twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, December 12, 2011

වැදගැම්මකට නැති කුළ භේදයේ තවත් එක බිල්ලක්

මම මේ ආයෙමත් කුළ භේදය ගැන කතා කරන්න හදනවා නෙමෙයි. මම එක පාරක් ඒ ගැන කතා කරලා තියනවා නේ. මම මේ කියන්න හදන්නේ ඒ ප්‍රශ්නේ නිසා බින්දුවටම වැටිලා ඉන්න තවත් දෙන්නෙක් ගැන. ඒ කිව්වේ කුළ නොගැලපීම නිසා අන්ත අසරණ වෙලා ඉන්න තවත් ආදරවන්තයෝ දෙන්නෙක් ගැන. ඒ කොල්ලා මගේ රූමෙක්. කොළඹින් තරමක් ඈත ගමක කොල්ලෙක්. ඒ කෙල්ලගේ ගෙවල් තියෙන්නෙත් ඒ ලඟම. දෙන්නම ගිහින් තියෙන්නේ එකම ඉස්කෝලෙට. ඉතින් ඒ ආදර කතාව පටන් ගන්නේ ඉස්කෝලෙන්. කොහොම හරි කනින් කොනින් ගෙවල් වලට මේ සම්බන්දෙ ආරංචි වෙලා. කෙල්ලගේ ගෙදරින් මේ සම්බන්දෙට සම්පූර්ණයෙන්ම විරුද්ධයි ලු. පරණ කතාවම තමයි, කොල්ලගේ කුළේ මදි ලු. හැබැයි දෙන්න එහෙම කියලා සම්බන්දෙ නවත්තලා නෑ. කවදා හරි කෙල්ලගේ ගෙදර අය තේරුම් ගනීවි කියලා දෙන්නම බලාගෙන ඉඳලා. 

ඒ කොල්ලා කැම්පස් එනකොටත් ඒ ප්‍රශ්නේ එහෙමමයි. දැන් කැම්පස් ඇවිල්ලත් අවුරුදු තුන හමාරක් වෙනවා. තාමත් ඒ කෙල්ලගේ ගෙදර අයගේ තීරණය එක පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ. මට මතකයි ආපු මුල්ම කාලෙත් ඌ කියලා තියනවා, "මේක හරි යන්නේ නෑ බං, මට කවදාවත් ඒකිව ලැබෙන්නේ නෑ" කියලා. කවදා හරි වෙන් වෙන්න වෙනවා කියල දැනගෙන හිටියත් ඒ ආදරේ දශමෙකින් වත් අඩු වුනේ නෑ. දරාගන්න බැරි තරම් බරක් හිතේ තියාගෙන, මුකුත් ප්‍රශ්නයක් නෑ වගේ තමයි උන් දෙන්නා මෙච්චර කල් හිටියේ. කාලයට ඉඩ දීල බලන් ඉන්නවා ඇරෙන්න උන් දෙන්නට වෙන කරන්න දෙයක් තිබුනෙත් නෑ. හැබැයි දැන් තත්ත්වය ගොඩක්ම දරුණු අතට හැරිලා තියෙන්නේ. දැන් ඒ ගෙදර මිනිස්සු ඒ කෙල්ලට දිගට හරහට මංගල යෝජනා ගේනවලු. ගෙවල් දොරවල් බලන්න මේ වෙනකොට කීප දෙනෙක්ම ඇවිල්ලත් තියනවලු. ඒ කෙල්ල අඬ අඬා මුගෙන් අහනවලු "ඔයා ගැන හිතේ තියාගෙන මම කොහොමද වෙන කෙනෙක් ඉස්සරහට බුලත් හෙප්පුවක් අරන් යන්නේ?" කියලා. ඒ කෙල්ල දැන් නිකන් පිස්සුවෙන් වගේලු ඉන්නේ. අපේ එකාට කරගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙලා තියෙන්නේ. 

