twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න
Showing posts with label අත්දැකීම්. Show all posts
Showing posts with label අත්දැකීම්. Show all posts

Thursday, May 10, 2012

A-14 පාර

කාලෙකින් මුකුත් ලිව්වෙත් නෑ. අප්පෝ ලියන්නත් පස්ට කම්මැලියි අප්පා. ඒත් මේක පාලුවට යන්න දෙන්නත් හිතට දුකයි. ඒ නිසා පොඩි හොර වැඩක් කරන්න කියලා සෙට් වුනේ.:) මීට කලින් මම බ්ලොග් එකේ දාපු කවියක් ආයෙත් දාන්න කියලා හැදුවේ. කලින් කිව්වේ ගොඩාක් කලින්. ඒ කිව්වේ මගේ දෙවනි පෝස්ට් එකේ තමයි මම ඒක දැම්මේ. ඒක ගොඩක් දෙනෙක් දැකලත් නැති නිසා ආයෙත් දාන්න හිතුනා. එතකොට මගේ බ්ලොගේ පාලුවට යන්නෙත් නෑ නේ. හැබැයි පොඩි බොරුවක් එක්ක තමයි එදා මම ඒක දැම්මේ. මම එතන දැම්මේ ඒක මගේ මගේ යාලුවෙක් ලියපු එකක් කියලා. හැබැයි ඇත්ත කතාව ඒක මම ලියපු එකක්.:) මම එදා එහෙම දැම්මේ මගේ අනන්‍යතාවය අහු වෙයි කියලා බයට. දැන් නම් එහෙම අවුලක් නෑ, අපේ බැච් එකේ එකම එකයි බ්ලොග් කියවන්නේ, ඌත් දැන් දන්නවා මගේ බ්ලොග් එක ගැන. 

අපේ තර්ඩ් ඉයර් එකේ මුල තමයි ට්‍රේනින් යන්න තියෙන්නේ. මම මුලින්ම වැටුනේ මැදවච්චිය - මන්නාරම (A-14) පාරට. සයිට් එක තිබුනේ මැදවච්චිය ටවුන් එකේ ඉඳල කි.මි. 39ක් මන්නාරම පැත්තට වෙන්න. ඒ සයිට් එක තිබුන පැත්ත දරුණුවටම යුද්ධෙ තිබුන පැත්තක්. ඒ කාලෙත් බිම් බෝම්බ අයින් කරපු නැති පැති තිබුණා. අපි හිටපු හරියේ එකම එක ගෙයක් වත් නෑ. මට මතක විදියට කි.මි. 20ක් විතර මැදවච්චිය පැත්තට ගියාම තමයි ගමක් අහුවෙන්නේ. අපි හිටපු හරියේ ටිකක් එහාට වෙන්න සරණාගත කඳවුරු දෙකක්ද තුනක්ද තිබුනා. පොලිස් ස්ටේෂන් එකක් තිබුනා, ඊට අමතරව තැනින් තැන ආමි එකෙන් හිටියා. මිනිස්සු කියල එච්චරයි හිටියේ. හැබැයි ඔය පාරේ නම් වාහන යනවා එකම ගානට. UN එකේ ඒවා, RDA එකේ ඒවා, ට්‍රිප් යන වාහන, බස් ඔය වගේ ගොඩක් වාහන ගියා. පාරවල් කෙලින් නිසා උන් යන්නේ නම් හයිවේ එකේ යනවා වගේ. ඒ අස්සේ හිටී ගමන් මැති ඇමතිලත් යනවා. ඒ ඔක්කොම මන්නාරමට යන ඒවා.

මහ පුදුම පාළුවක් තිබුනේ එහෙ ගියාම. අනිත් එක පොඩි ආදර හුටපටයකුත් ඔලුවට ගහලා තිබුනේ ඒ කාලේ.:) ඉතින් විකාරයි වගේ එහෙ ඉන්නකොට. පළවෙනි සතියෙම මට ඉන්න වුනේ පාර හදන තැන. ස්ටාෆ් මදි වෙලා අපේ ට්‍රේනින් හිටපු දෙන්නට මාරුවෙන් මාරුවට ලේබර්ස්ලව සුපර්වයිස් කරන්න වුනා. ඉතින් දවසෙම ගිනි අව්වේ, දුවිල්ලයි ගල් කුඩුයි එක්ක ඉන්න ගියාම පුදුම සනීපයි. ඒ පාර කැඩිලා නිසා පුදුම දූවිල්ලක් තිබුනේ. ඒකට ගල් කුඩුත් එකතු වුනාම හරිම සන්තෝසයි. සතියක්ම මට එහෙම ඉන්න වුනා. අන්න එහෙම ගිනි අව්වේ ඉන්නකොට ලියවුන කවියක් තමයි මේ.


(මේ තියන කි.මි. කනුව ළඟ තමයි අපේ සයිට් ඔෆිස් එක තිබුනේ. මේක මම ගත්තේ එහෙන් එන්න බස් එක එනකල් ඉන්න වෙලාවේ.)

මම එහෙ හිටියේ සති තුනයි. හෙඩ් ඔෆිස් එකේ වැඩක් කියලා මාව ආයෙත් ගෙන්නගත්තා. මම ආපු ගමන් කලේ මේ කවිය ෆොටෝ එකට දාල හදපු එක.:) මගේ ඇත්ත මූනුපොතේ එකවුන්ට් එකේ ඉන්න අයට නම් බලන්න පුළුවන් මේක ඇති Wall Photos වල. සති තුනෙන් ඉවර වුන නිසා හොඳයි, තව හිටිය නම් පිස්සු හැදෙනවා.



Friday, April 20, 2012

මෙන්න ගහනෝ...!

අලුත් අවුරුද්දට පළවෙනි පෝස්ට් එක කොටන්න යන්නේ.:) හැබැයි කියන්න වෙන්නේ නම් එච්චර ලස්සන කතාවක් නෙමෙයි. කැම්පස් එකේ සෙට් එකක් ඊයේ අපේ පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර සෙට් වුනා. නුවර, පුත්තලම, කුරුණෑගල වගේ එක එක පැති වලින් 6 දෙනෙක් බයිසිකල් වලිනුයි, තව එකෙක් බස් එකෙනුයි ආව. ළඟ පාත හිටපු උන් 4 දෙනෙක් එකෙක්ගේ තී වීල් එකකින් එහෙට ගියා. මාත් ගියේ තී වීල් එකේ. උන් ටික රෑ එහෙන් කාල එහෙමම දෙනියායේ තව එකෙක්ගේ ගෙදර යන්න සෙට් කරගෙන හිටියේ. දවල් වෙනකොට අපි එහෙට ගියා. ඊට පස්සේ ඉතින් කැරම් ගහල, සළු වෙන උන් සළු වෙලා, නාල, රෑටත් කාලම තමයි ආවේ. රෑ වෙලා තව එකෙක් ආව. ඉතින් ඔක්කොම කරලා එනකොට තමයි සීන් එක ගියේ.

උන්ගේ ගෙදර තියෙන්නේ ප්‍රධාන පාරෙන් ටිකක් ඇතුලේ. දැන් අපි බයික් තුනේ 6 දෙනයි, තී වීල් එකේ 6 දෙනයි ආවේ. මම ආවේ ත්‍රී වීල් එකේ ඉස්සරහ ඩ්‍රයිවර්ගේ සීට් එකෙන් කෑල්ලක් ඉල්ලගෙන. අපි අතුරු පාර දිගේ ඇවිත් ප්‍රධාන පාරට දාන්න හදන කොට එතන ත්‍රී වීල් එකක් නවත්තලා තිබුනා. 15ක් විතර වට වෙලත් හිටියා. අපි අර ත්‍රී වීල් එක පිටිපස්සෙන් නැවැත්තුවා යන්න ඉඩ ලැබෙනකල්. තත්ත්පර ගානක් යනකොට තමයි තේරුනේ එතන රණ්ඩුවක් කියලා. ඊළඟ මොහොතේ ඒක ගුටි කෙලියක් බවට පත්වුනා. අපිව දැන් කරකවලා අත ඇරියා වගේ, කවුද ගහන්නේ කවුද ගුටිකන්නේ කියලවත් හිතා ගන්න බෑ, චට පට ගාල වදිනවා විතරයි පේන්නේ. අපි එතකොටත් ත්‍රී වීල් එක ඇතුලේමයි හිටියේ. මොකෝ අපි මැදට පැනලා නවත්තන්න කියලයැ. අපිත් කරගන්න දෙයක් නැතුව බලාගෙන හිටියා. 

එතකොටම කවුද ගෑනු කෙනෙකුයි, අවුරුදු දහ අටක විස්සක විතර කෙල්ලෙකුයි එතනට දුවගෙන ආව. අර ගෑනු කෙනා ආපු ගමන් මැදට පැනලා වලිය බේරන්න හදනවා. ඊළඟ මොහොතේ අපි දැක්කේ අර ගෑනු කෙනා විසිවෙලා ඇවිත් අපේ ත්‍රී වීල් එක ඉස්සරහ වැටෙනවා. මම නිකන් ඉබේම වගේ ත්‍රී වීල් එකෙන් එලියට පැන්නේ. ඒ මනුස්සයට අවුලක් නෑ, ඒ මනුස්සය ආයෙත් නැගිටලා වලිය මැද්දට ගියා. අපිට තේරුණ විදියට වලිය යන්නේ ත්‍රී වීල් එකකින් ආපු කට්ටියකුයි, පාර අයිනේ හිටපු කොල්ලෝ සෙට් එකකුයි අතරේ. ත්‍රී වීල් එක පාරට දාන්න හදද්දී මොකක් හරි වෙන්න ඇති. පොඩ්ඩක් ගෑවුනත් ඇතිනේ ඉතින් මරාගන්න. කොහොමහරි කොල්ලෝ සෙට් එකේ පිරිස වැඩියි. ත්‍රී වීල් එකෙන් ආපු අයට තමයි වැඩිපුර ගුටි වදින්නේ. අර ගෑනු කෙනෙයි කෙල්ලයි ත්‍රී වීල් එකෙන් ආපු අයගේ කවුරුහරි.

වැඩේ නවතින පාටකුත් නෑ. අර ගෑනු මනුස්සයත් ගේම අතාරින්නෙ නෑ, කොහොමහරි එයාගේ අයව පැත්තකට ගන්න හදන්නේ. අර කෙල්ල හිටියේ මගේ ළඟ. ඒකි හොඳටම බය වෙලා. ත්‍රී වීල් එකෙන් ආපු සෙට් එකේ දහ අටක විස්සක විතර කොල්ලෙක් හිටියා, ඌ නාහෙට අහන්නෙම නැති එකෙක්. ඌ එක පාරටම ත්‍රී වීල් එකේ තිබිලා මොකක්දෝ පොල්ලක් ගත්තා. ඊට පස්සේ ඒකෙන් අර කොල්ලෝ ටිකට ගහගෙන ගහගෙන ගියා. කොහෙන් ආවද මන්ද තවත් පොලු දෙකක් අර කොල්ලෝ සෙට් එක අතට ආව. ඒ පාර දැන් පොලු වලින් ගහගන්නේ. කොහොමහරි ත්‍රී වීල් එකෙන් ආපු අය දැන් හොඳටම ගුටි කනවා. අරුන් පොලු තුනෙන්ම මුන්ට ගහනවා. ත්‍රී වීල් එකේ ආපු අය වැඩේ අත ඇරලා පසු බැස්සා. හැබැයි අර කොල්ලෝ සෙට් එක නැවැත්තුවේ නෑ. උන් පොලු වලින් ගහගෙන ගහගෙන ගියා. අර ගෑනු මනුස්සය මැදට පැනලා අර කොල්ලන්ට පින්සෙන්ඩු වෙවී ගහන එක නවත්තන්න හදනවා. ඒත් උන් නවත්තන්නේ නෑ, ඒ ගෑනු කෙනාව බේර බේර අනිත් උන්ට ගහනවා. 

ත්‍රී වීල් එකේ ආපු අය යන්න හැදුවත් අරුන් යන්න දෙන්නේ නෑ, හොඳටම ගහනවා. අර ත්‍රී වීල් එකේ ආපු කොල්ල තමයි බේර ගන්න බැරි. ඌ ගේමටමයි යන්නේ. කොහොමහරි අර ගෑනු කෙනෙයි තව එකෙකුයි ඌව ඇදලා දාගත්තා ත්‍රී වීල් එකට. එතකොට ටිකක් විතර වැඩේ ශේප් වේගෙන ගියේ. ඌ තමයි ත්‍රී වීල් එක ගෙනත් තියෙන්නේ. ඌ ඒක ස්ටාර්ට් කරන්න හදනකොට එකෙක් ඇවිල්ල අරූව ආයෙත් එලියට ඇදලා අරගෙන ගහන්න ගත්තා. අර ගෑනු කෙනා පැනලා කොහොමහරි අරූව ආයෙත් ඇතුලට දාගත්තා. ඒත් හරි යන්නේ නෑ, ඒ පාර තව එකෙක් ත්‍රී වීල් එක ඇතුලට කකුල දාල ඌට ගහන්න ගත්තා. ඌත් නාහෙට අහන්නේ නැති එකා නේ, ඌත් එලියට බැහැලා ආයෙත් ගහනවා. ඒ වෙලාවේ නම් හොඳටම වැදුනා ඒ කොල්ලට. දැන් අර කෙල්ලත් නලියනවා, ඒකිත් මැදට පනින්න හදන්නේ. මම ඒකිට "ඔයා පැත්තකට වෙලා ඉන්න" කියල කියන්නත් ගිහින් නිකන් හිටියා.

කොහොමහරි ත්‍රී වීල් එකෙන් ආපු අය අර කොල්ලව ඇදගෙන පස්සට ආව. ඌ එන්නෙම නෑ, ගහන්නමයි යන්නේ. එතකොට අර කෙල්ලත් පැනලා අරූව පස්සට ඇදගෙන ආව. ඒ අස්සෙත් අරුන් පොලු වලින් ගහනවා. හැබැයි තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනා නම් අර කෙල්ලටත් පොලු පාරක් වදිනවා. ඒකිට ඒ පාර වැදුනා නම් ඉතුරු වෙන්නේ නෑ. ඒකි චූටි, කෙට්ටු කෙල්ලෙක්. අරූව කොහොමහරි අපි ආපු පැත්තටම ඇදගෙන ගියා කට්ටිය එකතු වෙලා. ඊට පස්සේ බලනකොට පාර ගාව කෙනෙක් වැටිලා ඉන්නවා. අරූව ඇදගෙන ගියාට පස්සේ ඔක්කොම අර මනුස්සයට ගහලද කොහෙද. අර ගෑනු කෙනා "අනේ අයියේ" කියල කෑගහගෙන එතනට දිව්වා. අර කෙල්ලත් එතනට දිව්වා. ඔන්න එතකොට කොල්ලෝ සෙට් එක බය වෙලා ශේප් එකේ මාරු වුනා. ඒ මනුස්සයට පොලු පාරක් වැදිලා මම හිතන්නේ, සිහිය නැතුව වැටිලා ඉන්නවා. දැන් ගහගත්ත උන් එකෙක්වත් නෑ. අර වැටිච්ච මනුස්සයයි, ගෑනු කෙනයි, කෙල්ලයි, අපේ සෙට් එකයි විතරයි.

ඒ වෙලාවේ තමයි මම ආමාරුවෙන් පියවි සිහියට ආවේ. මම හැරිලා බලනකොට අපේ උන් ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා. මම එකෙක් කතා කරගෙන අර මනුස්සය ලඟට ගියා. ඌ පැන්න ගමන් අර මනුස්සයාගේ නාඩි අල්ලලා බැලුවා පන තියේද කියලා. ඒ මනුස්සය අමාරුවෙන් හුස්මත් ගන්නවා, මූ බැලුවේ පන තියේද කියලා. දැන් අර ගෑනු කෙනා කෑගහගහ එහාට මෙහාට දුවනවා. අර කෙල්ල අර මනුස්සයව බදාගෙන අඬනවා. වටපිට කවුරුවත් ඇත්තෙත් නෑ. අපේ ත්‍රී වීල් එක ගෙනාපු එකාට මම ගිහින් කිව්වා මේ මනුස්සයව හොස්පිටල් එකට අරන් යමු කියලා. ඌ කිව්වා අර මිනිස්සුන්ගේ ත්‍රී වීල් එකේම දාගෙන යමු කියලා. බයික් වල ආපු සෙට් එකේ එකෙක් හිටියා ත්‍රී වීල් ලයිසන් තියන. ඌ ටක් ගාල අර මිනිස්සුන්ගේ ත්‍රී වීල් එක ගත්තා. යතුර බිම තිබුනේ, ලෝක අමාරුවෙන් හොයා ගත්තේ. කොහෙන්හරි තව තව පිරිමි කෙනෙක් ඇවිත් හිටියා අර ත්‍රී වීල් එකේ ආපු අයගේ නෑදෑ වෙන. ඒ මනුස්සයවත් නග්ගගෙන ලෙඩත් ඇතුලට දාගත්තා. අර ගෑනු කෙනා කෑගහනවා ඉවරයක්‌ නෑ "අනේ මල්ලි අපිට උදව් කරන්න" කියලා. ත්‍රී වීල් එක පදින එකා ගම්පහ එකෙක්. ඌ පාරවල් දන්නේ නෑ. මාත් අමාරුවෙන් ඇතුලට රිංග ගත්තා. 

ඊට පස්සේ ඉක්මනට ඒ මනුස්සයව හොස්පිටල් එකට අරගෙන ගියා. වැඩි දුරක් නෑ, කි.මී. 5ක් වගේ තියෙන්නේ හොස්පිටල් එකට. යන අතරේ අර ගුටි කාපු මනුස්සය ඔලුව උස්සලා බැලුවා. කතා කලේ නම් නෑ. මොකද වුනේ කියලවත් කවුරුවත් දන්නේ නෑ. ඊට පස්සේ හොස්පිටල් එකට ගිහින් බාර දුන්නා. මායි අනිත් එකයිම ඒ මනුස්සයව රෝද පුටුවක වාඩි කරවලා අර මනුස්සය එක්ක ඇතුලට යැව්වා. ලෙඩත් එක්ක ආපු මනුස්සයට මුකුත් තේරෙන්නේ නෑ. ඒ මනුස්සය බයවෙලා ඔක්කොටම වැඩිය. "මල්ලි මම ලෙඩාව බාරදීල එනකල් පොඩ්ඩක් ඉන්න" කියල ගියේ. එතන හිටිය දොස්තර ලෙඩාගෙන් විස්තර ඇහුවා. ඒ මනුස්සය හරියට කතා කලේ නෑ. ලෙඩා බාර දෙන්න ආපු එකා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අරූ ත්‍රී වීල් එක එළියෙන් නවත්තලා යතුර අරගෙන ආව. අපිට කරන්න පුළුවන් ටික අපි කළා නේ. තව එතන අපි හිටියා කියල වැඩකුත් නැති නිසා අපි යතුරත් අර කෙනාට දීල ආව. මම කිව්වා අර මනුස්සයට ඔලුවට පොලු පාරක් වදින්න ඇති කියලා කියන්න කියලා. අපි එනකොට ලෙඩාව රෝද පුටුවේ තියාගෙන වාට්ටුවකට අරගෙන ගියා. ලොකු අමාරුවක් නම් පෙනුනේ නෑ. වැදුන පාරට සිහි නැති වෙලා වගේ තියෙන්න ඇත්තේ. 

ඊට පස්සේ ඉතින් අපි එන්න ආව. මාව ගෙදරින් දාල අරුන් එහෙමම ගියා. ඕක තමයි සිද්ධිය. වලි නම් ඕන තරම් දැකලා තියනවා. හැබැයි ගුටිකාපු කෙනෙකුට උදව් කලේ පලවෙනි වතාවට. හිතට පොඩි සතුටකුත් දැනුනා මනුස්සයෙක් අසරණ වුන වෙලාවට උදව් කරන්න පුළුවන් වුනා නේද කියලා. මට වැඩියෙන්ම දුක අර ගෑනු කෙනා ගැන. ගේම අත ඇරියෙම නෑ. ඒ මනුස්සය හිටියේ නැත්තන් ඕක ඔහොමවත් ඉවර වෙන එකක් නෑ. 

ප.ලි. ඊයේ ලියන්න ගත්තට අද තමයි ඉවර කලේ. එතකොට මේ සිද්ධිය වුනේ පෙරේද රෑ.


Monday, December 19, 2011

ඇගේ තනියට රැය පහන් කළෙමි

හ්ම්ම්, පෝස්ට් 50 කුත් ලිව්වා. 50ට සුභ පතපු හැමෝටම ආයෙත් පාරක් ගොඩාක් ස්තූතියි. බ්ලොගේට අලුත් ඇඳුමකුත් ඇන්දුවා. කලින් තිබුන එකට මම ගොඩක් ආසයි. ඒ වුනාට වෙනසක් කරන්න ඕන කියලා හිතුනා. පස්සෙ කාලෙක ආයෙත් ඒක දානවා. මට අම්ම ඕන කියන පෝස්ට් එකේ මම කියන්නේ නෑ කියල හිටපු මගේ ආදර කතාවේ පොඩි සිද්ධියක් කිව්ව නේ. ඊට පස්සේ මට හිතුනා ඒ කතාවේ තව විශේෂ සිද්ධියක් කියන්න ඕන කියලා. මේක නම් එච්චර ලස්සන කතාවක් නෙමෙයි. ඒත් මේ වගේ දේවලුත් වෙනවා කියලා දැනගන්න මම මේක කියනවා. හැබැයි ඉතින් දැන් කාලේ වෙන දේවල් වල හැටියට මේ වගේ දේවල් වෙනවා කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නැතුවත් ඇති. 

