කසුන්,
"කසුන්ට හිතෙන හැටි",
බ්ලොග් අවකාශය.
2011/04/21
දේව සභාව,
තව්තිසාව
දෙවියන් වහන්ස,
මා මේ ලිපිය මුලු දේව සභාව වෙතටම යොමු කරන්නේ මාගේ ප්‍රශ්නයට අදාල දෙවියන් කවුරුන් දැයි මා නොදන්නා නිසාය. නමුත් මෙය අදාල වන්නේ විශය බාර දෙවියන් වහන්සේ වෙතය. අදාල දෙවියන් විසින් මෙය බාර ගෙන මෙයට ඉක්මන් විසඳුමක් දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. මම ප්‍රශ්නය ඍජුවම ඉදිරිපත් කරමි. මම තවම තනිකඩය. මෙය දැවෙන ප්‍රශ්නයක් බව ඔබ වහන්සේට අමුතුවෙන් කිව යුතු නැත. මෙය මට පමණක් ඇති ප්‍රශ්නයක් නොවේ. කෙල්ලන් කොල්ලන් විශාල සංඛ්‍යාවක් මේ ප්‍රශ්නයෙන් පීඩා විඳියි. අපේ බ්ලොග් ලියන මධුරංගයාද ඉන් එකෙකි. කෙල්ලන් කොල්ලන් පමනක් නොව ඇතැම් වැඩිහිටි ගැහැණුන් හා පිරිමින්ද මේ නිසා පීඩා විඳින බව ඔබ වහන්සේ සමහර විට නොදන්නවා විය හැක. ඒ සියල්ලන්ම වෙනුවෙන් මම ගේමට බැස්සේ ඒ නිසාය.
අත රිදෙන කල් මැසේජ් කරන්නට, කට රිදෙනකල් කතා කරන්නට, කන රිදෙනකල් අහන් ඉන්නට කෙනෙක් නැත. හුරතල් වෙන්නට, රන්ඩු වෙන්නට, බොරුවට තරහ වුනාම යාලු කරගන්නට කෙනෙක් නැත. හිතට දුකක් ආපු වෙලාවට දුක කියන්නට, ප්‍රශ්න වලින් ඔලුව පිරිච්ච වෙලාවට කතා කරල හිත හදාගන්නට, හයියෙන් අඬන්න හිතුන වෙලාවට උකුල උඩ ඔලුව තියාගෙන අඬන්නට කෙනෙක් නැත. උදේට කෝල් එකක් දී මා ඇහැරවා 'ගුඩ් මෝනිං' කියන්නට, රෑට 'ගුඩ් නයිට්' මැසේජ් එකක් එවන්නට, දවල්ට කෝල් එකක් දී කෑවද කියා අහන්නට කෙනෙක් නැත. හැම තිස්සෙම මගේ ගැන හොයන්නට, හැම තිස්සේම මගේ ලඟින් ඉන්නට, මගේම කියා කියන්නට කෙනෙක් නැත. ඉහත සඳහන් සියලුම කාරනා අත්‍යාවශ්‍ය කාරණා බව ඔබ වහන්සේට අමුතුවෙන් කිව යුතුද නැත.
ඔබ වහන්සේ අප ගැන දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. මට මෙසේ වී ඇත්තේ ඒ නිසාය. අමාරුවෙන් කෙල්ලෙක්ට හිත ගියොත් ඒකට කොල්ලෙක් සිටී. නැත්තන් එකෙක් මට වඩා ඉස්සර වෙයි. අමාරුවෙන් හරි සෙට් කරගන්නා එකද වැඩි කල් අල්ලන්නේ නැත. පළමු එක නිළ නොවන වශයෙන් අවුරුදු 2ක් විතර ගලාගෙන ගියත් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ඔන්න මෙන්න තිබියදී දෙල් විය. දෙවැන්න තිබුනේ සතියක් පමණි. තුන්වැනි එක බොහෝම අමාරුවෙන් මගේ කටේ බලේට යාන්තම් සති තුනක් ඇද ගත්තේය. මට ඔබ වහන්සේ සමග හෙනම මල ය. එක්කෝ මා කරගන්නා එක කරගැනීමට දිය යුතුය, නැත්තන් හොඳ කෙනෙක් සොයා දිය යුතුය. ඒ එකක් වත් නැත. ඇති එකාට දෙක තුන ඇත, අපිට කිසිත් නැත. ඔබ වහන්සේගේ මේ ධනවාදී ආකල්ප ඉක්මනින්ම වෙනස් විය යුතුය. එසේ නොවුන හොත් කුමකින් කුමක් වේදැයි කිව නොහැක. පාරකදී වත් ඔබ වහන්සේ හමු වුනොත් දෙවියන් කියා බලන්නේ නැත.
