twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Wednesday, September 19, 2012

කල්පනා (අවසාන කොටස)

අම්මියෝ කස්ටියට මාව මතකද මන්ද.:/ අමාරුවෙන් හරි මතක් කරගන්න ඉතින්...:D ඔන්න දැන් නම් ඉතින් කැම්පස් වැඩ ඉවරයි. විභාගත් ඉවර වෙලා ප්‍රතිඵලත් ඇවිත් තියෙන්නේ දැන්. ඒකත් යන්තං ඉවරයි. දැන් කොල්ල රස්සාවකුත් කරනවා. හැබැයි ඒ ගැන කතා නොකර ඉමු. මට දැන් සංසාරෙම එපා වෙලා තියෙන්නේ. තනි මිනිහෙක් පැය 8ක් 9ක් කොහොමද කියන්නකෝ පුටුවක වාඩි වෙලා ඉන්නේ.:D දවල් වරුවම හොස්ටල් එකට වෙලා නිදාගෙන හිටපු අපි රස්සා කරන්න ගියාම ඔහොම වෙනවා ඉතින්. බලමුකෝ කල් යනකොට හරි යාවිද කියලා. ඒ අතරේ ඉතින් ඔන්න ලොකූ වෙනසකුත් වුනා කොල්ලගේ ජීවිතේ. සමහරු දන්නවා, කොල්ල තනිකඩ ජීවිතේට තිත තිබ්බා. මධුරංගයෝ ඔන්න මම දැන් අර සින්දුව කියන්න එන්නේ නෑ.:v මගේ කෙලි පොඩ්ඩ නිසා ඉතින් මම ඔලුව උස්සගෙන ඉන්නවා. නැත්තන් මෙලහකට මොනව වෙයිද කියල හිතාගන්න බෑ. මැනගන්න බැරි තරම් ආදරයක් වගේම ලොකු ශක්තියකුත් එයාගෙන් මට ලැබෙනවා. මං ගැන හැමතිස්සෙම හොයල බලන්න, මාව බලාගන්න කෙනෙක් ඉන්න නිසා ජීවිතේ හරි ලස්සනයි දැන්.

කතාව අන්තිමට ලිව්වේ කවදද කියල මටත් මතක නෑ. මේ ලෝකේ වැඩක් නැතුව දැන් සති ගානක් තිස්සේ නිකන් හිටියා. ඒත් මේක ලියන්න බැරි වුනා නේ. දැන් නම් රස්සාවත් එක්ක බ්ලොග් එක ලියනවා කියන්නේ හීනයක්‌ වගේ. බ්ලොග් එක ජීවිතෙන් ඈත් වෙලාම ගිහින්. බොහොම අමාරුවෙන් මේ වෙලාව හොයා ගත්තේ. හරි දැන් අපි යුගයේ දියාරුම ආදර කතාවට එමුකො. මුල් කොටස් බලනවා නම් මෙතනින් යන්න. 

කල්පනා (IV කොටස) 
කල්පනා (V කොටස) 
.................................................................................................................................................................

මම කලින් කොටසේ කියපු විදියට මම කල්පනා ගැන අදහස අතෑරියට පස්සෙ එයා මාත් එක්ක හැමතිස්සෙම වගේ චැට් කරන්න ගත්තා. මම ඉතින් සීලෙ බිඳ ගන්නෙ නැතුව බොහොම පරිස්සමින් කතා කළා. එන්න එන්න චැට් කිරිල්ල වැඩි වුනා මිසක් අඩුවක් නම් වුනෙ නෑ. එයා මගේ ලඟින්ම ඉන්න උත්සහ කළා. මම චැට් එක නවත්තල යන්න හදනකොට 'ඇයි කසුන් යන්නෙ, මාත් එක්ක කතා කරන්න දැන් කැමති නැද්ද?' කියලා අහපු දවස්නුත් තිබුනා.

එයා මට ලං වෙන්න උත්සහ කරනවා කියන එක හොඳටම තෙරුනා මට. එයා ගැන අදහස සම්පූර්ණයෙන්ම අතෑරල තිබුන නිසා මම ඒ කිසි දෙයක් ගැන හිතුවෙ නෑ. එයාට මාව ඕනම නම් කියාවි නෙ කියල මම හිටියා.B-) ඔහොම කාලයක් ගත වුනා. ඊට පස්සෙ චැට් කිරිල්ල පොඩ්ඩක් විතර අඩු වුනා. මම ඉතින් ඒ ගැන හිතන්න, හොයන්න ගියෙ නෑ. මම වෙනද වගේම මගේ පාඩුවේ හිටියා. ආයෙත් ටික කාලෙකින් චැට් කිරිල්ල ආයෙත් වැඩි වුනා. ආයෙත් වෙනද වගේම දුටු තැන කතා කරන්න ගත්තා. ඊට පස්සෙ අමුතු අමුතු කතා ගොඩක් කිව්වා. "මම දැන් ඉස්සර වගෙ නෙමෙයි කසුන්, මම දැන් ගොඩක් වෙනස් වෙලා.", "මගේ වැරදි දැන් මට තේරෙනවා." ඔය වගේ කතා ගොඩයි. තව දවසක් මොකක් හරි කතා කර කර ඉන්නකොට කිව්වා "මිනිස්සුන්ට දෙයක් නැති වුනාම තමයි ඒකෙ වටිනාකම තේරෙන්නෙ" කියලා. හෙහ් අපි සැලෙයි ඕවට.:)

ඔහොම ඉන්න අතරේ අපේ එකෙක් මගේ හච් සිම් එක ඉල්ලුවා. "ඌ කිසිම හිතක් පපුවක් නැති විදියට කිව්වා "තෝ ඔය සිම් දෙක පාවිච්චි කරන්නෙ නැත්තන් මට දීපන්" කියලා.:( ඇත්තට ඉතින් මට ඒක වැඩකුත් නෑ නෙ දැන්. මම කිව්වා දෙන්නම් කියලා. දැන් වැඩේ තියෙන්නේ කල්පනාට දීපු සිම් එක තාම එයා ලඟ. ඒක දීපු දවසේමනේ වැඩේ ඥාව් උනේ. ඒක ඉතින් දැන් ඉල්ලන්න වෙනවා. කල්පනා ආයෙත් කතා කරපු වෙලාවක මම කිව්වා යලුවෙක් සිම් එක ඉල්ලුව, එවන්න පුලුවන්ද කියල. එයා ඇහුවා කොහොමද එවන්නෙ කියලා. මම කිව්ව තැපැල් කරන්න කියලා. එයා කිව්වා හා කියලා. හැබැයි ඔන්න ඊට පස්සෙ චැට් එක අවුල්. ඊට පස්සෙ අවුලෙන් වගේ කතා කලේ. එදා වැඩිය කතා නැතුව ඉක්මනටම චැට් එකෙනුත් ගියා. ඊට පස්සෙ ටික දවසක් යනකල් එහෙමයි. චැට් කරන එකත් අඩු වුනා.

ඔහොම ටික දවසක් ඉඳල එයා මාව නන්නත්තාර වෙන කතාවක් කිව්වා. එයාට මාව හම්බවෙන්න ඕන කිව්වා. මාත් එක්ක කතා කරන්න ඕන කිව්වා. මම නිකන් විපරීත වෙලා ගියා. මම කිව්ව ඉතින් අපි දෙන්න කොහොමත් කතා කරනව නේ කියලා. එහෙම මදිලු හම්බවෙලා කතා කරන්න ඕනලු. ඉතින් දෙයියනේ ඔහොම කිව්වම බෑ කියන්නෙ කොහොමද? ;) නෑ ඇත්තටම කිසිම අරමුනක් නැතිව මම හා කිව්වා. එයා පන්ති යන දවසට හම්බවෙන්න එන්නම් කිව්වා. එයා පන්ති කට් කරලා එන්න හදුවේ, මම කිව්ව එහෙම එපා, පන්ති ඉවර වෙලා හම්බවෙමු කියලා. ඊට පස්සෙ ඉතින් තැනයි වෙලාවයි කන්ෆර්ම් කරගත්තා. ඊට පස්සෙ ආයෙත් මෙයා අහනව ඔයාට මාත් එක්ක කතා කරන්න මුකුත් නැද්ද කියලා. මම කිව්වා ඉතින් විෂේශ මුකුත් නෑ කියලා. ඊට පස්සෙ ආයෙත් අහනව මුකුත්ම නැද්ද කියලා. මම කිව්වා නෑ කියලා. එතකොට කියනව ඔයා එන්න කමති නැත්තන් ඕන නෑ කියලා. මම කිව්ව ඉතින් මට එහෙම ඕනකමක් නම් නෑ, එත් ඕන නම් මම එන්නම් කියලා. අනේ මන්ද මෙ කෙල්ලො නම්, එයාට ඔන වුනෙ කොහොමහරි අන්තිමට මේක මගේ වුවමනවට එන ගමනක් වගේ කරගන්න. එහෙම කරලා ආයෙත් පාරක් මට කියලා පරණ කතාවම කියවගන්න ඕන වෙන්න අත්තේ. හෙහ් අපි අහුවේ ඕවට.

කොහොමහරි ඔන්න හම්බවෙන්න යන දවස කිට්ටු වුනා. එන්න කියපු දවසට දවස් දෙකකට කලින් මෙයා කිව්වනෙ "මට එන්න වෙන්නේ නෑ කසුන්" කියලා. වෙන මුකුත්ම කිව්වෙ නෑ, හේතුවක් කිව්වෙත් නෑ. මම ඉතින් අහන්න ගියෙත් නෑ. එයාගෙ වුවමනවට නේ හම්බවෙන්න එන්න හැදුවේ, එයාට ඕන නැත්තන් මටත් ඕන නෑ කියලා. කොහොමහරි වැඩේ ඥාව්. හැබැයි මෙහෙම දෙයක් තියනව. මට කිසිම අරමුනක් තිබුනේ නැති වුනාට මම යන්න ආසාවෙන් හිටියේ. ගොනාට ඇන්දෙ නැති වුනාට ඒ පාරත් හිත නම් රිදුන හොඳටම. මොකද කියන්න නම් දන්නෙ නෑ. මම මෙන්න මේ පෝස්ට් එක ලියල තියෙන්නෙ ඒ ගැන තමයි. ඊට පස්සෙ ඒ ගැන එයා කතා කලේ වත් නෑ. මම ඇහුවෙත් නෑ. ඊට දවස් දෙක තුනකට පස්සේ සිම් එක එවලා තිබුන. මම මහිමයගෙ ඇඩ්‍රස් එක දුන්නෙ එවන්න කියලා. ඔය වගේ මර්ඩර් කේස් වලට පාවිච්චි කරන්නෙ ඕකගෙ ඇඩ්‍රස් එක තමයි.:v


ඔන්න ඔහොමයි ඒක ඇවිත් තිබුනේ. 

ඔන්න ඕක තමයි ඉතින් කෙටියෙන් කතාව. ඊට පස්සෙ චැට් කිරිල්ල ටිකක් අඩු වුනා. ඔය කාලෙ තමයි මම බ්ලොග් එකේ ෆේස්බුක් එකවුන්ට් එකට ඇබ්බැහි වුනේ. ඊට පස්සෙ ඉතින් මගේ ඇත්ත එකවුන්ට් එකට යන්නෙම නැති තරම් වුනා. ඒ නිසා චැට් කිරිල්ල නැවතිලාම ගියා. හැබැයි මම ඉඳල හිටලා ගිය වෙලාවට හරි දැක්කොත් එයා කතා කළා. දැන් නම් එයා හිත හදාගෙන ඇති. මේ ලඟදි දවසක මම ඒ එකවුන්ට එකට ගිය වෙලාවකත් එයා කතා කළා. මම පවුල් පන්සල් වුන කතාවත් කිව්වා.:) එයා මට විශ් කළා. මුකුත් වෙනසක් තිබුනෙත් නෑ. 

හැමදේම වෙන්නේ හොඳට කියලා කතාවක් තියනවා නේ. බලන් ගියාම ඒකත් ඇත්ත. එදා එහෙම වුනේ නැත්තන් අද මට මගේ කෙලි පොඩ්ඩව ලැබෙන්නේ නෑ නේ... වුන කිසි දෙයක් ගැන අද මට දුකක් නෑ. ඒ හැම දෙයින්ම මම ලොකු ලොකු පාඩම් ඉගෙන ගත්තා.  ඔන්න ඔහොමලු ඉතින් වුනේ.
 .................................................................................................................................................................

ප.ලි. මේකෙන් වැඩි හරියක් ලිව්වේ රස්සාවට ගිහින් දෙවනි දවසේ වැඩක් නැතුව බලාගෙන ඉන්න වෙලාවක.:) නෝට් පෑඩ් එකක් අරන් කෙටුවා. 

ප.ප.ලි. නිදි කිරා වැටි වැටි මේ ලියන්නේ.:/ මොනවා ලියනවද කියල මටත් ෂුවර් නෑ. අස්පට් වගේ නම් තරහ ගන්න එපා.          


 ඉවරායි......!

Friday, August 31, 2012

පමාවී පැමිණි වසන්තය





සුමුදු මුදු සඳ කිරණ
එළියයි වෙනදාට වැඩියෙන් අද
හමන මුදු මද පවන
සුවයයි ගෙනෙන්නේ ගතට
පිපිණු මල් වල සුවඳ
සුවඳයි වෙනදාටත් වැඩිය
කිමද මේ අරුමය 
වසන්තය උදාවීද මගේ ලොවට

පෙර කිසිදා නැති ලෙසට
හැඩ වෙලා මගේ ලොව
මේ නම් වසන්තයමැයි
උදා වූයේ මගෙ ලොවට

වසන්තය ඔබ,
පමා වූවා හොඳටම
එන්නට තිබුනේ
බොහෝ කලකට පෙර
කටුක ගිම්හානය 
රිදෙව්වා මා හොඳටම

එපා  කිසිදා 
හැරයන්නට මගේ ලොව
සොඳුරු වසන්තයේ 
සැනසෙන්නට ඉඩ දෙන්න
පොරොන්දුවක් වෙන්න
හැමදාටම ඔබ මට..
හැමදාමත් මේ ලෙසට 
මගේ ලොව ඉන්නා බවට



Wednesday, July 18, 2012

අද හොඳම දවස


 විඩාබර දෙනෙත් මත
සිහිනයක් තවරන්න,
ගිලන් වූ මේ කයට
සැනසුමක් ලැබ දෙන්න,
ඉඩක් ඇත්නම් ඔබට
බිඳක් මා වෙත එන්න,
හොඳම දවස අද
එන්න හැකිනම් ඔබට.

තුරුලට ගෙන මා
හිස පිරිමදින්නට,
සුන්දරම සිහිනයක 
මාව සතපවන්නට,
දහසකුත් වේදනා
ඇසිල්ලක පහව යන්නට,
හොඳම දවස අද
එන්න  හැකිනම් ඔබට.

රාත්‍රිය තව දිගයි
තවම මග බලමි මම
හොඳම දවස අද 
කියන්න, එනවාද ඔබ...


පැයකටත් වැඩිය ඇඳේ පෙරලි පෙරලි ඉඳලා, බැරිම තැන දමල ගහල නැගිටලා, වෙන කරන්නම දෙයක් නැති නිසා නිදි දෙව්දුවට කවියක් ලිව්වා. මේක දැකලවත් නිදි දෙව්දුව ආවොත්... නිදි දෙව්දුව මගේ බ්ලොග් එක කියවනවද මන්ද..:/ ඇයි යකෝ ලෙඩා දුකා වෙච්චි මට මෙහෙම කරන්න වටිනවද නිදි දෙව්දුවට...??

Monday, July 16, 2012

කල්පනා ( V කොටස)

අම්මියෝ යාන්තන් අර විභාග කියන ජාතිය ඉවර වුනා. පස්සට ගිහින් ගිහින් අන්තිමට කොහොමහරි ඔන්න තිබුන. අපිත් ඉතින් ගිහින් ලියල ආව. තව චුට්ටෙන් ලේක්චර්සලා ගේ ස්ට්‍රයික් එකත් සෙට් වෙනවා. නූලෙන් විභාගේ ඉවර වුනේ ඊට කලින්. විභාග ඉවරායි කියල වැඩ නම් ඉවර නෑ මේ මාසේ ඉවර වෙනකල්ම එක එක සබ්මිෂන් තියනවා. ඒ අතරේ පොඩි ඉඩක් ලැබුන නිසා මේකේ තව කෑල්ලක් ලියන්න කියල හිතුනේ. හෆොයි දැන් නම් කියවපු අයට කතාව මතකත් නැතුව ඇති. අනේ ඔන්න අමාරුවෙන් හරි මතක් කරගන්න හොඳේ. කලින් කොටස් කියවනවා නම් මෙන්න පාර.

......................................................................................................................................................................

කලින් කොටසේ කියපු විදියට, දහසක් බලාපොරොත්තු තියාගෙන කල්පනාව මුණගැහෙන්න ගිය පළවෙනි දවසම අන්තිමට හිත් වේදනාවක් විතරක් ඉතුරු කරලා ගෙවිලා ගියා. එදා රෑ ගුඩ් නයිට් මැසේජ් එකවත් නැතුව නිදාගන්න ගියා. පහුවෙනිදා ඇහැරුණ ගමන්ම මම බැලුවේ මැසේජ් ඇවිත් තියේද කියලා, මැසේජ් නෑ...! කලින් දවසේ වෙච්ච ඔක්කොම මට එකින් එක මතක් වෙන්න ගත්තා. මම ටිකක් වෙලා බලාගෙන හිටියා මැසේජ් එකක් ඒවිද කියලා. ඒත් නැති නිසා මම හිත හදාගෙන එයාට මැසේජ් එකක් දැම්මා. ගුඩ් මෝනින් කියලා මම ඇහුවා ඊයේ මොකද වුනේ කියලා. ඒත් රිප්ලයි නෑ. ටිකක් වෙලා ඉඳලා මම ආයෙත් මැසේජ් එකක් දැම්මා. ඒත් සද්දයක් නෑ. ඊට පස්සෙ මම අයෙත් මැසේජ් එකක් දැම්ම ''ඔයාට මොකද්ද වෙලා තියෙන්නෙ? ඇයි කතා කරන්නෙ නැත්තේ?'' කියලා. ඔන්න ඊට පස්සේ රිප්ලයි එකක් අවා. ඊට හොඳයි ඒ රිප්ලයි එක නෑවිත්ම තිබුනා නම්.

''කසුන් අපි මේ සම්බන්දෙ නවත්තමු.''

