twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න
Showing posts with label කසුන්ට හිතෙන හැටි. Show all posts
Showing posts with label කසුන්ට හිතෙන හැටි. Show all posts

Monday, March 5, 2012

පුද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහි කුහකයෙක් වූ කසුන්ට හිතෙන හැටි

අද මේ කොටන්න යන්නෙ ටිකක් මතබේදයට තුඩුදුන් මාතෘකාවක් ගැන. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි. ගොඩක්ම මතබේදයට තුඩු දීපු මාතෘකාවක් මේක. කියන්න යන්නෙ මොකක් ගැනද කියල දන්නවා නෙ. මට මේක ගැන ලියන්න හිතුනේ මම දැකපු බ්ලොග් සහෝදරියක් ලියපු පෝස්ට් එකක් නිසා. පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියල තමයි එයා ලියල තිබුනේ. සංවේදී විදියට ලියන්න උත්සහ කරල තිබුනත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො එක්ක හිත යට තියන මොකක්දෝ තරහක් ඒ පෝස්ට් එකෙන් පෙනුනා. ලස්සන ලස්සන කමෙන්ට් ටිකකුත් ඒකට වැටිලා තිබුනා. මට ඒ වෙලාවෙම ඒ ගැන පෝස්ට් එකක් දන්න හිතුනත් ඒ දවස් වල තිබුන වැඩත් එක්ක ඒක පස්සට දාන්න සිද්ධ වුනා. ඊට පස්සෙ පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව වගේම පක්ෂවත් පෝස්ට් කීපයක්ම වැටිලා තිබුනා.

වැඩ නිසා පස්සට දදා ඉඳල පස්සෙ මට ඔය ගැන ලියන්න කම්මැලි හිතුනා. කම්මැලි කමටත් වැඩිය මම ඇත්තටම බය වුනා ඕව කියල මිනිස්සු තරහ කරගන්න. මොකද අර පෝස්ට් වලට වැටුන කමෙන්ට් වලින් පෙනුන දෙයක් තමයි දැන් ගොඩක් දෙනා පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන තැන ඉන්නව කියන එක. ඒ නිසා ඕව කියන්න ගිහින් නිකන් අප්‍රසාදයක් ඇති කරගන්න ඕන නෑ කියල මට හිතුනා. ඒත් මට පස්සෙ කල්පනා වුනා එතකොට මම 50 වෙනි පෝස්ට් එකේ දීපු ටෝක් බොරු වෙනව නේද කියලා. මම එතන කියල තියන විදියට මම හරියි කියල අදහන මතය වෙනුවෙන් මම පෙනී සිටින්න ඕන. ඔව්, ඒ නිසා මම ඒ ගැන ලියනවා. මම හොඳටම දන්නවා මගේ බ්ලොගේට නිතර යන එන සමහර මගෙ ලඟ හිතවතුන් පවා මම දන් මේ කියන්න යන කාරණයේදී මගේ විරුද්ධ වාදියෝ වෙනවා. මොකද මම හොඳටම දන්නවා ඒ සමහර අය පුද්ගලික විශ්ව විද්‍යාල දානවට කැමතියි කියල. කමක් නෑ, එත් මම කියනවා. ඒක මගේ යුතුකමක්. ටිකක් දිගයි නම් තමයි. අමාරුවෙන් හරි කමක් නෑ ඔක්කොම කියවන්න කියලා කියවන අයගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම හදවතින් නැතුව මේ කියන දේවල් බුද්ධියෙන් කල්පනා කරලා බලන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මූ මහා ආත්මාර්ථකාමියෙක් කියලා හිතන්නේ නැතුව මේ කියන දේවල් විවෘතව හිතල බලන්න. 

