twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Saturday, January 21, 2012

අවේලාවේ කාමරයට පැමිණි අමුත්තිය

කාලෙකින් මේ මොනව හරි කොටන්න කියල ලේස්ති වුනේ. පහුගිය දවස් ටිකේම මේ පැත්තේ එන්න බැරි වුනා විභාගේ නිසා. විභාගේ අස්සෙත් පොඩි නිසදැස් කෑල්ලක් දැම්මා. කොහොමහරි ඔන්න විභාගේ යන්තං ඉවරයි. ඒක ඉවර වුනාට අපේ රිසර්ච් එකේ තව කෑල්ලක් පෙබරවාරි මාසේ මුල දෙන්න තියනවා. දැන් ඉතින් අනිත් පැත්තට ඒකෙ වැඩ පටන් ගන්න ඕන. ඒ වැඩ පටන් ගන්න කලින් මොනවා හරි ලියන්න ඕන කියල හිතුනා. ලියන්න නම් දේවල් ගොඩයි. දැන් මේ කියන්න යන්නේ මීට සති තුනකට විතර කලින් වුන සිද්ධියක් ගැන.එදාම ඒ ගැන ලියන්නත් හදල පස්සේ විභාගේ ඉවර වෙලාම ලියනවා කියල හිතුවා.

ඔන්න ඉතින් විභාගෙට පාඩම් කරන්න පටන් ගන්න කලින් මම දවස් දෙක තුනක් ගෙදර ඉඳල ආවේ. ඒ දවස් වල තමයි මේක වුනේ. දවසක හවස් වෙලාවක මමයි, මහිමයයි, තව එකෙකුයි සුපුරුදු පරිදි අපේ ගෙදර කාඩ් ගහ ගහ හිටියා. අපේ සෙට් එකේ තව එකෙක් ගෙදර ඇවිත් හිටියා. ඒත් එදා ඌට කොහෙත්ම එලියට බහින්න පුළුවන් තත්ත්වයක් තිබුනේ නෑ. මොකද කියනවා නම් ඌ උගේ කෙල්ලව ගෙදර එක්කගෙන ඇවිත්.:) ඉතින් ඌට ඒ සති අන්තේ නිවනක් නෑ කියන එක කියන්න ඕන නෑ නේ.:D උන් දෙන්නත් මාත් එක්කමයි කොළඹ ඉඳල ගියේ. ඉතින් ඒ සති අන්තේ අපි ඌ ගැන තිබුන සියලු බලාපොරොත්තු අතෑරලා තිබුනේ. අර අවාසනාවට, ලැජ්ජ හිතෙන ඇත්ත කතාවක් එකේ කියපු එකා ගැනම තමයි මේ කියන්නේ.;) (අපි ඌට දිමුතු කියලම කියමු) ඉතින් අපි තුන්දෙනා කාඩ් ගහනකොට ලැබෙන තේකත් බීල බොහොම සතුටින් සමාදානයෙන් සෙල්ලම් කර කර හිටියේ. ඒත් වෙන්න යන විනාසේ ගැන කාටවත් කිසිම අදහසක් තිබුනේ නෑ.

අපි ඔහොම සෙල්ලම් කර කර ඉන්නකොට අපිට ඇහුනා කාමරේ පැත්තට කවුරුහරි එනවා. කකුල් වල ඇට කැඩෙන සද්දෙන් අපි දැනගත්තා මේ දිමුතු තමයි එන්නේ කියලා. දොර දිහා බලනකොට දිමුතු ඉන්නවා දොර ලඟට වෙලා. මූණ වත් දකින්න ලැබෙන්නේ නැතිවෙයි කියල හිතපු එකා මෙන්න ඇවිත්. ඌ හෙන ජයග්‍රාහී ලීලාවෙන් අපි දිහා බලාගෙන හිටියේ. කට කොනක පොඩි නොන්ඩි හිනාවකුත් තිබුනා. මට නම් නිකන් වෙන්න යන විනාසේ ගැන නොහිතුනාම නෙමෙයි. මෙන්න මූ එකපාරට කියනවා, "මේ බොලා ෂර්ට් ඇඳගනිල්ලා." කියලා. කාල වරෙන්කො, දැන් නම් හොඳටම ෂුවර් වෙන්න යන්නේ මොකක්ද කියලා. මම ටක් ගාල ටවල් රැක් එකෙන් ටී ෂර්ට් කෑල්ලක් අරන් ඇඳගත්තා. ටවල් රැක් එකේ උඩම හිටියේ වවුලෙක්.:D මම ටක් ගාල ඒක අරගෙන අස්සෙන් ගැහුවා. මට තේරුනා වෙන මුකුත් කරන්න වෙලාව නෑ කියලා. ඊට පස්සේ මම ආයෙත් ඇවිත් වාඩි වුනා.

"එන්න!"

දිමුතු පිටිපස්ස හැරිලා කාටද කතා කළා. ඊට පස්සේ ඌ නිකන් යුද්ධයක් දිනලා ආපහු එන සෙන්පතියෙක් වගේ කාමරේ ඇතුලට ආව. ඔන්න ඉතින් බැබලි බැබලි උගේ පිටිපස්සෙන් උගේ කෙල්ලත් කාමරේට ආව. බල්බ් එකේ අවුලක්ද මන්ද එකපාරට කාමරේ එලිය වැඩි වුනා වගේ වුනා. පොදු වැසිකිලිය වගේ තියන මගේ කාමරේටත් කෙල්ලෙක් ආව කියපන්කො. ඒකි එනකොටම නුපුරුදු මල් සුවඳක් කාමරේ පුරාම පැතිරුනා. වෙනදට ඕකෙ එන්නේ පුස් ගඳ නේ.:D ඔය කෙල්ල ඉතින් මට නම් පෙන්නන්නම බැරි ඩයල් එකක් කියල කලින් කතාව කියෙව්වා නම් දැනගන්න පුළුවන්. ඒත් ඉතින් ගෙදරට ආවට පස්සේ කවුරු වුනත් පිළිගන්න වෙනවනේ. දැන් ඉතින් අපි තුන්දෙනා කෙල්ල දිහා බලාගෙන ඉන්නවා, දිමුතුව අපි දිහා බලාගෙන ඉන්නවා, කෙල්ල බිම බලාගෙන ඉන්නවා. අපි තුන්දෙනාට නම් තාම ෂුවර් නෑ මේ වෙන දේ. නිකන් හීනයක්‌ වගේ.

කාමරේ පුටු තුනයි තිබුනේ. එන අය පුටු අරගෙන තමයි ඇතුලට එන්න ඕන. දැන් ඌට ඒක මතක නෑ, ඌ හිටගෙන බලාගෙන ඉන්නවා. පොර වගේ ආවට ඌ දැන් හොඳටම එක්සයිට් වෙලා ඉන්නේ. මම කිව්වා ගිහින් පුටුවකුත් අරගෙනම වරෙන් කියලා. කාමරේ දොර ලඟම එළියේ පුටු තිබුනේ. මූ ගිහින් පුටුවක් අරගෙන ආවා. ඊට පස්සේ තමයි ලස්සන වැඩේ වුනේ. මූ පුටුව අරගෙන ඇවිත් කිසි කතාවක් නැතුව අපි කාඩ් ගහ ගහ හිටපු මේසෙට පුටුව තියාගෙන වාඩි වුනා. කෙල්ල හිටගෙන කරකියාගන්න දෙයක් නැතුව බලාගෙන ඉන්නවා. මූට දැන් හොඳටම වයර්. මම කිව්වා, "යකෝ උඹට වාඩි වෙන්න නෙමෙයි පුටුව ගේන්න කිව්වේ. මෙයාට පුටුව දීල උඹ ඇඳෙන් වාඩි වෙයන්" කියලා. ඊට පස්සේ මූ පුටුව ඒකිට දීල ඇඳෙන් වාඩි වෙලා කියනවා අපිට කියනවා, "මම හිතුවේ මෙයා ඇඳෙන් වාඩි වේවි කියල". අනේ මන්ද ඌට පිස්සුද අපිට පිස්සුද කියලා. ඔක්කොම සෙට්ල් වුනාට පස්සේ මම කාමරේ දිහා හොඳට බැලුවා. විනාසයි, විනාසයි, උගේ කාඩ් එකත් ඉවරයි මගේ කාඩ් එකත් ඉවරයි. කාමරේ නිකන් නගර සභාවේ කුණු දාන තැන වගේ. මේසේ උඩ කලින් තේ බීපු කොප්පයි, පිඟනකුයි, පත්තරයි. අරූ හිටපු ඇඳේ පත්තරයි, එක එක ගැජමටික්ස්නුයි, රෙදියි, බෑග් එකයි, හෙඩ් ෆෝන් එකයි තව ගොඩක් තිබුනා. ජනෙල් පට්ටම් උඩ කලින් බීපු තේ කෝප්ප. ඇඳ ළඟ බිම තේ ගෙනාපු ට්‍රේ දෙකකුත් තිබුනා. ඔක්කොටම හපන් ටවල් රැක් එක. ටී ෂර්ට්, කලිසම්, බෙඩ් ශීට්, කොට්ට උර රැක් එකේ පුරවලා. සති ගානකින් රෙදි හේදුවේ නෑ. අපොයි දෙයියනේ, අර උඩ ඉඳල එකෙක් හැංගුවට අස්සෙන් තව එකෙක් පේනවා. සායම ඉවරයි ඉතින්. අඩු ගානේ මූට තිබුනනේ කලින් කියන්න එක්කගෙන එනවා කියල. දැන් ඉතින් මොනවා කරන්නද, ඌට ආයෙත් මේ පැත්තේ එන්න වෙන එකක් නැතිවෙයි කියල මම හිත හදාගත්ත.

අපි ඉතින් සෙල්ලම නවත්තලා ඒ පැත්තට හැරුනා අමුත්තා එක්ක කතා කරන්න. ඒ පාර මූ කියනවා, "මේ මට ජබෝරයක් ගහන්න ඕන, වරෙන් ගහමු." (ජබොර යනු කාඩ් වලින් කරන ක්‍රීඩාවකි) හෑහ්, කෙල්ල පැත්තකට වෙලා බලාගෙන ඉඳිද්දී මූ අපිට ජබොර ගහන්න කතා කරනවා. මම හෙමින් කිව්වා, "පස්සේ සෙල්ලම් කරමු, මෙයා ඉඳිද්දී අපි සෙල්ලම් කරන එක හරි නෑ නේ" කියල. මූ කියනවා " නෑ නෑ අවුලක් නෑ ගහමු. මට එතකොට මෙයාටත් කියල දෙන්න පුළුවන්" කියලා. කොච්චර කිව්වත් මූ අහන්නෙම නෑ, ගහන්නම ඕනලු. ඕන වෙඩිමක් වෙන්න කියල අපිත් පටන් ගත්තා. අපිට මොකෝ ඉතින්, අපේ නෙමෙයිනේ, උගේනේ ගෑනි. සෙල්ලම් කරන මේසේ තියෙන්නේ අරූ වාඩිවෙලා ඉන්න ඇඳ ළඟමයි. ඇඳේ කොනට ආවම සෙල්ලම් කරන්න පුළුවන්. දැන් ඔන්න ඉතින් සෙල්ලම යනවා. ඌ කෙල්ලට කියල දෙන ගමන් සෙල්ලම් කරනවා. ජබොර තියා බූරුවා ගහන්න කියල දුන්නත් ඒකි හිටපු තත්ත්වේ හැටියට ඒ වෙලාවේ තේරෙන්නේ නෑ. ඒකිගේ මූනෙන්ම තේරෙනවා ඒක. ඒකිත් කරගන්න දෙයක් නැතිකමට අරූ කියන ඒවා අහගෙන ඉන්නවා. කොහෙද අරූට ගානක් නෑ, ඌ පිස්සුවෙන් වගේ ඒකිට කියලා දෙනවා. අපි තුන්දෙනා හොරෙන් එක එකා දිහා බල බල සෙල්ලම් කරනවා. අපි තුන්දෙනයි ඒකියි පුදුම විදියට අපහසුතාවයට පත්වෙලා හිටියේ.

