twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, August 12, 2011

පමාවී දුටු සිහිනය

මට ආයෙත් පොඩි කතාවක් ලියන්න හිතුන. මේක නම් එකාංගික කතාවක්. පෝස්ට් එක ගොඩක් දිගයි වගේ පෙනුනට කියවනකොට එච්චර දිග නෑ. දෙබස් ගොඩක් තියන නිසයි එහෙම පේන්නෙ. හරි, කියවලම බලන්නකෝ. වැරැද්දක් අඩුපාඩුවක් තියනව නම් කියල යන්න, හිත රිදෙයි කියල නොකිය ඉන්න එපා.
....................................................................................................................................................................

මැදි විය ඉක්මවා ජීවිතේ සැඳෑ සමයට එළඹෙමින් පවතින යුවලක් වන සිරිසේන හා කමලා සූදානම් වූයේ දවල් කෑමට සිරිසේන ගේ හොඳම මිතුරෙකු වූ විජේදාස ගේ නිවස බලා යාමටයි. ඔවුන් එලියට විත් දොර වසනවාත් සමගම ගේට්ටුව සද්ද වූයෙන් දෙදෙනාම හැරී බලුවෝය.

"අනේ.. දුව!"

ඇය දිව විත් කමලාවත්, සිරිසේනවත් වැලඳ ගත්තාය. ඊලඟ මොහොතේ ඇගේ දෑස් අගින් කඳුලු කැට කීපයක් කඩා වැටෙන්නට විය. ඒවා පිසදැමූ කමලා ඇගේ මුහුණ පිරිමදින්නට විය.

"කොච්චර කාලෙකින්ද දූව දැක්කෙ. අපි කොච්චර ආසාවෙන්ද හිටියෙ මේ මූන බලාගන්න."

"මාත් කවදද එන්නෙ කියල බලාගෙන හිටියෙ අම්මෙ. අම්මයි තාත්තයි කොහෙද යන්න හැදුවෙ?"

"අපි යාලුවෙක්ගෙ ගෙදර දවල් කෑමකට යන්න කියල හැදුවෙ දුවේ. නෝනෙ, මම කියන්නද. ඔයා ඉන්න මම ගිහින් එන්නම්. අපේ කෙල්ල සති ගානකින් ආවට පස්සෙ තනියම දාල යන්නෙ කොහොමද."

"අනේ ඔව් මහත්තයෝ, මාත් ඒකමයි හිතුවෙ. එහෙම කරමු."

"අනේ ඔය දෙන්න ගිහින් එන්න, කමක් නෑ."

"ඔව් එහෙම කරමු නෝනෙ."

"අයියෝ ඉතින් කියන දෙයක් අහන්නෙ නෑ නෙ. අම්මයි තාත්තයි ගිහින් එන්නකො, මම මාස ගානකට මෙහේ ඉන්න බලාගෙන ආවෙ."

"හරි හරි, ඒක කමක් නෑ දුවේ. තාත්ත ගිහින් ඒවි."

තව දුරටත් තර්ක කිරීම නිශ්ඵල බව තේරුම් ගත් කල්පනා නිහඬ වූවාය.

"හරි මහත්තයෝ එහෙනම් පරෙස්සමින් ගිහින් එන්න. බුදු සරණයි. විජේට විස්තරේ කියන්න."

"හරි. මම එහෙනම් ගිහින් එන්නම් දුවේ."

"හොඳයි තාත්තෙ. බුදු සරණයි."

සිරිසේන නොපෙනී යනතෙක් හිඳ කමලාත්, කල්පනාත් ගෙතුලට ගියෝය.

"දුව ඇඳුම් මාරු කරගෙන එන්න. මම තේකක් හදන්නම්."

"හරි අම්මෙ"

කල්පනා කාමරය තුලට විත් දොර අසල නැවතුනාය. දෑස පියාගත් ඈ දීර්ඝ හුස්මක් ඇතුලට ගත්තාය. මල් සුවඳක් විඳින්නාක් මෙන් කීප විටක්ම ඇය කාමරයේ සුවඳ ආඝ්‍රහනය කලාය. මේ කාමරය හා බැඳුනු ඇගේ මතකයන් කොතරම් නම් ඇත්ද? කමලා තේ රැගෙන සාලයට එන විටත් කල්පනා එලියට පැමිණ නොසිටියාය. ඈ කාමරයේ එහා මෙහා ඇවිදිනු දොර රෙද්ද අතරින් කමලා දුටුවාය. නිරායාසයෙන් ඉහලට ඇදුනු දීර්ඝ හුස්ම පිටකල කමලා ඇයට කතා කලාය.

"දූ එන්න තේ බොන්න."

කමලාගේ හඬින් පියවි සිහිය එලවාගත් කල්පනා කාමරයෙන් එලියට ආවාය.

"ඇයි අම්ම බොන්නෙ නැද්ද?"

"මායි තාත්තයි තේකක් බීපු ගමන් එලියට බැස්සෙ දුවේ."

"හ්ම්ම්. තේක නම් හරිම රසයි අම්මෙ. මට තාමත් බෑ නෙ අම්ම වගේ රසට තේ හදන්න."

"ඔන්න මාත් ආයෙ ආව." කියමින් සිරිසේනද ගෙට ගොඩවිය.

"ඇයි මහත්තයො ආයි ආවෙ?"

"මට යන්න හිත දුන්නෙ නෑ නෝනෙ. කොච්චර කාලෙකින්ද කෙලී ගෙදර ආවෙ."

"අයියෝ මම දන්නෙ නෑ, ඔය දෙන්නට නම් පිස්සු. අපරාදෙ, කලින් දන්නව නම් මම අද නෑවිත් හෙටම එනව."