හරි දැන් කතාවට එමුකෝ. මුලින්ම කියල ඉන්නම්කො ඇයි අපි පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ කියලා. ඒකට හේතු කීපයක්ම තියනවා. සමහර අයට අනුව අපි පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ අපේ කුහක කම නිසාලු. අපි ඉරිසියයිලු අනිත් අය ඉගෙන ගන්නවට. ඔහොම තමයි සමහරු කියන්නේ. හැබැයි කතව නම් ඒක නෙමෙයි. කෙලින්ම කියනව නම් ප්‍රධානම හේතුව අපි මහන්සි වෙල ආපු තැනට වෙන කෙනෙක් වැරදි පාරකින් එනවට අපි කැමති නෑ. අපි මහන්සි වෙලා ගත්ත දේ මුදලට විකුනලා ඒකෙ වටිනාකම නැති කරනවට අපි කැමති නෑ. ඒක තමයි ප්‍රධානම දේ. මොකද ඒ තැන ලැබෙන්න ඕන සුදුස්සාට මිසක් සල්ලි විසි කරන්න පුලුවන් කෙනාට නෙමෙයි.

පොඩ්ඩක් හිතල බලන්න විභාගෙ ගොඩ දාගෙන කැම්පස් යන්න කොච්චර නම් මහන්සියක් වෙන්න ඕනද? මිල කරන්න බැරි තරම් වටින කලය, ශ්‍රමය කොච්චර නම් කැප කරන්න ඕනද? අපි නම් තව කමක් නෑ කියමු, ඉන්ජො, මෙඩ්ඩො ගැන හිතන්න. උන් මුලු ජීවිතේම විභාගෙ වෙනුවෙන් කැප කරපු අය. දවල් රෑ නොබල පාඩම් කරල, ඒ වෙනුවෙන්ම ජීවිතෙ සතුට විනෝදය පවා නැති කරගෙන තමයි උන් ඔය තැනට ඇවිත් තියෙන්නෙ. එච්චර කැප කිරීම් කරල කෙනෙක් එතනට ආවම තව එකෙක් සල්ලි විසි කරල එතනට එන්න හදන එකට විරුද්ධ වෙන අසාධරනද? ඒක අපේ කුහක කමද? ඒ තරමටම නැතත් අපිත් ගොඩක් මහන්සි වෙලා තමයි මෙතනට ආවෙ. ඒ නිසා අපිටත් සධාචාරාත්මක අයිතියක් තියනව අපි ලබගත්ත දේ කවුරුහරි සල්ලි බලෙන් ලබා ගන්නවට විරුද්ධ වෙන්න.

කැපවීම වගේම විභාගෙන් හොඳ රිසල්ට් එකක් ගන්න උපතින් අරගෙන ආපු හැකියාවත් යම් දුරකට ඕන. මහන්සියට කැපවීමට වටින කමක් ලබෙන්න ඕන වගේම උපතින් ගෙනාපු හැකියවටත් වටින කමක් ලැබෙන්න ඕන. මොකද අපි අදහන බුදු දහමට අනුව අපි පෙර කළ පින් අනුවයි නුවණ කියන දේ කෙනෙකුට ලැබෙන්නේ. මේ කියන දෙවල් වලට මම මහ ආත්මාර්තකාමියෙක් කියල හිතන්න එපා. ඒත් හිතල බලන්න ඔය දෙකම තියන කෙනා නේද නියම සුදුස්ස. එහෙම කෙනෙක් මිසක් සල්ලි විසි කරන්න පුලුවන් කෙනෙක් නෙමෙයි නේද ඒ තැනට යන්න ඕන?

ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අය කියන දෙයක් තමයි විභාගෙන් දක්ශකම මනින්න බරිලු, ඒ නිසා විභාග ප්‍රතිඵල වලින් විශ්ව විද්‍යාල වලට ගන්න එක වැරදියිලු. දැන් එතකොට විභාග එපා කියල නොකිය කියන්නෙ පෝසත් කම අනුව කැම්පස් ගන්න කියලද? විභාගෙකින් 100% ක්ම දක්ශකම මනින්න බරි එක ඇත්ත. ඒ වුනාට දැනට ලෝකෙ පිලිගත්ත වඩාත්ම සුදුසු ක්‍රමේ ඒක. එතකොට මෙගොල්ලො කියන විදියට ඒක හරි යන්නෙ නැතිලු. ඕවට ඉතින් හිනා වෙනවද අඬනවද කියලයි හිතගන්න බැරි. මෙහෙම දෙයක් තියනවා, දක්ශයෙක් වුනත් ඒ වෙලාවෙ මොකක් හරි හේතුවක් නිසා විභාගෙ අවුල් යන්න පුලුවන්. ඒ නිසා තමයි එක ළමයෙක්ට අවස්ථා තුනක්ම ලැබෙන්නෙ. ඉතින් ඒ තුනෙන්මත් බැරි නම් ඉතින් ඇත්තටම ඒ කෙනා උසස් අධ්‍යාපනයට සුදුසු නෑ නේද? හිතට එකඟව කල්පනා කරල බලන්න ඒක එහෙම නෙමෙයිද කියලා. එතකොට දැන් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල කියල ඔය කරන්න හදන්නෙ ඒ කිසිම සුදුසුකමක් නැතුව වුනත් සල්ලි තියනව නම් උපාදිය දෙන්න. එතකොට මැරිල මැරිල මෙඩිසින් ආපු එකයි, මුකුත් නොකර ඉඳල අන්තිමට සල්ලි ටිකක් විසි කරපු එකයි දෙන්නම සමාන වෙනව. මට හිතාගන්න බැරි කිසිම හිරිකිතයක් නැතුව කොහොමද ඒක හරියි කියල කියන්නෙ කියල.

ඊලඟට ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අය අහන ප්‍රශ්නයක් තමයි ලකුනක් දෙකක් අඩු වෙලා කැම්පස් යන්න බැරි වුන අයට මොකද වෙන්නෙ කියලා. ඒ නිසා ඒ වගෙ අයට යන්න පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන තර්කය එයාල ගේනව. හොඳට හිතල බලන්න ඒ කතාවෙ කිසිම පදනමක් තියෙද කියල. මෙහෙම හිතන්න, අඩු අදායම් ලාබී පවුලක ළමයෙක් ඉන්නවා. ඒ ළමයට බොහොම පොඩි ලකුණු ගානක් මදි වෙනව කැම්පස් යන්න. දැන් එතකොට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල ඒ වෙලාවට ඒකට විසඳුමක් වෙයිද? නෑ නේද? ඇයි මේ බොරු කතන්දර කියන්නේ. මොකද කැම්පස් යන්න බොහොම පොඩි ලකුණු ගානයි මදි වුනේ කියලා ඒ ළමයට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල වලින් නොමිලේ උපාදිය දේවිද? නෑ නේද? අන්තිමට කැම්පස් යන්න පොඩි ලකුණු ගානක් මදි වුන ඒ ළමය ගෙදර ඉඳීවි, මේ ලෝකේ සුදුසු කමක් නැති සල්ලිකාර තාත්ත කෙනෙක්ගේ දරුවෙක් ඒ තැන ගනීවි. ඕකට කෙනෙක් ලස්සන උදාහරණයක් දීල තිබුන. ඔන්න එක ළමයෙක්ට මෙඩිසින් යන්න ලකුණු මදි වෙනවා. එයා දන්ත වෛද්‍ය උපාදිය සඳහා ලියාපදිංචි වෙනවා. තව ළමයෙක් ඔය එකකට වත් සුදුසුකම් නැතුව ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය කරනවා. දැන් එතකොට මෙඩිසින් කරන්න ලකුණක් මදි වුන එකා දන්ත වෛද්‍යවරයෙක්, අර කිසිම සුදුසුකමක් නැති එකා වෛද්‍යවරයෙක්. එතකොට එහෙම හොඳයිද? ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අයට අනුව නම් ඉතින් එහෙම හරි වෙන්න ඕන.

හොඳට හිතල බලන්න මධ්‍යම පන්තියට හරි ඊට පහල පන්තියට හරි ඒවයින් සත පහක වැඩක් තියෙද කියලා. ඕක නිකන් පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියල මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න දෙන පොඩි ටොපියක් විතරයි. ඔය කියන විදියට ලක්ශ හතලිහ පනහ ඔය වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් කීයෙන් කීදෙනාටද. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් කෑගහන ගොඩක් අයට කවදවත් ඒවයින් ප්‍රයොජනයක් ගන්න බෑ කියල නොතේරෙන්නෙ මොකද කියල හිතා ගන්න බෑ. ඒක නොතේරෙන්න විදියක් නම් නෑ, ඒක තේරුනත් කැම්පස් ගිය උන්ගෙන් මොකක් හරි තරහක් පිරිමහ ගන්න හදනවද කියල තමයි හිතන්න වෙන්නේ.

