twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න
Showing posts with label නිසදැස්. Show all posts
Showing posts with label නිසදැස්. Show all posts

Friday, August 31, 2012

පමාවී පැමිණි වසන්තය





සුමුදු මුදු සඳ කිරණ
එළියයි වෙනදාට වැඩියෙන් අද
හමන මුදු මද පවන
සුවයයි ගෙනෙන්නේ ගතට
පිපිණු මල් වල සුවඳ
සුවඳයි වෙනදාටත් වැඩිය
කිමද මේ අරුමය 
වසන්තය උදාවීද මගේ ලොවට

පෙර කිසිදා නැති ලෙසට
හැඩ වෙලා මගේ ලොව
මේ නම් වසන්තයමැයි
උදා වූයේ මගෙ ලොවට

වසන්තය ඔබ,
පමා වූවා හොඳටම
එන්නට තිබුනේ
බොහෝ කලකට පෙර
කටුක ගිම්හානය 
රිදෙව්වා මා හොඳටම

එපා  කිසිදා 
හැරයන්නට මගේ ලොව
සොඳුරු වසන්තයේ 
සැනසෙන්නට ඉඩ දෙන්න
පොරොන්දුවක් වෙන්න
හැමදාටම ඔබ මට..
හැමදාමත් මේ ලෙසට 
මගේ ලොව ඉන්නා බවට



Wednesday, July 18, 2012

අද හොඳම දවස


 විඩාබර දෙනෙත් මත
සිහිනයක් තවරන්න,
ගිලන් වූ මේ කයට
සැනසුමක් ලැබ දෙන්න,
ඉඩක් ඇත්නම් ඔබට
බිඳක් මා වෙත එන්න,
හොඳම දවස අද
එන්න හැකිනම් ඔබට.

තුරුලට ගෙන මා
හිස පිරිමදින්නට,
සුන්දරම සිහිනයක 
මාව සතපවන්නට,
දහසකුත් වේදනා
ඇසිල්ලක පහව යන්නට,
හොඳම දවස අද
එන්න  හැකිනම් ඔබට.

රාත්‍රිය තව දිගයි
තවම මග බලමි මම
හොඳම දවස අද 
කියන්න, එනවාද ඔබ...


පැයකටත් වැඩිය ඇඳේ පෙරලි පෙරලි ඉඳලා, බැරිම තැන දමල ගහල නැගිටලා, වෙන කරන්නම දෙයක් නැති නිසා නිදි දෙව්දුවට කවියක් ලිව්වා. මේක දැකලවත් නිදි දෙව්දුව ආවොත්... නිදි දෙව්දුව මගේ බ්ලොග් එක කියවනවද මන්ද..:/ ඇයි යකෝ ලෙඩා දුකා වෙච්චි මට මෙහෙම කරන්න වටිනවද නිදි දෙව්දුවට...??

Thursday, June 21, 2012

අඩුව




සීතම සීත සැඳෑ මදනල
පිසගෙන හමන මා ගත
කොඳුරන්නේ රහසක් මට
හෙමි හෙමින් රහසේම

හමන මුදු මද නල
හිරිගඩු පිපෙන සීතල
පෙළන්නේ  මා ගත
එපමණක් නොව සිතද

නිරුවත්  උඩුකයට 
දරණු බැහැ මේ සීතල
කිලිටි වූ කමිසයට
මඩිනු හැකිවෙද මේ දරුණු සීතල

ජීවිතේ තනිකම
මා වෙලාගත් පාළුව
හමන මේ සැඳෑ මද නල
කියාදෙන්නේ දෝ මට

නැති වෙන්නට මේ සීතල
තුරුළු වෙන්නට උණුසුමට
කෙනෙක් හිටියා නම් මට
මාත් බය නෑ මේ සීතලට 

:D :D :D :D :D :P 
.................................................................................................................................................................

හවසට ජනේලේ ලඟට වෙලා හීතල හුලං වැදි වැදි ඉන්නකොට හිතට ආපු කවියක් මේ....;) :D



Friday, June 15, 2012

බලා හිඳිමි මම

ඇයි ඔච්චර ආඩම්බර
එන්නකෝ මගේ ලඟට
බලන් ඉඳල බලන් ඉඳල
ඇති වෙලා මට දැන් හොඳටම

සති දෙකක් තිස්සේ ඉඳන්
බලාගෙන ඉන්නේ නුඹ ලඟට ගන්න
ඒත් ආඩම්බරකාර නුඹ
යන්නෙම තව ඈතට

දන්නේ නැහැ නුඹ තවම
කෙතරම් වටිනවාද නුඹ මට
මගේ හිත රිද්දන්නමද
යන්නේ තව තව ඈතට

දැන් නම් මට මල හොඳටම
ඉවරයක්‌ කරලා දාල මේ මගුල
ගෙදර යන්න ඉක්මනටම
දැන්වත් වරෙන් විභාගේ උඹ

