twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Wednesday, July 27, 2011

සුද්දන්ටත් බැරි අපේ කඩ්ඩ


පොඩි නින්දක් දාල දැන් නැගිට්ටෙ. එලියෙ කලු කරල හොඳටම වහිනව. ඇහැරෙනකොටම ඇහුනෙ

            "මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා
             සඳවතිය පාවී ගියා
             පිළිගන්න පුලුවන්ද සඳ දෙව්දුවත්
             මේ හැටිම නපුරුයි කියා"

මම සින්දු ටිකක් දාල නිදා ගත්තෙ. ඇහැරෙනකොට ජගත් වික්‍රමසිංහ මහත්තයගෙ ඔය සින්දුව තමයි ගියේ. ඒ සින්දුවෙ පද වල තියන ලස්සනත්, ස්වරයේ තියෙන හැඟීම්බර කමත්, මම නින්දෙන් ඇහැරුන ගමන් නිසාත් දැනෙන්න පුලුවන් ඇතුලටම ඒක දැනුන. අමතක කරල තිබුන අතීතය ආයෙත් පාරක් මතක් වුනා. මගේ සඳවතියත් මා අඳුරේ දමා හැර ගියා නේද කියල මට මතක් වුනා.  ආයාසයෙන් උඩට ඇදගත්ත බර සුසුම නිදහස් කරල මම ඇඳෙන් නැගිට්ට. දවල්ට කාලත් නෑ, ඒත් එච්චර බඩගින්නකුත් නෑ. මොනවහරි කොටන්න කියල මේ ලේස්ති වුනේ. කලින් එක වගේ මේකත් එහෙමම වෙන බ්ලොග් එකක වැටෙයිද දන්නෙ නෑ. කලින් එක ලිව්වට පස්සෙ මට මේක ලියන්න ඕන කියල හිතුනෙ. අපෙ අයගෙ කඩ්ඩ සම්බන්ද පොඩි රසවත් සිද්දි කීපයක්. මට හිනායන විදියට නම් ලියන්න බැරි වේවි. මම නිකන් කොටල දාන්නම්. ඔන්න හිනාගියේ නෑ කියල බනින්න එපා හොඳේ.



කැම්පස් ආපු කාලෙ අපේ ගොඩක් අයගෙ කඩ්ඩ අප්සට් නෙ. ඇයි ඉතින් අවුරුදු දහතුනක් අමු සිංහලෙන්ම ඉගෙන ගෙන, එච්චර කල් සිංහලෙන්ම කතා කරල කැම්පස් ආපු ගමන් කඩ්ඩ පුලුවන් වෙන්නෙ නෑ නෙ. අපි මොකෝ ඉන්ටනැශනල් ස්කූල් වලට ගියා කියලයැ. ෆස්ට් ඉයර් එකේ අපේ හොස්ටෙල් එකට සෙට් වුනේ නියමම බුල ඩයල් සෙට් එකක්. කඩ්ඩ නම් නැතිම තරම්. ඒ කිව්වෙ කඩ්ඩ කතා කරන්න තමයි බැරි. ලියන්න කියවන්න සාමාන්‍ය තරමට පුලුවන්. කතා කරන්න නම් බෑම තමයි. අපේ හොස්ටල් එකේ දෙමළ ළමයි ටිකකුත් හිටිය. ආපු කාලෙ උන්ට සිංහල බෑ. අපිට ඉතින් දෙමළ බෑ නෙ. එතකොට කතා කරන්න පුලුවන් එකම විදිය කඩ්ඩෙන් තමයි. අපරාදෙ කියන්නෙ අපේ උන්ට වගේම උන්ටත් කඩු හරඹ බෑ. ඉතින් කතා කරන්න ගියාම ලොවෙත් නැති කට්ටක් කනව. ඒ නිසාම මුල් දවස් වල අපේ උන් දෙමළ සෙට් එකත් එක්ක වැඩි කතාවක් නෑ. හැබැයි ඉතින් අමාරුවෙන් හරි කතා කරන වෙලාවට අහන් ඉන්න ආසයි. මට මතක ලස්සනම වැඩේ තමයි අපේ එකෙක් දෙමළ එකෙක්ගෙන් කෑවද කියල අහපු එක.


"Did you eat?"

"Yes I ate."

ඕකනෙ ඉතින් ඉංග්‍රීසි භාශාවෙන් කෑවද කියල අහන සරලම ක්‍රමේ සහ ඒකට දෙන සරලම උත්තරේ. ඒ වුනාට අපේ උන් ඔයිටත් වැඩිය සරල ක්‍රමයක් තමයි පාවිච්චි කලේ.

ප්‍රශ්නය:  "Eat?"

උත්තරය:  "Eat."

ප්‍රශ්නෙ අහන එකා ප්‍රශ්නයක් අහන ටෝන් එකෙන් Eat කියල අහනව. උත්තරේ දෙන එකා උත්තරයක් දෙන ටෝන් එකෙන් ඔලුව වනල Eat කියල කියනව. මට ඔය දෙබස දෙතුන් පාරක්ම ඇහිල තියනව. දැන් ඔන්න හිතන්න එපා අපෙ උන් අඩු ගානෙ eat කියන එකේ අතීත කාල පදය ate කියන එකවත් දන්නෙ නෑ කියල. එහෙම නෙමෙයි, භාවිතයක් නැති නිසා අඩුම ගානෙ ඒක වත් ඒ වෙලාවට එන්නෙ නෑ.


ට්‍රේනින් කාලෙත් පොඩි සිද්දියක් වුනා. මම අර කලින් කතාවෙ කියපු කෙල්ලටම තමයි මේක වුනෙත්. අපි දෙන්න බිල්ඩින් එකක ඩ්‍රෝවින් එකක වැඩක් කර කර ඉන්නකොට අර කෙල්ල මගෙන් ඇහුව "කසුන්, සෙකන්ඩ් ෆ්ලෝ එකේ ජනෙල්ස් කීයක් තියෙද?" කියල. කරුමෙ කියන්නෙ මට ඕක ඒ වෙලාවෙ මීටර් වුනේ නෑ නෙ. නැත්තන් ඒක ඇති සති ගානකට. පස්සෙ වෙලාවක ඒකිමයි හිනා වෙවී කිව්වෙ.

තව ලස්සනම කතාවක් තියනව අපෙ කලින් හිටපු රෙපෙක් ගැන. ඒක නම් හදපු කතාවක්. ඌට පස්සෙ හිටපු රෙපා තමයි කතාව හැදුවෙ. ඔය කලින් කියපු රෙපා ටිකක් දුශ්කර ගමක ඉන්නෙ. ඇත්තටම උගේ කඩ්ඩ නම් බිංදුවයි. ලෙක්චර්ස්ල නෙමෙයි, VC ඇවිත් කඩ්ඩෙන් කතා කලත් ඌ අමු සිංහලෙන්ම තමයි උත්තර දෙන්නෙ. ඒක නිසා තමයි ඌට ඔය කතාව හැදුනෙ. කතාව හදපු එකා මෙහෙමයි කිව්වෙ. මූව රෙපාට දාපු අලුත මැඩම් කෙනෙක් ඇවිත් ඇහුවලු "Who is the rep?" කියල. අරූ කිව්වලු "I is the rep" කියල. ඊට පස්සෙ මැඩම් කිව්වලු, "Ah, you are the rep?" කියල. ඊලඟට මූ කිව්වලු "Yes, I are the rep" කියල.

කාලයක් අපි බෝඩිමේ කඩ්ඩෙන් කතා කරන්න පුරුදු වෙලා හිටිය. මොකක් වුනත් කඩ්ඩෙන් තමයි කියන්න ඕන. ඇත්තටම ඒක හොඳ ප්‍රැක්ටිස් එකක්. වැරදුනාට හිනා වෙන්න කවුරුවත් නෑ, අපේ එවුන් නෙ ඉන්නෙ. ඒ කාලෙ හෙන බැරෑරුම් මාතෘකා ගැන කතා යනව කඩ්ඩෙන්. හැබැයි ඉතින් ව්‍යාකරණ කියල නාමයක් නෑ. අලුත් ව්‍යාකරණ නීති සෑහෙන්න හැදුන ඒ කාලෙ. ඒ ලඟම බෝඩිමක අපේ අක්ක කෙනෙක් හිටිය. ඒකෙ හිටපු අනිත් කෙල්ලො ඒ අක්කට කියල තිබුන මල්ලිලගෙ ඉංග්‍රීසි හොඳයි, ග්‍රැමර් තමයි අවුල කියල. අපේ එකෙක් හිටිය උගේ කඩ්ඩ තමයි අපි අහන්න ආසම. ඌ කවදාවත් කතා කරනකොට හිර වෙන්නෙ නෑ. අතට අහුවේන ටෙන්ස් එකකින් කටට එන වචනයක් දාල වාක්‍යය සම්පූර්ණ කරනව. දවසක් මූ කැම්පස් එකේදි වතුර ඕන වෙලා කිව්ව, "Can I give a piece of water?" කියල. මිනිහ ඔහොම ලස්සන කතා ගොඩක් කියල තියනව. මට දැන් මතක් වෙන්නෙ නෑ නෙ.



අන්තිමටම කියන්න තියෙන්නෙ අපේ ගමේ එකෙක් කරපු වැඩක්. මේක නම් කඩ්ඩ සම්බන්දම දෙයක් නෙමෙයි. මිනිහ දවසක් මට ෆේස්බුක් එකේ කෙල්ලෙක් ගැන කිව්ව. මමත් ඉතින් අනේ නම අහගෙන ඒ කෙල්ලව ඇඩ් කරගත්ත. දන්නෙ නැද්ද ඉතින් යාලුකමටනෙ. ඒ කෙල්ල ඉන්දියාවෙ කෙල්ලෙක්. එයාර්ලයින් එකක වැඩ කරන්නෙ, එයාර් හොස්ටස් කෙනෙක්. දවසක් මම ඒකිගෙ ෆොටෝ බැලුව. ඒකෙ එක ෆොටෝ එකක් තියනව මොකක් හරි උත්සවයක හරි මීටින් එකක හරි. ඒකෙ එයාර් හොස්ටස්ල ගොඩක් වාඩි වෙලා ඉන්නව. ඒකෙ ඉංග්‍රීසියෙනුයි, ඉංග්‍රීසි අකුරු වලින් හින්දියෙනුයි දාපු කමෙන්ට් ගොඩක් තිබුන. ඒකෙ යටින්ම අපේ එකා ඉංග්‍රීසි අකුරු වලින් සිංහලෙන් ලියල තිබුන "කෝ මේකෙ ඔයාව අඳුර ගන්න බෑ නෙ" කියල . (ko meke oyawa adura ganna baa ne)

...................................................................................................................................................................
ප.ලි. උඩ තියන පින්තූර ලැබුන තැන් නම් මතක නෑ. ඊයෙ හවස ලියන්න පටන් ගත්තට ලියන්න වුනේ නෑ. දැන් තමයි ඉවර කලේ. අර සිංදුව ඒ වෙලාවෙ ඉඳන් මේ වෙනකොට දහ පාරකට වඩා ඇහුව. හිතට ගොඩක්ම දැනෙන, ලස්සන, සංවේදී සිංදුවක්. ඒක අහපු නැති කෙනෙක් නම් නැතුව ඇති. ඒ වුනාට කරුමෙට හරි අහල නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න සින්දුව.






Friday, July 22, 2011

මම ඔයා හිතන විදියෙ කෙනෙක් නෙමෙයි කසුන්

ඔන්න කැම්පස් පටන් ගන්නවලු. මෙච්චර දවස් බැන බැන හිටියට දැන් නම් යන්න කම්මැලියි වගේ. තව ටිකක් ස්ට්‍රයික් එක තිබුන නම් හොඳයි කියල හිතෙනව. මේ සෙමෙස්ටර් එකේ නම් කොට්ටෙකුත් අරගෙනම තමයි ලෙක්චර්ස් යන්න වෙන්නෙ. ඇයි දෙයියනේ මෙච්චර දවස් ගෙදර ඉඳල කොහොමද ලෙක්චර්ස් වල ගිහින් ඉන්නෙ? අදත් මොකක් හරි කොටන්න කියල මේ ලේස්ති වුනේ. පහුගිය දවස් ටිකේම බැරෑරුම් මාතෘකා ගැන නෙ කතා කලේ. මට හිතුන මගේ ජීවිතේ මම මූන දීපු අත්දැකීම් ගැනත් අනිත් අයත් එක්ක බෙදාගන්න පුලුවන් නම් හොඳයි කියල. අත්දැකීම් කිව්වට ඉතින් චාටර් සිද්ධි තමයි තියෙන්නෙ. අද මේ කොටන්න යන්නෙ මම ට්‍රේනින් කාලෙ වුන සිද්ධියක්.

