ඔන්න ඉතින් අද කසුන්ට, ඒ කිව්වේ මට, ගොඩක් සතුටු සහ වැදගත් දවසක්. මම දැන් මේ ලේස්ති වෙන්නේ මගේ 50 වෙනි පෝස්ටුව කොටන්න. හ්ම්ම් කොහොමද පටන් ගන්නේ? මම 50 වෙනි පෝස්ට් ඒකෙ ලියන්න ඕන දේවල් 44, 45 වගේ පෝස්ට් වල ඉඳලම හිත හිත හිටියේ. දැන් මට ඒ ටික ගලප ගන්න බෑ.:) ඉතින් මේ කියන්න හදන්නේ මම ආපු ගමන ගැන සහ ඒ ගමනේදී මට දැනුන දේවල්. මේ කියන දේවල් මේලෝකේ රහක් නැති වෙයිද මන්ද. එහෙම නොවෙන විදියට ලියන්න උපරිම උත්සාහ ගන්නම්.
මීට මාස නමයකට කලින්, ඒ කිව්වේ 2011 මාර්තු මාසේ තමයි මම සිංහල බ්ලොග් ලෝකෙට පය ගැහුවේ. මම බ්ලොග් කියන දේ ගැන මුලින්ම දැනගත්තේ මහිමයාගෙන්. හැබැයි බ්ලොග් එකක් ලියන්න ගන්න කල්ම මම හරියට බ්ලොග් කියවලා තිබුනේ නෑ. මහිම විටින් විටින් විට එවපු සමහර බ්ලොග් පෝස්ට් කියවලා තිබුණා. මට මතකයි ඌ එකපාරක් රත්ගමයා රිච්මන්ඩ් එක ගැන ලියපු කවියක් තියන පෝස්ට් එකක් එවලා තිබුණා. ඔය වගේ ඌ එවපු පෝස්ට් දෙක තුනක් කියවලා තිබුණා ඇරෙන්න මම හරියට බ්ලොග් එකක් කියවන්නවත් දැනගෙන හිටියේ නෑ. මහිමය මට බ්ලොග් කියවපන් කියලා කීප වතාවක්ම කිව්වත් මට කියවීමට තියන අඩු ආසාව නිසා මම ඌ කියපු දේ ඇහුවේ නෑ. හැබැයි එක්තරා හේතුවක් නිසා මට පස්සේ කාලෙක බ්ලොග් එකක් ලියන්න වුවමනාවක් ඇති වුනා.
හැබැයි ඒ වුවමනාව එච්චරම ලස්සන එකක් නම් නෙමෙයි. මම මේ දේ මීට කලින් එකම එක තැනක කමෙන්ට් එකක කියලා තියනවා. 2010 අවුරුද්දේ මැද විතර ඉඳලා මට 'Internet Money' පිස්සුවක් ගහලා තිබුනේ. මම පිස්සුවෙන් වගේ Ad ක්ලික් කර කර, Offers කම්ප්ලීට් කර කර හිටියේ ඒ කාලේ. ඔය අතරේ මට දැනගන්න ලැබුනා තමන්ගේම සයිට් එකක් තියනවා නම් ඒකෙ AdSense වගේ ඇඩ් දාල ඒකෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා. බ්ලොග් වලත් ඒ විදියට ඇඩ් දාල සල්ලි හොයන්න පුළුවන් කියලා මට කවුරුහරි කිව්වා. මම ඊට පස්සේ මහිමයගෙනුත් ඇහුවා සීන් එක. මිනිහත් හරියටම දැනගෙන හිටියේ නැති වුනාට එහෙම පුළුවන් කියලා මිනිහත් කිව්වා. ඊට පස්සේ මම උගෙන් බෙසික් ටික අහගෙන බ්ලොග් එකක් හදාගත්තා. මම ඔය වැඩේ පටන් ගන්නකොටම මිනිහා කිව්වා, "ඔන්න බලපන් උඹ ඔය ඇඩ් දාන්න ඕක පටන් ගත්තට ටික දවසක් යනකොට උඹට ඇඩ් අමතක වෙලා උඹ බොක්කෙන්ම බ්ලොග් එක ලියාවි" කියලා. මම එදා ඒ කතාව එච්චර ගනන් ගත්තේ නෑ. අපරාදේ කියන්න බෑ, පෝස්ට් 5ක් 6ක් විතර යනකොට ඌ කියපු දේ එහෙමම වුනා. කමෙන්ට් එක දෙක වැටෙනකොට, ෆලෝවර්සලා එක්කෙනා දෙන්නා එකතු වෙනකොට, දැකලවත් නැති පිරිසක් එක්ක බැඳීමක් ඇති වෙනකොට ඇඩ් කොහෙන් ගියාද දන්නේ නෑ. ඊට පස්සේ ඉතින් මම මගේ උපරිමයෙන්ම, බොක්කෙන්ම මේ බ්ලොග් එක ලියන්න ගත්තා. ආයේ ජීවිතේට ඇඩ් ගැන මතක් වුනේ වත් නෑ. ගොඩක් දෙනෙක්ට වෙනවා වගේ මගේ බ්ලොග් එක මගේ ජීවිතේම කොටසක් වුනා.
බ්ලොග් එකක් හදන්න ගත්තම මුලින්ම ආපු ප්‍රශ්නේ තමයි, බ්ලොග් එකට දාන නම සහ මගේ අන්වර්ථ නාමය මොකක්ද කියන එක. ඇත්ත විස්තර දාල ඇත්ත නමින් ලියන්න මම කැමති නෑ. එතකොට නිදහසේ හිතේ තියන දේවල් කියාගන්න බැරි වෙනවා. ඔහොම කල්පනා කරනකොට මට මතක් වුනා බොහොම හුරු පුරුදු නමක්, 'කසුන්'. කසුන් කියලා අපේ ඉස්කෝලේ කොල්ලෙක් හිටියා. අපේ සෙට් එක දෙපාරක් තුන් පාරක් විතර උගේ තාත්තව මරලා තියනවා. අපේ කාටහරි කොහේහරි හොර ගමනක් යන්න ඕන වුන ගමන් උන්ගේ තාත්ත නැති වෙනවා. අපේ සෙට් එකේ දෙතුන් දෙනෙක්ගේම ගෙවල් වලට විවිධ අවස්ථා වල ඔය බොරුව කියලා තියනවා. කොහොමහරි මට ඒ වෙලාවේ ඒ නම දාන්න ඕන කියලා හිතුනා. ඊට පස්සේ බ්ලොගේට 'කසුන්ට හිතෙන හැටි' කියලා නම වැටුනා.
