twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, August 29, 2011

පොඩි උදව්වක් කරන්නකො....!

අද කතාවක් ලියන්න වත්, අත්දැකීමක් බෙදා ගන්නවත්, මගේ අදහසක් කියන්න වත් නෙමෙයි මේ හදන්නෙ. ඇත්තටම පොඩි උදව්වක් ඉල්ලන්න මේ ලියන්නෙ. කරල දෙන්න පුලුවන් නම් ඉතින් පොඩි නෑ, ලොකු උදව්වක්. අනේ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො මකුලුවො එන්නෙ නැති වෙන්න ගහන්න පුලුවන් ස්ප්‍රේ එකක් හරි කරන්න පුලුවන් වෙන මොකක් හරි ජිල්මාට් එකක් හරි. හැබැයි ස්ප්‍රේ එකක් ගහල මකුලුවො මරන්න නෙමෙයි, උන් එන්නෙ නැති වෙන්න මොකක් හරි කරන්නයි ඕන. මැරෙන්න ගහන්න නම් ඕන තරම් කඩවල් වල තියනව නෙ. සත්තු මරන්න බෑ. 


මම ගූගල් දෙයියන්ගෙන් අහල බැලුව. මෑන් එක එක ජාති පෙන්නුව, ඒත් ඕව ලංකාවෙ ගන්න තියෙද දන්නෙ නෑ නෙ. ලංකාවෙ පේජ් වල නම් මුකුත් හොයාගන්න තිබුනෙ නෑ. ඊට පස්සෙ මට මතක් වුනේ බ්ලොග් අවකාශෙ කස්ටිය. ඉතින් ඔන්න මම දුක කියාගෙන ආව. ඇත්තටම මුන් මහ පුදුම වදයක් වෙලා තියෙන්නෙ. සති අන්තෙ ගෙදර ආවම, බැද්ද සුද්ද කරනව වගේ මකුලු දැල් කඩ කඩ තමයි කාමරේ ඇතුලට එන්න ඕන. සිවිලිමේ ඉඳල බිමට යනකල්ම මකුලුවො ගෙවල් හදාගෙන සැපට ඉන්නව. මම ඉතින් පිට ගෙදරක ඉන්නව වගේ තමයි මගේ කාමරේ ඉන්නෙ. 

අද හතිය හැදිල මැරුනත් කමක් නෑ කියල පටන් ගත්ත මකුලු දැල් කඩන්න. ගෙදරත් කවුරුවත් හිටියෙ නෑ, එතකොට තව නිදහස් නෙ. නිවී සැනසිල්ලෙ මට කරගන්න පුලුවන්. වෙනද නම් ඔය වගේ වැඩක් කරනකොට මගේ සෙට් එකේ පහක් හයක් විතර සෙට් කරගෙන කරන්නෙ. අද හිතුන තනියම කරන්න ඕන කියල. කොහොමත් ගෙවල් වල ඉන්නෙත් දෙන්නයි. බඩු ටික වෙන කාමරේකට දාල වැඩේ පටන් ගත්ත විතරයි මහිමය ආව. එක්කො උගේ වෙලාව හොඳ නැතුව ඇති, නැත්තන් ගෙවෙන්න මොකක් හරි අපලයක් තියෙන්න ඇති. පස්සෙ දෙන්නත් එක්ක මකුලු දැල් කඩල, අතුගාල, කාමරේ හෝදලම දැම්ම. ඊට පස්සෙ කාල තමයි මේක කොටන්න වාඩි වුනේ. උන් මැරෙන්නෙ නැති වෙන්න ගොඩක් පරෙස්සමට හෙමිහිට මකුලු දැල් කැඩුවෙ. ඒත් ඉතින් ටික දෙනක් අවසන් ගමන් ගියා. ඊට වැඩිය බේරන්න බෑ. යකා නගින වැඩේ කියන්නෙ මේ වෙනකොටත් කට්ටිය ආයෙත් වැඩ පටන් අරගෙන. මරන්නෙ නැතුව බේරපු මකුලුවො මට කින්ඩියට වගේ කට කොනින් හිනා වීගෙන ආයෙත් මකුලු දැල් බඳිනව. 

