. ඒ අස්සෙත් සමහර වෙලාවට ඒකිම මැසේජ් කර කර ඒකිම ලොකු ලයින් දෙන්න ගත්ත කියපන්කො. මට ඒ සමහර කතා මතක් වෙනකොටත් හිනා යනවා.  මම ඉතින් ඔය මුකුත් ගනන් ගන්නේ නැතුව මැසේජ් එකක් ආවොත් රිප්ලයි කරගෙන මගේ පාඩුවේ හිටියා. පස්සේ එයා කෙලින්ම කිව්වා මම ඔයාට ආදරෙයි අපේ සම්බන්දෙ ආයෙත් පටන් ගමු කියන එක. එයා ගොඩාක් දේවල් කිව්වා. ආයෙත් වෙනස් කරන්න බැරි විදියට මම හිත හදාගෙන හිටපු නිසා ඒ කියපු කිසි දේකින් වැඩක් වුනේ නෑ. මම ඒව ගැන වැඩිය කියන්න යන්නේ නෑ, එහෙම වුනොත් මම පොර ටෝක් දෙනව කියල කට්ටිය හිතාවි.

හැබැයි මම ඇහුවා එහෙනම් ඇයි අරවගේ කතාවක් කිව්වේ කියල. එයා කිව්වා, එයා එහෙම කිව්වේ ඇයි කියල එයාවත් දන්නේ නෑ, ඒක අමතක කරලා දාන්න කියලා. එයා ගොඩාක් මැසේජ් එව්වා, තුන් හතර පාරක්ම කෝල් කළා, ඒත් ඒ එපා වුන එපා වීම වෙනස් කරන්න නම් එයාට බැරි වුනා. කොහොමහරි මාස දෙක තුනකින් විතර මැසේජ්, කෝල් එන එක නැවතුනා. මට තිබුන ප්‍රශ්නේ එයා ඔය කියන තරම් මට ආදරේ කළා නම් අර විදියට හැසිරුනේ, අර විදියේ කතාවක් කිව්වේ මොකද කියන එක. සමහර විට එයාට හිතෙන්න ඇති තව ටිකක් ගනන් උස්සන්න, තව ටිකක් අගේ කරන්න. නැත්තන් ඉතින් අරම වැඩ කරන්න ඕන නෑ නේ. යාලු වෙන්න කලින් නම් ටිකක් ආඩම්බර වෙන එක, ටිකක් ගනන් උස්සන එක අවුලක් නෑ. ඇත්තටම එහෙම වෙන්නත් ඕන, නැත්තන් කොල්ලයි බල්ලයි දෙන්නම යාලු වෙන්න එනවනේ. ඒත් දෙයියනේ යාලු වුනාට පස්සේ ආයෙත් ලොකු ලයින් දෙන්නේ මොකටද? මොකක්ද එහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ? මට නම් තේරෙන්නේ නෑ. කොහොම හරි මට නම් ඒව දිරවන්නේ නෑ. යාලු වෙන්න කලින් අගේ කළා මදි කියල හිතුනද දන්නේ නෑ.

එයා  බලාපොරොත්තු වෙන්න ඇත්තේ අර විදියට කලාම මම පස්සෙන් වැටීගෙන ඒවි කියල. අපේ උන් නම් කිව්වේ අනිවා එයාගේ යාළුවො ටික තමයි ඔහොම කරන්න කියන්න ඇත්තේ කියල. කොහොම හරි ඒ වැඩේ හරි ගියේ නැති නිසා එයාම ආයෙත් හැමදේම මුල ඉඳල පටන් ගන්න හැදුවේ. ඒත් එතකොට පරක්කු වැඩියි. මගේ ගැන කියනවා නම් එහෙම ලොකු ලයින් එකක් දෙන්න මට ඇති සුදුසුකමක් නම් නෑ. මම සල්ලිකාර පවුලකින් එන එකෙක් නෙමෙයි, මම හැන්ඩි කොල්ලෙකුත් නෙමෙයි. (මම කළුම කළු, කැත කොල්ලෙක්. මගේ ඇත්ත fb එකවුන්ට් එකේ ඉන්න අය නම් දන්නවා ඇති ඩයල් එක මොන වගේද කියලා.) ඒත් එහෙමයි කියල ඔහොම කාටවත් බාල්දු වෙන්න, පස්සෙන් වැටෙන්න නම් මම සුදානම් නෑ. කෙල්ලෙක් නැතිම වුනොත් ප්‍රපොසල් එකකින් බඳිනවා, එහෙමත් බැරි වුනොත් ඔය ඉතුරු ටිකත් තනියමම ඉන්නවා. ඒක ඔයිට වඩා දාහෙන් සම්පතයි. ඔය වගේ තැනකදී විතරක් නෙමෙයි, කවුරු වුනත් මට ලොකු ලයින් එකක් දුන්නොත් මාත් අනිත් පැත්තට එහෙමම තමයි. (හැබැයි හානියක් නැතුව එහෙම කරන්න පුළුවන් නම් විතරයි)

