ඉස්තෝප්පුව අතුගා දූවිලි ටික ඉස්තෝප්පුව කොනේ වූ මල් පඳුර මුලට එකතු කල කාන්ති කොස්සත් රැගෙනම උලුවස්සට හේත්තු වූවාය. ගේ දොරකඩ වූ පිච්ච පඳුර මලානික බවක් උසුලයි. විවර කර තිබූ ගේට්ටුව දෙසත් ඉන් එහාට දිවෙන මාවත දෙසත් ඇය අරමුණක් නැතිව මෙන් බලා සිටියාය. හිරුගේ අවසන් කිරණත් කෙමෙන් කෙමෙන් මැකී යද්දී කාන්තීට හිරු දෙස බැලුනේ නිරායාසයෙනි. බැසයන හිරුගේ වෙනදා දුටු ලස්සන දැන් මැකී ඇති බවක් කාන්තිට සිතෙයි. ඒ මක් නිසාදැයි තේරුම් ගැනීමට ඇය අපොහොසත්ය. ඇයගේ දැහැන බිඳුනේ ගේ ඉදිරිපිට නතර කල මෝටර් සයිකලයේ හඬිනි. සුසුමක් හෙලූ ඇය කොස්සත් රැගෙන ගෙට ගියාය.
විමලසේන හා කාන්ති මධ්‍යම පන්තියට අයත් වූ පවුලකි. සුනෙත්, කාන්ති හා විමලසේනගේ එකම පුතාය. බොහොම සරල ජීවිත ගතකල ඔවුන්, ඒ සරල බව නිසාම සුන්දර හා නිදහස් ජීවිත වලට උරුමකම් කිව්වෝය. විමලසේන, කාන්ති හා සුනෙත් එකතුවෙන් තැනෙන පුංචි කැදැල්ල ඔවුන්ට මුලු ලෝකයම මෙන් විය. ඔව්හු කිසි විටෙකත් ස්වාධීන නොවීය. ඔව්හු සැම විටම එකිනෙකාගේ ආදරය, දායව, රැකවරණය මත යැපෙන්නෝ වූහ. එකිනෙකාගෙන් තොර ලොවක් ඔවුන්ට නැත්තා සේය.
සුනෙත් බයිසිකලය මතම කල්පනාවකට වැටුනේය. දිනෙන් දින උත්සන්න වන වෙනස්වීම් වලට හේතුව ඔහුට කොයි ලෙසකින් වත් අවබෝධ නොවේ. අත්වැරදීම් ලෙස සිතිය හැකි පොඩි පොඩි වෙනස්වීම් දැන් දැන් සිත රිදවන තරමේ සිද්ධි දක්වා වර්ධනය වී ඇත. දවසම වෙහෙස වී පැමිණි සුනෙත්ට මේ ප්‍රශ්නය තවත් අමතර මානසික පීඩාවක් එක් කළේය. වෙනදාට වැඩ ඇරී නිවසට එන විට ගේ දොරකඩට වී සිනහවකින් මුව සරසාගෙන සිටින අම්මාගෙ දර්ශනය සුනෙත්ට දිව ඔසුවක් මෙන් විය. වෙනදාට ගෙට ගොඩවන විටම තමාගේ බෑගය ඉල්ලගන්නා අම්ම දැන් තමා ගෙට එනතුරු වත් නොසිට ගෙට යන්නාය. හිත පුරා නැගෙන දහසක් සිතුවිලි යටපත් කරගෙන ඔහු බයිසිකලයෙන් බැස ගෙතුලට ගියේය.
සුනෙත් නාගෙන කාමරයට එන විට දුම් දමන තේ කෝප්පයක් මේසය උඩ විය. වෙනදට කුස්සියට ගොස් අම්මා හා තාත්තා සමග කතා කරමින් බොන තේක අද කාමරයේ මේසය මතට පැමිණ ඇත. එයින් කියවෙන්නෙ "උඹ කුස්සියට එන්න එපා" යන පණිවිඩය නොවේදැයි ඔහු සිතුවේය. එහෙත් ඔහු පුරුද්දට මෙන් කුස්සිය දෙසට ඇදුනේය. කමලා උයමින් සිටි අතර විමලසේන කුස්සියේ බංකුව මත තේ බොමින් සිටියේය. සුනෙත් තවත් බැංකුවක් ඇදගෙන බිත්තියට පිට දී වාඩි වුනේය.
"ඇයි අම්ම අද තේ එක කාමරෙන් ගෙනත් තිබ්බෙ?"
"තේක නිවෙන නිසා කාමරෙන් ගෙනත් තිබ්බෙ දරුවෝ."
ඒ කතාව එතනින් එහාට ගෙනයන්නට සුනෙත්ට උවමනාවක් නොවීය. ඔහු නිහඬවම තේ බොන්නට විය.