මේ සිද්ධිය වෙනකොටත් අපි යාළුවො කියන නමින් තමයි හිටියේ. මම එදා හිටියේ බෝඩිමේ. එතකොට මම උසස් පෙළ පළවෙනි අවුරුද්දේ හිටියේ. එදා අපේ ඉස්කෝලේ ස්පොට් මීට් එකට කලින් දවස. එදා එයා ටිකක් කලින් නිදා ගත්තා. ගුඩ් නයිට් මැසේජ් එකත් යවලා මම පාඩම් කර කර හිටියේ. ටිකක් රෑ වෙලා එයාගෙන් කෝල් එකක් එනවා. වෙලාව 11 - 12 අතර වගේ. මම බැලුවා මේ නිදාගන්න ගිය කෙනා මොකද කෝල් කරන්නේ කියලා. අනිත් එක අපි මැසේජ් කරගත්තට කෝල් කරන්නේ නෑ. හැම සති අන්තෙම යාලුවෙක්ගෙ හොස්ටල් එකේ තියන ෆෝන් බොක්ස් එකෙන් එයා මට කෝල් කරනවා. ඒ ඇරෙන්න මොබයිල් එකෙන් කෝල් එකක් ගන්නේ විශේෂ වෙලාවක විතරයි. මොකද ඒ කාලේ මේ වගේ කෝල් චාර්ජස් අඩු නෑ නේ. මාත් ඉක්මනට ආන්සර් කළා. එයා ටිකක් කලබලෙන් වගේ කතා කලේ. එයා මගෙන් physics පාස්ට් පේපර් එකක තියන ප්‍රශ්නයක් ගැන ඇහුවා. එයා කියන දේ හරියට පැහැදිලිත් නෑ. මම කරකවල අතෑරියා වගේ. physics එකස්පර්ට් මගෙන් ප්‍රශ්න අහන්නේ මොකද කියල. අනිත් එක මේ නිදාගෙන හිටපු ගෑනිට මහ රෑ එකපාරට මොකද physics ප්‍රශ්නයක් මතක් වුනේ? physics පේපර් එකවත් හීනෙන් දැක්කද දන්නේ නෑ.

මම  ඉතින් කෝකටත් කියලා පාස්ට් පේපර් පොත අරගෙන ඒ කියපු ප්‍රශ්නේ හොයන්න ගත්තා. දැන් මෙයා ඉවරයක්‌ නැතුව කියවනවා. මට තේරුණා ඇත්තටම මෙයාට  physics ප්‍රශ්නයක් අහගන්න නෙමෙයි ඕන වෙලා තියෙන්නේ කියලා. මට එතකොට තමයි තේරුනේ මෙයා හොඳටම බයවෙලා ඉන්නේ කියලා. මම ඇහුවා මොකක්ද ප්‍රශ්නේ, ඇයි බය වෙලා වගේ කියලා. ඒත් මුකුත් කියන්නේ නෑ. ඊට පස්සේ මම සැරෙන් ඇහුවා "මොකක්ද වෙලා තියෙන්නේ? මට කියන්න." කියලා. ඊට පස්සේ එයා කිව්වා, "මෙහෙම කියන්න බෑ, කියලා." දැන් ඉතින් මට විකාරයි. මම ආයෙත් ඇහුවා. ඊට පස්සේ එයා කිව්වා "මෙතන කියන්න බෑ, මැසේජ් එකක් දාන්නම්" කියලා. ඊට පස්සේ ආපු මැසේජ් එකේ ඇඟ හිරිවැටිලා යන කතාවක් කියලා තිබුනේ.

එයා කාමරේ නිදාගෙන හිටියලු. එයාගේ හොඳම යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් කෝල් එකක් ඇවිත්. එයාට කතා කරලා ඉවර වෙලා ආයෙත් නිදාගත්තලු. නින්ද කැඩුන නිසා ටික වෙලාවක් යනකල් හරියට නින්ද ගිහින් නෑ. එහෙම ඉන්නකොට එයාට දැනුනලු එයාගේ ඇඳ ළඟ කවුරුහරි ඉන්නවා කියලා. කළුවර නිසා හරියට පෙනුනේ නැති වුනාට එයාට තේරුනාලු බෝඩිමේ අන්කල් තමයි ඒ ඉන්නේ කියලා. එයාට කරගන්න දෙයක් හිතාගන්න බැරි වුනාලු. එයා කෑගහලත් නෑ. ඊට පස්සේ ඒ මිනිහ මෙයාගේ මූණ දිහාවට පාත් වෙලා. එයාට කළුවරේ ඡායාවක් පෙනුනලු ඒ මිනිහ එයාගේ මූණ පැත්තට පාත් වෙනවා. එතකොටම මෙයා ඇඳේ අනිත් පැත්තට හැරිලා. ඒ පාර අර මිනිහත් කලබල වෙලා ටක් ගාල කාමරෙන් එලියට ගිහින්. ඒ වෙලාවේම තමයි මෙයා මට කෝල් කරලා තියෙන්නේ. එයා බයෙන් ඉන්නේ අර මිනිහා ආයෙත් ආවොත් කියලා.

මම එහෙමම අනිත් පැත්තට කෝල් එකක් ගත්තා. එයා ඒ වෙනකොටත් එහෙමම ඇඳේ හිටියේ. ඒ කාමරේට දොරක් වත් නෑ. මම කිව්වා ඉක්මනට කාමරේ ලයිට් එක දාන්න කියලා. එතකොට අර මිනිහා දැනගන්නවා නේ එයා නිදි නෑ කියලා. අනිත් එක ලයිට් එකක් දාල තියන කාමරේකට හොරෙන් රිංගන්න හදන්නේ නෑ නේ. බෝඩිමේ ඇන්ටිත් ගෙදර ඉන්නවා. ඒ නිසා ඒ මිනිහා හොරෙන් රිංගන්න හැදුවොත් මිසක් බලහත්කාරෙන් කාමරේට එන්න හදන්නේ නෑ නේ. ඊට පස්සේ එයා ලයිට් එක දාල ආයෙත් ඇඳට ආව. එයා හොඳටම බය වෙලා, හරියට කතා කරගන්නත් බෑ. මටත් දැන් හොඳටම බයයි. ලයිට් එක දාල නිසා ඒ මිනිහා ආයෙත් එන්නේ නෑ කියල විස්වාසයක් තිබුනා, ඒත් ඉතින් වැරදිලාවත් මොකක් හරි වුනොත් කාට කියන්නද? මම කිව්වා වැරදිලාවත් ඒ මිනිහා ආයෙත් කාමරේට ආවොත් ඇන්ටිට ඇහෙන්න හයියෙන් කෑගහන්න කියලා. මගේ ළඟ එයාගේ බෝඩිමේ ෆෝන් නම්බර් එකත් තිබුනා. ඒ මිනිහා ආයෙත් ආවොත් මම ටක් ගාල ඒකට කෝල් කරන්න බලාගෙන හිටියේ. එතකොට ඇන්ටි ඇහැරෙනවා නේ. අනිත් එක එතකොට ඌත් බය වෙනවා නේ.

ඒ ඇරෙන්න මට ඒ වෙලාවේ කරන්න පුළුවන්කම තිබුනේ එයාගේ බය නැති වෙනකල් එයා එක්ක කතා කර කර ඉන්න එක විතරයි. ඊළඟ ප්‍රශ්නේ ෆෝන් එකේ සල්ලි. ඒ දවස් වල අපි දෙන්න ළඟ තිබුනේ ඩයලොග් ප්‍රී පේඩ් සිම් දෙකක්. My 5 ඇක්ටිව් කරලා තිබුන නිසා විනාඩියකට රුපියල් 2ක් යන්නේ. නැත්තන් රුපියල් 4ක් ද කොහෙද. මගේ ෆෝන් එකේ ලොකු ගානක් තිබුනේ නෑ. එයාගේ එකෙත් වැඩිය සල්ලි තිබුනේ නෑ. කොහොමහරි ඕන වුනොත් බෝඩිමට කෝල් එකක් දෙන්න මගේ එකේ සල්ලි තියෙන්නත් ඕන, මොනවා හරි වුනොත් මට කියන්න එයාගේ එකෙත් සල්ලි ඉතුරු කරගන්නත් ඕන. ඒ පාර මම අපේ බෝඩිමේ තිබුන ඔක්කොම ෆෝන් ටික අරගෙන ආව. ඔක්කොම කිව්වට ෆෝන් තිබුනේ මහිමයටයි තව දෙන්නෙකුටයි විතර. ඒ ඔක්කොගේම සල්ලි ඉවර වෙනකල් කතා කළා. එක දිගටම කතා කලේ නෑ. විටින් විට කතා කලේ සල්ලි ඉවර වෙන නිසා. කොහොම හරි ඒ ෆෝන් ටිකෙන් සැලකිය යුතු වෙලාවක් ඇද්ද.

මං ගැනම දුකයි මේවා මතක් වෙනකොට. මම ඊට පස්සේ ඩයලොග් එකට කෝල් එකක් ගත්තා. "මට පොඩි හදිස්සියක්, මට දැනට ෆෝන් එක රීචාර්ජ් කරගන්න ක්‍රමයක් තියනවද? මම පස්සේ ගෙවන්නම්" කියලා ඇහුවා. ඒ යකා කියනවා "ඔව් මහත්මයාට උදව් කරන්න පුළුවන්, මහත්මයාට තියෙන්නේ ලඟම තියන වෙළඳ සැලෙන් රීචාර්ජ් කාඩ් පතක් මිලදී ගෙන ඒකෙ තියන අංකය ඇතුලත් කරගෙන රීචාර්ජ් කරගන්න පමණයි" කියලා. මට ඉතින් අරූව බිම දාල බෙල්ල පාගල මරන්න තරම් තරහයි. මම ඇහුවා, "ඒක මම දන්නවා, මට මේ වෙලාවේ කාඩ් එකක් ගන්න විදියක් නෑ, වෙන කිසිම ක්‍රමයක් නැද්ද?" කියලා. මිනිහ කිව්වා වෙන කරන්න දෙයක් නෑ කියලා. මොනව කරන්නද ඉතින්? ඒ දවස් වල ලෝන් තිබුනෙත් නෑ නෙ. හැබැයි ටවුන් එකට ගියා නම් මට කාඩ් එකක් අරන් එන්න තිබුනා. බෝඩිමේ ඉඳල ටවුන් එකට කි.මි. 4 ක් විතර තිබුනේ. ටවුන් ඒකෙ නයිට් කඩ දෙක තුනක්ම තිබුනා. සයිකලෙත් තිබුනා, ඕන නම් අපේ එකෙක් ඇහැරවගෙන එක්ක යන්නත් තිබුනා. කොහොමහරි මට ඒක ඒ වෙලාවේ මතක් වුනේ නෑ.

ඊට පස්සේ මම ආයෙත් එයාට කෝල් එකක් ගත්තා. මම කිව්වා "රීචාර්ජ් කරගන්න විදියක් නෑ. එක දිගට කතා කරන්න එපා, සැරින් සැරේ ටික ටික කතා කරන්න. ෆෝන් එක අතේම තියාගන්න. මොනව හරි වුනොත් ටක් ගාල මට කෝල් කරන්න" කියලා. ඔය විදියට ගොඩක් වෙලාවක් කෝල් කර කර මිස් කෝල් දිදී හිටියා. අර මිනිහා ඇහැරගෙන හිටියත් කතා කරන සද්දේ, කෝල් කරන සද්දේ ඇහෙනකොට ආයෙත් එන්න හිතන්නේ නෑ නේ. කොහොමහරි ෆෝන් එකේ කීයක්‌ හරි ඉතුරු කරගන්න කිව්වට එයා මට කතා කරලා කතා කරලම සල්ලි ටික ඉවර කරගත්තා. දැන් මගේ එකෙත් තව පොඩි ගානයි තියෙන්නේ. මාත් ටික ටික කතා කර කර 4 විතර වෙනකල් කතා කළා. 4ට විතර මගේ එකෙත් සල්ලි ඉවරම වුනා. දැන් නම් එච්චර බයක් නෑ හැබැයි. ඔච්චර වෙලාවක් ගිහින් ඒ මිනිහ ආයෙත් එන එකක් නෑ කියල මට හිතුනා. මම කිව්වා කාමරේ ලයිට් එක දාලම තියන්න, පොඩ්ඩක් වත් නිදා ගන්න එපා කියලා. ඊට පස්සේ මම ඇඳේ වාඩි වෙලා බිත්තියට හේත්තු වෙලා හිටියා. මම එහෙම ගොඩක් වෙලා හිටියා. මට ඉතින් වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. ඊට පස්සේ මම ෆෝන් එකේ එලාම් එකත් තියාගෙන හාන්සි වුනා. 

උදෙන්ම එලාම් එකට ඇහැරිලා දුවගෙන ගිහින් එහා පැත්තේ කඩෙන් කාඩ් එකක් දාගෙන එයාට කෝල් කළා. බුදු සරණින් එයාට කිසි කරදරයක් වෙලා තිබුනේ නෑ. එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.  එයා එලි වෙනකල්ම ඇඳේ වාඩි වෙලා ඉඳල. එයා ඇන්ටිට මුකුත් කියන්න ගිහින් නෑ, වෙනද වගේ ලේස්ති වෙලා ඉස්කෝලේ ගියා. යන්න කලින් අම්මට කෝල් කරලා ඔක්කොම විස්තරේ කියලා. එයා ඒ වෙලාවේ කියල නැත්තේ අම්ම බය වෙයි කියලා. ඇත්ත ඉතින්, ඒ වෙලාවේ අම්මට කෝල් කළා නම් අම්මට බයටම මොනව හරි වෙනවා. එයාගේ අම්ම හිටියේ ගොඩාක් දුර. එයා හවස ඉස්කෝලේ ඇරිලා එහෙමම යාලුවෙක්ගෙ ගෙදර ගියා. පස්සේ අම්ම ඇවිත් අර බෝඩිමට ගිහින් එයාගේ බඩු ටික අරන් ඇවිල්ලා. අම්මත් ඒ ගැන මුකුත් කියන්න ගිහින් නෑ. බොරුවක් කියල ශේප් වෙලා ඇවිත්.

එදා රෑ එයයි අම්මයි දෙන්නම හිටියේ අර යාළුවගේ ගෙදර. එයාගේ අම්ම මට කතා කරලා නොසෑහෙන්න ස්තූති කළා. එයාගේ අම්ම මගේ ගැන දන්නවා. මම මැසේජ් කරන්න ගත්ත මුල් දවස් වලම එයා අම්මට මං ගැන කියලා තිබුනා. එයාගේ හැම දෙයක්ම අකුරක් නෑරම එයා අම්මට කියනවා. හැබැයි යාලුවෙක් විදියට විතරයි මාව අඳුන්වලා දීල තියෙන්නේ. ඊට පස්සේ එයත් කතා කරලා මට ගොඩාක් දේවල් කිව්වා. කොහොම වුනත් මම එදා එක දෙයක් හරියටම දැනගත්තා. ඒ මම එයාට කොච්චර ආදරේ කළාද කියන එක. මට ඒ වෙලාවේ ඇති වුන බයේ හැටියට මම තේරුම් ගත්තා මම එයාට කොච්චර ආදරේ කළාද කියලා. එයා ඉස්කෝලේ ගිහින් එයාගේ හොඳම යාළුවො දෙන්නටත් විස්තරේ කියලා. එයා මට කිව්වා යාළුවො දෙන්න මට තෑන්ක්ස් කළා කියලා. මම ලොවෙත් නැති ටෝකක් ඒ වෙලාවේ දුන්නේ. මම කිව්වා, "එයාල මට තෑන්ක්ස් කරන්නේ මොකටද? මම පරෙස්සම් කර ගත්තේ මගේ දෙයක් නේ" කියලා.:P කොහොමද මගේ ටෝක්ස්? අයියෝ සංසාරේ කිව්වලු! මගේ දෙයක් කිව්වට ඉතින් කලින් කිව්වා වගේ 'යාළුකම' කියන නම තමයි ඒ වෙනකොටත් අපේ සම්බන්දෙට තිබුනේ. ඒ වුනාට ඉතින් ඔහොම කතා තමයි යන්නේ. 

මට එයාගේ අම්මත් එක්ක පුදුම තරහක් ආවේ කාමරේට දොරක් වත් නැති බෝඩිමක එයාව නැවැත්තුවා කියලා. අනිත් එක මට පුදුම අර මිනිහා ගෑනිත් ගෙදර ඉන්න වෙලාවේ එහෙම දෙයක් කරන්න හදපු එක. පුදුමාකාර අසහනයක් තියෙන්න ඇත්තේ. නැත්තන් ඉතින් ඔහොම දෙයක් කරාවිද. අපේ ලොකු අම්මගේ දුව හිටපු බෝඩිමකත් ටිකක් විතර ඔය වගේ වැඩක් වුනා. අක්කලා කාමරේ ඉන්න වෙලාවේ ඒ ගෙදර මිනිහා දොර රෙද්ද අතරින් බලාගෙන ඉඳල. අක්කල දැකල කෑගහලා.    

ඉතින් අක්කලා, නංගිලාට කියන්න තියෙන්නේ, කොයිතරම් විස්වාසවන්ත තැනක වුනත් කාමරේට ලොක් කරන්න පුළුවන් දොරක් නැති තැනක නම් නවතින්න එපා. අම්මල තාත්තලා වුනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන ගෑනු ළමයෙක්ව බෝඩ් කරද්දී. පොඩි වෙලාවක් ඇති ආයෙත් හදන්න බැරි තරම් වැරද්දක් වෙන්න. 

Friday, December 9, 2011

මට අම්ම ඕන




 මේ මගේ 48 වෙනි පෝස්ට් එක. මම 48 ට දාන්න කලින් හිතාගෙන හිටපු පෝස්ට් එක දාන්න වෙන්න නෑ. 'කෙල්ලන්ගේ අසාධාරණ කතා' කියන ලේබල් එකෙන් තමයි ඒක ලියවෙන්න තිබුනේ. හැබැයි පහුගිය දවස් වල ලියපු දේවල් වල හැටියට දැන් ඒකත් දැම්මොත් අක්කලා නංගිලා මාව කන්න හදාවි.:D ඒ නිසා ඒක දින නියමයක් නොමැතිව පස්සට දැම්මා. ඒ නිසා මම පරණ  මෙමරිය ස්කෑන් කරලා බැලුවා කොටන්න පුළුවන් මොනව හරි හොයාගන්න. එතකොට පොඩි සීන් එකක් මතක් වුනා. මේක හැබැයි ටිකක් විතර 18+ ‌ද මන්ද. ඒත් නෑ, ඒ ඉස්සර. දැන් නම් මේ වගේ දේවල් 14+ විතර ඇති මගෙ හිතේ.:) හරි දැන් කියන්න ගිය කතාවට එමුකො.

මම කලින් පෝස්ට් දෙක තුනකම කියලා තියනවා මගේ පළවෙනි ආදරේ ගැන මගේ බ්ලොග් එකේ මම ලියන්න කැමතිම නෑ කියලා. එහෙම වුනොත් වෙන කිසි දෙයක් ලියන්න වෙන්නෙත් නෑ, අනිත් එක එහෙම වුනොත් මේක මහා අඬෝවැඩියාවක් වෙනවා. හැබැයි දැන් මට මතක් වුන සිද්ධිය ඒ සම්බන්ධ පොඩි කතාවක්. ඔන්න ඔහේ ඒක විතරක් කියලා දානවා. ඊට කලින් පසුබිම පොඩ්ඩක් විස්තර කරලා ඉන්නම්, නැත්තන් තේරෙන්නේ නැති වුනොත්! මේ සම්බන්ධ ආදර කතාව (ඒක පාර්ශවික නොවන මගේ පළවෙනි ආදර කතාව) ඇති වුනේ ෆෝන් එකෙන්. (ගොනා කාලෙනේ) ඒ කෙල්ල අපේ බෝඩිමේ හිටපු කොල්ලෙක්ගේ යාලුවෙක්. ගෙවල් තිබුනේ කොළඹට ගොඩක් ඈත. අපේ පැත්තත් පහු කරගෙන තව 75 km විතර යන්න ඕන. එයා ඉස්කෝලේ ගියේ කොළඹ ප්‍රසිද්ධම බාලිකාවක. දවසක් ඒ කෙල්ල ඌත් එක්ක මැසේජ් කර කර ඉන්නවා දැකලා මම උගෙන් ඇහුවම යාලුවෙක් කිව්වා. යාලුවෙක් නම් ඉතින් අවුලක් නෑ නේ, මායි මහිමයයි, තව එකෙකුයි උගේ ෆෝන් එකෙන් නම්බර් එක හොරෙන් අරන් මහිමයාගේ ෆෝන් එකෙන් ආතල් එකට මැසේජ් යැව්වා. අනිත් දෙන්න එදා වැඩේ නැවැත්තුවට මම නැවැත්තුවේ නෑ. ඊට පස්සේ මම මගේ ෆෝන් එකෙන් දිගටම මැසේජ් යැව්වා. කොහොමහරි වැඩේ දුරදිග ගිහින් අන්තිමට නැවතුනේ දෙන්න ආදර වන්තයෝ වෙලා.