මේ මෑතක් වෙනකල් මගේ මූණු පොතේ එයා හිටියා. මේ ලඟකදී ඉඳල ආයෙත් අමුතු අමුතු කතා කියන්න ගත්තා. දවස් දෙක තුනක් බලල මම එයාව බ්ලොක් කරලම දැම්මා. මුකුත් හිතන්නේ බලන්නේ නැතුව ගත්ත මෝඩ තීරණයක් හින්ද ඔන්න ඔහොම දෙයක් තමයි වුනේ. පොඩි මානසික පීඩාවක් ඇරෙන්න මට නම් ලොකු හානියක් වුනේ නෑ. හැබැයි මට එයා ගැන නම් ඇත්තටම දුකයි. ඒක එයාගේ පලවෙනි ආදරේ. එයාගේ මැසේජ් වලිනුත් ඒක හොඳටම තේරෙනවා. ඒ නිසා වෙන්න ඇති එයාට ඒක අමතක කරන්න එච්චර අමාරු වුනේ. හැබැයි එයා එදා අර විදියේ කතාවක් නොකියන්න අපි අදටත් ආදරවන්තයෝ වෙන්න තිබුනා. ඒත් එයා ඒ කතාව ගොඩක් වෙනස් කළා. දැන් ඒ හැම දෙයක්ම අතීතයට එකතු වෙලා ඉවරයි. 

Monday, November 7, 2011

මට හමුවූ පුදුම මිනිස්සු

මුලින්ම කියන්න ඕන දැන් මේ කියන්න යන්නේ මගේ කතාවක්, මගේ අත්දැකීමක් නෙමෙයි කියල. මට පොතක් ලැබුන 'මට හමුවූ පුදුම මිනිස්සු' කියල. මේක මාස ගානක් තිස්සේ අපේ බෝඩිමේ තිබිල දැන් හොස්ටල් එකේ අපේ කාමරේ තියෙන්නේ. හවස කම්මැලි කමට එහාට මෙහාට පැද්දි පැද්දි ඉන්නකොට මේක දැක්ක. මාස ගානකින් නෙමෙයි අවුරුදු ගානකින් කතා පොතක් කියවල නැති නිසා මේක කියවන්න හිතුනා. මේ පොත ලියල තියෙන්නේ 'ජයසුමන ධර්මබන්ධු' කියන කෙනා. ඒ මනුස්සයාගේ ජීවිතේ විවිද අවස්ථාවල මුණගැහුන අරුම පුදුම මිනිස්සු ගැන තමයි මේ පොත ලියවිලා තියෙන්නේ. මේ පොතේ ඒ වගේ කතා 35ක් තියනවා. මේ පොත 'ඇම්. ඩී. ගුණසේන සහ සමාගමේ' ප්‍රකාශනයක්. 'ලිහිණි පොත්' යන නමින් තමයි මේ පොත ප්‍රකාශනයට පත් කරලා තියෙන්නේ. මේකේ පළමු මුද්‍රණය 1964.

අද  කාමරේ කවුරුත් නෑ, සේරම ගෙවල්වල ගිහින්. ඉතින් අද කාමරේ මගේ රාජ්ජේ. ඒක නිසා මේ පොතේ තියන හිතට අල්ලපු කතාවක් දෙකක් කොටන්න කියල තමයි මේ ලේස්ති වුනේ. මොකද අනිත් උන් ඉන්න වෙලාවක පොතක් බල බල ටයිප් කරන්න ගියොත් උන් බලයි මට පිස්සුද කියල. මම බ්ලොග් එකක් ලියන බව උන් දන්නෙත් නෑ. හරි දැන් පසුබිම විස්තර කළා ඇති. 
......................................................................................................................................................................

අඩු වයස්කාරිය.

අප  ජීවත්වන සමාජය පිලිබඳ විශාල අවබෝදයක් ලබා ගැනීමට මට හැකි වූයේ මා බදුලු රෝහලේ සේවයේ යෙදී සිටි කාලයේදී යැයි මට සිතේ. සමාජයේ නොයෙක් උස් පහත් පුද්ගලයින් හා සමග කතාබහ කිරීමට අවකාශ ලැබීම මීට හේතු වශයෙන් දැක්විය හැක. රෝහලේදී මට ලැබුණු කාර්යය ලෙඩුන් ඇතුලත් කිරීම නිසා ඔවුන් සමග නොයෙක් දේ ගැන සාකච්චා කිරීමටත් ඒ මගින් විශාල අවබෝධයක් ලබා ගැනීමටත් මට හැකි විය. රෝහලට ඇතුලත් වීමට එන ඇතැම් රෝගීන් තම දෙමව්පියන්ගේ නම් පවා නොදැන සිටීම මගේ පුදුමයට හේතුවක් විය. 

එදා මට රාජකාරිය කිරීමට නියමව තිබුනේ රාත්‍රී අටේ සිට සඳුදා උදේ අට දක්වාය. රාත්‍රී සේවය කිරීමට මා ඒ තරම් සතුටක් නොදැක්වූයේ මුළු රාත්‍රියම නිදි මැරීමට සිදුවන නිසාය. එසේ නමුත් අපට විවේක ගැනීම පිණිස ඇඳක් කාර්යාලයේ ම සවිකර තිබීම නිසා තරමක පහසුවක් දැනුනද වරින් වර පැමිණෙන රෝගීන් ගෙන් ඊටද බාධා පැමිණෙන්නට විය. 

