twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Thursday, June 21, 2012

අඩුව




සීතම සීත සැඳෑ මදනල
පිසගෙන හමන මා ගත
කොඳුරන්නේ රහසක් මට
හෙමි හෙමින් රහසේම

හමන මුදු මද නල
හිරිගඩු පිපෙන සීතල
පෙළන්නේ  මා ගත
එපමණක් නොව සිතද

නිරුවත්  උඩුකයට 
දරණු බැහැ මේ සීතල
කිලිටි වූ කමිසයට
මඩිනු හැකිවෙද මේ දරුණු සීතල

ජීවිතේ තනිකම
මා වෙලාගත් පාළුව
හමන මේ සැඳෑ මද නල
කියාදෙන්නේ දෝ මට

නැති වෙන්නට මේ සීතල
තුරුළු වෙන්නට උණුසුමට
කෙනෙක් හිටියා නම් මට
මාත් බය නෑ මේ සීතලට 

:D :D :D :D :D :P 
.................................................................................................................................................................

හවසට ජනේලේ ලඟට වෙලා හීතල හුලං වැදි වැදි ඉන්නකොට හිතට ආපු කවියක් මේ....;) :D



Friday, June 15, 2012

බලා හිඳිමි මම

ඇයි ඔච්චර ආඩම්බර
එන්නකෝ මගේ ලඟට
බලන් ඉඳල බලන් ඉඳල
ඇති වෙලා මට දැන් හොඳටම

සති දෙකක් තිස්සේ ඉඳන්
බලාගෙන ඉන්නේ නුඹ ලඟට ගන්න
ඒත් ආඩම්බරකාර නුඹ
යන්නෙම තව ඈතට

දන්නේ නැහැ නුඹ තවම
කෙතරම් වටිනවාද නුඹ මට
මගේ හිත රිද්දන්නමද
යන්නේ තව තව ඈතට

දැන් නම් මට මල හොඳටම
ඉවරයක්‌ කරලා දාල මේ මගුල
ගෙදර යන්න ඉක්මනටම
දැන්වත් වරෙන් විභාගේ උඹ

Saturday, June 9, 2012

කල්පනා (IV කොටස)

ස්ට්‍රයික් එක නිසා විභාගේ කල් යනවලු..... එපා වෙනවා අලේ, දන්න මගුලක් ලියල ඕව ඉක්මනට ඉවර කරලා දාන්න පුළුවන් නම් හිතට නිදහස් නේ. විභාගේ කවද පටන් ගනීවිද කියන්න බැරි සීන් එකක් දැන් තියෙන්නේ. ඉතින් විභාගෙත් කල් යන එකේ මම හිතුවා යුගයේ දියාරුම ආදර කතාවේ තව කොටසක් කොටල දාන්න. අපරාදේ නේ නිකන් වෙලාව නාස්ති කරන්නේ.:) කලින් කොටස් බලනවා නම් මෙතනින් යන්න.

.....................................................................................................................................................................

කලින් කොටසේ කියපු විදියට කොල්ල සෑහෙන ලක ලෑස්ති වෙලා ගියා පළවෙනි වතාවට කල්පනාව මුණ ගැහෙන්න. බෝඩිමට ඇවිත් එයාට කතා කරලා එයා එහෙන් එනවා කියපු වෙලාව බලල තමයි මම බෝඩිමෙන් ගියේ. එයා කිව්වා කැම්පස් එක ළඟ ඉඳලා කොටුවට එන්න මෙච්චර වෙලාවක් යනවා කියලා, මම ඉතින් ඒ වෙලාවට හරි යන්න තමයි ගියේ. දැන් ඉතින් කොල්ල බස් එකේ යනවා. දෙහිවල හරියේදී විතර කෝල් එකක් එනවා, බලනකොට කල්පනා. මම බැලුවා එන්න එපා කියන්න වත්ද කියලා. බයෙන් සැකෙන් මම කෝල් එකට ආන්සර් කළා. එයා කිව්වා, "කසුන් මම කොටුවට ඇවිත් ඉන්නේ, ඔයා කොහෙද?" කියලා. හෑ, එහෙම වෙන්නේ කොහොමද? මම හරියට එයාට කැම්පස් එකේ ඉඳල මෙහාට එන්න යනවා කියපු වෙලාව බලල නේ ආවේ. එයා කියපු වෙලාවට වැඩිය විනාඩි 30ක් විතර කලින් එයා කොටුවට ඇවිත්. මම එයාට ඒක කිව්වා, නැත්තන් නිකන් මම පරක්කු වුනා වගේ නේ. එයා කිව්වා දුර යන බස් එකක් ඇවිත් ඒකෙ ආවේ, ඒ නිසා ගොඩක් කලින් ආව කියලා. ඊට පස්සේ මම කිව්වා මම තාම දෙහිවල කියලා. එයා කිව්වා හරි ඔයා එන්න මම බෝධිය ලඟට වෙලා ඉන්නම් කියලා.

දැන් ඉතින් මට හිතට අප්සට්. මගේ වැරද්දක් නැති වුනත් එයාට දැන් මම එනකල් බලාගෙන ඉන්න වෙනවා නේ ගොඩක් වෙලා. දැන් මට කලබලේ වැඩි කමට බස් එක නිකන් යන්නේ නෑ වගේ.:) මම නිකන් නලියනවා. කොහොමහරි ගෝල්ෆේස් එක හරියේදී ආයෙත් කල්පනාගෙන් කෝල් එකක් එනවා. මම ගත්ත ගමන් කිව්වා දැන් ගෝල්ෆේස් එක හරියේ කියලා. එයා ටිකක් විතර අප්‍රසාදෙන් කතා කළේ. යකෝ හරියට මගේ වැරද්දක් වගේ. එයා හරියට වෙලාව කියන්නේ නැතුව මම මොනවා කරන්නද. මම ඉතින් සද්ද නැතුව හිටියා හම්බවෙන පළවෙනි දවස නිසා.:) කොහොමහරි බෝධිය ලඟටත් ආව ඔන්න. මම බැහැල වටපිට බැලුවා එයා පේන්න නෑ. ඊට පස්සේ මම කෝල් එකක් දුන්නා එයාට. ඔන්න එතකොට අර බෝධිය ළඟ කඩ සෙට් එක අස්සේ ඉඳල එයා තව කෙල්ලෙක් එක්ක එලියට ආව. කවදාවත් හැබැහින් දැකලා නැති වුනත් දුර තියලම එක පාරින් එයාව අඳුර ගන්න පුළුවන් වුනා. කොල්ල ඉතින් හෙමින් හෙමින් ඒ පැත්තට කිට්ටු කළා.

මම එතනට ගියාට පස්සේ යාලුවා යන්න ගියා. එයා කිව්වා මගේ කිට් එක ලස්සනයි කියලා. ඊට පස්සේ අපි දෙන්න බස් තියන පැත්තට ඇවිදගෙන ගියා. පොඩි පොදක් වැටුනා ඒ වෙලාවේ. එයා කුඩේ එලියට අරගෙන දිග ඇරගත්තා. මම ඉතින් කුඩේ යටට යන්න ගියේ නෑ, මට කතා කළේ නෑ නේ. මම එහෙමම පොද වැටි වැටි ගියා. ඊට පස්සේ එයා මට කිට්ටු වෙලා මටත් එක්ක කුඩේ ඇල්ලුවා. 


 (මෙච්චර ලං වෙලා හිටියේ නෑ හොඳේ...:))

කිට් එක ලස්සනයි කිව්වට පස්සේ තාම අපි දෙන්න වචනයක් වත් කතා කළේ නෑ. මටත් කියන්න දෙයක් හිතාගන්න බැරුව හිටියේ. හැබැයි ඊට පස්සේ එයා කියපු දේ නිසා, අපි දෙන්න කතා නොකරම හිටිය නම් හොඳයි කියලා මට හිතුනා.

"අපිට දිගටම යාළුවො විදියට විතරක් ඉන්න බැරිද කසුන්?"

නිකමට හිතල බලන්න දාහක් බලාපොරොත්තු තියාගෙන පළවෙනි වතාවට කෙල්ලව හම්බවෙන්න ගියාට පස්සේ, උදේ පාන්දරම මෙහෙම කතාවක් කිව්වම මට කොහොම දැනෙන්න ඇද්ද කියලා. තත්ත්පර ගානක් යනකල් මට කියන්න දෙයක් හිතාගන්න බැරුව මම බලාගෙන හිටියා. මම බොහොම අමාරුවෙන් වචන ගැට ගහගෙන ඇහුවා "මෙච්චර දවසකට පස්සේ ඇයි ඔයා ඔහොම අහන්නේ?" කියලා. මට එයා දීපු උත්තරේ නම් දැන් මතක නෑ. කොහොමහරි එයා ගෙදරින් කැමති නැති කතන්දරේ නිසාලු එහෙම ඇහුවේ. ඊට පස්සේ කතා කරපුවා නම් මට මතක නෑ. කොහොමහරි ඉතින් එයා නොකෙරෙන පැත්තට කතා කරනකොට මම කොහොමහරි මේක කරමු කියන දේ තමයි කිව්වේ. ගෙදරින් කැමති නැති කතාවම තමයි එයා දිගටම කිව්වේ.

