twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, September 2, 2011

නමක් නැති තවත් කතාවක්

කැම්පස් පටන ගත්ත නිසා වැඩිය බ්ලොග් පැත්තෙ සැරිසරන්න වෙලාවක් නෑ දැන්. ෆලෝ කරපු බ්ලොග් ටිකවත් ඔක්කොම කියවන්න වුනේ නෑ. අපි දැන් බිසි, ෆයිනල්ස්ල නෙ. :P අද නම් පොඩි ඉඩක් හම්බවුනා පෝස්ට් එකක් කොටල දාන්න. මේ දවස් වල තව කෙටි කතාවකුත් පොඩ්ඩ පොඩ්ඩ ලියාගෙන යනව. :) දවස් දෙකක් තිස්සෙ ලියන්න හිතන් හිටපු දෙයක් ගැන ලියන්න යන්නෙ. 

මම කැම්පස් එන්නෙ හිතාගෙන පෙරේද හවස ගෙදරින් බස් එකට නැග්ග. මම නගින කොට පොඩි පිරිමි ළමයෙක් වාඩි වෙලා ඉන්න අයට කොල වගයක් බෙදනව. ඔය දර්ශනය ඉතින් නොදැකපු කෙනෙක් නැතුව ඇති. මට හිතෙන විදියට අවුරුදු 8ක් 9ක් විතර පොඩි එකෙක්. මම හිටගෙන හිටපු නිසා මට කොළයක් නම් ලැබුනේ නෑ. ඒත් මට ඇහෙනව මිනිස්සු කතා වෙනව, ඉස්කෝලෙ යන්න සල්ලි නෑ ආධරයක් කරන්න කියල තමයි තිබිල තියෙන්නෙ. ඒකෙ තිබුන ගම අනුරාධපුරේ පැත්තෙ තියන එකක්ලු. (මම ඉන්නෙ ඊට ගොඩාක් පල්ලෙහා.) 

දැන් මිනිස්සු කතා වෙනව මේ පොඩි එකා "තනියම කොහොමද අනුරධපුරේ ඉඳන් ආවෙ?", "ඇයි මෙච්චර දුරක් ආවෙ?" මම හිටගෙන හිටපු තැන ශීට් එකේ හිටපු ගෑණු කෙනයි, පිටිපස්සෙ ශීට් එකේ හිටපු පිරිමි දෙන්නකුයි මේ පොඩි එකාගෙන් විස්තර ඇහුව. මම හොඳට බලාගෙන හිටියෙ ඒ දිහා. ඒ පොඩි එකා ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නෙ නෑ. ප්‍රශ්න මග අරින්න ගොඩක් උත්සහ කලා. අන්තිමට කිව්ව පුන්චි අම්ම එක්ක මෙහෙ ආවෙ කියල. අනිත් එකකට වත් උත්තරයක් ලැබුනෙ නෑ. හැබැයි එතන හිටපු හැම කෙනාටම එක දෙයක් තේරුනා, ඒ පොඩි එකා කිව්වෙ බොරු. හැබැයි එහෙමයි කියල මිනිස්සු සල්ලි නොදී හිටියෙ නම් නෑ. සැලකිය යුතු ලොකු ගානක් එකතු වුනා. මිනිස්සු ආයෙත් ඒ ගැන අහන්න ගියෙත් නෑ. 