මම ට්‍රේනින් හිටියෙ විශාල පරිමාණයේ ආයතනයක. ඒකෙ අංශ ගනනාවක්ම තියනව. අපේ බැච් එකේ හතර දෙනෙක්ම ඒකෙ ට්‍රේනින් හිටිය. කොල්ලො දෙන්නයි, කෙල්ලො දෙන්නයි. මම හිටපු අංශයේ මාත් එක්ක අනිත් හිටියෙ කෙල්ලෙක්. ඒකි තමයි කතා නායිකාව. අපි කියමු එයාට නිශාදි කියල. අපි ඉතින් ලන්ච් ටයිම් එකට හතර දෙනාම සෙට් වෙලා තමයි කෑම කන්නෙ. ඉතින් කනකල් මායි අනිත් කොල්ලයි කරන්නෙ අරුන් දෙන්නව බයිට් කරන එක. උන් දෙන්නත් කිසි අවුලක් නෑ. උන් දෙන්නගෙත් හොඳ කටවල් දෙක, උන් දෙන්නත් අතාරින්නෙ නෑ. කොහොම හරි අපි මාරම ෆන් එකේ හිටියෙ. ඒ මගේ සෙක්ශන් එකේ හිටපු කෙල්ල එක්ක ඊට කලින් මම වචන දහයකට වැඩිය කතා කරල නෑ මම හිතන්නෙ. ආපු දවස්වල කාගෙත් නම් ගම් විස්තර අහගන්නවනෙ සින්නො ඇහුවම කියන්න. එහෙම කතා කලාට පස්සෙම මම කතා කරල නෑ ඒ කෙල්ල එක්ක. ඒ වුනාට ට්‍රේනින් ගියාට පස්සෙ ඒකටත් එක්ක හරියන්නම කතා කලා. ඔෆිස් එකේ වැඩ නැති වෙලාවට (වැඩියම තිබුනෙ එහෙම වෙලාවල් තමයි.) අපි දෙන්නගෙ වැඩේ මොකක් හරි බයිලයක් කියව කියව හිනා වෙන එක. (පසු කාලීනව 'ටක් ටුක් ටික්', 'කොටු කැපීම' වගේ ළමා ක්‍රීඩාත් ඒකට එකතු වුනා.) ඒ සෙක්ශන් එකේ තුන්වෙනියට ඉන්න සර් ඉන්නෙ අපේ ලඟම අපේ පැත්ත බලාගෙන. පස්සෙ ඒ මනුස්සයවත් ගානක් නැතුව ගියා. ඒ කෙල්ල අනිත් කෙල්ලො වගේ පොඩ්ඩ ඇත්තන් බුම්මගන්නෙ නෑ. විහිලු හොඳට තේරෙනව. ඒක නිසා මාත් කටට එන ඕන දෙයක් කියන්න පුරුදු වෙලා හිටියෙ.  

හරි දැන් සිද්ධියට එමුකො. ඒකෙ හිටීගමන් එක එක දේශන තියනව. එක එක මාතෘකා ගැන. ටෙක්නිකල්, මැනේජ්මන්ට්, පොසිටිව් තින්කින් වගේ දේවල්. එක ඔය කියන දවසෙ තිබුනෙ පොසිටිවි තින්කින් ගැන දේශනයක්. අපේ ට්‍රෙනීස්ලට කියල තිබුනෙ ඕන දේශනයකට කැමති නම් යන්න කියල. ඉතින් එදා එකටත් අපි හැමෝම ගියා. එදා දේශනේ ගොඩක් ඉන්ටරෙස්ටින්. ඒක කරපු සර්නුත් ගොඩක් ආස හිතෙන විදියට කියල දුන්න. මම එතන තිබුන දේශන වලින් නිදා ගන්නෙ නැතුව ඔක්කොම අහගෙන හිටපු එකම දේශනේ ඒක. ඔහොම යනකොට ටික වෙලාවකින් මෙන්න මේ පහලින් තියන ෆොටෝ එක තියන ස්ලයිඩ් එකක් දැම්ම. 

(ගූගල් ඉමේජ් වලට පින්සිද්ද වෙන්න 'cat in front of mirror' කියල ගහපු ගමන් මේක හොයා ගන්න පුලුවන් වුනා.)

දාල කිව්ව "අපි ඇත්තටම කවුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නෙ, අපි ගැන අපි හිතාගෙන ඉන්න විදියයි වැදගත් වෙන්නෙ" කියල. ඒ කියන්නෙ සරළව කිව්වොත්, අපි අපේ ගැන ඉහලින් හිතන ඉන්න තරමට අපිට වැඩි වැඩියෙන් ඉහලට යන්න පුලුවන් කියන එකනෙ. මම අර කෙල්ලට ඔයිට කලින් විහිලු කර කර හිටියෙ ඒකි තමන්ගෙ ගැන හෙන ලොකුවෙන් හිතාගෙන ඉන්නෙ කියල. ඔන්න ඉතින් ඒ වෙලාවෙ මගේ කට කහන්න ගත්ත. අපේ සෙට් එකේ මම හිටියෙ කොනේම. මගේ ගාව අනිත් කොල්ල, ඊලඟට මගේ සෙක්ශන් එකේ කෙල්ල, ඊටත් එහා අනිත් කෙල්ල. මම ඉතින් ඉස්සරහට නැමිල අරකි දිහා බැලුව. ඒකිත් මම කියපුව මතක් වෙලාද කොහෙද මගේ පැත්ත බලාගෙන හිටියෙ. මම කිව්ව, "ඔන්න, උඹ වගේ ඩයල් එකක්. උඹත් ඔය වගේ හෙන ලොකුවෙන් නෙ හිතාගෙන ඉන්නෙ" කියල. ඒකි මට ඔරවල ඉස්සරහ බලාගත්ත. ඔහොම ඉඳල ඊට පස්සෙ දවසෙ කන වෙලාවෙ මම ආයෙත් ඔය කතාව ඇදල ගත්ත. ඒ වෙලාවෙ නම් ඒකි හොඳටම බයිට් වුනා. එදා හවස හොඳටම වැඩ සෙට් වුනා. ඔලුව උස්සගන්න බැරි තරමට වැඩ වැටුන. වැඩ කර කර ඉන්න ගමන් ඒකි එක පාරට කිව්ව මට දෙයක් කියන්න තියනව කියල. ඊට පස්සෙ එක්කො ඕන නෑ කියල නිකන් හිටිය. වැඩ හිර වෙලා තිබුන නිසා මමත් ආයෙ අහන්න ගියේ නෑ. ඊට පස්සෙ දවසෙ එච්චර වැඩ තිබුනෙ නෑ. දැන් මේකි ටිකක් අවුල් වගේ. මාත් එක්ක වැඩිය කතා කරන්නෙත් නෑ, හිනා වෙන්නෙත් නෑ. මට අවුලක් තියනව කියල මීටර් වුනා, ඒත් මම අහන්න ගියේ නෑ. හවස ආයෙත් මේකි කිව්ව "මට ඔයාට දෙයක් කියන්න තියනව" කියල. මම කිව්ව කියන්න කියල. ඊට පස්සෙ ආයෙත් නොකිය ඉන්න හැදුව. මම කිව්ව " නෑ නෑ කියන්න ගිය දේ කියන්න" කියල.   
 
"මම ඔයා හිතාගෙන ඉන්න විදියෙ කෙනෙක් නෙමෙයි කසුන්."

මට දැන් විකාරයි මොනවද මෙයා කියන්නෙ කියල.

"මම කවදාවත් මගේ ගැන ලොකුවට හිතාගෙන හිටියෙ නෑ." එහෙම කියනකොටම මේකිට ඇඬුන. මට එතකොට තමයි සීන් එක මීටර් වුනේ. මම දැන් කරකවල ඇතෑරිය වගේ. 

"මම මගේ තරම හොඳට දන්නව. මම ඊට වැඩියෙන් මගේ ගැන හිතගෙන ඉන්නෙ නෑ. මට එහෙම ඕනත් නෑ." 

දැන් මේකි කියව කියව අඬනව. මට කරගන්න දෙයක් හිතාගන්න බැරුව මම බලාගෙන ඉන්නව. මහ පාරක වගේ වුනානම් වාහනයකටවත් පනින්න තිබුන. දැන් මට හොඳටම අප්සට්. ඊටත් වැඩිය අනිත් අයට ඇහුනොත් අපි දෙන්නටම හරි නෑ නෙ. කම්පියුටර් ඇසිස්ටන්ට් අක්ක ඉන්නෙත් අපි ඉන්න තැනට චුට්ටක් එහායින්. ඒ අක්කට මේකි අඬන සද්දෙ ඇහිල. එයා ඉන්නෙ අපිට පිටුපාල. දැන් එයාත් හැරි හැරී බලනව. මේකි තවත් ලේන්සුවෙන් මූන වහගෙන අඬනව. ඔයිට වැඩිය හොඳයි පැත්තකට එක්කගෙන ගිහින් මට ගැහුව නම්.


මම කිව්ව "අයියෝ, මම ඒක විහිලුවට කිව්වෙ. හරි හරි දැන් ඒක ඉවරයි" කියල. වැඩිය මොනවත් කියන්න ගියේ නෑ, අඬන වෙලාවට හිත හදන්න ගියාම තවත් ඇඬෙනව නෙ, ඒක නිසා. කොහොමහරි ශේප් එකේ ඇඬිල්ල නැවතුනා. අම්මෝ එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. අර අක්කට විතරයි වැඩේ මාට්ටු. අර අපි දෙන්න ලඟම ඉන්න සර් වෙලාවට ඒ වෙලාවෙ හිටියෙ නෑ. ඒ මනුස්සය ඒ වෙලාවෙ හිටිය නම් මම ආයෙත් එතන ට්‍රේනින් යන්නෙ නෑ.

කොහොමහරි මට වුන දේ ගැන ගොඩක් දුක හිතුන. කවදාවත් විහිලු කලාට තරහ යන්නෙවත් නැති කෙල්ලට ඇඬුන කියන්නෙ ගොඩක්ම හිත රිදිල වෙන්න ඕන නෙ. ඒකයි මට ගොඩක්ම අප්සට්. ප්‍රයිමරියෙන් අයින් වුනාට පස්සෙ මම විහිලු කරල කෙල්ලෙක් ඇඬුවමද කොහෙද. මම සාමන්‍යයෙන් කවුරුහරි අප්සට් වේගෙන වගේ එනව නම් ටක් ගාල විහිලු කරන එක නවත්තනව. ඒත් මෙයා එහෙම අවුල් යන්නෙ නැති නිසා මෙයට මම ඕන තරම් විහිලු කරනව. මට හිතාගන්න බැරි ඇයි මේ කතාවට විතරක් එච්චර අවුල් ගියේ කියල.  

අපි දෙන්නම එකම මේසෙ දෙපැත්තෙ මූනට මූන බලාගෙන ඉන්නෙ. කොහොමහරි ඊට පස්සෙ දවස් ගානක් යනකල් මම ඒකි දිහා ඔලුව උස්සල බැලුවෙවත් නෑ. බලන්න පුලුවන් කමක් තිබුනෙ නෑ ඇත්තටම. ඒකිත් ඊට පස්සෙ වැඩිය කතා නෑ. ඔෆීශියල් වැඩ වලට විතරයි ඊට පස්සෙ කතා කලේ. කන්න ගියාම උනත් අනිත් කෙල්ලට විහිලු කලොත් මිසක් මේකි ගැන වචනයක් වත් කිව්වෙ නෑ. ඒ දවස් ටිකේ ඔෆිස් එකේ ඉන්න එක නම් මාරම බෝරින් වෙලා තිබුනෙ. හැබැයි ඉතින් වැඩි දවසක් ඔහොම හිටියෙ නෑ. අපි දෙන්නටම කට පියාගෙන ඉන්න හරි අමාරුයි. ආයෙත් ටික ටික කතා කරන්න ගත්ත. ඊට පස්සෙ දවස් දෙක තුනකින් සාමාන්‍ය තත්ත්වෙට ආව. ඊට පස්සෙ මම ඇහුව "එච්චර සීරියස් ගන්න තරම් මොකක්ද වුනේ? මම විහිලුවක්නෙ කලේ" කියල. ඒකි කියනව "ඔයා විහිලුවට නෙමෙයි ඒක නම් ඇත්තටමයි කිව්වෙ" කියල. මම කිව්ව එහෙම එකක් නෑ ඒක විහිලුවක් විතරයි කියල. ඒකි කියනව "ඔයා මට ඕන තරම් විහිලු කරල තියනව, ඒ කිසි දෙයක් මට ප්‍රශ්නයක් නෑ. ඒත් මේක නම් මට හිතෙන්නෙම ඔයා ඇත්තටම කිව්ව කියල. මම කවදාවත් මගේ ගැන ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට ගොඩක් දුක හිතුන" කියල. කොහොමහරි එහෙම දෙයක් නෑ කියල දහ අතේ දිවුරල යන්තන් ශේප් කරගත්ත.  පස්සෙ ඒකි ආයෙත් කිව්ව, "වෙනද නම් ඔයා විහිලු කරනකොට හිනා වෙවී නෙ කරන්නෙ, ඒත් එදා නම් මුනේ පොඩ්ඩක්වත් හිනාවක් තිබුනෙ නෑ, මහ සීරියස් මූඩ් එකක් තිබුනෙ. ඒකයි මම හිතුවෙ ඔයා ඇත්තටම කිව්වෙ කියල". හලේ මම ඇත්තටම එහෙම දෙයක් නම් හිතල කලේ නෑ. මම වෙනද වගේම ඉතින් ජෝක් එකටම තමයි කිව්වෙ. කොහොමහරි ඉතින් ඒ වැඩේ ශේප් වුනා.

