twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න
Showing posts with label අහපු කතා. Show all posts
Showing posts with label අහපු කතා. Show all posts

Thursday, February 16, 2012

නෑ නෑ මගේ පිටිපස්සේ එක්කෙනෙක් හිටියා

හ්ම්ම්, ජීවිතෙ 24 වෙනි වතාවටත් වැලන්ටයින් එක තනිකඩව ගෙවල දම්ම. තව එකයි තියෙන්නෙ රිදී ජුබිලියට.:) නෑ නෑ, පිස්සුද අලේ, මම නම් කවුරුහරි හිටියත් ඔය දවස සමරන්නෙ නෑ. මොකද ආදරේ කරන්න ඕන, ආදරේ පෙන්නන්න ඕන, තුන්සිය හැටපස් දවසෙම මිසක් එක දවසක විතරක් නෙමෙයි. ඒ මම හිතන විදිය. එක එක අය එක එක විදියට ඔය ගැන දකින්නේ. 

හරි දැන් කියන්න ආපු කතාවට එමුකො. මම පෙරේදා මල ගෙදරකදි අහපු කතාවක් තමයි මේ කොටන්න කියල ලේස්ති වුනේ. සතියක් විතර ගෙදර ඉඳල හොස්ටල් ගියා විතරයි ඊලඟ දවසෙ පනිවිඩයක් ආවා යාලුවෙක්ගේ ආච්චි කෙනෙක් නැති වෙලා කියලා. හලේ ඉතින් ආපහු අනිත් පැත්තට ආව. මගේ චානිකා සීරීස් එක කියවපු අය නම් දන්න කියන කෙනෙක් ඒ යාලුවා.:) ඒකෙ අනිත් ප්‍රධාන නලුවගෙ ආච්චි තමයි නැති වුනේ. මේක මේ මලගෙදර නයිටක් ගහගෙන ඉන්නකොට ඇහුන කතාවක්. අපිට එහා පැත්තේ හිටපු කොල්ලො සෙට් එකේ එකෙක් ඔය කතාව කිව්වේ. මම නම් හරියට අහගෙන හිටියේ නෑ. මහිමය තමයි අහගෙන ඉඳල අපිට කිව්වෙ. 

මේක රෑක වෙච්ච සීන් එකක්. ඔන්න එකෙක් (මෝඩයෙක්/හරකෙක්/බූරුවෙක්) කන සාක්කුවට වැටෙන්නම ගහල මෝටර් බයික් එකකින් යනවලු. මෑන් අතුරු පාරක තමයි ගිහින් තියෙන්නෙ. ඔහොම යනකොට මූ ඇදගෙන වැටිල. පාර අයිනෙ තිබුන වෙලට තමයි පෙරලිල වැටිල තියෙන්නෙ. පිටිපස්සෙන් ත්‍රී වීල් එකකින් ආපු තව දෙන්නෙක් මේ සීන් එක දැකලා ටක් ගාල නවත්තලා බලල. ඒ දෙන්නගෙන් එකෙක් තමයි ඔය කතාව කිව්වේ. වෙලාවට මෑන්ට කිසි අවුලක් නැතිලු. වෙලට වැටුන නිසා හොඳයි. ඊට පස්සෙ තමයි ලස්සන සීන් එක යන්නෙ. දැන් මිනිහ පන දාගෙන වෙලේ මොනවද හොයනවලු. පස්සෙ ත්‍රී වීල් එකේ ආපු දෙන්න අහල මොනවද හොයන්නේ කියලා, මූ කියන්නේ නැතිලු. කිසි කතාවක් නැතුව මූ දමාගෙන වෙලේ මොනවද හොයනවලු. කොහොමහරි ගොඩක් වෙලාවක් යනකල් මූ කියලම නෑ මොනවද හොයන්නේ කියලා.

පස්සේ ටික වෙලාවක් ගිහින් මිනිහ කියල "මාත් එක්ක එකෙක් ආව බන්, මම මේ ඌව හොයන්නේ" කියල. අරුන් දෙන්න හොල්මන් වෙලා ගියාලු උගේ කතාවට. උන් දෙන්න හොඳටම දැක්කලු මූ ආවෙ තනියම කියලා. උන් දෙන්නටත් තේරිලා මූ නැති වෙන්නම ගහල තියෙන්නේ කියලා. උන් දෙන්න ඉතින් කියල "නෑ මචන් අපි පිටිපස්සෙන් ආවෙ, අපි දැක්ක පිටිපස්සෙ කවුරුවත් හිටියෙ නෑ, උඹ තනියම ආවේ" කියල. මූ කියනවලු පිටිපස්සෙ එකෙක් ආවමයි කියල. ඌ කියනවලු, "මම මචන් බෝධිය ළඟ ඉඳලම ඌත් එක්ක කතා කර කර ආවේ" කියලා. 