මම ඒ දකින්නේ හීනයක් කියලා මොහොතකට හිතුනත් ඒක එහෙම නෙමෙයි තේරුනා. මට විනාඩි ගානක් යනකල් මුකුත් හිතාගන්න බැරුව බලාගෙන හිටිය මතකයි. ඊළඟට වෙන්නේ මොකක්ද, මම කරන්න ඕන මොකක්ද, මට මේ මුකුත් හිතා ගන්න බෑ. ඊට පස්සෙ මම අත් දෙක වෙව්ල වෙව්ල මැසේජ් එකක් දැම්ම, ''ඇයි එහෙම කියන්නෙ, මොකද එක පාරට වුනේ?" කියලා. ඊට පස්සෙ ආයෙත් අර පරණ කතා ටිකම තමයි කිව්වේ. ගෙදරින් කැමති නෑ, ගෙදරට හොරෙන් තවත් මේක කරන්න කැමති නෑ, ඔය වගේ කතා ගොඩක් කිව්වා. මට දැන් පිස්සුව වගේ. මම කියන්න පුලුවන් හැමදේම කිව්වා, එයාගෙ හිත වෙනස් කරන්න ගොඩක් උත්සහ ගත්ත, ඒත් එයා ඒ කිසි දෙයක් ගානකට වත් ගත්තෙ නෑ. එද දවසෙම එක දිගටම මම පුදුම උත්සහයක් ගත්තේ එයාගෙ හිත වෙනස් කරන්න. ඒත් කිසිම වැඩක් වුනේ නෑ. මම කියන දේවල් ගැන හිතල බලන්න වත් එයාට උවමනාවක් තිබුනේ නෑ. මම ඇහුවා එයාට කෝල් එකක් ගන්නද කියල, එයා එපා කිව්වා. කෝල් කලාට මුකුත් වෙනස් වෙන්නේ නෑ කිව්වා. ඒත් මම එයාට කෝල් එකක් ගත්තා, ආන්සර් කලෙ නෑ.

මම පස්සෙ ඇහුව ඊයෙ මැසෙජ් කරන්න පරක්කු වුන නිසාද මේ කියලා. එහෙම එකක් නෙමෙයිලු. ඊයෙ හච් සිම් එක දුන්නට පස්සෙලු එහෙම හිතුනෙ. එයා මෙච්චර දවස් මැසෙජ් කලෙත් ගෙදරට හොරෙන්ලු, දැන් සිම් එකත් ලැබුනට පස්සෙ ගෙදරට හොරෙන් හැමතිස්සෙම කතා කරන්නත් වෙනවලු, ගෙදරින් අකමති දෙයක් එහෙම හොරෙන් කරන්න එයා කැමති නැතිලු. ඒ නිසා ඒ වෙලාවෙම තීරනය කලාලු මේක නවත්තනව කියලා. ඔය විදියට දවස් දෙකක්ම ගෙවිලා ගියා. කියන්න පුළුවන් හැම විදියටම කිව්වා, වැඩක් වුනේ නෑ. මම ජීවිතේට කාටවත් එච්චර බලු වෙලා නැතුව ඇති. අවුරුදු දෙකක් තිබිල නැති වුන පළවෙනි ආදරේ වෙනුවෙන් වත් මම එච්චර චාටර් වෙන්න නැතුව ඇති. කොහොමහරි සති අන්තෙත් ගෙවිල මම ආයෙත් කැම්පස් ආව. ඊට පස්සේ ඔෆිස් ගිහිල්ලත් දවස් ගානක් යනකල් අනිත් උන් එක්ක හරියට හිනාවෙලා ඉන්නවත් බැරි වුනා. අර මගේ ඩිවිෂන් එකේ හිටපු කෙල්ල පස්සේ කිව්වා ඒ දවස් ටිකේ ඒකි හරිම අමාරුවෙන් එතන හිටියේ කියලා. ඒ අස්සේ අපි බාරව හිටපු මිස්ගෙත් ලව් කේස් එකක් නිසා ඒ මිසුත් හෙන අප්සට් එකේ හිටියේ ඒ දවස් වල. අරකි කියනවා ඒ දවස්වල නිකන් මලගේක ඉන්නවා වගේලු හිටියේ.:D

බාහිරට පේන වේදනාව අඩු වුනත් හිත ඇතුලේ තියන වේදනාව එහෙමමයි කියලා මට තේරුනා. ඊළඟ සති අන්තෙත් මම ගෙදර ගියා. හිතේ දුකක් තියන වෙලාවට මම ඉන්න වැඩිපුරම ගමේ යාළුවො සෙට් එකත් එක්ක. එතකො‍ට ඒ වෙලාවට හරි දුක නැතුව යනවා. කොහොමහරි මේ වැඩේ හරියන්නේ නැති නිසා දරුණු තීරණයක් ගත්තා. ඒ අපේ O/L විද්‍යාව සර්ව හම්බවෙන්න යන්න. ඒ සර් මනෝවිද්‍යා උපදේශක කෙනෙක්. ඒ නිසා මොකක් හරි දරුණු ප්‍රශ්නයක් වුනාම අපි උස්සගෙන දුවන්නේ ඒ සර් ළඟට. කොහොමද අවුරුදු පහකට විතර කලින් උගන්නපු සර්ට ආදර ප්‍රශ්නයක් ගැන කියනකොට තියන ආතල් එක? :D හැබැයි අපේ එකෙකුත් ඔය වගේ ප්‍රශ්නෙකට ඒ සර්ගෙන් උපදෙස් අරන් තිබුනා. කොහොමහරි සර්ට මුළු කතාවම කිව්ව. සර් කතාව අහගෙන ඉඳල කිව්වේ මේ සිද්ධියේ හැටියට හොඳම දේ මට මේක අමතක කරලා මගේ හිත හදාගන්න එක කියලා. සර් කිව්වෙත් එයාට මේ සම්බන්දෙ කරගෙන යන්න කිසිම උවමනාවක් නෑ, ඒ නිසා මම මොනවා කලත් වැඩක් නැති වේවි කියලා. සර් ගොඩක් උපදෙස් දුන්නා කරන්න කියලා.

ඒ වෙනකොටත් මම ගුඩ් මෝනින්, ගුඩ් නයිට් මැසේජ් පවා යැව්වා එයාට. ඒවාට රිප්ලයිත් ලැබුනා. ඒ කාලෙත් මම එයාට ආයෙත් තේරුම් කරලා දීල අදහස වෙනස් කරන්න ගොඩක් උත්සහ කළා. ඒත් ඒ කිසි දේකින් වැඩක් වුනේ නෑ. හැබැයි එක දෙයක් මට හොඳට තේරුනා, අපි දෙන්න අතරේ සම්බන්දෙ නැවැත්තුවට එයාට මගෙන් ඈත් වෙන්න වුවමනාවක් තිබුනේ නෑ. ඒ දවස් වලත් හැමදාම හවසට ඔෆිස් ඉවර වෙලා ඇවිත් ලැබ් එකට රිංගනවා. ගොඩක් දවස් වලට එයා ඔන්ලයින් හිටියා, ඒ හැමදාම වගේ අපි චැට් කළා. මම චැට් නොකලත් එයා හරි චැට් එක පටන් ගත්තා. අපේ සම්බන්දෙ නැවත්තුවට එයා හිටිගමන් අමුතු කතා කියනවා.ඒ කියන්නේ ඉතින් සම්බන්දෙ නැවත්තුව කිව්වට ඒක නිකන් හරියටම නැවතිලා නෑ වගේ. ඔහොම උනාම ඉතින් කොල්ල විකාර වෙනවා. ඒ වෙලාවට ඉතින් මම ආයෙත් වචනේ දාල බලනවා.:) ම්හු... වැඩක් නෑ, ඊට පස්සේ එයා හැසිරෙන්නේ මුකුත් වුනේ නෑ වගේ. 


 
කෙල්ලන්ට කොල්ලන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න කොච්චර ලොකු හැකියාවක් තියනවද කියලා මට ඒක ගැන පස්සේ කල්පනා කළාම හිතුනා.

මට  හරියට දින වකවානු මතක නෑ, කොහොමහරි සතියක් හරි දෙකක් හරි මම ගොනාට ඇඳ ඇඳ හිටියා. පොඩි පොඩි සිද්දි ගොඩක් තියනවා ඒවා වැඩක් නෑ වගේ. දැන් මේක ලියන්න පටන් අරන් මාස ගානක් වෙනවා නේ. කොහොමහරි මම වැඩේ හරියන්නේ නැති නිසා ආයෙත් ගියා විද්‍යාව සර්ව මුණගැහෙන්න. ඒ පාර නම් දොඹ හැලෙන්න අහගත්තා.:/ කලින් මුකුත් කිව්වේ නැත්තේ අප්සට් එකේ හිටිය නිසා කිව්වා. සතෙකුට වගේම නැතත් ඊට කිට්ටු වෙන්න බැන්න.:D බැනල බැනල කිව්වා එක පාරක් හරියට කතා කරලා දෙකෙන් එකක් බේරගන්න කියලා. ඒත් උත්තරේ නෑ නම් ආයෙත් ගුඩ් මෝනින් මැසේජ්, ගුඩ් නයිට් මැසේජ්, නිකන් මැසේජ් මුකුත් බෑ කිව්වා. උගුඩුවා වගේ අහගෙන හිටියට ආයෙත් ආවේ ඒක කරන්න පුලුවන්ද බැරිද කියන දෙගිඩියාවෙන්. ඇවිත් මම දවස් දෙක තුනක් ශේප් එකේ ආයෙත් වචනේ දාල බැලුව. වෙනසක් නෑ.

අන්තිමට කොල්ල බොහොම අමාරුවෙන් තීරණයක් ගත්ත. ටෙනින් ප්ලේස් එකේහිටපු කෙල්ලෝ දෙන්නගෙනුත් ඒකට ලොකු හයියක් ලැබුනා. විශේෂයෙන්ම මගේ සෙක්ෂන් එකේ හිටපු කෙල්ල. 'ඕනවට වඩා කෙල්ලෙක්ට ඔහොම සකන්ඩ් වෙන්න එපා' කිව්වා. ආයෙත් ඉතින් තවත් මොනවද.:) මම ඒ වෙලේම මැසේජ් එකක් දැම්මා හවස ඔන්ලයින් එන්න කියලා. ඊට පස්සේ රා කළ 16ක් බීපු කොටියෙක් වගේ මම හවස ලැබ් එකට ගියේ. යනකොට එයා ඔන්ලයින් හිටියා. මූඩ් ඒක බහින්න කලින් මම ටක් ගාල කතාව පටන් ගත්තා. මට හරියට මතක නම් නෑ, කොහොමහරි මම කිව්වා, "මට තව දුරටත් මෙහෙම ඉන්න එකෙන් හිත රිදෙන විතරයි, මට හරියටම වචනයක් කියන්න කියලා." එයා කිව්වා "මට ඒක තේරෙනවා" කියලා. හෑ?? එතකොට දැන දැනමයි එහෙම කරලා තියෙන්නේ. ඊට පස්සේ මම කිව්වා "මට මේ මොහොතේම හරියට වචනයක් කියන්න" කියලා. ඊට පස්සේ දැන් ඔන්න ඇඹරෙනවා, කියන්නේ නෑ හරියට. මම ඉතින් අර මූඩ් එක නැති වෙන්න දෙන්නේ නැතුව බොහොම අමාරුවෙන් හිටියා. බැරිම තැන මම ඇහුවා "ආයෙත් අපේ සම්බන්දෙ පටන් ගන්න පුලුවන්ද බැරිද?" කියල. ඔන්න එතකොට කිව්වා යාන්තන් වචනේ.

"බැහැ කසුන්...."

හරිනේ, ඕක අහගන්න නේ දැඟලුවේ. මට ඒ වෙලාවේ දැනුන දේවල් නම් විස්තර කරන්න තේරෙන්නේ නෑ. මට වැටෙන්න දෙයක් තිබුනේ නෑ තවත්, අන්තිමටම වැටිලා හිටියේ. ඒ නිසා ලොකු දුකක් ආවේ නෑ. ඒ වෙනුවට මම ආයෙත් මේ වෙනුවෙන් දුක් වෙන්නේ නෑ කියලා හිතට ලොකු හයියක් ආවා. මම එහෙනම යන්නම් කියලා බෝඩිමට ගියා. ආයෙත් මම ඒ ගැන හිතුවේ නෑ. ඕනෑම දේක සීමාවක් තියනවා නේ, එතනින් එහාට ගියාම නම් මට ආයෙත් ඒක ඕනම නෑ. ඊට පස්සේ ඉතින් මම විස්තරේ අපේ උන්ටයි සර්ටයි කිව්වා. සර් ආයෙත් බැන්නා මෙච්චර කල් ගත්තේ මොකද කියලා.:/ එදා රෑම ගුඩ් නයිට් මැසේජ් එක නැවැත්තුවා. උදේ ගුඩ් මෝනින් මැසේජ් එකත් නැවැත්තුවා. ඒ කියන්නේ කිසිම කන්ටෑක්ට් නැති උනා ඊට පස්සේ. දවස් දෙකක් විතර ඔහොම ගෙවුනා. මම ඇත්තටම යතා තත්ත්වයට පත්වේගෙන ආව. ඔන්න දවස් දෙකකට පස්සේ උදේ බස් එකට නැගලා වාඩි වෙලා ඉන්නකොට මැසේජ් එකක් ආව, කල්පනාගෙන්. 

"කසුන්, ඇයි දැන් ඔයා ගුඩ් මෝනින් මැසේජ් එකක් වත් ගුඩ් නයිට් මැසේජ් එකක් වත් එවන්නේ නැත්තේ? අපිට යාළුවො විදියට වත් ඉන්න බැරිද කසුන්? ඔයා දන්නේ නෑ මම හැමදාම ඔයාගෙන් ගුඩ් මෝනින් මැසේජ් එක එනකල් කොච්චර බලාගෙන ඉන්නවාද කියලා."

කාලා වරෙන්කො ඉතින්...! අර ඉතින් කොල්ල හදාගෙන හිටිය ඔක්කොම දේවල් ඉවරයි. වතුර එකකට වැටුන සෝඩියම් කෑල්ලක් වගේ කොල්ලගේ හිත දිය වෙලා ගියා. ඊට පස්සේ ඔය කතාව ඔහොම දිගට ගියා ටිකක් වෙලා. කොහොමහරි කොල්ල ඇන්ද ආයෙත් පාරක්. ඊට පස්සේ අපරාදේ කියන්න බෑ ආයෙත් ගුඩ් නයිට් ගුඩ් මෝනින් මැසේජ් පටන් ගත්තා. හැබැයි එහෙම කිව්වට මම යවනකල් එයා මැසේජ් එකක් එවන්නෙත් නෑ. මමම කලින් යවන්න ඕන. ටිකක් කල් යද්දී මට ආයෙත් තේරුනා මේ වැඩේ හරියන්නේ නෑ කියලා. විද්‍යාව සර් දැනගත්තා නම් පන්තිය ළඟ තියලා මට ගහන්නේ. ඒ පාර මම මුකුත් කියන්න ගියේ නෑ, සද්ද නැතුව මැසේජ් කරන එක නැවැත්තුවා. ඕනම නම් එයා එවාවි නේ කියලා මම හිතුවා. එයා මැසේජ් එව්වෙත් නෑ, ආයෙත් ඒ ගැන ඇහුවෙත් නෑ. ඊට පස්සේ ඒ වැඩේ එහෙමම නැවතුනා. ඒ පාර නම් මම කරදරයක් නැතුව හිත හදාගත්තා.:) 

මම ඊට පස්සේ ෆේස්බුක් එකේ වත් කතා කරන්න ගියේ නෑ, අමාරුවෙන් හදාගත්ත හිත ආයෙත් වෙනස් වෙන්න පුළුවන් නිසා. හැබැයි එයා නම් ඔන්ලයින් දැක්ක වෙලාවට කතා කරන්න ගත්තා. කතා කලාම කතා නොකර ඉන්න බෑ නේ, මම බොහොම පරෙස්සමින් යාලුවෙක් විදියට විතරක් කතා කළා. ඔය චැට් එක ඔහොමම දිගටම ගියා. මම හිතාගෙන හිටියේ කවදාවත් එයා චැට් එක පටන් ගත්තොත් මිසක් මම නම් චැට් කරන්න යන්නේ නෑ කියලා. ඔය සකන්ඩ් වුන ටික ඇතිනේ හොඳටම.:) එයා ඊට පස්සේ බොහොම ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කළේ. හැබැයි මම මගේ සීලේ බිඳ ගත්තේ නෑ ආයෙත්. කොහොමහරි මාව ඔන්ලයින් දුටු තැන කතා කරන ගනාට ආව එයා. මට හිතා ගන්න බැරි තාමත් ලං වෙන්න හදනකොට පුළුවන් තරම් ඈත් වෙලා, ඈත් වුනාම ඇයි ලං වෙන්න හදන්නේ කියලා. එයා හැබැයි කිව්වා අපි දෙන්න හැමදාටම යාළුවො කියලා. එහෙම කතා කළේ යාලු කමට වෙන්න ඇති කියලා හිතල මමත් හිටිය ඉතින්. 

එයා දවස් දෙකක්ම කිව්වා එයාව ඔන්ලයින් දැක්කොත් කතා නොකර යන්න එපා කියලා. කොල්ල ඉතින් ඒ පාර ලොවෙත් හිත ගල් කරන් හිටපු නිසා ඒවා ගැන වැඩිය හිතුවේ නෑ. කලින් වගේ නම් ආයෙත් අඳිනවා. මම දවස් දෙක තුනක් එයා දැකලා කතා කළා, කියලත් නොකර ඉන්න එක හරි නැති නිසා. ඊට පස්සේ ශේප් එකේ ආයෙත් දැක්කේ නෑ වගේ හිටියා. හැබැයි එයා නම් දකින හැම වෙලාවෙම කතා කළා. ඔය විදියට ඉතින් චැට් එක දිගටම කෙරීගෙන ගියා. ඇත්තටම එයා මොන දේ කලත් මට අද වෙනකල් වෛරයක් ඇති වෙලා නෑ. ඒ නිසා යාලුවෙක් විදියට මාත් කතා කළා. දැන් බොලා හිතන්නේ කතාව ඉවරයි කියලද?? නෑ, තව තියනවා...!
 .................................................................................................................................................................

ප. ලි.: අද නම් මෙලෝ රහක් නැතුව ඇති. උණ විකාරෙන් මේ ලිව්වේ.:D උණ හැදුනම නින්ද යන්නේ නැති නිසා මේක ලිව්වා.:)

ප. ප. ලි.: මගේ බ්ලොග් ඉතිහාසයේ පළවෙනි වතාවට ටික දෙනෙක් මගෙන් ඇහුව ඊළඟ කොටස දාන්නේ නැද්ද කියලා. මට පට්ට හැපිලු...:)   

Thursday, June 21, 2012

අඩුව




සීතම සීත සැඳෑ මදනල
පිසගෙන හමන මා ගත
කොඳුරන්නේ රහසක් මට
හෙමි හෙමින් රහසේම

හමන මුදු මද නල
හිරිගඩු පිපෙන සීතල
පෙළන්නේ  මා ගත
එපමණක් නොව සිතද

නිරුවත්  උඩුකයට 
දරණු බැහැ මේ සීතල
කිලිටි වූ කමිසයට
මඩිනු හැකිවෙද මේ දරුණු සීතල

ජීවිතේ තනිකම
මා වෙලාගත් පාළුව
හමන මේ සැඳෑ මද නල
කියාදෙන්නේ දෝ මට

නැති වෙන්නට මේ සීතල
තුරුළු වෙන්නට උණුසුමට
කෙනෙක් හිටියා නම් මට
මාත් බය නෑ මේ සීතලට 

:D :D :D :D :D :P 
.................................................................................................................................................................

