twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Sunday, May 13, 2012

ඔබා මාමේ ඔබට නිවන් සුව....!



අද දවසෙම බ්ලොග් අවකාශේ කියවෙන්නේ එකම දෙයක් ගැන. ඒ කාටත් නොකියම අපි අතරින් යන්නම ගිය ඔබා මාම ගැන. ඔබා මාම මේ හැම කෙනෙක්ගෙම හිතට කොච්චර සමීපද කියන එකට තවත් උදාහරණ ඕන නෑ. හැමෝටම හිත් වලට ඔබා මාමගේ සමුගැන්ම කොච්චර තදින් දැනුනද කියලා අද බ්ලොග් කියෙව්වම හොඳට තේරෙනවා. උදේ ඇහැරුන ගමන්ම මහිමය තමයි කෝල් කරලා ආරංචිය කිව්වේ. 

මම කවදාවත් ඔබා මාම එක්ක පුද්ගලිකව කතා කරලා නෑ. මූණට මූණ හමුවෙලා වත්, ස්කයිප් වත්, ගූගල් චැට් වත්, ෆේස්බුක් චැට් වත් ඔය කිසිම එකකින් ඔබා මාම එක්ක කතා කරලා නෑ. ඔබා මාම මගේ බ්ලොගේට ඇවිල්ල කමෙන්ට් එකක් දාල තියෙන්නෙත් එකම එක පාරයි. හැබැයි ඒ කිසි දෙයක් නැති වුනත් ඔබා මාම කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා හොඳටම තේරුම් ගත්තේ ඔබා මාමගේ බ්ලොග් අවකාශේ පුරාම තියන කමෙන්ට් වලින්. කවමදාවත් කාත් එක්කවත් රණ්ඩු වෙනවා දැකලා නෑ. කාවවත් අවතක්සේරු කරනවා, බනිනවා දැකලම නෑ. වැරද්දක් පෙන්නුවත් බොහොම ආදරෙන් ඒක පෙන්නලා දෙන්නේ. ඒ වගේම විශේෂම දේ ඔබා මාමගේ කමෙන්ට් වලින් වැඩිහරියක්ම කියවලා හිනා වෙන එකයි අපි කලේ. මිනිස්සු හිනස්සන්න ලොකු හැකියාවක් තිබුනා ඔබා මාමගේ කමෙන්ට් වලට. පෝස්ට් එකක කමෙන්ට් උඩින් පල්ලෙන් බලාගෙන යද්දී ඔබා මාමගේ කමෙන්ට් එක දැක්කොත් අනිවා නැවතිලා බලලා යන්නේ.   

තවත්  එකක් තමයි මොකක් හරි වාදයක් රණ්ඩුවක් යන තැනක මම දැකලා තියනවා ඔබා මාම ඇවිත් මොකක් හරි ජෝක් එකක් දාලා කට්ටියව කූල් කරලා යනවා. තමන් හිනා වෙලා ඉන්න ගමන් අනිත් අයවත් සතුටෙන් තියන්න තමයි ඔබා මාමා හැදුවේ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සොඳුරු මිනිසෙක් ඔබා මාමා කියන්නේ. ගතින් මහලු වුනත් හිතින් සුපිරිම තරුණයෙක්. ඒ වගේ කෙනෙක්ගේ ඇසුර ලබන්න මේ බ්ලොග් අවකාශය පින් කරලා තියනවා. හැබැයි මීට පස්සේ මේ බ්ලොග් අවකාශේ අයට ඔබා මාමගේ කමෙන්ට් එකක් බලන්න, ඔබා මාමගේ මඩ පාරක් කන්න පින නැති වේවි. ආව හැම කෙනෙකුටම යන්න වෙනවා, හැබැයි ඔබා මාම වගේ අයගේ මතකය හැමදාම මිනිස්සුන්ගේ හදවත් තුළ ඉතිරි වෙනවා. ඔබා මාම ගියාට ඒ මතකය කවදාවත් අපිව දාල යන්නේ නැති වේවි. 

ඔබා මාමේ නිවන් දකින ජාති දක්වාම අපි අතරේම ඉපදෙන්න. එහෙම ඉපදිලා ඇවිත් කමෙන්ට් එකක් දාලා මේ බ්ලොග් අවකාශේ ලස්සන කරලා යන්න. අපි බලාගෙන ඉන්නවා.

12 comments:

  1. මටමතකයි මහා ආන්දෝලනාත්මක ප්‍රශ්නෙක හරි හරියට කට්ටිය කමෙන්ට් කරගන්නවා දිග දිග හෑලි.. ඔබා මාමාගේ කමෙන්ටුව තිබුනේ "සෑහෙන්න බොන්න ඕනා ප්‍රශ්නයක්" කියලා විතරයි. එකට පොඩි මෑන් දාලා තිබුනේ බොමු ඔබා මාමේ කියලා. එකෙන්ම තේරෙනවා කොච්චර සාමාන්‍ය මනුස්සයෙක්ද අපිට නැති වුනේ කියලා.

    ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !

    ReplyDelete
  2. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  3. ඔබා අයියාට නිවන් සුව ලැබේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  4. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ අපිට ආයෙම මුණ නොගැහේවි.. ඒ තරමටම ඔහු අපිට සමීපයි, ලෙංගතුයි..

    ඔබට නිවන් සුව මාමේ..

    ReplyDelete
  5. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  6. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  7. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  8. නිවන් සුව ඔබා මාමෝ....

    ReplyDelete
  9. සුභ රාත්‍රියක් ඔබා මාමේ... නින්දෙන් නැගිටලා ආයෙත් බ්ලොග් ලෝකෙටම එන්න... ඔබට නිවන් සුව !!!

    ReplyDelete
  10. ඔබා මාමේ ඔබට නිවන් සුව....

    ReplyDelete
  11. නිවන් සුව අත් වේවා ඔබා මාමෙ....

    ReplyDelete
  12. උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.