twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න
Showing posts with label ඇත්ත කතා. Show all posts
Showing posts with label ඇත්ත කතා. Show all posts

Thursday, February 16, 2012

නෑ නෑ මගේ පිටිපස්සේ එක්කෙනෙක් හිටියා

හ්ම්ම්, ජීවිතෙ 24 වෙනි වතාවටත් වැලන්ටයින් එක තනිකඩව ගෙවල දම්ම. තව එකයි තියෙන්නෙ රිදී ජුබිලියට.:) නෑ නෑ, පිස්සුද අලේ, මම නම් කවුරුහරි හිටියත් ඔය දවස සමරන්නෙ නෑ. මොකද ආදරේ කරන්න ඕන, ආදරේ පෙන්නන්න ඕන, තුන්සිය හැටපස් දවසෙම මිසක් එක දවසක විතරක් නෙමෙයි. ඒ මම හිතන විදිය. එක එක අය එක එක විදියට ඔය ගැන දකින්නේ. 

හරි දැන් කියන්න ආපු කතාවට එමුකො. මම පෙරේදා මල ගෙදරකදි අහපු කතාවක් තමයි මේ කොටන්න කියල ලේස්ති වුනේ. සතියක් විතර ගෙදර ඉඳල හොස්ටල් ගියා විතරයි ඊලඟ දවසෙ පනිවිඩයක් ආවා යාලුවෙක්ගේ ආච්චි කෙනෙක් නැති වෙලා කියලා. හලේ ඉතින් ආපහු අනිත් පැත්තට ආව. මගේ චානිකා සීරීස් එක කියවපු අය නම් දන්න කියන කෙනෙක් ඒ යාලුවා.:) ඒකෙ අනිත් ප්‍රධාන නලුවගෙ ආච්චි තමයි නැති වුනේ. මේක මේ මලගෙදර නයිටක් ගහගෙන ඉන්නකොට ඇහුන කතාවක්. අපිට එහා පැත්තේ හිටපු කොල්ලො සෙට් එකේ එකෙක් ඔය කතාව කිව්වේ. මම නම් හරියට අහගෙන හිටියේ නෑ. මහිමය තමයි අහගෙන ඉඳල අපිට කිව්වෙ. 

මේක රෑක වෙච්ච සීන් එකක්. ඔන්න එකෙක් (මෝඩයෙක්/හරකෙක්/බූරුවෙක්) කන සාක්කුවට වැටෙන්නම ගහල මෝටර් බයික් එකකින් යනවලු. මෑන් අතුරු පාරක තමයි ගිහින් තියෙන්නෙ. ඔහොම යනකොට මූ ඇදගෙන වැටිල. පාර අයිනෙ තිබුන වෙලට තමයි පෙරලිල වැටිල තියෙන්නෙ. පිටිපස්සෙන් ත්‍රී වීල් එකකින් ආපු තව දෙන්නෙක් මේ සීන් එක දැකලා ටක් ගාල නවත්තලා බලල. ඒ දෙන්නගෙන් එකෙක් තමයි ඔය කතාව කිව්වේ. වෙලාවට මෑන්ට කිසි අවුලක් නැතිලු. වෙලට වැටුන නිසා හොඳයි. ඊට පස්සෙ තමයි ලස්සන සීන් එක යන්නෙ. දැන් මිනිහ පන දාගෙන වෙලේ මොනවද හොයනවලු. පස්සෙ ත්‍රී වීල් එකේ ආපු දෙන්න අහල මොනවද හොයන්නේ කියලා, මූ කියන්නේ නැතිලු. කිසි කතාවක් නැතුව මූ දමාගෙන වෙලේ මොනවද හොයනවලු. කොහොමහරි ගොඩක් වෙලාවක් යනකල් මූ කියලම නෑ මොනවද හොයන්නේ කියලා.

පස්සේ ටික වෙලාවක් ගිහින් මිනිහ කියල "මාත් එක්ක එකෙක් ආව බන්, මම මේ ඌව හොයන්නේ" කියල. අරුන් දෙන්න හොල්මන් වෙලා ගියාලු උගේ කතාවට. උන් දෙන්න හොඳටම දැක්කලු මූ ආවෙ තනියම කියලා. උන් දෙන්නටත් තේරිලා මූ නැති වෙන්නම ගහල තියෙන්නේ කියලා. උන් දෙන්න ඉතින් කියල "නෑ මචන් අපි පිටිපස්සෙන් ආවෙ, අපි දැක්ක පිටිපස්සෙ කවුරුවත් හිටියෙ නෑ, උඹ තනියම ආවේ" කියල. මූ කියනවලු පිටිපස්සෙ එකෙක් ආවමයි කියල. ඌ කියනවලු, "මම මචන් බෝධිය ළඟ ඉඳලම ඌත් එක්ක කතා කර කර ආවේ" කියලා. 



දැන් මූට කොච්චර කිව්වත් මූ අහන්නෙ නැතිලු. අරුන් කොච්චර කිව්වත් පිටිපස්සේ කවුරුවත් හිටියේ නෑ කියල ඌ පිටිපස්සෙ එකෙක් ආවමයි කිය කිය හොයනවලු. ඔහොම හොයන ගමන් මූ එක පාරට ටිකක් කල්පනා කරලා කියනවලු, "හැබැයි මචන් වැටෙන වෙලාවෙ නම් පිටි පස්සෙ හිටියෙ නෑ තමයි" කියල. "මම මෙතනදි පිටි පස්ස හැරිල බලුවා, එතකොට හිටියෙ නෑ". අරුන් දෙන්නට ඉතින් පුදුම ආදරයක් ඇති වෙන්න ඇත්තෙ මූ ගැන. මූ ඉතින් මහ හතර බීරි කතාවක් නේ කියන්නේ. මුලින් කිව්වා පිටිපස්සේ එකෙක් හිටියමයි කියලා, දැන් කියනවා වැටෙන වෙලාවේ පිටිපස්සේ එකා හිටියේ නෑ කියලා. ඊට පස්සෙ අරුන් දෙන්න මුගෙන් ඔය කියන යාලුවගෙ නම්බර් එක දෙන්න කියලා ඉල්ලගෙන උගේ ෆෝන් එකෙන්ම කෝල් එකක් අරගෙන. එතකොට තමයි මූ නටපු පිස්සුව මොකක්ද කියලා අරුන් දෙන්නට තේරිලා තියෙන්නේ.  එහා පැත්තෙන් කුණුහරුප වරුසාවක් වැටෙනවලු. අර යාලුව තාමත් බෝධිය ලඟලු. මූ වෙරි මරගාතේ ඒකව දාල එතන දාල ඇවිල්ලා. වැඩේ කියන්නේ මූ බෝධිය ළඟ ඉඳලම යාලුවා පිටිපස්සේ ඉන්නවා කියල හිතාගෙන කතා කර කර ඇවිත් තියෙන්නේ. මූ ටික දුරක් ගිහින් පිටිපස්ස හැරිලා බලලා. එතකොට තමයි ඌ දැකලා තියෙන්නේ යාලුවා නෑ කියලා. ඒකට බය වෙච්ච පාර තමයි මූ වැටිලා තියෙන්නේ. රෑ වෙලත් එක්කනේ, මූට නිකන් හොල්මන් සීන් එකක් ඔලුවට එන්න ඇත්තේ. ඔන්න ඔහොමයි සිද්ධිය වෙලා තියෙන්නේ. 

බොන එක වෙනම කතාවක්. ඒත් මෙහෙම කන පැලෙන්න ගහලා වාහන එලවනවා කියන්නේ ඉතින් ඊට වඩා මී හරක් වැඩක් නම් තවත් නෑ. හිතන්නකෝ තමන්ගේ ජීවිතේ වගේම පාරේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් අනතුරේ වැටෙනවා නේ එහෙම වුනාම. තමන්ගේ ජීවිතේ වටිනාකමක් නැති වුනාට කමක් නෑ අනිත් අයගේ ජීවිත ගැනවත් හිතන්න. ඔහොම කන පැලෙන්න ගහල විතරක් නෙමෙයි, අරක්කු උගුරක්‌ වත් බීල වාහන නම් එලවන්න එපා. බියර් උගුරක්‌ බිව්වත් මොලේ ක්‍රියාකාරීත්වය, ස්නායු ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් හරි අඩු වෙනවා නේ. එතකොට සාමාන්‍ය වෙලාවකට වැඩිය අනිවාර්යෙන්ම අනතුරක් වීමේ සම්භාවීතාව වැඩියි. ඒ අවධානම නම් ගන්න එපා. බොන්න ඕනම නම් බීල බීල කොහේහරි වැටිලා ඉන්න, වාහන පදින්න යන්න එපා. ආයෙත් වෙරි හිඳුන වෙලාවක යන තැනක යන්න.:)

Monday, August 8, 2011

කසුන් ගාමන්ට් ගියාය




කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. කියෙව්ව මිසක් ලියන්න මූඩ් එකක් තිබුනෙ නෑ පහුගිය දවස් වල. අපූරු පෝස්ට් සහ අපූරු කමෙන්ට් කියව කියව හිටිය. ලියන්න විශේෂ දෙයක් තිබුනෙත් නෑ. මට ඊයෙ මූන දීපු අත්දැකීමක් ගැන ලියන්න හිතුන. තාමත් අපේ කැම්පස් පටන් ගත්තෙත් නෑ නෙ. දැන් ඔන්න අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් වැටුප් විශමතා අයින් කරන්න කියල පෝස්ටරයක් ගහල. ඒ කියන්නෙ තව ස්ට්‍රයික් එකක් ලඟම එනව වගේ. හැබැයි එයාලට නම් වැඩිය දෙයක් කරන්න බැරි වේවි. කකා බිබී ගෙදරටම වෙලා ඉන්න එක දැන් නිකන් අවුල් වගේ. අවුරුදු 23ක් වෙලා කොල්ලෙක් නිකන් ගෙදරට වෙලා ඉන්නව කියන්නෙ චාටර් නෙ. මට නම් ඇත්තටම ඒක ගොඩක්ම තදට දැනුන. ඒක නිසා මම ගොඩක් දවස් ඉඳල පාර්ට් ටයිම් එකක් වත් හොයාගන්න කියල ට්‍රයි කලා. හරි ගියේ නෑ. සමහර පාර්ට් ටයිම් ජොබ් තිබුන ඒවට යන්න නිකන් මොකක්ද මොකක්ද වගේ. ඩේට එන්ට්‍රි ජොබ් එකක් වත් ඉන්ටර්නෙට් එකෙන් හොයා ගන්න බැලුව ඒකත් හරි ගියේ නෑ. 

අපේ සෙට් එකක් ගාමන්ට් වල පාර්ට් ටයිම් ජොබ් වලට යනව. මම ඒකට යනවද කියලත් හිතල පස්සෙ ඕන නෑ කියල නිකන් හිටිය. ඒත් අන්තිමට ඊයෙ තීරණයක් ගත්ත. ලැජ්ජාව පැත්තකින් තියල ඒකට යනව කියල හිත හදා ගත්ත. ඇයි ඉතින් හැමදාම කාකා බිබී නිකන් ඉන්න බෑ නෙ. මහ ගානකට නම් නෙමෙයි. රුපියල් හත්සීයකට තමයි ගියේ. මුකුත්ම නැතුවට වඩා හොඳයි නේ. ඒක ලංකාවෙ ප්‍රධානම පෙළේ ගාමන්ට් එකක්. අපේ එකෙක් තමයි ඒක සෙට් කලේ. මායි අපේ තව එකෙකුයි, කැම්පස් එකේ තව දෙන්නකුයි තමයි ඊයෙ ගියේ. රෑ කෑම දෙන්නෙ නැති නිසා කෑම එකකුත් අරගෙන ගියේ. සෙට් කරපු එකත් ආව අපිව ඇරලවන්න.

ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම දඩාස් ගාල සද්දයක් ආව. බලනකොට කාර් එකක් රිවස් කරල පිටිපස්සෙ තිබුන බයික් එකේ ඇනල. මම හිතුව වගේම ගෑනු කෙනෙක් තමයි  වාහනේ එලෙව්වෙ. තවත් ගෑණු කෙනෙක් එහා පැත්තෙ හිටිය. ටිකක් පොස් නෝනල දෙන්නෙක්. අපේ එකෙක් කිව්ව අනිවාර්යෙන්ම ඔය බයික් එක ඔහොමම තියල ඔය දෙන්න යනව කියල. මම යන ගමන් සීන් එක බලාගෙන ගියේ. එක්කෙනෙක් බැහැල ටිකක් වෙලා බයික් එක දිහා බලාගෙන හිටිය. අරූ කිව්ව වගේම ටික වෙලාවකින් දෙන්න මුකුත් වුනේ නෑ වගේ ශේප් එකේ යන්න ගියා. අර බයික් එක අඩුගානෙ කෙලින් කරල වත් ගියේ නෑ. එහෙම හරි නෑ නෙ. ලොකු, පොස් නෝනල නෙ.

කොහොම හරි එතන තිබුන පොතේ අත්සන් කරල අපි ඇතුලට ගියා. අපිව එක්කගෙන ගියපු එකා අපිවත් අරගෙන අරහෙන් මෙහෙන් හැරි හැරි ගොඩක් දුර ගියා. එදා යන්න තිබුන සෙක්ශන් එක තිබුනෙ ගාමන්ට් එකේ කොනක. අපිත් ඉතින් මග දිගට මග සලකුණු තියාගෙන ගියේ. මොකද අපිව සෙට් කරපු එකා එදා වැඩ කලේ නෑ. ඌ අපිව ඇරලවල ගියා. ඒක නිසා ආයෙත් එන්න පාර බලාගන්න ඕන නෙ. ඊට පස්සෙ ඕන අදාල සෙක්ශන් එකට ගිහින් අපිව දාල අපිව සෙට් කරපු එකා ගියා. එතන තිබුන පොතෙත් නම සයින් කරන්න ඕන. ඊට පස්සෙ තමයි ඉතින් ගේම පටන් ගන්නෙ. 

