twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Thursday, May 17, 2012

කල්පනා (I කොටස)

හ්ම්ම්... අවසානය දවසින් දවස කිට්ටු වෙනවා. තව ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් සති ගානක් ඉතුරු වෙලා තියෙන්නේ. සෑම හමුවීමක්ම අවසන් වෙන්නේ වෙන් වීමකින් කියනවා නේ. මටත් ඒ වෙන් වීමට තව පොඩි කාලයයි ඉතුරු වෙලා තියෙන්නේ. තාම නම් ඒ ගැන දුකක් නෑ, ඒත් ඉස්සරහට මොනවා වේවිද කියලා දන්නේ නෑ. බලමුකෝ! දැන් හැමදේම කාලයට බාරදීල ඉන්න මාත් පුරුදු වෙලා. කිසි දෙයක් ගැන වැඩිය හිතන්නේ නෑ. මම මේ කැම්පස් එකෙන් අවුට් වෙන එක ගැන කිව්වේ හොඳේ.:)

දැන් මේ බ්ලොග් කෙරුවාවත් මගේ අනිත් වැඩ වගේම වෙලා. ලියන්නත් කම්මැලියි, කියවන්නත් කම්මැලියි, සමහර ඒවා කැමැත්තෙන් කියෙව්වත් කමෙන්ට් කරන්න කම්මැලියි. ඕක තමයි ඉතින් තත්ත්වේ. අනිත් එක කැම්පස් ඉවර වෙන්න ළඟ නිසා මේ දවස් වල වැඩත් වැඩියි. ඒ නිසාත් බ්ලොගේ පොඩ්ඩක් පැත්තකට ගිහින් තියෙන්නේ. තව ටික දවසකින් නම් බෙල්ල මුලින්ම හිර වෙනවා. ඒ නිසා ඊට කලින් මොකක් හරි කොටන්න ඕන කියල මේ අමාරුවෙන් හිත හදාගෙන ආවේ. දැන් මේ කියන්න යන කතාවත් අර උඩ කිව්වා වගේ වෙන් වීමක් ගැන තමයි කියන්න යන්නේ. මම මූනුපොතේ පොඩි ඇඩ් එකක් දාල එහෙම පටන් ගත්තේ වැඩේ.:D මට මේක ලියන්න හිතුනේ සාතන් අයියගේ මූනුපොතේ ස්ටේටස් එකක් නිසා.:) මිනිහ තමයි මට ඕක ආයෙත් මතක් කළේ.

හරි දැන් නමස්කාරය කිව්වා ඇති, දැන් කතාවට එමුකො. මේ කොටන්න හදන්නේ මගේ ඒක පාර්ශවික නොවුන තුන්වෙනි සහ අවසාන ආදර කතාව ගැන. මම අර ආයෙත් පාරක් හිත රිද්දුවා නේද පෝස්ට් එකේ කිව්වේ මෙයා ගැන තමයි. මගේ චානිකා සීරීස් එකේ අන්තිමට මාළු අයිය කියලා තිබුනා අනිත් ආදර කතා ටිකත් දාන්න කියලා. මම ඒකට එදා නම් කිව්වේ ඒ එකක් මම මේ බ්ලොග් එකේ ලියන්නවත් කැමති නැති මාතෘකාවක්, අනිත් දෙක කියන්න තරම් විශේෂයක් නෑ කියලා. මම එදා එහෙම කිව්වට මේ කතාව නම් පොඩ්ඩක් අමුතුයි. ඒකත් කියන්න ඕන කියල මට කලින් හිතුනා. හැබැයි පස්සේ හේතු දෙකක් නිසා ඕන නෑ කියලා නිකන් හිටියා. එකක් සමහරු මේක විශ්වාස කරන්නේ නැති වේවි කියල හිතුනා, අනිත් එක මූ මෙච්චර මෝඩද කියලා කියවන අයට හිතෙන්න පුළුවන් කියල හිතුන නිසා.:) ඕන වෙඩිමක් කියලා ලියල දානවා. විස්වාස නොකරන උන් නිකන් හිටපල්ලා, මම මෝඩයා කියල හිතන උන් එහෙම හිතාගනිල්ලා.:D වෙන් වීමක් ගැන කියනවා නම් ඉතින් හමුවීමක් තියෙන්නත් ඕන නේ. මේක අමුතුම ආකාරයක හමුවීමක්.

