twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Wednesday, July 20, 2011

ආදරය, විවාහය, දෙමව්පියන් හා වෙනත් ප්‍රශ්න

කලින් ලිපියෙන් මම කුල ප්‍රශ්නෙ ගැන කතා කලානෙ. ඒ ඇරුනම කසාදයක් කරගන්න ගියාම එන තවත් ප්‍රශ්න ගැන මගේ අදහස් කියන්නයි දැන් හදන්නෙ. කලින් ලිපිය කියවපු නැති කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් බලල එන්න. එතකොට වඩා පහසු වේවි.

මීට සම්බන්ධ මම දන්න තව සිද්ධියක් තියනව. අපෙ අම්ම ඉස්සර හිටියෙ අම්මලගෙ ඔෆිස් එකේ නිළ නිවාස වල. මම හිටියේ ආච්චි ලඟ. ඉස්කෝලෙ නිවාඩුව ආව ගමන්ම එහේ දුවගෙන යනව. අම්මගෙ ඔෆිස් එකේ හිටපු පරිපාළන නිළධාරී තුමා හරි හොඳ කෙනෙක්. මම එහේ ඉන්නකොට නිතරම ඒ ගෙදර යනව. ඒ අන්කලුයි, ඇන්ටියි මට හරි ආදරෙයි. ඒ ගෙදර අක්කල දෙන්නයි, අයියල දෙන්නයි හිටියෙ. අක්කල දෙන්න වැඩිමල්. ලොකු අක්ක මට ගොඩක්ම ආදරෙයි ඒ කාලෙ. ඒ අක්කට ජොබ් එකක් තිබුනෙ නැති නිසා අර අංකල් අක්කව ඒ ඔෆිස් එකේම ජොබ් එකකට දාගත්ත. අම්මලගෙ ඔෆිස් එක කෘෂි පර්යේෂණ ආයතනයක්. ඒකට මිනිස්සු පැල වර්ග ගන්න, ඇට වර්ග ගන්න, උපදෙස් ගන්න වගේ වැඩවලට නිතරම එනව. ඔහොම යනකොට අර අක්ක ඔය විදියට ඔෆිස් එකට එන කොල්ලෙක් එක්ක යාලු වෙලා. ඒ අයියට කුඹුරු ගොඩක් තියන කෙනෙක්. ගොවියෙක් කිව්වට අපේ හිතේ ඇඳෙන රූපෙ නෙමෙයි ඒ අයියගෙ තියෙන්නෙ. අපිට මතක් වෙන්නෙ අමුඩෙ ගහගෙන උදැල්ල කරේ තියාගෙන කුඹුරට පයින් යන කෙනෙක්නෙ. එයා එහෙම නෑ, එයා යන්නෙ තඩි බයික් එකක. එයා මිනිස්සු දාල කුඹුරු වැඩ කරවනව. ඒ අයියගෙ පරම්පරාව ගොවියෝ. ඒ අයිය ඒක මහන්සියෙන් බිස්නස් එකක් තරමටම දියුනු කරගෙන. කොහොම හරි අක්ක ඕක ගෙදරට කිව්වම ගෙදරින් තදින්ම විරුද්ධ වෙලා. දැන් එතන කුලේ ප්‍රශ්නෙකුත් නෑ, ඇයි ගොවි කුලේ නෙ. එතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ඇත්තටම ගොවියෙක් වීම. පුදුම ලෝකයක් තමයි මේක. ගොවි කුලේ වෙන්නත් ඕන, හැබැයි ගොවිතැන් කරන්න බෑ. ඒ අංකල් ලොකු පොඩි හැමෝම එක්ක හොඳට කතා බහ කරල පොළවෙ පය ගහල ඉන්න මනුස්සයෙක්. ඒත් ඒ වෙලාවෙ මොන විකාරයක් උනාද මන්ද. කොහොමහරි ගොවියෙක් නිසා අන්කලුයි ඇන්ටියි කැමති වුනේ නෑ. 

