අද මේ කොටන්න යන්නෙ ටිකක් මතබේදයට තුඩුදුන් මාතෘකාවක් ගැන. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි. ගොඩක්ම මතබේදයට තුඩු දීපු මාතෘකාවක් මේක. කියන්න යන්නෙ මොකක් ගැනද කියල දන්නවා නෙ. මට මේක ගැන ලියන්න හිතුනේ මම දැකපු බ්ලොග් සහෝදරියක් ලියපු පෝස්ට් එකක් නිසා. පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියල තමයි එයා ලියල තිබුනේ. සංවේදී විදියට ලියන්න උත්සහ කරල තිබුනත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො එක්ක හිත යට තියන මොකක්දෝ තරහක් ඒ පෝස්ට් එකෙන් පෙනුනා. ලස්සන ලස්සන කමෙන්ට් ටිකකුත් ඒකට වැටිලා තිබුනා. මට ඒ වෙලාවෙම ඒ ගැන පෝස්ට් එකක් දන්න හිතුනත් ඒ දවස් වල තිබුන වැඩත් එක්ක ඒක පස්සට දාන්න සිද්ධ වුනා. ඊට පස්සෙ පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව වගේම පක්ෂවත් පෝස්ට් කීපයක්ම වැටිලා තිබුනා.
වැඩ නිසා පස්සට දදා ඉඳල පස්සෙ මට ඔය ගැන ලියන්න කම්මැලි හිතුනා. කම්මැලි කමටත් වැඩිය මම ඇත්තටම බය වුනා ඕව කියල මිනිස්සු තරහ කරගන්න. මොකද අර පෝස්ට් වලට වැටුන කමෙන්ට් වලින් පෙනුන දෙයක් තමයි දැන් ගොඩක් දෙනා පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන තැන ඉන්නව කියන එක. ඒ නිසා ඕව කියන්න ගිහින් නිකන් අප්‍රසාදයක් ඇති කරගන්න ඕන නෑ කියල මට හිතුනා. ඒත් මට පස්සෙ කල්පනා වුනා එතකොට මම 50 වෙනි පෝස්ට් එකේ දීපු ටෝක් බොරු වෙනව නේද කියලා. මම එතන කියල තියන විදියට මම හරියි කියල අදහන මතය වෙනුවෙන් මම පෙනී සිටින්න ඕන. ඔව්, ඒ නිසා මම ඒ ගැන ලියනවා. මම හොඳටම දන්නවා මගේ බ්ලොගේට නිතර යන එන සමහර මගෙ ලඟ හිතවතුන් පවා මම දන් මේ කියන්න යන කාරණයේදී මගේ විරුද්ධ වාදියෝ වෙනවා. මොකද මම හොඳටම දන්නවා ඒ සමහර අය පුද්ගලික විශ්ව විද්‍යාල දානවට කැමතියි කියල. කමක් නෑ, එත් මම කියනවා. ඒක මගේ යුතුකමක්. ටිකක් දිගයි නම් තමයි. අමාරුවෙන් හරි කමක් නෑ ඔක්කොම කියවන්න කියලා කියවන අයගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම හදවතින් නැතුව මේ කියන දේවල් බුද්ධියෙන් කල්පනා කරලා බලන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මූ මහා ආත්මාර්ථකාමියෙක් කියලා හිතන්නේ නැතුව මේ කියන දේවල් විවෘතව හිතල බලන්න.
හරි දැන් කතාවට එමුකෝ. මුලින්ම කියල ඉන්නම්කො ඇයි අපි පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ කියලා. ඒකට හේතු කීපයක්ම තියනවා. සමහර අයට අනුව අපි පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ අපේ කුහක කම නිසාලු. අපි ඉරිසියයිලු අනිත් අය ඉගෙන ගන්නවට. ඔහොම තමයි සමහරු කියන්නේ. හැබැයි කතව නම් ඒක නෙමෙයි. කෙලින්ම කියනව නම් ප්‍රධානම හේතුව අපි මහන්සි වෙල ආපු තැනට වෙන කෙනෙක් වැරදි පාරකින් එනවට අපි කැමති නෑ. අපි මහන්සි වෙලා ගත්ත දේ මුදලට විකුනලා ඒකෙ වටිනාකම නැති කරනවට අපි කැමති නෑ. ඒක තමයි ප්‍රධානම දේ. මොකද ඒ තැන ලැබෙන්න ඕන සුදුස්සාට මිසක් සල්ලි විසි කරන්න පුලුවන් කෙනාට නෙමෙයි.