මට අම්ම ඕන පෝස්ට් එකෙයි ඇගේ තනියට රැය පහන් කළෙමි පෝස්ට් එකෙයි කියපු මගේ පළවෙනි ආදර කතාව උසස් පෙළ ඉවර වෙනවත් එක්කම අවසන් වුනා. (එයාගේ නම සරණි) ඊට පස්සේ කාලය තමයි මම ජීවිතේ අමාරුවෙන්ම ගත කරපු කාලය. ඒ කාලේ ගෙවා ගත්තේ කොහොමද කියලා මට තාම හිතාගන්න බෑ.:) බොහොම පරිශ්‍රමයකින් සාමාන්‍ය තත්ත්වයට ආවත් මට එයාව කොහොමවත් අමතක කරන්න නම් බැරි වුනා. මොකක් හරි දෙයක් වෙලා කවද හරි මට එයාව ලැබෙනවා නම් කියන සිතුවිල්ලේ තමයි මම හිටියේ. කැම්පස් ආවෙත් ඔය වගේ මානසිකත්වයක. හැබැයි මෙහෙට ආවට පස්සේ අලුත් පරිසරය, කැම්පස් සංස්කෘතිය, අලුත් යාළුවො, සින්නො, රැග් එක වගේ දේවල් නිසා ඒ මතකය ටිකක් යට ගියා. ඔහොම කාලය ගෙවිලා, රැග් එකත් ඉවර වෙලා අපිට නිදහසේ ඉන්න පුළුවන් කාලේ ආව. ඔන්න ඔය කාලේ තමයි ෆේස්බුක් කියන කතන්දරේ දැනගත්තේ. කැම්පස් එන්න කලින් එක පාරක් ෆේස්බුක් කියන නම නම් අහල තිබුන. හැබැයි කිසිම අදහසක් තිබුනේ නෑ ඒ ගැන. මෙහෙ ආවට පස්සේ තමයි අපේ එකෙක් මට ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා දුන්නේ.

ඔය විදියට ඉතින් කාලේ ගෙවිලා ගියා. (මම කැම්පස් ආපු මුල්ම දවස් වල සරණිගේ යාලු අක්ක කෙනෙක් මට මැසේජ් එකක් දාල සුභ ආරංචියක් කියන්න තියනවා කියලා සරණිට කැම්පස් එකකට බෝට්ටුවක් ඇවිත් කිව්වා. හැබැයි මොන කැම්පස් එකේ මොන ඩිග්‍රියටද කියලා කිව්වේ නෑ.) මට හිතුන සරණිත් සමහර විට ෆේස්බුක් ඇති කියලා කැම්පස් නිසා. දවසක් මම සර්ච් කරලා බැලුවා. මෙන්න මෙයා ඉන්නවා...! ඊට පස්සේ ඉතින් අර යට ගිහින් තිබුන ඔක්කොම මතකය එක ක්ෂණයකින් ආයෙත් එලියට ආව. හදාගෙන හිටපු හිතට මොනවා වුනාද දන්නේ නෑ. මගේ හිතේ මොනවා තිබුනද කියලා දන්නේ නෑ, හැබැයි මම ඒ වෙලාවේම බොරු එකවුන්ට් එකක් හදලා ඒකිව ඇඩ් කරගත්තා. මගේ මොලේ කියන්නේ මැස්සෙක් වත් නැති හිස් එකවුන්ට් එකට තමයි ඒකිව ඇඩ් කළේ. (ඒ එකවුන්ට් එකේ නම මොකක්ද කියල දන්නවද බොලා?? ඒකෙ නමත් කසුන් චානක. මම කිව්වනේ ඕන හොර වැඩකට ඕක තමයි අහු වෙන්නේ.:)) හැබැයි වාසනාවට (හෝ අවාසනාවට) සරණි මාව ඇක්සෙප්ට් කරලා තිබුනා. හැබැයි එයා ඔන්ලයින් ආවේම නෑ. මම මැසේජ් එකක් දැම්මා නිකන්, බොහොම කෙටි පිළිතුරක් ලැබිලා තිබුනා ඒකට. මට දැන් මෙයාගේ විස්තර දැන ගන්න ලොකු වුවමනාවක් තිබුනා. එයා කොහෙද ඉන්නේ, යාලු වුන කොල්ල තාම ඉන්නවද, එයාට මාව මතකද, ඔය වගේ ප්‍රශ්න ගොඩයි මට.

ඊට පස්සේ මම කළ වැඩේ එයාගේ එකවුන්ට් එකේ ඉන්න කැම්පස් එකේ යාළුවො කියල හිතන්න පුළුවන් කෙල්ලෝ කොල්ලෝ 5ක් 6ක් ඇඩ් කරගත්තා. මට ඕන වුනේ උන් කවුරුහරි එක්ක ෆිට් වෙලා සරණි ගැන විස්තර අහගන්න. ඒක හිතන තරම් ලේසි නෑ කියලා මම දැනගෙන හිටියා. දන්නෙවත් නැති කෙනෙක් එක්ක කතා කරලා, යාළුකමක් හදාගෙන හොඳටම ෆිට් වෙලා නේ එහෙම දෙයක් අහනවා නම් අහන්න වෙන්නේ. ඒක ලොකු ප්‍රොසෙස් එකක් නේ. කොහොමහරි ඒ දේ කරනවා කියල හිතාගෙන තමයි මම ගේමට බැස්සේ. පස්සේ බලනකොට කෙල්ලෝ දෙන්නෙක්ද කොහෙද මාව ඇක්සෙප්ට් කරලා තිබුනා. හැබැයි දවස් දෙක තුනක්ම යනකල් ඔන්ලියින් දැක්කේ නෑ එක්කෙනෙක් වත්. මමත් කලබල නොවී හිටිය දවසක ඔන්ලයින් එනකල්ම. නැතුව එක පාරටම මැසේජ් එකක් දැම්මොත් මම මහ පැණියෙක් කියල හිතනවානේ.:)

