twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Tuesday, April 24, 2012

අවසන් කවිය




ඔබ නමට ලියවෙන
මෙයයි අවසන් කව
තවත් මේ පන්හිඳෙන්
නොලියවෙයි කවි ඔබ ගැන

මතක  ඇත්නම් ඔබට
පෙර දිනක ඔබ නමට
සෙනෙහසින් පද බැන්ද
පුංචි කවියක අරුමය

අසම්පූර්ණයි තවම
ඔබ නමින් මා ලියූ කවිය
අත් හැර දමන්නට එය
සිත නොනැමෙයි කිසි විට

වෙහෙසයි දැන් සිත හොඳටම
ගලපගන්නට බැහැ
තවත් මේ පද මට...
වෙහෙසුනත් කොයිතරම්
අර්ථයක් දෙනු බැහැ මේ කවියට

නික්මෙන්නට කාලයයි
අතැර හැර ඒ කවිය
නොගැලපෙන පද ගොඩක් මැද
තවත් හරඹයක ඵල කිම

තරහක් නෑ කිසිම
එළිසමය නොවූවාට
මගේ කවියට නුඹ...
මට ලියනු බැරි කවිය
ලියනු ඇත තවකෙකු හෙට

නිමාවයි මෙය
වෙහෙසකර වූ ගමනක
ඉතින් හැර යමි
මට අයිති නැති මගේ කවිය


Friday, April 20, 2012

මෙන්න ගහනෝ...!

අලුත් අවුරුද්දට පළවෙනි පෝස්ට් එක කොටන්න යන්නේ.:) හැබැයි කියන්න වෙන්නේ නම් එච්චර ලස්සන කතාවක් නෙමෙයි. කැම්පස් එකේ සෙට් එකක් ඊයේ අපේ පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර සෙට් වුනා. නුවර, පුත්තලම, කුරුණෑගල වගේ එක එක පැති වලින් 6 දෙනෙක් බයිසිකල් වලිනුයි, තව එකෙක් බස් එකෙනුයි ආව. ළඟ පාත හිටපු උන් 4 දෙනෙක් එකෙක්ගේ තී වීල් එකකින් එහෙට ගියා. මාත් ගියේ තී වීල් එකේ. උන් ටික රෑ එහෙන් කාල එහෙමම දෙනියායේ තව එකෙක්ගේ ගෙදර යන්න සෙට් කරගෙන හිටියේ. දවල් වෙනකොට අපි එහෙට ගියා. ඊට පස්සේ ඉතින් කැරම් ගහල, සළු වෙන උන් සළු වෙලා, නාල, රෑටත් කාලම තමයි ආවේ. රෑ වෙලා තව එකෙක් ආව. ඉතින් ඔක්කොම කරලා එනකොට තමයි සීන් එක ගියේ.

උන්ගේ ගෙදර තියෙන්නේ ප්‍රධාන පාරෙන් ටිකක් ඇතුලේ. දැන් අපි බයික් තුනේ 6 දෙනයි, තී වීල් එකේ 6 දෙනයි ආවේ. මම ආවේ ත්‍රී වීල් එකේ ඉස්සරහ ඩ්‍රයිවර්ගේ සීට් එකෙන් කෑල්ලක් ඉල්ලගෙන. අපි අතුරු පාර දිගේ ඇවිත් ප්‍රධාන පාරට දාන්න හදන කොට එතන ත්‍රී වීල් එකක් නවත්තලා තිබුනා. 15ක් විතර වට වෙලත් හිටියා. අපි අර ත්‍රී වීල් එක පිටිපස්සෙන් නැවැත්තුවා යන්න ඉඩ ලැබෙනකල්. තත්ත්පර ගානක් යනකොට තමයි තේරුනේ එතන රණ්ඩුවක් කියලා. ඊළඟ මොහොතේ ඒක ගුටි කෙලියක් බවට පත්වුනා. අපිව දැන් කරකවලා අත ඇරියා වගේ, කවුද ගහන්නේ කවුද ගුටිකන්නේ කියලවත් හිතා ගන්න බෑ, චට පට ගාල වදිනවා විතරයි පේන්නේ. අපි එතකොටත් ත්‍රී වීල් එක ඇතුලේමයි හිටියේ. මොකෝ අපි මැදට පැනලා නවත්තන්න කියලයැ. අපිත් කරගන්න දෙයක් නැතුව බලාගෙන හිටියා. 