දැන් ඒ පොඩි එකා කිව්වෙ බොරුවක් නම් මේකට කවුද වැරදි කාරයා. ඒ පොඩි එකාද? නෑ. මේ දුවල පැනල සෙල්ලම් කරන වයසෙ බොරු කියල බස් වල සල්ලි එකතු කරන්න පොඩි එකෙක්ට හිතේවිද? අනිවාර්යෙන්ම කවුරුහරි ඒ පොඩි එකාව ඕකට පොලඹවල නේද? එහෙනම් කවුද මේ දරුවො මෙහෙම එවන්නෙ? ඒ දරුවන්ගෙ අම්මල තාත්තලම නේද? ඊලඟ ප්‍රශ්නෙ ඒක හරිද කියන එක. මන්ද මම නම් ඔහොම දරුවො ලව්ව හම්බකරගෙන කන එකට සම්පූර්නයෙන්ම විරුද්ධයි. අනිත් දරුවො සෙල්ලම් කරනකොට ඒ ළමයි බස් ගානෙ ගිහින් හම්බ කරනව. ඒ ළමයින්ට ළමා කාලයක් කියල දෙයක් ඇත්තෙම නෑ. මොන ප්‍රශ්නෙ තිබුනත් අම්මල තාත්තල දැනගන්න ඕන තමන්ගෙ දරුවන්ට කන්න අඳින්න දෙන්න. එහෙම නැත්තන් ළමයි නොහදා ඉන්න ඕන. ඔහොම ළමයින්ව යවල සල්ලි හම්බ කරන එක ලේසියි නෙ. පොඩි එකෙක් ආවම කවුරු උනත් කීයක් හරි දෙනව. ඒක නිසා තමයි ලේසියට ඔහොම කරනව ඇත්තෙ. ඒක මහ පව්කාර වැඩක් කියලයි මටනම් හිතෙන්නෙ. ළමයි හැදුව නම්, ළමයින්ට කියල හම්බ කරන් කන්නෙ නැතුව මොන දහ දුකක් විඳල හරි උන්ට කන්න දෙන්න අම්මල තාත්තල දැනගන්න ඕන. අනිත් එක මෙතනදි පොඩි කාලෙම දරුව ඉගෙන ගන්නෙ බොරු කියල සල්ලි හොයන්න. එතකොට කවද හරි ඒ පොඩි එකා ලොකු වුන දවසක හොරෙක් මංකොල්ල කාරයෙක් වෙන එක උනත් මහ දෙයක් නෙමෙයි.

ඒත් ඒ දෙමව්පියන්ට සධාරණ හේතුවක් තියෙන්නත් පුලුවන්. වෙන කරන්නම දෙයක් නැති කමට තමන්ගෙ දරුවව මෙහෙම එවනව වෙන්නත් පුලුවන්. අපි බලන්නෙ පිටින් ඉඳල නෙ. ඒක නිසා අපිට ඇත්ත කතාව නොපෙනෙන්නත් පුලුවන්. ඒත් මම නම් කියන්නෙ මොනම හේතුවක් උඩ උනත් එහෙම ළමයි යවන එක හිතට එකඟව අනුමත කරන්න නම් බෑ. අර පොඩි එකා බස් එකේ එහා මෙහා ගියෙත් හරි අමාරුවෙන්. එච්චරටම පොඩි දරුවෙක්. එක අතක සල්ලි, අනිත් අතේ අර කොළ ටික, ඒ දර්ශනේ දැක්කම ඉතින් සංසාරෙ එපා වෙනව. මෙච්චර පොඩි කාලෙම ජීවත් වෙන්න ඔහොම දුක් විඳින්න වෙනව කියන්නෙ ඉතින් මොන තරම් අවාසනාවක්ද? කියන්නෙ බොරුවක් කියල දැන දැනත් හැමෝම වගේ සල්ලි දෙන්න ඇත්තෙ ඒකයි.  ඕක ඉතින් විසඳුමක් නැති තවත් එක ප්‍රශ්නයක්. 