ඉතින් ඔහොම ඉන්නකොට දවසක් අර දෙන්නගෙන් එක්කනෙක් ඔන්ලයින් ඉන්නවා දැක්කා. ඔන්න එතනින් තමයි මේ කතාව පටන් ගන්නේ. එදා ඒ ඔන්ලයින් හිටියේ කල්පනා, මේ කතාවේ කතා නායිකාව. ඉතින් හොඳ හුස්මක් අරගෙන දකුණු කකුල ඉස්සරහට තියලා hi කියලා ගහල යැව්වා. තත්තපර ගානකට පස්සේ එහා පැත්තෙනුත් hi කියල ආවේ මගේ මෙහෙයුමේ එක පියවරක් සාර්ථකයි නේද කියලා මට ලොකු සතුටකුත් අරගෙන. ඊට පස්සේ ඉතින් කතාව පටන් අරගෙන ශේප් එකේ ඇදගෙන ගියා. එයා අර සමහර කෙල්ලෝ වගේ කිසිම ආඩම්බර කමක් පෙන්නුවේ නෑ, බොහොම ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කළා. මටත් ඉතින් ඒක ලොකු පහසුවක් වුනා. එක පාරටම සීන් එක කියන්න බෑ නේ, ඒක නිසා ගොඩක් දවස් සාමාන්‍ය විදියට කතා කර කර හිටියා.

ගොඩක් ඉක්මනටම එයා මාත් එක්ක ෆිට් වුනා. සමහර දවස් වලට මම එයාව දැකලත් එයා කතා කරනකල් බලාගෙන ඉන්නවා.:) එයා දැක්කොත් අනිවා කතා කරන ගානට ෆිට් වුනා කොහොමහරි. මම හිතුවා දැන් සීන් එක කියන්න කාලේ හරි කියලා. ඊට පස්සේ මම දවසක් දෙයක් කියන්න තියනවා කියලා මුළු කතාවම කෙටියෙන් කිව්වා. කතාව කියලා එයා ගැන දැනගන්නයි මෙහෙම කලේ කියල කිව්වා. 

To be continued.....
..............................................................................................................................................................

ප.ලි. මගේ පෝස්ට් දිග වැඩියි කියල චෝදනා කරන නිසා ඔන්න පොඩි කෑල්ලයි දැම්මේ. පොඩි වැඩියි වගේ නම් කියන්නෝ. 

..............................................................................................................................................................

කල්පනා.....................

ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......

කල්පනා (II කොටස) 
 
ළඟදීම....!

:D :D :P :P


Sunday, May 13, 2012

ඔබා මාමේ ඔබට නිවන් සුව....!



අද දවසෙම බ්ලොග් අවකාශේ කියවෙන්නේ එකම දෙයක් ගැන. ඒ කාටත් නොකියම අපි අතරින් යන්නම ගිය ඔබා මාම ගැන. ඔබා මාම මේ හැම කෙනෙක්ගෙම හිතට කොච්චර සමීපද කියන එකට තවත් උදාහරණ ඕන නෑ. හැමෝටම හිත් වලට ඔබා මාමගේ සමුගැන්ම කොච්චර තදින් දැනුනද කියලා අද බ්ලොග් කියෙව්වම හොඳට තේරෙනවා. උදේ ඇහැරුන ගමන්ම මහිමය තමයි කෝල් කරලා ආරංචිය කිව්වේ. 

මම කවදාවත් ඔබා මාම එක්ක පුද්ගලිකව කතා කරලා නෑ. මූණට මූණ හමුවෙලා වත්, ස්කයිප් වත්, ගූගල් චැට් වත්, ෆේස්බුක් චැට් වත් ඔය කිසිම එකකින් ඔබා මාම එක්ක කතා කරලා නෑ. ඔබා මාම මගේ බ්ලොගේට ඇවිල්ල කමෙන්ට් එකක් දාල තියෙන්නෙත් එකම එක පාරයි. හැබැයි ඒ කිසි දෙයක් නැති වුනත් ඔබා මාම කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා හොඳටම තේරුම් ගත්තේ ඔබා මාමගේ බ්ලොග් අවකාශේ පුරාම තියන කමෙන්ට් වලින්. කවමදාවත් කාත් එක්කවත් රණ්ඩු වෙනවා දැකලා නෑ. කාවවත් අවතක්සේරු කරනවා, බනිනවා දැකලම නෑ. වැරද්දක් පෙන්නුවත් බොහොම ආදරෙන් ඒක පෙන්නලා දෙන්නේ. ඒ වගේම විශේෂම දේ ඔබා මාමගේ කමෙන්ට් වලින් වැඩිහරියක්ම කියවලා හිනා වෙන එකයි අපි කලේ. මිනිස්සු හිනස්සන්න ලොකු හැකියාවක් තිබුනා ඔබා මාමගේ කමෙන්ට් වලට. පෝස්ට් එකක කමෙන්ට් උඩින් පල්ලෙන් බලාගෙන යද්දී ඔබා මාමගේ කමෙන්ට් එක දැක්කොත් අනිවා නැවතිලා බලලා යන්නේ.   

