මා මේ ලිපිය ලියන්නේ තරමක් ආවේගයෙන් සහ කලකිරීමෙනි. මෙය පෝස්ට් එකක් දැමීමේ බලාපොරොත්තුවෙන් ලියන්නක් නොව හිතේ ඇතිවූ ආවේගයට හා කලකිරීමට ලියවෙන්නකි. මම අද ලොකු අම්මා සමග දානයකට සහභාගී වුනෙමි. ඒ වැඩිහිටි නිවාසයක දානයකටය. එම වැඩිහිටි නිවාසය මගෙ නිවසට තරමක් ආසන්නයෙන් පිහිටා තිබුනේය. අප රාත්‍රී ආහරය රැගෙන යන විට ඔවුන් තැන් තැන් වලට වී අප එන තුරු බලාසිටියෝය. රෑ වුනු පසු රාත්‍රී ආහාරය ගෙන නින්දට යනු විනා කිරිමට කිසිත් ඔවුන්ට නැත. අප එහි ගිය පසු හැමෝම බුද්ධ පූජාව පිළිගැන්වීමට බුදු පහන අසලට රැස් වුනෝය. එහි වැඩිහිටියන් 30 දෙනෙක් සිටිති. බුද්ධ පූජාව නිමවූ පසු හැමෝම කෑම කාමරය දෙසට පිය මැන්නෝය. එහි බොහෝ තැන් වල කොට තාප්ප සහ අත් වැටවල් පිහිටා තිබුනේ දෙපා හරි හැටි වාරු නැති වැඩිහිටියන්ට වාරුවක් වන අටියෙනි. කෑම කාමරය බිම් මට්ටමෙන් තරමක් පහලින් පිහිටා තිබූ බැවින් එයට පිවිසීමට පඩි පෙලක් බැස යා යුතුය. හැමොම ඉන් පහලට බැස ගත්තේ පඩි පෙලේ බිත්තියේ සවිකර තිබූ අත්වැටේ ආධාරයෙනි. ඔවුන් පහලට බැසීමට ගන්නා වෙහෙස තරමක් ඈතින් සිටි මට පැහැදිලිව පෙනුනි. කොහොමවත් පහලට බැසීමට නොහැකි සීයලා 6 දෙනෙක් එහි විය. ඔවුන්ට කෑම බෙදා ඇඳ අසලට ගෙනවිත් දිය යුතු බව පාලකයා පැවසීය. හැමෝම කෑම කාමරයේ අසුන් ගත් පසු අපි කෑම බෙදන්නට පටන් ගත්තෙමු. තරමක් බරින් වැඩි වූ නිසා පරිප්පු භාජනය මට පැවරිනි. කෑම බෙදීමට පෙර කනවාදැයි අසා බෙදන ලෙස පාලකයා අපට උපදෙස් දුන් නිසා හැමෝගෙන්ම වෙන වෙනම අසා අවශ්‍ය තරමට පමණක් කෑම බෙදීමට අපි වග බලා ගත්තෙමු. ඔවුන් කෑම ගැනීම ආරම්භ කරන්නේ කෑම බෙදා අවසන් වී දානය දුන් අයට පින් දීමෙන්ද අනතුරුවය.
කෑම ගන්නා අතරතුර මම හැම කෙනාගේම මුහුනු දෙස පරීක්ෂාවෙන් බැලීමි. ඒ මුහුණු වල කිසිම හැඟීමක් සටහන්ව නැත. සතුටක් කියා දෙයක් ඇත්තේම නැත, දුකක්ද නැත. දුක යනු ඔවුන්ට බොහොමත්ම සාමාන්‍ය හැඟීමක් වෙන්නට ඇත. එම නිසා එය ඔවුන්ගේ මුහුණු වල කිසිත් සටහන් නොකරයි. කෑම ගන්නා අතරතුර වැරදීමකින් හෝ ඒ මුහුණක සිනාවක් මතු වේදෝයි මම විපරම් කළෙමි. එහෙත් මම අසාර්ථකය. හිස් බව විනා ඒ මුහුණු වල කිසිත් නැත. ඔවුන් කන අතරතුර අපි විටින් විට අඩු පාඩු අසා කෑම බෙදුවෙමු. අසුවොත් විනා බොහෝ දෙනෙක් අඩු පාඩුවක් තිබුනද නොකියති. කෑම කා අවසන් වූ පසු කැවිලි කීපයක් පිලිගැන්විනි. බොහෝ දෙනා එය පසුව කන්නට රැගෙන ගියෝය. ඉන්පසු ඔවුන් කෙලින්ම පියමැන්නෙ තමන්ගේ නිදන ශාලා වෙතටය. මා කලින් කිව්වා සේ කෑම කා නිදා ගනු විනා කිරිමට කිසිත් ඔවුන්ට නැත. කතා බහ කිරීමට දරු මල්ලන් නැත, සුරතල් කිරීමට මුණුබුරු මිණිබිරියන් නැත. ආච්චිලාගේ නිදන කාමර එක ශාලාවකත් සීයලාගේ නිදන කාමර තවත් ශාලාවකත් පිහිටා තිබුනි. ඔවුන් ඒ දෙස සෙමෙන් සෙමෙන් පිය මැන්නෝය. ඔවුන් බොහෝ දෙනා ශාලා දෙසට ගියේ "අපි යන්නම් පුතේ, බුදු සරණයි" කියාය. රැගෙන ආ භාජන නැවත අසුරා ගන්නා තුරු මම ඔවුන් දෙස බලා සිටියෙමි. ඒ මොහොතේ දහසක් දේ මා සිතට නැගෙන්නට විය.