Thursday, May 10, 2012

A-14 පාර

කාලෙකින් මුකුත් ලිව්වෙත් නෑ. අප්පෝ ලියන්නත් පස්ට කම්මැලියි අප්පා. ඒත් මේක පාලුවට යන්න දෙන්නත් හිතට දුකයි. ඒ නිසා පොඩි හොර වැඩක් කරන්න කියලා සෙට් වුනේ.:) මීට කලින් මම බ්ලොග් එකේ දාපු කවියක් ආයෙත් දාන්න කියලා හැදුවේ. කලින් කිව්වේ ගොඩාක් කලින්. ඒ කිව්වේ මගේ දෙවනි පෝස්ට් එකේ තමයි මම ඒක දැම්මේ. ඒක ගොඩක් දෙනෙක් දැකලත් නැති නිසා ආයෙත් දාන්න හිතුනා. එතකොට මගේ බ්ලොගේ පාලුවට යන්නෙත් නෑ නේ. හැබැයි පොඩි බොරුවක් එක්ක තමයි එදා මම ඒක දැම්මේ. මම එතන දැම්මේ ඒක මගේ මගේ යාලුවෙක් ලියපු එකක් කියලා. හැබැයි ඇත්ත කතාව ඒක මම ලියපු එකක්.:) මම එදා එහෙම දැම්මේ මගේ අනන්‍යතාවය අහු වෙයි කියලා බයට. දැන් නම් එහෙම අවුලක් නෑ, අපේ බැච් එකේ එකම එකයි බ්ලොග් කියවන්නේ, ඌත් දැන් දන්නවා මගේ බ්ලොග් එක ගැන. 

අපේ තර්ඩ් ඉයර් එකේ මුල තමයි ට්‍රේනින් යන්න තියෙන්නේ. මම මුලින්ම වැටුනේ මැදවච්චිය - මන්නාරම (A-14) පාරට. සයිට් එක තිබුනේ මැදවච්චිය ටවුන් එකේ ඉඳල කි.මි. 39ක් මන්නාරම පැත්තට වෙන්න. ඒ සයිට් එක තිබුන පැත්ත දරුණුවටම යුද්ධෙ තිබුන පැත්තක්. ඒ කාලෙත් බිම් බෝම්බ අයින් කරපු නැති පැති තිබුණා. අපි හිටපු හරියේ එකම එක ගෙයක් වත් නෑ. මට මතක විදියට කි.මි. 20ක් විතර මැදවච්චිය පැත්තට ගියාම තමයි ගමක් අහුවෙන්නේ. අපි හිටපු හරියේ ටිකක් එහාට වෙන්න සරණාගත කඳවුරු දෙකක්ද තුනක්ද තිබුනා. පොලිස් ස්ටේෂන් එකක් තිබුනා, ඊට අමතරව තැනින් තැන ආමි එකෙන් හිටියා. මිනිස්සු කියල එච්චරයි හිටියේ. හැබැයි ඔය පාරේ නම් වාහන යනවා එකම ගානට. UN එකේ ඒවා, RDA එකේ ඒවා, ට්‍රිප් යන වාහන, බස් ඔය වගේ ගොඩක් වාහන ගියා. පාරවල් කෙලින් නිසා උන් යන්නේ නම් හයිවේ එකේ යනවා වගේ. ඒ අස්සේ හිටී ගමන් මැති ඇමතිලත් යනවා. ඒ ඔක්කොම මන්නාරමට යන ඒවා.

මහ පුදුම පාළුවක් තිබුනේ එහෙ ගියාම. අනිත් එක පොඩි ආදර හුටපටයකුත් ඔලුවට ගහලා තිබුනේ ඒ කාලේ.:) ඉතින් විකාරයි වගේ එහෙ ඉන්නකොට. පළවෙනි සතියෙම මට ඉන්න වුනේ පාර හදන තැන. ස්ටාෆ් මදි වෙලා අපේ ට්‍රේනින් හිටපු දෙන්නට මාරුවෙන් මාරුවට ලේබර්ස්ලව සුපර්වයිස් කරන්න වුනා. ඉතින් දවසෙම ගිනි අව්වේ, දුවිල්ලයි ගල් කුඩුයි එක්ක ඉන්න ගියාම පුදුම සනීපයි. ඒ පාර කැඩිලා නිසා පුදුම දූවිල්ලක් තිබුනේ. ඒකට ගල් කුඩුත් එකතු වුනාම හරිම සන්තෝසයි. සතියක්ම මට එහෙම ඉන්න වුනා. අන්න එහෙම ගිනි අව්වේ ඉන්නකොට ලියවුන කවියක් තමයි මේ.


(මේ තියන කි.මි. කනුව ළඟ තමයි අපේ සයිට් ඔෆිස් එක තිබුනේ. මේක මම ගත්තේ එහෙන් එන්න බස් එක එනකල් ඉන්න වෙලාවේ.)

මම එහෙ හිටියේ සති තුනයි. හෙඩ් ඔෆිස් එකේ වැඩක් කියලා මාව ආයෙත් ගෙන්නගත්තා. මම ආපු ගමන් කලේ මේ කවිය ෆොටෝ එකට දාල හදපු එක.:) මගේ ඇත්ත මූනුපොතේ එකවුන්ට් එකේ ඉන්න අයට නම් බලන්න පුළුවන් මේක ඇති Wall Photos වල. සති තුනෙන් ඉවර වුන නිසා හොඳයි, තව හිටිය නම් පිස්සු හැදෙනවා.