දැන් මූට කොච්චර කිව්වත් මූ අහන්නෙ නැතිලු. අරුන් කොච්චර කිව්වත් පිටිපස්සේ කවුරුවත් හිටියේ නෑ කියල ඌ පිටිපස්සෙ එකෙක් ආවමයි කිය කිය හොයනවලු. ඔහොම හොයන ගමන් මූ එක පාරට ටිකක් කල්පනා කරලා කියනවලු, "හැබැයි මචන් වැටෙන වෙලාවෙ නම් පිටි පස්සෙ හිටියෙ නෑ තමයි" කියල. "මම මෙතනදි පිටි පස්ස හැරිල බලුවා, එතකොට හිටියෙ නෑ". අරුන් දෙන්නට ඉතින් පුදුම ආදරයක් ඇති වෙන්න ඇත්තෙ මූ ගැන. මූ ඉතින් මහ හතර බීරි කතාවක් නේ කියන්නේ. මුලින් කිව්වා පිටිපස්සේ එකෙක් හිටියමයි කියලා, දැන් කියනවා වැටෙන වෙලාවේ පිටිපස්සේ එකා හිටියේ නෑ කියලා. ඊට පස්සෙ අරුන් දෙන්න මුගෙන් ඔය කියන යාලුවගෙ නම්බර් එක දෙන්න කියලා ඉල්ලගෙන උගේ ෆෝන් එකෙන්ම කෝල් එකක් අරගෙන. එතකොට තමයි මූ නටපු පිස්සුව මොකක්ද කියලා අරුන් දෙන්නට තේරිලා තියෙන්නේ.  එහා පැත්තෙන් කුණුහරුප වරුසාවක් වැටෙනවලු. අර යාලුව තාමත් බෝධිය ලඟලු. මූ වෙරි මරගාතේ ඒකව දාල එතන දාල ඇවිල්ලා. වැඩේ කියන්නේ මූ බෝධිය ළඟ ඉඳලම යාලුවා පිටිපස්සේ ඉන්නවා කියල හිතාගෙන කතා කර කර ඇවිත් තියෙන්නේ. මූ ටික දුරක් ගිහින් පිටිපස්ස හැරිලා බලලා. එතකොට තමයි ඌ දැකලා තියෙන්නේ යාලුවා නෑ කියලා. ඒකට බය වෙච්ච පාර තමයි මූ වැටිලා තියෙන්නේ. රෑ වෙලත් එක්කනේ, මූට නිකන් හොල්මන් සීන් එකක් ඔලුවට එන්න ඇත්තේ. ඔන්න ඔහොමයි සිද්ධිය වෙලා තියෙන්නේ. 

බොන එක වෙනම කතාවක්. ඒත් මෙහෙම කන පැලෙන්න ගහලා වාහන එලවනවා කියන්නේ ඉතින් ඊට වඩා මී හරක් වැඩක් නම් තවත් නෑ. හිතන්නකෝ තමන්ගේ ජීවිතේ වගේම පාරේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් අනතුරේ වැටෙනවා නේ එහෙම වුනාම. තමන්ගේ ජීවිතේ වටිනාකමක් නැති වුනාට කමක් නෑ අනිත් අයගේ ජීවිත ගැනවත් හිතන්න. ඔහොම කන පැලෙන්න ගහල විතරක් නෙමෙයි, අරක්කු උගුරක්‌ වත් බීල වාහන නම් එලවන්න එපා. බියර් උගුරක්‌ බිව්වත් මොලේ ක්‍රියාකාරීත්වය, ස්නායු ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් හරි අඩු වෙනවා නේ. එතකොට සාමාන්‍ය වෙලාවකට වැඩිය අනිවාර්යෙන්ම අනතුරක් වීමේ සම්භාවීතාව වැඩියි. ඒ අවධානම නම් ගන්න එපා. බොන්න ඕනම නම් බීල බීල කොහේහරි වැටිලා ඉන්න, වාහන පදින්න යන්න එපා. ආයෙත් වෙරි හිඳුන වෙලාවක යන තැනක යන්න.:)

Monday, November 7, 2011

මට හමුවූ පුදුම මිනිස්සු

මුලින්ම කියන්න ඕන දැන් මේ කියන්න යන්නේ මගේ කතාවක්, මගේ අත්දැකීමක් නෙමෙයි කියල. මට පොතක් ලැබුන 'මට හමුවූ පුදුම මිනිස්සු' කියල. මේක මාස ගානක් තිස්සේ අපේ බෝඩිමේ තිබිල දැන් හොස්ටල් එකේ අපේ කාමරේ තියෙන්නේ. හවස කම්මැලි කමට එහාට මෙහාට පැද්දි පැද්දි ඉන්නකොට මේක දැක්ක. මාස ගානකින් නෙමෙයි අවුරුදු ගානකින් කතා පොතක් කියවල නැති නිසා මේක කියවන්න හිතුනා. මේ පොත ලියල තියෙන්නේ 'ජයසුමන ධර්මබන්ධු' කියන කෙනා. ඒ මනුස්සයාගේ ජීවිතේ විවිද අවස්ථාවල මුණගැහුන අරුම පුදුම මිනිස්සු ගැන තමයි මේ පොත ලියවිලා තියෙන්නේ. මේ පොතේ ඒ වගේ කතා 35ක් තියනවා. මේ පොත 'ඇම්. ඩී. ගුණසේන සහ සමාගමේ' ප්‍රකාශනයක්. 'ලිහිණි පොත්' යන නමින් තමයි මේ පොත ප්‍රකාශනයට පත් කරලා තියෙන්නේ. මේකේ පළමු මුද්‍රණය 1964.

