twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, November 25, 2011

සැඳෑ අඳුරට මුසු වූ 'සරසවි ගී සිසිල'

කාලෙකින් ඔන්න බ්ලොගේ පැත්තේ ගොඩවුනා. පහුගිය දවස්‌ ටිකේ ෆලෝ කරපු බ්ලොග් ටික වත් කියවන්න වුනේ නෑ. පහුගිය දවස්‌ වල ලොකු වැඩකට හිර වෙලා හිටියේ. මේ මොහොත වෙනකොට නම් මම බොහොම සතුටෙන්, තෘප්තියකින්, ඒ වගේම අහිංසක ආඩම්බරයකින් ඉන්නේ. අපි බොහොම ආදරෙන්, කැපවීමෙන්, මහන්සියෙන් පටන් අරගෙන මාස 3ක් 4ක් තිස්සේ කරගෙන ගිය වැඩක් පෙරේදා බොහොම සාර්ථකව අවසන් වුනා. ඒ තමයි 17 වෙනි 'සරසවි ගී සිසිල'. ඔන්න ඕක නිසා තමයි පහුගිය දවස්‌ ටිකේ මේ පැත්තේ එන්න වුනෙත් නැත්තේ. මොරටුව කැම්පස් ආපු අය නම් හැමෝම වගේ මේ ගැන දන්නවා ඇති. නොවැම්බර් 24 දා මොරටුව කැම්පස් එකේ සුමනදාස මැද මිදුලේ තමයි 'සරසවි ගී සිසිල' පැවැත්වුනේ. මම මේ ගැන ලියන්නමයි බලාගෙන හිටියේ. කොහෙද ඉතින් පිණිබිඳු අක්ක මට කලින් ඒ ගැන ලියල නේ.:) මට හිතුන පිණිබිඳු අක්ක ඒවි කියල. මම බැලුව ඉන්නවද කියල, හොයාගන්න බැරි වුනා. ආහ් තව දෙයක්, මම මේ ලියන්නේ පම්පෝරියක් ගහන්න නෙමෙයි. මේක ලියන්නේ මගේ හිතේ තියන සතුටට සහ තෘප්තියට. සමහරවිට මේක කියවන අයට මේ කියන දේවල් වල වැඩක් නෑ කියල හිතෙයි. ඔන්න පස්සේ මට බැන බැන යන්න එපා හොඳද අපිට මොකටද මේව කියන්නේ කියල. මම පව්.:(


('ගොඩනැගිලි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය' කිව්වම නම් ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති. අපේ ශිෂ්‍ය සංගමයේ කලින් නම 'ප්‍රමාණ සමීක්ෂණ ශිෂ්‍ය සංගමය' (QSS). ඒත් ගිය අවුරුද්දේ අපේ ශිෂ්‍ය සංගමයේ නම 'ගොඩනැගිලි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය' නමින් වෙනස් වුනා.) අපේ දෙපාර්තමේන්තුවේ බැච් එකකට අවුරුදු හතරට කරන්න තියන වැඩ වලින් අන්තිම සහ වැදගත්ම වැඩේ තමයි 'සරසවි ගී සිසිල' සංවිධානය කරන එක. අපේ හදවතට එකඟව අපිට දැනෙන විදියට අනුව සහ බලපු අය කියපු විදියට අපි ඒක උපරිමයෙන්ම කළා. ඒ සතුට මෙච්චරයි කියල නම් කියල ඉවර කරන්න බෑ. අපි ඒ දේ හරියට කළා කියන තෘප්තිය හැමදාම අපේ හිත්වල තියේවි. අවුරුදු 17කට කලින් අපේ ජේෂ්ඨ කණ්ඩායමක් ආරම්භ කරපු මේ වැඩේ එදා ඉඳල හැම අවුරුද්දකම අපේ ජේෂ්ඨ ශිෂ්‍යයෝ බොහොම ආදරෙන් කරගෙන ආව. මේ පාර ඒක භාර වුනේ අපිට. ඒ කිව්වේ හැම අවුරුද්දකම ෆයිනල් ඉයර් බැච් එක තමයි ඒක කරන්නේ. ගිය අවුරුද්දේ ගී සිසිල ඉවර වුන වෙලාවේම අපි හිතා ගත්තා අපේ පාරත් අපි උපරිමයෙන්ම කරනවා කියල. ඉතින් මීට මාස 3කට විතර කලින් කළුතර බෝධීන් වහන්සේට බාරයක් වෙලාම ඒ වැඩේට මුල පිරුවා. ඊට පස්සේ මූලික වැඩ ටික සූදානම් කරගෙන පොඩ්ඩක් විතර ඒ වැඩ පරක්කු කරන්න වුනා රිසර්ච් එකේ වැඩ නිසා. හැබැයි අපේ සභාපතිතුමා නම් ඒ වැඩ අස්සෙත් එහෙ මෙහෙ දිව්වා අනුග්‍රාහකයො හොයන්න. ඊට පස්සේ මීට මාස එක හමාරක විතර ඉඳල තමයි ෆුල් ටයිම් වැඩ පටන් ගත්තේ.

