twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, November 14, 2011

මම කළේ වැරද්දක්ද?

 
අපි අපේ ජීවිත වලදී ගොඩක් වැරදි තීරණ ගන්නවා. ගොඩක් වෙලාවට ඒ තීරණ වල වැරැද්ද තේරෙන්නේ කල් ගිහින්. එහෙම තේරෙනකොට ගොඩක් වෙලාවට ඒ දේවල් නිවැරදි කරන්න බැරි තැනට ඇවිත්. එතකොට ඉතින් වෙන්නේ ඒ දේවල් මතක් කර කර පසු තැවෙන්න. මට දැනට තේරෙන විදියට මම එහෙම ලොකු වැරදි තීරණ දෙකක් අරන් තියනවා මගේ ජීවිතේදී. (තව ඉස්සරහටත් එහෙම ගොඩක් ගනීවි :) ) දුක කියන්නේ ඉතින් ඒ දෙකම ආදරේ සම්බන්දයෙන් ගත්ත තීරණ. වැරදි තීරණ කියන්නේ ඉතින් වැරදි පුද්ගලයන්ට, වැරදි කාලේ, වැරදි විදියට ආදරේ කරන්න තීරණය කරපු එක තමයි වැරැද්ද. පළවෙනි එක වුනේ උසස් පෙළ කාලේ. මම මේ බ්ලොග් එකේ ලියන්න හිතන්නෙවත් නැති කතාවක් ඒක. ඒක ගැන ලිව්වොත් මේකේ වෙන මුකුත් ලියන්න වේලාවක් නැති වෙනවා. අනිත් එක එහෙම වුනොත් මේ බ්ලොග් එකම මහ අඬෝවැඩියාවක් වේවි. මම මුල්ම කාලේ ලියපු හිතේ දුකට ලියවුනු කවි පෝස්ට් එකේ තියෙන්නේ ඒකෙන් කෙලව ගත්තට පස්සේ, හිතේ දුකට ලියවෙච්ච නිසදැස් කෑලි. කොහොම හරි ඒකෙන් අන්තිමට වුනේ මෙඩිසින් යන්න හිටපු ඒකිට කෘෂි විද්‍යා පීඨයෙන් නවතින්න වුන එකයි, කැම්පස් යන්න හිටපු මගේ යාලුවෙකුට ඒක බැරිවුන එකයි, මගේ ප්‍රථිපල වලටත් සැලකිය යුතු තරමේ හානියක් වුන එකයි විතරයි.

මම දැන් මේ කොටන්න කියල ලේස්ති වුනේ මම ගත්ත දෙවැනි වැරදි තීරණේ ගැන. ඒක වුනේ මම කැම්පස් ආවට පස්සේ. මම අර විෂය භාර දෙවියන් වෙත ලියපු ලියුමේ කියපු සතියක ආදර කතාව ගැන තමයි මේ කියන්න යන්නේ. මම එතකොට සකන්ඩ් ඉයර් එකේ මුල හරි ෆස්ට් ඉයර් එකේ අග හරි. ඒ දවස් වල අලුත් බැච් එක ගන්න ඇප්ටිටියුඩ් ටෙස්ට් තිබුන. මම ඒ වෙලාවේ මොකක් හරි වැඩකට එලියට ගියා. ඒ යන අතරේ ඉතින් පොඩ්ඩක් අවට සිරි නරඹ නරඹ තමයි ගියේ. (අවට සිරි නැරඹුවා කිව්වට ඒ වෙලාවේ ඇවිත් හිටපු ගෑනු ළමයි දිහා බල බල නෙමෙයි ඔන්න ගියේ.) එහෙම යනකොට මට ටිකක් විතර හුරු පුරුදු කටහඬක් ඇහුනා.

"ඔයා මෙහේද ඉන්නේ?"

මම නැවතිලා බලනකොට හුරු පුරුදු මූනක්‌ මගේ දිහා බලාගෙන ඉන්නවා. සිටි පිටි ගාල පරණ රෙකොර්ඩ් ස්කෑන් කරලා බලනකොට මට ඩයල් එක මීටර් වුනා. ඒ 5 වසරේ අපේ පන්තියේ හිටපු කෙල්ලෙක්. අපේ ගෙවල් පැත්තෙමයි ඉන්නේ. ඊට පස්සේ පාරේදී එහෙම දෙතුන් පාරක් දැකල තිබුනට 5 වසරෙන් පස්සේ කතා කරලම නෑ. කොහොම හරි එයාට මාව මතක තිබිල. අපි එයාට චතුරි කියල කියමුකෝ.

"ආහ් චතුරි, මට අඳුර ගන්නත් බැරි වුනා."

"ඔයත් ගොඩක් වෙනස් වෙලා."

"මොකද මේ පැත්තේ?"

"අද IT ඇප්ටිටියුඩ් තියනවා නේ කසුන්. මම ඒකට ආවේ."

ඊට පස්සේ ටික වෙලාවක් කතා කර කර හිටියා. එයා ටිකක් විතර කළු කෙල්ලෙක්. ඒත් එයා ඉස්සරට සාපේක්ෂව ගොඩක් ලස්සන වෙලා. ඉස්සර එයා කොන්ඩේ කොටට කපාගෙන, කාත් එක්කවත් හරියට කතාවක් වත් නැති, පොතේම ඇලිල හිටපු කෙල්ලෙක්. මම එයත් එක්ක කතා කරපු වාර ගාන අතේ ඇඟිලි ගානට වඩා අඩු ඇති. ඒ වෙලාවේ නම් මට එහෙම කතා කරපු එකේ කිසිම විශේෂයක් තිබුනේ නෑ. ටිකක් වෙලා කතා කර කර ඉඳල මම ගියා.

