මාතෘකාව ගොඩක් දිග වුනාට ඇත්තටම මම කතා කරන්න යන්නෙ 'විවාහයෙන් පසු ආදරය' කියන කෑල්ල ගැන. මට මේ ගැන ලියන්න හිතුනෙ ඇඳට වෙලා ඇලර්ට් එකක් දාගෙන ඉන්නකොට මතක් වුන සිද්දියක් නිසා. මම මේක දැක්කෙ ටිකක් පොඩි කාලෙ. නවය දහය වසර වලදි විතර මට මතක හැටියට. වැඩි විස්තර ඕන නෑ නෙ, කතාව කියන්නම්කො.
මම යාලුවෙක් එක්ක ටවුන් එකට ගියා මොකක් හරි වැඩකට. අපි දෙන්න පාර දිගේ ඇවිදගෙන යනව. ඒ වෙලාවෙ පාරෙ අනිත් පැත්තෙන් තරුණ ජෝඩුවක් ආව ළමයෙකුත් වඩාගෙන. අම්ම තමයි ළමයව වඩාගෙන ආවෙ. පොඩි එකාට අවුරුදු 2ක් විතර ඇති. කොහොමහරි එක පාරටම අම්මගෙ කකුල පැටලිලා ළමයත් එක්කම වැටුන. වැටුනට පස්සෙ තමයි අපි දැක්කෙ. තාත්ත පැනල ළමයව වඩා ගත්ත. පොඩි එකාගෙ ඇඟ පුරාම වැලි. තාත්ත ඉක්මනට වැලි ටික පිහදාල අත පය ඔක්කොම හරව හරව බැලුව තුවාල වෙලාද කියල. වාසනාවට පොඩි එකාට තුවාලයක් නෑ. පොඩි එකා බය වෙලා අඬනව. තාත්ත පොඩි එකාව නලව ගන්න හදනව. අම්මත් පොඩි එකාව අතගගා නලවන්න හදනව. වැටිච්ච පාරට අම්මගෙ අත නම් තුවාල වෙන්න ඇති. අත පුරාම වැලි තියනව මම දැක්ක. ඒත් ඒ තාත්ත අම්මට තුවාල වුනාද කියලවත් ඇහුවෙ නෑ. ඒ වෙනුවට තාත්ත පොඩි එකා වැටුන එක ගැන අප්‍රසාදෙන් මොනවහරි ඒ අම්මට කිව්ව. පාරෙ අනිත් පැත්තෙ හිටපු නිසා කියපු දේවල් නම් මට ඇහුනෙ නෑ. අම්ම දැන් අඬන්න වගේ. තමන්ගෙ අතින් පොඩි එකා වැටුන නිසාත්, තාත්ත කියපු දේ නිසාත් අම්ම ගොඩක් අපහසුතාවයකට ලක් වෙලා හිටියෙ. ලඟ පාත හිටපු මිනිස්සුත් එතනට එකතු වෙලා හිටියෙ.
මට ඒ වෙලාවෙ ඒ අම්ම ගැන ගොඩක් දුක හිතුන. ඒ තරුණ තාත්ත හොඳ තාත්ත කෙනෙක් වෙන්න ඇති. එයා දරුවට ගොඩක් ආදරෙයි කියන එක ඒ වෙලාවෙ එතන හිටපු කාටත් තේරුනා. ඒත් එයාට ඒ වෙලාවෙ හොඳ සැමියෙක් වෙන්න බැරි වුනා. අර තරම් අපහසුතාවයට ලක් වෙලා හිටපු ඒ ගෑනු කෙනාගෙ හිත හැදෙන්න එක වචනයක් කියන්න එයාට බැරි වුනා. එයා කලේ ඒ ගෑනු කෙනා අතින් වුන වැරැද්දට දොස් පවරපු එක විතරයි. මොකක් හරි හිත හැදෙන්න පොඩි දෙයක් කිව්ව නම් ඒ වෙලාවෙ හැටියට ඒ ගෑනු කෙනාට ඒක ලොකු දෙයක් වෙන්න තිබුන. ඒත් එහෙම වුනේ නෑ. අඩු ගානෙ එයාට තුවාල වුනාද කියලවත් ඇහුවෙ නෑ. මම ඒ ජෝඩුව ඈතට යනකනුත් ටිකක් වෙලා බලන් හිටිය පස්සෙ හරි එහෙම දෙයක් කියාවිද කියල. ඒත් නෑ.