Tuesday, April 24, 2012

අවසන් කවිය




ඔබ නමට ලියවෙන
මෙයයි අවසන් කව
තවත් මේ පන්හිඳෙන්
නොලියවෙයි කවි ඔබ ගැන

මතක  ඇත්නම් ඔබට
පෙර දිනක ඔබ නමට
සෙනෙහසින් පද බැන්ද
පුංචි කවියක අරුමය

අසම්පූර්ණයි තවම
ඔබ නමින් මා ලියූ කවිය
අත් හැර දමන්නට එය
සිත නොනැමෙයි කිසි විට

වෙහෙසයි දැන් සිත හොඳටම
ගලපගන්නට බැහැ
තවත් මේ පද මට...
වෙහෙසුනත් කොයිතරම්
අර්ථයක් දෙනු බැහැ මේ කවියට

නික්මෙන්නට කාලයයි
අතැර හැර ඒ කවිය
නොගැලපෙන පද ගොඩක් මැද
තවත් හරඹයක ඵල කිම

තරහක් නෑ කිසිම
එළිසමය නොවූවාට
මගේ කවියට නුඹ...
මට ලියනු බැරි කවිය
ලියනු ඇත තවකෙකු හෙට

නිමාවයි මෙය
වෙහෙසකර වූ ගමනක
ඉතින් හැර යමි
මට අයිති නැති මගේ කවිය


Tuesday, April 10, 2012

අවුරුද්ද නම් ඒවි, ඒත් ඒ මම හිතපු විදියට නොවේවි


තවත් අලුත් අවුරුද්දක්
ටික දිනකින් ඒවි
හැමදාම වගේ මේ පාරත්
කොහා උගේ සින්දුව කියාවි

ඒත් ඒ අවුරුද්ද
හිතපු තරම් ලස්සන නොවේවි
අවුරුද්ද ගැන මම දැකපු හීන
එකක් වත් ඉටු නොවේවි

අවුරුද්දට ගෙදර යන්න
ඔයා මගේ ළඟ නැති වේවි
වෙනද  පුරුදු පාරේම
මම තනියම ගෙදර යාවි

නැකත් වෙලාවට ෆෝන් එකෙන්
බත් කටක් කවන්න මට බැරි වේවි
වැඩ අල්ලන්න ඔයත් එක්ක
කතා කරන්න මට බැරි වේවි

මම හිතපු විදියට
මුකුත් වෙන්නේ නැති වේවි
අවුරුදු  කාලේ ඔයත් එක්ක
ඇවිදින්න යන්න මට බැරි වේවි

ඔයා ගෙදරින් අරන් ආපු
කැවිලි කන්න මට බැරි වේවි
ඔයාට දෙන්න හිටපු මල් මල් ගවුම
දෙන්න විදියක් නැති වේවි

තවත් දවසක් වගේම
අවුරුද්දත් යන්න යාවි
සින්දු කියපු කොහාටත්
ඊට පස්සේ වෙන වැඩ තියේවි

අවුරුද්දට මම දැකපු හීන
එකින් එක බොඳ වේවි
අවුරුද්දත් ගිහින් ඔයත් ගිහින්
මම විතරක් මෙහි ඉතුරු වේවි


Tuesday, March 13, 2012

මට ලියනු බැරි කවිය ඔබ




කවියෙක් නොවෙයි මම
සොඳුරු පද වැල් ගොතන්නට
ඒත් ආසයි
ඔබ ගැන කවියක් ලියන්නට

තෙරපෙන හැඟුම් සිත තුල
කවියෙක් කරයි මා සිත
මටත් ආසයි 
ඔබ  ගැන කවියක් ලියන්නට

පන්හිඳ නිසලයි තවම
අසරණයි මගේ කවි සිත
ඔබ ගැන ලියන්නට
වචන මදි මට හොඳටම

නිදි වරා රෑ තුන්යම
වෙහෙසිලා හිත හොඳටම
ඒත් තාමත්
මට ලියනු බැරි කවිය ඔබ

පද ගලපගනු බැරි 
අසරණ වූ කවියා මම
මට ලියා ගනු බැරි
සොඳුරුතම වූ කවිය ඔබ


Friday, February 24, 2012

අතාත්ත්වික පෙම්වතිය




පුංචි සංදියේ පටන්ම
මගේ හිතේ ලැගුම් ගත් ඔබ
තවමත් මුණ නොගැසුනේ
කිමදැයි නොදනිමි මම

දකින දකින අය තුල
සෙව්වෙමි ඔබ නිරතුරුව
බිඳුන සිත පමණමයි
සිටියේ නෑ ඔබ කිසි තැනක

යෙහෙළියයි  ඔබ මට
මවකි  මට නිරතුරුව
රැජිනයි ඔබ මගෙ සිහින ලොව
එහෙත් කොහිද තවම ඔබ?

වෙහෙසයි දැන් මට හොඳටම
තවත් වාරු නෑ මගෙ හිත
අද  ඒවිද හෙට එයිද?
තව කොතෙක් නම් බලා ඉන්නද?