ටික වෙලාවක් යනකල් අපිට මුකුත් කිව්වෙ නෑ. අපි හිතුවෙ මුලු රෑම අයිස් පාර ගහගෙන ඉන්න පුලුවන් වෙයි කියල. ඔන්න පොරක් තඩි ට්‍රොලියක් තල්ලු කරන් ආව. ට්‍රොලි කිව්වට අර හොස්පිට්ල් වල තියනව වගේ ඒව නෙමෙයි. හතර දෙනකුට විතර එක පාර බැහැල නාන්න පුලුවන් ලොකු, උස බාත් ටබ් එකක් වගේ එකක්. ඒගොල්ලො ඒවට කියන්නෙ නැව් කියල. (ට්‍රොලි කියලම කියන තව පොඩි ට්‍රොලි වර්ගයකුත් තිබුන.) ඒකෙ දිග කලිසම් වගයක් තිබුනෙ. අපිට කිව්ව ඒකෙ තියන ලේබල් එක අනුව ඒව වර්ග කරල නවන්න කියල. ලේසි වැඩක්නෙ කියල ඉතින් අපිත් පටන් ගත්ත. ටික වෙලාවක් යනකොට තවත් ඒ සයිස්ම ට්‍රොලියක් අරන් ඇවිත් මේකත් නවන්න කිව්ව. හරි සන්තෝසයි එතකොට. ටික වෙලාවක් යනකොට රෙදි ගන්නයි, නවපු රෙදි තියන්නයි පාත් වෙලා කොන්ද රිදෙනව. ඒ ටික ඉවර කලා විතරයි වෙන වර්ගයක් උස්සගෙන ඇවිත් ඒ ටිකත් නවන්න කිව්ව. කොහොම හරි ඊට පස්සෙ එක එක්කෙනාට එක එක වැඩ සෙට් වුනේ.

ඒ සෙක්ශන් එකෙන් කරන්නෙ වොශ් කරල ඩ්‍රයි කරල ගේන රෙදි පැක් කරල ලොරි වලට පටවන එක. රෙදි එක එක විදියට පැක් කරනව. කාඩ්බෝඩ් පෙට්ටි වටලයි, රෙදි මලු වලටයි, ප්ලස්ටික් පෙට්ටි වලටයි. රෙදි මලු වලට පැක් කරද්දි අපි තමයි මල්ල අල්ලගෙන ඉන්න ඕන. ඒගොල්ලො ගනන් කර කර දානව. ඒක තමයි එපා වෙනම වැඩේ. ඒ රෙදි වල පුදුම ඩස්ට් එකක් තියෙන්නෙ. ඒ රෙදි වලට දාපු ඩයි එක තමයි ඒ එන්නෙ. මම ඉතින් උපතින්ම හති කාරය නෙ. මම කලේ අනිත් පැත්ත බලාගෙන හුස්මක් අරගෙන පුලුවන් තරම් හිර කරගෙන ඉන්නව, ඊට පස්සෙ ආයෙත් අනිත් පැත්ත හැරිල හුස්මක් ගන්නව. හතිය නැති කෙනෙක්ට වුනත් හතිය හැදෙන්න පුලුවන් ඒ ඩස්ට් එකට. නාස් ආවරන පාවිච්චි කරන්න කියල හැම තැනම බෝඩ් ගහල තියනව, එකෙක් වත් ඒව දාන්නෙ නෑ. අපිට දුන්නෙත් නෑ. ඒ මිනිස්සු කඩි වගේ. මැශින් එකක් ස්ටාර්ට් කලා වගේ රෙදි ගනන් කර කර මල්ලට විසි කරනව. අපි ඉතින් කොහොම හරි රෙදි වැටෙන්න නොදී මල්ල අල්ලගෙන ඉන්න ඕන.  එකක් වැටිල ඒක ගන්න ගියොත් තව 5ක් 6ක් වැටෙනව. ඒක නිසා රෙදි වැටුනොත් එහෙමම තියෙන්න දීල ගනන් කරල ඉවර වුනාම තමයි දාගන්නෙ. අනිත් එක රෙදි දාද්දි නිතරම බෑග් එක එහාට මෙහාට ගස්සල, උස්සල ඇතෑරල, අතින් තද කරල, ඉඩ හදාගන්න ඕන. නැත්තන් අන්තිමට මල්ල ගැටගහන්න ගියාම හෙනම ගේමක් දෙන්න ඕන. ඒක නිසා දාන අතරෙම ඉඩ හදාගන්නව. උස්සල අතාරින එක තමයි අමාරුම. ටිකක් වෙලා ගියාම ඇඟිලි හම යනව.

මේ තියෙන්නෙ එදා අපි කරපු වැඩ ලිස්ට් එක.

# රෙදි වර්ග කිරීම
# රෙදි නැවීම
# මල්ල ඇල්ලීම සහ ගැට ගැසීම
# ගලවා ඇති කාඩ්බෝඩ් පෙට්ටි සැකසීම
# පෙට්ටි වලට රෙදි දැමූ පසු ඒවා වසා සීල් කිරීම
# රෙදි මලු සහ පෙට්ටි නියමිත ස්ථාන වලට උස්සාගෙන හෝ ඇදගෙන යාම 
# ට්‍රක් රථ පැමිණි පසු ඒවාට රෙදි පැටවීම. 

අපි හතර දෙනයි තව එක කොල්ලෙකුයි තමයි එදා ටෙම්පරරි විදියට ඇවිත් තිබුනෙ. එතන හිටපු ගොඩක් කොල්ලො අපිටත් වඩා බාලයි. අපි කැම්පස් කිව්වම හතර දෙනක් විතර ඇරෙන්න ඔක්කොම අපිට අයියෙ කියල කිව්වෙ. හැබැයි එතන හිටපු කොල්ලෙ සෙට් එක නම් එල. අපිට බොහොම හොඳට කතා කලා. අයිය, මල්ලි, මචන්, කොල්ලො, වගේ වචන වලින් තමයි කතා කලේ. බැන්නෙ, කෑගැහුවෙ, ටෝක් දුන්නෙ නෑ. හැබැයි දෙන්නෙක් හිටිය ටිකක් ලොකු ලයින් දෙන. එහෙම ඩයල් කොහෙත් ඉන්නව නෙ. බයිට් කිරීම්, රන්ඩු වීම්, බැන ගැනීම්, හිනා වීම් නම් ගොඩයි. නැත්තන් ඉතින් නිදි මත වෙනව නෙ. එක පාරක් නම් එකෙක්ට ඇත්තටම මල පැන්න. මම හිතුවෙ ගැහුව තමයි කියල.

කොහොම හරි එක පොඩ්ඩක් වත් නිකන් ඉන්න වුනේ නෑ. එකක් ඉවර කරල පොඩ්ඩක් වාඩි වෙනකොටම තව එක්කෙනෙක් කතා කරනව. බර වැඩ ගොඩක් වෙලාවට සෙට් වුනේ අපි පස් දෙනාට. පර්මනන්ට් අය ගොඩක් වෙලාවට කරන්නෙ ගනන් කරන එක, ටැග් ලියන එක, ආපු රෙදි ස්ටොක් මාක් කරගන්න එක, බෑග් වලට අංක දාන එක වගේ ඒව. අපි තමයි බර අදින්න ඕන. මම ජීවිත කාලෙටම නවල තියනවට වඩා රෙදි නැව්ව ඒ පැය දොලහ ඇතුලත. ඇත්තටම එක නම් ශ්‍රමය සූරාගෙන කෑමක්. පැය දොලහක් එක දිගට වැඩ කරල රුපියල් 700යි දෙන්නෙ. අනිත් එක ඔහොම ටෙම්පරරි ගත්තම ETF, EPF ගෙවන්න ඕනත් නෑ නෙ. එතකොට වැඩ තියන කාලෙට විතරක් ගෙන්න ගන්නත් පුලුවන්. ගොඩක් ගාමන්ට් කාරයො ඔය වැඩේ කරනව. රෑ මැද ප්ලේන්ටි, ටී එහෙම දෙනව. 1ට ප්ලේන්ටිත් එක්ක කන්න රෝස් පාන් හරි මාලු පාන් වගේ දෙයක් හරි දෙනව. ආයෙත් පහට ටී එකක් දෙනව. ඊට පස්සෙ උදේ හත හමාරට කෑම දෙනව. ඒ ප්ලේන්ටියෙනුයි ටී එකෙනුයි තමයි ඔලුව උස්සගෙන හිටියෙ.

එතන මාරම ගේමක් යන්නෙ. ඒ ගේන රෙදි එවෙලෙ වොශ් කරල ඩ්‍රයි කරපුව. සේරම ඉතින් මැශින් වලින් තමයි කරන්නෙ. ඒ රෙදි අපි හිටපු සෙක්ශන් එකට ගේනකොටත් රස්නෙයි. සමහර ඒව අල්ලන්නවත් බැරි තරම් රස්නෙයි. පෝලිමට ට්‍රොලි අරගෙන එනව කට්ටිය. රෑ 7.30ට පටන් ගත්ත එක උදේ 7.30 වෙනකල්ම එක දිගටම රෙදි ආව. අපේ සෙට් එක කලින් දවස් වල වොශ් කරන තැනයි, ඩ්‍රයි කරන තැනයි වැඩ කරන්න සෙට් වෙලා තියනව. අමාරුම සෙක්ශන් එක ඩ්‍රයි කරන එකලු. ඒකෙ රෙදි මිරිකන්න තියනවලු. ඒක නම් පන යන වැඩක්ලු. ඒ ගොඩක් ඇඳුම් රට යවන ඒව. අපේ එකෙක් අහල තිබුන ඒ රෙදි වල ගනන්. පොකට් තියන ශෝට් එකක් 15000ක් විතර වෙනවලු. දිග කලිසමක් 20000ක් 25000ක් විතර වෙනවලු. කවුරු අඳිනවද මන්ද ඒව. හැබැයි ඒව අපි අඳින රෙදි වගේ නෙමෙයි. මාරම කොලිටි රෙදි තියෙන්නෙ. ඒව ඇඟට හරි සනීපයි. එක පාරක් ගෙනාව කොටම කොට ඩෙනිම් සායවල් ටිකක්. මම හොරෙන් මැන්න, දිග වියත් දෙකකටත් වඩා අඩුයි. අනේ ඒවත් රට යවන්නලු. :( තව පිරිමි අයට නානකොට අඳින කලිසම් සෙට් එකක් ආව. ඒකෙ කකුල් දෙක ගොඩාක් චූටි තීරුවකින් සෙට් වෙලා තියෙන්නෙ. මට ඇහුන කවුද කියනව "ඕක ඇන්දොත් _ _   _ _ එලියෙ" කියල.

එතන හරි පරෙස්සමින් ඉන්න ඕන. වැඩ කරන අය ටොලි අරන් යන්නෙ හයිවේ එකේ යනව වගේ. කොයි වලේ කකුල යට කරන් යාවිද දන්නෙ නෑ. එතන තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි වෙලාව යන්නෙ නැති එක. මම ගනන් හදල බැලුව, එතන විනාඩි 5ක් යන්න විනාඩි 15ක් යනව. වැඩේ කියන්නෙ මම ඒක එකෙකුට කියන්න යනකොටම ඌ මට ඒකම කිව්වනෙ. ඒ කියන්නෙ ඌටත් ඒක තේරිලා. අන්තිම පැය නම් මල විකාරෙන් හිටියෙ. කොහොම හරි ඉතින් රුපියල් 700ට රුපියල් 1400ක විතර මහන්සි වුනා.


මෙච්චර කල් අම්මල තාත්තල හම්බ කරපුව වියදම් කලා මිසක්, එදා තමයි තේරුනේ සල්ලි හොයන්න තියන අමාරුව. අපේ එකෙක් කියනව, "මම නම් මීට පස්සෙ කැන්ටිමෙන් රුපියල් 3ක් දීල තේකක් ගන්න කලින් තුන් පාරක් හිතනව" කියල. ඒක හරියටම හරි. දහයෙ රෝල් එකක් කන්න කලින් දහ පාරක් වත් හිතන්න ඕන. හැබැයි දාහක විතර බඩුවක් ගන්න ගියොත් තමයි වැඩේ.

කොහොම හරි හරියටම 7.30 වෙනකොටම එලියට පැන්න. අම්මෝ එතනින් එලියට ආවම තියන සනීපෙ. සමහර සෙක්ශන් වල කෙල්ලොත් නයිට් ශිෆ්ට් එක කරනව. අපි එනකොටම සෙට් එකක් එලියට ආව. මම එහෙම එකක් එදාමයි දන්නෙ. කොහොම හරි හොස්ටල් එකට ආවට නින්ද ගියෙත් නෑ, නිදි මත වැඩි නිසාද මන්ද සැරින් සැරේ බයවෙලා වගේ ඇහැරෙනව. හවස් වෙනකොට තමයි ඇඟම රිදෙන්න ගත්තෙ. බෙල්ල, කකුල් දෙක, යටි පතුල, අත් දෙක, උරහිස්, ඇඟිලි, සේරම රිදෙන්න ගත්ත. ඒ මදිවට ඔලුවෙ කැක්කුමකුත් ආව. කොහොම හරි එදයින් පස්සෙ පාර්ට් ටයි නම් එපාම වුනා. මම නම් ඊට පස්සෙම ගියේ නෑ. අපේ කට්ටිය නම් තාම යනව. මොනව වුනත් ඒ අත්දැකීමෙන් මිනිස්සු හම්බ කරන්න කොච්චර මහන්සි වෙනවද කියල ඉගෙන ගත්ත. ඔය තරම්ම නැතත්, අපිටත් ඉස්සරහට සල්ලි හම්බ කරන්න ලොකු මහන්සියක් වෙන්න වේවි.

...................................................................................................................................................................