ඊට පස්සෙ වැරදිලාවත් ඒ විහිලුව නම් ආයෙත් කලේ නෑ. හැබැයි පස්සෙ ඔය අඬපු සීන් එක මතක් කරලත් බයිට් කරන්න ගත්ත. අනිත් දෙන්නට නම් ඒ කතාව කිව්වෙ නෑ. ඒක මගේ පාවිච්චියට විතරක් තියා ගත්ත.  ඊලඟට සමහර වෙලාවට මම මොකක් හරි චාටර් කතාවක් කියල එහෙමම අනිත් පැත්තට ගොන් හිනාවක් දාල කියනව "ඔන්න හිනා වෙවී කිව්වෙ, සීරියස් ගන්න බෑ" කියල. මම කියල තිබුනෙ ඇත්තට කියන්න දෙයක් තියනව නම් කියන්නම්, විහිලු සීරියස් ගන්න බෑ කියල. කොහොම වුනත් වෙනදට වඩා පරෙස්සමින් තමයි ඊට පස්සෙ විහිලු කලේ.  ඊට පස්සෙ ඒ වගේ ප්‍රශ්න වුනේ නෑ. දෙන්න රන්ඩු වෙලා මල පැනල හිටපු වෙලාවල් නම් තිබුන.   

Wednesday, July 20, 2011

ආදරය, විවාහය, දෙමව්පියන් හා වෙනත් ප්‍රශ්න

කලින් ලිපියෙන් මම කුල ප්‍රශ්නෙ ගැන කතා කලානෙ. ඒ ඇරුනම කසාදයක් කරගන්න ගියාම එන තවත් ප්‍රශ්න ගැන මගේ අදහස් කියන්නයි දැන් හදන්නෙ. කලින් ලිපිය කියවපු නැති කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් බලල එන්න. එතකොට වඩා පහසු වේවි.

මීට සම්බන්ධ මම දන්න තව සිද්ධියක් තියනව. අපෙ අම්ම ඉස්සර හිටියෙ අම්මලගෙ ඔෆිස් එකේ නිළ නිවාස වල. මම හිටියේ ආච්චි ලඟ. ඉස්කෝලෙ නිවාඩුව ආව ගමන්ම එහේ දුවගෙන යනව. අම්මගෙ ඔෆිස් එකේ හිටපු පරිපාළන නිළධාරී තුමා හරි හොඳ කෙනෙක්. මම එහේ ඉන්නකොට නිතරම ඒ ගෙදර යනව. ඒ අන්කලුයි, ඇන්ටියි මට හරි ආදරෙයි. ඒ ගෙදර අක්කල දෙන්නයි, අයියල දෙන්නයි හිටියෙ. අක්කල දෙන්න වැඩිමල්. ලොකු අක්ක මට ගොඩක්ම ආදරෙයි ඒ කාලෙ. ඒ අක්කට ජොබ් එකක් තිබුනෙ නැති නිසා අර අංකල් අක්කව ඒ ඔෆිස් එකේම ජොබ් එකකට දාගත්ත. අම්මලගෙ ඔෆිස් එක කෘෂි පර්යේෂණ ආයතනයක්. ඒකට මිනිස්සු පැල වර්ග ගන්න, ඇට වර්ග ගන්න, උපදෙස් ගන්න වගේ වැඩවලට නිතරම එනව. ඔහොම යනකොට අර අක්ක ඔය විදියට ඔෆිස් එකට එන කොල්ලෙක් එක්ක යාලු වෙලා. ඒ අයියට කුඹුරු ගොඩක් තියන කෙනෙක්. ගොවියෙක් කිව්වට අපේ හිතේ ඇඳෙන රූපෙ නෙමෙයි ඒ අයියගෙ තියෙන්නෙ. අපිට මතක් වෙන්නෙ අමුඩෙ ගහගෙන උදැල්ල කරේ තියාගෙන කුඹුරට පයින් යන කෙනෙක්නෙ. එයා එහෙම නෑ, එයා යන්නෙ තඩි බයික් එකක. එයා මිනිස්සු දාල කුඹුරු වැඩ කරවනව. ඒ අයියගෙ පරම්පරාව ගොවියෝ. ඒ අයිය ඒක මහන්සියෙන් බිස්නස් එකක් තරමටම දියුනු කරගෙන. කොහොම හරි අක්ක ඕක ගෙදරට කිව්වම ගෙදරින් තදින්ම විරුද්ධ වෙලා. දැන් එතන කුලේ ප්‍රශ්නෙකුත් නෑ, ඇයි ගොවි කුලේ නෙ. එතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ඇත්තටම ගොවියෙක් වීම. පුදුම ලෝකයක් තමයි මේක. ගොවි කුලේ වෙන්නත් ඕන, හැබැයි ගොවිතැන් කරන්න බෑ. ඒ අංකල් ලොකු පොඩි හැමෝම එක්ක හොඳට කතා බහ කරල පොළවෙ පය ගහල ඉන්න මනුස්සයෙක්. ඒත් ඒ වෙලාවෙ මොන විකාරයක් උනාද මන්ද. කොහොමහරි ගොවියෙක් නිසා අන්කලුයි ඇන්ටියි කැමති වුනේ නෑ. 

අක්ක දැඩි තීරණයක් අරගෙන තිබුන. දවසක් අක්ක ගෙදරින් පැනල ගියා. ගිහින් එහෙමම කසාද බැඳල අයියගෙ ගෙදරම නැවතුනා. ගෙදරින් ගිහින් දවස් දෙක තුනකට පස්සෙ අක්ක කසාද බැඳල කියලත් ආරංචි වුනා. අක්ක ඉන්න තැනත් හොයාගන්න පුලුවන් වුනා. ඒත් කවුරුවත් එහේ ගියේවත්, අක්කව එක්කගෙන එන්න හැදුවෙවත් නෑ. ගිය එකාට යන්න දෙන්න කියලයි අංකල් කිව්වෙ. ඒ පැත්තෙම තිබුනෙ ඒ ඔෆිස් එකේ වැඩ කරන අයගෙ නිළ නිවාස. හැමෝම ඉගෙන ගත්තු බුද්ධිමත් මිනිස්සු. ඒක නිසා කිසිම කෙනෙක් කිසිම වෙලාවක තැන තැන කතා හැදුවෙවත්, අපහාස කලේ වත් නෑ. ගමක වගේ ඔහොම වුනානම් ගෙදර උන් වහ බොනකල්ම කතා හදනවනෙ. කොහොම හරි හැමෝම කලේ ඒ මිනිස්සුන්ගෙ හිත හදන්න බලපු එක. හැමෝම කිව්වෙ, "ගොවිතැන් කලාට වරදක් නෑ නෙ, ඒක කොච්චර වැදගත් රස්සාවක්ද? අනිත් එක ඒ දරුවට හොඳට සල්ලි බාගෙ එහෙමත් තියන වැදගත් පවුලක ළමයෙක් නෙ" කියල. ඒ වුනාට ඒ අංකලුයි ඇන්ටියි නම් පුදුම දැඩි තීරණයක හිටියෙ. වී ගොවිතැන් කරන එක නිකන් ගන්ජ වවනව වගේ පහත් රස්සාවක් විදියට තමයි හැසිරුනේ. අපේ තාත්ත එහෙමත් ඒ පවුලට ගොඩක්ම හිතවත්. තාත්ත දවසක් බැනල තිබුන "ඔය විදියට ගොවියෙක්ව පිලිකුල් කරනව නම් ඔහෙල බත් කන එකත් නවත්තන්න" කියල. කොහොම හරි ඉතින් කාලයක් ගිහින්, හැමෝම ඔහොම කියල කියල, අක්ක නැති අඩුවත් දෙන්නට දරා ගන්න බැරි තැනට ආවම ජෝඩුවට ගෙදර ඇවිත් යන්න කියල අයියල දෙන්න අතේ පණිවිඩයක් යැව්ව.  

ඊට පස්සෙ හැම දෙයක්ම හොඳින් විසඳුනා. ඒ දෙන්න දැන් බොහොම සතුටින් ඉන්නව. බලන්නකො ඉතින් වැඩකට ඇති දේකටද විරුද්ධ වුනේ කියල. කුලෙත් අවුලක් නෑ, සල්ලිත් තියනව, වැදගත් පවුලක ළමයෙක්, ඒ අයියගෙත් කිසි අඩු පාඩුවක් නෑ; එකම අවුල ගොවිතැන් කරන එක. ඊලඟට අහන්න වෙන්නෙ ඉතින් ගොවිතැන් කරන එකේ මොකක්ද තියන අවුල කියල. දන්නෙ නෑ ඉතින් ඒ දෙන්නගෙන්ම තමයි අහන්න වෙන්නෙ. ඔය වගේ විකාර අදහස් කවදා නම් මිනිස්සුන්ගෙ ඔලු වලින් අයින් වේවිද?

ඊලඟට ඔය වගේ ආදරයකට විවාහයකට බාධා එන හේතු තමයි ආර්ථික පරතරය, සමාජ පරතරය වගේ දේවල්. ඒ දේවල් ගැන වුනත් එකපාරට බැලුවම හිතෙන්නෙ වැඩකට නැති දේවල් කියල. දෙන්න අතරෙ තද බැඳීමක්, හොඳ අවබෝධයක් තියනව නම් ඔය දේවල් විවාහ ජීවිතයකදි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ තමයි. හැබැයි ඒකෙත් එක්තරා සීමාවක් තියනව. හැමතිස්සේම එක හරි යන්නෙ නැති වෙන්න පුලුවන්. හිතන්නකො කොටිපතියෙක්ගෙ දුවෙක්ට බැඳල කටුමැටි ගේකට යන්න වුනා කියල. ඒ දෙන්නට ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන් වේවිද? ආදරය කියන එක කොච්චර තිබුනත්, ඒ කෙල්ල අවුරුදු 25ක් 30 විඳපු සැප සම්පත් නැති වුනාම කාලයත් එක්ක ප්‍රශ්න එන්න පුලුවන් නේද? මෙච්චර කල් අම්ම තාත්තගෙන ලැබුන දේවල් මිනිහගෙන් ලැබුනෙ නැති වුනාම ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් නේද? මොනව කිව්වත් අපි පෘටහ්ජන මිනිස්සුනේ. ඒ කෙල්ල අවුරුදු ගානක් පුරුදු වුන විදියක් තියනව නෙ. ආදරේ තිබුන කියල ඒව වෙනස් කරන්න අමාරුයි. ලුණුයි බතුයි කාල ඉමු කියල පටන් ගන්න අය, කාලයක් ගියාම තේකට සීනි මදි වුනාම මරා ගන්න හදනව. (ඔය ප්‍රශ්නෙ අනිත් පැත්ත වුනොත් නම් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ විදියක් නෑ. ඒත් ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න දෙමව්පියොත් ඉන්නව. ඒ ඉතින් ආයෙත් අර පුහු මහන්තත්තෙ තමයි.) ඒක නිසා ඒ වගේ දේකට යොමු වෙන්න කලින් හොඳට හිතන්න ඕන. ඇත්තටම මට මේ විදියට ඉන්න පුලුවන් වේවිද කියල බුද්ධියෙන් විමසල බලන්න ඕන. ඇත්තටම ඔය දේවල් හිතන්න ඕන සම්බන්දයක් ඇති කරගන්න කලින්. ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙ ඉතින් ඔහොම ප්‍රශ්නයක් තිබුන කියල දාල යන්න අමාරුයි නෙ. ඒත් ඉතින් අන්තිමට දෙමව්පියන්ගෙ අවසර ඉල්ලන්න ගියාම ලැබෙන්නෙ නෑ. ඒ මිනිස්සු කැමති වෙන්නෙ නෑ තමන් තියන හැම සම්පතක්ම දීල හදපු දරුව දුක් විඳිනව දකින්න. දැන දැන ඒ වගේ දේකට අවසර දෙන්න දෙමව්පියන්ට බෑ. ඒ වුනාට ඉතින් දරුවො ඉන්න තත්ත්වෙ උඩ ඒ ගොල්ලො ඒක තේරුම් ගන්නෙ නෑ. එතකොට ඉතින් ප්‍රශ්න තමයි.