මම ඉතින් සෙල්ලම් කරන අතරේම අරකි එක්කත් කතා කළා. ඔහොම සෙල්ලම් කර කර ඉන්නකොට උන් දෙන්නට තේ දෙකකුත් ආව. මට තමයි ගිහින් තේ දෙක අරගෙන ඇවිත් අල්ලන්න වුනේ. අයියෝ සල්ලි කිව්වලු, මට අරකිට තේ අල්ලන්නත් වුනා නේ. මොනවා කරන්නද ඉතින් ගෙදරට ආපු අමුත්තනේ. තේ බොන්න තරඟය මදකට නතර කරලා තිබුනේ. ඒ පාර අරූගේ ගොන් මොලේට තවත් ගොන්ම ගොන් අදහසක් ආව. "එන්නකෝ වැඩක් පෙන්නන්න" කියල මූ නැගිටලා කම්පියුටර් එක ලඟට ගියා. කෙල්ල හිටපු පුටුව තිබුනෙත් කම්පියුටර් එක ළඟ. කෙල්ලත් ඒ පැත්තට ඇදිලා බලාගෙන ඉන්නවා. අපි 'පෝටර්', ගහනකොට, 'ලීග් ක්‍රමයට ඕම්බි' ගහනකොට, සහ 'ජබොර' ගහනකොට ලකුණු දාන්නේ Excel ශීට් එකක. මම ඒ ටික වෙනම ෆෝල්ඩර් හදලා දාල තියෙන්නේ. දැන් මූ මේ හදන්නේ ඒ ටික කෙල්ලට පෙන්නන්න. මූ My Computer ඕපන් කරගත්තා. ඔන්න එතකොට තමයි ඇඟේ ලේ ටික වතුර වුනේ. පාටිෂන් ඔක්කොම ටික අන්ලොක් කරලා තියෙන්නේ. මූ කරුමෙට වත් වැරදි පාටිෂන් එකක් ඕපන් කලොත් ඉතින් රෙදි නෑ. අපි තුන්දෙනා දැන් ඩිම් වෙලා බලාගෙන ඉන්නවා. දැන් මූත් හොඳටම එක්සයිට් වෙලා නේ ඉන්නේ. මූටත් දැන් හරියට මතක නැතුවද කොහෙද  My Computer ඕපන් කරගෙන බලාගෙන ඉන්නවා. අර රෙදි ගැලවෙන්නම ගිය අවස්ථාවක් පෝස්ට් එකේ තියනවා වගේම වැඩක් තමයි ඒ වෙලාවේ වුනෙත්. කොහොමහරි යන්තං අනවශ්‍ය පාටිෂන් ඕපන් කරන්නේ නැතුව මූ හරි එකම ඕපන් කළා. හම්මෝ හිතට දැනුන සනීපෙ. ඊට පස්සේ ඉතින් මූ ඒ ටික හොයාගෙන කෙල්ලට විස්තර කර කර පෙන්නුවා.

ඊට පස්සේ ඉතින් තේ බීල තව ටිකක් සෙල්ලම් කරලා මූ කෙල්ල එක්ක යන්න ගියා. අපිත් ඉතින් පහලට  ගිහින් උන් දෙන්නව ඇරලවල ආව. ඊට පස්සේ තමයි වැදගත් හරිය එන්නේ. දැන් ඔන්න අරුන් දෙන්න ගියාට පස්සේ මහිමයගෙයි අනිත් එකාගෙයි මූණු හරි නෑ. ඊට පස්සේ වුන දෙබස මෙන්න මෙහෙමයි.

මහිම/අනිත් එකා: ඒ ඒකිව මෙහාට එක්කගෙන ආපු එක හරි නෑ බං.

මම: ඒ මොකද?

මහිම/අනිත් එකා: හරි නෑ නේ බං කොච්චර වුනත්. මෙහෙ ආපු එක විතරක් නෙමෙයි, ඒකිව ගෙදර                  එක්කගෙන ආපු එකත් වැරදියි.

මම: පිස්සුද බං, ගෙදර එක්කගෙන ආපු එක නම් අවුලක් නෑ. කවද හරි ඒකි බැඳලා එන්නේ ඔය ගෙදරට නේ. ඉතින් කලින් ඇවිත් ගෙදර මිනිස්සු අඳුරගෙන, කතා බහ කරලා ගියාම මොකද? මම නම් කවද හරි මම යාලු වෙන කෙල්ලව බඳින්න කලින් එක පාරක් හරි ගෙදර එක්කගෙන එනවා.

මහිම/අනිත් එකා: ඒ  වුනාට බං, බඳින්න කලින් කවදාවත් කෙල්ලෙක්ව ගෙදර එක්කගෙන එන්න හොඳ නෑ. ගෙවල් දොරවල් බලන්න යනකොට වත් කෙල්ලව එක්කගෙන යන්නේ නෑනේ.

මම: ඒවා ඉතින් නිකන් චාරිත්‍ර විතරනේ බං. සාධාරණ හේතුවක් නෑ නේ.

මහිම/අනිත් එකා: ඒව චාරිත්‍ර විතරක් නෙමෙයි බං, ඒවයෙත් ඇත්තක් තියනවා. එහෙම බඳින්න කලින් කෙල්ල  කොල්ලගේ ගෙදර යන්න එන්න ගියාම මිනිස්සු කෙල්ල දිහා බලන්නේ වැරදි විදියට. අනිවාර්යෙන්ම එහෙම වුනාම කෙල්ලට කතා හැදෙනවා.

මම: කවුරු මොනවා කිව්වම මොකද බං? මිනිස්සුන්ට ඕන විදියට නෙමෙයි නේ අපි වැඩ කරන්න ඕන.

මහිම/අනිත් එකා: ඒ වුනාට බං ඒ හැදෙන කතා ජීවිත කාලෙටම එහෙම තමයි. අනිත් එක එහෙම චාටර් කෙල්ලෙක් කියල හිතුනොත් කවුරුහරි ඒකෙන් වැඩක් ගන්න හදන්නත් පුළුවන්. හැබැයි එහෙම හිතාගෙන කවුරුහරි වැඩේට බැස්සොත් ආයෙත් ඒක අතාරින්නෙ නම් නෑ. වැඩේ කෙරෙනකල්ම ඌ ගේම අතාරින්නෙ නෑ එහෙම වුනාම. (එහෙම කියලා ඌ ඒකට උදාහරණයකුත් කිව්වා.)

මම: ඒක නම් වෙන්න පුළුවන් ඉතින්. 

මහිම/අනිත් එකා: අනිත්  එක බං ඔහොම ගිහින් වැරදිලාවත් උන් දෙන්නට බඳින්න බැරි වුනොත් මොකද වෙන්නේ. ඔහොම ආව ගිය එක ප්‍රශ්නයක් වෙනවා නේද?

මම: ඕකෙ අනිත් පැත්ත වුනොත් නේ බං ප්‍රශ්නයක් වෙන්නේ. කොල්ල කෙල්ලගේ ගෙදර නිතර ගිහින් උන් දෙන්නට බඳින්න බැරි වුනොත් නම් කෙල්ලට කතා හැදෙනවා.කොල්ලෙකුට ඉතින් එහෙම අවුලක් නෑ නේ.

මහිම/අනිත් එකා: මේකත් කෙල්ලට කවදාහරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බං. හිතපන් කවදාහරි මේ සම්බන්දෙ නැවතිලා කෙල්ල මේ පැත්තෙන්ම වෙන කසාදයක් කරගන්නවා. ඊට පස්සේ, ඒ කෙල්ල මුගේ ගෙදර දවස් දෙක තුනක් නැවතිලා හිටිය බව දන්න කවුරුහරි එතන හිටියොත් අනිවාර්යෙන්ම ඔය කතාව ඇදෙනවා නේද?

මම: ඔව් ඉතින් එහෙම වෙන්නත් පොඩි සම්භාවීතාවක් තියනවා.

මහිම/අනිත් එකා: ඔය කිසි ප්‍රශනයක් නෑ නේ කවදාහරි බැන්දට පස්සෙම කෙල්ලව ගෙදර එක්කගෙන ආව නම්.

මම: හ්ම්ම්...! 

(කතාව මීට වඩා ගොඩක් දිගට ගියා. මම මේ සාරාංශය දැම්මේ.)

ඒ කියපු කතාවත් ඇත්ත ඉතින් බලාගෙන ගියාම. කාටවත් ඕන විදියට අපි ජීවත් වෙන්න ඕන නෑ තමයි. ඒත් අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ නේ. ඒ නිසා පුළුවන් තරම් කතාවක් හැදෙන්නේ නැති වෙන ඉන්න එකනේ හොඳ. මොකද ඉතින් කතාවක් හැදුනොත් ජීවිත කාලෙටම වුනත් ඒක තියෙන්න පුළුවන්. ගොඩක් නාගරික පැති වල නම් ඔය ප්‍රශ්නේ නැතුව ඇති. ඔය වගේ දෙයක් තියා එහා ගෙදර එකා මැරුණත් සමහර වෙලාවට මෙහා ගෙදර එකා දන්නේ නෑ නේ.:D හැබැයි අපි වගේ ගම්වල ඉන්න අයනම් ඒ ගැනත් ටිකක් හිතන්න ඕන. ගම්වල මිනිස්සු ඕන එකයි එපා එකයි දෙකම හොයනවා නේ. ඒකෙ වාසි වගේම මේ වගේ අවාසිත් තියනවා. කොහොම වුනත් මේක ලංකාව නේ, ආකල්ප අතින් අපිට තව ගොඩක් වෙනස් වෙන්න තියනවා. ඔය සමහරු බලෙන් මේකට බටහිර සංස්කෘතිය ඔබ්බවන්න හැදුවට මේක තාමත් පරණ ලංකාවම තමයි.