"විජේගෙ හිත නරක් වෙයිද දන්නෙ නෑ මහත්තයෝ."

"නෑ නෑ, මම මිනිහට කතා කලා. තාම අපිට උයන්න පටන් ගත්තෙ නෑ කිව්ව. මම විස්තරේ කියල කිව්ව පස්සෙ දවසක එන්නම් කියල."

"හ්ම්ම් දැන් එහෙනම් මට දවල්ට උයන්න පටන් ගන්න වෙනව."

"යමු, අද මාත් එනව උයන්න. අම්ම ඇඳුම් මාරු කරන් එන්නකො."

ඇය පැමිණි පසු එහි වූ පාලුව මුලුමනින්ම නැති වූවා නොවේදැයි සිරිසේනට සිතුණි.

"තාත්තත් එන්නකො, ඒ පැත්තෙන් වාඩි වෙලා ඉන්න." ඇය සිරිසේනගේ අතින් අදින්නට විය.

"යමු එහෙනම්, මාත් එන්නම්."
....................................................................................................................................................................

ඔවුන් දිවා ආහාරය අවසන් කර ආලින්දයට වී සතුටු සාමීචියේ යෙදන්නට විය. ඒ මොහොතේ ඔවුන් බලාපොරොත්තු නොවූ අමුත්තෙක් අවසරයකින් තොරවම ගෙතුලට පැමිණියේය.

"ආහ් සහන් පුතා!"

"ආනේ සහන්, කොච්චර කාලෙකින්ද දැක්කෙ. එන්න වාඩි වෙන්න. දැන් ඉතින් අපිව මතක් වෙන්නෙවත් නෑ නේද? කෝල් එකක් වත් දුන්නෙ නෑ මතක ඇති කාලෙකින්." කල්පනා නෝක්කාඩු කියන්නට විය.

"අනේ එහෙම එකක් නෑ කල්පනා."

සහන් වෙනදාට වඩා වෙනස් බවත්, යම් අපහසුතාවයකින් සිටින බවත් සිරිසේනට වැටහිනි.

"පුතා, මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"අ... නෑ අංකල්, ප්‍රශ්නයක් නම් නෙමෙයි. මට ඇන්ටියි අංකලුයි එක්ක දෙයක් කතා කරන්න තියනව."

"ආහ්, එතකොට මම යන්න ඕනද?" කල්පනා ඇසුවේ සිනාසෙමිනි.

"නෑ, ඔයත් ඉන්න එක වැඩිය හොඳයි කල්පනා." ඔහුගේ පෙනුම බැරෑරුම්ය, සියල්ලන්ම ඔහු දෙස නෙත් යොමාගෙන සිටින්නෝය

"මම අද ඔයා ඉන්නව කියල නම් දන්නෙ නෑ. මම ඇන්ටියි අංකලුයි එක්ක කතා කරන්න ආවෙ. ඒත් මම ආවෙ ඔයා ගැන කතා කරන්න කල්පනා."

"මගේ ගැන?"

"ඔව්"

මද නිහැඬියාවක් පැතිර ගියේය. සහන්ගේ මුවින් පිටවන ඊලඟ වදන් පෙල ඇසීමට හැමෝම නොයිවසිලිමත් විය.

"මගේ ගැන වැරදියට හිතන්න එපා. අංකල් මම කැමතියි කල්පනාව කසාද බඳින්න."

කල්පනාට ඒ වදන් පෙල ඇසුනේ හෙනයක් පුපුරන්නාක් මෙනි. ඇය අයාගත් මුවින්, ඉහලට ගත් හුස්ම පහලට හෙලා ගත නොහැකිව සහන් දෙස බලා සිටියාය. සිරිසේන හා කමලාද දැඩි ලෙස විමතියට පත් වූ බවක් ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්නට විය.

"දැන් අවුරුදු තුන හමාරක් වෙනව. තාමත් කල්පනා අපේ එකා ගැනම හිත හිත ඉන්නව. ඔය විදියට ඔයාට හැමදාම ඉන්න බෑ නේද? ඔයා ඔහොම ජීවිතේ නාස්ති කරගන්නව කියන්නෙ ඒක අසංකට කරන අසාධාරණයක්."

සහන් පෙර කියූ දෙයින් විමතියට පත්ව සිටියත්, සහන් පසුව කියූ කතාව සිරිසේනත්, කමලාත් හිසා සලා අනුමත කලෝය. එතනින් එහාට වුනු කිසිම කතාවක් කල්පනාට නෑසුනාය. සහන් කල යෝජනාවෙන් ඈ සිහි මද තත්ත්වයට පත් වූවාක් මෙන් විය. නැවතත් සිහි එලබ ගත් කල්පනාට, සහන් තවමත් අම්මාට සහ තාත්තාට කරුණු පැහැදිලි කර දෙමින් සිටිනු දක්නට ලැබීය. ඇය වහා නැගිට කාමරය වෙත දිව ගියාය. ඇය නැගිට ගියේ කෝපයෙන්ද, දුකෙන්ද, කම්පනයෙන්ද කියා කිසිවෙකුටත් වැටහුනේ නැත. එහෙත් සහන් නොසැලී කතා කරන්නට විය.

"එහෙනම් ඇන්ටියි අංකලුයි කල්පනා කරල, කල්පනා එක්කයි, කල්පනාගෙ අම්මයි තාත්තයි එක්කත් කතා කරල මට කියන්න. මට හොඳටම විස්වාසයි මට කල්පනාව සතුටින් තියන්න, එයත් එක්ක හොඳින් ජීවත් වෙන්න පුලුවන් කියල."
....................................................................................................................................................................