ඒ ජෝඩුව ගොඩාක් තරුණ ජෝඩුවක්. අනිවර්යයෙන්ම යලු වෙලා බැඳපු දෙන්නෙක් වෙන්න ඕන. (මොකද එච්චර අඩු වයසින් මංගල යෝජනාවකින් බන්දවන්නෙ නෑ නෙ.) ඒත් ඒ ආදරය එදා වෙනකොට කොයි තරම් දුරට ඉතුරු වෙලා තිබුනද කියල මම කල්පනා කලා. හැබැයි ඉතින් ඔය වුන සිද්දිය නිසාම ඒ තාත්ත හොඳ සැමියෙක් නෙමෙයි, ඒ තාත්ත ඒ අම්මට ආදරේ නෑ කියල එක පාරට කියන්න බෑ. නමුත් ඒ වෙලාවෙ ඒ තාත්තට දරුව ගැන තිබුන ආදරෙන් දහයෙන් එකක් වත් ඒ අම්ම ගැන තිබුන නම් කොච්චර හොඳද.
මට තේරෙන විදියට විවාහයෙන් පස්සෙ කාලයත් එක්ක ආදරය අඩු වෙන එක ලංකාවෙ ගොඩක් දුරට තියන දෙයක්. අනිත් රටවල් ගැන නම් කියන්න දන්නෙ නෑ. මම හිතන්නෙ නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ආදරය කරන කාලෙ නොතිබුන දාහක් ප්‍රශ්න බැන්දට පස්සෙ ඇති වෙන්නත් ගොඩක් වෙලාවට ඒක හේතු වෙනව. ආදරය කරන කාලෙ අනිත් කෙනාගෙ තියන අඩුපාඩු, නොගැලපීම් ආදරය නිසා ඉවසගෙන ඉන්නව. ඒත් බැන්දට පස්සෙ ඒ දේවල් නිසා මරාගන්න හදනවා. ඒ කියන්නෙ අර අඩුපාඩු, නොගැලපීම් වලට ඔරොත්තු දෙන්න හේතුවක් වුන ආදරය ඒ වෙනකොට නැති වෙලා ගිහින්. ඊට පස්සෙ ඉතින් ජීවිතේම ප්‍රශ්න තමයි. ඒ එක පැත්තක්. තව සමහර ජෝඩු ඉන්නව එහෙම රන්ඩු වෙන්නෙත් නෑ, හැබැයි තමන්ගෙ පාඩුවේ ඔහේ ඉන්නව. අනිත් කෙනා උන්නද මලාද කියල ගානක් නෑ. එහෙම ඉන්නනම් බැන්දෙ අපරාදෙනෙ. සමහර මිනිස්සු ඉන්නව, බඳින්නෙ නොබැඳ බැරි කමට. අම්මල තාත්තල කියන නිසා, එහෙමත් නැත්තන් බඳින එක සමාජයීය සාධකයක් නිසා තමයි ඒගොල්ලො බඳින්නෙ. එහෙම අයනම් අනෙ නොබැඳ ඉන්න එක හොඳයි තවත් කෙනෙක්ගෙ ජීවිතයක් නාස්ති කරන්නෙ නැතුව. තවත් සමහරු ඉන්නව බඳින්නෙ නීත්‍යානුකූලව ලමයෙක් හදා ගන්න විතරයි. එයාල වෙන කිසි දෙයක් විවාහෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපේ මාමත් එහෙම ඩයල් එකක්. ඒ කසාදෙ තියෙන්න නමට විතරයි.
ඔය ප්‍රශ්නෙම තව පැත්තක් තමයි ආදරේ තිබුනත් ඒක නොපෙන්වීම. ආදරේ කියන්නෙ පෙන්නන්න ඕන දෙයක්, දැනෙන්න දෙන්න ඕන දෙයක්. හිතේ තියාගෙන හිටියට වැඩක් නෑ. ආදරේ හිතේ තියගෙන නොපෙන්වා ඉන්න එකත් අනිත් පාර්ශවයට දැනෙන්නෙ ආදරේ නෑ කියන විදියටම තමා. සමහර මිනිස්සු මැදි වියට වගේ එනකොට හිතනව දැන් තරුණ කාලෙ වගේ ඉන්න ඕන නෑ, දැන් අපි වයසයි කියල. මගේ කනටම එහෙම කියනව ඇහිල තියනව. මම දකින විදියට ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ආදරේ කියන එක ජීවිත කාලෙටම එක විදියට තියෙන්න ඕන. මම ඒකෙන් කියන්නෙ නෑ හැමදාම අර ආදරේ කරන කාලෙ වගේ තුරුල් වෙලා උම්ම දිදී ඉන්න ඕන කියල. ළමයි ලොකු මහත් වෙනකොට අම්මල තාත්තලාට එහෙම හැසිරෙන්න බෑ නෙ. ඒවුනාට ආදරේ පෙන්නන්න ඕන තරම් ක්‍රම තියනව. එක වචනනෙකින්, කතා කරන ස්වරයෙන්, එක බැල්මකින්, හිනාවකින් ආදරේ කියන එක දැනෙන්න දෙන්න පුලුවන්. ඒකට වයස බේදයක් ඕන නෑ.