මේ කාමරේ දෙගොල්ලකට ඉන්න බෑ. එක්කො මම යන්න ඕන නැත්තන් මුන්ව එලවන්න ඕන. අනේ ඉතින් මුන්ව එලවන්න දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. ස්ප්‍රේ එකක් වගෙ දෙයක් නම් ගොඩක් හොඳයි. ඒක ලේසියි නෙ. මොකක් හරි විසඳුමක් දුන්නොත් ලොකු පිනක්!

24 comments:

  1. මල්ලි උඹ මකුළුවො මරන්නත් කැමති නැත්නම් එක වැඩයි කරන්න තියෙන්නෙ, ගහපං බෝඩ් එකක් මකුළුවන්ට කාමරේට ඒම තහනම් කියලා .........

    ReplyDelete
  2. උබටත් තියෙන ප්‍රශ්න... උබත් එක්ක කොක්කක් ඇති මකුලුවො ඒකයි ඔය... ඒත් උන් උබෙන් ගේම නොයිල්ල කාමරේ ඉල්ලන එකම මදෑ.... හික් හික්... අනේ මන්දබන් නොමැරෙන්න බෙහෙත් නම්

    ReplyDelete
  3. අර කූඹීන්ට අදින චෝක් එකක් තියෙන්නෙ ඒකෙන් බිත්ති අයිනවල් වල ඇදලා බලන්න, දොර වටේත් අදින්න, ජනෙල් වලත් අදින්න, ඇතුලට එන්න පුලුවන් හැම තැනකම අදින්න. එහෙම කරොත් එන එකක් නෑ. කූඹි විතරක් නෙමේ ඒකට මකුළුවොත් සැලෙන්ඩර් මට මතක විදියට.

    ReplyDelete
  4. බෙහෙතක්නම් දන් නෑ..ඒත් කරන්න එක දෙයක් තියෙනවා..ගෙදර අයට කියන්න දවස් දෙකකටවත් සැරයක් කාමරේ අතු පතු ගාලා..මකුළු දැල් ඒ ගමන්ම අයින් කරන් යන්න කියලා..හරිම සුළු දෙයක්...එහෙම කරන එක..එතකොට ගොඩක් බෝවෙන එක අඩු වෙයි....

    අද්දුටුවයි...

    ReplyDelete
  5. ඕකට ලංකාවේ චෝක් ජාතියක් තියෙනවා නේ. මම් එකේ නම හරියටම දන්නේ නැහැ. කාමරේට එන්නේ නැති වෙන්න වට කරලා කොටු අදින්න පුළුවන්. ක්‍රමය සාර්ථකද කියලා නම් දන්නේ නැහැ. එත් ක්‍රමයක් තියෙනවා එහෙම.

    ReplyDelete
  6. චෝක් එක කූම්බින්ට තියෙන්නේ.... දැන් ඒක හරිඅය්න්නෙත් නෑ.. උන් පුරුදු වෙලා

    ReplyDelete
  7. අසනි ගේ බේත තමයි බේත!
    ඔන්න මමත් අත්දුටුවයි!!!

    ReplyDelete
  8. කොහෙද ඉතින් කට්ටිය මාව බයිට් එකට ගත්තනෙ. මම මල පැනල ඉන්නව, මුන් ජෝක් කරනව. අනේ දන්න එකෙක් කියනවකො.

    ReplyDelete
  9. @පන්සල් හංදිය
    වැඩක් නෑ අයියෙ, ඕකුන්ට කියවන්න බෑ. ඕකුන් වැස්සකට වත් ඉස්කෝලකට ගියපු උන් නෙමෙයි.

    @පිස්සා පලාමල්ල
    සිරාවටම උන් මගෙත් එක්ක මොකක් හරි ගේමක් තියනව. වෙන කාමර වල ඔහොම නෑ, මගේ කාමරේ විතරයි.

    @මලියා
    චෝක් එක මකුලුවන්ට හරි යන්නෙ නෑ සහෝ.