පොඩ්ඩක් හිතල බලන්න විභාගෙ ගොඩ දාගෙන කැම්පස් යන්න කොච්චර නම් මහන්සියක් වෙන්න ඕනද? මිල කරන්න බැරි තරම් වටින කලය, ශ්‍රමය කොච්චර නම් කැප කරන්න ඕනද? අපි නම් තව කමක් නෑ කියමු, ඉන්ජො, මෙඩ්ඩො ගැන හිතන්න. උන් මුලු ජීවිතේම විභාගෙ වෙනුවෙන් කැප කරපු අය. දවල් රෑ නොබල පාඩම් කරල, ඒ වෙනුවෙන්ම ජීවිතෙ සතුට විනෝදය පවා නැති කරගෙන තමයි උන් ඔය තැනට ඇවිත් තියෙන්නෙ. එච්චර කැප කිරීම් කරල කෙනෙක් එතනට ආවම තව එකෙක් සල්ලි විසි කරල එතනට එන්න හදන එකට විරුද්ධ වෙන අසාධරනද? ඒක අපේ කුහක කමද? ඒ තරමටම නැතත් අපිත් ගොඩක් මහන්සි වෙලා තමයි මෙතනට ආවෙ. ඒ නිසා අපිටත් සධාචාරාත්මක අයිතියක් තියනව අපි ලබගත්ත දේ කවුරුහරි සල්ලි බලෙන් ලබා ගන්නවට විරුද්ධ වෙන්න.
කැපවීම වගේම විභාගෙන් හොඳ රිසල්ට් එකක් ගන්න උපතින් අරගෙන ආපු හැකියාවත් යම් දුරකට ඕන. මහන්සියට කැපවීමට වටින කමක් ලබෙන්න ඕන වගේම උපතින් ගෙනාපු හැකියවටත් වටින කමක් ලැබෙන්න ඕන. මොකද අපි අදහන බුදු දහමට අනුව අපි පෙර කළ පින් අනුවයි නුවණ කියන දේ කෙනෙකුට ලැබෙන්නේ. මේ කියන දෙවල් වලට මම මහ ආත්මාර්තකාමියෙක් කියල හිතන්න එපා. ඒත් හිතල බලන්න ඔය දෙකම තියන කෙනා නේද නියම සුදුස්ස. එහෙම කෙනෙක් මිසක් සල්ලි විසි කරන්න පුලුවන් කෙනෙක් නෙමෙයි නේද ඒ තැනට යන්න ඕන?
ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අය කියන දෙයක් තමයි විභාගෙන් දක්ශකම මනින්න බරිලු, ඒ නිසා විභාග ප්‍රතිඵල වලින් විශ්ව විද්‍යාල වලට ගන්න එක වැරදියිලු. දැන් එතකොට විභාග එපා කියල නොකිය කියන්නෙ පෝසත් කම අනුව කැම්පස් ගන්න කියලද? විභාගෙකින් 100% ක්ම දක්ශකම මනින්න බරි එක ඇත්ත. ඒ වුනාට දැනට ලෝකෙ පිලිගත්ත වඩාත්ම සුදුසු ක්‍රමේ ඒක. එතකොට මෙගොල්ලො කියන විදියට ඒක හරි යන්නෙ නැතිලු. ඕවට ඉතින් හිනා වෙනවද අඬනවද කියලයි හිතගන්න බැරි. මෙහෙම දෙයක් තියනවා, දක්ශයෙක් වුනත් ඒ වෙලාවෙ මොකක් හරි හේතුවක් නිසා විභාගෙ අවුල් යන්න පුලුවන්. ඒ නිසා තමයි එක ළමයෙක්ට අවස්ථා තුනක්ම ලැබෙන්නෙ. ඉතින් ඒ තුනෙන්මත් බැරි නම් ඉතින් ඇත්තටම ඒ කෙනා උසස් අධ්‍යාපනයට සුදුසු නෑ නේද? හිතට එකඟව කල්පනා කරල බලන්න ඒක එහෙම නෙමෙයිද කියලා. එතකොට දැන් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල කියල ඔය කරන්න හදන්නෙ ඒ කිසිම සුදුසුකමක් නැතුව වුනත් සල්ලි තියනව නම් උපාදිය දෙන්න. එතකොට මැරිල මැරිල මෙඩිසින් ආපු එකයි, මුකුත් නොකර ඉඳල අන්තිමට සල්ලි ටිකක් විසි කරපු එකයි දෙන්නම සමාන වෙනව. මට හිතාගන්න බැරි කිසිම හිරිකිතයක් නැතුව කොහොමද ඒක හරියි කියල කියන්නෙ කියල.
