twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, July 8, 2011

"මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී" ද?

දහම් පාසල් පොතේ කවියක් තියනව නේද, "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී, බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී" කියල? තනි කෙප්ප. ඕක කියපු කෙනා පොඩ්ඩක් හම්බවෙන්න ඕන. දෙකක් කියන්න, පොඩි එවුන්ට බොරු කියනවට. දුක සැප නෙමෙයි, උන්නද මලාද බලන්න එකෙක් නෑ. අනේ උන්ගෙ වැරද්දක් නෙමෙයි ඉතින්. හැමෝම රස්සාවලට ගිහින්, ඇත්තටම උන්ට වෙලාවක් නෑ.

ඉස්සර අපි කොච්චර නම් ෆන් එකේ හිටියද? O/L කාලෙ ඉඳල පුලුවන් හැම වෙලාවකම කට්ටිය අපේ ගෙදර සෙට් වුනා. කකුල් රිදෙනකල් බයිසිකල් වල එහෙ මෙහෙ ගියා. ඒ කාලෙ කොහොමත් තෙලේ වැඩිවෙන කාලෙනෙ. කොච්චර බයිසිකල් පැද්දත් ගානක් නෑ. බණ ගෙයක්, පිරිත් ගෙයක්, මලගෙයක් නම් අනිවා නයිට් එක ගහනව. අපේ ගෙදර එහෙමනම් දානෙ තිබුන දවසෙ රෑත් නයිට් එක ගහනව. සමහර වෙලාවට එහෙ මෙහෙ ගිහින් එද්දි පාන්දර තුන හතර වුන වෙලාවල් තිබුන. අපේ ගෙදරින් මගේ ගැන ලොකු විශ්වාසයක් තියල තිබුනෙ. ඒ නිසා ඒවට ප්‍රශ්නයක් වුනේ නෑ. අපෙ ගෙදරින් විතරක් නෙමෙයි අපෙ අනිත් උන්ගෙ ගෙවල් වලිනුත් මගේ ගැන ලොකු විශ්වාසයක් තිබුන. මම යනවනම් විතරයි රෑ ගමන් වලට ගොඩක් උන්ට අවසර ලැබුනෙ. ඒ වගේම අපි කවදාවත් ඒ විශ්වාසෙ කැඩුවෙ නෑ. කොහේ හරි ගිහිල්ල එන්න රෑ වුනොත් එදා රෑත් ඉතින් අපේ ගෙදර තමයි. අපේ අම්මයි තාත්තයි හැමදාම යාලුවො එක්කගෙන එනව කියල නම් කවදාවත් මට බැනල නෑ. මටත් වැඩිය හොඳට ඒ දෙන්න මගේ යාලුවන්ට සැලකුව. හැබැයි හැම අම්මෙක් තාත්තෙක්ම එහෙම නෑ.

මම A/L කරන කාලෙ බොඩිමකට ගියාට පස්සෙ කට්ටිය සෙට් වෙන එක ටිකක් අඩු වුනා. (වැඩි ඈතක නම් නෙමෙයි, ගෙදර ඉඳල 8km බෝඩිමට තිබුනෙ.) ඒත් මම ගෙදර ආව කියල ආරන්චි වුනොත් එදාට දෙතුන් දෙනෙක් හරි සෙට් වෙනව. ඔහොම ඉඳල වසන්තය උදාවෙන්නෙ A/L ඉවර වුනාම. මම ජීවිතේ වැඩියෙන්ම විනෝද වුනේ ඒ කාලෙ වෙන්න ඇති. අපේ සෙට් එකේ 9ක් හිටිය. එතන අපේ අයියගෙ (ලොකු අම්මගෙ පුතා) යාලුවෙකුයි, අපේ යලුවෙක්ගෙ අයිය කෙනෙකුයි (නැන්දගෙ පුතා) ත් හිටිය. ඒ දවස් වල ඉතින් හැමදාම හවසට අපේ ගෙදර 7ක් 8ක් සෙට් වෙනව. ඒ කාලෙම කලේ කාඩ් ගහපු එක. අටක් ඉන්න දවසට ටීම් හතරක් බෙදිල ලීග් ක්‍රමයට ඕම්බි ගහනව. 7යි නම් පෝටර් ගහනව. 6ක් වුනොත් ටීම් තුනක් බෙදිල ඕම්බි ගහනව, නැත්තන් පෝටර් ගහනව. උන්ට හැමදාම තේ දෙන්නම බර වියදමක් ගියා. ඒ කාලෙ සති දෙක තුනකට සැරයක් ඕම්බි නයිට් එකක් ප්‍රකාශයට පත් කරනව. එදාට එලි වෙනකල්ම ඉතින් කාඩ් ගැහිල්ල තමයි.