අනිත් එක කෙල්ලගේ ගෙදරින් දන්නෙත් නෑ ඒකි ආපු ගමන ගැන. ගෙදරට හොරෙන් තමයි ඒකි ඇවිත් තියෙන්නේ. කොටින්ම ඒ කෙල්ලගේ ගෙදරින් මූට කැමතිත් නෑ. මුගේ ගෙදරින් නම් කැමතියි. ඒ මිනිස්සු තමයි කියලා තියෙන්නේ එක්කගෙන එන්න කියලා. ඔය උඩ කියපු විදියේ ප්‍රශ්නයක් ඇති වෙන්න ලොකු ඉඩක් මෙතන තියනවා. උන් දෙන්නට කවුරු කතා හැදුවේ නැතත් අපි හරි කතාවක් හදනවා.:D උන් දෙන්න ඒකි යන්න කලින් දවසේ රෑ එලි වෙනකල් ෆිල්ම් එකක් බැලුවා කියන්නේ. කවුද දන්නේ ඇත්තටම ෆිල්ම් එක බැලුවා විතරද කියලා.;)  
..................................................................................................................................................................

ප.ලි. ඔක්කොම කරලා ගියාට පස්සේ තාත්ත අහනවා "අරුන් දෙන්න බැඳලද?" කියලා.:P

Wednesday, January 18, 2012

සයිබරයේ අපේ මිනිස්සුන්ගේ මනුස්සකම!

අද මේ මගේ පෝස්ට් එකක් දාන්න නෙමෙයි හදන්නේ. සුන්දර හදවත් තියන සයිබරයේ අපේම මිනිස්සුන්ගේ තවත් බොහොම සුන්දර උත්සාහයක සාර්ථකත්වයේ සතුට බෙදාගන්නයි මේ පෝස්ට් එක දාන්නේ. මගේ කතා ඕන නෑ නේ, ඔන්න මම ඒ ගැන ලියවුනු පෝස්ට් එක එහෙමම දානවා. ඒ සඳහා පූර්ව අනුමැතිය ලැබිලා තියෙන්නේ.

අවසානයේ අපි ජයග්‍රහණය කළෙමු...



දිළුම් වෙනුවෙන් ගොඩ නැගුනු සයිබරයේ පිනෙන් පිරුණු අරමුණක අවසානය වෙත අපි ලඟා වූයෙමු.... ජෙරූශා නම් දැරියගේ කර්ණ ශංඛ බද්ධයේ සැත්කම අද ඉතා සාර්ථකව අවසන් වූ බව ඇයගේ ආදරණීය මව මීට මොහොතකට කලින් අප සමග පැවසුවාය....


එපමනක් නොව ඇයගේ දියණියගේ නෑසෙන සවනතට හඬ ලබාදීමට එකතු වූ සැමට ඇයගේ මෙන්ම පවුලේ ස්තූතිය පුද කලාය... ඒ හැමට පින් ප්‍රාර්ථනා කලාය...


සිකුරාදා වනතුරු ජෙරූශා දැරිය පේරාදෙණිය ලමා රෝහලේ හතරවන වාට්ටුවේ ඇය වෙනුවෙන් සකසා ඇති විශේෂිත කාමරයක රඳී සිටිනු ඇති... ඔබ ඒ අවටනම්, එහි ගොස් ඇයට ශක්තියක් වී පැමිනෙන්නට හැකිනම්, අප එය මහමෙරක් තරම් අගය කරමු...


වැඩි විස්තර සහ ඡායාරූප ලඟදීම බලාපොරොත්තු වෙන්න..


ඔබ හැමට පින් සිද්ධ වේවා....


ශ්‍රී ලාංකීය සයිබරය එකාවන්ව එකතුව කල මෙම සද්කාර්යය මගේය, අපේය, ඔබේය.... එම නිසා මෙම බ්ලොග් ලිපිය ඔබේ බ්ලොගයේ පල කර අපගේ ශක්තිය ලොවට කියාපෑම පිළිබඳව අපගේ කිසිදු විරුද්ධත්වයක් නැත.

..................................................................................................................................

මේ තියෙන්නේ ඔරිජිනල් ලිපියේ ලින්ක් එක. මේ සත්කාරයට මොන අයුරකින් වත් දායක වෙන්න අවස්ථාවක් නම් ලැබුනේ නෑ. ඒත් මම ගොඩක් ආඩම්බරයි සයිබරයේ අපේ මිනිස්සුන්ගේ මනුස්සකම ගැන. ඒ වෙනුවෙන් මහන්සි වුන හැම දෙනාටම ගොඩාක් පින්. කමෙන්ට් එකකින්, මූණු පොතෙන් එකතු වෙන පිරිසකට මේ තරම් දෙයක් කරන්න පුළුවන් කියන්නේ එක අතකට පුදුමයි නේද? මේ වගේ මනුස්සකම පිරුන පිරිසකගේ සාමාජිකයෙක් වෙන්න ලැබුන එක ගැන මම අද ගොඩක් සතුටු වෙනවා.

Wednesday, January 11, 2012

දන්සැල



 ඇති තරම් බෙදාගෙන කන්නට 
හොඳ අතුරුපසකුත් එක්කම
ඕනෑ තරම් කෑම තියන
පුංචි උඹේ දන්සල

රටේ ලෝකෙ කවුරුත්ම
ඇවිත් කා බී සතුටු වී යන
උන්ගෙ සතුටමද උඹේ සතුට?
නොතේරේ නංගියේ මට

වරදීවි දවසක උඹට
අසරණ වේවි හොඳටම
ඔය දන්සලෙන් කාපු කවුරුවත් 
එදාට නැතිවේවි උඹ ළඟ

දුකයි මට උඹ ගැන
උඹ ඔය යන විදිය ගැන
ඒත් මොනව කරන්නද
මාත් හරි ආසයි උඹේ දන්සලට

අතෑරපන් ඔය මෝඩකම
පාලනය කරගනින් ඔය ආසාව
දැන්වත් හොඳට තේරුම් අරන්
වහල දාපන් උඹේ ඔය දන්සල

..................................................................................................................................
ප.ලි. මේක මම දන්න කියන කෙනෙක් ගැන හිතට ආපු සිතුවිල්ලක්. අත්දැකීමක් නෙමෙයි හරිද.....:D

Monday, December 19, 2011

ඇගේ තනියට රැය පහන් කළෙමි

හ්ම්ම්, පෝස්ට් 50 කුත් ලිව්වා. 50ට සුභ පතපු හැමෝටම ආයෙත් පාරක් ගොඩාක් ස්තූතියි. බ්ලොගේට අලුත් ඇඳුමකුත් ඇන්දුවා. කලින් තිබුන එකට මම ගොඩක් ආසයි. ඒ වුනාට වෙනසක් කරන්න ඕන කියලා හිතුනා. පස්සෙ කාලෙක ආයෙත් ඒක දානවා. මට අම්ම ඕන කියන පෝස්ට් එකේ මම කියන්නේ නෑ කියල හිටපු මගේ ආදර කතාවේ පොඩි සිද්ධියක් කිව්ව නේ. ඊට පස්සේ මට හිතුනා ඒ කතාවේ තව විශේෂ සිද්ධියක් කියන්න ඕන කියලා. මේක නම් එච්චර ලස්සන කතාවක් නෙමෙයි. ඒත් මේ වගේ දේවලුත් වෙනවා කියලා දැනගන්න මම මේක කියනවා. හැබැයි ඉතින් දැන් කාලේ වෙන දේවල් වල හැටියට මේ වගේ දේවල් වෙනවා කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නැතුවත් ඇති. 

මේ සිද්ධිය වෙනකොටත් අපි යාළුවො කියන නමින් තමයි හිටියේ. මම එදා හිටියේ බෝඩිමේ. එතකොට මම උසස් පෙළ පළවෙනි අවුරුද්දේ හිටියේ. එදා අපේ ඉස්කෝලේ ස්පොට් මීට් එකට කලින් දවස. එදා එයා ටිකක් කලින් නිදා ගත්තා. ගුඩ් නයිට් මැසේජ් එකත් යවලා මම පාඩම් කර කර හිටියේ. ටිකක් රෑ වෙලා එයාගෙන් කෝල් එකක් එනවා. වෙලාව 11 - 12 අතර වගේ. මම බැලුවා මේ නිදාගන්න ගිය කෙනා මොකද කෝල් කරන්නේ කියලා. අනිත් එක අපි මැසේජ් කරගත්තට කෝල් කරන්නේ නෑ. හැම සති අන්තෙම යාලුවෙක්ගෙ හොස්ටල් එකේ තියන ෆෝන් බොක්ස් එකෙන් එයා මට කෝල් කරනවා. ඒ ඇරෙන්න මොබයිල් එකෙන් කෝල් එකක් ගන්නේ විශේෂ වෙලාවක විතරයි. මොකද ඒ කාලේ මේ වගේ කෝල් චාර්ජස් අඩු නෑ නේ. මාත් ඉක්මනට ආන්සර් කළා. එයා ටිකක් කලබලෙන් වගේ කතා කලේ. එයා මගෙන් physics පාස්ට් පේපර් එකක තියන ප්‍රශ්නයක් ගැන ඇහුවා. එයා කියන දේ හරියට පැහැදිලිත් නෑ. මම කරකවල අතෑරියා වගේ. physics එකස්පර්ට් මගෙන් ප්‍රශ්න අහන්නේ මොකද කියල. අනිත් එක මේ නිදාගෙන හිටපු ගෑනිට මහ රෑ එකපාරට මොකද physics ප්‍රශ්නයක් මතක් වුනේ? physics පේපර් එකවත් හීනෙන් දැක්කද දන්නේ නෑ.

මම  ඉතින් කෝකටත් කියලා පාස්ට් පේපර් පොත අරගෙන ඒ කියපු ප්‍රශ්නේ හොයන්න ගත්තා. දැන් මෙයා ඉවරයක්‌ නැතුව කියවනවා. මට තේරුණා ඇත්තටම මෙයාට  physics ප්‍රශ්නයක් අහගන්න නෙමෙයි ඕන වෙලා තියෙන්නේ කියලා. මට එතකොට තමයි තේරුනේ මෙයා හොඳටම බයවෙලා ඉන්නේ කියලා. මම ඇහුවා මොකක්ද ප්‍රශ්නේ, ඇයි බය වෙලා වගේ කියලා. ඒත් මුකුත් කියන්නේ නෑ. ඊට පස්සේ මම සැරෙන් ඇහුවා "මොකක්ද වෙලා තියෙන්නේ? මට කියන්න." කියලා. ඊට පස්සේ එයා කිව්වා, "මෙහෙම කියන්න බෑ, කියලා." දැන් ඉතින් මට විකාරයි. මම ආයෙත් ඇහුවා. ඊට පස්සේ එයා කිව්වා "මෙතන කියන්න බෑ, මැසේජ් එකක් දාන්නම්" කියලා. ඊට පස්සේ ආපු මැසේජ් එකේ ඇඟ හිරිවැටිලා යන කතාවක් කියලා තිබුනේ.