අද  කාමරේ කවුරුත් නෑ, සේරම ගෙවල්වල ගිහින්. ඉතින් අද කාමරේ මගේ රාජ්ජේ. ඒක නිසා මේ පොතේ තියන හිතට අල්ලපු කතාවක් දෙකක් කොටන්න කියල තමයි මේ ලේස්ති වුනේ. මොකද අනිත් උන් ඉන්න වෙලාවක පොතක් බල බල ටයිප් කරන්න ගියොත් උන් බලයි මට පිස්සුද කියල. මම බ්ලොග් එකක් ලියන බව උන් දන්නෙත් නෑ. හරි දැන් පසුබිම විස්තර කළා ඇති. 
......................................................................................................................................................................

අඩු වයස්කාරිය.

අප  ජීවත්වන සමාජය පිලිබඳ විශාල අවබෝදයක් ලබා ගැනීමට මට හැකි වූයේ මා බදුලු රෝහලේ සේවයේ යෙදී සිටි කාලයේදී යැයි මට සිතේ. සමාජයේ නොයෙක් උස් පහත් පුද්ගලයින් හා සමග කතාබහ කිරීමට අවකාශ ලැබීම මීට හේතු වශයෙන් දැක්විය හැක. රෝහලේදී මට ලැබුණු කාර්යය ලෙඩුන් ඇතුලත් කිරීම නිසා ඔවුන් සමග නොයෙක් දේ ගැන සාකච්චා කිරීමටත් ඒ මගින් විශාල අවබෝධයක් ලබා ගැනීමටත් මට හැකි විය. රෝහලට ඇතුලත් වීමට එන ඇතැම් රෝගීන් තම දෙමව්පියන්ගේ නම් පවා නොදැන සිටීම මගේ පුදුමයට හේතුවක් විය. 

එදා මට රාජකාරිය කිරීමට නියමව තිබුනේ රාත්‍රී අටේ සිට සඳුදා උදේ අට දක්වාය. රාත්‍රී සේවය කිරීමට මා ඒ තරම් සතුටක් නොදැක්වූයේ මුළු රාත්‍රියම නිදි මැරීමට සිදුවන නිසාය. එසේ නමුත් අපට විවේක ගැනීම පිණිස ඇඳක් කාර්යාලයේ ම සවිකර තිබීම නිසා තරමක පහසුවක් දැනුනද වරින් වර පැමිණෙන රෝගීන් ගෙන් ඊටද බාධා පැමිණෙන්නට විය. 

රාත්‍රී  දහය පමණ වන විට රෝගීන් ගේ පැමිණීම අඩු වූයෙන් රෝගියෙකු පැමිණිය හොත් මා අවදි කරවන ලෙස සේවකයාට දන්වා ඇඳේ දිගා වුනෙමි. පෑ බාගයක් පමණ එසේ ඉන්නට ඇති. හදිස්සියේම, "මහත්තයා, මහත්තය ලෙඩෙක් ඇවිල්ල" යි සේවකයාගේ කටහඬ ඇසුණෙන් මම නැගිට මේසය වෙත පැමිණියෙමි.

මා ඉදිරිපිට බැලූ බැල්මට අවුරුදු හතළිහකට නොඅඩු යැයි කිව හැකි දුර්වල ශරීරයක් ඇති, හිස සිට දේ පතුල වැසෙන තෙක් රෙද්දක් පොරාගත් කාන්තාවක් සිටගෙන හුන්නාය. 

"මොකක්ද නම?" මම ඇයගෙන් ඇසුවෙමි. 

"එමලින් නෝනා." යි ඈ සිහින් හඬින් පිළිතුරු දුන්නාය. ඈ පිළිතුරු දුන් පිළිවෙලින් ඇයගේ රෝගය තරමක් බරපතල බව මට හැඟිණි.

"හිටගෙන ඉන්න අමාරු ඇති නෙව, ඔතනින් වාඩි වෙන්න." 

ඈ සෙමෙන් සෙමෙන් ඉදිරිපස අසුනේ වාඩිවූ පසු, 

"වයස කීයද?" යි මම ඇසුවෙමි. 

"තිස් තුනයි." ඇය කීවාය. 

නමත් වයසත් පොතෙහි ඇතුලත්කළ මා සේවකයා සමග ඈ වාට්ටුවට යවා නැවතත් ඇඳේ පෙරලුනෙමි. වාසනාවකට මෙන් ඉන් පසු රෝගීන් නොපැමිණියෙන් පැය කීපයක් සුව සේ නිදා ගැනීමට මට පුළුවන් විය. මා අවදි වනවිට පාන්දර පහට පමණ ඇත. 

මුහුණ කට සෝදා මා ආපහු කාමරයට ඇතුළු වනවාත් සමගම එහි සිටි සේවකයා, 

"මහත්තය හරි වැඩේ නේ වෙලා තියෙන්නේ." යි මා දෙස බලමින් කීවේය. 

"මොකද?" මම ප්‍රශ්න කළෙමි.

"අර ඊයේ රෑ වාට්ටුවට ඇතුළත් කරපු ගෑනි මහත්තයට මතකද?"

"ඔව්, ඔව්, අර මම වාඩි වෙන්නෙයි කීවේ, එයාද?"

"අන්න හරි ඒ ගෑනි මැරිල!" 

"මොනව? මැරිල?" එයම ප්‍රතිරාවය කළ මා "මොකද වෙලා තියෙන්නේ?" යි ඔහුගෙන් ඇසුවෙමි. 