හවසට ජනේලේ ලඟට වෙලා හීතල හුලං වැදි වැදි ඉන්නකොට හිතට ආපු කවියක් මේ....;) :D



Friday, June 15, 2012

බලා හිඳිමි මම

ඇයි ඔච්චර ආඩම්බර
එන්නකෝ මගේ ලඟට
බලන් ඉඳල බලන් ඉඳල
ඇති වෙලා මට දැන් හොඳටම

සති දෙකක් තිස්සේ ඉඳන්
බලාගෙන ඉන්නේ නුඹ ලඟට ගන්න
ඒත් ආඩම්බරකාර නුඹ
යන්නෙම තව ඈතට

දන්නේ නැහැ නුඹ තවම
කෙතරම් වටිනවාද නුඹ මට
මගේ හිත රිද්දන්නමද
යන්නේ තව තව ඈතට

දැන් නම් මට මල හොඳටම
ඉවරයක්‌ කරලා දාල මේ මගුල
ගෙදර යන්න ඉක්මනටම
දැන්වත් වරෙන් විභාගේ උඹ

Saturday, June 9, 2012

කල්පනා (IV කොටස)

ස්ට්‍රයික් එක නිසා විභාගේ කල් යනවලු..... එපා වෙනවා අලේ, දන්න මගුලක් ලියල ඕව ඉක්මනට ඉවර කරලා දාන්න පුළුවන් නම් හිතට නිදහස් නේ. විභාගේ කවද පටන් ගනීවිද කියන්න බැරි සීන් එකක් දැන් තියෙන්නේ. ඉතින් විභාගෙත් කල් යන එකේ මම හිතුවා යුගයේ දියාරුම ආදර කතාවේ තව කොටසක් කොටල දාන්න. අපරාදේ නේ නිකන් වෙලාව නාස්ති කරන්නේ.:) කලින් කොටස් බලනවා නම් මෙතනින් යන්න.

.....................................................................................................................................................................

කලින් කොටසේ කියපු විදියට කොල්ල සෑහෙන ලක ලෑස්ති වෙලා ගියා පළවෙනි වතාවට කල්පනාව මුණ ගැහෙන්න. බෝඩිමට ඇවිත් එයාට කතා කරලා එයා එහෙන් එනවා කියපු වෙලාව බලල තමයි මම බෝඩිමෙන් ගියේ. එයා කිව්වා කැම්පස් එක ළඟ ඉඳලා කොටුවට එන්න මෙච්චර වෙලාවක් යනවා කියලා, මම ඉතින් ඒ වෙලාවට හරි යන්න තමයි ගියේ. දැන් ඉතින් කොල්ල බස් එකේ යනවා. දෙහිවල හරියේදී විතර කෝල් එකක් එනවා, බලනකොට කල්පනා. මම බැලුවා එන්න එපා කියන්න වත්ද කියලා. බයෙන් සැකෙන් මම කෝල් එකට ආන්සර් කළා. එයා කිව්වා, "කසුන් මම කොටුවට ඇවිත් ඉන්නේ, ඔයා කොහෙද?" කියලා. හෑ, එහෙම වෙන්නේ කොහොමද? මම හරියට එයාට කැම්පස් එකේ ඉඳල මෙහාට එන්න යනවා කියපු වෙලාව බලල නේ ආවේ. එයා කියපු වෙලාවට වැඩිය විනාඩි 30ක් විතර කලින් එයා කොටුවට ඇවිත්. මම එයාට ඒක කිව්වා, නැත්තන් නිකන් මම පරක්කු වුනා වගේ නේ. එයා කිව්වා දුර යන බස් එකක් ඇවිත් ඒකෙ ආවේ, ඒ නිසා ගොඩක් කලින් ආව කියලා. ඊට පස්සේ මම කිව්වා මම තාම දෙහිවල කියලා. එයා කිව්වා හරි ඔයා එන්න මම බෝධිය ලඟට වෙලා ඉන්නම් කියලා.

දැන් ඉතින් මට හිතට අප්සට්. මගේ වැරද්දක් නැති වුනත් එයාට දැන් මම එනකල් බලාගෙන ඉන්න වෙනවා නේ ගොඩක් වෙලා. දැන් මට කලබලේ වැඩි කමට බස් එක නිකන් යන්නේ නෑ වගේ.:) මම නිකන් නලියනවා. කොහොමහරි ගෝල්ෆේස් එක හරියේදී ආයෙත් කල්පනාගෙන් කෝල් එකක් එනවා. මම ගත්ත ගමන් කිව්වා දැන් ගෝල්ෆේස් එක හරියේ කියලා. එයා ටිකක් විතර අප්‍රසාදෙන් කතා කළේ. යකෝ හරියට මගේ වැරද්දක් වගේ. එයා හරියට වෙලාව කියන්නේ නැතුව මම මොනවා කරන්නද. මම ඉතින් සද්ද නැතුව හිටියා හම්බවෙන පළවෙනි දවස නිසා.:) කොහොමහරි බෝධිය ලඟටත් ආව ඔන්න. මම බැහැල වටපිට බැලුවා එයා පේන්න නෑ. ඊට පස්සේ මම කෝල් එකක් දුන්නා එයාට. ඔන්න එතකොට අර බෝධිය ළඟ කඩ සෙට් එක අස්සේ ඉඳල එයා තව කෙල්ලෙක් එක්ක එලියට ආව. කවදාවත් හැබැහින් දැකලා නැති වුනත් දුර තියලම එක පාරින් එයාව අඳුර ගන්න පුළුවන් වුනා. කොල්ල ඉතින් හෙමින් හෙමින් ඒ පැත්තට කිට්ටු කළා.

මම එතනට ගියාට පස්සේ යාලුවා යන්න ගියා. එයා කිව්වා මගේ කිට් එක ලස්සනයි කියලා. ඊට පස්සේ අපි දෙන්න බස් තියන පැත්තට ඇවිදගෙන ගියා. පොඩි පොදක් වැටුනා ඒ වෙලාවේ. එයා කුඩේ එලියට අරගෙන දිග ඇරගත්තා. මම ඉතින් කුඩේ යටට යන්න ගියේ නෑ, මට කතා කළේ නෑ නේ. මම එහෙමම පොද වැටි වැටි ගියා. ඊට පස්සේ එයා මට කිට්ටු වෙලා මටත් එක්ක කුඩේ ඇල්ලුවා. 


 (මෙච්චර ලං වෙලා හිටියේ නෑ හොඳේ...:))

කිට් එක ලස්සනයි කිව්වට පස්සේ තාම අපි දෙන්න වචනයක් වත් කතා කළේ නෑ. මටත් කියන්න දෙයක් හිතාගන්න බැරුව හිටියේ. හැබැයි ඊට පස්සේ එයා කියපු දේ නිසා, අපි දෙන්න කතා නොකරම හිටිය නම් හොඳයි කියලා මට හිතුනා.

"අපිට දිගටම යාළුවො විදියට විතරක් ඉන්න බැරිද කසුන්?"

නිකමට හිතල බලන්න දාහක් බලාපොරොත්තු තියාගෙන පළවෙනි වතාවට කෙල්ලව හම්බවෙන්න ගියාට පස්සේ, උදේ පාන්දරම මෙහෙම කතාවක් කිව්වම මට කොහොම දැනෙන්න ඇද්ද කියලා. තත්ත්පර ගානක් යනකල් මට කියන්න දෙයක් හිතාගන්න බැරුව මම බලාගෙන හිටියා. මම බොහොම අමාරුවෙන් වචන ගැට ගහගෙන ඇහුවා "මෙච්චර දවසකට පස්සේ ඇයි ඔයා ඔහොම අහන්නේ?" කියලා. මට එයා දීපු උත්තරේ නම් දැන් මතක නෑ. කොහොමහරි එයා ගෙදරින් කැමති නැති කතන්දරේ නිසාලු එහෙම ඇහුවේ. ඊට පස්සේ කතා කරපුවා නම් මට මතක නෑ. කොහොමහරි ඉතින් එයා නොකෙරෙන පැත්තට කතා කරනකොට මම කොහොමහරි මේක කරමු කියන දේ තමයි කිව්වේ. ගෙදරින් කැමති නැති කතාවම තමයි එයා දිගටම කිව්වේ.

එයා ආයෙත් සරණි ගැනත් ඇහුවා. එයා ඇහුවා, "ඔයා ඔය තරම් සරණිට ආදරේ කළා නම් එච්චර ඉක්මනට එයාව අමතක කළේ කොහොමද?" කියලා. මම කිව්වා, "එයා මට අකමැති වුනේ මගේ පෙනුම නිසා නම්, තවත් මම එයාට ආදරේ කරලා තේරුමක් නෑ නේද" කියලා. ඊට පස්සේ එයා ඇහුවා "කවදාහරි මේ සම්බන්දෙ නවත්තන්න වුනොත් ඔයාට අර වගේම මේකත් අමතක කරලා හිත හදාගන්න පුළුවන් වේවි නේද?" කියලා. එයා නිකන් හින්ට් එකට වගේ ඒක ඇහුවේ. බොරු කතන්දර නැතුව මම ඇත්තම කතාව කිව්වා. "මෙහෙමයි, ඔයා මට ආදරේ කරන තාක් කල්, මාත් එක්ක ඉන්න තාක් කල් මට මේ සම්බන්දෙ වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්, හැබැයි එහෙම නැති වුන දවසට නම් මට මුකුත් කරන්න බැරි වේවි." (වචන බර වැඩිද මන්ද.:) මට මතක විදියට මම ඔය වචන ටික ඔහොමම තමයි කිව්වේ.) ඊට පස්සේ එයා මෙහෙම කතාවක් කිව්වා.

"අපි පුළුවන් තරම් කල් මේ සම්බන්දෙ තියාගමු."

මට අදටත් හිතාගන්න බෑ එයා මොනවගේ අදහසකින්ද ඒක කිව්වේ කියලා. කොහොමහරි ඊට පස්සේ මම එයාට හච් සිම් එකයි, ගෙනාපු DVD දෙකෙන් එකකුයි දුන්නා. DVD දෙකම දුන්නේ නෑ, දැනට එකයි දෙන්නේ ඊළඟ පාර හම්බවුනාම අනිත් එක දෙන්නම් කියලා මම කිව්වා.:) කොහොමහරි එයා බහින තැනටත් ආව. එයා දැන් බය වෙලා කියලා මට හොඳට තේරෙනවා. එයා කිව්වා "අනේ කසුන් ඔයා ඊළඟ හෝල්ට් එකෙන් බහින්න, මම බහින තැන බහින්න එපා" කියලා. මට පරෙස්සමින් යන්න කියලා එයා බැහැල ගියා. මම ඊළඟ හෝල්ට් එකෙන් බැහැල එතනම තිබුන කඩේට ගියා මොනවා හරි බොන්න. මගේ තොල කට වේලිලා තිබුනේ.:) ඊට පස්සේ මම රෝල් එකක් කාල, බීම එකක් බීල ආයෙත් කොටුවට එන බස් එකකට නැග්ගා.

එයා ගෙදර ගියා කියල මැසේජ් එකකුත් ආව. මම එහෙමම ගෙදර යන්න බලාගෙන නේ ආවේ, මම බස් එකට නැගල වාඩි වෙලා සෑහෙන කල්පනා කළා එදා දවසේ වුන දේවල්. මට ඇත්තටම ඉස්සරහට මොනවා වේවිද කියලා හිතාගන්න බැරිවුනා. හැබැයි එක දෙයක් මට හොඳටම පැහැදිලියි, මේ සම්බන්දෙට මම හිතපු තරම් ලස්සන අනාගතයක් නෑ කියන එක. මම හිතා ගත්තා මොන දේ වුනත් මම ඒ හැම දෙකටම මූණ දෙනවා කියලා. මට ඒ වෙලාවේ මහන්සියත් එක්ක නිකන් අඩ නින්දේ වගේ හිටියේ. බස් එක ස්ටාර්ට් කරලා පොඩි දුරක් යනකොට මැසේජ් එකක් එනවා දැනුනා. බලනකොට කල්පනාගෙන්. මැසේජ් දෙකක් තියනවා. මගුලයි, පළවෙනි එක ඇවිත් විනාඩි 5ක් විතර වෙනවා. දෙවැනි එක තමයි ඒ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ඩෙනිමක සාක්කුවේ ෆෝන් එකක් දාගෙන එන්නකොට වයිබ්‍රේට් වුනාම ටක් ගාල දැනෙනවා නේ. ඒත් කොහොමහරි මට කලින් එක එනවා දැනුනේ නෑ. පළවෙනි එකේ තිබුනේ ඔයා දැන් කොහේද කියල අහල. එකට රිප්ලයි නැති නිසා දෙවනි එක දාල තියෙන්නේ, "ඇයි රිප්ලයි කරන්නේ නැත්තේ, ඔයා දැන් කොහේද ඉන්නේ" අහල.

මම කල්පනා කළා දැන් මේකට රිප්ලයි කලොත් පළවෙනි මැසේජ් එක ගණන් ගන්නේ නැතුව ඉඳල දෙවනි එක ආවට පස්සේ රිප්ලයි කළා වගේ වෙනවා නේ. පළවෙනි එක දැනුනේ නෑ, දෙවනි එක දැනුනේ කියන එක ඉතින් ඇත්තටම පිළිගන්න අමාරුයි නේ. ඒ නිසා මම හිතුවා නින්ද ගිහින් වගේ ඉඳලා තව ටිකකින් මැසේජ් කරනවා දැන් මැසේජ් දෙක දැක්කේ කියලා. කොහොමහරි ඉතින් ඒ වෙලාවේ මගේ ඔලුවට ආවේ එහෙමයි. එහෙම හිතල ටික වෙලාවක් ඉන්නකොට මෙන්න තවත් මැසේජ් එකක් ආව. අම්ම ගහනවා දැන් බැට් එකෙන්. දැන් නම් ඉතින් කොහොමවත් එවෙලේ රිප්ලයි කරන්න බෑ නේ. ඊට පස්සේ තවත් ටික වෙලාවක් බලාගෙන හිටියා. වාසනාවට ආයෙත් මැසේජ් එකක් ආවේ නෑ. ඊට පස්සේ ටික වෙලාවකින් මම මැසේජ් එකක් දැම්මා, මට නින්ද ගිහින් හිටියේ දැනුයි මැසේජ් තුන දැක්කේ. මම දැන් අහවල් හරියේ ඉන්නේ කියලා. ම්හු.... සද්දයක් නෑ. මට හිතුනා මල පැනලා වෙන්න ඇති කියලා. මම ඒ පාර ආයෙත් මැසේජ් එකක් දැම්මා ඇයි සද්ද නැත්තේ කියලා. ඒත් සද්දයක් නෑ. මම කිව්වේ බොරුවක් වුනාට ඒක බොරුවක් කියලා එයාට කොහෙත්ම හිතෙන්න විදියක් නෑ. එයත් දන්නවා මම එදා දෙතුන් පාරක් එහෙමහේ ගිහින් මහන්සි වෙලා ඉන්නේ කියලා. එහෙනම් ඇයි මෙච්චර තරහ ගිහින්???

ටිකකින් මම ආයෙත් මැසේජ් එකක් දැම්මා, "ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ, ඇයි කතා කරන්නේ නැත්තේ? මොකක්ද වුන ප්‍රශ්නේ?" කියල අහල. ඔන්න ඊට පස්සේ මැසේජ් එකක් ආව. හැබැයි ඒක එච්චර ලස්සන මැසේජ් එකක් නෙමෙයි.

[ඔයා පරෙස්සමින් යන්න කසුන්. ගිහිල්ල මට මැසේජ් එකක් දාන්න.]

ඔච්චරයි කියලා තිබුනේ. දැන් ඉතින් මට හිතාගන්න බෑ මොකද වෙලා තියෙන්නේ කියලා. මම ඊට පස්සෙත් මැසේජ් කළා. හැබැයි ඒවාට රිප්ලයි නම ආවේ නෑ. මම දැන් කරකවලා අත ඇරියා වගේ. ඔච්චර මල පනින්න තරම් දෙයක් වුනේ නෑ නේ. එදා දවසේ වුන දේවලුයි ඊට පස්සේ ඔය සිද්ධියත් එක්ක මට ඉතින් පිස්සුව වගේ. පස්සේ මාත් නිකන් හිටියා. එහෙම බලහත්කාරෙන් මැසේජ් කරන්න ඕන නෑ නේ ඉතින්. කොහොමහරි මම ගෙදරටත් ගියා. ගිහින් මැසේජ් එකක් දැම්මා මම ගෙදරට ආව කියලා. ඒත් සද්දයක් නෑ. මම ඉතින් ඊට පස්සේ ආයෙත් මුකුත් කියන්න ගියේ නෑ. මට කිව්වේ ගියාම කියන්න කියලනේ, මම ඒක කිව්වනේ, ඒ ඇති. මම එදා සෑහෙන හිතේ අමාරුවෙන් නිදා ගත්තේ. එයාට එක පාරට මොකද වුනේ කියල මට හිතාගන්න බෑ. ගොඩක් දවස් බලාගෙන ඉඳලා, ජීවිතේ ලස්සනම දවස වෙයි කියල හිතාගෙන හිටපු දවස අන්තිමට ගෙවිල ගියේ මහා දුකකින්. 

ජීවිතේ මහ පුදුමයි නේද? සතුට දුක කියන හැඟීම් දෙක අතරේ තියෙන්නේ කොයිතරම් පොඩි පරතරයක්ද? 

...................................................................................................................................................................

කල්පනා.....................
 
ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......

කල්පනා (V කොටස) 

ළඟදීම....!

:D :D :P :P
   

Sunday, June 3, 2012

කල්පනා (III කොටස)

ඔබ නැවතත් මේ එකතු වී සිටින්නේ යුගයේ දියාරුම ආදර කතාව සමගයි. මම කල්පනාට ආදරේ ප්‍රකාශ කරන තැනට එනකල් කලින් කොටස් දෙකේ කිව්වා නේ. මුල් කොටස් දෙක බලනවා නම් මෙතනින් යන්න.


.................................................................................................................................................................

