අනේ බලන්නකෝ මට වෙච්ච වැඩේ. ලැපීගෙ අවුලක් ගිහින් ඊයෙ හදන්න අරගෙන ගියා. ඒක හදන්න තියල යන්න කිව්වා. සති දෙකක් විතර යනවලු හදල දෙන්න. :( අයියෝ දැන් හුස්ම වැටෙන්නෙත් නෑ වගේ. ඇත්තටම හිතට මාරම අවුල්. අපි ජීවිතේ ඇති කරගන්න බැඳීම් නිසා කොයිතරම් නම් දුක් වෙනවද? වැඩිපුරම මිනිස්සු එක්ක ඇති කරගන්න බැඳීම් නිසා අපි දුක් විඳිනවා. ඒ ඇරුනම ඔය වගේ භෞතික දේවල් වලට ඇතිවෙන බැඳීම් නිසාත් අපි දුක් විඳිනවා. හලේ මට නම් මේ සේරම එපා වෙලා තියෙන්නේ. දන් ඉතින් මේ ජීමේල් එකේ, ෆෝන් එකෙන් ටික ටික ටයිප් කරල තමයි මේක ලියන්නේ. (Real Time Unicode Converter එකට හරි යන විදියට ෆෝන් එකෙන් ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරලා සේව් කරගෙන පස්සේ කම්පියුටර් එකෙන් convert කරගන්නවා.) කොහොමද මගේ කැපවීම.:)
ට්‍රේනින් කාලේ වෙච්ච තවත් සිද්ධියක් ලියන්න කියල මේ ලේස්ති වුනේ. කලිනුත් එකක් ලිව්වනේ, ඒක බලන්න මෙතනින් යන්න. මේක නම් ඉතින් චාටර්ම සීන් එකක්. කලින් එක ලිව්වට පස්සේ මට මේකත් ලියන්න ඕන කියල හිතුන. ඒත් පස්සෙ නිකන් නොන්ඩියි වගේ කියල නිකන් හිටිය. කමක් නෑ, ඕන වෙඩිමක් කියල ඔන්න ඔහේ ලියල දානවා. කවුරු හරි මේකෙන් ආදර්ශයක් වත් ගත්තොත් ඒ මදෑ.:)
ඔන්න ඉතින් මායි අනිත් කෙල්ලයි වෙනද වගේ වැඩ කර කර (හෝ කයියක් ගහගෙන) ඉන්නවා. එතකොට අපේ ඉමීඩියට් බොස් අපි ලඟට ආව. අපේ ඉමීඩියට් බොස් විදියට හිටියේ පේර සිවිල් ඉන්ජිනියර් මිස් කෙනෙක්. ඇවිත් ඇහුව, "මම පෙන් එක ගෙනල්ල නෑ, ඔයාල ළඟ පෙන් එකක් තියනවද?" කියල. අනිත් කෙල්ල පෙන් එකක් ගේන්නේ නෑ. මම නම් පුරුද්දට වගේ පෙන් එක බෑග් එකේ දාගෙන ඉන්නේ. මම පෙන් එකක් තියනවා කියල බෑග් එක ඇරිය පෙන් එක ගන්න. ඒක ඇතුලේ මගේ පෙන් එකයි, තාත්තට ඉස්සර ඔෆිස් එකෙන් ලැබුන පෙන් එකයි (128MB :D) දෙකම තියනවා. ඔන්න එතකොට තමයි මට ඇඟ සීතල වෙලා යන දෙයක් මතක් වුනේ. ඔය දෙකෙන් එකක වැඩිහිටියන්ට සුදුසු නැති වීඩියෝ දෙක තුනක් තිබුන.:( මට දැන් ඉතින් මතක නෑ ඔය දෙකෙන් මොකේද ඒ ටික තියෙන්නේ කියල. දැන් මිස් බලාගෙන ඉන්නවා පෙන් එක දෙනකල්. මට පෙන් දෙකම පේනවා, ඒත් මම බොරුවට හොයනවා වගේ බෑග් එක පෙරල පෙරල මතක් කරනවා මොකේද තියෙන්නේ කියල.
කොහොම හරි යන්තන් දඟලල දඟලල මතක් කරගත්ත මොකේද තියෙන්නේ කියල. ඊට පස්සේ අනිත් පෙන් එක මිස්ට දුන්න. මිස් ඒක පියන් අයියට දුන්න වෙන සෙක්ෂන් එකකින් මොනවද දාගෙන එන්න කියල. මම ඉතින් සැනසුම් සුසුමක් හෙලලා බෑග් එක පැත්තකින් තිබ්බ. එතකොට මට මතක් වෙච්ච දෙයින් ආයෙත් පාරක් සර්වාංගයම සීතල වෙලා හීන් දාඩියත් දාන්න පටන් ගත්ත. විනාසයි! මට එතකොට තමයි හරියට මතක් වුනේ, මම මිස්ට දීපු පෙන් එකේ තමයි ඒ ටික තිබුනේ. දැන් මොනවා කරන්නද? පියන් අයියත් ගිහින්, මොන සෙක්ෂන් එකටද ගියේ කියල දන්නෙත් නෑ. දැන් ඉතින් මුළු ඇඟම වෙව්ලන්න අරගෙන ඉහෙන් කනෙන් දාඩිය දානවා. අරකිටත් තේරිලා මොකක් හරි අවුලක් කියල, ඒකි මගෙන් ඇහුව මොකද කියල. මම සීන් එක ලාවට කිව්වා. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ ඒකිත් මට බනිනවා ඔය විකාර මොකටද ඔෆිස් අරගෙන ආවේ කියල.