මේ පාර ගායක ගායිකාවන් විදියට සහභාගී වුනේ වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, කරුණාරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන්. ඔය නම් ටික ඇහුණාම හිතාගන්න පුළුවන් නේ මොන විදියේ ප්‍රසංගයක්ද කියලා. දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය නම් හැම වතාවකම මේ ප්‍රසංගයට සහභාගී වෙලා තියනවා. ඒ වගේම වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි යන මහත්වරුත් බොහොමයක් ප්‍රසංග වලට සහභාගී වෙලා තියනවා. මේ ගායකයන්ගේ සින්දු ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. හැමදාම වගේ කථනයෙන් දායක වුනේ වසන්ත රෝහණ මහත්මයා, වාදනය සුසිල් අමරසිංහ ප්‍රමුඛ ගුවන් විදුලි වාදක මණ්ඩලය. වසන්ත රෝහණ මහත්මයාගේ දුව දැඩි ලෙස රෝගාතුර වෙලා ඉඳිද්දීත් තමයි එතුමා එදා ප්‍රසංගයට සහභාගී වුනේ. ඒ වගේම බොහොම සංවේගයෙන් මතක් කරන්න ඕන කෙනෙක් තමයි විජේරත්න රණතුංගයන්. ගී සිසිල ආරම්භයේ සිටම තබ්ලා වාදනයෙන් දායක වූ, ගිය වසර වෙනවිටත් බොහොම නිරෝගී සුවයෙන් සිටි එතුමා මේ වනවිට ජීවතුන් අතර නෑ.   



වැස්ස නම් අපිට ටිකක් කරදර කළා. අපිට විතරක් නෙමෙයි බලන්න ආපු අයටත් ඒකෙන් කරදර වුනා. කොහොමත් ගී සිසිල පැවැත්වෙන්නේ නොවැම්බර් දෙසැම්බර් මාස වල. ඒ කියන්නේ ඉතින් මෝසම් වැසි තදින්ම වැටෙන කාලයක් නේ. හැබැයි අපි දන්න ඉතිහාසයේ නම් කවදාවත් වැස්ස නිසා ගී සිසිලක් නවත්තන්න වෙලා නෑ. කළුතර බෝධීන් වහන්සේට බාර වෙලාම වැඩ පටන් ගන්න නිසා වෙන්න ඇති එහෙම කරදරයක් නොවෙන්නේ. ඒ වුනාට මේ පාර නම් අපි හොඳටම බය වුනා. දවල් ඉඳල අහස කළු කරලා තිබුනේ. හැමෝම වැඩ කලේ හොරෙන් උඩ බල බල. "නෑ නෑ අද වහින්නේ නෑ" කියල කවුරුත් කිව්වට හැමෝම හිත යටින් ලොකු බයකින් හිටියේ. කලින් දවසේ රෑත් අපේ කට්ටියක් ළඟ තිබුන පන්සලකට ගිහින් බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරලා ආවේ කිසිම විදියකින් කරදරයක් වෙන්න එපා කියල. එදා අහස දැකල සභාපතිතුමයි ලේකම්තුමයි ආයෙත් පන්සලට ගිහින් බාරයක් වෙලා තිබුනා.