එතකොටම කවුද ගෑනු කෙනෙකුයි, අවුරුදු දහ අටක විස්සක විතර කෙල්ලෙකුයි එතනට දුවගෙන ආව. අර ගෑනු කෙනා ආපු ගමන් මැදට පැනලා වලිය බේරන්න හදනවා. ඊළඟ මොහොතේ අපි දැක්කේ අර ගෑනු කෙනා විසිවෙලා ඇවිත් අපේ ත්‍රී වීල් එක ඉස්සරහ වැටෙනවා. මම නිකන් ඉබේම වගේ ත්‍රී වීල් එකෙන් එලියට පැන්නේ. ඒ මනුස්සයට අවුලක් නෑ, ඒ මනුස්සය ආයෙත් නැගිටලා වලිය මැද්දට ගියා. අපිට තේරුණ විදියට වලිය යන්නේ ත්‍රී වීල් එකකින් ආපු කට්ටියකුයි, පාර අයිනේ හිටපු කොල්ලෝ සෙට් එකකුයි අතරේ. ත්‍රී වීල් එක පාරට දාන්න හදද්දී මොකක් හරි වෙන්න ඇති. පොඩ්ඩක් ගෑවුනත් ඇතිනේ ඉතින් මරාගන්න. කොහොමහරි කොල්ලෝ සෙට් එකේ පිරිස වැඩියි. ත්‍රී වීල් එකෙන් ආපු අයට තමයි වැඩිපුර ගුටි වදින්නේ. අර ගෑනු කෙනෙයි කෙල්ලයි ත්‍රී වීල් එකෙන් ආපු අයගේ කවුරුහරි.

වැඩේ නවතින පාටකුත් නෑ. අර ගෑනු මනුස්සයත් ගේම අතාරින්නෙ නෑ, කොහොමහරි එයාගේ අයව පැත්තකට ගන්න හදන්නේ. අර කෙල්ල හිටියේ මගේ ළඟ. ඒකි හොඳටම බය වෙලා. ත්‍රී වීල් එකෙන් ආපු සෙට් එකේ දහ අටක විස්සක විතර කොල්ලෙක් හිටියා, ඌ නාහෙට අහන්නෙම නැති එකෙක්. ඌ එක පාරටම ත්‍රී වීල් එකේ තිබිලා මොකක්දෝ පොල්ලක් ගත්තා. ඊට පස්සේ ඒකෙන් අර කොල්ලෝ ටිකට ගහගෙන ගහගෙන ගියා. කොහෙන් ආවද මන්ද තවත් පොලු දෙකක් අර කොල්ලෝ සෙට් එක අතට ආව. ඒ පාර දැන් පොලු වලින් ගහගන්නේ. කොහොමහරි ත්‍රී වීල් එකෙන් ආපු අය දැන් හොඳටම ගුටි කනවා. අරුන් පොලු තුනෙන්ම මුන්ට ගහනවා. ත්‍රී වීල් එකේ ආපු අය වැඩේ අත ඇරලා පසු බැස්සා. හැබැයි අර කොල්ලෝ සෙට් එක නැවැත්තුවේ නෑ. උන් පොලු වලින් ගහගෙන ගහගෙන ගියා. අර ගෑනු මනුස්සය මැදට පැනලා අර කොල්ලන්ට පින්සෙන්ඩු වෙවී ගහන එක නවත්තන්න හදනවා. ඒත් උන් නවත්තන්නේ නෑ, ඒ ගෑනු කෙනාව බේර බේර අනිත් උන්ට ගහනවා. 

ත්‍රී වීල් එකේ ආපු අය යන්න හැදුවත් අරුන් යන්න දෙන්නේ නෑ, හොඳටම ගහනවා. අර ත්‍රී වීල් එකේ ආපු කොල්ල තමයි බේර ගන්න බැරි. ඌ ගේමටමයි යන්නේ. කොහොමහරි අර ගෑනු කෙනෙයි තව එකෙකුයි ඌව ඇදලා දාගත්තා ත්‍රී වීල් එකට. එතකොට ටිකක් විතර වැඩේ ශේප් වේගෙන ගියේ. ඌ තමයි ත්‍රී වීල් එක ගෙනත් තියෙන්නේ. ඌ ඒක ස්ටාර්ට් කරන්න හදනකොට එකෙක් ඇවිල්ල අරූව ආයෙත් එලියට ඇදලා අරගෙන ගහන්න ගත්තා. අර ගෑනු කෙනා පැනලා කොහොමහරි අරූව ආයෙත් ඇතුලට දාගත්තා. ඒත් හරි යන්නේ නෑ, ඒ පාර තව එකෙක් ත්‍රී වීල් එක ඇතුලට කකුල දාල ඌට ගහන්න ගත්තා. ඌත් නාහෙට අහන්නේ නැති එකා නේ, ඌත් එලියට බැහැලා ආයෙත් ගහනවා. ඒ වෙලාවේ නම් හොඳටම වැදුනා ඒ කොල්ලට. දැන් අර කෙල්ලත් නලියනවා, ඒකිත් මැදට පනින්න හදන්නේ. මම ඒකිට "ඔයා පැත්තකට වෙලා ඉන්න" කියල කියන්නත් ගිහින් නිකන් හිටියා.