අඹු සැමියො අතරෙ දුරස්ත බාවයක් ඇති වන තව කාරණයක් තමයි දරුවන් ලැබීම. ඒක හැමතිස්සෙම එහෙම නෑ. ඒත් සැලකිය යුතු ප්‍රතිශතයක් එහෙම වෙනව. ඊට පස්සෙ තමන්ගෙ දරුව තමන්ගෙ ජිවිතේ වගේ වෙනව, තමන්ගෙ සහකාරයට එච්චර කල් තිබුන තැන නැති වෙනව. එච්චර කල් ඇඟේ දැවටි දැවටි හිටපු ගෑනිට මිනිහ උන්නද මලාද කියල බලන්න වෙලාවක් නැති වෙනව. එච්චර කල් චාටු කතා කිය කිය හිටපු මිනිහ ගෑනිව අමතක කරල දරව එක්ක විතරක් හුරතල් වෙන්න ගන්නව. හිතන්නකො, එක දරුවෙක් ඉන්න පවුලකට අලුතෙන් දරුවෙක් ආවම ආදරේ අඩු වීම නිසා ලොකු දරුව මානසිකව වැටෙන වෙලාවල් තියනව නේද? ඒ විදියටම සැමියා හෝ බිරිඳටත් ඒ තරම් දරුණුවට නැතත් සුලු වශයෙන් හරි ඒ ප්‍රශ්නෙ ඇති වෙන්න පුලුවන් නේද? ඔය තැනදි නම් ඔය වැරැද්ද සාපේක්ෂව වැඩියෙන් වෙන්නෙ කාන්තා පාර්ශවයෙන්. අම්ම කෙනෙක් දරුවන්ට තියන අසීමිත ආදරෙත් එක්ක ඒක සාධාරනයි කියල කෙනෙක් කියන්න පුලුවන්. ඒත් මට හිතෙන්නෙ නම් ඒක තමන්ගෙ සැමියට කරන අසාධාරණයක් කියල. මන්ද මට හිතෙන විදිය කිව්වෙ. මට කවද හරි දවසක එහෙම වුනොත් නම් ගොඩක් දුක හිතේවි. අනිත් අය නම් මේකට එකඟ වේවිද දන්නෙ නෑ, මම නම් හිතන්නෙ ඕනම කෙනෙක්ගෙ පළමු තැන ලැබෙන්න ඕන තමන්ගෙ සැමියාට හෝ බිරිඳට. ඊලඟට තමයි දරුවො. ජීවිතේ ඕනම කාලෙක තමන්ගෙ සැමියාට හෝ බිරිඳට තියන ආදරය සැලකිල්ල නොවෙනස්ව එකම විදියට තියනව නම් තමයි ඒ පවුල් ජීවිතය ගොඩක් ලස්සන වෙන්නෙ.