මම ගමේ ගිය වෙලාවක අපේ සෙට් එකට නිකන් කිව්වා චතුරි මුණ ගැහුන එක ගැන. එයා අපේ ගෙවල් පැත්තෙ නිසා අපේ හැමෝම වගේ එයාව දන්නවා. අපේ එකෙක් ඒ වෙනකොට තුන්වෙනි පාරටත් උසස් පෙළ කරන්න පන්ති යනවා. ඒ එක පන්තියකට චතුරිත් එනවා. ඌයි තව එකෙකුයි දෙන්නෙක්ම කිව්වා එයා දැන් ඉස්සරට වඩා ගොඩක් ලස්සනයි කියල. මටත් ඉතින් ඒක තේරිලා තිබුනේ. ඔහොම ඉතින් ටික දවසක් ගෙවුනා. ඔන්න ඊට පස්සේ තමයි මම ගොනාට අඳින්න ගත්තේ. මට හිතුන ආයෙත් එයා එක්ක කතා කරන්න ඕන කියලා. මම අර පන්ති යන කොල්ලට කිව්වා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ රිසල්ට් බලල දෙන්න කියල පන්තියේදී එයාගේ නම්බර් එක ඉල්ලගෙන එන්න කියල. ඌ ගිහින් ඒක කිව්වම එයා නම්බර් එක දීල තිබුනා. ඊට පස්සේ මම කෝල් කරලා විභාග අංකෙ ඉල්ලගත්තා. මට මතක විදියට එයා තේරිලා තිබුනේ නෑ. මම ඉතින් කතා කරලා ඒක කිව්වා.

පස්සේ කොහොම හරි එයා වෙන කැම්පස් එකකට සිලෙක්ට් වෙලා තිබුනා. එයා ඒකෙ විස්තර අහගන්න මට දෙතුන් පාරක් විතර කෝල් කළා. මාත් එයාට කැම්පස් යන්න කලින් කීප වතාවත් කතා කළා. කොහොම හරි ඉතින් එයා කැම්පස් ගියා. ඊට පස්සේ තමයි යාලුවන්ගේ ආශිර්වාදය මැද කොල්ල ෆුල් ටයිම් ගේමට බැස්සේ. ඊට පස්සේ මම නිතරම එයාට මැසේජ් යවන්න පටන් ගත්ත. යවන පරක්කුවෙන් ඒවාට රිප්ලයිනුත් ආව. පස්සේ මම නිතරම කෝල් කරන්නත් ගත්ත. මම දවසක් එයා කැම්පස් යන්න යන වෙලාවක ගිහිල්ල මුණගැහිලත් ආව. ඔහොම ටික කාලයක් ගත වුනා. පස්සේ මම තීරණයක් ගත්ත එයාගෙන් අහනවා කියල. හැබැයි මට හොඳට මතකයි මම ඒ තීරණේ ගත්තේ එච්චර විශ්වාසෙකින් නෙමෙයි. මම කරන්න යන දේ ගැන මට කිසි ෆිට් එකක් තිබුනේ නෑ. ඔහේ නිකන් විකාරෙන් වගේ ඒ දේ කලේ. මට තාම හිතා ගන්න බෑ මම ඇයි ඒ තීරණේ ගත්තේ කියල. ඒ දවස්වල මම අර කලින් කියපු කෙනා ගැන ආයෙත් හිතල හිතල සෑහෙන්න මානසිකව වැටිලා හිටියේ. සමහර විට ඒ හැඟීමෙන් මිදෙන්න ඕනකමට මම ඒ තීරණේ ගන්න ඇති.

කොහොමහරි මම සති අන්තෙ යාලුවොත් එක්ක ඉන්න වෙලාවක මැසේජ් එකකින්ම එයාට ඒ ගැන කිව්වා.ඒ වෙලාවේ නම් උත්තරයක්‌ ලැබුනේ නෑ. මට මතක විදියට දවස් තුනකින් විතර පොඩ්ඩක් විතර අගේ කරලා මට කැමැත්ත දුන්නා. මම ඒ ටික ගැන වැඩිය විස්තර කියන්න යන්නේ නෑ. ඔන්න ඔය විදියට අපේ සතියක ආදර කතාව පටන් ගත්තා. 