කොහොම හරි 3.30 ට විතර වැහි පොද එක දෙක වැටෙන්න ගත්තා. ඒත් අපේ කට්ටිය නෑ නෑ වහින්නේ නෑ කිය කිය හිටියා. 3.45 ට එක පාරටම වැස්සක් පටන් ගත්තා. ටික වෙලාවකින් තරමක් තදට වහින්න පටන් ගත්ත. ඒ පාර අපේ කට්ටිය කියනවා "දැන්ම වහින එක හොඳයි, එතකොට හවස් වෙන්න පායනවා" කියල. අපි සුමනදාස මැද මිදුලට වෙලා බලාගෙන ඉන්නවා වැස්ස ඉවර වෙනකල්. ගොඩක් වෙලා බලාගෙන හිටියත් වැස්ස අඩු වෙන පාටක් නම් තිබුනේ නෑ. 6 ට තමයි ප්‍රසංගය පටන් ගන්න තියෙන්නේ. මොන කතා කිව්වත් ඒ වෙනකොට නම් අපි හොඳටම බය වෙලා හිටියේ. සමහරු ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා, සමහරු අහස දිහා බලාගෙන ඉන්නවා, සමහරු වැස්සට බනිනවා, එක විකාරයයි එතන. කොහොමහරි ඒ තද වැස්ස 4.45 වෙනකල්ම තිබුනා. ඒත් වැස්ස සම්පූර්ණයෙන්ම නැවතුනේ නෑ. පොද වැස්ස දිගටම තිබුනා. ඒ නිසා තෙමුන පුටු පිහදාල වැඩකුත් නෑ. ඒ අතරේ වැස්සේම මම අපේ ටී ෂර්ට් එක ඇඳගෙන එන්න ගියා.

වැස්ස අඩු වෙනවා වැඩි වෙනවා, ඉවරයක්‌ නෑ. අද ගී සිසිල තියන්න බැරි වෙයිදෝ කියන බය නම් ඒ වෙලාවේ මට තදින්ම දැනුනා. ටික වෙලාවකින් වැස්ස අඩු වුනා. අපි එනකොටත් බලන්න ආපු අය  ප්‍රධාන දොරටුව ළඟ තිබුන පාලම යටට වෙලා ඉන්නවා ඇතුලට ගන්නකල්. ටික වෙලාවකින් වැස්ස සම්පූර්ණයෙන්ම නැවතුනා. එතකොට 5.30 විතර වෙලා. ඔන්න එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඊට පස්සේ තමයි යුද්දෙ පටන් ගත්තේ. වැස්ස නිසා ගොඩක් වැඩ කරගන්න බැරුව හිටියේ. ඒ මදිවට දැන් කොනක ඉඳල ආයෙත් පුටු පිහිදාන්න ඕන. අපියි පොඩි උන් ටිකයි පිස්සුවෙන් වගේ වැඩ කරලා කොහොමහරි ඒ වැඩ ටික ඉවර කරගත්තා. ස්ටේජ් එකේ වැඩයි, සවුන්ඩ්ස් ලයිට්ස් වගේ අනිත් ලොකු වැඩ ටිකයි ගොඩක්ම කලින් ඉවර කරගත්ත නිසා ප්‍රශ්නයක් වුනේ නෑ. නැත්තන් වැස්ස නිසා අපි අනාත වෙනවා.



ඊට පස්සේ ඉක්මනට අපු අයව ඇතුලට ගත්තා. වල කැන්ටින් එක පැත්තේ තිබුන දොර ඇරියම තමයි හීන් දාඩිය දැම්මේ. වලෙන් එකයි බලන්න ආපු අය. කොහොමහරි ඔක්කොම කරල 6.36 වෙනකොට වැඩේ පටන් ගත්තා. මෙච්චර බාධා වෙලත් අපි පරක්කු වුනේ විනාඩි තිහයි. ඊට පස්සේ ඉතින් හැම දෙයක්ම සැලසුම් කරපු විදියටම කරගන්න පුළුවන් වුනා. වැස්ස කියල නෑ, අපි තියල තිබුන පුටු 1500ම පිරුනා. පස්සේ 100 ටිකට් හරියේ හිටගෙනත් කට්ටිය හිටියා. ආයෙත් අන්තිම වෙලාවෙත් පොඩි පොද වැස්සක් පටන් ගත්තා. ඒ වෙලාවේ සින්දු කිව්වේ සුනිල් එදිරිසිංහ මහත්මය. වැස්ස නිසා කීප දෙනෙක් නැගිටල ගියා. ඒ වෙලාවේ ආයෙත් ලේ ටික වතුර වුනා. වාසනාවට වැස්ස ඊට වඩා වැඩි වුනේ නෑ. සංගීතයට සමවැදිලා හිටපු අයට ඒ වැස්ස ප්‍රශ්නයක් වුනේ නෑ. ආයෙත් කවුරුවත් නැගිටලා ගියෙත් නෑ. ඔය විදියට පොද වැස්සේම ගී සිසිල අවසන් වුනා.