දනිමි  මම හොඳහැටිම
නොපවතින බව ඔබ, මේ මනුස්ස වාසය තුල
ඒත් තවමත් සොයමි මම
මගේ අතාත්ත්වික පෙම්වතිය

Friday, February 10, 2012

සඳ පහන් රාත්‍රියක, ඔබ සිහිවූ මොහොතක...

සඳ පහන් රාත්‍රියක, තරුද නිදන රැයක, ඔබ සිහිවූ මොහොතක, යනාදී වශයෙන් පටන් අරන් ලියපු ඒවා එහෙම අපේ කට්ටියට මතක ඇති. නෑ නෑ මේ පෙම් හසුන් ගැන නෙමෙයි ලියන්න යන්නේ, සමරු පොත් ගැන.:) සමහරු නම් 'මහ දවාලේ', 'නිදි විකාරෙන්', වගේ ඒවත් ලියනවා.:) පොතක් හොයන්න පරණ පොත් ටික අදිනකොට ඕලෙවල් කාලේ ඔටෝ එක හම්බවුනා. පොත හොයන එක පැත්තක තියලා මම ඒක කියෙව්වා. ඉතින් ඒකෙ තිබුන කෑලි ටිකක් තමයි දැන් මේ කොටන්න යන්නේ. තොගේ සමරු පොතේ තිබුන ඒවා අපිට මොකටද කියල බනින්න එපා හොඳේ... මම පව්!

ඕලෙවල් කාලේ අපේ ගෙදර රෑට සෙට් වෙලා අපි 4 දෙනෙක් පාඩම් කළා. ඕලෙවල් කිට්ටු වෙනකොට තමයි කෙලිය පටන් ගත්තේ. ඒ කාලෙට හැමෝම වගේ ඔටෝ පොත් ගන්නවා නේ. ඉතින් දවසට එකෙක්ට අනිවා එකක් වත් ලැබෙනවා ලියන්න. ඉතින් රෑට පාඩම් කරල ඉවර වෙලා පටන් ගන්නවා ඔටෝ ලිවිල්ල. ආයෙත් ඉතින් පාඩම් කරනවා වගේ ඕනවට එපාවට නෙමෙයි ඒක කරන්නේ, ෆුල් කැපවීමෙන් ඔටෝ ලියන්නේ. ඒවා ලියල ඉවර වෙද්දී 3 විතර වුන දවස් පවා තිබුනා. නිකන් කතාව වගේ ලියන්නෙත් නෑ, නිසදැස්ම තමයි ලියන්නේ, සෙල්ලං නෑ.;) අප්පත්තියේ, ලෝක අමාරුවෙන් තමයි ඉතින් නිසදැසක් ගැටගහගන්නේ. ඇයි ඉතින් එකක් දෙකක් නෙමෙයිනේ. ඒ නිසා තමයි ඔය වැඩේට ගොඩක්ම වෙලා ගියේ. හැබැයි එහෙමයි කියල අතාරින්නෙ නෑ, අනිත් උන්ගෙන් උදව් අරගෙන හරි ලියනවා. දවසක් අපේ එකෙක්ට ඌ ට්‍රයි කරපු කෙල්ලගේ ඔටෝ එක ලියන්න කියල දීල. ඌට ඒක ලියාගන්න බෑ, ආදරේ වැඩිකමට වචන එන්නේ නෑ.:P ඒ පාර අනිත් තුන් දෙනා සෙට් වෙලා නිසදැසක් ලිව්වා ලිවිල්ලක්, කොච්චරද කියනවා නම් අර කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කියලා තිබුනා, "එයා හිතේ තියන ඔක්කොම ඔටෝ එකේ ලියලා" කියල.:D අයියෝ සල්ලි කිව්වලු. 

අනිත් අය මගේ ඔටෝ එකේ ලියපුවා ලියන්න කලින් මම ඒකෙ මුල පිටුවේ ලියපු නිසදැස ලියල ඉන්නම්කො.

ගෙවුණු අතීතයක 
නෂ්ඨාවශේෂ අතර
විසල් වූ මතකයකි ඔබ මට...
ජීවිත වන්දනාව අර්ථවත් කරනු වස්
සිප් දැනුම ලබන්නට,
පැමිණියෙමු අප සැවොම
සොඳුරුතම වූ තක්සලාවට.

උදාවූ වසන්තය
නිමාවී නොයන ලෙස
හදේ රැඳි මිතුරු දම
සදාකල් රැඳෙන්නට, 
සමරුවක් තබනු මැන 
හදේ ඇඳි සෙනෙහසට 
ලෙන්ගතු නිසා 
ඒ තරමටම මම ඔබට..! 

ඔය මුල් පද තුන නම් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා ගොඩක් තැන් වල ලිව්වා.:) අනිත් උනුත් ඕක කොපි කරලා ගොඩක් ඒවාට දැම්මා. 