ප.ලි. මේක ලියන්න අරන් දවස් තුන හතරක් වෙනව. ලියන්න වුනේ නෑ, දැන් තමයි ඉවර කලේ.

Wednesday, July 27, 2011

සුද්දන්ටත් බැරි අපේ කඩ්ඩ


පොඩි නින්දක් දාල දැන් නැගිට්ටෙ. එලියෙ කලු කරල හොඳටම වහිනව. ඇහැරෙනකොටම ඇහුනෙ

            "මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා
             සඳවතිය පාවී ගියා
             පිළිගන්න පුලුවන්ද සඳ දෙව්දුවත්
             මේ හැටිම නපුරුයි කියා"

මම සින්දු ටිකක් දාල නිදා ගත්තෙ. ඇහැරෙනකොට ජගත් වික්‍රමසිංහ මහත්තයගෙ ඔය සින්දුව තමයි ගියේ. ඒ සින්දුවෙ පද වල තියන ලස්සනත්, ස්වරයේ තියෙන හැඟීම්බර කමත්, මම නින්දෙන් ඇහැරුන ගමන් නිසාත් දැනෙන්න පුලුවන් ඇතුලටම ඒක දැනුන. අමතක කරල තිබුන අතීතය ආයෙත් පාරක් මතක් වුනා. මගේ සඳවතියත් මා අඳුරේ දමා හැර ගියා නේද කියල මට මතක් වුනා.  ආයාසයෙන් උඩට ඇදගත්ත බර සුසුම නිදහස් කරල මම ඇඳෙන් නැගිට්ට. දවල්ට කාලත් නෑ, ඒත් එච්චර බඩගින්නකුත් නෑ. මොනවහරි කොටන්න කියල මේ ලේස්ති වුනේ. කලින් එක වගේ මේකත් එහෙමම වෙන බ්ලොග් එකක වැටෙයිද දන්නෙ නෑ. කලින් එක ලිව්වට පස්සෙ මට මේක ලියන්න ඕන කියල හිතුනෙ. අපෙ අයගෙ කඩ්ඩ සම්බන්ද පොඩි රසවත් සිද්දි කීපයක්. මට හිනායන විදියට නම් ලියන්න බැරි වේවි. මම නිකන් කොටල දාන්නම්. ඔන්න හිනාගියේ නෑ කියල බනින්න එපා හොඳේ.



කැම්පස් ආපු කාලෙ අපේ ගොඩක් අයගෙ කඩ්ඩ අප්සට් නෙ. ඇයි ඉතින් අවුරුදු දහතුනක් අමු සිංහලෙන්ම ඉගෙන ගෙන, එච්චර කල් සිංහලෙන්ම කතා කරල කැම්පස් ආපු ගමන් කඩ්ඩ පුලුවන් වෙන්නෙ නෑ නෙ. අපි මොකෝ ඉන්ටනැශනල් ස්කූල් වලට ගියා කියලයැ. ෆස්ට් ඉයර් එකේ අපේ හොස්ටෙල් එකට සෙට් වුනේ නියමම බුල ඩයල් සෙට් එකක්. කඩ්ඩ නම් නැතිම තරම්. ඒ කිව්වෙ කඩ්ඩ කතා කරන්න තමයි බැරි. ලියන්න කියවන්න සාමාන්‍ය තරමට පුලුවන්. කතා කරන්න නම් බෑම තමයි. අපේ හොස්ටල් එකේ දෙමළ ළමයි ටිකකුත් හිටිය. ආපු කාලෙ උන්ට සිංහල බෑ. අපිට ඉතින් දෙමළ බෑ නෙ. එතකොට කතා කරන්න පුලුවන් එකම විදිය කඩ්ඩෙන් තමයි. අපරාදෙ කියන්නෙ අපේ උන්ට වගේම උන්ටත් කඩු හරඹ බෑ. ඉතින් කතා කරන්න ගියාම ලොවෙත් නැති කට්ටක් කනව. ඒ නිසාම මුල් දවස් වල අපේ උන් දෙමළ සෙට් එකත් එක්ක වැඩි කතාවක් නෑ. හැබැයි ඉතින් අමාරුවෙන් හරි කතා කරන වෙලාවට අහන් ඉන්න ආසයි. මට මතක ලස්සනම වැඩේ තමයි අපේ එකෙක් දෙමළ එකෙක්ගෙන් කෑවද කියල අහපු එක.


"Did you eat?"

"Yes I ate."

ඕකනෙ ඉතින් ඉංග්‍රීසි භාශාවෙන් කෑවද කියල අහන සරලම ක්‍රමේ සහ ඒකට දෙන සරලම උත්තරේ. ඒ වුනාට අපේ උන් ඔයිටත් වැඩිය සරල ක්‍රමයක් තමයි පාවිච්චි කලේ.

ප්‍රශ්නය:  "Eat?"

උත්තරය:  "Eat."

ප්‍රශ්නෙ අහන එකා ප්‍රශ්නයක් අහන ටෝන් එකෙන් Eat කියල අහනව. උත්තරේ දෙන එකා උත්තරයක් දෙන ටෝන් එකෙන් ඔලුව වනල Eat කියල කියනව. මට ඔය දෙබස දෙතුන් පාරක්ම ඇහිල තියනව. දැන් ඔන්න හිතන්න එපා අපෙ උන් අඩු ගානෙ eat කියන එකේ අතීත කාල පදය ate කියන එකවත් දන්නෙ නෑ කියල. එහෙම නෙමෙයි, භාවිතයක් නැති නිසා අඩුම ගානෙ ඒක වත් ඒ වෙලාවට එන්නෙ නෑ.


ට්‍රේනින් කාලෙත් පොඩි සිද්දියක් වුනා. මම අර කලින් කතාවෙ කියපු කෙල්ලටම තමයි මේක වුනෙත්. අපි දෙන්න බිල්ඩින් එකක ඩ්‍රෝවින් එකක වැඩක් කර කර ඉන්නකොට අර කෙල්ල මගෙන් ඇහුව "කසුන්, සෙකන්ඩ් ෆ්ලෝ එකේ ජනෙල්ස් කීයක් තියෙද?" කියල. කරුමෙ කියන්නෙ මට ඕක ඒ වෙලාවෙ මීටර් වුනේ නෑ නෙ. නැත්තන් ඒක ඇති සති ගානකට. පස්සෙ වෙලාවක ඒකිමයි හිනා වෙවී කිව්වෙ.

තව ලස්සනම කතාවක් තියනව අපෙ කලින් හිටපු රෙපෙක් ගැන. ඒක නම් හදපු කතාවක්. ඌට පස්සෙ හිටපු රෙපා තමයි කතාව හැදුවෙ. ඔය කලින් කියපු රෙපා ටිකක් දුශ්කර ගමක ඉන්නෙ. ඇත්තටම උගේ කඩ්ඩ නම් බිංදුවයි. ලෙක්චර්ස්ල නෙමෙයි, VC ඇවිත් කඩ්ඩෙන් කතා කලත් ඌ අමු සිංහලෙන්ම තමයි උත්තර දෙන්නෙ. ඒක නිසා තමයි ඌට ඔය කතාව හැදුනෙ. කතාව හදපු එකා මෙහෙමයි කිව්වෙ. මූව රෙපාට දාපු අලුත මැඩම් කෙනෙක් ඇවිත් ඇහුවලු "Who is the rep?" කියල. අරූ කිව්වලු "I is the rep" කියල. ඊට පස්සෙ මැඩම් කිව්වලු, "Ah, you are the rep?" කියල. ඊලඟට මූ කිව්වලු "Yes, I are the rep" කියල.

කාලයක් අපි බෝඩිමේ කඩ්ඩෙන් කතා කරන්න පුරුදු වෙලා හිටිය. මොකක් වුනත් කඩ්ඩෙන් තමයි කියන්න ඕන. ඇත්තටම ඒක හොඳ ප්‍රැක්ටිස් එකක්. වැරදුනාට හිනා වෙන්න කවුරුවත් නෑ, අපේ එවුන් නෙ ඉන්නෙ. ඒ කාලෙ හෙන බැරෑරුම් මාතෘකා ගැන කතා යනව කඩ්ඩෙන්. හැබැයි ඉතින් ව්‍යාකරණ කියල නාමයක් නෑ. අලුත් ව්‍යාකරණ නීති සෑහෙන්න හැදුන ඒ කාලෙ. ඒ ලඟම බෝඩිමක අපේ අක්ක කෙනෙක් හිටිය. ඒකෙ හිටපු අනිත් කෙල්ලො ඒ අක්කට කියල තිබුන මල්ලිලගෙ ඉංග්‍රීසි හොඳයි, ග්‍රැමර් තමයි අවුල කියල. අපේ එකෙක් හිටිය උගේ කඩ්ඩ තමයි අපි අහන්න ආසම. ඌ කවදාවත් කතා කරනකොට හිර වෙන්නෙ නෑ. අතට අහුවේන ටෙන්ස් එකකින් කටට එන වචනයක් දාල වාක්‍යය සම්පූර්ණ කරනව. දවසක් මූ කැම්පස් එකේදි වතුර ඕන වෙලා කිව්ව, "Can I give a piece of water?" කියල. මිනිහ ඔහොම ලස්සන කතා ගොඩක් කියල තියනව. මට දැන් මතක් වෙන්නෙ නෑ නෙ.



අන්තිමටම කියන්න තියෙන්නෙ අපේ ගමේ එකෙක් කරපු වැඩක්. මේක නම් කඩ්ඩ සම්බන්දම දෙයක් නෙමෙයි. මිනිහ දවසක් මට ෆේස්බුක් එකේ කෙල්ලෙක් ගැන කිව්ව. මමත් ඉතින් අනේ නම අහගෙන ඒ කෙල්ලව ඇඩ් කරගත්ත. දන්නෙ නැද්ද ඉතින් යාලුකමටනෙ. ඒ කෙල්ල ඉන්දියාවෙ කෙල්ලෙක්. එයාර්ලයින් එකක වැඩ කරන්නෙ, එයාර් හොස්ටස් කෙනෙක්. දවසක් මම ඒකිගෙ ෆොටෝ බැලුව. ඒකෙ එක ෆොටෝ එකක් තියනව මොකක් හරි උත්සවයක හරි මීටින් එකක හරි. ඒකෙ එයාර් හොස්ටස්ල ගොඩක් වාඩි වෙලා ඉන්නව. ඒකෙ ඉංග්‍රීසියෙනුයි, ඉංග්‍රීසි අකුරු වලින් හින්දියෙනුයි දාපු කමෙන්ට් ගොඩක් තිබුන. ඒකෙ යටින්ම අපේ එකා ඉංග්‍රීසි අකුරු වලින් සිංහලෙන් ලියල තිබුන "කෝ මේකෙ ඔයාව අඳුර ගන්න බෑ නෙ" කියල . (ko meke oyawa adura ganna baa ne)

...................................................................................................................................................................
ප.ලි. උඩ තියන පින්තූර ලැබුන තැන් නම් මතක නෑ. ඊයෙ හවස ලියන්න පටන් ගත්තට ලියන්න වුනේ නෑ. දැන් තමයි ඉවර කලේ. අර සිංදුව ඒ වෙලාවෙ ඉඳන් මේ වෙනකොට දහ පාරකට වඩා ඇහුව. හිතට ගොඩක්ම දැනෙන, ලස්සන, සංවේදී සිංදුවක්. ඒක අහපු නැති කෙනෙක් නම් නැතුව ඇති. ඒ වුනාට කරුමෙට හරි අහල නැති කෙනෙක් ඉන්නව නම් මෙන්න සින්දුව.






Friday, July 22, 2011

මම ඔයා හිතන විදියෙ කෙනෙක් නෙමෙයි කසුන්

ඔන්න කැම්පස් පටන් ගන්නවලු. මෙච්චර දවස් බැන බැන හිටියට දැන් නම් යන්න කම්මැලියි වගේ. තව ටිකක් ස්ට්‍රයික් එක තිබුන නම් හොඳයි කියල හිතෙනව. මේ සෙමෙස්ටර් එකේ නම් කොට්ටෙකුත් අරගෙනම තමයි ලෙක්චර්ස් යන්න වෙන්නෙ. ඇයි දෙයියනේ මෙච්චර දවස් ගෙදර ඉඳල කොහොමද ලෙක්චර්ස් වල ගිහින් ඉන්නෙ? අදත් මොකක් හරි කොටන්න කියල මේ ලේස්ති වුනේ. පහුගිය දවස් ටිකේම බැරෑරුම් මාතෘකා ගැන නෙ කතා කලේ. මට හිතුන මගේ ජීවිතේ මම මූන දීපු අත්දැකීම් ගැනත් අනිත් අයත් එක්ක බෙදාගන්න පුලුවන් නම් හොඳයි කියල. අත්දැකීම් කිව්වට ඉතින් චාටර් සිද්ධි තමයි තියෙන්නෙ. අද මේ කොටන්න යන්නෙ මම ට්‍රේනින් කාලෙ වුන සිද්ධියක්.