ඔය ප්‍රසංගය ඔය විදියට සංවිධානය කරන්න අපේ කට්ටිය මාරම කට්ටක් කෑවා. සභාපතිතුමයි, ලේකම්තුමයි මේක පටන් ගත්ත වෙලාවේ ඉඳල අන්තිම මොහොත වෙනකල්ම පුදුම විදියට මේකට කැප වුනා. සභාපතිතුමා ගැන නම් කියල වැඩක් නෑ, හැම තත්ත්පරයකම උගේ ඔලුවේ තිබුනේ ගී සිසිල. ග්රූප් විදියට ගත්තොත් decoration ග්රූප් එකෙයි, souvenir ග්රූප් එකෙයි කොල්ලෝ ටිකයි තමයි මේකට වැඩියෙන්ම මහන්සි වුනේ. අන්තිම මාසේ විතර උන්ට හරියට නින්දක් තිබුනෙම නෑ. මේ ප්‍රසංගයේ අපි ලබාගත්ත සාර්ථකත්වයේ වැඩිම දායකත්වය උන්ගේ. ඔය වැඩේට බැච් එකක් විදියට ගත්තොත් අපේ කට්ටියගෙන් ලැබුන දායකත්වය එක එක විදියයි. කොල්ලෝ කෙල්ලෝ නිදි මරාගෙන වැඩ කරද්දී, ඒ කිසි දේකට සහභාගී නොවුන කොල්ලෝ කෙල්ලොත් හිටියා. ඒව කොහෙත් එහෙමනේ, මම ඒවා ගැන නම් කතා කරන්න යන්නේ නෑ. හේතු කීපයක් නිසා අපිට ජූනියර් බැච් දෙකකින් ලැබුන සහයෝගයත් ගොඩාක්ම අඩුයි. හැබැයි ඒ කිසි දෙයක් නිසා අපේ වැඩේ කිසි අඩු පාඩුවක් වුනේ නෑ. ඒ ගැන නම් අපි ගොඩක් ආඩම්බර වෙනවා. කොහොමහරි අවසානයේ කියන්න බැරි තරම් සතුටක් මට ඉතුරු වුනා. මම මෙච්චර සතුටු වෙනවා නම් අපේ සභාපතිතුමා, ලේකම්තුමා, decoration ග්රූප් එක, souvenir ග්රූප් එක, කොයිතරම් සතුටු වෙනවා ඇද්ද? 

හැබැයි ඉතින් දැන් සතුටු වුනා වගේ නෙමෙයි, රිසර්ච් එකේ වැඩ පටන් ගන්න ඕන. කෙල්ලෝ ටිකයි, සමහර කොල්ලොයි නම් literature review එක ඉවරත් ඇති. අපිට නම් තාම ඒක අල්ලන්නවත් වුනේ නෑ. කමක් නෑ, මෙච්චර කල් විභාග, කෝස් වර්ක්, ට්‍රේනින් කළා වගේ ඕකත් අපි කොහොමහරි ගොඩ දාගනීවී. ලකුණු නම් අඩු වෙයි, ඒකට කමක් නෑ. 