තවත්  එකක් තමයි මොකක් හරි වාදයක් රණ්ඩුවක් යන තැනක මම දැකලා තියනවා ඔබා මාම ඇවිත් මොකක් හරි ජෝක් එකක් දාලා කට්ටියව කූල් කරලා යනවා. තමන් හිනා වෙලා ඉන්න ගමන් අනිත් අයවත් සතුටෙන් තියන්න තමයි ඔබා මාමා හැදුවේ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සොඳුරු මිනිසෙක් ඔබා මාමා කියන්නේ. ගතින් මහලු වුනත් හිතින් සුපිරිම තරුණයෙක්. ඒ වගේ කෙනෙක්ගේ ඇසුර ලබන්න මේ බ්ලොග් අවකාශය පින් කරලා තියනවා. හැබැයි මීට පස්සේ මේ බ්ලොග් අවකාශේ අයට ඔබා මාමගේ කමෙන්ට් එකක් බලන්න, ඔබා මාමගේ මඩ පාරක් කන්න පින නැති වේවි. ආව හැම කෙනෙකුටම යන්න වෙනවා, හැබැයි ඔබා මාම වගේ අයගේ මතකය හැමදාම මිනිස්සුන්ගේ හදවත් තුළ ඉතිරි වෙනවා. ඔබා මාම ගියාට ඒ මතකය කවදාවත් අපිව දාල යන්නේ නැති වේවි. 

ඔබා මාමේ නිවන් දකින ජාති දක්වාම අපි අතරේම ඉපදෙන්න. එහෙම ඉපදිලා ඇවිත් කමෙන්ට් එකක් දාලා මේ බ්ලොග් අවකාශේ ලස්සන කරලා යන්න. අපි බලාගෙන ඉන්නවා.

Thursday, May 10, 2012

A-14 පාර

කාලෙකින් මුකුත් ලිව්වෙත් නෑ. අප්පෝ ලියන්නත් පස්ට කම්මැලියි අප්පා. ඒත් මේක පාලුවට යන්න දෙන්නත් හිතට දුකයි. ඒ නිසා පොඩි හොර වැඩක් කරන්න කියලා සෙට් වුනේ.:) මීට කලින් මම බ්ලොග් එකේ දාපු කවියක් ආයෙත් දාන්න කියලා හැදුවේ. කලින් කිව්වේ ගොඩාක් කලින්. ඒ කිව්වේ මගේ දෙවනි පෝස්ට් එකේ තමයි මම ඒක දැම්මේ. ඒක ගොඩක් දෙනෙක් දැකලත් නැති නිසා ආයෙත් දාන්න හිතුනා. එතකොට මගේ බ්ලොගේ පාලුවට යන්නෙත් නෑ නේ. හැබැයි පොඩි බොරුවක් එක්ක තමයි එදා මම ඒක දැම්මේ. මම එතන දැම්මේ ඒක මගේ මගේ යාලුවෙක් ලියපු එකක් කියලා. හැබැයි ඇත්ත කතාව ඒක මම ලියපු එකක්.:) මම එදා එහෙම දැම්මේ මගේ අනන්‍යතාවය අහු වෙයි කියලා බයට. දැන් නම් එහෙම අවුලක් නෑ, අපේ බැච් එකේ එකම එකයි බ්ලොග් කියවන්නේ, ඌත් දැන් දන්නවා මගේ බ්ලොග් එක ගැන. 

අපේ තර්ඩ් ඉයර් එකේ මුල තමයි ට්‍රේනින් යන්න තියෙන්නේ. මම මුලින්ම වැටුනේ මැදවච්චිය - මන්නාරම (A-14) පාරට. සයිට් එක තිබුනේ මැදවච්චිය ටවුන් එකේ ඉඳල කි.මි. 39ක් මන්නාරම පැත්තට වෙන්න. ඒ සයිට් එක තිබුන පැත්ත දරුණුවටම යුද්ධෙ තිබුන පැත්තක්. ඒ කාලෙත් බිම් බෝම්බ අයින් කරපු නැති පැති තිබුණා. අපි හිටපු හරියේ එකම එක ගෙයක් වත් නෑ. මට මතක විදියට කි.මි. 20ක් විතර මැදවච්චිය පැත්තට ගියාම තමයි ගමක් අහුවෙන්නේ. අපි හිටපු හරියේ ටිකක් එහාට වෙන්න සරණාගත කඳවුරු දෙකක්ද තුනක්ද තිබුනා. පොලිස් ස්ටේෂන් එකක් තිබුනා, ඊට අමතරව තැනින් තැන ආමි එකෙන් හිටියා. මිනිස්සු කියල එච්චරයි හිටියේ. හැබැයි ඔය පාරේ නම් වාහන යනවා එකම ගානට. UN එකේ ඒවා, RDA එකේ ඒවා, ට්‍රිප් යන වාහන, බස් ඔය වගේ ගොඩක් වාහන ගියා. පාරවල් කෙලින් නිසා උන් යන්නේ නම් හයිවේ එකේ යනවා වගේ. ඒ අස්සේ හිටී ගමන් මැති ඇමතිලත් යනවා. ඒ ඔක්කොම මන්නාරමට යන ඒවා.