රාත්‍රී  දහය පමණ වන විට රෝගීන් ගේ පැමිණීම අඩු වූයෙන් රෝගියෙකු පැමිණිය හොත් මා අවදි කරවන ලෙස සේවකයාට දන්වා ඇඳේ දිගා වුනෙමි. පෑ බාගයක් පමණ එසේ ඉන්නට ඇති. හදිස්සියේම, "මහත්තයා, මහත්තය ලෙඩෙක් ඇවිල්ල" යි සේවකයාගේ කටහඬ ඇසුණෙන් මම නැගිට මේසය වෙත පැමිණියෙමි.

මා ඉදිරිපිට බැලූ බැල්මට අවුරුදු හතළිහකට නොඅඩු යැයි කිව හැකි දුර්වල ශරීරයක් ඇති, හිස සිට දේ පතුල වැසෙන තෙක් රෙද්දක් පොරාගත් කාන්තාවක් සිටගෙන හුන්නාය. 

"මොකක්ද නම?" මම ඇයගෙන් ඇසුවෙමි. 

"එමලින් නෝනා." යි ඈ සිහින් හඬින් පිළිතුරු දුන්නාය. ඈ පිළිතුරු දුන් පිළිවෙලින් ඇයගේ රෝගය තරමක් බරපතල බව මට හැඟිණි.

"හිටගෙන ඉන්න අමාරු ඇති නෙව, ඔතනින් වාඩි වෙන්න." 

ඈ සෙමෙන් සෙමෙන් ඉදිරිපස අසුනේ වාඩිවූ පසු, 

"වයස කීයද?" යි මම ඇසුවෙමි. 

"තිස් තුනයි." ඇය කීවාය. 

නමත් වයසත් පොතෙහි ඇතුලත්කළ මා සේවකයා සමග ඈ වාට්ටුවට යවා නැවතත් ඇඳේ පෙරලුනෙමි. වාසනාවකට මෙන් ඉන් පසු රෝගීන් නොපැමිණියෙන් පැය කීපයක් සුව සේ නිදා ගැනීමට මට පුළුවන් විය. මා අවදි වනවිට පාන්දර පහට පමණ ඇත. 

මුහුණ කට සෝදා මා ආපහු කාමරයට ඇතුළු වනවාත් සමගම එහි සිටි සේවකයා, 

"මහත්තය හරි වැඩේ නේ වෙලා තියෙන්නේ." යි මා දෙස බලමින් කීවේය. 

"මොකද?" මම ප්‍රශ්න කළෙමි.

"අර ඊයේ රෑ වාට්ටුවට ඇතුළත් කරපු ගෑනි මහත්තයට මතකද?"

"ඔව්, ඔව්, අර මම වාඩි වෙන්නෙයි කීවේ, එයාද?"

"අන්න හරි ඒ ගෑනි මැරිල!" 

"මොනව? මැරිල?" එයම ප්‍රතිරාවය කළ මා "මොකද වෙලා තියෙන්නේ?" යි ඔහුගෙන් ඇසුවෙමි. 

"ඊයේ රෑ හදිස්සියේම අමාරු වෙලා ලොකු දොස්තර මහත්තයා ඇවිල්ලා බෙහෙතක් විදල තියනවා." 

"ඉතින්" 

"බෙහෙත විදල පැයක් යන්න හම්බුවුනේ නෑ ගෑනි මැරුණා. පස්සේ දැන් උදේ මරණෙ ගැන සෝදිසි කරල බැලුවහම ආරංචි වුනා ඒ ගෑනිගේ වයස අවුරුදු හතලිස් නමයක් ලු. ඉතින් ගෑනි වයස දීල තියෙන්නේ තිස් තුනයි කියල. දොස්තර මහත්තය අවුරුදු තිස් ගණනක් නිසා ශක්තිය ඇති කියල විදල තියෙන්නේ සැර බෙහෙතක්. බෙහෙතෙ සැරට ලු මැරිල තියෙන්නේ. මහ මෝඩ ගෑනියෙක් නේද මහත්තය?" කියමින් ඔහු කාමරයෙන් පිටවිය. 

"මෝඩ ගෑනු, මේ වගේ කී දෙනෙක් අකාලයේ මැරෙන්න ඇත්ද?" මම කල්පනා කළෙමි.
......................................................................................................................................................................

මිත්‍රයා

අවුරුද්ද අවසානය සාමාන්‍යයෙන් දෙමව්පියන් කාටත් වැඩ අධික සමයක් වෙයි. ඊට හේතුව දරුවන්ට අලුත් පත් පොත් අරන් දීමටත්, අලුත් අවුරුද්දේ පාසල් යාමට අලුත් ඇඳුම් පැළඳුම් සකස් කිරීමටත්, පාසල් නොයන දරුවන් පාසල්වලට අලුතින් ඇතුළත් කිරීමටත් තිබීමය. 

මා විවාහකයකු නොවූවත් මගේ අක්කාගේ කුඩා දියණිය පාසලකට ඇතුළත් කිරීම මට බාර දී තිබුණෙන් මේ දිනවල මටද වැඩ අධික සමයක් විය. 