සිරිසේන බර කල්පනාවකය. කමලා උයන අතරතුරේ සිරිසේන දෙස වරින් වර බැලුවෙ ඔහු යමක් පවසාවි යන බලාපොරොත්තුවෙනි. එහෙත් ඔහු අහස පොලොව ගැටලන්න කල්පනා කලා විනා කිසිත් නොකිව්වේය.

"මහත්තය මොකද හිතන්නෙ අර දරුව කියපු කතාව ගැන."

සිරිසේන තාමත් නිහඬය.

"මම නම් උඩින්ම කැමතියි මහත්තයො ඒ දරුවගෙ යෝජනාවට. ඒ දරුවව අපි පොඩි කාලෙ ඉඳලම දන්නව නෙ. කිසිම වරදක් කියන්න බැරි හොඳ දරුවෙක් නෙ. ඒ දරුවගෙ අම්ම තාත්ත වුනත් බොහොම වැදගත් මිනිස්සු නෙ."

"ඔව් ඒ කොල්ලගෙ නම් කිසිම අඩු පාඩුවක් නෑ. මාත් ඌට හරි කැමතියි. ඒ වගේ කොල්ලෙක් අපෙ කෙලීට බන්දල දෙන්න මාත් හරි කැමතියි."

සිරිසේන එසේ කීවද ඔහුගේ හිතේ යම් පරහක් ඇතිබව කමලාට දැනුනි.

"මේ පාරවත් මේ දරවව පිළිවෙලක් කරල දාමු මහත්තයෝ. අපි කොච්චර කල් ඉඳන් උත්සහ කලාද මේ දරුවට ආයෙත් කසාදයක් කරල දෙන්න. කොහෙද, තුන්සිය හැටපස් දවසෙම අපේ දරුව ගැන හිත හිත ඉන්නව මිසක් එහෙම දෙයක් ගැන හිතන්නෙවත් නෑ නෙ මේ ළමය. මේ වතාවෙ නම් බල කරල හරි මේ කටයුත්ත කරමු මහත්තයො. මේ කෙල්ලට හැමදාම මෙහෙම ඉන්න දෙන්න බෑ නෙ."

ඒක නම් ඇත්ත නෝනෙ. ඒ දේ නම් ඉක්මනට වෙන්න ඕන. ඒත්..."

"ඇයි මහත්තයෝ ඒත් කියන්නෙ? මොකක්ද ප්‍රශ්නෙ?"

"අනේ මන්ද නෝනෙ, මට මහ අමුත්තක් දැනෙනව. මේ කෙල්ලට අපේ කොල්ලව අමතක කරන්න බෑ කියල සහන් ළමය හොඳටම දන්නවනෙ. එහෙම එකේ ඒ ළමය මේ වගේ යෝජනාවක් කලේ ඇයි කියල මම කල්පනා කලේ."

කමලාට ඊට පිළිතුරක් නොවීය.

"බලමුකො. මම ඒ දරුවත් එක්ක ආයෙත් කතා කරල බලන්නම්." සිරිසේන නැගිට කුස්සියෙන් පිටවිය.
....................................................................................................................................................................

කල්පනා ඇඳට වී හිස් බැල්මකින් ජනේලයෙන් එලිය දෙස බලාගෙන සිටින්නීය. පෙරදින රාතියේ නින්දක් නොලැබූ බවත්, රැය පුරා හඬා ඇති බවත් ඇයගේ මුහුණ කියාපායි. ඇයට හඬන්නට තවත් කඳුලු නැත්තා සේය. අසංක හා ඇය විවාහ වූයේ අවුරුදු 5ක ආදර සම්බන්දයකින් අනතුරුවය. හැමෝගේම ආශීර්වාදය ලබා විවාහ දිවියට එලඹියත් මාසයයි දින පහකට පමණක් ඔවුන්ගේ විවාහ දිවිය සීමා විය. රැකියාව නිමවී නිවස බලා එන අතරතුර හදිසි අනතුරකින් අසංක සදහටම දෑස පියා ගත්තේ කල්පනාගෙ සිහින මාලිගා බිමටම සමතලා කරමිනි. අවුරුදු තුන හමාරකට පසුවත්  කල්පනාගෙ ජීවිතයේ වූයේ අසංකගේ මතකයම පමණක් විය. කල්පනාගේ දෙමව්පියුනුත් අසංකගේ දෙමව්පියන් වූ කමලාත් සිරිසේනත්, තවත් කසාදයක් කරගන්නා මෙන් කෙතරම් ඇවිටිලි කලද කල්පනා එය දැඩි ලෙසම ප්‍රතික්ශේප කලාය. ඒ අවුරුදු තුන හමාර තුල අම්මලා තාත්තල හතර දෙනකුගේ ආදරය ලබමින් කල්පනා ඇගේ ගෙදරත් අසංකගේ ගෙදරත් මාරුවෙන් මාරුවට කාලය ගත් කලාය. අමාරුවෙන් හිස ඔසවා ගත් කල්පනා අසංකගේ මේසය දෙසත්, ඒ මත ඇති ඔහුගේ ඡායාරූපය දෙසත් බලා සිටියාය.

"දුව...."

කල්පනා ප්‍රතිචාර නොදැක්වූවාය. කමලා ඇඳ මතින් වාඩි විය.

"තාමත් තරහෙන්ද ඉන්නෙ අපිත් එක්ක?"

කල්පනා නිහඬය.

"ඔයාට හැමදාම ඔහොම ඉන්න බෑ නෙ දරුවො. අපේ කොල්ල අපිව දාල යන්න ගියා. ඒත් දූ හැමදාම ඒ දරුව ගැන හිත හිතා ඉඳල ජීවිතේ නාස්ති කරගන්නවට අපි කවුරුවත් කැමති නෑ. දූට කියල ජීවිතයක් තියනව."