2011 මාර්තු 14 වෙනිදා 'මට තේරෙන්නැති ආදරේ' කියන ලිපියෙන් තමයි මගේ බ්ලොග් ලිවිල්ල ආරම්භ වුනේ. මාස නමයක්ම ගියා පෝස්ට් 50 දාන්න. මම ඇත්තටම මාර කම්මැලියි. බ්ලොග් ලිවිල්ලටත් ඒක එහෙමම බලපෑවා. පහුගිය මැයි මාසේ එකම එක පෝස්ට් එකයි දාල තියෙන්නේ. අනිත් එක මට ලියන්න ගියාම මාර වෙලාවක් යනවා ලියන ටික ගැට ගහගන්න. මොකද මගේ ලිවීමේ හැකියාව එච්චර හොඳ නෑ. ඒ හේතු නිසා තමයි මම ගොඩක් හෙමින් ලියන්නේ. මගේ බ්ලොග් කියවිල්ලත් එහෙමම තමයි. මගේ බ්ලොග් රෝල් එකේ තියන බ්ලොග් ටික නම් ඉඩක් තියන හැම දවසකම වගේ කියවනවා. සමහර වෙලාවට ඒවා වත් කියවන්න වෙන්නේ නෑ. හැබැයි සින්ඩියකට ගිහින් බ්ලොග් කියවන්නේ ගොඩක් අඩුවෙන්. කලින් කිව්වා වගේ කම්මැලි කම නිසා තමයි එහෙම වෙන්නේ.
මම දෙවනි පෝස්ට් එකත් දාල තමයි හරියට බ්ලොග් කියවන්න ගත්තේ. මම මුලින්ම කියෙව්වේ රත්ගමයාගේ බ්ලොග් එකයි, නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි කියන බ්ලොග් එකයි. දෙකම ඕපන් කරගෙන මාරුවෙන් මාරුවට දෙකම කියෙව්වා. සමහර ඒවාට කමෙන්ට්නුත් දැම්මා. එදා වැඩේ හොඳටම නැගලා ගියා. ගොඩක්ම රෑ වෙනකල් ඒ දෙක කියෙව්වා. හැබැයි නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි කියන බ්ලොග් එක ලියන එක ඒ වෙනකොටත් එයා නවත්තලා තිබිලා තියෙන්නේ. නවත්තලා ටික දවසකින් තමයි මම ඒ පැත්තේ ගිහින් තියෙන්නේ.:(
මම ටික කාලෙකට පස්සේ ලාස්ට් රෝ එකටත් ලියන්න ගත්තා. ඒකට නම් තාම පෝස්ට් තුනයි හරි හතරයි හරි ලියලා තියෙන්නේ. මම මුලින්ම සින්ඩියකට කියලා ඇප්ලයි කලේ SBU එකට. ඒත් ඒකෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. ඊට පස්සේ තමයි ලාංකීය සිතුවිලි වලට මගේ බ්ලොග් එක දැම්මේ. ඊට පස්සේ නම් තියන තරමක් සින්ඩි වලට මම ඇප්ලයි කළා.:) මධුරංගයත් මට සින්ඩි දෙක තුනකම ලින්ක් එව්වා. ඔය දකුණු පැත්තේ තීරුවේ පහලම තියෙන්නේ මාව ඇතුලත් කරගත්ත සින්ඩි. තව ඔතන 'කොත්තු', 'සින්ඩිය', 'අඹ ගහ යට' කියන ඒවා නෑ. ඒ සින්ඩි වල බැනර් කෝඩ් හොයා ගන්න බැරිවුනා. ටික කාලයක් ගිහින් මම බ්ලොග් එකට ෆේස්බුක් එකවුන්ට් එකකුත් හදාගත්තා. ගොඩක් අයගේ එහෙම තියනවා දැකලයි මටත් ආස හිතුනේ. මධුරංගයා තමයි මාව මුලින්ම 'බ්ලොග් අවකාශයේ මිතුරෝ' කියන ගෲප් එකට ඇඩ් කලේ. ඇත්තටම මධුරංගය මුල ඉඳලම ගොඩක්ම ලොකු සහයෝගයක් දුන්නා මගේ ගමනට. මගේ දෙවනි පෝස්ට් එකේ ඉඳලම ඌ මාත් එක්ක හිටියා. ඊට පස්සේ 'ශ්‍රී ලාංකික බ්ලොග්කරුවන්ගේ එකතුව' හා 'I Am a Blog Reader මම බ්ලොග් කියවන්නෙක්මි' කියන ගෲප් වලටත් එකතු වුනා.
පොඩි සාර්ථකත්වයක් තිබුනට මම හිතපු තරම් තැනකට එන්න නම් මට බැරි වුනා. මුල් කාලේ මට හිතුනා මෙච්චර කාලෙකදී මෙච්චර තැනකට එන්න පුළුවන් කියලා. ඒත් ඒක එහෙම වුනේ නෑ.:) ගොඩක් දෙනෙක් වගේ මාත් කමෙන්ට් වලට, ෆලෝවර්ස්ලට නම් මාරම පෙරේතයි. මොකද කමෙන්ට් එකක්, ෆලෝවර් කෙනෙක් තමයි අපිට තව තවත් ඉස්සරහට යන්න තල්ලුව දෙන්නේ. කමෙන්ට් එකකින් ලැබෙන සතුට ගැන බ්ලොග් ලියන අයට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. පෝස්ට් එකක් දාපු දවසට, විසි වතාවක් විතර වත් ගිහින් බලනවා කමෙන්ට් වැටිලා තියෙන්නේ මොනවද කියලා. කමෙන්ට් වැටෙනකල් මේල් එක පැත්තක ඕපන් කරගෙන තියාගෙන ඉන්න වෙලාවලුත් තියනවා.:) හැබැයි එහෙමයි කියලා කමෙන්ට් දාන්න, ෆලෝ කරන්න කියලා මම කොහේදිවත් කාටවත් කියලා නම් නෑ. 'කසුන්ට හිතෙන හැටි' ලේබල් එකෙන් ලියපු පෝස්ට් වල අන්තිමට "කියවන අයගේ අදහසුත් දැනගන්න පුළුවන් නම් කැමතියි" කියලා ලියලා තියනවා. අනිත් අයගේ අදහසුත් එක්ක හොඳ සංවාදයක් ගොඩනගන්න පුළුවන් වෙන නිසයි එහෙම කිව්වේ. තව මම කියපු ප්‍රබන්ධයක මම ලිව්වා "අඩුපාඩු තියනවා නම් කියලා යන්න" කියලා. ඒ ඇරෙන්න කවදාවත් කමෙන්ට් කරන්න, ෆලෝ කරන්න කියලා බල කරලා නෑ. හිට්ස් වලටත් ටිකක් ආසයි, හැබැයි අර දෙක තරමටම නෑ.