අක්ක දැඩි තීරණයක් අරගෙන තිබුන. දවසක් අක්ක ගෙදරින් පැනල ගියා. ගිහින් එහෙමම කසාද බැඳල අයියගෙ ගෙදරම නැවතුනා. ගෙදරින් ගිහින් දවස් දෙක තුනකට පස්සෙ අක්ක කසාද බැඳල කියලත් ආරංචි වුනා. අක්ක ඉන්න තැනත් හොයාගන්න පුලුවන් වුනා. ඒත් කවුරුවත් එහේ ගියේවත්, අක්කව එක්කගෙන එන්න හැදුවෙවත් නෑ. ගිය එකාට යන්න දෙන්න කියලයි අංකල් කිව්වෙ. ඒ පැත්තෙම තිබුනෙ ඒ ඔෆිස් එකේ වැඩ කරන අයගෙ නිළ නිවාස. හැමෝම ඉගෙන ගත්තු බුද්ධිමත් මිනිස්සු. ඒක නිසා කිසිම කෙනෙක් කිසිම වෙලාවක තැන තැන කතා හැදුවෙවත්, අපහාස කලේ වත් නෑ. ගමක වගේ ඔහොම වුනානම් ගෙදර උන් වහ බොනකල්ම කතා හදනවනෙ. කොහොම හරි හැමෝම කලේ ඒ මිනිස්සුන්ගෙ හිත හදන්න බලපු එක. හැමෝම කිව්වෙ, "ගොවිතැන් කලාට වරදක් නෑ නෙ, ඒක කොච්චර වැදගත් රස්සාවක්ද? අනිත් එක ඒ දරුවට හොඳට සල්ලි බාගෙ එහෙමත් තියන වැදගත් පවුලක ළමයෙක් නෙ" කියල. ඒ වුනාට ඒ අංකලුයි ඇන්ටියි නම් පුදුම දැඩි තීරණයක හිටියෙ. වී ගොවිතැන් කරන එක නිකන් ගන්ජ වවනව වගේ පහත් රස්සාවක් විදියට තමයි හැසිරුනේ. අපේ තාත්ත එහෙමත් ඒ පවුලට ගොඩක්ම හිතවත්. තාත්ත දවසක් බැනල තිබුන "ඔය විදියට ගොවියෙක්ව පිලිකුල් කරනව නම් ඔහෙල බත් කන එකත් නවත්තන්න" කියල. කොහොම හරි ඉතින් කාලයක් ගිහින්, හැමෝම ඔහොම කියල කියල, අක්ක නැති අඩුවත් දෙන්නට දරා ගන්න බැරි තැනට ආවම ජෝඩුවට ගෙදර ඇවිත් යන්න කියල අයියල දෙන්න අතේ පණිවිඩයක් යැව්ව.  

ඊට පස්සෙ හැම දෙයක්ම හොඳින් විසඳුනා. ඒ දෙන්න දැන් බොහොම සතුටින් ඉන්නව. බලන්නකො ඉතින් වැඩකට ඇති දේකටද විරුද්ධ වුනේ කියල. කුලෙත් අවුලක් නෑ, සල්ලිත් තියනව, වැදගත් පවුලක ළමයෙක්, ඒ අයියගෙත් කිසි අඩු පාඩුවක් නෑ; එකම අවුල ගොවිතැන් කරන එක. ඊලඟට අහන්න වෙන්නෙ ඉතින් ගොවිතැන් කරන එකේ මොකක්ද තියන අවුල කියල. දන්නෙ නෑ ඉතින් ඒ දෙන්නගෙන්ම තමයි අහන්න වෙන්නෙ. ඔය වගේ විකාර අදහස් කවදා නම් මිනිස්සුන්ගෙ ඔලු වලින් අයින් වේවිද?