ඉතින් ඔය විදියට පටන් ගත්ත සමරු පොතේ මුලම ලියල තියෙන්නේ ඒ කාලේ මට ගොඩක් විශේෂ කෙනෙක්, චානිකා. මගේ කලින් පෝස්ට් කියවලා තියන අයට සමහර විට මතක ඇති. මෙන්න මේ කතාවේ ඉන්නේ එයා තමයි. එයා පොතේ මුලම ලිව්වා කියන්නේ ඉතින් මම කියලා ලියව ගත්තා. පොත මුලින්ම දුන්නේ එයාට. මම ලියන්න ඕන තැනත් මාක් කරලා දුන්නේ. එයා ඒකෙ නම ලියල තියෙන්නේ කාටවත් නම බලාගන්න බැරි වෙන්න. නැත්තන් ඉතින් මගේ ඔටෝ එකේ එයා මුලම ලියල තියනකොට රට්ටු එක එක ඒවා හිතනවනේ.:) 

මතකද? 
අපි එකට ඉස්කෝලේ ගියා...
රණ්ඩුවුනා, හිනාවුනා...
ඒ මතකයන් අතරින්, 
අනාගතයට මාවත විවරවෙලා.
හිරුරැස් මවාපාන,
ඒ සදාතනික රහස ගැන
හිතන්නට කාලය එළඹිලා...
අනාගතය, 
සැපවත් කරගන්නට,
පතන්නම් දිගාසිරි 
හැමදාමත්....

මේක ලිව්වේ මගේ පොඩි කාලේ ඉඳන් හිටපු හොඳම යාලුවන්ගෙන් එකෙක්. ඒත් දැන් නම් ඌ අපෙන් ගොඩක් දුරස් වෙලා. හැබැයි අදටත් ඕන උදව්වක් ඉල්ලුවොත් කිසි කතන්දරයක් නෑ එවෙලේම කරලා දෙනවා. 

ඔබගෙන් ලද 
සහෝදරත්වය, දයාබරත්වය 
සත්තයි... ලෙන්ගතුයි හැමදාම...
මුවෙහි රැඳෙන ඔබේ සිනහව,
අවිහිංසක ඔබේ දෑස,
සත්තයි... මිතුරුයි හැමදාම...
කඳුලට, සිනාවට, ජීවිතයට 
මුහුණ දෙන්න 
සවිමත්ය නුඹේ සිත...
කැඩී බිඳෙන සාගර රළ සේ
අකම්පිතව...
අහස් ගැබෙහි තරුවක් සේ
දීප්තිමත්ව...
පැතුම් පිරි හෙට දිනය ජයගන්න
අරුත්බර අනාගතයකට 
ආසිරි පතමි මා...

ඊළඟට තියෙන්නේ අපේ මහිමය ලියපු එක. ඌ ලිව්වා කිව්වට උගේ නෑනලු ලියල තියෙන්නේ.:) වෙලාවට එහෙම වුනේ, නැත්තන් මොකක්ද තියෙන්නේ කියලවත් බලාගන්න වෙන්නේ නෑ.:D 

දයාබර මිතුර, 

හිස් දෑතක් මිටි මොලවා ගෙන
මව් කුසින් එලියට පැමිණි දා සිටන්
තමන් ආදරය කරන ආස කරන 
ගොඩාරියක් දේවල් දෝත පුරවා ගැනීම 
ජීවිතයයි...

එසේ ඇහිඳ ගන්නට ඇති දේවලින් 
හොඳම දේ ඇහිඳා ගත් ජීවිතය 
සුන්දරයි...

මේ සෙයින් දුවන 
අතිශය වෙහෙසකාරී වූත්, 
පීඩාකාරී වූත් ජීවිතයේ විවේකී සුවය
ආදරයයි...

අලේ මන්ද ඇත්තද කියල නම්, ඔහොම තමයි තිබුනේ. මහිමගේ නෑනත් දන්න දේවල්!;)  

මේක  එක වසරේ ඉඳලම මාත් එක්ක එකටම හිටපු එකෙක් ලියපු එකක්. අද හවස මමයි මහිමයි ඌයි සෙට් වුන වෙලාවේ ඌ ඔටෝ එක ඔක්කොම කියවලත් ගියේ.:) අර මගේ පොඩි පොඩි කතා ටිකක් කියන පෝස්ට් එකේ මුලින්ම ලියලා තියෙන්නේ ඌ ගැන.;)

අනන්තවත් වූ මේ
කුරිරු ලොව තුල
සුසන්දවත් වූ ඔබගේ මිතුදම
මගේ ජීවිතේ පුරාවටම 
උඩුදුවන්නට විය...
සොඳුරු ඇසුරක් 
පෙනෙන තෙක් මානයක නොමැතිව
පිපාසිතව සිටි මාහට,
ජල බිඳක් බඳුව 
ඔබේ සොඳුරුතම ලෙන්ගතුකම
පණ පොවන්නට විය...
නිවැරදි තැන ප්‍රසංසාවටත්
වැරදි තැන නිසි මගටත්
ඔබ විසින් මාව
යොමු කරන්නට විය...
නෙතගට කඳුළු නැගුන විරාමයක
ඔබ මාහට ශක්තියක් විය.
එවන් මොහොතක 
නිබඳවම ඔබ මට 
දිරියක් විය...