දැන් ටික ටික අමුතු අමුතු දේවලුත් වෙන්න පටන් අරන්. දෙන්නම සමහර වෙලාවට කෝල් නොකර ඉන්නවා, සමහර වෙලාවට අනිත් කෙනා කෝල් කලාම ආන්සර් නොකර ඉන්නවා. දෙන්නම සමුගැනීමට ලේස්ති වෙනවද මන්දා. මට නම් හිතෙන්නේ එහෙමයි. එහෙම ඉන්න හැදුවට එහෙම ඉන්නත් බෑ. උපරිම දවසක් කතා නොකර ඉඳීවි. ඊට පස්සේ ආයෙත් ඉබේම කතා කෙරෙනවා. කොච්චර කතා කලත් විසඳුමක් හොයා ගන්න දෙන්නටම බෑ. ඌ ඉස්සර නම් කාමරේ ඉඳන්මයි කෝල් ගන්නේ. දැන් නම් ඌ එලියට ගිහින් කෝල් එක අරන් එන්නේ. සමහර විට ඉස්සර වගේ හිනාවෙලා කතා කරන්න බැරි නිසා වෙන්න ඇති.

මට කවදාවත් ඇහිලා නෑ කෝල් කරද්දී ඌ ඒ කෙල්ලට බනිනවා. නෝක්කාඩු නම් කියනවා සෑහෙන්න, ඒ ඇරෙන්න කවදාවත් රණ්ඩු වෙනවා ඇහිලා නෑ. ඇත්තම කියනවානම් කෝල් එකක් ගත්තම ඌත් බඩුව වෙනවා. අනිත් අයත් එක්ක ඉන්නකොට නම් ඌ පොඩ්ඩ ඇත්තන් තරහ යන, පපුවට පිහියෙන් අනින්න වගේ වචන කියන ඩයල් එකක්. ඒ වුනාට ඌ කෙල්ලට නම් මාරම ආදරෙන් කතා කරන්නේ. පහුගිය කාලෙම ඌ කෙල්ලගේ ෆොටෝ ටිකක් ගෙන්නගෙන ඒව එඩිට් කර කර දෙන්න එකට දාල ෆොටෝ හැදුවා. එහෙම හදපු ෆොටෝ 20 ක් විතර තියනවා මම හිතන්නේ. ඇත්ත ජීවිතේ උන් දෙන්නට එකට ඉන්න බැරි නිසා ඌ දෙන්න එකට ඉන්න බොරු ෆොටෝ දිහා බලලා සතුටු වෙනවා. එහෙම ආදරේකට තමයි මේ කණකොකා හඬන්න යන්නේ. 

ඒ කෙල්ල දැන් ගුරුවරියක්. ඒකි පළවෙනි පඩියෙන් ඌට අරන් දීපු බූල් බල්ලා ඉටි කවරෙක දාල තාමත් උගේ ඇඳේ ඔලුව තියන පැත්තේ එල්ලලා තියනවා. ඒ කෙල්ල මූට හැම මාසෙම සල්ලිත් දෙනවා. එකවුන්ට් එකක් ඕපන් කරලා මූට කාඩ් එකක් දීල තියෙන්නේ. කෙල්ල පඩි ගත්තම ඒකට සල්ලි දානවා. හම්බවෙන්න ගියාමත් බලෙන් හරි කීයක්‌ හරි ඇඟේ ගහල එවන්නේ. ඒ තරමටම කෙල්ලෙත් මූට ආදරෙයි. ඒත් ඒකිට ගෙදරට විරුද්ධ වෙන්න තරම් ශක්තියක් නෑ. ඒ කෙල්ල මොනම හේතුවක් නිසාවත් මූව නැති කරගන්න කැමතිත් නෑ. ඌ කියලත් තිබුණා ගෙදර අය කවදාවත් කැමති වෙන්නේ නෑ නේ, ඔයා මාව අමතක කරලා හිත හදාගන්න කියලා. ඒ කෙල්ල කොහොමටවත් ඒකට කැමති නෑ. ඒ කෙල්ල මාරම පීඩනයක් දරාගෙන ඉන්නේ. ඌ සමහර වෙලාවට දරාගන්නම බැරි වුනාම අපිත් එක්ක ඔය ගැන කියනවා. ඌ කියන දෙයක් අහන් ඉන්නවා මිසක් මම නම් උගෙන් මුකුත් අහන්න යන්නේ නෑ. මොකද මට ඒ වෙලාවට කෙලින් උගේ මූණ දිහා බලාගෙන ඉන්න බෑ. සමහර වෙලාවට ඌ ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. දැක්කේ නෑ වගේ ඉන්නවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ. මොකද ඔය ප්‍රශ්නෙට අපිටත් දෙන්න උත්තරයක්‌ නෑ.