එයා ආයෙත් සරණි ගැනත් ඇහුවා. එයා ඇහුවා, "ඔයා ඔය තරම් සරණිට ආදරේ කළා නම් එච්චර ඉක්මනට එයාව අමතක කළේ කොහොමද?" කියලා. මම කිව්වා, "එයා මට අකමැති වුනේ මගේ පෙනුම නිසා නම්, තවත් මම එයාට ආදරේ කරලා තේරුමක් නෑ නේද" කියලා. ඊට පස්සේ එයා ඇහුවා "කවදාහරි මේ සම්බන්දෙ නවත්තන්න වුනොත් ඔයාට අර වගේම මේකත් අමතක කරලා හිත හදාගන්න පුළුවන් වේවි නේද?" කියලා. එයා නිකන් හින්ට් එකට වගේ ඒක ඇහුවේ. බොරු කතන්දර නැතුව මම ඇත්තම කතාව කිව්වා. "මෙහෙමයි, ඔයා මට ආදරේ කරන තාක් කල්, මාත් එක්ක ඉන්න තාක් කල් මට මේ සම්බන්දෙ වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්, හැබැයි එහෙම නැති වුන දවසට නම් මට මුකුත් කරන්න බැරි වේවි." (වචන බර වැඩිද මන්ද.:) මට මතක විදියට මම ඔය වචන ටික ඔහොමම තමයි කිව්වේ.) ඊට පස්සේ එයා මෙහෙම කතාවක් කිව්වා.

"අපි පුළුවන් තරම් කල් මේ සම්බන්දෙ තියාගමු."

මට අදටත් හිතාගන්න බෑ එයා මොනවගේ අදහසකින්ද ඒක කිව්වේ කියලා. කොහොමහරි ඊට පස්සේ මම එයාට හච් සිම් එකයි, ගෙනාපු DVD දෙකෙන් එකකුයි දුන්නා. DVD දෙකම දුන්නේ නෑ, දැනට එකයි දෙන්නේ ඊළඟ පාර හම්බවුනාම අනිත් එක දෙන්නම් කියලා මම කිව්වා.:) කොහොමහරි එයා බහින තැනටත් ආව. එයා දැන් බය වෙලා කියලා මට හොඳට තේරෙනවා. එයා කිව්වා "අනේ කසුන් ඔයා ඊළඟ හෝල්ට් එකෙන් බහින්න, මම බහින තැන බහින්න එපා" කියලා. මට පරෙස්සමින් යන්න කියලා එයා බැහැල ගියා. මම ඊළඟ හෝල්ට් එකෙන් බැහැල එතනම තිබුන කඩේට ගියා මොනවා හරි බොන්න. මගේ තොල කට වේලිලා තිබුනේ.:) ඊට පස්සේ මම රෝල් එකක් කාල, බීම එකක් බීල ආයෙත් කොටුවට එන බස් එකකට නැග්ගා.

එයා ගෙදර ගියා කියල මැසේජ් එකකුත් ආව. මම එහෙමම ගෙදර යන්න බලාගෙන නේ ආවේ, මම බස් එකට නැගල වාඩි වෙලා සෑහෙන කල්පනා කළා එදා දවසේ වුන දේවල්. මට ඇත්තටම ඉස්සරහට මොනවා වේවිද කියලා හිතාගන්න බැරිවුනා. හැබැයි එක දෙයක් මට හොඳටම පැහැදිලියි, මේ සම්බන්දෙට මම හිතපු තරම් ලස්සන අනාගතයක් නෑ කියන එක. මම හිතා ගත්තා මොන දේ වුනත් මම ඒ හැම දෙකටම මූණ දෙනවා කියලා. මට ඒ වෙලාවේ මහන්සියත් එක්ක නිකන් අඩ නින්දේ වගේ හිටියේ. බස් එක ස්ටාර්ට් කරලා පොඩි දුරක් යනකොට මැසේජ් එකක් එනවා දැනුනා. බලනකොට කල්පනාගෙන්. මැසේජ් දෙකක් තියනවා. මගුලයි, පළවෙනි එක ඇවිත් විනාඩි 5ක් විතර වෙනවා. දෙවැනි එක තමයි ඒ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ඩෙනිමක සාක්කුවේ ෆෝන් එකක් දාගෙන එන්නකොට වයිබ්‍රේට් වුනාම ටක් ගාල දැනෙනවා නේ. ඒත් කොහොමහරි මට කලින් එක එනවා දැනුනේ නෑ. පළවෙනි එකේ තිබුනේ ඔයා දැන් කොහේද කියල අහල. එකට රිප්ලයි නැති නිසා දෙවනි එක දාල තියෙන්නේ, "ඇයි රිප්ලයි කරන්නේ නැත්තේ, ඔයා දැන් කොහේද ඉන්නේ" අහල.

මම කල්පනා කළා දැන් මේකට රිප්ලයි කලොත් පළවෙනි මැසේජ් එක ගණන් ගන්නේ නැතුව ඉඳල දෙවනි එක ආවට පස්සේ රිප්ලයි කළා වගේ වෙනවා නේ. පළවෙනි එක දැනුනේ නෑ, දෙවනි එක දැනුනේ කියන එක ඉතින් ඇත්තටම පිළිගන්න අමාරුයි නේ. ඒ නිසා මම හිතුවා නින්ද ගිහින් වගේ ඉඳලා තව ටිකකින් මැසේජ් කරනවා දැන් මැසේජ් දෙක දැක්කේ කියලා. කොහොමහරි ඉතින් ඒ වෙලාවේ මගේ ඔලුවට ආවේ එහෙමයි. එහෙම හිතල ටික වෙලාවක් ඉන්නකොට මෙන්න තවත් මැසේජ් එකක් ආව. අම්ම ගහනවා දැන් බැට් එකෙන්. දැන් නම් ඉතින් කොහොමවත් එවෙලේ රිප්ලයි කරන්න බෑ නේ. ඊට පස්සේ තවත් ටික වෙලාවක් බලාගෙන හිටියා. වාසනාවට ආයෙත් මැසේජ් එකක් ආවේ නෑ. ඊට පස්සේ ටික වෙලාවකින් මම මැසේජ් එකක් දැම්මා, මට නින්ද ගිහින් හිටියේ දැනුයි මැසේජ් තුන දැක්කේ. මම දැන් අහවල් හරියේ ඉන්නේ කියලා. ම්හු.... සද්දයක් නෑ. මට හිතුනා මල පැනලා වෙන්න ඇති කියලා. මම ඒ පාර ආයෙත් මැසේජ් එකක් දැම්මා ඇයි සද්ද නැත්තේ කියලා. ඒත් සද්දයක් නෑ. මම කිව්වේ බොරුවක් වුනාට ඒක බොරුවක් කියලා එයාට කොහෙත්ම හිතෙන්න විදියක් නෑ. එයත් දන්නවා මම එදා දෙතුන් පාරක් එහෙමහේ ගිහින් මහන්සි වෙලා ඉන්නේ කියලා. එහෙනම් ඇයි මෙච්චර තරහ ගිහින්???

ටිකකින් මම ආයෙත් මැසේජ් එකක් දැම්මා, "ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ, ඇයි කතා කරන්නේ නැත්තේ? මොකක්ද වුන ප්‍රශ්නේ?" කියල අහල. ඔන්න ඊට පස්සේ මැසේජ් එකක් ආව. හැබැයි ඒක එච්චර ලස්සන මැසේජ් එකක් නෙමෙයි.

[ඔයා පරෙස්සමින් යන්න කසුන්. ගිහිල්ල මට මැසේජ් එකක් දාන්න.]