"බලන්නකෝ මල්ලියේ දරුවා ඉස්කෝලෙට දාගන්න එපායැ. ඉස්කෝලෙකට අලුතින් ඇතුළත් කරන එකත් එච්චර ලේසි නෑ. ඒ වුනත් මල්ලිට නම් බැරිවෙන එකක් නෑ ඔය යාලුවෙක්ගෙ මාර්ගයෙන් දුවව ඉස්කෝලෙට දාගන්න." 

අක්කා මෙසේ කී විට "හොඳයි බලමු" යි මා කීවේ උසස් විදුහලක ප්‍රධානාචාර්ය වරයෙකු සමග ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන මගේ මිත්‍රයෙකු සිටි නිසා ඔහුගේ මාර්ගයෙන් දියණිය පාසලට ඇතුළත් කරගැනීමට හැකි වෙතැයි මා සිතූ බැවිනි. 

මගේ අදහස ඉෂ්ට කරගැනීමට සිතා එක් ඉරිදාවක උදෑසන දියණියත් සමග මා මිත්‍රයා පදිංචිව සිටි නිවෙසට ගියෙමි. ටික වේලාවක් ඔහු හා සමග කතා කරමින් සිට පසුව මා ආ කාරණාව ඔහුට කීවෙමි. මෙය ඉතාමත් බැරෑරුම් කටයුත්තක් බව කී ඔහු කෙසේ වෙතත් මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි නිසා ප්‍රධානාචාර්ය වරයාට ලිපියක් ලියා දීමට කැමති විය. මිත්‍රයාට මුව නොසෑහෙන සේ ස්තූති කරමින් ඒ ලිපියත් රැගෙන මා පසුවදා උදෑසනම දියණියත් කැටුව විදුහල වෙත ගියේ ප්‍රධානාචාර්ය වරයා මුණගැසීම පිණිසය. 

මා එහි යනවිට ප්‍රධානාචාර්ය වරයා පැමිණ නොසිටියෙන් ඔහු එනතුරු වාඩි වී සිටින ලෙස එහි සිටි ලිපිකරු මහතා මට කීවේය. නැවත වරක් මේ සඳහා පැමිණීමට නොහැකි නිසා මහත් බලාපොරොත්තු සහිතව මා ඔහු එනතුරු වාඩි වී සිටි අතර, අල්ලපු කාමරයෙන් ටැලිපෝන් සීනුවක් නාද වූයෙන් ලිපිකරු මහතා මා එහි තනිකර දමා ටැලිපෝන් පණිවිඩය ගැනීම පිණිස එහි ගියේය. 

සුළු වෙලාවකට පසු ඔහු නැවතත් එහි පැමිණියේ, "බලන්න මිස්ටර් මෙහෙමත් මිනිස්සු ඉන්නවා නේද ආ" කියමිනි.

"මොකද? මොකද?" ඔහුගේ කතාව අසාගනු රිසියෙන් මම ඇසීමි.

"නෑ අයිසෙ දැන් ටැලිපෝන් කළේ මිස්ටර් වීරසිංහ කියල එක්කෙනෙක්. එයා ඊයේ යාලුවෙකුට ලියුමක් දුන්නලු ළමයෙක් ඉස්කෝලෙට ගන්නෙයි කියල. යාලුවගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා ලියුම දුන්නට ඒ ගැන එච්චර සැලකිලිමත් වෙන්න ඕන නෑ කියල ප්‍රින්සිපල් මත්තයට කියන්නෙයි කියල දැන් ටැලිපෝන් කරලා කිව්ව. අම්මප මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ ආ"

මේ කතාවෙන් මා පුදුමයෙනුත් පුදුමයට පත් වූ නමුත් ඒ බවක් ඔහුට නොහැඟෙව්වේ වීරසිංහගේ ලියුම ගෙන ආ තැනැත්තා මා බව ඔහු දැනගනිතියි බියපත් වූ බැවිනි. ප්‍රධානාචාර්ය වරයා එන්නටත් කලින් ඒ තැනින් වහාම පිටවී ගිය මා ලියුමකැබලි වලට ඉරා දැම්මේ කේන්තිය පිරිමසා ගන්නා අදහසිනි. 
.....................................................................................................................................................................
ප.ලි. මම වචනයක් වත් වෙනස් කළේ නෑ. පොතේ තිබුන විදියටමයි දැම්මේ. 

Saturday, November 5, 2011

ඔබේ සුසුමින් මාද ජීවත් වෙමි.