කොහොමහරි ජීවිතේට මුන ගැහිල නැති, අඩුම ගානේ කෝල් එකක්වත් දීල නැති කල්පනාට මම ආදරෙයි කියල කිව්වා. පස්සෙ දවසෙ මම දැන් බලාගෙන ඉන්නවා උත්තරයක් එනකල්. එදා චැට් එකටත් සෙට් වුනා, හැබැයි උත්තරයක් ලැබෙන පාටක් නෑ. බැරිම තැන මම ඇහුවා ''මම කියපු දේට මොකද කියන්නෙ?'' කියලා. ම්හු... තව හිතන්න ඕනලු. මම ඉතින් කලබල කරන්න ගියේ නෑ. ඊට පස්සෙ සති අන්තෙ ඉවර වෙලා මම කැම්පස් ආව. හැබැයි මට එක දෙයක් හොඳට තේරුනා. එයා දැන් වෙනදටත් වඩා මගේ ගැන හොයනවා, වෙනදටත් වැඩිය මගේ ගැන අයිතියකින් මට කතා කරනවා. කොහොමහරි කැම්පස් ගිහිල්ලත් දවස් දෙකක් විතර යනකල් උත්තරයක් ලැබුනෙ නෑ. ඊට පස්සෙ මම ආයෙත් අහුවා. ඊට පස්සෙ එයා ඇහුවා ''ඔයාට මාත් එක්ක කතා කරන්න ඕනද?'' කියලා (කෝල් එකක් ගන්න). මම කිව්වා හා කියලා. ඊට පස්සෙ එයා කියනවා "හැබැයි කෝල් එකක් ගත්තට කියන්න නම් දෙයක් නෑ'' කියල. අයියෝ මේ කෙල්ලො නම්... එයාම කෝල් එකක් ගන්න ඕනද අහල දැන් කියනව කියන්න දෙයක් නෑලු.:) මම කිව්ව කමක් නෑ මම කෝල් එකක් ගන්නම් කියලා. ඊට පස්සෙ කියනවා කෝල් එකක් ගන්න හැබැයි අරක ගැන අහන්න එපා කියලා. මම ඉතින් හා කියල අරගෙන කෙලින්ම ඒක ගැන අහුවෙ.:)

ඊට පස්සෙ දීර්ඝ සාකච්චාවක් ගියා. බුදු අම්මෝ සෑහෙන ප්‍රශ්න ඇහුවා. සරණි ගැන, වයස ප්‍රශ්නෙ ගැන, ගොඩක් දේවල් ඇහුවා. කවදාවත් මූනට හම්බවෙලා නැති එක ගැනත් කිව්වා. මම කිව්වා එහෙනම් මම එන්නම් ඔයාව හම්බවෙන්න කියලා, ඒකට කැමතිත් නෑ. එයා මීට කලින් කාත් එක්කවත් යාලු වෙලා නැතිලු. ඒව නම් ඉතින් ඇත්තද දන්නෙ නෑ.:) ඊලඟට මම බර කරලම ඇහුවා අර සරණිට තිබුන ප්‍රශ්නෙ ඔයාටත් තියේද කියලා. එයා කිව්වා එහෙම නම් කිසිම ප්‍රශ්නයක් නෑ කිව්වා. එයා කිව්වා එයාගෙ හිතෙත් මන් ගැන අදහසක් තිබුනා කියලා. එත් එයාට බයයිලු. කොහොමහරි දරුණු සටනකින් පස්සෙ මම අහන්න බලාගෙන හිටිය දේ එයා කිව්වා.:) එයත් මට ආදරෙයිලු. අයියෝ මට පිස්සු...!

කොහොමහරි ඔය වචනේ අහගන්නකොට මම බෝඩිමට එන පාරේ කිලෝමීටර් ගානක් එහාට මෙහාට ඇවිදලා. තව ටිකක් වෙලා ගියා නම් ඒ පාර අයිනේ තිබුන තාප්පේ ගලවගෙන වැටෙනවා මම ඒකෙ ගල් ගලවලාම. (කළුගල් තාප්පයක් නෙමෙයි:)) මම මුලින්ම ගමේ එකෙකුට තමයි පණිවිඩේ කිව්වේ. බෝඩිමේ ඒ වෙනකොට ඇහැරගෙන හිටියේ දෙන්නෙක් තුන්දෙනෙක් විතර මම උන්ටත් සීන් එක කිව්වා. උන්ට නම් ගානක් නෑ.:( පස්සේ දවසේ මම ඔය කතාව ට්‍රේනින් ප්ලේස් ඒකෙ හිටපු අපේ උන්ට කිව්වම සුභ පතන එක කෙසේ වෙතත් මගෙන් අයිස්ක්‍රීම් තුනක් නම් ගලවගත්තා. ඊට පස්සේ ඉතින් මැසේජ් එහෙම තව තව වැඩි වුනා.

හැබැයි ඇත්තම කතාව නම් එයා එච්චර සංවේදී ආදරණීය කෙනෙක් නෙමෙයි. මම බලාපොරොත්තු වුන තරමේ ආදරයක් නම් ලැබුනේ නෑ. තාම පටන් ගත්තා විතරයි නිසා කාලයත් එක්ක ඒවා හරියාවි කියලා මම හිතුවා. හැබැයි සමහර වෙලාවට එයා මම කනකල් කන්න බලාගෙන ඉන්න වගේ වැඩ නම් කළා.:) කලින් වතාවේ ඕක පුරුදු කරගෙන හොඳට මට්ටු වෙලා හිටිය නිසා මේ පාර නම් ඒක පුරුදු කරගත්තේ නෑ.:D ඔහොම කාලය ගෙවෙනකොට මට එක දෙයක් තේරුනා. එයා හිතාමතාම මට වැඩිය ලං නොවී ඉන්න උත්සාහ කරනවා. මම කොච්චර ආදරේ පෙන්නුවත් එයා එහෙම නෑ. හැමතිස්සෙම පොඩි පරතරයක් තියාගෙන හිටියේ. කතා කරන වචන වල ඉඳලම එහෙමයි. මම හැම දෙයක්ම මනින්න පුරුදු වෙලා හිටියේ සරනිගේ ආදරෙන්. එයාගෙන් ලැබුන ප්‍රමාණයේ ආදරයකට පුරුදු වෙලා හිටිය මට කල්පනාගෙන් ලැබුන ආදරේ ලොකු අඩුවක් තිබුනා. හැබැයි මම ඒ ගැන මුකුත් කියන්න ගියේ නෑ. ඉල්ලගෙන ආදරේ අරගෙන වැඩක් නෑ නේ, හැඟීමෙන්ම දෙනවා නම් ගන්නවා මිසක්. මම තවත් ඉවසගෙන බලාගෙන හිටියා එයා කාලයත් එක්ක හරි යාවි කියලා.

ඔහොම යනකොට දවසක් එයා මට දෙයක් කියන්න ඕන කිව්වා. එදා සිකුරාදා දවසක්, මම ඔෆිස් ඉවර වෙලා එහෙමම කොටුවට ගියා ගෙදර යන්න. කොටුවෙන් බස් එකට නැගලා ඉන්නකොට තමයි එයා ඔය කතාව කිව්වේ. එයා කිව්වා එයා අම්මට මගේ ගැන කිව්වලු. මට කලින් ඒ ගැන කිසිම දෙයක් කියල තිබුනෙත් නෑ. මම ඇහුවා අම්ම මොකද කිව්වේ කියලා (මැසේජ් වලින් කතාව ගියේ). ඊට පස්සේ සද්දයක් නෑ. ආයෙත් මැසේජ් එකක් දැම්මම කියනවා අම්ම කැමති නැතිලු පොඩ්ඩක් වත්. අපේ සම්බන්ධෙ නවත්තන්න කියල කිව්වලු. හේතුව මොකක්ද ඇහුවම, මගේ වයස අඩු එකත් අවුලක්ලු, කවදාවත් දැකලා නැති එකත් අවුලක්ලු. එහෙම කෙනෙක්ව කොහොමද ඇහුවලු විස්වාස කරන්නේ. එයා කතා කලේ නිකන් මේක කරලා තේරුමක් නෑ වගේ අදහසකින්. මම ඉතින් රටේ නැති දේවල් කිව්වා. මට කියපුවා නම් දැන් හරියට මතක නෑ, මතක් කරන්න කැමතිත් නෑ. කොහොමහරි මම ඇහුවා මම එයාලගේ ගෙදර එන්නද කියලා. එහෙමත් කැමති නෑ. මම කිව්වා අම්මට කියන්න මම අම්මවයි තාත්තවයි හම්බවෙන්න එන්නම් කියලා. ඒක කියන්නෙත් නෑ.

කොටුවේ ඉඳල ගෙදර යනකොට කටුබැද්ද හරහා තමයි බස් එක යන්නේ. මම ටිකට් එකත් අරගෙන තිබුනේ. හදිස්සියේවත් ඕන වුනොත් කල්පනාගේ ගෙදර යනවා කියල හිතාගෙන ගෙදර යන එක අතෑරලා මම කටුබැද්දෙන් බැස්සා. බැහැල මම කල්පනාට කිව්වා. මම කිව්වා ඕන වුනොත් කියන්න කිසි අවුලක් නෑ මම ඔයාගේ ගෙදර එන්නම් කියලා. එයාට අප්සට් මම ගෙදර යන්නේ නැතුව මගින් බැස්ස කියලා. මම කිව්වා ගෙදර කවද යන්න බැරිද, මට ඔයාව ඊට වැඩිය ගොඩක් වටිනවා කියලා. පස්සේ මම ගෙදරට කෝල් කරලා බොරුවක් ගැහුවා අද එන්න වෙන්නේ නෑ වැඩක් වැටිලා කියලා. ඊට පස්සේ මම බෝඩිමට ගිහිල්ලත් ගොඩක් කතා කළා ඔය ගැන. මේ සම්බන්දෙ ගැන ගොඩක් බලාපොරොත්තු තියාගන්න එපා කියලත් එයා කිව්වා. නෝන්ඩිද මන්ද මේවා කියන්න, මම එදා ඉඳලා හැමදාම හවසට ළඟ තියන පන්සලට ගියා බුදුන් වඳින්න.:) බුදුන් වැඳලා මම ඉල්ලුවේ එයාගේ ගෙදරින් කැමැත්ත ලැබෙන්න කියලා. මම පව් නේද ඕයි...

ඔය විදියට ඉතින් කාලය ගෙවිලා ගියා. ගෙදර ප්‍රශ්නේ ගැන ඊට පස්සේ වැඩිය කතා වුනේ නෑ. අපි දෙන්න සාමාන්‍ය විදියට කතා කර කර හිටියා. ඒ දවස්වල බර වියදමක් ගියා කෝල් වලට. ඒ නිසා මම හිතුවා Hutch කපල් පැකේජ් එකක් ගන්න. ඒ දවස්වලමද කොහෙද Hutch කපල් පැකේජ් ආවේ. මම ඉතින් කන් රිදෙනකල් කතා කරන්න හිතාගෙන සිම් දෙකක් ගත්තා. ගත්තට ඉතින් ඕක එයාට දෙන එක තමයි වැඩේ. බොලා හිනා වෙන්න එපා ඔන්න, අපි දෙන්න යාලු වෙලා සති දෙකක් විතර වෙලත් තාම අපි දෙන්න මුණගැහිලා නෑ.:) මගේ වැරැද්ද නෙමෙයි ඉතින්, මම කට කැඩෙනකල් කිව්වා එන්න කියලා. එයට බයයිලු මාව හම්බවෙන්න එන්න....:D අයියෝ සල්ලි කිව්වලු....!




මාත් ඉතින් වැඩිය බල කලේ නෑ ඒ නිසා. මොකටද ඉතින් බලෙන් ගිහින් හම්බවෙන්නේ? හැබැයි සිම් එක ගත්තට පස්සේ මම ආයෙත් කිව්වා මුණගැහෙන්න එන්න කියලා, එතකොට සිම් එකත් දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ දෙතුන් පාරක් කියලා කැමති කරගත්තා. හම්බවෙන්න එන දවසක එයාට බලන්න හින්දි ෆිල්ම් ටිකකුත් ගෙනත් දෙන්න කියලා කලින් කියලා තිබුනේ. මම බලපු හොඳ ෆිල්ම් මගේ ළඟ රයිට් කරලා තියන නිසා අමුතුවෙන් හොයන්න ඕන වුනේ නෑ. මම ඉතින් මම රයිට් කරගත්ත DVD සෙට් එක ඇදලා හොඳ හින්දි ෆිල්ම් තියන DVD දෙකක් ගත්තා. පස් හය වතාවක්ම චෙක් කරලා තමයි දාගත්තේ, වැරදිලාවත් වෙන එකක් ගියොත්..;) :P දැන් ඉතින් කොල්ල සිම් දෙකයි, DVD දෙකයි තියාගෙන යන දවස එනකල් බලාගෙන ඉන්නවා.

එයාට ගෙදර ඉන්න දවසක එලියට එන්න බෑ කිව්වා ගෙදර අය සැක හිතනවා කියලා. ඒ නිසා එයා කැම්පස් ඉඳල එන දවසක් සෙට් කරගත්තා හම්බවෙන්න. එයා සිකුරාදාට ගෙදර එනවා. එයා කොටුවට ඇවිත් ගෙදර යන්නේ, මම කොටුවට ඇවිත් හම්බවෙන්න කතා කරගත්තා. යන්න තියෙන්නේ ඉතින් ඔෆිස් දවසක නේ. ඔෆිස් එකේ ඉඳල ෂර්ට් එකයි කලිසමයි ඇඳගෙන එහෙමම ගියාම කික් එකක් නෑ නේ. ඒ නිසා මම ඔෆිස් එකෙන් කලින් ඇවිත් බෝඩිමට ඇවිල්ලා වෙන ඇඳුමක් දාගෙන යනවා කියලා හිතුවා. මගේ ළඟ අලුත්ම ටී ෂර්ට් එකක් තිබුන ඇඳපු නැති. අපේ කොල්ලෙක් අරන් ආපු අලුත්ම කලිසමකුත් තිබුනා ඌවත් ඇඳපු නැති එකක්. ඔය දෙක සෙට් කරගත්තා ඇඳන් යන්න. හැබැයි හරියන සෙරෙප්පු දෙකක් තිබුනේ නෑ. මම ඉතින් ටොයිලට් එකට ගියත් ටවුන් එකට ගියත් කොහේ ගියත් රබර් කෑලි දෙක තමයි දාගෙන යන්නේ. හැබැයි කල්පනා හම්බවෙන පළවෙනි දවසෙම රබර් කෑලි දෙකක් ගහගෙන යන එක හරි නෑ කියලා මට හිතුනා. දැන් එතකොට හොඳ සෙරෙප්පු දෙකක් ගන්න ඕන. ඔෆිස් එකෙන් කලින් ඇවිත් සෙරෙප්පු දෙකක් අරගෙනම එනවා කියලා හිතුවා.

ඔන්න ඉතින් ඒ දවසත් ආව. මම උදේ ගිය ගමන්ම මාත් එක්ක හිටපු අපේ බැච් එකේ කෙල්ලටත් කිව්වා සීන් එක. දැන් ඉතින් මට ඉන්න බෑ වෙලාව එනකල්, නලියනවා. අරකි මට විහිලුත් කළා කලබල නොවී ඉවසගෙන ඉන්න කියලා. කොහොමහරි අමාරුවෙන් ඉඳල කෑම වෙලාවේද කොහෙද මම එලියට ආවේ. එන ගමන් දෙහිවලින් බැහැල සෙරෙප්පු දෙකක් ගත්තා. ඊට පස්සේ බෝඩිමට ඇවිත් නාල කියලා, නියපොතු කපලා කොල්ල යන්න ලේස්ති වුනා. සිකුරාදා නිසා මාත් එහෙමම ගෙදර යන්න බලාගෙන ගියේ. ඉතින් පුළුවන් උපරිම විදියට ලේස්ති වෙලා දරාගන්න බැරි සතුටකින් කොල්ල එලියට බැස්සා කල්පනාව හම්බවෙන්න යන්න.
.................................................................................................................................................................

කල්පනා.....................

ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......

කල්පනා (IV කොටස) 

ළඟදීම....!

:D :D :P :P


Monday, May 28, 2012

කල්පනා (II කොටස)

ඔන්න මම යුගයේ දියාරුම ආදර කතාව අරගෙන ආයෙත් ආව.:D අම්මෝ පළවෙනි කොටස දැම්මට පස්සේ කොට වැඩියි කියල කීප දෙනෙක්ම අනං මනං කියලා තිබුනා.:( මේ පාර එහෙම නොවෙන්න ලියනවා. කියවපු අයට දැන් පළවෙනි කොටස මතකත් නැතුව ඇති. පළවෙනි කොටස බලනවා නම් මෙතනින් යන්න.

.....................................................................................................................................................................

කලින් කොටසේ ඕනම ටිකක් කියන්න බැරි වෙලා නේ. මම සරණිව ඇඩ් කරගත්තට පස්සෙ එයාගෙ ප්‍රොෆයිල් එකෙන් එයාගෙ කැම්පස් එකයි ඩිග්‍රී එකයි බලාගත්තා. ඊට පස්සෙ මම කල්පනාලව ඇඩ් කරගත්තතෙ නිකන් ගෙස් කරලා නේ. පස්සෙ මම කල්පනා එක්ක කතා කරන්න ගත්තට පස්සෙ එයගෙ විස්තර අහල බලනකොට එයත් ඒ කැම්පස් එකේ ඒ ඩිග්‍රී එකමයි. ඊට පස්සෙ තමයි කල්පනාගේ යාලුවෙක් වීමේ මෙහෙයුම දියත් කලේ.

.....................................................................................................................................................................

කලින් කොටසේ කියපු විදියට මම කල්පනාට ඇත්තම විස්තරේ කිව්වා. හැබැයි ඊට පස්සේ එයා නිකන් අවුල් වගේ. කතා කරද්දීත් අමුතුයි, වෙනද වගේ ෆ්‍රෙන්ඩ්ලි නෑ, වැඩි වෙලා කතා කරන්නෙත් නෑ, වෙනදට සමහර වෙලාවට එයාම චැට් එක පටන් ගත්තට ඊට පස්සේ එහෙම පටන් ගත්තේ නෑ. මට තේරුනා වැඩේ දෙල් වෙලා තමයි කියලා. දවසක් චැට් එකට සෙට් වුන වෙලාවක මම ඇහුව ඔයා දැන් ඇයි නිකන් අමුතු වෙලා වගේ කියලා. එයා කිව්ව නේ මට දැන් ඔයාව විස්වාස නෑ කියලා.:( ඊට පස්සෙ මම සම්පූර්ණ කතවයි මගේ විස්තරයි ආයෙත් පාරක් කිව්වා. ඒත් හරි යන්නෙ නෑ වගෙ. ඒ පාර මම මගේ ඇත්ත එකවුන්ට් එකට එයාව ඇඩ් කළා. එයා ඒක ඇක්සෙප්ට් කලා. ඊට පස්සෙ කෙලින්ම ඇත්ත එකවුන්ට් එකෙන්මයි චැට් කළේ. ඊට පස්සේ ඉතින් ඔය පරණ සිද්ධිය ගැනයි වෙන වෙන දෙවලුයි කතා කර කර ඉන්නකොට එයා ආයෙත් ශේප් වුනා. එයාට තේරුනා මම කියන්නේ ඇත්ත කියලා.