දවස් දෙක තුනක් විතර සාමාන්‍ය විදියට ගෙවුනා. හැබැයි මට එයාගේ අමුත්තක් තේරුණා. මම කෝල් කලොත් විතරයි කතා කරන්නේ, එයා එක පාරක් වත් කෝල් කලේ නෑ. අඩු ගානේ මට කෝල් එකක් ගන්න කියලවත් කිව්වේ නෑ. මම කෝල් කලාම වුනත් වැඩි වෙලා කතා කරන්නේ නෑ. මට ඒක හොඳට තේරුණා. කතා කරන විදිය වුනත් හරි අමුතුයි. එයා නිකන් එච්චර කෙයා කරන්නේ නෑ වගේ තමයි කතා කලේ. මට ඉතින් මල පැනල හිටියේ. ඇයි යකෝ සතියක් වත් යන්න කලින් ඔහොම නම් අවුරුද්දක් දෙකක් ගියාම කොහොමට හිටීවිද? මම ගමේ සෙට් එකත් එක්කත් ඔය ගැන කිව්වා. උන් නම් කිව්වේ ටික දවසක් යනකොට හරි යාවි කියල. මම තවත් දවස දෙක තුනක් බැලුවා, කතාව ඒ විදියම තමයි. බැරිම තැන මම ඇහුවා "ඔයා ඇත්තටම මට ආදරේද, නැත්තන් මොකක් හරි ප්‍රශ්නයක් තියේද?" කියලා මේකි කිව්වනේ "මට අසයින්මන්ට් එකක් කරන්න තියනවා. පස්සෙ කියන්නම්" කියල. මට ඒ වෙලාවේ නම් යකා නැග්ග. ඔය ප්‍රශ්නෙට උත්තරයක්‌ දෙන්න බැරිනම් ඉතින් තවත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ නේ. මම ඒත් ඒ වෙලාවේ මුකුත් කිව්වේ නෑ.

පහුවෙනිදා මම ආයෙත් ඒ ප්‍රශ්නෙම ඇහුවා මැසේජ් එකකින්. මම දෙකෙන් එකක් බේර ගන්නවා කියල හිතාගෙනමයි කතාව පටන් ගත්තේ. එයා ඒකට දුන්නේ මෙන්න මෙහෙම උත්තරයක්‌.

"මට ඉගෙන ගන්න එකයි, මේ වැඩෙයි දෙකක් කරන්න බෑ කසුන්"

ආයේ ඉතින් ඒ ගැන තවත් වචනයක් වත් කතා කරන්න මට උවමනාවක් තිබුනේ නෑ. ඕනම දේක සීමාවක් තියෙන්න ඕන නේ. කැම්පස් ආපු ළමයෙක් ඔහොම කියනවා කියන්නේ ඒක බොරු කතන්දරයක් නේ. මම ඒ වෙලාවේම තීරණයක් ගත්තා. ඉගෙන ගන්න එක ඉතින් නවත්තන්න බෑ නේ. මම කිව්වා, 

"හරි චතුරි අපි එහෙනම් මේ සම්බන්දෙ නවත්තල දාමු." කියල. 

මට මතක විදියට ඒකට රිප්ලයි එකක් ආවේ නෑ. රිප්ලයි නෑ කියන්නේ ඉතින් ඒක එයාට ප්‍රශ්නයක් නෑ කියන එකනේ. ඒ මොහොතෙම මම එයා ගැන තිබුන හැම අදහසක්ම අතැරලා දැම්මා. මට හොඳට මතකයි මම කෝස් වර්ක් එකක් ප්‍රින්ට් අවුට් ගන්න එලියට ගිය වෙලාවක තමයි ඔය කතාව ගියේ. මම අන්තිම මැසේජ් එක යැව්වේ ප්‍රින්ට් අවුට් එක අරන් එන ගමන් පාරේදී. කොහොමහරි කැමැත්ත දීල හරියටම සතියකින් වගේ ඔය විදියට කතාව ඉවර වුනා. ඒ සති අන්තෙ එයත් ගෙදර එනවා කියල මට කලින් කියල තිබුනේ. මම හිතන් හිටියේ ගමේ ගිහින් එයත් එක්ක ගිහිල්ල හින්දි ෆිල්ම් එකක් බලනවා කියල. මට මතක විදියට ඒ දවස් වල හෝල් වල තිබුනේ 'Love Aaj Kal'. අන්තිමේ මොන ෆිල්ම්ද, ඊට කලින් මගේ ෆිල්ම් එක ඉවර වුනා. ආදරෙන් පරාද වුන අනිත් හැම වතාවකම සති ගනන් මූඩ් ගහල කන්න බොන්න වත් බැරුව හිටපු මට ඒ වෙලාවේ නම් ඒ ගැන කිසි දුකක් ඇති වුනේ නෑ. තරහක් විතරයි තිබුනේ එයා ගැන. ඒ හැම දෙයක්ම මොහොතකින් අමතක කරල කිසිම අවුලක් නැතුව මට ඉන්න පුළුවන් වුනා. ඒ මොකද කියල නම් අදටත් මම දන්නේ නෑ. සමහර විට නවත්තමු කියන තීරණේ මමම ගත්ත නිසා වෙන්න ඇති. අනිත් හැම වතාවකම අනිත් පාර්ශවෙන් නේ ඒ තීරණේ ගත්තේ. 