ඔබ මට නිබඳ 
ආදර්ශයක් විය...
මෙවන් මිතුදමක් පවතින තුරු
අප කෙසේ නොමග යම්ද? 
ඔබෙන් ලැබූ ඒ 
සොඳුරු ලෙන්ගතුකමත්,
අපේ මේ මිතුරුකමත් 
සත්තයි සදාතනයි හැමදාම...!

ඒක නම් ඇඩ් එකක්ද මන්ද....;)

මේක තමයි මගේ ඔටෝ එකේ තියල තියන ඒවායින් මම ආසම එක. හැබැයි ඒක ලියපු එකා තමයි අවුල. යාලුවෙක් විදියට ඉඳල හැමදාම මාව පස්සට අදින්න හදපු එකෙක් තමයි මේක ලිව්වේ. ඒ වුනාට ඒ නිසදැස මාරම ලස්සනයි. 

දම්පාට සිතිජ වලල්ලේ
බොඳවුණු සංසාර හීනයක
අනේ අප හමුවුනේ නොපෙනෙන ඉමක.
නොපෙනෙනා  දුරකට සැඟවෙන්න නම්, 
කඳුලින් පිරුණු දෑස් සඟවාගෙන හිනැහෙමු. 

අපේ මිත්‍රත්වය නිසාවෙන්
යටගියාව මෙනෙහි කර
එහි සුන්දරත්වය විඳින විට,
ඒ ඇස්වලට පෙනෙන්නට 
නුඹ වරෙන් සකිය 
ඔය යහළු පෙම රැගෙන 
නෙත් පෙනෙන මානයට.

තව ඉතින් ගොඩක් තියනවා, මට හිතට වැදුන ලස්සනම ටික තමයි මේ. තව ලියන්න ගියොත් කට්ටිය වැඩේ අතැරලා දාවි. ඔය මතක නම් හරිම සුන්දරයි, ඒ වගේම සංවේදියි. මට මතකයි මම උසස් පෙළ ඉවර වෙලා ඉන්න කාලේ එක පාරක් ඔය පොත කියවලා මගේ ඇස් වලට කඳුළු ආවා. මේ පාර නම් එචචර අවුලක් වුනේ නෑ.:) මේ ලියපු සමහර අය අවුරුදු ගානකින් දැකලා නෑ. ඒ ගැන මතක් වෙනකොට නම් ගොඩක් දුකයි. මොනවා කරන්නද, එහෙම තමයි ජීවිතේ.


Wednesday, January 11, 2012

දන්සැල



 ඇති තරම් බෙදාගෙන කන්නට 
හොඳ අතුරුපසකුත් එක්කම
ඕනෑ තරම් කෑම තියන
පුංචි උඹේ දන්සල

රටේ ලෝකෙ කවුරුත්ම
ඇවිත් කා බී සතුටු වී යන
උන්ගෙ සතුටමද උඹේ සතුට?
නොතේරේ නංගියේ මට

වරදීවි දවසක උඹට
අසරණ වේවි හොඳටම
ඔය දන්සලෙන් කාපු කවුරුවත් 
එදාට නැතිවේවි උඹ ළඟ

දුකයි මට උඹ ගැන
උඹ ඔය යන විදිය ගැන
ඒත් මොනව කරන්නද
මාත් හරි ආසයි උඹේ දන්සලට

අතෑරපන් ඔය මෝඩකම
පාලනය කරගනින් ඔය ආසාව
දැන්වත් හොඳට තේරුම් අරන්
වහල දාපන් උඹේ ඔය දන්සල

..................................................................................................................................
ප.ලි. මේක මම දන්න කියන කෙනෙක් ගැන හිතට ආපු සිතුවිල්ලක්. අත්දැකීමක් නෙමෙයි හරිද.....:D

Tuesday, September 20, 2011

එපා ආයෙ නම්

කතා කරනකොට හුරතල් වෙවී
ආයෙත් මගෙ දැහැන බිඳේවි
ඒ ලස්සන වචන වලට
මගේ හිත ඇදිල යාවි

ආයෙමත් වතාවක් මම
ලස්සන හීනයක තනි වේවි
හැමදාමත් වගේම ආයෙත්
මට ඔයා නැතුව බැරි වේවි

ඒත්....

ඔයත් දවසක යන්න යාවි
එදාට මම ආයෙත් තනි වේවි
ආයෙත් පාරක් නම් මට
ඒ දුක දරාගන්න බැරි වේවි

මෙතෙක් කල් සිටි ලෙසම
මට ඉන්න හැකි වේවි
මා වෙත ලං වෙන්නෙපා
ඔබත් මට දුකම දේවි

Monday, September 5, 2011

මට හෙනම මළ උඹ එක්ක



වදකාර හිත,
මට හෙනම මළ උඹ එක්ක
පොඩ්ඩක් ඇත්තන් ඇති
කොහේ හරි පැටලෙන්න

පොඩිම පොඩි දෙයක් අල්ලගෙන
ගව් ගනන් දුරට යන
ලොවෙත් නැති හෙන උසට
අහසෙ මාලිග හදන
ඇත්තටම උඹට පිස්සුද?
මට හෙනම මළ උඹ එක්ක

අන්තිමට කෙලවගෙන
එන්නෙපා මගේ ලඟට
උඹේ ඔය ගොන් කමට
කරන්න නම් දෙයක් නෑ මට

ඒ සිරාවටම,
මට හෙනම මළ උඹ එක්ක.