වැඩේ ශේප් වුනාට පස්සෙ මම හෙමිහිට ආයෙත් වචනෙ දාල බැලුවා. ම්හු... ඒක හරියන්නේ නෑ. එයා සරණි ගැන නම් විස්තර කියන්න කැමතිම නෑ. මම වැඩිය බල කරල අහන්න ගියේ නෑ, එයා තරහ වුනොත් මුකුත් නෑ නේ. එ නිසා ශේප් එකේ කතා කර කර හිටියා. ඊට පස්සෙ අතරින් පතර ශේප් එකේ දෙපාරක් විතර ආයෙත් සරණි ගැන විස්තර අහුවා. අන්තිම වතාවෙ එය කිව්ව එයා අම්ම එක්ක ගෙයක් අරගෙන කැම්පස් එක කිට්ටුව නැවතිල ඉන්නේ කියලා. ඊට පස්සෙ කියපු දෙයින් මම බින්දුවටම වැටුනා. එයා කිව්වා එයා දන්න විදියට සරණිගෙ කොල්ලත් එහේ නැවතිල ඉන්නෙ කියලා. මිනිහ සමහර දවස් වලට කැම්පස් එක ලඟට එනවලු සරණිව එක්කන් යන්න. ඒ දෙන්න කැම්පස් ඉවර වුන ගමන් බඳීවි කියලත් කිව්වා. අයියෝ සල්ලි කිව්වලු...:'(

ඔය වෙනකොට මම ගමේ සෙට් එකටත් සීන් එක කියල තිබුනේ. උන් මට හරකට වගේ බනිනවා. කල්පනා අර කොල්ල ගැන කියපු කතවත් මම ගිහින් කිව්වා. කොහොමහරි මටත් හිතුනා මම තේරුමක් නැති වැඩක්ද මේ කරන්නෙ කියලා. පස්සෙ අපි මෙහෙම වැඩක් කළා. මම අර කලින් කොටසෙ කිව්වේ එයාගෙ යාලු අක්ක කෙනෙක් ඉන්නවා කියල මාත් අඳුරන, ඒ අක්කට අපේ එකෙක් ලවා කෝල් එකක් දුන්නා. ඌ මගෙ ෆෝන් එකෙන් හොරෙන් නම්බර් එක අරන් මට හොරෙන් එයාට කතා කරනවා වගේ තමයි කතා කලේ. ඔන්න ඔය කෝල් එකෙන් තමයි මගේ ජීවිතෙ බේරුනේ. ඒ අක්ක කතා කරපු එකාට ඇත්තම කියල තිබුනා. අවුරුද්දකටත් වඩා ෆෝන් එකෙන් කතා කර කර ඉඳලා අපි දෙන්න මුලින්ම හම්බවුන දවසෙ ඉඳලලු එයගෙ හිත වෙනස් වෙලා තියෙන්නෙ. මම හැඩ මදිලු. එයා ඒ දවස්වලමයි මගේ ගැන තිබුන අදහස අත ඇරලා තියෙන්නේ. හැබැයි එයා විභාගේ ඉවර වෙනකල් ඉඳලා ඒක කියන්න. ඔය කතාව අහුවට පස්සෙ නම් මට එයා ගැන හිතේ තිබුන හැඟීම නැති වෙලාම ගියා. එදා ඒ කෝල් එක නොගන්න සමහරවිට අද වෙනකල්ම මම එයා ගැන හිත හිත ඉන්න තිබුනා.

කොහොමහරි ඔය විදියට ඒ කතාව ඉවරයක්ම වෙලා ගියා. මම කල්පනාටත් විස්තරේ ඔක්කොම කිව්වා. එයත් කිව්වා එහෙම නම් ඒක නවත්තපු එක හොඳයි කියලා. හැබැයි කල්පනාගෙයි මගෙයි චැට් කිරිල්ල නම් එතනින් නැවතුනේ නෑ. ඊට පස්සේ මම කවදාවත් සරණි ගැන කල්පනාගෙන් ඇහුවේ නෑ. අපි යාළුවො විදියට චැට් කර කර හිටියා. කාලයත් එක්ක අපි ගොඩක් ෆිට් වුනා. දෙන්න ඔන්ලයින් හිටියොත් අනිවාර්යෙන්ම කතා කරන ගානට ඇවිත් ඒ වෙනකොට. ඒ කාලේ මම හැමතිස්සෙම ලැබ් එකට රිංගන්න පුරුදු වෙලා හිටියේ. ඉන්ටර්නෙට් මනී පිස්සුව ගහල තිබුනෙත් ඒ කාලේ. කල්පනා එක්ක චැට් කර කර ඇඩ් ක්ලික් කරන එක තමයි කරන්නේ.:) හැබැයි පස්සේ හැබැයි පස්සේ ලැබ් එකට යන එක ගොඩක් අඩු වුනා.  ඒ නිසා කල්පනා එක්ක චැට් කරන එකත් අඩු වුනා. ඊට පස්සේ ෆේස්බුක් එකේ මැසේජ් යවන්න ගත්තා. මම ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් තමයි මැසේජ් කලේ. ඔහොම මැසේජ් කර කර කාලයක් හිටියා. මැසේජ් දෙපැත්තට යන වේගය එන්න එන්නම වැඩි වුනා. පස්සේ එයා ෆෝන් එකෙන් ෆේස්බුක් යන තරමටම වැඩේ දුර දිග ගියා.

ඔන්න ඉතින් ඔහොම යනකොටලු කොල්ල ආයෙත් ගොනාට ඇන්දේ.:) ආයෙත් පාරක් යාළුකම එතනින් එහාට ගියා. ඒක මගේ පැත්තෙන් වුනා කියල මට හොඳටම තේරුනා. එයා නම් එහෙම මුකුත් පෙන්නුවේ නැතත් එයත් එහෙමයි කියලා මට තේරුනා. ඒක එහෙමයි කියලා තේරුම් ගන්න එක එච්චර අමාරු වුනේ නෑ. එයා ටිකක් ආඩම්බරයි හැබැයි, පුළුවන් තරම් එහෙම නොපෙනන ඉන්න තමයි උත්සහ කළේ. ඒ වුනාට ඉතින් ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවා නේ. මට මැසේජ් කරන එක එයාගේ ජීවිතේ අනිවාර්ය අංගයක් වුනා. එයා කැම්පස් ඉඳල ගෙදර ආවම එක පාරට කම්පියුටර් එක ඔන් කරන්න බැරි නිසා ආපු ගමන් ෆෝන් එකෙන් ෆේස්බුක් ගිහින් මැසේජ් එකක් දානවා. ඒ තරමට මට මැසේජ් කරන එක එයාට වැදගත් දෙයක් වුනා. ඔන්න ඔය කාලේ තමයි මම ට්‍රේනින් ගියේ. අර 'A-14 පාර' කවිය ලියන දවස් වල ආදර හුටපටයක් ඔලුවට ගහල තිබුනා කිව්වේ ඔන්න ඔය සීන් එක තමයි. හිතට දැනුන පාළුව තනිකම වැඩි වුනේ මේ හේතුව නිසා තමයි.

සයිට් එකට ඉන්ටනෙට් තිබුනෙ නෑ. මම එහේ යන්න කලින්ම කෝකටත් කියල ෆෝන් එකට ebuddy දාගෙන ගියේ. හවසට ඕෆ් වෙලා සමහර දවස් වලට චැට් එකට සෙට් වෙනවා. ඕෆ් වෙලා ගිය ගමන් මම බලනව ඉන්නවද කියලා. හිටියෙ නැත්තන් මම කරන්නෙ ලොග් වෙලාම ෆෝන් එක අතේ තියාගෙන හාන්සියක් දාගෙන ඉන්නවා. එතකොට එයා ඔන්ලයින් ආව ගමන් මම ඉන්නවා දැක්කම කතා කරනවා. චැට් එකක් අවම ෆෝන් එක vibrate වෙනවා, මම ඉතින් vibrate වෙනකල් ෆෝන් එක අතේ තියාගෙන හාන්සි වෙලා ඉන්නවා. එයත් හැමදාම වගේ ඒ වෙලවට ඔන්ලයින් එන්න පුරුදු වුනා. දවල් වරුවෙ ඔය වැඩේ කරන්න වෙන්නෙ නැති නිසා දවල් වරුව මැසේජ් කරන එක තමයි කලේ. එයා කැම්පස් ඉන්න දවස් වලට නම් වැඩිය මැසේජ් කලේ නෑ. ගෙදර ඉන්න දවස් වලට නම් නිතරම මැසේජ් කලා. ගිනි අව්වෙ පිච්චි පිච්චි ඉන්න වෙලවට ෆේස්බුක් ගිහින් බැලුවම එයාගෙ මැසේජ් එකක් තියනව නම් මහන්සිය කොහෙන් ගියාද කියල නෑ.

එතන මමයි අපේ බැච් එකේ තව එකෙකුයි ට්‍රේනින් හිටියා. දවසක් අපි දෙන්නට මහ පස් කඳු ටිකක් මනින්න කිව්ව අපේ ඉමීඩියට් බොස්. ඒව මේ ඔය ගෙවල් වල තියනව වගේ පස් ගොඩවල් නෙමෙයි, මීටර් 6, 7 විතර උස ඒවා. ඔය පස් කඳු මනින දවසෙත් මම ඒව උඩට වෙලා මැසේජ් කර කර හිටියෙ. එහෙම මැසේජ් එකක් ටයිප් කර කර පස් කන්දක් උඩ ඇවිදලා තව නූලෙන් බෙල්ල කඩාගන්නවා. ඔහොම ඉන්න අතරෙ තමයි මාව ආයෙත් කොලඹ හෙඩ් ඔෆිස් එකට ගෙන්න ගත්තෙ. ඊට පස්සෙ ඉතින් හැමදම වැඩ ඉවර වෙලා කැම්පස් ඇවිත් කෙලින්ම රිංගන්නෙ කැම්පස් එකේ ලැබ් එකට. චැට්ම තමයි වැඩේ ඊට පස්සේ. ඒක වහනකල්ම ඉඳලා තමයි යන්නේ.

පස්සෙ මම එයාගෙ නම්බර් එක ඉල්ල ගත්තා පොඩි බොරුවක් දාල. ඒ දවස් වල ෆේස්බුක් චැට් එක හරියට පිස්සු කෙලිනවා. මැසේජ් යන්නේ නැතුව හිර වෙලා තියනවා, ඉබේ ඕෆ්ලයින් යනවා, විකාර ගොඩයි. මම කිව්වා අවුලක් නැත්තන් මට ඔයාගේ නම්බර් එක දෙන්න, චැට් එක පිස්සු කෙලින වෙලාවට මොකද වුනේ කියලවත් බලාගන්න පුළුවන් නේ කියලා.;) එයත් ටක්ගාල නම්බර් එක දුන්නා. ඊට පස්සේ දවස් දෙකක් විතර චැට් එක පිස්සු කෙලපු වෙලාවට මොකද වුනේ කියලා මැසේජ් කරලා බලාගත්තා. ඔය අතරේ තමයි මම දෙවනි ට්‍රේනින් ප්ලේස් එකට ගියේ. අර 'මම ඔයා හිතන විදියේ කෙනෙක් නෙමෙයි කසුන්' පෝස්ට් එකේ කියපු තැන තමයි. ඒ පොස්ට් එකේ කියපු කෙල්ලයි, එතන හිටපු අපේ බැච් එකේ අනිත් උනු දෙන්නත් ඔය සීන් එක දැනගෙන හිටියේ. 

ඔහොම ඉඳල තව ටික දවසකින් මම තව පියවරක් ඉස්සරහට තිබ්බා. මම දවසක් ඇහුවා ෆෝන් එකට මැසේජ් කලාට කමක් නැද්ද කියලා. එයා කිව්වා කමක් නෑ කියලා. එදා ඉඳල පටන් ගත්තා ඒ වැඩේ. ඊට පස්සේ ෆේස්බුක් මැසේජ් අඩුවුනා. ඔය කාලේ වෙනකොට සීන් එක උච්චතම අවස්ථාවට ඇවිල්ලා තිබුනේ. ඔෆිස් එකේ වැඩ කරන අතරෙත් මැසේජ් කිරිල්ල දිගටම කරගෙන ගියා. ඒ වෙනකොට කොහෙහරි යනවා නම් කියල යන්න ඕන, ගිහින් ආවම කියන්න ඕන, ගුඩ් නයිට් මැසේජ්, ගුඩ් මෝනින් මැසේජ් වගේ හැම ආදර කතාවකටම වගේ පොදු වුන ඔක්කොම දේවල් අනිවාර්ය වෙලා තිබුනේ. තවත් කාලය ගන්න ඕන නෑ කියල හිතුන නිසා මම ගමේ සෙට් එකත එක්කත් කතා කරලා තීරණය කළා කල්පනාට හිතේ තියන දේ කියන්න ඕන කියලා. 

එදා සති අන්තෙක දවසක්. මම හිටියේ ගෙදර. යාළුවො සෙට් එකත් ඇවිත් හිටියේ, ඒ නිසා බයත් අඩුයි. කොල්ල ගත්ත ෆෝන් එක. අත එච්චරම වෙව්ලුවේ නෑ.:D "මට ඔයාට දෙයක් කියන්න තියනවා" කියලා මම මැසේජ් එකක් ගැහුවා. යවල ඉන්නවා දැන් බලාගෙන රිප්ලයි එනකල්. ම්හු... සද්දයක් නෑ. දැන් පොඩ්ඩක් විතර හිතට බයත් එක්ක. බලාගෙන ඉන්නවා ඉන්නවා රිප්ලයි නෑ. කොහොමහරි විනාඩි 40ක් විතර යනකල් රිප්ලයි නෑ. ඔන්න ඊට පස්සේ මැසේජ් එකක් ආව. 

කල්පනා: [මම නිදාගෙන හිටියේ කසුන්. දැනුයි ඇහැරුනේ. මොකක්ද කියන්න තියනවා කිව්වේ.]

ඔන්න එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.

මම: [මම බැලුවා මොකද සද්දයක් නැත්තේ කියලා. මට ඔයාට දෙයක් කියන්න තියනවා. හැබැයි මට ඔයා මුලින් පොරොන්දු වෙන්න මේක කිව්වට පස්සේ මාත් එක්ක තරහ වෙන්නේ නෑ කියලා.] 

කල්පනා: [හරි හරි මම තරහ වෙන්නේ නෑ, කියන්නකෝ.] 

මම: [මං ගැන වැරදියට හිතන්නත් බෑ හොඳද.]

කල්පනා: [හරි ළමයෝ, එහෙම වෙන්නේ නෑ.]

මම: [මම ඔයාට ආදරෙයි.] 

ඊට පස්සේ ටික වෙලාවක් යනකල් සද්දයක් නෑ. ටිකකින් මැසේජ් එකක් ආව.

කල්පනා: [ඔයා ඇත්තටමද කිව්වේ කසුන්?]

මම: [ඔව් කල්පනා. ඇයි ඔයාට මාව විසවාස නැද්ද?]

කල්පනා: [නෑ එහෙම දෙයක් නෙමෙයි කසුන්. ඔයා හරිම හොඳ කෙනෙක්. මම දන්නවා ඒක. ඒත් ඔයා දන්නවා නේද මම ඔයාට වඩා වැඩිමල් කියලා?]

මම: [මම ඒක දන්නවා කල්පනා. මට නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාට ඒක ප්‍රශ්නයක්ද?]

කල්පනා: [මට නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් කවද හරි අපේ ගෙදර අයට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද කසුන්.]

මම: [මාස 7යි නේ කල්පනා ඔයා මට වැඩිය වැඩිමල්. අනිත් එක මම ඔයාට ආදරේ නම්, ඔයාට මට ආදරේ කරන්න පුළුවන් නම් වසය කියන දේ ප්‍රශ්නයක් නෑ නේ.]

කල්පනා: [ඒක නම් ඇත්ත කසුන්. ඔයා ගොඩක් හොඳ කෙනෙක්.]

මම: [මට කෙලින්ම කියන්න කල්පනා ඔයාට ඒක ප්‍රශ්නයක්ද?]

කල්පනා: [නෑ නෑ, මට නම් ප්‍රශ්නයක් නෑ කසුන්.]

මම: [එහෙනම් ඔයා මට කැමතියි කියලා මම හිතා ගන්නද?]

කල්පනා: [මට තව ටිකක් හිතන්න ඕන කසුන්.]

මම: [හරි ඔයා හොඳට හිතලා උත්තරයක්‌ දෙන්න. මම එතකල් බලාගෙන ඉන්නම්.] 

(ඔය දෙබස ඔයිට වඩා දිගයි. මට දැන් මතක නෑ හරියට. කතාවේ අදහස මට මතක විදියට ඔය ලිව්වේ.) 

දැන් තමයි අමාරුම හරිය එන්නේ. උත්තරයක් එනකල් බලාගෙන ඉන්න එක. යාළුවො සෙට් එක ඉන්නකල් නම් අවුලක් තිබුනේ නෑ. උන් ගියාට පස්සේ තමයි තමයි ඉන්න බැරි වුනේ.  කොච්චර එයා මට ආදරෙයි කියල මට කලින් හිතිලා තිබුනත් ඒ වෙලාවේ ලොකු බයක් දැනුනා. හදිස්සියෙවත් එයා මට කැමති නෑ කිව්වොත් මොනවා වේවිද? මට ඒක දරාගන්න පුළුවන් වේවිද? මම හිතුවා හෙට උත්තරයක් ලැබේවි කියලා.  මට මතක විදියට එදා රෑ චැට් කලෙත් නෑ. මම ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් දාල නිදාගන්න ගියා.

Bas ek haa ke inthesar me raathi yuhi guzar jaayegi
ab tho bas uljaana he saath mere, neend kahaa aayegi
subha ki kiran naa jaani konsaa sandesh laayegi
rim jim se gun gunaayegi, yaa pyaas adhuree rehejaayegi
...................................................................................................................................................................

 

...................................................................................................................................................................

කල්පනා.....................

ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......

කල්පනා (III කොටස) 
 
ළඟදීම....!

:D :D :P :P



Thursday, May 17, 2012

කල්පනා (I කොටස)

හ්ම්ම්... අවසානය දවසින් දවස කිට්ටු වෙනවා. තව ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් සති ගානක් ඉතුරු වෙලා තියෙන්නේ. සෑම හමුවීමක්ම අවසන් වෙන්නේ වෙන් වීමකින් කියනවා නේ. මටත් ඒ වෙන් වීමට තව පොඩි කාලයයි ඉතුරු වෙලා තියෙන්නේ. තාම නම් ඒ ගැන දුකක් නෑ, ඒත් ඉස්සරහට මොනවා වේවිද කියලා දන්නේ නෑ. බලමුකෝ! දැන් හැමදේම කාලයට බාරදීල ඉන්න මාත් පුරුදු වෙලා. කිසි දෙයක් ගැන වැඩිය හිතන්නේ නෑ. මම මේ කැම්පස් එකෙන් අවුට් වෙන එක ගැන කිව්වේ හොඳේ.:)

දැන් මේ බ්ලොග් කෙරුවාවත් මගේ අනිත් වැඩ වගේම වෙලා. ලියන්නත් කම්මැලියි, කියවන්නත් කම්මැලියි, සමහර ඒවා කැමැත්තෙන් කියෙව්වත් කමෙන්ට් කරන්න කම්මැලියි. ඕක තමයි ඉතින් තත්ත්වේ. අනිත් එක කැම්පස් ඉවර වෙන්න ළඟ නිසා මේ දවස් වල වැඩත් වැඩියි. ඒ නිසාත් බ්ලොගේ පොඩ්ඩක් පැත්තකට ගිහින් තියෙන්නේ. තව ටික දවසකින් නම් බෙල්ල මුලින්ම හිර වෙනවා. ඒ නිසා ඊට කලින් මොකක් හරි කොටන්න ඕන කියල මේ අමාරුවෙන් හිත හදාගෙන ආවේ. දැන් මේ කියන්න යන කතාවත් අර උඩ කිව්වා වගේ වෙන් වීමක් ගැන තමයි කියන්න යන්නේ. මම මූනුපොතේ පොඩි ඇඩ් එකක් දාල එහෙම පටන් ගත්තේ වැඩේ.:D මට මේක ලියන්න හිතුනේ සාතන් අයියගේ මූනුපොතේ ස්ටේටස් එකක් නිසා.:) මිනිහ තමයි මට ඕක ආයෙත් මතක් කළේ.