ඔන්න ඉතින් මේ කියන සිද්ධිය වෙනකොට අපි දෙන්නට දෙන්න ආදරේ ප්‍රකාශ කරලා තිබුනේ නෑ. හැබැයි දෙන්නගෙම හිත්වල ඒ දේ තිබුණා. යාළුකම කියන වචනේ තමයි පාවිච්චි වුනේ. හැබැයි අපේ ඒ යාළුකම ඒ වෙනකොට කූටප්‍රාප්තියට ඇවිල්ලා තිබුනේ. පන්ති ඇරිලා එන්නේ ෆෝන් එක ඔන් කරලා මැසේජ් එකක් යවන්න බලාගෙන. එදා මම කලින් ආපු දවසක්. එයා පන්ති ගිහින් ඇවිත් මැසේජ් එකක් දැම්මා. ඔහොම ටික වෙලාවක් මැසේජ් කර කර ඉන්නකොට එයා කිව්වා "මට උණ වගේ, ඇඟට අමාරුයි. මම නාගන්න යනවා" කියලා. යකෝ උණ හැදුනම නාල හරියනවද? මම කිව්වා "උණ නම් ඉතින් නාන්න එපා. ගොඩක් අමාරු නම් පෙනඩෝල් එකක් බොන්න" කියලා. ඊට පස්සේ මැසේජ් එකක් එනවා "බේත් බීල වැඩක් නෑ. මට අම්ම ඕන." කියලා. ඉතින් මම කොහෙන්ද අම්මව ගිහින් දෙන්නේ. මම ඉන්නෙත් කිලෝමීටර් බර ගානක් මෙහා, එයාගේ අම්ම ඉන්නේ ඊටත් කිලෝමීටර් 75 විතර එහා. ඉතින් කොහෙද අම්මව ගිහින් දෙන්නේ. මම ඒකට දුන්න උත්තරේ නම් මතක නෑ. ඊට පස්සේ "මම නාගෙන එන්නම්" කියලා මැසේජ් එකක් ආව. මට මල ඉතින්. ඇයි දෙයියනේ උණ කියල දැන් නාන්න යනවා. මම කිව්වා "කියන දේ අහන්න බැරි නම් ඕන දෙයක් කරගන්න" කියලා.

එදා මගේ බයිසිකලේ මොකක් හරි අවුලක් වෙලා තිබුනේ. ඒ පාර මම ඒක හදන්න ගියා. ගිය අතරේ ආයෙත් මැසේජ් එකක් ආව නාගෙන ආව කියලා. මම හොඳටම තරහ ගිහිල්ල හිටියේ. මම මගේ කියල සලකන කෙනෙක් මම කියන දෙයක් අහන්නේ නැති වුනාම මට ගොඩක් තරහ යනවා. කොහොමහරි මම ඒ වෙලාවේ මොකක්ද කිව්වේ කියලා නම් මතක නෑ. ඊට පස්සේ මෙයා එක එක විකාර කියවනවා. "වැඩ කරන්න බෑ, එපා වෙලා ඉන්නේ, ගෙදර යන්න ඕන" ඔය වගේ කතා ගොඩයි. මට විකාරයි ඉතින්. ඇහුවට හරියට මුකුත් කියන්නෙත් නෑ. මම මේ බයිසිකලෙත් එක්කත් මල පැනලා ඉන්නේ. ඒ අස්සේ මෙයත් පිස්සු කියවනවා. මට ඉතින් හරි සන්තෝසයි. "අර ගහෙන්වැටිලා ඉන්න වෙලාවට සුරුට්ටු පත්තු කරන්න එනවා" කියලා කතාවක් තියෙන්නේ. ඒ වගේ තමයි වුනේ.  ආයෙත් මැසේජ් එකක් ආව, "ඔයා නම් පොඩි ළමයෙක් වගේ, කිසි දෙයක් තේරෙන්නේ නෑ නේ" කියලා. තේරෙන්න ඉතින් තේරෙන විදියට කියන්න එපාය. මම ගහලා යැව්වා, "මට ඔයා කියන දේවල් තේරෙන්නේ නෑ. කමක් නෑ, ඔයා පාඩම් වැඩ ටික හොඳට කරගන්න. මට එච්චරයි ඕන" කියලා.

ඊට පස්සේ රෑ වෙනකල් සද්දයක් තිබුනේ නෑ. රෑ වෙලා ආයෙත් මැසේජ් සාමාන්‍ය විදියට මැසේජ් කළා. මම හිතුවා දැන් පිස්සුව හොඳ ඇති කියලා. මම ආයෙත් ඒ ගැන අහන්න ගියෙත් නෑ. ටිකක් රෑ වෙලා මම වැඩ කර කර ඉන්නකොට ආයෙත් මැසේජ් එකක් ආව. ඒකෙ මුල ටික නම් මතක නෑ. අන්තිම ටික මෙන්න මෙහෙමයි තිබුනේ.

"............... Can't study now. Got into dat painful situation again." 

 අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. ඔන්න එතකොට තමයි මගේ මහා බුද්ධියට වැටහුනේ මොකක්ද මේ හවස ඉඳල මෙයා කියන්නේ කියලා. මම දැන් ඉතින් කරකවලා අත ඇරියා වගේ. මට හොඳටම අප්සට් මෙයා මෙච්චර කියලත් මට තේරුනේ නැති එකට. ඇයි දෙයියනේ ඉතින් කවුද හිතන්නේ මැරුවට ඔහොම දෙයක් කියාවි කියල. දැන් ඉතින් මොනවා කරන්නද? මම මැසේජ් එකක් දැම්මා, "අනේ මට දැනුයි ඔයා කියපු එක තේරුනේ. ඇත්තමයි ඔයා කියපු විදියට මට මේ වෙනකල් මුකුත් තේරුනේ නෑ. ඔයාට අමාරු නම් අද ටිකක් කලින් නිදා ගන්න. අද රෑ වෙනකල් ඉන්න එපා. මාත් දැන් නිදා ගන්නවා. මම අද ෆෝන් එක ඕෆ් කරනවා. මම උදේට මැසේජ් එකක් දාන්නම්." කියලා. (හරියටම වචන මතක නෑ, කොහොමහරි ඔය අදහස තමයි කියවුනේ.) ඊට පස්සේ එවෙලේම ෆෝන් එක ඕෆ් කළා. වෙනදට රෑට ෆෝන් එක ඕෆ් කරන්නේ නෑ. මම නිදා ගන්නවා කිව්වට නිදා ගත්තෙත් නෑ. මට එක පාරට ආපු ෂොක් එක නිසයි මම ෆෝන් එක ඕෆ් කරලා නිදා ගන්නවා කිව්වේ. මට ඉතින් එදා රෑ පිස්සුව වගේ වුන වැඩේට. උදේ ෆෝන් එක ඔන් කරනකොට මැසේජ් දෙකක් විතර ඇවිත් තිබුනා. එයා ඒක හරියට කිව්වේ නැති එකට සොරි කියලත් තිබ්බා. 

මේ කෙල්ලෝ නම් මාරයි, දෙයක් කියනකොට එක්කෝ හරියට තේරෙන්න කියන්න ඕන, නැත්තන් නොකිය ඉන්න ඕන. අනේ ඉතින් අසරණ අපි තමයි තැලෙන්නේ එහෙම නැති වුනාම.:)  පස්සේ දවසේ එයා එවපු මැසේජ් එකක තිබුණා "ඔයාගේ tiny flower (ඒ දවස් වල මම කතා කලේ ඒ නමින්) කෙල්ලෙක්, එයාට ඔයාට කියන්න බැරි දේවල් තියනවා" කියලා. යකෝ මේක හරි කෙලියක් නේ. කියන්න බැරි දේවල් තියනවා නම් නොකිය ඉන්න එපාය, බාගෙට කියලා පිස්සු වට්ටන්නේ නැතුව.:D කොහොමහරි ඒ සිද්ධිය ගැන මට පස්සේ පුදුම සතුටක්, ආඩම්බරයක් ඇති වුනේ. ඇයි ඉතින් තාම යාලුවෙක් විතරක් වෙලත් ඒ වගේ දෙයක් කියන්න තරම් විස්වාසයක්, සමීප බවක් තිබුන කියන එකට. ඒ කාලේ හැටියට සහ මගේ අත්දැකීම් එක්ක තමයි ඒක මහා ලොකු දෙයක් වුනේ. නැත්තන් ඉතින් අපේ කට්ටියට නම් ඕක මහා දෙයක් නෙමෙයි වෙන්න ඇති.:) කොහොමහරි එදා ඉඳල මම මාස දෙක තුනක් දවස් 28 ගනන් කර කර හිටියා. හැබැයි ඊට පස්සේ නම් එහෙම දෙයක් කවදාවත් කිව්වේ නෑ.:(

කොච්චර අමතක කරලා තිබුනත් ඔය වගේ සිද්ධි තාමත් මතක් වෙනවා. පොඩ්ඩක් ඇත්තන් ඇති ඒ වගේ සිද්ධි එකින් එක ඇස් ඉස්සරහ මැවෙන්න. ඒ සමහර දේවල් මතක් වෙද්දී හිනාත් යනවා. එහෙම හිනා යන්නේ, ඒ අතීතයේ තිබුන සුන්දරත්වය නිසාද, එහෙමත් නැත්තන් මම කොච්චර මෝඩද වුනාද කියල මතක් වෙන නිසාද කියලා නම් මම දන්නේ නෑ.

Friday, November 25, 2011

සැඳෑ අඳුරට මුසු වූ 'සරසවි ගී සිසිල'

කාලෙකින් ඔන්න බ්ලොගේ පැත්තේ ගොඩවුනා. පහුගිය දවස්‌ ටිකේ ෆලෝ කරපු බ්ලොග් ටික වත් කියවන්න වුනේ නෑ. පහුගිය දවස්‌ වල ලොකු වැඩකට හිර වෙලා හිටියේ. මේ මොහොත වෙනකොට නම් මම බොහොම සතුටෙන්, තෘප්තියකින්, ඒ වගේම අහිංසක ආඩම්බරයකින් ඉන්නේ. අපි බොහොම ආදරෙන්, කැපවීමෙන්, මහන්සියෙන් පටන් අරගෙන මාස 3ක් 4ක් තිස්සේ කරගෙන ගිය වැඩක් පෙරේදා බොහොම සාර්ථකව අවසන් වුනා. ඒ තමයි 17 වෙනි 'සරසවි ගී සිසිල'. ඔන්න ඕක නිසා තමයි පහුගිය දවස්‌ ටිකේ මේ පැත්තේ එන්න වුනෙත් නැත්තේ. මොරටුව කැම්පස් ආපු අය නම් හැමෝම වගේ මේ ගැන දන්නවා ඇති. නොවැම්බර් 24 දා මොරටුව කැම්පස් එකේ සුමනදාස මැද මිදුලේ තමයි 'සරසවි ගී සිසිල' පැවැත්වුනේ. මම මේ ගැන ලියන්නමයි බලාගෙන හිටියේ. කොහෙද ඉතින් පිණිබිඳු අක්ක මට කලින් ඒ ගැන ලියල නේ.:) මට හිතුන පිණිබිඳු අක්ක ඒවි කියල. මම බැලුව ඉන්නවද කියල, හොයාගන්න බැරි වුනා. ආහ් තව දෙයක්, මම මේ ලියන්නේ පම්පෝරියක් ගහන්න නෙමෙයි. මේක ලියන්නේ මගේ හිතේ තියන සතුටට සහ තෘප්තියට. සමහරවිට මේක කියවන අයට මේ කියන දේවල් වල වැඩක් නෑ කියල හිතෙයි. ඔන්න පස්සේ මට බැන බැන යන්න එපා හොඳද අපිට මොකටද මේව කියන්නේ කියල. මම පව්.:(


('ගොඩනැගිලි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය' කිව්වම නම් ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති. අපේ ශිෂ්‍ය සංගමයේ කලින් නම 'ප්‍රමාණ සමීක්ෂණ ශිෂ්‍ය සංගමය' (QSS). ඒත් ගිය අවුරුද්දේ අපේ ශිෂ්‍ය සංගමයේ නම 'ගොඩනැගිලි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය' නමින් වෙනස් වුනා.) අපේ දෙපාර්තමේන්තුවේ බැච් එකකට අවුරුදු හතරට කරන්න තියන වැඩ වලින් අන්තිම සහ වැදගත්ම වැඩේ තමයි 'සරසවි ගී සිසිල' සංවිධානය කරන එක. අපේ හදවතට එකඟව අපිට දැනෙන විදියට අනුව සහ බලපු අය කියපු විදියට අපි ඒක උපරිමයෙන්ම කළා. ඒ සතුට මෙච්චරයි කියල නම් කියල ඉවර කරන්න බෑ. අපි ඒ දේ හරියට කළා කියන තෘප්තිය හැමදාම අපේ හිත්වල තියේවි. අවුරුදු 17කට කලින් අපේ ජේෂ්ඨ කණ්ඩායමක් ආරම්භ කරපු මේ වැඩේ එදා ඉඳල හැම අවුරුද්දකම අපේ ජේෂ්ඨ ශිෂ්‍යයෝ බොහොම ආදරෙන් කරගෙන ආව. මේ පාර ඒක භාර වුනේ අපිට. ඒ කිව්වේ හැම අවුරුද්දකම ෆයිනල් ඉයර් බැච් එක තමයි ඒක කරන්නේ. ගිය අවුරුද්දේ ගී සිසිල ඉවර වුන වෙලාවේම අපි හිතා ගත්තා අපේ පාරත් අපි උපරිමයෙන්ම කරනවා කියල. ඉතින් මීට මාස 3කට විතර කලින් කළුතර බෝධීන් වහන්සේට බාරයක් වෙලාම ඒ වැඩේට මුල පිරුවා. ඊට පස්සේ මූලික වැඩ ටික සූදානම් කරගෙන පොඩ්ඩක් විතර ඒ වැඩ පරක්කු කරන්න වුනා රිසර්ච් එකේ වැඩ නිසා. හැබැයි අපේ සභාපතිතුමා නම් ඒ වැඩ අස්සෙත් එහෙ මෙහෙ දිව්වා අනුග්‍රාහකයො හොයන්න. ඊට පස්සේ මීට මාස එක හමාරක විතර ඉඳල තමයි ෆුල් ටයිම් වැඩ පටන් ගත්තේ.

මේ පාර ගායක ගායිකාවන් විදියට සහභාගී වුනේ වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, කරුණාරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන්. ඔය නම් ටික ඇහුණාම හිතාගන්න පුළුවන් නේ මොන විදියේ ප්‍රසංගයක්ද කියලා. දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය නම් හැම වතාවකම මේ ප්‍රසංගයට සහභාගී වෙලා තියනවා. ඒ වගේම වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි යන මහත්වරුත් බොහොමයක් ප්‍රසංග වලට සහභාගී වෙලා තියනවා. මේ ගායකයන්ගේ සින්දු ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. හැමදාම වගේ කථනයෙන් දායක වුනේ වසන්ත රෝහණ මහත්මයා, වාදනය සුසිල් අමරසිංහ ප්‍රමුඛ ගුවන් විදුලි වාදක මණ්ඩලය. වසන්ත රෝහණ මහත්මයාගේ දුව දැඩි ලෙස රෝගාතුර වෙලා ඉඳිද්දීත් තමයි එතුමා එදා ප්‍රසංගයට සහභාගී වුනේ. ඒ වගේම බොහොම සංවේගයෙන් මතක් කරන්න ඕන කෙනෙක් තමයි විජේරත්න රණතුංගයන්. ගී සිසිල ආරම්භයේ සිටම තබ්ලා වාදනයෙන් දායක වූ, ගිය වසර වෙනවිටත් බොහොම නිරෝගී සුවයෙන් සිටි එතුමා මේ වනවිට ජීවතුන් අතර නෑ.   



වැස්ස නම් අපිට ටිකක් කරදර කළා. අපිට විතරක් නෙමෙයි බලන්න ආපු අයටත් ඒකෙන් කරදර වුනා. කොහොමත් ගී සිසිල පැවැත්වෙන්නේ නොවැම්බර් දෙසැම්බර් මාස වල. ඒ කියන්නේ ඉතින් මෝසම් වැසි තදින්ම වැටෙන කාලයක් නේ. හැබැයි අපි දන්න ඉතිහාසයේ නම් කවදාවත් වැස්ස නිසා ගී සිසිලක් නවත්තන්න වෙලා නෑ. කළුතර බෝධීන් වහන්සේට බාර වෙලාම වැඩ පටන් ගන්න නිසා වෙන්න ඇති එහෙම කරදරයක් නොවෙන්නේ. ඒ වුනාට මේ පාර නම් අපි හොඳටම බය වුනා. දවල් ඉඳල අහස කළු කරලා තිබුනේ. හැමෝම වැඩ කලේ හොරෙන් උඩ බල බල. "නෑ නෑ අද වහින්නේ නෑ" කියල කවුරුත් කිව්වට හැමෝම හිත යටින් ලොකු බයකින් හිටියේ. කලින් දවසේ රෑත් අපේ කට්ටියක් ළඟ තිබුන පන්සලකට ගිහින් බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරලා ආවේ කිසිම විදියකින් කරදරයක් වෙන්න එපා කියල. එදා අහස දැකල සභාපතිතුමයි ලේකම්තුමයි ආයෙත් පන්සලට ගිහින් බාරයක් වෙලා තිබුනා.

කොහොම හරි 3.30 ට විතර වැහි පොද එක දෙක වැටෙන්න ගත්තා. ඒත් අපේ කට්ටිය නෑ නෑ වහින්නේ නෑ කිය කිය හිටියා. 3.45 ට එක පාරටම වැස්සක් පටන් ගත්තා. ටික වෙලාවකින් තරමක් තදට වහින්න පටන් ගත්ත. ඒ පාර අපේ කට්ටිය කියනවා "දැන්ම වහින එක හොඳයි, එතකොට හවස් වෙන්න පායනවා" කියල. අපි සුමනදාස මැද මිදුලට වෙලා බලාගෙන ඉන්නවා වැස්ස ඉවර වෙනකල්. ගොඩක් වෙලා බලාගෙන හිටියත් වැස්ස අඩු වෙන පාටක් නම් තිබුනේ නෑ. 6 ට තමයි ප්‍රසංගය පටන් ගන්න තියෙන්නේ. මොන කතා කිව්වත් ඒ වෙනකොට නම් අපි හොඳටම බය වෙලා හිටියේ. සමහරු ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා, සමහරු අහස දිහා බලාගෙන ඉන්නවා, සමහරු වැස්සට බනිනවා, එක විකාරයයි එතන. කොහොමහරි ඒ තද වැස්ස 4.45 වෙනකල්ම තිබුනා. ඒත් වැස්ස සම්පූර්ණයෙන්ම නැවතුනේ නෑ. පොද වැස්ස දිගටම තිබුනා. ඒ නිසා තෙමුන පුටු පිහදාල වැඩකුත් නෑ. ඒ අතරේ වැස්සේම මම අපේ ටී ෂර්ට් එක ඇඳගෙන එන්න ගියා.

වැස්ස අඩු වෙනවා වැඩි වෙනවා, ඉවරයක්‌ නෑ. අද ගී සිසිල තියන්න බැරි වෙයිදෝ කියන බය නම් ඒ වෙලාවේ මට තදින්ම දැනුනා. ටික වෙලාවකින් වැස්ස අඩු වුනා. අපි එනකොටත් බලන්න ආපු අය  ප්‍රධාන දොරටුව ළඟ තිබුන පාලම යටට වෙලා ඉන්නවා ඇතුලට ගන්නකල්. ටික වෙලාවකින් වැස්ස සම්පූර්ණයෙන්ම නැවතුනා. එතකොට 5.30 විතර වෙලා. ඔන්න එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඊට පස්සේ තමයි යුද්දෙ පටන් ගත්තේ. වැස්ස නිසා ගොඩක් වැඩ කරගන්න බැරුව හිටියේ. ඒ මදිවට දැන් කොනක ඉඳල ආයෙත් පුටු පිහිදාන්න ඕන. අපියි පොඩි උන් ටිකයි පිස්සුවෙන් වගේ වැඩ කරලා කොහොමහරි ඒ වැඩ ටික ඉවර කරගත්තා. ස්ටේජ් එකේ වැඩයි, සවුන්ඩ්ස් ලයිට්ස් වගේ අනිත් ලොකු වැඩ ටිකයි ගොඩක්ම කලින් ඉවර කරගත්ත නිසා ප්‍රශ්නයක් වුනේ නෑ. නැත්තන් වැස්ස නිසා අපි අනාත වෙනවා.