ඔච්චරයි කියලා තිබුනේ. දැන් ඉතින් මට හිතාගන්න බෑ මොකද වෙලා තියෙන්නේ කියලා. මම ඊට පස්සෙත් මැසේජ් කළා. හැබැයි ඒවාට රිප්ලයි නම ආවේ නෑ. මම දැන් කරකවලා අත ඇරියා වගේ. ඔච්චර මල පනින්න තරම් දෙයක් වුනේ නෑ නේ. එදා දවසේ වුන දේවලුයි ඊට පස්සේ ඔය සිද්ධියත් එක්ක මට ඉතින් පිස්සුව වගේ. පස්සේ මාත් නිකන් හිටියා. එහෙම බලහත්කාරෙන් මැසේජ් කරන්න ඕන නෑ නේ ඉතින්. කොහොමහරි මම ගෙදරටත් ගියා. ගිහින් මැසේජ් එකක් දැම්මා මම ගෙදරට ආව කියලා. ඒත් සද්දයක් නෑ. මම ඉතින් ඊට පස්සේ ආයෙත් මුකුත් කියන්න ගියේ නෑ. මට කිව්වේ ගියාම කියන්න කියලනේ, මම ඒක කිව්වනේ, ඒ ඇති. මම එදා සෑහෙන හිතේ අමාරුවෙන් නිදා ගත්තේ. එයාට එක පාරට මොකද වුනේ කියල මට හිතාගන්න බෑ. ගොඩක් දවස් බලාගෙන ඉඳලා, ජීවිතේ ලස්සනම දවස වෙයි කියල හිතාගෙන හිටපු දවස අන්තිමට ගෙවිල ගියේ මහා දුකකින්. 

ජීවිතේ මහ පුදුමයි නේද? සතුට දුක කියන හැඟීම් දෙක අතරේ තියෙන්නේ කොයිතරම් පොඩි පරතරයක්ද? 

...................................................................................................................................................................

කල්පනා.....................
 
ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......

කල්පනා (V කොටස) 

ළඟදීම....!

:D :D :P :P
   

Sunday, June 3, 2012

කල්පනා (III කොටස)

ඔබ නැවතත් මේ එකතු වී සිටින්නේ යුගයේ දියාරුම ආදර කතාව සමගයි. මම කල්පනාට ආදරේ ප්‍රකාශ කරන තැනට එනකල් කලින් කොටස් දෙකේ කිව්වා නේ. මුල් කොටස් දෙක බලනවා නම් මෙතනින් යන්න.


.................................................................................................................................................................

කොහොමහරි ජීවිතේට මුන ගැහිල නැති, අඩුම ගානේ කෝල් එකක්වත් දීල නැති කල්පනාට මම ආදරෙයි කියල කිව්වා. පස්සෙ දවසෙ මම දැන් බලාගෙන ඉන්නවා උත්තරයක් එනකල්. එදා චැට් එකටත් සෙට් වුනා, හැබැයි උත්තරයක් ලැබෙන පාටක් නෑ. බැරිම තැන මම ඇහුවා ''මම කියපු දේට මොකද කියන්නෙ?'' කියලා. ම්හු... තව හිතන්න ඕනලු. මම ඉතින් කලබල කරන්න ගියේ නෑ. ඊට පස්සෙ සති අන්තෙ ඉවර වෙලා මම කැම්පස් ආව. හැබැයි මට එක දෙයක් හොඳට තේරුනා. එයා දැන් වෙනදටත් වඩා මගේ ගැන හොයනවා, වෙනදටත් වැඩිය මගේ ගැන අයිතියකින් මට කතා කරනවා. කොහොමහරි කැම්පස් ගිහිල්ලත් දවස් දෙකක් විතර යනකල් උත්තරයක් ලැබුනෙ නෑ. ඊට පස්සෙ මම ආයෙත් අහුවා. ඊට පස්සෙ එයා ඇහුවා ''ඔයාට මාත් එක්ක කතා කරන්න ඕනද?'' කියලා (කෝල් එකක් ගන්න). මම කිව්වා හා කියලා. ඊට පස්සෙ එයා කියනවා "හැබැයි කෝල් එකක් ගත්තට කියන්න නම් දෙයක් නෑ'' කියල. අයියෝ මේ කෙල්ලො නම්... එයාම කෝල් එකක් ගන්න ඕනද අහල දැන් කියනව කියන්න දෙයක් නෑලු.:) මම කිව්ව කමක් නෑ මම කෝල් එකක් ගන්නම් කියලා. ඊට පස්සෙ කියනවා කෝල් එකක් ගන්න හැබැයි අරක ගැන අහන්න එපා කියලා. මම ඉතින් හා කියල අරගෙන කෙලින්ම ඒක ගැන අහුවෙ.:)

ඊට පස්සෙ දීර්ඝ සාකච්චාවක් ගියා. බුදු අම්මෝ සෑහෙන ප්‍රශ්න ඇහුවා. සරණි ගැන, වයස ප්‍රශ්නෙ ගැන, ගොඩක් දේවල් ඇහුවා. කවදාවත් මූනට හම්බවෙලා නැති එක ගැනත් කිව්වා. මම කිව්වා එහෙනම් මම එන්නම් ඔයාව හම්බවෙන්න කියලා, ඒකට කැමතිත් නෑ. එයා මීට කලින් කාත් එක්කවත් යාලු වෙලා නැතිලු. ඒව නම් ඉතින් ඇත්තද දන්නෙ නෑ.:) ඊලඟට මම බර කරලම ඇහුවා අර සරණිට තිබුන ප්‍රශ්නෙ ඔයාටත් තියේද කියලා. එයා කිව්වා එහෙම නම් කිසිම ප්‍රශ්නයක් නෑ කිව්වා. එයා කිව්වා එයාගෙ හිතෙත් මන් ගැන අදහසක් තිබුනා කියලා. එත් එයාට බයයිලු. කොහොමහරි දරුණු සටනකින් පස්සෙ මම අහන්න බලාගෙන හිටිය දේ එයා කිව්වා.:) එයත් මට ආදරෙයිලු. අයියෝ මට පිස්සු...!

කොහොමහරි ඔය වචනේ අහගන්නකොට මම බෝඩිමට එන පාරේ කිලෝමීටර් ගානක් එහාට මෙහාට ඇවිදලා. තව ටිකක් වෙලා ගියා නම් ඒ පාර අයිනේ තිබුන තාප්පේ ගලවගෙන වැටෙනවා මම ඒකෙ ගල් ගලවලාම. (කළුගල් තාප්පයක් නෙමෙයි:)) මම මුලින්ම ගමේ එකෙකුට තමයි පණිවිඩේ කිව්වේ. බෝඩිමේ ඒ වෙනකොට ඇහැරගෙන හිටියේ දෙන්නෙක් තුන්දෙනෙක් විතර මම උන්ටත් සීන් එක කිව්වා. උන්ට නම් ගානක් නෑ.:( පස්සේ දවසේ මම ඔය කතාව ට්‍රේනින් ප්ලේස් ඒකෙ හිටපු අපේ උන්ට කිව්වම සුභ පතන එක කෙසේ වෙතත් මගෙන් අයිස්ක්‍රීම් තුනක් නම් ගලවගත්තා. ඊට පස්සේ ඉතින් මැසේජ් එහෙම තව තව වැඩි වුනා.

හැබැයි ඇත්තම කතාව නම් එයා එච්චර සංවේදී ආදරණීය කෙනෙක් නෙමෙයි. මම බලාපොරොත්තු වුන තරමේ ආදරයක් නම් ලැබුනේ නෑ. තාම පටන් ගත්තා විතරයි නිසා කාලයත් එක්ක ඒවා හරියාවි කියලා මම හිතුවා. හැබැයි සමහර වෙලාවට එයා මම කනකල් කන්න බලාගෙන ඉන්න වගේ වැඩ නම් කළා.:) කලින් වතාවේ ඕක පුරුදු කරගෙන හොඳට මට්ටු වෙලා හිටිය නිසා මේ පාර නම් ඒක පුරුදු කරගත්තේ නෑ.:D ඔහොම කාලය ගෙවෙනකොට මට එක දෙයක් තේරුනා. එයා හිතාමතාම මට වැඩිය ලං නොවී ඉන්න උත්සාහ කරනවා. මම කොච්චර ආදරේ පෙන්නුවත් එයා එහෙම නෑ. හැමතිස්සෙම පොඩි පරතරයක් තියාගෙන හිටියේ. කතා කරන වචන වල ඉඳලම එහෙමයි. මම හැම දෙයක්ම මනින්න පුරුදු වෙලා හිටියේ සරනිගේ ආදරෙන්. එයාගෙන් ලැබුන ප්‍රමාණයේ ආදරයකට පුරුදු වෙලා හිටිය මට කල්පනාගෙන් ලැබුන ආදරේ ලොකු අඩුවක් තිබුනා. හැබැයි මම ඒ ගැන මුකුත් කියන්න ගියේ නෑ. ඉල්ලගෙන ආදරේ අරගෙන වැඩක් නෑ නේ, හැඟීමෙන්ම දෙනවා නම් ගන්නවා මිසක්. මම තවත් ඉවසගෙන බලාගෙන හිටියා එයා කාලයත් එක්ක හරි යාවි කියලා.