"ඊයේ රෑ හදිස්සියේම අමාරු වෙලා ලොකු දොස්තර මහත්තයා ඇවිල්ලා බෙහෙතක් විදල තියනවා." 

"ඉතින්" 

"බෙහෙත විදල පැයක් යන්න හම්බුවුනේ නෑ ගෑනි මැරුණා. පස්සේ දැන් උදේ මරණෙ ගැන සෝදිසි කරල බැලුවහම ආරංචි වුනා ඒ ගෑනිගේ වයස අවුරුදු හතලිස් නමයක් ලු. ඉතින් ගෑනි වයස දීල තියෙන්නේ තිස් තුනයි කියල. දොස්තර මහත්තය අවුරුදු තිස් ගණනක් නිසා ශක්තිය ඇති කියල විදල තියෙන්නේ සැර බෙහෙතක්. බෙහෙතෙ සැරට ලු මැරිල තියෙන්නේ. මහ මෝඩ ගෑනියෙක් නේද මහත්තය?" කියමින් ඔහු කාමරයෙන් පිටවිය. 

"මෝඩ ගෑනු, මේ වගේ කී දෙනෙක් අකාලයේ මැරෙන්න ඇත්ද?" මම කල්පනා කළෙමි.
......................................................................................................................................................................

මිත්‍රයා

අවුරුද්ද අවසානය සාමාන්‍යයෙන් දෙමව්පියන් කාටත් වැඩ අධික සමයක් වෙයි. ඊට හේතුව දරුවන්ට අලුත් පත් පොත් අරන් දීමටත්, අලුත් අවුරුද්දේ පාසල් යාමට අලුත් ඇඳුම් පැළඳුම් සකස් කිරීමටත්, පාසල් නොයන දරුවන් පාසල්වලට අලුතින් ඇතුළත් කිරීමටත් තිබීමය. 

මා විවාහකයකු නොවූවත් මගේ අක්කාගේ කුඩා දියණිය පාසලකට ඇතුළත් කිරීම මට බාර දී තිබුණෙන් මේ දිනවල මටද වැඩ අධික සමයක් විය. 

"බලන්නකෝ මල්ලියේ දරුවා ඉස්කෝලෙට දාගන්න එපායැ. ඉස්කෝලෙකට අලුතින් ඇතුළත් කරන එකත් එච්චර ලේසි නෑ. ඒ වුනත් මල්ලිට නම් බැරිවෙන එකක් නෑ ඔය යාලුවෙක්ගෙ මාර්ගයෙන් දුවව ඉස්කෝලෙට දාගන්න." 

අක්කා මෙසේ කී විට "හොඳයි බලමු" යි මා කීවේ උසස් විදුහලක ප්‍රධානාචාර්ය වරයෙකු සමග ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන මගේ මිත්‍රයෙකු සිටි නිසා ඔහුගේ මාර්ගයෙන් දියණිය පාසලට ඇතුළත් කරගැනීමට හැකි වෙතැයි මා සිතූ බැවිනි. 

මගේ අදහස ඉෂ්ට කරගැනීමට සිතා එක් ඉරිදාවක උදෑසන දියණියත් සමග මා මිත්‍රයා පදිංචිව සිටි නිවෙසට ගියෙමි. ටික වේලාවක් ඔහු හා සමග කතා කරමින් සිට පසුව මා ආ කාරණාව ඔහුට කීවෙමි. මෙය ඉතාමත් බැරෑරුම් කටයුත්තක් බව කී ඔහු කෙසේ වෙතත් මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි නිසා ප්‍රධානාචාර්ය වරයාට ලිපියක් ලියා දීමට කැමති විය. මිත්‍රයාට මුව නොසෑහෙන සේ ස්තූති කරමින් ඒ ලිපියත් රැගෙන මා පසුවදා උදෑසනම දියණියත් කැටුව විදුහල වෙත ගියේ ප්‍රධානාචාර්ය වරයා මුණගැසීම පිණිසය. 

මා එහි යනවිට ප්‍රධානාචාර්ය වරයා පැමිණ නොසිටියෙන් ඔහු එනතුරු වාඩි වී සිටින ලෙස එහි සිටි ලිපිකරු මහතා මට කීවේය. නැවත වරක් මේ සඳහා පැමිණීමට නොහැකි නිසා මහත් බලාපොරොත්තු සහිතව මා ඔහු එනතුරු වාඩි වී සිටි අතර, අල්ලපු කාමරයෙන් ටැලිපෝන් සීනුවක් නාද වූයෙන් ලිපිකරු මහතා මා එහි තනිකර දමා ටැලිපෝන් පණිවිඩය ගැනීම පිණිස එහි ගියේය. 

සුළු වෙලාවකට පසු ඔහු නැවතත් එහි පැමිණියේ, "බලන්න මිස්ටර් මෙහෙමත් මිනිස්සු ඉන්නවා නේද ආ" කියමිනි.

"මොකද? මොකද?" ඔහුගේ කතාව අසාගනු රිසියෙන් මම ඇසීමි.

