කාලෙකින් මේ මොනව හරි කොටන්න කියල ලේස්ති වුනේ. පහුගිය දවස් ටිකේම මේ පැත්තේ එන්න බැරි වුනා විභාගේ නිසා. විභාගේ අස්සෙත් පොඩි නිසදැස් කෑල්ලක් දැම්මා. කොහොමහරි ඔන්න විභාගේ යන්තං ඉවරයි. ඒක ඉවර වුනාට අපේ රිසර්ච් එකේ තව කෑල්ලක් පෙබරවාරි මාසේ මුල දෙන්න තියනවා. දැන් ඉතින් අනිත් පැත්තට ඒකෙ වැඩ පටන් ගන්න ඕන. ඒ වැඩ පටන් ගන්න කලින් මොනවා හරි ලියන්න ඕන කියල හිතුනා. ලියන්න නම් දේවල් ගොඩයි. දැන් මේ කියන්න යන්නේ මීට සති තුනකට විතර කලින් වුන සිද්ධියක් ගැන.එදාම ඒ ගැන ලියන්නත් හදල පස්සේ විභාගේ ඉවර වෙලාම ලියනවා කියල හිතුවා.
ඔන්න ඉතින් විභාගෙට පාඩම් කරන්න පටන් ගන්න කලින් මම දවස් දෙක තුනක් ගෙදර ඉඳල ආවේ. ඒ දවස් වල තමයි මේක වුනේ. දවසක හවස් වෙලාවක මමයි, මහිමයයි, තව එකෙකුයි සුපුරුදු පරිදි අපේ ගෙදර කාඩ් ගහ ගහ හිටියා. අපේ සෙට් එකේ තව එකෙක් ගෙදර ඇවිත් හිටියා. ඒත් එදා ඌට කොහෙත්ම එලියට බහින්න පුළුවන් තත්ත්වයක් තිබුනේ නෑ. මොකද කියනවා නම් ඌ උගේ කෙල්ලව ගෙදර එක්කගෙන ඇවිත්.:) ඉතින් ඌට ඒ සති අන්තේ නිවනක් නෑ කියන එක කියන්න ඕන නෑ නේ.:D උන් දෙන්නත් මාත් එක්කමයි කොළඹ ඉඳල ගියේ. ඉතින් ඒ සති අන්තේ අපි ඌ ගැන තිබුන සියලු බලාපොරොත්තු අතෑරලා තිබුනේ. අර අවාසනාවට, ලැජ්ජ හිතෙන ඇත්ත කතාවක් එකේ කියපු එකා ගැනම තමයි මේ කියන්නේ.;) (අපි ඌට දිමුතු කියලම කියමු) ඉතින් අපි තුන්දෙනා කාඩ් ගහනකොට ලැබෙන තේකත් බීල බොහොම සතුටින් සමාදානයෙන් සෙල්ලම් කර කර හිටියේ. ඒත් වෙන්න යන විනාසේ ගැන කාටවත් කිසිම අදහසක් තිබුනේ නෑ.
අපි ඔහොම සෙල්ලම් කර කර ඉන්නකොට අපිට ඇහුනා කාමරේ පැත්තට කවුරුහරි එනවා. කකුල් වල ඇට කැඩෙන සද්දෙන් අපි දැනගත්තා මේ දිමුතු තමයි එන්නේ කියලා. දොර දිහා බලනකොට දිමුතු ඉන්නවා දොර ලඟට වෙලා. මූණ වත් දකින්න ලැබෙන්නේ නැතිවෙයි කියල හිතපු එකා මෙන්න ඇවිත්. ඌ හෙන ජයග්‍රාහී ලීලාවෙන් අපි දිහා බලාගෙන හිටියේ. කට කොනක පොඩි නොන්ඩි හිනාවකුත් තිබුනා. මට නම් නිකන් වෙන්න යන විනාසේ ගැන නොහිතුනාම නෙමෙයි. මෙන්න මූ එකපාරට කියනවා, "මේ බොලා ෂර්ට් ඇඳගනිල්ලා." කියලා. කාල වරෙන්කො, දැන් නම් හොඳටම ෂුවර් වෙන්න යන්නේ මොකක්ද කියලා. මම ටක් ගාල ටවල් රැක් එකෙන් ටී ෂර්ට් කෑල්ලක් අරන් ඇඳගත්තා. ටවල් රැක් එකේ උඩම හිටියේ වවුලෙක්.:D මම ටක් ගාල ඒක අරගෙන අස්සෙන් ගැහුවා. මට තේරුනා වෙන මුකුත් කරන්න වෙලාව නෑ කියලා. ඊට පස්සේ මම ආයෙත් ඇවිත් වාඩි වුනා.