ඊලඟට ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අය අහන ප්‍රශ්නයක් තමයි ලකුනක් දෙකක් අඩු වෙලා කැම්පස් යන්න බැරි වුන අයට මොකද වෙන්නෙ කියලා. ඒ නිසා ඒ වගෙ අයට යන්න පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන තර්කය එයාල ගේනව. හොඳට හිතල බලන්න ඒ කතාවෙ කිසිම පදනමක් තියෙද කියල. මෙහෙම හිතන්න, අඩු අදායම් ලාබී පවුලක ළමයෙක් ඉන්නවා. ඒ ළමයට බොහොම පොඩි ලකුණු ගානක් මදි වෙනව කැම්පස් යන්න. දැන් එතකොට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල ඒ වෙලාවට ඒකට විසඳුමක් වෙයිද? නෑ නේද? ඇයි මේ බොරු කතන්දර කියන්නේ. මොකද කැම්පස් යන්න බොහොම පොඩි ලකුණු ගානයි මදි වුනේ කියලා ඒ ළමයට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල වලින් නොමිලේ උපාදිය දේවිද? නෑ නේද? අන්තිමට කැම්පස් යන්න පොඩි ලකුණු ගානක් මදි වුන ඒ ළමය ගෙදර ඉඳීවි, මේ ලෝකේ සුදුසු කමක් නැති සල්ලිකාර තාත්ත කෙනෙක්ගේ දරුවෙක් ඒ තැන ගනීවි. ඕකට කෙනෙක් ලස්සන උදාහරණයක් දීල තිබුන. ඔන්න එක ළමයෙක්ට මෙඩිසින් යන්න ලකුණු මදි වෙනවා. එයා දන්ත වෛද්‍ය උපාදිය සඳහා ලියාපදිංචි වෙනවා. තව ළමයෙක් ඔය එකකට වත් සුදුසුකම් නැතුව ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය කරනවා. දැන් එතකොට මෙඩිසින් කරන්න ලකුණක් මදි වුන එකා දන්ත වෛද්‍යවරයෙක්, අර කිසිම සුදුසුකමක් නැති එකා වෛද්‍යවරයෙක්. එතකොට එහෙම හොඳයිද? ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අයට අනුව නම් ඉතින් එහෙම හරි වෙන්න ඕන.
හොඳට හිතල බලන්න මධ්‍යම පන්තියට හරි ඊට පහල පන්තියට හරි ඒවයින් සත පහක වැඩක් තියෙද කියලා. ඕක නිකන් පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියල මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න දෙන පොඩි ටොපියක් විතරයි. ඔය කියන විදියට ලක්ශ හතලිහ පනහ ඔය වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් කීයෙන් කීදෙනාටද. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් කෑගහන ගොඩක් අයට කවදවත් ඒවයින් ප්‍රයොජනයක් ගන්න බෑ කියල නොතේරෙන්නෙ මොකද කියල හිතා ගන්න බෑ. ඒක නොතේරෙන්න විදියක් නම් නෑ, ඒක තේරුනත් කැම්පස් ගිය උන්ගෙන් මොකක් හරි තරහක් පිරිමහ ගන්න හදනවද කියල තමයි හිතන්න වෙන්නේ.
ඔය සල්ලි ගැන කියනකොට කෙනෙක් කියපු නියම කතාවක් මතක් වුනා. එයා නම් දවල් රෑ නොබලා පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් හඬ නගන කෙනෙක්. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් සල්ලි තියන අයට විතරයි අවස්ථාව ලැබෙන්නේ කියල කෙනෙක් සඳහන් කරපු තැනක එයා කියනවා, "අසාධාරනයක් තියෙයි තමයි නමුත් ඇත්තෙන්ම මුදල් මත සිද්ධවෙන අසාධාරණය ලෝකේ හැම තැනකම හැම දේකම තියෙයි අපිට වලක්වන්න බැ''. මේක තමයි ලස්සනම කතාව. ඒ කියන්නේ දක්ෂකම අනුව, සුදුසුකම අනුව ඇතිවෙන වෙනසට මේගොල්ලෝ විරුද්ධයි, හැබැයි මුදල් නිසා ඇතිවෙන වෙනස කමක් නෑලු. ඒක සාධාරණයිලු. තනිකරම ධන වාදය නේ ඉතින් එතන තියෙන්නේ. සල්ලි බලයෙන් කෙනෙක් ඉස්සරහට යනවට කමක් නෑ කියන මෙයාල, දක්ෂකම, කැපවීම නිසා කෙනෙක් ඉස්සරහට යන එකට විරුද්ධයි. හිතට එකඟව කල්පනා කරලා බලන්න කවුද මෙතන කුහක කියලා.