"නෑ අයිසෙ දැන් ටැලිපෝන් කළේ මිස්ටර් වීරසිංහ කියල එක්කෙනෙක්. එයා ඊයේ යාලුවෙකුට ලියුමක් දුන්නලු ළමයෙක් ඉස්කෝලෙට ගන්නෙයි කියල. යාලුවගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා ලියුම දුන්නට ඒ ගැන එච්චර සැලකිලිමත් වෙන්න ඕන නෑ කියල ප්‍රින්සිපල් මත්තයට කියන්නෙයි කියල දැන් ටැලිපෝන් කරලා කිව්ව. අම්මප මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ ආ"

මේ කතාවෙන් මා පුදුමයෙනුත් පුදුමයට පත් වූ නමුත් ඒ බවක් ඔහුට නොහැඟෙව්වේ වීරසිංහගේ ලියුම ගෙන ආ තැනැත්තා මා බව ඔහු දැනගනිතියි බියපත් වූ බැවිනි. ප්‍රධානාචාර්ය වරයා එන්නටත් කලින් ඒ තැනින් වහාම පිටවී ගිය මා ලියුමකැබලි වලට ඉරා දැම්මේ කේන්තිය පිරිමසා ගන්නා අදහසිනි. 
.....................................................................................................................................................................
ප.ලි. මම වචනයක් වත් වෙනස් කළේ නෑ. පොතේ තිබුන විදියටමයි දැම්මේ. 

Tuesday, October 18, 2011

පොඩි පොඩි කතා ටිකක්

සති එකහමාරකින් විතර මේ පෝස්ට් එකක් දාන්නේ. මම කලින් පෝස්ට් දෙකේම කිව්වනේ වැඩකට හිර වෙලා ඉන්නේ කියල. ඒක නිසා කමෙන්ට් කලේ වත් නෑ. වැඩියත්ම කමෙන්ට් එකක් දාන්න වත් හිතට නිදහසක් තිබ්බේ නෑ. කොහොමහරි ඒ කාර්යාබහුලකම නිසාම හිත රිදෙන දේවලුත් වුනා. හරි හරි ඒවා වැඩක් නෑ. ඊයේ පෙරේදා දවස් දෙකේම ෆිල්ම් බලපු එක තමයි කලේ. තරහ නැති වෙනකල්ම ෆිල්ම් බැලුව.:D  දැන් මේ කොටන්න යන්නේ ලොකු දෙයක් නම් නෙමෙයි, පොඩි පොඩි කතා ටිකක්. මට නම් මේවට හිනා ගියා, හැබැයි ඉතින් මම කියනකොට නම් හිනා යයිද දන්නේ නෑ. හිනා ගියේ නෑ කියල මට බනින්න එපා ඔන්න හොඳද. 

පළවෙනි  කතාව අපේ ගමේ සෙට් එකේ එකෙක් ගැන. මිනිහ ලංකාවේ ලොකු පුද්ගලික සමාගමක ප්‍රාදේශීය ශාඛාවක මැනේජර් කෙනෙක්. මිනිහට ෆීල්ඩ් එකේ යන්න තමයි තියෙන්නේ. ඌ වැඩට යන්නේ බයික් එකේ. එක දවසක් බයික් එක නැතුව මිනිහ බස් එකේ ගිහින් තියනවා. ඒක එක පැත්තක ශීට් තුනක් තියන බස් එකක්ලු. ඔන්න ඉතින් මිනිහ ජනෙලේ අයිනේ වාඩි වෙලා යනවලු. ශීට් එකේ ඇතුලේ පැත්තේ කොනේ පන්ති යන කොල්ලෙක් ඉන්නව. ඒකා උසස් පෙළ කරන වයසේ විතර කොල්ලෙක්ලු. ඔහොම ඉතින් යනකොට මගින් කෙල්ලෙක් නැග්ගලු. ඒ කෙල්ල, සුදෝ සුදු , ලස්සනම ලස්සන, ............................, ..............................., (ඌ කියපු අනිත් විස්තර ටික කියන්න බෑ.:P) කෙල්ලෙක්ලු. ඒ කෙල්ල වට පිට බලල බලල වාඩි වෙන්න වෙන තැනක් තිබුනේ නැති නිසා අපේ එකා හිටපු ශීට් එකේ මැද වාඩි වෙලා. දැන් තමයි ඉතින් සෙල්ලම! දැන් අර පොඩි එකයි අපේ එකයි දෙන්නම එකම ගානට ඇඹරෙනවලු. අර පොඩි එකා අර කෙල්ල දිහා හොරෙන් බල බල ඉන්නවලු. අපේ එකා ඉතින් එහෙම දේවල් වලින් නවතින්නේ නෑ. ඔය වගේ වෙලාවට උගේ මැනේජර්කම් සේරම ඉවරයි. දැන් ඉතින් මිනිහට කොහොමහරි මේකිට නම්බර් එක දෙන්න ඕන වෙලා. නම්බර් එක දෙන්න ඕන වුනාට මූ ළඟ ලියන්න කොලයක් නැතිලු. (මේක මැනේජර් උනාට කරන වැඩක් නෑ. ඒක නිසා කොළ කෑල්ලක් වත් ගෙනියන්නේ නෑ.) හැබැයි මිනිහ ළඟ පෑනක් නම් තිබිල. ඔය වෙලාවේ තමයි බස් ටිකට් එක පිහිටට ඇවිත් තියෙන්නේ. 