සමාජ පරතරයත් ඔය වගේම ප්‍රශ්නයක් තමයි. සමාජ තත්ත්වය කියන එකෙන් මම අදහස් කලේ වලව් කාරයො, වංශවත් පවුල් කියන එක නෙමෙයි. අපි සමාජයේ ජීවත් වෙන විදිය කියන එකයි. මෙහෙම හිතන්නකො, හොඳට වැදගත් විදියට කාටවත් වැරද්දක් නැතුව, සමාජයේ ගෞරවය තියාගෙන ජීවත් වෙන පවුලක දුවෙක් රස්තියාදුකාරයෙකුට දෙන්න අම්මල තාත්තල කැමති වෙයිද? අනිත් පැත්තට එහෙම වැදගත් පවුලකට රස්තියාදුකාර කෙල්ලෙක්, රස්තියාදුකාරයෙක්ගෙ දුවෙක්, නංගි කෙනෙක් ගේනවට අම්මල තාත්තල කැමති වෙයිද? එහෙම දේකට විරුද්ධ වෙන එක සම්පූර්ණයෙන්ම සාධාරණයි. ඒ වගේ වුනාම අනිවාර්යෙන්ම ප්‍රශ්න ඇති වෙනව. ඒත් දරුවො ඕක තේරුම් ගන්නෙ නෑ. ඒ වගේ හේතුවක් නිසා මෙච්චර කල් ආදරේ කරපු කෙනා අතාරින්න දරුවො කැමති වෙන්නෙ නෑ. ඒක නිසා මම ආයෙත් කියන්නෙ, හොඳම දේ තමයි සම්බන්දයක් පටන් ගන්න කලින් ඔය හැම දෙයක්ම හිතල ගැලපෙන කෙනෙක් තෝරගන්න එක. තමන්ගෙ ආර්ථික මට්ටමට ගැලපෙන, සමාජ මට්ටමට ගැලපෙන, ගැලපෙන අදහස් තියන කෙනෙක්. එතනදි හදවතින් විතරක් නෙමෙයි, බුද්ධියෙනුත් කල්පනා කරල තීරණයක් ගන්න. එතකොට ඔය කසාදයක් කරගන්න ගියාම අම්මල තාත්තල එක්ක රන්ඩු කරන්න වෙන එක අඩු වෙයි. 

ඊලඟට තව දෙයක් කියන්න ඕන. මම අර කලින් කියපු කතාවෙ ඒ ඇන්ටියි අංකලුයි කරපු දේ සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ වුනාට ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒ අක්ක කරපු දේ හරි කියල. අක්ක කරපු වැඩෙත් සම්පූර්ණයෙන්ම වැරදියි. අම්මල තාත්තල හරි හෝ වැරදි හෝ, ඒ දෙන්නගෙ කැමැත්ත ආශිර්වාදය නැතුව කසාදයක් කරගන්නව කියන්නෙ කිසි සේත් අනුමත කරන්න බැරි වැඩක්. තමන්ගෙ දෙමව්පියන්ට එහෙම ගින්දරක් දෙන එක මහ පවක්. ඒ වගේ දෙයක් නම් හිතන්නවත් එපා. මගේ කලින් පෝස්ට් එකට ඇනෝ කෙනෙක් දාපු කමෙන්ට් එකක කෑල්ලක් මම මෙතන දාන්නම්. "අර අයිය නම් කොන්ද පණනැති ගොනෙක්...." ඒ කියන්නෙ ඇනෝ කියන විදියට තමන්ගෙ අම්මට පිටු පාන්න බැරි නිසා තමන්ගෙ ආදරය අමතක කරපු උගේ කොන්ද පණ නෑ. කොන්ද පණ තියනව කියන්නෙ තමන්ගෙ අම්මව ඇතෑරල කෙල්ලෙක්ව ගේන එකද? අවුරුදු 25ක් 30ක් තමන්ව උස මහත් කරල හදාගත්ත අම්මව තාත්තව අමතක කරල අවුරුදු දෙක තුනකට කලින් අඳුන ගත්ත කෙනෙක් එක්ක යන එකද කොන්ද පණ ඇති කම කියන්නෙ? ඒකට කියන්නෙ ගුණමකු කම, වෙන මොනවත් නෙමෙයි. මම ඒ අනෝ එක්ක කිසිම තරහකින් නෙමෙයි මේ කියන්නෙ. අපේ සමාජයේ ඔය අදහස ගොඩක් දුරට තියනව. මගේ කණටම ඇහිල තියනව ඔහොම කතා. ඒකයි මම ඒක මෙතන දැම්මෙ. ඒ වැරදි මතේ නම් ඉන්න එපා. කොන්ද පණ තියනව කියල දෙමව්පියන්ගෙ අකමැත්තෙන් කසාදයක් කරගන්නවත් පැණල යන්නවත් හදන්න එපා.  

කොහොමහරි අම්මල තාත්තලගෙ කැමැත්ත ගන්න බලන්න. ආදරෙන් තේරුම් කරල දෙන්න බලන්න. වද කරල කරල කොහොමහරි කැමති කරවගන්න. (නිදි විකාරෙන් ඉන්න වෙලාවක හරි කමක් නෑ. :P) බැරිම වුනොත් ඉතින් කරන්න දෙයක් නෑ, ඒ අය කියන දෙයක් කරන්න. මොන දේ වුනත් අම්මල තාත්තලට අපේ ජීවිත ගැන කියන්න බැරි තරම් ලොකු අයිතියක් තියනව. ඒ නිසා අන්තිම තීරණේ ඒ අයට ගන්න දෙන්න. එහෙමයි කියල අම්මල තාත්තල වැඩකට නැති කුල මල වගේ දේවල් නිසා දරුවන්ට තහන්චි දාන්න එපා. හැමතිස්සෙම දරුවන්ගෙ පැත්තෙන් හිතන්න. එහෙම හිතල දරුවන්ට හොඳම දේ දෙන්න. මොකද අම්මල තාත්තලගෙ ඒ තීරණෙන් එතනින් එහාට දරුවන්ගෙ ජීවිතේම තීරණය වෙනව. ඔන්න ඔහොමයි කසුන්ට හිතෙන්නෙ. කියවන අයගේ අදහසුත් දැන ගන්න පුලුවන් නම් මම කැමතියි.

Sunday, July 17, 2011

ආදරය, විවාහය, දෙමව්පියන් හා කුළය

අදත් කියන්න යන්නේ ආදරය හා විවාහය ගැන මම දරන අදහසක්. හැබැයි කලින් කතා කරපු මාතෘකාවට වඩා වෙනස් එකක්. එදා කිව්වෙ කසාදෙන් පස්සෙ වෙන දේවල් නෙ. අද කියන්න යන්නෙ කසාදයක් කරගන්න ගියාම එන ප්‍රශ්නයක් ගැන. මාතෘකාව දැක්කම තේරෙන්න ඇතිනෙ. කුළ ප්‍රශ්නෙ ගැන තමයි කියන්න යන්නෙ. මට ඔය ගැන ලියන්න හිතුනෙ මධුරංගය දාපු පෝස්ට් එකක් මතක් වෙලා. ආගම්, ජාති ප්‍රශ්නෙට වඩා ගොඩක් දරුණුවට බලපාන ප්‍රශ්නයක් තමයි ඔය කුළ ප්‍රශ්නෙ. ඇයි ඉතින් ආගම්, ජාති තියෙන්නෙ තුන හතරයි, ඒත් කුළ කීයක් නම් තියනවද? සිංහල අපිට 18ක්ම තියනව. මම දන්න විදියට මුස්ලිම් අයගෙත් ඔය වගේ කුළ බෙදීමක් තදින්ම තියනව. (මම වැරදි නම් කවුරු හරි මාව නිවැරදි කරන්න.) අනිත් ජන වර්ග ගැන නම් දන්නෙ නෑ. එතකොට කසාදෙකට ආගම හරි ජාතිය හරි හරස් වෙනවට වඩා වැඩි සම්භාවීතාවක් තියනව කුළය හරස් වෙන්න.

මම අපේ අයියගෙ කතාව කියලම පටන් ගන්නම්. ඒ කිව්වෙ ලොකු අම්මගෙ පුතා.  ලොකු අම්මලගෙ ගෙදර තියෙන්නෙ අපෙ ගෙදරට පාරෙන් එහා පැත්තෙ. (මම මේක මධුරංගගෙ පෝස්ට් එකෙත් කමෙන්ට් එකක් විදියට කෙටියෙන් දැම්ම.)  මිනිහ TTI එකේ ඩිප්ලෝමා එකක් කරන්න ගියා. ඒකෙ තුන් හතර පාරක්ම ට්‍රේනින් දානවනෙ. එක පාරක් වැටිල තිබුන වෝටර් බෝඩ් එකේ සයිට් එකකට. එතනදි මිනිහට කෙල්ලෙක් සෙට් වෙලා. කොහොම හරි ඒක ආදර සම්බන්ධයක් දක්වාම ගිහින්. ඉතින් දෙන්න ඔහොම ඉන්නකොට අපේ එකාට බැංකුවකට පැනගන්න චාන්ස් එකක් ආව. විභාග, සම්මුඛ පරීක්ෂණ හය හතකින් පස්සෙ මිනිහව තේරුණා. මිනිහ TTI එක අතෑරල බැංකුවට ගියා. ඔහොම මාස දෙක තුනක් ගෙවුන. අර අක්ක පළවෙනි පාර A/L කරල හිටියෙ. හොඳ රිසල්ට් එකක් තිබිල නෑ. ආයෙත් විභාගෙ කරන්න තරම් ගෙදරට වත්කමක් තිබිල නෑ. ඒක නිසා වෝටර් බෝඩ් එකේ පොඩි රස්සාවක් තමයි කර කර ඉඳල තියෙන්නෙ. ඒ පාර අපේ එකා කියල ආයෙත් විභගෙ කරන්න ඌ වියදම් කරන්නම් කියල. මිනිහට දැන් රස්සාවකුත් තියනව නෙ. ඊට පස්සෙ අක්ක ආයෙත් විභාගෙ කලා. රිසල්ට් එනකල් අපේ එකා ඌගෙ බැංකුවෙ පොඩි ටෙම්පරි ජොබ් එකකුත් සෙට් කරල දුන්න.  දෙවනි පාර සාමාන්‍යයෙන් හොඳ රිසල්ට් එකක් තිබුනලු. ඒ පාර මිනිහ කොහොම හරි අක්කව වෙන බැංකුවකට දාගත්ත. මේ ටික මාතෘකාවට අදාල නෑ, ඒත් පසුබිම විස්තර කරල ඉන්න එක හොඳයි නෙ.

ලොකු අම්මගෙ මහත්තය, ඒ කියන්නෙ අයියගෙ තාත්ත නැති වුනේ අයියල පොඩි කාලෙ. දැන් ඔතන ප්‍රශ්නෙ ඇති වුනේ ඒ අක්කගෙ කුළේ නිසා. ලොකු අම්මයි, අයියයි ගොවි කුලේ. ඒ අක්කගෙ කුලේ නම් මම දන්නෙ නෑ, හැබැයි ලොකු අම්මට ඒක මදිලු. ලොකු අම්ම ඕක දැනගත්ත වෙලාවෙම කෙලින්ම විරුද්ධ වුනා. අයිය දන්න හැම විදියටම ලොකු අම්මව කැමති කරගන්න හැදුව, ඒත් බැරි වුනා. අයිය අපෙ පවුලෙ අනිත් අයටත් ඔය ගැන කිව්ව. අනිත් අය හැමෝම වගේ අකමැත්තක් තිබුනෙ නෑ. දැන් කාලෙ ඔය වගේ දේවල් බලන එක තේරුමක් නෑ කියලයි කවුරුත් කිව්වෙ. ඒත් ලොකු අම්ම හිටපු දැඩි විරුද්ධවාදී ආකල්පය නිසා කවුරුවත් ඔය ගැන ලොකු අම්ම එක්ක වැඩිය කතා කරන්න ගියේ නෑ. මම අයියට කියල තිබුනෙ ඔය කුල මල හෙවිල්ල නම් මහ විකාර වැඩක්, මම නම් කොහොමවත් අනුමත කරන්නෙ නෑ කියල. අර ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව කියනවනේ, මිනිහ ලොකු අම්මට කියල මල්ලිත් මෙහෙම කිව්ව කියල. අනේ ලොකු අම්ම අපෙ අම්මත් එක්ක අසරණ මටත් බැනල තිබුන.