ඔය සල්ලි ගැන කියනකොට කෙනෙක් කියපු නියම කතාවක් මතක් වුනා. එයා නම් දවල් රෑ නොබලා පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් හඬ නගන කෙනෙක්. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් සල්ලි තියන අයට විතරයි අවස්ථාව ලැබෙන්නේ කියල කෙනෙක් සඳහන් කරපු තැනක එයා කියනවා, "අසාධාරනයක් තියෙයි තමයි නමුත් ඇත්තෙන්ම මුදල් මත සිද්ධවෙන අසාධාරණය ලෝකේ හැම තැනකම හැම දේකම තියෙයි අපිට වලක්වන්න බැ''. මේක තමයි ලස්සනම කතාව. ඒ කියන්නේ දක්ෂකම අනුව, සුදුසුකම අනුව ඇතිවෙන වෙනසට මේගොල්ලෝ විරුද්ධයි, හැබැයි මුදල් නිසා ඇතිවෙන වෙනස කමක් නෑලු. ඒක සාධාරණයිලු. තනිකරම ධන වාදය නේ ඉතින් එතන තියෙන්නේ. සල්ලි බලයෙන් කෙනෙක් ඉස්සරහට යනවට කමක් නෑ කියන මෙයාල, දක්ෂකම, කැපවීම නිසා කෙනෙක් ඉස්සරහට යන එකට විරුද්ධයි. හිතට එකඟව කල්පනා කරලා බලන්න කවුද මෙතන කුහක කියලා.                                                                                
 
අනිවාර්යෙන්ම විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශය ලැබෙන සංඛ්‍යාව තව වැඩි වෙන්න ඕන, ඒකෙ කිසි කතන්දරයක් නෑ. ඒකට විසඳුම සුදුසුකම් තියන ඕන කෙනෙකුට යන්න පුලුවන් වෙන්න රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරන එක මිසක් සල්ලි කාරයින්ට විතරක් යන්න පුලුවන් පුද්ගලික විශ්ව විද්‍යාල දාන එක නෙමෙයි. අලුත් විශ්ව විද්‍යාල ඇති කරල, නව පාඨමාලා හඳුන්වා දීමෙන් හරි එහෙමත් නැත්තන් ඉල්ලුමට අනුව දැනට තියන වලට බඳවා ගන්න ප්‍රමාණය වැඩි කරන එක හරි අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. ඒ දේ කරන්නෙ නැතුව ආණ්ඩුව මෙතන නටන්න යන්නෙ වෙන නැටුමක්. ඒකට උඩගෙඩි දෙන්න නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙන ගත්තු පිරිසක් සූදනම් වෙලා ඉන්න එක තමයි දුක. ඒ වගේම එතනින් එහාට තාක්ෂණික පාඨමාලා, වෘත්තීය පුහුණුව වගේ දේවල් තව වැඩි වැඩියෙන් එකතු වෙන්න ඕන. ඒවා ගැන කිසිම විවාදයක් නෑ.

ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ගැන පලවුනු ලිපියක, රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරන එක තමයි කෙරෙන්න ඕන කියල කෙනෙක් කමෙන්ට් එකක් දාල තිබුන. පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් කතා කරන කෙනෙක් එතන අහල තිබුන "දැන් එතකොට ඔය මහත්තයගෙ තාත්තද බාප්පද ඒවට සල්ලි දෙන්නෙ?" කියලා. රජයට ඒවට සල්ලි නැතිලු. එතකොට අර කෝටි ගනන් වියදම් කරල දැයට කිරුල කරේ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද? හම්බන්තොට වරාය හදන්නෙ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද? නෙලුම් පොකුන හදුවෙ, නෙලුම් කුලුන හදන්න යන්නෙ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද? රට පුරාම පාරවල් හදන්නෙ ඒ මනුස්සයගෙ තාත්තගෙ සල්ලි වලින්ද? ඔය ඔක්කොම කරන්න සල්ලි තියනව නම් ඇයි අලුතෙන් විශ්ව විද්‍යාලයක් පටන් ගන්න බැරි. ඇයි මේ බොරු තර්ක ගේන්නේ? අනිත් හැම මගුලටම තියන සල්ලි ඇයි මේකට නැති වෙන්නේ.