දැන් අපි හදන්නේ කරන්න තියන අන්තිම දේත් කරලා බලන්න. ටික කාලෙකට කලින් ඔය ගැන කතා වෙන වෙලාවක මම ඌට කිව්වා ඔය වැඩේ කෙරෙන්නෙම නැත්තන් අපි ගෙදර අයට මොකක් හරි ගුරුකමක් හරි කරමු කියලා, කැමැත්ත ගන්න. ඌ ඒ වෙලාවේ කිව්වා වෙන කරන්නම දෙයක් නැති වුනොත් එහෙම හරි කරමු කියලා. තත්ත්වේ ගොඩක්ම නරක අතට හැරිලා කියල කියපු නිසා මම ලඟදි ඌට ඕක ආයෙත් මතක් කළා. වෙන කරන්නම දෙයක් නැති නිසා ඌත් ඒකට කැමති වුනා. දැන් ඊළඟට කියවන අයට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මම ඔය වගේ දේවල් විශ්වාස කරනවද කියලා. ඒකට මට හරියටම උත්තරයක්‌ දෙන්න බෑ. හැබැයි ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා නේ. ඒ නිසා ඒ දේත් කරලා බලන එකේ වරදක් නෑ නේ. හැබැයි කොච්චර කිව්වත් ඔය වගේ දේවල් සම්පූර්ණයෙන්ම බොරු කියල පැත්තකට කරලා දාන්න බෑ. මොකද ඒ වගේ දේවල් වලින් ලැබුන ප්‍රතිපල මම අහල තියනවා, දැකල තියනවා. වෙන කරන්නම දෙයක් නැති එකේ හරි ගියොත් එහෙමයි, නැත්තන් නෑ කියල ඒකත් කරලම බලනවා. ඒකට තැනක් හොයන වැඩේ මටම තමයි භාර වුනේ. 

කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ වැඩේ එච්චර හරි නැති වැඩක් කියලා. ඒත් මම නම් එහෙම හිතන්නේ නෑ. දෙන්නට දෙන්න කැමතියි, කොල්ලට හොඳ රස්සාවක් අනිවාර්යෙන්ම ලැබෙනවා, වෙන කිසිම අවුලකුත් නෑ. එතකොට කෙල්ලගේ ගෙදර අයට එකම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ කිසි වැඩකට නැති කුළේ නේ. ඒ නිසා ඒ මෝඩ අදහස වෙනස් කරන්න ඒ වගේ දෙයක් කරන එකේ කිසි වැරද්දක් නෑ කියලයි මම නම් හිතන්නේ. කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි කැමති කරවගන්න ඒ වගේ දෙයක් කරනවා නම් ඒක නම් මහම මහ චාටර්ම වැඩක්. මොකද ආදරේ කියන දේ බලෙන් ගන්න බෑ නේ. ඒත් මෙතන ප්‍රශ්නේ ඒක නෙමෙයි නේ. ඒ නිසා ඒකෙ වරදක් මම දකින්නේ නෑ. 

කිසිම වැඩකට නැති විකාර බෙදීමක් නිසා තවත් ජීවිත දෙකක් නාස්ති වෙලා යන්න දෙන්න බෑ. මොන විදියකින් හරි, උන් දෙන්නට දෙන්න අයිති වෙන්න කියන එකයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ. මොකද මම හොඳටම දන්නවා එහෙම නැති වුනාම තියන වේදනාව කොච්චරද කියලා.  