ඔය විදියට මම ඒ කතාව සම්පූර්ණයෙන්ම නැවැත්තුවත් එයා නම් ඒක එතනින් නැවැත්තුවේ නෑ. දවසකින් දෙකකින් විතර ආයෙත් කිසි දෙයක් වුනේ නෑ වගේ සාමාන්‍ය විදියට මැසේජ් කරන්න ගත්තා. අපේ සම්බන්දෙ නැවැත්තුවට එයා තාමත් මගේ යාලුවෙක්නෙ, ඒ නිසා මාත් ඒවට රිප්ලයි කළා. ඊට පස්සේ එක එක හින්ට් පාස් කරන්න, පරණ දේවල් මතක් කරන්න පටන් ගත්තා. ඒ අස්සෙත් සමහර වෙලාවට ඒකිම මැසේජ් කර කර ඒකිම ලොකු ලයින් දෙන්න ගත්ත කියපන්කො. මට ඒ සමහර කතා මතක් වෙනකොටත් හිනා යනවා.  මම ඉතින් ඔය මුකුත් ගනන් ගන්නේ නැතුව මැසේජ් එකක් ආවොත් රිප්ලයි කරගෙන මගේ පාඩුවේ හිටියා. පස්සේ එයා කෙලින්ම කිව්වා මම ඔයාට ආදරෙයි අපේ සම්බන්දෙ ආයෙත් පටන් ගමු කියන එක. එයා ගොඩාක් දේවල් කිව්වා. ආයෙත් වෙනස් කරන්න බැරි විදියට මම හිත හදාගෙන හිටපු නිසා ඒ කියපු කිසි දේකින් වැඩක් වුනේ නෑ. මම ඒව ගැන වැඩිය කියන්න යන්නේ නෑ, එහෙම වුනොත් මම පොර ටෝක් දෙනව කියල කට්ටිය හිතාවි.

හැබැයි මම ඇහුවා එහෙනම් ඇයි අරවගේ කතාවක් කිව්වේ කියල. එයා කිව්වා, එයා එහෙම කිව්වේ ඇයි කියල එයාවත් දන්නේ නෑ, ඒක අමතක කරලා දාන්න කියලා. එයා ගොඩාක් මැසේජ් එව්වා, තුන් හතර පාරක්ම කෝල් කළා, ඒත් ඒ එපා වුන එපා වීම වෙනස් කරන්න නම් එයාට බැරි වුනා. කොහොමහරි මාස දෙක තුනකින් විතර මැසේජ්, කෝල් එන එක නැවතුනා. මට තිබුන ප්‍රශ්නේ එයා ඔය කියන තරම් මට ආදරේ කළා නම් අර විදියට හැසිරුනේ, අර විදියේ කතාවක් කිව්වේ මොකද කියන එක. සමහර විට එයාට හිතෙන්න ඇති තව ටිකක් ගනන් උස්සන්න, තව ටිකක් අගේ කරන්න. නැත්තන් ඉතින් අරම වැඩ කරන්න ඕන නෑ නේ. යාලු වෙන්න කලින් නම් ටිකක් ආඩම්බර වෙන එක, ටිකක් ගනන් උස්සන එක අවුලක් නෑ. ඇත්තටම එහෙම වෙන්නත් ඕන, නැත්තන් කොල්ලයි බල්ලයි දෙන්නම යාලු වෙන්න එනවනේ. ඒත් දෙයියනේ යාලු වුනාට පස්සේ ආයෙත් ලොකු ලයින් දෙන්නේ මොකටද? මොකක්ද එහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ? මට නම් තේරෙන්නේ නෑ. කොහොම හරි මට නම් ඒව දිරවන්නේ නෑ. යාලු වෙන්න කලින් අගේ කළා මදි කියල හිතුනද දන්නේ නෑ.

එයා  බලාපොරොත්තු වෙන්න ඇත්තේ අර විදියට කලාම මම පස්සෙන් වැටීගෙන ඒවි කියල. අපේ උන් නම් කිව්වේ අනිවා එයාගේ යාළුවො ටික තමයි ඔහොම කරන්න කියන්න ඇත්තේ කියල. කොහොම හරි ඒ වැඩේ හරි ගියේ නැති නිසා එයාම ආයෙත් හැමදේම මුල ඉඳල පටන් ගන්න හැදුවේ. ඒත් එතකොට පරක්කු වැඩියි. මගේ ගැන කියනවා නම් එහෙම ලොකු ලයින් එකක් දෙන්න මට ඇති සුදුසුකමක් නම් නෑ. මම සල්ලිකාර පවුලකින් එන එකෙක් නෙමෙයි, මම හැන්ඩි කොල්ලෙකුත් නෙමෙයි. (මම කළුම කළු, කැත කොල්ලෙක්. මගේ ඇත්ත fb එකවුන්ට් එකේ ඉන්න අය නම් දන්නවා ඇති ඩයල් එක මොන වගේද කියලා.) ඒත් එහෙමයි කියල ඔහොම කාටවත් බාල්දු වෙන්න, පස්සෙන් වැටෙන්න නම් මම සුදානම් නෑ. කෙල්ලෙක් නැතිම වුනොත් ප්‍රපොසල් එකකින් බඳිනවා, එහෙමත් බැරි වුනොත් ඔය ඉතුරු ටිකත් තනියමම ඉන්නවා. ඒක ඔයිට වඩා දාහෙන් සම්පතයි. ඔය වගේ තැනකදී විතරක් නෙමෙයි, කවුරු වුනත් මට ලොකු ලයින් එකක් දුන්නොත් මාත් අනිත් පැත්තට එහෙමම තමයි. (හැබැයි හානියක් නැතුව එහෙම කරන්න පුළුවන් නම් විතරයි)

