කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. කියෙව්ව මිසක් ලියන්න මූඩ් එකක් තිබුනෙ නෑ පහුගිය දවස් වල. අපූරු පෝස්ට් සහ අපූරු කමෙන්ට් කියව කියව හිටිය. ලියන්න විශේෂ දෙයක් තිබුනෙත් නෑ. මට ඊයෙ මූන දීපු අත්දැකීමක් ගැන ලියන්න හිතුන. තාමත් අපේ කැම්පස් පටන් ගත්තෙත් නෑ නෙ. දැන් ඔන්න අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් වැටුප් විශමතා අයින් කරන්න කියල පෝස්ටරයක් ගහල. ඒ කියන්නෙ තව ස්ට්‍රයික් එකක් ලඟම එනව වගේ. හැබැයි එයාලට නම් වැඩිය දෙයක් කරන්න බැරි වේවි. කකා බිබී ගෙදරටම වෙලා ඉන්න එක දැන් නිකන් අවුල් වගේ. අවුරුදු 23ක් වෙලා කොල්ලෙක් නිකන් ගෙදරට වෙලා ඉන්නව කියන්නෙ චාටර් නෙ. මට නම් ඇත්තටම ඒක ගොඩක්ම තදට දැනුන. ඒක නිසා මම ගොඩක් දවස් ඉඳල පාර්ට් ටයිම් එකක් වත් හොයාගන්න කියල ට්‍රයි කලා. හරි ගියේ නෑ. සමහර පාර්ට් ටයිම් ජොබ් තිබුන ඒවට යන්න නිකන් මොකක්ද මොකක්ද වගේ. ඩේට එන්ට්‍රි ජොබ් එකක් වත් ඉන්ටර්නෙට් එකෙන් හොයා ගන්න බැලුව ඒකත් හරි ගියේ නෑ.
අපේ සෙට් එකක් ගාමන්ට් වල පාර්ට් ටයිම් ජොබ් වලට යනව. මම ඒකට යනවද කියලත් හිතල පස්සෙ ඕන නෑ කියල නිකන් හිටිය. ඒත් අන්තිමට ඊයෙ තීරණයක් ගත්ත. ලැජ්ජාව පැත්තකින් තියල ඒකට යනව කියල හිත හදා ගත්ත. ඇයි ඉතින් හැමදාම කාකා බිබී නිකන් ඉන්න බෑ නෙ. මහ ගානකට නම් නෙමෙයි. රුපියල් හත්සීයකට තමයි ගියේ. මුකුත්ම නැතුවට වඩා හොඳයි නේ. ඒක ලංකාවෙ ප්‍රධානම පෙළේ ගාමන්ට් එකක්. අපේ එකෙක් තමයි ඒක සෙට් කලේ. මායි අපේ තව එකෙකුයි, කැම්පස් එකේ තව දෙන්නකුයි තමයි ඊයෙ ගියේ. රෑ කෑම දෙන්නෙ නැති නිසා කෑම එකකුත් අරගෙන ගියේ. සෙට් කරපු එකත් ආව අපිව ඇරලවන්න.
ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම දඩාස් ගාල සද්දයක් ආව. බලනකොට කාර් එකක් රිවස් කරල පිටිපස්සෙ තිබුන බයික් එකේ ඇනල. මම හිතුව වගේම ගෑනු කෙනෙක් තමයි වාහනේ එලෙව්වෙ. තවත් ගෑණු කෙනෙක් එහා පැත්තෙ හිටිය. ටිකක් පොස් නෝනල දෙන්නෙක්. අපේ එකෙක් කිව්ව අනිවාර්යෙන්ම ඔය බයික් එක ඔහොමම තියල ඔය දෙන්න යනව කියල. මම යන ගමන් සීන් එක බලාගෙන ගියේ. එක්කෙනෙක් බැහැල ටිකක් වෙලා බයික් එක දිහා බලාගෙන හිටිය. අරූ කිව්ව වගේම ටික වෙලාවකින් දෙන්න මුකුත් වුනේ නෑ වගේ ශේප් එකේ යන්න ගියා. අර බයික් එක අඩුගානෙ කෙලින් කරල වත් ගියේ නෑ. එහෙම හරි නෑ නෙ. ලොකු, පොස් නෝනල නෙ.