Sunday, August 14, 2011

නොපතමි යලි ඔබව



අතීතයේ දවසක
නොසිතූම මොහොතක
හැරදමා තනිකර
යන්නට ගියේ ඔබ

මා මැවූ නෙක සිහින
කඩා සුනු විසුනු කර
අඳුරු කර මගෙ ලොවම
ගියේ ඔබ ඈතකට

කොයිතරම් කිව්වත්
කොයිතරම් හැඬුවත්
තේරුම් ගත්තේ නෑ ඔබ මගේ සිත..
රලු වූයේ කෙලෙස
ඔය තරමටම
නොතේරෙන්නට මගෙ දුක..

දුකයි මට ඔබ නැතුව
පාලුයි මගෙ හිතට
විඳවමි සිතින් මම
ඔබේ මතක ලොව තුලම

එනමුදු කිසි දිනක
නොපතමි යලි ඔබව
මට උරුම තනිකමම
දැන් හොඳට හුරුයි මට

Monday, April 18, 2011

මා මළ පසු මගෙ සොහොනේ දුක් ගීයක් ලියනු මැනවි



දන්නවා ඔබ හොඳහැටිම
දකින්නට බැරි බව
ඔය ඇස් වල කඳුලු මට

දැන දැනත් ඒ වග
හඬන්නේ මෙලෙස කිම
වැතිරී මගෙ සොහොන මත

දන්නවා නම් මම
හඬන බව ඔබ මේ තරම්ම
මියැදෙන්නේ නෑ කිසි දිනක
ඔබේ ලඟින්ම සිටිනු මිස.


ප.ලි. මට මේ ෆොටෝ එක ලැබුනෙ facebook එකේ තිබිල. මට නම් මේක දැක්කම ගොඩක් දුක හිතුන. 

Sunday, March 20, 2011

හිතේ දුකට ලියවුනු කවි

අපිට තව ටික දවසකින් එන්ඩ් සෙමෙස්ටර් එක්සෑම් පටන් ගන්නවා. ඉතින් පාඩම් කරන්න පටන් ගන්න කලින් තව පෝස්ට් එකක් දාන්න ඕන කියල හිතුන. මගේ පළවෙනි පෝස්ට් එකේ මම කියල තියනව නෙ මමත් ආදරේ නිසා ඇනගත්ත කෙනෙක් කියල. පළවෙනි පෝස්ට් එක කිව්වට ඉතින් මහ ඈතක නෙමෙයි. මේක හතරවෙනි පොස්ට් එක නෙ. මම උසස් පෙල කරන කාලෙ මම ආදරේ කරපු කෙල්ලෙක් හිටිය. මම ඒකිට ගොඩාක්ම අදරේ කලා. ඊටත් වැඩිය ඒකි මට ආදරේ කලා. අපි දෙන්න කියන්න බැරි තරම් සතුටින් හිටියෙ. කොහොම හරි අපි පාඩම් කරනවට වඩා කලේ මැසේජ් කරන එක. මම අර මැට්ට ගැන කතාවක් කිව්ව නේද? ඒකත් හිටියෙ අපේ බෝඩිමේමනෙ. ඒ කතාවෙ අර අනතුරට ලක්වුන එකා මට ඔය වැඩේට සෑහෙන බැනල තියනව. ඌ කට කැඩෙනකල් කියල ඇති මචන් ඕය වැඩේ නවත්තල පාඩම් කරපන් කියල. ඒ වුනාට ඉතින් ඔය විකාර ඔලුවට ගැහුවම සක්කරය ඇවිත් කිව්වත් වැඩක් නෑ නෙ. අපේ කට්ටිය ඒක දන්නව ඇතිනෙ. මැට්ටයි අනිත් උන් ටිකත් අරූත් එක්ක සෙට් වෙලා මට බනිනවා. අපරාදෙ කියන්නෙ ඒ කියපු එක වචනෙකින්වත් වැඩක් උනේ නෑ. දැන් කල්පනා කලාම මට තේරෙනවා අපි ඒ කාලෙ කොච්චර මෝඩද කියන එක. කොච්චර මෝඩද කියනව නම් අපි ආදරේ කරන්න පටන් ගන්නකොට අපි එකපාරක් වත් හම්බවෙලා වත් තිබුනෙ නෑ. ෆොටෝ එකක් වත් දැකල තිබුනෙ නෑ. ඒකි අපේ බෝඩිමේ හිටපු කොල්ලෙක්ගෙ යාලුවෙක්. ෆෝන් එකෙන් තමයි සෙට් උනේ. ඉතින් හිතා ගන්න පුලුවන් නෙ වැඩේ. ඕක ඉතින් හෙනම දිග කතාවක්. ඒක කියන්න ගියොත් මම කියන්න ආපු එක කියන්න වෙන්නෙ නෑ. 