පවුල් ජීවිතය තුළ ආදරය අඩු වීම තමයි දික්කසාද වලටත් ගොඩක් හේතු වෙන්න පුලුවන්. දෙන්නට දෙන්නගෙ ආදරයක් නැති වුනාම නැති ප්‍රශ්නත් ඇති වෙනව. මම කලින් කිව්ව වගේ අනිත් කෙනාගෙ වැරැද්දක් නොගැලපීමක් අමතක කරල ඒක යටපත් කරන්න තරම් ආදරයක් දෙන්න අතරෙ නැති වුනාම ඒක දික්කසාදයක් දක්වාම යන්න පුලුවන් ඉතින්. අනිත් එක බලන්න මැදිවියේ මිනිස්සු කොච්චර නම් අනියම් සම්බන්ධකම් පවත්වගෙන යනවද? ඇයි ඒ? ළමයි හදල අවුරුදු 15ක් 20ක් එකට ජීවත් වෙලා දැන් මොකටද තවත් කෙනෙක්ගෙ ආස්‍රයක් බලාපොරොත්තු වෙන්නෙ? අර මම කලින් කිව්ව වගේ කාලයත් එක්ක ඒ මිනිස්සුන්ගෙ පවුල් ජීවිත වල තිබුන ආදරේ නැති වෙලා ගිහින්. පවුල් ජීවිතයෙන් ඒ ආදරේ ලැබෙන්නෙ නැති වුනාම අලුත් තැනකින් ඒ ආදරේ ලබාගන්න පෙලඹෙනව. ඒ වැඩේ හරියි කියල කියන්න බෑ කොහොමවත්. මම ඒක සාධාරනීකරනය කරන්න හදනව නෙමෙයි. ඒත් ඉතින් අපි කවුරුත් පෘටහ්ජන (අකුරු හරිද මන්ද) මිනිස්සුනෙ. ඒ නිසා ඒ වගේ දේකට පෙළඹෙන්න ලොකු ඉඩක් තියනව. ඔය කිසි හේතුවක් නැතුව වලස්ත කමට ඔය වගේ වැඩ කරන ගෑණු පිරිමිත් ඕන තරම් ඉන්නව. උන් ගැන නෙමෙයි මේ කියන්නෙ.
ඉතින් මම හිතන විදියට නම් ආදරේ කියන එක හැමදාම නොවෙනස්ව හෝ තව තවත් වැඩි කරගෙන ජීවත් වෙන්න පුලුවන් නම් පවුල් ජීවිත වල ප්‍රශ්න ගොඩක් අඩු වේවි. ඒ වගේම හැමදාම බැඳපු අලුත වගේ සතුටින් ඉන්න පුලුවන් වේවි. අම්ම තාත්ත ආදරෙන් සතුටෙන් ඉන්නව නම් ඒක ළමයින්ටත් ලොකු මානසික ශක්තියක්. එහෙම නැතුව අම්මයි තාත්තයි දුරස් වෙලා හිටියොත් දරුවොත් ටික ටික ඒ දෙන්නගෙන්ම ඈත් වෙන්න පුලුවන්. අම්ම තාත්තගෙ බැඳීම ශක්තිමත් නම් පවුලෙ හැම බැඳීමක්ම ආරක්ශිතයි.
(මේක මට හම්බවුනේ facebook එකෙන්. මෙහෙම ඉන්න පුලුවන් නම් කොච්චර හොඳද නේද?)
ඔන්න ඔහොම තමයි ඉතින් කසුන්ට හිතෙන්නෙ. මේක කියවන අයගෙ අදහසුත් දැනගන්න මම කැමතියි. පුලුවන් නම් තමන්ගෙ අදහසත් කියල යන්න.
දරුවා ගැන හිතුවා වගේම අර වැටුන අම්මා ගැනත් හිතලා බලන්න තිබ්බා. මොකද ඒ අම්මා තමන්ගේ දරුවව හිතලා අතෑරියේ නෑනේ. අතපසුවීමකින් නේ දෙන්නම වැටුනේ. ඔහොම උනාම පොඩ්ඩක් ආදරෙන් කතා කරලා බලන්න ඕනේ.
ReplyDeleteමට මෙහෙම දෙයක් හිතෙනවා. ගොඩක් කට්ටිය බඳින්න කලින් ගොඩාක් ආදරෙන් ඉදලා ඊට පස්සේ බැන්දට පස්සේ ආතරේ ටිකක් අඩු වෙනවා. එහෙම වෙන්නේ ඇයි කියලා මට තාම ප්‍රශ්නයක්.
බඳින්න කලින් තියෙන ආදරේ බැන්දම අඩු වෙන්නේ ඇයි ? එහෙම වෙන්න හේතුවක් නෑ. මට නම් හිතෙන්නේ ආදරේ කියන එක ජීවිත කාලය පුරාම එක විදිහට තියෙන්න ඕනේ කියලා.
අර ෆොටෝ එකේ ඉන්න දෙන්නා වගේ ආදරෙන් ඉදලා මැරෙන්න තියෙනවා නම් ඒක නියමයි.ඒත්..... එහෙම ආදරයක් කරන්න නම් කලින් ආත්මේ පින් කරලා තියෙන්න ඕනේ.
කවුද දන්නේ අපි එහෙම පින් කරලා තියෙනවද කියලා.