බ්ලොග් ලියන සමහර අය දන්නව ඇති මහිම කියල ඩයල් එකක්. පරණම බ්ලොග් පාඨකයෙක්. මිනිහ බ්ලොග් ලියන්නෙ නම් නෑ. මිනිහ තමයි මටත් බ්ලොග් එකක් හදන්න අදහස දුන්නෙ. ඔන්න ඕකත් අපේ සෙට් එකේ එකෙක් තමයි. අයියෝ ඒ යෝධය ගියෙත් මම ගියපු ප්‍රයිමරියටමයි, ලොකු ඉස්කෝලෙට ගියාම ඒකෙත් හිටිය, මම ගියපු ස්කූල් වෑන් එකේමයි ගියෙත්, මම O/L ගියපු පන්ති වලත් හිටිය, බස් එකේ ඉස්කෝලෙ යන කාලෙත් ගියේ මාත් එක්ක, අන්තිමට A/L කරන කාලෙ මම හිටපු බෝඩිමේමයි හිටියෙත්. දැන් නම් පොර දකින්නෙත් බොහොම කලාතුරකින්. ජොබ් එකක් කරනවනෙ. කොහොමත් දැන් මිනිහ ඉන්නෙත් වෙන සෙට් එකක් එක්ක.

කොහොම හරි ඒ කාලෙ පුදුම විදියට කාඩ් ගැහුවෙ. තඩි මල්ලක් පුරවල තියනව පරණ කාඩ් පැක්. කාඩ් ගහනකොට ලකුණු දැම්මෙ එක්සෙල් ශීට් වල. එතකොට කොල වල ලියල එකතු කර කර ඉන්න ඕන නෑ නෙ. මම කැම්පස් ගියාට පස්සෙ හැමදාම සෙට් වෙන එක නැවතුනා. ඒත් මම හැම සති අන්තයකම ගෙදර දුවගෙන ආව. ඊට පස්සෙ සති අන්තෙ කාඩ් ගහන්න පටන් ගත්ත. කට්ටියම සෙට් වෙලා ඉන්නෙ සති අන්තෙ මම ආවම කාඩ් ගහන්න. ඒ කාලෙ සති අන්තෙ එනකල් හරි අමාරුවෙන් මම ඉන්නෙ. ලෙක්චර්ස් ඉවර වුන ගමන් එහෙමම බස් එකේ නගිනව. මම first year එකේදි සති දෙකක් හරි තුනක් හරි තමයි ගෙදර නෑවිත් ඉඳල තියෙන්නෙ. ඒ කාලෙ ගොඩක් උන්ගෙ ගෙවල් වල බයික් තිබුන නිසා ඇති වෙනකල් රවුම් ගැහුව. වෙසක්, පොසොන්, ප්‍රදර්ශන, ෆිල්ම් බලන්න; ඔය හැම එකටම ගියා.

පස්සෙ එක එකා අඩු වුනා. එකෙක් රට ගියා. තව උන් එක එක ඩිප්ලෝමා වලට ගියා. ඒක නිසා සති අන්තෙ වත් එන්න වෙලාවක් ලැබුනෙ නෑ. මහිමයත් ජොබ් එකකට ගියා. තව ටික කාලෙකින් දෙන්නෙක් කොළඹ ජොබ් වලට ගියා. අන්තිමට සති අන්තෙ හැරෙන්නවත් ඉඩ තිබුනෙ නැති මගේ කාමරේ ඉතුරු වුනේ තුන් දෙනයි. ඕම්බියක් වත් ගහන්න කට්ටිය නැති වුනා. ඊට පස්සෙ ඉතින් අපි තුන් දෙනා එක්ක පහට තුනට දෙක ගහපු එක තමයි කලේ. ඒ එකෙක් NDT. සති අන්තෙ ඌත් ආවෙ නැති වුනොත් ඉතින් දෙන්නයි. එහෙම වුන දවස් ඕන තරම් තිබුන. අර ඉතුරු අනිත් එකා නම් හැමදාම වගේ ආව. ඌ මොන්ටිසෝරි කාලෙ ඉඳලම මාත් එක්ක හිටියෙ. ඌත් දැන් ජොබ් එකකට යනව. 7ට විතර වගේ තමයි මේ පැත්තෙ එන්නෙ. S.B. මාමට පින් සිද්ද වෙන්න මේ දවස් වල ගෙදරනේ. මේ දවස් වල ඉතින් මරන්න වගේ. අර NDT එකත් ටික දවසකට ජොබ් එකක් හොයාගෙන. දැන් නම් අපි දෙන්න විතරමයි.