28 comments:

  1. කරන්න තියෙන්නේ එක දෙයයි....හදපු වඩපු දෙමව්පියන් අකමැති දෙයක් කරන එක වැරදි තමයි...ගුරු හරුකම් වලට මැදි වෙනවට වඩා...,අක්මැත්තෙන් වංචාවෙන් කෙනෙක්ව කැමති කරවනවට වඩා, දෙන්නගේ කැමැත්තෙන් විවාහ වෙන එක හොදයි...

    මොකද සාධාරණ හේතුවක් ඇස් පනා පිට පේන නිසා...

    අනික කවදාවත් තමන් වෙන කෙනෙක්ට ආදරේ කර කර තව කෙනෙක්ගේ ජීවිතේට ඇතුල් වෙන්න හොද නෑ..ඒකෙන් වෙන්නේ අහක හිටපු ජීවිතේකුත් විනාෂ වෙන එක විතරයි..ඕක ගොඩක් ගෑණු ළමයි,පිරිමි ළමයි තේරුම් නොගන්න දෙයක්...අම්මලා තාත්තලට අකමැත්තෙන් විවාහයක් කර ගන්නවට වැඩිය ඒක පව්...

    ReplyDelete
  2. මාරම සිද්ධිය. බලපන් මගෙ දවසම අප්සට් මූඩ් තමා දැන්..මේ වගේ මෝඩ මනස්ගාත කවදා අපේ සමාජෙන් හැදි ගෑවිලා යයිද දන්නෑ.

    විසදුමක් මටත් හිතා ගන්න බෑ.ඔය ගුරුකම් නම් හරියනවයි කියලා හිතන්නත් බෑ.. ඒත් උත්සාහ කරලා බලන එකේ වැරද්දකුත් නෑ.

    මොන ක්‍රමෙන් හරි ඒ දෙන්නට එකතු වෙන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  3. owa hadanna minissunwa format karanna one ban

    ReplyDelete
  4. ඇයි මචන්, හඳහන්? අන්න තවත් ජීවිත කාලකන්නි කරවන මෝඩ විශ්වාස

    ReplyDelete
  5. සිරාවට මෙවා නම් කිසි වැඩකට නැතිදෙවල් මචන්, එත් මෙහෙම දෙයක් තියෙනෙවා, අම්මලා අපිට මොන දේ කරත්මචන්, අම්මලා නැති කාලෙක අපිට කියලා ඉතුරු වෙන්නේ අපි marry කරන කෙනා තමා, ඒ කියන්නේ අපේ ජිවිතේ වැඩි කාලයක් ඉන්ඩ වෙන්නේ එයත් එක්ක.

    ඒ නිසා එක අපේ ජිවිතේට බලපාන ලොකු තීරනයක්, එ නිසා මන් නම් කියන්නේ කසාදය කියන එක අම්මලාට විරුද්ධව කරාට කමක් නෑ

    ReplyDelete
  6. අනික් දේ තමා ඇයි මේ හදහන් කුල බේද වගේ හැම මගුලක්ම ,මේ රටේ තියන්නේ? විද්යාත්මකව බැලුවත් මේක ඒ තරම් හොද් දෙයක් නෙවේ.

    කුලයක් කියනේ එකම ආරබ්භයක් ඇති කොටසක්, ඒ නිසා එක කුලේක ජාන ගොඩක් දුරට එක සමානයි. ඒ නීසා එකම කුල අතර විවහ නිසා ජාන මුහුම් වීමක් වෙන්නේ නෑ. ඒ නිසා අලුත් හැකියාවන් ඇති අය බිහි වෙන් නෑ. ඒ කියන්නේ එක රටේ දියුනුවටත් භාධාවක්.

    එකට හොදම උදාහරනය තමා, කලු ජාතීන් හා සුදු ජාතික යුවලකගේ දරුවන් හා, සින්හල හා දෙමල යුවලකගේ දරුවන් තමන්ගේ මව් ජාතීන්ට වඩා සාපේක්ෂව දක්ෂ වීම.