ඊලඟට ඔය වගේ ආදරයකට විවාහයකට බාධා එන හේතු තමයි ආර්ථික පරතරය, සමාජ පරතරය වගේ දේවල්. ඒ දේවල් ගැන වුනත් එකපාරට බැලුවම හිතෙන්නෙ වැඩකට නැති දේවල් කියල. දෙන්න අතරෙ තද බැඳීමක්, හොඳ අවබෝධයක් තියනව නම් ඔය දේවල් විවාහ ජීවිතයකදි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ තමයි. හැබැයි ඒකෙත් එක්තරා සීමාවක් තියනව. හැමතිස්සේම එක හරි යන්නෙ නැති වෙන්න පුලුවන්. හිතන්නකො කොටිපතියෙක්ගෙ දුවෙක්ට බැඳල කටුමැටි ගේකට යන්න වුනා කියල. ඒ දෙන්නට ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන් වේවිද? ආදරය කියන එක කොච්චර තිබුනත්, ඒ කෙල්ල අවුරුදු 25ක් 30 විඳපු සැප සම්පත් නැති වුනාම කාලයත් එක්ක ප්‍රශ්න එන්න පුලුවන් නේද? මෙච්චර කල් අම්ම තාත්තගෙන ලැබුන දේවල් මිනිහගෙන් ලැබුනෙ නැති වුනාම ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් නේද? මොනව කිව්වත් අපි පෘටහ්ජන මිනිස්සුනේ. ඒ කෙල්ල අවුරුදු ගානක් පුරුදු වුන විදියක් තියනව නෙ. ආදරේ තිබුන කියල ඒව වෙනස් කරන්න අමාරුයි. ලුණුයි බතුයි කාල ඉමු කියල පටන් ගන්න අය, කාලයක් ගියාම තේකට සීනි මදි වුනාම මරා ගන්න හදනව. (ඔය ප්‍රශ්නෙ අනිත් පැත්ත වුනොත් නම් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ විදියක් නෑ. ඒත් ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න දෙමව්පියොත් ඉන්නව. ඒ ඉතින් ආයෙත් අර පුහු මහන්තත්තෙ තමයි.) ඒක නිසා ඒ වගේ දේකට යොමු වෙන්න කලින් හොඳට හිතන්න ඕන. ඇත්තටම මට මේ විදියට ඉන්න පුලුවන් වේවිද කියල බුද්ධියෙන් විමසල බලන්න ඕන. ඇත්තටම ඔය දේවල් හිතන්න ඕන සම්බන්දයක් ඇති කරගන්න කලින්. ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙ ඉතින් ඔහොම ප්‍රශ්නයක් තිබුන කියල දාල යන්න අමාරුයි නෙ. ඒත් ඉතින් අන්තිමට දෙමව්පියන්ගෙ අවසර ඉල්ලන්න ගියාම ලැබෙන්නෙ නෑ. ඒ මිනිස්සු කැමති වෙන්නෙ නෑ තමන් තියන හැම සම්පතක්ම දීල හදපු දරුව දුක් විඳිනව දකින්න. දැන දැන ඒ වගේ දේකට අවසර දෙන්න දෙමව්පියන්ට බෑ. ඒ වුනාට ඉතින් දරුවො ඉන්න තත්ත්වෙ උඩ ඒ ගොල්ලො ඒක තේරුම් ගන්නෙ නෑ. එතකොට ඉතින් ප්‍රශ්න තමයි.

සමාජ පරතරයත් ඔය වගේම ප්‍රශ්නයක් තමයි. සමාජ තත්ත්වය කියන එකෙන් මම අදහස් කලේ වලව් කාරයො, වංශවත් පවුල් කියන එක නෙමෙයි. අපි සමාජයේ ජීවත් වෙන විදිය කියන එකයි. මෙහෙම හිතන්නකො, හොඳට වැදගත් විදියට කාටවත් වැරද්දක් නැතුව, සමාජයේ ගෞරවය තියාගෙන ජීවත් වෙන පවුලක දුවෙක් රස්තියාදුකාරයෙකුට දෙන්න අම්මල තාත්තල කැමති වෙයිද? අනිත් පැත්තට එහෙම වැදගත් පවුලකට රස්තියාදුකාර කෙල්ලෙක්, රස්තියාදුකාරයෙක්ගෙ දුවෙක්, නංගි කෙනෙක් ගේනවට අම්මල තාත්තල කැමති වෙයිද? එහෙම දේකට විරුද්ධ වෙන එක සම්පූර්ණයෙන්ම සාධාරණයි. ඒ වගේ වුනාම අනිවාර්යෙන්ම ප්‍රශ්න ඇති වෙනව. ඒත් දරුවො ඕක තේරුම් ගන්නෙ නෑ. ඒ වගේ හේතුවක් නිසා මෙච්චර කල් ආදරේ කරපු කෙනා අතාරින්න දරුවො කැමති වෙන්නෙ නෑ. ඒක නිසා මම ආයෙත් කියන්නෙ, හොඳම දේ තමයි සම්බන්දයක් පටන් ගන්න කලින් ඔය හැම දෙයක්ම හිතල ගැලපෙන කෙනෙක් තෝරගන්න එක. තමන්ගෙ ආර්ථික මට්ටමට ගැලපෙන, සමාජ මට්ටමට ගැලපෙන, ගැලපෙන අදහස් තියන කෙනෙක්. එතනදි හදවතින් විතරක් නෙමෙයි, බුද්ධියෙනුත් කල්පනා කරල තීරණයක් ගන්න. එතකොට ඔය කසාදයක් කරගන්න ගියාම අම්මල තාත්තල එක්ක රන්ඩු කරන්න වෙන එක අඩු වෙයි. 

