twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Tuesday, June 21, 2011

දෑස පියාගෙන කිමද (III කොටස)

කතාවෙ ඉතුරු ටික එක පාරට දාන්න හිටියෙ. ඒත් එතකොට දිග වැඩියි වගේ. ඒක නිසා තව කොටස් දෙකකට දානව.
....................................................................................................................................................................

දරුවන් දෙදෙනා වාහනය වෙත ඇරලවා, ඔවුන් පිටත් වනතෙක් බලා සිටියෙමි. බිරිඳගෙ මව නිවසේ නවත්වා ගැනීමට හැකි වීම මට විශාල සහනයක් විය. එසේ නොවුනා නම් දරුවන් දෙදෙනා බලා ගැනීම මට විශාල ගැටලුවක් වනු ඇත. තත්ත්වය අවබෝධ කරගෙන ආච්චීට කරදර නොකර සිටීමටත්, මල්ලී ගැන බලාගැනීමටත් තරම් දැනුවත් කමක් ලොකු දුවට තිබීමද මේ මොහොතේ හැටියට ලොකු භාග්‍යයකි. පිටත්ව යාමට පෙර, පොඩි පුතු වාහනයට නගින තෙක් හිඳ ඇය මා හා කතා කල දෑ මට යලිත් සිහිවිය.

"තාත්තේ, අම්මට දැන්ම සිහිය එන එකක් නැද්ද?"

"කියන්න බෑ දුවේ. ඩොක්ටර්ස්ලත් ඒක කියන්න දන්නෙ නෑ."

"අම්මට ඉක්මනට සනීප වේවි නේද තාත්තෙ?"

"ඔව් පැටියෝ, අම්මට ඉක්මනට සනීප වේවි. බය වෙන්න එපා."

"අම්මයි තාත්තයි නැතුව හරි පාලුයි. මල්ලිත් ගොඩක් දුකෙන් ඉන්නෙ."

"මම අම්මව ඉක්මනට සනීප කරගෙන එන්නම් පැටියො. ඔයා එතකල් මල්ලිව හොඳට බලා ගන්න ඕන හොඳද."

"හරි තාත්තෙ, තාත්ත ඒ ගැන බය වෙන්න එපා. තාත්ත අම්මව බලාගන්න, මම මල්ලියව බලාගන්නම්."

"මගේ හොඳ දුව."

ඔවැනි බැරෑරුම් කතා ඇගේ මුවින් නිතර පිටවන්නීය. මගේ බිරිඳ විහිලුවට ඇයට කියන්නෙ 'පැහිච්ච ආච්චී' කියාය.

.................................................................................................................................................................

කාලය පිලිඹඳ කිසිදු හැඟීමක් මට නැත්තා සේය. දින ගනන් ගෙවී ගියත් ඒ පිලිඹඳ මට කිසිදු අවබෝධයක් නොතිබිනි. වෙනදාට විනාඩි 30ක් එක ලෙස පුටුවක වාඩි වී සිටිය නොහැකි මම, පැය ගනන් වාඩි වී ඇය දෙස බලා සිටියෙමි. ඇගේ යහලුවන්, මගේ යහලුවන්, නෑදෑයින්, කාර්යාල මිතුරන් පැමිණ ඈ දෙස බලාසිට මා සැනසීමට උත්සාහ කර යන්නෝය. එහෙත් ඒ ගැන මගේ අවදානය යොමු නොවේ. මා බලාසිටින්නේ ඇය ඇඟිල්ලක් සොලවන්නේ, ඇසිපිය ගසන්නේ කොයි මොහොතකද කියාය. එහෙත් දවසින් දවස මගේ බලාපොරොත්තු බිඳ වැටුනා මිස, ඇය සෙලවුනේවත් නැත.


වෛද්‍යවරියද ඉන් පසු මා සමග බිරිඳ ගැන කතා කලේ නැත. බිම බලාගෙන කාමරයට එන ඇය ඉක්මනින් බිරිඳව පරික්ශා කර ඉක්මනින්ම පිට වෙයි. මටද ඇයගෙන් ඇසීමට තවත් කිසිත් නැත. කීමට ඇති හැමදේම ඇය එදා පැවසීය. එහෙත් දිනක් ඇය කාමරයට පැමිණි විට මම ඇය සමග කතා කලෙමි.

"තාමත් වෙනසක් නැද්ද ඩොක්ටර්?"

දීර්ඝ හුස්මක් හෙලූ ඇය කතාව ආරම්භ කලාය.