අනිවාර්යෙන්ම විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශය ලැබෙන සංඛ්‍යාව තව වැඩි වෙන්න ඕන, ඒකෙ කිසි කතන්දරයක් නෑ. ඒකට විසඳුම සුදුසුකම් තියන ඕන කෙනෙකුට යන්න පුලුවන් වෙන්න රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරන එක මිසක් සල්ලි කාරයින්ට විතරක් යන්න පුලුවන් පුද්ගලික විශ්ව විද්‍යාල දාන එක නෙමෙයි. අලුත් විශ්ව විද්‍යාල ඇති කරල, නව පාඨමාලා හඳුන්වා දීමෙන් හරි එහෙමත් නැත්තන් ඉල්ලුමට අනුව දැනට තියන වලට බඳවා ගන්න ප්‍රමාණය වැඩි කරන එක හරි අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. ඒ දේ කරන්නෙ නැතුව ආණ්ඩුව මෙතන නටන්න යන්නෙ වෙන නැටුමක්. ඒකට උඩගෙඩි දෙන්න නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙන ගත්තු පිරිසක් සූදනම් වෙලා ඉන්න එක තමයි දුක. ඒ වගේම එතනින් එහාට තාක්ෂණික පාඨමාලා, වෘත්තීය පුහුණුව වගේ දේවල් තව වැඩි වැඩියෙන් එකතු වෙන්න ඕන. ඒවා ගැන කිසිම විවාදයක් නෑ.
ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ගැන පලවුනු ලිපියක, රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරන එක තමයි කෙරෙන්න ඕන කියල කෙනෙක් කමෙන්ට් එකක් දාල තිබුන. පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් කතා කරන කෙනෙක් එතන අහල තිබුන "දැන් එතකොට ඔය මහත්තයගෙ තාත්තද බාප්පද ඒවට සල්ලි දෙන්නෙ?" කියලා. රජයට ඒවට සල්ලි නැතිලු. එතකොට අර කෝටි ගනන් වියදම් කරල දැයට කිරුල කරේ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද? හම්බන්තොට වරාය හදන්නෙ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද? නෙලුම් පොකුන හදුවෙ, නෙලුම් කුලුන හදන්න යන්නෙ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද? රට පුරාම පාරවල් හදන්නෙ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද? ඔය ඔක්කොම කරන්න සල්ලි තියනව නම් ඇයි අලුතෙන් විශ්ව විද්‍යාලයක් පටන් ගන්න බැරි. ඇයි මේ බොරු තර්ක ගේන්නේ? අනිත් හැම මගුලටම තියන සල්ලි ඇයි මේකට නැති වෙන්නේ.
මෙහෙමත් දෙයක් තියනවා. රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වුනත් කොච්චර වැඩි කලත් අර කියපු මූලික ප්‍රශ්නෙ කවදවත් විසඳන්න බෑ. මොකද කොච්චර පිරිසකට අලුතෙන් විශ්ව විද්‍යාල වරම් ලැබුනත් ආයෙත් ලකුනෙන් දෙකෙන් ඒ වරම නැති වෙන පිරිසක් බිහි වෙනවා. ඇයි ඉතින් කීදෙනෙක් ගත්තත් ආයෙමත් කඩයිමේ ඉතුරු වෙන පිරිසක් ඉන්නවා නේ. ඒක නැති කරන්න නම් ඉතින් උසස් පෙළ සමත් හැමෝටම විශ්ව විද්‍යාල දෙන්න වෙනවා. ඒ නිසා පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන කියන මතය ගොඩ නගන්න ඒ තර්කය ගේන්න එපා.
පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන්න තව හේතුවක් තමයි ඒවා නිසා රජයේ විශ්ව විද්‍යාල වලට වෙන්න පුළුවන් හානිය. ඕව දාපු ගමන් වෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න දේශකවරු ඔක්කොම ඒවට යන එක. මොකද අනිවාර්යෙන්ම ඕවයේ ලොකු ලොකු පඩි ලැබෙනවා. එතකොට වෙන්නේ මේ සොච්චමට රජයේ විශ්ව විද්‍යාල වල වැඩ කරන දේශකවරු පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන එක. එතනදී ඒ අයට වැරැද්දක් කියන්නත් බෑ. ඒ අයත් මිනිස්සුනේ, තමන්ගේ මහන්සියට වැඩිම වටිනාකමක් ලැබෙන තැනට නේ හැමෝම යන්න බලන්නේ. අනිත් එක ඒ මිනිස්සු ලංකාවේ ඉන්න බුද්ධිමත්ම පිරිස කිව්වොත් නිවැරදියි. (දේශකයෙක් විදියට ගන්නේ ගොඩක් වෙලාවට පළමු පන්තියේ ප්‍රථිපල තියන අයව) එතකොට ඒ මිනිස්සු හොඳ පඩි වලට වැඩ කරන්න පුළුවන්කම තියෙද්දී සොච්චම් පඩියකට රජයේ විශ්ව විද්‍යාල වල වැඩ කරාවිද? දැනටත් ගොඩක් පුද්ගලික ආයතන වල විශ්ව විද්‍යාල දේශකවරු වැඩ කරනවා. දේශක වරුන්ගේ පඩි වැඩි කිරීම රජය මෙච්චර මග ඇර ඇර ඉන්නේ මොකද කියලත් පොඩ්ඩක් හිතල බලන්න. ඒකත් මේ රජයේ විශ්ව විද්‍යාල එපා කිරීමේ මාස්ටර් ප්ලෑන් එකේම කොටසක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ පඩි වැඩිකිරීම අද දෙන්නම් හෙට දෙන්නම් කියල පස්සට දදා ඉඳල, පුද්ගලික විශ්ව විද්‍යාල දාපු ගමන් ඒ මිනිස්සු ඔක්කොම දමල ගහල ඒවට යාවි. කොහොමහරි අන්තිමට වෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වල උගන්නන්න දේශකවරු නැති වෙන එක. අන්තිමට හරි විදියට කැම්පස් ආපු එකාට වෙන්නේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න. ඔය ඔක්කොගෙම අවසාන ප්‍රථිපලය නියම සුදුස්සාට තැනක් නැති වෙන එක.
අනිත් එක හැමෝම දන්නවා ඇති අධ්‍යාපනයට වෙන් කරලා තිබුන ප්‍රතිපාදන තවත් අඩු කරලා කියලා. විශ්ව විද්‍යාලවලට ඕන කරන පහසුකම් දෙන්නේ නෑ, දේශකවරු හිඟයක් තියනවා, ඒ මිනිස්සුන්ට පඩි දෙන්නේ නෑ, ඔය ඔක්කොම ඔහොමම තියෙද්දී පුද්ගලික විශ්ව විද්‍යාලත් එන්න ගත්තම කොහොමද තියන තත්ත්වේ? රජයේ විශ්ව විද්‍යාල වලට තැනක් නැති වෙනවා කියන එක ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නෑ නේද? එක්කෝ රජයේ විශ්ව විද්‍යාල වැහිලම යාවි, නැත්තන් තිබුනත් කිසිම වැඩක් නැති තත්ත්වෙට පත් වේවි. එතකොට මහන්සි වෙලා ඉගෙන ගත්ත එකාට කෙලවිලාම ගිහින් සල්ලි කාරයෝ ටික විතරක් වැජඹෙනවා. ඊට පස්සේ කවදාහරි රස්සාවක් ගන්න ගියාම රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තේ කිව්වා ගමන් නිකන්ම කැපිල යන තත්ත්වයක් උදා වේවි. ඒක කරන්න තමයි මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට ඕන වෙලා තියෙන්නේ.
හොඳට හිතල බලන්න මේ රජය පුද්ගලික විශ්ව විද්‍යාල දාන්න හදන එක පිටිපස්සේ තියන අරමුණ මොකක්ද කියලා. ලංකාවේ ළමයින්ට ආදරේට ළමයින්ට වැඩිපුර උසස් අධ්‍යාපන පහසුකම් ලබා දෙන්න කියලද හිතන්නේ? එහෙම හිතනවා නම් ලොකු වැරදීමක්. එහෙම ළමයින්ට වැඩි උසස් අධ්‍යාපන වරම් ලබා දෙන්න නම් කෙරෙන්න ඕන දේ උඩ කියලා තියනවා වගේ රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරන එක. ඒ දේ නොකර මේ පුද්ගලික විශ්ව විද්‍යාල බලෙන් ඇඟේ ගහන්න හදන්නේ මොකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඕවගෙන් අත යටින් ලැබෙන ගාන ගහගන්න නේ මේ ඔක්කොම. අනිත් දේවල් මොනවා වුනත් කමක් නෑ ඉතින් අපේ දේශපාලුවොන්ට කොමිස් කුට්ටිය ලැබෙනවා නම්. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් නම් හොඳ කුට්ටියක් ලැබේවි කට්ටියට. ඒකනේ කවදාවත් නැතුව මේකට මෙච්චර මහන්සි වෙන්නේ කට්ටිය.