    ReplyDelete
  7. අපේ මිනිස්සු තාමත් මේ හණමිටි අදහස් කරපින්නගෙන ඉන්නවද. ඒ දෙන්නට තියෙන්නෙ ඒ දෙන්නගෙ කැමැත්තෙන් කසාද බඳින්න.

    ReplyDelete
  8. අනේ නේ මොන කුලද, බදින්න කියන්න, මටනම් මේ වගේ ප්‍රශ්න දකිද්දීත් තරහා යනවා. මගේ ආදරේට කණකොකා හැඩලුවෙත් ඔය මගුල හදහනක්‌ නිසා, එකනම් මහා කරුමයක්, ගිය ආත්මේ කරපු පවක් විදවන්නේ. දෙමව්පියෝ දරුවන් ගැන හිතන්නේ හරිම පටු විදියට, මුළු ජිවිත කාලෙම තමන්ගේ දරුවා ජිවත් වෙන කෙනාව දරුවාට තෝරාගන්න දෙන්නේ නැති හැටි., නොදන්නා කෙනෙක් එක්ක මුළු ජිවිත කාලෙම? impossible.

    ReplyDelete
  9. අයිය කියන ප්‍රශ්නේ කොයි තරම් බැරෑරුයිද කියල යන්තම් යන්තම් මටත් තේරෙනවා..සමහරු නම් ලේසියෙන්ම කියයි අම්මල තාත්තල ඔය කියන විකරවල තේරුමක් නෑ.දෙන්න කැමැත්තෙන් බඳින එකයි තියෙන්නේ කියල.. ඒත් එක නෙවෙයි විසඳුම.කරන්න පුළුවන් නම් හොඳම දේ තමයි ඒ දෙන්නත් කැමති කරවාගෙන ඕක කරන එක.

    අසනීගේ කතාව සම්පුර්ණ ඇත්ත..එහෙම අම්මලාගේ කැමැත්තට කසාදයක් කරගත්තොත් වෙන්නේ ජිවිත කළෙම තමන්ට අහිමි උන ආදරේ ගෙන හිත හිත දුක වෙන්න වෙන එක..
    හිතන්නකෝ පවුල් දෙකක්ම අවුල් වෙන හැටි..

    ඔය ප්‍රශ්නෙට නම් මට හිතෙන හොඳම විසඳුම තමයි ඔය කොල්ල ඩිග්‍රිය ගත්තට පස්සේ හොඳ රස්සාවකුත් ලැබුනම අම්මලාගේ හිත වෙනස් කරන්න ට්‍රයි කරන එක..සමහරවිට කෙල්ලට වඩා ලොකු තැනක කොල්ල හිටියොත් දෙමාපියන්ගේ හිත් නමම ගන්න පුළුවන් වෙයි..ඒත් එතකං දෙන්නටම ගොඩක් ඉවසන්න වෙනවා...

    එහෙමත් නැත්නම් ඕක හොදටම තේරෙන දැනුම තේරුම තියෙන කෙනෙක්,විශේෂයෙන් අම්මලාව අඳුරන අම්මල ගරු කරන කෙනෙක් ලවා ඔය තේරුමක් නැති කතාව ගැන පැහැදිලි කරවල දෙන්න පුලුවන්නම්....
    ඔන්න ඔහොමයි මට නම් හිතෙන්නේ..

    ReplyDelete
  10. කුල බේද... හඳහන්...

    ඔය දෙකම එක වගේ කරුම බන්..

    ReplyDelete
  11. මේක මචන් , බුදුන්ගේ දේශයලු (නේපාල ?) එත් මහන වෙන්න ගියත් කුලේ බලනවා ... කාට කියන්නද ?

    ReplyDelete
  12. නොසලකන්න ම ඕනි කාරණා තමයි ඔව්වා ! ඒත් හරහට හිටිනවාමොනව හරි කරන්න ගියාම..