"එන්න!"
දිමුතු පිටිපස්ස හැරිලා කාටද කතා කළා. ඊට පස්සේ ඌ නිකන් යුද්ධයක් දිනලා ආපහු එන සෙන්පතියෙක් වගේ කාමරේ ඇතුලට ආව. ඔන්න ඉතින් බැබලි බැබලි උගේ පිටිපස්සෙන් උගේ කෙල්ලත් කාමරේට ආව. බල්බ් එකේ අවුලක්ද මන්ද එකපාරට කාමරේ එලිය වැඩි වුනා වගේ වුනා. පොදු වැසිකිලිය වගේ තියන මගේ කාමරේටත් කෙල්ලෙක් ආව කියපන්කො. ඒකි එනකොටම නුපුරුදු මල් සුවඳක් කාමරේ පුරාම පැතිරුනා. වෙනදට ඕකෙ එන්නේ පුස් ගඳ නේ.:D ඔය කෙල්ල ඉතින් මට නම් පෙන්නන්නම බැරි ඩයල් එකක් කියල කලින් කතාව කියෙව්වා නම් දැනගන්න පුළුවන්. ඒත් ඉතින් ගෙදරට ආවට පස්සේ කවුරු වුනත් පිළිගන්න වෙනවනේ. දැන් ඉතින් අපි තුන්දෙනා කෙල්ල දිහා බලාගෙන ඉන්නවා, දිමුතුව අපි දිහා බලාගෙන ඉන්නවා, කෙල්ල බිම බලාගෙන ඉන්නවා. අපි තුන්දෙනාට නම් තාම ෂුවර් නෑ මේ වෙන දේ. නිකන් හීනයක් වගේ.
කාමරේ පුටු තුනයි තිබුනේ. එන අය පුටු අරගෙන තමයි ඇතුලට එන්න ඕන. දැන් ඌට ඒක මතක නෑ, ඌ හිටගෙන බලාගෙන ඉන්නවා. පොර වගේ ආවට ඌ දැන් හොඳටම එක්සයිට් වෙලා ඉන්නේ. මම කිව්වා ගිහින් පුටුවකුත් අරගෙනම වරෙන් කියලා. කාමරේ දොර ලඟම එළියේ පුටු තිබුනේ. මූ ගිහින් පුටුවක් අරගෙන ආවා. ඊට පස්සේ තමයි ලස්සන වැඩේ වුනේ. මූ පුටුව අරගෙන ඇවිත් කිසි කතාවක් නැතුව අපි කාඩ් ගහ ගහ හිටපු මේසෙට පුටුව තියාගෙන වාඩි වුනා. කෙල්ල හිටගෙන කරකියාගන්න දෙයක් නැතුව බලාගෙන ඉන්නවා. මූට දැන් හොඳටම වයර්. මම කිව්වා, "යකෝ උඹට වාඩි වෙන්න නෙමෙයි පුටුව ගේන්න කිව්වේ. මෙයාට පුටුව දීල උඹ ඇඳෙන් වාඩි වෙයන්" කියලා. ඊට පස්සේ මූ පුටුව ඒකිට දීල ඇඳෙන් වාඩි වෙලා කියනවා අපිට කියනවා, "මම හිතුවේ මෙයා ඇඳෙන් වාඩි වේවි කියල". අනේ මන්ද ඌට පිස්සුද අපිට පිස්සුද කියලා. ඔක්කොම සෙට්ල් වුනාට පස්සේ මම කාමරේ දිහා හොඳට බැලුවා. විනාසයි, විනාසයි, උගේ කාඩ් එකත් ඉවරයි මගේ කාඩ් එකත් ඉවරයි. කාමරේ නිකන් නගර සභාවේ කුණු දාන තැන වගේ. මේසේ උඩ කලින් තේ බීපු කොප්පයි, පිඟනකුයි, පත්තරයි. අරූ හිටපු ඇඳේ පත්තරයි, එක එක ගැජමටික්ස්නුයි, රෙදියි, බෑග් එකයි, හෙඩ් ෆෝන් එකයි තව ගොඩක් තිබුනා. ජනෙල් පට්ටම් උඩ කලින් බීපු තේ කෝප්ප. ඇඳ ළඟ බිම තේ ගෙනාපු ට්‍රේ දෙකකුත් තිබුනා. ඔක්කොටම හපන් ටවල් රැක් එක. ටී ෂර්ට්, කලිසම්, බෙඩ් ශීට්, කොට්ට උර රැක් එකේ පුරවලා. සති ගානකින් රෙදි හේදුවේ නෑ. අපොයි දෙයියනේ, අර උඩ ඉඳල එකෙක් හැංගුවට අස්සෙන් තව එකෙක් පේනවා. සායම ඉවරයි ඉතින්. අඩු ගානේ මූට තිබුනනේ කලින් කියන්න එක්කගෙන එනවා කියල. දැන් ඉතින් මොනවා කරන්නද, ඌට ආයෙත් මේ පැත්තේ එන්න වෙන එකක් නැතිවෙයි කියල මම හිත හදාගත්ත.
අපි ඉතින් සෙල්ලම නවත්තලා ඒ පැත්තට හැරුනා අමුත්තා එක්ක කතා කරන්න. ඒ පාර මූ කියනවා, "මේ මට ජබෝරයක් ගහන්න ඕන, වරෙන් ගහමු." (ජබොර යනු කාඩ් වලින් කරන ක්‍රීඩාවකි) හෑහ්, කෙල්ල පැත්තකට වෙලා බලාගෙන ඉඳිද්දී මූ අපිට ජබොර ගහන්න කතා කරනවා. මම හෙමින් කිව්වා, "පස්සේ සෙල්ලම් කරමු, මෙයා ඉඳිද්දී අපි සෙල්ලම් කරන එක හරි නෑ නේ" කියල. මූ කියනවා " නෑ නෑ අවුලක් නෑ ගහමු. මට එතකොට මෙයාටත් කියල දෙන්න පුළුවන්" කියලා. කොච්චර කිව්වත් මූ අහන්නෙම නෑ, ගහන්නම ඕනලු. ඕන වෙඩිමක් වෙන්න කියල අපිත් පටන් ගත්තා. අපිට මොකෝ ඉතින්, අපේ නෙමෙයිනේ, උගේනේ ගෑනි. සෙල්ලම් කරන මේසේ තියෙන්නේ අරූ වාඩිවෙලා ඉන්න ඇඳ ළඟමයි. ඇඳේ කොනට ආවම සෙල්ලම් කරන්න පුළුවන්. දැන් ඔන්න ඉතින් සෙල්ලම යනවා. ඌ කෙල්ලට කියල දෙන ගමන් සෙල්ලම් කරනවා. ජබොර තියා බූරුවා ගහන්න කියල දුන්නත් ඒකි හිටපු තත්ත්වේ හැටියට ඒ වෙලාවේ තේරෙන්නේ නෑ. ඒකිගේ මූනෙන්ම තේරෙනවා ඒක. ඒකිත් කරගන්න දෙයක් නැතිකමට අරූ කියන ඒවා අහගෙන ඉන්නවා. කොහෙද අරූට ගානක් නෑ, ඌ පිස්සුවෙන් වගේ ඒකිට කියලා දෙනවා. අපි තුන්දෙනා හොරෙන් එක එකා දිහා බල බල සෙල්ලම් කරනවා. අපි තුන්දෙනයි ඒකියි පුදුම විදියට අපහසුතාවයට පත්වෙලා හිටියේ.