මෙහෙමත් කතාවක් කියනවා සමහරු. "නිදහස් පාසල් අධ්‍යාපනය සහ නිදහස් උසස් අධ්‍යාපනය එකිනෙක පටලවා ගන්න එපා. අනික කවූරුවත් නිදහස් අධ්‍යාපනය නැති කල යුතුයි කියල මෙතන කියල නැ." ඒ කියන්නේ මෙයාල ගොඩක් දෙනෙක් නොකිය කියන්නේ 'නිදහස් අධ්‍යාපනය' හොඳයි, 'නිදහස් උසස් අධ්‍යාපනයට' කෙලවලා දාන්න ඕන කියලා. ඒ කියන්නේ ඉතින් තමන්ට ඒ දේ ලැබුනේ නැති නිසා ඒක ලැබුන එකාටත් නැතිකරලා දාන්න හදන්නේ. එතකොට අවුරුදු 13ක් නොමිලේ ඉස්කෝලෙන් ඉගෙන ගන්න එකට කාගේවත් කිසි විරුද්ධත්වයක් නෑ. හැබැයි එතනින් තේරුන පිරිසක් නොමිලයේ උසස් අධ්‍යාපනය හදාරන එක තමයි සමහරුන්ට ඉවසන්න බැරි. තමන්ට ඒ දේ තියනකන් හොඳයි. තමන්ට නැති වුන ගමන් ඒකට කොක්ක දාන්න හදනවා. ඇයි මේ අවස්ථා දෙකේදී දෙවිදියකට හැසිරෙන්නේ? ඒකට නෙමෙයිද කුහකකම කියන්නේ?
තවත් ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි නොමිලේ උසස් අධ්‍යාපනය දෙනවා කියන එක අයිතියක් නෙමෙයිලු. ඒක වරප්‍රසදයක් විතරයිලු. ආයෙත් කියන්න තියෙන්නේ කලින් කියපු දේම තමයි. හැමකෙනාටම අවුරුදු 13ක් වෙනකල් අයිතියක් වෙන එක ඔතනදී විතරක් මොකද වෙනස් වෙන්න? නිදහස් අධ්‍යාපනය අයිතියක් වගේම නිදහස් උසස් අධ්‍යාපනයත් අයිතියක්. වෙනස තියෙන්නේ එතනදී ඒක තෝරාගත් පිරිසකට පමණක් ලැබෙන එක. සීමිත පිරිසකට පමණක් ලැබෙන නිසා තමයි ඒකට විධිමත් ක්‍රමයකට තෝරාගත් සුදුස්සන් පමණක් සුදුසුකම් ලබන්නේ. එතකොට ඒක ඒ පිරිසගේ අයිතියක්. ඒක නෑ කියන්න එපා. ඒ අයිතිය නැති කරන්න හදන්නත් එපා. ඒ අයිතිය ලැබෙන පිරිස වැඩි වෙන්න ඕන කියන එක නම් මම ආයෙත් කියනවා. හැබැයි එහෙම වැඩි වෙන්නත් ඕන සුදුසුකම් මත මිසක් මුදල් බලය මත නෙමෙයි. අනිත් එක සමහරු කියනවා නිකන් ලැබුන දේට ඔච්චර කෑගහන්න එපා කියලා. උසස් අධ්‍යාපන සුදුසුකම කොහෙද යකෝ නිකන් ලැබුනේ. අවුරුදු 13ක් වෙන මහන්සියක ප්‍රථිපලයක් විදියටයි ඒක ලබාගන්න වෙන්නේ. මොන පදනමකින් කියනවාද මන්ද නිකන් ලැබුන දෙයක් කියලා.
තවත් ඔය වගේම කියන දෙයක් තමයි විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අය ඉගෙන ගන්නේ රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් කියලා. ඔව්, සම්පූර්ණ ඇත්ත! අපි ඒක දන්නවා. මිනිස්සුගේ බදු මුදල් වලින් විශ්ව විද්‍යාල පවත්වාගෙන යනවා කියන්නේ මුළු රටම වෙනුවෙන් කරන ආයෝජනයක්. ඒක රටේ සංවර්ධනය වෙනුවෙන් කරන ආයෝජනයක්. සමහරු කියන දේවල් වලින් හොඳටම තේරෙනවා එයාල ඒකටත් විරුද්ධයි කියලා. එතකොට අවුරුදු දහ තුනක් හැම ළමයෙක්ම රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් පාසල් වල නිදහස් අධ්‍යාපනය ලබන එක ප්‍රශ්නයක් නෑ, එතනින් තේරෙන සුදුස්සෝ ටික බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් විශ්ව විද්‍යාල වල නිදහස් උසස් අධ්‍යාපනය ලබන එක තමයි බොලාට අවුල. කුහක කම කියන්න ඔන්න ඕකට. වෙන මුකුත් නෙමෙයි. අනිත් එක මැති ඇමතිලා බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් සුර සැප විඳින එක, රට සවාරි යන එක, ලක්ෂ ගණන් කෝටි ගණන් ගසාකන එක ප්‍රශ්නයක් නෑ, බොලාට ප්‍රශ්නේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් ළමයෙක් උසස් අධ්‍යාපනය ලබන එක. අනේ මන්ද මේවට මොනවා කියන්නද කියලා. ඒ ඔක්කොම කරලා අන්තිමට අපිට කියනවා අපි කුහකයෝ කියලා.