කොහොමහරි ත්‍රී වීල් එකෙන් ආපු අය අර කොල්ලව ඇදගෙන පස්සට ආව. ඌ එන්නෙම නෑ, ගහන්නමයි යන්නේ. එතකොට අර කෙල්ලත් පැනලා අරූව පස්සට ඇදගෙන ආව. ඒ අස්සෙත් අරුන් පොලු වලින් ගහනවා. හැබැයි තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් අර කෙල්ලටත් පොලු පාරක් වදිනවා. ඒකිට ඒ පාර වැදුනා නම් ඉතුරු වෙන්නේ නෑ. ඒකි චූටි, කෙට්ටු කෙල්ලෙක්. අරූව කොහොමහරි අපි ආපු පැත්තටම ඇදගෙන ගියා කට්ටිය එකතු වෙලා. ඊට පස්සේ බලනකොට පාර ගාව කෙනෙක් වැටිලා ඉන්නවා. අරූව ඇදගෙන ගියාට පස්සේ ඔක්කොම අර මනුස්සයට ගහලද කොහෙද. අර ගෑනු කෙනා "අනේ අයියේ" කියල කෑගහගෙන එතනට දිව්වා. අර කෙල්ලත් එතනට දිව්වා. ඔන්න එතකොට කොල්ලෝ සෙට් එක බය වෙලා ශේප් එකේ මාරු වුනා. ඒ මනුස්සයට පොලු පාරක් වැදිලා මම හිතන්නේ, සිහිය නැතුව වැටිලා ඉන්නවා. දැන් ගහගත්ත උන් එකෙක්වත් නෑ. අර වැටිච්ච මනුස්සයයි, ගෑනු කෙනයි, කෙල්ලයි, අපේ සෙට් එකයි විතරයි.

ඒ වෙලාවේ තමයි මම ආමාරුවෙන් පියවි සිහියට ආවේ. මම හැරිලා බලනකොට අපේ උන් ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා. මම එකෙක් කතා කරගෙන අර මනුස්සය ලඟට ගියා. ඌ පැන්න ගමන් අර මනුස්සයාගේ නාඩි අල්ලලා බැලුවා පන තියේද කියලා. ඒ මනුස්සය අමාරුවෙන් හුස්මත් ගන්නවා, මූ බැලුවේ පන තියේද කියලා. දැන් අර ගෑනු කෙනා කෑගහගහ එහාට මෙහාට දුවනවා. අර කෙල්ල අර මනුස්සයව බදාගෙන අඬනවා. වටපිට කවුරුවත් ඇත්තෙත් නෑ. අපේ ත්‍රී වීල් එක ගෙනාපු එකාට මම ගිහින් කිව්වා මේ මනුස්සයව හොස්පිටල් එකට අරන් යමු කියලා. ඌ කිව්වා අර මිනිස්සුන්ගේ ත්‍රී වීල් එකේම දාගෙන යමු කියලා. බයික් වල ආපු සෙට් එකේ එකෙක් හිටියා ත්‍රී වීල් ලයිසන් තියන. ඌ ටක් ගාල අර මිනිස්සුන්ගේ ත්‍රී වීල් එක ගත්තා. යතුර බිම තිබුනේ, ලෝක අමාරුවෙන් හොයා ගත්තේ. කොහෙන්හරි තව තව පිරිමි කෙනෙක් ඇවිත් හිටියා අර ත්‍රී වීල් එකේ ආපු අයගේ නෑදෑ වෙන. ඒ මනුස්සයවත් නග්ගගෙන ලෙඩත් ඇතුලට දාගත්තා. අර ගෑනු කෙනා කෑගහනවා ඉවරයක්‌ නෑ "අනේ මල්ලි අපිට උදව් කරන්න" කියලා. ත්‍රී වීල් එක පදින එකා ගම්පහ එකෙක්. ඌ පාරවල් දන්නේ නෑ. මාත් අමාරුවෙන් ඇතුලට රිංග ගත්තා. 