කොහොම හරි එතන තිබුන පොතේ අත්සන් කරල අපි ඇතුලට ගියා. අපිව එක්කගෙන ගියපු එකා අපිවත් අරගෙන අරහෙන් මෙහෙන් හැරි හැරි ගොඩක් දුර ගියා. එදා යන්න තිබුන සෙක්ශන් එක තිබුනෙ ගාමන්ට් එකේ කොනක. අපිත් ඉතින් මග දිගට මග සලකුණු තියාගෙන ගියේ. මොකද අපිව සෙට් කරපු එකා එදා වැඩ කලේ නෑ. ඌ අපිව ඇරලවල ගියා. ඒක නිසා ආයෙත් එන්න පාර බලාගන්න ඕන නෙ. ඊට පස්සෙ ඕන අදාල සෙක්ශන් එකට ගිහින් අපිව දාල අපිව සෙට් කරපු එකා ගියා. එතන තිබුන පොතෙත් නම සයින් කරන්න ඕන. ඊට පස්සෙ තමයි ඉතින් ගේම පටන් ගන්නෙ.
ටික වෙලාවක් යනකල් අපිට මුකුත් කිව්වෙ නෑ. අපි හිතුවෙ මුලු රෑම අයිස් පාර ගහගෙන ඉන්න පුලුවන් වෙයි කියල. ඔන්න පොරක් තඩි ට්‍රොලියක් තල්ලු කරන් ආව. ට්‍රොලි කිව්වට අර හොස්පිට්ල් වල තියනව වගේ ඒව නෙමෙයි. හතර දෙනකුට විතර එක පාර බැහැල නාන්න පුලුවන් ලොකු, උස බාත් ටබ් එකක් වගේ එකක්. ඒගොල්ලො ඒවට කියන්නෙ නැව් කියල. (ට්‍රොලි කියලම කියන තව පොඩි ට්‍රොලි වර්ගයකුත් තිබුන.) ඒකෙ දිග කලිසම් වගයක් තිබුනෙ. අපිට කිව්ව ඒකෙ තියන ලේබල් එක අනුව ඒව වර්ග කරල නවන්න කියල. ලේසි වැඩක්නෙ කියල ඉතින් අපිත් පටන් ගත්ත. ටික වෙලාවක් යනකොට තවත් ඒ සයිස්ම ට්‍රොලියක් අරන් ඇවිත් මේකත් නවන්න කිව්ව. හරි සන්තෝසයි එතකොට. ටික වෙලාවක් යනකොට රෙදි ගන්නයි, නවපු රෙදි තියන්නයි පාත් වෙලා කොන්ද රිදෙනව. ඒ ටික ඉවර කලා විතරයි වෙන වර්ගයක් උස්සගෙන ඇවිත් ඒ ටිකත් නවන්න කිව්ව. කොහොම හරි ඊට පස්සෙ එක එක්කෙනාට එක එක වැඩ සෙට් වුනේ.