මේ වෙනකොට කමෙන්ට් 966 ක් වැටිලා තියනවා. (මගේ ඒවත් එක්ක.) ඒක නම් බොහොම පොඩි ඉලක්කමක්. හිට්ස් 22516 ක් තියනවා මේක පබ්ලිෂ් කරන මොහොත වෙනකොට. ඒ අතරේ නම් මගේම හිට්ස් ටිකකුත් තියනවා. මුල්ම කාලේ මම දැනගෙන හිටියේ නෑ තමන්ගේ හිට්ස් කවුන්ට් නොවෙන්න හදන්න පුළුවන් කියලා. ටික දවසකින් තමා මම ඒ ඔප්ශන් එක දැකලා මගේ හිට්ස් කවුන්ට් වෙන්නේ නැති වෙන්න හැදුවේ. හිට් කවුන්ටර් එකකුයි කමෙන්ට් කවුන්ටර් එකකුයි මේ පෝස්ට් එක වෙනුවෙන්ම දැම්මා. නැත්තන් කවුරුහරි හිතුවොත් මූ බොරු කියන්නේ කියලා.:) (කමෙන්ට් කවුන්ටර් එකේ කෝඩ් එක ඉල්ලගත්තේ මකුළු පැංචිගෙන්.) ෆොලෝවර්සලා 130 ක් අද වෙනකොට මාත් එක්ක ඉන්නවා. ෆලෝවර්සලා ගැන කියනකොට මට මතක් වෙන්නේ, 90 ඉඳල 100 යන්න විඳපු දුක.:( අයියෝ සංසාරේ කිව්වලු. පෝස්ට් බර ගානක් ගියා 90 ඉඳලා 100 ට එන්න. සිරාවටම මම වෙන ප්‍රොෆයිල් එකකින් චෙක් කරලා බැලුවා ෆලෝ බට්න් එක කැඩිලාවත්ද කියලා.:D
හැම කමෙන්ට් එකටම මම හැමතිස්සෙම පුද්ගලිකව උත්තර දුන්නා. ගොඩක් පරණ පෝස්ට් වලට දාපු සමහර කමෙන්ට් වලට නම් උත්තර දෙන්න බැරි වුනා. මම කමෙන්ට් වලට රිප්ලයි කරනවා වගේම මම දාපු කමෙන්ට් වලටත් දාන රිප්ලයි බලාගන්නත් මම ගොඩක් ආසයි. සමහර කමෙන්ට් වලට රිප්ලයි දානකල් දහ පහළොස් වතාවක් විතර ගිහින් බලපු වෙලාවලුත් තියනවා.:) ෆලෝ කරපු බ්ලොග් එකක් නෙමෙයි නම් සමහර වෙලාවට ඒ පෝස්ට් එක bookmark වලට දාගන්නවා පස්සේ රිප්ලයි එක බලාගන්න. හැබැයි අනිත් හැමෝටම කමෙන්ට් වලට රිප්ලයි කරලා මට විතරක් රිප්ලයි නැති වුන වෙලාවලුත් තිබුණා.:( මට මතක විදියට හය වතාවක් විතර එහෙම වුනා. ඒ දෙකක්ම මාළු අයියාගේ. මම ඕව මතක තියාගෙන ඉන්නේ.:D එක පාරක් සහෝදරියෙක්ගේ බ්ලොග් එකක එයාගේ පෙම්වතා එක්ක ප්‍රශ්නයක් වෙලා ඒ දුකට දාපු පෝස්ට් එකක් තිබුණා. මම එකට හිතල හිතල දිගම දිග කමෙන්ට් එකක් දැම්මා. අන්තිමට ඒකෙ මට ඇරෙන්න අනිත් හැම කමෙන්ට් එකටම රිප්ලයි කරලා තිබුණා. එච්චර දිග එකක් දැක්කේ නෑ වෙන්න නම් බෑ. හේතුව නම් මොකද කියල දන්නේ නෑ. කොහොමහරි මට ඒකට නම් හොඳටම අප්සට්. ඒ පාර මම ඒ කමෙන්ට් එකත් අයින් කරලා, ඒ බ්ලොග් එක මගේ බ්ලොග් රෝල් එකෙනුත් අයින් කරලා, ෆලෝ කරන එකත් නවත්තලා දැම්මා. මට එච්චරට අවුල් එයා ඒ කරපු වැඩේට.
බ්ලොග් ලිවිල්ලේදී මම ඉගෙන ගත්ත දෙයක් තමයි මොන දේ වුනත්, මම හරියි කියල පිළිගන්න මතය වෙනුවෙන් පෙනී සිටින්න ඕන කියන දේ සහ බය නැතුව ඒ දේ කියන්න ඕන කියන දේ. මම ඒ දේ වැඩියෙන්ම ඉගෙන ගත්තේ මාරයියගේ පෝස්ට් වලින්. මම කොහොමටත් ඉස්සර ඉඳලම ඇත්ත ජීවිතේදීත් ටිකක් විතර ඒ වගේ තමයි. ඇත්ත ජීවිතේදී ගොඩක් දෙනෙක් මට වැඩිය කැමතිත් නැත්තේ ඒ නිසාමද මන්ද. හැබැයි මෙතනදී නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඊටත් වඩා ලේසියි. ඒ නිසා පසු කාලීනව පෝස්ට් එකක හෝ කමෙන්ට් එකක වැරදි අදහසක් (මට තේරෙන විදියට) දැක්කොත් ඒක වැරදියි කියල කියන්න පුරුදු වුනා. හැබැයි පුළුවන් තරම් ඒ කෙනාට තරහ යන්නේ නැති වෙන්න, හිත රිදෙන්නේ නැති වෙන්න ඒක කියන්න මම උත්සාහ කළා. ඒක නිසා එකම එක වෙලාවකදී ඇරෙන්න එහෙම කියලා ප්‍රශ්නයක්, රණ්ඩුවක් ඇති වෙලා නෑ. එක පාරක් නම් එහෙම දෙයක් කියලා ලොකු වාදයක් ඇති වුනා. හැමෝටම මතක ඇතිනේ චැනල් 4 වීඩියෝ එක. ඒ කතාව යන කාලේ මම දැක්කා එක්තරා පෝස්ට් එකක්, ඒකෙ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා හමුදාව වැරදි කාරයෝ කරලා තිබුනේ. එතනදී නම් ලොකු කතාවක් ගියා. මම විතරක් නෙමෙයි, තව කීප දෙනෙක්ම ඒකට විරුද්ධව කතා කළා. ඒ ඇරෙන්න එහෙම රණ්ඩු වෙලා නම් නෑ මට මතක විදියට. හැබැයි එහෙම කියපු සමහර දේවල් නිසා ලඟින් හිටපු සමහර අය ටිකක් ඈත් වුනාද කියලත් හිතෙනවා.