    @අසනි
    අතුගාන්න කෙනෙක් නෑ අසනි. මමම අතුගෑවොත් තමයි. මම කාමරේ අතුගාන්නෙත් සෑහෙන කලාතුරකින්.

    @මධුරංග
    චෝක් එක හරි යන්නෙ කූඹින්ට විතරයි බං.

    @ඉන්දික
    ඒ බේත හරි යන්නෙ නෑ සහෝ. මේක අතුගාන්න කවුරුවත් නෑ.

    ReplyDelete
  10. මු කවදාවත් කබරේ අතුගන්නේ නැ එකයි ඔය අවුල
    මුගේ කබරේට ඇවිත් බලන්න ඕනේ සතිගණන් පරණ තේ කොප්පයි සතිගණන් පරණ බත් පිගනුයි කියල වැඩක් නැ
    වෙන එකක් තියා මු නිදා ගන්න ඇදේ පවා මු ඉන්නන හරිය ඇර අනිත් ටිකේ මකුණු දැල් බැදලා තියෙන්නේ
    මු මෙහේ මකුනොන්ට බනිනවා
    මුගේ කාබරේ තියෙන්නේ අපි ගියත් පැටලෙන තරමේ මකුණු දැල්

    ReplyDelete
  11. අර බ්ලොග් ලියන මංච්ට කියලා බැලුවොත් නරකද ? මොකද එයාට ඔය මකුළු කනෙක්ෂන් තියෙනවානේ ;) ;)

    ReplyDelete
  12. තියෙනවා පොඩි සීන් එකක්. මෝර්ටීන් ලගෙම තියෙනව පොඩි චොල්ක් කෑල්ලක් වගේ කුරක්... ෆුඩ් සිටි වල තියෙනවා.. ඔන්න ඕකෙන් බිත්තියේ ඉරි දෙක තුනක් ඇන්දම මකුලුවො කැරපොත්තො එහෙම එන්නෙ නැ..

    ReplyDelete
  13. මකුලුවො එලවන්න බෙහෙත් නැහැ මන් දන්න විදියට ලංකාවෙනම්.. උන් එක්ක සාමෙන් ඉන්න බලන්න.. සති2-3 කට විතර සැරයක් මකුලු දැල් කඩල දමන්න.. ඔය අතරෙ බලන්න උන් මකුලු දැල් බඳින හැටි සහ සත්තු අල්ලන හැටි.මකුලු දැල් රටා මාර ලස්සනයි.මාර සීන් එක..ඔය අතරෙ 18+ එව්වත් යනව..කැමර එකක් අරන් මැක්‍රෝ දමල ෆොටෝ ටිකක් ගන්න.. උන් කාමරේට එන මදුරොවො පවා අල්ලල අපිට උදව් කරනව.. මගෙ අත්දැකීමෙන් කියන්නෙ..මටත් මුලින් තද උනා..වැඩක් නැහැ..දැන් සමහර මකුලු දැල් කඩන්නෙත් නැහැ..එච්චර යාලු උන් ඉන්නව

    ReplyDelete
  14. ඔය කාමරේ දොර ජනෙල් ටිකක් අරලා දාලා හුළං පොදක් එන්නයි ඉර අව්ව වැටෙන්නයි සලස්සහං මලයා... නිකං පෙරේත මන්දිරේ වගේ තියා ගන්නේ නැතිව...

    ආ උඹට ස්ප්‍රේ එකක් නේද ඕන..මං දන්න ස්ප්‍රේ එකක් තියේ..අර හෙයාර් ස්ප්‍රේ තියෙන්නේ..දන්නවා නේද..අර අර බං ගෑණු ළමයි කොණ්ඩ ආං බං කරන්න ගහන්නේ අන්න ඒක ගහපං... මකුළු දැල් නිකං කෙලින් කරපු ස්පෝක් කම්බි වගේ හිටී.. උන්ටම එපා වෙනවා දැල් බැදිල්ල... උඹ මං කියනවට එක පාරක් ගහලා බලහංකෝ...

    @අනිත් කොමෙන්ට් කරපු උං ඔක්කෝටම...