"අසංක තමයි අම්මෙ මගේ මුලු ජීවිතේම. ඇයි අම්මල ඒක තේරුම් ගන්නෙ නැත්තෙ. එයාගෙ මතකය ඇති මට මැරෙනකල්ම ජීවත් වෙන්න."

"දූගෙ හිතේ තියන ආදරේට එහෙම කිව්වට ඒක හරි යන්නෙ නෑ නෙ දුවේ. ජීවිතේ හොඳම කාලෙ මේ ගෙවෙන්නෙ. දරු පැටියෙක් හදාගෙන ගෙයක් දොරක් හදාගෙන ලස්සනට ඉන්න ඕන නෙ. ඒකයි ජීවිතේ කියන්නෙ. නැති වුන දෙයක් ගැනම හිත හිතා ඉන්න එක නෙමෙයි."

සිරිසේනද කාමරයට විත් උලුඅස්සට බර වුනේය.

"අනිත් එක සහන් ළමය කොච්චර හොඳ ළමයෙක්ද? පුතාගෙ හොඳම යාලුව, අපි පොඩි කාලෙ ඉඳලම දන්නව, ඔයත් හොඳටම අඳුනනව. ඔයාට පොඩ්ඩක් වත් බය වෙන්න දෙයක් නෑ. අපිටත් හිතේ කිසි බයක් නැතුව දූව දෙන්න පුලුවන්." කමලා නොනවත්වාම කියාගෙන ගියාය.

"අම්මලට මාව බරක්ද අම්මෙ? අපේ අම්මලටත් මාව මහ බරක් වෙලා. ඔය දෙන්නටත් එහෙමද? මාව ඔයගොල්ලන්ගෙ දරුවෙක් කියල හිතල ලඟ තියාගන්න බැරිද?"

ඒ වචන පෙළ කමලාව නිහඬ කිරීමට සමත් විය. එවර සිරිසේන කතාවට මැදිහත් විය.

"මොනවද දරුවො මේ කියන්නෙ, අපිට ඔයාව බරක් නෙමෙයි. ඒත් ගෑණු ළමයෙක් කවදාවත් දෙමව්පියන්ට අයිති නෑ. එයාව කවද හරි පිටට දෙන්න වෙනව. ඔය ළමය දැන් අපේම දරුවෙක්, ඉතින් අපිට කවද හරි ඔයාව කාටහරි දෙන්න වෙනව. අපේ ළමය නිසා ඔයා ළමය ඔහොම නිකන් නාස්ති වෙනව අපිට බලන් ඉන්න බෑ. මෙච්චර කල් ඔයගෙ කැමැත්තට ඉඩදීල අපි බලාගෙන හිටිය නෙ. දැන් වත් අපි කියන දේ අහන්න. අම්මයි තාත්තයි අද හවස මෙහේ එනව කිව්ව. ඒ ආවම මේ කටයුත්ත ස්ථීර කරගන්නව." සිරිසේන තරමක් දැඩි ස්වරයකින් පවසා කාමරයෙන් පිටව ගියේය. කමලා කල්පනාගෙ හිස අතගන්නට විය.

තමන්ට මෙවර ගැලවුමක් නැති බව කල්පනාට වැටහුනි. අසංකගේ දෙමව්පියන්ගෙ කැමැත්ත අනුව අනිවාර්යෙන්ම ඇයගේ දෙමව්පියන්ගෙද කැමැත්ත ලැබෙන බවත් ඉන්පසු ඒකමතිකවම මෙම යෝජනාව ස්ථීර වන බවත් ඇයට පසක් විය. සහන් ගැන මේ මොහොතේ කල්පනාගෙ හිතේ ඇති හැඟීම කල්පනාට වත් තේරුම් ගත නොහැකිය. එය තරහක්ද පිළිකුලක්ද නැත්හොත් වෙනයම් හැඟීමක්ද කියා පැහැදිලි නැත. අසංකගේ හොඳම යාලුවා වූ සහන් ගැන කල්පනාගෙ හිතේ තිබුනේ ලොකු ගෞරවයක් හා පහන් හැඟීමක්ය. දුකේදීත් සැපේදීත් හැමවිටම අසංක ලඟ සිටියේ සහන්ය. අසංකගේ හා කල්පනාගෙ ආදර කතාවට වැඩිම සහයෝගයක් ලැබුනේද සහන්ගෙනි. කල්පනා සිතුවිලි අතර අතරමං විය.

"ඇයි සහන් මේ වගේ යෝජනාවක් කලේ? එයා හොඳටම දන්නව මට කවදාවත් අසංක අමතක කරන්න බැරි බව. අපි දෙන්න කොච්චර අදරෙන් හිටියද කියල එයා හොඳටම දන්නව. ඒත් ඇයි මෙහෙම....? අසංක ඉන්න කාලෙ ඉඳලම සහන්ගෙ මගේ ගැන අසාවක් තිබුනද? නෑ නෑ ඒක නම් කොහොමවත් වෙන්න බෑ. සහන් ගොඩාක්ම හොඳ ළමයෙක්. එයා කවදාවත් මගේ දිහා වැරදි විදියට බලල නෑ. එහෙනම් මොකක්ද සහන්ට එක පාරට වුනේ? මොනව වුනත් ඉතින් දැන් මට කරන්න දෙයක් නෑ නෙ. සහන්ගෙ යෝජනාවට හැමෝම කැමති වුනොත් මට විරුද්ධ වෙන්න බෑ නෙ. අනිත් එක සහන්ට අකමැති වෙන්න මට කියන්න හේතුවක් ඇත්තෙත් නෑ. අසංක අමතක කරන්න බෑ කියන එක තවත් මෙයාලට කිව්වට වැඩක් නෑ."