මම ට්‍රේනින් හිටියෙ විශාල පරිමාණයේ ආයතනයක. ඒකෙ අංශ ගනනාවක්ම තියනව. අපේ බැච් එකේ හතර දෙනෙක්ම ඒකෙ ට්‍රේනින් හිටිය. කොල්ලො දෙන්නයි, කෙල්ලො දෙන්නයි. මම හිටපු අංශයේ මාත් එක්ක අනිත් හිටියෙ කෙල්ලෙක්. ඒකි තමයි කතා නායිකාව. අපි කියමු එයාට නිශාදි කියල. අපි ඉතින් ලන්ච් ටයිම් එකට හතර දෙනාම සෙට් වෙලා තමයි කෑම කන්නෙ. ඉතින් කනකල් මායි අනිත් කොල්ලයි කරන්නෙ අරුන් දෙන්නව බයිට් කරන එක. උන් දෙන්නත් කිසි අවුලක් නෑ. උන් දෙන්නගෙත් හොඳ කටවල් දෙක, උන් දෙන්නත් අතාරින්නෙ නෑ. කොහොම හරි අපි මාරම ෆන් එකේ හිටියෙ. ඒ මගේ සෙක්ශන් එකේ හිටපු කෙල්ල එක්ක ඊට කලින් මම වචන දහයකට වැඩිය කතා කරල නෑ මම හිතන්නෙ. ආපු දවස්වල කාගෙත් නම් ගම් විස්තර අහගන්නවනෙ සින්නො ඇහුවම කියන්න. එහෙම කතා කලාට පස්සෙම මම කතා කරල නෑ ඒ කෙල්ල එක්ක. ඒ වුනාට ට්‍රේනින් ගියාට පස්සෙ ඒකටත් එක්ක හරියන්නම කතා කලා. ඔෆිස් එකේ වැඩ නැති වෙලාවට (වැඩියම තිබුනෙ එහෙම වෙලාවල් තමයි.) අපි දෙන්නගෙ වැඩේ මොකක් හරි බයිලයක් කියව කියව හිනා වෙන එක. (පසු කාලීනව 'ටක් ටුක් ටික්', 'කොටු කැපීම' වගේ ළමා ක්‍රීඩාත් ඒකට එකතු වුනා.) ඒ සෙක්ශන් එකේ තුන්වෙනියට ඉන්න සර් ඉන්නෙ අපේ ලඟම අපේ පැත්ත බලාගෙන. පස්සෙ ඒ මනුස්සයවත් ගානක් නැතුව ගියා. ඒ කෙල්ල අනිත් කෙල්ලො වගේ පොඩ්ඩ ඇත්තන් බුම්මගන්නෙ නෑ. විහිලු හොඳට තේරෙනව. ඒක නිසා මාත් කටට එන ඕන දෙයක් කියන්න පුරුදු වෙලා හිටියෙ.  

හරි දැන් සිද්ධියට එමුකො. ඒකෙ හිටීගමන් එක එක දේශන තියනව. එක එක මාතෘකා ගැන. ටෙක්නිකල්, මැනේජ්මන්ට්, පොසිටිව් තින්කින් වගේ දේවල්. එක ඔය කියන දවසෙ තිබුනෙ පොසිටිවි තින්කින් ගැන දේශනයක්. අපේ ට්‍රෙනීස්ලට කියල තිබුනෙ ඕන දේශනයකට කැමති නම් යන්න කියල. ඉතින් එදා එකටත් අපි හැමෝම ගියා. එදා දේශනේ ගොඩක් ඉන්ටරෙස්ටින්. ඒක කරපු සර්නුත් ගොඩක් ආස හිතෙන විදියට කියල දුන්න. මම එතන තිබුන දේශන වලින් නිදා ගන්නෙ නැතුව ඔක්කොම අහගෙන හිටපු එකම දේශනේ ඒක. ඔහොම යනකොට ටික වෙලාවකින් මෙන්න මේ පහලින් තියන ෆොටෝ එක තියන ස්ලයිඩ් එකක් දැම්ම. 

(ගූගල් ඉමේජ් වලට පින්සිද්ද වෙන්න 'cat in front of mirror' කියල ගහපු ගමන් මේක හොයා ගන්න පුලුවන් වුනා.)

දාල කිව්ව "අපි ඇත්තටම කවුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නෙ, අපි ගැන අපි හිතාගෙන ඉන්න විදියයි වැදගත් වෙන්නෙ" කියල. ඒ කියන්නෙ සරළව කිව්වොත්, අපි අපේ ගැන ඉහලින් හිතන ඉන්න තරමට අපිට වැඩි වැඩියෙන් ඉහලට යන්න පුලුවන් කියන එකනෙ. මම අර කෙල්ලට ඔයිට කලින් විහිලු කර කර හිටියෙ ඒකි තමන්ගෙ ගැන හෙන ලොකුවෙන් හිතාගෙන ඉන්නෙ කියල. ඔන්න ඉතින් ඒ වෙලාවෙ මගේ කට කහන්න ගත්ත. අපේ සෙට් එකේ මම හිටියෙ කොනේම. මගේ ගාව අනිත් කොල්ල, ඊලඟට මගේ සෙක්ශන් එකේ කෙල්ල, ඊටත් එහා අනිත් කෙල්ල. මම ඉතින් ඉස්සරහට නැමිල අරකි දිහා බැලුව. ඒකිත් මම කියපුව මතක් වෙලාද කොහෙද මගේ පැත්ත බලාගෙන හිටියෙ. මම කිව්ව, "ඔන්න, උඹ වගේ ඩයල් එකක්. උඹත් ඔය වගේ හෙන ලොකුවෙන් නෙ හිතාගෙන ඉන්නෙ" කියල. ඒකි මට ඔරවල ඉස්සරහ බලාගත්ත. ඔහොම ඉඳල ඊට පස්සෙ දවසෙ කන වෙලාවෙ මම ආයෙත් ඔය කතාව ඇදල ගත්ත. ඒ වෙලාවෙ නම් ඒකි හොඳටම බයිට් වුනා. එදා හවස හොඳටම වැඩ සෙට් වුනා. ඔලුව උස්සගන්න බැරි තරමට වැඩ වැටුන. වැඩ කර කර ඉන්න ගමන් ඒකි එක පාරට කිව්ව මට දෙයක් කියන්න තියනව කියල. ඊට පස්සෙ එක්කො ඕන නෑ කියල නිකන් හිටිය. වැඩ හිර වෙලා තිබුන නිසා මමත් ආයෙ අහන්න ගියේ නෑ. ඊට පස්සෙ දවසෙ එච්චර වැඩ තිබුනෙ නෑ. දැන් මේකි ටිකක් අවුල් වගේ. මාත් එක්ක වැඩිය කතා කරන්නෙත් නෑ, හිනා වෙන්නෙත් නෑ. මට අවුලක් තියනව කියල මීටර් වුනා, ඒත් මම අහන්න ගියේ නෑ. හවස ආයෙත් මේකි කිව්ව "මට ඔයාට දෙයක් කියන්න තියනව" කියල. මම කිව්ව කියන්න කියල. ඊට පස්සෙ ආයෙත් නොකිය ඉන්න හැදුව. මම කිව්ව " නෑ නෑ කියන්න ගිය දේ කියන්න" කියල.   
 
"මම ඔයා හිතාගෙන ඉන්න විදියෙ කෙනෙක් නෙමෙයි කසුන්."

මට දැන් විකාරයි මොනවද මෙයා කියන්නෙ කියල.

"මම කවදාවත් මගේ ගැන ලොකුවට හිතාගෙන හිටියෙ නෑ." එහෙම කියනකොටම මේකිට ඇඬුන. මට එතකොට තමයි සීන් එක මීටර් වුනේ. මම දැන් කරකවල ඇතෑරිය වගේ. 

"මම මගේ තරම හොඳට දන්නව. මම ඊට වැඩියෙන් මගේ ගැන හිතගෙන ඉන්නෙ නෑ. මට එහෙම ඕනත් නෑ." 

දැන් මේකි කියව කියව අඬනව. මට කරගන්න දෙයක් හිතාගන්න බැරුව මම බලාගෙන ඉන්නව. මහ පාරක වගේ වුනානම් වාහනයකටවත් පනින්න තිබුන. දැන් මට හොඳටම අප්සට්. ඊටත් වැඩිය අනිත් අයට ඇහුනොත් අපි දෙන්නටම හරි නෑ නෙ. කම්පියුටර් ඇසිස්ටන්ට් අක්ක ඉන්නෙත් අපි ඉන්න තැනට චුට්ටක් එහායින්. ඒ අක්කට මේකි අඬන සද්දෙ ඇහිල. එයා ඉන්නෙ අපිට පිටුපාල. දැන් එයාත් හැරි හැරී බලනව. මේකි තවත් ලේන්සුවෙන් මූන වහගෙන අඬනව. ඔයිට වැඩිය හොඳයි පැත්තකට එක්කගෙන ගිහින් මට ගැහුව නම්.


මම කිව්ව "අයියෝ, මම ඒක විහිලුවට කිව්වෙ. හරි හරි දැන් ඒක ඉවරයි" කියල. වැඩිය මොනවත් කියන්න ගියේ නෑ, අඬන වෙලාවට හිත හදන්න ගියාම තවත් ඇඬෙනව නෙ, ඒක නිසා. කොහොමහරි ශේප් එකේ ඇඬිල්ල නැවතුනා. අම්මෝ එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. අර අක්කට විතරයි වැඩේ මාට්ටු. අර අපි දෙන්න ලඟම ඉන්න සර් වෙලාවට ඒ වෙලාවෙ හිටියෙ නෑ. ඒ මනුස්සය ඒ වෙලාවෙ හිටිය නම් මම ආයෙත් එතන ට්‍රේනින් යන්නෙ නෑ.

කොහොමහරි මට වුන දේ ගැන ගොඩක් දුක හිතුන. කවදාවත් විහිලු කලාට තරහ යන්නෙවත් නැති කෙල්ලට ඇඬුන කියන්නෙ ගොඩක්ම හිත රිදිල වෙන්න ඕන නෙ. ඒකයි මට ගොඩක්ම අප්සට්. ප්‍රයිමරියෙන් අයින් වුනාට පස්සෙ මම විහිලු කරල කෙල්ලෙක් ඇඬුවමද කොහෙද. මම සාමන්‍යයෙන් කවුරුහරි අප්සට් වේගෙන වගේ එනව නම් ටක් ගාල විහිලු කරන එක නවත්තනව. ඒත් මෙයා එහෙම අවුල් යන්නෙ නැති නිසා මෙයට මම ඕන තරම් විහිලු කරනව. මට හිතාගන්න බැරි ඇයි මේ කතාවට විතරක් එච්චර අවුල් ගියේ කියල.  

අපි දෙන්නම එකම මේසෙ දෙපැත්තෙ මූනට මූන බලාගෙන ඉන්නෙ. කොහොමහරි ඊට පස්සෙ දවස් ගානක් යනකල් මම ඒකි දිහා ඔලුව උස්සල බැලුවෙවත් නෑ. බලන්න පුලුවන් කමක් තිබුනෙ නෑ ඇත්තටම. ඒකිත් ඊට පස්සෙ වැඩිය කතා නෑ. ඔෆීශියල් වැඩ වලට විතරයි ඊට පස්සෙ කතා කලේ. කන්න ගියාම උනත් අනිත් කෙල්ලට විහිලු කලොත් මිසක් මේකි ගැන වචනයක් වත් කිව්වෙ නෑ. ඒ දවස් ටිකේ ඔෆිස් එකේ ඉන්න එක නම් මාරම බෝරින් වෙලා තිබුනෙ. හැබැයි ඉතින් වැඩි දවසක් ඔහොම හිටියෙ නෑ. අපි දෙන්නටම කට පියාගෙන ඉන්න හරි අමාරුයි. ආයෙත් ටික ටික කතා කරන්න ගත්ත. ඊට පස්සෙ දවස් දෙක තුනකින් සාමාන්‍ය තත්ත්වෙට ආව. ඊට පස්සෙ මම ඇහුව "එච්චර සීරියස් ගන්න තරම් මොකක්ද වුනේ? මම විහිලුවක්නෙ කලේ" කියල. ඒකි කියනව "ඔයා විහිලුවට නෙමෙයි ඒක නම් ඇත්තටමයි කිව්වෙ" කියල. මම කිව්ව එහෙම එකක් නෑ ඒක විහිලුවක් විතරයි කියල. ඒකි කියනව "ඔයා මට ඕන තරම් විහිලු කරල තියනව, ඒ කිසි දෙයක් මට ප්‍රශ්නයක් නෑ. ඒත් මේක නම් මට හිතෙන්නෙම ඔයා ඇත්තටම කිව්ව කියල. මම කවදාවත් මගේ ගැන ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට ගොඩක් දුක හිතුන" කියල. කොහොමහරි එහෙම දෙයක් නෑ කියල දහ අතේ දිවුරල යන්තන් ශේප් කරගත්ත.  පස්සෙ ඒකි ආයෙත් කිව්ව, "වෙනද නම් ඔයා විහිලු කරනකොට හිනා වෙවී නෙ කරන්නෙ, ඒත් එදා නම් මුනේ පොඩ්ඩක්වත් හිනාවක් තිබුනෙ නෑ, මහ සීරියස් මූඩ් එකක් තිබුනෙ. ඒකයි මම හිතුවෙ ඔයා ඇත්තටම කිව්වෙ කියල". හලේ මම ඇත්තටම එහෙම දෙයක් නම් හිතල කලේ නෑ. මම වෙනද වගේම ඉතින් ජෝක් එකටම තමයි කිව්වෙ. කොහොමහරි ඉතින් ඒ වැඩේ ශේප් වුනා.

ඊට පස්සෙ වැරදිලාවත් ඒ විහිලුව නම් ආයෙත් කලේ නෑ. හැබැයි පස්සෙ ඔය අඬපු සීන් එක මතක් කරලත් බයිට් කරන්න ගත්ත. අනිත් දෙන්නට නම් ඒ කතාව කිව්වෙ නෑ. ඒක මගේ පාවිච්චියට විතරක් තියා ගත්ත.  ඊලඟට සමහර වෙලාවට මම මොකක් හරි චාටර් කතාවක් කියල එහෙමම අනිත් පැත්තට ගොන් හිනාවක් දාල කියනව "ඔන්න හිනා වෙවී කිව්වෙ, සීරියස් ගන්න බෑ" කියල. මම කියල තිබුනෙ ඇත්තට කියන්න දෙයක් තියනව නම් කියන්නම්, විහිලු සීරියස් ගන්න බෑ කියල. කොහොම වුනත් වෙනදට වඩා පරෙස්සමින් තමයි ඊට පස්සෙ විහිලු කලේ.  ඊට පස්සෙ ඒ වගේ ප්‍රශ්න වුනේ නෑ. දෙන්න රන්ඩු වෙලා මල පැනල හිටපු වෙලාවල් නම් තිබුන.   