මේ මෑතක් වෙනකල් මගේ මූණු පොතේ එයා හිටියා. මේ ලඟකදී ඉඳල ආයෙත් අමුතු අමුතු කතා කියන්න ගත්තා. දවස් දෙක තුනක් බලල මම එයාව බ්ලොක් කරලම දැම්මා. මුකුත් හිතන්නේ බලන්නේ නැතුව ගත්ත මෝඩ තීරණයක් හින්ද ඔන්න ඔහොම දෙයක් තමයි වුනේ. පොඩි මානසික පීඩාවක් ඇරෙන්න මට නම් ලොකු හානියක් වුනේ නෑ. හැබැයි මට එයා ගැන නම් ඇත්තටම දුකයි. ඒක එයාගේ පලවෙනි ආදරේ. එයාගේ මැසේජ් වලිනුත් ඒක හොඳටම තේරෙනවා. ඒ නිසා වෙන්න ඇති එයාට ඒක අමතක කරන්න එච්චර අමාරු වුනේ. හැබැයි එයා එදා අර විදියේ කතාවක් නොකියන්න අපි අදටත් ආදරවන්තයෝ වෙන්න තිබුනා. ඒත් එයා ඒ කතාව ගොඩක් වෙනස් කළා. දැන් ඒ හැම දෙයක්ම අතීතයට එකතු වෙලා ඉවරයි. 

26 comments:

  1. කසුන්,
    මට ඔය affair එක ගැන නම් උපදෙස් දෙන්න හරි විවේචනය කරන්න හරිඅමාරුයි. මට එක දෙයක් ගැනනම් කියන්න තියෙනවා. මම බ්ලොග් කියවලාම උඹ මොනවෙගේ එකෙක්ද කියලා යම් හැඟීමක් ඇති කරගෙන image එකක් හදාගෙනනෙ ඉන්නෙ. අද උඹ ලියලා තියෙන එක දෙයක් ගැන මම තරමක් හිතට අමාරුයි. ඒ තමයි උඹ උඹ ගැනම ඇති කරගෙන තියන අව තක්සේරුව. උඹේම වචන වලින් නම්
    "(මම කළුම කළු, කැත කොල්ලෙක්. මගේ ඇත්ත ෆ්බ් එකවුන්ට් එකේ ඉන්න අය නම් දන්නවා ඇති ඩයල් එක මොන වගේද කියලා.)"
    ඕක මහා ගොං අදහසක්. මිනිහෝ කලු කියන්නෙ කැත කියන එක නෙවෙයි. ඕක අපිම හදාගත්ත මෝඩ සංකල්පයක්. අනික කැත ලස්සන කොහොමද බං නිර්වචනය කරන්නෙ?
    උඹට තව ටිකක් බැනුම් අහන්න ඕනෙ නම් මට මේල් එකක් එවපං.
    බැන්න නෙවෙයි, හිතට ආ දෙ කිව්වෙ.
    ඔය කොමෙන්ට් දාන අනිත් උන්ටත් මම ආරදනා කරනවා මූට වචන ස්වල්පයක් කතා කරන්න කියලා ඔය ගැන.

    ReplyDelete
  2. එයා IT ආවා නම් කොහොමහරි ඕක අපි කරල දෙනවනෙ ඔයාට..

    ReplyDelete
  3. එක එක කාලෙට එක හුළං එනවා බං...

    ReplyDelete
  4. //කවුරු වුනත් මට ලොකු ලයින් එකක් දුන්නොත් මාත් අනිත් පැත්තට එහෙමම තමයි// අන්න එහෙම තමයි ඉන්න ඕන.Dude කිවුව වගේ තමා ගැන අවතක්සේරු කරන්න එපා.

    ReplyDelete
  5. ඔහොම කරාම නම් එපා වෙනවා තමයි,. මට නම් කවදාවත්ම මම ආදරේ කරන කෙනා මැසේජ් එකක් එව්වොත් රිප්ලයි නොකර ඉන්න බෑ,. ඒ තරමට ගල් හිතක් කෙල්ලෙක්ට තියෙනවා කියන එක හිතාගන්නවත් බෑ,.

    ReplyDelete
  6. "ඔයා ඇත්තටම මට ආදරේද, නැත්තන් මොකක් හරි ප්‍රශ්නයක් තියේද?" කියලා මේකි කිව්වනේ "මට අසයින්මන්ට් එකක් කරන්න තියනවා. පස්සෙ කියන්නම්"


    මම බ්ලොග් එක පටන් ගන්න හේතුවක් උන... පස්සෙන් යද්දි දුවපු... දුවද්දි පස්සෙන් එන්න ගනිපු කෙල්ලෙක් ව මතක් උනා... ඒත් ඒ ගැන ලියපු පෝස්ට් මම අයින් කලා බ්ලොග් එකෙන්... මුල් කාලෙ බැලුවනම් මතක ඇති උබට...


    " පස්සේ එයා කෙලින්ම කිව්වා මම ඔයාට ආදරෙයි අපේ සම්බන්දෙ ආයෙත් පටන් ගමු "

    හහහ.... සේම් හිය් බන්... මට දැන් නම් හිනා යනව බන්.. එකම චරිතෙ කෙල්ලො...

    කියන්න දේවල් අනන්ත බන්.. ඕනි නෑ... උබ ඈත් උන එක හොඳයි.. සිරාවටම.

    ප. ලි : මීට පස්සෙ වත් අනන් මනන් ලිංක් ඔබන්න එපා හක් හක්

    ReplyDelete
  7. හොඳ තීරණයක්... අනික සහෝ, තමන් ගත්ත තීරණයක් ගැන පසු තැවෙන්න බලාගෙන තීරණ ගන්න හොඳ නෑ... ඔයා ගන්න ඕනේ හොඳම තීරණේ හොඳම වෙලාවේ අරන් තියෙනවා...