"මොකද පුතා අද මුණ මැලවිලා වගේ. අද ගොඩක් වැඩ තිබුනද?"
විමලසේන හඬ අවදි කලේ එහි වූ මූසල නිහැඬියාව බිඳිමිනි. තමාගේ මුණ මැලවී ඇත්තේ වෙන කිසිත් නිසා නොව අම්මාගේ වෙනස්කම් නිසා යයි කියන්නට සිත් වුවත් ඔහු කරබාගෙන සිටියේය.
"අද හරි මහන්සියි තාත්තේ."
වෙනදාට තුන්දෙනා එකතු වූ විට නොනවත්වාම දොඩන කාන්තිගේ නිහැඬියාව විමලසේනට ප්‍රශ්නයක් නොවුවාම නොවේ. සුනෙත් තේක බී අවසන් වනතුරු සිටි විමලසේන සුනේත්ගේ කෝප්පයත් රැගෙනම නැගිට ගොස් කෝප්ප දෙකම සෝදා තබා නැවත බංකුවෙන් වාඩි විය.
"පුතේ දැන් අවශ්‍ය කටයුතු ටික ඔක්කොම සූදානම් නේද?"
"ඔව් තාත්තේ ඒව නම් ඔක්කොම හරි."
"දඩාස්....." මහ හඬින් සාස්පානක් බිම වැටුණි.
"මොකද කාන්ති අද වෙලා තියෙන්නේ?"
"අත පැටලිලා වැටුනේ ඉතින්. හිතල කළා නෙමෙයිනෙ." ඇය නිදහසට කරුණු කීවාය.
"හ්ම්ම්. මේ, මොකක් හරි වැඩක් තියනව නම් කියන්න කාන්ති."
"අනේ මහත්තයෝ එහෙනම් පොල් ටික ගාල දෙන්නකෝ."
"ආහ්, කෝ දෙන්න."
"දෙන්න අම්මේ මම ඔය ළුණු ටික සුද්ද කරල දෙන්නම්."
"ඕන නෑ, මට මේක කරගන්න පුලුවන්. පුතාට මහන්සියි කිව්ව නේද? අර පැත්තෙන් ඉන්න, මම උයල කතා කරන්නම්."
තව දුරටත් එතන රැඳීමට සිත නොදුන් නිසා සුනෙත් ආලින්දයට ගියේය.
....................................................................................................................................................................
"පුතා! පුතා!! එන්න කන්න."
ආලින්දයේ හාන්සි පුටුව මත සුනෙත්ට නින්ද ගොස් තිබුණි.
"යමු අන්න අම්ම කෑම බෙදනව."
කමලා පිඟන් තුනට බත් බෙදමින් සිටියාය. සුනෙත් යමක් සිතමින් මේසයට වැඩි වුනේය. ඔහු යම් තීරණයකට එළඹුණු සෙයක් දක්නට විය.
"අම්මෙ ගොඩක් කාලෙකින් කැව්වෙ නෑ නෙ, අද කවන්නකො."
සුනෙත් පැවසූ දෙයින් කාන්ති කම්පනයට පත් වූ බවක් පෙනුනත් නැවතත් ක්ෂණයකින් ඇයගේ මුහුනේ යම් නපුරු බවක් ඇඳිනි.
"අනේ කන්න දරුවො මට වද නොදී."
ඒ සුනෙත් බලාපොරොත්තු වී සිටි උත්තරයයි. මේ ප්‍රශ්නය අද කෙසේ හෝ විසඳා ගන්නට ඔහු තීරණය කර තිබුණි.
"මොකක්ද අම්මෙ අම්මට වෙලා තියෙන්නෙ? මට දැන් දවස් ගානක ඉඳල මට වෙනස්කම් කරනවා. මට දැන් සලකන්නෙ මම හරියට පිට මිනිහෙක් වගේ."
"එහෙම දෙයක් නෑ දරුවො, විකාර නැතුව ඔය කෑම ටික කන්න. කවන්න දැන් ඔයා පොඩි ළමයෙක් නෙමෙයි නෙ."
"අම්මට මම පොඩි දරුවෙක් නෙමෙයි කියල මතක් වුනේ දැන්ද?"
කාන්ති ඊට පිළිතුරු නොදුන්නාය. සුනෙත්ට තව දුරටත් කතාව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වුවත් ඔහුට ඒ සඳහා හැකියාවක් නොවීය.
"විමලෙ, ඔය දෙන්න කන්න, මම කුස්සිය පැත්ත අස් කරල දාලම එන්නම්. එතකොට ලේසියි."
මෙතෙක් නිහඬව බලා සිටි විමලසේන කඩහඬ අවදි කලේය.
"නෝනෙ, පොඩ්ඩක් වාඩි වෙන්නකො ඔහොම."
