twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Saturday, August 27, 2011

අවාසනාවට, ලැජ්ජ හිතෙන ඇත්ත කතාවක්

ගොඩක් කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. මගේ ලැපී මේ දවස් වල පිස්සු කෙලිනවා. කමෙන්ට් එකක් දාන්න පවා හරි අමාරුයි. එහෙමයි කියල ඇතෑරියෙ නෑ, කමෙන්ට් නම් කලා. මම ටික දවසක ඉඳල එක සිද්ධියක් ගැන ලියනවද නැද්ද කියල හිත හිත හිටියෙ. පස්සෙ හිතුව ලියනව කියල. ඇත්තටම මේව කියන්නත් ලැජ්ජයි. කමක් නෑ ලියනව, එකෙක් හරි මේ දේ ගැන හිතල බැලුවොත් ඒකත් ලොකු දෙයක්.ලොකු කළකිරීමකින් සහ තරහකින් මේ ලියන්නෙ.

මේ සිද්ධිය වුනේ මගේ යාලුවෙක්ට. යාලුවෙක් කිව්වෙ ඉස්සර හැමදාම හවසට සෙට් වෙලා කාඩ් ගහන අපේ බොක්කක්. අපි මිනිහට දිමුතු කියමු. ඌ අපේ සෙට් එකේ අනිත් උන්ට වැඩිය අවුරුදු 2ක් වැඩිමල්. දැන් මිනිහ කොළඹ ජොබ් එකක් කරනව. මිනිහගෙ කෑල්ල ජපුර කැම්පස් එකේ. කෑල්ල අපේ වයසෙ. අපේ සෙට් එකේ වෙන එකෙක්ට සල්ලි වගයක් ඕන වෙලා මගෙන් ඉල්ලුව. අපි ඌට කියමුකො දසුන් කියල. ඒ වෙලාවෙ මට සල්ලි දෙන්න තිබුනෙ නෑ. මම ඌට කිව්ව සල්ලි නෑ කියල. ඊට පස්සෙ ඌ අපේ කතා නායකය දිමුතුගෙන් සල්ලි ඉල්ලල.

දිමුතුගෙ බැංකු කාඩ් එක තියෙන්නෙ උගේ කෑල්ල ලඟලු. මොකටද ඒක තියාගෙන ඉන්නෙ කියල නම් දන්නෙ නෑ. කොහොමහරි දසුන් සල්ලි ඉල්ලුවම දිමුතු සල්ලි දෙන්න ටිකක් අදි මදි කලාලු.  මිනිහ වෙනදට කවදාවත් එහෙම කරන්නෙ නෑ. පස්සෙ දිමුතු කිව්වලු කෑල්ලට කියල කාඩ් එකෙන් අරන් දෙන්නම් කියල. ඊට පස්සෙ දිමුතු කෙල්ලට කියල සල්ලි අරන් දෙන්න කියල. ඒක කිව්ව ගමන් මේකට කෑල්ල හොඳටම බැනල. මොනව කියලද බැන්නෙ කියල නම් හරියටම දන්නෙ නෑ. බැන්න බව අපි දන්නෙත් පස්සෙ. ඌ හම්බ කරපු සල්ලි උගේ යාලුවෙක්ට උවමනාවකට දෙන්න ගියාම ඌ උගේ ගෑනිගෙන් බැනුම් අහන්න ඕන.:D


කොහොම හරි බැනල බැනල කෙල්ල සල්ලි අරගෙන. දැන් සල්ලි ගත්තට දසුන්ට දෙන්න විදියක් නැතිලු. දසුන්ට යන්න වෙලාවක් තිබුනෙ නැති නිසා දිමුතුගෙන් අහල උගේ පොතට දාන්න පුලුවන්ද කියල. ඒ දෙබස අපිට ආරංචි වුන විදියට මෙහෙමයි වෙලා තියෙන්නෙ.

දසුන්: දිමුතු අයියෙ මම අර සල්ලි ටික ගන්නෙ කොහොමද?

දිමුතු: සල්ලි ටික තාම අරකි ගාව බං. මට යන්න වෙලාවක් වුනේ නෑ. 

දසුන්: මට ඒ ටික හදිස්සියි නෙ. මේ, ඒ සල්ලි ටික මගේ පොතට දාන්න කියන්න බැරිද?

දිමුතු: අම්මෝ බෑ බං. උඹට දෙන්න සල්ලි ගන්න කියපු වෙලාවෙත් හොඳටම බැනුම් ඇහුව.

දසුන්: ඒ මොකද?

දිමුතු: අනේ මන්ද බං.

දසුන්: අනේ ඉතින් ඒකිට කියපන්කො මගේ පොතට සල්ලි දාන්න කියල.

දිමුතු: අනේ ආයෙත් බැනුම් අහන්න බෑ බං.

(දුරකථනය විසන්දි වෙයි.)