"නෑ මිස්ටර් ගුණවර්ධන, තාමත් කිසිම ප්‍රෝග්‍රස් එකක් නෑ. But you know, risk is getting higher."

ඇය කිසි විටෙකත් හිත හැදෙන්නට වචනයක් නොකියන්නේ මන්දැයි මට සිතිනි. මට පිළිගන්නට අමාරු වුවද ඇය කියන්නේ ඇත්ත වන්නට ඇත. එහෙත් ඒ ඇත්තට මා කෙසේ නම් මුහුණ දෙන්නද. වෛද්‍යවරිය පිට වූ පසු මම ඇගේ හිස අසලින් ඇඳේ වාඩි වුනෙමි. වෙනදා මා සමීපයේ සිටින විට තොරතෝන්චියක් නැතුව කියවන ඇය, අද කිසිත් නොකියා දෑසත් පියාගෙන සිටින්නීය. ඒ හඬ යලි කිසි දිනක මට අසන්නට නොහැකි වේදැයි සැකයක් දැන් දැන් මගේ සිත තුළ ඇති වන්නේය. මම ඇගේ හිස අතගාන්නට වුනෙමි.

"ඇයි වස්තුවේ ඔයා මෙහෙම කරන්නෙ? ඇයි මට මෙච්චර ගින්දරක් දෙන්නෙ? ඔයාට දුක නැද්ද මං ගැන? ඔයා දන්නවනෙ මට ඔයා නැතුව තත්පරයක් වත් ඉන්න බෑ කියල. මාත් එක්ක කතා කරන්නකෝ. අඩුගාගෙ ඇස් ඇරල මගේ දිහා බලන්න. ඔයා පොරොන්දු වුනා නේද කවදාවත් මාව දාල යන්නෙ නෑ කියල, හැමදාම ලඟින් ඉඳන් බලාගන්නව කියල. ඇයි දැන් එහෙනම් මෙහෙම කරන්නෙ? ඔයාට ඒව මතක නැද්ද? අඩුගානෙ මම කෑවද බිව්වද කියලවත් ඔයා බලන්නෙ නෑ නෙ. ඔයා නැතුව කවුද මාව බලාගන්නෙ?"

මගේ දෑසින් වැටුනු කඳුලු ඇගේ පපුව තෙමන්නට විය. ඒ කදුලු වල උණුසුම ඇයට නොදැනීම අරුමයකි.

"ඔයා දන්නවනෙ මම කවදාවත් දේවාල ගානෙ ගිහින් මොනවත් ඉල්ලල නෑ කියල. ඒත් මම මේ පාර දෙයියන්ගෙනුත් ඔයාගෙ ජීවිතෙ ඉල්ලුව. යන්න පුලුවන් හැමතැනටම ගිහින් ඔයාගෙ ජීවිතේ ඉල්ලුව. මම විතරක් නෙමෙයි හැමෝම ඔයාට බෝධි පූජා තිබ්බ, සෙත් කවි කිව්ව. මායි අක්කයි දළදා මාලිගාවටත් ගියා, ශ්‍රී මහ බෝධියටත් ගියා. ඒත් ඉතින්... ඒ කිසි දේක වැඩක් නෑ නෙ. ඩොක්ටර් කියනව ඔයාගෙ ජීවිතේ ගැන විශ්වාසයක් තියා ගන්න බැරිලු. ඒ බොරු නේද වස්තුවේ? එහෙම වෙන්නෙ කොහොමද. මට කියන්න ඔයා මාව දාල යන්නෙ නෑ නේද? කතා කරන්නකො."

මා නොදැනුවත්වම මා ඇගේ අතින් අල්ලා සොලවන්නට විය. 

"ඔයා හරි බොරුකාරයෙක් නෝනෙ, ඔයා පොරොන්දු වුනා නේද මේ ආත්මෙ විතරක් නෙමෙයි හැම ආත්මෙකම මාත් එක්ක ඉන්නව කියල. ඒ වුනාට දැන්.... ඔව්, ඔයා කිව්වෙ බොරු, ඔයා මට ආදරේ නෑ. ඒකනෙ ඔයා මට මෙහෙම කරන්නෙ. හැබැයි එක දෙයක්, ඔයා මට ආදරේ නැති වුනාට කමක් නෑ. ඒත් ඔයාට ඔයාගෙ පොරොන්දුව කඩන්න බෑ. මතකයි නෙ ඔයා මට පොරොන්දු වුනා කවදාවත් ඔයා මට කලින් මැරෙන්නෙ නෑ කියල. ඒක අමතක කරන්න එපා හොඳද. ඒක හොඳට මතක තියා ගන්න."