"මම අර පැත්ත අස් කරල දාල එන්නම් මහත්තයො. ඔය දෙන්න එතකන් කන්නකො."
"වෙනදත් එහෙමද කලේ? වෙනදත් නෝන බඩගින්නෙ ඉන්නකොට අපි දෙන්න තනියම කෑවද? අද මොකක්ද මේ අමුතු සෙල්ලමක්. ඔතනින් වාඩි වෙන්න, කතා කරන්න ගොඩක් දේවල් තියනව වගේ."
විමලසේනගේ හඬ තරමක් උස් විය. කාන්තිට වාඩි වෙනවා හැර වෙන විකල්පයක් නොවීය.
"හරි දැන් පුතා කියන්නකො මොනවද මේ අම්ම වෙනස් කම් කරනව කියන්නෙ."
තාත්තා ඒ කතාවට මුල පිරීම සුනෙත්ට මහත් සතුටක් විය. ඔහු පුටුවේ පසුපසට වී හරි බරි ගැසී වාඩි වුනේය.
"දැන් සති දෙක තුනක ඉඳල අම්ම එන්න එන්න වෙනස් වෙනව තාත්තෙ. හරියට කතා කරන්නෙත් නෑ, මොකක් හරි කිව්වත් වචනයයි දෙකයි, මාව හැමතිස්සෙම මග අරිනව, වෙනදට මම වැඩ ඇරිල එනකොට ගෙට එනකල් ඉඳල බෑග් එකත් ඉල්ලගෙන, කාමරේටම එන මනුස්සය දැන් මම ගේට්ටුවෙන් ඇතුලට එනකොටම ගෙට යනව. අනික වෙනදට මම වැඩ ඇරිල ආවම දාහක් ප්‍රශ්න අහන අම්ම දැන් මම ආව කියල ගානක් වත් නෑ. එදා රෑ මම අම්ම ටීවී බල බල ඉන්නකොට ගිහින් උකුල උඩින් ඔලුව තියාගත්ත, එක පාරටම මට වැඩ තියනව කියල නැගිටල යන්න ගියා. අද දැක්කෙ නැද්ද, වෙනදට බොරුවට හරි වැඩක් කියල මාව කුස්සියේ තියා ගන්නනෙ හදන්නෙ. ඒ වුනාට අද මම අහලත් වැඩක් නෑ කියල මාව එලව ගත්ත."
සති ගානක් තිස්සෙ හිතේ හිර කරගෙන සිටි දුක, වේදනාව, තරහව, සුනෙත් ලද අවසරයෙන් සහමුලින්ම නිදහස් කර දැමුවේය. සුනෙත්ගේ වදන් විමලසේනව ඈත අතීතයට ගෙන ගියේය. විමලසේනට සිහි වූයේ කුඩා කල සුනෙත් වැරැද්දක් කර අම්මා දඬුවම් කල විට, තමා ලඟට දුවගෙන විත් අවනඩුව කියන ආකාරයයි. කාන්ති බිම බලාගෙන සිටි නිසා ඇගේ ඇස් වල කඳුලු කිසිවෙක් දුටුවේ නැත. සිවිලිමේ සිට කෑගසනා හූනාගෙ හඬත්, කලබලයෙන් බත් කන බූලාගේ හඬත් ඇරෙන්න අවට පරිසරයම නිහඬය. ගහ කොළ පවා නිහඬව සුනෙත්ගේ දුක් ගැනවිල්ල අසා සිටින්නා සේය. විමලසේන හොඳ හුස්මක් ඉහලට ගෙන, නැවත එය පිට කර, උගුරේ රැල් බුරුල් කර කතාවට මුලපිරුවේය.
"මේ දරුව කියන කතාව ඇත්තද නෝනෙ?"
කාන්ති නිහඬය.
"ඇත්තටම මම මුකුත් නොකිය හිටියට මටත් ඔයාගෙ වැඩවල වෙනසක් පෙනුන ටික දවසක ඉඳල. මොකක්ද කියන්නකො කාන්ති ප්‍රශ්නෙ."
"අපි තවත් මොකටද මහත්තයෝ මෙයාව හුරතල් කරන්නෙ? මෙයා ගැන බලාගන්න මෙයා දැන් ගෑනියෙක්ව ගේන්නනෙ යන්නෙ. ඉතින් තවත් මෙයාට අපිව වැඩක් නෑ නෙ."
කෑගසමින් සිටි හූනා නිහඬ විය. බූලා බත් හිරකරගෙන කහිනු ඇසේ. සුනෙත්ගේ දෑස් ලොකුවී, මුව විවර වෙද්දී විමලසේනගේ මුවට මද සිනහවක් නැගෙනු පෙනුණි.
"මොකක්ද අම්මේ ඒ කතාවෙ තේරුම?"