අපිට මේ ප්‍රසංගයට ප්‍රධාන අනුග්‍රහය දැක්වුයේ 'ජාතික ලොතරැයි මණ්ඩලය', 'ලංකා බැංකුව' සහ 'කිරුල FM'. souvenir එකට ඇඩ් ලබාදීමෙන් හා banner ලබාදීමෙන් අනුග්‍රහය දක්වූ හැමෝමත් මතක් කරන්න ඕන. ගී සිසිල සාර්ථක කරගන්න අපිට අනිත් දෙපාර්තමේන්තු වලින් ලැබුන සහයෝගයත් මතක් කරන්න ඕන. කටවුට් සහ වේදිකාවේ චිත්‍ර ඇන්දේ වාස්තු විද්‍යා දෙපාර්තමේන්තුවේ සහෝදරයෝ හතර දෙනෙක්. උන් පුදුම උදව්වක් කලේ. ඊළඟට මේ ප්‍රසංගය live streaming දෙන්න IT සහෝදරයෙක් ලොකු උදව්වක් දුන්නා. රේකොඩින් වලින් දායක වුනේ CSE එක. ඒ වගේම උපකුලපති තුමාගේ ඉඳල ආරක්ෂක සේවාව වෙනකල් අපිට සහයෝගය දීපු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හැමෝමත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම පිණිබිදු අක්ක ඇතුළු බලන්න ආපු හැමෝටමත් ස්තූතියි.:)        
 





12 comments:

  1. මමයි පළමුවැන්නා

    ReplyDelete
  2. හ්ම්ම් මම නම මේ වගක් දන්නේ ම නැහැ.මේ ගායකයන්ගේ හැම ප්‍රසන්ගයක්ම මම බලලා තියෙනවා. බලපු නැති ඒවත් තියෙනවා ඉතින්. කොහොම කොහොම හරි වැස්ස ටිකක් බාදා කලාට ප්‍රසංගය සාර්ථක වුනු එක ගැනනම් ගොඩාක් සතුටුයි.. අයිස් ගහන අය කොහොමත් ඉන්නවනේ සහෝදරයා. මේ කාලේ කරන්නේ නැති මේ වගේ වැඩ නාකි උනාම කරන්නද.. good job :)))

    ReplyDelete
  3. පැහැදිලි ඊර්ෂ්‍යාවක් හට ගැනුනි !!!
    ඉස්සර මං කම්පස් එකේ ඉන්නකොට ඔය වගේ මියුසිකල් ෂෝ එකක් වරද්දන්නේ නෑ. සමහරදාට විභාග අස්සෙත් ඕවා බලලා තියෙනවා. මේ වගේ පෝස්ට් කියවනකොට ඉතින් ඒ අතීතය මතක් වෙලා දුක හිතෙන්නේ නැද්ද අප්පා !!!

    දැන් කොහෙදෑ මියුසිකල් ෂෝ බලන්නේ.

    ReplyDelete
  4. "අපි ඒ දේ හරියට කළා කියන තෘප්තිය හැමදාම අපේ හිත්වල තියේවි."

    හරියට හරි මලයා. අපි ගි සිසිල සංවිධානය කලේ මිට අවුරුදු 4ට උඩදි,ඒ කියන්නේ මල්ලි කැම්පස් එකට එන්න කලින්.සාර්ථකව සංවිධානය කරල ලබපු තෘප්තිය නැවත අලුත් වෙනවා මේවා ආයේ අයේත් ඇහෙන දකිනකොට. මෙවර ගි සිසිලේ කොටසක් නම් අන්තර්ජාලය හරහා නැරඹුවා.
    අපි කැම්පස් එකේ හිටපු අවුරුදු 4 දි තිබ්බ සැම ගි සිසිලක්ම කණ්ඩායම් හතරෙම සහයෝගයෙන් කලේ, නමුත් මේ පාර සමහර කණ්ඩායම් ලොකු සහයෝගයක් දුන් නැ කියල නම් ආරංචි උනා, සමහරු ටිකට් අරගෙනත් ගි සිසිල බැලුවාලු නේද?
    ස්තුතියි තවත් සාර්ථක ගි සිසිලක් කලාට.

    ReplyDelete
  5. එකමුතු වෙලා වැඩ කරද්දි ස්භාව ධර්මයත් ඒකට සුබ පතනවා යාලූ..ගී සිසිලේ සුවය විදින්න බැරි වුනු එකටනම් හිතට දුකයි..ඊලග පාරවත් එන්න බලමුකෝ..විෂයානු බද්ධ රිසර්ච්..ප්‍රොජෙක්ට් වලින් ගන්න බැරි දේවල් ඔවැනි විෂය භාහිර ක්‍රියාකාරකම් තුලින් ලබන බවනම් මන් තරයේම විශ්වාෂ කරනවා...