ඒ සෙක්ශන් එකෙන් කරන්නෙ වොශ් කරල ඩ්‍රයි කරල ගේන රෙදි පැක් කරල ලොරි වලට පටවන එක. රෙදි එක එක විදියට පැක් කරනව. කාඩ්බෝඩ් පෙට්ටි වටලයි, රෙදි මලු වලටයි, ප්ලස්ටික් පෙට්ටි වලටයි. රෙදි මලු වලට පැක් කරද්දි අපි තමයි මල්ල අල්ලගෙන ඉන්න ඕන. ඒගොල්ලො ගනන් කර කර දානව. ඒක තමයි එපා වෙනම වැඩේ. ඒ රෙදි වල පුදුම ඩස්ට් එකක් තියෙන්නෙ. ඒ රෙදි වලට දාපු ඩයි එක තමයි ඒ එන්නෙ. මම ඉතින් උපතින්ම හති කාරය නෙ. මම කලේ අනිත් පැත්ත බලාගෙන හුස්මක් අරගෙන පුලුවන් තරම් හිර කරගෙන ඉන්නව, ඊට පස්සෙ ආයෙත් අනිත් පැත්ත හැරිල හුස්මක් ගන්නව. හතිය නැති කෙනෙක්ට වුනත් හතිය හැදෙන්න පුලුවන් ඒ ඩස්ට් එකට. නාස් ආවරන පාවිච්චි කරන්න කියල හැම තැනම බෝඩ් ගහල තියනව, එකෙක් වත් ඒව දාන්නෙ නෑ. අපිට දුන්නෙත් නෑ. ඒ මිනිස්සු කඩි වගේ. මැශින් එකක් ස්ටාර්ට් කලා වගේ රෙදි ගනන් කර කර මල්ලට විසි කරනව. අපි ඉතින් කොහොම හරි රෙදි වැටෙන්න නොදී මල්ල අල්ලගෙන ඉන්න ඕන. එකක් වැටිල ඒක ගන්න ගියොත් තව 5ක් 6ක් වැටෙනව. ඒක නිසා රෙදි වැටුනොත් එහෙමම තියෙන්න දීල ගනන් කරල ඉවර වුනාම තමයි දාගන්නෙ. අනිත් එක රෙදි දාද්දි නිතරම බෑග් එක එහාට මෙහාට ගස්සල, උස්සල ඇතෑරල, අතින් තද කරල, ඉඩ හදාගන්න ඕන. නැත්තන් අන්තිමට මල්ල ගැටගහන්න ගියාම හෙනම ගේමක් දෙන්න ඕන. ඒක නිසා දාන අතරෙම ඉඩ හදාගන්නව. උස්සල අතාරින එක තමයි අමාරුම. ටිකක් වෙලා ගියාම ඇඟිලි හම යනව.
මේ තියෙන්නෙ එදා අපි කරපු වැඩ ලිස්ට් එක.
# රෙදි වර්ග කිරීම
# රෙදි නැවීම
# මල්ල ඇල්ලීම සහ ගැට ගැසීම
# ගලවා ඇති කාඩ්බෝඩ් පෙට්ටි සැකසීම
# පෙට්ටි වලට රෙදි දැමූ පසු ඒවා වසා සීල් කිරීම
# රෙදි මලු සහ පෙට්ටි නියමිත ස්ථාන වලට උස්සාගෙන හෝ ඇදගෙන යාම
# ට්‍රක් රථ පැමිණි පසු ඒවාට රෙදි පැටවීම.
අපි හතර දෙනයි තව එක කොල්ලෙකුයි තමයි එදා ටෙම්පරරි විදියට ඇවිත් තිබුනෙ. එතන හිටපු ගොඩක් කොල්ලො අපිටත් වඩා බාලයි. අපි කැම්පස් කිව්වම හතර දෙනක් විතර ඇරෙන්න ඔක්කොම අපිට අයියෙ කියල කිව්වෙ. හැබැයි එතන හිටපු කොල්ලෙ සෙට් එක නම් එල. අපිට බොහොම හොඳට කතා කලා. අයිය, මල්ලි, මචන්, කොල්ලො, වගේ වචන වලින් තමයි කතා කලේ. බැන්නෙ, කෑගැහුවෙ, ටෝක් දුන්නෙ නෑ. හැබැයි දෙන්නෙක් හිටිය ටිකක් ලොකු ලයින් දෙන. එහෙම ඩයල් කොහෙත් ඉන්නව නෙ. බයිට් කිරීම්, රන්ඩු වීම්, බැන ගැනීම්, හිනා වීම් නම් ගොඩයි. නැත්තන් ඉතින් නිදි මත වෙනව නෙ. එක පාරක් නම් එකෙක්ට ඇත්තටම මල පැන්න. මම හිතුවෙ ගැහුව තමයි කියල.