ඊට පස්සේ ඉක්මනට අපු අයව ඇතුලට ගත්තා. වල කැන්ටින් එක පැත්තේ තිබුන දොර ඇරියම තමයි හීන් දාඩිය දැම්මේ. වලෙන් එකයි බලන්න ආපු අය. කොහොමහරි ඔක්කොම කරල 6.36 වෙනකොට වැඩේ පටන් ගත්තා. මෙච්චර බාධා වෙලත් අපි පරක්කු වුනේ විනාඩි තිහයි. ඊට පස්සේ ඉතින් හැම දෙයක්ම සැලසුම් කරපු විදියටම කරගන්න පුළුවන් වුනා. වැස්ස කියල නෑ, අපි තියල තිබුන පුටු 1500ම පිරුනා. පස්සේ 100 ටිකට් හරියේ හිටගෙනත් කට්ටිය හිටියා. ආයෙත් අන්තිම වෙලාවෙත් පොඩි පොද වැස්සක් පටන් ගත්තා. ඒ වෙලාවේ සින්දු කිව්වේ සුනිල් එදිරිසිංහ මහත්මය. වැස්ස නිසා කීප දෙනෙක් නැගිටල ගියා. ඒ වෙලාවේ ආයෙත් ලේ ටික වතුර වුනා. වාසනාවට වැස්ස ඊට වඩා වැඩි වුනේ නෑ. සංගීතයට සමවැදිලා හිටපු අයට ඒ වැස්ස ප්‍රශ්නයක් වුනේ නෑ. ආයෙත් කවුරුවත් නැගිටලා ගියෙත් නෑ. ඔය විදියට පොද වැස්සේම ගී සිසිල අවසන් වුනා.



ඔය ප්‍රසංගය ඔය විදියට සංවිධානය කරන්න අපේ කට්ටිය මාරම කට්ටක් කෑවා. සභාපතිතුමයි, ලේකම්තුමයි මේක පටන් ගත්ත වෙලාවේ ඉඳල අන්තිම මොහොත වෙනකල්ම පුදුම විදියට මේකට කැප වුනා. සභාපතිතුමා ගැන නම් කියල වැඩක් නෑ, හැම තත්ත්පරයකම උගේ ඔලුවේ තිබුනේ ගී සිසිල. ග්රූප් විදියට ගත්තොත් decoration ග්රූප් එකෙයි, souvenir ග්රූප් එකෙයි කොල්ලෝ ටිකයි තමයි මේකට වැඩියෙන්ම මහන්සි වුනේ. අන්තිම මාසේ විතර උන්ට හරියට නින්දක් තිබුනෙම නෑ. මේ ප්‍රසංගයේ අපි ලබාගත්ත සාර්ථකත්වයේ වැඩිම දායකත්වය උන්ගේ. ඔය වැඩේට බැච් එකක් විදියට ගත්තොත් අපේ කට්ටියගෙන් ලැබුන දායකත්වය එක එක විදියයි. කොල්ලෝ කෙල්ලෝ නිදි මරාගෙන වැඩ කරද්දී, ඒ කිසි දේකට සහභාගී නොවුන කොල්ලෝ කෙල්ලොත් හිටියා. ඒව කොහෙත් එහෙමනේ, මම ඒවා ගැන නම් කතා කරන්න යන්නේ නෑ. හේතු කීපයක් නිසා අපිට ජූනියර් බැච් දෙකකින් ලැබුන සහයෝගයත් ගොඩාක්ම අඩුයි. හැබැයි ඒ කිසි දෙයක් නිසා අපේ වැඩේ කිසි අඩු පාඩුවක් වුනේ නෑ. ඒ ගැන නම් අපි ගොඩක් ආඩම්බර වෙනවා. කොහොමහරි අවසානයේ කියන්න බැරි තරම් සතුටක් මට ඉතුරු වුනා. මම මෙච්චර සතුටු වෙනවා නම් අපේ සභාපතිතුමා, ලේකම්තුමා, decoration ග්රූප් එක, souvenir ග්රූප් එක, කොයිතරම් සතුටු වෙනවා ඇද්ද? 

හැබැයි ඉතින් දැන් සතුටු වුනා වගේ නෙමෙයි, රිසර්ච් එකේ වැඩ පටන් ගන්න ඕන. කෙල්ලෝ ටිකයි, සමහර කොල්ලොයි නම් literature review එක ඉවරත් ඇති. අපිට නම් තාම ඒක අල්ලන්නවත් වුනේ නෑ. කමක් නෑ, මෙච්චර කල් විභාග, කෝස් වර්ක්, ට්‍රේනින් කළා වගේ ඕකත් අපි කොහොමහරි ගොඩ දාගනීවී. ලකුණු නම් අඩු වෙයි, ඒකට කමක් නෑ. 

අපිට මේ ප්‍රසංගයට ප්‍රධාන අනුග්‍රහය දැක්වුයේ 'ජාතික ලොතරැයි මණ්ඩලය', 'ලංකා බැංකුව' සහ 'කිරුල FM'. souvenir එකට ඇඩ් ලබාදීමෙන් හා banner ලබාදීමෙන් අනුග්‍රහය දක්වූ හැමෝමත් මතක් කරන්න ඕන. ගී සිසිල සාර්ථක කරගන්න අපිට අනිත් දෙපාර්තමේන්තු වලින් ලැබුන සහයෝගයත් මතක් කරන්න ඕන. කටවුට් සහ වේදිකාවේ චිත්‍ර ඇන්දේ වාස්තු විද්‍යා දෙපාර්තමේන්තුවේ සහෝදරයෝ හතර දෙනෙක්. උන් පුදුම උදව්වක් කලේ. ඊළඟට මේ ප්‍රසංගය live streaming දෙන්න IT සහෝදරයෙක් ලොකු උදව්වක් දුන්නා. රේකොඩින් වලින් දායක වුනේ CSE එක. ඒ වගේම උපකුලපති තුමාගේ ඉඳල ආරක්ෂක සේවාව වෙනකල් අපිට සහයෝගය දීපු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හැමෝමත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම පිණිබිදු අක්ක ඇතුළු බලන්න ආපු හැමෝටමත් ස්තූතියි.:)        
 





Monday, November 14, 2011

මම කළේ වැරද්දක්ද?

 
අපි අපේ ජීවිත වලදී ගොඩක් වැරදි තීරණ ගන්නවා. ගොඩක් වෙලාවට ඒ තීරණ වල වැරැද්ද තේරෙන්නේ කල් ගිහින්. එහෙම තේරෙනකොට ගොඩක් වෙලාවට ඒ දේවල් නිවැරදි කරන්න බැරි තැනට ඇවිත්. එතකොට ඉතින් වෙන්නේ ඒ දේවල් මතක් කර කර පසු තැවෙන්න. මට දැනට තේරෙන විදියට මම එහෙම ලොකු වැරදි තීරණ දෙකක් අරන් තියනවා මගේ ජීවිතේදී. (තව ඉස්සරහටත් එහෙම ගොඩක් ගනීවි :) ) දුක කියන්නේ ඉතින් ඒ දෙකම ආදරේ සම්බන්දයෙන් ගත්ත තීරණ. වැරදි තීරණ කියන්නේ ඉතින් වැරදි පුද්ගලයන්ට, වැරදි කාලේ, වැරදි විදියට ආදරේ කරන්න තීරණය කරපු එක තමයි වැරැද්ද. පළවෙනි එක වුනේ උසස් පෙළ කාලේ. මම මේ බ්ලොග් එකේ ලියන්න හිතන්නෙවත් නැති කතාවක් ඒක. ඒක ගැන ලිව්වොත් මේකේ වෙන මුකුත් ලියන්න වේලාවක් නැති වෙනවා. අනිත් එක එහෙම වුනොත් මේ බ්ලොග් එකම මහ අඬෝවැඩියාවක් වේවි. මම මුල්ම කාලේ ලියපු හිතේ දුකට ලියවුනු කවි පෝස්ට් එකේ තියෙන්නේ ඒකෙන් කෙලව ගත්තට පස්සේ, හිතේ දුකට ලියවෙච්ච නිසදැස් කෑලි. කොහොම හරි ඒකෙන් අන්තිමට වුනේ මෙඩිසින් යන්න හිටපු ඒකිට කෘෂි විද්‍යා පීඨයෙන් නවතින්න වුන එකයි, කැම්පස් යන්න හිටපු මගේ යාලුවෙකුට ඒක බැරිවුන එකයි, මගේ ප්‍රථිපල වලටත් සැලකිය යුතු තරමේ හානියක් වුන එකයි විතරයි.

මම දැන් මේ කොටන්න කියල ලේස්ති වුනේ මම ගත්ත දෙවැනි වැරදි තීරණේ ගැන. ඒක වුනේ මම කැම්පස් ආවට පස්සේ. මම අර විෂය භාර දෙවියන් වෙත ලියපු ලියුමේ කියපු සතියක ආදර කතාව ගැන තමයි මේ කියන්න යන්නේ. මම එතකොට සකන්ඩ් ඉයර් එකේ මුල හරි ෆස්ට් ඉයර් එකේ අග හරි. ඒ දවස් වල අලුත් බැච් එක ගන්න ඇප්ටිටියුඩ් ටෙස්ට් තිබුන. මම ඒ වෙලාවේ මොකක් හරි වැඩකට එලියට ගියා. ඒ යන අතරේ ඉතින් පොඩ්ඩක් අවට සිරි නරඹ නරඹ තමයි ගියේ. (අවට සිරි නැරඹුවා කිව්වට ඒ වෙලාවේ ඇවිත් හිටපු ගෑනු ළමයි දිහා බල බල නෙමෙයි ඔන්න ගියේ.) එහෙම යනකොට මට ටිකක් විතර හුරු පුරුදු කටහඬක් ඇහුනා.

"ඔයා මෙහේද ඉන්නේ?"

මම නැවතිලා බලනකොට හුරු පුරුදු මූනක්‌ මගේ දිහා බලාගෙන ඉන්නවා. සිටි පිටි ගාල පරණ රෙකොර්ඩ් ස්කෑන් කරලා බලනකොට මට ඩයල් එක මීටර් වුනා. ඒ 5 වසරේ අපේ පන්තියේ හිටපු කෙල්ලෙක්. අපේ ගෙවල් පැත්තෙමයි ඉන්නේ. ඊට පස්සේ පාරේදී එහෙම දෙතුන් පාරක් දැකල තිබුනට 5 වසරෙන් පස්සේ කතා කරලම නෑ. කොහොම හරි එයාට මාව මතක තිබිල. අපි එයාට චතුරි කියල කියමුකෝ.

"ආහ් චතුරි, මට අඳුර ගන්නත් බැරි වුනා."

"ඔයත් ගොඩක් වෙනස් වෙලා."

"මොකද මේ පැත්තේ?"

"අද IT ඇප්ටිටියුඩ් තියනවා නේ කසුන්. මම ඒකට ආවේ."

ඊට පස්සේ ටික වෙලාවක් කතා කර කර හිටියා. එයා ටිකක් විතර කළු කෙල්ලෙක්. ඒත් එයා ඉස්සරට සාපේක්ෂව ගොඩක් ලස්සන වෙලා. ඉස්සර එයා කොන්ඩේ කොටට කපාගෙන, කාත් එක්කවත් හරියට කතාවක් වත් නැති, පොතේම ඇලිල හිටපු කෙල්ලෙක්. මම එයත් එක්ක කතා කරපු වාර ගාන අතේ ඇඟිලි ගානට වඩා අඩු ඇති. ඒ වෙලාවේ නම් මට එහෙම කතා කරපු එකේ කිසිම විශේෂයක් තිබුනේ නෑ. ටිකක් වෙලා කතා කර කර ඉඳල මම ගියා.

මම ගමේ ගිය වෙලාවක අපේ සෙට් එකට නිකන් කිව්වා චතුරි මුණ ගැහුන එක ගැන. එයා අපේ ගෙවල් පැත්තෙ නිසා අපේ හැමෝම වගේ එයාව දන්නවා. අපේ එකෙක් ඒ වෙනකොට තුන්වෙනි පාරටත් උසස් පෙළ කරන්න පන්ති යනවා. ඒ එක පන්තියකට චතුරිත් එනවා. ඌයි තව එකෙකුයි දෙන්නෙක්ම කිව්වා එයා දැන් ඉස්සරට වඩා ගොඩක් ලස්සනයි කියල. මටත් ඉතින් ඒක තේරිලා තිබුනේ. ඔහොම ඉතින් ටික දවසක් ගෙවුනා. ඔන්න ඊට පස්සේ තමයි මම ගොනාට අඳින්න ගත්තේ. මට හිතුන ආයෙත් එයා එක්ක කතා කරන්න ඕන කියලා. මම අර පන්ති යන කොල්ලට කිව්වා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ රිසල්ට් බලල දෙන්න කියල පන්තියේදී එයාගේ නම්බර් එක ඉල්ලගෙන එන්න කියල. ඌ ගිහින් ඒක කිව්වම එයා නම්බර් එක දීල තිබුනා. ඊට පස්සේ මම කෝල් කරලා විභාග අංකෙ ඉල්ලගත්තා. මට මතක විදියට එයා තේරිලා තිබුනේ නෑ. මම ඉතින් කතා කරලා ඒක කිව්වා.

පස්සේ කොහොම හරි එයා වෙන කැම්පස් එකකට සිලෙක්ට් වෙලා තිබුනා. එයා ඒකෙ විස්තර අහගන්න මට දෙතුන් පාරක් විතර කෝල් කළා. මාත් එයාට කැම්පස් යන්න කලින් කීප වතාවත් කතා කළා. කොහොම හරි ඉතින් එයා කැම්පස් ගියා. ඊට පස්සේ තමයි යාලුවන්ගේ ආශිර්වාදය මැද කොල්ල ෆුල් ටයිම් ගේමට බැස්සේ. ඊට පස්සේ මම නිතරම එයාට මැසේජ් යවන්න පටන් ගත්ත. යවන පරක්කුවෙන් ඒවාට රිප්ලයිනුත් ආව. පස්සේ මම නිතරම කෝල් කරන්නත් ගත්ත. මම දවසක් එයා කැම්පස් යන්න යන වෙලාවක ගිහිල්ල මුණගැහිලත් ආව. ඔහොම ටික කාලයක් ගත වුනා. පස්සේ මම තීරණයක් ගත්ත එයාගෙන් අහනවා කියල. හැබැයි මට හොඳට මතකයි මම ඒ තීරණේ ගත්තේ එච්චර විශ්වාසෙකින් නෙමෙයි. මම කරන්න යන දේ ගැන මට කිසි ෆිට් එකක් තිබුනේ නෑ. ඔහේ නිකන් විකාරෙන් වගේ ඒ දේ කලේ. මට තාම හිතා ගන්න බෑ මම ඇයි ඒ තීරණේ ගත්තේ කියල. ඒ දවස්වල මම අර කලින් කියපු කෙනා ගැන ආයෙත් හිතල හිතල සෑහෙන්න මානසිකව වැටිලා හිටියේ. සමහර විට ඒ හැඟීමෙන් මිදෙන්න ඕනකමට මම ඒ තීරණේ ගන්න ඇති.

කොහොමහරි මම සති අන්තෙ යාලුවොත් එක්ක ඉන්න වෙලාවක මැසේජ් එකකින්ම එයාට ඒ ගැන කිව්වා.ඒ වෙලාවේ නම් උත්තරයක්‌ ලැබුනේ නෑ. මට මතක විදියට දවස් තුනකින් විතර පොඩ්ඩක් විතර අගේ කරලා මට කැමැත්ත දුන්නා. මම ඒ ටික ගැන වැඩිය විස්තර කියන්න යන්නේ නෑ. ඔන්න ඔය විදියට අපේ සතියක ආදර කතාව පටන් ගත්තා. 

දවස් දෙක තුනක් විතර සාමාන්‍ය විදියට ගෙවුනා. හැබැයි මට එයාගේ අමුත්තක් තේරුණා. මම කෝල් කලොත් විතරයි කතා කරන්නේ, එයා එක පාරක් වත් කෝල් කලේ නෑ. අඩු ගානේ මට කෝල් එකක් ගන්න කියලවත් කිව්වේ නෑ. මම කෝල් කලාම වුනත් වැඩි වෙලා කතා කරන්නේ නෑ. මට ඒක හොඳට තේරුණා. කතා කරන විදිය වුනත් හරි අමුතුයි. එයා නිකන් එච්චර කෙයා කරන්නේ නෑ වගේ තමයි කතා කලේ. මට ඉතින් මල පැනල හිටියේ. ඇයි යකෝ සතියක් වත් යන්න කලින් ඔහොම නම් අවුරුද්දක් දෙකක් ගියාම කොහොමට හිටීවිද? මම ගමේ සෙට් එකත් එක්කත් ඔය ගැන කිව්වා. උන් නම් කිව්වේ ටික දවසක් යනකොට හරි යාවි කියල. මම තවත් දවස දෙක තුනක් බැලුවා, කතාව ඒ විදියම තමයි. බැරිම තැන මම ඇහුවා "ඔයා ඇත්තටම මට ආදරේද, නැත්තන් මොකක් හරි ප්‍රශ්නයක් තියේද?" කියලා මේකි කිව්වනේ "මට අසයින්මන්ට් එකක් කරන්න තියනවා. පස්සෙ කියන්නම්" කියල. මට ඒ වෙලාවේ නම් යකා නැග්ග. ඔය ප්‍රශ්නෙට උත්තරයක්‌ දෙන්න බැරිනම් ඉතින් තවත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ නේ. මම ඒත් ඒ වෙලාවේ මුකුත් කිව්වේ නෑ.

පහුවෙනිදා මම ආයෙත් ඒ ප්‍රශ්නෙම ඇහුවා මැසේජ් එකකින්. මම දෙකෙන් එකක් බේර ගන්නවා කියල හිතාගෙනමයි කතාව පටන් ගත්තේ. එයා ඒකට දුන්නේ මෙන්න මෙහෙම උත්තරයක්‌.

"මට ඉගෙන ගන්න එකයි, මේ වැඩෙයි දෙකක් කරන්න බෑ කසුන්"

ආයේ ඉතින් ඒ ගැන තවත් වචනයක් වත් කතා කරන්න මට උවමනාවක් තිබුනේ නෑ. ඕනම දේක සීමාවක් තියෙන්න ඕන නේ. කැම්පස් ආපු ළමයෙක් ඔහොම කියනවා කියන්නේ ඒක බොරු කතන්දරයක් නේ. මම ඒ වෙලාවේම තීරණයක් ගත්තා. ඉගෙන ගන්න එක ඉතින් නවත්තන්න බෑ නේ. මම කිව්වා, 

"හරි චතුරි අපි එහෙනම් මේ සම්බන්දෙ නවත්තල දාමු." කියල. 

මට මතක විදියට ඒකට රිප්ලයි එකක් ආවේ නෑ. රිප්ලයි නෑ කියන්නේ ඉතින් ඒක එයාට ප්‍රශ්නයක් නෑ කියන එකනේ. ඒ මොහොතෙම මම එයා ගැන තිබුන හැම අදහසක්ම අතැරලා දැම්මා. මට හොඳට මතකයි මම කෝස් වර්ක් එකක් ප්‍රින්ට් අවුට් ගන්න එලියට ගිය වෙලාවක තමයි ඔය කතාව ගියේ. මම අන්තිම මැසේජ් එක යැව්වේ ප්‍රින්ට් අවුට් එක අරන් එන ගමන් පාරේදී. කොහොමහරි කැමැත්ත දීල හරියටම සතියකින් වගේ ඔය විදියට කතාව ඉවර වුනා. ඒ සති අන්තෙ එයත් ගෙදර එනවා කියල මට කලින් කියල තිබුනේ. මම හිතන් හිටියේ ගමේ ගිහින් එයත් එක්ක ගිහිල්ල හින්දි ෆිල්ම් එකක් බලනවා කියල. මට මතක විදියට ඒ දවස් වල හෝල් වල තිබුනේ 'Love Aaj Kal'. අන්තිමේ මොන ෆිල්ම්ද, ඊට කලින් මගේ ෆිල්ම් එක ඉවර වුනා. ආදරෙන් පරාද වුන අනිත් හැම වතාවකම සති ගනන් මූඩ් ගහල කන්න බොන්න වත් බැරුව හිටපු මට ඒ වෙලාවේ නම් ඒ ගැන කිසි දුකක් ඇති වුනේ නෑ. තරහක් විතරයි තිබුනේ එයා ගැන. ඒ හැම දෙයක්ම මොහොතකින් අමතක කරල කිසිම අවුලක් නැතුව මට ඉන්න පුළුවන් වුනා. ඒ මොකද කියල නම් අදටත් මම දන්නේ නෑ. සමහර විට නවත්තමු කියන තීරණේ මමම ගත්ත නිසා වෙන්න ඇති. අනිත් හැම වතාවකම අනිත් පාර්ශවෙන් නේ ඒ තීරණේ ගත්තේ. 

ඔය විදියට මම ඒ කතාව සම්පූර්ණයෙන්ම නැවැත්තුවත් එයා නම් ඒක එතනින් නැවැත්තුවේ නෑ. දවසකින් දෙකකින් විතර ආයෙත් කිසි දෙයක් වුනේ නෑ වගේ සාමාන්‍ය විදියට මැසේජ් කරන්න ගත්තා. අපේ සම්බන්දෙ නැවැත්තුවට එයා තාමත් මගේ යාලුවෙක්නෙ, ඒ නිසා මාත් ඒවට රිප්ලයි කළා. ඊට පස්සේ එක එක හින්ට් පාස් කරන්න, පරණ දේවල් මතක් කරන්න පටන් ගත්තා. ඒ අස්සෙත් සමහර වෙලාවට ඒකිම මැසේජ් කර කර ඒකිම ලොකු ලයින් දෙන්න ගත්ත කියපන්කො. මට ඒ සමහර කතා මතක් වෙනකොටත් හිනා යනවා.  මම ඉතින් ඔය මුකුත් ගනන් ගන්නේ නැතුව මැසේජ් එකක් ආවොත් රිප්ලයි කරගෙන මගේ පාඩුවේ හිටියා. පස්සේ එයා කෙලින්ම කිව්වා මම ඔයාට ආදරෙයි අපේ සම්බන්දෙ ආයෙත් පටන් ගමු කියන එක. එයා ගොඩාක් දේවල් කිව්වා. ආයෙත් වෙනස් කරන්න බැරි විදියට මම හිත හදාගෙන හිටපු නිසා ඒ කියපු කිසි දේකින් වැඩක් වුනේ නෑ. මම ඒව ගැන වැඩිය කියන්න යන්නේ නෑ, එහෙම වුනොත් මම පොර ටෝක් දෙනව කියල කට්ටිය හිතාවි.