එයා කාමරේ නිදාගෙන හිටියලු. එයාගේ හොඳම යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් කෝල් එකක් ඇවිත්. එයාට කතා කරලා ඉවර වෙලා ආයෙත් නිදාගත්තලු. නින්ද කැඩුන නිසා ටික වෙලාවක් යනකල් හරියට නින්ද ගිහින් නෑ. එහෙම ඉන්නකොට එයාට දැනුනලු එයාගේ ඇඳ ළඟ කවුරුහරි ඉන්නවා කියලා. කළුවර නිසා හරියට පෙනුනේ නැති වුනාට එයාට තේරුනාලු බෝඩිමේ අන්කල් තමයි ඒ ඉන්නේ කියලා. එයාට කරගන්න දෙයක් හිතාගන්න බැරි වුනාලු. එයා කෑගහලත් නෑ. ඊට පස්සේ ඒ මිනිහ මෙයාගේ මූණ දිහාවට පාත් වෙලා. එයාට කළුවරේ ඡායාවක් පෙනුනලු ඒ මිනිහ එයාගේ මූණ පැත්තට පාත් වෙනවා. එතකොටම මෙයා ඇඳේ අනිත් පැත්තට හැරිලා. ඒ පාර අර මිනිහත් කලබල වෙලා ටක් ගාල කාමරෙන් එලියට ගිහින්. ඒ වෙලාවේම තමයි මෙයා මට කෝල් කරලා තියෙන්නේ. එයා බයෙන් ඉන්නේ අර මිනිහා ආයෙත් ආවොත් කියලා.

මම එහෙමම අනිත් පැත්තට කෝල් එකක් ගත්තා. එයා ඒ වෙනකොටත් එහෙමම ඇඳේ හිටියේ. ඒ කාමරේට දොරක් වත් නෑ. මම කිව්වා ඉක්මනට කාමරේ ලයිට් එක දාන්න කියලා. එතකොට අර මිනිහා දැනගන්නවා නේ එයා නිදි නෑ කියලා. අනිත් එක ලයිට් එකක් දාල තියන කාමරේකට හොරෙන් රිංගන්න හදන්නේ නෑ නේ. බෝඩිමේ ඇන්ටිත් ගෙදර ඉන්නවා. ඒ නිසා ඒ මිනිහා හොරෙන් රිංගන්න හැදුවොත් මිසක් බලහත්කාරෙන් කාමරේට එන්න හදන්නේ නෑ නේ. ඊට පස්සේ එයා ලයිට් එක දාල ආයෙත් ඇඳට ආව. එයා හොඳටම බය වෙලා, හරියට කතා කරගන්නත් බෑ. මටත් දැන් හොඳටම බයයි. ලයිට් එක දාල නිසා ඒ මිනිහා ආයෙත් එන්නේ නෑ කියල විස්වාසයක් තිබුනා, ඒත් ඉතින් වැරදිලාවත් මොකක් හරි වුනොත් කාට කියන්නද? මම කිව්වා වැරදිලාවත් ඒ මිනිහා ආයෙත් කාමරේට ආවොත් ඇන්ටිට ඇහෙන්න හයියෙන් කෑගහන්න කියලා. මගේ ළඟ එයාගේ බෝඩිමේ ෆෝන් නම්බර් එකත් තිබුනා. ඒ මිනිහා ආයෙත් ආවොත් මම ටක් ගාල ඒකට කෝල් කරන්න බලාගෙන හිටියේ. එතකොට ඇන්ටි ඇහැරෙනවා නේ. අනිත් එක එතකොට ඌත් බය වෙනවා නේ.

ඒ ඇරෙන්න මට ඒ වෙලාවේ කරන්න පුළුවන්කම තිබුනේ එයාගේ බය නැති වෙනකල් එයා එක්ක කතා කර කර ඉන්න එක විතරයි. ඊළඟ ප්‍රශ්නේ ෆෝන් එකේ සල්ලි. ඒ දවස් වල අපි දෙන්න ළඟ තිබුනේ ඩයලොග් ප්‍රී පේඩ් සිම් දෙකක්. My 5 ඇක්ටිව් කරලා තිබුන නිසා විනාඩියකට රුපියල් 2ක් යන්නේ. නැත්තන් රුපියල් 4ක් ද කොහෙද. මගේ ෆෝන් එකේ ලොකු ගානක් තිබුනේ නෑ. එයාගේ එකෙත් වැඩිය සල්ලි තිබුනේ නෑ. කොහොමහරි ඕන වුනොත් බෝඩිමට කෝල් එකක් දෙන්න මගේ එකේ සල්ලි තියෙන්නත් ඕන, මොනවා හරි වුනොත් මට කියන්න එයාගේ එකෙත් සල්ලි ඉතුරු කරගන්නත් ඕන. ඒ පාර මම අපේ බෝඩිමේ තිබුන ඔක්කොම ෆෝන් ටික අරගෙන ආව. ඔක්කොම කිව්වට ෆෝන් තිබුනේ මහිමයටයි තව දෙන්නෙකුටයි විතර. ඒ ඔක්කොගේම සල්ලි ඉවර වෙනකල් කතා කළා. එක දිගටම කතා කලේ නෑ. විටින් විට කතා කලේ සල්ලි ඉවර වෙන නිසා. කොහොම හරි ඒ ෆෝන් ටිකෙන් සැලකිය යුතු වෙලාවක් ඇද්ද.

මං ගැනම දුකයි මේවා මතක් වෙනකොට. මම ඊට පස්සේ ඩයලොග් එකට කෝල් එකක් ගත්තා. "මට පොඩි හදිස්සියක්, මට දැනට ෆෝන් එක රීචාර්ජ් කරගන්න ක්‍රමයක් තියනවද? මම පස්සේ ගෙවන්නම්" කියලා ඇහුවා. ඒ යකා කියනවා "ඔව් මහත්මයාට උදව් කරන්න පුළුවන්, මහත්මයාට තියෙන්නේ ලඟම තියන වෙළඳ සැලෙන් රීචාර්ජ් කාඩ් පතක් මිලදී ගෙන ඒකෙ තියන අංකය ඇතුලත් කරගෙන රීචාර්ජ් කරගන්න පමණයි" කියලා. මට ඉතින් අරූව බිම දාල බෙල්ල පාගල මරන්න තරම් තරහයි. මම ඇහුවා, "ඒක මම දන්නවා, මට මේ වෙලාවේ කාඩ් එකක් ගන්න විදියක් නෑ, වෙන කිසිම ක්‍රමයක් නැද්ද?" කියලා. මිනිහ කිව්වා වෙන කරන්න දෙයක් නෑ කියලා. මොනව කරන්නද ඉතින්? ඒ දවස් වල ලෝන් තිබුනෙත් නෑ නෙ. හැබැයි ටවුන් එකට ගියා නම් මට කාඩ් එකක් අරන් එන්න තිබුනා. බෝඩිමේ ඉඳල ටවුන් එකට කි.මි. 4 ක් විතර තිබුනේ. ටවුන් ඒකෙ නයිට් කඩ දෙක තුනක්ම තිබුනා. සයිකලෙත් තිබුනා, ඕන නම් අපේ එකෙක් ඇහැරවගෙන එක්ක යන්නත් තිබුනා. කොහොමහරි මට ඒක ඒ වෙලාවේ මතක් වුනේ නෑ.

ඊට පස්සේ මම ආයෙත් එයාට කෝල් එකක් ගත්තා. මම කිව්වා "රීචාර්ජ් කරගන්න විදියක් නෑ. එක දිගට කතා කරන්න එපා, සැරින් සැරේ ටික ටික කතා කරන්න. ෆෝන් එක අතේම තියාගන්න. මොනව හරි වුනොත් ටක් ගාල මට කෝල් කරන්න" කියලා. ඔය විදියට ගොඩක් වෙලාවක් කෝල් කර කර මිස් කෝල් දිදී හිටියා. අර මිනිහා ඇහැරගෙන හිටියත් කතා කරන සද්දේ, කෝල් කරන සද්දේ ඇහෙනකොට ආයෙත් එන්න හිතන්නේ නෑ නේ. කොහොමහරි ෆෝන් එකේ කීයක්‌ හරි ඉතුරු කරගන්න කිව්වට එයා මට කතා කරලා කතා කරලම සල්ලි ටික ඉවර කරගත්තා. දැන් මගේ එකෙත් තව පොඩි ගානයි තියෙන්නේ. මාත් ටික ටික කතා කර කර 4 විතර වෙනකල් කතා කළා. 4ට විතර මගේ එකෙත් සල්ලි ඉවරම වුනා. දැන් නම් එච්චර බයක් නෑ හැබැයි. ඔච්චර වෙලාවක් ගිහින් ඒ මිනිහ ආයෙත් එන එකක් නෑ කියල මට හිතුනා. මම කිව්වා කාමරේ ලයිට් එක දාලම තියන්න, පොඩ්ඩක් වත් නිදා ගන්න එපා කියලා. ඊට පස්සේ මම ඇඳේ වාඩි වෙලා බිත්තියට හේත්තු වෙලා හිටියා. මම එහෙම ගොඩක් වෙලා හිටියා. මට ඉතින් වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. ඊට පස්සේ මම ෆෝන් එකේ එලාම් එකත් තියාගෙන හාන්සි වුනා. 

උදෙන්ම එලාම් එකට ඇහැරිලා දුවගෙන ගිහින් එහා පැත්තේ කඩෙන් කාඩ් එකක් දාගෙන එයාට කෝල් කළා. බුදු සරණින් එයාට කිසි කරදරයක් වෙලා තිබුනේ නෑ. එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.  එයා එලි වෙනකල්ම ඇඳේ වාඩි වෙලා ඉඳල. එයා ඇන්ටිට මුකුත් කියන්න ගිහින් නෑ, වෙනද වගේ ලේස්ති වෙලා ඉස්කෝලේ ගියා. යන්න කලින් අම්මට කෝල් කරලා ඔක්කොම විස්තරේ කියලා. එයා ඒ වෙලාවේ කියල නැත්තේ අම්ම බය වෙයි කියලා. ඇත්ත ඉතින්, ඒ වෙලාවේ අම්මට කෝල් කළා නම් අම්මට බයටම මොනව හරි වෙනවා. එයාගේ අම්ම හිටියේ ගොඩාක් දුර. එයා හවස ඉස්කෝලේ ඇරිලා එහෙමම යාලුවෙක්ගෙ ගෙදර ගියා. පස්සේ අම්ම ඇවිත් අර බෝඩිමට ගිහින් එයාගේ බඩු ටික අරන් ඇවිල්ලා. අම්මත් ඒ ගැන මුකුත් කියන්න ගිහින් නෑ. බොරුවක් කියල ශේප් වෙලා ඇවිත්.