කොහොම හරි එක පොඩ්ඩක් වත් නිකන් ඉන්න වුනේ නෑ. එකක් ඉවර කරල පොඩ්ඩක් වාඩි වෙනකොටම තව එක්කෙනෙක් කතා කරනව. බර වැඩ ගොඩක් වෙලාවට සෙට් වුනේ අපි පස් දෙනාට. පර්මනන්ට් අය ගොඩක් වෙලාවට කරන්නෙ ගනන් කරන එක, ටැග් ලියන එක, ආපු රෙදි ස්ටොක් මාක් කරගන්න එක, බෑග් වලට අංක දාන එක වගේ ඒව. අපි තමයි බර අදින්න ඕන. මම ජීවිත කාලෙටම නවල තියනවට වඩා රෙදි නැව්ව ඒ පැය දොලහ ඇතුලත. ඇත්තටම එක නම් ශ්‍රමය සූරාගෙන කෑමක්. පැය දොලහක් එක දිගට වැඩ කරල රුපියල් 700යි දෙන්නෙ. අනිත් එක ඔහොම ටෙම්පරරි ගත්තම ETF, EPF ගෙවන්න ඕනත් නෑ නෙ. එතකොට වැඩ තියන කාලෙට විතරක් ගෙන්න ගන්නත් පුලුවන්. ගොඩක් ගාමන්ට් කාරයො ඔය වැඩේ කරනව. රෑ මැද ප්ලේන්ටි, ටී එහෙම දෙනව. 1ට ප්ලේන්ටිත් එක්ක කන්න රෝස් පාන් හරි මාලු පාන් වගේ දෙයක් හරි දෙනව. ආයෙත් පහට ටී එකක් දෙනව. ඊට පස්සෙ උදේ හත හමාරට කෑම දෙනව. ඒ ප්ලේන්ටියෙනුයි ටී එකෙනුයි තමයි ඔලුව උස්සගෙන හිටියෙ.
එතන මාරම ගේමක් යන්නෙ. ඒ ගේන රෙදි එවෙලෙ වොශ් කරල ඩ්‍රයි කරපුව. සේරම ඉතින් මැශින් වලින් තමයි කරන්නෙ. ඒ රෙදි අපි හිටපු සෙක්ශන් එකට ගේනකොටත් රස්නෙයි. සමහර ඒව අල්ලන්නවත් බැරි තරම් රස්නෙයි. පෝලිමට ට්‍රොලි අරගෙන එනව කට්ටිය. රෑ 7.30ට පටන් ගත්ත එක උදේ 7.30 වෙනකල්ම එක දිගටම රෙදි ආව. අපේ සෙට් එක කලින් දවස් වල වොශ් කරන තැනයි, ඩ්‍රයි කරන තැනයි වැඩ කරන්න සෙට් වෙලා තියනව. අමාරුම සෙක්ශන් එක ඩ්‍රයි කරන එකලු. ඒකෙ රෙදි මිරිකන්න තියනවලු. ඒක නම් පන යන වැඩක්ලු. ඒ ගොඩක් ඇඳුම් රට යවන ඒව. අපේ එකෙක් අහල තිබුන ඒ රෙදි වල ගනන්. පොකට් තියන ශෝට් එකක් 15000ක් විතර වෙනවලු. දිග කලිසමක් 20000ක් 25000ක් විතර වෙනවලු. කවුරු අඳිනවද මන්ද ඒව. හැබැයි ඒව අපි අඳින රෙදි වගේ නෙමෙයි. මාරම කොලිටි රෙදි තියෙන්නෙ. ඒව ඇඟට හරි සනීපයි. එක පාරක් ගෙනාව කොටම කොට ඩෙනිම් සායවල් ටිකක්. මම හොරෙන් මැන්න, දිග වියත් දෙකකටත් වඩා අඩුයි. අනේ ඒවත් රට යවන්නලු. :( තව පිරිමි අයට නානකොට අඳින කලිසම් සෙට් එකක් ආව. ඒකෙ කකුල් දෙක ගොඩාක් චූටි තීරුවකින් සෙට් වෙලා තියෙන්නෙ. මට ඇහුන කවුද කියනව "ඕක ඇන්දොත් _ _ _ _ එලියෙ" කියල.