    ආයෙත් පාරක් ගොනා වුනා කියලා පොඩි දුකකුත් හිතේ තියෙනවා නේද ? නෑ නං වෙන්න බෑ. එහෙමයි කියලා පස්ස ගහන්න එපා... හරි අත හම්බවෙන කල් ට්‍රයි කරන්න. මම බඳින්නෑ... මට කෙල්ලෝ ඕන්නෑ කියලා මිදි තිත්ත වංශයේ නරියෙක් වෙන්න ඕනේ නෑනේ නේද ?

    තමන්ට ගැලපෙනම සහකරු / සහකාරිය හම්බවෙන කල් ඔබ වගේ රැවටිලි වලට අහුවෙනවා මලේ... ඒ මොකද දන්නවද ? වැරදි ඒවයේ හිස් බව පෙන්නන්නයි, හොඳම තේරිමක අගේ පෙන්නන්නයි...


    ‘හිඳීවි කොතැනක හෝ.... හිමිකාරියෙක් උපන් නුඹේ නමින්...
    වඩීවි කෙදිනක හෝ.... ඒ එන තුරා - හිත හදාගෙන ඉඳින්...!!!

    ReplyDelete
  8. ආදරයට බාහිර රුපය වැදගත් වෙන්නේ නැහැ සහෝදරයා.. තීරණේ හොඳයි. ඔයාගේ බ්ලොග් කියවලම ඔයා ගැන පැහැදිලි රුපයක් , ඔය මෙහෙම කෙනෙක් කියල හිතන්න පුළුවන්. රුපය හිතට වැඩක් නැහැ. ඒ නිසා ඔයා ඔයාව මනින මිම්මෙන් ඈත් වෙන්න. හරි කෙනා හරි වෙලාවේදී අනිවාර්යෙන් අපේ හිත දොරට තට්ටු කරාවි. එතකන් අපේ හදවත සැහැල්ලුව තියාගන්න. ජය නියතයි.

    ReplyDelete
  9. සමාවෙන්න.. කියන්න දෙයක් හිතා ගන්න බෑ මටනම්.. ඒ වුනාට තමන්ගැන අවතක්සේරු කරගන්න එපා. මොකද හැම කෙල්ලම කැමති සුදු, සල්ලිකාර කොල්ලන්ට නොවන නිසා..

    ReplyDelete
  10. කියන්න දෙයක් නෑ කසුනෝ.. දුක් වෙන්න එපා බං.. හිමිකාරයා දවසක හොයාගෙන ඒවි.. එතකන් මේ හැමදේම අමතක කරලා සතුටින් ඉන්න බලන්න.. උඹමනේ මට කාලයක් "පහුගිය දේවල් අමතක කරපං අයියේ" කියලා කිවුවේ..

    ReplyDelete
  11. කාලයට ඉඩ දිම නුවනට සුභයි............

    ReplyDelete
  12. සැබැ ආදරයක් කියන්නේ රුපය විතරක් නෙමේ සහෝ..ජිවිතේ කියන්නේ ආදරේ නෙමේ...ඔයා ට නොසැලෙන හිතක් තියෙනවා..එකම මදැ....කෙල්ලෝ නම් අනන්ත ඉන්නේ..අපෝ තනිකඩව ඉනන් තරම් දෙයක් නැ...

    කවදාවත් තමන් ගැන නම් අඩු තක්සේරුවට හිතන්න එපා..

    ReplyDelete
  13. අඩේ උබ පට්ට කොල්ලෙක් නේ !!!
    කෙල්ලෙක් ඉස්සරහා සෙකන්ඩ් වෙන්න ගිහින් නෑ, මරු. මාත් ගොඩක් වෙලාවට උබ අනුගමනය කරන පිලිවෙත් තමා අනුගමනය කරන්නේ.

    ඒක නෙමෙයි ඊට පස්සේ ඒ කෙල්ලව හම්බ උනේ නැද්ද ?

    ReplyDelete
  14. ගත්ත තීරනෙ වැරදියි කියල කියන්න බැහැ.. ඔහොම කොහොමද ජීවිතයක් ගෙවන්නෙ ?

    ReplyDelete
  15. @Dude
    මෙන්න මට බනිනෝ.... බේරගන්න කවුරුත් නැද්දෝ....?

    හරි ඉතින් කළු කියන්නේ කැත කියන එක නෙමෙයි තමයි. ඒකනේ මම කලුයි කැතයි කියන වචන දෙකම පාවිච්චි කලේ.:) මම ඉතින් ඇත්ත කතාව කිව්වේ. මේකනේ අයියේ, ඔහොම කිව්වම කියවන අය වැරදි වැටහීමක් ඇති කරගත්තොත් මූ ඔය ලයින් දෙන්නේ මුගේ බාහිර සාධක නිසා කියල? ඒක නිසයි මම එහෙම නෑ කියල කෙලින්ම කිව්වේ. අවතක්සේරුවකින් නෙමෙයි ඉතින් මම හිතාගෙන ඉන්නේ, ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරන් ඉන්නේ. එහෙම ඉන්න එක ඇඟට ගුණයි, එතකොට ලොකු ලොකු දේවල් ගැන බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ.:)

    @පිණිබිඳු
    අම්මෝ ඇත්තට වෙලාවට එයා IT ආවේ නැත්තේ.