මහ පුදුම පාළුවක් තිබුනේ එහෙ ගියාම. අනිත් එක පොඩි ආදර හුටපටයකුත් ඔලුවට ගහලා තිබුනේ ඒ කාලේ.:) ඉතින් විකාරයි වගේ එහෙ ඉන්නකොට. පළවෙනි සතියෙම මට ඉන්න වුනේ පාර හදන තැන. ස්ටාෆ් මදි වෙලා අපේ ට්‍රේනින් හිටපු දෙන්නට මාරුවෙන් මාරුවට ලේබර්ස්ලව සුපර්වයිස් කරන්න වුනා. ඉතින් දවසෙම ගිනි අව්වේ, දුවිල්ලයි ගල් කුඩුයි එක්ක ඉන්න ගියාම පුදුම සනීපයි. ඒ පාර කැඩිලා නිසා පුදුම දූවිල්ලක් තිබුනේ. ඒකට ගල් කුඩුත් එකතු වුනාම හරිම සන්තෝසයි. සතියක්ම මට එහෙම ඉන්න වුනා. අන්න එහෙම ගිනි අව්වේ ඉන්නකොට ලියවුන කවියක් තමයි මේ.


(මේ තියන කි.මි. කනුව ළඟ තමයි අපේ සයිට් ඔෆිස් එක තිබුනේ. මේක මම ගත්තේ එහෙන් එන්න බස් එක එනකල් ඉන්න වෙලාවේ.)

මම එහෙ හිටියේ සති තුනයි. හෙඩ් ඔෆිස් එකේ වැඩක් කියලා මාව ආයෙත් ගෙන්නගත්තා. මම ආපු ගමන් කලේ මේ කවිය ෆොටෝ එකට දාල හදපු එක.:) මගේ ඇත්ත මූනුපොතේ එකවුන්ට් එකේ ඉන්න අයට නම් බලන්න පුළුවන් මේක ඇති Wall Photos වල. සති තුනෙන් ඉවර වුන නිසා හොඳයි, තව හිටිය නම් පිස්සු හැදෙනවා.



Tuesday, April 24, 2012

අවසන් කවිය




ඔබ නමට ලියවෙන
මෙයයි අවසන් කව
තවත් මේ පන්හිඳෙන්
නොලියවෙයි කවි ඔබ ගැන

මතක  ඇත්නම් ඔබට
පෙර දිනක ඔබ නමට
සෙනෙහසින් පද බැන්ද
පුංචි කවියක අරුමය

අසම්පූර්ණයි තවම
ඔබ නමින් මා ලියූ කවිය
අත් හැර දමන්නට එය
සිත නොනැමෙයි කිසි විට

වෙහෙසයි දැන් සිත හොඳටම
ගලපගන්නට බැහැ
තවත් මේ පද මට...
වෙහෙසුනත් කොයිතරම්
අර්ථයක් දෙනු බැහැ මේ කවියට

නික්මෙන්නට කාලයයි
අතැර හැර ඒ කවිය
නොගැලපෙන පද ගොඩක් මැද
තවත් හරඹයක ඵල කිම

තරහක් නෑ කිසිම
එළිසමය නොවූවාට
මගේ කවියට නුඹ...
මට ලියනු බැරි කවිය
ලියනු ඇත තවකෙකු හෙට

නිමාවයි මෙය
වෙහෙසකර වූ ගමනක
ඉතින් හැර යමි
මට අයිති නැති මගේ කවිය


Friday, April 20, 2012

මෙන්න ගහනෝ...!

අලුත් අවුරුද්දට පළවෙනි පෝස්ට් එක කොටන්න යන්නේ.:) හැබැයි කියන්න වෙන්නේ නම් එච්චර ලස්සන කතාවක් නෙමෙයි. කැම්පස් එකේ සෙට් එකක් ඊයේ අපේ පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර සෙට් වුනා. නුවර, පුත්තලම, කුරුණෑගල වගේ එක එක පැති වලින් 6 දෙනෙක් බයිසිකල් වලිනුයි, තව එකෙක් බස් එකෙනුයි ආව. ළඟ පාත හිටපු උන් 4 දෙනෙක් එකෙක්ගේ තී වීල් එකකින් එහෙට ගියා. මාත් ගියේ තී වීල් එකේ. උන් ටික රෑ එහෙන් කාල එහෙමම දෙනියායේ තව එකෙක්ගේ ගෙදර යන්න සෙට් කරගෙන හිටියේ. දවල් වෙනකොට අපි එහෙට ගියා. ඊට පස්සේ ඉතින් කැරම් ගහල, සළු වෙන උන් සළු වෙලා, නාල, රෑටත් කාලම තමයි ආවේ. රෑ වෙලා තව එකෙක් ආව. ඉතින් ඔක්කොම කරලා එනකොට තමයි සීන් එක ගියේ.