සහන් සහ අම්මලා තාත්තලා හතර දෙනාගෙම සාකච්චා කිරීම් වලින් අනතුරුව කටයුත්ත ස්ථීර විය. අකමැත්තෙන් වුවත් තවත් අම්මලා තාත්තලාගෙ හිත රිද්දිය නොහැකි නිසා කල්පනාද කැමැත්ත දුන්නාය. සහන්ට කල්පනා සමග කතා කිරීමට අවශ්‍ය විය. ඔහු කල්පනාව කතා කරගෙන එලියට ගියේය.

"කල්පනා, මට මේක කියන්න. ඔයාගෙ අකමැත්තෙන් නෙමෙයි නේද මේ කටයුත්ත වෙන්නෙ?"

කල්පනා නිහඬය.

"කියන්න කල්පනා, ඔයා කොහොමවත් මේකට කැමැත්තක් නැත්තන් අපි මේ වැඩේ නවත්තමු. මම හිතුවෙ ඔයා පස්සෙ හරි තේරුම් ගනී කියල." සහන්ගේ හඬ දුර්වලය.

"මට ආයෙත් කසාදයක් බඳින්න නම් කිසිම කැමැත්තක් නෑ සහන්. ඒත් මෙයාල කවදාවත් මට එහෙම ඉන්න දෙන්නෙ නෑ. කවද හරි මට ආයෙත් කසාද බඳින්නම වෙනව. ඉතින් වෙන කාවහරි බැඳ ගන්නවට වඩා, මාව තේරුම් ගන්න පුලුවන් ඔයා එක්ක යන එක හොඳයි කියල මට හිතුන. ඒක නිසයි මාත් කැමැත්ත දුන්නෙ."

සහන් මොහොතක් කල්පනා දෙස බලා සිටියාය.

"ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක් කල්පනා. හරි අපි ඇතුලට යමු."

"අ... සහන්!"

"ඇයි කල්පනා?"

"මම ඔයාට බොරු බලාපොරොත්තු දෙන්න කැමති නෑ. මේ.... මම කියන්න හැදුවෙ..."

"මොකක්ද කල්පනා?"

"මට ඔයාට හොඳ බිරිඳක් වෙන්න පුලුවන් සහන්, ඒත්.... ඒත් මට ඔයට කවදාවත් ආදරේ කරන්න බැරි වේවි. ඔයා දන්නවනෙ අසංකගෙන් පස්සෙ කාටවත් දෙන්න ආදරයක් මගේ ලඟ නෑ කියල."
....................................................................................................................................................................

කල්පනාගෙ ඉල්ලීමට අනුව කල්පනාගෙ පැත්තෙන් බොහොම සුලුවටත්, සහන්ගේ පැත්තෙන් සාමාන්‍ය ආකාරයටත් මංගල උත්සවය සුදානම් විය. කල්පනාගෙ පැත්තෙන් උත්සවය පැවත්වුනේ අසංකගේ නිවසේය. යන්න සූදානම් වී කල්පනා කමලාවත් සිරිසේනත් බදාගෙන හැඬූ ආකාරය කාගෙත් නෙත් අගට කඳුලු ගෙනාවේය.

"පුතේ මේ අපට ඉන්න එකම දරුව. අපේ පුතා බලාගත්ත වගේ මලක් වගේ මේ කෙල්ලව බලා ගනින්. කවදාවත් දුකක් දෙන්න එපා." සිරිසේන කඳුල අතරින් වචන ගැට ගසා ගත්තේය.

දෙවැනි දිනයේ කටයුතු අවසන් කර කල්පනා සමග එදින රැය සහන්ගේ දෙමව්පියන් සමග ගත කල සහන් පසුදින කල්පනාව තමාගෙ අලුත් නිවසට කැඳවාගෙන ගියේය. සම්පූර්ණයෙන් වැඩ අවසන් කර නොතිබුනත් ජීවත් විය හැකි මට්ටමකට එය නිම වී තිබිණි. අවශ්‍ය බඩු බාහිරාදිය සහන් විසින් කලින් එහි ගෙනවිත් තබා තිබිණි. කල්පනාගෙ මුහුනේ තවමත් හිනාවක් නොමැත.

"කල්පනා, අපි ඕන නම් අද අසංකලගෙ ගෙදර ගිහින් එමු."

"අනේ කොච්චර දෙයක්ද සහන්, ගිහින් එමුකො!"

ඇයගේ මුහුණේ ඉරියව් වෙනස් වෙන ආකාරය සහන් හොඳින්ම දුටුවේය.

"හරි ඔයා වොශ් එකක් දාගෙන එන්නකො. ඔයාගෙ බඩු ටික ඇතුලෙන් තියාගෙන අපි දවල් වෙන්න ගිහින් එමු."

"හරි සහන්."

කල්පනා තුවායත් රැගෙන නාන කාමරය දෙසට ගියාය. සහන් රෙදි අල්මාරිය විවර කලේය. හැම තට්ටුවකම රෙදි ගුලි කර දමා තිබුනි. කල්පනාගෙ රෙදි තබා ගැනීම සඳහා තට්ටු දෙකක් ලබා දීමට අදහස් කල සහන් රෙදි සියල්ල ගෙන තට්ටු දෙකකට ගුලි කර ඔබන්නට විය. කල්පනා නැවතත් නාන කාමරයෙන් එලියට ආවේ සහන්ට තේකක් සාදා දී ඉන්පසු නාගැනීමේ අදහසිනි.

විශාල පරිශ්‍රමයකින් පසුව රෙදි ටික තට්ටු දෙකකට සීමා කරගන්නට සහන්ට හැකිවිය. ඉන්පසු ඔහු අවදානය යොමු කලේ ලාච්චුවටය. මුලින්ම ඔහුගේ ඇස ගැටුනේ එහි වූ අසංකගේ ඡායා රූපයයි. එය අතට ගත් ඔහු මදක් ඒ දෙස බලා සිටියේය.