බ්ලොග් කෙරුවාවෙන් ලැබුන වැදගත්ම දේ තමයි බොහොම සුන්දර අදහස් තියන පිරිසක් ආශ්‍රය කරන්න ලැබුන එක. ජීවිතේට දැකලා නැති අය වුනත් (තාම බ්ලොග් ලියන කාවවත් මුණගැහෙන්න ලැබිලා නෑ.), මේ කෙරෙන ගනුදෙනුව හරිම සුන්දරයි. දැකලවත් නැති අයත් එක්ක මෙච්චර බැඳීමක් ඇති වෙන්නේ කොහොමද කියලත් වෙලාවකට පුදුමයි. දුකකදී හිත හදන්න, ප්‍රශ්නයකදී ඒක විසඳගන්න උදව් වෙන්න, සතුටකදී ඒ සතුට බෙදාගන්න හොඳ යාළුවො ටිකක් මෙතන ඉන්නවා. මේ වර්චුවල් ලෝකෙන් එහාට ඒ යාළුකම ගෙනියන්න නම් තාම අවස්තාවක් ලැබිලා නෑ. ඒත් අනිවාර්යෙන්ම ඒ දේ ඉදිරියේදී වේවි. මම දකින විදියට බ්ලොග් එකක් ලියන්න පෙළඹෙන්නේ සංවේදී, සියුම් හැඟීම් තියන, ආදරණීය මිනිස්සු. හැබැයි සාමාන්‍ය සමාජය වගේම මෙතනත් විවිධාකාර මත දරන අය ඉන්නවා. මොකද ඉතින් බ්ලොගස්ර්ල කියන්නෙත් මිනිස්සුනේ. ඒ නිසා සුන්දර අදහස් තියන මිනිස්සු අතරේ අමුතු අමුතු ජාතියේ අයත් ඉන්නවා. බොරුවට රැඩිකල් වෙන්න හදන අය, පොර ටෝක්ස් දෙන අයත් මේ අතරේ මම දැකලා තියනවා. තමන් උයන්න දන්නේ නෑ කියන එක මහ ලොකු කමක් වගේ කියන සමහර කෙල්ලෝ, හැම දේකම වැරැද්දක් හොයන්න ඉන්න කොල්ලෝ, එකී මෙකී නොකී හැම ජාතියකම අය මෙතන ඉන්නවා. එක අතකට එහෙම විවිධත්වයක් තියන එකත් හොඳයි. එතකොට තමයි අර 90% විතර සුන්දර මිනිස්සුන්ගේ අගය වැඩි වැඩියෙන් තේරෙන්නේ.
දැන් ඔය උඩ කියල තියන සහ එතන කියවිලා නැති වැරදි, දුර්වලකම් සමහරවිට මගේ බ්ලොග් එකෙත් ඇති. ඒව මට තේරෙන්නේ නෑ නේ. ඒවා තේරෙන්නේ අනිත් අයට නේ.:) මම පුළුවන් තරම් උත්සහ කරනවා ඒ වගේ දේවල් ඇති නොවෙන්න ලියන්න. ඒත් ඉතින් මගේ අතිනුත් වැරදි වෙන්න පුළුවන් නේ. මාත් අර කිව්වා වගේ මනුස්සයෙක් නේ.
මගේ සමහර පෝස්ට් තිබුනා මමම ගොඩක් රසවිඳපු. ඕනෑම නිර්මාණයක් හොඳටම රස විඳින්න පුළුවන් ඒක කරපු කෙනාට කියනවනේ. ඒක ඇත්ත කියලා මට තේරුනේ බ්ලොග් කෙරුවාවෙන්. මෙහෙමනේ, මම දෙයක් ලියන්නේ මට හොඳයි කියල හිතෙන විදියට නේ. එතකොට ආයෙත් වතාවක් මමම ඒ දේවල් කියවනකොට ඒ ලියල තියන දේවල් හොඳයි කියලාම තමයි මට හිතෙන්නේ. අනිත් එක තමන්ට තමන්ගේ දේක වැරදි පේනවත් අඩුයි නේ. ඒ නිසා මම මගේ සමහර පෝස්ට් වලට ගොඩක් ආසයි. හැබැයි වෙන කෙනෙක්ට ඒවායේ ගොඩක් වැරදි අඩුපාඩු පේන්න පුළුවන්. මම ලියපු පෝස්ට් වලින් මම වැඩියෙන්ම විඳලා තියෙන්නේ 'දැන් නැගිටින්න වස්තුවේ, පරක්කු වෙලා' කියන පෝස්ට් එක. මේ ලඟදි මහිමයා නම් කිව්වා ඒක නිකන් 'කම්මුලේ හොටු' ටයිප් එකේ කතාවක් කියලා.:( ඒක එහෙම වෙන්න ඇති, ඒ වුනාට මම නම් ඒකට මාර ආසයි. ඒක කියවන වාරයක් පාසා මට හිතෙන්නේ ඒකෙ ඉන්න කොල්ල මම වුනානම් කියලා.:)
ඉතින් මේ ගමන මේ විදියට එන්න මට ශක්තිය ධෛර්ය දුන්නේ කියවන ඔයගොල්ලෝ. ඒ ශක්තිය ධෛර්යය මට නොලැබෙන්න, මගේ අනිත් ගොඩක් වැඩ වගේ මේකත් අතරමැද නවතින්න තිබුනා. මුලින්ම මහිමයට ස්තූති කරන්න ඕන බ්ලොග් කියන්නේ මොකක්ද කියන එක මට කියලා දීල බ්ලොග් එකක් අටවගන්න හැටි කියල දුන්නට. ඌ නැත්තන් මම බ්ලොග් කියන දේ අදටත් දන්නේ නෑ. එහෙම වුනානම් මේ සුන්දර ඇසුර මට කවදාවත් නොලැබෙන්න තිබුනා. ඊළඟට මගේ පෝස්ට් වලට කමෙන්ට් දාල මාව දිරිමත් කරපු, අඩු පාඩු කියා දීපු, අදහස් බෙදා ගත්තු හැමෝටමත් ගොඩාක් ස්තූතියි. ඒ වගේම මගේ බ්ලොගේ ෆලෝ කරලා මාව දිරිමත් කරපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි. කමෙන්ට් නොකලත්, ෆලෝ නොකලත් මගේ පෝස්ට් බලපු හැමෝටමත් ස්තූතියි. ඇත්තටම මම හිතාගෙන හිටියේ නම් වශයෙන්ම මේ ස්තුතිය කරන්න. මොකද මට මෙතන අනිවාර්යෙන්ම කියාගන්න ඕන වුනු නම් ගොඩක් තියනවා. ඒ අය ගැන සඳහන් කරන්න මට ලොකු වුවමනාවක් තියනවා. ඒත් එහෙම කියන්න ගිහින් හදිස්සියේ හරි නමක් දෙකක් මග ඇරුනොත් ඒක ඊට හරි නෑ නේ. ඒ නිසා අකමැත්තෙන් හරි නම් වශයෙන් ස්තූති නොකර පොදුවේ ස්තූති කරනවා කියල හිත හදාගත්තා. ඒ වගේම සින්ඩි පවත්වාගෙන යන අයටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. මම ලියපු දේවල් කියවන අය අතරට ගෙනියන්න සින්ඩි වලින් ලැබුන සහයෝගය ගොඩක්ම මට වටිනවා. ඒ අයගේ සහයෝගය නැත්තන් ඉතින් අපිම ලියල අපිටම තමයි මේවා කියවන්න වෙන්නේ. ඒ හැමෝටමත් ගොඩක් ස්තුතියි.