හැබැයි මම ඇහුවා එහෙනම් ඇයි අරවගේ කතාවක් කිව්වේ කියල. එයා කිව්වා, එයා එහෙම කිව්වේ ඇයි කියල එයාවත් දන්නේ නෑ, ඒක අමතක කරලා දාන්න කියලා. එයා ගොඩාක් මැසේජ් එව්වා, තුන් හතර පාරක්ම කෝල් කළා, ඒත් ඒ එපා වුන එපා වීම වෙනස් කරන්න නම් එයාට බැරි වුනා. කොහොමහරි මාස දෙක තුනකින් විතර මැසේජ්, කෝල් එන එක නැවතුනා. මට තිබුන ප්‍රශ්නේ එයා ඔය කියන තරම් මට ආදරේ කළා නම් අර විදියට හැසිරුනේ, අර විදියේ කතාවක් කිව්වේ මොකද කියන එක. සමහර විට එයාට හිතෙන්න ඇති තව ටිකක් ගනන් උස්සන්න, තව ටිකක් අගේ කරන්න. නැත්තන් ඉතින් අරම වැඩ කරන්න ඕන නෑ නේ. යාලු වෙන්න කලින් නම් ටිකක් ආඩම්බර වෙන එක, ටිකක් ගනන් උස්සන එක අවුලක් නෑ. ඇත්තටම එහෙම වෙන්නත් ඕන, නැත්තන් කොල්ලයි බල්ලයි දෙන්නම යාලු වෙන්න එනවනේ. ඒත් දෙයියනේ යාලු වුනාට පස්සේ ආයෙත් ලොකු ලයින් දෙන්නේ මොකටද? මොකක්ද එහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ? මට නම් තේරෙන්නේ නෑ. කොහොම හරි මට නම් ඒව දිරවන්නේ නෑ. යාලු වෙන්න කලින් අගේ කළා මදි කියල හිතුනද දන්නේ නෑ.

එයා  බලාපොරොත්තු වෙන්න ඇත්තේ අර විදියට කලාම මම පස්සෙන් වැටීගෙන ඒවි කියල. අපේ උන් නම් කිව්වේ අනිවා එයාගේ යාළුවො ටික තමයි ඔහොම කරන්න කියන්න ඇත්තේ කියල. කොහොම හරි ඒ වැඩේ හරි ගියේ නැති නිසා එයාම ආයෙත් හැමදේම මුල ඉඳල පටන් ගන්න හැදුවේ. ඒත් එතකොට පරක්කු වැඩියි. මගේ ගැන කියනවා නම් එහෙම ලොකු ලයින් එකක් දෙන්න මට ඇති සුදුසුකමක් නම් නෑ. මම සල්ලිකාර පවුලකින් එන එකෙක් නෙමෙයි, මම හැන්ඩි කොල්ලෙකුත් නෙමෙයි. (මම කළුම කළු, කැත කොල්ලෙක්. මගේ ඇත්ත fb එකවුන්ට් එකේ ඉන්න අය නම් දන්නවා ඇති ඩයල් එක මොන වගේද කියලා.) ඒත් එහෙමයි කියල ඔහොම කාටවත් බාල්දු වෙන්න, පස්සෙන් වැටෙන්න නම් මම සුදානම් නෑ. කෙල්ලෙක් නැතිම වුනොත් ප්‍රපොසල් එකකින් බඳිනවා, එහෙමත් බැරි වුනොත් ඔය ඉතුරු ටිකත් තනියමම ඉන්නවා. ඒක ඔයිට වඩා දාහෙන් සම්පතයි. ඔය වගේ තැනකදී විතරක් නෙමෙයි, කවුරු වුනත් මට ලොකු ලයින් එකක් දුන්නොත් මාත් අනිත් පැත්තට එහෙමම තමයි. (හැබැයි හානියක් නැතුව එහෙම කරන්න පුළුවන් නම් විතරයි)

මේ මෑතක් වෙනකල් මගේ මූණු පොතේ එයා හිටියා. මේ ලඟකදී ඉඳල ආයෙත් අමුතු අමුතු කතා කියන්න ගත්තා. දවස් දෙක තුනක් බලල මම එයාව බ්ලොක් කරලම දැම්මා. මුකුත් හිතන්නේ බලන්නේ නැතුව ගත්ත මෝඩ තීරණයක් හින්ද ඔන්න ඔහොම දෙයක් තමයි වුනේ. පොඩි මානසික පීඩාවක් ඇරෙන්න මට නම් ලොකු හානියක් වුනේ නෑ. හැබැයි මට එයා ගැන නම් ඇත්තටම දුකයි. ඒක එයාගේ පලවෙනි ආදරේ. එයාගේ මැසේජ් වලිනුත් ඒක හොඳටම තේරෙනවා. ඒ නිසා වෙන්න ඇති එයාට ඒක අමතක කරන්න එච්චර අමාරු වුනේ. හැබැයි එයා එදා අර විදියේ කතාවක් නොකියන්න අපි අදටත් ආදරවන්තයෝ වෙන්න තිබුනා. ඒත් එයා ඒ කතාව ගොඩක් වෙනස් කළා. දැන් ඒ හැම දෙයක්ම අතීතයට එකතු වෙලා ඉවරයි. 

Tuesday, October 25, 2011

රෙදි ගැලවෙන්නම ගිය අවස්ථාවක්

අනේ බලන්නකෝ මට වෙච්ච වැඩේ. ලැපීගෙ අවුලක් ගිහින් ඊයෙ හදන්න අරගෙන ගියා. ඒක හදන්න තියල යන්න කිව්වා. සති දෙකක් විතර යනවලු හදල දෙන්න. :( අයියෝ දැන් හුස්ම වැටෙන්නෙත් නෑ වගේ. ඇත්තටම හිතට මාරම අවුල්. අපි ජීවිතේ ඇති කරගන්න බැඳීම් නිසා කොයිතරම් නම් දුක් වෙනවද? වැඩිපුරම මිනිස්සු එක්ක ඇති කරගන්න බැඳීම් නිසා අපි දුක් විඳිනවා. ඒ ඇරුනම ඔය වගේ භෞතික දේවල් වලට ඇතිවෙන බැඳීම් නිසාත් අපි දුක් විඳිනවා. හලේ මට නම් මේ සේරම එපා වෙලා තියෙන්නේ. දන් ඉතින් මේ ජීමේල් එකේ, ෆෝන් එකෙන් ටික ටික ටයිප් කරල තමයි මේක ලියන්නේ. (Real Time Unicode Converter එකට හරි යන විදියට  ෆෝන් එකෙන් ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරලා සේව් කරගෙන පස්සේ කම්පියුටර් එකෙන් convert කරගන්නවා.) කොහොමද මගේ කැපවීම.:)

ට්‍රේනින් කාලේ වෙච්ච තවත් සිද්ධියක් ලියන්න කියල මේ ලේස්ති වුනේ. කලිනුත් එකක් ලිව්වනේ, ඒක බලන්න මෙතනින් යන්න. මේක නම් ඉතින් චාටර්ම සීන් එකක්. කලින් එක ලිව්වට පස්සේ මට මේකත් ලියන්න ඕන කියල හිතුන. ඒත් පස්සෙ නිකන් නොන්ඩියි වගේ කියල නිකන් හිටිය. කමක් නෑ, ඕන වෙඩිමක්‌ කියල ඔන්න ඔහේ ලියල දානවා. කවුරු හරි මේකෙන් ආදර්ශයක් වත් ගත්තොත් ඒ මදෑ.:)

ඔන්න ඉතින් මායි අනිත් කෙල්ලයි වෙනද වගේ වැඩ කර කර (හෝ කයියක් ගහගෙන) ඉන්නවා. එතකොට අපේ ඉමීඩියට් බොස් අපි ලඟට ආව. අපේ ඉමීඩියට් බොස් විදියට හිටියේ පේර සිවිල් ඉන්ජිනියර් මිස් කෙනෙක්. ඇවිත් ඇහුව, "මම පෙන් එක ගෙනල්ල නෑ, ඔයාල ළඟ පෙන් එකක් තියනවද?" කියල. අනිත් කෙල්ල පෙන් එකක්‌ ගේන්නේ නෑ. මම නම් පුරුද්දට වගේ පෙන් එක බෑග් එකේ දාගෙන ඉන්නේ. මම පෙන් එකක් තියනවා කියල බෑග් එක ඇරිය පෙන් එක ගන්න. ඒක ඇතුලේ මගේ පෙන් එකයි, තාත්තට ඉස්සර ඔෆිස් එකෙන් ලැබුන පෙන් එකයි (128MB :D) දෙකම තියනවා. ඔන්න එතකොට තමයි මට ඇඟ සීතල වෙලා යන දෙයක් මතක් වුනේ. ඔය දෙකෙන් එකක වැඩිහිටියන්ට සුදුසු නැති වීඩියෝ දෙක තුනක් තිබුන.:( මට දැන් ඉතින් මතක නෑ ඔය දෙකෙන් මොකේද ඒ ටික තියෙන්නේ කියල. දැන් මිස් බලාගෙන ඉන්නවා පෙන් එක දෙනකල්. මට පෙන් දෙකම පේනවා, ඒත් මම බොරුවට හොයනවා වගේ බෑග් එක පෙරල පෙරල මතක් කරනවා මොකේද තියෙන්නේ කියල. 

කොහොම හරි යන්තන් දඟලල දඟලල මතක් කරගත්ත මොකේද තියෙන්නේ කියල. ඊට පස්සේ අනිත් පෙන් එක මිස්ට දුන්න. මිස් ඒක පියන් අයියට දුන්න වෙන සෙක්ෂන් එකකින් මොනවද දාගෙන එන්න කියල. මම ඉතින් සැනසුම් සුසුමක් හෙලලා බෑග් එක පැත්තකින් තිබ්බ. එතකොට මට මතක් වෙච්ච දෙයින් ආයෙත් පාරක් සර්වාංගයම සීතල වෙලා හීන් දාඩියත් දාන්න පටන් ගත්ත. විනාසයි! මට එතකොට තමයි හරියට මතක් වුනේ, මම මිස්ට දීපු පෙන් එකේ තමයි ඒ ටික තිබුනේ. දැන් මොනවා කරන්නද? පියන් අයියත් ගිහින්, මොන සෙක්ෂන් එකටද ගියේ කියල දන්නෙත් නෑ. දැන් ඉතින් මුළු ඇඟම වෙව්ලන්න අරගෙන ඉහෙන් කනෙන් දාඩිය දානවා. අරකිටත් තේරිලා මොකක් හරි අවුලක් කියල, ඒකි මගෙන් ඇහුව මොකද කියල. මම සීන් එක ලාවට කිව්වා. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ ඒකිත් මට බනිනවා ඔය විකාර මොකටද ඔෆිස් අරගෙන ආවේ කියල.    

දැන් ඉතින් දාඩිය දාලම මම විජලනය වෙලා. තොල කට වේලිලා, පපුව හිටු කියල ගැහෙනවා, කකුල් ඇත පය තරඟෙට වෙව්ලනවා, ලේ ටික වතර වෙලා, එක විකාරයයි එතන. අරකිත් බය වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා. ඒ භයානක අවස්ථාව උදා වුනා. රා කල සොළසක් බීල මත් වෙච්ච නාලාගිරි ඇතා වගේ පියන් අයිය දොර ඇරගෙන එනවා. දකුණු අතේ පෙන් එකත් තියනවා මට පේනවා. මට කරන්න කිසිම දෙයක් ඔලුවට ආවේ නෑ ඒ වෙලාවේ. හෙට ඉඳල ට්‍රේනින් එන්න වෙන්නේ නෑ කියල හිත හදාගෙන මම බලාගෙන හිටිය. අපේ මිස් නම් හරි හොඳයි. ඒත් ඉතින් දැන් කොහොමද ආයෙත් ඒ මනුස්සයගේ මූන බලන්නේ. අනිත් එක මිස්ගේ පිටිපස්සේ ඉන්න අය‍ට මිස්ගේ මොනිටර් එක හොඳට පේනවා. ෆෝල්ඩර් වීව් එක thumbnail විදියට තිබුනොත් ඒ අයටත් පේනවා. මරණයට මූන දෙනවා මිස වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. මිස්ගේ අතට පෙන් එක ලැබුනා..... මිස් ඒක මැෂින් එකටත් ගැහුවා..... මරන්න ගෙනියපු හරකෙක් වෙලාව එනකල් බලන් ඉන්නවා වගේ මම බලන් ඉන්නවා. තවත් දාන්න දාඩියක් ඉතුරු වෙලා තිබුනේ නෑ. 

මිස් පෙන් එක ගහල ඕපන් වෙනකල් බලන් ඉන්නවා. මිස් එක පාරටම ඇස් දෙක චූටි කරගත්ත. ඊට පස්සේ පාත් වෙලා පෙන් එක එහාට මෙහාට හෙලෙව්වා. පෙන් එක අරගෙන නෑ වගේ. ඒ වෙලාවේ නම් මගේ ඇඩ්‍රිනලින් හෝමෝන ක්‍රියාත්මක වුනා. මම දඩස් ගාල මිස් ලඟට ගියා. 

"පෙන් එක අරගෙන නැද්ද මිස්?"

" නෑ නෙ, මේකෙ සමහර වෙලාවට පෙන් ගන්නේ නෑ."

"දෙන්න මිස් මම අර මැෂින් එකෙන් බලන්නම්."

"ආහ් එහෙනම් එකෙන් අරන් නෙට්වර්ක් එකට දාන්නකෝ."

"හරි මිස්" 

අම්මෝ..........! ඔන්න ඉතින් ඊට පස්සේ තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. මට ඊට පස්සේ තේරුණා මම තාමත් ජීවත් වෙනවා කියල. ඊට කලින් සිද්ධි ටික නිකන් හරියට හීනයක්‌ වගේ. මොකක්දෝ පූරුවේ පිනකට තමයි මිස්ගේ මැෂින් එකේ පෙන් එක ඕපන් වුනේ නැත්තේ. ගිය ආත්මේ මම කවුරුහරි  අඳින්න ඇඳුමක් නැති කෙනෙක්ට ඇඳුමක් දෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති රෙදි ගලවෙන්නම ගිය වෙලාවක ඔහොම බේරුනේ.:D (මම අදටත් කල්පනා කරනවා ඒ බේරුන බේරිල්ල ගැන.) ඊට පස්සේ මම පෙන් එක මිස්ගේ අනිත් පැත්තේ තිබුන මැෂින් එකට ගැහුවා. හලේ මේ තියෙන්නේ මම කියපු ටික බැබලි බැබලි. ඉස්සෙල්ලාම කලේ ඒ ටික ඩිලීට් කරපු එක. ඊට පස්සේ ඕන ෆයිල් ටික නෙට්වර්ක් එකට දාල මිස්ට කියල, මම ගිහින් වාඩි වුනා. තාමත් ඇඟට පන නෑ වගේ. අරකි හිනා වෙවී මගේ දිහා බලාගෙන ඉන්නවා. වෙච්ච සේරම බලාගෙන ඉඳල. 

"අනේ කසුන් ඔයත් කරගන්න වැඩ!" 

මම පොඩි හිනාවක්‌ දාල ශේප් වුනා. ඒ ඔක්කොම ඉවර වුනාට පස්සේ මම දැක්කේ අපේ පරිපාලන නිලධාරී මිස් නිකන් අමුතු විදියට මගේ දිහා බලාගෙන ඉන්නවා. මගේ අමුතු හැසිරීම නිසා මුකුත් තේරුනාද දන්නේ නෑ. එහෙම වුනත් ඉතින් දැන් කරන්න දෙයක් නෑ නෙ. මම මුකුත් වුනේ නෑ වගේ හිටිය. 

අවවාදය: රාජකාරි වැඩ සඳහා භාවිතා කරන පෙන් එකේ තමාගේ රහසිගත පුද්ගලික දේවල් හෝ වැඩිහිටියන්ට සුදුසු නැති දේවල් තබා නොගත යුතුය. 

.....................................................................................................................................................................
ප.ලි. මේක ලියන්න අරන් දවස් 4ක් විතර වෙනවා.ෆෝන් එකෙන් ලියපු නිසා ගොඩක් වෙලා යනවා ලියන්න. අද කම්පියුටර් එකක් හම්බ වුනා. දැන් තමයි ඉවර කරගත්තේ.
  

Friday, October 7, 2011

මෙන්න ගිලෙනෝ....!

අදත් පොඩි බ්රේක් එකක් ලැබුනා. රිසර්ච් එකට අමාරුවෙන් ගැට ගහගෙන ප්‍රපොසල් එකක් ලියාගෙන ගියාම ඒක කිසිම හිතක් පපුවක් නැති විදියට ඒක මදි කිව්වනේ අපේ සර්. ඊට පස්සේ විස්තර අහගන්න කෙනෙක්ව හම්බ වෙන්න යන්න කිව්වා. දැන් ඉතින් ඒ ගමන යනකල් කරන්න වැඩක් නෑ. ඒක නිසා ඉතින් දුවගෙන මේ පැත්තට ආව. කලින් පොස්ට් එකටත් කමෙන්ට් දාපුවට රිප්ලයි කරන්න වුනේ නෑ.

මේ දවස් වල අපේ හොස්ටල් එකේ එක සින්දුවක් නිසා හෙන විකාරයක් වෙලා තියෙන්නේ. කවුරුත් දන්නවා ඇතිනේ රොමේෂ්ගේ 'දිගු දෑස දුටුවාම' සින්දුව. ඒකෙ වීඩියෝ එක නිසා තමයි අවුල වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ සින්දුව, බලල නැත්තන් බලන්නකෝ.


කාමරේ  ඉඳන් එලියට හරි කැන්ටිමට හරි ගියොත්, මග දිගට කාමර හතරක පහක විතර ඔය සින්දුව තමයි ඇහෙන්නේ. අපේ බැච් එකේ එකෙක් මගදි දැක්කොත් "අනේ වචනයක් හරි කතා කරන්නකෝ පවන්" හරි "මට  ඔච්චර ආදරේ කරන්න එපා පවන්, කවද හරි මට ඔයාව නැති වුනොත් මට ඒක දරාගන්න බැරි වේවි" හරි "අනේ කවදාවත් මාව තනි කරන්න එපා පවන්, මාව මැරෙයි" ඔය තුනෙන් එකක් තමයි කියන්නේ. ඇත්තටම ඒ කෙල්ලගේ කට හඬ ඇහෙනකොට නම් මොකක්ද වෙනව වෙනව වගේ. නිකන් පා වෙනව වගේ දැනෙන්නෙ.:) දවසක් අපේ එකෙක් මලක් කඩ කඩ ඉන්නකොට මම ලඟට ගිහින් "අනේ කවදාවත් මාව තනි කරන්න එපා පවන්, මාව මැරෙයි" කියල කිව්වා. ඒ කෙල්ල හොඳටම බය වෙලා. ඒ කෙල්ල මේ සින්දුව අහල තිබිල නෑ.

පහුගිය දවස් දෙක තුනක්ම ඇහැරුනේ එහා බ්ලොක් එකේ එකෙක් උදේට 'දම්සාරී' කියල ගිරිය යටින් කෑගහන සද්දෙට. වැරදිලාවත් ඒකට ඇහැරුනේ නැත්තන් ඊට පස්සෙ අපේ බ්ලොක් එකෙන් ඇහෙන හූවට නම් අනිවා ඇහැරෙනවා. ඉතින් අර කෑගහපු එකාගෙයි, ඔය සින්දුවේ වීඩියෝ එක හදපු එකාගෙයි දෙමව්පියෝ මතක් කරගෙන තමයි ඇඳෙන් බහින්නේ. සින්දුව නම් ඇත්තටම ලස්සනයි, කියල වැඩක් නෑ.

බිඳ දමා මගෙ සිහිනේ
ඇයිද ඔබ හැංගෙන්නේ
මට  දෙන්න මගෙ සිහිනේ
ළඟ ඉන්න පෙර වාගේ

ඔය ටික නම් බොක්කටම වැදුනා. පද වගේම තනුවත් ගොඩක් ලස්සනයි. හැබැයි වීඩියෝ එකෙන් නම් සින්දුව රස විඳින්න බෑ. ඒකෙ සින්දුව කාල තියෙන්නේ. සින්දුව හරියට අහන්න ඕන නම් ඕඩියෝ එක අහන්න ඕන.

අද කියන්න ආපු දේ කියන්න කලින් තව දෙයක් කියන්නම ඕන. ඒ කලින් පෝස්ට් එක ගැන. ඒකෙ 'කෑල්ල' කියන වචනෙ පාවිච්චි කරපු එක හරි නෑ කියල කීප දෙනෙක්ම කියල තිබුන. ඒ වචනෙන් අපහාසයක් වෙනව කියන අදහස තමයි කියල තිබුනේ. මම බොහොම අවධාරණයෙන් කියන්න ඕන කිසිම විදියකින් අපහාස කිරීමකට නෙමෙයි ඒ වචනෙ පාවිච්චි කලේ කියල. ඕක ඉතින් කොල්ලන්ගේ ශබ්ධකොෂේ වචනයක් නේ. පෙම්වතිය කියන වචනෙට සමාන වචනයක් විදියට ඕක පාවිච්චි කරනව එක ඉතින් කවුරුත් වගේ දන්නව නෙ. එහෙම නැතුව කිසිම අපහාසයක් ඒකෙ නෑ මම හිතන විදියට නම්. මග තොටේ ලස්සන කෙල්ලෙක් දැක්කම 'පට්ට කෑල්ල නෙ' කියල නම් කියනවා. ඒක ඉතින් වෙනම කතාවක්.:) චතුරංග පෙරේරා අයියත් කියල තිබුන පුළුවන් නම් ඒ 'කෑල්ල' කියන වචනෙ එඩිට් කරන්න කියල. චතුරංග අයිය ආවට ගියාට මුකුත් කියන කෙනෙක් නෙමෙයි කියල මම දන්නව. ඊට පස්සෙ තමයි මට මේ ගැන ලියන්නම ඕන කියල හිතුනේ. ඒ ගැන ලියන නිසයි මම ඒක එඩිට් කලේ නැත්තේ. මම ආයෙත් කියන්නේ ඒක කිසිම විදියක අපහාසයක් දනවන වචනයක් නෙමෙයි කියල. කරුණාකරල ඒක වැරදියට තේරුම් ගන්න එපා.

ඔන්න දැන් තමයි මාතෘකාවට එන්නේ. මම චානිකා (අවසාන කොටස) දී අන්තිමට කිව්ව ඊට දවස් දෙකකට කලින් අපේ සෙට් එක නාන්න ගිහින් මහිමයයි, ඒ කතාවේ අනිත් ප්‍රධාන නළුවයි (කනය) ගිලිල මැරෙන්න ගියා කියල. ඒ කතාව තමයි මේ කියන්න හදන්නේ. නාන්න නියම තැනක් තියනවා, හැබැයි කිලෝ මීටර් 3ක් විතර තියනවා කියල මහිමය තමයි අපිව එක්කගෙන ගියේ. හොඳ කිලෝ මීටර් තුන, කිලෝ මීටර් 10යි ගානක් තිබුන. ඒක පොඩි දොළක්. ලස්සන මඩ පාට වතුර ටික. අඩි 15ක් විතර වගේ පළල මට හිතෙන විදියට. මහිමය කිව්ව මැද හරියෙ තැනක් තියනවා ටිකක් ගැඹුරුයි කියල. ඌ කලින් ඇවිත් තියනවා. කට්ටිය ඉතින් ගිහිල්ල නාන ඇඳුම් ඇඳගෙන ඉවුරට වෙලා බලාගෙන ඉන්නවා බහින්න බයේ. මටයි මහිමයටයි විතරයි යාන්තමට හරි පීනගන්න පුළුවන්. පීනන්න කියන්නේ ඉතින් වතුරකට වැටුනොත් කොහොමහරි කරලා යාන්තන් ගොඩට ඒගන්න වගේ පුළුවන්. අපි දෙන්න ඉතින් ඉස්සෙල්ල බැහැල බැලුව ගැඹුරු තැන් තියනවද කියල. හෙමින් හෙමින් ඇවිදල බලල ගැඹුරු නැති හරිය බලාගත්ත. ඊට පස්සෙ තමයි කට්ටිය බැහැල නාන්න ගත්තේ.

දැන් ඉතින් ඔහොම ටික වෙලාවක් අපි නනා හිටිය. එතන ඉවුරේ ඉඳල දොළ පැත්තට නැවුන කොට කෑල්ලක් තියනවා. මම ඕකෙ ටික වෙලාවක් වාඩිවෙලා හිටිය. ඒ අතරේ කනය පොඩ්ඩ පොඩ්ඩ අර ගැඹුරු හරියට ඇවිද ඇවිද එනව. ඌටත් ගැඹුරු කොයි හරියද කියල බලාගන්න ඕන වෙලා. මහිමය වගේ එන්න හැදුව නම් කවුරුහරි පැනල අල්ල ගන්නවා, ඕක පිස්සනේ. ඒත් ඉතින් කනය ගොන් වැඩ කරන්නේ නැති නිසා කවුරුවත් එච්චර ගනන් ගත්තේ නෑ. දැන් මූ හෙමිහිට ඇවිදගෙන මැදට එනව. ඔහොම එනකොට මිනිහ එක පාරටම යට ගියා. දැන් මුගේ ඇස් දෙකෙන් උඩ විතරයි වතුර උඩ තියෙන්නේ. ඒ ටික ඉතින් වතුරෙන් උඩ තිබුන කියල වැඩක් තියන එකක්යැ. දැන් මේකා උඩ එනව යට යනවා, ආයෙත් උඩ එනව ආයෙත් යට යනවා, අපි වටේට වෙලා බලාගෙන ඉන්නවා. දැන් ඉතින් කරගන්න දෙයක් හිතාගන්න බැරුව වටේ ඉන්න උන් ටික කටවල් අරගෙන බලාගෙන ඉන්නවා.

ඔහොම ඉන්නකොට ඩයල් එකක් ජබොස්‌ ගාල පැන්න මැදට. හත් දෙයියනේ මහිමය පැනල තියෙන්නේ. කොස් ඇට දෙකක් උස නැති එකා තමයි අරූව බේරගන්න පැනල තියෙන්නේ. අර කලින් කිව්ව වගේ ඌට යන්තං වතුරකට වැටුනොත් ගොඩ එන්න පුළුවන් උනාට, වෙන එකෙක් බේරාගන්නවා තියා හිතන්නවත් බෑ. කොහොම හරි මහිමය පැන්න ගමන් කනය මහිමයව අල්ලගෙන. අල්ල ගත්ත කිව්වට අහුවෙලා තියෙන්නේ මහිමයාගේ බෙල්ලෙන්. දැන් කනය මර විකාරෙන් අරූගේ බෙල්ල මිරිකනවලු. ගිලෙන්න යන එකෙක් බේරගන්න ගිහින් ඌ තමන්ගේ බෙල්ල මිරිකුවම කොහොම සතුටක් දැනෙන්න ඇද්ද? දැන් මට තේරෙනවා මහිමයට වැඩේ ගොඩ දාගන්න බෑ කියල. දෙන්න මැදට වෙලා දඟලනවා විතරයි. ඔය වෙලාවේ තමයි මම ට්‍රැක් එකට ආවෙ. එච්චර වෙලා නිකන් විකාරෙන් වගේ බලාගෙන හිටියේ. ට්‍රැක් එකට ආව කියල ඉතින් මටත් අරූවත් අරගෙන පීනන්න බෑ නෙ. මම ටක් ගාල වතුරට පැනල අරූ ලඟට ගිහින් ඌව අදින්න හැදුව. ඌව අදින්න බෑ ඌ පිස්සුවෙන් වගේ දඟලනවා. ඒ පාර මම තව ටිකක් ලඟට ගිහින් පුළුවන් තරම් හයිය දාල අරූව ගොඩ පැත්තට තල්ලු කළා. ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියනවලු නෙ. ඌව ගොඩ පැත්තට තල්ලු කරනකොට මම මැදට තල්ලු වුනා. දැන් මට තේරෙනවා මාත් ගිලෙන හරියේ ඉන්නෙ කියල. ඒ පාර දඟලල මම එහා ඉවුර පැත්තට ගියා. ගිහින් හැරිල බලනකොට කනය ආයෙත් මැද ගිලෙන හරියේ ඉන්නෙ. මට මළ ඉතින්. මම අච්චර මහන්සි වෙලා වැඩක් වුනේ නෑ නෙ. 

ඔන්න ඔය වෙලාවේ තමයි අපේ සෙට් එකේ ඉන්න උසම එකා ක්‍රියාත්මක වුනේ. අර අවාසනාවට ලැජ්ජ හිතෙන ඇත්ත කතාවක් එකේ කොල්ල, අන්න ඌ තමයි මේ කියන්නේ. ඌ ගොඩක්ම උස නිසා අපිට වැඩිය ගොඩක් දුරට මැදට යන්න පුළුවන් ඌට. ඌ කනයගේ ළඟටම වගේ ගිහින් කනයව උස්සගෙනම ආව. උස්සගෙන ඇවිත් ගිලෙන්නේ නැති හරියෙන් ගෙනල්ල තිබ්බ. අම්මෝ ඇති යන්තං! හෑහ් කෝ එතකොට දැන් මහිමය. අනිත් එකෙක්ට වත් ඌව මීටර් නෑ. මට මොකක්ද කරුමෙකට ඌව මතක් වුනා. හැරිල බලනකොට මෑන්ස් නෑ, අත් දෙකක් විතරක් පේනවා. ඔන්න ඊට පස්සෙ ඔලුව පොඩ්ඩක් උඩ මතු වෙනවා, ඊට පස්සෙ ආයෙත් අත් දෙක විතරයි. කනයව බේරගන්න පොර වගේ පැන්නට කොස් ඇට දෙකක් වත් උස නැති නිසා මහිමය හොඳටම ගිලෙන්න එතන වතුර තියනවා. ඌට අර කලින් කිව්ව වගේ වතුරකට වැටුනොත් ගොඩට යන්තං පීන ගන්න පුළුවන්. ඒත් කලබල වෙලා නිසා මුකුත් කරගන්න බෑ. අනිත් එක අරූ පැන්න ගමන් මහිමයගේ බෙල්ල මිරිකුවලුනේ. ඉතින් ඌ විකාර වෙන්න ඇති. ඒ පාර මම ආයෙත් මැද හරියට කිට්ටු කරලා මහිමයගේ අත අල්ලගන්න හැදුව. කලබලේ වැඩි කමට දැන් අත අහුවෙන්නෙත් නෑ. කොහොම හරි දඟලල යන්තං අත අල්ල ගත්ත. ඊට පස්සෙ ශේප් එකේ ඉවුර පැත්තට ඇදගෙන ආව. 

කොහොමහරි ඉතින් ඔය විදියට ජීවිත හානි නැතුව වැඩේ ශේප් කරගත්ත. සෑහෙන වෙලාවක් යනකල් මගෙ කකුල් දෙක වෙව්ලන එක නැවතුනේ නෑ. ඔක්කොම ඇතිවෙන්නම බය වුනා එදානම්. විනාඩි දෙකක් විතර යනකල් එකෙක්ට වත් කතා කරගන්න බැරි වුනා. හැබැයි එතන එකෙක් හරි ගිලිලා මරුන නම් ඌට ආයෙත් ජීවිතේට සමාජෙට මූන දෙන්න වෙන්නෙ නෑ. ඇයි දෙයියනේ අර චූටි දොලේ ගිලිලා මැරුණ කියන්නෙ මොන ලජ්ජාවක්ද? එතන බෙහොම පොඩි තැනක විතරයි ගිලෙන්න තරම් ගැඹුර තියෙන්නේ. අර වෙලාවේ කනයට තව අඩි දෙකක් ඉස්සරහට ආව නම් කිසි අවුලක් නෑ. කලබල වුනාම ඉතින් ඕව මතක් වෙන්නේ නෑ නෙ. හැබැයි මහිමය නම් හොඳට ගිලෙන්න වතුර තියනව එතන. තව චුට්ටෙන් කනය බේර ගන්න ගිහින් මහිමයට ෂොට් එක හම්බවෙනව. ඌ ඉතින් ඒ මොනවත් හිතුවෙ නෑ, දඩස් ගාල පැන්න අරූව බේරගන්න.  ඔන්න ඔහොමයි ඉතින් සිද්ධිය වුනේ. කොහොමහරි තාමත් කනයව බයිට් කරනව 'ගිලෙන්න ගිය එකා' කියල.


Monday, September 26, 2011

චානිකා (අවසාන කොටස)

කතාව හිතුවට වඩා දික් වුනා. පටන් ගත්ත එක ඉවර කරන්නත් ඕන නේ, ඒක නිසා අද නම් මේක කොහොම හරි කියල ඉවර කරනවා, හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ. සෙකන්ඩ් ශයි එක පටන් ගත්ත හැටිත් කිව්වනේ. අද තියෙන්නෙ සෙනසුරාද දවසේ වැඩසටහන් විස්තරේ කියන්න. කලින් කොටස් බැලුවේ නැත්තන් මෙන්න පාර.


ඊට කලින් මම ජීවත් වුන පසුබිම කියල ඉන්න ඕන. මම කලින් කිව්වනේ අපේ අම්මයි තාත්තයි හිටියේ නිල නිවාස වල කියල. ඒ නිසා මම හිටියේ ලොකු අම්ම ළඟ. (ඊටත් කලින් හිටියේ ආච්චි ළඟ.) ආච්චියි, පොඩි මාමයි හිටියේ මහ ගෙදර. අපේ අලුතෙන් හදපු ගේ තිබුනෙ ලොකු අම්මලාගේ ගෙට පාරෙන් මෙහා පැත්තේ. ටික කාලෙකට පස්සෙ අපේ ගෙදරත් කවුරුත් නැති නිසා ආච්චියි, පොඩි මාමයි අපේ ගෙදර ඇවිත් නැවතුනා. ඊට පස්සෙ මාත් හිටියේ අපේ ගෙදරමයි. හැබැයි අපි හැමෝටම කෑම දුන්නේ ලොකු අම්ම.

හරි දැන් කතාවට එමුකෝ. අපිට සෙනසුරාදා තමයි O/L ගණන් පන්ති තිබුනේ. අපිට (11 වසර) තිබුනේ උදේ 8 ඉඳල 12 වෙනකල්, චානිකාලට (10 වසර) තිබුනේ 1 ඉඳල 5 වෙනකල්.

(වෙන වින්ඩොව් එකක ඕපන් කරගන්න. එතකොට පැහැදිලිව පේනවා.)

ඔන්න මම චිත්‍රෙකුත් ඇන්ද පැහැදිලි කරන්න ලේසි වෙන්න.:) චානිකා ගෙදර ළඟ ඉඳල යාළුවො එක්ක පයින් තමයි පන්තිය ලඟට එන්නෙ. තව යාළුවො දෙන්නෙක් එනව ඒකි එක්ක. ඒ දෙන්නගේ ගෙවල් තියෙන්නෙ ඔය රූපෙටත් වඩා තව ටිකක් දකුණට වෙන්න. චානිකාගේ ගෙදරට කට්ටිය සෙට් වෙලා එතන ඉඳල පයින් පන්තියට යන්නෙ. අපිට ඉතින් හරි ශෝක්. අපි කරන්නේ උන් තුන් දෙනා එන වෙලාව අල්ලලා පයින් අපේ ගෙදරට එන එක. එතකොට ඔය උඩ අඳුරු කරල තියන සීමාවේ කොහේදී හරි අපිට චානිකාව මූනටම හම්බ වෙනවා. එහෙම කිව්වට ඉතින් ඕක එච්චර ලේසි වැඩක් නෙමෙයි. ඒකි කවදාවත් එක වෙලාවකට පන්තියට එන්නෙ නෑ. 12.30 ඉඳල 1.00 අතරේ කොයි වෙලාවේ ඒවිද දන්නේ නෑ. කොහොම හරි ඔය අතරේ තමයි එන්නෙ. ඉතින් අපි කරන්නේ පන්තිය ළඟම ඉන්න යාලුවෙක්ගෙ ගෙදර 12.00 ඉඳල 12.30 වෙනකල් ඉඳල 12.30 ට බයිසිකලුත් තල්ලු කරගෙන පයින් ගෙදර පැත්තට එනව. ඒ පන්තියට අපේ සෙට් එකේ ඔක්කොම වගේ ආව. හැබැයි මේ මිෂන් එකට එන්නෙ 5යි. අනිත් අය පන්තිය ළඟ ගෙවල් වල ඉන්නෙ. උන්ගේ ගෙවල් තියෙන්නෙ උඩ තියන රූපෙන් තව වම් පැත්තට වෙන්න. ඔය පස් දෙනාගෙන් තුන් දෙනෙකුට බයිසිකල් තිබුනා. මටයි, මහිමටයි, තව එකෙක්ටයි. මහිමයි අනිත් එකයි තමයි චානිකාල එනවද බලන්න ඉස්සරහින් යවන්නේ. මායි, අනිත් ප්‍රධාන නළුවයි, තව කොල්ලෙකුයි (ඌට ආදරේට කියන්නේ බඩා කියල.)  මගේ බයිසිකලෙත් තල්ලු කරගෙන පයින් යනවා, අරුන් දෙන්න බයිසිකල් දෙකෙන් ඉස්සරහින් යනවා ඔත්තු බලන්න.

දැන් ඔය පයින් යනවා කියන එක එච්චර ලේසි නෑ. හිතල බලන්න, අපිට යන්න තියෙන්නෙ කිලෝ මීටර් 0.5යි. ඒ වුනාට ඒ දුර යන්න විනාඩි 30ක් ගන්න ඕන. ඇයි ඉතින් අර තුන් දෙනා කොයි වෙලාවේ ඒවිද දන්නේ නෑ නේ.

වේගය = දුර / කාලය

                = 0.5 km / 0.5 h

     = 1 km/h

ඒ කියන්නේ අපි යන්න ඕන පැයට කිලෝමීටර් 1ක වේගෙකින්. යකෝ මිනිහෙකුට ඔච්චර හෙමින් ඇවිදින්න පුලුවන්ද? කොහොම හරි ඒ වෙලාව ගන්නත් ඕන. නැවතිලා ඉන්නත් බෑ. පන්තිය ළඟ ඉන්න බෑ සර් දැක්කොත් ඊළඟ දවසේ පන්තියේදී ලුණු ඇඹුල් ඇතුව අහගන්න පුළුවන්. පාරේ නැවතිලා ඉන්න බෑ කවුරුහරි දැක්කොත් ලොකු අම්මට කියනවා. අපේ ලොකු අම්ම අපේ ගමේ ලොකු ඉස්කෝලේ ටීචර් කෙනෙක්. ඉතින් ගොඩක් අය ලොකු අම්මව අඳුරනවා. අපේ සීයත් අපේ පැත්තේ ඩයල් එකක්. ඉතින් සීයට වුනත් ආරංචිය එන්න පුළුවන්. ඒක නිසා කරන මගුලක් නොන්ඩි නොවී කරන්න ඕන. අපේ ගෙදරට වෙලා හිටියත් පාරේ යනකොට බලන්න පුළුවන් ඉතින්. ඒත් එහෙම මදි, මූනටම හම්බවෙන්න ඕන. ඒ නිසා ඉතින් යන්න පුළුවන් උපරිම හෙමින් යනවා. මිනිස්සු බල බල යනවා මේ දුවල පනින වයසේ කොල්ලො මොකද මේ ගාටන්නේ කියල.

කොච්චර හෙමින් ගියත් ඉතින් අර වේගෙන් නම් යන්න බෑ. ඒ වෙලාවට ප්‍රයෝජනයට ගන්නේ බයිසිකලේ. අනේ ඉතින් මුකුත් නොදන්න අසරණ බයිසිකලේ ඒ වෙලාවට කැඩෙනවා. හොඳට තියන චේන් එක ඉබේ පනිනවා, රෝද කරකැවෙන්නේ නැතුව යනවා, හැන්ඩ්ල් එක හැරෙන්නේ නැතුව යනවා, ලෙඩ ගොඩයි. මහ පුදුම බයිසිකලයක් සෙනසුරාදා 12.30යි 1.00යි අතරෙමයි කැඩෙන්නේ. එතකොට ඉතින් අපි තුන් දෙනා නැවතිලා බයිසිකලේ හදනවා. ගෙදර ළඟටම එනකොටත් ආවේ චානිකාල ආවෙ නැති වුනොත් තමයි ඉතින් ඕක කැඩෙන්නේ. කොහොම හරි මාසෙකට දෙපාරක් විතර ඕක කැඩෙනවාම තමයි. ඒ වැඩෙන් ඉතින් සැලකිය යුතු අමතර වෙලාවක් යවාගන්න පුළුවන්. සෙල්ලම් සේරම දාලත් අපේ ගෙදර ලඟට යනකොට ඒ තුන දෙනා ආපු නැති දවස් තිබුනා. එදාට ඉතින් ගෙදරට වෙලා බලනවා.:(

අපේ ඔත්තු කාරයෝ දෙන්නත් හෙන කට්ටක් කනවා. ඇයි ඉතින් උනුත් අර විනාඩි තිහම බලාගෙන ඉන්න ඕන නේ. උන් ඉතින් ඔය අඳුරු කරලා තියන සීමාවේ දෙපැත්තට බයිසිකල් පැද පැද ඉන්නවා. උන් දෙන්න චානිකාලව දැක්ක ගමන් කිසි කතාවක් නෑ හෙන ගහන්න වගේ එහෙමම අනිත් පැත්තට හරවගෙන එනවා අපිට පණිවිඩේ කියන්න. අපි ඉතින් එතකොට මූඩ් එක එහෙම හදාගෙන ලේස්ති වෙලා ඉන්නවා. ඇත්තටම උන් දෙන්නට වෙන කරන්න දෙයක් නැති කමට ස්වේච්චාවෙන්මයි ඕකට සෙට් උනේ. අපිත් එක්ක පැයට කිලෝමීටර් 1ක වේගෙන් ඇවිදිනවට වඩා ඒක හොඳයි කියල හිතෙන්න ඇති.:) සමහර දවස් වලට උන් ඔත්තු බැලිල්ල පැත්තකින් තියල අපේ ගෙදරට ගිහින් ඉන්නවා. චානිකාගේ යාළුවො දෙන්නත් හරි සෝයි. අපිව දැක්කම ඒකිව ඉස්සරහට දාල උන් දෙන්න පස්සට වෙනවා. අන්න යාළුවො.