ධනුක නැවතත් ඔරලෝසුව දෙස බැලුවේය. වේලාව 12.27යි. ඔහුගේ නොසන්සුන් කම තව තවත් වැඩි වන්නට විය. ඔහුගේ ගතත් සිතත් දෑසත් හොඳටම හෙම්බත් වී ඇති සෙයකි. එහි පැමිණ සිටි දහසක් දෙනා අතර ඔහු ඔහුට හිමි ආදරණීය මුහුණ සොයන්නට විය. එහෙත් ඔහු තව තවත් වෙහෙසටත්, කණස්සල්ලටත් පත් වූවා මිස ඔහු සොයන මුහුණ ඒ අතර නොවීය. ඔහු පෙර දින කීපයේ මතක අතර සැරිසරන්නට විය. වෙනදා මේ වේලාව වනවිට ඇය ඔහුත් සමග කාලය ගත කල ආකාරය ඔහුට සිහිවෙයි. ඔහුගේ යටි බඩ දෙසින් ඇතිවූ වේදනාව ඔහුට නොදැනුනේ ඔහුගේ හිතේ වේදනාව ඊට වඩා බොහෝ සෙයින් විශාල නිසා විය යුතුය. ඔහුට කතා කරන හෙදියගේ හඬ ඔහුට නෑසුනේ ඔහු ඇය ගැනම සිතුවිල්ලේ ගැලී සිටිය නිසා විය යුතුය.

"මිස්ටර් ධනුක...."

ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත. ඔහු සිටින තත්ත්වය අවබෝධ කරගත් හෙදිය ඔහු අසලටම පැමිණ ඔහුව ඇමතුවාය.

"වයිෆ් එනකල්ද බලන් ඉන්නේ?"

ධනුක පියවි සිහියට පැමිණියේ එවිටය.

"ආහ් මිස්... ඔව් එයා තාම නෑ නේ."

"ඒවි ඒවි." ඔහු දෙස අනුකම්පා සහගත බැල්මක් හෙලූ හෙදිය පැවසුවාය.

ඔහු දුර්වල සිනාවකින් පමනක් ඊට පිලිතුරු බැන්දේය.

"මම ආවේ ඔයා කාලද බලන්න. ඔයාට තව ටිකකින් බේතක් දෙන්න තියනවා."

එසේ කියා රාක්කය දෙස බැලූ හෙදියට පෙනුනේ බත් පාර්සලය තවමත් එසේම මේසය මත ඇති බවයි. ධනුක බිම බලාගෙන සිටියා විනා කිසිත් නොකිව්වේය.

"ඇයි තාම කාල නැත්තේ? අර මනුස්සය බත් එක ගෙනත් දීල කොච්චර වෙලාද?"

"අරය ආවම කන්නම් මිස්."

"අනේ මන්ද ඔයාල නම්... වයිෆ් නැතුව බත් ටික තනියම කාගන්නවත් බෑ නේද?"

ධනුකගේ පිළිතුර නැවතත් සිනහවක් පමණක් විය.

"හැබැයි මම ඔයාට තව විනාඩි 15යි දෙන්නේ. වයිෆ් ආවත් නැතත් 1.45 වෙනකොට කාල ඉන්න ඕන හොඳද. හරියටම 1ට බේතක් දෙන්න තියනවා. කාල විනාඩි 15ක් වත් ඉඳල තමයි ඒ බේත බොන්න ඕන."

"හරි මිස්"

ලෙඩුන්  බැලීමට වාට්ටුවට පැමිණි පිරිස දෙස ඔහු බලා සිටියේ අසරණ දෑසිනි. දෙමාපියන්, බිරින්දෑවරුන්, දරුවන් පැමිණ අනිත් ලෙඩුන්ගේ සුවදුක් විමසන ආකාරය, ලඟට වී කතා කරන ආකාරය ඔහුට පෙනෙයි. දහසක් දෙනා මැද ඔහු තනිවී සිටින්නේය. තවත් වේලාවක් ඔහු වාට්ටුවට ඇතුළුවන දොර දෙස බලා සිටියේ කොයි මොහොතක ඇගේ රුව දැක ගැනීමේ අටියෙනි. තවදුරටත් බලාපොරොත්තු සුන් වූ ඔහු කොට්ටය ඇඳ විට්ටමට හේත්තු කර ඊට හේත්තු වී තදින්ම දෑස පියා ගත්තේය. ඇය පැමිණේයැයි තිබූ බලාපොරොත්තුව ඔහු කෙරෙන් ගිලිහී ඇති සෙයකි.

ඔහු නැවත දෑස් ඇරියේ තමා ලඟ යමෙක් වේගයෙන් හුස්ම ගන්නා හඬ කණ වැකීමෙනි. හොඳින් හුරු පුරුදු හඬක් වූ එය ඔහු හඳුනා ගත්තේය. ඔහු දෑස් හැර ඇය දෙස බැලීය. තදින්ම හති දමමින් සිටි ඇය අනුකම්පා සහගත බැල්මකින් ඔහු දෙස බලා සිටියාය.

"මම හිතුව ඔයාට නින්ද ගිහින් කියල."

ඔහු කිසිත් නොකිව්වේය. ඔහුට ඔරලෝසුව බැලුනේ නිරායාසයෙනි. වේලාව 12.41 වී තිබුණි. ඇයද ඔහු අනුව යමින් ඔරලෝසුව දෙස බැලුවාය. ඇයගේ පමාව නිසා ඔහු අමනාපයෙන් සිටින බව ඇයට පැහැදිලි විය.

"අද හදිස්සි වැඩක් වැටුන ධනුක. ඔෆිස් එකේ ලොක්කෝ ඔක්කොමත් එක්ක මීටින් එකක් තිබුන. කොහොමවත් එන්න විදියක් තිබුනේ නෑ. ඒකයි එන්න පරක්කු වුනේ. මාත් එක්ක තරහද?"