"තේරුම? තේරුම උඹ දන්නව ඇතිනෙ පුතේ. දැන් උඹට අපිත් එක්ක හිටිය ඇති නිසා වෙන්න ඇතිනෙ කලබලේට ඔය කෙල්ලව උස්සගෙන එන්න හදන්නෙ. ඉතින් තවත් මොකටද අපි උඹ ගැන හොයන්නෙ?"
සුනෙත් නිදහස් කලාට වඩා වැඩි දුකක්, වේදනාවක්, කේන්තියක් කමලා ඒ වදන් වලින් පිට කළාය. එසේ වචන වලින් පිට කරගත නොහැකි වේදනාව කඳුළු වලට හැරවී නොනවත්වා ඇගේ දෙනෙතින් ගලන්නට විය. සුනෙත්ට කතා කරනවා තබා ඉහලට ගත් හුස්ම පහලට හෙලන්න වත් හැකියාවක් නොවීය. ඔහු අසරණ දෙනෙතින් විමලසේන දෙස බැලුවේ කරන්නට හෝ කියන්නට දෙයක් සිතාගත නොහැකි නිසාය.
"ඉතින් නෝනේ මේ කොල්ල කවද හරි කසාද බඳින්න එපාය."
"ඒක හරි මහත්තයෝ, ඒත් මෙච්චර කලබලයක් මොකක්ද? තාම යන්තං අවුරුදු 26යි.මෙච්චර ඉක්මනට ගෑනියෙක් ගේන්න හදන්නෙ අපිත් එක්ක ඉඳල ඇතිවෙලා වෙන්න ඇතිනේ."
එවර විමලසේනත් නිහඬය.
"කේන්දර බලපු මනුස්සයත් කිව්වේ ලබන අවුරුද්දෙ අග හොඳම නැකතක් තියනව, ඒ කාලේ කලොත් හොඳටම හොඳයි කියල. කොහෙද, අපේ එකාට හදිස්සියනේ. ඔය මගුල ලබන මාසෙම කරගන්න ඕන වුනානෙ."
සුනෙත් අසරණ දෙනෙතින් තම මව දෙස බලාසිටියේය.
"ඉතින් කාන්තියෝ මේ දරුවා බැඳලා වෙන ගෙදරකට යන්නේ නැහැ නෙව. අපේ එකා අපිත් එක්කමනේ ඉන්නෙ."
"ඔයා හිතනවද මහත්තයෝ බැන්දට පස්සෙ මෙයා මෙහෙම අපිත් එක්ක ඉඳීවි කියල? ඊට පස්සෙ ඉතින් අපි උනන්ද මලාද කියල ගානක් නැතිවෙයි."
බොහෝ කලකට පසු විමලසේන කාන්තිගේ තර්කයන් හමුවේ පරාජයට පත්විය. ආදරයෙන්, සමගියෙන්, හැම අතින්ම සර්ව සම්පුර්ණ වූ ඔවුන්ගේ කැදැල්ලට හතර වෙනියෙකුගේ පැමිණීම කුමන ආකාරයේ බලපෑමක් කරයිද යන සැකය කාන්ති තුල විය. හතර වෙනියාගේ පැමිණීම ඔවුන්ගේ කුඩා පවුල, පවුල් දෙකකට කඩාවී යන බිය අය තුල තදින්ම විය.මෙතෙක් කල් තමාගේ ඇසුරේම සිටි එකම පුතු මෙතරම් ඉක්මනින් තමාගෙන් ඈත් වීම කාන්තිට දරාගැනීමට අපහසු විය.
විමලසේන, කාන්ති දෙසත් සුනෙත් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ අනුකම්පා සහගතවය. කියන්නට දෙයක් ඔහුටද සිතා ගැනීමට නොහැක. සුනෙත් නිහඬව අසා සිටියා විනා වචනයක් වත් කතා කිරීමට උත්සහ නොගත්තේය. ඔහු අමාරුවෙන් හිස ඔසවාගෙන කාන්ති දෙස බැලුවේය. තමා කීවේ අනවශ්‍ය කතාවක් යයි කාන්තිට සිතුනේ කඳුළු පිරී දිලිසෙන සුනෙත්ගේ දෑස් දුටු විටය. ඒ බැල්ම කාන්තිගේ හදවත දවා අලුකරලන්නට සමත් විය. සුනෙත් දෙස බලා සිටිය නොහැකි නිසා ඇය තම දෑස් ඔහු කෙරෙන් සඟවන්නට උත්සහ ගත්තාය. එහෙත් ඇයට එසේ සිටීමට නොහැකිය. තම කුසින් උපන් එකම දරුවාගේ කඳුළු කාන්තිට කෙසේවත් ඉවසිය නොහැක. මහමෙරක් මෙන් දැඩි කරගෙන තිබූ ඇගේ හිත උතුරා යන දරු සෙනෙහසින් වෙඬරු පිඬක් මෙන් උණුවී ගියේය. ඇය අසුනින් නැගිටුනේ නිරායාසයෙනි. සුනෙත් ලඟට ගිය ඇය සුනෙත්ගේ හිස පපුවට තුරුළු කරගත්තේ දරාගත නොහැකි වේදනාවෙනි.