දැන් මාගේ වයස 25 ටත් කිට්ටුය. රිදී ජුබිලිය සමරන්න වෙන්නේද තනිකඩවය. වැලන්ටයින් දින කීයක් නම් සාමාන්‍ය දවස් ලෙස ගෙවෙන්නට ඇත්ද?
(මේ මූනු පොතේ මා වැනි තවත් එකෙක් පළ කර තිබූ පින්තූරයකි. ඔබ වහන්සේලාට මේ කන්නලව් ඇසෙන්නේ නැත්තේ ඇයි දැයි නොදනිමි.)
මට නම් දැන් එපාම වෙලාය. මගේ කරුමෙටම වැටුනේද මොරටුව විශ්ව විද්‍යාලයටය. එහි ඇති භයානක තත්ත්වය ඔබ වහන්සේ දන්නවා ඇතැයි සිතමි. නොදන්නේ නම් මෙම ලින්ක් එකෙන් ගොස් බලා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. එහෙයින් එතනින්ද කිසිදු සරණක් නැත. මා තෙරුම් ගත් දෙයක් නම් මගේ හැකියාවෙන් මට කිසිදා ගොඩයෑමට නොහැක. ඊට අනිවාර්යෙන්ම දේවාශිර්වාදය අවැසිය. ඔබ වහන්සේ යම් ආශ්චර්යක් කල යුතුවම ඇත. අපේ පරම්පරාවේ මුණුබුරු මිණිබිරියන් එකෙක් වත් ප්‍රොපෝසල් එකකින් විවාහ වී නැත. ඒ නිසා මමද එසේම විය යුතුය. මට අපේ පරම්පරාවේ දැලි ගෑමට නොහැක.
ඉහත කරුණු සලකා බලා ඉක්මනින්ම මගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මට සුදුසු කෙනෙක් සොයා බලා මල්සරා ලවා මට මල් දුන්නෙන් විද්දවීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. මෙය අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක් බව සිහි තබා ගනු මැනවි. නැත්තන් තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ගනන දෙකෝටි අනූනව ලක්ෂ අනූ නවදහස් නවසිය අනූ නවයක් වීම සක්කරයාටවත් වැලැක්විය නොහැකි වනු ඇත.
මීට,
භක්තිමත් නර පනුවා,
කසුන්.
..................................................................................................................................................................
ප.ලි. මේ පෝස්ට් එක කියවන අතලොස්සක් දෙනා හිතන්න එපා මේකගෙ ඔලුවෙ තියෙන්නෙම කෙල්ලෙක් හොයා ගන්න එක ගැන විතරයි කියල. අනේ එහෙම එකක් නෑ. මේ දවස් වල ටිකක් හිතේ අවුලෙන් ඉන්නෙ. එක එක ප්‍රශ්න. ඒව අමතක වෙලා යන්න කියල මොකක් හරි විකාරයක් කරන්න ඕන කියල හිතලයි මේක ලිව්වෙ.
ප.ලි.ප.ලි. මම වැලන්ටින් ගැන කියල තිබුනට මම නම් කෙල්ලෙක් හිටියත් ඒ දවස සෙලිබ්‍රේට් කරන්නෙ නෑ. ඇත්තටම ආදරේ කරනව නම් හැම දාම එක සමරන්න ඕන. එක දවසක් විතරක් බොරුවට දඟලන්න ඕන නෑ.