ධනුක නිහඬය.

"ඔයා මාත් එක්ක තරහෙන් නේද ඉන්නේ?"

ධනුක තවමත් නිහඬය. දීර්ඝ හුස්මක් පිටකළ ඇය ධනුකගේ හිස අත ගාන්නට විය.

"මට එන්න පරක්කු වෙයි කියල තේරුණ නිසයි මම කලින්ම සුමනෙගෙ අතේ කෑම එක එව්වේ. ඔක්කොම කෑව නේද?"

"මම තාම කෑවෙ නෑ."

ඔහු කිව්වේ ඇසෙන නෑසෙන ගානටය. රාක්කය දෙස බැලූ ඇය දුටුවේ කෑම පාර්සලය තවමත් රාක්කය මත ඇති ආකාරයයි. හදවත දවා අලු කරන තරම් වේදනකුත්, සියුම් තරහවකුත් ඈ තුල හටගත්තේ එකවිටමය.

"ඇයි දරුවො කෑවෙ නැත්තෙ? මේ ලෙඩ වෙලත් ඉන්න වෙලාවෙ නොකා හිටියම හරි යනවද? මම සුමනෙ අතේ කියලම එව්වනෙ මම පොඩ්ඩක් පරක්කු වෙනවා, බත් එක කන්න කියල."

ධනුක නිහඬය. ඇය බත්මුල පිඟාන මත තබා ලිහන්නට විය.

"ඇයි කෑවෙ නැත්තෙ කියන්නකෝ?

"මට බඩගින්නක් තිබුනෙ නෑ."

"බඩගින්නක් තිබුනෙ නෑ කියල හරි යන්නෙ නෑ නෙ. ඩොක්ටර් කිව්ව නේද හරියට වෙලාවටම කන්න, නැත්තන් ගැස්ට්‍රයිටීස් වැඩි වුනොත් සර්ජරි කරපු එක තව අමාරු වෙයි කියල."

ධනුක, තමාට ඉදිරියෙන් ඇති ඇඳේ සිටි රෝගියාට ඔහුගේ බිරිඳ සහ දරුවන් වටවී කෑම කවන ආකාරය දෙස බලා සිටින්නේය. සරණි බත් කටක් අනා ඔහුගේ මුවට ලං කළාය. ඇයට කියා බත් කටක් කවා ගැනීමට බොහෝ වෙලා බලා සිටියත්, ඔහු බත් කට කටට දමා ගත්තේ අමනාපයක් මවාගෙනය.

"ඔයා මම පරක්කු වුන තරහට නේද ඔයා නොකා හිටියේ."

"නෑ, එහෙම එකක් නෑ."

"නැත්තේ මොකද? මම දන්නේ නැද්ද ධනූ ඔයා ගැන. මාත් එක්ක තියන තරහට ඔයා ඔයාගෙන්ම පළිගන්න එපා."

"තරහකට නෙමෙයි සරණි, මම ඉතින් ඔයාට කියල කවාගන්න ආස නිසයි හිටියේ. ඔයාට ඉතින් මට වැඩිය රස්සාව ලොකු වුනානේ."

අවසන් වාක්‍යය ඔහුගේ මුවින් පිටවූයේ බොහෝ සිහින් හඬිනි. ධනුකගේ ඒ වචන සරණිට උල් පිහියකින් පපුව මැදට ඇන්නාක්‌ මෙන් විය. සරණිට කතා කිරීමට අවශ්‍ය වුවත් වචනයක් වත් කියාගත නොහැකි ලෙස ඇය ගොළු විය. බත් අනමින් සිටි ඇගේ අත පිඟාන මතම ගල් විය. ඇය තත්ත්පර කීපයක්ම ධනුකගේ මුහුණ දෙස එක එල්ලේ බලාගෙන සිටියාය. ඇගේ බැල්මෙන් මිදෙනු වස් ධනුක බිම බලාගත්තේය. ඇය නැවතත් ධනුකගේ මුහුණ තමා දෙසට හරවා ගත්තාය.

"මොකක්ද ධනුක ඒ කතාවේ තේරුම? පොඩ්ඩක් මාව තේරුම් ගන්නකෝ. ඇත්තටම මට කොහෙත්ම එන්න විදියක් තිබුනේ නෑ. නැත්තන් මම පරක්කු වෙන්නේ නෑ නෙ. ගොඩක්ම අර්ජන්ට් මීටින් එකක් තිබුනේ." 
 
"මේක ලන්ච් අවර් එකනේ. ලන්ච් අවර් එකේ මොන මීටින්ද?" 

"ප්‍රයිවට් කම්පැනි වලවැඩ කරන්න ගියාම ලන්ච් අවර් කියල බලන්නේ නෑ නෙ ධනුක. ඔයා මට වැඩිය හොඳට ඒක දන්නවා නෙ. අද සතියේ අන්තිම දවස නිසා ඒ වැඩේ අද කොහොම හරි ඉවර කරලා සබ්මිට් කරන්න ඕන කියල බොස් කිව්ව."

ඊට දෙන්නට පිළිතුරක් ධනුක සතු නොවීය.