හරි දැන් නමස්කාරය කිව්වා ඇති, දැන් කතාවට එමුකො. මේ කොටන්න හදන්නේ මගේ ඒක පාර්ශවික නොවුන තුන්වෙනි සහ අවසාන ආදර කතාව ගැන. මම අර ආයෙත් පාරක් හිත රිද්දුවා නේද පෝස්ට් එකේ කිව්වේ මෙයා ගැන තමයි. මගේ චානිකා සීරීස් එකේ අන්තිමට මාළු අයිය කියලා තිබුනා අනිත් ආදර කතා ටිකත් දාන්න කියලා. මම ඒකට එදා නම් කිව්වේ ඒ එකක් මම මේ බ්ලොග් එකේ ලියන්නවත් කැමති නැති මාතෘකාවක්, අනිත් දෙක කියන්න තරම් විශේෂයක් නෑ කියලා. මම එදා එහෙම කිව්වට මේ කතාව නම් පොඩ්ඩක් අමුතුයි. ඒකත් කියන්න ඕන කියල මට කලින් හිතුනා. හැබැයි පස්සේ හේතු දෙකක් නිසා ඕන නෑ කියලා නිකන් හිටියා. එකක් සමහරු මේක විශ්වාස කරන්නේ නැති වේවි කියල හිතුනා, අනිත් එක මූ මෙච්චර මෝඩද කියලා කියවන අයට හිතෙන්න පුළුවන් කියල හිතුන නිසා.:) ඕන වෙඩිමක් කියලා ලියල දානවා. විස්වාස නොකරන උන් නිකන් හිටපල්ලා, මම මෝඩයා කියල හිතන උන් එහෙම හිතාගනිල්ලා.:D වෙන් වීමක් ගැන කියනවා නම් ඉතින් හමුවීමක් තියෙන්නත් ඕන නේ. මේක අමුතුම ආකාරයක හමුවීමක්.

මට අම්ම ඕන පෝස්ට් එකෙයි ඇගේ තනියට රැය පහන් කළෙමි පෝස්ට් එකෙයි කියපු මගේ පළවෙනි ආදර කතාව උසස් පෙළ ඉවර වෙනවත් එක්කම අවසන් වුනා. (එයාගේ නම සරණි) ඊට පස්සේ කාලය තමයි මම ජීවිතේ අමාරුවෙන්ම ගත කරපු කාලය. ඒ කාලේ ගෙවා ගත්තේ කොහොමද කියලා මට තාම හිතාගන්න බෑ.:) බොහොම පරිශ්‍රමයකින් සාමාන්‍ය තත්ත්වයට ආවත් මට එයාව කොහොමවත් අමතක කරන්න නම් බැරි වුනා. මොකක් හරි දෙයක් වෙලා කවද හරි මට එයාව ලැබෙනවා නම් කියන සිතුවිල්ලේ තමයි මම හිටියේ. කැම්පස් ආවෙත් ඔය වගේ මානසිකත්වයක. හැබැයි මෙහෙට ආවට පස්සේ අලුත් පරිසරය, කැම්පස් සංස්කෘතිය, අලුත් යාළුවො, සින්නො, රැග් එක වගේ දේවල් නිසා ඒ මතකය ටිකක් යට ගියා. ඔහොම කාලය ගෙවිලා, රැග් එකත් ඉවර වෙලා අපිට නිදහසේ ඉන්න පුළුවන් කාලේ ආව. ඔන්න ඔය කාලේ තමයි ෆේස්බුක් කියන කතන්දරේ දැනගත්තේ. කැම්පස් එන්න කලින් එක පාරක් ෆේස්බුක් කියන නම නම් අහල තිබුන. හැබැයි කිසිම අදහසක් තිබුනේ නෑ ඒ ගැන. මෙහෙ ආවට පස්සේ තමයි අපේ එකෙක් මට ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා දුන්නේ.

ඔය විදියට ඉතින් කාලේ ගෙවිලා ගියා. (මම කැම්පස් ආපු මුල්ම දවස් වල සරණිගේ යාලු අක්ක කෙනෙක් මට මැසේජ් එකක් දාල සුභ ආරංචියක් කියන්න තියනවා කියලා සරණිට කැම්පස් එකකට බෝට්ටුවක් ඇවිත් කිව්වා. හැබැයි මොන කැම්පස් එකේ මොන ඩිග්‍රියටද කියලා කිව්වේ නෑ.) මට හිතුන සරණිත් සමහර විට ෆේස්බුක් ඇති කියලා කැම්පස් නිසා. දවසක් මම සර්ච් කරලා බැලුවා. මෙන්න මෙයා ඉන්නවා...! ඊට පස්සේ ඉතින් අර යට ගිහින් තිබුන ඔක්කොම මතකය එක ක්ෂණයකින් ආයෙත් එලියට ආව. හදාගෙන හිටපු හිතට මොනවා වුනාද දන්නේ නෑ. මගේ හිතේ මොනවා තිබුනද කියලා දන්නේ නෑ, හැබැයි මම ඒ වෙලාවේම බොරු එකවුන්ට් එකක් හදලා ඒකිව ඇඩ් කරගත්තා. මගේ මොලේ කියන්නේ මැස්සෙක් වත් නැති හිස් එකවුන්ට් එකට තමයි ඒකිව ඇඩ් කළේ. (ඒ එකවුන්ට් එකේ නම මොකක්ද කියල දන්නවද බොලා?? ඒකෙ නමත් කසුන් චානක. මම කිව්වනේ ඕන හොර වැඩකට ඕක තමයි අහු වෙන්නේ.:)) හැබැයි වාසනාවට (හෝ අවාසනාවට) සරණි මාව ඇක්සෙප්ට් කරලා තිබුනා. හැබැයි එයා ඔන්ලයින් ආවේම නෑ. මම මැසේජ් එකක් දැම්මා නිකන්, බොහොම කෙටි පිළිතුරක් ලැබිලා තිබුනා ඒකට. මට දැන් මෙයාගේ විස්තර දැන ගන්න ලොකු වුවමනාවක් තිබුනා. එයා කොහෙද ඉන්නේ, යාලු වුන කොල්ල තාම ඉන්නවද, එයාට මාව මතකද, ඔය වගේ ප්‍රශ්න ගොඩයි මට.

ඊට පස්සේ මම කළ වැඩේ එයාගේ එකවුන්ට් එකේ ඉන්න කැම්පස් එකේ යාළුවො කියල හිතන්න පුළුවන් කෙල්ලෝ කොල්ලෝ 5ක් 6ක් ඇඩ් කරගත්තා. මට ඕන වුනේ උන් කවුරුහරි එක්ක ෆිට් වෙලා සරණි ගැන විස්තර අහගන්න. ඒක හිතන තරම් ලේසි නෑ කියලා මම දැනගෙන හිටියා. දන්නෙවත් නැති කෙනෙක් එක්ක කතා කරලා, යාළුකමක් හදාගෙන හොඳටම ෆිට් වෙලා නේ එහෙම දෙයක් අහනවා නම් අහන්න වෙන්නේ. ඒක ලොකු ප්‍රොසෙස් එකක් නේ. කොහොමහරි ඒ දේ කරනවා කියල හිතාගෙන තමයි මම ගේමට බැස්සේ. පස්සේ බලනකොට කෙල්ලෝ දෙන්නෙක්ද කොහෙද මාව ඇක්සෙප්ට් කරලා තිබුනා. හැබැයි දවස් දෙක තුනක්ම යනකල් ඔන්ලියින් දැක්කේ නෑ එක්කෙනෙක් වත්. මමත් කලබල නොවී හිටිය දවසක ඔන්ලයින් එනකල්ම. නැතුව එක පාරටම මැසේජ් එකක් දැම්මොත් මම මහ පැණියෙක් කියල හිතනවානේ.:)

ඉතින් ඔහොම ඉන්නකොට දවසක් අර දෙන්නගෙන් එක්කනෙක් ඔන්ලයින් ඉන්නවා දැක්කා. ඔන්න එතනින් තමයි මේ කතාව පටන් ගන්නේ. එදා ඒ ඔන්ලයින් හිටියේ කල්පනා, මේ කතාවේ කතා නායිකාව. ඉතින් හොඳ හුස්මක් අරගෙන දකුණු කකුල ඉස්සරහට තියලා hi කියලා ගහල යැව්වා. තත්තපර ගානකට පස්සේ එහා පැත්තෙනුත් hi කියල ආවේ මගේ මෙහෙයුමේ එක පියවරක් සාර්ථකයි නේද කියලා මට ලොකු සතුටකුත් අරගෙන. ඊට පස්සේ ඉතින් කතාව පටන් අරගෙන ශේප් එකේ ඇදගෙන ගියා. එයා අර සමහර කෙල්ලෝ වගේ කිසිම ආඩම්බර කමක් පෙන්නුවේ නෑ, බොහොම ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කළා. මටත් ඉතින් ඒක ලොකු පහසුවක් වුනා. එක පාරටම සීන් එක කියන්න බෑ නේ, ඒක නිසා ගොඩක් දවස් සාමාන්‍ය විදියට කතා කර කර හිටියා.

ගොඩක් ඉක්මනටම එයා මාත් එක්ක ෆිට් වුනා. සමහර දවස් වලට මම එයාව දැකලත් එයා කතා කරනකල් බලාගෙන ඉන්නවා.:) එයා දැක්කොත් අනිවා කතා කරන ගානට ෆිට් වුනා කොහොමහරි. මම හිතුවා දැන් සීන් එක කියන්න කාලේ හරි කියලා. ඊට පස්සේ මම දවසක් දෙයක් කියන්න තියනවා කියලා මුළු කතාවම කෙටියෙන් කිව්වා. කතාව කියලා එයා ගැන දැනගන්නයි මෙහෙම කලේ කියල කිව්වා. 

To be continued.....
..............................................................................................................................................................

ප.ලි. මගේ පෝස්ට් දිග වැඩියි කියල චෝදනා කරන නිසා ඔන්න පොඩි කෑල්ලයි දැම්මේ. පොඩි වැඩියි වගේ නම් කියන්නෝ. 

..............................................................................................................................................................

කල්පනා.....................

ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......

කල්පනා (II කොටස) 
 
ළඟදීම....!

:D :D :P :P


Sunday, May 13, 2012

ඔබා මාමේ ඔබට නිවන් සුව....!



අද දවසෙම බ්ලොග් අවකාශේ කියවෙන්නේ එකම දෙයක් ගැන. ඒ කාටත් නොකියම අපි අතරින් යන්නම ගිය ඔබා මාම ගැන. ඔබා මාම මේ හැම කෙනෙක්ගෙම හිතට කොච්චර සමීපද කියන එකට තවත් උදාහරණ ඕන නෑ. හැමෝටම හිත් වලට ඔබා මාමගේ සමුගැන්ම කොච්චර තදින් දැනුනද කියලා අද බ්ලොග් කියෙව්වම හොඳට තේරෙනවා. උදේ ඇහැරුන ගමන්ම මහිමය තමයි කෝල් කරලා ආරංචිය කිව්වේ. 

මම කවදාවත් ඔබා මාම එක්ක පුද්ගලිකව කතා කරලා නෑ. මූණට මූණ හමුවෙලා වත්, ස්කයිප් වත්, ගූගල් චැට් වත්, ෆේස්බුක් චැට් වත් ඔය කිසිම එකකින් ඔබා මාම එක්ක කතා කරලා නෑ. ඔබා මාම මගේ බ්ලොගේට ඇවිල්ල කමෙන්ට් එකක් දාල තියෙන්නෙත් එකම එක පාරයි. හැබැයි ඒ කිසි දෙයක් නැති වුනත් ඔබා මාම කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා හොඳටම තේරුම් ගත්තේ ඔබා මාමගේ බ්ලොග් අවකාශේ පුරාම තියන කමෙන්ට් වලින්. කවමදාවත් කාත් එක්කවත් රණ්ඩු වෙනවා දැකලා නෑ. කාවවත් අවතක්සේරු කරනවා, බනිනවා දැකලම නෑ. වැරද්දක් පෙන්නුවත් බොහොම ආදරෙන් ඒක පෙන්නලා දෙන්නේ. ඒ වගේම විශේෂම දේ ඔබා මාමගේ කමෙන්ට් වලින් වැඩිහරියක්ම කියවලා හිනා වෙන එකයි අපි කලේ. මිනිස්සු හිනස්සන්න ලොකු හැකියාවක් තිබුනා ඔබා මාමගේ කමෙන්ට් වලට. පෝස්ට් එකක කමෙන්ට් උඩින් පල්ලෙන් බලාගෙන යද්දී ඔබා මාමගේ කමෙන්ට් එක දැක්කොත් අනිවා නැවතිලා බලලා යන්නේ.   

තවත්  එකක් තමයි මොකක් හරි වාදයක් රණ්ඩුවක් යන තැනක මම දැකලා තියනවා ඔබා මාම ඇවිත් මොකක් හරි ජෝක් එකක් දාලා කට්ටියව කූල් කරලා යනවා. තමන් හිනා වෙලා ඉන්න ගමන් අනිත් අයවත් සතුටෙන් තියන්න තමයි ඔබා මාමා හැදුවේ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සොඳුරු මිනිසෙක් ඔබා මාමා කියන්නේ. ගතින් මහලු වුනත් හිතින් සුපිරිම තරුණයෙක්. ඒ වගේ කෙනෙක්ගේ ඇසුර ලබන්න මේ බ්ලොග් අවකාශය පින් කරලා තියනවා. හැබැයි මීට පස්සේ මේ බ්ලොග් අවකාශේ අයට ඔබා මාමගේ කමෙන්ට් එකක් බලන්න, ඔබා මාමගේ මඩ පාරක් කන්න පින නැති වේවි. ආව හැම කෙනෙකුටම යන්න වෙනවා, හැබැයි ඔබා මාම වගේ අයගේ මතකය හැමදාම මිනිස්සුන්ගේ හදවත් තුළ ඉතිරි වෙනවා. ඔබා මාම ගියාට ඒ මතකය කවදාවත් අපිව දාල යන්නේ නැති වේවි. 

ඔබා මාමේ නිවන් දකින ජාති දක්වාම අපි අතරේම ඉපදෙන්න. එහෙම ඉපදිලා ඇවිත් කමෙන්ට් එකක් දාලා මේ බ්ලොග් අවකාශේ ලස්සන කරලා යන්න. අපි බලාගෙන ඉන්නවා.

Thursday, May 10, 2012

A-14 පාර

කාලෙකින් මුකුත් ලිව්වෙත් නෑ. අප්පෝ ලියන්නත් පස්ට කම්මැලියි අප්පා. ඒත් මේක පාලුවට යන්න දෙන්නත් හිතට දුකයි. ඒ නිසා පොඩි හොර වැඩක් කරන්න කියලා සෙට් වුනේ.:) මීට කලින් මම බ්ලොග් එකේ දාපු කවියක් ආයෙත් දාන්න කියලා හැදුවේ. කලින් කිව්වේ ගොඩාක් කලින්. ඒ කිව්වේ මගේ දෙවනි පෝස්ට් එකේ තමයි මම ඒක දැම්මේ. ඒක ගොඩක් දෙනෙක් දැකලත් නැති නිසා ආයෙත් දාන්න හිතුනා. එතකොට මගේ බ්ලොගේ පාලුවට යන්නෙත් නෑ නේ. හැබැයි පොඩි බොරුවක් එක්ක තමයි එදා මම ඒක දැම්මේ. මම එතන දැම්මේ ඒක මගේ මගේ යාලුවෙක් ලියපු එකක් කියලා. හැබැයි ඇත්ත කතාව ඒක මම ලියපු එකක්.:) මම එදා එහෙම දැම්මේ මගේ අනන්‍යතාවය අහු වෙයි කියලා බයට. දැන් නම් එහෙම අවුලක් නෑ, අපේ බැච් එකේ එකම එකයි බ්ලොග් කියවන්නේ, ඌත් දැන් දන්නවා මගේ බ්ලොග් එක ගැන. 

අපේ තර්ඩ් ඉයර් එකේ මුල තමයි ට්‍රේනින් යන්න තියෙන්නේ. මම මුලින්ම වැටුනේ මැදවච්චිය - මන්නාරම (A-14) පාරට. සයිට් එක තිබුනේ මැදවච්චිය ටවුන් එකේ ඉඳල කි.මි. 39ක් මන්නාරම පැත්තට වෙන්න. ඒ සයිට් එක තිබුන පැත්ත දරුණුවටම යුද්ධෙ තිබුන පැත්තක්. ඒ කාලෙත් බිම් බෝම්බ අයින් කරපු නැති පැති තිබුණා. අපි හිටපු හරියේ එකම එක ගෙයක් වත් නෑ. මට මතක විදියට කි.මි. 20ක් විතර මැදවච්චිය පැත්තට ගියාම තමයි ගමක් අහුවෙන්නේ. අපි හිටපු හරියේ ටිකක් එහාට වෙන්න සරණාගත කඳවුරු දෙකක්ද තුනක්ද තිබුනා. පොලිස් ස්ටේෂන් එකක් තිබුනා, ඊට අමතරව තැනින් තැන ආමි එකෙන් හිටියා. මිනිස්සු කියල එච්චරයි හිටියේ. හැබැයි ඔය පාරේ නම් වාහන යනවා එකම ගානට. UN එකේ ඒවා, RDA එකේ ඒවා, ට්‍රිප් යන වාහන, බස් ඔය වගේ ගොඩක් වාහන ගියා. පාරවල් කෙලින් නිසා උන් යන්නේ නම් හයිවේ එකේ යනවා වගේ. ඒ අස්සේ හිටී ගමන් මැති ඇමතිලත් යනවා. ඒ ඔක්කොම මන්නාරමට යන ඒවා.