ජීවිතේ අවසාන කාලය මෙසේ වැඩිහිටි නිවාසයක ගෙවන්න නම් ඔවුන් දුක් මහන්සි වී දරුවන් හැදුවේ කුමකටද? දස මසක් කුස දරා දරුවන් මෙලොවට බිහි කල අම්මාටත් නොවිඳිනා දුක් විඳ දරුවන් පෝෂණය කල තාත්තාටත් අවසානයේ හිමි වන්නේ වැඩිහිටි නිවාසයද? මිනිසුන් මෙතරම් ගුණමකු අසත්පුරුශයන් වූයේ කෙසේද? ඕනෑම අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවන්ට තම පණට වඩා ආදරේය. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඒ ආදරය දරුවන්ගෙන් අම්මලා තාත්තලාට ලැබෙන්නේ නැත්තේ ඇයිද යන්න ලොකු ප්‍රශ්නයකි. මෙය ස්වභාවධර්මයට වැරදුනු තැනක්ද? වැරැද්ද ඇත්තේ කොතන දැයි මට නම් හරි හැටි නොතේරේ.
සාරධර්ම, සංස්කෘතිය හා සිරිත් විරිත් උපරිමයෙන් රකිනවා යයි කියන ලංකාවෙ වැඩිහිටි නිවාස කොපමන ඇත්ද. දෙමාපියන්ට සැලකීම ඒ සංස්කෘතියට අදාල නොවේද? මෙම තත්ත්වය කෙසේ හෝ වෙනස් විය යුතුමය. හොඳින් කියා බැරි නම් නීති මගින් හෝ මෙයට පිලියමක් යෙදිය යුතුව ඇත. වැඩිහිටි නිවාස තුල ඔවුන්ට අවශ්‍ය හැම දේම තිබුනද එතැන එක අඩුවක් ඇත. ඒ සතුටයි. කොතරම් පහසුකම් තිබුනද සතුට කියන දේ ඔවුන් ලඟ නැත. එය රජයටවත්, වැඩිහිටි නිවාස වල පාළකයන්ට වත්, දානය ලබා දෙන අපිට වත් ලබාදිය නොහැක්කකි. එය ලබා දිය හැක්කේ ඔවුන්ගේ දූදරුවන්ටය. එහෙත් ඒ අමන දූදරුවන්ට එයට වෙලාවක් නැත්තා සේය. උන් උන්ගේ ලොක හදාගෙන දෙමාපියන් අමතක කර ඇත.
මම කිසි විටෙක කිසිවෙකුටත් නරකක් වෙවා යයි ප්‍රාර්ථනා නොකරමි. එහෙත් මේ මොහොතේ නම් එය වෙනස්ය. මාගේ එකම ප්‍රාර්ථනය 'තම දෙමාපියන්ට සලකන්නේ නැති දරුවන්ට කිසි දාක හොඳක් නොවේවා, ඔවුන්ට ශාප වේවා' යන්නයි.
ඉතා වටිනා පින්කමකට සහභාගී වුවද මා නැවත පැමිණියේ හිතේ විශාල බරක් හිර කරගෙනය.
ප.ලි. දානය තිබුනෙ ඊයෙ. ඒත් මට ඊයෙ ලියල ඉවර කරගන්න බැරි වුනා. දැන් තමයි ඉවර කළේ.
ඇත්ත. ඒත් කියන්න දෙයක් නෑ.
ReplyDeleteකියන්න දෙයක් හිතට එන්නේ නැ බං
ReplyDeleteවේගයෙන් වුණත් දැණෙන්න ලියල තියෙනව මචන්.