කෙතරම් දුක් ගැනවිලි කිව්වත්, බැන්නත්, තර්ජනය කලත්, ඒ කිසිවකින් පලක් නැත. මම පුටුව අසලට ගෙන වාඩි වී ඇගේ අත උඩින් හිස තබාගත්තෙමි.

"අද මොකද රෑ වුනේ?"

වාහනය ඉස්තෝප්පුවේ නවත්වනවාත් සමගම දොර අසල සිටි ඇය ඒ දෙසට දිව ආවාය.

"මම ගොඩක් වේලා තිස්සෙ බලන් ඉන්නෙ." ඔෆිස් බෑගය අතට ගන්නා ගමන් ඇය පැවසුවේ නෝක්කාඩුවට මෙනි.

"හෙට ටෙන්ඩර් එකක් සබ්මිට් කරන්න තියනව. රෑ වෙනකල් ඒකෙ වැඩ කරල, මිටින් එකටත් ඉඳල ආවෙ."

"හ්ම්ම් අද එහෙනම් මහන්සි ඇති නේද?"

"ඔව්, අද නම් හරි මහන්සියි. කෑම එකවත් කන්න වුනේ නෑ. දවසම බිස්කට් කකා හිටියෙ."

"අනේ එච්චර මොනවද තිබුන වැඩ කෑම එක කන්න බැරි වෙන තරම්?"

"අලුතෙන් ආපු ලමයෙකුට ටෙන්ඩර් එක බාර දීල තිබුනෙ. එයා වැඩෙ අනල. ඒක හෙට උදේම දෙන්නත් ඕන. ඒ පාර ඩිරෙක්ටර්ගෙ ඉඳල පියන්ට යනකල් හැමෝම බැහැල තමයි වැඩේ ගොඩ දාගත්තෙ."

"හ්ම්ම් ඒකද අද කෝල් එකක් වත් දුන්නෙ නැත්තෙ?"

"අනේ ඔව් වස්තුවේ. ඔලුව උස්සන්නවත් වුනේ නෑ අද."

"මම ඒත් බැලුව මොකද අද කෝල් එකක් වත් දුන්නෙ නැත්තෙ කියල. මම දවසෙම බලාගෙන හිටියෙ. මම ගන්නත් හදල, පස්සෙ මට හිතුන අද බිසි ඇති කියල. ගෙදර එනකල් හිටියෙ අල්ලගන්න."

"ඔන්න එහෙනම් දැන් අල්ලගන්න."

"තේකක් බීල ඉන්නවද? නැත්තන් වොශ් එකක් දාගෙන ඇවිත් ඔහොමම කනවද?"

මට පිලිතුරු දීමට ඉඩක් නොලැබිනි.

"නෑ නෑ තේකක් බීල ඉමු. ඉන්න මම හදන් එන්නම්."

ඇය සෝෆාවෙන් නැගිට යන්නට සැරසුනාය. මම ඇයව අල්ලා නවත්වා ගත්තෙමි.

"මට මුකුත් එපා, මට ඔයත් එක්ක ටිකක් ඉන්න ඕන."

"ඉතින් ඉන්න පැටියො, මම ටක් ගාල තේ දෙකක් හදන් එන්නම්. ඊට පස්සෙ කතා කරමු."

"බෑ බෑ, තේ ඕන නෑ ඔයා වාඩි වෙන්නකෝ."

"මොකද මේ අද හුරතලේ?" ඇය වාඩි වෙන ගමන් ඇසුවාය.

"අද දවසටම ඉතින් අපි දෙන්නට හුරතල් වෙන්න බැරි වුනානෙ."

"ආහ් ඒකද මේ."

"හ්ම්ම්" මම ඇයගේ උකුල මත හිස තබාගත්තෙමි.

"කෝ පොඩි දෙන්න?"

"චුට්ට බඩ පිරෙන්නම කිරි බීල දැන් නිදි. ලොකු කෙල්ල ඉස්කෝලෙ වැඩ කරනව."

"ආහ් ඒක හොඳයි. නැත්තන් අපි දෙන්න මෙහෙම ඉන්නව දැක්කොත් කෙල්ල විහිලු කරනව නාකි විසේ කියල."

"අපෝ ඔව්, එදා මතකනෙ අක්කලගෙ ගෙදර පාර්ටිය වෙලාවෙ සේරම ඉස්සරහ කියපු කතාව."

"අයියෝ."