මහ පුදුම පාළුවක් තිබුනේ එහෙ ගියාම. අනිත් එක පොඩි ආදර හුටපටයකුත් ඔලුවට ගහලා තිබුනේ ඒ කාලේ.:) ඉතින් විකාරයි වගේ එහෙ ඉන්නකොට. පළවෙනි සතියෙම මට ඉන්න වුනේ පාර හදන තැන. ස්ටාෆ් මදි වෙලා අපේ ට්‍රේනින් හිටපු දෙන්නට මාරුවෙන් මාරුවට ලේබර්ස්ලව සුපර්වයිස් කරන්න වුනා. ඉතින් දවසෙම ගිනි අව්වේ, දුවිල්ලයි ගල් කුඩුයි එක්ක ඉන්න ගියාම පුදුම සනීපයි. ඒ පාර කැඩිලා නිසා පුදුම දූවිල්ලක් තිබුනේ. ඒකට ගල් කුඩුත් එකතු වුනාම හරිම සන්තෝසයි. සතියක්ම මට එහෙම ඉන්න වුනා. අන්න එහෙම ගිනි අව්වේ ඉන්නකොට ලියවුන කවියක් තමයි මේ.


(මේ තියන කි.මි. කනුව ළඟ තමයි අපේ සයිට් ඔෆිස් එක තිබුනේ. මේක මම ගත්තේ එහෙන් එන්න බස් එක එනකල් ඉන්න වෙලාවේ.)

මම එහෙ හිටියේ සති තුනයි. හෙඩ් ඔෆිස් එකේ වැඩක් කියලා මාව ආයෙත් ගෙන්නගත්තා. මම ආපු ගමන් කලේ මේ කවිය ෆොටෝ එකට දාල හදපු එක.:) මගේ ඇත්ත මූනුපොතේ එකවුන්ට් එකේ ඉන්න අයට නම් බලන්න පුළුවන් මේක ඇති Wall Photos වල. සති තුනෙන් ඉවර වුන නිසා හොඳයි, තව හිටිය නම් පිස්සු හැදෙනවා.



Tuesday, April 24, 2012

අවසන් කවිය




ඔබ නමට ලියවෙන
මෙයයි අවසන් කව
තවත් මේ පන්හිඳෙන්
නොලියවෙයි කවි ඔබ ගැන

මතක  ඇත්නම් ඔබට
පෙර දිනක ඔබ නමට
සෙනෙහසින් පද බැන්ද
පුංචි කවියක අරුමය

අසම්පූර්ණයි තවම
ඔබ නමින් මා ලියූ කවිය
අත් හැර දමන්නට එය
සිත නොනැමෙයි කිසි විට

වෙහෙසයි දැන් සිත හොඳටම
ගලපගන්නට බැහැ
තවත් මේ පද මට...
වෙහෙසුනත් කොයිතරම්
අර්ථයක් දෙනු බැහැ මේ කවියට

නික්මෙන්නට කාලයයි
අතැර හැර ඒ කවිය
නොගැලපෙන පද ගොඩක් මැද
තවත් හරඹයක ඵල කිම

තරහක් නෑ කිසිම
එළිසමය නොවූවාට
මගේ කවියට නුඹ...
මට ලියනු බැරි කවිය
ලියනු ඇත තවකෙකු හෙට

නිමාවයි මෙය
වෙහෙසකර වූ ගමනක
ඉතින් හැර යමි
මට අයිති නැති මගේ කවිය


Friday, April 20, 2012

මෙන්න ගහනෝ...!

අලුත් අවුරුද්දට පළවෙනි පෝස්ට් එක කොටන්න යන්නේ.:) හැබැයි කියන්න වෙන්නේ නම් එච්චර ලස්සන කතාවක් නෙමෙයි. කැම්පස් එකේ සෙට් එකක් ඊයේ අපේ පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර සෙට් වුනා. නුවර, පුත්තලම, කුරුණෑගල වගේ එක එක පැති වලින් 6 දෙනෙක් බයිසිකල් වලිනුයි, තව එකෙක් බස් එකෙනුයි ආව. ළඟ පාත හිටපු උන් 4 දෙනෙක් එකෙක්ගේ තී වීල් එකකින් එහෙට ගියා. මාත් ගියේ තී වීල් එකේ. උන් ටික රෑ එහෙන් කාල එහෙමම දෙනියායේ තව එකෙක්ගේ ගෙදර යන්න සෙට් කරගෙන හිටියේ. දවල් වෙනකොට අපි එහෙට ගියා. ඊට පස්සේ ඉතින් කැරම් ගහල, සළු වෙන උන් සළු වෙලා, නාල, රෑටත් කාලම තමයි ආවේ. රෑ වෙලා තව එකෙක් ආව. ඉතින් ඔක්කොම කරලා එනකොට තමයි සීන් එක ගියේ.

උන්ගේ ගෙදර තියෙන්නේ ප්‍රධාන පාරෙන් ටිකක් ඇතුලේ. දැන් අපි බයික් තුනේ 6 දෙනයි, තී වීල් එකේ 6 දෙනයි ආවේ. මම ආවේ ත්‍රී වීල් එකේ ඉස්සරහ ඩ්‍රයිවර්ගේ සීට් එකෙන් කෑල්ලක් ඉල්ලගෙන. අපි අතුරු පාර දිගේ ඇවිත් ප්‍රධාන පාරට දාන්න හදන කොට එතන ත්‍රී වීල් එකක් නවත්තලා තිබුනා. 15ක් විතර වට වෙලත් හිටියා. අපි අර ත්‍රී වීල් එක පිටිපස්සෙන් නැවැත්තුවා යන්න ඉඩ ලැබෙනකල්. තත්ත්පර ගානක් යනකොට තමයි තේරුනේ එතන රණ්ඩුවක් කියලා. ඊළඟ මොහොතේ ඒක ගුටි කෙලියක් බවට පත්වුනා. අපිව දැන් කරකවලා අත ඇරියා වගේ, කවුද ගහන්නේ කවුද ගුටිකන්නේ කියලවත් හිතා ගන්න බෑ, චට පට ගාල වදිනවා විතරයි පේන්නේ. අපි එතකොටත් ත්‍රී වීල් එක ඇතුලේමයි හිටියේ. මොකෝ අපි මැදට පැනලා නවත්තන්න කියලයැ. අපිත් කරගන්න දෙයක් නැතුව බලාගෙන හිටියා. 

එතකොටම කවුද ගෑනු කෙනෙකුයි, අවුරුදු දහ අටක විස්සක විතර කෙල්ලෙකුයි එතනට දුවගෙන ආව. අර ගෑනු කෙනා ආපු ගමන් මැදට පැනලා වලිය බේරන්න හදනවා. ඊළඟ මොහොතේ අපි දැක්කේ අර ගෑනු කෙනා විසිවෙලා ඇවිත් අපේ ත්‍රී වීල් එක ඉස්සරහ වැටෙනවා. මම නිකන් ඉබේම වගේ ත්‍රී වීල් එකෙන් එලියට පැන්නේ. ඒ මනුස්සයට අවුලක් නෑ, ඒ මනුස්සය ආයෙත් නැගිටලා වලිය මැද්දට ගියා. අපිට තේරුණ විදියට වලිය යන්නේ ත්‍රී වීල් එකකින් ආපු කට්ටියකුයි, පාර අයිනේ හිටපු කොල්ලෝ සෙට් එකකුයි අතරේ. ත්‍රී වීල් එක පාරට දාන්න හදද්දී මොකක් හරි වෙන්න ඇති. පොඩ්ඩක් ගෑවුනත් ඇතිනේ ඉතින් මරාගන්න. කොහොමහරි කොල්ලෝ සෙට් එකේ පිරිස වැඩියි. ත්‍රී වීල් එකෙන් ආපු අයට තමයි වැඩිපුර ගුටි වදින්නේ. අර ගෑනු කෙනෙයි කෙල්ලයි ත්‍රී වීල් එකෙන් ආපු අයගේ කවුරුහරි.

වැඩේ නවතින පාටකුත් නෑ. අර ගෑනු මනුස්සයත් ගේම අතාරින්නෙ නෑ, කොහොමහරි එයාගේ අයව පැත්තකට ගන්න හදන්නේ. අර කෙල්ල හිටියේ මගේ ළඟ. ඒකි හොඳටම බය වෙලා. ත්‍රී වීල් එකෙන් ආපු සෙට් එකේ දහ අටක විස්සක විතර කොල්ලෙක් හිටියා, ඌ නාහෙට අහන්නෙම නැති එකෙක්. ඌ එක පාරටම ත්‍රී වීල් එකේ තිබිලා මොකක්දෝ පොල්ලක් ගත්තා. ඊට පස්සේ ඒකෙන් අර කොල්ලෝ ටිකට ගහගෙන ගහගෙන ගියා. කොහෙන් ආවද මන්ද තවත් පොලු දෙකක් අර කොල්ලෝ සෙට් එක අතට ආව. ඒ පාර දැන් පොලු වලින් ගහගන්නේ. කොහොමහරි ත්‍රී වීල් එකෙන් ආපු අය දැන් හොඳටම ගුටි කනවා. අරුන් පොලු තුනෙන්ම මුන්ට ගහනවා. ත්‍රී වීල් එකේ ආපු අය වැඩේ අත ඇරලා පසු බැස්සා. හැබැයි අර කොල්ලෝ සෙට් එක නැවැත්තුවේ නෑ. උන් පොලු වලින් ගහගෙන ගහගෙන ගියා. අර ගෑනු මනුස්සය මැදට පැනලා අර කොල්ලන්ට පින්සෙන්ඩු වෙවී ගහන එක නවත්තන්න හදනවා. ඒත් උන් නවත්තන්නේ නෑ, ඒ ගෑනු කෙනාව බේර බේර අනිත් උන්ට ගහනවා. 

ත්‍රී වීල් එකේ ආපු අය යන්න හැදුවත් අරුන් යන්න දෙන්නේ නෑ, හොඳටම ගහනවා. අර ත්‍රී වීල් එකේ ආපු කොල්ල තමයි බේර ගන්න බැරි. ඌ ගේමටමයි යන්නේ. කොහොමහරි අර ගෑනු කෙනෙයි තව එකෙකුයි ඌව ඇදලා දාගත්තා ත්‍රී වීල් එකට. එතකොට ටිකක් විතර වැඩේ ශේප් වේගෙන ගියේ. ඌ තමයි ත්‍රී වීල් එක ගෙනත් තියෙන්නේ. ඌ ඒක ස්ටාර්ට් කරන්න හදනකොට එකෙක් ඇවිල්ල අරූව ආයෙත් එලියට ඇදලා අරගෙන ගහන්න ගත්තා. අර ගෑනු කෙනා පැනලා කොහොමහරි අරූව ආයෙත් ඇතුලට දාගත්තා. ඒත් හරි යන්නේ නෑ, ඒ පාර තව එකෙක් ත්‍රී වීල් එක ඇතුලට කකුල දාල ඌට ගහන්න ගත්තා. ඌත් නාහෙට අහන්නේ නැති එකා නේ, ඌත් එලියට බැහැලා ආයෙත් ගහනවා. ඒ වෙලාවේ නම් හොඳටම වැදුනා ඒ කොල්ලට. දැන් අර කෙල්ලත් නලියනවා, ඒකිත් මැදට පනින්න හදන්නේ. මම ඒකිට "ඔයා පැත්තකට වෙලා ඉන්න" කියල කියන්නත් ගිහින් නිකන් හිටියා.

කොහොමහරි ත්‍රී වීල් එකෙන් ආපු අය අර කොල්ලව ඇදගෙන පස්සට ආව. ඌ එන්නෙම නෑ, ගහන්නමයි යන්නේ. එතකොට අර කෙල්ලත් පැනලා අරූව පස්සට ඇදගෙන ආව. ඒ අස්සෙත් අරුන් පොලු වලින් ගහනවා. හැබැයි තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් අර කෙල්ලටත් පොලු පාරක් වදිනවා. ඒකිට ඒ පාර වැදුනා නම් ඉතුරු වෙන්නේ නෑ. ඒකි චූටි, කෙට්ටු කෙල්ලෙක්. අරූව කොහොමහරි අපි ආපු පැත්තටම ඇදගෙන ගියා කට්ටිය එකතු වෙලා. ඊට පස්සේ බලනකොට පාර ගාව කෙනෙක් වැටිලා ඉන්නවා. අරූව ඇදගෙන ගියාට පස්සේ ඔක්කොම අර මනුස්සයට ගහලද කොහෙද. අර ගෑනු කෙනා "අනේ අයියේ" කියල කෑගහගෙන එතනට දිව්වා. අර කෙල්ලත් එතනට දිව්වා. ඔන්න එතකොට කොල්ලෝ සෙට් එක බය වෙලා ශේප් එකේ මාරු වුනා. ඒ මනුස්සයට පොලු පාරක් වැදිලා මම හිතන්නේ, සිහිය නැතුව වැටිලා ඉන්නවා. දැන් ගහගත්ත උන් එකෙක්වත් නෑ. අර වැටිච්ච මනුස්සයයි, ගෑනු කෙනයි, කෙල්ලයි, අපේ සෙට් එකයි විතරයි.

ඒ වෙලාවේ තමයි මම ආමාරුවෙන් පියවි සිහියට ආවේ. මම හැරිලා බලනකොට අපේ උන් ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා. මම එකෙක් කතා කරගෙන අර මනුස්සය ලඟට ගියා. ඌ පැන්න ගමන් අර මනුස්සයාගේ නාඩි අල්ලලා බැලුවා පන තියේද කියලා. ඒ මනුස්සය අමාරුවෙන් හුස්මත් ගන්නවා, මූ බැලුවේ පන තියේද කියලා. දැන් අර ගෑනු කෙනා කෑගහගහ එහාට මෙහාට දුවනවා. අර කෙල්ල අර මනුස්සයව බදාගෙන අඬනවා. වටපිට කවුරුවත් ඇත්තෙත් නෑ. අපේ ත්‍රී වීල් එක ගෙනාපු එකාට මම ගිහින් කිව්වා මේ මනුස්සයව හොස්පිටල් එකට අරන් යමු කියලා. ඌ කිව්වා අර මිනිස්සුන්ගේ ත්‍රී වීල් එකේම දාගෙන යමු කියලා. බයික් වල ආපු සෙට් එකේ එකෙක් හිටියා ත්‍රී වීල් ලයිසන් තියන. ඌ ටක් ගාල අර මිනිස්සුන්ගේ ත්‍රී වීල් එක ගත්තා. යතුර බිම තිබුනේ, ලෝක අමාරුවෙන් හොයා ගත්තේ. කොහෙන්හරි තව තව පිරිමි කෙනෙක් ඇවිත් හිටියා අර ත්‍රී වීල් එකේ ආපු අයගේ නෑදෑ වෙන. ඒ මනුස්සයවත් නග්ගගෙන ලෙඩත් ඇතුලට දාගත්තා. අර ගෑනු කෙනා කෑගහනවා ඉවරයක්‌ නෑ "අනේ මල්ලි අපිට උදව් කරන්න" කියලා. ත්‍රී වීල් එක පදින එකා ගම්පහ එකෙක්. ඌ පාරවල් දන්නේ නෑ. මාත් අමාරුවෙන් ඇතුලට රිංග ගත්තා. 

ඊට පස්සේ ඉක්මනට ඒ මනුස්සයව හොස්පිටල් එකට අරගෙන ගියා. වැඩි දුරක් නෑ, කි.මී. 5ක් වගේ තියෙන්නේ හොස්පිටල් එකට. යන අතරේ අර ගුටි කාපු මනුස්සය ඔලුව උස්සලා බැලුවා. කතා කලේ නම් නෑ. මොකද වුනේ කියලවත් කවුරුවත් දන්නේ නෑ. ඊට පස්සේ හොස්පිටල් එකට ගිහින් බාර දුන්නා. මායි අනිත් එකයිම ඒ මනුස්සයව රෝද පුටුවක වාඩි කරවලා අර මනුස්සය එක්ක ඇතුලට යැව්වා. ලෙඩත් එක්ක ආපු මනුස්සයට මුකුත් තේරෙන්නේ නෑ. ඒ මනුස්සය බයවෙලා ඔක්කොටම වැඩිය. "මල්ලි මම ලෙඩාව බාරදීල එනකල් පොඩ්ඩක් ඉන්න" කියල ගියේ. එතන හිටිය දොස්තර ලෙඩාගෙන් විස්තර ඇහුවා. ඒ මනුස්සය හරියට කතා කලේ නෑ. ලෙඩා බාර දෙන්න ආපු එකා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අරූ ත්‍රී වීල් එක එළියෙන් නවත්තලා යතුර අරගෙන ආව. අපිට කරන්න පුළුවන් ටික අපි කළා නේ. තව එතන අපි හිටියා කියල වැඩකුත් නැති නිසා අපි යතුරත් අර කෙනාට දීල ආව. මම කිව්වා අර මනුස්සයට ඔලුවට පොලු පාරක් වදින්න ඇති කියලා කියන්න කියලා. අපි එනකොට ලෙඩාව රෝද පුටුවේ තියාගෙන වාට්ටුවකට අරගෙන ගියා. ලොකු අමාරුවක් නම් පෙනුනේ නෑ. වැදුන පාරට සිහි නැති වෙලා වගේ තියෙන්න ඇත්තේ. 

ඊට පස්සේ ඉතින් අපි එන්න ආව. මාව ගෙදරින් දාල අරුන් එහෙමම ගියා. ඕක තමයි සිද්ධිය. වලි නම් ඕන තරම් දැකලා තියනවා. හැබැයි ගුටිකාපු කෙනෙකුට උදව් කලේ පලවෙනි වතාවට. හිතට පොඩි සතුටකුත් දැනුනා මනුස්සයෙක් අසරණ වුන වෙලාවට උදව් කරන්න පුළුවන් වුනා නේද කියලා. මට වැඩියෙන්ම දුක අර ගෑනු කෙනා ගැන. ගේම අත ඇරියෙම නෑ. ඒ මනුස්සය හිටියේ නැත්තන් ඕක ඔහොමවත් ඉවර වෙන එකක් නෑ. 

ප.ලි. ඊයේ ලියන්න ගත්තට අද තමයි ඉවර කලේ. එතකොට මේ සිද්ධිය වුනේ පෙරේද රෑ.


Tuesday, April 10, 2012

අවුරුද්ද නම් ඒවි, ඒත් ඒ මම හිතපු විදියට නොවේවි


තවත් අලුත් අවුරුද්දක්
ටික දිනකින් ඒවි
හැමදාම වගේ මේ පාරත්
කොහා උගේ සින්දුව කියාවි

ඒත් ඒ අවුරුද්ද
හිතපු තරම් ලස්සන නොවේවි
අවුරුද්ද ගැන මම දැකපු හීන
එකක් වත් ඉටු නොවේවි

අවුරුද්දට ගෙදර යන්න
ඔයා මගේ ළඟ නැති වේවි
වෙනද  පුරුදු පාරේම
මම තනියම ගෙදර යාවි

නැකත් වෙලාවට ෆෝන් එකෙන්
බත් කටක් කවන්න මට බැරි වේවි
වැඩ අල්ලන්න ඔයත් එක්ක
කතා කරන්න මට බැරි වේවි

මම හිතපු විදියට
මුකුත් වෙන්නේ නැති වේවි
අවුරුදු  කාලේ ඔයත් එක්ක
ඇවිදින්න යන්න මට බැරි වේවි

ඔයා ගෙදරින් අරන් ආපු
කැවිලි කන්න මට බැරි වේවි
ඔයාට දෙන්න හිටපු මල් මල් ගවුම
දෙන්න විදියක් නැති වේවි

තවත් දවසක් වගේම
අවුරුද්දත් යන්න යාවි
සින්දු කියපු කොහාටත්
ඊට පස්සේ වෙන වැඩ තියේවි

අවුරුද්දට මම දැකපු හීන
එකින් එක බොඳ වේවි
අවුරුද්දත් ගිහින් ඔයත් ගිහින්
මම විතරක් මෙහි ඉතුරු වේවි


Sunday, April 8, 2012

අක්කා නැති අපට බඩගිනි වෙන්න එපා....!