Friday, June 24, 2011

ආයෙත් පාරක් හිත රිද්දුව නේද?

හරි නම් මම දැන් දාන්න ඕන මගේ කතාවෙ ඊලඟ කොටස. මට දෙතුන් දෙනෙක් බැන්නත් එක්ක මම කතාව දානව හෙමින් වැඩියි කියල. ඒත් මම මේක ගැන කියන්න ඕන හිතුන. ආයෙත් හිත රිදුනා. ඔව්, කාලෙකට පස්සෙ ආයෙත් හිත රිදුන. මගේ කලින් පෝස්ට් කියවපු අය නම් දන්නව ඇති මම ආදරෙන් දෙතුන් පාරක්ම පරාද වුනා කියල. ඒ හැම දෙයක් ගැනම මම හිත හදාගෙන හිටියෙ. ඒත් ආයෙත් පාරක් මගේ හිත පරාද වුනා. කලින් තරම් දරුණු නැති වුනත් ආයෙත් හිත රිදුන.

අන්තිම වතාවට මම ආදරෙන් පරාද වුනේ කැම්පස් ආවට පස්සෙ. ෆේස්බුක් එකෙන් අමුතුම විදියකට අඳුන ගත්ත ඇය හා මම යාලුකමට වඩා ගොඩක් දුර ගියා. අන්තිමට ඒක කෙලවර වුනේ ආදරයකින්. ඒත් ඒ ආදරයට වැඩි ආයුශ තිබුනෙ නෑ. එයාගෙ ගෙදරින් කැමති නෑ කියල ඒ සම්බන්දෙ නවත්තමු කියල එයා කිව්ව. (ඒක ඇත්ත හේතුව නෙමෙයි කියල නම් මම දන්නව. ඒත් ඇත්ත හේතුව මම තාම දන්නෙ නෑ.) කොච්චර කරුණු කිව්වත් වැඩක් වුනේ නෑ. එයාගෙ හිත වෙනස් වුනේම නෑ. අන්තිමට මනෝ විද්‍යා උපදේශක කෙනෙක් ගාවට ගිහින් තමයි මම අමාරුවෙන් හිත හදා ගත්තෙ. මම ඒක නෙමෙයි කියන්න ගියේ. මම කියන්න යන්නෙ එතන ඉඳල වුන කතාවක්.

ඒ විදියට සම්බන්දෙ නැවැත්තුවත් එයා මට කවදාවත් ඈතට යන්න දුන්නෙම නෑ. මම මැසේජ් කරන එක නැවැත්තුවම එයා ඇහුව ඇයි යාලුවෙක් විදියට එයාට මැසේජ් එකක් වත් එවන්නෙ නැත්තෙ කියල. එයා කිව්ව හැමදාම උදේට එයා මගේ මැසේජ් එක එනකල් බලන් ඉන්නව කියල. අරමුණක් නැතුව වුනත් හැමදාම මම මැසේජ් යැව්ව. ඒ අතරෙ මම ආයෙත් දෙතුන් පාරක් එයාට තේරුම් කරල දෙන්න උත්සහ කලා, ඒත් ආයෙත් කිව්වෙ ඒ කතාවමයි. පස්සෙ මම එයා ගැන තිබුන අදහස සම්පූර්ණයෙන්ම ඇතෑරියා. ආයෙත් කවදාවත් ඕන නෑ කියල හිතුව. පස්සෙ මම එයාටත් තේරුම් කරල දීල මැසේජ් යවන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුව. මම ඊට පස්සෙ ෆේස්බුක් එකෙන් වත් කතා කලේ නෑ. ටික කාලෙකින් එයා ආයෙත් ෆේස්බුක් එකෙන් චැට් කරන්න පටන් ගත්ත. ඒකෙන් වෙන්නෙ අමාරුවෙන් මම අමතක කරපු දේවල් ආයෙත් මතක් වෙන එක වුනත්, මම එයා එක්ක කතා කලා. එයා මගේ හිත රිද්දුවත් මම කවදාවත් කැමති වුනේ නෑ එයාගෙ හිත රිද්දන්න. ඒක නිසා මම කතා කලා. එයා කිව්ව එයා ඔන්ලයින් ඉන්නව දැක්කොත් කතා නොකර යන්න එපා කියල. මාත් සමහර දවස් වලට චැට් කලා. ඒත් මම වැඩිය ඒ වැඩේ කරන්න ගියේ නෑ. එහෙම කතා කරල ආයෙත් ටික දවසක් කතා නොකර ඉඳල මැසේජ් එකක් එවනව "ඔයාට දැන් මාව මතක් වෙන්නෙවත් නෑ නේද? මැසේජ් එකක් ඒකක් එවන්න වත් මාව මතක් වෙන්නෙ නැද්ද?" ඔය වගේ කතා දෙතුන් පාරක්ම කිව්ව. ඔන්න ඔහොම ටික කාලයක් ගත වුනා.

දැන් ටික දවසක ඉඳල එයා හැමදාම චැට් කරන්න ගත්ත. ඒ කිව්වෙ, මම ඔන්ලයින් ඉන්නව දැක්කොත් අනිව කතා කරනව. එයාගෙ විස්තර, ප්‍රශ්න, හැමදෙයක්ම මාත් එක්ක කිව්ව. ඔන්න එතකොට තමයි මම අමාරුවෙන් හදා ගත්ත හිත ආයෙත් වෙනස් වෙන්න ගත්තෙ. ඊට පස්සෙ කවදාවත් මම චැට් එක පටන් ගත්තෙ නෑ, හැබැයි මම බලාගෙන හිටිය එයා චැට් කරාවි කියල. කවදාවත් ඕන නෑ කියල හිතපු කෙනා එක්ක ආයෙත් අමුතු බැඳීමක් ඇති වුනා. මම එතකොටත් එයාව ඕන නෑ කියන තීරණයෙමයි හිටියෙ. ඒත් කියන්න තෙරෙන්නෙ නැති විදියට ආයෙත් මම එයාට ලං වුනා. ඊට පස්සෙ එයා වහෙන් ඔරෝ එක එක කතා කියන්න ගත්ත. එයා මට මොකක් හරි කියන්න උත්සහ කරනව කියල තේරුනා. එයා කිව්ව, "මම ජීවිතේ තීරන ගත්තෙ කිසිම වගකීමක් නැතුව, මට දැන් ඒ දේවල් තේරෙනව. මම දැන් ඒ දේවල් ගැන ගොඩක් දුක් වෙනව. මම දැන් ගොඩක් වෙනස් වෙලා ඉන්නෙ." කියල. පහුගිය දවස් වල ඔය වගේ ගොඩක් දේවල් කිව්ව. තව ඇහුව "ඔයා ඊට පස්සෙ කාත් එක්ක හරි යාලු වුනාද?", "ඔයා ආයෙත් කාටවත් ආදරේ කරන්නෙ නැද්ද?" ඔය වගේ ගොඩක් දේවල්. මම ආයෙත් කවදාවත් එයාට ආදරේ කියල කියන්නෙ නෑ, මට කවදාවත් එයාව ආයෙත් ඕන නෑ කියල දැඩි තීරනයක් අරගෙන තිබුනෙ. ඒ නිසා ඒ කියපු කිසි දේකට මම විශේෂත්වයක් පෙන්නුවෙ නෑ. ඒ හැම දේටම මම බොහොම පරෙස්සමින් උත්තර දුන්න. හැබැයි මම එහෙම දැඩි තීරණයක හිටියට මගේ හිත නම් දවසින් දවස ඒ පැත්තටම ලං වුනා. මට ඒක පාළනය කරන්න හැකියාවක් තිබුනෙ නෑ.

ඔහොම ඉඳල ලඟදි දවසක එයා කිව්ව එයාට මාව මුනගැහෙන්න ඕන කියල. මට විකාර වෙලා ගියා. ඒත් මම වෙනසක් පෙන්නුවෙ නෑ. මම කිව්ව එන්නම් කියල. කොහොමත් මට එයාට බෑ කියන්නත් බෑ, අනිත් එක මටත් එයාව මුණගැහෙන්න ආස හිතුන. මොකද කියන්න නම් දන්නෙ නෑ. ඊට පස්සෙ එයා මගෙන් අහුව "ඔයාට ආයෙත් මගෙත් එක්ක කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?" කියල. මම කිව්ව ඉතින් අපි කොහොමත් හැමදාම කතා කරනවනේ කියල. මට හොඳටම පැහැදිලි වුනා එයා මට මොකක්ද කියන්න හදන්නෙ කියල. හැමදාම වගේ එයාට ඒ වෙලාවෙත් ඕන වුනේ ආයෙත් ඒක මට කියල කියව ගන්න. මම කිව්ව ඔයාට කතා කරන්න ඕන නම් කියන්න, මම එන්නම් කියල. කොහොම හරි ඉරිද එනව කියල වැඩේ ස්ථීර කරගත්ත. මට එයා එක්ක ආයෙත් කතා කරන්න දෙයක් තිබුනෙ නෑ. ඒත් මටත් ආස හිතුන ආයෙත් එයාව මුණගැහෙන්න. මගේ යටි හිතේ ලොකු ආසාවක් ඇතිවුනා ඒ ගැන. මම උත්සහ කලේ ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව, ගිහින් කියන දෙයක් අහගෙන ඉඳල එනව කියල. ඒත් ඉතින් මගේ හිත නම් ගොඩක් දුර ගියා. මට නොතේරුනත් මම එයාව මුණගැහෙන්න ආසාවෙන් බලන් හිටිය. අනේ ඉතින් ඔක්කොම කරල ඔන්න ඊයෙ හවස මැසේජ් එකක් ආව "ඉරිදට එන්න වෙන්නෙ නෑ, සොරි" කියල. කාට කියන්නද ඉතින්. 

බුද්ධියෙන් හිතල බැලුවොත් මට දුක් වෙන්න කිසිම හේතුවක් නෑ. මොකද එයාමයි කිව්වෙ මාව මුණගැහෙන්න ඕන කියල. මට නෙමෙයි නෙ උවමනාව තිබ්බෙ. ඒ හැම දෙයක්ම එහෙම වෙලත් ඇයි ආයෙත් මගේ හිත රිදුනෙ? මම මොකටද දුක් වෙන්නෙ? මට එයාට කියන්න දෙයක් තිබුනෙ නෑ නෙ. ඔය කිසි දෙයක් මගේ හිත තේරුම් ගන්නෙ නෑ නෙ. මගේ හිත දන්නෙ එකම දෙයයි ඒ ආයෙත් එයාව මුණගැහෙන්න ආසාවෙන් හිටිය කියන එක විතරයි. කොහොම හරි මම ආයෙත් පාරක් පරාද වුනා. මගේ හිත ආයෙත් පාරක් රිදුන. මේක කියවන කෙනෙක්ට හිතෙයි මූට පිස්සු කියල කියල. මට ආයෙත් එයාව ඕන නැත්තන් මම මොකටද දුක් වෙන්නෙ කියල හිතේවි. ඒක තමයි මටත් තේරෙන්නෙ නැත්තෙ. මට මම ගැන දුකයි, ඊට වැඩිය මට මාත් එක්ක තරහයි. වැඩකට නැති දේවල් වලට තේරුමක් නැතුව දුක් වෙනව. හැමදාමත් එහෙමයි.

සමහරවිට එයා එන්න බෑ කියන්න ඇත්තෙ ඇත්තටම මොකක් හරි හේතුවක් නිසා වෙන්න ඇති. සමහරවිට ආයෙත් දවසක එන්න කියාවි. මට නම් දැන් විකාරයි. ආයෙත් එන්න කිව්වත් යන්න ඕන නෑ කියල මම හිතාගෙන ඉන්නෙ. ඒත් මගේ හිත නම් එහෙම නෙමෙයි. මේක විකාරයක් වගේ වෙන්න ඇති. කියවපු අය තරහ ගන්න එපා, හිතේ දිකට ලිව්වෙ.   

....................................................................................................................................................................
ප.ලි.  මේක ලියන අතරෙත් එයා චැට් කලා. මුකුත් වුනේ නෑ වගේ කතා කලා. එන්න වෙන්නෙ නෑ කියල කිව්වෙ මොකද කියලවත් කිව්වෙ නෑ. මම ඇහුවෙත් නෑ. ඔයා කතා කරනකල් මම ඔයා එක්ක කතා කරනව. තව දෙයක්, ඔයා හැමදාම එකක් හිතේ තියාගෙන වෙන දෙයක් නෙ කියන්නෙ. ඔයාට ඕන ආයෙත් පාරක් ඒක මට කියලම කියව ගන්න. ඔයාට කැමති තරම් මගේ හිත රිද්දන්න. ඒත් මම කවදාවත් ඔයාගෙ හිත රිද්දන්නෙ නෑ. හැබැයි මම කවදාවත් ආයෙත් ඔයාට ආදරෙයි කියල කියාවි කියල නම් බලාපොරොත්තු වෙන්න එපා.

Thursday, April 14, 2011

හලේ... ඇයි මටම මෙහෙම වෙන්නෙ?

අවුරුද්ද ගැන නම් ඉතින් ගොඩක් අය කතා කරනවනේ. ඒක නිසා මම ඒ ගැන ලියන්නෙ නෑ කියල හිටියෙ. හැබැයි මට මේ දැන් වෙච්ච අකරතැබ්බය ගැන නම් ලියන්න ඕන කියල හිතුන. කන්න ලැබෙන කල් කරන්න දෙයක් තියෙන්නත් ඕන නෙ. ඒක නිසා ලියලම දානව.