ඊට පස්සේ ඉක්මනට ඒ මනුස්සයව හොස්පිටල් එකට අරගෙන ගියා. වැඩි දුරක් නෑ, කි.මී. 5ක් වගේ තියෙන්නේ හොස්පිටල් එකට. යන අතරේ අර ගුටි කාපු මනුස්සය ඔලුව උස්සලා බැලුවා. කතා කලේ නම් නෑ. මොකද වුනේ කියලවත් කවුරුවත් දන්නේ නෑ. ඊට පස්සේ හොස්පිටල් එකට ගිහින් බාර දුන්නා. මායි අනිත් එකයිම ඒ මනුස්සයව රෝද පුටුවක වාඩි කරවලා අර මනුස්සය එක්ක ඇතුලට යැව්වා. ලෙඩත් එක්ක ආපු මනුස්සයට මුකුත් තේරෙන්නේ නෑ. ඒ මනුස්සය බයවෙලා ඔක්කොටම වැඩිය. "මල්ලි මම ලෙඩාව බාරදීල එනකල් පොඩ්ඩක් ඉන්න" කියල ගියේ. එතන හිටිය දොස්තර ලෙඩාගෙන් විස්තර ඇහුවා. ඒ මනුස්සය හරියට කතා කලේ නෑ. ලෙඩා බාර දෙන්න ආපු එකා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අරූ ත්‍රී වීල් එක එළියෙන් නවත්තලා යතුර අරගෙන ආව. අපිට කරන්න පුළුවන් ටික අපි කළා නේ. තව එතන අපි හිටියා කියල වැඩකුත් නැති නිසා අපි යතුරත් අර කෙනාට දීල ආව. මම කිව්වා අර මනුස්සයට ඔලුවට පොලු පාරක් වදින්න ඇති කියලා කියන්න කියලා. අපි එනකොට ලෙඩාව රෝද පුටුවේ තියාගෙන වාට්ටුවකට අරගෙන ගියා. ලොකු අමාරුවක් නම් පෙනුනේ නෑ. වැදුන පාරට සිහි නැති වෙලා වගේ තියෙන්න ඇත්තේ. 

ඊට පස්සේ ඉතින් අපි එන්න ආව. මාව ගෙදරින් දාල අරුන් එහෙමම ගියා. ඕක තමයි සිද්ධිය. වලි නම් ඕන තරම් දැකලා තියනවා. හැබැයි ගුටිකාපු කෙනෙකුට උදව් කලේ පලවෙනි වතාවට. හිතට පොඩි සතුටකුත් දැනුනා මනුස්සයෙක් අසරණ වුන වෙලාවට උදව් කරන්න පුළුවන් වුනා නේද කියලා. මට වැඩියෙන්ම දුක අර ගෑනු කෙනා ගැන. ගේම අත ඇරියෙම නෑ. ඒ මනුස්සය හිටියේ නැත්තන් ඕක ඔහොමවත් ඉවර වෙන එකක් නෑ. 

ප.ලි. ඊයේ ලියන්න ගත්තට අද තමයි ඉවර කලේ. එතකොට මේ සිද්ධිය වුනේ පෙරේද රෑ.


Tuesday, April 10, 2012

අවුරුද්ද නම් ඒවි, ඒත් ඒ මම හිතපු විදියට නොවේවි


තවත් අලුත් අවුරුද්දක්
ටික දිනකින් ඒවි
හැමදාම වගේ මේ පාරත්
කොහා උගේ සින්දුව කියාවි

ඒත් ඒ අවුරුද්ද
හිතපු තරම් ලස්සන නොවේවි
අවුරුද්ද ගැන මම දැකපු හීන
එකක් වත් ඉටු නොවේවි

අවුරුද්දට ගෙදර යන්න
ඔයා මගේ ළඟ නැති වේවි
වෙනද  පුරුදු පාරේම
මම තනියම ගෙදර යාවි

නැකත් වෙලාවට ෆෝන් එකෙන්
බත් කටක් කවන්න මට බැරි වේවි
වැඩ අල්ලන්න ඔයත් එක්ක
කතා කරන්න මට බැරි වේවි

මම හිතපු විදියට
මුකුත් වෙන්නේ නැති වේවි
අවුරුදු  කාලේ ඔයත් එක්ක
ඇවිදින්න යන්න මට බැරි වේවි

ඔයා ගෙදරින් අරන් ආපු
කැවිලි කන්න මට බැරි වේවි
ඔයාට දෙන්න හිටපු මල් මල් ගවුම
දෙන්න විදියක් නැති වේවි

තවත් දවසක් වගේම
අවුරුද්දත් යන්න යාවි
සින්දු කියපු කොහාටත්
ඊට පස්සේ වෙන වැඩ තියේවි

අවුරුද්දට මම දැකපු හීන
එකින් එක බොඳ වේවි
අවුරුද්දත් ගිහින් ඔයත් ගිහින්
මම විතරක් මෙහි ඉතුරු වේවි


Sunday, April 8, 2012

අක්කා නැති අපට බඩගිනි වෙන්න එපා....!