මෙහෙමත් දෙයක් තියනවා. රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වුනත් කොච්චර වැඩි කලත් අර කියපු මූලික ප්‍රශ්නෙ කවදවත් විසඳන්න බෑ. මොකද කොච්චර පිරිසකට අලුතෙන් විශ්ව විද්‍යාල වරම් ලැබුනත් ආයෙත් ලකුනෙන් දෙකෙන් ඒ වරම නැති වෙන පිරිසක් බිහි වෙනවා. ඇයි ඉතින් කීදෙනෙක් ගත්තත් ආයෙමත් කඩයිමේ ඉතුරු වෙන පිරිසක් ඉන්නවා නේ. ඒක නැති කරන්න නම් ඉතින් උසස් පෙළ සමත් හැමෝටම විශ්ව විද්‍යාල දෙන්න වෙනවා. ඒ නිසා පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන කියන මතය ගොඩ නගන්න ඒ තර්කය ගේන්න එපා.

පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන්න තව හේතුවක් තමයි ඒවා නිසා රජයේ විශ්ව විද්‍යාල වලට වෙන්න පුළුවන් හානිය. ඕව දාපු ගමන් වෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න දේශකවරු ඔක්කොම ඒවට යන එක. මොකද අනිවාර්යෙන්ම ඕවයේ ලොකු ලොකු පඩි ලැබෙනවා. එතකොට වෙන්නේ මේ සොච්චමට රජයේ විශ්ව විද්‍යාල වල වැඩ කරන දේශකවරු පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන එක. එතනදී ඒ අයට වැරැද්දක් කියන්නත් බෑ. ඒ අයත් මිනිස්සුනේ, තමන්ගේ මහන්සියට වැඩිම වටිනාකමක් ලැබෙන තැනට නේ හැමෝම යන්න බලන්නේ. අනිත් එක ඒ මිනිස්සු ලංකාවේ ඉන්න බුද්ධිමත්ම පිරිස කිව්වොත් නිවැරදියි. (දේශකයෙක් විදියට ගන්නේ ගොඩක් වෙලාවට පළමු පන්තියේ ප්‍රථිපල තියන අයව) එතකොට ඒ මිනිස්සු හොඳ පඩි වලට වැඩ කරන්න පුළුවන්කම තියෙද්දී සොච්චම් පඩියකට රජයේ විශ්ව විද්‍යාල වල වැඩ කරාවිද? දැනටත් ගොඩක් පුද්ගලික ආයතන වල විශ්ව විද්‍යාල දේශකවරු වැඩ කරනවා. දේශක වරුන්ගේ පඩි වැඩි කිරීම රජය මෙච්චර මග ඇර ඇර ඉන්නේ මොකද කියලත් පොඩ්ඩක් හිතල බලන්න. ඒකත් මේ රජයේ විශ්ව විද්‍යාල එපා කිරීමේ මාස්ටර් ප්ලෑන් එකේම කොටසක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ පඩි වැඩිකිරීම අද දෙන්නම් හෙට දෙන්නම් කියල පස්සට දදා ඉඳල, පුද්ගලික විශ්ව විද්‍යාල දාපු ගමන් ඒ මිනිස්සු ඔක්කොම දමල ගහල ඒවට යාවි. කොහොමහරි අන්තිමට වෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වල උගන්නන්න දේශකවරු නැති වෙන එක. අන්තිමට හරි විදියට කැම්පස් ආපු එකාට වෙන්නේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න. ඔය ඔක්කොගෙම අවසාන ප්‍රථිපලය නියම සුදුස්සාට තැනක් නැති වෙන එක. 