ඊලඟට තව දෙයක් කියන්න ඕන. මම අර කලින් කියපු කතාවෙ ඒ ඇන්ටියි අංකලුයි කරපු දේ සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ වුනාට ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒ අක්ක කරපු දේ හරි කියල. අක්ක කරපු වැඩෙත් සම්පූර්ණයෙන්ම වැරදියි. අම්මල තාත්තල හරි හෝ වැරදි හෝ, ඒ දෙන්නගෙ කැමැත්ත ආශිර්වාදය නැතුව කසාදයක් කරගන්නව කියන්නෙ කිසි සේත් අනුමත කරන්න බැරි වැඩක්. තමන්ගෙ දෙමව්පියන්ට එහෙම ගින්දරක් දෙන එක මහ පවක්. ඒ වගේ දෙයක් නම් හිතන්නවත් එපා. මගේ කලින් පෝස්ට් එකට ඇනෝ කෙනෙක් දාපු කමෙන්ට් එකක කෑල්ලක් මම මෙතන දාන්නම්. "අර අයිය නම් කොන්ද පණනැති ගොනෙක්...." ඒ කියන්නෙ ඇනෝ කියන විදියට තමන්ගෙ අම්මට පිටු පාන්න බැරි නිසා තමන්ගෙ ආදරය අමතක කරපු උගේ කොන්ද පණ නෑ. කොන්ද පණ තියනව කියන්නෙ තමන්ගෙ අම්මව ඇතෑරල කෙල්ලෙක්ව ගේන එකද? අවුරුදු 25ක් 30ක් තමන්ව උස මහත් කරල හදාගත්ත අම්මව තාත්තව අමතක කරල අවුරුදු දෙක තුනකට කලින් අඳුන ගත්ත කෙනෙක් එක්ක යන එකද කොන්ද පණ ඇති කම කියන්නෙ? ඒකට කියන්නෙ ගුණමකු කම, වෙන මොනවත් නෙමෙයි. මම ඒ අනෝ එක්ක කිසිම තරහකින් නෙමෙයි මේ කියන්නෙ. අපේ සමාජයේ ඔය අදහස ගොඩක් දුරට තියනව. මගේ කණටම ඇහිල තියනව ඔහොම කතා. ඒකයි මම ඒක මෙතන දැම්මෙ. ඒ වැරදි මතේ නම් ඉන්න එපා. කොන්ද පණ තියනව කියල දෙමව්පියන්ගෙ අකමැත්තෙන් කසාදයක් කරගන්නවත් පැණල යන්නවත් හදන්න එපා.  