ඉස්සර අපේ ගෙවල් වල මොන වැඩේ තිබුනත් බයක් නෑ. කෝල් දෙක තුනක් දුන්නම විනාඩි විස්සකින් විතර පහක් හයක් සෙට් වෙනව. ප්‍රශ්නයක් වුන හැම වෙලාවකම, මානසිකව වැටුනු හැම වෙලාවකම උන් ටික ලඟ හිටිය. කැම්පස් එකේ හම්බවුන යාලුවො කවදාවත් උන් තරම් සමීප වුනේ නෑ. මාව තේරුම් ගන්න පුලුවන්, මාත් එක්ක අවුලක් නැතුව ඉන්න පුලුවන් උන්ට විතරයි. ඉස්සර හැමදාම ගෙදර දුවගෙන ආවෙ ඒකයි. පස්සෙ නම් ගෙදර එන එක ගොඩක් අඩු වුනා. දැන් නම් ඉතින් කවුරුවත් නෑ.  වෙනද වගේ එපා වෙනකල් කාඩ් ගහන්න, ඔහේ කියව කියව ඉන්න, ගොං පාට් එකක් දාල හිනා වෙන්න, කොහෙහරි ඇවිදින්න යන්න දැන් විදියක් නෑ. හැමෝම රස්සාවලට ගිහින්. හැමෝම තම තමන්ගෙ ජීවිත ගොඩ නගාගන්න උත්සාහ කරනවා. මම විතරක් මේ කාමරේට වෙලා ඉන්නවා. බැඳීම් වැඩි වුනාම දුකත් වැඩියි කියනව නෙ. ඒ වගේ යාලුවො නිසා හිත රිදුන වෙලාවලුත් තිබුන. මම හැම සති අන්තෙම කැම්පස් ඉඳල දුවගෙන ආවට පස්සෙ කාලෙ අනිත් උන්ට ඒ වෙනුවෙන් වෙලාවක් නැති වුනු දවස් තිබුන. කෙල්ලත් එක්ක රවුම් ගහල, ශොපින් ගිහින්, සේරම වැඩ ඉවර කරල ඉඩක් තිබුනොත් තමයි මේ පැත්තෙ ආවෙ. ඒකට වැරැද්දක් කියන්න බෑ ඉතින්. අපි කාටත් ප්‍රමුකතා තියනව නේ. ඒව කාලෙන් කාලෙට වෙනස් වෙනව. ඇත්තටම වෙන්න ඕනත් එක තමයි. හැමදාම සෙල්ලම් කර කර ඉන්න බෑ නෙ. අමාරුවෙන් හරි මාත් ඒක තේරුම් ගත්ත. දැන් නම් එච්චර ගානක් නෑ. කවුරුවත් නැති වුනොත් බ්ලොග් එකක් කියව කියව ඉන්නව.

කොහොම හරි කාලෙකට පස්සෙ පහුගිය වෙසක් දවස් වලයි, පොසොන් දවස් වලයි ඕම්බියක් ගහන්න හතර දෙනක් යන්තන් සෙට් වුනා. කට්ටිය වෙසක් බලන්නත් ගියා මේ පාරත්. වෙසක් එකට කාටත් නිවාඩු නිසා තව ටික කාලයක් ඒක නම් කරන්න පුලුවන් වෙයි. ෆෝන් වලින් තමයි ඉතින් දැන් යාලුකම තියාගෙන යන්නෙ. දැන් මෙහෙම නම් අපි පවුල් පන්සල් වෙච්ච කාලෙක ඉතින් කතාකරන්නවත් වෙලාවක් නැති වෙයි. එහෙම තමයි ඉතින් ජීවිතේ. ඉස්සර වගේ හම්බවෙන්න බැරි වුනාට ඒ යාලුකමේ නම් වෙනසක් වෙලා නෑ. ඒක හැමදාටම එහෙම තියේවි. ඒ වගේම මම හිතනව කවද හරි දවසක ආයෙත් 8 දෙනෙක් සෙට් වෙලා ඕම්බියක් ගහන්න පුලුවන් වේවි. කොයි කාලෙකද කියන්න දන්නෙ නෑ. ඒත් කවද හරි ආයෙත් එහෙම දවසක් ඒවි.