අම්මියෝ, ගොඩක් කාලෙකින් මේ මොනවහරි කොටන්න කියල ලේස්ති වුනේ. ගොඩක් දවසකින් බ්ලොග් එකක් කියෙව්වේවත් නෑ. දන්නෙ නැද්ද ඉතින් ඔය හිටීගමන් එක එක ප්‍රශ්න එනවනෙ.:) අද ලියන්න හදන දේ නිකන් ආත්මානුකම්පාව පිටකිරීමක් වගේ දෙයක්. පොඩි කාලෙ ඉඳලම මට ලොකු අඩුවක් විදියට දැනුනු දෙයක් තිබුනා. අදටත් ඒ අඩුව කිසි අඩුවක් නතුව ඒ විදියටම මට දැනෙනව. සමහර විට ඒක එදාටත් වැඩිද කියලා හිතෙනවා. ඒ තමයි මටම කියල අක්කෙක් නැති එක. නංගියෙක් හරි මල්ලියෙක් හරි ඕන වුනා නම් ඒ කාලෙ අම්මටයි තාත්තටයි කියලා මොකක් හරි ඇරේන්ජ්මන්ට් එකක් දගන්න තිබුනා. ඒත් දෙයියනේ අක්ක කෙනෙක් කොහොමද එහෙම හදාගන්නේ.

අයියලා වැඩක් නෑ, උන් මේ ලෝකෙ රහක් නෑ. අනිත් එක උන් ගහනවයි, බනිනවයි, නීති දානවයි, බලෙන් වැඩ කරගන්නවයි කරදර ගොඩයි. උන් එක්ක හුරතල් වෙන්නත් බෑ නේ. ඊලඟට නංගිලා මල්ලිලත් වැඩක් නෑ, උන්ගෙනුත් වද විතරයි. අනිත් එක ප්‍රශ්නයක් ආපු වෙලවට, හිතට දුකක් ආපු වෙලාවට නංගිල මල්ලිලා එක්ක කියන්න බෑ නේ. ඒ වගේද අක්කෙක් හිටියොත්, හැමතිස්සෙම ආදරෙන් හොයලා බලනවා, හිතේ තියන ඕන ප්‍රශ්නයක් දුකක් කියන්න පුලුවන්, ඕන තරම් හුරතල් වෙන්න පුලුවන්, අම්ම නැති වෙලවට උකුල උඩ ඔලුව තියගෙන නිදා ගන්න පුලුවන්. තව කොච්චර වාසි තියේද. ඒ නිසයි මම අක්ක කෙනෙකුට එච්චර ආස. මොනව කරන්නද ඉතින් නෑ නේ. අනිත් එක ඉතින් අක්කෙක් ඉන්නවා නම් ඉතින් අම්ම නැති වුනත් බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ නේ.:)

මටම කියලා අක්ක කෙනෙක් හිටියේ නැති වුනත් මට ටිකක් හරි අක්ක වගේ හිටියේ මද්දු අම්මගේ දුව. මම පොඩි කාලේ හිටියේ මද්දු අම්ම ළඟ. මද්දු අම්ම ලඟට මගේ ගැන හොයල බැලුවේ ඒ අක්ක තමයි. මට කවලා පොවලා නාවලා මාව බලාගත්තා. හැබැයි කවදාවත් තමන්ගේම අක්ක කෙනෙක්ගෙන් ලැබෙන ආදරේ නම් මට ලැබුනේ නෑ. මද්දු අම්මගේ පුතාල දෙන්නට (ඒ කිව්වේ ඒ අක්කගේ මල්ලිලා දෙන්න) ලැබෙන ආදරෙයි මට ලැබෙන ආදරෙයි මහා ලොකු වෙනසක් මට දැනුනා. ඒ නිසයි මට එදා ඉඳලා අක්ක කෙනෙක් නැති අඩුව ගොඩක් දැනුනේ. කොහොම වුනත් ඉතින් මට එහෙම හරි අක්ක කෙනෙක් හිටියේ එයා විතරයි. ඒ නිසා වෙන්නැති එයා බැඳලා යන දවසේ අයියලා දෙන්න තරමටම මටත් ඇඬුනේ. බැඳලා ගියාට පස්සේ නම් මාව ඉන්නවද නැද්ද කියලවත් බැලුවේ නැද්ද කොහෙද.:) හැබැයි මම නහයේ සර්ජරි එකක් කරන්න ඉස්පිරිතාලේ නවත්තපු වෙලාවේ නම් අක්ක පුදුම මහන්සියක් වුනේ මම නිසා. (අක්ක ඒ ඉස්පිරිතාලේ නර්ස් කෙනෙක්)