අතපය හතර හොඳට තියන මිනිස්සු පවා ඔහොම එනව නෙ. එහෙම දෙන කොළ වල විවිධාකාර කතා තියෙන්නෙ. ඇත්තම කියන මිනිස්සු ඕන තරම් ඇති, ඒත් මට නම් හිතෙන්නෙ ගොඩක් අය කියන්නෙ බොරු. අපි කොහොමද ඉතින් ඇත්ත කියන අයයි බොරු කියන අයයි අඳුන ගන්නෙ? මම නම් දැන් මුකුත් හිතන්නෙ නෑ, කාටත් අතේ තියන විදියට කීයක් හරි දෙනව. බොරුවක් වුනත් වෙන මහන්සියට හරි හරි කීයක් හරි දෙන්න වටිනව කියල මම හිතන්නෙ. අපි යහපත් චේතනාවෙන් දුන්නොත්, ගන්න කෙනා ඇත්තක් කලත් බොරුවක් කලත් අපිට වත් පින් සිද්ද වෙනවනෙ. ගොඩක් මිනිස්සු කවුරු ආවත් තියන විදියට කීයක් හරි දෙනව. අපේ මිනිස්සුන්ගෙ තාමත් මනුස්සකම කියන දේ ගොඩක් තියනව හිතෙනව ඒ වෙලාවට. බොහොම ජැන්ඩියට ඇඳල යන සමහර ලොකු නෝන මහත්තුරු නම් ඉන්නව ඒ වගේ මනුස්සයෙකුට සත පනහක් වත් දෙන්නෙ නැති. ඒව ගැන කතා කරන්න ගියොත් වෙනම පෝස්ට් එකක් දාන්න වෙනව. 

..................................................................................................................................................................
ප.ලි. ටොපික් එක නම් පොඩි කොපියක්. මට මේකට ටොපික් එකක් මතක් වුනේම නෑ. ඒක නිසා ඒක දැම්ම.


21 comments:

  1. ඔව් ඉතින් මොනවා කරන්නද මනුස්ස කමත් ජීවිතයත් යථාර්ථයත් එක්ක මේ හැප්පෙන හැප්පිල්ල...ඔය එක කතාවක් විතරය්.ටිකදෙනෙක් අමාරුවෙන් ගොඩයනකොට,ගොඩක් අය වලේ වැටෙනවා,ලංකාවේ හැටිද මන්ද,අතපය තියෙන සවිමත් මිනිස්සු පවා මේ වැඩේ බිස්නස් එකක් කරගෙන කියල හුඟක් අය දන්නවා.අපේ රටේ දේශපාලුවෝ මේ කන්නේ පොඩි ළමය් විතරක් නෙමේ රටේ අනාගතේ.සමහරවිට ඔය හිටිය පොඩි එකා හෙට රජගෙදරත් ඉන්න පුළුවන්,එත් ඒකාගේ ඉගෙනීම කඩන එකා නිසා එදාට මේ කොල්ල මොනවා කරාවිද...එතන තමය් ප්‍රශ්නය
    කොහොම උනත් අපිට මේක විසදන්න බැහැනේ එත් ලියපු එකා ලොකුදෙයක්.ගුඩ් දිගටම ඔහොම යන්න..

    ReplyDelete
  2. පොඩි ලමයි ඔහොම යවන්නෙ ගොඩක් සල්ලි හම්බකරන්න.පොඩි අය දැක්කම සල්ලි දෙන බව දනන්වනෙ.

    ReplyDelete
  3. මේ අය හැමදාම ප්ලේ කරන්නෙ එකම ට්‍රැක් එක. එකම බස්එකට ළඟම දවස්දෙකක (දෙවතාවක්) ගොඩවෙන්නෙ කලාතුරකින් වුනත් එහෙම ගොඩවුන වෙලාවට ඒ අය පත්වන අපහසුව නිසා ඒ අය ඉක්මනින්ම බැහැලා යනවා. කාලයක් හිටියා ඊලග අගහරුවාදා ඔපරේෂන් කරන අතක් තිබුන පිරිමි ලමයෙක්. ඒ ළමයා දෙවන වතාවෙ බස් එකට නැංගම ඒකෙ හිටපු අය ගිය සතියෙත් ඒකම කීවා නේද කියලා බැස්සුවා.අසූහත්දාහක් හොයන්න ඕනලු.දැන් අසූදාහක් තියෙනවා කීවා. දෙවතාවෙදිම එකම ගාන අහද්දි මිනිස්සුන්ගෙ අනුකම්පාව නැතිවෙලා. සතියටම අසූදාහ අසූඑක්දාහක් කරගන්න බැරිවුනාද?