උන්ගේ ගෙදර තියෙන්නේ ප්‍රධාන පාරෙන් ටිකක් ඇතුලේ. දැන් අපි බයික් තුනේ 6 දෙනයි, තී වීල් එකේ 6 දෙනයි ආවේ. මම ආවේ ත්‍රී වීල් එකේ ඉස්සරහ ඩ්‍රයිවර්ගේ සීට් එකෙන් කෑල්ලක් ඉල්ලගෙන. අපි අතුරු පාර දිගේ ඇවිත් ප්‍රධාන පාරට දාන්න හදන කොට එතන ත්‍රී වීල් එකක් නවත්තලා තිබුනා. 15ක් විතර වට වෙලත් හිටියා. අපි අර ත්‍රී වීල් එක පිටිපස්සෙන් නැවැත්තුවා යන්න ඉඩ ලැබෙනකල්. තත්ත්පර ගානක් යනකොට තමයි තේරුනේ එතන රණ්ඩුවක් කියලා. ඊළඟ මොහොතේ ඒක ගුටි කෙලියක් බවට පත්වුනා. අපිව දැන් කරකවලා අත ඇරියා වගේ, කවුද ගහන්නේ කවුද ගුටිකන්නේ කියලවත් හිතා ගන්න බෑ, චට පට ගාල වදිනවා විතරයි පේන්නේ. අපි එතකොටත් ත්‍රී වීල් එක ඇතුලේමයි හිටියේ. මොකෝ අපි මැදට පැනලා නවත්තන්න කියලයැ. අපිත් කරගන්න දෙයක් නැතුව බලාගෙන හිටියා. 

එතකොටම කවුද ගෑනු කෙනෙකුයි, අවුරුදු දහ අටක විස්සක විතර කෙල්ලෙකුයි එතනට දුවගෙන ආව. අර ගෑනු කෙනා ආපු ගමන් මැදට පැනලා වලිය බේරන්න හදනවා. ඊළඟ මොහොතේ අපි දැක්කේ අර ගෑනු කෙනා විසිවෙලා ඇවිත් අපේ ත්‍රී වීල් එක ඉස්සරහ වැටෙනවා. මම නිකන් ඉබේම වගේ ත්‍රී වීල් එකෙන් එලියට පැන්නේ. ඒ මනුස්සයට අවුලක් නෑ, ඒ මනුස්සය ආයෙත් නැගිටලා වලිය මැද්දට ගියා. අපිට තේරුණ විදියට වලිය යන්නේ ත්‍රී වීල් එකකින් ආපු කට්ටියකුයි, පාර අයිනේ හිටපු කොල්ලෝ සෙට් එකකුයි අතරේ. ත්‍රී වීල් එක පාරට දාන්න හදද්දී මොකක් හරි වෙන්න ඇති. පොඩ්ඩක් ගෑවුනත් ඇතිනේ ඉතින් මරාගන්න. කොහොමහරි කොල්ලෝ සෙට් එකේ පිරිස වැඩියි. ත්‍රී වීල් එකෙන් ආපු අයට තමයි වැඩිපුර ගුටි වදින්නේ. අර ගෑනු කෙනෙයි කෙල්ලයි ත්‍රී වීල් එකෙන් ආපු අයගේ කවුරුහරි.

වැඩේ නවතින පාටකුත් නෑ. අර ගෑනු මනුස්සයත් ගේම අතාරින්නෙ නෑ, කොහොමහරි එයාගේ අයව පැත්තකට ගන්න හදන්නේ. අර කෙල්ල හිටියේ මගේ ළඟ. ඒකි හොඳටම බය වෙලා. ත්‍රී වීල් එකෙන් ආපු සෙට් එකේ දහ අටක විස්සක විතර කොල්ලෙක් හිටියා, ඌ නාහෙට අහන්නෙම නැති එකෙක්. ඌ එක පාරටම ත්‍රී වීල් එකේ තිබිලා මොකක්දෝ පොල්ලක් ගත්තා. ඊට පස්සේ ඒකෙන් අර කොල්ලෝ ටිකට ගහගෙන ගහගෙන ගියා. කොහෙන් ආවද මන්ද තවත් පොලු දෙකක් අර කොල්ලෝ සෙට් එක අතට ආව. ඒ පාර දැන් පොලු වලින් ගහගන්නේ. කොහොමහරි ත්‍රී වීල් එකෙන් ආපු අය දැන් හොඳටම ගුටි කනවා. අරුන් පොලු තුනෙන්ම මුන්ට ගහනවා. ත්‍රී වීල් එකේ ආපු අය වැඩේ අත ඇරලා පසු බැස්සා. හැබැයි අර කොල්ලෝ සෙට් එක නැවැත්තුවේ නෑ. උන් පොලු වලින් ගහගෙන ගහගෙන ගියා. අර ගෑනු මනුස්සය මැදට පැනලා අර කොල්ලන්ට පින්සෙන්ඩු වෙවී ගහන එක නවත්තන්න හදනවා. ඒත් උන් නවත්තන්නේ නෑ, ඒ ගෑනු කෙනාව බේර බේර අනිත් උන්ට ගහනවා. 