දැන් ඔන්න ලිප ගිනි මොලවන්න ඔක්කොම ලේස්ති කරල තියෙන්නෙ. ප්‍රධාන ලිපේ වැඩේ කුස්සියේ යන අතරෙ කිරි උතුරවන සෙග්මන්ට් එක භාර වුනේ මටයි නංගිලා දෙන්නටයි. මම තමයි එතන හෙඩ්, නංගිල දෙන්න ඇසිස්ටන්ට්ස්ල. සිවිලිං ෂීට් කෑලි තුනක් උඩ ගඩොල් බාග තුනක් තියල ලිප සෙට් කරල තියෙන්නෙ. අවශ්‍ය සියල්ල සූදානම්. අපි දැන් එකින් එක බලමු. මුට්ටියක්, කිරි, හීනියට පලා ගත් දර (විශ්කම්බය 2.5 ට අඩු), දර ඇවිලෙන තෙක් පත්තු වීමට පොල් හනසු, ඉටි පන්දමක්, ඉටි පන්දම පත්තු කිරීමට ගිනි පෙට්ටියක් සහ හොඳ කුක් කෙනෙක් (ඒ කිව්වෙ මම. තේකක් වත් හදා ගන්න බැරි වුනාට මොකද මම තමයි ඉතින් දැන් කුකා.) මම දැන පොර ලයින් එකෙන් ඉන්නෙ. වැඩි කතාවක් නෑ, ස්ටේටස් තියාගෙන ඉන්න එපාය. දැන් ඔන්න ඉටි පන්දම පත්තු  කර ගත්ත. 1.05 ට විතර අර පොල් හනසු ටිකට ගිනි අව්ලගෙන බලාගෙන ඉන්නව නැකත එනකල්. පොඩි එකී තමයි සන්නිවේදන අංශය භාරව හිටියෙ. ඔන්න ඉතින් 1.06 ට "දැන් හරී" කියල පොඩි එකී බෙරිහන් දෙනකොට උතුර බලාගෙන පත්තු කරපු පොල් හනසු ටික ලිපෙන් තිබ්බ. ඊට පස්සෙ අර හීනියට පලාගත් දර හෙමිහිට උඩින් තිබ්බ. මල විනාසයයි, මේ පොල් හනසු පත්තු වෙන්නෙ නෑ නෙ. වටේ තියන කෙඳි ටික පත්තු වෙලා නිවිල යනව. කන්නලව්වක් වත් කරල වැඩේ ගොඩ දාගන්න ගින්නට අදිපති දෙයියො කවුද කියල දන්නෙත් නෑ. නම දන්නෙ නැතුව කන්නලව් කරල නෝන්ඩි වෙන්න බෑ නෙ. සිටිස් ගාල පොඩි එකී යවල ප්‍රදාන ලිපෙන් පොල් කොල ටිකක් ඉස්සුව. ඊට පස්සෙ දර ටික අයින් කරල පොල් කොල ටික පත්තු කරල දාල අයෙත් දර දැම්ම. පොල් හනසු ටිකකුත් ඔය අස්සෙන් අස්සෙන් එබුව. අම්මෝ යන්තන් වැඩේ ශේප්, දර ටික දැන් ඇවිලෙනව. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ, යාන්තන් නෝන්ඩි නොවී ජාමෙ බේර ගත්තෙ.

ආයෙත් ඇඟේ ලේ වතුර වුනේ මුට්ටියෙ තිබුන කිරි ටික දැකල. මුට්ටියෙන් තුනෙන් දෙකක් වගේ තමයි කිරි තිබුනෙ. මේක උතුරන කොට හෙට වේවි. දැන් ඒපාර දඩි බිඩියෙ දර දානව. නංගිලා දෙන්නට දර දාන්න කියල මම සුපර්වයිස් කරගෙන හිටිය. කිරි ටික තාම හෙල්ලෙන්නෙ වත් නෑ. එනපොට හරියන්නෙ නෑ කියල මගේ මහා බුද්ධියට වැටහුනා. කොල්ල ආයෙත් වැඩේට බැස්ස. වටේටම දර දාල ගින්න තව වැඩි කරගත්ත. නංගිල දෙන්නත් මගේ දෙපැත්තෙන් බලාගෙන ඉන්නවා. ඔන්න දැන් තමයි සීන් එක වෙන්නෙ. එක පැත්තක ගින්දර නිවී ගෙන ආපු නිසා මම දර ටිකක් දාල පිඹින්න ගත්ත. එක පාරටම ලිපෙන් ඩෝං ගාල සද්දයක් ආව. සද්දෙට මායි නංගිලා දෙන්නයි පැත්තට විසි වෙලා ගියා. මට ආයෙත් ට්‍රැක් එකට එන්න තත්පර 2.63ක් ගියා.   

මොකක්ද යකෝ ඒ වුනේ? මාව මරන්න කවුරු හරි ලිපේ බෝම්බයක් වත් සෙට් කරලද? මම ටක් ගාල බැලුව නංගිල දෙන්නට මොකද කියල. හානියක් නෑ, පිපිරීමෙන් ඇති වුන කම්පනය නිසා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ලොකු එකීගෙ කලිසමට මුට්ටියේ තිබුන කිරි ටික විසි වෙලා. කිරි එච්චර රත් වෙලා තිබුනෙ නැති නිසා අවුලක් නෑ.

ප්‍රධාන ලිප ගාව හිටපු සහන කණ්ඩායම් ඒ වෙනකොටත් අනතුරු වුන ස්ථානයට වාර්තා කරල තිබුනෙ. ක්ෂණික පරීක්ෂණයකින් අනතුරුව කිසිවෙකුටත් අනතුරක් නෑ කියල සහන කණ්ඩායම් සනාථ කලා.  මම ලිපට කිට්ටු කරල බැලුව මොකක්ද සීන් එක කියල. ලිප වටේම ගිනි අගුරු කෑලි, ගඩොල් කැට තුන පෙරලිලා, මුට්ටිය ලිප මැද වැටිල, කිරි ටික ගේ පුරාම, එක විකාරයයි එතන. මම නම් හිතුවෙම බෝම්බයක්ම තමයි කියල. මුට්ටිය අයින් කරල බැලුවම තමයි තේරුනේ සීන් එක මොකක්ද කියල. උඩින්ම තිබුන සිවිලිං ෂීට් කෑල්ලෙ පලුවක් නෑ. රස්නෙට සිවිලිං ෂීට් එක පුපුරල. පස්සෙ තමයි හැම තැනම තිබුන පොඩි පොඩි සිවිලිං ෂීට කෑලි ටික මීටර් වුනේ. ඉතුරු සිවිලිං ෂීට් කෑල්ලෙත් ඉරි ගිහිල්ල. කවුද දෙයියනේ දන්නෙ ඔහොම එකක්? ඔයින් ගියා ඇති ඉතින්. අපි තුන් දෙනාම ලිප ලඟමයි හිටියෙ. මොකක් හරි වාසනාවකට කරදයක් වුනේ නෑ ඉතින්. මම ලිපට පිඹ පිඹ හිටියෙ, මගේ පැත්තට අඟුරු විසි වුනා නම් මූනටමයි වදින්නෙ. ගිනි අඟුරු කෑලි කාමරේ කොනේ තිබුන මේසෙ උඩත් තිබුන. ඔන්න ඔහොමයි කිරි උතුරවන සෙග්මන්ට් එක ඉවර වුනේ. කිරි උතුරවන්න වුනේ නෑ, කිරි ඉහිරෙව්ව. පස්සෙ ඉතින් කට්ටිය ශේප් එකේ ඒ ටික අස් කරල මොනවත් වුනේ නෑ වගේ හිටිය.

 ප.ලි. ඒ වෙලාවෙම ලියන්න ගත්තට ලියන්න වුනේ නෑ. දැන් තමයි ඉවර කලේ.

Friday, April 8, 2011

දරුවනි උඹලා මෙතරම් ගුණමකු වූයේ කෙසේද?

මා මේ ලිපිය ලියන්නේ තරමක් ආවේගයෙන් සහ කලකිරීමෙනි. මෙය පෝස්ට් එකක් දැමීමේ බලාපොරොත්තුවෙන් ලියන්නක් නොව හිතේ ඇතිවූ ආවේගයට හා කලකිරීමට ලියවෙන්නකි. මම අද ලොකු අම්මා සමග දානයකට සහභාගී වුනෙමි. ඒ වැඩිහිටි නිවාසයක දානයකටය.  එම වැඩිහිටි නිවාසය මගෙ නිවසට තරමක් ආසන්නයෙන් පිහිටා තිබුනේය. අප රාත්‍රී ආහරය රැගෙන යන විට ඔවුන් තැන් තැන් වලට වී අප එන තුරු බලාසිටියෝය. රෑ වුනු පසු රාත්‍රී ආහාරය ගෙන නින්දට යනු විනා කිරිමට කිසිත් ඔවුන්ට නැත. අප එහි ගිය පසු හැමෝම බුද්ධ පූජාව පිළිගැන්වීමට බුදු පහන අසලට රැස් වුනෝය. එහි වැඩිහිටියන් 30 දෙනෙක් සිටිති. බුද්ධ පූජාව නිමවූ පසු හැමෝම කෑම කාමරය දෙසට පිය මැන්නෝය. එහි බොහෝ තැන් වල කොට තාප්ප සහ අත් වැටවල් පිහිටා තිබුනේ දෙපා හරි හැටි වාරු නැති වැඩිහිටියන්ට වාරුවක් වන අටියෙනි. කෑම කාමරය  බිම් මට්ටමෙන් තරමක් පහලින් පිහිටා තිබූ බැවින් එයට පිවිසීමට පඩි පෙලක් බැස යා යුතුය. හැමොම ඉන් පහලට බැස ගත්තේ පඩි පෙලේ බිත්තියේ සවිකර තිබූ අත්වැටේ ආධාරයෙනි. ඔවුන් පහලට බැසීමට ගන්නා වෙහෙස තරමක් ඈතින් සිටි මට පැහැදිලිව පෙනුනි. කොහොමවත් පහලට බැසීමට නොහැකි සීයලා 6 දෙනෙක් එහි විය.  ඔවුන්ට කෑම බෙදා ඇඳ අසලට ගෙනවිත් දිය යුතු බව පාලකයා පැවසීය. හැමෝම කෑම කාමරයේ අසුන් ගත් පසු අපි කෑම බෙදන්නට පටන් ගත්තෙමු. තරමක් බරින් වැඩි වූ නිසා පරිප්පු භාජනය මට පැවරිනි. කෑම බෙදීමට පෙර කනවාදැයි අසා බෙදන ලෙස පාලකයා අපට උපදෙස් දුන් නිසා හැමෝගෙන්ම වෙන වෙනම අසා අවශ්‍ය තරමට පමණක් කෑම බෙදීමට අපි වග බලා ගත්තෙමු. ඔවුන් කෑම ගැනීම ආරම්භ කරන්නේ කෑම බෙදා අවසන් වී දානය දුන් අයට පින් දීමෙන්ද අනතුරුවය.

කෑම ගන්නා අතරතුර මම හැම කෙනාගේම මුහුනු දෙස පරීක්ෂාවෙන් බැලීමි. ඒ මුහුණු වල කිසිම හැඟීමක් සටහන්ව නැත. සතුටක් කියා දෙයක් ඇත්තේම නැත, දුකක්ද නැත. දුක යනු ඔවුන්ට බොහොමත්ම සාමාන්‍ය හැඟීමක් වෙන්නට ඇත. එම නිසා එය ඔවුන්ගේ මුහුණු වල කිසිත් සටහන් නොකරයි. කෑම ගන්නා අතරතුර වැරදීමකින් හෝ ඒ මුහුණක සිනාවක් මතු වේදෝයි මම විපරම් කළෙමි. එහෙත් මම අසාර්ථකය. හිස් බව විනා ඒ මුහුණු වල කිසිත් නැත. ඔවුන් කන අතරතුර අපි විටින් විට අඩු පාඩු අසා කෑම බෙදුවෙමු. අසුවොත් විනා බොහෝ දෙනෙක් අඩු පාඩුවක් තිබුනද නොකියති. කෑම කා අවසන් වූ පසු කැවිලි කීපයක් පිලිගැන්විනි. බොහෝ දෙනා එය පසුව කන්නට රැගෙන ගියෝය. ඉන්පසු ඔවුන් කෙලින්ම පියමැන්නෙ තමන්ගේ නිදන ශාලා වෙතටය. මා කලින් කිව්වා සේ කෑම කා නිදා ගනු විනා කිරිමට කිසිත් ඔවුන්ට නැත. කතා බහ කිරීමට දරු මල්ලන් නැත, සුරතල් කිරීමට මුණුබුරු මිණිබිරියන් නැත. ආච්චිලාගේ නිදන කාමර එක ශාලාවකත් සීයලාගේ නිදන කාමර තවත් ශාලාවකත් පිහිටා තිබුනි. ඔවුන් ඒ දෙස සෙමෙන් සෙමෙන් පිය මැන්නෝය. ඔවුන් බොහෝ දෙනා ශාලා දෙසට ගියේ "අපි යන්නම් පුතේ, බුදු සරණයි" කියාය. රැගෙන ආ භාජන නැවත අසුරා ගන්නා තුරු මම ඔවුන් දෙස බලා සිටියෙමි. ඒ මොහොතේ දහසක් දේ මා සිතට නැගෙන්නට විය.



ජීවිතේ අවසාන කාලය මෙසේ වැඩිහිටි නිවාසයක ගෙවන්න නම් ඔවුන් දුක් මහන්සි වී දරුවන් හැදුවේ කුමකටද? දස මසක් කුස දරා දරුවන් මෙලොවට බිහි කල අම්මාටත් නොවිඳිනා දුක් විඳ දරුවන් පෝෂණය කල තාත්තාටත් අවසානයේ හිමි වන්නේ වැඩිහිටි නිවාසයද? මිනිසුන් මෙතරම් ගුණමකු අසත්පුරුශයන් වූයේ කෙසේද? ඕනෑම අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවන්ට තම පණට වඩා ආදරේය. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඒ ආදරය දරුවන්ගෙන් අම්මලා තාත්තලාට ලැබෙන්නේ නැත්තේ ඇයිද යන්න ලොකු ප්‍රශ්නයකි. මෙය ස්වභාවධර්මයට වැරදුනු තැනක්ද? වැරැද්ද ඇත්තේ කොතන දැයි මට නම් හරි හැටි නොතේරේ.