අනිත්  එක හැමෝම දන්නවා ඇති අධ්‍යාපනයට වෙන් කරලා තිබුන ප්‍රතිපාදන තවත් අඩු කරලා කියලා. විශ්ව විද්‍යාලවලට ඕන කරන පහසුකම් දෙන්නේ නෑ, දේශකවරු හිඟයක් තියනවා, ඒ මිනිස්සුන්ට පඩි දෙන්නේ නෑ, ඔය ඔක්කොම ඔහොමම තියෙද්දී පුද්ගලික විශ්ව විද්‍යාලත් එන්න ගත්තම කොහොමද තියන තත්ත්වේ? රජයේ විශ්ව විද්‍යාල වලට තැනක් නැති වෙනවා කියන එක ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නෑ නේද? එක්කෝ රජයේ විශ්ව විද්‍යාල වැහිලම යාවි, නැත්තන් තිබුනත් කිසිම වැඩක් නැති තත්ත්වෙට පත් වේවි. එතකොට මහන්සි වෙලා ඉගෙන ගත්ත එකාට කෙලවිලාම ගිහින් සල්ලි කාරයෝ ටික විතරක් වැජඹෙනවා. ඊට පස්සේ කවදාහරි රස්සාවක් ගන්න ගියාම රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තේ කිව්වා ගමන් නිකන්ම කැපිල යන තත්ත්වයක් උදා වේවි. ඒක කරන්න තමයි මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට ඕන වෙලා තියෙන්නේ.

හොඳට හිතල බලන්න මේ රජය පුද්ගලික විශ්ව විද්‍යාල දාන්න හදන එක පිටිපස්සේ තියන අරමුණ මොකක්ද කියලා. ලංකාවේ ළමයින්ට ආදරේට ළමයින්ට වැඩිපුර උසස් අධ්‍යාපන පහසුකම් ලබා දෙන්න කියලද හිතන්නේ? එහෙම හිතනවා නම් ලොකු වැරදීමක්. එහෙම ළමයින්ට වැඩි උසස් අධ්‍යාපන වරම් ලබා දෙන්න නම් කෙරෙන්න ඕන දේ උඩ කියලා තියනවා වගේ රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරන එක. ඒ දේ නොකර මේ පුද්ගලික විශ්ව විද්‍යාල බලෙන් ඇඟේ ගහන්න හදන්නේ මොකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඕවගෙන් අත යටින් ලැබෙන ගාන ගහගන්න නේ මේ ඔක්කොම. අනිත් දේවල් මොනවා වුනත් කමක් නෑ ඉතින් අපේ දේශපාලුවොන්ට කොමිස් කුට්ටිය ලැබෙනවා නම්. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් නම් හොඳ කුට්ටියක් ලැබේවි කට්ටියට. ඒකනේ කවදාවත් නැතුව මේකට මෙච්චර මහන්සි වෙන්නේ කට්ටිය. 

මෙහෙමත්  කතාවක් කියනවා සමහරු. "නිදහස් පාසල් අධ්‍යාපනය සහ නිදහස් උසස් අධ්‍යාපනය එකිනෙක පටලවා ගන්න එපා. අනික කවූරුවත් නිදහස් අධ්‍යාපනය නැති කල යුතුයි කියල මෙතන කියල නැ." ඒ කියන්නේ මෙයාල ගොඩක් දෙනෙක් නොකිය කියන්නේ 'නිදහස් අධ්‍යාපනය' හොඳයි, 'නිදහස් උසස් අධ්‍යාපනයට' කෙලවලා දාන්න ඕන කියලා. ඒ කියන්නේ ඉතින් තමන්ට ඒ දේ ලැබුනේ නැති නිසා ඒක ලැබුන එකාටත් නැතිකරලා දාන්න හදන්නේ. එතකොට අවුරුදු 13ක් නොමිලේ ඉස්කෝලෙන් ඉගෙන ගන්න එකට කාගේවත් කිසි විරුද්ධත්වයක් නෑ. හැබැයි එතනින් තේරුන පිරිසක් නොමිලයේ උසස් අධ්‍යාපනය හදාරන එක තමයි සමහරුන්ට ඉවසන්න බැරි. තමන්ට ඒ දේ තියනකන් හොඳයි. තමන්ට නැති වුන ගමන් ඒකට කොක්ක දාන්න හදනවා. ඇයි මේ අවස්ථා දෙකේදී දෙවිදියකට හැසිරෙන්නේ? ඒකට නෙමෙයිද කුහකකම කියන්නේ?