මෙච්චර කාලෙකට මම මොනවා හරි වැරදි දෙයක් ලියලා තියනවා නම් ඒකට සමාවෙන්න. ඒ වගේම පෝස්ට් එකක හෝ කමෙන්ට් එකක මම ලියපු දෙයකින් කාගේ හරි හිත රිදුනා නම් ඒකටත් මම සමාව ඉල්ලනවා.
දැන් නම් මේක දිග වැඩියි වගේ නේද. හිතේ තියන ඔක්කොම ලිව්වා ඒකයි. ඉතින් මම කලින් කිව්වා වගේ මේ ගනුදෙනුව ගොඩක් සුන්දරයි. ඒ නිසාම පුළුවන් තරම් කාලයක් මේ බ්ලොග් ලෝකේ ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. දැන් මේ බ්ලොග් එක මගේ ජීවිතේ නැතුවම බැරි දෙයක් වෙලා. බ්ලොග් අවකාශයත් එක්ක කියාගන්න තේරෙන්නේ නැති අමුතුම බැඳීමක් ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසාම වෙන්න ඇති දැන් මම මගේ ඇත්ත fb එකවුන්ට් එකට යනවට වඩා බ්ලොග් එකට හදාගත්ත fb එකවුන්ට් එකට යන්නේ.:) මේ ගමන මේ තරම් ලස්සන වුනේ ඔය හැමදෙනාම මාත් එක්ක හිටපු නිසා. ඉතින් මෙච්චර කල් හිටියා වගේ ඉදිරියටත් මාත් එක්ක රැඳිලා මට සහයෝගය දේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ආහ් ඉස්සෙල්ලම ආවෙ මමද?සුබ පැතුම් අයියා..තව තවත් ලස්සන හිතට දැනෙන දේවල් ලියන්න ශක්තිය ලැබේවා..මං බ්ලොග් එක පටන් ගත්ත දවස් වලමයි අයියාත් බ්ලොග් එක පටන් ගත්තෙ.මට වඩා ගොඩාක් දුර ඇවිත් නෙ?කම්මැලිකම තමා මගෙ.හෙහෙ...
ReplyDeleteතබන පියවරක් ගානෙ
ආසිරි මල් වැහි වැටීයන්.
නුඹ යන දිගු ගමන් මගේ
බාධා හැම නැති වීයන්..
සතුටු කඳුලු මිස දෙනෙතට
දුක් කඳුලැලි නොනැගීයන්..
ඔබේ සියලු පැතුම් ඉටුව
ජීවිතයේ ජය ලැබියන්..
all the best aiya..
නිම් හිම් සතුට
ReplyDeleteදොරේ යන
නුබේ මුවග
දැක ගන්නට
හිමි නැත
යාලු සද...
ලිවු වදනින්
නුබව දැක
සුබ පතා
යන්න ආවෙමි
ඉතින් අසනි අද...
සුබ පැතුම් මගේ යාලු.....
පළ පළවෙනියට කමෙන්ටුවක් දාන්න ආවේ අනේ.....දෙසරයක්ම කියෙව්වා...එතකොට මන් දෙක වෙලාආආ.....
අපෝ...ඔයා මහ බබෙක් නේ...ඔන්න මන් නම් රෙප්ලය් කරලා තියෙනවා....ඔයාට..ඒ විතරක් නෙමේ...රන්ඩු වෙලත් තියෙනවා..."ඕන් නැති ඒවා අහනවා කිව්වා කියලා..."
ඇත්තටම මේක සොදුරු හමුවක්...
ඉතින් යාලු.තව ගොඩක් පෝස්ට් ලියන්න....කසුන් සීයා වෙලා අසනි ආච්චි වෙනකන්ම ලියන්න හී හී...
බුදු සරණයි..
congrats.............
ReplyDeletekavikaari
සුභ පැතුම් ගොයියො පනහට....
ReplyDeleteඋඹ අර කෙල්ලෙක්ගෙ බ්ලොගේ කමෙන්ට් දාල රිප්ලයි හම්බුවුනේ නෑ කිව්ව නේද?... යකෝ කිසිම දවසක ලව් කරන කෙල්ලෙක්ගෙ ලවේ ප්‍රශ්න වලට අතදාන්න එපා... වෙන ඕන මඟුලකට අතපය කඩාගෙන හරි උදව් කරපන්... ඔය මඟුල් වලට උදව් කරන්න ගියොත් හරි උපදෙස් දුන්නොත් හරි උඹ ඉවරයි... වහ කෑව කියල හිතාගන්... ;)
මගෙනුත් උණුසුම් සුබ පැතුම්!
ReplyDelete50ක් ලියනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. මම ඒක අත්දැකීමෙන් දන්නවා.