ඔන්න ඔහොමයි සිද්දිය වෙලා තියෙන්නෙ. කොහොමහරි දසුන්ගෙ වැඩේ කෙරුනෙ නෑ. දැන් හිතල බලන්නකො ඒ වුන දේ ගැන. ඌ දාඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි ඌට ඕන විදියට වියදම් කරන්න බෑ. උගේ ගෑණිට ඕන විදියට තමයි ඌ වියදම් කරන්න ඕන. කාඩ් එක කෑල්ල ඒකිගෙ ලඟ තියාගෙන ඉන්නෙ මොකටද කියල නම් දන්නෙ නෑ. සමහර විට ඒකි ඒකෙන් හිතේ හැටියට වියදම් කරනව ඇති. ඒ ගැන නම් හරියට කියන්න තාම අපි ලඟ තොරතුරු නෑ. ඒ මොනව උනත් ඌට තමන් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි තමන්ගෙ යාලුවෙක්ගෙ උවමනාවකට දෙන්න පුලුවන් කමක් නෑ. ඌ නටන්නෙ ගෑනිගෙ පදේට. උගේ ලඟ සල්ලි තිබ්බ නම් කවදාවත් ඌ නොදී ඉන්නෙ නෑ. ඒක අපිට හොඳටම ශුවර්. ඒත් කාඩ් එක ගෑනි ගාව නිසායි, ගෑනිට බය නිසයි ඌට කරන්න දෙයක් නෑ. 

ඕකිට මතක නෑ අපේ උන් ඔය ජෝඩුව නිසා කොච්චර කට්ට කාල තියෙද කියල. එක පාරක් දෙන්නත් එක්ක දවස පුරාම ඒකිගෙ ගෙවල් පැත්තෙ රවුම් ගහල රෑ වෙලා අරූට එන්න විදියක් නැතුව අපේ උන් තමයි ගිහින් එක්කගෙන ආවෙ. ඒ චන්දෙ දවසකට කලින් දවසෙ. බයික් දෙකකින් මහ රෑ ගිහින් අපේ උන් ඌව එක්කගෙන ආවෙ. ලස්සනම වැඩේ කියන්නෙ ඔය සල්ලි ඉල්ලපු දසුනුත් එදා ගියා ඌව එක්කගෙන එන්න. එහෙම කරපු එකාට තමයි ඔය වැඩේ කරේ. අපේ එකාට කොන්ද පණ තිබුන නම් සල්ලි ටික අරන් දෙන්න තිබුන. ඒ වුනාට ඇත්තම කතාව ඉතින් ඌට කොන්ද පණ නෑ. අපිට තමයි ලෝකෙ නැති ටෝක් දෙන්නෙ. අපිත් එක්ක කතා කරනකොට අපි මොනව කිව්වත් ඌ දාහක් තර්ක ගෙනල්ල හරි උගේ මතේ හරි කියල ඔප්පු කරනව. ඒ උනාට ගෑණි මොකක් හරි කිව්වොත් ඒක මොකක් වුනත් ඉස් මුදුනින්ම පිළිගන්නව. ඇත්තටම අපේ සෙට් එකට ලැජ්ජයි ඌ ගැන. මට නම් ඌ ගැන කියන්න තියෙන්නෙ ඉංග්‍රීසි අකුරු වලින් නම් P අකුරෙන් පටන් ගන්න සිංහලෙන් අකුරු හතරෙ වචනයක් විතරයි.

මම මේ දේවල් කියන්නෙ මේ සිද්ධිය නිසා විතරක් නෙමෙයි. කාලයක් තිස්සෙ දැකපු අහපු ගොඩක් දේවල් වලින් මම මේ කියන්නෙ. ඕක එක සිද්ධියක් විතරයි. සමහර වෙලාවට අපි කාඩ් ගහ ගහ ඉන්නකොට කෑල්ලගෙන් කෝල් එකක් ආවම අපිට කෑගහන්න එපා කියල කෝල් එක ආන්සර් කරල කියනව ගෙදර ඉන්නෙ කියල. වැරදිලාවත් කෝල් එකක් ගන්න පොඩ්ඩක් හරි පරක්කු වුනොත් ඊලඟට පුදුමාකාර බයකින් කෝල් එක ගන්නෙ. ඕව ගැන ඔක්කොම කියන්න ගියොත් මේක මෙගා සීරීස් එකක් වෙනව. අපිටත් කෙල්ලො කියල තියනව කොහේ හරි යනව නම් කියල යන්න, ගිහින් ආපු ගමන් කෝල් එකක් දෙන්න කියල. අපි එහෙම කරලත් තියනව. හැබැයි මේ විදියට මාව යටත් කරගන්න නම් කවුරුවත් උත්සාහවත් කරල නෑ.