"ඔන්න අසංක අවුරුදු තුන හමාරකට කලින් උඹ මගෙන් ගත්ත පොරොන්දුව අද මම ඉශ්ඨ කලා. මම දන්නව තාම ඒක ඉවර නෑ. මම පොරොන්දු වෙනව,  මම කල්පනාව ජීවිත කාලෙම මලක් වගේ බලාගන්නව කියල."  

සහන් තිගැස්සුනේ පිටුපසින් ඇසුණු කෝප්පයක් බිඳෙන හඬිනි. පිටුපස හරී බැලූ ඔහු දුටුවේ තමා දෙස විමතියෙන් බලා සිටින කල්පනාය. තමා කියූ දෙය ඇසී අය අත තිබූ තේ කෝප්පය අතෑරෙන්න ඇතැයි ඔහු තේරුම් ගත්තේ බිම ඉහිරී තිබූ තේ හා බිඳි ගිය කෝප්පයෙනි. ඇය නොසෙල්වී ඔහු දෙස බලා සිටියාය. මොහොතකින් ඇගේ දෙනත් වලින් කඳුල කඩා හැලෙන්න වූ අතර එය හැඬීමක් බවට පත් වීමට ගියේ තවත් සුලු මොහොතකි. කිසිත් නොකී ඈ බිඳුන කෝප්පයේ කැබලි එකතු කරන්නට විය. සහන්ද අසංකගේ ඡායා රූපය පසෙකින් තබා ඊට එක් විය.  

"එතකොට ඔයා මේ හැම දෙයක්ම කලේ අසංකට වුන පොරොන්දුව නිසාද?"

"ඔව් කල්පනා."

"අනේ මට කියන්න සහන් එයා මොනවද ඔයාට කිව්වෙ?"

සහන් බිම වාඩි වුනේය.

"ඇක්සිඩන්ට් එක වුන වෙලාවෙ මමනෙ එයාගෙ ලඟට ඉස්සෙල්ලම ගියේ. එයාට තේරිල තිබුනෙ එයාට බේරෙන්න බෑ කියල. අසංක මගේ අත අල්ලගෙන කිව්ව 'මචන් මට යන්න වෙලාව හරි වගේ. මට දුක කල්පනා ගැන බං. මම මැරුනොත් ඒකි හැමදාම මගේ ගැන හිත හිත ඉඳීවි. මම දන්නව ඒ කෙල්ල ගැන. මම කැමති නෑ බං මං නිසාවත් එයා දුක් විඳිනවට. උඹ මගේ හොඳම යාලුව, මට පොඩි කාලෙ ඉඳල කියන්න බැරි තරම් උදව් කරල තියනව. මට මේ පාරත් ලොකු උදව්වක් කරපන්. උඹ කල්පනාගෙ වගකීම ගනින්. උඹ එයාව කසාද බැඳල එයාව හොඳට බලාගනින්' කියල. මට කියන්න දෙයක් හිතා ගන්න බැරුව මම බලාගෙන හිටිය. එතකොට අසංක ආයෙත් කිව්ව 'ප්ලීස් මචන්, මම වෙනුවෙන් ඒ දේ කරපන්. මට එතකොට සැනසිල්ලෙ මැරෙන්න පුලුවන්. නැත්තන් ඒ කෙල්ල මම නිසා ජීවිතේම නාස්ති කරගනියි.' කියල. මම කිව්ව 'හරි බං මම ඒක කරන්නම්' කියල. එතකොටම ඌ හිනාවෙලා ඇස් දෙක පියා ගත්ත."

කල්පනා ඉකි ගසමින් අඬන්නට විය.

"මම අසංකට එහෙම පොරොන්දු වුනාට මට මොනව කරන්නද කියල හිතා ගන්න බැරුව හිටියෙ. මම මෙච්චර කල් බලන් හිටිය කල්පනා ඔයා අලුත් ජීවිතයක් පටන් ගනීවි කියල. අසංක කිව්ව වගේම ඔයා කලේ අසංක ගැන හිත හිතම ඉන්න එක විතරයි. අසංකගෙ අම්මල, ඔයාගෙ අම්මල, ඔයාගෙ යාලුවො, අපි හැමෝම කිව්වත් ඔයා අසංකගේ මතකෙත් එක්කම ජීවත් වුනා මිසක් එතනින් ඉස්සරහට යන්න උත්සහ කලේ වත් නෑ. අසංකට ඕන වුනේ ඒ දේ නෙමෙයි කල්පනා. ඒකයි මම හිතල හිතල අන්තිමට තීරණයක් අරන් ඔයාට ප්‍රොපෝස් කලේ."

"අසංක මට එච්චර ආදරේ කලාද සහන්? අන්තිම මොහොතෙත් හිතුවෙ මගේ අනාගතේ ගැනද?"

සහන් කල්පනා අසලින් වාඩි වුනේය.

"ඌ ඔයාට ආදරේ කරපු තරම ඔයාවත් දන්නෙ නැතුව ඇති කල්පනා. ඒ වගේම මම දන්නව ඔයත් කියන්න බැරි තරම් ඌට ආදරෙයි. ඒක කොයිතරම්ද කියලත් අපි කාටවත් තේරෙන් එකක් නෑ. මම කවදාවත් කියන්නෙ නෑ ඔයාට අසංකව අමතක කරන්න කියල. ඔයා ඒ මතක එක්ක ජීවත් වෙන්න, ප්‍රශ්නයක් නෑ. හැබැයි මොනව වුනත් ඔයා සතුටින් ඉන්න ඕන. මොකද මම අසංකට පොරොන්දු වුනා ඔයාව සතුටින් තියනව කියල."