දැන් ඉතින් ඔය සීන් එකෙන් දවසේ වැඩ ඉවර වෙන්නේ නෑ. ආයෙත් පන්ති ඇරිලා චානිකාල එන්නෙත් පයින්. අයියෝ ඉතින් අපි ඒ වෙලාවෙත් බලාගෙන හිටියේ නැත්තන් හරි නෑ නේ. ඒ පන්තිය අරින්නේ 5ට නේ. එතකොට ඉතින් අපි 5 වෙනකල් ඉන්න ඕන. මහිමයි අනිත් බයිසිකලේ තියන කොල්ලයි නම් ගොඩක් වෙලාවට යනවා. (උන් දෙන්නගේ ගෙවල් තියෙන්නේ එක පැත්තේ.) එතකොට ඉතුරු වෙන්නේ අපි දෙන්නයි බඩායි විතරයි. ඉතින් පැය හතරක් එක එක විකාර කර කර ඉන්නවා. පාඩම් වැඩත් කරනව, ගොඩක්ම කලේ කයිය ගහන එක තමයි. ඔය බඩා කියන එකා කියවන්න ගත්තම ඉතින් අපිට තියෙන්නේ අහන් ඉන්න විතරයි. අම්මෝ උගේ කයිය. කොහොමහරි ඉතින් පහ වෙනකොට ඊළඟ දර්ශනේට සුදානම් වෙනවා. අරුන් දෙන්නගේ ගෙවල් තියෙන්නේ ඔය රූපෙන් වම් පැත්තට තව ගොඩක් එහායින්. උන් දෙන්න බස් එකේ තමයි යන්නේ. අපි ඉතින් පාරට ඇවිත් ඉන්නවා චානිකාල එනකල්. චානිකාල ගියාම අරුන් දෙන්න එහෙමම බස් එකේ නැගල යනවා. සමහර දවස් වලට ගෙදරට වෙලාත් බලන් ඉන්නවා. වැඩේ කියන්නේ අපි ගෙදරට වෙලා හිටියත් ඒකි ගේ දිහා බලාගෙනයි යන්නේ. ඔය ඔක්කොම සෙල්ලම් කරන්න පුළුවන් මාම සෙනසුරාදත් වැඩ නිසා. 

කොහොමහරි සෙනසුරාද දවසට මුලින්ම කන්නේ හවස 6ට විතර. උදේ කාල යන්න වෙලාවක් වෙන්නේ නෑ, කිට මරල, ජෙල් නාල, ඔක්කොම කරනකොට පරක්කු වෙනවා. අනිත් එක කන්න නම් උඩහ ලොකු අම්මගේ ගෙදරට යන්නත් ඕන. ඒක නිසා උදේට කන්න වෙන්නේ නෑ. දවල්ට අරුන් දෙන්න ඉන්නවා නේ, උන් නොකා ඉඳිද්දි මට කන්න බෑ නේ. ලොකු අම්මට හැමදාම උන්ටත් එක්ක උයන්න කියන්නත් බෑ නේ. ඒක නිසා දවල්ටත් නෑ. ඊට පස්සේ ඉතින් හවස සෙෂන් එකත් ඉවර වෙලා අරුන් දෙන්නත් ගියාම තමයි ඉස් ඉස්සෙලාම බත් කටක් කන්න වෙන්නේ. ඒ කාලේ නම් ඉතින් ඕක කිසි ගානක් නෑ. හෙන ලොකු කමක් වගේ තමයි දැනුනේ. 'ආදරයෙදියි, යුද්ධෙදියි ඕන දෙයක් ඔට්ටුයි' කියල කියනවනේ. හැබැයි ඉතින් ඒ ගොන් වැඩ වලට දැන් විඳවනවා. දැන් වේලක් දෙකක් කන්න පොඩ්ඩක් පරක්කු වුනොත් බඩ පිපිල, උගුරට එන්න ගන්නවා.:( (ගැස්ට්‍රයිටීස් වල රෝග ලක්ෂණ) ඒ ටික කතාවට අදාළ නෑ. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ සෙනසුරාද දවස ගෙවුනේ.

ගණිතය පන්ති කිව්වට එතන ගණිතය, විද්‍යාව, සිංහල, සමාජ අධ්‍යයනය ඔක්කොටම පන්ති තියනවා. ඉතින් නිවාඩු කාලවලට 11, 10 දෙකටම එකට පන්ති වැටෙන වෙලාවල් තියනවා. එහෙම එකටම පන්ති ඉවර වුන දවසක චානිකාල එන්න හදනකොටම අපිත් එන්න පිටත් වුනා. අපි කතා වෙලා හෙමින්ම යන්න පටන් ගත්ත. දැන් උන් තුන දෙනා පොඩ්ඩ පොඩ්ඩ අපිට කිට්ටු වෙනවා. හැබැයි අපිව පහු කරගෙන යන පාටක් නෑ. යාළුවො දෙන්න සද්ද නෑ, අපිට දැන් ඇහෙනවා චානිකා කුටු කුටු ගානවා.

"මොනව කරනවද මන්ද? සක්මන් භාවනාව කරනවද කොහෙද"

අපි සැලුනේ නෑ, අපි එහෙමම ගියා. ඒ පාර දැන් තුන් දෙනා අපිව පහු කරගෙන යන්න හදනවා. චානිකා තමයි ඉස්සෙල්ල අපිව ඕවර්ටේක් කලේ. යාළුවො දෙන්න අපිව ඕවර්ටේක් කරන්න වගේ හදල ශේප් එකේ අයෙත් පහු වුනා. චානිකා ඒක දන්නේ නැතුව අපිව පහු කරගෙන ගියා. ඒකි ඉස්සරහට ගිහින් බලනකොට යාළුවො දෙන්න නෑ.:D ඒ පාර ඒකි මල පැනල කෙළගෙන යන්න ගියා. ඊට පස්සේ යාළුවො දෙන්නත් පස්සෙන් දුවගෙන ගියා. ඔහොම පොඩි පොඩි සිද්ධි නම් ගොඩක් තියනවා.

චානිකා නිසා එක පාරක් මගේ අක්ෂකාස්ථිය (collar bone) පවා කඩාගත්තා. වලියකට ගිහින් එහෙම නෙමෙයි ඔන්න. ඒකිට පන්ති තිබුන දවසක අපි දෙන්න බයිසිකලෙන් ඒ පැත්තට ගියා. අපිට ඉස්සරහින් අත් ට්‍රැක්ටරයක් ගියා, අපි ඒක අල්ලගෙන යන්න හැදුවේ. එක පාරටම බයිසිකලේ හැන්ඩ්ල් එක ට්‍රැක්ටරේ ටේලර් එකේ ඇන්දේ පැටලුනා. මුකුත් කරගන්න වෙලාවක් තිබුනේ නෑ, හැන්ඩ්ල් එක හැරිලා බයිසිකලේ එතනම ඇදන් වැටුන. මම ගියේ ඉස්සරහ වාඩි වෙලා, බයිසිකලේ වැටුනේ දකුණු පැත්තට. මගේ උරේ තමයි බිම වැදුනේ. මට දැනුන ඇතුලෙන් නිකන් ගලවාගෙන යනවා වගේ. දැන් මට පුදුම සනීපයක් දැනෙන්නේ. :( එතන මිනිස්සු ටික දෙනෙකුත් හිටියා. මම කිව්වා ඉක්මනට ආයෙත් හරවගෙන යමු කියල. අරූ දන්නෙ නෑ නෙ මට තියන අමාරුව, ඌ කියනවා දැන් මෙහෙමම හරවගෙන ගියොත් නොන්ඩියි, ඔහොමම ඉස්සරහට ගිහින් ආයෙත් එමු කියල. මට ඉතින් අරූගෙ බෙල්ල පයින් පාගල මරන්න තරම් තරහයි. ඒ පාර ඌට දෙකක් කියල ඇදගෙන ගෙදර ආව. බෙල්ල කඳට සෙට් වෙන තැන ඉස්සරහින් පේන අස්ථි දෙකක් තියෙන්නේ, අන්න ඒ දෙකේ දකුණු පැත්තේ එක මුලුන්ම තමයි කැඩිලා තියෙන්නේ. ඒ කාලේ වෙනකොට ඒ අස්ථි හරියට හැදිල තිබිල නැති නිසා එච්චර අමාරුවක් වුනේ නෑ. කොහොම හරි අරූ හොඳටම බයිට් වුනා මාව සීන් එකෙන් අයින් කරන්න හිතලම කරපු වැඩක් කියල. ඌට නම් සීරීම් තුවාලයක් වත් නෑ.

ඕකෙ හැඟීම්බරම අවස්ථාව එන්නෙ ඊට පස්සේ. මම අත කඩාගෙන ඉන්නකොට තාත්ත ඇවිත් මාව එහෙ එක්කගෙන ගියා. ඊට පස්සේ සති තුනක් විතර අම්ම මාව එහේ තියාගෙන සාත්තු කළා. සිංහල බේතුත් කළා. එහේ ඉන්නකොට ලොකු අයිය (ලොකු අම්මගේ ලොකු පුතා) ආව මව බලන්න. ඌ ඇවිත් කිව්වේ මාව නන්නත්තාර වෙන කතාවක්. ඌ කිව්වා සුදු බොක් කට් කපපු ලස්සන ගෑනු ළමයෙක් මාව බලන්න චීස් බට්න් බිස්කට් එකකුත් අරන් ඇවිල්ල තියනවා කියල. අයියෝ සල්ලි කිව්වලු, ඒ ඉතින් චානිකා ඇරෙන්න වෙන කවුද? මට ඉතින් රටක්‌ රාජ්‍යයක් පහල වුනා වගේ. ඒකිට ගමේ යාලුවොන්ගෙන් ආරංචිය ලැබිල. පස්සෙ මට හෙනම අප්සට්, මම ගෙදර හිටපු නැති එකට. මොනව කරන්නද ඉතින් පින නෑ එහෙම දේකට. දැන් ඉතින් හිතල බලන්නකෝ මගේ හිතට එන දේවල්. මම පස්සෙන් යන කෙල්ල මාව බලන්න අපේ ගෙදර ආව කිව්වම ඉතින් ඊට වැඩිය දෙයක් තියේද? ඒකි මට කවද හරි කැමති වෙයි කියන විස්වාසේ මට තදින්ම ඇතිවුනා. ඊට පස්සෙ ඉතින් හොඳ වෙලා ආයෙත් ගෙදර එනකල්ම නිකන් හීන ලෝකෙක වගේ හිටියේ. මම ආයෙත් ගෙදර එන වෙලාවේ අපේ සෙට් එක ඇවිත් හිටිය. මුලුන්ම කලේ අර බිස්කට් ඒක කාපු එක. කොහොමහරි වාසනාවට වගේ ගෙදර කවුරුවත් ඒ කවුද කින්ද මන්ද ඇහුවේ නෑ.  

ආයෙත් හෙනම ගේමක් ගියා ඒකිගේ උපන්දිනේට. මට ඕන වුනා මොකක් හරි මමම හදපු කාඩ් එකක් වගේ එකක් දෙන්න. ඒ කාලේ වර්ඩ් වල ටයිප්කරනවා ඇරෙන්න වෙන මුකුත් දැනගෙන හිටියේ නෑ. කොහොම හරි කාඩ් එකක තිබුන මල් පොකුරක් කපාගෙන ඒක ස්කෑන් කරල, ෆොටෝෂොප් වලින් වටේ කපල, පාට හදල,  ඒක වර්ඩ් වලට අරගෙන තමයි වැඩේ කලේ. කරල කරලම තනියම තමයි ඔක්කොම ඉගෙන ගත්තේ. කාඩ් එකක් හදන්න ගියාට කාඩ් එකක් හදන්න තේරෙන්නේ නෑ, බර්ත්ඩේ කාඩ් එකක් අරගෙන ඒක ඇතුලට දාල දෙන්න පුළුවන් වෙන විදියේ කොලයක් තමයි පස්සෙ හැදුවේ. මාස තුනකට විතර කලින් වැඩේ පටන් ගත්ත නිසා වෙලාව අරගෙන හදල හදල ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන් වුනා. ඊළඟ ගොන් වැඩේ කලේ ඊට පස්සෙ. අනිත් එකාත් දන්නවා මම එහෙම එකක් හදනවා කියල. මම ඌටත් කිව්වා මොකක් හරි එහෙම එකක් හදල දෙන්න කියල. කොහෙද, ඌට බැරිලු. ඔන්න ඒ වෙලාවේ බුදු හාමුදුරුවොන්ට පමණක් දෙවැනි වුන මගේ මහා කරුණාව ආයෙත් අවදි වුනා. මම කිව්ව "හරි මචන් අවුලක් නෑ, අපි දෙන්නම මේකම දෙමු" කියල. අම්ම දැන ගත්ත නම් මට ගහන්නේ බැට් එකෙන්. ඇත්තටම දැන් ඕව මතක් වෙනකොට මට මං ගැනම පුදුම තරහක් එන්නෙ. මම ඒ කරපු දේවල් වලට මට අනිත් පැත්තට ලැබුනේ මොනවද කියල මම අදටත් කල්පනා කරනවා. 

කොහොම හරි ඒකෙ අකුරු වල පාට විතරක් වෙනස් කරලා අරූටත් එකක් හදාගත්ත. ඒක ප්‍රින්ට් කරගන්න ගිහිල්ලත් ලෝක කට්ටක් කෑව. ටවුන් ඒක පුරාම වරුවක් ඇවිද්ද ප්‍රින්ට් අවුට් එකක් ගන්න. හැම තැනම මොක්ක හරි අවුලක්. එක්කෝ ලයිට් නෑ, නැත්තන් තීන්ත ඉවරයි, ප්‍රින්ටරේ කැඩිලා, ඊටීසී. අන්තිමට එක තැනකින් ගහගෙන ගියා ඒකෙ රතු විතරයි වැදුනේ.:( පස්සෙ ඊළඟ දවසේ ආයෙත් ඇවිත් යන්තං තැනක් සෙට් වෙලා ගහගෙන ගියේ. ඊට පස්සෙ ඉතින් එක වගේම කාඩ් දෙකක් අරගෙන ලියල, අර කොළ දෙක ඇතුලට දාලා දෙන්න ලේස්ති කරලා තිබුනේ. මම O/L වලට තාක්ෂණික විෂයට කොමර්ස් කලේ. ඉස්කෝලේ හරියට කලේ නැති නිසා මම කඩෙන් තියරි තියන ලොකු පොතක් ගත්ත. (හාෆ් ශීට් සයිස් විතර කොළ තියන පොතක්) ඒ පොත ගත්ත අලුත තමයි කාඩ් එක දෙන්න සෙට් වුනේ. කලින් වගේම අලුත් පොතක දාල දෙන්න ඕන නිසා කාඩ් දෙක ඒක අස්සේ දාල දුන්න. අපේ පන්තියේ කෙල්ලෙක් හිටිය චානිකාගේ අර යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ගෙවල් පැත්තේ. ඒකි අතේ තමයි පොඩි පොඩි පණිවිඩ එහෙම යවන්නේ. ඉතින් අර කාඩ් දෙක දාපු පොත අර කෙල්ලට දුන්න චානිකාගෙ යාලුවගෙ අතේ චානිකාට යවන්න කියල. දැන් ඒක දීල ඊළඟ සතියෙ පන්ති ආවම අර කෙල්ල කිව්ව චානිකා පොතට තැන්ක්යූ කියන්න කිව්ව කියල. හෑහ්! ඒ මොකක්ද ඒ වුනේ? 

මේකයි වෙලා තියෙන්නේ, චානිකාත් තාක්ෂණික විෂයට කලේ කොමර්ස්. ඉතින් අලුත්ම පොතක් අස්සේ අරක දාල දුන්නම ඒකි හිතල ඒක උපන්දිනේට තෑග්ගක් කියල.:) අයියෝ සල්ලි! කමක් නෑ, ඒක ඒකිට හරි ප්‍රයෝජනවත් වෙන්න ඇතිනේ. ඒ අවුරුද්දේ වෙසක් එකටත් අපි දෙන්න කාඩ් දෙකක් දුන්න. ඒ පාර නම් අපි දෙන්නටත් කාඩ් දෙකක් ලැබුන. හලේ හරි සතුටුයි. ඉතින් ඔහොම වුනාම පිස්සු වැටෙන එක අහන්නත් දෙයක්ද?

11 වසරෙන් 3/4 ක්ම ඔය වගේ තමයි ගෙවුනේ. පස්සෙ ඒකි කියපු කතාවකින් මම හොඳටම වැටුන. ආයෙත් නැගිට ගන්න බැරි වෙන්නම වැටුන. මම ඒකිට අර අපේ පන්තියේ කෙල්ල අතේ මොකක් හරි කියල යැව්වා. ඒ පාර ඒකි කියල තිබ්බ එකිටයි මටයි යාළුවො විදියට ඉන්න ඕන නම් ආයෙත් ඔය වගේ දේවල් කියන්න එපා කියල. එච්චර කල් ඒකි හැමදාම හිනාවෙලා කතා කරන නිසා ඉතින් මම ඇත්තටම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ. එදා නම් මට සේරම එපා වුනා. දෙපාරක් හිතන්නේ නැතුව මම චානිකා ගැන තිබුන අදහස අතෑරල දැම්ම. තියන තරම් කටු කාල, ඒ අවුරුද්දේ මාස 9ක්ම නාස්ති කරලා අන්තිමට ඉතින් ලැබුන දෙයක් නෑ. එහෙම තමයි ඉතින් ජීවිතේ නේද. අපි බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙන්න ගියොත් එකෙත් ගතියක් නෑ නෙ. එතකොට අනිත් එකා මොකද කලේ? මම ගේම් එකේ නෑ කියන්නේ ඌ නිකන් සුක්කානමක් නැති වාහනයක් වගේ. ඌටත් ඉතින් වැඩේ අතාරින්න වුනා. පස්සෙ ආයෙත් ආරංචි වුනා චානිකායි අර කලින් කොල්ලයි ආයෙත් සෙට් වෙලා කියල. කාට කියන්නද ඉතින් මේ අසාධාරණ. 

මම පස්සෙ කල්පනා කරපු දෙයක් තමයි ඔය වුන මහන්සිය ඉංග්‍රීසි සාහිත්‍ය සබ්ජෙක්ට් එකට යෙදෙව්වා නම් 'C' එකක් වත් ගන්න තිබුන නේද කියල.:) එතකොට පරක්කු වැඩියි. කොහොමහරි චානිකාගෙයි අරූගෙයි සම්බන්දෙ අදටත් තියනවා. ඒ කොල්ලත් මොරටුව කැම්පස් එකේ. අපි නම් හිතුවේ ඌ නිකන් රස්තියාදුකාර ඩයල් එකක් කියල. මොන පිස්සුද ඌ පලවෙනි පාරම මොරටුව ඉන්ජිනේරින් ගියා. දැන් නම් අවුට් මම හිතන්නේ. චානිකාත් ලෝ එන්ට්‍රන්ස් කරනවා. මොරටුව ළඟ පාතම කොහේ හරි නැවතිලා ඉන්නේ. දෛවයේ සරදම් නම් තාමත් එහෙමමයි. ඒකි සමහර වෙලාවට කැම්පස් එක ලඟට ලඟට එනවා අරූව හම්බ වෙන්න. දවසක් ෆයිනල් අයියලාගේ එක්සෑම් ඉවර වෙලා බකට් එකක් දීල මඩ නාගෙන එලියට එනකොට මෙන්න මේකි හෝල්ට් එකේ ඉන්නවා. ජිල් බෝල වගේ ඇස් දෙක ලොකු කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. මට කතා කරන්න යන්න ඕන වුනත් මඩ නාගෙන හිටපු නිසා ගියේ නෑ. 'කල් හෝ නා හෝ' එකේ මියුසික් එකත් පැත්තකින් යනව වගේ ඇහුන, මම ගනන් ගත්තේ නෑ. ඊට පස්සෙ දවසක නම් ඒකි එතන ඉන්නවා දැකල මම ගිහින් කතා කළා. එතකොට තමයි විස්තර දැන ගත්තේ.  තාමත් වෙනද වගේම හිනා වෙලා කතා කරනවා.