"අනේ අඬන්න එපා මගෙ පුතේ."
"එතකොට ඒ නිසාද අම්ම මගෙන් මෙහෙම පළිගන්නේ?"
"අනේ එහෙම කියන්න එපා දරුවෝ. අම්මල කවදාවත් දරුවන්ගෙන් පළිගන්නේ නෑ."
සුනෙත් හා කාන්ති දෙදෙනාම හඬද්දී විමලසේන කඳුළු සඟවා ගැනීමට දැඩි වෙහෙසක් දරනු පෙනුණි.
"උඹ අර දරුවව එක්කගෙන ආවම ඉස්සර වගේ අපිත් එක්ක එකට ඉන්න වෙන එකක් නෑ නෙ මගෙ පුතේ. ඒකයි මම දැන් ඉඳලම පුතා නැතුව ජිවත් වෙන්න පුරුදු වුනේ."
"මම හිතුවෙ ඉතින් මම ඉකමනට පිළිවෙලක් වෙනවට අම්මල උනත් කැමති ඇති කියල."
දෙදෙනාගේම හැඩීම වැඩි වුවා මිස අඩුවක් නම් නැත. විමලසේන පසෙකට වී බලා සිටියා විනා කිසිත් කීමට නොගියේය.
"හරි, අපි එහෙනම් කසාදෙ කල් දාමු අම්මේ. ලබන අවුරුද්දේ හොඳ නැකතක් තියනව කිව්වනේ, ඒකටම කරමු."
"අනේ එපා පුතේ එහෙම ඕන නෑ."
"නෑ ඉතින් අම්මගෙ අකමැත්තෙන් මේක කරන්න ඕන නෑ නෙ. මම නිශාට තේරුම් කරලා දෙන්නම්."
"පිස්සුද ළමයෝ? දැන් මේ ඔක්කොම සුදානම් කරල ආයෙත් කල් දාන්න? විකාර කතා කියන්න එපා." විමලසේනගේ හඬ දැඩිය.
"අනේ ඔව් පුතේ, එහෙම නම් කරන්න එපා. මම ඉතින් හැම දේම ඕනවට වඩා හිතනවනේ. මම කියපු දේවල් ගැන හිතන්න එපා. ඒව ඔක්කොම අමතක කරන්න. පුතා ඔය කටයුතු ටික හොඳට සුදානම් කරගන්නකෝ."
සුනෙත් නිහඬය. සුනෙත්ගේ නිහඬතාවය කාන්තිව නොසන්සුන් කරවයි. ඇය සුනෙත්ගේ හිස දෑතින්ම තමා දෙසට හරවා ගත්තාය.
"මේ බලන්න පුතේ, දැන් ඔය ඔක්කොම අමතක කරල දාන්න. මම ආයෙත් එහෙම වැඩ කරන්නේ නෑ."
"එහෙනම් කමක් නෑ. හැබැයි අම්ම මට පොරොන්දු වෙන්න ඕන ආයෙත් මට වෙනස්කම් කරන්නේ නෑ කියල."
"නෑ දරුවෝ, ආයෙත් කවදාවත් එහෙම කරන්නේ නෑ. මම පොරොන්දු වෙනවා."
සුනෙත් නැවතත් කාන්තිට තුරුලු වුනේය. විමලසේන තවදුරටත් ඔහුගේ කඳුළු සඟවන්නට උත්සහ නොගන්නේය.
"අම්ම බය වෙන්න එපා අම්මේ, නිශා ආව කියල මම කවදාවත් අම්මලාගෙන් ඈත් වෙන්නේ නෑ. මම පොරොන්දු වෙනවා. මම එහෙම මුල අමතක කරන විදියෙ මිනිහෙක් නෙමෙයි අම්මෙ. එයා ආවම අපේ පවුලට තව කෙනෙක් එකතුවෙන එක විතරයි වෙන්නෙ."
දෙනෙතින් නොනවත්වාම කඳුළු කඩා හැලෙද්දී කාන්ති සුනෙත්ව තදින්ම තම දෑතට හිරකරගෙන ඔහුගේ හිස සිම්බාය.
"දැන් කෑම ටික සීතල වෙලත් ඇති. එන්න, මම අද දෙන්නටම කවන්නම්."
"අන්න හරි ශෝක්." විමලසේන අපහසුවෙන් වචන ගැට ගසා ගත්තේය.
කාන්ති පුටුවක් ඇදගෙන විමලසේන හා සුනෙත් අතරින් තබාගෙන දෙදෙනාටම කවන්නට විය.