ඒ කාලෙ ඌට අවුරුදු 26ක් 27ක් විතර ඇති. රස්සාවක් කරල තනියම හම්බ කරගෙන ස්වාධීනව හිටිය වුනත් අපේ ලොකු අම්මගෙ තීරණේ වෙනස් කරන්න ඌට බැරි වුනා. ඒ තරමට ලොකු අම්ම දැඩි තීරණයක හිටියෙ. කොහොම හරි අන්තිමට අයියට ඒ සම්බන්ධෙ නවත්තන්න වුනා. අවුරුදු 4ක් ආදරේ කරල අන්තිමට කුලේ නිසා ඒ දෙන්නට වෙන් වෙන්න වුනා. අපේ ලොකු අම්ම ඉස්කෝලෙක උප විදුහල්පති කෙනෙක්. සමාජෙත් එක්ක කොච්චර ගැටුනත්, කොයිතරම් දැන උගත්කම් තිබුනත්, ගතානුගතික අදහස් ඔලුවෙ පුරවගෙන තමයි ඉන්නෙ. ඒ අක්කගෙ ගෙදරින් මේ සම්බන්ධෙ ගැන දන්නව. ඒ ගෙදර අය නම් කැමති වෙලා හිටියෙ. අයිය ඒ දවස් වල ඒ ගෙදරත් යනව. පස්සෙ බැරිම තැන අයිය ඒ ගෙදර අයට පැහැදිලි කරල දුන්න අම්ම කවදාවත් මේකට කැමති වෙන්නෙ නෑ කියල. ඒ ගෙදර අයත් ඒක තේරුම් ගත්ත. ඒ අය කියල තිබුන "අම්මගෙ අකමැත්තෙන් මේක කරන්න බෑ නෙ, කමක් නෑ පුතා මේ සම්බන්ධෙ නවත්තන්න" කියල. ඒත් ඒ අක්ක කොහොමවත් කැමති වුනේ නෑ ඒකට. එයා කිව්වෙ අයියව ඕනමයි කියල. ඒත් අයියට කරන්න දෙයක් තිබුනෙ නෑ. මට මතකයි දවසක් අයිය ෆෝන් එක ඕෆ් කරන් හිටිය අක්ක කෝල් කරන නිසා. ඒ පාර අක්ක ගෙදර ෆෝන් එකට කෝල් කලා. ඒ වෙලාවෙ අයිය අක්කට හොඳටම බැන්න. මාත් එතන හිටියෙ. මට ඒ වෙලාවෙ නම් හොඳටම අප්සට්. බැනල බැනල ෆෝන් එක තියල බොහොම අමාරුවෙන් ඌ කඳුලු තද කරගෙන හිටිය.

මට තාම මතකයි ලොකු අම්ම අන්තිම තීරණේ දීපු වෙලාවෙ, ඌ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන මාව හම්බවෙන්න ආපු හැටි. මිනිහ කෙලින්ම ආවෙ මාව හම්බ වෙන්න. ඌට මොනවත් කතා කරගන්න බැරි වුනා. මටත් මොනවත් අහන්න උවමනා වුනේ නෑ, උගේ ඇස් දෙකේ උත්තරේ තිබුන. ලොකු අම්ම කියල තිබුන ඒ කෙල්ලව ගෙනාවොත් ලොකු අම්ම වස බොනව කියල. මම ඒක දැනගත්තෙ පස්සෙ. එදා ඒ ගැන කතාව ඉවරෙටම ඉවර වුනා. ඒ අක්ක අන්තිමට එවපු මැසේජ් එක මගේ ලඟ මෑතක් වෙනකල්ම තිබුන. මොකක් හරි හේතුවක් නිසා ඌ ඒ වෙලාවෙ මගේ ෆෝන් එකට සිම් එක දාගත්ත. ඒ මැසේජ් එක කොච්චර ලොකුද කියනව නම් දෙපාරකට එවල තිබුනෙ. ඒකෙ අන්තිමට තිබුන "මට ජීවිතයක් දුන්නෙ ඔයා, මම කවදාවත් ඒක අමතක කරන්නෙ නෑ. ඒ හැම දේකටම ගොඩක් ස්තූතියි. මම කවදාවත් ඔයා එක්ක තරහ නෑ. ඔයා හැමදාම හොඳින් ඉන්න." කියල. (ගිය අවුරුද්දෙ ෆෝන් එකේ අවුලක් වෙලා රීසෙට් කලා, ඒ වෙලාවෙ තමයි ඕක නැති වුනේ.) ඇත්තටම අපේ අයිය නිසා ඒ අක්කට හොඳ ජීවිතයක් ලැබුන. දෙවනි පාර විභාගෙ කරවල බැංකුවක හොඳ රස්සාවකට දැම්මෙ අපේ එකා. ඒත් ඒ හැම දේටම වඩා ජීවිතේ ලස්සන කරන්න පුලුවන් ආදරේ අන්තිමට නොලැබී ගියා.

ඇයි මිනිස්සු මෙච්චරම මේ කුලේ කියන දේ ගැන හොයන්නෙ? ඕක ගැලපුනා කියල මොකක්ද ඇති වැඩේ? අවුරුදු 4ක ආදරයක් නැති කරල දන්න තරම් ඕක වටිනවද? අයියගෙ සතුටට වැඩිය ලොකු අම්මට කුලේ ලොකු වුනාද? අම්ම කෙනෙක්ගෙ ආදරය කියන්නෙ ඕකද? මේ ප්‍රශ්න වලට මට තාම උත්තර හොයගන්න බැරි වුනා. සමහර විට කවදාවත් හොයා ගන්න බැරි වේවි.

අපි ඉන්නෙ විසි එක්වෙනි සියවසේ. ඒත් තාමත් මේ වගේ කිසිම වැඩකට නැති දේවල් ගැන මිනිස්සු හොයන එක නම් බොහොම කණගාටුවට කරුණක්. බුද්ධිමත් කියල සැලකෙන මිනිස්සු පවා ඔය විකාර ගැන හිතනව. ඇයි දරුවෙක්ගෙ සතුට වෙනුවෙන් කුල ප්‍රශ්නයක් අමතක කරන්න බැරි? දෙමව්පියො දරුවො වෙනුවෙන් මොන තරම් කැප කිරීම් කරනවද? ඇයි මෙතනදි තමන්ගෙ මහන්තත්තෙ දරුව වෙනුවෙන් කැප කරන්න බැරි? ඇයි තමන්ගෙ දරුවන්ගෙ හැඟීම් ගැන මෙතනදි විතරක් අම්මල තාත්තල අමතක කරන්නෙ? දරුවන්ගෙ ජීවිතේට නරකක් වෙන පවුලක් එක්ක දරුව එකතු වෙන්න හදන එක නවත්තනව කියන්නෙ වෙනම කතාවක්. මොකක් හරි එහෙම හේතුවක් තියනව නම් ඒක කොහොම හරි නවත්තන්න ඕන. ඒක ගැන වෙනම කතා කරන්න ඕන. ඒත් අඩු කුලේක පවුලක් එක්ක එකතු වුනා කියල දරුවගෙ ජීවිතේට වෙන්න පුලුවන් හානියක් නරකක් ගැන නම් මට හිතා ගන්න බෑ. (ඇත්තටම එහෙම හානියක් වෙනව නම් කවුරු හරි මට ඒක කියල දෙන්න.) එකම හානිය වෙන්නෙ දෙමව්පියන්ගෙ පුහු මහන්තත්තෙට. මම නම් දකින එකම හේතුව ඒක විතරයි ඔය වගේ විරුද්ධ වීම් වලට. ඒ කියන්නෙ දෙමව්පියො තමන්ගෙ ගැන විතරක් හිතලමයි ඔය වගේ තීරණ ගන්නෙ. වෙන විදියකින් කියනව නම් දරුවො වෙනුවෙන් ජීවිතේ වුනත් දෙන්න පුලුවන් කියන දෙමව්පියො තමන්ගෙ තත්ත්වය ආරක්ෂා කරගන්න දරුවන්ගෙ සතුට, දරුවන්ගෙ ජීවිත විනාස කරනව. ළමයින්ගෙ සතුට වෙනුවෙන් ඔය දේ අමතක කරල දාන දෙමව්පියො ඕන තරම් ඉන්නව. මාත් එහෙම ගොඩක් අවස්ථා අහල තියනව.  ඒත් හැමෝම එහෙම නෑ නෙ. හැමෝම එහෙම වුනානම් කොච්චර හොඳද.

ඌ පවුලෙ වැඩිමල් කොල්ල. තව අක්කයි මල්ලියි තමයි පවුලෙ හිටියෙ. ලොකු අම්ම වැඩියෙන්ම ආදරේ කලේ ඔය අයියට. මිනිහට ඔලුවෙ කැක්කුමක් හැදුනත් ලොකු අම්ම පුදුම විදියට කරදර වෙනව. ඒත් ඔය ප්‍රශ්නෙදි මිනිහ සමහර වෙලාවට නොකා නොබී පවා හිටිය. ලොකු අම්ම ඒ කිසි දෙයක් ගනන් ගත්තෙ නෑ.  අර තිබුන ආදරේට මොනව වුනාද කියල හිතා ගන්න බෑ. අයියගෙ පැත්තෙන් පොඩ්ඩක්වත් හිතන්න උත්සහ කලේ නෑ. කොහොමහරි අන්තිමට ලොකු අම්මට ඕන දේ වුනා. කොල්ලෙක්ටත් ඔහොම නම් කෙල්ලො ගැන කුමන කතාද. හැබැයි ලොකු තාත්ත ජීවත් වෙලා හිටිය නම් සමහරවිට ඔහොම නොවෙන්න තිබුන.  ඔය කතාවෙ ලස්සනම කෑල්ලත් මම කියන්නම්. ලොකු අම්ම අයියගෙ හිත වෙනස් කරන්න ඉනාවක් පවා දීල තිබුන. එතකොට හිතාගන්නකො ඔය කුල ප්‍රශ්නෙ කියන එක ලොකු අම්මගෙ හිතේ කොච්චර තදින් කාවැදිල තියෙන්න ඇත්ද කියන එක. අපේ ලොකු අම්ම කියන්නෙ එක්කෙනෙක් විතරයි. තව ඔය වගේ මිනිස්සු සමාජයේ කොච්චර ඇද්ද? සංඝමිත්තා මෙහෙනින් වහන්සෙ දැනගෙන හිටිය නම් ඔය කුලය කියන එක ඔච්චර ප්‍රශ්නයක් වේවි කියල, කවදාවත් ලංකාවට දහාඅට ශ්‍රේණියේ මිනිස්සු අරගෙන එන එකක් නෑ.

අනිත් එක කොහොමද කියන්නකො යාලු වෙන්න කලින් කෙනෙක්ගෙ කුලේ දැන්ගන්නෙ? ආගම, ජාතිය නම් හොයාගන්න පුලුවන්. මුස්ලිම් නම් ලේසියෙන්ම අඳුනගන්න පුලුවන්. නැත්තන් වටපිටාවෙන් හොයල බැලුවම අමාරුවක් නැතුව හොයා ගන්න පුලුවන්. යකෝ ඉතින් කුලේ කියන එක එහෙම හොයන්නෙ කොහොමද? අපේ ලඟම යාලුවගෙවත් කුලේ අපි දන්නවද? නෑ නෙ. ඒක නිසා ඉතින් යාලුවෙන්න කලින් ඒක හොයාගන්න විදියක් ඇත්තෙම නෑ. කොහොමත් තමන්ගෙ කුලය වුනත් ගොඩක් අය දන්නෙ නෑ නෙ. ඒකත් ඉතින් අම්මල තාත්තලගෙන්ම අහල තමයි දැනගන්න වෙන්නෙ.

තමන්ගෙ අම්මල තාත්තල තදින්ම කුල මල හොයන විදියෙ අය කියල තමන්ට තේරෙනව නම් හොඳම දේ තමයි, තමන් කාට හරි ආදරේ කරන්න පටන් ගන්නව නම් කලින්ම ඒ විස්තර හොයල ගැලපෙන කෙනෙක් හොයාගන්න එක. අදාල කෙනාගෙන්ම අහල හරි කමක් නෑ. ජෝක් නෙමෙයි, සිරාවටමයි කියන්නෙ. සම්බන්ධකම් වැඩි දුර යන්න කලින් ඒව හොයල බලන එක ඇඟට ගුණයි. මොකද ඔය කුල මල බේද වලින් අන්ධ වුන මිනිස්සුන්ට වෙන කිසිදෙයක් පේන්නෙ නෑ. කොච්චර ගැලපීම් තිබුනත් ඒ නොගැලපීම අමතක කරන්න ඔය වගේ ගොඩක් දෙනෙක් සූදානම් නෑ. අන්තිමට අවුරුදු ගානක් ආදරේ කරල නවත්තල දාන්න වේවි, අපේ එකාට වුනා වගේ. ඊට වඩා හොඳයි අම්මල තාත්තල එහෙමයි කියල දන්නව නම් කලින්ම හොයල බලල ගැලපෙන්නෙ නැත්තන් දෙපැත්තට වෙන එක.

 
අවසාන වශයෙන් අම්මල තාත්තලගෙන් ඉල්ලන්න තියෙන්නෙ මේකයි. (බඳින වයසෙ ළමයි ඉන්න අම්මල තාත්තල නම් මේක කියවන එකක් නැති වෙයි. ඒත් හැමෝම කවද හරි ඒ තැනට එනවනෙ. ඒ නිසා මේ දේ හිතේ තියාගන්න.) ඔය කුල මළ වගේ වැඩකට නැති දේවල් නිසා දරුවෙක්ගෙ ආදරයක් නැති කරල දාන්න එපා. දරුවන්ගෙ පැත්තෙන් හිතන්න. තමන්ට කුලේ මහ ලොකු දෙයක් වුනාට දරුවන්ට වටින්නෙ තමන්ගෙ ආදරය. දරුවො වෙනුවෙන් හැම කැප කිරීමක්ම කරන්න පුලුවන් නම් බොරු මාන්නෙ, මහන්තත්තෙත් දරුවො වෙනුවෙන් කැප කරන්න. තමන්ගෙ දරුවට වඩා කුලේ ලොකු කරගන්න එපා. පොවපු කිරි වලට එච්චර ලොකු වන්දියක් ඉල්ලන්න එපා. ඒක මහ පව් වැඩක්.