අක්ක කෙනෙක් නැතුව හිත රිදුන තැන් නම් ගොඩක් තිබුනා. මට අදටත් මතක් වෙන එක සිද්ධියක් තියනවා. දවසක් අපේ ලොකු අම්මලාගේ ගෙදර දානයක් තිබුනා. අපි ඔක්කොම එහෙ ගිහින් හිටියේ. ඒ කාලේ මට එච්චරම ලොකු වයසක් නෑ. අයියල දෙන්නටත් (මද්දු අම්මගේ පුතාල දෙන්න) ලොකු වයසක් නෑ. අපි තුන් දෙනා ඉතින් බෙදාගෙන පැත්තකට වෙලා කෑවා. එතනට ලොකු අම්මගේ දුව බඳින්න හිටපු අයියත් ආව. අපි හතර දෙනාම කතා කර කර කකා හිටියේ. අපි කන වෙලාව වෙනකොට කට්ලට් ඉවර වෙලා තිබුනේ. ඒ වෙලාවේ එතනට මද්දු අම්මගේ දුවයි (මම කලින් කියපු අක්ක), ලොකු අම්මගේ දුවයි ආව. ලොකු අම්මගේ දුව අර අයිය ළඟිනුත්, මද්දු අම්මගේ දුව අයියල දෙන්න ළඟත් වාඩි වුනා. ඊලඟ මොහොතේ ඒ දෙන්න අතේ ගුලි කරන් හිටපු කට්ලට් ටිකක් හොරෙන්ම අර තුන් දෙනාගේ පිඟන් වලට වැටුනා. මොන කරුමෙකටද මන්ද මම ඒක දැක්කා. මගේ පිඟානට කට්ලට් එකක් දාන්න කෙනෙක් හිටියේ නෑ. මට අක්කෙක් හිටිය නම් මගේ පිඟානටත් ඒ වගේම කට්ලට් එකක් වැටේවි. මට ඒ වෙලාවේ දැනුන දේ නම් මට අදටත් විස්තර කරගන්න බෑ. මම හිටපු වයසත් එක්ක ඒ සිද්ධිය නම් වදින්න පුළුවන් ඇතුලටම වැදුනා.

දැන් ඉතින් හිතන්න එපා මේ කට්ලට් එකක් කන්න නැති වුන එකටයි මේක මේ දුක් වෙලා තියෙන්නේ කියලා. කට්ලට් එකට වඩා ලොකු දෙයක් එතන තියනවා. ඒ දේ තමයි මට නැති වුනේ. ඒක හැමෝටම තේරෙනවා ඇති කියලා මම හිතනවා. 

අපේ  එකෙක් ඉන්නවා ඌට අක්කලා හතර දෙනෙක් ඉන්නවා. අර මගේ පොඩි පොඩි කතා ටිකක් පෝස්ට් එකේ බස් ටිකක් එකක කෙල්ලෙක්ට නම්බර් එකක් ලියල දෙන්න ගිහින් චාටර් වෙච්ච එකා ගැන තමයි මේ කිව්වේ. අම්මෝ ඌට තියන සැලකිලි. අක්කල හතර දෙනා තරඟෙට වගේ ඌට ආදරේ කලේ. උගේ අම්මයි තාත්තයි ඌ ගැන හෙව්වෙම නෑ, හැම දෙයක්ම බැලුවේ අක්කලා. අක්කලා හතරක් නම් හැබැයි ටිකක් විතර කරදරයි.:D දැන් නම් අක්කලා තුන් දෙනෙක්ම බැඳලා ගෙදරින් ගිහින්. දැන් ඉතින් අස්සයා මැරිච්ච කව් බෝයි වගේ ඔහේ ඉන්නවා.

අක්කෙක් හිටිය නම් කියන සිතුවිල්ල හැමදාම හිතේ තිබුනත්, මේ ගැන ලියන්න හිතුනේ මේ ලඟදි වෙච්ච සිද්ධියක් නිසා. අක්කලා, මල්ලිලා ගැන කොච්චර හිතනවද හොයනවද කියලා මට එදා හිතුනා. මේ ලඟදි අපේ ඩිපාර්ට්මන්ට් ට්‍රිප් එක ගියා. සෞඛ්‍ය තත්ත්වය හොඳ නැති නිසා මම නම් ගියේ නෑ. හැම අවුරුද්දෙම ට්‍රිප් එක සංවිධානය කරන්න ඕන සකන්ඩ් ඉයර් එක. මේ කතාව ඉන්න අක්කා අපේ බැච් එකේ කෙල්ලෙක්. අර මම ඔයා හිතන විදියේ කෙනෙක් නෙමෙයි කසුන් කියන පෝස්ට් එකේ ඉන්න කෙල්ලම තමයි. ඒකිගේ මල්ලි අපේ ඩිපාර්ට්මන්ට් එකේම සකන්ඩ් ඉයර් එකේ, ඒ කිව්වේ මේ පාර ට්‍රිප් එක කරපු බැච් එකේ. ඔන්න ඉතින් ට්‍රිප් එක ගිහිපු අපේ කට්ටිය පාන්දර 4.30 විතර ආව. අනේ ඉතින් මම පාන්දරම ලස්සන ලස්සන වචන ගොඩක් කියාගෙන ගිහින් කාමරේ දොර ඇරියා. ඊට පස්සේ උන්ට ඕන මගුලක් කරගන්න කියලා මම ආයෙත් නිදා ගත්තා.