    @ගෝල්ඩ් ෆිෂ්
    ඒක ඇත්ත මාළු අයියේ. ඔය අස්සට කුණාටු එහෙම ආවම තමයි කෙල වෙන්නේ.

    @රාජ්
    ඒකනේ, මොකටද කාගෙවත් ලොකු ලයින් බලන්නේ නේද? Dude අයියට දීපු උත්තරෙත් බලන්නකෝ.

    @ප්‍රාර්ථනා
    ඒකනේ සහෝදරී, ඕනම දේක සීමාවක් තියනවා නේ. එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා නේ ඉතින්. අපෝ ඔයා නම් එහෙම හිතන්නවත් එපා.:)

    @පිස්සා පලාමල්ල
    චරිත වෙනස් වුනාට කතාව එකමයි වගේ නේද?:) මම මේ බ්ලොග් කෙරුවාවට ඇවිත් වැඩි කලක් නෑ නේ සහෝ. උඹේ මුල හරියේ පෝස්ට් දැකලා නෑ.

    "මීට පස්සෙ වත් අනන් මනන් ලිංක් ඔබන්න එපා හක් හක්"

    අනේ ඒ කතාව තේරුනේ නෑ.:(

    @Chathuranga Perera
    "ආයෙත් පාරක් ගොනා වුනා කියලා පොඩි දුකකුත් හිතේ තියෙනවා නේද ?"

    එහෙම පොඩි සීන් එකක් නම් තියනවා.:)

    "මම බඳින්නෑ... මට කෙල්ලෝ ඕන්නෑ කියලා මිදි තිත්ත වංශයේ නරියෙක් වෙන්න ඕනේ නෑනේ නේද"

    අපෝ එහෙම සීන් එකක් නම් නෑ. හැමෝම එක වගේ නෑ නේ. හැබැයි කෙල්ලෙක් හොයාගන්න ඕන කියල හිතාගෙන හොයන්නේ නම් නෑ. එහෙම වුනොත් ආයෙත් ලේසියෙන් වැරදෙන්න පුළුවන්.

    ReplyDelete
  16. අහා
    එතකොට උබ කැතයි
    එකවෙන්න ඇති අර කෙල්ලෝ දෙන්නෙක්ම උබ එක්ක යාළුවෙලා හිටියේ
    පල පල ගොන් කතා කියන්නේ නැතුව
    මම උබේ ඇත්ත fb ප්‍රෝරෝෆියිල් එකේ ඉනව නේ

    ReplyDelete
  17. @වර්ණා
    "ආදරයට බාහිර රුපය වැදගත් වෙන්නේ නැහැ සහෝදරයා"

    ඒක එහෙම නම් වෙන්න ඕන තමයි. ඒත් ඒක එහෙමම වෙන්නේ නෑ සහෝදරී. හැමෝම පෘටහ්ජන මිනිස්සුනේ. Dude අයියට දීපු උත්තරේ අන්තිම ටික බලන්නකෝ.

    "හරි කෙනා හරි වෙලාවේදී අනිවාර්යෙන් අපේ හිත දොරට තට්ටු කරාවි."

    එහෙම හිතාගෙන තමයි ඉතින් බලාගෙන ඉන්නේ.:)

    @Roshan Herath
    "මොකද හැම කෙල්ලම කැමති සුදු, සල්ලිකාර කොල්ලන්ට නොවන නිසා.."

    ඒක ඇත්ත සහෝ. මම ඒක නෑ කියන්නේ නෑ.

    @Dinesh
    අනිවා, ඒ ගැන නම් මම පොඩ්ඩක් වත් හිතන්නේ නෑ. අමතක කරන්න ගොඩක්ම අමාරු වුන දේවලුත් කාලයත් එක්ක ටික ටික අමතක වෙලා ගියා. අයියට වුන දේවල් වල හැටියට ඔහොම හිත හදාගෙන ඉන්න පුළුවන් නම් මේවා මොනවද?

    @සිත් සයුර
    ඔව්, ගොඩක් ප්‍රශ්න වලට විසඳුම කාලය තමයි සහෝදරී.

    @නිම්ශා
    "ජිවිතේ කියන්නේ ආදරේ නෙමේ."

    ඒක නම් හැමෝම හොඳට මතක තියාගන්න ඕන දෙයක් සහෝදරී. වැඩේ කියන්නේ අපි දන්නෙම නැතුව අපිට ඕක අමතක වෙනවනේ.

    "අපෝ තනිකඩව ඉනන් තරම් දෙයක් නැ..."

    ම්ම්ම්.... අනේ මන්ද.:)

    @මධුරංග
    එහෙම ඉතින් සෙකන්ඩ් වෙන්න ඕන නෑ නේ බං. මට ආදරේ කරපු, මම ලගින්ම හිටපු කෙනෙක් නම් කමක් නෑ. එහෙමත් නැතුව උදේ පාන්දරම ඔහොම ලයින් දෙනකොට ඉවසන්න පුලුවන්ද?

    @Weni
    ඔව්, මගේ අනාගතේ වෙනුවෙන් මට එහෙම තීරණයක් ගන්න වුනා අයියේ.