ඔන්න ඔහොම තමයි කසුන්ට හිතෙන්නෙ. මේක කියවන අයගේ අදහසුත් දැනගන්න පුලුවන් නම් මම කැමතියි.

....................................................................................................................................................................

ප.ලි. කුල ප්‍රශ්නෙ ඇරුනම ඔය වගේ කතා කරන්න ඕන තව දේවල් තියනව. තව අපි දෙමව්පියන්ගෙ පැත්තෙන් හිතන්න ඕන දේවලුත් තියනව. මම ඒවත් ලියන්න හිටියෙ. ඒත් ඒවත් කියන්න ගියොත් දිග වැඩි වෙනව. ඒව ඊලඟ ලිපියෙන් කතා කරමු.

Saturday, July 9, 2011

තාත්තෙ මට අරවයින් එකක් අරන් දෙන්නකෝ

 
සති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදී මම අත්‍යාවශ්‍ය කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි. තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැලේ ඒ මේ අත සෙනග සැරි සරති. මා බඩු ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අතහැර ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම දෙනා මා හඳුනන බැවින් මම ඈ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූයෙමි.

මොහොතකින් බලනවිට පෙනෙන මානයක දියණිය සිටියේ නැත. මම තරමක කලබලයෙන් විපරම් කළෙමි. දුටු දසුනින් මම ඇවිලී ගියෙමි. ඇය වෙළඳසැල කොනේ වූ කුඩා බංකුව මත වාඩි වී මහා බර කල්පනාවකය. ඇයගේ දෙනෙත් තිබුණේ ඇගේ වයසේම තවත් දැරියක් ළඟය. මම මොහොතක් ඇය දෙස බලා උන්නෙමි. ඇය ඇගේ කුඩා මිරිවැඩි සඟල දෙස බැලුවාය. එහි තැන තැන මඩ තැවරී දුර්වර්ණ වී ගොස් තිබුණි. රුපියල් සීයකට මීට බොහෝ කලකට පෙර අරන් දුන් එය දැන් බොහෝ පැරණිය. පොහොසත් දැරිය උජාරුවෙන් ශබ්ද නගන ඇගේ පාවහන් යුවල එහා මෙහා කළාය. ක්‍රමයෙන් රතු පැහැ වන පුංචි මුහුණේ තරු කැටවන් දිළිසෙන නෙත් සඟලේ හැඟුම් තේරුම් ගන්නට මා අපොහොසත්ය. එක්කෝ ඒවා තේරුම් ගන්නට මා බියය. පුංචි සිඟිති දියණිය මේ මිනිසුන් අතර තනිවී සිටින්නා සේ මට පෙනේ.

ඇය මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඒ පුංචි දෙනෙත් මහමග යන පොඩි උන් ලඟ නතර වෙයි. වාහනවල ගැටෙයි. සතුටින් සිනහවන ළදරු සිනාවන් හා එක් වී සිනාසෙයි. දෙවියනි.. ඇය දන්නේ මොනවාද... ජීවිතයේ කටුක බව පපු කැනැත්තේ ඇතුළතින්ම විඳ දරා ගන්නා දුප්පත් මට ඇය වෙනුවෙන් ලොවක් තැනිය හැකිද..? ඒ පුංචි දෙනෙත් ළඟ මා කවරදාටත් වඩා දුප්පතෙකියි මට දැනේ.

අපට තිබුනේ සරල සුගම ළමා වියකි. ඒ කුරුම්බැට්ටි මැෂිමේ සුරතල් ළමා විය අද ලැප්ටොප් පරිගණකයක් දක්වා විකාශනය වී තිබේ. මා තවමත් සිතන්නේ මගේ දියණියට බෝරිච්චි අත් දැමූ ගවුමක් ඇති කියාය. රබර් සෙරෙප්පු දෙකක් ඇති කියාය. මට වඩා වාසනාවන්ත පියවරුන් තම දරුවන් උදෙසා වත්කම් සරි කරද්දී ඒ හා සැසඳෙන්නට මගේ හිඟන ජීවිතයට නොහැකි වූයේ ඇයි..? දියණියගේ මුව දකිද්දී මට අර මහා දුප්පත්කම අසරණකම දැනෙන්නේ ඇයි..?

"අපි යමු රත්තරං පැටියෝ.."

ඇය දැහැනින් මිදුණාය. ඒ ඇද ගත් සුසුම පුංචි ළය මඩලට බර වැඩි බව මම හොඳටම දනිමි. ඇය ඉපදීමට පෙර මා මීට වඩා ශක්තිමත්ව හිඳින්නට තිබිණ. එක්කෝ දුප්පත් මට දාව උපදින්නට තරම් අවාසනාවක් ඇගේ දෛවයේ නොතිබෙන්නට තිබිණ. ජීවිතයේ දුක අනෝරාවක්ව මගේ හිස මතට කඩා වැටෙද්දී අසරණ දෑතින් මා ඇගේ හිස වසාගන්නට තැත් කරන අසරණ තාත්තා කෙනෙකි. මේ අනෝරාවෙන් ඇයද පීඩා විඳින බව මම දනිමි. නමුදු කාටත් ජීවත් වන්නට අපහසු මේ නපුරු ආර්ථිකයෙන් මා කියා කුමක් කරන්නද... මේ කටුක යථාර්ථයට නිහඬව මුහුණ දෙන පියවරුන් අප අතර කොතෙක් නම් ඇත්ද..?

"තාත්තේ"

"ඇයි පැටියෝ?"

"මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ"

මම අලුතෙන් ඇවිළී ගියෙමි. ගෙන ආ රුපියල් පන්සියයෙන් ඉතිරිව තිබුණේ හරියටම රුපියල් හතලිහකි. ඇය කඩපලේදී දුටු මිරිවැඩි සඟලක්, බෝනික්කෙක් හෝ වෙනයමක් ඉල්ලුවොත්?

"මොනවද රත්තරං පැටියො..?"

"රටකජු ගොට්ටක්.." ඇගේ මුලු වතම සඳ වතක් සේ පිපී ඇත.

මහ මග නොබලා ඇයව බදාගෙන ලෝකයටම ඇසෙන සේ කෑ ගසා අඬන්නට මට සිතෙයි. අපටත් වඩා මේ කිරි කැටියා අපේ ජීවිත තේරුම් ගෙන ඇතිද..?

උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන. මතක තියාගන්න, මේ තාත්තා මැරෙන්න මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට සතුටින් ඉන්න ලෝකයක් හදල දෙනවා. මං දන්නව ඔය පුංචි පපුව ඇතුලෙ හිර කරගත්තු දුක එදාට මහවැලිය වගේ ගලනවා.

"ඔබහට ලෝකය ඉදිකර දී මිස මට යා නොහැකිය පුංචි පුතුන්" කියා මහගම සේකරයන් ලියා තැබුවේ දරුවන් ළඟ තාත්තලාට දැනෙන ඒ මහා අසරණකම සහ ආදරය නිසා විය යුතුය.

.................................................................................................................................................................. 
ප.ලි. මේක මට අද ආපු ඊ මේල් එකක තිබුනෙ. ලියපු කෙනෙක්ගෙ නමක් තිබුනෙ නෑ. මම හිතන්නෙ ඇත්ත කතාවක්. මේක පත්තරේක පළවුන ආර්ටිකල් එකක්. ඒ ආර්ටිකල් එක කපල ගහපු ෆොටෝ එකක් තමයි තිබුනෙ. මම අකුරත් වත් වෙනස් කරන්නෙ නැතුව එහෙමම ටයිප් කරල දැම්ම. මම දන්නෙ නෑ, මගෙ ඇස් දෙක නම් බොඳ වුනා මේක කියවල. ඒකයි දාන්න හිතුවෙ.  

දරුවන් වෙනුවෙන් ලෝකයක් තනන්නට වෙර දරන පියවරුන්ටත්, දෙමව්පියන්ගේ තත්ත්වය තේරුම් ගෙන ඇති පමණින් සැනසෙන දරුවන්ටත් උපහාරයක්ම වේවා.  

Friday, July 8, 2011

"මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී" ද?

දහම් පාසල් පොතේ කවියක් තියනව නේද, "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී, බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී" කියල? තනි කෙප්ප. ඕක කියපු කෙනා පොඩ්ඩක් හම්බවෙන්න ඕන. දෙකක් කියන්න, පොඩි එවුන්ට බොරු කියනවට. දුක සැප නෙමෙයි, උන්නද මලාද බලන්න එකෙක් නෑ. අනේ උන්ගෙ වැරද්දක් නෙමෙයි ඉතින්. හැමෝම රස්සාවලට ගිහින්, ඇත්තටම උන්ට වෙලාවක් නෑ.

ඉස්සර අපි කොච්චර නම් ෆන් එකේ හිටියද? O/L කාලෙ ඉඳල පුලුවන් හැම වෙලාවකම කට්ටිය අපේ ගෙදර සෙට් වුනා. කකුල් රිදෙනකල් බයිසිකල් වල එහෙ මෙහෙ ගියා. ඒ කාලෙ කොහොමත් තෙලේ වැඩිවෙන කාලෙනෙ. කොච්චර බයිසිකල් පැද්දත් ගානක් නෑ. බණ ගෙයක්, පිරිත් ගෙයක්, මලගෙයක් නම් අනිවා නයිට් එක ගහනව. අපේ ගෙදර එහෙමනම් දානෙ තිබුන දවසෙ රෑත් නයිට් එක ගහනව. සමහර වෙලාවට එහෙ මෙහෙ ගිහින් එද්දි පාන්දර තුන හතර වුන වෙලාවල් තිබුන. අපේ ගෙදරින් මගේ ගැන ලොකු විශ්වාසයක් තියල තිබුනෙ. ඒ නිසා ඒවට ප්‍රශ්නයක් වුනේ නෑ. අපෙ ගෙදරින් විතරක් නෙමෙයි අපෙ අනිත් උන්ගෙ ගෙවල් වලිනුත් මගේ ගැන ලොකු විශ්වාසයක් තිබුන. මම යනවනම් විතරයි රෑ ගමන් වලට ගොඩක් උන්ට අවසර ලැබුනෙ. ඒ වගේම අපි කවදාවත් ඒ විශ්වාසෙ කැඩුවෙ නෑ. කොහේ හරි ගිහිල්ල එන්න රෑ වුනොත් එදා රෑත් ඉතින් අපේ ගෙදර තමයි. අපේ අම්මයි තාත්තයි හැමදාම යාලුවො එක්කගෙන එනව කියල නම් කවදාවත් මට බැනල නෑ. මටත් වැඩිය හොඳට ඒ දෙන්න මගේ යාලුවන්ට සැලකුව. හැබැයි හැම අම්මෙක් තාත්තෙක්ම එහෙම නෑ.

මම A/L කරන කාලෙ බොඩිමකට ගියාට පස්සෙ කට්ටිය සෙට් වෙන එක ටිකක් අඩු වුනා. (වැඩි ඈතක නම් නෙමෙයි, ගෙදර ඉඳල 8km බෝඩිමට තිබුනෙ.) ඒත් මම ගෙදර ආව කියල ආරන්චි වුනොත් එදාට දෙතුන් දෙනෙක් හරි සෙට් වෙනව. ඔහොම ඉඳල වසන්තය උදාවෙන්නෙ A/L ඉවර වුනාම. මම ජීවිතේ වැඩියෙන්ම විනෝද වුනේ ඒ කාලෙ වෙන්න ඇති. අපේ සෙට් එකේ 9ක් හිටිය. එතන අපේ අයියගෙ (ලොකු අම්මගෙ පුතා) යාලුවෙකුයි, අපේ යලුවෙක්ගෙ අයිය කෙනෙකුයි (නැන්දගෙ පුතා) ත් හිටිය. ඒ දවස් වල ඉතින් හැමදාම හවසට අපේ ගෙදර 7ක් 8ක් සෙට් වෙනව. ඒ කාලෙම කලේ කාඩ් ගහපු එක. අටක් ඉන්න දවසට ටීම් හතරක් බෙදිල ලීග් ක්‍රමයට ඕම්බි ගහනව. 7යි නම් පෝටර් ගහනව. 6ක් වුනොත් ටීම් තුනක් බෙදිල ඕම්බි ගහනව, නැත්තන් පෝටර් ගහනව. උන්ට හැමදාම තේ දෙන්නම බර වියදමක් ගියා. ඒ කාලෙ සති දෙක තුනකට සැරයක් ඕම්බි නයිට් එකක් ප්‍රකාශයට පත් කරනව. එදාට එලි වෙනකල්ම ඉතින් කාඩ් ගැහිල්ල තමයි.