නින්ද යාගෙන එනකොට කෝල් එකක් එනවා. මම බැලුවා යකෝ මේ පාන්දර මට කවුද කෝල් කරන්නේ කියලා. බැලින්නම් අරකි. කොල්ලෙක්ට කතා කරන වෙලාවක්ද ඒක මම අහන්නේ? :P මම ආන්සර් කරපු ගමන් මේකි පිස්සුවෙන් වගේ කියවගෙන කියවගෙන ගියා මටත් නිකන් පිස්සු වගේ. "අනේ බලන්න කසුන්, අපේ මල්ලි කොහේ ගියාද හොයා ගන්න නෑ. ට්‍රිප් එක ගිහින් ආවට පස්සෙ මල්ලි හොයාගන්න නෑ. විශ් කරන වෙලාවේ හිටියෙත් නෑ. ෆෝන් එකත ඔෆ් කරලා. යාලුවන්ගෙන් ඇහුවම එක එක කතා කියනවා. එකෙක් කියනවා මොකක්ද වැඩකට ගියාලු, එකෙක් කියනවා බෝඩිමට ගිහින් නිදිලු, අනිත් උන් දන්නේ නෑ කියනවා. බලන්න කසුන් අද එයාගේ බර්ත්ඩේ එක. මම එයාට තෑග්ගකුත් අරන් තියාගෙන හිටියේ දෙන්න. දැන් හොයාගන්නවත් නෑ. කොහෙහරි කරදරයක් නැතුව ඉන්නවා නම් කමක් නෑ. අනේ පොඩ්ඩක් හොයල බලන්නකෝ කසුන්. මම හිතන්නේ මෙයා අද බීලද කොහෙද. ඒකයි කවුරුවත් මට කියන්නේ නැත්තේ. පොඩ්ඩක් බලන්නකෝ කසුන්." 
 
සීන් එක මේකයි. මේකිගේ මල්ලි අඩිය ගහන එකෙක්. හැබැයි ඒකි ඒක දන්නේ නෑ. ට්‍රිප් එක ගිහින් එන අතරේ උන් සෙට් එක බීල. පස්සේ කැම්පස් එකට ඇවිත් ඒකි මල්ලිව හොයනකොට ඌ නෑලු. දැන් අරකිට පිස්සු හැදිලා වගේ. ඊට පස්සේ මම සකන්ඩ් ඉයර් එකෙකුට කෝල් කරලා බැලුවා, ඌ වැඩිවෙලා බෝඩිමේ නිදිලු. ඌව කරෙන් අරගෙන ගිහින් තමයි බෝඩිමට දාල තියෙන්නේ.දැන් ඉතින් ඕක කිව්වොත් මේකි යකා නටනවා. මම කිව්වා මල්ලි මහන්සියට බෝඩිමට ගිහින් නිදි කියලා. මල්ලි ඉන්නවා කියල දැනගත්තට පස්සේ ඔන්න බය නැතිවුනා. හැබැයි දැන් ඒකිට සැකයි බීල කියලා. දැන් ඊට පස්සෙත් කෝල් කර කර මගෙනුත් එක එක විදියට අහනවා මල්ලි බීල නේද කියලා. මම බොහොම අමාරුවෙන් බේරිලා ශේප් කර කර හිටියා. ඊට පස්සේ එක පාරක් කිව්වා "කමක් නෑ එයා දැන් පොඩි ළමයෙක් නෙමෙයි නේ, හරි වැරැද්ද එයාම තීරණය කර ගනීවි නේ. එයාට හොඳ නම් මට මොකද?" කියලා. මම හිතුවා අම්මෝ ඊට පස්සේ වත් වැඩේ ඉවරයි කියලා. මොන? මෙන්න ටිකකින් ආයෙත් කෝල් එකක් එනවා. එතකොට 6.30 විතර ඇති. "කසුන් මට ඔයාලගේ පරණ බෝඩිමට යන පාර කියන්න." (අපි කලින් හිටිය බෝඩිමේ තමයි දැන් ඒකිගේ මල්ලිලා ඉන්නේ) මොන මගුලක්ද මේකි කරන්න යන්නේ? කොල්ලෝ 16ක් ඉන්න බෝඩිමකට යන්නද මේකි හදන්නේ? අම්මෝ පුදුම අමාරුවෙන් කියලා කියලා ශේප් කරගත්තේ. ඒකි යන්නමයි හැදුවේ. කොහොමහරි මගේ අහිංසක නින්දට නම් හොඳටම ෂොට් එක හම්බවුනා.පාන්දර 4.30 ඉඳලා 6.30 විතර වෙනකල් පස් පාරක් විතර කෝල් කළා. ඉතින් කොහේ නිදා ගන්නද? නින්ද යාගෙන එනකොට ආයෙත් කෝල් එකක් එනවා. ඒකි නම් පොඩ්ඩක් වත් නිදාගෙන නෑ.