    යකෝ මිනිහෙක් අමාරුවේ වැටිලා උදව්වක් ඉල්ලද්දී විහිළු කොරන්න එපා.. මේ මං වගේ ඌට උදව්වක් කරහල්ලා...:D

    ReplyDelete
  15. @mahima
    ඔන්න ඉතින් කිව්ව කතාවක්! යකෝ මකුලු දැල් බඳින එකෙයි, පිඟන් කෝප්ප හෝදන්නෙ නැති එකෙයි තියන සම්බන්දෙ මොකක්ද? :P

    "වෙන එකක් තියා මු නිදා ගන්න ඇදේ පවා මු ඉන්නන හරිය ඇර අනිත් ටිකේ මකුණු දැල් බැදලා තියෙන්නේ"

    ඒක නිසා තමයි ඉතින් යෝදයෝ ඒකට බේතක් හොයන්නෙ. දැන් උඹ කියන්නෙ මකුලුවො හොඳයි, මම වැරදියි!

    @ChammA
    එහෙමවත් කියල බැලුව නම් හරි නේද? :)

    @Gayan Rupasinghe
    ඒක හරියන්නෙ සහෝ කූඹින්ට විතරයි නේද?

    @Weni
    අම්මෝ 18+ සීන් නම් ඊය මකුලු දැල් කඩන වෙලාවෙ ගොඩක් දැක්ක. මම අහක බලාගෙන කැඩුවෙ. සමහර තැන් වලින් වැටෙන්නෙ මකුලුවො ජෝඩු ජෝඩු.

    "දැන් සමහර මකුලු දැල් කඩන්නෙත් නැහැ..එච්චර යාලු උන් ඉන්නව"

    ඒක ශෝක් වැඩේ.:D

    @මාරයා
    අප්පච්ච්යේ මාරය අයියගෙ පළවෙනි කමෙන්ට් එක නේද. මේකෙ දොර ජනෙල් අරින්නෙ මම ආවම විතරයි අයියෙ. එහෙමයි කියල පෙරේත මන්දිරේ වගේ කියන එක වැරදියි නෙ.:(

    දෙවනි ක්‍රමේ නම් පට්ටයි අයියෙ. ලොවෙත් ලොල්. උදේ පාන්දරම (9.40ට විතර) ඇතිවෙන්න හිනා වුනා. ඇත්තටම ඒක කරල බලන්න ඕන. මකුලුවො කුණුහරුපෙන් බැන බැන යාවි.

    ReplyDelete
  16. ඇත්තමයි මල්ලියේ අවුරුදු 3කට පස්සේ මම මගේ කාමරේට ගියේ.. ඒත් එක මකුළු දැලක්වත් නෑ.. ඒකට ඉතින් පින් දෙන්න ඕන අපේ අක්කට තමා.. මොකද හැමදාම උදේට අතුගාලා පිළිවෙලකට තියන් හිටියට.. අර මාරයා අයියා කිවුව වගේ ජනේල් ඇරලා තියන්න.. එතකොට හරියාවි...

    ReplyDelete
  17. @Dinesh
    අනේ ඉතින් අපිට අක්කල නෑ නෙ දිනේශ් අයියෙ. දුක තමයි.

    ReplyDelete
  18. අපොයි මටත් අනන්තවත් හිතිලා තියෙනවා මකුලුවො වද කරන බෙහෙත් ලංකාවෙ නැද්ද කියලා.මකුලුදැල් කැඩුවා වගේ නෙවෙයි ඕවා දූවිලිත් එක්ක බිත්තියට එහෙම ඇලුනොත්.බිත්තියත් ඉවරයි.

    ReplyDelete
  19. මේකටත් වෙන එව්ව , හොඳම දේ තමයි අතුපතු ගාලා කාමරේ තියන් ඉන්න එක..

    ReplyDelete
  20. @නිසුපා
    ලංකාවෙ බේත් නෑ වගේ තමයි අක්ක. මාත් බොහොම පරෙස්සමට තමයි කැඩුවෙ, ඒත් සිවිලිමේ පාරවල් දෙක තුනක්ම වැදුන.

    @චතුර
    ඔව් බං, වෙන කරන්න දෙයක් නෑ වගේ.