එදා රෑ එයයි අම්මයි දෙන්නම හිටියේ අර යාළුවගේ ගෙදර. එයාගේ අම්ම මට කතා කරලා නොසෑහෙන්න ස්තූති කළා. එයාගේ අම්ම මගේ ගැන දන්නවා. මම මැසේජ් කරන්න ගත්ත මුල් දවස් වලම එයා අම්මට මං ගැන කියලා තිබුනා. එයාගේ හැම දෙයක්ම අකුරක් නෑරම එයා අම්මට කියනවා. හැබැයි යාලුවෙක් විදියට විතරයි මාව අඳුන්වලා දීල තියෙන්නේ. ඊට පස්සේ එයත් කතා කරලා මට ගොඩාක් දේවල් කිව්වා. කොහොම වුනත් මම එදා එක දෙයක් හරියටම දැනගත්තා. ඒ මම එයාට කොච්චර ආදරේ කළාද කියන එක. මට ඒ වෙලාවේ ඇති වුන බයේ හැටියට මම තේරුම් ගත්තා මම එයාට කොච්චර ආදරේ කළාද කියලා. එයා ඉස්කෝලේ ගිහින් එයාගේ හොඳම යාළුවො දෙන්නටත් විස්තරේ කියලා. එයා මට කිව්වා යාළුවො දෙන්න මට තෑන්ක්ස් කළා කියලා. මම ලොවෙත් නැති ටෝකක් ඒ වෙලාවේ දුන්නේ. මම කිව්වා, "එයාල මට තෑන්ක්ස් කරන්නේ මොකටද? මම පරෙස්සම් කර ගත්තේ මගේ දෙයක් නේ" කියලා.:P කොහොමද මගේ ටෝක්ස්? අයියෝ සංසාරේ කිව්වලු! මගේ දෙයක් කිව්වට ඉතින් කලින් කිව්වා වගේ 'යාළුකම' කියන නම තමයි ඒ වෙනකොටත් අපේ සම්බන්දෙට තිබුනේ. ඒ වුනාට ඉතින් ඔහොම කතා තමයි යන්නේ. 

මට එයාගේ අම්මත් එක්ක පුදුම තරහක් ආවේ කාමරේට දොරක් වත් නැති බෝඩිමක එයාව නැවැත්තුවා කියලා. අනිත් එක මට පුදුම අර මිනිහා ගෑනිත් ගෙදර ඉන්න වෙලාවේ එහෙම දෙයක් කරන්න හදපු එක. පුදුමාකාර අසහනයක් තියෙන්න ඇත්තේ. නැත්තන් ඉතින් ඔහොම දෙයක් කරාවිද. අපේ ලොකු අම්මගේ දුව හිටපු බෝඩිමකත් ටිකක් විතර ඔය වගේ වැඩක් වුනා. අක්කලා කාමරේ ඉන්න වෙලාවේ ඒ ගෙදර මිනිහා දොර රෙද්ද අතරින් බලාගෙන ඉඳල. අක්කල දැකල කෑගහලා.    

ඉතින් අක්කලා, නංගිලාට කියන්න තියෙන්නේ, කොයිතරම් විස්වාසවන්ත තැනක වුනත් කාමරේට ලොක් කරන්න පුළුවන් දොරක් නැති තැනක නම් නවතින්න එපා. අම්මල තාත්තලා වුනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන ගෑනු ළමයෙක්ව බෝඩ් කරද්දී. පොඩි වෙලාවක් ඇති ආයෙත් හදන්න බැරි තරම් වැරද්දක් වෙන්න. 

Thursday, December 15, 2011

අම්මෝ 50 යි


ඔන්න ඉතින් අද කසුන්ට, ඒ කිව්වේ මට, ගොඩක් සතුටු සහ වැදගත් දවසක්. මම දැන් මේ ලේස්ති වෙන්නේ මගේ 50 වෙනි පෝස්ටුව කොටන්න. හ්ම්ම් කොහොමද පටන් ගන්නේ? මම 50 වෙනි පෝස්ට් ඒකෙ ලියන්න ඕන දේවල් 44, 45 වගේ පෝස්ට් වල ඉඳලම හිත හිත හිටියේ. දැන් මට ඒ ටික ගලප ගන්න බෑ.:) ඉතින් මේ කියන්න හදන්නේ මම ආපු ගමන ගැන සහ ඒ ගමනේදී මට දැනුන දේවල්. මේ කියන දේවල් මේලෝකේ රහක් නැති වෙයිද මන්ද. එහෙම නොවෙන විදියට ලියන්න උපරිම උත්සාහ ගන්නම්.

මීට මාස නමයකට කලින්, ඒ කිව්වේ 2011 මාර්තු මාසේ තමයි මම සිංහල බ්ලොග් ලෝකෙට පය ගැහුවේ. මම බ්ලොග් කියන දේ ගැන මුලින්ම දැනගත්තේ මහිමයාගෙන්. හැබැයි බ්ලොග් එකක් ලියන්න ගන්න කල්ම මම හරියට බ්ලොග් කියවලා තිබුනේ නෑ. මහිම විටින් විටින් විට එවපු සමහර බ්ලොග් පෝස්ට් කියවලා තිබුණා. මට මතකයි ඌ එකපාරක් රත්ගමයා රිච්මන්ඩ් එක ගැන ලියපු කවියක් තියන පෝස්ට් එකක් එවලා තිබුණා. ඔය වගේ ඌ එවපු පෝස්ට් දෙක තුනක් කියවලා තිබුණා ඇරෙන්න මම හරියට බ්ලොග් එකක් කියවන්නවත් දැනගෙන හිටියේ නෑ. මහිමය මට බ්ලොග් කියවපන් කියලා කීප වතාවක්ම කිව්වත් මට කියවීමට තියන අඩු ආසාව නිසා මම ඌ කියපු දේ ඇහුවේ නෑ. හැබැයි එක්තරා හේතුවක් නිසා මට පස්සේ කාලෙක බ්ලොග් එකක් ලියන්න වුවමනාවක් ඇති වුනා.

හැබැයි ඒ වුවමනාව එච්චරම ලස්සන එකක් නම් නෙමෙයි. මම මේ දේ මීට කලින් එකම එක තැනක කමෙන්ට් එකක කියලා තියනවා. 2010 අවුරුද්දේ මැද විතර ඉඳලා මට 'Internet Money' පිස්සුවක් ගහලා තිබුනේ. මම පිස්සුවෙන් වගේ Ad ක්ලික් කර කර, Offers කම්ප්ලීට් කර කර හිටියේ ඒ කාලේ. ඔය අතරේ මට දැනගන්න ලැබුනා තමන්ගේම සයිට් එකක් තියනවා නම් ඒකෙ AdSense වගේ ඇඩ් දාල ඒකෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා. බ්ලොග් වලත් ඒ විදියට ඇඩ් දාල සල්ලි හොයන්න පුළුවන් කියලා මට කවුරුහරි කිව්වා. මම ඊට පස්සේ මහිමයගෙනුත් ඇහුවා සීන් එක. මිනිහත් හරියටම දැනගෙන හිටියේ නැති වුනාට එහෙම පුළුවන් කියලා මිනිහත් කිව්වා. ඊට පස්සේ මම උගෙන් බෙසික් ටික අහගෙන බ්ලොග් එකක් හදාගත්තා. මම ඔය වැඩේ පටන් ගන්නකොටම මිනිහා කිව්වා, "ඔන්න බලපන් උඹ ඔය ඇඩ් දාන්න ඕක පටන් ගත්තට ටික දවසක් යනකොට උඹට ඇඩ් අමතක වෙලා උඹ බොක්කෙන්ම බ්ලොග් එක ලියාවි" කියලා. මම එදා ඒ කතාව එච්චර ගනන් ගත්තේ නෑ. අපරාදේ කියන්න බෑ, පෝස්ට් 5ක් 6ක් විතර යනකොට ඌ කියපු දේ එහෙමම වුනා. කමෙන්ට් එක දෙක වැටෙනකොට, ෆලෝවර්සලා එක්කෙනා දෙන්නා එකතු වෙනකොට, දැකලවත් නැති පිරිසක් එක්ක බැඳීමක් ඇති වෙනකොට ඇඩ් කොහෙන් ගියාද දන්නේ නෑ. ඊට පස්සේ ඉතින් මම මගේ උපරිමයෙන්ම, බොක්කෙන්ම මේ බ්ලොග් එක ලියන්න ගත්තා. ආයේ ජීවිතේට ඇඩ් ගැන මතක් වුනේ වත් නෑ. ගොඩක් දෙනෙක්ට වෙනවා වගේ මගේ බ්ලොග් එක මගේ ජීවිතේම කොටසක් වුනා.

බ්ලොග් එකක් හදන්න ගත්තම මුලින්ම ආපු ප්‍රශ්නේ තමයි, බ්ලොග් එකට දාන නම සහ මගේ අන්වර්ථ නාමය මොකක්ද කියන එක. ඇත්ත විස්තර දාල ඇත්ත නමින් ලියන්න මම කැමති නෑ. එතකොට නිදහසේ හිතේ තියන දේවල් කියාගන්න බැරි වෙනවා. ඔහොම කල්පනා කරනකොට මට මතක් වුනා බොහොම හුරු පුරුදු නමක්, 'කසුන්'. කසුන් කියලා අපේ ඉස්කෝලේ කොල්ලෙක් හිටියා. අපේ සෙට් එක දෙපාරක් තුන් පාරක් විතර උගේ තාත්තව මරලා තියනවා. අපේ කාටහරි කොහේහරි හොර ගමනක් යන්න ඕන වුන ගමන් උන්ගේ තාත්ත නැති වෙනවා. අපේ සෙට් එකේ දෙතුන් දෙනෙක්ගේම ගෙවල් වලට විවිධ අවස්ථා වල ඔය බොරුව කියලා තියනවා. කොහොමහරි මට ඒ වෙලාවේ ඒ නම දාන්න ඕන කියලා හිතුනා. ඊට පස්සේ බ්ලොගේට 'කසුන්ට හිතෙන හැටි' කියලා නම වැටුනා.

2011 මාර්තු 14 වෙනිදා 'මට තේරෙන්නැති ආදරේ' කියන ලිපියෙන් තමයි මගේ බ්ලොග් ලිවිල්ල ආරම්භ වුනේ. මාස නමයක්ම ගියා පෝස්ට් 50 දාන්න. මම ඇත්තටම මාර කම්මැලියි. බ්ලොග් ලිවිල්ලටත් ඒක එහෙමම බලපෑවා. පහුගිය මැයි මාසේ එකම එක පෝස්ට් එකයි දාල තියෙන්නේ. අනිත් එක මට ලියන්න ගියාම මාර වෙලාවක් යනවා ලියන ටික ගැට ගහගන්න. මොකද මගේ ලිවීමේ හැකියාව එච්චර හොඳ නෑ. ඒ හේතු නිසා තමයි මම ගොඩක් හෙමින් ලියන්නේ. මගේ බ්ලොග් කියවිල්ලත් එහෙමම තමයි.  මගේ බ්ලොග් රෝල් එකේ තියන බ්ලොග් ටික නම් ඉඩක් තියන හැම දවසකම වගේ කියවනවා. සමහර වෙලාවට ඒවා වත් කියවන්න වෙන්නේ නෑ. හැබැයි සින්ඩියකට ගිහින් බ්ලොග් කියවන්නේ ගොඩක් අඩුවෙන්. කලින් කිව්වා වගේ කම්මැලි කම නිසා තමයි එහෙම වෙන්නේ. 