    ReplyDelete
  6. අනූ ගනන් වල නිමක් නැතුව සරසවියේදි බලපු සංගීත සැඳෑවල හිත අතරමං වුනා..

    ReplyDelete
  7. ඔය වගේ වැඩ කලාම ලොකු සතුටක් හිතට දැනෙනවා තමයි
    අර යු ටියුබ් එකේ තියෙනවා කියපු වීඩියෝ එකේ ලින්ක් එක මෙතනම දාල තිබුනානම් අපිත් මේ ගමන්ම ගී සිසිලස බලනවනේ

    ReplyDelete
  8. ඉරිසියයි බොලවු... මං හැමදාම වගේ අහන ගායකයෝ ඔක්කොම එකම තැනක.. ඉතින් ඉරිසියා නොකර කොහොමද??

    ReplyDelete
  9. @වර්ණා
    ඔව් සහෝදරී, කොහෙත් ඔහොම අය ඉන්නවා. හැබැයි එයාල පස්සේ කාලෙක පසුතැවේවි ඒව කරන්න තියන කාලේ කලේ නෑ කියල.

    @මධුරංග
    අපිටත් ඉතින් තව ටික දවසයි බං. අනිත් එක මෙහෙ ඔය වගේ සෞන්දර්යාත්මක දේවල් අඩුයි. ඕක විතරයි ඉතින් ඔහොම දෙයකට තියෙන්නේ. ඔන්න ලබන අවුරුද්දේ නම් වාඩි වෙලා සැපට බලන්න පුළුවන් මේක.

    @පසිදු
    ස්තූතියි සහෝ!

    @දිලාන්
    ආහ් අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් මම විතරක් නෙමෙයි නේද එහෙනම් බ්ලොග් ලියන්නේ. අයියල අපි එනකොටම අවුට් වුන බැච් එක නේද?

    ඒකෙන් ලැබෙන තෘප්තිය නම් මාරම වටිනවා අයියේ. අපේ සභාපතිතුමා දඟලල දඟලල කොහොම හරි live streaming දීගත්ත. ඒකෙන් ගොඩක් අයියල අක්කල බලල තිබුන. සකන්ඩ් ඉයර් මල්ලිලා ටික විතරයි අයියේ හිටියේ. දැන් තියන ප්‍රශ්න නිසා ෆස්ට් ඉයර් කට්ටියව ගන්න එපා කිව්වා ඩිපාර්ට්මන්ට් එකෙන්. අනිත් ප්‍රශ්නේ ගැන අයිය දන්නවා ඇතිනේ. ටිකට් අරගෙන ඇවිත් ඉතිහාස ගතවෙන වැඩත් කරලා තිබුනා කට්ටිය. අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ කොහොමහරි මේ දේ හැමදාම පවතින්න කියලා.

    @අසනි
    හැමෝගෙම හිත්වල තිබුනේ එකම ප්‍රාර්ථනය නේ. ඒ නිසාම වෙන්න ඇති වැස්ස නවතින්න ඇත්තේ. හ්ම්ම් එහෙනම් ඊළඟ පාර යමු මාත් එක්කම. අනිවා අසනි, ඒ අත්දැකීම් කවදාවත් පොතෙන් පතෙන් ගන්න වෙන්නේ නෑ.

    @Weni
    ඒ මතක හැමදාටම තියනවා නේද අයියේ..

    @ලොකු පුතා
    youtube එකේ දැම්මේ නෑ සහෝ. ඒ වෙලාවේම live streaming දුන්නේ.

    @Dinesh
    හරි හරි ලංකාවට ආපු කාලෙක මාත් එක්ක යමුකෝ බලන්න.:)

    ReplyDelete
  10. මෙයැයිනන් කියයි..යන්නනම් බැරියෑ..කොහොමද..බැජ් 3කින් කෙල්ලො 3ක් ඇවිත් මගේ කොන්ඩෙන් අදිද්දි..මතක් වෙද්දිත් රිදෙනවා...හී හී හී...

    ReplyDelete
  11. @අසනි
    අපොයි! නෑ නෑ එහෙම වෙන්නේ නෑ. මට එච්චර ඉල්ලුමක් නෑ.:D එච්චර නෙමෙයි කොහොමවත් ඉල්ලුමක් නෑ.:)

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.