කල්පනාගෙ හැඬීම ඇයටම පාළනය කරගත නොහැකි තත්ත්වයකට පත්විය. ඇය සහන්ගේ උකුල මතින් හිස තබා ගත්තාය.

"ඔයාට අසංක වෙනුවෙන් ඔය තරම් කැප කිරීමක් කරන්න පුලුවන්ද සහන්? ඔයා නම් දෙවි කෙනෙක්."

"මට අසංක වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කල්පනා."

"අනේ මට සමාවෙන්න සහන් මම ඔයා ගැන මෙච්චර දවස් වැරදියට හිතාගෙන හිටියෙ."

"මම දන්නව කල්පනා."

"ඒත් ඇයි සහන් ඔය අපිට මේ කතාව කලින් කිව්වෙ නැත්තෙ?"

"මම ඔයාට ඒක පස්සෙ හෙමිහිට කියන්න හිටියෙ. ඒක ඒ වෙලාවෙ කියල ඔයාලගෙ තීරණේට බලපෑමක් කරන්න මම කැමති වුනේ නෑ."
....................................................................................................................................................................

සහනුත් කල්පනාත් බොහෝ වේලාවක් තිස්සේ අසංකගේ සොහොන දිහා බලාගෙන සිටින්නෝය. කල්පනාගේ ඇඬීමෙන් රතුවූ ඇස් දැන් වියලී ගොසිනි. ඒවායේ අමුතුම දීප්තියක් විය. ඔවුන් හරහා හමාගිය සීතල සුලඟ කල්පනා දෑස පියාගෙන තදින්ම විඳගත්තාය.

"අපි දැන් යමුද කල්පනා? අසංකගෙ අම්මයි තාත්තයි බලන් ඉන්නව ඇති."

"මම තව චූට්ටක් ඉඳල එන්නද සහන්?"

"හරි කල්පනා, මම එහෙනම් වාහනෙන් ඉන්නම්."

"හරි සහන් මම ඉක්මනට එන්නම්."

32 comments:

  1. හ්ම්..කතාව ලස්සනට ලියලා තියෙනවා....

    ReplyDelete
  2. අසංක නැති වෙලාද ? දුකයි නේ කතාවේ අන්තිම ටික. ඒ වගේම කියන්න ඕනා කතාව නම් සුපිරි. දුක සතුට ආදරය සෙනෙහස මේ හැමදෙයක්ම අඩු වැඩි වශයෙන් මේ කතාවේ තියෙනවා.

    කතාව නම් ගොඩක්ම දිගයි. මේක කොටස් දෙක තුනකට විතර දාන්න තිබ්බා. කමක් නෑ මම් නම් එක හුස්මටම කතාව ඇදලා දම්මා. ඒ තරමටම උබ ලියන කතා ගින්දර !!!!

    ReplyDelete
  3. කියන්න දෙයක් නෑ ඒ තරම් හිතට වැදුනා..

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම් :( :( :( :( :(

    මේක නිකන් මට හින්දි ෆිල්ම් එකක් බැලුව වගේ... හරිම ලස්සනට දැනෙන්න ලියලා... ගොඩාක් ලස්සනයි අයියේ... දුකයි..:(

    ReplyDelete
  5. @MaRLaN
    අම්මෝ ඒ හොඳටම ඇති. තැන්කූ මචෝ!

    @පිස්සු පුසා
    ස්තූතියි සහෝ

    @මධුරංග
    මාත් කොටස් දෙකකට දාන්න හිතුව. ඒත් බං පළවෙනි කොටස කියවල ටිකක් හිතුවොත් සීන් එක මීටර් වෙනව. ඒකයි හිතන්න ඉඩක් තියන්නෙ නැතුව ඔක්කොම එක පාරට දැම්මෙ.

    @චතුර
    ස්තූතියි අදහසක් එක කලාට සහෝ

    @හිතුවක්කාරි
    තැන්කූ නගෝ

    ReplyDelete
  6. යකෝ තොට ඔච්චර හොදට ලියන්න පුලුවන් කියල මම දැන ගෙන හිටියේ නැ නේ බං

    ReplyDelete
  7. මේ මාසයේ හොදම කෙටි කතාවට හිමි සම්මානය දිනා ගනු ලබන්නේ............. "..........." ලියූ "_ _ _"

    නැගිටලා ගිහින් තෑග්ග ගනින් යකෝ.. ඒ උඹ ....
    (නැවුම් තේමාවක්.. සෑහීමකට පත්වෙන්න පුළුවන් ආකාරයේ පද ඇමුණුමක්.. ස්ථානෝචිත ඡේද වෙන් කිරීමක්.. සමස්තයක් වශයෙන් සාර්ථක නිර්මාණයක්..)

    ReplyDelete
  8. @mahima
    'කල්පනා' තමයි, ඇයි මොකෝ?

    උඹ මම ඉස්සර යවපු මැසේජ් කියෙව්ව නම් ඕක කලින්ම දැන් ගන්නව.:D

    @නාකියා
    පිස්සු හැදෙයි! මෙන්න මට සම්මානයක් ලැබිල. තැන්කූ සහෝ!

    ReplyDelete
  9. උඹ ලියන කතා කියවන්න ආසයි බන්!

    ReplyDelete
  10. හොඳින් ලියලා තියෙනවා මල්ලි ! සාර්ථකයි. ඔන්න මාත් කියෙව්වා.

    ReplyDelete
  11. කතාව නම් පට්ටයි අයියේ...යුගයේ ජනප්‍රියම ආදර කතාව කියල කියාගන්න තුට්ටු දෙකේ ඒවාට වැඩිය සිරාවටම ආදරේට ආදරේ හිතෙන විදියටම ලියල තියෙනවා....
    දිගටම ලියන්න..