තවත් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අය කියන දෙයක් තමයි ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල දැම්මම පිට රටවලට යන විදේශ විනිමය ඉතුරු කරගන්න පුළුවන් කියලා. ඒකත් අර කලින් කතාව වගේම ලස්සන කතාවක් විතරයි. හිතන්න බලන්න කවුද එහෙම වුනොත් ලංකාවේ විශ්ව විද්‍යාල පටන් ගන්නේ කියලා. අනිවාර්යෙන්ම විදේශීය අයතන තමයි ලංකාව ඇතුලේ බහුතරයක්ම පුද්ගලික විශ්ව විද්‍යාල දාන්නෙත්. ඔය කියන විදේශ විනිමය ඉතිරි වෙයි කියලා හිතනවා නම් ඒක සිතුවිල්ලක් විතරයි.
අනිත් එක පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන එක දේශපාලනීකරණය කරන්න හදනවා සමහරු. දේශපාලන පක්ෂ වල උසිගැන්වීම් වලට අපි මේවට කෑගහනවා කියල සමහරු කියනවා. එහෙම උසිගැන්වීම් සමහර විට වෙනවත් ඇති. හැබැයි බහුතරයක් මේකට විරුද්ධ වෙන්නේ කාගේවත් බලපෑමක් නිසා නෙමෙයි වෙන්න යන අසාධාරණයට ඇත්තටම හිතට එකඟව විරුද්ධ නිසා කියලා බොහොම වගකීමෙන් කියන්නේ. මොකද දේශපාලනයක් ගෑවිලා වත් මොරටුවේ ශිෂ්‍යන්ගේ මතය වුනත් මේකම තමයි. ඒ නිසා කියන්න දෙයක් නැති කමට මේක දේශපාලනීකරණය කරන්න හදන්න එපා. අර කලින් කියපු, පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් බොහොම කැපවීමෙන් කතා කරන කෙනෙක් පෝස්ට් එකක දාපු කමෙන්ට් එකකින් අහපු ප්‍රශ්නයක් තමයි දැන් ඔය විරුද්ධ වෙලා බොලාට මොනවද ලැබුනේ කියලා. මම හිතන්නේ දැන් නම් එයාට උත්තර ලැබිලා ඇති. ජනවාරි 7 වෙනිදා ගේන්න හිටපු ඔය කියන පනත අකුලගන්න වුනේ මොකද කියලා දන්නවා ඇති නේ. කරන්න යන්නේ වැරද්දක් කියලා දන්නා නිසා තමයි විරෝධය නිසා ඒ පනත අකුලගන්න වුනේ.
තවත් ඔය කට්ටිය කියන දෙයක් තමයි අනිත් ගොඩක් රටවලත් පුද්ගලික විශ්ව විද්‍යාල තියනවා, අපේ රටේ විතරක් ඒවා නොදා ඉන්න එක මෝඩ කමක් කියලා. එහෙනම් ඉතින් ඒ රටවල් වල වගේ පාසල් අධ්‍යාපනයටත් මුදල් අය කරමු, සෞඛ්‍ය පහසුකම් වලටත් මුදල් අය කරමු. ඇයි මේ විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් විතරක් අනිත් රටවල් අනුගමනය කරන්න යන්නේ? අනිත් රටවල් කරන දේ නෙමෙයි හරි දේ නේද වෙන්න ඕන.
කොහොම වුනත් ඔය හැම පෝස්ට් එකකම තිබුන කරුණු කියෙව්වම තේරුණ දෙයක් තමයි සමහරු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ එක්ක පුදුම තරහකින් ඉන්නේ කියලා. මේ පහල තියන අදහස් කීපය කියවලා බලන්නකෝ, එතකොට තේරෙයි මම කියන දේ.
"රජයේ විශ්වවිද්‍යාල වලින් බිහි වන්නේ මෙවැනි පසුගාමී මෝඩ ශිෂ්‍ය පරම්පරාවක් නම් පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යාවශ්‍ය වීමට එය තවත් හේතුවකි."
"තොපි දවස තිස්සෙම ගිරව ගහල ලඟ ඉන්න එකාවත් කපාගෙන ඉස්සරහට ගිහිල්ල කැම්පස් ගියාම...."