මිනිහ ශේප් එකේ බස් ටිකක් එක ගත්තලු. දැන් අර පොඩි එකත් රබර් ඇහැ දාගෙන හිටපු නිසා ඌට තේරිලා අපේ එකා මොකාටද එන්න හදන්නේ කියල. දැන් මේකා අපේ එකා දිහා බලාගෙන ඉන්නවලු. වෙන එකෙක් බලන් ඉන්නකොට කොහොමද රෙද්දක් ඇඳගෙන බස් ටිකට් එකේ නම්බර් එක ලියන්නේ. දැන් ඉතින් අපේ එකා මූ අහක බලාගන්නකල් ඉන්නවලු. මොන! මේකා මේ පැත්ත බලාගෙනම ඉන්නවලු. පොඩ්ඩක් හරි අහක බැලුවත් ආයෙත් තත්පරයකින් ආයෙත් බලනවලු. බල්ල පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ කියනවනේ. ඒක ඉතින් පැහැදිලි ඉරිසියාව. කොහොම හරි ඉතින් එක අංකයක් ලියන්නත් හෙනම ගේමක් දෙන්න වුනාලු. ඔහොම ඉතින් දහසක් බාධක මැද්දේ, සෑහෙන වෙලාවක් ගිහින්, කෑල්ලෙන් කෑල්ල ලියල අපේ එකා නම්බර් එක ලියා ගත්තලු. ලියාගෙන පෑන සාක්කුවේ දාගෙන දෙයියනේ කියල ඊළඟ අදියරට සුදානම් වෙනකොටම අනේ කෙල්ල නැගිටල බහින්න ගියාලු. අයියෝ සල්ලි! කාට කියන්නද ඉතින් මේ අවනඩුව. මොනවා කරන්නද ඉතින් කියල මූ මූන දෙක කරගෙන ටිකට් එක සාක්කුවේ දාගන්න හදනකොටම අර එහා පැත්තේ හිටපු පොඩි එකා මහ හයියෙන් හිනා වෙන්න ගත්තලු. හෑහ්, මොකක්ද දෙයියනේ ඒ වුනේ? අරූ දැන් අපේ එකා දිහා බල බල බස් එකටම ඇහෙන්න හිනා වෙනවලු.  වෙච්ච වැඩේට ඌට හෙනම හැපි. අර බහින්න ගිය කෙල්ලත් දැන් ඒ පැත්ත හැරි හැරි බලනවලු. ඒකිට නම් සීන් එක තේරෙන්න ඇති. දැන් ඉතින් මොනවා කරන්නද, අපේ එකාගේ රෙදි නෑ. ඌ එතන ඉඳල අර කොල්ල බහිනකල්ම ආයෙත් ඒ පැත්ත වත් බැලුවේ නැතිලු. පව් අසරණය, එතන ඉඳල දිගටම ජනේලෙන් එලිය බලාගෙන ඇවිල්ල. මට ඔහොම එකක් වුනා නම් මම නම් ජනේලෙන් පනිනවා. මම නම් කියන්නේ හතුරෙකුට වත් ඔහොම දෙයක් වෙන්න එපා කියල.

ඊළඟ කතාව කැම්පස් එකේ එකෙකුට වෙච්ච දෙයක්. මිනිහට කෙල්ලෙක් ඉන්නවා. දන්නවනේ ඉතින් මේ වයසේ කපල් එකක් නම් ඉතින් පොඩි පොඩි ජිඟිරි බිඟිරි වැඩ වෙනවමනේ. මූ ඒ අංශෙන් ඉහලටම ගිය එකෙක්.:) මූ දවසක් හෙන දුක් මූඩ් එකක් දාගෙන අපේ කොල්ලෙකුට කිව්වලු, "බලපන් බන්, කෙල්ල මට කිව්වනේ බැන්දට පස්සෙ කරන්නත් මොනවා හරි ඉතුරු කරගන්නකො කියල". $%&$^#*@(&$* අයියෝ දෙයියනේ අර අසරණයට මොනවා හිතෙන්න ඇද්ද? අයියෝ මේවා අහන්න තරම් මාත් පව් කරලා තියනවා නෙ! දැන් ඌ ඕක කියල තියෙන්නේ එකෙක් එක්ක විතරයි. අපේ එකෙක්ට කිව්වම ඉතින් ආයෙත් මොනවද, ඊළඟ දවසේ කොහොමහරි මුළු බැච් එකම ඔය කතාව දන්නවා. මට මතක විදියට ඌ දවස් දෙක තුනක් රෙදි නැතුව කැම්පස් ආවේ. 

ඊට පස්සේ දවස් දෙක තුනකින් ඔය කතාව රීමික්ස් කරලා අපේ රෙපාට කතාවක් හැදුනා. කතා හදන්න නම් ඉතින් අපේ උන්ට පුදුම හැකියාවක් තියෙන්නේ. දැන් කොල්ලෝ කියන්නේ රේපාගෙන් කෑල්ල ඇහුවලු, "මොකක්ද අයියේ, බඳිනකල්ම ඉන්නවද හැම දේම කරන්න?" කියල.