අපි නම් දැනගත්ත ඇයි ඌ ඔච්චර ඒකිට බය කියල. ඒක උගේ කටින්ම දවසක් කියවුනා.  ඌ බයයි කෑල්ල ඌව දාල යයි කියල. ඌ කිව්ව, "මම දන්නව බං, මට ආයෙත් කවදාවත් ඔය වගේ කෙල්ලෙක් ලැබෙන්නෙ නෑ." උගේ ඒ සිතිවිල්ල තමයි හැම දේකටම හේතුව. කෙල්ල බොහොම ලස්සනට උගේ ඔලුවට ඒ විෂබීජෙ දාල තියෙන්නෙ. "මම තමයි මේ ලෝකෙ ඉන්න හොඳම කෙල්ල. ඔයාට කවදාවත් මං වගේ කෙනෙක් ලැබෙන්නෙ නෑ" කියල ඌගේ ඔලුවට දාල තියෙන්නෙ. දැන් ඉතින් ඒකි නැතිවෙයි කියන බයට ඒකි කියන කියන පදේට මූ නටනව. ඒකි කියන කියන පදේට නැටුවෙ නැත්තන් ඌව දාල යාවි කියල ඌ බයයි. මූ සිරාවටම හොඳ ගතිගුණ තියන, සුදු, හැන්ඩි කොල්ලෙක්. ඔයිට වඩා දහගුණයක් හොඳ, ලස්සන කෙල්ලෙක් ඌට හොයාගන්න පුලුවන්. ඒ වුනාට ඌ දැන් ගොනාට ඇඳල ඉන්නෙ. දැන් ඌව බේරගන්න බෑ.  ඌ නම් ඇත්තටම ඒකිට ආදරෙයි. ඒක ඌ කතා කරන වචනයක් වචනයක් පාසා පේනව. කෙල්ල ඒ ආදරේ ආයුධයක් කරන් ඉන්නෙ. අපි එක එක විදියට වටින් ගොඩින් කිව්ව ඌට. පස්සෙ මම කෙලින්ම කිව්ව ඒ ගැන. වැඩක් නෑ ඉතින් ආදරේ කරන්න ගියාම අන්ධ වෙනවනෙ. එහෙම වුනාම කොච්චර වැරදි තිබුනත් පේන්නෙ නෑ නෙ. මට දුක ඔය ලව් එකට මාත් වචනෙකින් හරි උදව් කරල තියන එක. 

මොකටද ඉතින් ඔහොම ජීවත් වෙලා. කොල්ලෙක් උනාම කොන්ද පන තියාගෙන ඉන්න බැරි නම් ඉතින් වැඩක් නෑ. අපි ඌට ඕක කෙලින්ම කිව්ව. ඌ කියන්නෙ "එහෙම එකක් නෑ, ඒ අපිට පේන හැටි" කියල. ඕන මගුලක් කරගන්න කියල අපි ඉන්නෙ. ඕව ඕනවට වඩා කියන්න ගිහින් අපි නිකන් නරක මිනිස්සු වෙනව ඊට පස්සෙ. අනේ මන්ද ඉතින් ඌට ලැජ්ජාවක් නැද්ද කියල. ඔය ඉතින් ඔය වගේ ඉන්න එකම එකත් නෙමෙයි නෙ. ඔය වගේ ඉන්න තව කොල්ලො කොච්චර ඇත්ද? සමහර කෙල්ලො කැමතියි තමන්ගෙ කොල්ලව තමන්ගෙ යටතෙ තියාගන්න. ඒකට අහු වුනොත් ඉතින් සොරිම තමයි. තමන් ඉන්න විදිය ගැන තීරණය තියෙන්නෙ තමන් අතේ. කෙල්ලට නැවීගෙන ඉන්න ගියොත් ඒක කෙල්ල පුරුද්දකටම තියා ගනීවි. ඔය ප්‍රසිද්ධ කියමනකුත් තියෙන්නෙ "කෙල්ලට එපා වෙනකල්, කොල්ල කෙල්ලගේ බල්ලාය" කියල. බල්ලෙක් වෙනවද, කොල්ල විදියටම ඉන්නවද කියන තීරණේ තියෙන්නෙ ඉතින් කොල්ලගෙ අතේම තමයි. හිතල බලන්න තමන්ට හොඳ මොකක්ද කියල. මම කිව්වෙ ඔය ප්‍රශ්නෙ එක පැත්තක් ගැන විතරයි. ඔය ප්‍රශ්නෙ අනිත් පැත්තටත් ඔය විදියටම වෙනව. 