බ්ලොග් ලියන සමහර අය දන්නව ඇති මහිම කියල ඩයල් එකක්. පරණම බ්ලොග් පාඨකයෙක්. මිනිහ බ්ලොග් ලියන්නෙ නම් නෑ. මිනිහ තමයි මටත් බ්ලොග් එකක් හදන්න අදහස දුන්නෙ. ඔන්න ඕකත් අපේ සෙට් එකේ එකෙක් තමයි. අයියෝ ඒ යෝධය ගියෙත් මම ගියපු ප්‍රයිමරියටමයි, ලොකු ඉස්කෝලෙට ගියාම ඒකෙත් හිටිය, මම ගියපු ස්කූල් වෑන් එකේමයි ගියෙත්, මම O/L ගියපු පන්ති වලත් හිටිය, බස් එකේ ඉස්කෝලෙ යන කාලෙත් ගියේ මාත් එක්ක, අන්තිමට A/L කරන කාලෙ මම හිටපු බෝඩිමේමයි හිටියෙත්. දැන් නම් පොර දකින්නෙත් බොහොම කලාතුරකින්. ජොබ් එකක් කරනවනෙ. කොහොමත් දැන් මිනිහ ඉන්නෙත් වෙන සෙට් එකක් එක්ක.

කොහොම හරි ඒ කාලෙ පුදුම විදියට කාඩ් ගැහුවෙ. තඩි මල්ලක් පුරවල තියනව පරණ කාඩ් පැක්. කාඩ් ගහනකොට ලකුණු දැම්මෙ එක්සෙල් ශීට් වල. එතකොට කොල වල ලියල එකතු කර කර ඉන්න ඕන නෑ නෙ. මම කැම්පස් ගියාට පස්සෙ හැමදාම සෙට් වෙන එක නැවතුනා. ඒත් මම හැම සති අන්තයකම ගෙදර දුවගෙන ආව. ඊට පස්සෙ සති අන්තෙ කාඩ් ගහන්න පටන් ගත්ත. කට්ටියම සෙට් වෙලා ඉන්නෙ සති අන්තෙ මම ආවම කාඩ් ගහන්න. ඒ කාලෙ සති අන්තෙ එනකල් හරි අමාරුවෙන් මම ඉන්නෙ. ලෙක්චර්ස් ඉවර වුන ගමන් එහෙමම බස් එකේ නගිනව. මම first year එකේදි සති දෙකක් හරි තුනක් හරි තමයි ගෙදර නෑවිත් ඉඳල තියෙන්නෙ. ඒ කාලෙ ගොඩක් උන්ගෙ ගෙවල් වල බයික් තිබුන නිසා ඇති වෙනකල් රවුම් ගැහුව. වෙසක්, පොසොන්, ප්‍රදර්ශන, ෆිල්ම් බලන්න; ඔය හැම එකටම ගියා.

පස්සෙ එක එකා අඩු වුනා. එකෙක් රට ගියා. තව උන් එක එක ඩිප්ලෝමා වලට ගියා. ඒක නිසා සති අන්තෙ වත් එන්න වෙලාවක් ලැබුනෙ නෑ. මහිමයත් ජොබ් එකකට ගියා. තව ටික කාලෙකින් දෙන්නෙක් කොළඹ ජොබ් වලට ගියා. අන්තිමට සති අන්තෙ හැරෙන්නවත් ඉඩ තිබුනෙ නැති මගේ කාමරේ ඉතුරු වුනේ තුන් දෙනයි. ඕම්බියක් වත් ගහන්න කට්ටිය නැති වුනා. ඊට පස්සෙ ඉතින් අපි තුන් දෙනා එක්ක පහට තුනට දෙක ගහපු එක තමයි කලේ. ඒ එකෙක් NDT. සති අන්තෙ ඌත් ආවෙ නැති වුනොත් ඉතින් දෙන්නයි. එහෙම වුන දවස් ඕන තරම් තිබුන. අර ඉතුරු අනිත් එකා නම් හැමදාම වගේ ආව. ඌ මොන්ටිසෝරි කාලෙ ඉඳලම මාත් එක්ක හිටියෙ. ඌත් දැන් ජොබ් එකකට යනව. 7ට විතර වගේ තමයි මේ පැත්තෙ එන්නෙ. S.B. මාමට පින් සිද්ද වෙන්න මේ දවස් වල ගෙදරනේ. මේ දවස් වල ඉතින් මරන්න වගේ. අර NDT එකත් ටික දවසකට ජොබ් එකක් හොයාගෙන. දැන් නම් අපි දෙන්න විතරමයි.

ඉස්සර අපේ ගෙවල් වල මොන වැඩේ තිබුනත් බයක් නෑ. කෝල් දෙක තුනක් දුන්නම විනාඩි විස්සකින් විතර පහක් හයක් සෙට් වෙනව. ප්‍රශ්නයක් වුන හැම වෙලාවකම, මානසිකව වැටුනු හැම වෙලාවකම උන් ටික ලඟ හිටිය. කැම්පස් එකේ හම්බවුන යාලුවො කවදාවත් උන් තරම් සමීප වුනේ නෑ. මාව තේරුම් ගන්න පුලුවන්, මාත් එක්ක අවුලක් නැතුව ඉන්න පුලුවන් උන්ට විතරයි. ඉස්සර හැමදාම ගෙදර දුවගෙන ආවෙ ඒකයි. පස්සෙ නම් ගෙදර එන එක ගොඩක් අඩු වුනා. දැන් නම් ඉතින් කවුරුවත් නෑ.  වෙනද වගේ එපා වෙනකල් කාඩ් ගහන්න, ඔහේ කියව කියව ඉන්න, ගොං පාට් එකක් දාල හිනා වෙන්න, කොහෙහරි ඇවිදින්න යන්න දැන් විදියක් නෑ. හැමෝම රස්සාවලට ගිහින්. හැමෝම තම තමන්ගෙ ජීවිත ගොඩ නගාගන්න උත්සාහ කරනවා. මම විතරක් මේ කාමරේට වෙලා ඉන්නවා. බැඳීම් වැඩි වුනාම දුකත් වැඩියි කියනව නෙ. ඒ වගේ යාලුවො නිසා හිත රිදුන වෙලාවලුත් තිබුන. මම හැම සති අන්තෙම කැම්පස් ඉඳල දුවගෙන ආවට පස්සෙ කාලෙ අනිත් උන්ට ඒ වෙනුවෙන් වෙලාවක් නැති වුනු දවස් තිබුන. කෙල්ලත් එක්ක රවුම් ගහල, ශොපින් ගිහින්, සේරම වැඩ ඉවර කරල ඉඩක් තිබුනොත් තමයි මේ පැත්තෙ ආවෙ. ඒකට වැරැද්දක් කියන්න බෑ ඉතින්. අපි කාටත් ප්‍රමුකතා තියනව නේ. ඒව කාලෙන් කාලෙට වෙනස් වෙනව. ඇත්තටම වෙන්න ඕනත් එක තමයි. හැමදාම සෙල්ලම් කර කර ඉන්න බෑ නෙ. අමාරුවෙන් හරි මාත් ඒක තේරුම් ගත්ත. දැන් නම් එච්චර ගානක් නෑ. කවුරුවත් නැති වුනොත් බ්ලොග් එකක් කියව කියව ඉන්නව.

කොහොම හරි කාලෙකට පස්සෙ පහුගිය වෙසක් දවස් වලයි, පොසොන් දවස් වලයි ඕම්බියක් ගහන්න හතර දෙනක් යන්තන් සෙට් වුනා. කට්ටිය වෙසක් බලන්නත් ගියා මේ පාරත්. වෙසක් එකට කාටත් නිවාඩු නිසා තව ටික කාලයක් ඒක නම් කරන්න පුලුවන් වෙයි. ෆෝන් වලින් තමයි ඉතින් දැන් යාලුකම තියාගෙන යන්නෙ. දැන් මෙහෙම නම් අපි පවුල් පන්සල් වෙච්ච කාලෙක ඉතින් කතාකරන්නවත් වෙලාවක් නැති වෙයි. එහෙම තමයි ඉතින් ජීවිතේ. ඉස්සර වගේ හම්බවෙන්න බැරි වුනාට ඒ යාලුකමේ නම් වෙනසක් වෙලා නෑ. ඒක හැමදාටම එහෙම තියේවි. ඒ වගේම මම හිතනව කවද හරි දවසක ආයෙත් 8 දෙනෙක් සෙට් වෙලා ඕම්බියක් ගහන්න පුලුවන් වේවි. කොයි කාලෙකද කියන්න දන්නෙ නෑ. ඒත් කවද හරි ආයෙත් එහෙම දවසක් ඒවි.

 (මේක මහිමය මාව ෆේස්බුක් එකේ ටැග් කරපු ෆොටෝ එකක්.)
 
ප.ලි.  ආහ්, අපෙ සෙට් එක ගැන තව දෙයක් මේ ලඟදි දැන ගත්ත. මම හිතුවෙ මුන් ඔක්කොම මම වගේම අමද්‍යපයි කියල. බැලින්නම් මම ඇරෙන්න අනිත් සේරම පොඩියට හරි ගසනවලු. බීගෙන වැටිල චාටර් වෙන උන් නම් නෑ. මුන් අපේ නංගිගෙ පාටිය දවසෙත් ලඟ තැනක හොරෙන් සෙට් වෙලා දෙකක් දාල ඉඳල තියෙන්නෙ.  

ප.ලි.ප.ලි. මේක නිකන් බෝරින් වගේ නම් කියවපු අය සමාවෙන්න ඕන. ඊයෙත් අපි දෙන්න විතරයි හිටියෙ. ටිකක් වෙලා කතා කර කර ඉඳල ඌ යන්න ගියා. ඒකයි මෙහෙම එකක් ලියන්න හිතුනෙ.

Monday, July 4, 2011

ආදරය, විවාහය හා විවාහයෙන් පසු ආදරය

මාතෘකාව ගොඩක් දිග වුනාට ඇත්තටම මම කතා කරන්න යන්නෙ 'විවාහයෙන් පසු ආදරය' කියන කෑල්ල ගැන. මට මේ ගැන ලියන්න හිතුනෙ ඇඳට වෙලා ඇලර්ට් එකක් දාගෙන ඉන්නකොට මතක් වුන සිද්දියක් නිසා. මම මේක දැක්කෙ ටිකක් පොඩි කාලෙ. නවය දහය වසර වලදි විතර මට මතක හැටියට. වැඩි විස්තර ඕන නෑ නෙ, කතාව කියන්නම්කො.

මම යාලුවෙක් එක්ක ටවුන් එකට ගියා මොකක් හරි වැඩකට. අපි දෙන්න පාර දිගේ ඇවිදගෙන යනව. ඒ වෙලාවෙ පාරෙ අනිත් පැත්තෙන් තරුණ ජෝඩුවක් ආව ළමයෙකුත් වඩාගෙන. අම්ම තමයි ළමයව වඩාගෙන ආවෙ. පොඩි එකාට අවුරුදු 2ක් විතර ඇති. කොහොමහරි එක පාරටම අම්මගෙ කකුල පැටලිලා ළමයත් එක්කම වැටුන. වැටුනට පස්සෙ තමයි අපි දැක්කෙ. තාත්ත පැනල ළමයව වඩා ගත්ත. පොඩි එකාගෙ ඇඟ පුරාම වැලි. තාත්ත ඉක්මනට වැලි ටික පිහදාල අත පය ඔක්කොම හරව හරව බැලුව තුවාල වෙලාද කියල. වාසනාවට පොඩි එකාට තුවාලයක් නෑ. පොඩි එකා බය වෙලා අඬනව. තාත්ත පොඩි එකාව නලව ගන්න හදනව. අම්මත් පොඩි එකාව අතගගා නලවන්න හදනව. වැටිච්ච පාරට අම්මගෙ අත නම් තුවාල වෙන්න ඇති. අත පුරාම වැලි තියනව මම දැක්ක. ඒත් ඒ තාත්ත අම්මට තුවාල වුනාද කියලවත් ඇහුවෙ නෑ. ඒ වෙනුවට තාත්ත පොඩි එකා වැටුන එක ගැන අප්‍රසාදෙන් මොනවහරි ඒ අම්මට කිව්ව. පාරෙ අනිත් පැත්තෙ හිටපු නිසා කියපු දේවල් නම් මට ඇහුනෙ නෑ. අම්ම දැන් අඬන්න වගේ. තමන්ගෙ අතින් පොඩි එකා වැටුන නිසාත්, තාත්ත කියපු දේ නිසාත් අම්ම ගොඩක් අපහසුතාවයකට ලක් වෙලා හිටියෙ. ලඟ පාත හිටපු මිනිස්සුත් එතනට එකතු වෙලා හිටියෙ.