    ReplyDelete
  4. ඇත්ත තමයි.. කතාව.. කුඩ්ඩෙක් වගෙ නොපෙනුනොත් මන් නම් පොඩි ගානක් හරි දෙනව..ලඟ තියෙනවනම්..බොරු කරල හරි ..මේ අය සමහර විට කෑම එකක් ගන්න වෙන්න ඇති මේක කරන්නෙ කියල..ඒත් සමහර විට සල්ලි යන්නෙ හිඟන මුදලාලිට වෙන්නත් පුලුවන්...

    ReplyDelete
  5. මම එක දවසක් ඇස් දෙකටම දැක්ක ගොඩගමදි ( හෝමාගම ආසන්න නගරයක් ) වෑන් එකකින් ඔය වගේ පුන්චිම පුන්චි ලමයි රංචුවක් බස්සනව... (සමහර විට හවසට කට්ටියම මෙතනින් ඒ වෑන් එකටම නගිනව වෙන්නත් පුලුවන්... )....

    ReplyDelete
  6. සමහරක් වෙලාවට අම්මා තාත්තා නැති දරුවන්ව බලා ගන්න මාමලා පුන්ච්ලා වගේ අය ඔය වැඩේ කරනවා.. තමන්ගේ දරුවෝ හොදට ස්කෝලේ යද්දී මේ දරුවගේන් ගෙදර වැඩ කරවගන්නවා.. අපේ රටේ එහෙම මිනිස්සුත් ඉන්නවා...

    ReplyDelete
  7. දවස් දෙක තුනක් එකම බස් මාර්ගයේ ගමන් ගන්නවා නම් ඔහොම එන අයව හඳුන ගන්න ලේසියි, ගොඩාක් වෙලාවට ඔය හොර බොරු කරන අයගේ තේමා පාඨය ඉක්මනට වෙනස් වෙනවා, පොඩි ළමයින්ට මමත් සල්ලි නම් දෙනවා ඒත් දෙන්නේ හොඳ චේතනාවෙන් කියලම අහක බලා ගන්නත් බෑ මොකද අපිත් වක්‍රාකාරයෙන් වංචාවකට උදවු කරනවනේ..

    ReplyDelete
  8. ඔය වැඩේ මචං දැන්ට කෙරීගෙන යන වැඩිම වාසි තියෙන බිස්නස් එකක්....!

    ReplyDelete
  9. ඔහොම සීන් නම් කෝච්චි වලත් අනන්තවත් වෙනවා.
    පොඩි එවුන් එව්වම ගොඩක් සල්ලි ලැබෙන නිසයි එවුන්ව එවන්නේ.
    පවු ඉතින් පොඩි එවුන්. ඔය සමහර ගනු උදවියයි පිරිමි උදවියයි ලෙඩ ළමයි එහෙමත් උස්සගෙන කෝච්චි වල නගිනවා මම දැකලා තියෙනවා. එක ඒ ළමයට ලොකු කරදරයක්. සමහර ළමයින්ට තියෙන්නේ තුවාල. ඒ තුවාල වලට දුවිල්ල හිටන් යනවා. පව් !!!!!

    ReplyDelete
  10. @Tharinduhw122
    ඇත්තටම ඒක මනුස්ස කමත් යථාර්තයත් අතර ප්‍රශ්නයක්ම තමයි. ඇත්ත, අපිට කරන්න පුලුවන් මේව ගැන කතා කරන එක විතරයි. අපිට කවදාවත් මේවට විසඳුමක් දෙන්න බැරි වේවි.

    @නදී
    ඒක ඇත්ත අක්කෙ. ඒ මිනිස්සු දන්නව පොඩි එකෙක් දැක්කම ඕන කෙනෙක්ගෙ හිත උණු වෙලා කීයක් හරි දෙන බව.