කොහොමහරි අම්මල තාත්තලගෙ කැමැත්ත ගන්න බලන්න. ආදරෙන් තේරුම් කරල දෙන්න බලන්න. වද කරල කරල කොහොමහරි කැමති කරවගන්න. (නිදි විකාරෙන් ඉන්න වෙලාවක හරි කමක් නෑ. :P) බැරිම වුනොත් ඉතින් කරන්න දෙයක් නෑ, ඒ අය කියන දෙයක් කරන්න. මොන දේ වුනත් අම්මල තාත්තලට අපේ ජීවිත ගැන කියන්න බැරි තරම් ලොකු අයිතියක් තියනව. ඒ නිසා අන්තිම තීරණේ ඒ අයට ගන්න දෙන්න. එහෙමයි කියල අම්මල තාත්තල වැඩකට නැති කුල මල වගේ දේවල් නිසා දරුවන්ට තහන්චි දාන්න එපා. හැමතිස්සෙම දරුවන්ගෙ පැත්තෙන් හිතන්න. එහෙම හිතල දරුවන්ට හොඳම දේ දෙන්න. මොකද අම්මල තාත්තලගෙ ඒ තීරණෙන් එතනින් එහාට දරුවන්ගෙ ජීවිතේම තීරණය වෙනව. ඔන්න ඔහොමයි කසුන්ට හිතෙන්නෙ. කියවන අයගේ අදහසුත් දැන ගන්න පුලුවන් නම් මම කැමතියි.

10 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. මම නම් දෙමව්පියන්ට දුක් දීලා ගෙදරින් පැනලා යන එක අනුමත කරන්නේ නෑ. මොකද දෙමව්පියන්ට දුක් දෙන එක තරම් පවක් වෑ. නමුත් දෙමව්පියන් ඉන්නේ වැරදි තීරණයක නම් අපි මොනා කරන්නද.

    මුලින්ම දෙමව්පියන්ට කරුණු පහදලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඒ අයගේ අදහසත් අහලම බලන්න ඕනේ.

    තව දෙයක් කියන්න ඕනේ. ඔය විදිහට පැනලා යන කට්ටියගේ ජීවිත ගොඩක් දුරට අසාර්ථක වෙලා අනාත වෙන අවස්තා මම් ගොඩක් අහලා තියෙනවා. එතකොට දෙමව්පියනුත් නෑ. බැන්ද එකාත් නෑ.

    නමුත් අම්මයි අප්පච්ච්යි එහෙම අකාරුනික නෑ. මොනා උනත් තමන්ගේ එකානේ කියලා පිලිගන්නවා.

    කොහොමහරි ඒ අක්කට ගෙදරින් ආශිර්වාදේ ලැබුනා. අන්න ඒක දරුවෙක් විදිහට ගොඩක් වටිනවා. අපේ දුවනේ පුතානේ උබලා හොදින් ඉන්න ඕනේ කියලා ඔලුව අතගාලා කරන ආශිර්වාදේ ගොඩක්ම වටිනවා. එහෙම එකෙක්ට කවදාකවත් වරදින්නේ නෑ. අන්න ඒ නිසයි මම් පැනලා යන එක අනුමත කරන්නේ නැත්තේ.

    දැන් කුල ප්‍රශ්නයට එමු. මේක නම් මාර අපරාදයක්. ඉස්සර රජකාලේ ගොවියෝ තමා ගොවි කුලයේ උනේ. නමුත් රට දියුනු වෙන්න වෙන්න ගොව් කුලය විතරක් ඉතුරු වෙලා ඒකෙන් ගොවියෝ ඈත් උනා. ගොවියෙක්ගේ පුතෙක් හොදට ඉගෙනගෙන අන්තිමේදි ගොවිකමට එන්නේ නෑනේ. හොද මහත්තැන් කෙනෙක් වෙලා ජීවත් වෙනවා මිසක්.

    අන්න එහෙම උන අය තමයි ගොවි කුලයේ ගොවීන් නෙමේ වෙන කට්ටිය. බලාගෙන ගියාම මේ අයගේ අත්තලා මුත්තලා ගොවියෝ. ගොවිකම කියන්නේ රටක් ජීවත් කරවන්න පුලුවන් උතුම් වෘත්තියක් !!!!!

    රටකට කන්න දෙන එක කොයි තරම් පිනක්ද!!!1

    ප.ලි. - තව කියන්න දේවල් ගොඩයි. වෙලාවක් තිබ්බොත් කියන්න එන්නම් !!!!

    ReplyDelete
  3. මම මේ මාතෘකාව ගැන බලන විදිහෙන් නම් මට තේරෙන දේ තමයි උඹ හිතන විදිහ හරියටම හරි කියන එක... ආර්ථික පරතරය නම් මොකක් හරි කරල හදාගත්ත කියමුකො... ඒත් පවුල් පසුබිම කියන එක නම් පට්ට විදිහට බලපානව කියන එක තමයි මගෙත් අදහස... මොකද පුංචි කාලෙ ඉඳන් කෙනෙක් හැදෙන පරිසරය ඒ කෙනාගෙ ජීවිතේට මාරම විදිහට බලපානව...