දැන් ඉතින් දාඩිය දාලම මම විජලනය වෙලා. තොල කට වේලිලා, පපුව හිටු කියල ගැහෙනවා, කකුල් ඇත පය තරඟෙට වෙව්ලනවා, ලේ ටික වතර වෙලා, එක විකාරයයි එතන. අරකිත් බය වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා. ඒ භයානක අවස්ථාව උදා වුනා. රා කල සොළසක් බීල මත් වෙච්ච නාලාගිරි ඇතා වගේ පියන් අයිය දොර ඇරගෙන එනවා. දකුණු අතේ පෙන් එකත් තියනවා මට පේනවා. මට කරන්න කිසිම දෙයක් ඔලුවට ආවේ නෑ ඒ වෙලාවේ. හෙට ඉඳල ට්‍රේනින් එන්න වෙන්නේ නෑ කියල හිත හදාගෙන මම බලාගෙන හිටිය. අපේ මිස් නම් හරි හොඳයි. ඒත් ඉතින් දැන් කොහොමද ආයෙත් ඒ මනුස්සයගේ මූන බලන්නේ. අනිත් එක මිස්ගේ පිටිපස්සේ ඉන්න අයට මිස්ගේ මොනිටර් එක හොඳට පේනවා. ෆෝල්ඩර් වීව් එක thumbnail විදියට තිබුනොත් ඒ අයටත් පේනවා. මරණයට මූන දෙනවා මිස වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. මිස්ගේ අතට පෙන් එක ලැබුනා..... මිස් ඒක මැෂින් එකටත් ගැහුවා..... මරන්න ගෙනියපු හරකෙක් වෙලාව එනකල් බලන් ඉන්නවා වගේ මම බලන් ඉන්නවා. තවත් දාන්න දාඩියක් ඉතුරු වෙලා තිබුනේ නෑ.
මිස් පෙන් එක ගහල ඕපන් වෙනකල් බලන් ඉන්නවා. මිස් එක පාරටම ඇස් දෙක චූටි කරගත්ත. ඊට පස්සේ පාත් වෙලා පෙන් එක එහාට මෙහාට හෙලෙව්වා. පෙන් එක අරගෙන නෑ වගේ. ඒ වෙලාවේ නම් මගේ ඇඩ්‍රිනලින් හෝමෝන ක්‍රියාත්මක වුනා. මම දඩස් ගාල මිස් ලඟට ගියා.
"පෙන් එක අරගෙන නැද්ද මිස්?"
" නෑ නෙ, මේකෙ සමහර වෙලාවට පෙන් ගන්නේ නෑ."
"දෙන්න මිස් මම අර මැෂින් එකෙන් බලන්නම්."
"ආහ් එහෙනම් එකෙන් අරන් නෙට්වර්ක් එකට දාන්නකෝ."
"හරි මිස්"
අම්මෝ..........! ඔන්න ඉතින් ඊට පස්සේ තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. මට ඊට පස්සේ තේරුණා මම තාමත් ජීවත් වෙනවා කියල. ඊට කලින් සිද්ධි ටික නිකන් හරියට හීනයක් වගේ. මොකක්දෝ පූරුවේ පිනකට තමයි මිස්ගේ මැෂින් එකේ පෙන් එක ඕපන් වුනේ නැත්තේ. ගිය ආත්මේ මම කවුරුහරි අඳින්න ඇඳුමක් නැති කෙනෙක්ට ඇඳුමක් දෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති රෙදි ගලවෙන්නම ගිය වෙලාවක ඔහොම බේරුනේ.:D (මම අදටත් කල්පනා කරනවා ඒ බේරුන බේරිල්ල ගැන.) ඊට පස්සේ මම පෙන් එක මිස්ගේ අනිත් පැත්තේ තිබුන මැෂින් එකට ගැහුවා. හලේ මේ තියෙන්නේ මම කියපු ටික බැබලි බැබලි. ඉස්සෙල්ලාම කලේ ඒ ටික ඩිලීට් කරපු එක. ඊට පස්සේ ඕන ෆයිල් ටික නෙට්වර්ක් එකට දාල මිස්ට කියල, මම ගිහින් වාඩි වුනා. තාමත් ඇඟට පන නෑ වගේ. අරකි හිනා වෙවී මගේ දිහා බලාගෙන ඉන්නවා. වෙච්ච සේරම බලාගෙන ඉඳල.
"අනේ කසුන් ඔයත් කරගන්න වැඩ!"
මම පොඩි හිනාවක් දාල ශේප් වුනා. ඒ ඔක්කොම ඉවර වුනාට පස්සේ මම දැක්කේ අපේ පරිපාලන නිලධාරී මිස් නිකන් අමුතු විදියට මගේ දිහා බලාගෙන ඉන්නවා. මගේ අමුතු හැසිරීම නිසා මුකුත් තේරුනාද දන්නේ නෑ. එහෙම වුනත් ඉතින් දැන් කරන්න දෙයක් නෑ නෙ. මම මුකුත් වුනේ නෑ වගේ හිටිය.
අවවාදය: රාජකාරි වැඩ සඳහා භාවිතා කරන පෙන් එකේ තමාගේ රහසිගත පුද්ගලික දේවල් හෝ වැඩිහිටියන්ට සුදුසු නැති දේවල් තබා නොගත යුතුය.
.....................................................................................................................................................................
ප.ලි. මේක ලියන්න අරන් දවස් 4ක් විතර වෙනවා.ෆෝන් එකෙන් ලියපු නිසා ගොඩක් වෙලා යනවා ලියන්න. අද කම්පියුටර් එකක් හම්බ වුනා. දැන් තමයි ඉවර කරගත්තේ.