ඔහොම යනකොට දවසක් එයා මට දෙයක් කියන්න ඕන කිව්වා. එදා සිකුරාදා දවසක්, මම ඔෆිස් ඉවර වෙලා එහෙමම කොටුවට ගියා ගෙදර යන්න. කොටුවෙන් බස් එකට නැගලා ඉන්නකොට තමයි එයා ඔය කතාව කිව්වේ. එයා කිව්වා එයා අම්මට මගේ ගැන කිව්වලු. මට කලින් ඒ ගැන කිසිම දෙයක් කියල තිබුනෙත් නෑ. මම ඇහුවා අම්ම මොකද කිව්වේ කියලා (මැසේජ් වලින් කතාව ගියේ). ඊට පස්සේ සද්දයක් නෑ. ආයෙත් මැසේජ් එකක් දැම්මම කියනවා අම්ම කැමති නැතිලු පොඩ්ඩක් වත්. අපේ සම්බන්ධෙ නවත්තන්න කියල කිව්වලු. හේතුව මොකක්ද ඇහුවම, මගේ වයස අඩු එකත් අවුලක්ලු, කවදාවත් දැකලා නැති එකත් අවුලක්ලු. එහෙම කෙනෙක්ව කොහොමද ඇහුවලු විස්වාස කරන්නේ. එයා කතා කලේ නිකන් මේක කරලා තේරුමක් නෑ වගේ අදහසකින්. මම ඉතින් රටේ නැති දේවල් කිව්වා. මට කියපුවා නම් දැන් හරියට මතක නෑ, මතක් කරන්න කැමතිත් නෑ. කොහොමහරි මම ඇහුවා මම එයාලගේ ගෙදර එන්නද කියලා. එහෙමත් කැමති නෑ. මම කිව්වා අම්මට කියන්න මම අම්මවයි තාත්තවයි හම්බවෙන්න එන්නම් කියලා. ඒක කියන්නෙත් නෑ.

කොටුවේ ඉඳල ගෙදර යනකොට කටුබැද්ද හරහා තමයි බස් එක යන්නේ. මම ටිකට් එකත් අරගෙන තිබුනේ. හදිස්සියේවත් ඕන වුනොත් කල්පනාගේ ගෙදර යනවා කියල හිතාගෙන ගෙදර යන එක අතෑරලා මම කටුබැද්දෙන් බැස්සා. බැහැල මම කල්පනාට කිව්වා. මම කිව්වා ඕන වුනොත් කියන්න කිසි අවුලක් නෑ මම ඔයාගේ ගෙදර එන්නම් කියලා. එයාට අප්සට් මම ගෙදර යන්නේ නැතුව මගින් බැස්ස කියලා. මම කිව්වා ගෙදර කවද යන්න බැරිද, මට ඔයාව ඊට වැඩිය ගොඩක් වටිනවා කියලා. පස්සේ මම ගෙදරට කෝල් කරලා බොරුවක් ගැහුවා අද එන්න වෙන්නේ නෑ වැඩක් වැටිලා කියලා. ඊට පස්සේ මම බෝඩිමට ගිහිල්ලත් ගොඩක් කතා කළා ඔය ගැන. මේ සම්බන්දෙ ගැන ගොඩක් බලාපොරොත්තු තියාගන්න එපා කියලත් එයා කිව්වා. නෝන්ඩිද මන්ද මේවා කියන්න, මම එදා ඉඳලා හැමදාම හවසට ළඟ තියන පන්සලට ගියා බුදුන් වඳින්න.:) බුදුන් වැඳලා මම ඉල්ලුවේ එයාගේ ගෙදරින් කැමැත්ත ලැබෙන්න කියලා. මම පව් නේද ඕයි...

ඔය විදියට ඉතින් කාලය ගෙවිලා ගියා. ගෙදර ප්‍රශ්නේ ගැන ඊට පස්සේ වැඩිය කතා වුනේ නෑ. අපි දෙන්න සාමාන්‍ය විදියට කතා කර කර හිටියා. ඒ දවස්වල බර වියදමක් ගියා කෝල් වලට. ඒ නිසා මම හිතුවා Hutch කපල් පැකේජ් එකක් ගන්න. ඒ දවස්වලමද කොහෙද Hutch කපල් පැකේජ් ආවේ. මම ඉතින් කන් රිදෙනකල් කතා කරන්න හිතාගෙන සිම් දෙකක් ගත්තා. ගත්තට ඉතින් ඕක එයාට දෙන එක තමයි වැඩේ. බොලා හිනා වෙන්න එපා ඔන්න, අපි දෙන්න යාලු වෙලා සති දෙකක් විතර වෙලත් තාම අපි දෙන්න මුණගැහිලා නෑ.:) මගේ වැරැද්ද නෙමෙයි ඉතින්, මම කට කැඩෙනකල් කිව්වා එන්න කියලා. එයට බයයිලු මාව හම්බවෙන්න එන්න....:D අයියෝ සල්ලි කිව්වලු....!




මාත් ඉතින් වැඩිය බල කලේ නෑ ඒ නිසා. මොකටද ඉතින් බලෙන් ගිහින් හම්බවෙන්නේ? හැබැයි සිම් එක ගත්තට පස්සේ මම ආයෙත් කිව්වා මුණගැහෙන්න එන්න කියලා, එතකොට සිම් එකත් දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ දෙතුන් පාරක් කියලා කැමති කරගත්තා. හම්බවෙන්න එන දවසක එයාට බලන්න හින්දි ෆිල්ම් ටිකකුත් ගෙනත් දෙන්න කියලා කලින් කියලා තිබුනේ. මම බලපු හොඳ ෆිල්ම් මගේ ළඟ රයිට් කරලා තියන නිසා අමුතුවෙන් හොයන්න ඕන වුනේ නෑ. මම ඉතින් මම රයිට් කරගත්ත DVD සෙට් එක ඇදලා හොඳ හින්දි ෆිල්ම් තියන DVD දෙකක් ගත්තා. පස් හය වතාවක්ම චෙක් කරලා තමයි දාගත්තේ, වැරදිලාවත් වෙන එකක් ගියොත්..;) :P දැන් ඉතින් කොල්ල සිම් දෙකයි, DVD දෙකයි තියාගෙන යන දවස එනකල් බලාගෙන ඉන්නවා.

එයාට ගෙදර ඉන්න දවසක එලියට එන්න බෑ කිව්වා ගෙදර අය සැක හිතනවා කියලා. ඒ නිසා එයා කැම්පස් ඉඳල එන දවසක් සෙට් කරගත්තා හම්බවෙන්න. එයා සිකුරාදාට ගෙදර එනවා. එයා කොටුවට ඇවිත් ගෙදර යන්නේ, මම කොටුවට ඇවිත් හම්බවෙන්න කතා කරගත්තා. යන්න තියෙන්නේ ඉතින් ඔෆිස් දවසක නේ. ඔෆිස් එකේ ඉඳල ෂර්ට් එකයි කලිසමයි ඇඳගෙන එහෙමම ගියාම කික් එකක් නෑ නේ. ඒ නිසා මම ඔෆිස් එකෙන් කලින් ඇවිත් බෝඩිමට ඇවිල්ලා වෙන ඇඳුමක් දාගෙන යනවා කියලා හිතුවා. මගේ ළඟ අලුත්ම ටී ෂර්ට් එකක් තිබුන ඇඳපු නැති. අපේ කොල්ලෙක් අරන් ආපු අලුත්ම කලිසමකුත් තිබුනා ඌවත් ඇඳපු නැති එකක්. ඔය දෙක සෙට් කරගත්තා ඇඳන් යන්න. හැබැයි හරියන සෙරෙප්පු දෙකක් තිබුනේ නෑ. මම ඉතින් ටොයිලට් එකට ගියත් ටවුන් එකට ගියත් කොහේ ගියත් රබර් කෑලි දෙක තමයි දාගෙන යන්නේ. හැබැයි කල්පනා හම්බවෙන පළවෙනි දවසෙම රබර් කෑලි දෙකක් ගහගෙන යන එක හරි නෑ කියලා මට හිතුනා. දැන් එතකොට හොඳ සෙරෙප්පු දෙකක් ගන්න ඕන. ඔෆිස් එකෙන් කලින් ඇවිත් සෙරෙප්පු දෙකක් අරගෙනම එනවා කියලා හිතුවා.

ඔන්න ඉතින් ඒ දවසත් ආව. මම උදේ ගිය ගමන්ම මාත් එක්ක හිටපු අපේ බැච් එකේ කෙල්ලටත් කිව්වා සීන් එක. දැන් ඉතින් මට ඉන්න බෑ වෙලාව එනකල්, නලියනවා. අරකි මට විහිලුත් කළා කලබල නොවී ඉවසගෙන ඉන්න කියලා. කොහොමහරි අමාරුවෙන් ඉඳල කෑම වෙලාවේද කොහෙද මම එලියට ආවේ. එන ගමන් දෙහිවලින් බැහැල සෙරෙප්පු දෙකක් ගත්තා. ඊට පස්සේ බෝඩිමට ඇවිත් නාල කියලා, නියපොතු කපලා කොල්ල යන්න ලේස්ති වුනා. සිකුරාදා නිසා මාත් එහෙමම ගෙදර යන්න බලාගෙන ගියේ. ඉතින් පුළුවන් උපරිම විදියට ලේස්ති වෙලා දරාගන්න බැරි සතුටකින් කොල්ල එලියට බැස්සා කල්පනාව හම්බවෙන්න යන්න.
.................................................................................................................................................................