මම දෙවනි පෝස්ට් එකත් දාල තමයි හරියට බ්ලොග් කියවන්න ගත්තේ. මම මුලින්ම කියෙව්වේ රත්ගමයාගේ බ්ලොග් එකයි, නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි කියන බ්ලොග් එකයි. දෙකම ඕපන් කරගෙන මාරුවෙන් මාරුවට දෙකම කියෙව්වා. සමහර ඒවාට කමෙන්ට්නුත් දැම්මා. එදා වැඩේ හොඳටම නැගලා ගියා. ගොඩක්ම රෑ වෙනකල් ඒ දෙක කියෙව්වා. හැබැයි නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි කියන බ්ලොග් එක ලියන එක ඒ වෙනකොටත් එයා නවත්තලා තිබිලා තියෙන්නේ. නවත්තලා ටික දවසකින් තමයි මම ඒ පැත්තේ ගිහින් තියෙන්නේ.:(

මම ටික කාලෙකට පස්සේ ලාස්ට් රෝ එකටත් ලියන්න ගත්තා. ඒකට නම් තාම පෝස්ට් තුනයි හරි හතරයි හරි ලියලා තියෙන්නේ. මම මුලින්ම සින්ඩියකට කියලා ඇප්ලයි කලේ SBU එකට. ඒත් ඒකෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. ඊට පස්සේ තමයි ලාංකීය සිතුවිලි වලට මගේ බ්ලොග් එක දැම්මේ. ඊට පස්සේ නම් තියන තරමක් සින්ඩි වලට මම ඇප්ලයි කළා.:) මධුරංගයත් මට සින්ඩි දෙක තුනකම ලින්ක් එව්වා. ඔය දකුණු පැත්තේ තීරුවේ පහලම තියෙන්නේ මාව ඇතුලත් කරගත්ත සින්ඩි. තව ඔතන 'කොත්තු', 'සින්ඩිය', 'අඹ ගහ යට' කියන ඒවා නෑ. ඒ සින්ඩි වල බැනර් කෝඩ් හොයා ගන්න බැරිවුනා. ටික කාලයක් ගිහින් මම බ්ලොග් එකට ෆේස්බුක් එකවුන්ට් එකකුත් හදාගත්තා. ගොඩක් අයගේ එහෙම තියනවා දැකලයි මටත් ආස හිතුනේ. මධුරංගයා තමයි මාව මුලින්ම 'බ්ලොග් අවකාශයේ මිතුරෝ' කියන ගෲප් එකට ඇඩ් කලේ. ඇත්තටම මධුරංගය මුල ඉඳලම ගොඩක්ම ලොකු සහයෝගයක් දුන්නා මගේ ගමනට. මගේ දෙවනි පෝස්ට් එකේ ඉඳලම ඌ මාත් එක්ක හිටියා. ඊට පස්සේ 'ශ්‍රී ලාංකික බ්ලොග්කරුවන්ගේ එකතුව' හා 'I Am a Blog Reader මම බ්ලොග් කියවන්නෙක්මි' කියන ගෲප් වලටත් එකතු වුනා.

පොඩි සාර්ථකත්වයක් තිබුනට මම හිතපු තරම් තැනකට එන්න නම් මට බැරි වුනා. මුල් කාලේ මට හිතුනා මෙච්චර කාලෙකදී මෙච්චර තැනකට එන්න පුළුවන් කියලා. ඒත් ඒක එහෙම වුනේ නෑ.:) ගොඩක් දෙනෙක් වගේ මාත් කමෙන්ට් වලට, ෆලෝවර්ස්ලට නම් මාරම පෙරේතයි. මොකද කමෙන්ට් එකක්, ෆලෝවර් කෙනෙක් තමයි අපිට තව තවත් ඉස්සරහට යන්න තල්ලුව දෙන්නේ. කමෙන්ට් එකකින් ලැබෙන සතුට ගැන බ්ලොග් ලියන අයට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. පෝස්ට් එකක් දාපු දවසට, විසි වතාවක් විතර වත් ගිහින් බලනවා කමෙන්ට් වැටිලා තියෙන්නේ මොනවද කියලා. කමෙන්ට් වැටෙනකල් මේල් එක පැත්තක ඕපන් කරගෙන තියාගෙන ඉන්න වෙලාවලුත් තියනවා.:) හැබැයි එහෙමයි කියලා කමෙන්ට් දාන්න, ෆලෝ කරන්න කියලා මම කොහේදිවත් කාටවත් කියලා නම් නෑ. 'කසුන්ට හිතෙන හැටි' ලේබල් එකෙන් ලියපු පෝස්ට් වල අන්තිමට "කියවන අයගේ අදහසුත් දැනගන්න පුළුවන් නම් කැමතියි" කියලා ලියලා තියනවා. අනිත් අයගේ අදහසුත් එක්ක හොඳ සංවාදයක් ගොඩනගන්න පුළුවන් වෙන නිසයි එහෙම කිව්වේ. තව මම කියපු ප්‍රබන්ධයක මම ලිව්වා "අඩුපාඩු තියනවා නම් කියලා යන්න" කියලා. ඒ ඇරෙන්න කවදාවත් කමෙන්ට් කරන්න, ෆලෝ කරන්න කියලා බල කරලා නෑ. හිට්ස් වලටත් ටිකක් ආසයි, හැබැයි අර දෙක තරමටම නෑ.  

මේ වෙනකොට කමෙන්ට් 966 ක් වැටිලා තියනවා. (මගේ ඒවත් එක්ක.) ඒක නම් බොහොම පොඩි ඉලක්කමක්. හිට්ස්  22516 ක් තියනවා මේක පබ්ලිෂ් කරන මොහොත වෙනකොට. ඒ අතරේ නම් මගේම හිට්ස් ටිකකුත් තියනවා. මුල්ම කාලේ මම දැනගෙන හිටියේ නෑ තමන්ගේ හිට්ස් කවුන්ට් නොවෙන්න හදන්න පුළුවන් කියලා. ටික දවසකින් තමා මම ඒ ඔප්ශන් එක දැකලා මගේ හිට්ස් කවුන්ට් වෙන්නේ නැති වෙන්න හැදුවේ. හිට් කවුන්ටර් එකකුයි කමෙන්ට් කවුන්ටර් එකකුයි මේ පෝස්ට් එක වෙනුවෙන්ම දැම්මා. නැත්තන් කවුරුහරි හිතුවොත් මූ බොරු කියන්නේ කියලා.:) (කමෙන්ට් කවුන්ටර් එකේ කෝඩ් එක ඉල්ලගත්තේ මකුළු පැංචිගෙන්.) ෆොලෝවර්සලා 130 ක් අද වෙනකොට මාත් එක්ක ඉන්නවා. ෆලෝවර්සලා ගැන කියනකොට මට මතක් වෙන්නේ, 90 ඉඳල 100 යන්න විඳපු දුක.:( අයියෝ සංසාරේ කිව්වලු. පෝස්ට් බර ගානක් ගියා 90 ඉඳලා 100 ට එන්න. සිරාවටම මම වෙන ප්‍රොෆයිල් එකකින් චෙක් කරලා බැලුවා ෆලෝ බට්න් එක කැඩිලාවත්ද කියලා.:D

හැම කමෙන්ට් එකටම මම හැමතිස්සෙම පුද්ගලිකව උත්තර දුන්නා. ගොඩක් පරණ පෝස්ට් වලට දාපු  සමහර කමෙන්ට් වලට නම් උත්තර දෙන්න බැරි වුනා. මම කමෙන්ට් වලට රිප්ලයි කරනවා වගේම මම දාපු කමෙන්ට් වලටත් දාන රිප්ලයි බලාගන්නත් මම ගොඩක් ආසයි. සමහර කමෙන්ට් වලට රිප්ලයි දානකල් දහ පහළොස් වතාවක් විතර ගිහින් බලපු වෙලාවලුත් තියනවා.:) ෆලෝ කරපු බ්ලොග් එකක් නෙමෙයි නම් සමහර වෙලාවට ඒ පෝස්ට් එක bookmark වලට දාගන්නවා පස්සේ රිප්ලයි එක බලාගන්න. හැබැයි අනිත් හැමෝටම කමෙන්ට් වලට රිප්ලයි කරලා මට විතරක් රිප්ලයි නැති වුන වෙලාවලුත් තිබුණා.:( මට මතක විදියට හය වතාවක් විතර එහෙම වුනා. ඒ දෙකක්ම මාළු අයියාගේ. මම ඕව මතක තියාගෙන ඉන්නේ.:D එක පාරක් සහෝදරියෙක්ගේ බ්ලොග් එකක එයාගේ පෙම්වතා එක්ක ප්‍රශ්නයක් වෙලා ඒ දුකට දාපු පෝස්ට් එකක් තිබුණා. මම එකට හිතල හිතල දිගම දිග කමෙන්ට් එකක් දැම්මා. අන්තිමට ඒකෙ මට ඇරෙන්න අනිත් හැම කමෙන්ට් එකටම රිප්ලයි කරලා තිබුණා. එච්චර දිග එකක් දැක්කේ නෑ වෙන්න නම් බෑ. හේතුව නම් මොකද කියල දන්නේ නෑ. කොහොමහරි මට ඒකට නම් හොඳටම අප්සට්. ඒ පාර මම ඒ කමෙන්ට් එකත් අයින් කරලා, ඒ බ්ලොග් එක මගේ බ්ලොග් රෝල් එකෙනුත් අයින් කරලා, ෆලෝ කරන එකත් නවත්තලා දැම්මා. මට එච්චරට අවුල් එයා ඒ කරපු වැඩේට.

බ්ලොග් ලිවිල්ලේදී මම ඉගෙන ගත්ත දෙයක් තමයි මොන දේ වුනත්, මම හරියි කියල පිළිගන්න මතය වෙනුවෙන් පෙනී සිටින්න ඕන කියන දේ සහ බය නැතුව ඒ දේ කියන්න ඕන කියන දේ. මම ඒ දේ වැඩියෙන්ම ඉගෙන ගත්තේ මාරයියගේ පෝස්ට් වලින්. මම කොහොමටත් ඉස්සර ඉඳලම ඇත්ත ජීවිතේදීත් ටිකක් විතර ඒ වගේ තමයි. ඇත්ත ජීවිතේදී ගොඩක් දෙනෙක් මට වැඩිය කැමතිත් නැත්තේ ඒ නිසාමද මන්ද. හැබැයි මෙතනදී නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඊටත් වඩා ලේසියි. ඒ නිසා පසු කාලීනව පෝස්ට් එකක හෝ කමෙන්ට් එකක වැරදි අදහසක් (මට තේරෙන විදියට) දැක්කොත් ඒක වැරදියි කියල කියන්න පුරුදු වුනා. හැබැයි පුළුවන් තරම් ඒ කෙනාට තරහ යන්නේ නැති වෙන්න, හිත රිදෙන්නේ නැති වෙන්න ඒක කියන්න මම උත්සාහ කළා. ඒක නිසා එකම එක වෙලාවකදී ඇරෙන්න එහෙම කියලා ප්‍රශ්නයක්, රණ්ඩුවක් ඇති වෙලා නෑ. එක පාරක් නම් එහෙම දෙයක් කියලා ලොකු වාදයක් ඇති වුනා. හැමෝටම මතක ඇතිනේ චැනල් 4 වීඩියෝ එක. ඒ කතාව යන කාලේ මම දැක්කා එක්තරා පෝස්ට් එකක්, ඒකෙ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා හමුදාව වැරදි කාරයෝ කරලා තිබුනේ. එතනදී නම් ලොකු කතාවක් ගියා. මම විතරක් නෙමෙයි, තව කීප දෙනෙක්ම ඒකට විරුද්ධව කතා කළා. ඒ ඇරෙන්න එහෙම රණ්ඩු වෙලා නම් නෑ මට මතක විදියට. හැබැයි එහෙම කියපු සමහර දේවල් නිසා ලඟින් හිටපු සමහර අය ටිකක් ඈත් වුනාද කියලත් හිතෙනවා.