    ReplyDelete
  21. මොකක්ද මිනිහො... මකුළුවො එක්ක සාමෙන් ඉඳපන් මේ මම වගේ... මම නම් කම්මැලි වෙලාවට හුරතල් කරන්න ගන්නෙත් මකුළුවො කුරුමිණියො වගේ එවුන්ව...

    ළඟදි ඉදන් මම ගෙදරින් ගියහම අම්ම කාමරේට පැනල යුද්ධ කරන්න පටන් අරන් දැන් සත්තු අඩුයි බන්... :(

    ReplyDelete
  22. කසුන් නම් මාර අවිහිංසක ඩයල් එකක් බව මට තේරෙනවා. ඔහොම ජීවත් වෙන්න නම් පු‍තෝ සෑහෙන අමාරුයි. ඒත් කමක් නෑ. ඒක කසුන්ගෙ ප්‍රතිපත්තියනෙ. ඒකට මම ගරු කරනවා. ඔය වගෙ බෙහෙතක් ගැන ගැන මට නම් දෙන්න හරි උපදේශයක් නැහැ. නමුත් වෙනත් උපදෙස් දෙකක තියෙනවා.
    එක. මම නම් වැකයූම් ක්ලීනර් එකෙන් තමයි ඔය වැඩේ කරන්නෙ. එක පාරක් කලාම දැලුයි මකුලුවොයි ඔක්කොම බෑග් එකේ. එලියට ගිහින් විසි කරනව. නමුත් කසුන් මේකට කැමති වෙන්නෙ නැති බව මම දන්නවා. නමුත් කසුන්ට වැකයූම් ක්ලීනර් එකක් ඉතාම අවශ්‍යයි අර හතියක් ගැන කියලා තිබ්බ නිසා. ඇත්තටම මම කොමෙන්ට් එක දානෙත් ඒකට. ඒක තව දුරටත් සුඛෝපබෝගී භාණ්ඩයක් නෙවෙයි ස්වසන ආබාධයක් තියෙනවා නම්. මොකද ඩස්ට් එක පෙනහල්ලට යවා ගන්නෙ නැතුව මකුලු දැල් කඩන්න දූවිලි අයින් කරන්න පුලුවන් නිසා.
    අනික තමයි මකුලු දැල් කඩන කොට (ඕක කරවගන්න වෙන කෙනෙක් නැත්නම්) අර හාඩ් වෙයාර් වල ෆාමසි වල එහෙම විකුණන ඔක්සිපියුරා මාස්ක් එක දාන්න. ඒක හරි ඉෆෙක්ටිව්. තවත් මදි නම් ඒකට උඩින් තෙත ලේන්සුවකුත් බැඳ ගන්න.
    මම මේ උපදෙස් දෙන්නෙ මම දොස්තර කෙනෙක් නිසා නෙවෙයි. ඔය කට්ට මාත් කන නිසා.
    henryblogwalker aka Dude

    ReplyDelete
  23. @සාතන්
    මෙච්චර කල් සාමදානෙන් හිටියෙ අයියේ. ඒත් දැන් හරියන්නෙ නෑ, මුන් දේශසීමා උල්ලංගනය කරනවා. ඇඳ ගාවට එනකල්ම බැඳලා.

    @Dude
    මෙහෙම ජිවත් වෙන එක සෑහෙන අමාරුයි නම් තමයි. ඒත් මම 1998.02.14 ඉඳල හිතාමතා මදුරුවෙක් වත් මරල නෑ. අයියෝ වැකුම් ක්ලිනර් එක නම් බෑ අයියේ.:( අර මාස්ක් එක නම් හොඳ වැඩක්. මම ඒ ගැන අහල නම් තියනවා, ඒත් ඒක මතක් වුනේ නෑ. ඊළඟ පාර එයින් එකක් ගන්න ඕන. ගොඩක් ස්තුතියි අයියේ මෙච්චර ලොකු දැනුවත් කිරීමක් කලාට.

    ReplyDelete
  24. අම්මෝ මටනම් බයයි මකුළුවන්ට.. අම්මෝ මකුළුවෙක් දක්කාත් මම දුවනවා :/

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.