කල්පනා.....................

ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......

කල්පනා (IV කොටස) 

ළඟදීම....!

:D :D :P :P


Monday, May 28, 2012

කල්පනා (II කොටස)

ඔන්න මම යුගයේ දියාරුම ආදර කතාව අරගෙන ආයෙත් ආව.:D අම්මෝ පළවෙනි කොටස දැම්මට පස්සේ කොට වැඩියි කියල කීප දෙනෙක්ම අනං මනං කියලා තිබුනා.:( මේ පාර එහෙම නොවෙන්න ලියනවා. කියවපු අයට දැන් පළවෙනි කොටස මතකත් නැතුව ඇති. පළවෙනි කොටස බලනවා නම් මෙතනින් යන්න.

.....................................................................................................................................................................

කලින් කොටසේ ඕනම ටිකක් කියන්න බැරි වෙලා නේ. මම සරණිව ඇඩ් කරගත්තට පස්සෙ එයාගෙ ප්‍රොෆයිල් එකෙන් එයාගෙ කැම්පස් එකයි ඩිග්‍රී එකයි බලාගත්තා. ඊට පස්සෙ මම කල්පනාලව ඇඩ් කරගත්තතෙ නිකන් ගෙස් කරලා නේ. පස්සෙ මම කල්පනා එක්ක කතා කරන්න ගත්තට පස්සෙ එයගෙ විස්තර අහල බලනකොට එයත් ඒ කැම්පස් එකේ ඒ ඩිග්‍රී එකමයි. ඊට පස්සෙ තමයි කල්පනාගේ යාලුවෙක් වීමේ මෙහෙයුම දියත් කලේ.

.....................................................................................................................................................................

කලින් කොටසේ කියපු විදියට මම කල්පනාට ඇත්තම විස්තරේ කිව්වා. හැබැයි ඊට පස්සේ එයා නිකන් අවුල් වගේ. කතා කරද්දීත් අමුතුයි, වෙනද වගේ ෆ්‍රෙන්ඩ්ලි නෑ, වැඩි වෙලා කතා කරන්නෙත් නෑ, වෙනදට සමහර වෙලාවට එයාම චැට් එක පටන් ගත්තට ඊට පස්සේ එහෙම පටන් ගත්තේ නෑ. මට තේරුනා වැඩේ දෙල් වෙලා තමයි කියලා. දවසක් චැට් එකට සෙට් වුන වෙලාවක මම ඇහුව ඔයා දැන් ඇයි නිකන් අමුතු වෙලා වගේ කියලා. එයා කිව්ව නේ මට දැන් ඔයාව විස්වාස නෑ කියලා.:( ඊට පස්සෙ මම සම්පූර්ණ කතවයි මගේ විස්තරයි ආයෙත් පාරක් කිව්වා. ඒත් හරි යන්නෙ නෑ වගෙ. ඒ පාර මම මගේ ඇත්ත එකවුන්ට් එකට එයාව ඇඩ් කළා. එයා ඒක ඇක්සෙප්ට් කලා. ඊට පස්සෙ කෙලින්ම ඇත්ත එකවුන්ට් එකෙන්මයි චැට් කළේ. ඊට පස්සේ ඉතින් ඔය පරණ සිද්ධිය ගැනයි වෙන වෙන දෙවලුයි කතා කර කර ඉන්නකොට එයා ආයෙත් ශේප් වුනා. එයාට තේරුනා මම කියන්නේ ඇත්ත කියලා.

වැඩේ ශේප් වුනාට පස්සෙ මම හෙමිහිට ආයෙත් වචනෙ දාල බැලුවා. ම්හු... ඒක හරියන්නේ නෑ. එයා සරණි ගැන නම් විස්තර කියන්න කැමතිම නෑ. මම වැඩිය බල කරල අහන්න ගියේ නෑ, එයා තරහ වුනොත් මුකුත් නෑ නේ. එ නිසා ශේප් එකේ කතා කර කර හිටියා. ඊට පස්සෙ අතරින් පතර ශේප් එකේ දෙපාරක් විතර ආයෙත් සරණි ගැන විස්තර අහුවා. අන්තිම වතාවෙ එය කිව්ව එයා අම්ම එක්ක ගෙයක් අරගෙන කැම්පස් එක කිට්ටුව නැවතිල ඉන්නේ කියලා. ඊට පස්සෙ කියපු දෙයින් මම බින්දුවටම වැටුනා. එයා කිව්වා එයා දන්න විදියට සරණිගෙ කොල්ලත් එහේ නැවතිල ඉන්නෙ කියලා. මිනිහ සමහර දවස් වලට කැම්පස් එක ලඟට එනවලු සරණිව එක්කන් යන්න. ඒ දෙන්න කැම්පස් ඉවර වුන ගමන් බඳීවි කියලත් කිව්වා. අයියෝ සල්ලි කිව්වලු...:'(

ඔය වෙනකොට මම ගමේ සෙට් එකටත් සීන් එක කියල තිබුනේ. උන් මට හරකට වගේ බනිනවා. කල්පනා අර කොල්ල ගැන කියපු කතවත් මම ගිහින් කිව්වා. කොහොමහරි මටත් හිතුනා මම තේරුමක් නැති වැඩක්ද මේ කරන්නෙ කියලා. පස්සෙ අපි මෙහෙම වැඩක් කළා. මම අර කලින් කොටසෙ කිව්වේ එයාගෙ යාලු අක්ක කෙනෙක් ඉන්නවා කියල මාත් අඳුරන, ඒ අක්කට අපේ එකෙක් ලවා කෝල් එකක් දුන්නා. ඌ මගෙ ෆෝන් එකෙන් හොරෙන් නම්බර් එක අරන් මට හොරෙන් එයාට කතා කරනවා වගේ තමයි කතා කලේ. ඔන්න ඔය කෝල් එකෙන් තමයි මගේ ජීවිතෙ බේරුනේ. ඒ අක්ක කතා කරපු එකාට ඇත්තම කියල තිබුනා. අවුරුද්දකටත් වඩා ෆෝන් එකෙන් කතා කර කර ඉඳලා අපි දෙන්න මුලින්ම හම්බවුන දවසෙ ඉඳලලු එයගෙ හිත වෙනස් වෙලා තියෙන්නෙ. මම හැඩ මදිලු. එයා ඒ දවස්වලමයි මගේ ගැන තිබුන අදහස අත ඇරලා තියෙන්නේ. හැබැයි එයා විභාගේ ඉවර වෙනකල් ඉඳලා ඒක කියන්න. ඔය කතාව අහුවට පස්සෙ නම් මට එයා ගැන හිතේ තිබුන හැඟීම නැති වෙලාම ගියා. එදා ඒ කෝල් එක නොගන්න සමහරවිට අද වෙනකල්ම මම එයා ගැන හිත හිත ඉන්න තිබුනා.

කොහොමහරි ඔය විදියට ඒ කතාව ඉවරයක්ම වෙලා ගියා. මම කල්පනාටත් විස්තරේ ඔක්කොම කිව්වා. එයත් කිව්වා එහෙම නම් ඒක නවත්තපු එක හොඳයි කියලා. හැබැයි කල්පනාගෙයි මගෙයි චැට් කිරිල්ල නම් එතනින් නැවතුනේ නෑ. ඊට පස්සේ මම කවදාවත් සරණි ගැන කල්පනාගෙන් ඇහුවේ නෑ. අපි යාළුවො විදියට චැට් කර කර හිටියා. කාලයත් එක්ක අපි ගොඩක් ෆිට් වුනා. දෙන්න ඔන්ලයින් හිටියොත් අනිවාර්යෙන්ම කතා කරන ගානට ඇවිත් ඒ වෙනකොට. ඒ කාලේ මම හැමතිස්සෙම ලැබ් එකට රිංගන්න පුරුදු වෙලා හිටියේ. ඉන්ටර්නෙට් මනී පිස්සුව ගහල තිබුනෙත් ඒ කාලේ. කල්පනා එක්ක චැට් කර කර ඇඩ් ක්ලික් කරන එක තමයි කරන්නේ.:) හැබැයි පස්සේ හැබැයි පස්සේ ලැබ් එකට යන එක ගොඩක් අඩු වුනා.  ඒ නිසා කල්පනා එක්ක චැට් කරන එකත් අඩු වුනා. ඊට පස්සේ ෆේස්බුක් එකේ මැසේජ් යවන්න ගත්තා. මම ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් තමයි මැසේජ් කලේ. ඔහොම මැසේජ් කර කර කාලයක් හිටියා. මැසේජ් දෙපැත්තට යන වේගය එන්න එන්නම වැඩි වුනා. පස්සේ එයා ෆෝන් එකෙන් ෆේස්බුක් යන තරමටම වැඩේ දුර දිග ගියා.