කොහොම හරි ඒ බැඳීමට හොඳ පදනමක් තිබුනෙ නෑ වගේම වැඩි අයුෂ තිබුනෙත් නෑ. විභාගෙ ඉවර උන ගමන් ඒකත් නැවතුනා. ඒකි ගොඩක් කලින් ඒ තීරණේ අරන් තිබුනෙ. ඒත් මට කිව්වෙ විභාගෙ ඉවර උනාම. ගෙදරින් කේස් කියල තමයි කිව්වෙ. ඒත් මට පස්සෙ ඇත්ත කතාව ආරන්චි උනා. ඒකිගෙ හිත වෙනස් වෙලා තියෙන්නෙ මාව මුලින්ම මුන ගැහුන දවසෙ. මම හැන්ඩි මදිලු. මොනව කරන්නද ඉතින්. 

කොහොම හරි ඔය සම්බන්ධෙ නැවතුන දවස් වල මම ෆුල් අවුට් හිටියෙ. ඕව ගැන ඉතින් අපේ කට්ටියට අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. කොහොමත් මම ටිකක් අනිත් කොල්ලන්ට වඩා සෙන්සිටිව්. මට ඔය සීන් එක නම් දරාගන්නම බැරි උනා. අම්ම මගෙන් දෙතුන්පාරක්ම අහල තියනව මොකක්ද පුතේ ප්‍රශ්නෙ කියල. ඉතින් ඔය කාලෙ හිතේ දුක කියාගන්න කෙනෙක් නැති උනාම මම නිසදැස් ලිව්වා. සිංහලෙන් නම් කමක් නෑ කියමුකො, මම ඒව ලිව්වෙ ඉංග්‍රීසියෙන්. ඉතින් හිතා ගන්නකො මම හිටපු තත්ත්වෙ. ඒව ඉතින් මහ ලොකු නිසදැස් නෙමෙයි. සමහර ඒවගෙ එලිසමය වත් නෑ. නිසදැස් කිව්වට ඒව කතන්දර වගේ. දුකට ලියවුන ඒවනෙ. කට්ටිය කියවල නෝන්ඩි කරන්න නම් එපා. මම ඒ ටික දාන්නම්.


Don't Ask Why


You are away from me, but I’m always with you
Don’t ask why, I can’t tell it


You don’t need me, but my heart is always with you
Don’t ask why, I can’t explain it


You are not mine anymore, But I love you forever
Don’t ask why, I don’t even know it



You are Nowhere

When there are stars in the sky,
I try to find you among them

When there is the moon in the sky,
I try to compare the moon with your face

When I see the sea,
I try to hear your voice among the sound of waves

When the wind whispering,
I try to feel your breath in it

When birds are singing,
I try to hear your voice among them

When it is raining,
I try to feel the warmth of your tears among them

But…………..!

I can’t see you,
I can’t hear you,
I can’t feel you,

You are nowhere,
Just only your memories everywhere!



I Just Can't 
I can’t look at the moon,
Coz I see your face on it

I can’t hear birds are singing,
Coz I hear your voice in it

I can’t remember the past,
Coz you always hurt me in it

I can’t live my life anymore,
Coz I can’t live without you in it



Remember 

When you feel sad,
Remember there is someone who is always wishing
to make you happy

When you feel a pain,
Remember there is someone who is always wishing
to make you comfortable

When there is no one to listen to you,
Remember there is someone who is always wishing
to listen to you

When there is no one to look after you,
Remember there is someone who is always wishing
to look after you

When you need someone,
Remember there is me who is always wishing
to be your one.


ප.ලි. මේවට මාතෘකා නම් තිබුනෙ නෑ. ඒව මම දැන් දැම්මෙ.

Monday, March 14, 2011

හිතට දැනෙන ඇත්තම කතාවක්

මේක මගේ යාලුවෙක් ලියපු නිසදැසක්. මිනිහ මොරටුව කැම්පස් එකේ ඉන්නෙ. මිනිහ පහුගිය දවස් ටිකේ training හිටියෙ. A-14 පාරෙ, මැදවච්චියෙ තමයි මිනිහ training වැටුනෙ. A-14 පාර ප්‍රතිසංස්කරනය කරන්න තමයි ඒ project එක තිබිල තියෙන්නෙ. මැදවච්චියේ කිව්වට මැදවච්චියෙ ඉඳලත් 40km විතර එහා. කොහොම හරි මිනිහට එහේ ඉඳල එපා වෙලා. දෙපැත්තෙම කැලෑවලු. සරණාගත කඳවුරු 3යි, පොලිස් කෑම්ප් එකයි, නේවි කෑම්ප් එකයි අරුනම මනුස්සයෙක් පේන්නවත් හිටියෙ නැතිලු. ඒ මදිවට අව්වයි, දූවිල්ලයි, ගල් කුඩුයි එක්ක ඉඳල මිනිහට එපාම වෙලා. ඔන්න ඔය විදියට මල පැනල පාර අයිනට වෙලා අව්වෙ ඉන්න වෙලවක මිනිහ ලස්සන නිසදැසක් ලියල තියනවා. පස්සෙ ඒක දාල මිනිහ ෆොටෝ එකක් හදල තිබුනා. මම ඒක facebook එකේ තිබිල දැක්කෙ. මම ඒක එහෙමම දාන්නම්.


P.S. ඔය තියන 39km කනුව මිනිහගෙ site office එක ගාව තිබුන එකලු.