ත්‍රී වීල් එකේ ආපු අය යන්න හැදුවත් අරුන් යන්න දෙන්නේ නෑ, හොඳටම ගහනවා. අර ත්‍රී වීල් එකේ ආපු කොල්ල තමයි බේර ගන්න බැරි. ඌ ගේමටමයි යන්නේ. කොහොමහරි අර ගෑනු කෙනෙයි තව එකෙකුයි ඌව ඇදලා දාගත්තා ත්‍රී වීල් එකට. එතකොට ටිකක් විතර වැඩේ ශේප් වේගෙන ගියේ. ඌ තමයි ත්‍රී වීල් එක ගෙනත් තියෙන්නේ. ඌ ඒක ස්ටාර්ට් කරන්න හදනකොට එකෙක් ඇවිල්ල අරූව ආයෙත් එලියට ඇදලා අරගෙන ගහන්න ගත්තා. අර ගෑනු කෙනා පැනලා කොහොමහරි අරූව ආයෙත් ඇතුලට දාගත්තා. ඒත් හරි යන්නේ නෑ, ඒ පාර තව එකෙක් ත්‍රී වීල් එක ඇතුලට කකුල දාල ඌට ගහන්න ගත්තා. ඌත් නාහෙට අහන්නේ නැති එකා නේ, ඌත් එලියට බැහැලා ආයෙත් ගහනවා. ඒ වෙලාවේ නම් හොඳටම වැදුනා ඒ කොල්ලට. දැන් අර කෙල්ලත් නලියනවා, ඒකිත් මැදට පනින්න හදන්නේ. මම ඒකිට "ඔයා පැත්තකට වෙලා ඉන්න" කියල කියන්නත් ගිහින් නිකන් හිටියා.

කොහොමහරි ත්‍රී වීල් එකෙන් ආපු අය අර කොල්ලව ඇදගෙන පස්සට ආව. ඌ එන්නෙම නෑ, ගහන්නමයි යන්නේ. එතකොට අර කෙල්ලත් පැනලා අරූව පස්සට ඇදගෙන ආව. ඒ අස්සෙත් අරුන් පොලු වලින් ගහනවා. හැබැයි තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් අර කෙල්ලටත් පොලු පාරක් වදිනවා. ඒකිට ඒ පාර වැදුනා නම් ඉතුරු වෙන්නේ නෑ. ඒකි චූටි, කෙට්ටු කෙල්ලෙක්. අරූව කොහොමහරි අපි ආපු පැත්තටම ඇදගෙන ගියා කට්ටිය එකතු වෙලා. ඊට පස්සේ බලනකොට පාර ගාව කෙනෙක් වැටිලා ඉන්නවා. අරූව ඇදගෙන ගියාට පස්සේ ඔක්කොම අර මනුස්සයට ගහලද කොහෙද. අර ගෑනු කෙනා "අනේ අයියේ" කියල කෑගහගෙන එතනට දිව්වා. අර කෙල්ලත් එතනට දිව්වා. ඔන්න එතකොට කොල්ලෝ සෙට් එක බය වෙලා ශේප් එකේ මාරු වුනා. ඒ මනුස්සයට පොලු පාරක් වැදිලා මම හිතන්නේ, සිහිය නැතුව වැටිලා ඉන්නවා. දැන් ගහගත්ත උන් එකෙක්වත් නෑ. අර වැටිච්ච මනුස්සයයි, ගෑනු කෙනයි, කෙල්ලයි, අපේ සෙට් එකයි විතරයි.

ඒ වෙලාවේ තමයි මම ආමාරුවෙන් පියවි සිහියට ආවේ. මම හැරිලා බලනකොට අපේ උන් ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා. මම එකෙක් කතා කරගෙන අර මනුස්සය ලඟට ගියා. ඌ පැන්න ගමන් අර මනුස්සයාගේ නාඩි අල්ලලා බැලුවා පන තියේද කියලා. ඒ මනුස්සය අමාරුවෙන් හුස්මත් ගන්නවා, මූ බැලුවේ පන තියේද කියලා. දැන් අර ගෑනු කෙනා කෑගහගහ එහාට මෙහාට දුවනවා. අර කෙල්ල අර මනුස්සයව බදාගෙන අඬනවා. වටපිට කවුරුවත් ඇත්තෙත් නෑ. අපේ ත්‍රී වීල් එක ගෙනාපු එකාට මම ගිහින් කිව්වා මේ මනුස්සයව හොස්පිටල් එකට අරන් යමු කියලා. ඌ කිව්වා අර මිනිස්සුන්ගේ ත්‍රී වීල් එකේම දාගෙන යමු කියලා. බයික් වල ආපු සෙට් එකේ එකෙක් හිටියා ත්‍රී වීල් ලයිසන් තියන. ඌ ටක් ගාල අර මිනිස්සුන්ගේ ත්‍රී වීල් එක ගත්තා. යතුර බිම තිබුනේ, ලෝක අමාරුවෙන් හොයා ගත්තේ. කොහෙන්හරි තව තව පිරිමි කෙනෙක් ඇවිත් හිටියා අර ත්‍රී වීල් එකේ ආපු අයගේ නෑදෑ වෙන. ඒ මනුස්සයවත් නග්ගගෙන ලෙඩත් ඇතුලට දාගත්තා. අර ගෑනු කෙනා කෑගහනවා ඉවරයක්‌ නෑ "අනේ මල්ලි අපිට උදව් කරන්න" කියලා. ත්‍රී වීල් එක පදින එකා ගම්පහ එකෙක්. ඌ පාරවල් දන්නේ නෑ. මාත් අමාරුවෙන් ඇතුලට රිංග ගත්තා. 