දැන් කට්ටිය මගේ ගැන වැරදියට හිතන්න එපා. හිතන්න එපා ආදරේ දන්නෙ නැති, මහ අලි ඔලුවෙන් ඉන්න එකෙක් කියල. ආදරේ කියන එක නම් මම හොඳට දන්නව. මම ආදරේ වෙනුවෙන් ගොඩක් කැපකිරීම් පරිත්‍යාග කරල තියනව. ආදරේ කරපු කෙනාගෙ ආසවල් අනුව මගේ සමහර පුරුදු, මගේ ඇඳුම් පවා මම වෙනස් කරල තියනව. එයා කරන්න එපා කියපු දේවල් මම නොකර ඉඳලත් තියනව. ඒ වගේ දේවල් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. මොකද අපි ආදරේ කරද්දි අපේ ජීවිතේ ගැන ලොකු අයිතියක් අනිත් කෙනාට ලැබෙනව. එහෙම නැත්තන් වැඩකුත් නෑ. හැබැයි එහෙමයි කියල අපි කාගෙවත් රූකඩයක් වෙන්න වත්, දාල යාවි කියල බයෙ කියන කියන විදියට නටන්නවත් ඕන නෑ. එහෙම අය ඉන්නව නම් ඒ ගොල්ලන්ට යන්න දෙන එකමයි හොඳ. මොකද ඒ වගේ අය ඇත්තටම අපිට ආදරේ නෑ. ඒ වගේ අය වැඩිපුර ආදරේ කරන්නෙ තමන්ගෙ ආඩම්බරකමට, ලොකුකමට. ආදරේ කියල කවුරුවත් තමන්ගෙ ආත්ම ගරුත්වය නැති කරගන්න ඕන නෑ.

හිතල බලන්න ආදරේ නිසා කවුරුවත් ඔහොම ජීවත් වෙන්න ඕනද? ආදරේ කියන්නෙ ජීවිතේ ලස්සන කරන දෙයක්. කවුරුවත් ඒ නිසා විඳවන්න ඕන නෑ. ඔහොම තමන්ගෙ ආදර වන්තයා හෝ ආදර වන්තියව පාගගෙන ඉන්න අය හොඳට මතක තියාගන්න ඔය විදියට ඉන්න පුලුවන් ගොඩක් වෙලාවට කසාද බඳිනකල් විතරයි කියල. මොකද දාල යාවි කියන බය තියෙන්නෙ කසාද බඳිනකල් විතරයිනෙ. කසාද බැන්දට පස්සෙ ඉතින් ඕවට රිටර්න් එක පොලියත් එක්කම ලැබෙන්නත් පුලුවන්. අනිත් වැදගත්ම දේ තමයි තමන්ගෙ ආදර වන්තයා හෝ වන්තිය ගෙ යාලුවන්ගෙන් එයාව ඈත් කරන්න උත්සහ කරන්න එපා. ආදරේ කියන්නෙ ජීවිතේම නෙමෙයි, යාලුවො කියන්නෙත් ජීවිතේ ලොකු කොටසක්. කෙනෙක් ආදරය කරන්න පටන් ගත්ත කියල එයා තමන්ගෙ යාලුවන්ගෙන් ඈත් වෙන්න ඕන නෑ නෙ. යාලුවන්ගෙන් ආදරය කරන කෙනාව අයින් කරන්න හදනව කියන්නෙ තනිකරම ආත්මාර්ථකාමි කමක් විතරයි. ඒ වැරැද්ද නම් ගොඩක් වෙලාවට කරන්නෙ කෙල්ලො.  
...................................................................................................................................................................

ප.ලි. පෝස්ට් එක මේලෝකෙ රහක් නෑ වගේ නම් සමාවෙන්න ඕන. හිතේ තියන ආවේගයත් එක්ක ලිව්වෙ. ඒත් මම හිතනව මේකෙ හිතන්න දෙයක් ඇති කියල. හිතල බලන්න තමන් උඩ ඉන්න  පාර්ශව දෙකෙන් එකකට අයිති වෙනවද කියල. ඔන්න ඔහොමයි කසුන්ට හිතෙන්නෙ. ඔයගොල්ලන්ගෙ අදහසුත් බෙදාගන්න කැමතිනම් පහළින් කොටල යන්න. 





   

32 comments:

  1. අර සිංහයා හරකා වුනා වගේ තමා බං...

    ReplyDelete
  2. අපෝ ඔහොම සෙල්ලම් දාන්න ගත්තොත් නම් ලෝකේ හොඳම කෙල්ල වුනත් මටනම් තීරණයක් ගන්න වෙනවා. ඔහොමත් බලු වෙන්න පුළුවනැ?

    ReplyDelete
  3. හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් උබට මම ඇග්‍රි මචන්,හෑබෑයි උඹ ඔය කියන කෙල්ල උඹේ යාලුවට බූට් එක තියන්නත් ඉඩ තියනවා,උඹේ යාලුවට වඩා දතක් ලෑබුනොත්,කෑම්පස් කීවා නේද ඉන්නේ,ඒ වෑඩේ වෙන්න සෑහෙන්න ඉඩ කඩ තියන්වා,බයානකම දේ කොල්ලගේ කාඩ් එක මොකටද කෙම්ම තියාන ඉන්නේ....මම ඔය වගේ සීන් අනන්තවත් දෑකලත් තියන්වා....