මේකි පස්සේ දවසේ ලෙක්චර්ස් ආවෙත් නෑ. කොහොමහරි අරූ ටිකක් දවල් වෙන්න කෝල් එකක් දීල. අරකි බනිනකොට මල්ලි අනිත් පැත්තට බැනගෙන බැනගෙන ගිහින්. "තමුසේ මගුලක් කියනවා, මම මේ මහන්සියට නිදා ගත්තේ" කියලා. කොහොමහරි අන්තිමට ඒකි උගේ බොරුවට අහු වුනා.:) මම පස්සේ කෝල් එකක් දීල බැලුවා, එතකොට ශේප්. කොහොමහරි ඕක අපේ බැච් එකම වගේ දන්නවා. ට්‍රිප් එක ගිහින් ආපු වෙලාවේ මේකි කැම්පස් එක දෙවනත් වෙන්නම මල්ලිව හොයලා. අපි ඉතින් ඊට පස්සේ කලේ අරකිගේ මල්ලි දැකපු දැකපු තැන අක්කට කියනවා කියල ඌව බයිට් කරපු එක. හැබැයි ඒකිගේ සැකේ සම්පූර්ණයෙන්ම නැති වෙලා නම් නෑ. මට පස්සෙත් කිව්වා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. මට ඇත්තටම දුක හිතුනා ඒකි ගැන. කොයිතරම් අරූ ගැන හොයනවද? කොයිතරම් ඌට ආදරේද? මට ඒකිට ඇත්ත කියන්නත් හිතිලා පස්සේ ආයෙත් නිකන් හිටියා ඒකිට දුක හිතෙයි කියලා. එකක් ඒකි මගේ හොඳ යාලුවෙක්, අනිත් එක ඒකිත් අක්ක කෙනෙක්. ඒකිගේ එකටම ඉන්න යාළුවො එක්කෙනක් වත් ට්‍රිප් එක ගියේ නෑ. (වෙනදට ඒ සෙට් එකම යනවා නම් විතරයි යන්නේ. නැත්තන් එක්කෙනෙක් වත් යන්නේ නෑ.) ඒත් මේකි මල්ලි නිසාමයි ගියේ.

'අක්කා දෙවැනි අම්මාය' කියලත් කතාවක් තියනවා නේ. මම හිතන්නේ අක්කලා ඉන්න ගොඩක් දෙනෙක් ඒකට සාක්ෂි දරයි. මෙහෙම දේකුත් තියනවා, මම අයියලා, නංගිලා මල්ලිලාට ආදරේ නෑ කියනවා නෙමෙයි හොඳද. නැත්තන් මට අයියලාගෙන් බැනුම් අහන්න වෙන්නේ.:) ඒක පෙන්නන විදියෙයි වෙනස තියෙන්නේ. හරියට අම්මගෙයි තාත්තගෙයි ආදරේ වගේ. අම්ම ආදරේ පෙන්නද්දී තාත්ත හිතේ තියාගෙන ඉන්නවා. ඒ වගේම තමයි අයියලත් ආදරේ පේන්නේ නෑ.

කැම්පස් එකේදී වුනත් නිතරම දකිනවා අපේ උන්ගේ අක්කලා හැමතිස්සෙම කතා කර කර සැප දුක අහනවා, ගෙදර එන්න කියනවා. අලේ ඉතින් මට එහෙම කතා කරන්න කවුරුවත් නෑ නේ.:( දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මේ ආත්මේ පින් කරලා ලබන ආත්මේ හොඳ අක්කෙක් ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ.:)
..................................................................................................................................................................

ප.ලි. හැබැයි ඉතින් මේ ලෝකේ ඉන්න හැම අක්කම මම ඔය කිව්වා වගේ නෑ. හතුරෙක්ගෙවත් අක්ක කෙනෙක් වෙන්න හොඳ නැති අතලොස්සක් පමණ පිරිසකුත් ඉන්නවා.