 (මේක මහිමය මාව ෆේස්බුක් එකේ ටැග් කරපු ෆොටෝ එකක්.)
 
ප.ලි.  ආහ්, අපෙ සෙට් එක ගැන තව දෙයක් මේ ලඟදි දැන ගත්ත. මම හිතුවෙ මුන් ඔක්කොම මම වගේම අමද්‍යපයි කියල. බැලින්නම් මම ඇරෙන්න අනිත් සේරම පොඩියට හරි ගසනවලු. බීගෙන වැටිල චාටර් වෙන උන් නම් නෑ. මුන් අපේ නංගිගෙ පාටිය දවසෙත් ලඟ තැනක හොරෙන් සෙට් වෙලා දෙකක් දාල ඉඳල තියෙන්නෙ.  

ප.ලි.ප.ලි. මේක නිකන් බෝරින් වගේ නම් කියවපු අය සමාවෙන්න ඕන. ඊයෙත් අපි දෙන්න විතරයි හිටියෙ. ටිකක් වෙලා කතා කර කර ඉඳල ඌ යන්න ගියා. ඒකයි මෙහෙම එකක් ලියන්න හිතුනෙ.

12 comments:

  1. ඔය කියන මහිමයාව මමත් කමෙන්ට් වලින් දැකලා තියෙනවා උනාට බ්ලොග් එකක් නම් දැකලා නෑ.මොනා උනත් ඌ කරලා තියෙන්නේ හොඳක්. මොකද නැත්නම් කසුනා කවදාවත් බ්ලොග් ලියන්න එන්නේ නෑනේ.

    කිව්වත් වගේ මටත් තියෙන්නේ ඔය සීන් එකමයි. මාත් එක්කත් එකට හිටපු සෙට් එක දැන් සීසීකඩ ගිහින්. දුකයි. ඉස්සර ගත්ත ෆන්, කරපු සෙල්ලම්, ඒ වගේම මෝඩ වැඩ දැන් කරන්න බෑ.

    අපේ සමහරු වෙන වෙන කැම්පස් වල, සමහරු ජොබ් කරනවා. ඒ නිසා නිවාඩු ගන්න බෑ. සමහරු කසාද බැදලා. ඒ නිසා ගෑනි එන්න දෙන්නේ නෑ.බර බරේ දානවා.

    කාලෙත් එක්ක ඉස්සර තිබ්බ සරල ගතිය දැන් කට්ටියගෙන් පේන්නවත් නෑ. ජීවිතය කියනදේ කාලයත් එක්කම සංකීර්ණ වෙනවා. ඒකට අපි හැඩ ගැහෙනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ.

    ඉස්සර විදිහට ඔහේ වැනි වැනි ඉස්කෝලේ ගිහින් ඇවිත් සෙල්ලම් කරලා පිස්සුවක් නටලා ඉන්න බෑ. එන්න එන්නම වගකීම් තියෙනවා. ගෙදර කට්ටියට සලකගෙන ඉන්න ඕනේ. ඉස්සර වගේ ගෙදරින් කාලා ඔහේ ඉන්න බෑ. අවුරුදු විසි ගානක්ම කන්න දුන්නනේ. ඒ නිසා අම්මලා උනත් අපි ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ අපි හොද රස්සාවක් කරලා ඒයැයිව බලාගනී කියලා.


    අනේ මන්දා මේ ටික මට මේ මාස එකහමාරක් ගෙදර ඉන්නැද්දි හිතුන දේවල්. ඔහේ අමු අමුවේ කොටලා දැම්මා.

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත කසුන් මලයෝ... ඉස්කෝලේ යනකොට වගේ නෙමෙයි දැන් අපේ ජීවිත ගොඩක් වෙලාවට වෙනස් වෙලා සංකිර්ණ වෙලා.. එක ඉතින් කාගෙවත් වරදක් නෙමෙයි... එක දැන් සමජයේ හැටි..