"ඇයි ධනුක ඔහොම හිත රිද්දන්නේ? හැමදාම තුන් වේලටම ගේට්ටුව අරිනකොටම දුවගෙන ඇවිත්, එක දවසක් පොඩ්ඩක් පරක්කු වුන නිසාද ඔයා ඔහොම කියන්නේ? ඉස්පිරිතාලේ හිටපු දවස් අමතක කරන්න, මීට කලින් කවදාවත් මට ඔයාට වඩා කිසිම දෙයක් ලොකු වෙලා තියනවද? අපේ පොඩි එකාටත් වඩා මට ඔයාව වටිනවා කියල ඔයා හොඳටම දන්නව නේද?"

දිලිසෙමින්  තිබුණු ඇගේ ඇස් වලින් කඳුළු බිඳු පේලියක් කඩා හැලෙන්නට විය. ඇය නැවතත් බත් කටක් ගෙන ධනුකට ලං කළාය. ඇය නැවතත් කිසිත් කියාවි යැයි ධනුක සිතුවත් ඇය ඊට වඩා කිසිත් කියන්නට නොගියාය. ධනුක බඩගින්නේ සිටි නිසා ඇයට වුවමනා වූයේ ඉක්මනින් ඔහුට බත් ටික කැවීමටය.

"සරණි! ඔයාට තරහ ගියාද?"

"තරහ ගියේ නෑ ධනුක, මට ගොඩක් දුක හිතුන මම මෙච්චර මහන්සියක් වෙද්දීත් ඔයා එහෙම කතාවක් කිව්වම."

"ඒක අමතක කරන්න සරණි. මට ඉබේම වගේ ඒක කියවනේ."

"ඉබේම කියවෙන්නේ ඉතින් හිතේ තියන දේවල් නේ."

"අනේ එහෙම නෑ. මට ඔයා පරක්කු වෙනකොට ගොඩක් දුක හිතුන. වෙනදට ඉතින් ගේට්ටුව අරිනකොට ඔයා මෙතන නේ."

"හ්ම්ම්, මම දන්නවා ඉතින් කොල්ල මම එනකල් පාර බලාගෙන ඉන්නවා කියල. මම මීටින් එකට ඉන්නේ නැතුව එන්න හදල බෝසාගෙන් හොඳට බැනුනුත් අහගත්ත."

"අනේ එහෙමද? මම දන්නවා සරණි.... කරන්නම දෙයක් නැති වුනොත් ඇරෙන්න ඔයා කවදාවත් නෑවිත් ඉන්නෙ නෑ කියල. මම කියපු කතාව අමතක කරල දාන්න."

එසේ කියූ ධනුක සරණිගේ ඇඟට හේත්තු වුනේය. ඇය ධනුකගේ හිස සිම්බාය.

"හ්ම්ම් අමතක කරන්න තමයි... මට කෑගහල අඬන්න හිතුන. හොස්පිටල් එක නිසා අමාරුවෙන් ඉවසගෙන හිටිය. සුලු පටු චෝදනාවක් නෙමෙයි නෙ ඔයා මට කලේ."

ඇය කිව්වේ නෝක්කාඩු ස්වරයෙනි. ධනුක කිසිත් නොකියා බිම බලගෙන සිටියේය. 

"හරි හරි පැටිය ඒක කමක් නෑ. දැන් කමුකො." ධනුකගේ මුහුණ දුටු සරණි කතාව වෙනස් කළාය. 
 
"ඔයා කාලද?"

"තාම නෑ ධනුක."

"එහෙනම් ඔයත් ඔහොමම ටිකක් කන්නකෝ." 

"හරි ඔයා තව ටිකක් කන්නකෝ, මම කන්නම්."

"ඉතින් මට කවන ගමන් ඔයත් ටිකක් කන්නකෝ." 

"හ්ම්ම්"

"ආහ් ඔයා ආවද? මම මේ මෙයා කාලද බලන්න ආවේ." හෙදිය සිනහවෙමින් එතනට පැමිණියාය.

"ඔව් මිස් අද පොඩ්ඩක් පරක්කු වුනා." 

"හ්ම්ම්, ඒක තමයි මෙච්චර වෙලා මූණ එල්ලගෙන හිටියේ. අපෝ බලන්න එපාය ඒ වෙලාවේ මූනේ හැටි. දැන් නම් හොඳට හිනා වෙලා ඉන්නවා." 

ධනුකත් සරණිත් සිනාසුනා මිස කිසිත් නොකිව්වෝය. 

"කොහොමහරි නෝන එනකල්ම හිටිය නේ බත් ටික කවාගන්න? මම මේ ආවේ තාමත් කාල නැත්තන් පැත්ත දාල හරි කවන්න." 

"තව චුට්ටෙන් මටත් පැත්ත දාල තමයි කවන්න වෙන්නේ. මාත් එක්ක තරහ වෙලා හිටියෙ මෙච්චර වෙලා." සරණිද කතාවට එක් වූවාය. 

"ඔය බොරු මිස්, එහෙම නෑ." 

"ආහ් නැත්තෙ මොකද, මට හිතා ගන්න පුළුවන් අර හිටපු විදියට. පොඩ්ඩක් එහෙ මෙහෙ වුනාට තරහ ගන්න එපා ඉතින්. මේ දවස් වල ඔයත් ගෙදර නැති නිසා එයාට වැඩ වැඩි ඇතිනේ." 