මට ඒ වෙලාවෙ ඒ අම්ම ගැන ගොඩක් දුක හිතුන. ඒ තරුණ තාත්ත හොඳ තාත්ත කෙනෙක් වෙන්න ඇති. එයා දරුවට ගොඩක් ආදරෙයි කියන එක ඒ වෙලාවෙ එතන හිටපු කාටත් තේරුනා. ඒත් එයාට ඒ වෙලාවෙ හොඳ සැමියෙක් වෙන්න බැරි වුනා. අර තරම් අපහසුතාවයට ලක් වෙලා හිටපු ඒ ගෑනු කෙනාගෙ හිත හැදෙන්න එක වචනයක් කියන්න එයාට බැරි වුනා. එයා කලේ ඒ ගෑනු කෙනා අතින් වුන වැරැද්දට දොස් පවරපු එක විතරයි. මොකක් හරි හිත හැදෙන්න පොඩි දෙයක් කිව්ව නම් ඒ වෙලාවෙ හැටියට ඒ ගෑනු කෙනාට ඒක ලොකු දෙයක් වෙන්න තිබුන. ඒත් එහෙම වුනේ නෑ. අඩු ගානෙ එයාට තුවාල වුනාද කියලවත් ඇහුවෙ නෑ. මම ඒ ජෝඩුව ඈතට යනකනුත් ටිකක් වෙලා බලන් හිටිය පස්සෙ හරි එහෙම දෙයක් කියාවිද කියල. ඒත් නෑ.
 
ඒ ජෝඩුව ගොඩාක් තරුණ ජෝඩුවක්. අනිවර්යයෙන්ම යලු වෙලා බැඳපු දෙන්නෙක් වෙන්න ඕන. (මොකද එච්චර අඩු වයසින් මංගල යෝජනාවකින් බන්දවන්නෙ නෑ නෙ.) ඒත් ඒ ආදරය එදා වෙනකොට කොයි තරම් දුරට ඉතුරු වෙලා තිබුනද කියල මම කල්පනා කලා. හැබැයි ඉතින් ඔය වුන සිද්දිය නිසාම ඒ තාත්ත හොඳ සැමියෙක් නෙමෙයි, ඒ තාත්ත ඒ අම්මට ආදරේ නෑ කියල එක පාරට කියන්න බෑ.  නමුත් ඒ වෙලාවෙ ඒ තාත්තට දරුව ගැන තිබුන ආදරෙන් දහයෙන් එකක් වත් ඒ අම්ම ගැන තිබුන නම් කොච්චර හොඳද.

මට තේරෙන විදියට විවාහයෙන් පස්සෙ කාලයත් එක්ක ආදරය අඩු වෙන එක ලංකාවෙ ගොඩක් දුරට තියන දෙයක්. අනිත් රටවල් ගැන නම් කියන්න දන්නෙ නෑ. මම හිතන්නෙ නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ආදරය කරන කාලෙ නොතිබුන දාහක් ප්‍රශ්න බැන්දට පස්සෙ ඇති වෙන්නත් ගොඩක් වෙලාවට ඒක හේතු වෙනව. ආදරය කරන කාලෙ අනිත් කෙනාගෙ තියන අඩුපාඩු, නොගැලපීම් ආදරය නිසා ඉවසගෙන ඉන්නව. ඒත් බැන්දට පස්සෙ ඒ දේවල් නිසා මරාගන්න හදනවා. ඒ කියන්නෙ අර අඩුපාඩු, නොගැලපීම් වලට ඔරොත්තු දෙන්න හේතුවක් වුන ආදරය ඒ වෙනකොට නැති වෙලා ගිහින්. ඊට පස්සෙ ඉතින් ජීවිතේම ප්‍රශ්න තමයි. ඒ එක පැත්තක්. තව සමහර ජෝඩු ඉන්නව එහෙම රන්ඩු වෙන්නෙත් නෑ, හැබැයි තමන්ගෙ පාඩුවේ ඔහේ ඉන්නව. අනිත් කෙනා උන්නද මලාද කියල ගානක් නෑ. එහෙම ඉන්නනම් බැන්දෙ අපරාදෙනෙ. සමහර මිනිස්සු ඉන්නව, බඳින්නෙ නොබැඳ බැරි කමට. අම්මල තාත්තල කියන නිසා, එහෙමත් නැත්තන් බඳින එක සමාජයීය සාධකයක් නිසා තමයි ඒගොල්ලො බඳින්නෙ. එහෙම අයනම් අනෙ නොබැඳ ඉන්න එක හොඳයි තවත් කෙනෙක්ගෙ ජීවිතයක් නාස්ති කරන්නෙ නැතුව. තවත් සමහරු ඉන්නව බඳින්නෙ නීත්‍යානුකූලව ලමයෙක් හදා ගන්න විතරයි. එයාල වෙන කිසි දෙයක් විවාහෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපේ මාමත් එහෙම ඩයල් එකක්. ඒ කසාදෙ තියෙන්න නමට විතරයි.

ඔය ප්‍රශ්නෙම තව පැත්තක් තමයි ආදරේ තිබුනත් ඒක නොපෙන්වීම. ආදරේ කියන්නෙ පෙන්නන්න ඕන දෙයක්, දැනෙන්න දෙන්න ඕන දෙයක්. හිතේ තියාගෙන හිටියට වැඩක් නෑ. ආදරේ හිතේ තියගෙන නොපෙන්වා ඉන්න එකත් අනිත් පාර්ශවයට දැනෙන්නෙ ආදරේ නෑ කියන විදියටම තමා. සමහර මිනිස්සු මැදි වියට වගේ එනකොට හිතනව දැන් තරුණ කාලෙ වගේ ඉන්න ඕන නෑ, දැන් අපි වයසයි කියල. මගේ කනටම එහෙම කියනව ඇහිල තියනව. මම දකින විදියට ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ආදරේ කියන එක ජීවිත කාලෙටම එක විදියට තියෙන්න ඕන. මම ඒකෙන් කියන්නෙ නෑ හැමදාම අර ආදරේ කරන කාලෙ වගේ තුරුල් වෙලා උම්ම දිදී ඉන්න ඕන කියල. ළමයි ලොකු මහත් වෙනකොට අම්මල තාත්තලාට එහෙම හැසිරෙන්න බෑ නෙ. ඒවුනාට ආදරේ පෙන්නන්න ඕන තරම් ක්‍රම තියනව. එක වචනනෙකින්, කතා කරන ස්වරයෙන්, එක බැල්මකින්, හිනාවකින් ආදරේ කියන එක දැනෙන්න දෙන්න පුලුවන්. ඒකට වයස බේදයක් ඕන නෑ. 

අඹු සැමියො අතරෙ දුරස්ත බාවයක් ඇති වන තව කාරණයක් තමයි දරුවන් ලැබීම. ඒක හැමතිස්සෙම එහෙම නෑ. ඒත් සැලකිය යුතු ප්‍රතිශතයක් එහෙම වෙනව. ඊට පස්සෙ තමන්ගෙ දරුව තමන්ගෙ ජිවිතේ වගේ වෙනව, තමන්ගෙ සහකාරයට එච්චර කල් තිබුන තැන නැති වෙනව. එච්චර කල් ඇඟේ දැවටි දැවටි හිටපු ගෑනිට මිනිහ උන්නද මලාද කියල බලන්න වෙලාවක් නැති වෙනව. එච්චර කල් චාටු කතා කිය කිය හිටපු මිනිහ ගෑනිව අමතක කරල දරව එක්ක විතරක් හුරතල් වෙන්න ගන්නව. හිතන්නකො, එක දරුවෙක් ඉන්න පවුලකට අලුතෙන් දරුවෙක් ආවම ආදරේ අඩු වීම නිසා ලොකු දරුව මානසිකව වැටෙන වෙලාවල් තියනව නේද? ඒ විදියටම සැමියා හෝ බිරිඳටත් ඒ තරම් දරුණුවට නැතත් සුලු වශයෙන් හරි ඒ ප්‍රශ්නෙ ඇති වෙන්න පුලුවන් නේද? ඔය තැනදි නම් ඔය වැරැද්ද සාපේක්ෂව වැඩියෙන් වෙන්නෙ කාන්තා පාර්ශවයෙන්. අම්ම කෙනෙක් දරුවන්ට තියන අසීමිත ආදරෙත් එක්ක ඒක සාධාරනයි කියල කෙනෙක් කියන්න පුලුවන්. ඒත් මට හිතෙන්නෙ නම් ඒක තමන්ගෙ සැමියට කරන අසාධාරණයක් කියල. මන්ද මට හිතෙන විදිය කිව්වෙ.  මට කවද හරි දවසක එහෙම වුනොත් නම් ගොඩක් දුක හිතේවි. අනිත් අය නම් මේකට එකඟ වේවිද දන්නෙ නෑ, මම නම් හිතන්නෙ ඕනම කෙනෙක්ගෙ පළමු තැන ලැබෙන්න ඕන තමන්ගෙ සැමියාට හෝ බිරිඳට. ඊලඟට තමයි දරුවො. ජීවිතේ ඕනම කාලෙක තමන්ගෙ සැමියාට හෝ බිරිඳට තියන ආදරය සැලකිල්ල නොවෙනස්ව එකම විදියට තියනව නම් තමයි ඒ පවුල් ජීවිතය ගොඩක් ලස්සන වෙන්නෙ.   

පවුල් ජීවිතය තුළ ආදරය අඩු වීම තමයි දික්කසාද වලටත් ගොඩක් හේතු වෙන්න පුලුවන්. දෙන්නට දෙන්නගෙ ආදරයක් නැති වුනාම නැති ප්‍රශ්නත් ඇති වෙනව. මම කලින් කිව්ව වගේ අනිත් කෙනාගෙ වැරැද්දක් නොගැලපීමක් අමතක කරල ඒක යටපත් කරන්න තරම් ආදරයක් දෙන්න අතරෙ නැති වුනාම ඒක දික්කසාදයක් දක්වාම යන්න පුලුවන් ඉතින්. අනිත් එක බලන්න මැදිවියේ මිනිස්සු කොච්චර නම් අනියම් සම්බන්ධකම් පවත්වගෙන යනවද? ඇයි ඒ? ළමයි හදල අවුරුදු 15ක් 20ක් එකට ජීවත් වෙලා දැන් මොකටද තවත් කෙනෙක්ගෙ ආස්‍රයක් බලාපොරොත්තු වෙන්නෙ? අර මම කලින් කිව්ව වගේ කාලයත් එක්ක ඒ මිනිස්සුන්ගෙ පවුල් ජීවිත වල තිබුන ආදරේ නැති වෙලා ගිහින්. පවුල් ජීවිතයෙන් ඒ ආදරේ ලැබෙන්නෙ නැති වුනාම අලුත් තැනකින් ඒ ආදරේ ලබාගන්න පෙලඹෙනව. ඒ වැඩේ හරියි කියල කියන්න බෑ කොහොමවත්. මම ඒක සාධාරනීකරනය කරන්න හදනව නෙමෙයි. ඒත් ඉතින් අපි කවුරුත් පෘටහ්ජන (අකුරු හරිද මන්ද) මිනිස්සුනෙ. ඒ නිසා ඒ වගේ දේකට පෙළඹෙන්න ලොකු ඉඩක් තියනව. ඔය කිසි හේතුවක් නැතුව වලස්ත කමට ඔය වගේ වැඩ කරන ගෑණු පිරිමිත් ඕන තරම් ඉන්නව. උන් ගැන නෙමෙයි මේ කියන්නෙ.

ඉතින් මම හිතන විදියට නම් ආදරේ කියන එක හැමදාම නොවෙනස්ව හෝ තව තවත් වැඩි කරගෙන ජීවත් වෙන්න පුලුවන් නම් පවුල් ජීවිත වල ප්‍රශ්න ගොඩක් අඩු වේවි. ඒ වගේම හැමදාම බැඳපු අලුත වගේ සතුටින් ඉන්න පුලුවන් වේවි. අම්ම තාත්ත ආදරෙන් සතුටෙන් ඉන්නව නම් ඒක ළමයින්ටත් ලොකු මානසික ශක්තියක්. එහෙම නැතුව අම්මයි තාත්තයි දුරස් වෙලා හිටියොත් දරුවොත් ටික ටික ඒ දෙන්නගෙන්ම ඈත් වෙන්න පුලුවන්. අම්ම තාත්තගෙ බැඳීම ශක්තිමත් නම් පවුලෙ හැම බැඳීමක්ම ආරක්ශිතයි. 



 (මේක මට හම්බවුනේ facebook එකෙන්. මෙහෙම ඉන්න පුලුවන් නම් කොච්චර හොඳද නේද?)


ඔන්න ඔහොම තමයි ඉතින් කසුන්ට හිතෙන්නෙ. මේක කියවන අයගෙ අදහසුත් දැනගන්න මම කැමතියි. පුලුවන් නම් තමන්ගෙ අදහසත් කියල යන්න.