    ReplyDelete
  13. යාලුවට කියපන්,යන්න කියල පැනලා.එකත් බැරිනම් "දෙන්නම තම තමන් ගැන හිත හිත කෙල්ල දීග යනකන් හීන බලන්න ".මෙව්වා කොරන්න හොඳ ගටක් තියෙන්න ඕන.ඒක නැති උන් තමා ඒක මේක කියා කියා බලන් ඉන්නේ.යාළුවගේ කොන්ද හදපන් නැත්තම් ඌ අමාරුවේ.
    බැරි වෙලා වත් ගුරුකම් කොරන්න යන්න එපා ,ඒ කියන්නේ බොලා ටත් කොන්දක් නෑ කියන එක.

    ReplyDelete
  14. අනේ මන්දා කසුනෝ.. මේවා නම් කිසිම තේරුමක් නැති ප්‍රශ්ණ.. හදහන් කුල භේද... අනේ මන්දා මේවට සම්පූර්ණ මුලිකත්වය නොදෙන සමාජයක් කවදා ඇතිවෙයිද කියලා..

    මේ කරන්න යන දේ සමහරවිට වැරැද්දක් උනත් ඒක කරන්නේ හොද දෙයක් වෙනුවෙන්.. ඒ නිසා ඒක හරි යන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  15. අපේ අක්කා කෙනෙක් ඔය ප්‍රශ්නේ නිසා හොරාට කසාද බැන්දා...අදටත් ඒ අක්කලාගේ ගෙදර අය අයියලාගේ ගෙදර පස් පාගන්නේ නැහැ...අයියට නම් පුතෙක් ට වගේම ආදරෙයි ලු දැන්...අනේ මන්දා ඉතින් ඔය වගේ තේරුමක් නැති අදහස් නිසා තමන්ගේ ආදරේ නැති කර ගන්න බැහැ නේද..

    ReplyDelete
  16. මමත් විශ්වාස කරන දෙයක් තමයි දෙමව්පියන්ට මේ වගේ වැදගම්මක් නැති කරුණු නිසා දෙන්නෙක් වෙන්කරන එක කරන ඉඩ දෙන්න හොඳ නැහැ කියන එක
    කරන්නම දෙයක් නැත්නම් ඒ දෙන්නට හොරෙන් හරි බඳින්න කිව්වනම් හරි...

    ReplyDelete
  17. ලංකාවේ ඔය වගේ කුප්ප් ආකල්ප නිසා තමා ලංකාව ඉස්සරහට යන එක නතර වෙලා තියෙන්නෙ ......

    බොරුවට යන්තර මන්තර පස්සෙ යනවට වඩා කරන දෙයක් කෙලින් කලා නං ඉවරයිනෙ .......

    ReplyDelete
  18. මාත් කියන්නෙ කෙල්ලගෙ ගෙදරින් ඔය තරම් අකමැතිනම්, දෙන්නාගෙම කැමැඅත්තට කසාද බඳින්න.. මගේ යාළුවෙකුත් එහෙම කලා. මම ඒ ගැන ලියලා තිබ්බා. ගුරුකම් කරනවට වඩා, එහෙම හොදයි.ඒ ගෑණු ළමයට තීරණේකට එන්න වෙනවා. ගෙදරින් කැමැත්තක් ගන්න බැරිනම්, කොල්ලාව අමතක කරන්නත් බැරි නම්, වෙන විසඳුමක් නෑනෙ...

    ReplyDelete
  19. මෙහෙම එකක් මට වුනානම්... උඹ දන්නවනෙ?... (දන්නෙ නැත්තන් චැට් එකේදි අහපන් ;) )

    ReplyDelete
  20. ඉන්දියාවත් එක්ක සසඳල බැලුවොත් ඔය ප්‍රශ්නෙ අපේ රටේ ඇත්තෙම නෑයි කියලා කියන්න පුලුවන් කසුන්.