තවත් ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි නොමිලේ උසස් අධ්‍යාපනය දෙනවා කියන එක අයිතියක් නෙමෙයිලු. ඒක වරප්‍රසදයක් විතරයිලු. ආයෙත් කියන්න තියෙන්නේ කලින් කියපු දේම තමයි. හැමකෙනාටම අවුරුදු 13ක් වෙනකල් අයිතියක් වෙන එක ඔතනදී විතරක් මොකද වෙනස් වෙන්න? නිදහස් අධ්‍යාපනය අයිතියක් වගේම නිදහස් උසස් අධ්‍යාපනයත් අයිතියක්. වෙනස තියෙන්නේ එතනදී ඒක තෝරාගත් පිරිසකට පමණක් ලැබෙන එක. සීමිත පිරිසකට පමණක් ලැබෙන නිසා තමයි ඒකට විධිමත් ක්‍රමයකට තෝරාගත් සුදුස්සන් පමණක් සුදුසුකම් ලබන්නේ. එතකොට ඒක ඒ පිරිසගේ අයිතියක්. ඒක නෑ කියන්න එපා. ඒ අයිතිය නැති කරන්න හදන්නත් එපා. ඒ අයිතිය ලැබෙන පිරිස වැඩි වෙන්න ඕන කියන එක නම් මම ආයෙත් කියනවා. හැබැයි එහෙම වැඩි වෙන්නත් ඕන සුදුසුකම් මත මිසක් මුදල් බලය මත නෙමෙයි. අනිත් එක සමහරු කියනවා නිකන් ලැබුන දේට ඔච්චර කෑගහන්න එපා කියලා. උසස් අධ්‍යාපන සුදුසුකම කොහෙද යකෝ නිකන් ලැබුනේ. අවුරුදු 13ක් වෙන මහන්සියක ප්‍රථිපලයක් විදියටයි ඒක ලබාගන්න වෙන්නේ. මොන පදනමකින් කියනවාද මන්ද නිකන් ලැබුන දෙයක් කියලා.

තවත් ඔය වගේම කියන දෙයක් තමයි විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අය ඉගෙන ගන්නේ රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් කියලා. ඔව්, සම්පූර්ණ ඇත්ත! අපි ඒක දන්නවා. මිනිස්සුගේ බදු මුදල් වලින් විශ්ව විද්‍යාල පවත්වාගෙන යනවා කියන්නේ මුළු රටම වෙනුවෙන් කරන ආයෝජනයක්. ඒක රටේ සංවර්ධනය වෙනුවෙන් කරන ආයෝජනයක්. සමහරු කියන දේවල් වලින් හොඳටම තේරෙනවා එයාල ඒකටත් විරුද්ධයි කියලා. එතකොට අවුරුදු දහ තුනක් හැම ළමයෙක්ම රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් පාසල් වල නිදහස් අධ්‍යාපනය ලබන එක ප්‍රශ්නයක් නෑ, එතනින් තේරෙන සුදුස්සෝ ටික බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් විශ්ව විද්‍යාල වල නිදහස් උසස් අධ්‍යාපනය ලබන එක තමයි බොලාට අවුල. කුහක කම කියන්න ඔන්න ඕකට. වෙන මුකුත් නෙමෙයි. අනිත් එක මැති ඇමතිලා බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් සුර සැප විඳින එක, රට සවාරි යන එක, ලක්ෂ ගණන් කෝටි ගණන් ගසාකන එක ප්‍රශ්නයක් නෑ, බොලාට ප්‍රශ්නේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් ළමයෙක් උසස් අධ්‍යාපනය ලබන එක. අනේ මන්ද මේවට මොනවා කියන්නද කියලා. ඒ ඔක්කොම කරලා අන්තිමට අපිට කියනවා අපි කුහකයෝ කියලා.