එතන හරි පරෙස්සමින් ඉන්න ඕන. වැඩ කරන අය ටොලි අරන් යන්නෙ හයිවේ එකේ යනව වගේ. කොයි වලේ කකුල යට කරන් යාවිද දන්නෙ නෑ. එතන තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි වෙලාව යන්නෙ නැති එක. මම ගනන් හදල බැලුව, එතන විනාඩි 5ක් යන්න විනාඩි 15ක් යනව. වැඩේ කියන්නෙ මම ඒක එකෙකුට කියන්න යනකොටම ඌ මට ඒකම කිව්වනෙ. ඒ කියන්නෙ ඌටත් ඒක තේරිලා. අන්තිම පැය නම් මල විකාරෙන් හිටියෙ. කොහොම හරි ඉතින් රුපියල් 700ට රුපියල් 1400ක විතර මහන්සි වුනා.
මෙච්චර කල් අම්මල තාත්තල හම්බ කරපුව වියදම් කලා මිසක්, එදා තමයි තේරුනේ සල්ලි හොයන්න තියන අමාරුව. අපේ එකෙක් කියනව, "මම නම් මීට පස්සෙ කැන්ටිමෙන් රුපියල් 3ක් දීල තේකක් ගන්න කලින් තුන් පාරක් හිතනව" කියල. ඒක හරියටම හරි. දහයෙ රෝල් එකක් කන්න කලින් දහ පාරක් වත් හිතන්න ඕන. හැබැයි දාහක විතර බඩුවක් ගන්න ගියොත් තමයි වැඩේ.
කොහොම හරි හරියටම 7.30 වෙනකොටම එලියට පැන්න. අම්මෝ එතනින් එලියට ආවම තියන සනීපෙ. සමහර සෙක්ශන් වල කෙල්ලොත් නයිට් ශිෆ්ට් එක කරනව. අපි එනකොටම සෙට් එකක් එලියට ආව. මම එහෙම එකක් එදාමයි දන්නෙ. කොහොම හරි හොස්ටල් එකට ආවට නින්ද ගියෙත් නෑ, නිදි මත වැඩි නිසාද මන්ද සැරින් සැරේ බයවෙලා වගේ ඇහැරෙනව. හවස් වෙනකොට තමයි ඇඟම රිදෙන්න ගත්තෙ. බෙල්ල, කකුල් දෙක, යටි පතුල, අත් දෙක, උරහිස්, ඇඟිලි, සේරම රිදෙන්න ගත්ත. ඒ මදිවට ඔලුවෙ කැක්කුමකුත් ආව. කොහොම හරි එදයින් පස්සෙ පාර්ට් ටයි නම් එපාම වුනා. මම නම් ඊට පස්සෙම ගියේ නෑ. අපේ කට්ටිය නම් තාම යනව. මොනව වුනත් ඒ අත්දැකීමෙන් මිනිස්සු හම්බ කරන්න කොච්චර මහන්සි වෙනවද කියල ඉගෙන ගත්ත. ඔය තරම්ම නැතත්, අපිටත් ඉස්සරහට සල්ලි හම්බ කරන්න ලොකු මහන්සියක් වෙන්න වේවි.
...................................................................................................................................................................
ප.ලි. මේක ලියන්න අරන් දවස් තුන හතරක් වෙනව. ලියන්න වුනේ නෑ, දැන් තමයි ඉවර කලේ.