    ReplyDelete
  21. @අසනි
    ඒක නම් සම්පූර්ණයෙන්ම ඇත්ත අසනි. අකමැත්තෙන් කසාදයක් කරගන්නවා කියන්නේ ඒකෙන් වෙන්නේ අපි කසාද බඳින කෙනාගේ ජීවිතේ නාස්ති වෙන එක. ඒක නම් ලොකු අසාධාරණයක්.

    @නාකියා
    මටත් ඔය සිද්ධිය මතක් වෙන වාරයක් පාසා මාර විදියට අවුල් යනවා. ඒ වැඩේ හරියයි කියල ලොකු විස්වාසයක් නම් නෑ. වෙන කරන්න දෙයක් නැති නිසා කරලා බලනවා.

    @ගෝල්ඩ් ෆිෂ්
    සමහර උන්ගේ නම් එහෙමත් හදන්න බැරි වේවි මාළු අයියේ.

    @විසිතුරු | visituru
    අනේ මන්ද සහෝ ඒ ගැන නම් මට කියන්න තේරෙන්නේ නෑ.

    @Rukshan Ranatunge
    ඒක නම් ඇත්ත සහෝ, ඉතුරු ජීවිත කාලෙම ගෙවන්න වෙන්නේ ඒ කෙනා එක්ක තමයි. අනේ මන්ද ඒත් අම්මල තාත්තලාට විරුද්ධව කසාදයක් කර ගන්න එකත් එච්චර හරි නෑ කියල මම හිතන්නේ බං.

    @පිණිබිඳු
    ගෙදරට විරුද්ධව එහෙම කරන්නත් දෙන්නම කැමති නෑ අක්කේ.

    @වර්ණා
    ඔයාගේ හිතේ තියන ආවේගය මේ කමෙන්ට් එකේ හොඳටම පේනවා නංගියෝ. ඔව්, සමහර දෙමව්පියෝ හිතන්නේ බොහොම පටු විදියට. දරුවන්ගේ සතුටට වැඩිය එයාලා වෙන දේවල් වලට මුල් තැන දෙනවා.

    ReplyDelete
  22. @ගිනි කුරුල්ලා
    "කරන්න පුළුවන් නම් හොඳම දේ තමයි ඒ දෙන්නත් කැමති කරවාගෙන ඕක කරන එක."

    ඒක තමයි බං මාත් විස්වාස කරන්නේ. මොන විදියකින් හරි අම්ම තාත්තගේ කැමැත්ත අරගෙන කසාදයක් කරගන්න එක තමයි හොඳම දේ. ඒත් මේ විකාර නිසා කෙල්ලෝ කොල්ලෝ අසරණ වෙනවා.

    කොල්ල ඩිග්‍රිය ගන්නකල් නම් කෙල්ලට ඉන්න දේවිද දන්නේ නෑ බං. දැනටත් ගෙවල් දොරවල් බලන්න එනවලුනේ.

    @පිස්සා පලාමල්ල
    කතා කරලා වැඩක් නෑ සහෝ.

    @Dil
    ඒක ඇත්ත සහෝ, ඕව කවදාවත් හදන්න බැරි වේවි.

    @Weni
    ඔව් අයියේ, වැඩකට නැති දේවල් වලටමයි මුල් තැන ලැබෙන්නේ.

    @Tharinduhw122
    කොන්ද පන තිබුන කියලා පැනල යන එකත් හරි වැඩක් නෙමෙයිනේ සහෝ. ඒකට නම් මාත් කැමැත්තක් නෑ.

    @Dinesh
    ඔව් අයියේ, අපේ ආකල්පය හොඳයි නේ. ඒක නිසා ඒක එච්චර වැරද්දක් නෙමෙයි වෙන්න ඇති.

    ReplyDelete
  23. @සයුරි
    එයාට නම් කොහොම හරි අන්තිමට එයාගේ ආදරේ ලැබුනා නේද. ඔව්, මේ වගේ තේරුමක් නැති දේවල් නිසා ආදරයක් නැති කරනවා කියන්නේ මහ අපරාදයක්.