    @RoshanHerath
    ඔය වගේ වැඩ ඕන තරම් වෙනව සහෝ. බොරු කියන්නෙ කියල හොඳටම දැන දැනත් මිනිස්සු සල්ලි දෙන වෙලාවල් තියනව.

    @Weni
    ඒකත් වෙන්න පුලුවන් සහෝ. මට ඒක නම් මතක් වෙලාම නෑ. පාරෙ ඉන්න අය නම් කොහොමත් මුදලාලිල නෙ රන් කරන්නෙ. මේ අයත් එහෙමද කියන්න දන්නෙ නෑ.

    @නදුන් උයන
    බස් වලට නගින්නෙත් ඔහොම එන ළමයිම වෙන්නත් පුලුවන් සහෝ.

    ReplyDelete
  11. @Dinesh
    ඔව්, ඒ වගේ දේවල් නම් මාත් අහල තියනව අයියෙ. අර ළමය ආව කිව්වෙත් පුංචි අම්ම එක්කනෙ, ඒකත් එහෙම සිද්ධියක්ද දන්නෙ නෑ.

    @චතුර
    බුද්ධියෙන් හිතුවොත් නම් අපිත් ඒ වෙලාවට වංචාවකට උදව් වෙනව තමයි. ඒත් හදවතින් හිතුවොත් නොදී ඉන්න බෑ නෙ.

    @prasanna86k
    ඔව් මාලු අයියෙ, ඕක බිස්නස් එකක් විදියට යනව වෙන්නත් පුලුවන්. එක බස් එකකින්ම ලොකු ගානක් ලැබෙනව නෙ.

    @මධුරංග
    ඔව් බන්, ඔහොම ළමයින්ව විකුනගෙන කන එක තමයි මට නම් පෙන්නන්නම බැරි. ඒත් අපි කියල මොනව කරන්නද?

    ReplyDelete
  12. දරුවන් ලවා හිගා කෑමටනන් අසනිත් තරයේම විරුද්ධයි..නමුත් යම් තැන් හමු වෙලා තියෙනවා..අපහසුවෙන් වුනත් එකග විය යුතු..පුංචි උන්ගේ ළමා කාලේ හැම පොඩ්ඩෙක්ටම පොදු වෙන්න ඕන..

    ReplyDelete
  13. කසුන් මගෙ බ්ලොග් දෙකටම කොමෙන්ට් දාල තිබ්බ. බොහොම ස්තුතියි. ඒ ලින්ක් එක දිගේ ඇවිත් තමයි මේ ගොඩ වැදුනෙ. කසුන්ගෙ ස්වයං අර්ත කතනය කියවලා මායි බිරිඳයි දෙන්නම හිනා වෙවී හිටියෙ, බලන්න මේ කොල්ලා තමන් ගැන ලියලා තියෙන එක කියලා. පස්සෙ පෝස්ට් දෙක තුනක් කියවල බැලුවම තේරුනා මේ කසුනා කියන්නෙමෙලෝ රහක් නැති, ඔහේ වැනි වැනි ඉන්න, කාටවත් වැඩක් නැති, නිකන්ම නිකන් ඩයල් එකක් නෙවෙයි කියලා.
    හරි පෝස්ට් එක ගැන කතා කරමුකො. කසුන්ගෙ කතාවත් ඇත්ත. ඒ වගෙම සමහර වෙලාවට මිනිස්සුත් කී දෙනෙකුට කියලා සල්ලි දෙන්නද? සමහර වෙලාවට සල්ලි මදි නිසා තැඹිලි ගෙඩියක් වත් නොබී තිබහෙ ඉන්න මිනිස්සුන්ට සල්ලි ඉල්ලගෙන එන පොරවල් බැනලත් යනවා කුම්මැහියෝ කියලා. හැම ප්‍රශ්නෙම දෙපැත්තක් තියෙනවනේ. කොහොම වුනත් පොඩි එවුන්ව හිඟමනේ යවන එකට නම් මමත් විරුද්දයි. දැන් ලංකාවෙ බස් වල හිඟාකන්න තහනම් නැත්ද?
    ප.ලි.. කසුන් අනිත් කොමන්ට් දෙකත් බලන්න. විශෙෂයෙන්ම පොඩි උදව්වක් කරන්නකො පෝස්ට් එකට දාපු එක
    henryblogwalker aka Dude