ReplyDeleteමමත් ඔය ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එකක් කරපු ගෑණු ළමයි කට්ටියකට උදව්කරන්න කියලා එයාල එක්ක වැඩිහිටි නිවාසෙකට ගියා දැනට අවුරුදු බර ගානකට කලින්. අර කිව්වත් වගේ එහෙ හිටපු ආච්චිල සීයල හිටියෙ කිසිම හැඟීමක් නැතිව. කරන්න කියල දෙයක් ඇත්තෙත් නෑ.
එංගලන්තෙ ඉන්න මගෙ මිත්‍රයෙක් පහුගිය දවසක මෙහෙ ආපු වෙලේක අපි සෙට් වුණ වෙලාවෙ කිව්ව එහෙ වැඩිහිටි නිවාසයක් ගැන. එහෙ ඒ අයට කරන්න දේවල් ඕන තරම් තියෙනවා. ගෙදර ඉන්නව වගේ තමයි. ඉන්ටනෙට්ද, පොත්පත්ද, ටීවීද, ක්‍රීඩාද වැඩ ගොඩයි. සමහර වැඩිහිටියො උවමනාවෙන්ම ඒ තැන්වලට එනවලු. ඒ අතින් ගත්තම අපේ වැඩිහිටි නිවාස හිර ගෙවල් වගේ කියලත් යාළුව කිව්ව.
මොනව කරන්නද ඒකට. අපි දුප්පත්නේ... :-(
කියන්න දෙයක් හිතාගන්න බෑ බං :(
ReplyDeleteනියමයි සහෝදරයා කියන්න ඕඉන දේ දැනෙන්න ලියලා තියෙනවා.
ReplyDelete@රොබින්, @mahima, @ChAnDiKa
ReplyDeleteකරන්න කියන්න දෙයක් මටත් හිතා ගන්න බෑ බං. ඒත් මේව නොදැක්ක වගේ ඉඳලත් බෑ නේද? අපේ පරම්පරාවෙන් වත් මේ දේ වෙනස් කරන්න පුලුවන් නම් කොච්චර හොඳද.
@hare
ඒ කතාවත් ඇත්ත සහෝ. ඒත් වයසක අම්මට තාත්තට තමන්ගෙ දරුවො ලඟ ඉන්න තියනව නම් ඊට වැඩිය දෙයක් නෑ නේද? මෙහෙමයි, ඒ රටවල මව්පිය-දූදරු සම්බන්ධය අපේ රටවලට වඩා ගොඩක් අඩුයි නෙ. ඒක නිසා ඒ මිනිස්සු කැමැත්තෙන්ම වැඩිහිටි නිවාස වලට එනව ඇති. ඒත් අපේ රටේ වෙනස් නෙ බං. අපේ අම්මල තාත්තල කැමති තමන්ගෙ දරුවො එක්කම ඉන්න නෙ. ඒක නිසා ඒ අඩුව මකන්න ඔය මොන දේ තිබුනත් වැඩක් වෙන එකක් නෑ මම හිතන්නෙ.
@මධුරංග
ස්තූතියි සහෝ. ඒ වෙලාවෙ ඇත්තටම හිතට ආපු දේවල් තමයි ඔය ලිව්වෙ.
http://hansakinkini.wordpress.com/2011/04/08/%E0%B6%92-%E0%B6%AF-%E0%B6%85%E0%B6%B4-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA/#comment-535
ReplyDelete@hansakinkini
ReplyDeleteස්තූතියි අක්කා. මම අක්කගෙ පෝස්ට් එකත් කියෙව්ව. අපිට එයාල වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් නම් කොච්චර හොඳද. මොහොතකට හරි එයාලව සතුටින් තියන්න පුලුවන් නම්.
ගොඩාක් අය දෙමව්පියන්ව වැඩිහිටි නිවාස වලට දාන්නේ, ගැහැණු කෙනෙක්නම් , අනේ මගේ හස්බන්ඩ් කැමති නැහැ මගේ අම්මා ව තියාගන්න. පිරිමියෙක් නම්, මගේ වයිෆ් එක්ක බැහැනේ අම්මා ව තියාගන්න. අන්න ඔහොමයි, අනේ අම්මපා මට ඔහොම මම බැන්ද දාට මිනිහා කියුවොත් අම්මා ව ගෙදරින් යවන්න කියලා, මම කියනවා ඔයාට ඕනනම් යන්න කියලා. නෝනාගේ අම්මට ගරු කරන්න බැරි පිරිමියෙක් අනේ මට නම් එපා.
ReplyDelete