"අනේ ඔව් මිස්, මෙයත් ගෙදර නැති නිසා මට පිස්සුව වගේ මේ දවස් වල. වෙනදට මෙයත් ටිකක් හරි උදව් කරනව, දැන් එකත් නෑ නෙ. උදව් ඕනත් නෑ, පෙන්න හිටියත් හිතට හයියක් නෙ." 

ධනුක සරණි දෙස බැලුවේය.

"මේ ටිකේ ගෙදර ගියාම හරිම අවුල්. පොඩ්ඩගෙත් වාර විභහගේ කිට්ටුයි, ඒවත් බලන්න ඕනනේ. අනිත් එක ඔෆිස් එකෙත් වැඩ හිර වෙලා මේ දවස් වල. අදත් එන්න පරක්කු වුනේ ඒකයි."

සරණි ගැන ධනුකගේ හිතේ තදබල අනුකම්පාවක් ඇතිවිය. ඇයගේ හිත රිදවීම ගැන ඔහු බලවත් සේ පසුතැවීමට පත්වුනේය. 

"ඒකනේ, පවුනෙ මෙයාට."

ධනුක කිසිත් නොකියා බිම බලා සිටින්නේය. සරණි, ධනුකගේ හිස පිරිමදින්නට විය.

"ඔයා තමයි ඉතින් මෙයාව ඕනවට වැඩිය හුරතල් කරනව ඇත්තේ."

"අනේ ඔව් මිස්, වෙන කවුරු ඉතින් මෙයාව හුරතල් කරන්නද? පොඩ්ඩයි මෙයයි කියල ඉතින් මට වෙනසක් නෑ."

"අපෝ අපේ ගෙදරත් ඔහොම තමයි. අපේ එක්කෙනත් මේ වගේමයි. මහ බබාව බලාගන්න එක තමයි අමාරුම වැඩේ. උදේ ඉඳල හවස් වෙනකල් මහ කම්පැනියකුයි දාස් ගානක් මිනිස්සුයි හැන්ඩ්ල් කරනවා, හැබැයි ගෙදර ආපු ගමන් පොඩි එකා වගේ වෙනව. මම පේන්න හිටියේ නැත්තන් මූණ එල්ලගෙන තමයි ඉන්නේ."

"ආහ් එහෙනම් මම විතරක් නෙමෙයි නේද ඒ වගේ?" ධනුකගේ මුවට සිනහවක් නැගුණි. 

"නෑ නෑ තව ගොඩක් ඉන්නවා. ඉන්න, මම බේත් ටික අරන් එන්නම්. ඒ ටිකත් වයිෆ්ට කියලම පොවා ගන්න." 

හෙදිය සිනාසෙමින් යන්න ගියාය.

"තව පොඩ්ඩයි පැටියෝ, මේ ටිකත් කන්න." 

"සරණි, අනිත් දවසේ ඔෆිස් එකේ වැඩ දාල එන්න එපා. පොඩ්ඩක් පරක්කු වුනාට කමක් නෑ."

"නෑ නෑ, මාව රස්සාවෙන් අස් කලත් අනිත් දවසෙ අනිත් දවසෙ ගේට්ටුව අරින්නත් කලින් මම මෙතන ඇති."

"එහෙම එපා ළමයෝ. ඒ වැඩත් කෙරෙන්න ඕන නෙ. අනිත් එක මට දැන් ටිකක් හොඳයි නෙ." 

"හරි ධනූ, ඔයා ඒව ගැන හිතන්න එපා. ඔෆිස් එකේ වැඩ වගේද මට ඔයාගේ මූණ පොඩ්ඩක් බලාගන්න එක."

"හ්ම්ම්. පොඩ්ඩ මොකද, කරදර කරනවද?" 

"කරදරයක් නම් නෑ, තාත්තත් නැති නිසා අම්මට කරදර කරන්න එපා කිව්වම පාඩුවේ ඉන්නව." 

"දකින්නත් ආසයි." 

"මම හෙට එක්කගෙන එන්නම්කෝ."

"අනේ එක්කගෙන එන්න සරණි." 

"ආහ් ධනුක වතුර බොන්න, මම මේක හෝදගෙන එන්නම්." 

සරණි පිඟානත් රැගෙන වතුර කරාමය දෙසට යනු ධනුක ඇසිපිය නොහෙලා මෙන් බලා සිටියේය. ඇය නොපෙනී ගිය පසු යලි එනතෙක්‌ ඔහු නොයිවසිල්ලෙන් බලා සිටියේය. 
.....................................................................................................................................................................

ප.ලි. ගොඩක් දවසකින් මුකුත් ලිව්වේ නැති නිසා ලිව්වේ. ඒ වුනාට මේ ලෝකේ රහක් නෑ වගේ.:( කමක් නෑ ඉතින් පන දාගෙන කොටපු එකේ පබ්ලිෂ් කරල දානවා.

ප.ප.ලි. මාතෘකාව මාළු අයියගේ පෝස්ට් එකක පොඩ්ඩක් විතර කොපියක්.