මම ඉතින් සෙල්ලම් කරන අතරේම අරකි එක්කත් කතා කළා. ඔහොම සෙල්ලම් කර කර ඉන්නකොට උන් දෙන්නට තේ දෙකකුත් ආව. මට තමයි ගිහින් තේ දෙක අරගෙන ඇවිත් අල්ලන්න වුනේ. අයියෝ සල්ලි කිව්වලු, මට අරකිට තේ අල්ලන්නත් වුනා නේ. මොනවා කරන්නද ඉතින් ගෙදරට ආපු අමුත්තනේ. තේ බොන්න තරඟය මදකට නතර කරලා තිබුනේ. ඒ පාර අරූගේ ගොන් මොලේට තවත් ගොන්ම ගොන් අදහසක් ආව. "එන්නකෝ වැඩක් පෙන්නන්න" කියල මූ නැගිටලා කම්පියුටර් එක ලඟට ගියා. කෙල්ල හිටපු පුටුව තිබුනෙත් කම්පියුටර් එක ළඟ. කෙල්ලත් ඒ පැත්තට ඇදිලා බලාගෙන ඉන්නවා. අපි 'පෝටර්', ගහනකොට, 'ලීග් ක්‍රමයට ඕම්බි' ගහනකොට, සහ 'ජබොර' ගහනකොට ලකුණු දාන්නේ Excel ශීට් එකක. මම ඒ ටික වෙනම ෆෝල්ඩර් හදලා දාල තියෙන්නේ. දැන් මූ මේ හදන්නේ ඒ ටික කෙල්ලට පෙන්නන්න. මූ My Computer ඕපන් කරගත්තා. ඔන්න එතකොට තමයි ඇඟේ ලේ ටික වතුර වුනේ. පාටිෂන් ඔක්කොම ටික අන්ලොක් කරලා තියෙන්නේ. මූ කරුමෙට වත් වැරදි පාටිෂන් එකක් ඕපන් කලොත් ඉතින් රෙදි නෑ. අපි තුන්දෙනා දැන් ඩිම් වෙලා බලාගෙන ඉන්නවා. දැන් මූත් හොඳටම එක්සයිට් වෙලා නේ ඉන්නේ. මූටත් දැන් හරියට මතක නැතුවද කොහෙද My Computer ඕපන් කරගෙන බලාගෙන ඉන්නවා. අර රෙදි ගැලවෙන්නම ගිය අවස්ථාවක් පෝස්ට් එකේ තියනවා වගේම වැඩක් තමයි ඒ වෙලාවේ වුනෙත්. කොහොමහරි යන්තං අනවශ්‍ය පාටිෂන් ඕපන් කරන්නේ නැතුව මූ හරි එකම ඕපන් කළා. හම්මෝ හිතට දැනුන සනීපෙ. ඊට පස්සේ ඉතින් මූ ඒ ටික හොයාගෙන කෙල්ලට විස්තර කර කර පෙන්නුවා.
ඊට පස්සේ ඉතින් තේ බීල තව ටිකක් සෙල්ලම් කරලා මූ කෙල්ල එක්ක යන්න ගියා. අපිත් ඉතින් පහලට ගිහින් උන් දෙන්නව ඇරලවල ආව. ඊට පස්සේ තමයි වැදගත් හරිය එන්නේ. දැන් ඔන්න අරුන් දෙන්න ගියාට පස්සේ මහිමයගෙයි අනිත් එකාගෙයි මූණු හරි නෑ. ඊට පස්සේ වුන දෙබස මෙන්න මෙහෙමයි.