මේකනේ මල්ලි.. කසාද බැන්ඳම 'තමන්ගෙ' වෙනවා. මේ තමන්ගෙ වීම කොයිතරම් දරුණුද කිව්වොත් තමන්ගෙ ඇඟේ කෑල්ලක් තරමටම.. තමන්ගෙ අතට පයට "මම ඔයාට ආදරෙයි" කියන්නෙ නෑ වගේම රිදුනම "ඔයාට රිදුනද මගේ අත.. " කියලා අහන්නෙ නෑ වගේම තමන්ගෙ සැමියටත් බිරිඳටත් ඒවගේ කථා කරන එක නවත්තනවා.
ReplyDeleteඔයා කියනවා වගේම මේ දේ හරිම අසාධාරනයි...
"......ආදරේ කියන්නෙ පෙන්නන්න ඕන දෙයක්, දැනෙන්න දෙන්න ඕන දෙයක්. හිතේ තියාගෙන හිටියට වැඩක් නෑ......"මේකනම් ඇත්ත
ReplyDeleteමමත් ඔය ගැන සෑහෙන කාලෙක ඉදන් විපරම් කලා.. හොඳින් විමසිල්ලෙන් සමාජය දිහා බැලුවා..
ReplyDeleteවිවාහයෙන් පස්සේ දෙන්නා දෙමහල්ලන්ගේ ආදරයට එන ප්‍රධානම බාධකය තමයි "දරුවෝ"...
ආදරය කරලා හෝ යෝජිතව හෝ විවාහ වන යුවලක්... හැමදාමත් එකිනෙකාට ආදරෙයි.ඒත් ඒක කලින් තරම් විවෘතව පෙන්නන්න විදිහක් නෑ,දරුවෝ එක එක දේ කියනවා.. ආදරයෙන් ආමන්ත්‍රණය කිරීම පවා දෙමවුපියන්ට අකැපයි කියලා හිතනවා..
මේ වගේ වෙලාවට නම් යුරෝපීයන් අපිට වඩා ගොඩාක් ඉදිරියෙන්..
හැම කෙනෙක්ටම ඔය ප්‍රශ්නෙ ඇති,විවාහයෙන් පසුව ආදරය...
ඒත් සමහර පවුල් හරි විවෘතයි,දරුවන් පවා දෙමවුපියන් "අළුත බැඳපු ජෝඩුව" වගේ ඉඳීයැයි අපේක්ෂා කරනවා..:):)
අහල නැද්ද කතාවක් ආදරේ කසාදෙන් ඉවර වෙනව කියල.
ReplyDeleteඔය කතා වතත් කියන්නෙ
@මධුරංග
ReplyDeleteබැන්දට පස්සෙ ආදරේ අඩු වෙන්නෙ ගොඩක් වෙලාවට Apzi(අයියද අක්කද දන්නෙ නෑ නෙ.) කියපු හේතුව නිසා වෙන්න ඇති. එතකොට නීතියෙන්ම තමන්ට අයිති වෙලානෙ. ඒක නිසා එච්චර අගයක් නැති වෙනව ඇති. කාලයත් එක්කත් ඒ දේ වෙනව. ඒත් එක තමයි ගොඩක් ප්‍රශ්න වලට මුල. අනිත් හේතුව තමයි අර මම කිව්ව වගේ දරුවො. ඔය මොන හේතුව නිසාවත් ඒ ආදරේ අඩු වෙන්න දෙන්න හොඳ නෑ.
@Apzi
ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. ප්‍රධානම හේතුව ඒක වෙන්න ඕන. හැබැයි අපි හිතුවොත් එහෙම වෙන්න නොදී ඉන්න පුලුවන් නෙ. ආයාසයෙන් හරි එහෙම නොවෙන්න අපි වගබලා ගන්න ඕන
@බීටා
එතකොට මලේ අනිත් ටික වැරදිද? :P ගොඩක් කාලෙකින් දැක්කෙ මලයෝ
@ප්‍රාර්ථනා
ඒ ප්‍රශ්නෙ තේරුම් ගත්ත තව අය ඉන්න එක ලොකු දෙයක් නගෝ. මම නම් හිතන්නෙ නෑ දරුවො හිටිය කියල සැමියාට හෝ බිරිඳට ආදරේ පෙන්නන එක අඩු කරන්න ඕන කියල. දරුවො ඉස්සරහ අසංවර නොවී, දරුවන්ට වැරදි වැටහීම් ඇති නොවෙන විදියට අඹු සැමියන්ට ආදරේ කරන්න පුලුවන් නම් ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ නෙ. ඒක තමයි වෙන්න ඕන.
@mahima
අනේ උඹ දන්න ආදරේ! උඹ දන්නෙ බල්ලන්ට පූසන්ට කරන ආදරේ විතරනෙ.