අම්මියෝ, ගොඩක් කාලෙකින් මේ මොනවහරි කොටන්න කියල ලේස්ති වුනේ. ගොඩක් දවසකින් බ්ලොග් එකක් කියෙව්වේවත් නෑ. දන්නෙ නැද්ද ඉතින් ඔය හිටීගමන් එක එක ප්‍රශ්න එනවනෙ.:) අද ලියන්න හදන දේ නිකන් ආත්මානුකම්පාව පිටකිරීමක් වගේ දෙයක්. පොඩි කාලෙ ඉඳලම මට ලොකු අඩුවක් විදියට දැනුනු දෙයක් තිබුනා. අදටත් ඒ අඩුව කිසි අඩුවක් නතුව ඒ විදියටම මට දැනෙනව. සමහර විට ඒක එදාටත් වැඩිද කියලා හිතෙනවා. ඒ තමයි මටම කියල අක්කෙක් නැති එක. නංගියෙක් හරි මල්ලියෙක් හරි ඕන වුනා නම් ඒ කාලෙ අම්මටයි තාත්තටයි කියලා මොකක් හරි ඇරේන්ජ්මන්ට් එකක් දගන්න තිබුනා. ඒත් දෙයියනේ අක්ක කෙනෙක් කොහොමද එහෙම හදාගන්නේ.

අයියලා වැඩක් නෑ, උන් මේ ලෝකෙ රහක් නෑ. අනිත් එක උන් ගහනවයි, බනිනවයි, නීති දානවයි, බලෙන් වැඩ කරගන්නවයි කරදර ගොඩයි. උන් එක්ක හුරතල් වෙන්නත් බෑ නේ. ඊලඟට නංගිලා මල්ලිලත් වැඩක් නෑ, උන්ගෙනුත් වද විතරයි. අනිත් එක ප්‍රශ්නයක් ආපු වෙලවට, හිතට දුකක් ආපු වෙලාවට නංගිල මල්ලිලා එක්ක කියන්න බෑ නේ. ඒ වගේද අක්කෙක් හිටියොත්, හැමතිස්සෙම ආදරෙන් හොයලා බලනවා, හිතේ තියන ඕන ප්‍රශ්නයක් දුකක් කියන්න පුලුවන්, ඕන තරම් හුරතල් වෙන්න පුලුවන්, අම්ම නැති වෙලවට උකුල උඩ ඔලුව තියගෙන නිදා ගන්න පුලුවන්. තව කොච්චර වාසි තියේද. ඒ නිසයි මම අක්ක කෙනෙකුට එච්චර ආස. මොනව කරන්නද ඉතින් නෑ නේ. අනිත් එක ඉතින් අක්කෙක් ඉන්නවා නම් ඉතින් අම්ම නැති වුනත් බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ නේ.:)

මටම කියලා අක්ක කෙනෙක් හිටියේ නැති වුනත් මට ටිකක් හරි අක්ක වගේ හිටියේ මද්දු අම්මගේ දුව. මම පොඩි කාලේ හිටියේ මද්දු අම්ම ළඟ. මද්දු අම්ම ලඟට මගේ ගැන හොයල බැලුවේ ඒ අක්ක තමයි. මට කවලා පොවලා නාවලා මාව බලාගත්තා. හැබැයි කවදාවත් තමන්ගේම අක්ක කෙනෙක්ගෙන් ලැබෙන ආදරේ නම් මට ලැබුනේ නෑ. මද්දු අම්මගේ පුතාල දෙන්නට (ඒ කිව්වේ ඒ අක්කගේ මල්ලිලා දෙන්න) ලැබෙන ආදරෙයි මට ලැබෙන ආදරෙයි මහා ලොකු වෙනසක් මට දැනුනා. ඒ නිසයි මට එදා ඉඳලා අක්ක කෙනෙක් නැති අඩුව ගොඩක් දැනුනේ. කොහොම වුනත් ඉතින් මට එහෙම හරි අක්ක කෙනෙක් හිටියේ එයා විතරයි. ඒ නිසා වෙන්නැති එයා බැඳලා යන දවසේ අයියලා දෙන්න තරමටම මටත් ඇඬුනේ. බැඳලා ගියාට පස්සේ නම් මාව ඉන්නවද නැද්ද කියලවත් බැලුවේ නැද්ද කොහෙද.:) හැබැයි මම නහයේ සර්ජරි එකක් කරන්න ඉස්පිරිතාලේ නවත්තපු වෙලාවේ නම් අක්ක පුදුම මහන්සියක් වුනේ මම නිසා. (අක්ක ඒ ඉස්පිරිතාලේ නර්ස් කෙනෙක්)

අක්ක කෙනෙක් නැතුව හිත රිදුන තැන් නම් ගොඩක් තිබුනා. මට අදටත් මතක් වෙන එක සිද්ධියක් තියනවා. දවසක් අපේ ලොකු අම්මලාගේ ගෙදර දානයක් තිබුනා. අපි ඔක්කොම එහෙ ගිහින් හිටියේ. ඒ කාලේ මට එච්චරම ලොකු වයසක් නෑ. අයියල දෙන්නටත් (මද්දු අම්මගේ පුතාල දෙන්න) ලොකු වයසක් නෑ. අපි තුන් දෙනා ඉතින් බෙදාගෙන පැත්තකට වෙලා කෑවා. එතනට ලොකු අම්මගේ දුව බඳින්න හිටපු අයියත් ආව. අපි හතර දෙනාම කතා කර කර කකා හිටියේ. අපි කන වෙලාව වෙනකොට කට්ලට් ඉවර වෙලා තිබුනේ. ඒ වෙලාවේ එතනට මද්දු අම්මගේ දුවයි (මම කලින් කියපු අක්ක), ලොකු අම්මගේ දුවයි ආව. ලොකු අම්මගේ දුව අර අයිය ළඟිනුත්, මද්දු අම්මගේ දුව අයියල දෙන්න ළඟත් වාඩි වුනා. ඊලඟ මොහොතේ ඒ දෙන්න අතේ ගුලි කරන් හිටපු කට්ලට් ටිකක් හොරෙන්ම අර තුන් දෙනාගේ පිඟන් වලට වැටුනා. මොන කරුමෙකටද මන්ද මම ඒක දැක්කා. මගේ පිඟානට කට්ලට් එකක් දාන්න කෙනෙක් හිටියේ නෑ. මට අක්කෙක් හිටිය නම් මගේ පිඟානටත් ඒ වගේම කට්ලට් එකක් වැටේවි. මට ඒ වෙලාවේ දැනුන දේ නම් මට අදටත් විස්තර කරගන්න බෑ. මම හිටපු වයසත් එක්ක ඒ සිද්ධිය නම් වදින්න පුළුවන් ඇතුලටම වැදුනා.

දැන් ඉතින් හිතන්න එපා මේ කට්ලට් එකක් කන්න නැති වුන එකටයි මේක මේ දුක් වෙලා තියෙන්නේ කියලා. කට්ලට් එකට වඩා ලොකු දෙයක් එතන තියනවා. ඒ දේ තමයි මට නැති වුනේ. ඒක හැමෝටම තේරෙනවා ඇති කියලා මම හිතනවා. 

අපේ  එකෙක් ඉන්නවා ඌට අක්කලා හතර දෙනෙක් ඉන්නවා. අර මගේ පොඩි පොඩි කතා ටිකක් පෝස්ට් එකේ බස් ටිකක් එකක කෙල්ලෙක්ට නම්බර් එකක් ලියල දෙන්න ගිහින් චාටර් වෙච්ච එකා ගැන තමයි මේ කිව්වේ. අම්මෝ ඌට තියන සැලකිලි. අක්කල හතර දෙනා තරඟෙට වගේ ඌට ආදරේ කලේ. උගේ අම්මයි තාත්තයි ඌ ගැන හෙව්වෙම නෑ, හැම දෙයක්ම බැලුවේ අක්කලා. අක්කලා හතරක් නම් හැබැයි ටිකක් විතර කරදරයි.:D දැන් නම් අක්කලා තුන් දෙනෙක්ම බැඳලා ගෙදරින් ගිහින්. දැන් ඉතින් අස්සයා මැරිච්ච කව් බෝයි වගේ ඔහේ ඉන්නවා.

අක්කෙක් හිටිය නම් කියන සිතුවිල්ල හැමදාම හිතේ තිබුනත්, මේ ගැන ලියන්න හිතුනේ මේ ලඟදි වෙච්ච සිද්ධියක් නිසා. අක්කලා, මල්ලිලා ගැන කොච්චර හිතනවද හොයනවද කියලා මට එදා හිතුනා. මේ ලඟදි අපේ ඩිපාර්ට්මන්ට් ට්‍රිප් එක ගියා. සෞඛ්‍ය තත්ත්වය හොඳ නැති නිසා මම නම් ගියේ නෑ. හැම අවුරුද්දෙම ට්‍රිප් එක සංවිධානය කරන්න ඕන සකන්ඩ් ඉයර් එක. මේ කතාව ඉන්න අක්කා අපේ බැච් එකේ කෙල්ලෙක්. අර මම ඔයා හිතන විදියේ කෙනෙක් නෙමෙයි කසුන් කියන පෝස්ට් එකේ ඉන්න කෙල්ලම තමයි. ඒකිගේ මල්ලි අපේ ඩිපාර්ට්මන්ට් එකේම සකන්ඩ් ඉයර් එකේ, ඒ කිව්වේ මේ පාර ට්‍රිප් එක කරපු බැච් එකේ. ඔන්න ඉතින් ට්‍රිප් එක ගිහිපු අපේ කට්ටිය පාන්දර 4.30 විතර ආව. අනේ ඉතින් මම පාන්දරම ලස්සන ලස්සන වචන ගොඩක් කියාගෙන ගිහින් කාමරේ දොර ඇරියා. ඊට පස්සේ උන්ට ඕන මගුලක් කරගන්න කියලා මම ආයෙත් නිදා ගත්තා.

නින්ද යාගෙන එනකොට කෝල් එකක් එනවා. මම බැලුවා යකෝ මේ පාන්දර මට කවුද කෝල් කරන්නේ කියලා. බැලින්නම් අරකි. කොල්ලෙක්ට කතා කරන වෙලාවක්ද ඒක මම අහන්නේ? :P මම ආන්සර් කරපු ගමන් මේකි පිස්සුවෙන් වගේ කියවගෙන කියවගෙන ගියා මටත් නිකන් පිස්සු වගේ. "අනේ බලන්න කසුන්, අපේ මල්ලි කොහේ ගියාද හොයා ගන්න නෑ. ට්‍රිප් එක ගිහින් ආවට පස්සෙ මල්ලි හොයාගන්න නෑ. විශ් කරන වෙලාවේ හිටියෙත් නෑ. ෆෝන් එකත ඔෆ් කරලා. යාලුවන්ගෙන් ඇහුවම එක එක කතා කියනවා. එකෙක් කියනවා මොකක්ද වැඩකට ගියාලු, එකෙක් කියනවා බෝඩිමට ගිහින් නිදිලු, අනිත් උන් දන්නේ නෑ කියනවා. බලන්න කසුන් අද එයාගේ බර්ත්ඩේ එක. මම එයාට තෑග්ගකුත් අරන් තියාගෙන හිටියේ දෙන්න. දැන් හොයාගන්නවත් නෑ. කොහෙහරි කරදරයක් නැතුව ඉන්නවා නම් කමක් නෑ. අනේ පොඩ්ඩක් හොයල බලන්නකෝ කසුන්. මම හිතන්නේ මෙයා අද බීලද කොහෙද. ඒකයි කවුරුවත් මට කියන්නේ නැත්තේ. පොඩ්ඩක් බලන්නකෝ කසුන්." 
 
සීන් එක මේකයි. මේකිගේ මල්ලි අඩිය ගහන එකෙක්. හැබැයි ඒකි ඒක දන්නේ නෑ. ට්‍රිප් එක ගිහින් එන අතරේ උන් සෙට් එක බීල. පස්සේ කැම්පස් එකට ඇවිත් ඒකි මල්ලිව හොයනකොට ඌ නෑලු. දැන් අරකිට පිස්සු හැදිලා වගේ. ඊට පස්සේ මම සකන්ඩ් ඉයර් එකෙකුට කෝල් කරලා බැලුවා, ඌ වැඩිවෙලා බෝඩිමේ නිදිලු. ඌව කරෙන් අරගෙන ගිහින් තමයි බෝඩිමට දාල තියෙන්නේ.දැන් ඉතින් ඕක කිව්වොත් මේකි යකා නටනවා. මම කිව්වා මල්ලි මහන්සියට බෝඩිමට ගිහින් නිදි කියලා. මල්ලි ඉන්නවා කියල දැනගත්තට පස්සේ ඔන්න බය නැතිවුනා. හැබැයි දැන් ඒකිට සැකයි බීල කියලා. දැන් ඊට පස්සෙත් කෝල් කර කර මගෙනුත් එක එක විදියට අහනවා මල්ලි බීල නේද කියලා. මම බොහොම අමාරුවෙන් බේරිලා ශේප් කර කර හිටියා. ඊට පස්සේ එක පාරක් කිව්වා "කමක් නෑ එයා දැන් පොඩි ළමයෙක් නෙමෙයි නේ, හරි වැරැද්ද එයාම තීරණය කර ගනීවි නේ. එයාට හොඳ නම් මට මොකද?" කියලා. මම හිතුවා අම්මෝ ඊට පස්සේ වත් වැඩේ ඉවරයි කියලා. මොන? මෙන්න ටිකකින් ආයෙත් කෝල් එකක් එනවා. එතකොට 6.30 විතර ඇති. "කසුන් මට ඔයාලගේ පරණ බෝඩිමට යන පාර කියන්න." (අපි කලින් හිටිය බෝඩිමේ තමයි දැන් ඒකිගේ මල්ලිලා ඉන්නේ) මොන මගුලක්ද මේකි කරන්න යන්නේ? කොල්ලෝ 16ක් ඉන්න බෝඩිමකට යන්නද මේකි හදන්නේ? අම්මෝ පුදුම අමාරුවෙන් කියලා කියලා ශේප් කරගත්තේ. ඒකි යන්නමයි හැදුවේ. කොහොමහරි මගේ අහිංසක නින්දට නම් හොඳටම ෂොට් එක හම්බවුනා.පාන්දර 4.30 ඉඳලා 6.30 විතර වෙනකල් පස් පාරක් විතර කෝල් කළා. ඉතින් කොහේ නිදා ගන්නද? නින්ද යාගෙන එනකොට ආයෙත් කෝල් එකක් එනවා. ඒකි නම් පොඩ්ඩක් වත් නිදාගෙන නෑ.

මේකි පස්සේ දවසේ ලෙක්චර්ස් ආවෙත් නෑ. කොහොමහරි අරූ ටිකක් දවල් වෙන්න කෝල් එකක් දීල. අරකි බනිනකොට මල්ලි අනිත් පැත්තට බැනගෙන බැනගෙන ගිහින්. "තමුසේ මගුලක් කියනවා, මම මේ මහන්සියට නිදා ගත්තේ" කියලා. කොහොමහරි අන්තිමට ඒකි උගේ බොරුවට අහු වුනා.:) මම පස්සේ කෝල් එකක් දීල බැලුවා, එතකොට ශේප්. කොහොමහරි ඕක අපේ බැච් එකම වගේ දන්නවා. ට්‍රිප් එක ගිහින් ආපු වෙලාවේ මේකි කැම්පස් එක දෙවනත් වෙන්නම මල්ලිව හොයලා. අපි ඉතින් ඊට පස්සේ කලේ අරකිගේ මල්ලි දැකපු දැකපු තැන අක්කට කියනවා කියල ඌව බයිට් කරපු එක. හැබැයි ඒකිගේ සැකේ සම්පූර්ණයෙන්ම නැති වෙලා නම් නෑ. මට පස්සෙත් කිව්වා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. මට ඇත්තටම දුක හිතුනා ඒකි ගැන. කොයිතරම් අරූ ගැන හොයනවද? කොයිතරම් ඌට ආදරේද? මට ඒකිට ඇත්ත කියන්නත් හිතිලා පස්සේ ආයෙත් නිකන් හිටියා ඒකිට දුක හිතෙයි කියලා. එකක් ඒකි මගේ හොඳ යාලුවෙක්, අනිත් එක ඒකිත් අක්ක කෙනෙක්. ඒකිගේ එකටම ඉන්න යාළුවො එක්කෙනක් වත් ට්‍රිප් එක ගියේ නෑ. (වෙනදට ඒ සෙට් එකම යනවා නම් විතරයි යන්නේ. නැත්තන් එක්කෙනෙක් වත් යන්නේ නෑ.) ඒත් මේකි මල්ලි නිසාමයි ගියේ.

'අක්කා දෙවැනි අම්මාය' කියලත් කතාවක් තියනවා නේ. මම හිතන්නේ අක්කලා ඉන්න ගොඩක් දෙනෙක් ඒකට සාක්ෂි දරයි. මෙහෙම දේකුත් තියනවා, මම අයියලා, නංගිලා මල්ලිලාට ආදරේ නෑ කියනවා නෙමෙයි හොඳද. නැත්තන් මට අයියලාගෙන් බැනුම් අහන්න වෙන්නේ.:) ඒක පෙන්නන විදියෙයි වෙනස තියෙන්නේ. හරියට අම්මගෙයි තාත්තගෙයි ආදරේ වගේ. අම්ම ආදරේ පෙන්නද්දී තාත්ත හිතේ තියාගෙන ඉන්නවා. ඒ වගේම තමයි අයියලත් ආදරේ පේන්නේ නෑ.

කැම්පස් එකේදී වුනත් නිතරම දකිනවා අපේ උන්ගේ අක්කලා හැමතිස්සෙම කතා කර කර සැප දුක අහනවා, ගෙදර එන්න කියනවා. අලේ ඉතින් මට එහෙම කතා කරන්න කවුරුවත් නෑ නේ.:( දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මේ ආත්මේ පින් කරලා ලබන ආත්මේ හොඳ අක්කෙක් ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ.:)
..................................................................................................................................................................

ප.ලි. හැබැයි ඉතින් මේ ලෝකේ ඉන්න හැම අක්කම මම ඔය කිව්වා වගේ නෑ. හතුරෙක්ගෙවත් අක්ක කෙනෙක් වෙන්න හොඳ නැති අතලොස්සක් පමණ පිරිසකුත් ඉන්නවා.