    ReplyDelete
  4. තාම බඳින්නේ නැතුව මෙහෙම සෙල්ලම් දානවා නම් බැන්දට පස්සේ මොන මොනවා වෙයිද මන්දා. ඒක නිසා කොල්ලා තව ටිකක් හිතලා බැලුවොත් හොඳයි.

    යාලුවන්ට සළකන විදිහට වගේම යාලුවොත් ඒ කෙල්ලට කැමති නැති නිසා මට හිතෙනවා ඒ සම්බන්ධේ නම් එච්චර කාලයක් තියෙන එකක් නෙමෙයි කියලා. මෙහෙම කියන්න හොඳ නැති වුණත් මට නිකමට වගේ එහෙම හිතෙනවා

    ReplyDelete
  5. ඔය කෙල්ලව බැන්දම නම් උබේ යාලුවට දෙයියන්ගේම පිහිටයි...

    ReplyDelete
  6. මොන මඟුලකටද ඔය තරම් ඇඹරෙන්නෙ, යනවනං යන්න කිව්වා නං ඉවරනෙ ..........

    එක මාලුවද මූදේ ඉන්නෙ .......

    ReplyDelete
  7. මම නම් හිතන්නෙ තමන් විවුර්තව තමන් කරන කියන දේ කියන්න තරම් හයියක් කොල්ලෙකුට තියෙන්නත් ඕන, ඒ වගේම ඒවට බර බරේ දානවනම් ඇකිළිලා ඉන්නෙ නැතුව විරුද්ධ වෙන්න කොන්ද පන තියෙන්නත් ඕන..
    නැත්නම් ඉතින් බැන්දට පස්සෙ RIP තමා!

    ReplyDelete
  8. හොඳ ලිපියක් සහෝ.

    අසංක - කැම්පස්ද නැද්ද කියලා භේදයක් නෑ බං. ගෑනු ගෑනුමයි

    ReplyDelete
  9. ඔය වගේ උන්ට බොලා මොකුත් කියන්න යන්න එප. අන්තිමේ බොලා සේරමල වැරදි කාරයො වෙයි/ අර කෙල්ල හොද වෙයි.. යාලුකමත් කෙල වෙන පොටක්. සද්ද නැතිව බලන් ඉඩහන්කො මොකෑ වෙන්නෙ කියල..

    ජය..

    ReplyDelete
  10. උඹේ යාලුව ගොන් වස්සෙක් කියල තමයි කියන්න තියෙන්නෙ... උඹල ඕවට මොකුත් කියන්න යන්නෙ නැතුව පැත්තකට වෙලා බලන් ඉඳපල්ල... නැත්තන් ඌට කෙලවුන වෙලාවක උදව්වක්වත් ඉල්ලන්න ලැජ්ජ‍ වෙයි ඌ... මෝඩය කියල මරන්නද?...

    අනිත් මම අහල තියෙන පිළිගන්න දේ තමයි කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි තමුන්ගෙ ආදායම කීයද කියන එක වත් තමන්ගෙ බැංකු කාඩ් පත් හුවමාරු කරගැනිල්ලවත් කලයුතු නෑ කියන එක...

    ReplyDelete
  11. ආදරය යනු දෙදෙනාගේම නිදහස දෙදෙනාම නැති කර ගැනීම නොව, දෙදෙනාගේ ජීවිත දෙදෙනාම අවබෝධ කර ගැනීම නොවේද?

    ReplyDelete
  12. @prasanna86k
    අපේ එකාට නම් හරක කියන එකත් හොඳ වැඩියි.

    @පූසා
    වැඩේ කියන්නෙ ඉතින් ඌට කොච්චර බලු උනත් ගානක් නෑ නෙ. එහෙම නැත්තන් අපිට පේන්නෙ ගානක් නෑ වගේ ඉන්නවද දන්නෙත් නෑ.

    @අසoක
    ඔය කතාව නම් අපිටත් ඔහොමම හිතුන බං. ඇත්තම කිව්වොත් මම නම් හරි කැමැතියි ඔය සම්බන්දෙ නවතිනව නම්.

    @Hasitha
    ඒකත් එහෙම තමයි සහෝ. බැන්දට පස්සෙ මෙන මොන නීති දාවිද දන්නෙ නෑ.

    අපි ඒකිට කැමති නෑ කියන එක නම් ඌට අදාල නෑ සහෝ. දවසක ඕක අපිව ඇතෑරියොත් මිසක් ඒකි කියන දේට නම් පිටින් යන එකක් නෑ.

    @ChammA
    අනිවා. ඌට දිව්‍ය සම්පත් විඳින්න පුලුවන්. :D

    @පන්සල් හංදිය
    ඌ ඒකිට පන වගේ ආදරේ අයියෙ, ඒකනෙ ප්‍රශ්නෙ.

    ReplyDelete
  13. @ඉන්දික
    අනිවා සහෝ, කොන්ද පන නැත්තන් ඉතින් උගෙන් වැඩක් නෑ.