ඔන්න ඉතින් ඔහොම යනකොටලු කොල්ල ආයෙත් ගොනාට ඇන්දේ.:) ආයෙත් පාරක් යාළුකම එතනින් එහාට ගියා. ඒක මගේ පැත්තෙන් වුනා කියල මට හොඳටම තේරුනා. එයා නම් එහෙම මුකුත් පෙන්නුවේ නැතත් එයත් එහෙමයි කියලා මට තේරුනා. ඒක එහෙමයි කියලා තේරුම් ගන්න එක එච්චර අමාරු වුනේ නෑ. එයා ටිකක් ආඩම්බරයි හැබැයි, පුළුවන් තරම් එහෙම නොපෙනන ඉන්න තමයි උත්සහ කළේ. ඒ වුනාට ඉතින් ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවා නේ. මට මැසේජ් කරන එක එයාගේ ජීවිතේ අනිවාර්ය අංගයක් වුනා. එයා කැම්පස් ඉඳල ගෙදර ආවම එක පාරට කම්පියුටර් එක ඔන් කරන්න බැරි නිසා ආපු ගමන් ෆෝන් එකෙන් ෆේස්බුක් ගිහින් මැසේජ් එකක් දානවා. ඒ තරමට මට මැසේජ් කරන එක එයාට වැදගත් දෙයක් වුනා. ඔන්න ඔය කාලේ තමයි මම ට්‍රේනින් ගියේ. අර 'A-14 පාර' කවිය ලියන දවස් වල ආදර හුටපටයක් ඔලුවට ගහල තිබුනා කිව්වේ ඔන්න ඔය සීන් එක තමයි. හිතට දැනුන පාළුව තනිකම වැඩි වුනේ මේ හේතුව නිසා තමයි.

සයිට් එකට ඉන්ටනෙට් තිබුනෙ නෑ. මම එහේ යන්න කලින්ම කෝකටත් කියල ෆෝන් එකට ebuddy දාගෙන ගියේ. හවසට ඕෆ් වෙලා සමහර දවස් වලට චැට් එකට සෙට් වෙනවා. ඕෆ් වෙලා ගිය ගමන් මම බලනව ඉන්නවද කියලා. හිටියෙ නැත්තන් මම කරන්නෙ ලොග් වෙලාම ෆෝන් එක අතේ තියාගෙන හාන්සියක් දාගෙන ඉන්නවා. එතකොට එයා ඔන්ලයින් ආව ගමන් මම ඉන්නවා දැක්කම කතා කරනවා. චැට් එකක් අවම ෆෝන් එක vibrate වෙනවා, මම ඉතින් vibrate වෙනකල් ෆෝන් එක අතේ තියාගෙන හාන්සි වෙලා ඉන්නවා. එයත් හැමදාම වගේ ඒ වෙලවට ඔන්ලයින් එන්න පුරුදු වුනා. දවල් වරුවෙ ඔය වැඩේ කරන්න වෙන්නෙ නැති නිසා දවල් වරුව මැසේජ් කරන එක තමයි කලේ. එයා කැම්පස් ඉන්න දවස් වලට නම් වැඩිය මැසේජ් කලේ නෑ. ගෙදර ඉන්න දවස් වලට නම් නිතරම මැසේජ් කලා. ගිනි අව්වෙ පිච්චි පිච්චි ඉන්න වෙලවට ෆේස්බුක් ගිහින් බැලුවම එයාගෙ මැසේජ් එකක් තියනව නම් මහන්සිය කොහෙන් ගියාද කියල නෑ.

එතන මමයි අපේ බැච් එකේ තව එකෙකුයි ට්‍රේනින් හිටියා. දවසක් අපි දෙන්නට මහ පස් කඳු ටිකක් මනින්න කිව්ව අපේ ඉමීඩියට් බොස්. ඒව මේ ඔය ගෙවල් වල තියනව වගේ පස් ගොඩවල් නෙමෙයි, මීටර් 6, 7 විතර උස ඒවා. ඔය පස් කඳු මනින දවසෙත් මම ඒව උඩට වෙලා මැසේජ් කර කර හිටියෙ. එහෙම මැසේජ් එකක් ටයිප් කර කර පස් කන්දක් උඩ ඇවිදලා තව නූලෙන් බෙල්ල කඩාගන්නවා. ඔහොම ඉන්න අතරෙ තමයි මාව ආයෙත් කොලඹ හෙඩ් ඔෆිස් එකට ගෙන්න ගත්තෙ. ඊට පස්සෙ ඉතින් හැමදම වැඩ ඉවර වෙලා කැම්පස් ඇවිත් කෙලින්ම රිංගන්නෙ කැම්පස් එකේ ලැබ් එකට. චැට්ම තමයි වැඩේ ඊට පස්සේ. ඒක වහනකල්ම ඉඳලා තමයි යන්නේ.

පස්සෙ මම එයාගෙ නම්බර් එක ඉල්ල ගත්තා පොඩි බොරුවක් දාල. ඒ දවස් වල ෆේස්බුක් චැට් එක හරියට පිස්සු කෙලිනවා. මැසේජ් යන්නේ නැතුව හිර වෙලා තියනවා, ඉබේ ඕෆ්ලයින් යනවා, විකාර ගොඩයි. මම කිව්වා අවුලක් නැත්තන් මට ඔයාගේ නම්බර් එක දෙන්න, චැට් එක පිස්සු කෙලින වෙලාවට මොකද වුනේ කියලවත් බලාගන්න පුළුවන් නේ කියලා.;) එයත් ටක්ගාල නම්බර් එක දුන්නා. ඊට පස්සේ දවස් දෙකක් විතර චැට් එක පිස්සු කෙලපු වෙලාවට මොකද වුනේ කියලා මැසේජ් කරලා බලාගත්තා. ඔය අතරේ තමයි මම දෙවනි ට්‍රේනින් ප්ලේස් එකට ගියේ. අර 'මම ඔයා හිතන විදියේ කෙනෙක් නෙමෙයි කසුන්' පෝස්ට් එකේ කියපු තැන තමයි. ඒ පොස්ට් එකේ කියපු කෙල්ලයි, එතන හිටපු අපේ බැච් එකේ අනිත් උනු දෙන්නත් ඔය සීන් එක දැනගෙන හිටියේ. 

ඔහොම ඉඳල තව ටික දවසකින් මම තව පියවරක් ඉස්සරහට තිබ්බා. මම දවසක් ඇහුවා ෆෝන් එකට මැසේජ් කලාට කමක් නැද්ද කියලා. එයා කිව්වා කමක් නෑ කියලා. එදා ඉඳල පටන් ගත්තා ඒ වැඩේ. ඊට පස්සේ ෆේස්බුක් මැසේජ් අඩුවුනා. ඔය කාලේ වෙනකොට සීන් එක උච්චතම අවස්ථාවට ඇවිල්ලා තිබුනේ. ඔෆිස් එකේ වැඩ කරන අතරෙත් මැසේජ් කිරිල්ල දිගටම කරගෙන ගියා. ඒ වෙනකොට කොහෙහරි යනවා නම් කියල යන්න ඕන, ගිහින් ආවම කියන්න ඕන, ගුඩ් නයිට් මැසේජ්, ගුඩ් මෝනින් මැසේජ් වගේ හැම ආදර කතාවකටම වගේ පොදු වුන ඔක්කොම දේවල් අනිවාර්ය වෙලා තිබුනේ. තවත් කාලය ගන්න ඕන නෑ කියල හිතුන නිසා මම ගමේ සෙට් එකත එක්කත් කතා කරලා තීරණය කළා කල්පනාට හිතේ තියන දේ කියන්න ඕන කියලා. 

එදා සති අන්තෙක දවසක්. මම හිටියේ ගෙදර. යාළුවො සෙට් එකත් ඇවිත් හිටියේ, ඒ නිසා බයත් අඩුයි. කොල්ල ගත්ත ෆෝන් එක. අත එච්චරම වෙව්ලුවේ නෑ.:D "මට ඔයාට දෙයක් කියන්න තියනවා" කියලා මම මැසේජ් එකක් ගැහුවා. යවල ඉන්නවා දැන් බලාගෙන රිප්ලයි එනකල්. ම්හු... සද්දයක් නෑ. දැන් පොඩ්ඩක් විතර හිතට බයත් එක්ක. බලාගෙන ඉන්නවා ඉන්නවා රිප්ලයි නෑ. කොහොමහරි විනාඩි 40ක් විතර යනකල් රිප්ලයි නෑ. ඔන්න ඊට පස්සේ මැසේජ් එකක් ආව. 