අන්තිම එක නම් මෙලෝ රහක් නැති වෙයිද මන්ද. ඔන්න අපි කැන්ටින් එකේ කකා ඉන්නවා. අපිට දකුණු පැත්තේ මේසෙ පොෂ්ද පොෂ්වෙන්න දඟලනද මන්ද කෙල්ලෙක් හිටිය. දණහිසෙනුත් අඟල් දෙක තුනක් උඩට ඇඳන් ඇවිත් අපි වගේ අහිංසක කොල්ලන්ට හිතේ නිදහසේ බත් ටික වත් කන්න දෙන්නේ නැති කෙල්ලෙක්.:P (හැමදාම වගේ එහෙමයි :) ) ඒකිගේ යාළුවො සෙට් එකත් එක්ක තමයි හිටියේ. ඔහොම අපි කකා ඉන්නකොට ඒ කෙල්ල කාල අත හෝදන්න යන්න නැගිට්ට. නැගිටිනකොටම පුටුව ළඟ වාඩි වෙලා හිටපු බල්ලාගේ කකුල පෑගිලා ඌ මහ හයියෙන් කෑගැහුව. අර කෙල්ල කට රෝල් කරලා රෝල් කරලා බල්ලට "oh sorry" කියල කිව්වා. අපේ මේසෙ හිටපු උන් ටික තව ටිකෙන් බත් ටික පිට උගුරේ ගිහින් මැරෙනවා. අපි ඉතින් මනුස්ස කමට බොහොම අමාරුවෙන් හිනාව කාගෙන හිටිය. හැබැයි අපරාදේ කියන්න බෑ, ඒකිගේ යාළුවො ටික නම් කැන්ටිමටම ඇහෙන්න හිනා වුනා.

Saturday, July 9, 2011

තාත්තෙ මට අරවයින් එකක් අරන් දෙන්නකෝ

 
සති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදී මම අත්‍යාවශ්‍ය කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි. තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැලේ ඒ මේ අත සෙනග සැරි සරති. මා බඩු ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අතහැර ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම දෙනා මා හඳුනන බැවින් මම ඈ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූයෙමි.

මොහොතකින් බලනවිට පෙනෙන මානයක දියණිය සිටියේ නැත. මම තරමක කලබලයෙන් විපරම් කළෙමි. දුටු දසුනින් මම ඇවිලී ගියෙමි. ඇය වෙළඳසැල කොනේ වූ කුඩා බංකුව මත වාඩි වී මහා බර කල්පනාවකය. ඇයගේ දෙනෙත් තිබුණේ ඇගේ වයසේම තවත් දැරියක් ළඟය. මම මොහොතක් ඇය දෙස බලා උන්නෙමි. ඇය ඇගේ කුඩා මිරිවැඩි සඟල දෙස බැලුවාය. එහි තැන තැන මඩ තැවරී දුර්වර්ණ වී ගොස් තිබුණි. රුපියල් සීයකට මීට බොහෝ කලකට පෙර අරන් දුන් එය දැන් බොහෝ පැරණිය. පොහොසත් දැරිය උජාරුවෙන් ශබ්ද නගන ඇගේ පාවහන් යුවල එහා මෙහා කළාය. ක්‍රමයෙන් රතු පැහැ වන පුංචි මුහුණේ තරු කැටවන් දිළිසෙන නෙත් සඟලේ හැඟුම් තේරුම් ගන්නට මා අපොහොසත්ය. එක්කෝ ඒවා තේරුම් ගන්නට මා බියය. පුංචි සිඟිති දියණිය මේ මිනිසුන් අතර තනිවී සිටින්නා සේ මට පෙනේ.

ඇය මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඒ පුංචි දෙනෙත් මහමග යන පොඩි උන් ලඟ නතර වෙයි. වාහනවල ගැටෙයි. සතුටින් සිනහවන ළදරු සිනාවන් හා එක් වී සිනාසෙයි. දෙවියනි.. ඇය දන්නේ මොනවාද... ජීවිතයේ කටුක බව පපු කැනැත්තේ ඇතුළතින්ම විඳ දරා ගන්නා දුප්පත් මට ඇය වෙනුවෙන් ලොවක් තැනිය හැකිද..? ඒ පුංචි දෙනෙත් ළඟ මා කවරදාටත් වඩා දුප්පතෙකියි මට දැනේ.

අපට තිබුනේ සරල සුගම ළමා වියකි. ඒ කුරුම්බැට්ටි මැෂිමේ සුරතල් ළමා විය අද ලැප්ටොප් පරිගණකයක් දක්වා විකාශනය වී තිබේ. මා තවමත් සිතන්නේ මගේ දියණියට බෝරිච්චි අත් දැමූ ගවුමක් ඇති කියාය. රබර් සෙරෙප්පු දෙකක් ඇති කියාය. මට වඩා වාසනාවන්ත පියවරුන් තම දරුවන් උදෙසා වත්කම් සරි කරද්දී ඒ හා සැසඳෙන්නට මගේ හිඟන ජීවිතයට නොහැකි වූයේ ඇයි..? දියණියගේ මුව දකිද්දී මට අර මහා දුප්පත්කම අසරණකම දැනෙන්නේ ඇයි..?

"අපි යමු රත්තරං පැටියෝ.."