    ඉස්සර අපි නිදහස්.. වගකීම් නෑ.. හිතුන දේ හිතුන වෙලාවට කලා.. ඒත් දැන් සමහර වෙලාවට මොකක් හරි වැඩකට කට්ටිය එකතු කර ගන්න ගියහම කරන වැඩෙත් ටිකක් විතර කම්මැලි වෙලා..

    ජීවිතේ කඩයිම් වලදි ඔහොම තමයි.. අර කිවුවත් වගේ පවුල් පංසල් උන දාට ඔය ටිකටවත් වෙලාවක් නැතිවේවි.. ඒත් හැමදාම මුන නිගැහුනත් හිතේ යාලුකම් තියෙනවනම් ඒ යාළුකම් හැමදාටම ආරක්ශා වෙලා තියෙනවා...

    ReplyDelete
  3. කසුන් අයියා කියන එක නම් \ඇත්ත, අපිටත් තව කාලෙකින් ඔහොම තමා. මොනව කරන්න ද හැමදේම හැමදාව එකවගේ තියෙන්නේ නෑ නේ

    ReplyDelete
  4. adoo mamathamat අමද්‍යපයි thamai ban
    anithwa set wela katha karamu

    ReplyDelete
  5. @මධුරංග
    ඒක ඇත්ත මධුරංගයෝ. ඒකට හැඩ ගැහෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ඒත් ඉඳල හිටල හරි අමාරුවෙන් හරි වෙලාවක් දාගන්න ඕන යාලුවොත් එක්ක සෙට් වෙන්න. නැත්තන් දන්නෙම නැතුව යාලුකම් මග ඇරෙන්නත් පුලුවන්.

    @Dinesh
    ඔව් අයියා, මේ ප්‍රශ්නෙට මුල මේ සමාජ ක්‍රමය තමයි. හැමතැනම තියෙන්නෙ තරඟයක් නෙ. ඒ තරඟෙට වැටුනම යාලුවො තියා අම්ම තාත්ත ගැනවත් බලන්න වෙලාවක් නැති වෙනව.

    හැමෝම එකතු කරගෙන වැඩක් කරන්න නම් ලොවෙත් බෑ. අපෙත් වැඩ දෙක තුනක්ම මග ඇරුන ඔක්කොම සෙට් කරගන්න ගිහින්.

    @බීටා
    ඔව් මලේ, ඔය කාලෙ පුලුවන් තරම් යාලුවො ලඟින් තියා ගනින්. එතකොට පස්සෙ කාලෙක හම්බවෙන්න වෙලාවක් නැති වුනත් පරණ දේවල් මතක් කරල හරි සතුටු වෙන්න පුලුවන්.

    @mahima
    ආහ් එතකොට බියර් බොන එක ගනන් ගන්නෙ නැද්ද අමද්‍යප කියනකොට?

    ReplyDelete
  6. kawadda yako mama beer biwe?

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. @mahima
    හරි ඉතින් නැත්තන් කමක් නෑ.

    ReplyDelete
  9. මේක මාරෙට දැනෙනව බන්... අර මහිමයගෙ කවියයි ලිපියයි දෙකම. මගේ හිතෙත් තියෙන දුක නේද මේ කියල හිතෙනව බන්... ඒත් ඕක හැමෝටම පොදු දෙයක් බන්... බැන්දල දරු පවුල් කාරයො උනාම ඔය ටිකත් නෑ... ඒක තමයි තිත්ත ඇත්ත.

    ස්කෝලෙ කාලෙ යාලුවෙඔ වගේ නෙමෙයි බන් ඊට පස්සෙ හම්බෙන උන් බොහොම ටිකයි බොක්කට වදින්නෙ....

    ReplyDelete
  10. @පිස්සා
    දුක වුනත් ඇත්ත නම් ඒක තමයි. කරන්න දෙයක් නෑ ඉතින්. සහෝ කිව්ව වගේ කොච්චර යාලුවො හම්බවුනත් මුලින්ම සෙට් වෙන උන් තරම් පස්සෙ අඳුන ගන්න අය හරි යන්නෙ නෑ තමයි.

    ReplyDelete
  11. මහිම අයියේ ස්තුති හොදේ

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.