කල්පනා: [මම නිදාගෙන හිටියේ කසුන්. දැනුයි ඇහැරුනේ. මොකක්ද කියන්න තියනවා කිව්වේ.]

ඔන්න එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.

මම: [මම බැලුවා මොකද සද්දයක් නැත්තේ කියලා. මට ඔයාට දෙයක් කියන්න තියනවා. හැබැයි මට ඔයා මුලින් පොරොන්දු වෙන්න මේක කිව්වට පස්සේ මාත් එක්ක තරහ වෙන්නේ නෑ කියලා.] 

කල්පනා: [හරි හරි මම තරහ වෙන්නේ නෑ, කියන්නකෝ.] 

මම: [මං ගැන වැරදියට හිතන්නත් බෑ හොඳද.]

කල්පනා: [හරි ළමයෝ, එහෙම වෙන්නේ නෑ.]

මම: [මම ඔයාට ආදරෙයි.] 

ඊට පස්සේ ටික වෙලාවක් යනකල් සද්දයක් නෑ. ටිකකින් මැසේජ් එකක් ආව.

කල්පනා: [ඔයා ඇත්තටමද කිව්වේ කසුන්?]

මම: [ඔව් කල්පනා. ඇයි ඔයාට මාව විසවාස නැද්ද?]

කල්පනා: [නෑ එහෙම දෙයක් නෙමෙයි කසුන්. ඔයා හරිම හොඳ කෙනෙක්. මම දන්නවා ඒක. ඒත් ඔයා දන්නවා නේද මම ඔයාට වඩා වැඩිමල් කියලා?]

මම: [මම ඒක දන්නවා කල්පනා. මට නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාට ඒක ප්‍රශ්නයක්ද?]

කල්පනා: [මට නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් කවද හරි අපේ ගෙදර අයට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද කසුන්.]

මම: [මාස 7යි නේ කල්පනා ඔයා මට වැඩිය වැඩිමල්. අනිත් එක මම ඔයාට ආදරේ නම්, ඔයාට මට ආදරේ කරන්න පුළුවන් නම් වසය කියන දේ ප්‍රශ්නයක් නෑ නේ.]

කල්පනා: [ඒක නම් ඇත්ත කසුන්. ඔයා ගොඩක් හොඳ කෙනෙක්.]

මම: [මට කෙලින්ම කියන්න කල්පනා ඔයාට ඒක ප්‍රශ්නයක්ද?]

කල්පනා: [නෑ නෑ, මට නම් ප්‍රශ්නයක් නෑ කසුන්.]

මම: [එහෙනම් ඔයා මට කැමතියි කියලා මම හිතා ගන්නද?]

කල්පනා: [මට තව ටිකක් හිතන්න ඕන කසුන්.]

මම: [හරි ඔයා හොඳට හිතලා උත්තරයක්‌ දෙන්න. මම එතකල් බලාගෙන ඉන්නම්.] 

(ඔය දෙබස ඔයිට වඩා දිගයි. මට දැන් මතක නෑ හරියට. කතාවේ අදහස මට මතක විදියට ඔය ලිව්වේ.) 

දැන් තමයි අමාරුම හරිය එන්නේ. උත්තරයක් එනකල් බලාගෙන ඉන්න එක. යාළුවො සෙට් එක ඉන්නකල් නම් අවුලක් තිබුනේ නෑ. උන් ගියාට පස්සේ තමයි තමයි ඉන්න බැරි වුනේ.  කොච්චර එයා මට ආදරෙයි කියල මට කලින් හිතිලා තිබුනත් ඒ වෙලාවේ ලොකු බයක් දැනුනා. හදිස්සියෙවත් එයා මට කැමති නෑ කිව්වොත් මොනවා වේවිද? මට ඒක දරාගන්න පුළුවන් වේවිද? මම හිතුවා හෙට උත්තරයක් ලැබේවි කියලා.  මට මතක විදියට එදා රෑ චැට් කලෙත් නෑ. මම ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් දාල නිදාගන්න ගියා.

Bas ek haa ke inthesar me raathi yuhi guzar jaayegi
ab tho bas uljaana he saath mere, neend kahaa aayegi
subha ki kiran naa jaani konsaa sandesh laayegi
rim jim se gun gunaayegi, yaa pyaas adhuree rehejaayegi
...................................................................................................................................................................

 

...................................................................................................................................................................

කල්පනා.....................

ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......

කල්පනා (III කොටස) 
 
ළඟදීම....!

:D :D :P :P



Thursday, May 17, 2012

කල්පනා (I කොටස)

හ්ම්ම්... අවසානය දවසින් දවස කිට්ටු වෙනවා. තව ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් සති ගානක් ඉතුරු වෙලා තියෙන්නේ. සෑම හමුවීමක්ම අවසන් වෙන්නේ වෙන් වීමකින් කියනවා නේ. මටත් ඒ වෙන් වීමට තව පොඩි කාලයයි ඉතුරු වෙලා තියෙන්නේ. තාම නම් ඒ ගැන දුකක් නෑ, ඒත් ඉස්සරහට මොනවා වේවිද කියලා දන්නේ නෑ. බලමුකෝ! දැන් හැමදේම කාලයට බාරදීල ඉන්න මාත් පුරුදු වෙලා. කිසි දෙයක් ගැන වැඩිය හිතන්නේ නෑ. මම මේ කැම්පස් එකෙන් අවුට් වෙන එක ගැන කිව්වේ හොඳේ.:)

දැන් මේ බ්ලොග් කෙරුවාවත් මගේ අනිත් වැඩ වගේම වෙලා. ලියන්නත් කම්මැලියි, කියවන්නත් කම්මැලියි, සමහර ඒවා කැමැත්තෙන් කියෙව්වත් කමෙන්ට් කරන්න කම්මැලියි. ඕක තමයි ඉතින් තත්ත්වේ. අනිත් එක කැම්පස් ඉවර වෙන්න ළඟ නිසා මේ දවස් වල වැඩත් වැඩියි. ඒ නිසාත් බ්ලොගේ පොඩ්ඩක් පැත්තකට ගිහින් තියෙන්නේ. තව ටික දවසකින් නම් බෙල්ල මුලින්ම හිර වෙනවා. ඒ නිසා ඊට කලින් මොකක් හරි කොටන්න ඕන කියල මේ අමාරුවෙන් හිත හදාගෙන ආවේ. දැන් මේ කියන්න යන කතාවත් අර උඩ කිව්වා වගේ වෙන් වීමක් ගැන තමයි කියන්න යන්නේ. මම මූනුපොතේ පොඩි ඇඩ් එකක් දාල එහෙම පටන් ගත්තේ වැඩේ.:D මට මේක ලියන්න හිතුනේ සාතන් අයියගේ මූනුපොතේ ස්ටේටස් එකක් නිසා.:) මිනිහ තමයි මට ඕක ආයෙත් මතක් කළේ.

හරි දැන් නමස්කාරය කිව්වා ඇති, දැන් කතාවට එමුකො. මේ කොටන්න හදන්නේ මගේ ඒක පාර්ශවික නොවුන තුන්වෙනි සහ අවසාන ආදර කතාව ගැන. මම අර ආයෙත් පාරක් හිත රිද්දුවා නේද පෝස්ට් එකේ කිව්වේ මෙයා ගැන තමයි. මගේ චානිකා සීරීස් එකේ අන්තිමට මාළු අයිය කියලා තිබුනා අනිත් ආදර කතා ටිකත් දාන්න කියලා. මම ඒකට එදා නම් කිව්වේ ඒ එකක් මම මේ බ්ලොග් එකේ ලියන්නවත් කැමති නැති මාතෘකාවක්, අනිත් දෙක කියන්න තරම් විශේෂයක් නෑ කියලා. මම එදා එහෙම කිව්වට මේ කතාව නම් පොඩ්ඩක් අමුතුයි. ඒකත් කියන්න ඕන කියල මට කලින් හිතුනා. හැබැයි පස්සේ හේතු දෙකක් නිසා ඕන නෑ කියලා නිකන් හිටියා. එකක් සමහරු මේක විශ්වාස කරන්නේ නැති වේවි කියල හිතුනා, අනිත් එක මූ මෙච්චර මෝඩද කියලා කියවන අයට හිතෙන්න පුළුවන් කියල හිතුන නිසා.:) ඕන වෙඩිමක් කියලා ලියල දානවා. විස්වාස නොකරන උන් නිකන් හිටපල්ලා, මම මෝඩයා කියල හිතන උන් එහෙම හිතාගනිල්ලා.:D වෙන් වීමක් ගැන කියනවා නම් ඉතින් හමුවීමක් තියෙන්නත් ඕන නේ. මේක අමුතුම ආකාරයක හමුවීමක්.