"හැබැයි පුතෝ උඹටයි මටයි නැන්දම්මගෙයි ලේලිගෙයි රණ්ඩු බේරනවට වැඩක් නැති වෙයි මේ යන විදියට."
"අනේ නිකන් ඉන්න මහත්තයෝ. මම එහෙම කරන්නේ නෑ. මම කොයිතරම් ආදරේද ඒ දරුවට? පුතා බය වෙන්න එපා, එහෙම වෙන්නෙ නෑ."
"ඒක නෙමෙයි පුතේ, වෙලාවට අපිට කෙල්ලෙක් හිටියෙ නැත්තෙ. නැත්තන් ඉතින් ජීවිතේට ඒ කෙල්ලට කසාදයක් බඳින්න දෙන්නෙ නෑ මේ මනුස්සය."
"ඔයා නම් හරි නරකයි විමලෙ. දැන් ඉතින් ඕක කිය කිය මට විහිලු කරයි."
"නැත්තන්, ඕක ඇති තව කාලෙකට."
දෑස්වල නැගුනු කඳුළු වියකී යද්දී කෑම මේසය දෙසින් සිනා හඬක් නැගෙන්නට විය. සිවිලිමේ සිටි හූනා නැවත කෑගසන්නට විය. බූලා නැවත කලබලයෙන් බත් කන හඬ එළියෙන් ඇසෙයි.
එක හුස්මට කියවගෙන ගියා , මම නම් හිතුවෙම වෙන විදියක අවසානයක් ..ලස්සනට ලියලා තියෙනවා :)
ReplyDeleteහදිසියට තමයි කියෙව්වෙ.. ආයිමත් ඇවිත් හොඳට කියවල කමෙන්ට් එකක් දමන්නම්
ReplyDeleteහැම අම්මා කෙනෙක්ටම දැනෙන දෙයක් හරි ලස්සනට කතාවක් තුලින් පැහැදිලි කරලා.
ReplyDeleteඅම්මලගෙ ආදරේ වැඩි වුනාම් ඔහොම දේවල් වෙන එක සාමාන්‍ය දෙයක්.
ලස්සන කතාව . ඔතනදි ඔය වගේ කතා කරලා බේර ගන්න තරම් බුද්ධියක් හැමෝටම නැහැ
ReplyDeleteමට නම් පටන් ගනිද්දිම තේරුනා කේස් එක මේක තමයි කියල... :)
ReplyDeleteබැන්දයින් පස්සෙ මචෝ කෙල්ලෙක්ටවත් කොල්ලෙක්ටවත් ඊට කලින් විදිහට ඉන්න පුළුවන් කමක් නෑ නේද?... මේ ගැන අදහස් දෙන්න ඕන නම් බැඳපු කස්ටිය තමයි...
හැබැයි ඉතිං මේ කථාවෙ කොල්ලගෙ මවුතුමිය වගේම තමයි මමත්... ඈත් වෙන්න තියෙන තැන් වලින් ටිකක් වේලපහම ඈත් වෙනව...
කතාව නම් පංකාදුයි !!!
ReplyDeleteකතාව මුලදි මම නම් හිතන් හිටියේ මේ අම්මා දරුවත් එක්ක මොකක් නමුත් ලොකු තරහකින් ඉන්නවාය කියලා. පස්සේ නේ කාරණාව වැටහුනේ.
බැන්දයින් පස්සේ දෙමව්පියන්ව අමතක කරන්න හොද නෑ.
ඔන්න අපේ අම්මාත් මේ වයසින්ම තමයි මාවත් ගෙදරින් පිටමන් කරනවා කියලා කිව්වේ. මම නම් යන්න ආස නෑ එච්චර ඉක්මනට. මගේ කතාව මේ කතාවේ අනිත් පැත්ත වගේ. හික්ස් :)
කතාව කොටස් දෙකකට ලියන්න. එතකොට ගොඩක් අයට කියවන්න පුලුවන්. අනිත් එක කුතුහලය ඊලඟ පෝස්ට් එක දානකන් ඉතුරු වෙලා තියෙනවා.
කියවන්න එර්න එවුන් උඩින් පල්ලෙන් ඉස්ක්‍රොල් කරලා පෝස්ට් එක ලොකුයි කියලා යන්න යනවානේ. ඒග මගෑරගන්න ඕනා. මම නම් උබ මොනා කොහොම කොච්චර දිග පෝස්ට් එකක් ලීවත් අනිවා කියවනවා.