ඇය දැහැනින් මිදුණාය. ඒ ඇද ගත් සුසුම පුංචි ළය මඩලට බර වැඩි බව මම හොඳටම දනිමි. ඇය ඉපදීමට පෙර මා මීට වඩා ශක්තිමත්ව හිඳින්නට තිබිණ. එක්කෝ දුප්පත් මට දාව උපදින්නට තරම් අවාසනාවක් ඇගේ දෛවයේ නොතිබෙන්නට තිබිණ. ජීවිතයේ දුක අනෝරාවක්ව මගේ හිස මතට කඩා වැටෙද්දී අසරණ දෑතින් මා ඇගේ හිස වසාගන්නට තැත් කරන අසරණ තාත්තා කෙනෙකි. මේ අනෝරාවෙන් ඇයද පීඩා විඳින බව මම දනිමි. නමුදු කාටත් ජීවත් වන්නට අපහසු මේ නපුරු ආර්ථිකයෙන් මා කියා කුමක් කරන්නද... මේ කටුක යථාර්ථයට නිහඬව මුහුණ දෙන පියවරුන් අප අතර කොතෙක් නම් ඇත්ද..?

"තාත්තේ"

"ඇයි පැටියෝ?"

"මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ"

මම අලුතෙන් ඇවිළී ගියෙමි. ගෙන ආ රුපියල් පන්සියයෙන් ඉතිරිව තිබුණේ හරියටම රුපියල් හතලිහකි. ඇය කඩපලේදී දුටු මිරිවැඩි සඟලක්, බෝනික්කෙක් හෝ වෙනයමක් ඉල්ලුවොත්?

"මොනවද රත්තරං පැටියො..?"

"රටකජු ගොට්ටක්.." ඇගේ මුලු වතම සඳ වතක් සේ පිපී ඇත.

මහ මග නොබලා ඇයව බදාගෙන ලෝකයටම ඇසෙන සේ කෑ ගසා අඬන්නට මට සිතෙයි. අපටත් වඩා මේ කිරි කැටියා අපේ ජීවිත තේරුම් ගෙන ඇතිද..?

උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන. මතක තියාගන්න, මේ තාත්තා මැරෙන්න මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට සතුටින් ඉන්න ලෝකයක් හදල දෙනවා. මං දන්නව ඔය පුංචි පපුව ඇතුලෙ හිර කරගත්තු දුක එදාට මහවැලිය වගේ ගලනවා.

"ඔබහට ලෝකය ඉදිකර දී මිස මට යා නොහැකිය පුංචි පුතුන්" කියා මහගම සේකරයන් ලියා තැබුවේ දරුවන් ළඟ තාත්තලාට දැනෙන ඒ මහා අසරණකම සහ ආදරය නිසා විය යුතුය.

.................................................................................................................................................................. 
ප.ලි. මේක මට අද ආපු ඊ මේල් එකක තිබුනෙ. ලියපු කෙනෙක්ගෙ නමක් තිබුනෙ නෑ. මම හිතන්නෙ ඇත්ත කතාවක්. මේක පත්තරේක පළවුන ආර්ටිකල් එකක්. ඒ ආර්ටිකල් එක කපල ගහපු ෆොටෝ එකක් තමයි තිබුනෙ. මම අකුරත් වත් වෙනස් කරන්නෙ නැතුව එහෙමම ටයිප් කරල දැම්ම. මම දන්නෙ නෑ, මගෙ ඇස් දෙක නම් බොඳ වුනා මේක කියවල. ඒකයි දාන්න හිතුවෙ.  

දරුවන් වෙනුවෙන් ලෝකයක් තනන්නට වෙර දරන පියවරුන්ටත්, දෙමව්පියන්ගේ තත්ත්වය තේරුම් ගෙන ඇති පමණින් සැනසෙන දරුවන්ටත් උපහාරයක්ම වේවා.  

Monday, March 14, 2011

හිතට දැනෙන ඇත්තම කතාවක්

මේක මගේ යාලුවෙක් ලියපු නිසදැසක්. මිනිහ මොරටුව කැම්පස් එකේ ඉන්නෙ. මිනිහ පහුගිය දවස් ටිකේ training හිටියෙ. A-14 පාරෙ, මැදවච්චියෙ තමයි මිනිහ training වැටුනෙ. A-14 පාර ප්‍රතිසංස්කරනය කරන්න තමයි ඒ project එක තිබිල තියෙන්නෙ. මැදවච්චියේ කිව්වට මැදවච්චියෙ ඉඳලත් 40km විතර එහා. කොහොම හරි මිනිහට එහේ ඉඳල එපා වෙලා. දෙපැත්තෙම කැලෑවලු. සරණාගත කඳවුරු 3යි, පොලිස් කෑම්ප් එකයි, නේවි කෑම්ප් එකයි අරුනම මනුස්සයෙක් පේන්නවත් හිටියෙ නැතිලු. ඒ මදිවට අව්වයි, දූවිල්ලයි, ගල් කුඩුයි එක්ක ඉඳල මිනිහට එපාම වෙලා. ඔන්න ඔය විදියට මල පැනල පාර අයිනට වෙලා අව්වෙ ඉන්න වෙලවක මිනිහ ලස්සන නිසදැසක් ලියල තියනවා. පස්සෙ ඒක දාල මිනිහ ෆොටෝ එකක් හදල තිබුනා. මම ඒක facebook එකේ තිබිල දැක්කෙ. මම ඒක එහෙමම දාන්නම්.


P.S. ඔය තියන 39km කනුව මිනිහගෙ site office එක ගාව තිබුන එකලු.