මහිම/අනිත් එකා: ඒ ඒකිව මෙහාට එක්කගෙන ආපු එක හරි නෑ බං.
මම: ඒ මොකද?
මහිම/අනිත් එකා: හරි නෑ නේ බං කොච්චර වුනත්. මෙහෙ ආපු එක විතරක් නෙමෙයි, ඒකිව ගෙදර එක්කගෙන ආපු එකත් වැරදියි.
මම: පිස්සුද බං, ගෙදර එක්කගෙන ආපු එක නම් අවුලක් නෑ. කවද හරි ඒකි බැඳලා එන්නේ ඔය ගෙදරට නේ. ඉතින් කලින් ඇවිත් ගෙදර මිනිස්සු අඳුරගෙන, කතා බහ කරලා ගියාම මොකද? මම නම් කවද හරි මම යාලු වෙන කෙල්ලව බඳින්න කලින් එක පාරක් හරි ගෙදර එක්කගෙන එනවා.
මහිම/අනිත් එකා: ඒ වුනාට බං, බඳින්න කලින් කවදාවත් කෙල්ලෙක්ව ගෙදර එක්කගෙන එන්න හොඳ නෑ. ගෙවල් දොරවල් බලන්න යනකොට වත් කෙල්ලව එක්කගෙන යන්නේ නෑනේ.
මම: ඒවා ඉතින් නිකන් චාරිත්‍ර විතරනේ බං. සාධාරණ හේතුවක් නෑ නේ.
මහිම/අනිත් එකා: ඒව චාරිත්‍ර විතරක් නෙමෙයි බං, ඒවයෙත් ඇත්තක් තියනවා. එහෙම බඳින්න කලින් කෙල්ල කොල්ලගේ ගෙදර යන්න එන්න ගියාම මිනිස්සු කෙල්ල දිහා බලන්නේ වැරදි විදියට. අනිවාර්යෙන්ම එහෙම වුනාම කෙල්ලට කතා හැදෙනවා.
මම: කවුරු මොනවා කිව්වම මොකද බං? මිනිස්සුන්ට ඕන විදියට නෙමෙයි නේ අපි වැඩ කරන්න ඕන.
මහිම/අනිත් එකා: ඒ වුනාට බං ඒ හැදෙන කතා ජීවිත කාලෙටම එහෙම තමයි. අනිත් එක එහෙම චාටර් කෙල්ලෙක් කියල හිතුනොත් කවුරුහරි ඒකෙන් වැඩක් ගන්න හදන්නත් පුළුවන්. හැබැයි එහෙම හිතාගෙන කවුරුහරි වැඩේට බැස්සොත් ආයෙත් ඒක අතාරින්නෙ නම් නෑ. වැඩේ කෙරෙනකල්ම ඌ ගේම අතාරින්නෙ නෑ එහෙම වුනාම. (එහෙම කියලා ඌ ඒකට උදාහරණයකුත් කිව්වා.)
මම: ඒක නම් වෙන්න පුළුවන් ඉතින්.
මහිම/අනිත් එකා: අනිත් එක බං ඔහොම ගිහින් වැරදිලාවත් උන් දෙන්නට බඳින්න බැරි වුනොත් මොකද වෙන්නේ. ඔහොම ආව ගිය එක ප්‍රශ්නයක් වෙනවා නේද?
මම: ඕකෙ අනිත් පැත්ත වුනොත් නේ බං ප්‍රශ්නයක් වෙන්නේ. කොල්ල කෙල්ලගේ ගෙදර නිතර ගිහින් උන් දෙන්නට බඳින්න බැරි වුනොත් නම් කෙල්ලට කතා හැදෙනවා.කොල්ලෙකුට ඉතින් එහෙම අවුලක් නෑ නේ.