බ්ලොග් කෙරුවාවෙන් ලැබුන වැදගත්ම දේ තමයි බොහොම සුන්දර අදහස් තියන පිරිසක් ආශ්‍රය කරන්න ලැබුන එක. ජීවිතේට දැකලා නැති අය වුනත් (තාම බ්ලොග් ලියන කාවවත් මුණගැහෙන්න ලැබිලා නෑ.), මේ කෙරෙන ගනුදෙනුව හරිම සුන්දරයි. දැකලවත් නැති අයත් එක්ක මෙච්චර බැඳීමක් ඇති වෙන්නේ කොහොමද කියලත් වෙලාවකට පුදුමයි. දුකකදී හිත හදන්න, ප්‍රශ්නයකදී ඒක විසඳගන්න උදව් වෙන්න, සතුටකදී ඒ සතුට බෙදාගන්න හොඳ යාළුවො ටිකක් මෙතන ඉන්නවා. මේ වර්චුවල් ලෝකෙන් එහාට ඒ යාළුකම ගෙනියන්න නම් තාම අවස්තාවක් ලැබිලා නෑ. ඒත් අනිවාර්යෙන්ම ඒ දේ ඉදිරියේදී වේවි. මම දකින විදියට බ්ලොග් එකක් ලියන්න පෙළඹෙන්නේ සංවේදී, සියුම් හැඟීම් තියන, ආදරණීය මිනිස්සු. හැබැයි සාමාන්‍ය සමාජය වගේම මෙතනත් විවිධාකාර මත දරන අය ඉන්නවා. මොකද ඉතින් බ්ලොගස්ර්ල කියන්නෙත් මිනිස්සුනේ. ඒ නිසා සුන්දර අදහස් තියන මිනිස්සු අතරේ අමුතු අමුතු ජාතියේ අයත් ඉන්නවා. බොරුවට රැඩිකල් වෙන්න හදන අය, පොර ටෝක්ස් දෙන අයත් මේ අතරේ මම දැකලා තියනවා. තමන් උයන්න දන්නේ නෑ කියන එක මහ ලොකු කමක් වගේ කියන සමහර කෙල්ලෝ, හැම දේකම වැරැද්දක් හොයන්න ඉන්න කොල්ලෝ, එකී මෙකී නොකී හැම ජාතියකම අය මෙතන ඉන්නවා. එක අතකට එහෙම විවිධත්වයක් තියන එකත් හොඳයි. එතකොට තමයි අර 90% විතර සුන්දර මිනිස්සුන්ගේ අගය වැඩි වැඩියෙන් තේරෙන්නේ.

දැන් ඔය උඩ කියල තියන සහ එතන කියවිලා නැති වැරදි, දුර්වලකම් සමහරවිට මගේ බ්ලොග් එකෙත් ඇති. ඒව මට තේරෙන්නේ නෑ නේ. ඒවා තේරෙන්නේ අනිත් අයට නේ.:) මම පුළුවන් තරම් උත්සහ කරනවා ඒ වගේ දේවල් ඇති නොවෙන්න ලියන්න. ඒත් ඉතින් මගේ අතිනුත් වැරදි වෙන්න පුළුවන් නේ. මාත් අර කිව්වා වගේ මනුස්සයෙක් නේ.

මගේ  සමහර පෝස්ට් තිබුනා මමම ගොඩක් රසවිඳපු. ඕනෑම  නිර්මාණයක් හොඳටම රස විඳින්න පුළුවන් ඒක කරපු කෙනාට කියනවනේ. ඒක ඇත්ත කියලා මට තේරුනේ බ්ලොග් කෙරුවාවෙන්. මෙහෙමනේ, මම දෙයක් ලියන්නේ මට හොඳයි කියල හිතෙන විදියට නේ. එතකොට ආයෙත් වතාවක් මමම ඒ දේවල් කියවනකොට ඒ ලියල තියන දේවල් හොඳයි කියලාම තමයි මට හිතෙන්නේ. අනිත් එක තමන්ට තමන්ගේ දේක වැරදි පේනවත් අඩුයි නේ. ඒ නිසා මම මගේ සමහර පෝස්ට් වලට ගොඩක් ආසයි. හැබැයි වෙන කෙනෙක්ට ඒවායේ ගොඩක් වැරදි අඩුපාඩු පේන්න පුළුවන්. මම ලියපු පෝස්ට් වලින් මම වැඩියෙන්ම විඳලා තියෙන්නේ 'දැන් නැගිටින්න වස්තුවේ, පරක්කු වෙලා' කියන පෝස්ට් එක. මේ ලඟදි මහිමයා නම් කිව්වා ඒක නිකන් 'කම්මුලේ හොටු' ටයිප් එකේ කතාවක් කියලා.:( ඒක එහෙම වෙන්න ඇති, ඒ වුනාට මම නම් ඒකට මාර ආසයි. ඒක කියවන වාරයක් පාසා මට හිතෙන්නේ ඒකෙ ඉන්න කොල්ල මම වුනානම් කියලා.:) 

ඉතින් මේ ගමන මේ විදියට එන්න මට ශක්තිය ධෛර්ය දුන්නේ කියවන ඔයගොල්ලෝ. ඒ ශක්තිය ධෛර්යය මට නොලැබෙන්න, මගේ අනිත් ගොඩක් වැඩ වගේ මේකත් අතරමැද නවතින්න තිබුනා. මුලින්ම මහිමයට ස්තූති කරන්න ඕන බ්ලොග් කියන්නේ මොකක්ද කියන එක මට කියලා දීල බ්ලොග් එකක් අටවගන්න හැටි කියල දුන්නට. ඌ නැත්තන් මම බ්ලොග් කියන දේ අදටත් දන්නේ නෑ. එහෙම වුනානම් මේ සුන්දර ඇසුර මට කවදාවත් නොලැබෙන්න තිබුනා. ඊළඟට මගේ පෝස්ට් වලට කමෙන්ට් දාල මාව දිරිමත් කරපු, අඩු පාඩු කියා දීපු, අදහස් බෙදා ගත්තු හැමෝටමත් ගොඩාක් ස්තූතියි. ඒ වගේම මගේ බ්ලොගේ ෆලෝ කරලා මාව දිරිමත් කරපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි. කමෙන්ට් නොකලත්, ෆලෝ නොකලත් මගේ පෝස්ට් බලපු හැමෝටමත් ස්තූතියි. ඇත්තටම මම හිතාගෙන හිටියේ නම් වශයෙන්ම මේ ස්තුතිය කරන්න. මොකද මට මෙතන අනිවාර්යෙන්ම කියාගන්න ඕන වුනු නම් ගොඩක් තියනවා. ඒ අය ගැන සඳහන් කරන්න මට ලොකු වුවමනාවක් තියනවා. ඒත් එහෙම කියන්න ගිහින් හදිස්සියේ හරි නමක් දෙකක් මග ඇරුනොත් ඒක ඊට හරි නෑ නේ. ඒ නිසා අකමැත්තෙන් හරි නම් වශයෙන් ස්තූති නොකර පොදුවේ ස්තූති කරනවා කියල හිත හදාගත්තා. ඒ වගේම සින්ඩි පවත්වාගෙන යන අයටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. මම ලියපු දේවල් කියවන අය අතරට ගෙනියන්න සින්ඩි වලින් ලැබුන සහයෝගය ගොඩක්ම මට වටිනවා. ඒ අයගේ සහයෝගය නැත්තන් ඉතින් අපිම ලියල අපිටම තමයි මේවා කියවන්න වෙන්නේ. ඒ හැමෝටමත් ගොඩක් ස්තුතියි. 

මෙච්චර කාලෙකට මම මොනවා හරි වැරදි දෙයක් ලියලා තියනවා නම් ඒකට සමාවෙන්න. ඒ වගේම පෝස්ට් එකක හෝ කමෙන්ට් එකක මම ලියපු දෙයකින් කාගේ හරි හිත රිදුනා නම් ඒකටත් මම සමාව ඉල්ලනවා. 

දැන් නම් මේක දිග වැඩියි වගේ නේද. හිතේ තියන ඔක්කොම ලිව්වා ඒකයි. ඉතින් මම කලින් කිව්වා වගේ මේ ගනුදෙනුව ගොඩක් සුන්දරයි. ඒ නිසාම පුළුවන් තරම් කාලයක් මේ බ්ලොග් ලෝකේ ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. දැන් මේ බ්ලොග් එක මගේ ජීවිතේ නැතුවම බැරි දෙයක් වෙලා. බ්ලොග් අවකාශයත් එක්ක කියාගන්න තේරෙන්නේ නැති අමුතුම බැඳීමක් ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසාම වෙන්න ඇති දැන් මම මගේ ඇත්ත fb එකවුන්ට් එකට යනවට වඩා බ්ලොග් එකට හදාගත්ත fb එකවුන්ට් එකට යන්නේ.:) මේ ගමන මේ තරම් ලස්සන වුනේ ඔය හැමදෙනාම මාත් එක්ක හිටපු නිසා. ඉතින් මෙච්චර කල් හිටියා වගේ ඉදිරියටත් මාත් එක්ක රැඳිලා මට සහයෝගය දේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.