නමුත් කමෙන්‍ටු ගැන, කමෙන්ට් වළට පිළිතුරු නෑ කියන එක ගැන පසුතැවෙන්නෙ ඇයි? කෙනෙක් ලියපු ලිපියකට අපි අදහසක් එකතු කළාම එතනින් එහාට ඒ ගැන හිතන්න එපා. ලිපිය ලියපු කෙනා එයාට අවශ්‍ය නම් ඒ ගැන අදහස් දක්වාවි.
කොහොම හරි හිතට එකඟව අවංකව ඒ ගැන කියපු එක ගැන සතුටුයි!
කොටන අකුරු අතරින් මතුවෙන සොඳුරු බැඳීම් සදා වැජඹේවා!
ජය වේවා!
අඩේ මලයා ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් .......
ReplyDelete“ඒ පාර මම ඒ කමෙන්ට් එකත් අයින් කරලා, ඒ බ්ලොග් එක මගේ බ්ලොග් රෝල් එකෙනුත් අයින් කරලා, ෆලෝ කරන එකත් නවත්තලා දැම්මා.“
කමෙන්ට් එකක් අපි දාලා රිප්ලයි නැති උනාම දුකයි තමයි, අර උඩ කියලා තියන විදියට බ්ලොග් රෝල් එකෙන් අයින් කල එකත් හරි, ෆලෝ කරන එක නවත්තපු එකත් හරි ඇයි බොලෝ කමෙන්ට් එක මැකුවෙ? ඒ කමෙන්ට් එක ඒ බ්ලොග් එක අයිතිකාරිය විතරද බලන්නෙ, තව කී දෙනෙක් බලනවද ....
අනිත් එක මලේ උඹ ලියන පෝස්ට් පට්ට දිගයි බං එක්කෝ කෑලි දෙකකට කඩලා ලියපං නැත්තං ඔයිට වඩා කෙටි කරපං ....
ReplyDeleteමේක මගේ අදහසක් විතරයි (කැමති නං විතරක් කරමු)
හ්ම්ම් මුලින්ම සුභ පතනවා 50 වෙනි දිගහැරුමට
ReplyDeleteබ්ලොග් ලෝකයට මම ඇවිත් පුංචි කාලයක් උනත් මගේ බ්ලොග් එක ලස්සන කරලා දුන්නේ ඔයා තමයි. මට මතකයි ගොඩාක් වෙලා නංගි මේක හොදද, මේක හොදද කියලා තීම් ගොඩාක් දදා මට පෙන්නුවා. එහෙම උදව්වක් මට මම උදව් ඉල්ලපු අයවත් මට කරලා නැහැ, මුලින්ම එකට ස්තුතියි,
දෙවෙනියට පොඩි ප්‍රශ්නයක් වෙලා බ්ලොග් ලියන නැහැ කියලා මම පොස්ටුවක් දාලා තිබුණු වෙලාවේ මට බැනලා මාව ආපහු ලියන්න යොමු කලෙත් ඔයා,තවත් අයත් හිටියා, එකටත් ගොඩාක් ස්තුතියි.
මේ බ්ලොග් ලෝකයේ අපි කව්රුවත් දැකලවත් නැති අය උනත් පුදුමාකාර බැදීමකින් අපි හැමෝම එකට ඉන්න එක ගැන මට පුදුමාකාර සතුටක් දැනෙනවා. දිගටම ලියන්න, අතරමගදී නතරකරන්න හිතන්නවත් එපා. පුද්ගලයෙක් විදියට මම ඔයාට , ඔයාගේ අදහස් වලට ගොඩාක් කැමති, ඒ නිසා ඔයාගේ සටහන් මම නොවරදවාම කියවනවා, කෙලින් කතා කිරීම තමයි ඔයාගෙන් මම දකින විශේෂ ගුණාංගය.. මිනිස්සුවන අපි අතින් ඉදිරියේදී හිත අමනාප වෙන්න ඉඩ තියෙනවා, එත් ඒ මොනවා උනත් ලොකු සහෝදරකමක් තියෙනවානම් ඒ හැමදෙයක්ම ඊට යටයි..
නැවතත් 50 ට සුභ පතන ගමන් 100 ත් ඉක්මනින් ලියන්න වාසනාව ධෛර්ය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා..
කොහොම හරි කමක් නෑ.දැන් දිගටම බ්ලොග් ලියනවානෙ. :D
ReplyDeleteමට නම් 50ට තව කල් තියෙනවා.සුභ පැතුම් මලේ.50ට 5000ක්ම ලියන්න ශක්තිය,ධෛර්යය ලැබේවා.ඒවා කියවීමට තරම් මට වාසනාව ලැබේවා. :)))
අඩේ උඹේ සතුටකට මම නෑවිත් කොහොමද?? ඔන්න මම ශැම්පේන් බෝතලයක් අරගෙනම ආවා... කඩන්න විතරයි හොදේ.. :)
ReplyDelete50ට මගේ උණුසුම් සුභ පැතුම්.. තව ගොඩාක් කාලෙකට බ්ලොග් එක ලියන්න ශක්තියටත් වඩා අදහස් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
අඩේ මගෙත් සමරුවක් එනවා ලගදිම... :)
සුභපැතුම් මල්ලී. උඹ මාව ෆලෝ කලාට මම උඹව ෆලෝ කරන්න පටන්ගත්තෙ නම් බොහොම මෑතකදි. කමෙන්ට්ස්, හිට්ස් ගැන නම් උඹෙ අවංක අදහසට මම ගරු කරනව. මොකද ඒ වචන ටික මටත් ගොඩක්ම සමීප නිසා.
ReplyDeleteආයෙමත් , සුභපැතුම් !!
මගෙත් සුභ පැතුම් කසුන්ට... ලගදීම 100 ත් පහු කරන්න ලැබේවා....
ReplyDeleteඇනොලටත් ඉඩක් දුන්නට ස්තුතියි. දිගටම ලියන්න.සුභ පතමි
ReplyDeleteසුභ පැතුම් අයියේ...දිගටම ලියන්න..අපි බලන් ඉන්නවා කියවන්න..
ReplyDeleteනියම කොල්ලෙක්.,
ReplyDeleteසුභම සුභ පැතුම් අයියේ!!!!!!