    ReplyDelete
  12. මන් නම් ආදරේ ඕන් සහන්ට...හික්ස්
    නියමයි යාලු...හරියටම කිව්වොත් සිරාවටම ෆට්ට ස්ටෝරි එක...කදුලුත් ආවා..

    "කල්පනා"....?

    ReplyDelete
  13. කසුන් මම ඊයෙ මේක කියෙව්ව වෙලාවෙ ඉඳල හිතනව හිතනව මොනවද ලියන්නෙ කියල..කොහෙද මන් කියන්න හිටිය ටික නාකිය ලියල වරහන් ඇතුලෙ දමලනෙ..කතාව නම් අතිවිශිශ්ඨයි..කියන්න වචන නැහැ.

    ReplyDelete
  14. @තාරක Dilsh@n
    ස්තූතියි සහෝ දිරි ගැන්වීමට!

    @AnithKona
    ස්තූතියි අක්කෙ සටහනක් එක් කලාට.

    @ආගන්තුකයා
    තැන්කූ මලේ අදහස් වලට.

    @අසනි
    ඔයත් එක්ක නම් මම තරහයි. කමෙන්ට් කරන්න ගොඩක් වෙලා ගත්ත.

    "මන් නම් ආදරේ ඕන් සහන්ට"

    හෑහ්.. එතකොට අර රට ඉන්න අහිංසක කොලුවට මොකද වෙන්නෙ?

    @Weni
    ඔය වචන ලොකු හයියක් සහෝ. ස්තූතියි.

    ReplyDelete
  15. අයියෝ ඔයා තරහා වෙලා කියලා දැක්කේ අදනේ..අනේ මට යුනි පටන් ගත්තනේ යාලු..ඒකයි..මටත් දුකයි මුලින්ම කමෙන්ටුවක් දා ගන්න බැරි වෙනකොට...ඒ උනාට ඔයා ලියන ඒවා කියවලා අන්තිමට හරි කමෙන්ටුවක් දාන්න මන් එනවනේ..

    ReplyDelete
  16. @අසනි
    ඒකනෙ ඉතින් තරහ වුන එකෙනුත් වැඩක් නෑ නෙ. ඔයා දැන් නෙ දන්නෙ.:)

    අනේ විහිලුවක් කලේ මෙයා. කමෙන්ට් නොකලත් තරහක් නෑ.

    ReplyDelete
  17. @mahima
    වෙන කවුද ඉතින්?

    ReplyDelete
  18. නියමයි... මමත් රස වින්දා... ඔයාගේ චින්තන රටාවට හොඳට යන විදියට ගලපලා ලියලා තියෙනවා. පහුගිය ලිපි ටික ආසාවෙන් කියෙව්වා වගේ මේ කථාවත් හොඳට ලියවිලා තියෙනවා... සාර්ථකයි මගේ සුන්දර සහෝදරයා...!!!

    ReplyDelete
  19. @චතුරංග පෙරේරා
    ගොඩක්ම ස්තූතියි අයියෙ. ඒ වචන ටික නම් බොක්කටම වැදුන.

    ReplyDelete
  20. හ්ම්ම්.... ඇස් වලට කදුළු එන්න හැමෝටම ලියන්න බැ... ඔයාට එක පුළුවන්. සුභ පැතුම්....

    ReplyDelete
  21. @නඟා
    බොහොම ස්තූතියි නඟා ඒ දිරිගැන්වීමට. ඒක මට ලොකු හයියක්.

    ReplyDelete
  22. ගොඩ කාලෙකින් බ්ලොග් පැත්තෙ ආවා අයියා,ආපු ගමන් දැක්කෙ මේක.ඊයෙ කියෙව්වට කමෙන්ට් කරන්න බැරි වුනා.ලස්සනයි අයියා හැමදාම වගේ.

    ReplyDelete
  23. @කඩේ හාමිනේ
    ඔව් නංගියෝ, ගොඩක් කාලෙකින් නේද. ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  24. කසුන්ගෙ කතාව මම කියවන්න ගත්තෙ "චෙහ් මේක මාර දිගයිනෙ මහා පතරංග ජාතකය වගෙ" යන හැඟීමෙන්. නමුත් පස්සෙ ඒ හැඟීම සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. වැඩි විස්තර ඕනෙ නෑ. මේ කතාව පිරිමියෙක් වූ මගේ ඇසටත් කඳුලක් ගෙනාවා කිව්වොත් කසුන් පිළිගන්නවද?
    henryblogwalker aka Dude

    ReplyDelete
  25. @Dude
    ම්ම්ම්.... අයිය එහෙම කියනව නම් පිළිගන්න වෙනවනෙ. :)

    ReplyDelete
  26. මේ ලාස්ට් රෝ එකේ කස්ස වෙන්න ඕනෙ. ඈත්තටම ගොඩාක් ලස්සනට ලියල තියෙන වෙනස්ම ආරෙක කතාවක්.. ආදරය හා කැප කිරීම ලෙසටම මතුවෙන්න ලියල තියෙනව. අදයි මේ බ්ලොග් එක දැක්කෙ. ඉතුරු පෝස්ට් ටිකත් කියවන්නම්.

    ජය වේවා...!!!

    ReplyDelete
  27. @අන්තිම පේළියේ අවංක පැට්ටා
    නෑ සහෝ, මම කස්ස නම් නෙමෙයි. ලාස්ට් රෝ එකේම Kasun Chanaka කියල එකෙක් ඉන්නව දන්නවද? අන්න ඌ තමයි මම. එහෙනම් ඉතුරු ටිකත් කියවල බලන්නකෝ.

    ReplyDelete
  28. ආහ්හ් එහෙමද? අවුලක් නැහැ එල එල...

    ReplyDelete
  29. අනේ හරිම ලස්සනයි :)

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.