"ඔව් කවුරු හරි කුලප්පු කරන පලියට හරි වැරදි හැම දේටම පාරට බහින්න උද්ඝෝෂන කරන්න, විශ්ව විද්‍යාල වල අය ආසයි.. ඒ වගේම තේරුමක් නැතිව රණ්ඩු වෙන්න ගහමරා ගන්න වගේම එයාලවත් තේරුම නොදන්න බර වචන වලින් විප්ලවවාදය ගැන කතා කරන්න එයාලාට පුළුවන්.."
"එහෙදි අපි හිතමුකො උපාධි අරං තොපි ලොකු මහත්තුරු උනා කියල, exam pass වෙලා කැම්පස් යන්න බැරි වෙච්ච උන් තොපිට ෆ්‍රයිඩ්රයිස් කවන්න කුඹුරු කොටන්නද ඔ්න?"
"තොට කුණු පණුව ගහල තමා මැරෙන්න ඔ්න කාලකන්නිය!"
"කැම්පස් යන හැම එකාම දක්ෂ එවුන් නෙමෙයි.විභාගයක් පාස් උනාට උන් දැනුම තියෙන වැඩක් ඇති එවුන් නෙමෙයි.හරියට මේ ලිපිය වගේ."
"ඔහොම තමයි ඉතිං. කලාතුරකිං කෙනෙක්ට ලැබෙන දේවල් කෙනෙක්ට ලැබුනම විවිධ අං වර්ග එහෙම මතුවෙනව."
"අනිත් එක ඉගෙනගන්න ඔ්න උන්ට ඉගෙනගන්න බැරි කම. මේ කොහෙවත් යන උං ගිරව ගහල ගිහිං වැඩකට අැති පාඨමාලාවල් කරද්දි එ්වට අාසාව තියන අපි මුල ඉඳං ඉගෙනගන්න ඔ්න. නැත්තං අර උඹ කියනව වගේ ජොබ් කටු කරකර ඉන්න ඔ්න. එ්කද උඹ දන්න සාධාරනේ."
සමහරුන්ගේ හැම වචනයක් පිටිපස්සෙම තියෙන්නේ කැම්පස් ගිය උන් එක්ක තරහක්, වෛරයක්. (හැමෝම නෙමෙයි හොඳද, බොහොම සුළුතරයක්) මේ පුද්ගලික විශ්ව විද්‍යාල කතාවෙන් එලියට එන්නේ ඒවා.
මේක පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න, ජීවිතේ කියන්නේ තරඟයක්. අපි කැමති වුනත් නැතත් අපිට ඒ ස්වභාවයට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට අපි කැමති දේවල් වුනත් අපිට තරඟ කරන්න සුදුසුකම් මදි නම් නොලැබී යනවා. කැමති කැමති හැම දේම ලබාගන්න බෑ. අකමැති වුනත් අපිට ඒ ඇත්ත පිළිගන්න වෙනවා. ඒ තරඟයෙදි එක් එක් අය එක් එක් අංශ වලින් අනිත් අයව පහුකරගෙන යනවා. සෞන්දර්ය, ක්‍රීඩා, තාක්ෂණික කුසලතා, විවිධ නිර්මාණාත්මක හැකියාවන් වගේ විවිධ අංශ තියනවා කෙනෙක් තව කෙනෙකුට වඩා ඉස්සරහට යන. අධ්‍යාපනය කියන්නෙත් ඒ වගේ එක් අංශයක්. ඒකෙ ඉස්සරහට ගිය එකාගේ කකුලෙන් අදින්න එපා. ඌ ලබාගත්ත දේ හෑල්ලු කරන්න, වටිනාකමක් නැති කරන්න හදන්න එපා. අවසාන වශයෙන් මේකයි කියන්න තියෙන්නේ, අපි මේ තැනට ආවේ ගොඩක් අමාරුවෙන්, ගොඩක් කැපකිරීම් කරලා. ඒ නිසා අපි ඒ අමාරුවෙන් ලබාගත්ත දේ නැති කරලා දාන්න තරම් අමානුෂික වෙන්න එපා. මොකද ඒකෙ තියන වේදනාව දන්නේ අපි විතරයි.
..................................................................................................................................................................
ප.ලි. ආයෙත් කියන්නේ හිතට එකඟව, හදවතින් විතරක් නැතුව බුද්ධියෙන් හිතල බලන්න මේ කියපු දේවල් ගැන. හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලා යන්න.
ප.ප.ලි. බ්ලොග් අවකාශේ මේක කියවන කිසිම කෙනෙක් මේක පුද්ගලිකව ගන්න එපා කියල ඉල්ලා සිටිනවා.
ප.ප.ලි. බ්ලොග් අවකාශේ මේක කියවන කිසිම කෙනෙක් මේක පුද්ගලිකව ගන්න එපා කියල ඉල්ලා සිටිනවා.