බොහොම හොඳයි දැන්ම හිටන්ම කසාද බැඳලා ඉන්නහැටි ගැන හිතන එක.. කසාද බැඳලා දරුවෝ ඇති උනාම ආදරය ගලන්නේ දරුවන් හරහා තමයි.. තාත්තයි දරුවයි වැටුනොත් ඉස්සෙල්ලම අම්ම කරන්නේ අපොයි දරුවට මොකද උනේ කියල බලන එකයි.. ඒ .. දරුවා තනියෙන් වේදනාවක් දරාගන්න බැරි කෙනෙක් නිසයි.. APZI කියන්න වගේ taken for granted වෙනවා තමුනුත් තමුන්ගේ සහකාරයත්.. හොඳ නැහැ තමයි හැබැයි ඔහොමයි ජීවිතේ.. එකෙන් අදහස් වෙන්නේ නැහැ ආදරේ නැහැ කියල.. ඔබේ ලිපියේ ගොඩක් අදහස් එක්ක මාත් එකඟයි.. ආදරේ පවතින්න ඕන ප්‍රකාශ වෙන්නත් ඕන.. අපි ඔක්කොම පුහුදුන් මිනිස්සුනේ
ReplyDeleteහොඳ ලිපියක්.....ස්තූතියි මචං
ReplyDeleteනියමයි බං... එල පෝස්ට් එක.
ReplyDelete@සරත් ලංකාප්‍රිය
ReplyDeleteඒක හරි අයියෙ ඉස්සෙල්ල බලන්න ඕන දරුව ගැන තමයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒත් දරුවට තුවාලයක් නෑ කියල දැනගත්තට පස්සෙ අම්ම ගැනත් පොඩ්ඩක් බලන්න තිබුන නේද? මම හොඳට දැක්ක අයියෙ ඒ වෙලාවෙ ඒ ගෑනු කෙනා ගොඩාක් දුකෙන් හිටියෙ. එක වචනෙකින් හරි හිත හැදුව නම් හොඳයි නේද?
ස්තූතියි අයියෙ අදහස් බෙදා ගත්තට.
@Ano
තැන්කූ මචං!
@prasanna86k
තැන්කූ මාලු අයියෙ!
මෙන්න ආදරය ගැන මට හිතෙන දේ....
ReplyDeletehttp://mothagamanaya.blogspot.com/2011/07/blog-post.html
-මොතා
බැන්දට පස්සේ ආදරේ අඩු වෙන්නේ නෑ.. වෙන්නේ කොච්චර ආදරෙයිද කියලා පෙන්නන්නේ නැති එක.. ඒකත් ඉතින් ආදාරේ නිසාම තමයි..
ReplyDelete@මොතා
ReplyDeleteම්ම්ම්... උඹේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න බෑ සහෝ. උඹ කියන විදියට ආදරේ ප්‍රාතමිකම අවස්ථාව ප්‍රජනනය සඳහා ඇතිවෙන අවශ්‍යතාවය තමයි. ඒක සත්තුන්ට නම් සීයට සීයක්ම හරි. ඒත් මිනිස්සු ගැන සලකද්දි ඒකෙ ඊට වැඩිය දෙයක් තියනව. මිනිස්සු ශාරිරිකව පරිණාමය වුනා වගේම මානසික වශයෙනුත් පරිණාමය වුනා. ආදරේ වගේ සංකීර්ණ හැඟීම ඇතිවෙන්නෙ එතකොට. සහෝ කියන විදියට ආදරය කියන්නෙ ලිංගිකත්වය විතරක් නම් අපි එක්කෙනෙකුටම ආදරේ කරන්න ඕන නෑ නෙ. අපි බඳින්න ඕනත් නෑ නෙ. අහුවෙන අහුවෙන කෙනත් එක්ක ඒ වැඩේ කරගෙන නිකන් ඉන්න පුලුවන් නෙ. එතන ලිංගිකත්වයට වඩා වැඩි දෙයක් තියන නිසා තමයි අපි හැමදාම එක්කෙනෙක් එක්ක විතරක් ඒ දේ කරන්නෙ. සත්තුන්ගෙන්ම පැවතුනත් සත්තුන්ට වැඩිය මිනිස්සු එතනදි වෙනස් නේද? ඒ මොකද මිනිස්සු ඊට වඩා මානසිකව උසස් නිසා. ඒ නිසා ඔය කතාව මිනිස්සුන්ට ගැලපෙන්නෙ නෑ මම හිතන්නෙ.