ReplyDelete50ක් ලිව්වා වගේම 5000ක් නෙවෙයි ඊටත් වැඩියෙන් ලියන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනෙ. මම මේ බ්ලොග් කලාවට අලුත්.හැබැයි මම මුල කාලෙ ඉඳන්ම ඔයාගෙ බ්ලොග් එක කියෙව්වා..:) කමෙන්ට්ස් දාන්න පුළුවන් හැම වෙලේම දැම්මා. ලස්සන හැඟීම්බර කතා හුගාක් ලියලා තිබ්බා.වැරදි, අඩුපාඩු කොයි කවුරු අතිනුත් වෙනවා, ඒවා හදාගෙන ඉස්සරහට යන එකයි වටින්නෙ.අයියගෙ ලිවීමෙ හැකියාවෙ කිසිම අඩුවක් මම නම් දැක්කෙ නෑ...
දිගටම ලියන්න අයියා.. ජය වේවා!!!
ප.ලි- මම මෙච්ච්ර කල් හිතාගෙන හිටියෙ, ඔයාගෙ ඇත්ත නම කසුන් කියලා...
මුලින්ම පනස්වෙනි පෝස්ට් එකට වගේම බ්ලොග් අවකාශයේ දිග ගමනක් යන්න වරම් ලැබෙන්න කියලා සුබ පතනවා. අහම්බෙන් වගේ කියවන්න ලැබිච්ච බ්ලොග් එකක් තමා කසුනගේ බ්ලොග් එක !!!
ReplyDeleteමම මේ බ්ලොග් එකේ වැඩියෙන්ම ආස කරන්නේ කතා සෙට් එකට. ඒවා අනිත් කතා වගේ නෙමෙයි සෑහෙන්න වෙනස්. ඒ වගේම දුක හිතෙන ඒ අතරින් සෑහෙන ආදරයක් හිතෙන පස්ට ස්ටෝරි තියෙන්නේ.
අර කිව්වත් වගේ හතිය හැදෙන කොල්ලගේ කතාවට මාත් සෑහෙන්න ලයික් !!!
මුලින්ම මගේ උණුසුම් සුභ පැතුම්.
ReplyDeleteදිග ගමනක් යන්න ලැබේවා.
උඹ සංවේදී චරිතයක් බව මම හිතාගෙන හිටියා. ඒක ඇත්ත බව තව දුරටත් ඔප්පු වුනා මේ පෝස්ට් එකෙන්.
උඹේ නම කසුන් නොවන බව කිව්වාම හිතට පොඩි පාලු හැඟීමක් ඇතිවුනා. මම නම් සැබෑ ජීවිතයෙත් හෙන්රි තමයි.
කසුන් කියන දේවල් හරියටම බ්ලොග් කරුවකුගේ හැඟීම් වල පැතිකඩක් වගෙ. එයින් බොහෝමයකට මම එකඟයි.
ජය වේවා.
henryblogwalker the Dude
"kasun" mama aa nama aye kiyanne ne. umbata puluwan nam umbe nama kiyapan.
ReplyDeleteade 1000times forgive me for the ara cmnt ekata reply nokarta.
subapethum machan, digatama lassanata liyanna sithuwili lebenna kiyala prarthana karanawa.
-gold fish-
@අනූ
ReplyDeleteස්තූතියි නංගියෝ සුභ පැතුමට. ඔයා නම් කොහොමත් බ්ලොග් එකට වැඩි වෙලාවක් දෙන්න එපා. පාඩම් වැඩ ටික කරගන්න.
@අසනි
ස්තූතියි අසනියේ. ඔන්න මම නම් රණ්ඩු වුනේ නෑ, ආයෙත් ප්‍රශ්න අහන්නේ නැතුව හිටියා විතරයි.:) කසුන් සීය වෙනකල් කම්පියුටර් එකක් තිබුනොත් ලියනවා.
@කවිකාරි නැන්ද
ස්තූතියි නැන්දේ!
@සාතන්
ස්තූතියි සාතන් අයියා! ප්‍රශ්නයක් කිව්වේ ඉතින් ඒ කෙල්ලගේ කොල්ල එයාව දාල ගිහින්. මම ඉතින් හිත හදාගන්න පොඩි උදව්වක් කලේ.
@විසිතුරු | visituru
ස්තූතියි සහෝ! නෑ, නෑ, කමෙන්ට් වලට රිප්ලයි නෑ කියන එක නෙමෙයි අවුල. එහෙම ඕන තරම් වෙනවනේ. මම කිව්වේ අනිත් ඔක්කොටම රිප්ලයි කරලා, මට පස්සේ කමෙන්ට් දාපු අයටත් රිප්ලයි කරලා මාව මග ඇරිලා තිබුන අවස්ථා ගැන. මම දන්නවා, ඒවා අතපසුවීම් තමයි. මට ඒක පෝස්ට් එකේ සඳහන් කරන්න බැරි වුනා. හැබැයි අර දිග කමෙන්ට් එකක් දාපු එක නම් අතපසුවීමක් කියන්න බෑ. ඒකයි මම එහෙම දෙයක් කලේ.
@පන්සල් හංදිය
ස්තූතියි අයියා! මට ඔය චෝදනාව කලිනුත් ඇවිත් තියනවා. ඊට පස්සේ මම එහෙම දිගට ලියන්නේ නැතුව හිටියා. ඒත් ඉතින් මේක කෑලි දෙකකට දාන්න බෑ නේ.:)
@වර්ණා
ReplyDeleteස්තූතියි නගෝ! ඔව් නගෝ ඒ බැඳීම නම් පුදුමාකාරයි තමයි. අපෝ 100 ලියන්න නම් තව ගොඩක් කල් යාවි නගෝ.
@නිසුපා
ස්තූතියි අක්කා! ඔව්, දැන් දිගටම ලියනවා.:) අම්මෝ 5000ක්....
@Dinesh
ස්තූතියි දිනේෂ් අයියා! ආහ් ශැම්පේන් ගෙනල්ල කඩල විතරක් නිකන් ඉඳීවි කට්ටිය.
"...ශක්තියටත් වඩා අදහස් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා."
ඒක ගොඩක් වටිනවා. මොකද අදහස් වල හිඟයකුත් තියනවා.:)
@nawammawatha
ස්තූතියි අයියා! අයියලාගේ හයිය මට ගොඩක් වටිනවා.
@Sammani
ස්තූතියි සහෝදරී! 100 නම් තව ගොඩක් කල් යාවි.
@Ano
ස්තූතියි සහෝ! මම කොහොමත් ඇනෝ කමෙන්ට් ඔන් කරලා තිබුනේ ඉස්සර. පොඩි ප්‍රශ්නයක් වෙලා කාලයක් ඩිසේබල් කරලා තිබුනේ.