    කොච්චර කොහොම වුනත් ආදරේ කියන එකෙන් ඇස් බැඳගන්න කලින් ඕව හිතුවෙ නැත්තන් ඕව කියන එකෙන් තේරුමක් වෙන්නෙ නෑ...

    ReplyDelete
  4. දෙමව්පියන්ගේ හිත රිද්දන එකේ පව අපිට කවදාම හරි මිහිපිටදීම අත් විදින්න වෙනවා..ඒක නවත්තන්න සක්කරයටවත් බෑ..

    පිරිමි ළමෙක්ට වඩා ගැහැනු ළමයෙක් මේ ගැන හිතන්න ඕන කියලයි මට හිතෙන්නේ..මොකද තමනුත් දරු පැටියෙක් මේ ලෝකෙට බිහි කරද්දි අම්මා විදපු ඒ වේදනාව ඇති සැටියෙන් දැනෙන නිසා..අමතක කරන්න හොද නෑ හැම දුකකදීම වගේ එදාට මතක් වෙන්නෙත් මහත්තයගේ නම නෙමෙයි..රත්තරන් අම්මගේ නම කියලා..

    එහෙම කියලා පුතාලට ඒ වගකීමෙන් මිදෙන්න බෑ ඔන්න..තමනුත් තාත්තෙක් වුනු දවසට මේ මගෙ වස්තුව කියලා දැනෙන ආත්මාර්තකාමි සිතුවිල්ල, ඔයාලටත් දෙමව්පියන් සාධරණයි කියලා වටහලා දෙයි අගේටවත්..

    කොහොම කිව්වත් ආදරේට සීමා මායිම් නෑ නේ.. දෙමව්පියනුත් පටු සනංකල්ප වලින් මිදිලා දරුවන්ගේ පැත්තෙන් සාධාරණව බලනවනම්..ඒක තමා දරුවෙක්ට දෙන්න පුලුවන් මහ මෙරක් වටින ආදරේ..එහෙම වුනොත් මේ ලෝකේ තවත් ලස්සන වෙයි..නේද යාලුවේ..

    ReplyDelete
  5. එදා ඉඳන් කන්න බොන්න දීලා ලොකු මහත් කරපු දෙමාපියන්ගේ මූනේ දැලිගාලා පැනලා යන එක නම් වටින්නෑ .. පස්සේ කාලෙකදී ආයේ සමගි සමාදාන වෙන එක සාමාන්‍යයි ඒත් ඒ වැඩේ හරි නෑ

    කෙල්ලගේ ගෙදරින් මට අකමැතිනම් මම දුවව තියාගන්න කියලා අයිං වෙනවා ..

    ReplyDelete
  6. අම්මලා දරුවෝ ගැන හිතන්නෙත් නැත්නම්, අනික කසාදයක් බැඳගෙන පිළිවලක් වෙන්න ට්‍රයි කරනවා නම් මම නම් කියන්නේ අම්මමලා කොච්චර විරුද්ධ වුනත් තීරණයක් ගන්න ඕනේ. හැම වෙලේම නෙවෙයි. ඒත් මම කිව්වා වගේ අවස්ථාවක හරි තීරණේ ගත්තේ නැත්තම් ඒ කොල්ලගේ / කෙල්ලගේ මුළු ජීවිතේම විනාශ වෙන්නත් පුළුවන්...! අත් දැකීමෙන් කියන්නේ...:P

    ReplyDelete
  7. ලිපි දෙකේ තියන කරුනු වලට 100% ම වගේ මම එකඟයි.

    ReplyDelete
  8. මොනදේ කරත් මචං අපේ අප්පච්චියි අම්මයි කියන දෙන්නට අවනත වෙන එක තමා මම නම් හොඳයි කියන්නේ.අපි මොන මරි වැඩේ කරලා ආවත් "වරෙන් මයෙ පුතේ" කියලා ගෙට ගන්නේ ඒ දෙන්නා විතරයි.(ඔය අක්කගේ සිද්ධියෙන් වුනත් ඒ‍ දේ පේනවනේ.)