ඊට පස්සේ ඉක්මනට ඒ මනුස්සයව හොස්පිටල් එකට අරගෙන ගියා. වැඩි දුරක් නෑ, කි.මී. 5ක් වගේ තියෙන්නේ හොස්පිටල් එකට. යන අතරේ අර ගුටි කාපු මනුස්සය ඔලුව උස්සලා බැලුවා. කතා කලේ නම් නෑ. මොකද වුනේ කියලවත් කවුරුවත් දන්නේ නෑ. ඊට පස්සේ හොස්පිටල් එකට ගිහින් බාර දුන්නා. මායි අනිත් එකයිම ඒ මනුස්සයව රෝද පුටුවක වාඩි කරවලා අර මනුස්සය එක්ක ඇතුලට යැව්වා. ලෙඩත් එක්ක ආපු මනුස්සයට මුකුත් තේරෙන්නේ නෑ. ඒ මනුස්සය බයවෙලා ඔක්කොටම වැඩිය. "මල්ලි මම ලෙඩාව බාරදීල එනකල් පොඩ්ඩක් ඉන්න" කියල ගියේ. එතන හිටිය දොස්තර ලෙඩාගෙන් විස්තර ඇහුවා. ඒ මනුස්සය හරියට කතා කලේ නෑ. ලෙඩා බාර දෙන්න ආපු එකා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අරූ ත්‍රී වීල් එක එළියෙන් නවත්තලා යතුර අරගෙන ආව. අපිට කරන්න පුළුවන් ටික අපි කළා නේ. තව එතන අපි හිටියා කියල වැඩකුත් නැති නිසා අපි යතුරත් අර කෙනාට දීල ආව. මම කිව්වා අර මනුස්සයට ඔලුවට පොලු පාරක් වදින්න ඇති කියලා කියන්න කියලා. අපි එනකොට ලෙඩාව රෝද පුටුවේ තියාගෙන වාට්ටුවකට අරගෙන ගියා. ලොකු අමාරුවක් නම් පෙනුනේ නෑ. වැදුන පාරට සිහි නැති වෙලා වගේ තියෙන්න ඇත්තේ. 

ඊට පස්සේ ඉතින් අපි එන්න ආව. මාව ගෙදරින් දාල අරුන් එහෙමම ගියා. ඕක තමයි සිද්ධිය. වලි නම් ඕන තරම් දැකලා තියනවා. හැබැයි ගුටිකාපු කෙනෙකුට උදව් කලේ පලවෙනි වතාවට. හිතට පොඩි සතුටකුත් දැනුනා මනුස්සයෙක් අසරණ වුන වෙලාවට උදව් කරන්න පුළුවන් වුනා නේද කියලා. මට වැඩියෙන්ම දුක අර ගෑනු කෙනා ගැන. ගේම අත ඇරියෙම නෑ. ඒ මනුස්සය හිටියේ නැත්තන් ඕක ඔහොමවත් ඉවර වෙන එකක් නෑ. 

ප.ලි. ඊයේ ලියන්න ගත්තට අද තමයි ඉවර කලේ. එතකොට මේ සිද්ධිය වුනේ පෙරේද රෑ.


Tuesday, April 10, 2012

අවුරුද්ද නම් ඒවි, ඒත් ඒ මම හිතපු විදියට නොවේවි


තවත් අලුත් අවුරුද්දක්
ටික දිනකින් ඒවි
හැමදාම වගේ මේ පාරත්
කොහා උගේ සින්දුව කියාවි

ඒත් ඒ අවුරුද්ද
හිතපු තරම් ලස්සන නොවේවි
අවුරුද්ද ගැන මම දැකපු හීන
එකක් වත් ඉටු නොවේවි

අවුරුද්දට ගෙදර යන්න
ඔයා මගේ ළඟ නැති වේවි
වෙනද  පුරුදු පාරේම
මම තනියම ගෙදර යාවි

නැකත් වෙලාවට ෆෝන් එකෙන්
බත් කටක් කවන්න මට බැරි වේවි
වැඩ අල්ලන්න ඔයත් එක්ක
කතා කරන්න මට බැරි වේවි

මම හිතපු විදියට
මුකුත් වෙන්නේ නැති වේවි
අවුරුදු  කාලේ ඔයත් එක්ක
ඇවිදින්න යන්න මට බැරි වේවි

ඔයා ගෙදරින් අරන් ආපු
කැවිලි කන්න මට බැරි වේවි
ඔයාට දෙන්න හිටපු මල් මල් ගවුම
දෙන්න විදියක් නැති වේවි

තවත් දවසක් වගේම
අවුරුද්දත් යන්න යාවි
සින්දු කියපු කොහාටත්
ඊට පස්සේ වෙන වැඩ තියේවි

අවුරුද්දට මම දැකපු හීන
එකින් එක බොඳ වේවි
අවුරුද්දත් ගිහින් ඔයත් ගිහින්
මම විතරක් මෙහි ඉතුරු වේවි