බොරු කියන්නේ මොකටද කසුන්..ඔය අද්දැකීමෙම අනිත් පැත්ත..ඒ කිව්වේ තාත්තගේ වෙනස්කම් දෝනියන්දා විදියට අසනිත් දැන් දැන් විදිනවා...තාත්තට තාම මන් පොඩි පුතා...ඕක මහ මානසික වදයක් අප්පා...අම්මා කන කර බඩුවක් හැදෙව්වත් අපේ තාත්තා හිතන්නේ මන් ඈත් වෙන්න ලගයි කියලා...
ReplyDeleteඅම්මා කෙනෙක්ගේ හිතක් ගැන මලයා හරි අපූරුවට ලියලා තියෙන්නේ.. මේ කතාව අද සමාජයේ අපිට ගොඩක් වෙලාවට අහන්න වෙන සිද්දියක් මල්ලි...
ReplyDelete@ChammA
ReplyDeleteස්තූතියි සහෝ සටහනක් එක් කලාට!
@Weni
එහෙනම් ඉක්මනට ආයෙත් මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාන්නකො.
@නිසුපා
අඩු වැඩි වශයෙන් හැම අම්ම කෙනෙකුටම ඔය දුක දැනෙනව ඇති අක්කෙ. අම්මලගෙ අසීමිත ආදරේ තමයි අක්කෙ ඕකට ඉතින් හේතුව.
@Bindi
එක ඇත්ත අක්කෙ, ඔහොම විවෘතව කතා නොකලොත් හැම තිස්සෙම හිතින් විඳව විඳව ඉන්න වෙන්නෙ.
@සාතන්
ReplyDeleteඅනිවාර්යෙන්ම බැන්දට පස්සෙ ඉතින් මොනව කිව්වත් කලින් විදියට ඉන්න බෑ නෙ. එහෙම ඉන්නනම් බඳින එකේ වැඩකුත් නෑ නෙ.:)
"..ඈත් වෙන්න තියෙන තැන් වලින් ටිකක් වේලපහම ඈත් වෙනව."
එක අතකට එහෙම කළාම දුක අඩුයි. හැබැයි මට නම් එහෙම බෑ.
@මධුරංග
එලෙව්වට යන්න නම් එපා මදුරංගයෝ. අම්මව බදාගෙන අඬපන්. එතකොට ශේප් කරගන්න පුළුවන් වෙයි. :)
දෙකකට කැඩුවොත් පොඩි වැඩි වෙයි කියල හිතුන බං, ඒකයි මෙහෙම දැම්මෙ. ඊළඟ පාර එහෙම කරමු. අනිත් එක පෝස්ට් එක බලල තියෙන්නෙත් ටික දෙනයි බං. මේ වෙනකොට 57යි බලල තියෙන්නෙ.
@අසනි
අම්මල තරම්ම නැතත් තාත්තලාගේ ආදරෙත් මෙච්චරයි කියන්න බෑ නෙ අසනී. ඉතින් තාත්තලාටත් ඔය දුක ඔහොමම දැනෙනව ඇති. අනිත් එක කෙල්ලෙක් උනාම ගෙදරින් පිටවෙලාම යන්න යනවනෙ. එතකොට තවත් දුක වැඩියි නෙ.
@Dinesh
ඔව් අයියෙ, ඕක ඉතින් සමාජ ප්‍රශ්නයක් තමයි. දරුවෝ කසාද බැන්දම අම්මල තාත්තල අමතක කරලම දාන එක තමයි ලොකුම වැරැද්ද.
ආදරය, ප්‍රියයන්ගෙන් වෙන්වීමේදී ඇතිවිය හැකි දුක හා වේදනාව කියන අතිශය මානුශික හැඟීම් පෙරදැරි කරගෙන කතාව ලස්සනට ගොතල තියෙනව..
ReplyDeleteදිගයි තමයි එත් මම නම් ඔක්කොම කියෙවුවා. සනාතන ගැටුමක මුලපිරීමක් වගෙයි ලියල තියෙනවා අපුරුවට.. කොච්චර අම්ම ආදරෙයි කිවුවත් ගෙදරට නම් එක්ක එන්න එපයි කියන්න... දෙන්නම නැතිවෙන්න ඒක ක්‍රමයක් තමයි ඒක.. ..
ReplyDeleteකතාව හොඳයි. හැම තැනම තියෙන දෙයක් නොවැ. මේ ගැන කතා කරන්නම ඕනි.
ReplyDeleteමම නං ඉතිං බැන්දත් නොබැන්දත් ඒ හැටි වෙනසක් නෑ. දෙමවුපියො එක්ක තිබුණු සම්බන්ධය වැඩි වීමක් මිසක් අඩුවක් වුණේ නෑ කියලා තමයි හිතෙන්නේ... මොකද මගේ බිරිඳ තමයි දැං අපේ සම්බන්ධීකරණ කටයුතු වැඩි හරියක් කරන්නේ, මං කොහොමටත් කතාව ටිකක් අඩු හින්දා. ඒක මටත් ලේසියි.