    @ලොකු පුතා
    අනේ මන්ද සහෝ හොරෙන් බඳින එකත් එච්චර හරි නෑ නේද?

    @පන්සල් හංදිය
    ඒක නම් ඇත්ත, මේ වගේ විකාර නිසා අපි හැමදාම එකම තැන. වෙන කරන්නම දෙයක් නැති නිසා අයියේ එහෙම කරන්න හිතුවේ.

    @හිතුවක්කාරි
    ඒ වුනාට එයා ගෙදරට විරුද්ධ වෙන්නත් කැමති නෑ නේ නගෝ. ඒකයි කරන්නම දෙයක් නැත්තේ.

    @සාතන්
    චැට් එකේදී අහන්න ඉතින් ඔන්ලයින් ඉන්න එපාය. නෑ, මට හිතාගන්න පුළුවන්...:)

    @Dude
    අපොයි ඔව් අයියේ, ඉන්දියාවට වඩා නම් අපේ රට දාහෙන් සම්පතයි.

    ReplyDelete
  24. ඔය හඳහන් කතා නම් මම් විස්වාස කරන්නෙම නෑ. ඔවුවා නිකන් මනස් ගාත නේ. ඒ උනාට දෙමවුපියෝ අකමැත්තෙන් පැනලා ගිහින් කසාද බඳින එක නම් ඒ තරම්ම හොද දෙයක් නෙමේ. මොකද හදා වඩා ගත්ත දෙමවුපියන් නේ. ඒ අයට දුකක් දෙන එක පවු.

    ReplyDelete
  25. යකොව් මෙතන එකෙක් වත් දෙමව්පියො ගැන හිතන උන් නැ ටිකක් හරි එ පැත්තට Comment එකක් දැම්මේ මධුරංග විතරයි.මම හිතුවෙ කෙල්ලොවත් තමන්ගෙ දෙමව්පියො ගැන හිතනවා කියලා.ආදරෙ කරන කෙනවා හම්බවෙන්නෙ දෙමව්පියන්ට පස්සේ.අවුරුදු 23,24 කන්ඩ බොන්ඩ දිලා හැම දෙයක්ම හොයලා බලන එ අයගෙ අශාව ඉශ්ට කරන්ඩ බැරි නම් වැඩක් නැ.

    ReplyDelete
  26. @මධුරංග
    ඔව් බං මාත් ඒ මතේ තමයි ඉන්නේ. මම කලින් පෝස්ට් එකෙත් ඒක කිව්වනේ. කොහොමහරි අන්තිමට අරුන් දෙන්න තමයි විඳවන්නේ.

    @පසිදු
    හරි හරි සහෝ, මාත් මෙතන කියලා නෑ නේ දෙමව්පියෝ අකමැත්තෙන් කසාද බඳින්න කියලා. උඹ කියන කතාව ඇත්ත. ඒත් ඉතින් අන්තිමට ඒකෙන් විඳවන්නේ අසරණ දරුවෝ.

    ReplyDelete
  27. ඔව් මචන් උබ කියලා නැ දෙමව්පියෝ අකමැත්තෙන් කසාද බඳින්න කියලා.මං නම් හිතන්නේ අන්තිමට අපිට ඉතුරු වෙන්නේ දෙමව්පියො විතරයි.පන වගෙ ආදරෙයි කියන කෙල්ලො අපෙ පොඩි දුර්වල කමක් දැක්ක ගමන් අපිව දාලා යනවා ගියාට කමක් නැ.ගිහිල්ලා වෙන එකෙක් එක්ක සෙට් වෙලා අපෙ වැරදි ලොකෙ වටෙ කිය කිය ඇවිදිනවා එ හින්දා මටනම් කෙල්ලො කියන ජාතිය එපා වෙලා තියන්නේ.....කසුන් අයියෙ මම උබට නෙමෙ බැන්නේ ආ... :ඬ්

    ReplyDelete
  28. මොකද වුනේ ගුරුකම් වැඩේ ???

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.