මට අම්ම ඕන පෝස්ට් එකෙයි ඇගේ තනියට රැය පහන් කළෙමි පෝස්ට් එකෙයි කියපු මගේ පළවෙනි ආදර කතාව උසස් පෙළ ඉවර වෙනවත් එක්කම අවසන් වුනා. (එයාගේ නම සරණි) ඊට පස්සේ කාලය තමයි මම ජීවිතේ අමාරුවෙන්ම ගත කරපු කාලය. ඒ කාලේ ගෙවා ගත්තේ කොහොමද කියලා මට තාම හිතාගන්න බෑ.:) බොහොම පරිශ්‍රමයකින් සාමාන්‍ය තත්ත්වයට ආවත් මට එයාව කොහොමවත් අමතක කරන්න නම් බැරි වුනා. මොකක් හරි දෙයක් වෙලා කවද හරි මට එයාව ලැබෙනවා නම් කියන සිතුවිල්ලේ තමයි මම හිටියේ. කැම්පස් ආවෙත් ඔය වගේ මානසිකත්වයක. හැබැයි මෙහෙට ආවට පස්සේ අලුත් පරිසරය, කැම්පස් සංස්කෘතිය, අලුත් යාළුවො, සින්නො, රැග් එක වගේ දේවල් නිසා ඒ මතකය ටිකක් යට ගියා. ඔහොම කාලය ගෙවිලා, රැග් එකත් ඉවර වෙලා අපිට නිදහසේ ඉන්න පුළුවන් කාලේ ආව. ඔන්න ඔය කාලේ තමයි ෆේස්බුක් කියන කතන්දරේ දැනගත්තේ. කැම්පස් එන්න කලින් එක පාරක් ෆේස්බුක් කියන නම නම් අහල තිබුන. හැබැයි කිසිම අදහසක් තිබුනේ නෑ ඒ ගැන. මෙහෙ ආවට පස්සේ තමයි අපේ එකෙක් මට ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා දුන්නේ.

ඔය විදියට ඉතින් කාලේ ගෙවිලා ගියා. (මම කැම්පස් ආපු මුල්ම දවස් වල සරණිගේ යාලු අක්ක කෙනෙක් මට මැසේජ් එකක් දාල සුභ ආරංචියක් කියන්න තියනවා කියලා සරණිට කැම්පස් එකකට බෝට්ටුවක් ඇවිත් කිව්වා. හැබැයි මොන කැම්පස් එකේ මොන ඩිග්‍රියටද කියලා කිව්වේ නෑ.) මට හිතුන සරණිත් සමහර විට ෆේස්බුක් ඇති කියලා කැම්පස් නිසා. දවසක් මම සර්ච් කරලා බැලුවා. මෙන්න මෙයා ඉන්නවා...! ඊට පස්සේ ඉතින් අර යට ගිහින් තිබුන ඔක්කොම මතකය එක ක්ෂණයකින් ආයෙත් එලියට ආව. හදාගෙන හිටපු හිතට මොනවා වුනාද දන්නේ නෑ. මගේ හිතේ මොනවා තිබුනද කියලා දන්නේ නෑ, හැබැයි මම ඒ වෙලාවේම බොරු එකවුන්ට් එකක් හදලා ඒකිව ඇඩ් කරගත්තා. මගේ මොලේ කියන්නේ මැස්සෙක් වත් නැති හිස් එකවුන්ට් එකට තමයි ඒකිව ඇඩ් කළේ. (ඒ එකවුන්ට් එකේ නම මොකක්ද කියල දන්නවද බොලා?? ඒකෙ නමත් කසුන් චානක. මම කිව්වනේ ඕන හොර වැඩකට ඕක තමයි අහු වෙන්නේ.:)) හැබැයි වාසනාවට (හෝ අවාසනාවට) සරණි මාව ඇක්සෙප්ට් කරලා තිබුනා. හැබැයි එයා ඔන්ලයින් ආවේම නෑ. මම මැසේජ් එකක් දැම්මා නිකන්, බොහොම කෙටි පිළිතුරක් ලැබිලා තිබුනා ඒකට. මට දැන් මෙයාගේ විස්තර දැන ගන්න ලොකු වුවමනාවක් තිබුනා. එයා කොහෙද ඉන්නේ, යාලු වුන කොල්ල තාම ඉන්නවද, එයාට මාව මතකද, ඔය වගේ ප්‍රශ්න ගොඩයි මට.

ඊට පස්සේ මම කළ වැඩේ එයාගේ එකවුන්ට් එකේ ඉන්න කැම්පස් එකේ යාළුවො කියල හිතන්න පුළුවන් කෙල්ලෝ කොල්ලෝ 5ක් 6ක් ඇඩ් කරගත්තා. මට ඕන වුනේ උන් කවුරුහරි එක්ක ෆිට් වෙලා සරණි ගැන විස්තර අහගන්න. ඒක හිතන තරම් ලේසි නෑ කියලා මම දැනගෙන හිටියා. දන්නෙවත් නැති කෙනෙක් එක්ක කතා කරලා, යාළුකමක් හදාගෙන හොඳටම ෆිට් වෙලා නේ එහෙම දෙයක් අහනවා නම් අහන්න වෙන්නේ. ඒක ලොකු ප්‍රොසෙස් එකක් නේ. කොහොමහරි ඒ දේ කරනවා කියල හිතාගෙන තමයි මම ගේමට බැස්සේ. පස්සේ බලනකොට කෙල්ලෝ දෙන්නෙක්ද කොහෙද මාව ඇක්සෙප්ට් කරලා තිබුනා. හැබැයි දවස් දෙක තුනක්ම යනකල් ඔන්ලියින් දැක්කේ නෑ එක්කෙනෙක් වත්. මමත් කලබල නොවී හිටිය දවසක ඔන්ලයින් එනකල්ම. නැතුව එක පාරටම මැසේජ් එකක් දැම්මොත් මම මහ පැණියෙක් කියල හිතනවානේ.:)

ඉතින් ඔහොම ඉන්නකොට දවසක් අර දෙන්නගෙන් එක්කනෙක් ඔන්ලයින් ඉන්නවා දැක්කා. ඔන්න එතනින් තමයි මේ කතාව පටන් ගන්නේ. එදා ඒ ඔන්ලයින් හිටියේ කල්පනා, මේ කතාවේ කතා නායිකාව. ඉතින් හොඳ හුස්මක් අරගෙන දකුණු කකුල ඉස්සරහට තියලා hi කියලා ගහල යැව්වා. තත්තපර ගානකට පස්සේ එහා පැත්තෙනුත් hi කියල ආවේ මගේ මෙහෙයුමේ එක පියවරක් සාර්ථකයි නේද කියලා මට ලොකු සතුටකුත් අරගෙන. ඊට පස්සේ ඉතින් කතාව පටන් අරගෙන ශේප් එකේ ඇදගෙන ගියා. එයා අර සමහර කෙල්ලෝ වගේ කිසිම ආඩම්බර කමක් පෙන්නුවේ නෑ, බොහොම ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කළා. මටත් ඉතින් ඒක ලොකු පහසුවක් වුනා. එක පාරටම සීන් එක කියන්න බෑ නේ, ඒක නිසා ගොඩක් දවස් සාමාන්‍ය විදියට කතා කර කර හිටියා.

ගොඩක් ඉක්මනටම එයා මාත් එක්ක ෆිට් වුනා. සමහර දවස් වලට මම එයාව දැකලත් එයා කතා කරනකල් බලාගෙන ඉන්නවා.:) එයා දැක්කොත් අනිවා කතා කරන ගානට ෆිට් වුනා කොහොමහරි. මම හිතුවා දැන් සීන් එක කියන්න කාලේ හරි කියලා. ඊට පස්සේ මම දවසක් දෙයක් කියන්න තියනවා කියලා මුළු කතාවම කෙටියෙන් කිව්වා. කතාව කියලා එයා ගැන දැනගන්නයි මෙහෙම කලේ කියල කිව්වා. 

To be continued.....
..............................................................................................................................................................

ප.ලි. මගේ පෝස්ට් දිග වැඩියි කියල චෝදනා කරන නිසා ඔන්න පොඩි කෑල්ලයි දැම්මේ. පොඩි වැඩියි වගේ නම් කියන්නෝ. 

..............................................................................................................................................................

කල්පනා.....................

ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......

කල්පනා (II කොටස) 
 
ළඟදීම....!

:D :D :P :P