අපි බැඳලා මාසයයි, දෙකයි කියලා එහෙම හිතනවා නෙවෙයි. අවුරුදු වලින්ම හයක් ඕං..
අම්මට බිරිඳකගේ වටිනාකමත්, බිරිඳට අම්මගේ වටිනාකමත් ගැන ඉහල තක්සේරුවක් සහ අවබෝධයක් තියෙනවානං ජීවිතය ඇත්තටම සුන්දරයි....(හොඳ ආණ්ඩුවක් තිබුණා නං තවත් සුන්දරයි.. හිකිස්..)
@Weni
ReplyDeleteගොඩක් ස්තූතියි අයිය අගය කිරීමට.
@සරත් ලංකාප්‍රිය
ගැටුමක මුල වෙන්නත් පුළුවන්.:) අනේ මන්ද අයියෙ ඒත් මම නම් විරුද්දයි බැඳලා අම්මල තාත්තල දාල වෙන ගෙදරකට යනවට.
@Chathura Wijekoon
එහෙම බිරිඳක් ලැබුන ඒක අයියගෙ මාරම වාසනාවක්. අයියට එහෙනම් ඒ ප්‍රශ්නෙ නම් නැතුව ඇති.
"අම්මට බිරිඳකගේ වටිනාකමත්, බිරිඳට අම්මගේ වටිනාකමත් ගැන ඉහල තක්සේරුවක් සහ අවබෝධයක් තියෙනවානං ජීවිතය ඇත්තටම සුන්දරයි...."
ඒක නම් සහතික ඇත්ත කතාව අයියෙ.
@අන්තිම පේළියේ අවංක පැට්ටා
ඒක නම් ඇත්ත බං. අම්මලගෙ ආදරේ ගැන කියන්න වචන නෑ. ස්තූතියි.
හොඳයි කසුන්. ලස්සන කතාව. කසුන් මේ අත් දැකීම් කොහෙන් හොයා ගත්තද මම දන්නෙ නෑ. කොහොමත් මේක කතාවක්නෙ.
ReplyDeleteමේක ඇත්තම සිද්ධියක් කියලා මොහොතකට හිතමු.
මේ ගෙදර දැනට සුර විමනක් තමයි. නමුත් දිගටම ඒ තත්වය පවත්වාගෙන යන්න ඕනෙ නම් සුනෙත් කවදාවත් නිශාව ගෙදරට කැන්දාගෙන එන්න හොඳ නෑ. මොකද සුර විමන අපායක් වෙන්න වැඩි දවසක් යන්නෙත් නෑ, වැඩි දෙයක් අවශ්‍යත් නෑ. ඔය ආදරයෙ අනිත් පැත්ත තමයි වෛරය.
ඔය සරත් ලංකාප්‍රියත් කියලා තියෙන්නෙ ඒකමයි.
දෙපැත්තම බේරා ගන්න හොඳම ක්‍රමය වෙන ගෙදරක පදිංචියට යාමයි.
henryblogwalker the Dude
නියමයි මචං....
ReplyDelete@Dude
ReplyDeleteඔය ඉතින් නිකන් ඉන්නකොට ඔලුවට එන ඒව අයියෙ. හ්ම්ම්. හැමෝම කියන්නෙ ඔය කතාවමයි. ඒත් අයියෙ මට නම් හිතෙන්නේ ඒක ආත්මාර්ථකාමී කමක් කියල. අඩු ගානේ අම්මල එක්ක එකට ඉන්න උත්සාහයක් හරි ගන්න ඕන කියලයි මම හිතන්නෙ.
@prasanna86k
තැන්කු මාළු අයියෙ.
ඔය ගැටුමෙ දෙවෙනි කොටස නම් හරිම භයානකයි මලේ..පළවෙනි කොටස නම් බොහොම ලස්සනට ලියලා තියනවා. විසඳුමත් ලස්සනයි ..ඒත් දෙවෙනි කොටස ..හොඳම විසඳුම වෙනම ඉන්න එක කියලා තමයි මමත් හිතන්නෙ..
ReplyDelete@Luckey
ReplyDeleteබලන් ගියාම හැමෝම කියන්නෙ එකනේ. අනේ මන්ද මම නම් ඒකට එච්චරම කැමති නෑ අයියෙ.
අම්මලාගෙ ආදරේ එහෙමනෙ අයියා.. ඒ ආදරේ තරම් අවංක පිරිසිදු පරිත්‍යාගශීලී ආදරයක් මේ ලෝකෙ තවත් නෑ....
ReplyDeleteකතාව හුගාක් ලස්සනයි.. හරිම ලස්සනට ගළපලා.ලස්සනටම ලියලා. ජය වේවා අයියා..!11
අනේ හරිම ලස්සනයි .. මගේ හිතේ අමුතුම හැගීමක් අවා
ReplyDelete