@ගිනි කුරුල්ලා
ReplyDeleteස්තූතියි මලේ! ඒක තමයි මට තියන හයිය.
@Tharinduhw122
:) ස්තූතියි සහෝ!
@හිතුවක්කාරි
ස්තූතියි නගෝ! ඔයාලගේ සුභ පැතුම් මට ලොකු හයියක්.
@මධුරංග
ආහ් මේ ඉන්නේ ඩයල් එක. ගොඩක් ස්තූතියි මධුරංගයෝ උඹ මට කරපු උදවු වලට. ගොඩක් දවසකින් කතාවක් නම් ලියන්න වුනේ නෑ.
@Dude
ස්තූතියි අයියා! මම දන්නවා මම කියන දේවල් වලින් අයිය හරියටම මාව තේරුම් අරන් ඉන්නේ කියලා.
@ගෝල්ඩ් ෆිෂ්
අනේ ඒක අවුලක් නෑ මාළු අයියේ. මම දන්නවා ඒවා අතපසුවීම් කියලා. මම විහිලුවටනේ කිව්වේ. ස්තූතියි සුභ පැතුමට.
එහෙනම් ජය වේවා කිව්වා.
ReplyDeleteඅපේ සුබ පැතුම්
@පොඩි ඇම්ඩා
ReplyDeleteස්තූතියි සහෝ!
අයියෙ, මම ඉස්සෙල්ලාම බ්ලොග් එකක් කියලා කියෙව්වෙ ඔයාගෙ බ්ලොග් එකේ තිබුණු "ආදරය,විවාහය,දෙමව්පියන් හා කුළය" කියන එකයි.. ඒක මගෙ යාලුවෙක් facebook share කරලා තිබුණා. කියවන්න ගත්තම ගොඩක් ආස හිතුණා.. ඔයා මේ පෝස්ට් එකේ කියපු විදියටම මාත් මුලින්ම කලේ මේකට bookmark දාගත්තු එක තමයි.මේ කතාවත් ඇතුලුව ඔක්කොම කථා ටික මම මගෙ කම්පියුටරේට දාගත්තා..පෝස්ට් ටික නම් මරු.. අයියාට තවත් ඉදිරියට මේක පවත්වගෙන යන්න මම සුබ පතනවා.. (මටත් බ්ලොගක් පටන් ගන්නත් ආසයි. ඒත් පාර දන්නෙ නෑ.. :D) පෝස්ට් ගණන ඉක්මනින් වැඩිවේවා!!!
ReplyDelete-shani-
Congratz bro! Good Luck!
ReplyDelete@Shani
ReplyDeleteසුභ පැතුමට ස්තූතියි නගෝ. ඔයා වර්ණගේ යාලුවෙක් නේද. 'ශානිගෙ හිත' බ්ලොග් එක ඔයාගේද? මම දැක්කා වර්ණා මූනුපොතේ ශෙයා කරලා තියනවා. තාම ඒ පැත්තේ යන්න නම් බැරි වුනා, ගිහිල්ල බලලා කියන්නම්කො.:)
@Ano
thanks bro!
අඩා...! මම ප්‍රමාද වෙලානේ මේ අහ ආවේ...
ReplyDeleteකොයි එක වෙතත් සහෝ... (දැන් බොට කසුන් කියන්නත් බෑනේ !) මම නම් ඔයාට මුකුත්ම කියන්නේ නෑ. කියන්න දෙයක් නෑ. ඔය 50 ලියපු විදියටම ඉස්සරහටත් කරගෙන පලයන්... වෙනස් වෙන්න කිසිම දෙයක් නෑ.. (මේ ටෙම්ප්ලේට් එක ඇර)
සහෝ මේ පෝස්ට් එකෙන් කියලා තියෙන දේවල් ඔක්කොම මටත් අදාලයි... මමත් යාන්තන් ඔයාට මාස දෙකයි සීනියර්. මමත් මුල ඉඳන්ම වගේ කියවන බ්ලොග් එකක් මේක... ඒ වගේම ඔයාගේ අදහස් වලට මමත් මාරම ලයික්. මේ බ්ලොග් අවකාශේට මනුස්සකමත් එක්ක යන සංවේදී බැඳීම් වල අර්ථය කියා දුන්නේ උඹ කියලයි මට හිතෙන්නේ...
කිසිම දෙයක් වෙනස් වෙන්න ඕනේ නෑ... කැමති නම් අද මේ 50 ට පාපොච්චාරණයක් කරලා උඹ කසුන් නෙවෙයි කිව්වා වගේ, 100 දී ඇත්ත නමත් කියපන්... ජයෙන් ජය සහෝ...
@Chathuranga Perera
ReplyDeleteපරක්කුයි පරක්කුයි හොඳටම පරක්කුයි.:( ඉතින් මට කසුන් කියලම දිගටම කියන්න. මේ ටෙම්ප්ලීට් එක හරි නෑ වගේද? හ්ම්ම්, මම ඒක මතක තියාගන්නම්, 100 දී මගේ ඇත්ත නම් කියන්නම්කො.
ගොඩක්ම ස්තූතියි අයියේ මෙච්චර කාලයක් මාව දිරිගැන්නුවට. ඒක තමයි මට තියන ශක්තිය මේ ගමන යන්න. මම හැමදාටම ඒ දේ බලාපොරොත්තු වෙනවා.
තවත් දිගු ගමනකට ආසිරි :)
ReplyDeleteස්තූතියි සහෝ!
ReplyDeleteමගේ අවන්ක සුභ පෑතුම් මල්ලී . පසු ගිය ටිකේ හිටියෙ නෑ . පොඩි ට්‍රිප් එකක් ගියා . කමක් නෑ පරක්කු වෙලා හරි ඔන්න සුභ පෑතුවා
ReplyDelete@Gimhani
ReplyDeleteහ්ම්ම්. මම හිතුවා මේ පැත්ත අමතක වෙලා කියලා. කමක් නෑ පහුවෙලා හරි ආව නේ.:) ස්තූතියි අක්කා.
අඩේ මම මේකට කමෙන්ට් කලේ නැද්ද.. ?? කම්මැලියි කමෙන්ට් බලන්න. මම මේ පෝස්ට් එක කියෙව්වා කියල නම් මතකයි...
ReplyDeleteකමක් නෑ ඔනී එකක්.. 50 නෙමෙයි 500 ක් ලියන්න සුබ පතනවා...
ප. ලි : බ්ලොග් රොලේ තියෙන බ්ලොග් මග ර්‍උනත් අහු උන දාට මග ඇරුන ඔකොම කියවනවා මම.