@Dinesh
එහෙම අඩු වෙන්නෙ නෑ කියල කියන්න බෑ නේද අයියෙ. හොඳට බලන්නකො බැඳපු නැති ජෝඩුයි බැඳපු ජෝඩුයි දිහා. ගොඩක් වෙලාවට පැහැදිලි වෙනසක් තියනව. මම කියන්නෙ ලංකාවෙ තත්ත්වෙ. අනිත් එක අයියෙ ආදරේ නම් ඒක නොපෙන්ව ඉන්න ඕන නෑ නෙ. අනිත් කෙනාට කොහොමහරි ආදරේ දැනෙනව නම් ප්‍රශ්නයක් නෑ. එත් එහෙම දැනෙන්නෙ නැත්තන් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් නේද?
මාරයි... එළ ලිපිය. මගේ මතයත් ඕකමම තමයි. මමත් ඔය දේ ප්‍රායෝගිකව අත්විඳිනවා. අනේ මන්ද ... මටත් හේතුවක් හිතා ගන්න බෑ. බොහෝ දුරට apzi හරි ඇති. ඒත්.........
ReplyDelete@චතුරංග පෙරේරා
ReplyDeleteහොඳට කල්පනා කරල, දෙන්නත් එක්ක කතාබහ කරල ඒකට විසඳුමක් හොයන්න උත්සහ කලොත් බැරි වෙන එකක් නෑ අයියෙ. සමහරවිට ටිකක් අමාරු වේවි, ඒත් අමාරුවෙන් හරි ඒ දේ නිවැරදි කරගත්තොත් ජීවිතේ ගොඩක් ලස්සන වේවි නේද?
@Kasun
ReplyDeleteඔය කියන ආදරය ඇතිවෙන්නේ එක් කෙනකුට විතරක්ද???? එළිපිට කීප දෙනුකට ආදරය නොකරන්න හේතුව අපේ වටපිටාව ඒකට ඉඩ නොදීම මිසක් ඔය කියන ආදරය ඇතිවෙන්නේ එක්කෙනුකුට විතරක් නිසා නෙවෙයි. විවාහයත් එහෙම දෙයක්.විවාහය ගැන ලොකු විස්තරයක් කරන්න පුළුවන්. එක කමෙන්ටුවකින් කරන්න අමාරුයි. අපිම හදාගත්තු සංස්කෘතිය, සදාචාරය, නීති රීති නොතිබුනානම් බලන්න තිබුනා මනසින් උසස් අයගේ වැඩ..
-මොතා
@මොතා
ReplyDeleteඅපි ඉතින් එක පාරට දෙතුන් දෙනකුට ආදරේ කරන්නෙ නෑ නෙ සහෝ. එහෙම කරන චාටර් උනුත් ඉන්නවා. ඒත් 99%ක්ම එහෙම නෑ නේද? කසාදෙ ගැන වුනත් එහෙමම තමයි. ඔහොම අන්තවාදීව හිතන්න එපා සහෝ!
මේක මේ අපේ රටේ බහුලවම සිද්ධ වෙන දෙයක් නෙ...අර කතාවටත් කියනවනෙ පහු පහු වෙද්දි කොහු කොහු වෙනවා කියලා...
ReplyDeleteකෙනෙක්ට දෙයක් ලබාගන්නකම් තියෙන ආසාව ඒ දේ ලබාගත්තට පස්සෙ නෑ....ආදරෙත් එහෙමයි.මම කියන්නෙ නෑ හැම කෙනෙක්ම එහෙමයි කියලා..ඒ වගෙම පිරිමි අය විතරක් නෙවෙයි..ගැහැණු අයට උනත් පොදුයි මේ දේ.....
සමහර විට මම හිතන්නෙ මේක අපේ රටේ,අපේ ස0ස්කෲතියත් එක්ක ඇති වුනු වෙනසක් වෙන්න ඇති.....
This comment has been removed by the author.
ReplyDelete@හිතුවක්කාරි
ReplyDelete"කෙනෙක්ට දෙයක් ලබාගන්නකම් තියෙන ආසාව ඒ දේ ලබාගත්තට පස්සෙ නෑ....ආදරෙත් එහෙමයි."
ඒක නම් සම්පූර්ණ ඇත්ත සහෝදරී. ඒත් ආදරේදි එහෙම නොවෙන්න වගබලාගන්න පුලුවන් නම් ගොඩක් වටිනව.
ow itin api otuwone
ReplyDelete@mahima
ReplyDeleteඅනේ ඔයාට දුක හිතුනද පැටියො?