    @මහිම මදුරංග
    "ඒකවෙන්න ඇති අර කෙල්ලෝ දෙන්නෙක්ම උබ එක්ක යාළුවෙලා හිටියේ"

    යකෝ ඔහොම කිව්වම මිනිස්සු හිතයි මම එක පාර දෙන්නෙක් එක්ක යාලු වෙලා හිටියා කියල. ගස් යන කතානේ උඹත් කියන්නේ.

    ReplyDelete
  18. හරි හරි වරකට එක බැගින් තමා

    ReplyDelete
  19. සුසුම් දැනෙන තුරාවට ආදරේ බින්දුවක්
    වැටෙන තුරු
    අහස්කුස වෙත පාරමී පිරූ ඔය හදවත කොතරම්
    අහිංසකද...
    හදවතට දුක දැනෙන තුරු ලොවට හොරෙන්
    රහසේ හැඩු ඔය හදවත කොතරම්
    හැගුම්බරද....
    සිහින දකින තුරාවට පැතුම් සුපිපෙන තුරා
    සිහින ලෝකේ අතරමං වූ 'ඔය හදවත
    කොතරම් කලබලද,,,,
    'සමනලයෝ අත්තටු තියෙන පුරාවට
    පියාඹන්න... ආදරේ ඒ තරම්ම මිහිරියි ලැබුණු දාට....'


    හැමෝම පෘටහ්ජන මිනිස්සු වෙන්න පුළුවන්.. ඒ උනාට සුන්දර හදවත් ඇත්තෝ පෘටහ්ජන මිනිසුන් ගෙන් වෙනස් වෙලා කපිල පෙනෙනවා.. හැබැයි කරුමේ කියන්නේ එහෙම ඇය හොයා ගන්න අමාරුයි.. එකයි මම මෙහෙම කියුවේ,'සමනලයෝ අත්තටු තියෙන පුරාවට
    පියාඹන්න... ආදරේ ඒ තරම්ම මිහිරියි ලැබුණු දාට....' කියල..

    ReplyDelete
  20. @මහිම මදුරංග
    අන්න එහෙම කියපන්

    @වර්ණා
    "ඒ උනාට සුන්දර හදවත් ඇත්තෝ පෘටහ්ජන මිනිසුන් ගෙන් වෙනස් වෙලා කපිල පෙනෙනවා."

    ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. ඔයා කිව්වා වගේ එහෙම අය හොයාගන්න එක තමයි අමාරු.

    ReplyDelete
  21. තමන්ව අත ඇරලා යන මිනිස්සු ගැන අනුකම්පා කරන්න..ඒ මිනිස්සුන්ට තමන්ව දාලා යන්න වුනු එක ඒ ඈයින්ගේ අවාසනාව කියලා හිතන්න..ඒ මොකද..කාට නොවටිනා වුනත් තමන්ට තමන්ගෙ ජීවිතේ වටිනා නිසා..

    කයේ තියෙන පාට හදවතෙ නැත්නම් එතන වටිනාකමක් නෑ කසුන්..අනික ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක්...හදවත පාට කර ගන්න..ඒ පාට ඔයාගේ මූනෙන් දවසක කෙනෙක්ට පෙනෙයි..

    "රූපයවත් නොදැක ආදරය කරන කෙල්ලෝ තාමත් මේ ලෝකෙ ඉන්නවා..."උබට ජය යාලු..

    ReplyDelete
  22. @අසනි
    ආහ් කාලෙකින්.... මම මේකේ කියල නැති වුනාට මට ඇත්තටම හිතුන අසනි ඒක ඒ කෙල්ලගේ අවාසනාව තමයි කියල.:) සමහරවිට එයාගේ වාසනාවද දන්නේ නෑ.:D

    "හදවත පාට කර ගන්න..ඒ පාට ඔයාගේ මූනෙන් දවසක කෙනෙක්ට පෙනෙයි."

    තාම කාටවත් ඒක පෙනුනේ නෑ නේ.:(

    ReplyDelete
  23. දවසක පෙනෙයි පෙනෙයි.......එදාට මේ කාට නැතත් මට කියන්න ඕනා......

    ReplyDelete
  24. @අසනි
    හරි මම එදාට ඔයාට කියන්නම්කො....:)

    ReplyDelete
  25. ම්ම්ම්ම්ම්ම්..... අනේ මංදා අයියා.ජීවිතේ අපි අතීතයේදි කරපු කියපු සමහර දේවල් නිසා පසු කාලීනව හුගාක් දුක් වෙනවා,පසු තැඅවෙනවා..පෞද්ගලිකව මාත් එහෙමයි..ආදරේට බාහිර රූපය වැඩක් නෑ..ඒක ඔප්පු කරන්න පුළුවන් සාධක් ඕනෙ තරම් තියෙන්නෙ අයියේ.. දුක් ව්එන්න එපා.ජීවිතේ හොදම හොද අය එන්න ටිකක් ප්‍රමද වෙනවා,,ඉවසලා බලාගෙන ඉමු

    ReplyDelete
  26. "ජීවිතේ හොදම හොද අය එන්න ටිකක් ප්‍රමද වෙනවා,,ඉවසලා බලාගෙන ඉමු."

    ඒක නම් ගොඩක් වෙලාවට ඇත්ත නගෝ. බලමු නේද, පරක්කු වෙලා හරි ඒවිද කියල.....:)

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.