සාරධර්ම, සංස්කෘතිය හා සිරිත් විරිත් උපරිමයෙන් රකිනවා යයි කියන ලංකාවෙ වැඩිහිටි නිවාස කොපමන ඇත්ද. දෙමාපියන්ට සැලකීම ඒ සංස්කෘතියට අදාල නොවේද? මෙම තත්ත්වය කෙසේ හෝ වෙනස් විය යුතුමය. හොඳින් කියා බැරි නම් නීති මගින් හෝ මෙයට පිලියමක් යෙදිය යුතුව ඇත. වැඩිහිටි නිවාස තුල ඔවුන්ට අවශ්‍ය හැම දේම තිබුනද එතැන එක අඩුවක් ඇත. ඒ සතුටයි. කොතරම් පහසුකම් තිබුනද සතුට කියන දේ ඔවුන් ලඟ නැත. එය රජයටවත්, වැඩිහිටි නිවාස වල පාළකයන්ට වත්, දානය ලබා දෙන අපිට වත් ලබාදිය නොහැක්කකි. එය ලබා දිය හැක්කේ ඔවුන්ගේ දූදරුවන්ටය. එහෙත් ඒ අමන දූදරුවන්ට එයට වෙලාවක් නැත්තා සේය. උන් උන්ගේ ලොක හදාගෙන දෙමාපියන් අමතක කර ඇත. 

මම කිසි විටෙක කිසිවෙකුටත් නරකක් වෙවා යයි ප්‍රාර්ථනා නොකරමි. එහෙත් මේ මොහොතේ නම් එය වෙනස්ය. මාගේ එකම ප්‍රාර්ථනය 'තම දෙමාපියන්ට සලකන්නේ නැති දරුවන්ට කිසි දාක හොඳක් නොවේවා, ඔවුන්ට ශාප වේවා' යන්නයි.

ඉතා වටිනා පින්කමකට සහභාගී වුවද මා නැවත පැමිණියේ හිතේ විශාල බරක් හිර කරගෙනය.


ප.ලි. දානය තිබුනෙ ඊයෙ. ඒත් මට ඊයෙ ලියල ඉවර කරගන්න බැරි වුනා. දැන් තමයි ඉවර කළේ.

Monday, April 4, 2011

ජීවිතේ සුන්දරද මෙතරම්

ගොඩක් දවසකින් තමයි මේ පෝස්ට් එකක් දාන්නෙ. විභාගයකට පාඩම් කලා. බාගයක් ඉවරයි, ඉතුරු බාගෙ අවුරුද්දෙන් පස්සෙ තියෙන්නෙ. අනිත් අයගෙ පෝස්ට් කියව කියව තමයි හිටියෙ. දාන්නෙ මොකක්ද කියල හිතනකොට මට කල්පනා වුනා ලස්සන සිද්දියක්. මම කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙ ඉන්නකොට දැකපු සීන් එකක්. ඒක මට ගොඩක් හිතට වැදුන දෙයක්. හරි දැන් නමස්කාරෙ කිව්ව ඇති කතාවට එමුකො.

ලෙක්චර් එකක් නැති වෙලාවක මම ගියා කැන්ටීන් එක පැත්තෙ තේකක් බොන්න. කන්නත් මොනවද අරගෙන (ගත්තෙ මොනවද කියල හරියට මතක නෑ) තේ එකකුත් අරගෙන මම මේසෙක වාඩි වුනා. ගත්ත එක කන්න හදනකොටම මට ලස්සන දර්ශනයක් මීටර් වුනා. මගේ මේසෙට මේස දෙකක් ඉස්සරහ මේසෙ ලස්සන කුරුලු ජෝඩුවක් තේ බොනවා.


  කුරුලු ජෝඩුවක් කිව්වට බය වෙන්න එපා, කොල්ලෙකුයි කෙල්ලෙකුයි. උන් දෙන්නගෙ හෙනම කිචි කිචිය. හිනා වෙනව හුරතල් වෙනව එතන එක විකාරයයි. කරුමෙ කියන්නෙ මට ඉතින් ඔය වගේ දෙයක් නම් සිටිස් ගාල මීටර් වෙනවා. මම දැන් ඉතින් කන ගමන් ඔය පැත්තට ඇහැ දාගෙන ඉන්නෙ. කොල්ල නම් තේක බීල ඉවර කලා. කෙල්ල නම් කොල්ලගෙ උරේට ඔලුව තියාගෙන තේක කනව. කෙල්ලගෙ කොන්ඩ රැල්ලක් මූනට වැටිල. ඒපාර කොල්ල එකත් එක්ක සෙල්ලම් කරනව. අර පූස් පැටියෙක්ට නූල් කෑල්ලක් ලැබුනම ඌ සෙල්ලම් කරන්නෙ, අන්න ඒ වගේ සීන් එකක් තමයි මට එක පාරට මතක් වුනේ.

කොහොම හරි කෙල්ලත් තේක කාල ඉවර කලා. දැන් මුන් දෙන්නගෙ ආයෙත් කිචි කිචිය. මට අහන්නත් හිතුන මොනවද දෙයියනේ ඔච්චර කතා කරන්න තියෙන්නෙ කියල. ඇයි යකෝ මුන්ගෙ කටවල් රිදෙන්නෙ නැද්ද? හිනාවෙනව, විරිත්තනව, ඔරවනව, බොරුවට තරහ වෙනව, ආයෙත් හිනා වෙනව, එතන නිකන් පෙර පාසලක් වගේ. එක පාරක් අර කෙල්ල කොල්ලගෙ උරහිසත් හැපුව. මමත් හපන්න කවුරු හරි හෙව්ව, වෙලාවට ලඟ පාත කවුරුවත් හිටියෙ නෑ. මම අතේ තිබුන තේ කෝප්පෙ හපාගෙන හිටිය. ඒපාර කොල්ල කෙල්ල දිහා හැරිල මේසෙ උඩ ඔලුව තියා ගත්ත. දැන් කෙල්ල කොල්ලගෙ ඔලුව අත ගානව. මට අර සිරසෙ ගිය 'දෙදාහක් ආදරෙන්' කතාවෙ සිංදුව මතක් උනා.

ඔබ මගේ වෙලා...
මගෙ ලඟට වෙලා...
නිවාඩු පාඩුවේ කියන්න
ආදරේ කියා...


ඒත් මුන්ගෙ කතාව නම් නවතින්නෙ නෑ. මගේ දකුණු පැත්තෙ මේසෙ හිටපු කෙල්ලො ටිකටත් දැන් තේරිලා මම කන්න වගේ අර දෙන්න දිහා බලගෙන ඉනනව කියල. උන් මගේ දිහා බලගෙන ඉන්නවා. මම ඉතින් වැරදි දෙයක් දිහා නෙමෙයිනෙ බලාගෙන ඉන්නෙ, උන්ට ඕන කුදයක් ගහ ගන්න කියල මම බලාගෙනම හිටිය.

ඒ පාර කෙල්ල බත් එකක් එලියට ගත්ත බෑග් එකෙන්. මම හිතන්නෙ තේ බීල ඩෙසර්ට් එකට කන්න වෙන්න ඇති. කොල්ලත් ඔලුව උස්සල දෙන්නත් එක්ක බත් එක කන්න පටන් ගත්ත. කෙල්ල පළවෙනිම කට කැව්වෙ කොල්ලට. ඒපාර කොල්ලත් කටක් අනල කෙල්ලට කැව්ව. දැන් වැඩේ දිගට යනව. කෙල්ල කොල්ලට කවනව, කොල්ල කෙල්ලට කවනව, මම උන් දෙන්න කන දිහා බලාගෙන ඉන්නව. දැන් මෙතන අමුතුම තරඟයක්. කෙල්ල බලන්නෙ කොල්ල තමන්ට කවන බත් කටට වඩා රස කටක් කොල්ලට කවන්න, කොල්ල බලන්නෙ කෙල්ල තමන්ට කවනවට වඩා රසට කෙල්ලට කවන්න. දැන් හෙනම ගේම, දෙන්න දැන් තරඟෙට එළවලු දාල අනනව. මට පේනව දැන් එළවලු ටික සිටි පිටි ගාල ඉවර වෙනව. ඔය කැම්පස් එක ලඟ කඩ වලින් කෑම ගත්තම හරි අමාරුවෙන් එලවලු ටික පිරිමහගන්නෙ. එහෙම එකේ ඔහොම කවන්න ගියොත් හොඳට තියේවි. මට තෙරුනා වෙන්න යන විනාසෙ. දැන් ඔන්න එක පාරටම වැඩේ නැවතුනා. මම ටිකක් ඉස්සිල බැලුව මොකද කියල. වැඩේ හරි මම කිව්වෙ, එළවලු ඉවර වෙලා. තව බත් එකෙන් බාගයක් විතර තියනවා. දැන් දෙන්න මූනට මූන බලගෙන හිනා වෙනව. දෙන්නටම හිනා වුන වැඩේට. පැත්තක හිටපු මටත් හිනා. ඒපාර දෙන්නත් එක්ක බත් ඇට ඇහිඳ ඇහිඳ කන්න පටන් ගත්ත. ගොන් කමනෙ ඉතින්, පිස්සුවෙන් වගේ එළවලු ටික කාල ඉවර වෙලා දැන් නිකන් බත් කනව.

ඒ ජීවිත කොයි තරම් නම් ලස්සනද කියල මට හිතුන. මම හිතනව ඒ පිටින් පෙනුන ලස්සන ඒ විදියටම ඇතුලතිනුත් ඇති කියල. මම ප්‍රාර්ථනා කලේ ඒ සතුට හැමදම උන් දෙන්න ලඟ තියෙන්න කියල. ඒ දෙන්න එකට ඉඳිද්දි ලෝකෙ පෙරලුනත් උන් දන්නෙ නෑ. එහෙම තමයි වෙන්නත් ඕන. එතකොට මොන ප්‍රශ්නෙ ආවත් ඒ දෙන්න එකට ඉන්නකල් සතුටින් ඉන්න පුලුවන්නෙ.




ඔන්න වැඩේ දෙල් වුනා. කොල්ලට තේරුනා මම උන් දෙන්න දිහා බලාගෙන ඉන්නව කියල. ඊට පස්සෙ කෙල්ලයි කොල්ලයි දෙන්නම මගේ දිහා දෙතුන් පාරක් බැලුව. අනේ ඉතින් මම වැරදි දෙයක් දිහා නෙමෙයිනෙ බලන් හිටියෙ. ඒ වුනට ඉතින් මම තවත් එතන ඉන්න එක උන්ගෙ නිදහසට බාධාවක් කියල මට තෙරුනා. ඇයි ඉතින් දැන් මම බලාගෙන ඉන්නෙ කියල දන්නවනෙ. සුනිල් එදිරිසිංහ මහත්තයගෙ සිංදුවක් කියාගෙන හිත හදාගෙන මම නැගිටල එන්න ආව.

හිඳීවි කොතැනක හෝ....
හිමිකාරයා උපන් නුඹේ නමින්,
වඩීවි කෙදිනක හෝ...
ඒ එනතුරා... හිත හදාගෙන ඉඳින්


ප.ලි. අර ඉතුරු බත් ටිකට මොකද කලේ කියල බලාගන්න බැරි වුනානෙ.

Tuesday, March 22, 2011

වැරදුනු අනුපාතය හෙවත් මොරටුවේ අඳෝනාව.

දැන් කට්ටිය බලනවා ඇති මොකක්ද මේ වැරදුනු අනුපාතය කියල. මම මේ කියන්න යන්නේ මොරටුව කැම්පස් එක ගැන කතාවක්. මාත් ඉතින් ඔන්න ඕකෙ තමයි ඉන්නෙ. මොරටුව කැම්පස් එකේ අනුපාතය 2:1. ඒ කියන්නෙ කොල්ලො දෙන්නට එක කෙල්ලයි. ඔන්න ඔතනින් තමයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ. අපි පොඩි කාලෙ හිතන් ඉන්නෙ කොහොමද? කැම්පස් ගියාම හරි ජොලියෙ ඉන්න පුලුවන් කියලනෙ. ඒ මදිවට කොහොමද උසස් පෙල පන්තිවල සර්ල දෙන ටෝක්ස්? "මේ කාලෙ විතරයි මහන්සි වෙන්න තියෙන්නෙ. කැම්පස් ගියාට පස්සෙ කෙල්ලෙක් යාලු කරගෙන ෆුල් ජොලියෙ ඉන්න පුලුවන්". අනේ අමරුවෙන් මොරටුවෙ ආපු උන්ට නම් ඉතින් ඕව කතන්දර විතරයි. මෙහේ අනුපාතය එක කෙල්ලට කොල්ලො 2යි. ඒ කියන්නෙ සෑම කොල්ලො දෙන්නෙක්ගෙන්ම එක කොල්ලෙක් ඉන්නෙ අවදානම් කලාපයේ. ඇත්තම කියනව නම් ප්‍රායෝගික හේතු නිසා ඔය ප්‍රශ්නය ඔයිටත් වඩා බරපතලයි.  මෙහේ හරියන කෙල්ලෙක් හොයා ගන්නව කියන්නෙ chemistry වලට A එකක් ගන්නව වගේ වැඩක්. එහෙම සිලෙක්ට් වෙන කෙල්ලන්ට පුදුම ඉල්ලුමක් තියෙන්නෙ.  එතකොට ඉතින් තියන තරඟය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ.

(ඕක IT going down එකකට ගොඩ කැන්ටින් එකේ අලවලා තිබුන පෝස්ටර් එකක්. සැ.යු. මේකෙ 4වෙනි පේළිය නම් මම අනුමත කරන්නෙ නෑ.)