    ReplyDelete
  14. @අසනි
    එකනේ අසනි, පොඩි එකෙක්ගේ ළමා කාලය උදුර ගන්න එක හරිම වැරදි වැඩක්.

    @Dude
    ලාංකීය සිතුවිලි වල අද දෙකම සින්ඩිකේට් වෙලා තිබුන. මම පස්සේ දන්නේ දෙකම අයියගේ කියල. ඔව, අයිය හැම ප්‍රශ්නෙම දෙපැත්තක් තියනවා. අපි ඒ දෙක මැද අතරමං වෙනවා. එහෙම එන අය මිනිස්සුන්ට බනිනවා මාත් දැකල තියනවා. ලංකාවේ නම එහෙම හිඟාකන්න තහනමක් නෑ අයියේ.

    අයිය තමයි මගේ සියවෙනි ෆලොවර්. :)

    ReplyDelete
  15. ඕක ඇවිල්ල බිස්නස් එකක් බන්... එහෙම හිතු මනාපෙට හිඟ කන්නත් බෑ ඔය හුඟක් තැන් වල... ඒ ඒ තැන් වලට වෙනම මුදලාලිලා... ලොක්කො ඉන්නවා.... හැමදේම විකිනෙන මේ කාලේ ළමයි විකිනෙන එක අහන්නත් දෙයක්ද බන්....

    ReplyDelete
  16. කසුන් මට හරිම සන්තෝසයි ඔයාගෙ 100 වන ෆලෝවර් වෙන්න ලැබීම ගැන. කසුන්ට සහ බ්ලොග් එකට ජයවේවා!! යහපතක්ම වේවා!!
    henryblogwalker aka Dude

    ReplyDelete
  17. මම බස් එකේ යන නිසා ඔය වගේ දේවල් මම නිතරම දකිනවා ..සිඟා කන්න තහනම් නිසා ඔය ළමයි කරන්නේ පොත් කීපයක් අරං බස් එකට නැගලා ඒ පොත් සමග තව කොලයක් මගීන්ට බෙදලා සල්ලි එකතු කරගෙන පොත් ටිකත් එකතු කරගෙන ආපහු යන්න යනවා ..

    ReplyDelete
  18. @පිස්සා පලාමල්ල
    පාරෙ ඉන්න හිඟන මිනිස්සු නම් කොහොමත් රන් කරන්නෙ මුදළාලිල තමයි. ඔය බස් වලට නගින මිනිස්සුත් සමහරවිට එහෙම වෙන්න ඇති සහෝ.

    @Dude
    බොහොම ස්තූතියි අයිය සුභ පැතුම් වලට.

    @හිස් අහස
    ඒක දැන් නිතර දෙවේලෙම දකින දෙයක් වෙලා නේද. හිඟාකන එක තහනම්ද බං? මම ඒක නම් දන්නෙ නෑ.

    ReplyDelete
  19. වැඩේනම් වැරදි තමයි මල්ලි. ඒත් මාත් අතපෑවොත්නම් කීයක් හරි දෙනවමයි.. ඒගැන හිතන්නේ නෑ වැඩිය...

    ReplyDelete
  20. @Gimhani
    ඔව් අක්ක, මාත් කියන්නෙ ඇත්තද බොරුද කියල හිතන්නෙ නෑ, කීයක් හරි දීල දානව.

    ReplyDelete
  21. අම්මෝ ඔහොම දේවල් නම් චිත්රපටි වල පෙන්නනවානේ. ලංකාවෙත් වෙනවාද ඔහොම සීන්?

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.