    සමහරු කියයි බඳින්නේ අම්මලා නෙමේ මමනේ ඒ හින්දා අයෙ එක එකාගෙන් අහන්න ඕනේ නෑ කියලා.හැබැයි එහෙම යන උන්ට සෑහෙන ප්‍රශ්න ඇතිවෙනවා.

    කුළ ගැන කියනව නම් මම හිතන්නේ මේ වෙද්දී ඔය සංකල්පෙ යට යනවා නම් හොඳයි කියලා.මොකද ඉස්සර කුළ වෙන කරේ මිනිස්සු කරන රක්සාව අනුව.හැබැයි අද වෙද්දී එහෙම කරොත් හදන්න වෙන්නේ බොදු වෛද්‍ය බොදු ඉංජිනේරු බොදු කළමනාකාරවරු වගේ කුළ.එහෙම එව්වා වෙන්නේ නෑනේ.මම දන්නෑ ඇයි මේ කුළේ කියන දේට මෙච්චර තැනක් දෙන්නේ කියලා.අප්පච්චි කියන විදියට අඩු කුල කාරයෝ තරමක් මෝඩ උද්දච්ච විදියට ඉන්න බලන මොඩ් වෙන්න දඟලන චරිතලු.එහෙම අයත් ඉන්නවා.හැබැයි අතලොස්සයි.ඒ හින්දා මම නම් හිතන්නේ ඔය කුළමල කෙරුවාව නැතිවෙනවා නම් හොඳයි කියලා.

    ReplyDelete
  9. වෙච්ච විකාර හින්ද මට කමෙන්ට් වලට රිප්ලයි කරන්නත් අමතක වුනා. වෙනද වගේ එකින් එකට වෙන වෙනම රිප්ලයි කරන්න මූඩ් එකක් නෑ. කට්ටිය මාත් එක්ක තරහ ගන්න එපා.

    @චතුරංග පෙරේරා
    ඒත් අයියෙ මම නම් හිතන්නෙ කොහොමහරි දෙමව්පියන්ගෙ අවසරේ අරගෙන මිසක් කසාදයක් කරගන්න හොඳ නෑ. මෙහෙම හිතන්නකො, අයියගෙ දරුව කසාදයක් කරගන්න යනව. අයිය ඒකට කැමති නෑ. අයියට තේරෙනව අයිය විරුද්ධ වෙන්නෙ සාධරන හේතුවක් නිසා කියල. ඒත් දරුව හිතන්නෙ එයා හරි අයිය වැරදියි කියල. කවුරු හරි උනත්, කවුරු වැරදි උනත්, දෙන්නම හිතන්නෙ තමන් හරි කියල. අන්තිමේ එයා එයාගෙ තනි කැමැත්තට කසාද බඳිනවා. එහෙම වුනොත් අයියට ගොඩක් දුක හිතෙනව නේද? අනිවාර්යෙන්ම අයියට එදාට හිතෙන්නෙ තමන්ගෙ දරුව තමන්ට ගුණමකු කමක් කලා කියල. ඒක නිසා මම නම් කියන්නෙ කොහොම හරි කැමැත්ත ගන්න ඕන කියල. වද කරල වද කරල හරි කමක් නෑ.

    @All
    අනිත් කාගෙත් මතේ මගේ මතේට සමානයි. ඒ කියන්නෙ ඒක තමයි හරි දේ. අම්මගෙ තාත්තගෙ ආශිර්වාදය තියනව නම් අපිට කවදාවත් වරදින එකක් නෑ. හැබැයි අපි මතක තියාගන්න ඕන කවද හරි අපි දෙමව්පියො වුන දවසක පටු විදියට බලන්නෙ නැතුව දරුවන්ගෙ පැත්තෙන් හිතල දරුවන්ට හොඳ දෙයක් දෙන්න.

    ReplyDelete
  10. දෙමව්පියන්ට හොරෙන් කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. එත ඒ හැම වෙලාවකදීම නෙමෙයි

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.