    @blog gadol
    ස්තූතියි සහෝ! ඔව් එක හරි, කැම්පස් නොවුනත් ඒ දේ වෙන්න පුලුවන්.

    @Gayan Rupasinghe
    අපෝ ඔව් අයියෙ, අපිත් ඕක කතා වුනා. අපි හිතාගත්ත ආයෙත් මොනවත් කියන්නෙ නෑ කියල. අර කිව්ව වගේ නැත්තන් අන්තිමට අපි තමයි වැරදි කාරයො වෙන්නෙ

    @සාතන්
    ඔව් ඒ මෝඩයට මොකුත් කියල වැඩක් නෑ. ඒත් අපිට නම් දුකයි ඌ ගැන. කෝල් එකක් එහෙම ගන්න වෙලාවට උගේ මූන බලන්න බෑ, දෙහි ලෙල්ල වගේ. ඒකි කෝල් එකෙන් වුනත් පුදුම ලයින් දෙන්නෙ.

    @නදුන් උයන
    මෙතන නම් අයියෙ නිදහස නැතිවෙලා තියෙන්නෙ අපේ ගොනාගෙ විතරයි. ඒකි ඕන ඕන විදියට රවුම් ගහනව. අනිවාර්යෙන්ම අයියෙ අවබෝධය කියන දේ තමයි තියෙන්න ඕන.

    ReplyDelete
  14. ඌ... මෝඩය කියල මරන්නද?...

    ReplyDelete
  15. විවාහ වෙන්න කලින්නම් කොල්ලෙක්ගේ සල්ලි කෙල්ල අතට යනවා කියන එක කොල්ලා හිගමනට වුනත් වැටෙන්න පුලුවන් හේතුවක්..මන් කෙල්ලෙක් උනත් මෙහෙම කියන්න්නේ..මොකද මන් එහෙම කතා අහලා තියෙනවා..ආදරේ කියන්නේ හදවත් වලින් ඇති වෙන්න ඕන බැදීමක් මිස,බය භිරාන්ත වෙලා ඇලි ගැලි ඉන්න එකනම් නෙමෙයි.. දෙන්නට දෙන්නා තුල බයක් නෙමේ.. ගෞරවයක් තියෙනවනන් දෙන්නම වැරදි කරන්න බය වෙනවා..ඒ තුලින් ඒ ජීවිත දෙකම සාර්ථක කර ගන්න පුලුවන්..

    තව පැත්තක් තියෙනවා..සමහර විට අපි නොහිතුවට ඒ ගෑනු ළමයා ඔයාගේ යාලුවට ඇත්තටම ආදරේ වෙන්නත් පුලුවන්..සමහර විට කාඩ් එකෙන් සත පහක්ව්ත් නොගන්නවා වෙන්නත් පුලුවන්..එහෙම කෙල්ලොත් මේ ලොකේ නැතුවම නෙමේ..

    හොදම දේ යාලුවට උපදෙස් දෙන එක..දෙන්නගේ අඩු පාඩු අදුරගෙන..ඒවා සාකච්ජා මර්ගයෙන් සුහදව විසද ගන්න කියන එක..එතකොට ඔයාගෙ යාලුවා ගොඩක් සතුටින් ඉදිවී..

    ReplyDelete
  16. මම කියන්නේ උඹලා මැදට පයින්න යන්න එපා ..කොල්ලෝ කොල්ලෝ ගහමරාගන්නෙම කෙල්ලෙක් මැදට එක්කාසු වුණාම ..

    යාලුවා පවු බං ..ඌ පවු පවු

    ReplyDelete
  17. පවු තමා බං අපි කියල මොනවා කරන්නද?

    ReplyDelete
  18. දැන් කරන්න තියෙන තියෙන එකම දේ මුකුත් නොකර ඉඳිම තමයි.
    ඔහොම එකකට කතා කරන්න ගිහින් අන්තිමේ යාළුවා තරහ වුනේ මාත් එක්ක. ඔයාලට කරන්න තියෙන දේ කෙළ වෙලා ආපු දවසට කලින්ටත් වඩා ඌට උදව් කරල ගොඩගන්න බලන එක...

    ReplyDelete
  19. @mahima
    ඔව් බං, දැන් ඉතින් අපිට කරන්න දෙයක් නෑ. ඕකව මරල වැඩකුත් නෑ නෙ. හදිස්සියකට ඕම්බියක් වත් ගහන්න සෙට් වෙන්න එකෙක් නැති වෙනවනෙ.

    @අසනි
    අනිවාර්යෙන්ම අසනි, දෙන්නට දෙන්න තුළ ගෞරවයක් තිබීම තමයි වෙන්න ඕන. කාටවත් බයේ ජීවත් වීම නෙමෙයි.