ඉතින් කෙල්ලෙක් දාගන්න ෆුල්ම ගේමක් දෙන්න ඕන. මෙහේ කොල්ලො පොළවෙ පස් කන්නෙ නැති එක විතරයි. ඒකටම හරි යනව මෙහෙ ඉන්න කෙල්ලො ටිකත්. ලේසියකට කැමැත්ත නම් දෙන්නෙ නෑ. කොල්ලව මරවල තමයි කැමතියි කියල කියන්නෙ. හෙනම ලොකු ලයින් එක. එක අතකට වැරද්දක් කියන්නත් බෑ ඉතින්. තියන ඉල්ලුමේ හැටියට කෙල්ලො එහෙම ලොකු වෙන එක ස්වාබාවිකයි. ඒ නිසා මෙහෙ රජ කරන්නෙ ස්වබාදහමේ ප්‍රාතමිකම නීතිය. ඒ කිව්වෙ ප්‍රබලයා විසින් දුබලයා පරාජය කිරීම. සුපිරි ඩයල්ස් කොහොම හරි කරල ඉතින් කෙල්ලෙක් සෙට් කරගන්නවා. අනේ ඉතින් අපි වගේ අඩු සුදුසුකම් තියන උන්ට දෙයියන්ගෙම පිහිටයි. ඔහේ හූල්ල හූල්ල ඉන්නවා ඉතින්, වෙන මොනව කරන්නද? අපි නම් කමක් නෑ කියමු, මෙහේ ඉන්න ඉන්ජන්ටවත් කෙල්ලෙක් සෙට් කරගන්න බෑ නෙ. උසස් පෙළදි ලෝකෙ නැති ගැටලු විසඳපු උනුත් මොරටුවෙ මේ ප්‍රශ්නෙ ඉදිරියේ අසරණයි. කොහොම හරි ඔය ප්‍රශ්න නිසා මෙහේ කොල්ලන්ගෙන් 2/3 කට වඩා තනිකඩ ජීවිතේ තමයි ඉතින්. අර පන්තිවල සර්ලට දෙකක් කියල එන්න හිතෙන්නෙ ඔය වෙලවට තමයි. 

                        (මේක library එකේ මේසෙක ටිපෙක්ස් වලින් ලියල තිබුන කවියක්.)

තාම කතාව ඉවර නෑ, තව තියනවා. අපි කියමුකො කොහොම හරි කොල්ලෙක් සෙට් කරගත්ත කියල. වැඩේ කියන්නෙ ඊට පස්සෙත් සමහර කෙල්ලන්ගෙ ලොකු ලයිල් එක නෙ. ඇයි ඉතින් කෙල්ල දන්නව කොල්ල කොච්චර උනත් ඉන්නෙ බයෙන් කියල. මොකද තියන තරඟෙත් එක්ක කොයි වෙලෙ වෙන කොල්ලෙක් කෙල්ලව ඩැහැ ගනීද කියල කියන්න බෑ නෙ. කෙල්ලො ඕක දන්න නිසා පුදුම විදියට ගනන් උස්සන්නෙ. අනේ ඉතින් ලෝකෙ නැති දුක් විඳල කෙල්ලෙක් දාගත්ත එකාට ඊට පස්සෙ වෙන්නෙ ඒකෙ ගෑස් බල බල ඉන්න.  



හැබැයි ඉතින් එහෙම කිසිම ලොකු ලයින් එකක් නැති, හොඳ කෙල්ලොත් මොරටුවෙ ඉන්නවා. ඒකත් කියන්න ඕන. කොහොම හරි ඉතින් ඔන්න ඕකයි මොරටුවෙ කතන්දරේ. දුක කියන්නෙ ඉතින් ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ මෙහේ විතරයි නෙ. පේර, ජපුර, රුහුණ ඔය වගේ කේස් එකක් නෑ නෙ. ඕක කාගෙ වැරැද්දද, වැරදුනේ කොතනද කියල නම් මම දන්නෙ නෑ. හැබැයි කෙල්ලන්ගෙන් ඉල්ලන්න තියෙන්නෙ අඩුගානෙ 1:1 අනුපාතයටවත් මොරටුවට සිලෙක්ට් වෙන්න ට්‍රයි කරන්න කියල. එතකොටවත් මෙහෙ කොල්ලන්ට සාදාරනයක් ඉෂ්ට වෙයි නෙ. දැන් බොලා හිතනව ඇති, මේව මට කෙල්ලෙක් නැති නිසා දුකට කියන කතා කියල. ඔව් ඉතින් ඒක තමයි ඇත්ත.

Friday, March 18, 2011

මැටි කතා වස්තුව

මේ කියන්න යන්නෙ අපේ කොල්ලෙක් ගැන. අපි ඌට ආදරේට කියන්නෙ මැට්ට කියල. ආදරේට කිව්වට ඉතින් මිනිහ කරන වැඩ වල හැටියට වෙන කියන්න නමක් නෑ. ඕකට ඔය නම දැම්මෙ මම. අපරාදෙ කියන්න බෑ එදා ඉඳල අපේ උන් ඌට ඒ නමින්ම තමයි අමතන්නෙ. ඌටත් ඒක දැන් ගානක් නෑ. මිනිහගෙ බයික් එකට පවා කොල්ලො ආදරේට කියන්නෙ "මැටි රථය" කියල. හිටී ගමන් ගොන් පාට් දැම්මට මිනිහ හිත හොඳ කොල්ල. 1 වසරෙ ඉඳලම මම මිනිහව අඳුනනව. 6 වසරෙ ඉඳල තමයි හොඳටම ෆිට් උනේ.

මිනිහට මේ ලෝකෙ වැඩක් නැති වුනාට ජනාධිපති ලේකම්ටත් වඩා බිසි. ඒක දැන් නම් ජොබ් එකක් කරනවා. මිනිහ හෙන ගැජමැටික්ස් ඩයල් එක. කම්පියුටර් එකට, බයික් එකට හෙන හෙන ගැජමැටික්ස් දානවා. මිනිහ ගොඩක් වෙලාවට අටුව කඩල පුටුව හදනව වගේ වැඩ කරන්නෙ. හැබැයි ඉතින් මිනිහ ඇත්තටම දක්ශයා. පොඩි පොඩි දේවල් වලින් අපිට හිතන්නවත් බැරි වැඩ ඌ කරනවා. මැටි වැඩ කරන්න ඌට මාර මීටරයක් තියෙන්නෙ. හැබැයි වඩකට ඇති වැඩකට හරි ඉගෙන ගන්න හරි ජීවිතේට ඔය මොලේ පාවිච්චි කරන්නෙ නෑ.

මිනිහගෙ මැටි වැඩ වලින් හොඳම එකක් කියන්නයි මම හදන්නෙ. අපි දෙන්නම A/L කරන කාලෙ හිටියෙ එක බෝඩිමේ. ඒකෙ තව කොල්ලො 8ක් විතර හිටියා. අපි ඔක්කොම එකම සෙට් එකේ. ඒකෙ කාමර 4ක් තිබුනා. අපේ කාමරෙ හිටිය හතිය තියන කොල්ලෙක්. පොඩ්ඩ ඇත්තන් ඌට හතිය වැඩි වෙනවා. අපේ කතා නායකයා නොහොත් මැට්ට හිටියෙ අල්ලපු කාමරේ. දවසක් අර හතිය තියන එකා පාඩම් කර කර ඉඳල කම්මැලි කමට පොඩි බ්‍රේක් එකක් ගන්න මැට්ට ඉන්න කාමරේට ගියා. ඌ ඒ වෙලවේ දැනගෙන හිටියෙ නෑ ඌ ඒ යන්නෙ කොයිතරම් භයානක ගමනක්ද කියල. ගිහින් ඇඳේ හාන්සි වෙලා ඉඳල. ඔන්න ඔය වෙලාවෙ අපේ මැට්ටගෙ මැටි මොලේට මැටිම මැටි අදහසක් ඇවිත්. මිහින ශේප් එකේ ලියල අයින් කරපු කොල ගොඩක් ගෙනත් කාමරේ මැද ගොඩ ගහල. ඊට පස්සෙ අර ශේප් එකේ අර කොල ටිකට ගිනි තියල කාමරේ දොර ගාවට වෙල ඉඳල. වෙන්න යන විනාසය ගැන කිසිම අදහසක් අර අහිංසක කොල්ලට තිබිල නෑ. කොහොම හරි කොල ගොඩ හොඳට ඇවිලෙන කොට රස්නෙ දැනිල අරූ ඔලුව උස්සල බලල. ඒකා ගිනි ගොඩ දැක්කෙ එතකොටලු. එතකොටම අපෙ ඩයල් එක මැට්ට කාමරෙන් එලියට පැනල එලියෙන් දොර ලොක් කරල. ඇතුල ඉන්න එකා (හති කාරයා) අර ගිනි ගොඩ නිවන්න බලල. ඒ වුනට කොල ගොඩක් තිබුන නිසා නිවන්න බැරි වෙලා. වටේ ගිනි ගන්න මොනවත් තිබිල නැති නිසා, කොල ටික පත්තු වෙල නිවිල යයි නේද කියල අරුත් බලන් ඉඳල. ටික වෙලවක් යද්දි තමයි ඇතුලෙ ඉන්න එකාට එන පොට හරි යන්නෙ නෑ කියල තෙරිලා තියෙන්නෙ. කොල ගොඩ පත්තු වෙන කොට ටික ටික කාමරේ දුමෙන් පිරෙන්න ගත්තලු. එතකොට තමයි ඌට මැට්ටගෙ ප්ලෑන් එක තේරිලා තියෙන්නෙ. මූ දොරට ගහගෙන ගහගෙන ගිහිල්ල. ඒත් වැඩක් නෑ, මැට්ට එලියට වෙල හිනා වෙවී ඉන්නවලු. දැන් කාමරේ හොඳටම දුමෙන් පිරිලලු. දොර ඇරෙන පාටකුත් නැතිලු. අරූට දැන් සුදු කොඩි පේනවලු. ජනේලෙ ඇරල ෆෑන් එක දැම්ම නම් දුම එලියට යනව නෙ, ඇතුලෙ හිටපු එකාට කලබලේට ඒක මතක් වෙලා නෑ.




මමයි අනිත් උන් ටිකයි හිටියෙ කොනේම කාමරේ. අපි කයියක් ගහ ගහ හිටියෙ. ඔන්න අපිට ඇහෙනවා මැට්ටගෙ මැටි හිනව. අපිට තේරුනා මූ මොකක් හරි ජිල්මාට් වැඩක් කරල තමයි කියල. ඕක ඔහොම හිනා වෙන්නෙ ඒ වගේ වෙලවට. අපිත් ටක් ගාල දුවගෙන ගියා ආතල් එකක් ගන්න හිතාගෙන. යනකොට මූ දොර ලඟට වෙලා බොහොම ජයග්‍රාහී ලීලාවෙන් හිනා වෙවී ඉන්නවා. අපිත් දොර ගාවට කිට්ටු කලා. එතකොටම අපිට ඇහුනා අරූ ඇතුලෙ ඉඳල දොරට ගහ ගහ කෑ ගහන සද්දෙ. "යකෝ මේක ඇරපන් මට හුස්ම ගන්න බෑ". අපි දඩි බිඩි ගාල දොර ඇරියා. එතකොටම මහා දුමක් දොරෙන් එලියට ආව. අපිට ඇතුලට යන්නත් බැරි තරම් ඇතුලෙ දුම පිරිල. එතකොටම ඇතුලෙ හිටපු එකා කැහැ කැහැ එලියට පැන්න. අපිට තාම විකාරයි මොකද උනේ කියල. දැන් මැට්ට සද්දයක් නෑ.

කොහොම හරි අපේ එකෙක් අත දාල ෆෑන් එක දැම්ම. ඔන්න එතකොට කාමරේ දුම අඩු වෙන්න ගත්ත. දුම අඩු වුනාම තමයි අපි දැක්කෙ කාමරේ මැද තිබුන ගිනි ගොඩ. අපිට තෙරුනා වෙලා තියන සන්තෑසිය. දැන් අනතුරට මූන දුන්න එකා හොඳටම කහිනවා. හතියත් ටිකක් වැඩි වෙලා. දැන් මැට්ට ඩිම් වෙලා, මූන දෙක වෙලා ඉන්නෙ. කොහොම හරි ඌට ඉන්හේලර් එක උරන්න දීල, හතියට බොන බේත් දීල, ප්‍රතමාධාර ටික කරල ඌව යතා තත්ත්වයට ගත්ත. හැබැයි ඉතින් අපි ඒ වෙලාවෙ ආවෙ නැත්තන් කතාව ඔයිට වැඩිය වෙනස් වෙන්නත් තිබුන. දැන් කට්ටිය හිතනවා ඇති අපි මැට්ටට ලෙලි යන්න බනින්න ඇති කියල. අනේ නෑ, ඌ මැට්ටනෙ, ඌට බැනල වැඩක් නෑ. ඌට බනිනවට වැඩිය හොඳයි ඒ කටට සාන්ද්‍ර නයිට්‍රික් ඇසිඩ් ටිකක් හලා ගන්න එක. අපි මොනවත් උනේ නෑ වගේ හිටිය. ඒක උගේ සෞඛ්‍යටත් හොඳයි, අපේ සෞඛ්‍යටත් හොඳයි. ඒ අනතුරට ලක් වුන කොල්ල දැන් මොරටුවෙ ඉන්ජෙක්. එච්චර වටින එකෙක් තමයි අපේ මැට්ට මරා ගන්න හැදුවෙ. මේක බොරුවක් නම් නෙමෙයි, ඇත්තම කතාවක්. ඔන්න ඔහොමයි අපේ මැට්ටගෙ වැඩ. ඔය අපේ මැට්ටගෙ වීරක්‍රියා වලින් එකක්. තව ඔය වගේ කතා ගොඩක් තියනවා. මම ඒවත් ඉස්සරහට කියන්නම්.