Monday, December 12, 2011

වැදගැම්මකට නැති කුළ භේදයේ තවත් එක බිල්ලක්

මම මේ ආයෙමත් කුළ භේදය ගැන කතා කරන්න හදනවා නෙමෙයි. මම එක පාරක් ඒ ගැන කතා කරලා තියනවා නේ. මම මේ කියන්න හදන්නේ ඒ ප්‍රශ්නේ නිසා බින්දුවටම වැටිලා ඉන්න තවත් දෙන්නෙක් ගැන. ඒ කිව්වේ කුළ නොගැලපීම නිසා අන්ත අසරණ වෙලා ඉන්න තවත් ආදරවන්තයෝ දෙන්නෙක් ගැන. ඒ කොල්ලා මගේ රූමෙක්. කොළඹින් තරමක් ඈත ගමක කොල්ලෙක්. ඒ කෙල්ලගේ ගෙවල් තියෙන්නෙත් ඒ ලඟම. දෙන්නම ගිහින් තියෙන්නේ එකම ඉස්කෝලෙට. ඉතින් ඒ ආදර කතාව පටන් ගන්නේ ඉස්කෝලෙන්. කොහොම හරි කනින් කොනින් ගෙවල් වලට මේ සම්බන්දෙ ආරංචි වෙලා. කෙල්ලගේ ගෙදරින් මේ සම්බන්දෙට සම්පූර්ණයෙන්ම විරුද්ධයි ලු. පරණ කතාවම තමයි, කොල්ලගේ කුළේ මදි ලු. හැබැයි දෙන්න එහෙම කියලා සම්බන්දෙ නවත්තලා නෑ. කවදා හරි කෙල්ලගේ ගෙදර අය තේරුම් ගනීවි කියලා දෙන්නම බලාගෙන ඉඳලා. 

ඒ කොල්ලා කැම්පස් එනකොටත් ඒ ප්‍රශ්නේ එහෙමමයි. දැන් කැම්පස් ඇවිල්ලත් අවුරුදු තුන හමාරක් වෙනවා. තාමත් ඒ කෙල්ලගේ ගෙදර අයගේ තීරණය එක පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ. මට මතකයි ආපු මුල්ම කාලෙත් ඌ කියලා තියනවා, "මේක හරි යන්නේ නෑ බං, මට කවදාවත් ඒකිව ලැබෙන්නේ නෑ" කියලා. කවදා හරි වෙන් වෙන්න වෙනවා කියල දැනගෙන හිටියත් ඒ ආදරේ දශමෙකින් වත් අඩු වුනේ නෑ. දරාගන්න බැරි තරම් බරක් හිතේ තියාගෙන, මුකුත් ප්‍රශ්නයක් නෑ වගේ තමයි උන් දෙන්නා මෙච්චර කල් හිටියේ. කාලයට ඉඩ දීල බලන් ඉන්නවා ඇරෙන්න උන් දෙන්නට වෙන කරන්න දෙයක් තිබුනෙත් නෑ. හැබැයි දැන් තත්ත්වය ගොඩක්ම දරුණු අතට හැරිලා තියෙන්නේ. දැන් ඒ ගෙදර මිනිස්සු ඒ කෙල්ලට දිගට හරහට මංගල යෝජනා ගේනවලු. ගෙවල් දොරවල් බලන්න මේ වෙනකොට කීප දෙනෙක්ම ඇවිල්ලත් තියනවලු. ඒ කෙල්ල අඬ අඬා මුගෙන් අහනවලු "ඔයා ගැන හිතේ තියාගෙන මම කොහොමද වෙන කෙනෙක් ඉස්සරහට බුලත් හෙප්පුවක් අරන් යන්නේ?" කියලා. ඒ කෙල්ල දැන් නිකන් පිස්සුවෙන් වගේලු ඉන්නේ. අපේ එකාට කරගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙලා තියෙන්නේ. 

දැන් ටික ටික අමුතු අමුතු දේවලුත් වෙන්න පටන් අරන්. දෙන්නම සමහර වෙලාවට කෝල් නොකර ඉන්නවා, සමහර වෙලාවට අනිත් කෙනා කෝල් කලාම ආන්සර් නොකර ඉන්නවා. දෙන්නම සමුගැනීමට ලේස්ති වෙනවද මන්දා. මට නම් හිතෙන්නේ එහෙමයි. එහෙම ඉන්න හැදුවට එහෙම ඉන්නත් බෑ. උපරිම දවසක් කතා නොකර ඉඳීවි. ඊට පස්සේ ආයෙත් ඉබේම කතා කෙරෙනවා. කොච්චර කතා කලත් විසඳුමක් හොයා ගන්න දෙන්නටම බෑ. ඌ ඉස්සර නම් කාමරේ ඉඳන්මයි කෝල් ගන්නේ. දැන් නම් ඌ එලියට ගිහින් කෝල් එක අරන් එන්නේ. සමහර විට ඉස්සර වගේ හිනාවෙලා කතා කරන්න බැරි නිසා වෙන්න ඇති.

මට කවදාවත් ඇහිලා නෑ කෝල් කරද්දී ඌ ඒ කෙල්ලට බනිනවා. නෝක්කාඩු නම් කියනවා සෑහෙන්න, ඒ ඇරෙන්න කවදාවත් රණ්ඩු වෙනවා ඇහිලා නෑ. ඇත්තම කියනවානම් කෝල් එකක් ගත්තම ඌත් බඩුව වෙනවා. අනිත් අයත් එක්ක ඉන්නකොට නම් ඌ පොඩ්ඩ ඇත්තන් තරහ යන, පපුවට පිහියෙන් අනින්න වගේ වචන කියන ඩයල් එකක්. ඒ වුනාට ඌ කෙල්ලට නම් මාරම ආදරෙන් කතා කරන්නේ. පහුගිය කාලෙම ඌ කෙල්ලගේ ෆොටෝ ටිකක් ගෙන්නගෙන ඒව එඩිට් කර කර දෙන්න එකට දාල ෆොටෝ හැදුවා. එහෙම හදපු ෆොටෝ 20 ක් විතර තියනවා මම හිතන්නේ. ඇත්ත ජීවිතේ උන් දෙන්නට එකට ඉන්න බැරි නිසා ඌ දෙන්න එකට ඉන්න බොරු ෆොටෝ දිහා බලලා සතුටු වෙනවා. එහෙම ආදරේකට තමයි මේ කණකොකා හඬන්න යන්නේ. 

ඒ කෙල්ල දැන් ගුරුවරියක්. ඒකි පළවෙනි පඩියෙන් ඌට අරන් දීපු බූල් බල්ලා ඉටි කවරෙක දාල තාමත් උගේ ඇඳේ ඔලුව තියන පැත්තේ එල්ලලා තියනවා. ඒ කෙල්ල මූට හැම මාසෙම සල්ලිත් දෙනවා. එකවුන්ට් එකක් ඕපන් කරලා මූට කාඩ් එකක් දීල තියෙන්නේ. කෙල්ල පඩි ගත්තම ඒකට සල්ලි දානවා. හම්බවෙන්න ගියාමත් බලෙන් හරි කීයක්‌ හරි ඇඟේ ගහල එවන්නේ. ඒ තරමටම කෙල්ලෙත් මූට ආදරෙයි. ඒත් ඒකිට ගෙදරට විරුද්ධ වෙන්න තරම් ශක්තියක් නෑ. ඒ කෙල්ල මොනම හේතුවක් නිසාවත් මූව නැති කරගන්න කැමතිත් නෑ. ඌ කියලත් තිබුණා ගෙදර අය කවදාවත් කැමති වෙන්නේ නෑ නේ, ඔයා මාව අමතක කරලා හිත හදාගන්න කියලා. ඒ කෙල්ල කොහොමටවත් ඒකට කැමති නෑ. ඒ කෙල්ල මාරම පීඩනයක් දරාගෙන ඉන්නේ. ඌ සමහර වෙලාවට දරාගන්නම බැරි වුනාම අපිත් එක්ක ඔය ගැන කියනවා. ඌ කියන දෙයක් අහන් ඉන්නවා මිසක් මම නම් උගෙන් මුකුත් අහන්න යන්නේ නෑ. මොකද මට ඒ වෙලාවට කෙලින් උගේ මූණ දිහා බලාගෙන ඉන්න බෑ. සමහර වෙලාවට ඌ ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. දැක්කේ නෑ වගේ ඉන්නවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ. මොකද ඔය ප්‍රශ්නෙට අපිටත් දෙන්න උත්තරයක්‌ නෑ.

දැන් අපි හදන්නේ කරන්න තියන අන්තිම දේත් කරලා බලන්න. ටික කාලෙකට කලින් ඔය ගැන කතා වෙන වෙලාවක මම ඌට කිව්වා ඔය වැඩේ කෙරෙන්නෙම නැත්තන් අපි ගෙදර අයට මොකක් හරි ගුරුකමක් හරි කරමු කියලා, කැමැත්ත ගන්න. ඌ ඒ වෙලාවේ කිව්වා වෙන කරන්නම දෙයක් නැති වුනොත් එහෙම හරි කරමු කියලා. තත්ත්වේ ගොඩක්ම නරක අතට හැරිලා කියල කියපු නිසා මම ලඟදි ඌට ඕක ආයෙත් මතක් කළා. වෙන කරන්නම දෙයක් නැති නිසා ඌත් ඒකට කැමති වුනා. දැන් ඊළඟට කියවන අයට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මම ඔය වගේ දේවල් විශ්වාස කරනවද කියලා. ඒකට මට හරියටම උත්තරයක්‌ දෙන්න බෑ. හැබැයි ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා නේ. ඒ නිසා ඒ දේත් කරලා බලන එකේ වරදක් නෑ නේ. හැබැයි කොච්චර කිව්වත් ඔය වගේ දේවල් සම්පූර්ණයෙන්ම බොරු කියල පැත්තකට කරලා දාන්න බෑ. මොකද ඒ වගේ දේවල් වලින් ලැබුන ප්‍රතිපල මම අහල තියනවා, දැකල තියනවා. වෙන කරන්නම දෙයක් නැති එකේ හරි ගියොත් එහෙමයි, නැත්තන් නෑ කියල ඒකත් කරලම බලනවා. ඒකට තැනක් හොයන වැඩේ මටම තමයි භාර වුනේ. 

කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ වැඩේ එච්චර හරි නැති වැඩක් කියලා. ඒත් මම නම් එහෙම හිතන්නේ නෑ. දෙන්නට දෙන්න කැමතියි, කොල්ලට හොඳ රස්සාවක් අනිවාර්යෙන්ම ලැබෙනවා, වෙන කිසිම අවුලකුත් නෑ. එතකොට කෙල්ලගේ ගෙදර අයට එකම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ කිසි වැඩකට නැති කුළේ නේ. ඒ නිසා ඒ මෝඩ අදහස වෙනස් කරන්න ඒ වගේ දෙයක් කරන එකේ කිසි වැරද්දක් නෑ කියලයි මම නම් හිතන්නේ. කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි කැමති කරවගන්න ඒ වගේ දෙයක් කරනවා නම් ඒක නම් මහම මහ චාටර්ම වැඩක්. මොකද ආදරේ කියන දේ බලෙන් ගන්න බෑ නේ. ඒත් මෙතන ප්‍රශ්නේ ඒක නෙමෙයි නේ. ඒ නිසා ඒකෙ වරදක් මම දකින්නේ නෑ. 

කිසිම වැඩකට නැති විකාර බෙදීමක් නිසා තවත් ජීවිත දෙකක් නාස්ති වෙලා යන්න දෙන්න බෑ. මොන විදියකින් හරි, උන් දෙන්නට දෙන්න අයිති වෙන්න කියන එකයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ. මොකද මම හොඳටම දන්නවා එහෙම නැති වුනාම තියන වේදනාව කොච්චරද කියලා.