    ඒ කෙල්ල අපේ එකාට ඇත්තටම ආදරේ නෑ කියල හිතෙන්න ගොඩක් හේතු තියනව අසනි. කෝල් එකක් උනත් ගන්නෙ ඒකිට හිතුන වෙලාවට. අපේ එකාට උවමනාවට කෝල් එකක් ගන්න හරි අමාරුයි. ඒකිගෙ සේරම වැඩ ඉවර කරල තමයි කෝල් එකක් ගන්නෙ. අනිත් එක ඒකිට හිතෙන් දේවල් විතරයි කරන්නෙ. මූ කියන දේවල් නිකමට වත් අහන්නෙ නෑ. හැබැයි මූ ඒකි කියන විදියට ඉන්න ඕන. එක දවසක් මූ සති දෙකක් විතර එකදිගට මහන්සි වෙලා වඩ කරල දවස් දෙකක නිවාඩුවට ගමේ ආවම මොකක්ද ඒකිගෙ වැඩකට කියල ගිනි පාන්දර කොළඹ එන්න කිව්ව. මූ සෑහෙන දේවල් කියල ශේප් කරගන්න හැදුව. එදා කීයට ගියාද කියල නම් දන්නෙ නෑ. වෙන හැම සිද්ධියකින්ම අපිට නම් තේරෙන්නෙ ඒකි ඇත්තට මූට ආදරේ නෑ කියල අසනි.

    ඒකි සමහර විට කාඩ් එකෙන් සල්ලි ගන්නෙ නැතුව ඇති. අපි ඒ ගැන නම් දන්නෙ නෑ. ඒත් උගේ උවමනාවකට සල්ලි ගන්න බැරි නම් මොකටද ඒකි කාඩ් එක තියාගෙන ඉන්නෙ?

    "එහෙම කෙල්ලොත් මේ ලොකේ නැතුවම නෙමේ.."

    අනේ එහෙම කෙල්ලො නැතුව නෙමෙයි අසනි. ඕන තරම් ඉන්නව. මම මේ කිව්වෙ සුලුතරයක් ගැන විතරයි. ප්ලීස්, ඒක හැමෝටම කිව්ව කියල අදාල කරගන්න එපා හොඳද.

    ඒක නෙමෙයි මොකද මේ දවස් වල පෝස්ට් එකක් වත් දාන්නෙ නැත්තෙ? බිසීද?

    @හිස් අහස
    අපෝ නෑ බං. මහිමල් අපි දැන් පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක තමයි කරන්නෙ. ඇත්තටම ඌ පව් තමයි බං.

    @තාරක Dilsh@n
    ඔව් සහෝ, ඔය වෙලාවට මිනිස්සු අන්ධ වෙනව. ඊට පස්සෙ ඇත්ත කියන්න යන එකා තමයි නරක මිනිහ වෙන්නෙ.

    ReplyDelete
  20. ඔව් කසුන්..ටිකක් විතර හිතට නිදහසක් නෑ..ඒත් මේ සතියේ..අනිව පෝස්ටුවක් දානවා..යාලු..

    ReplyDelete
  21. අද දැක්කනේ ඊලග එකා

    ReplyDelete
  22. හික්ස්..
    වටිනා ලිපියක්..
    ඒ වගේ අනික් කෙනාට ඕන විදියට ජීවත්වෙන ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ අයට තමන් ගැන තේරුම් යන්නෙ අනික් කෙනා වෙන්වුනාම තමයි. එදාට තනියම ජීවත්වෙන්න අමාරු වෙද්දි තමයි තේරෙන්නෙ තමන් මුලාවෙලා හිටපු බව.
    දෙන්නා අතර අවබෝධය තියෙනවානම් විශ්වාසය තියෙනවානම් අනික් කෙනාව යටත් කරගෙන ඉන්නවත් අනික් කෙනාට යටත් වෙන්නවත් ඕන නෑ.
    හොඳ පෞරුෂයක් නැතිනම් කසාද බැන්දට පස්සෙ ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්න පුලුවනි.
    කාඩ් එක කෙල්ල ගාව තිබුනට පාස්පොත තියෙන්නෙ කෙල්ලගාව නෙවි නේද?

    ReplyDelete
  23. කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් තමන් හම්බ කරන දේ තමන් ගාව තියා ගත්තම ඉවරයිනේ . ආදරෙයි කියල ඕනවට වඩා නිවට වීම අවශ්‍ය නැහැ . අනවශ්‍ය විදියටනාස්ති කරනවා නම් අවවාදයක් දුන්නත් කමක් නැහැ .

    ReplyDelete
  24. තද වෙලා ලිවුවත් වැදගත් කතාවක් ලියලා තියෙන්නේ. ඔය වගේ කෙල්ලො වගේම කොල්ලොත් ඉන්නවා. ඒ කෙල්ලත් ඇත්තටම ආදරේ නෑ වගෙයි පේන්නෙ...

    ReplyDelete
  25. @අසනි
    හරි එහෙනම් ඉක්මනට දාන්නකො.

    @mahima
    නෑ, ඌ නම් ඕව ගනන් ගන්නෙ නෑ බං. මම විහිලුවට කිව්වෙ.