කසුන්ගෙ හුඟක් සිතුවිලි එක්ක එකඟයි. මමත් ඔය දේ දැකලා තියෙනවා- දරුවා වැටුණහම අම්මට බනින තාත්තලා; දරුවා සෙල්ලම් කරලා වැටිලා වුණු තුවාලය තාත්තා දැක්කොත් බනියි කියන බයට වෙවුල වෙවුල අර තුවාලය හංගන්න හදන, දරුවා ඒක කියයි කියලා බයෙන් ඉන්න අම්මලා.
ReplyDeleteමට හිතෙන්නෙ ඒක ළමයට පෙන්වන කෘතිම ආදරයක් කියලා. මොකද, පොඩි ළමයි වැටෙනවා. කොච්චර පස්සෙන් හිටියත් නවත්තන්න බැහැ වෙලාවකට.
දරුවන් ලැබුණට පසු අපේ රටේ සංස්කෘතියත් එක්ක අම්මගෙ වැඩ කටයුතු අධික වෙනවා; විශේෂයෙන්ම ඇගේ නින්ද බෙහෙවින්ම අඩු වෙනවා. මගෙ යෙහෙළියක් කිව්වා (ඒ වෙනවිට ඇගේ දුවට වයස අවුරුදු 4ක්) බබා ලැබුණට පසු එක දිගට පැය තුනක් නිදා ගත් දවසක් නැත කියලා. බොහෝවිට මේ අධික වෙහෙසත්, සියළු කම්කටොළු හා වගකීම් තමන්ගෙ කරපිට වැටීම නිසා ඇතිවන නුරුස්නා ගතිය වෙන්නැති දරුවන් ලැබූ කාන්තාවන් සහකරුට ආදරයක් නොපෙන්වන්න හේතුව.
@නලිනි චන්දිමා
ReplyDeleteඅක්ක කිව්ව වගේ සිද්ධි මාත් අහල තියනව. ඒක වැරදියි තමයි. හැබැයි අක්කෙ තාත්තල විතරක් නෙමෙයි ඔය වැරැද්ද කරන්නෙ. ළමය වැටුනම ළමයටම ගහන බණින අම්මලත් ඉන්නව. මට හොඳට මතකයි අපේ නංගි එක පාරක් අත කපාගෙන, අම්ම අතට බේත් දාන ගමන් හොඳටම බණිනව. හැම ප්‍රශ්නෙකම දෙපැත්තක් තියනව නෙ. ඒ වගේ දේවල් ඉතින් එක එක්කෙනාගෙ මානසික මට්ටම අනුව තමයි වෙන්නෙ. හැබැයි ඔය මම කිව්ව සිද්ධියේදි නම් ඒ තාත්ත අම්මට එහෙම බැන්නෙ නෑ. මූන නරක් කරගෙන මොනව හරි දෙයක් කිව්ව විතරයි. නමුත් ඒ වෙලාවෙ කොහොමවත් කරන්න ඕන නම් ඒ දේ නෙමෙයි කියන එකයි මම කිව්වෙ.
අක්ක කියන හේතුව හේතුවක් වෙන්න පුලුවන් පැහැදිලිවම. මම තව බ්ලොග් පෝස්ට් වලත් දැකල තියනව ඔය කතාවම කියල තිබුන. ඒත් අක්කෙ ඔය කියන්නෙ extreme situation එකක් ගැන නේද? ඉස්සර නම් ඔය ප්‍රශ්නෙ තදින්ම තියෙන්න ඇති. ඒත් මම හිතන විදියට නම් ඔය ප්‍රශ්නෙ මේ වෙනකොට සැලකිය යුතු විදියට අඩු වෙලා තියනව. ගොඩක් වෙලාවට ගෙදර අම්ම තාත්ත දෙන්නම වැඩ ටික බෙදාගෙන සහයෝගෙන් කරන තත්ත්වෙට අද ඇවිත් තියනව. නමුත් මම කතා කරපු ප්‍රශ්නෙ නම් එහෙමමයි. ඒ නිසා එකම හේතුව ඒක කියන එක නම් කියන්න බෑ අක්ක. මම නම් දකින්නෙ එච්චර කල් සැමියාට හෝ බිරිඳට දීපු ආදරය එතනින් එහාට මුලුමනින්ම දරුවාට විතරක් දෙන එක තමයි ප්‍රධානම හේතුව.
අම්මෝ එහෙම වෙයිද මටත් :(((
ReplyDelete