"මට පොලව පලාගෙන යන්න හිතුන ලැජ්ජාවට."

මම තවත් ඇයට ලං වුනෙමි. මහන්සි වී සිටි නිසාත්, ඇය මගේ ඔලුව අතගාමින් සිටි නිසාත් මට එහෙමම නින්ද යන්නට ඇත.


10 comments:

  1. ඒ අක්කට ඉක්මනින් හොද වෙන්න කියලා අපි ගැටඹේ බෝධියට භාරයක් වෙමු. ගැටබේ බෝධියට භාර උනාම ඒක ඉෂ්ට වෙනවලු. අත්දැකීමෙන් කියන්නේ. භාරයක් වෙලා ඊට පස්සේ බෝධි පූජාවකුත් කරමු. එතකොට කොයිකටත් හොදයි නේ.

    අම්මෝ මේ කතාව හෙනම දුකයි බං. කියවගෙන යන්නත් මොකාද්ද වගේ. හරියට පවුලේ කෙනෙක්ගේ කතාවක් කියවනවා වගේ. සුජීව ප්‍රසන්න ආරච්චි ලියන හොටු ගොඩවල් වගේ යෑ මේ කතාව. මාරම ලස්සනයි.

    මම ආස අර අන්තිම ටිකට. ලස්සන ආදරයක්. මාත් පතන්නේ එහෙම ආදරයක් ලැබෙන්න කියලා.

    ReplyDelete
  2. මන් ආසාවෙන් කියවනවා අයියා කතාව.ඒත් ඔයා එක්ක නම් පුදුම තරහයි.ගොඩාක් කල් ගන්නවනෙ ඉතිරි ටික දාන්න.:P

    ReplyDelete
  3. ඔව් බන් ඇත්තටම ගොඩක් කල් යන්නේ නැතුව ඉතුරු ටිකත් ඉක්මනට ලියපන්කෝ. ගොඩක් කල් ගියාම කතාව අමතක වෙනවා

    ReplyDelete
  4. කසුන් කතාව කියවගෙන් අද්දි කතාව ඇතුලේ මම මාවම දකිනවා.. ඒ තරමටම මම මේ කතාවට ආදරෙයි.. ගොඩක් කල් ගන්නේ නැතිව අනිත් කොටසත් දාන්න මල්ලී..

    ReplyDelete
  5. @මධුරංග
    හ්ම්ම් එහෙමවත් කරල බලමු නේද. එතකොටවත් හොඳ වේවිද කියල.

    උඹ විතරක් නෙමෙයි බං, මමත් ප්‍රාර්ථනා කරන්නෙ ඒ වගේ ආදරයක් ලැබෙන්න කියල. හැබැයි දැන් ඉන්න ගොඩක් කෙල්ලො දැක්කම නම් ඒ ගැන එච්චර ශුවර් එකක් නෑ ගොයියො.

    හරි, මේපාර වැඩි කල් ගන්නෙ නෑ ඉතුරු ටික දාන්න.

    @කඩේ හාමිනේ
    ස්තූතියි නංගියො. හරි හරි තරහ ගන්න එපා. ඉතුරු ටික ඉක්මනට දාන්නම්.

    @Dinesh
    මට තේරෙනව අයියෙ. මේ කතාවෙ ඉන්න කෙනාට දැනෙන දේවල් අයියට දැනුන දේවල් වලට ගොඩක් සමාන ඇති. ඉක්මනට ඉතුරු ටික දාන්නම්.

    ReplyDelete
  6. මම නම් බලාගෙන ඉන්නෙ මිරකල් එකක් වෙනකල්.

    ReplyDelete
  7. අනේ අයියා..මෙච්චර දුක හිතෙන විදිහට කතාව අරන් යන්න එපා plz.. (එහෙම කිවුවට කතාව වෙන්ස කරන්න එපා..හොඳේ..?)

    ReplyDelete
  8. @පිණිබිඳු
    මිරකල් එකක් වෙයිද දන්නෙ නෑ නේද? බලමු!

    @ප්‍රාර්ථනා
    ස්තූතියි නංගියෝ අදහස් වලට. මම උත්සාහ කලෙත් දුක හිතෙන විදියට ලියන්න.

    ReplyDelete
  9. හ්ම්................ අවසානය දුකක් කරන්න එපා මචෝ............. මාරම ලස්සනයි බං.... උඹ ඩිගටම කතාම ලියපන්.....

    ReplyDelete
  10. මේක ඇත්තම කතාවක්ද කියන්න ;/

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.