    @RoshanHerath
    සිරාවටම ඔය වගේ වෙන්න ගියොත් කසාද බැන්දම මොන මොන ප්‍රශ්න ඒවිද දන්නෙ නෑ. අපේ එකාට අපිව මුන ගැහෙන්න වත් එපා කියාවිද දන්නෙ නෑ.

    පොත නම් ඌ ලඟ ඇත්තෙ බං. නැත්තන් ගෙදර ඇත්තෙ.

    @Bindi
    ඔව් අක්කෙ, කසාද බඳින්න කලින් තමන්ගෙ සල්ලි අනිත් කෙනාගෙ යටතට යන්න දෙන්න ඕන නෑ. ලෙංගතු කමට නාස්ති කරන්න නොදී පරෙස්සම් කරන එක වෙනම දෙයක්. නිවට වීම නම් කොහොමත්ම අවශ්‍ය නෑ.

    @නිසුපා
    අනිවාර්යෙන්ම අක්කෙ, මම කියපු කතාවෙ අනිත් පැත්තත් ඕන තරම් වෙනව. කෙල්ලො කොල්ලො දෙගොල්ලොම ඔය වගේ පීඩාවට පත් වෙනව. ඒ කෙල්ල ඇත්තටම ආදරේ නෑ කියල ඌට ඇරෙන්න අනිත් ඔක්කොටම තේරෙනව අක්කෙ. ඒත් ඒ ගොනා ඒක තේරුම් ගන්නෙ නෑ නෙ.

    ReplyDelete
  26. ඔහොම කොල්ලො ඉන්නව බන්... ඒක කෙල්ලගෙම නෙමෙයි බන් කොල්ලගෙත් වැරද්ද.. මුල ඉදන් බොරු හුරතල් පෙන්නල දැන් ඔඩු දුවල බෙහෙත් නෑ..

    කොල්ලො එකක් කියන්නම් ඔව්වට උබල මොකුත් කියන්න යන්න එපා... අන්තිමට යාළු කමුත් නැති වෙයි

    ReplyDelete
  27. @පිස්සා පලාමල්ල
    අනිවා සහෝ, වැරැද්දෙන් බාගයක්ම උගේ. ඌ දැනගන්න ඕන මුල ඉඳලම උගේ තැන තියාගෙන ඉන්න.

    ReplyDelete
  28. "ඌ බයයි කෑල්ල ඌව දාල යයි කියල"

    ඔන්න ඕක තමයි විසබීජේ. ඕක නිසයි කෙල්ලෙක් ගෝනි නැතුව කරේ යන්න උනත් පෙලබෙන්නේ. අපි කෙල්ලට ආදරේ තමයි.ඒ උනාට අපි ඒ කෙල්ලට පෙන්නන්න ඕනේ. එයා නති උනාට ජීවත් වෙන්න පුලුවන් කියලා. මොකද නත්නම් කෙල්ල අරම හිතුවම අපිට ගොනෙක් වහේ ඉන්න වෙනවා.

    මොන උනත් ඒ කොල්ලා පවු !!!!

    ReplyDelete
  29. @මධුරංග
    අරූ නම් ඉතින් දැන් හොඳටම ගොනා වෙලා ඉන්නෙ බං. ගොඩ ඒමක් නෑ වගේ. පව් ඉතින්, ඒත් අපිට කරන්න දෙයක් නෑ.

    ReplyDelete
  30. //දෙන්නට දෙන්නා තුල බයක් නෙමේ.. ගෞරවයක් තියෙනවනන් දෙන්නම වැරදි කරන්න බය වෙනවා..ඒ තුලින් ඒ ජීවිත දෙකම සාර්ථක කර ගන්න පුලුවන්..//

    අසනි කිව්වා වගේ යුගල ජීවිතය ගැන මගේ ආදර්ශ පාඨයත් ඕක තමා... ඔයවගේ නිවට වෙලා ඉන්නේ කෙල්ල අත් හරී කියලා බයට නම් අනිවා ඔය දෙන්නා බැන්දොත් කෙල්ලට ඕවගේ රිටන් එක හම්බවෙනවා රිටන් එක්කම. මට නම් කියන්න තියෙන්නේ එච්චරයි.

    ReplyDelete
  31. @චතුරංග පෙරේරා
    මටත් ඕක ඔහොමම හිතුන අයියෙ. හැබැයි මූ බැන්දට පස්සෙ ඔයිටත් වඩා අන්ත වේවිද දන්නෙ නෑ.

    ReplyDelete
  32. මොකද අපි ආදරේ කරද්දි අපේ ජීවිතේ ගැන ලොකු අයිතියක් අනිත් කෙනාට ලැබෙනව.ඔව් ඇත්ත ,, එහෙම ඓතියක් දීලත් ආදරේට පයින් ගහල කොන්ද පන නැති වැඩ කරන අයත් ගොඩාක් ඉන්නවා.

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.