මහිම/අනිත් එකා: මේකත් කෙල්ලට කවදාහරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බං. හිතපන් කවදාහරි මේ සම්බන්දෙ නැවතිලා කෙල්ල මේ පැත්තෙන්ම වෙන කසාදයක් කරගන්නවා. ඊට පස්සේ, ඒ කෙල්ල මුගේ ගෙදර දවස් දෙක තුනක් නැවතිලා හිටිය බව දන්න කවුරුහරි එතන හිටියොත් අනිවාර්යෙන්ම ඔය කතාව ඇදෙනවා නේද?
මම: ඔව් ඉතින් එහෙම වෙන්නත් පොඩි සම්භාවීතාවක් තියනවා.
මහිම/අනිත් එකා: ඔය කිසි ප්‍රශනයක් නෑ නේ කවදාහරි බැන්දට පස්සෙම කෙල්ලව ගෙදර එක්කගෙන ආව නම්.
මම: හ්ම්ම්...!
(කතාව මීට වඩා ගොඩක් දිගට ගියා. මම මේ සාරාංශය දැම්මේ.)
ඒ කියපු කතාවත් ඇත්ත ඉතින් බලාගෙන ගියාම. කාටවත් ඕන විදියට අපි ජීවත් වෙන්න ඕන නෑ තමයි. ඒත් අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ නේ. ඒ නිසා පුළුවන් තරම් කතාවක් හැදෙන්නේ නැති වෙන ඉන්න එකනේ හොඳ. මොකද ඉතින් කතාවක් හැදුනොත් ජීවිත කාලෙටම වුනත් ඒක තියෙන්න පුළුවන්. ගොඩක් නාගරික පැති වල නම් ඔය ප්‍රශ්නේ නැතුව ඇති. ඔය වගේ දෙයක් තියා එහා ගෙදර එකා මැරුණත් සමහර වෙලාවට මෙහා ගෙදර එකා දන්නේ නෑ නේ.:D හැබැයි අපි වගේ ගම්වල ඉන්න අයනම් ඒ ගැනත් ටිකක් හිතන්න ඕන. ගම්වල මිනිස්සු ඕන එකයි එපා එකයි දෙකම හොයනවා නේ. ඒකෙ වාසි වගේම මේ වගේ අවාසිත් තියනවා. කොහොම වුනත් මේක ලංකාව නේ, ආකල්ප අතින් අපිට තව ගොඩක් වෙනස් වෙන්න තියනවා. ඔය සමහරු බලෙන් මේකට බටහිර සංස්කෘතිය ඔබ්බවන්න හැදුවට මේක තාමත් පරණ ලංකාවම තමයි.
අනිත් එක කෙල්ලගේ ගෙදරින් දන්නෙත් නෑ ඒකි ආපු ගමන ගැන. ගෙදරට හොරෙන් තමයි ඒකි ඇවිත් තියෙන්නේ. කොටින්ම ඒ කෙල්ලගේ ගෙදරින් මූට කැමතිත් නෑ. මුගේ ගෙදරින් නම් කැමතියි. ඒ මිනිස්සු තමයි කියලා තියෙන්නේ එක්කගෙන එන්න කියලා. ඔය උඩ කියපු විදියේ ප්‍රශ්නයක් ඇති වෙන්න ලොකු ඉඩක් මෙතන තියනවා. උන් දෙන්නට කවුරු කතා හැදුවේ නැතත් අපි හරි කතාවක් හදනවා.:D උන් දෙන්න ඒකි යන්න කලින් දවසේ රෑ එලි වෙනකල් ෆිල්ම් එකක් බැලුවා කියන්නේ. කවුද දන්නේ ඇත්තටම ෆිල්ම් එක බැලුවා විතරද කියලා.;)
..................................................................................................................................................................ප.ලි. ඔක්කොම කරලා ගියාට පස්සේ තාත්ත අහනවා "අරුන් දෙන්න බැඳලද?" කියලා.:P