විස්වාස කරන්න පුළුවන් නම් මේකත් විස්වාස කරන්න. මම කලින් කිව්වනේ මගේ අනිත් ප්‍රධාන නළුවා NDT කියල. ඌ NDT එන්න කලින් IT වලටයි තවත් මොකක් හරි දෙකකට විතර ඇප්ටිටියුඩ් ටෙස්ට් ලියන්න කැම්පස් ආව. ඒ ආපු වෙලාවක ඌව කැන්ටිමට එක්කගෙන ගිහින් කාල එලියට එන්න ආව. දෙයියනේ... චානිකයි කොල්ලයි කැන්ටින් එක කොනේ වාඩි වෙලා උකුළු මුකුළු කර කර තේ බොනවා. අපි දෙන්නට දෙන්න මූනට මූන බලාගත්තේ ඉබේම වගේ. ඒ වෙලාවේ මට ඇතිවුන හැඟීම මට තාමත් තේරුම්ගන්න බෑ. මොකක්දෝ වාසනාවකට උන් දෙන්න අපිව දැක්කේ නෑ. ඔලු දෙක සාක්කු වල දාගෙන ශේප් එකේ මාරු වෙලා ආව. ඔන්න ඔහොමයි ඉතින් අපිට වෙන්නේ. ඕක තමයි ඉතින් මගේ පලවෙනි ආදර කතාව.
 ....................................................................................................................................................................
ප.ලි. තව පොඩි පොඩි සිද්ධි නම් ගොඩක් තියනවා. ඒව ඔක්කොම ගලප ගලප ලියන්න වෙලාවක් නෑ. උඩින් පල්ලෙන් කිව්වම රහකුත් නෑ. ඒ නිසා ඒව ලිව්වේ නෑ. කොහොම හරි මොකක් හරි එක අරමුණක් වෙනුවෙන් මම ජීවිතේ වැඩියෙන්ම මහන්සි වුනේ ඔය වැඩේට. ඒ වගේම ගොඩක් පාඩම් පවා ඉගෙන ගත්තා.  

ප.ප.ලි. අර චානිකා ගෙනාපු චීස් බට්න් එකේ ටින් එක තාමත් මගේ ළඟ තියනවා. ඒක නංගිගේ අල්මාරියේ දාල තියෙන්නේ.:) 

ප.ප.ප.ලි. තව පොඩ්ඩෙන් මේ පොස්ට් එක දන්න වෙන්නේ නෑ. පෙරේදා අපි සෙට් එක නාන්න ගිහින් කතාවේ අනිත් ප්‍රධාන නළුවයි, මහිමයයි ගිලිලා මැරෙන්න ගියා. අම්මෝ මතක් වෙනකොටත් හිරි වැටෙනවා. ඉඩක් ලැබුන වෙලාවක ඒ ගැනත් ලියන්නම්. 


Friday, September 23, 2011

චානිකා ( III කොටස)

එන්න  එන්නම වැඩ ගොඩ ගැහෙනවා නෙ. හැමදාම බලන බ්ලොග් ටිකටවත් කමෙන්ට් දාන්න වුනේ නෑ. හලේ තරහ වෙන්න එපා හොඳේ. මගේ අන්තිම පොස්ට් එකට දාපු කමෙන්ට් වලට රිප්ලයි කරන්නවත් වුනේ නෑ. පරක්කු වුනොත් මුල කොටස් දෙක කියවපු අයට කතාව අමතක වෙන නිසයි මේ ලැබුන වේලාවෙන් තව කොටසක් දාන්නේ. නැත්තන් වැඩේ චා වෙනවනේ.

කලින් පෝස්ට් දෙකෙන් මගේ පළවෙනි ආදර කතාවෙ ෆස්ට් ශයි එක ගැන කිව්වනෙ. අද කියන්න යන්නෙ මම ඒකෙ සෙකන්ඩ් ශයි එක කරපු හැටි. ඔන්න ඉතින් එ වෙනකොට අපි වෑන් එකෙන් අයින් වෙලා බස් එකේ යනව. අපිත් එක්ක බස් එකේ යන්න 5ක් හිටිය. අපේ වෑන් එකේ ගිය 3යි, මේ කතවෙ අනිත් ප්‍රධාන නලුවයි, තව වෙන වෑන් එකක ගිය කොල්ලෙකුයි. අපි පස් දෙනාම ගියේ එකම ඉස්කෝලෙට. ඔය කාලෙ වෙනකොට මම චානිකා ගැන තිබුන අදහස සම්පූර්ණයෙන්ම අතෑරල තිබුනෙ. පුළුවන් කමකට නෙමෙයි ඉතින්, තවත් මගේ හිත රවට්ට ගන්න බැරි නිසා. මම ඉතින් ආයෙත් පරණ පුරුදු විදියටම දැහැමින් සෙමින් කාලය ගත කලා. ඔහොම ඉන්නකොට මට දවසක් චානිකාගෙ කොල්ල හම්බ වුනා. ඌත් ගියේ අපේ ඉස්කෝලෙටමයි. මම ඉතින් කතා නොකර බැරි කමට කතා කලා. ඌ ඒ වෙනකොට දන්නව මම හිතන්නෙ මාත් චානිකාගෙ පස්සෙ ගියා කියල. ඌ නිකන් මාත් එක්ක කතා කලේ කින්ඩියට වගේ. මොනව කරන්නද ඉතින් කුම්බලා මාළු කෑවනම් විඳවපන් බලලෝ කියල මාත් හිටිය. (ඒක ගැලපෙනවද මන්ද) ටිකක් කතා කරල මම ඇහුව දැන් ඉතින් දෙන්නගෙ ලව් එක නැගල යනවද කියල. ඊට පස්සෙ ඌ කියපු කතාවෙන් මම ආයෙත් පිස්සෙක් වුනා.

මිනිහ කිව්ව "දැන් ඒක ඉවරයි" කියල. මට නිකන් ඒ වචන ටික ඇහුනෙ හීනෙන් වගේ. ඌ ලොවෙත් නැති ටෝක් එකක් ඊට පස්සෙ දුන්නෙ. ඌ කිව්ව "කොච්චර හොඳ උනත් එකම පොත හැමදාම කියවනකොට එපා වෙනව නෙ බං. ඒවගෙ තමයි මේකත්" කියල. ඒ වචන ටික නම් හරියටම මතකයි. මට ඉතින් දැන් ඌව කන්න පුලුවන්. වෙලාවට මම හරක් මස් කන්නෙ නෑ. ඇයි යකෝ මට කරගන්න දුන්නෙත් නෑ. දැන් ඌ කරන්නෙත් නෑ. හැබැයි ඉතින් ඌ ඒ කියපු කතාවෙන් මට ඇත්තටම ඇතිවුනේ තරහකට වඩා සතුටක්. මොකද කියල කියන්න ඕන නෑ නේ.:) කොහොමහරි ඌ කියපු කතාවෙන් අමාරුවෙන් මෙල්ල කරගෙන හිටපු මගෙ අහිංසක හිත ආයෙත් පිස්සු කෙලින්න ගත්ත. ඇයි ඉතින් දන් චානිකා අරුත් එක්ක සම්බන්දයක් නැත්තන් මම කොහොමද හිත හදාගෙන ඉන්නේ? මගේ හිත දැන් නන්නත්තාර වෙලා, හරියට කුණාටුවකට අහුවුන බස් ටිකට් එකක් වගේ. කොහොමහරි මම ඒ වෙලාවෙම හිතාගත්තා ආයෙත් ගේමට බහිනවා කියල. ඊට පස්සෙ ඉතින් මම පුරුදු විදියටම අරූටත් විස්තරේ කිව්ව. අපේ ඉතින් හිත හොඳ වැඩියි නෙ. අපරාදෙ කියන්න බෑ ඌත් කිසි කතාවත් නැතුව ආයෙත් වැඩේට ආව. ඊට පස්සෙ ඉතින් එපා කියන්නද? පස්සෙ ඉතින් දෙයියො බුදුන් සිහි කරල අපේ හවුල් ව්‍යාපාරෙ ආයෙත් පටන් ගත්ත.:) සෙකන්ඩ් ශයි එක පටන් ගත්තට බයෙන් බයෙන් හිටියේ ප්‍රතිචාර කොහොම වෙයිද කියල. පුදුමෙ කියන්නෙ ප්‍රතිචාර නම් අවුලක් නෑ, වෙනද වගේම හිනා වෙනව, හම්බ වුනොත් කතා කරනවා.

දැන් ඉතින් වැඩේ පටන් ගත්තට කලින් වගේ ලේසි නෑ. මම දැන් වෑන් එකේ නෙමෙයි නෙ යන්නෙ. හැබැයි හම්බවෙන්න පුලුවන් තැන් කීපයක් තිබුනා. හම්බවෙන්න කිව්වට ඉතින් මූන බලාගන්න විතරයි. ඒත් මදෑ ඉතින් මුකුත්ම නැතුවට වඩා. අපේ ඉස්කෝලෙ ළඟ ඉඳල ටිකක් දුර පයින් ගියාම අපේ පැත්තට යන බස් අල්ල ගන්න පුළුවන්. ඕන නම් බස් ස්ටෑන්ඩ් එකට ගිහින් යන්නත් පුළුවන්. හැබැයි ඒක ඉතින් වටයක් වගේ. වැඩිපුර බස් කුලියත් යනවා, වෙලාවත් වැඩිපුර යනවා. ඒ වුනාට ඉතින් අපි නම් ගියේ බස් ස්ටෑන්ඩ් එකට ගිහින්. අපේ වෑන් එක චානිකාලගේ ඉස්කෝලේ පැත්තට ගිහින් ඒ ගොල්ලෝ අරගෙන බස් ස්ටෑන්ඩ් එක ලඟින් තමයි යන්නේ. අනේ ඉතින් අපි දෙන්න එතනට ගිහින් බලාගෙන ඉන්නව වෑන් එක යනකල්. අපි දෙන්න කිව්වට ඉතින් බස් එකේ යන සෙට් එකේ අනිත් උනුත් යනවා. උනුත් අතින් සල්ලි දීල හරක් බලනව කියන්න වගේ අතින් සල්ලි වියදම් කරගෙන අපිත් එක්ක එනවා. පව් නේද උන්? අපි දෙන්නම ගියාට දෙන්නම එක තැන නෙමෙයි ඉන්නෙ. මීටර් දහයක් විතර පරතරයකින් තමයි ඉන්නෙ. වෑන් එක ඈත එනවා පේනකොට පපුව දඩි බිඩි ගාල ගැහෙන්න ගන්නවා, කකුල් දෙක ලාවට වෙව්ලන්න ගන්නවා වගේ පොඩි පොඩි සීන් තිබුන.:) ඒකිත් ඉතින් දන්නවා අපි දෙන්න බලාගෙන ඉන්නවා කියල. ඒක නිසා අපේ පැත්ත බලල පොඩි හිනාවක්‌ දාල තමයි යන්නේ. ඒ පොඩි හිනාව ඇති ඉතින් දවසක් ජීවත් වෙන්න. ඒ පොඩි හිනාව බලාගන්න අපි හෙනම කට්ටක් කනවා, ඒත් කිසි දුකක් නෑ ඒ ගැන. හැබැයි ඉතින් එච්චර කරල වෑන් ඒක මිස් වුන දවසට හරිම සන්තෝසයි.

චානිකාව හම්බවෙන්න මම හොඳම කට්ට කන්නේ අඟහරුවාදා. (මට මතක විදියට) මම කිව්වට ඉතින් මම විතරක්ම නෙමෙයි. අපේ මහිමයත් ඒ කට්ට එහෙමම කනවා. එදාට චානිකාට පන්තියක් තියනවා අපේ ගෙවල් වලටත් ටික දුරක් එහා. ඒකි වෑන් එකේ ගිහින් ගෙදර බැහැල එහෙමම පොත් ටික අරගෙන බස් එකේ තමයි යන්නේ. මම කරන්නේ ඉතින් ඉක්මනට ගෙදර ඇවිත් ටක් ගාල ලේස්ති වෙලා ඒකි පන්ති යන බස් එකටම නගිනවා. (යාලුවෙක්ගෙ ගෙදර යනවා කියල තමයි ගෙදරට කියන්නෙ) වැඩේ තියෙන්නෙ ඉතින් ඉක්මනට ගෙදර එන එක තමයි. අන්න ඒ වෙලාවට තමයි මහිම පිහිටට එන්නෙ. අඟහරුවාදට ඉස්කෝලේ ඇරපු ගමන් මහිමත් එක්ක දූවගෙන එනවා අර අපේ පැත්තට බස් යන පාරට. 1.5km විතර තියනව අපේ ඉස්කෝලෙ ළඟ ඉඳල ඒ පාරට. ෆුල් රන් එකක් දෙන්න ඕන එතනට, නැත්තන් ගෙදර ලඟින් ඒකි යන බස් එක අල්ල ගන්න බැරි වෙනවා. ඒක නිසා පුළුවන් උපරිම වේගෙන් දුවන එක තමයි කරන්නේ. මට ඉතින් හතියත් තියනව, ඒත් එහෙම කියල කොහොමද? අතාරින්නෙ නෑ, පණ ඇද ඇද දුවන්නේ. මම නම් ඉතින් කමක් නෑ කියමු, මම දුවන්නේ මගේ වැඩේට නේ. අර අසරණ මහිමයත් ඉතින් මගේ පස්සෙන් දුවන්න ඕනනේ. ඒ යකා ඉතින් ඉස්කෝලෙ ලඟින් පටන් ගත්තම අර පාර ලඟට එනකල්ම මට බැන බැන තමයි පස්සෙන් දුවගෙන එන්නෙ. ඕක ඔච්චර කොට වුනෙත් මාත් එක්ක දුවලමද කොහෙද.:D


කොහොමහරි  කරල ඉතින් බස් එක අල්ල ගන්නවා. චානිකා හැමදාම එක බස් එකක යන්නේ, අනිත් යාලුවොත් එන්නෙ ඒකෙ නිසා. ඔන්න ඉතින් එදාට නම් ටිකක් කතා කරන්න ලැබෙනවා. මොනව කලත් ඒකි මාත් එක්ක කතා කරනවා. විනාඩි පහක විතර දුරක් තමයි යන්න තියෙන්නෙ. ඒත් ඉතින් ඒ විනාඩි පහ මට පැය ගානක් වගේ දැනෙන්නෙ. ඒ කතා කරන වචන ටික මගේ ජීවිතේට බලාපොරොත්තු ගොන්නක් එකතු කරනවා. හැබැයි එච්චර කට්ටක් කාලත් බස් එක මිස් වුන දවස් තිබුන. හවුලෙ නැතුව තනියම කරපු එකම වැඩේ තමයි ඕක. එහෙම ගිහිල්ල ඉතින් පන්තියට ටිකක් එහායින් බැහැල අනිත් පැත්තට එනවා. සමහර දවස් වලට ආයෙත් හවසට පන්තිය අරින වෙලාවටත් යනවා. අපේ වෑන් එකේ ගිය තුන් දෙනයි, මේ කතාවේ ප්‍රධාන නළුවයි ඇරුනම අපිත් එක්ක බස් එකේ යන්න සෙට් වුනා කියපු අනිත් කොල්ලගේ ගෙදර තියෙන්නෙ ඔය පන්තියටත් හෝල්ට් එකක් එහා. ඉතින් පන්තිය ඇරෙන්න කිට්ටු කරල උගේ ගෙදර ගිහින් ඉඳල පන්තිය අරින වෙලාව අල්ලලා එනව. සමහර දවස් වලට බයිසිකලෙනුත් යනවා. එහෙම ගියොත් ඉතින් පන්තිය ළඟ ඉන්නකොට මූන බලාගන්න විතරයි පුළුවන්. බස් එකේ ගියොත් එනකොටත් කතා කර කර එන්න පුළුවන්, හැබැයි ඉතින් මම බස් එකට නගින්න ඕන ඒකිට කලින් නිසා හරි බස් එක අල්ලගන්න එක තමයි අමාරු වැඩේ. 

ලොකුම ගේම යන්නෙ සෙනසුරාදට. ඒක ඊළඟ කොටසින් කියන්නම්. තව එක එක ජිල් මාට්‌ වැඩ කළා පොඩ්ඩකට හරි ඒකිගේ මූන බලාගන්න. ඔක්කොම කියන්න ගියොත් මේක ලියල ඉවරයක් කරන්න වෙන්නෙ නෑ. සමහර දවස් තිබුන දවසට තුන් හතර වතාවක් දකින. සමහර වෙලාවට දවස් දෙක තුන මූන බලාගන්න වෙන්නේ නෑ. එහෙම දවස් වලට ඉතින් හූල්ල හූල්ල තමයි ඉන්නෙ. ඒකි පොඩ්ඩක් මූන බලල හිනා වුනාම ඉතින් ලෝකෙම අමතක වෙනවා. ඒ ලැබෙන හයිය ඇති ඕන කට්ටක් කන්න. මම කොච්චර ඒ ගැන හීන මැව්වද කියල දැන් මතක් වෙනකොට මට මං ගැනම පව් කියල හිතෙනවා. ඔය ගැන හිත හිත මම කොච්චර නම් මූඩ් ගහල ඉන්න ඇත්ද? හම්බවුන වෙලාවක වැරදිලාවත් හිනා නොවී ගියොත් ඉතින් මට පුදුම විදියට ඒක හිතට වදිනවා. වැඩියත්ම දුක ඉතින් ඒකි කලින් මගේ හොඳම යාලුවෙක් නේ, ඒකයි. එහෙම දවසට ඉතින් මම අශ්වයා මැරිච්ච කව් බෝයි වගේ තමයි. 

කොහොම හරි ඒ කාලේ වෙනකොට අරූත් එක්කත් චානිකා දැක්කම හිනා වෙනවා. මට ඒ ගැන පොඩී ඉරිසියාවකුත් තිබුන. ඇයි ඉතින් මම නැත්තන් එහෙම එකෙක් ඉන්නවද කියලත් දන්නේ නෑ. මම ඌට කොච්චර උදව් කලත් මගේ හිත විශ්වාස කලේ චානිකා මටම අයිති වෙයි කියල. අපි දෙන්නම එකට දකින වෙලාවට නම් මාත් එක්ක තමයි හිනා වෙන්නේ. ඒත් මට මතකයි දවස් දෙකක් විතර මාත් එක්ක හිනා වෙන්නේ නැතුව අරූත් එක්ක හිනා වුනා. අම්මෝ ඒ දවස් දෙකේ නම් මම මැරිල වගේ හිටියේ. 

ඒ දවස් වල ඉතින් හීනෙනුත් පෙන්නේ චානිකාව තමයි. ලස්සනම සීන් එකක් තියනවා ඔය වගේ හීනයක්‌ ගැන. මගේ බ්ලොග් එක පල්ල මේක ඇත්තම කතාවක්. හැබැයි මට මතක විදියට මේක ෆස්ට් ශයි එකේදී වුන සිද්දියක්. ඒ කාලෙ වෙනකොට මම හිටියෙ ලොකු අම්මලාගේ ගෙදර. (අපේ ගෙදරට පාරෙන් උඩ පැත්තෙ ලොකු අම්මලාගේ ගෙදර තිබුනේ.) අපේ ගේ හදල තිබුනට අම්මල හිටියේ නිල නිවාස වල නිසා මම ලොකු අම්මලාගේ ගෙදර හිටියේ. ඇඳන් දෙකක් එකට දාල තමයි මායි පොඩි අයියයි (ලොකු අම්මගේ පුතා) නිදා ගන්නේ. ඔව් ඔව් මම අර කතාවේ කලින් කියපු එකා තමයි. ඔන්න ඉතින් දවසක් මම ලස්සන හීනයක්‌ දකිනව. මම අපේ බස් හෝල්ට් එකට යනකොට එතන තියන බංකුවේ ලස්සන ගෑනු ළමයෙක් වාඩි වෙලා ඉන්නව. (ඇත්තට එතන එහෙම බැංකුවක් නම් නෑ) මම ඈතදීම අඳුන ගත්ත, ඒ චානිකා. කළු ඩොට් තියන සුදු ගවුමක් එයා ඇඳන් හිටියේ. (ඇත්තටමත් චානිකාට එහෙම ගවුමක් තිබුන) මම එතනට ගියාම ඒකි මාත් එක්ක ආදරෙන් හිනා වුනා. ඊට පස්සෙ මාත් එතනින් වාඩි වුනා. අපි දෙන්න එහෙම කතා කර කර හිටිය ටිකක් වෙලා. කතා කලේ මොනවද කියල නම් දන්නේ නෑ. හීන එච්චර විස්තර ඇතුව පේන්නෙ නෑ නේ. ටික වෙලාවකින් මම චානිකාගේ අත උඩින් අත තිබ්බ. ඒකි මුකුත් කිව්වෙ නෑ. ඊට පස්සෙ මම හෙමිහිට ඒකිගේ අත අතගාන්න ගත්ත. අනේ ඔහොම ටික වෙලාවක් ඉන්නකොට මට ඇහැරුනා. මට තේරුනා ඒක හීනයක්‌ කියල.  දුක තමයි ඉතින් මොනව කරන්නද? හෑහ්! ඒ වුනාට මම තාමත් කාගෙහරි අතක් අතගානව. අනෙ අම්මේ මෙච්චර වෙලා මම චානිකාගේ අත කියල අතගාල තියෙන්නෙ පොඩි අයියගේ අත. ඊයා.......! මට ආපු තරහට මම උගේ අත පැත්තකට වීසි කළා. ඊට පස්සෙ ඉතින් බොහොම සන්තෝසෙන් ආයෙත් නිදා ගත්ත.
.....................................................................................................................................................................

ප.ලි. සෙනසුරාදට තමයි ලොකුම ගේම යන්නෙ. එදාට තනිකර සාමූහික මෙහෙයුමක් යන්නෙ. ඒක ඊළඟ කොටසින් කියන්නම්. ඊළඟ එකෙන් නම් කතාව ඉවර කරගන්න පුළුවන් වෙයි.