තවත් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අය කියන දෙයක් තමයි ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල දැම්මම පිට රටවලට යන විදේශ විනිමය ඉතුරු කරගන්න පුළුවන් කියලා. ඒකත් අර කලින් කතාව වගේම ලස්සන කතාවක් විතරයි. හිතන්න බලන්න කවුද එහෙම වුනොත් ලංකාවේ විශ්ව විද්‍යාල පටන් ගන්නේ කියලා. අනිවාර්යෙන්ම විදේශීය අයතන තමයි ලංකාව ඇතුලේ බහුතරයක්ම පුද්ගලික විශ්ව විද්‍යාල දාන්නෙත්. ඔය කියන විදේශ විනිමය ඉතිරි වෙයි කියලා හිතනවා නම් ඒක සිතුවිල්ලක් විතරයි. 

අනිත් එක පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන එක දේශපාලනීකරණය කරන්න හදනවා සමහරු. දේශපාලන පක්ෂ වල උසිගැන්වීම් වලට අපි මේවට කෑගහනවා කියල සමහරු කියනවා. එහෙම උසිගැන්වීම් සමහර විට වෙනවත් ඇති. හැබැයි බහුතරයක් මේකට විරුද්ධ වෙන්නේ කාගේවත් බලපෑමක් නිසා නෙමෙයි වෙන්න යන අසාධාරණයට ඇත්තටම හිතට එකඟව විරුද්ධ නිසා කියලා බොහොම වගකීමෙන් කියන්නේ. මොකද දේශපාලනයක් ගෑවිලා වත් මොරටුවේ ශිෂ්‍යන්ගේ මතය වුනත් මේකම තමයි. ඒ නිසා කියන්න දෙයක් නැති කමට මේක දේශපාලනීකරණය කරන්න හදන්න එපා. අර කලින් කියපු, පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් බොහොම කැපවීමෙන් කතා කරන කෙනෙක් පෝස්ට් එකක දාපු කමෙන්ට් එකකින් අහපු ප්‍රශ්නයක් තමයි දැන් ඔය විරුද්ධ වෙලා බොලාට මොනවද ලැබුනේ කියලා. මම හිතන්නේ දැන් නම් එයාට උත්තර ලැබිලා ඇති. ජනවාරි 7 වෙනිදා ගේන්න හිටපු ඔය කියන පනත අකුලගන්න වුනේ මොකද කියලා දන්නවා ඇති නේ. කරන්න යන්නේ වැරද්දක් කියලා දන්නා නිසා තමයි විරෝධය නිසා ඒ පනත අකුලගන්න වුනේ. 

තවත් ඔය කට්ටිය කියන දෙයක් තමයි අනිත් ගොඩක් රටවලත් පුද්ගලික විශ්ව විද්‍යාල තියනවා, අපේ රටේ විතරක් ඒවා නොදා ඉන්න එක මෝඩ කමක් කියලා. එහෙනම් ඉතින් ඒ රටවල් වල වගේ පාසල් අධ්‍යාපනයටත් මුදල් අය කරමු, සෞඛ්‍ය පහසුකම් වලටත් මුදල් අය කරමු. ඇයි මේ විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් විතරක් අනිත් රටවල් අනුගමනය කරන්න යන්නේ? අනිත් රටවල් කරන දේ නෙමෙයි හරි දේ නේද වෙන්න ඕන. 
 
කොහොම වුනත් ඔය හැම පෝස්ට් එකකම තිබුන කරුණු කියෙව්වම තේරුණ දෙයක් තමයි සමහරු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ එක්ක පුදුම තරහකින් ඉන්නේ කියලා. මේ පහල තියන අදහස් කීපය කියවලා බලන්නකෝ, එතකොට තේරෙයි මම කියන දේ. 

"රජයේ විශ්වවිද්‍යාල වලින් බිහි වන්නේ මෙවැනි පසුගාමී මෝඩ ශිෂ්‍ය පරම්පරාවක් නම් පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යාවශ්‍ය වීමට එය තවත් හේතුවකි."

"තොපි දවස තිස්සෙම ගිරව ගහල ලඟ ඉන්න එකාවත් කපාගෙන ඉස්සරහට ගිහිල්ල කැම්පස් ගියාම...." 

"ඔව් කවුරු හරි කුලප්පු කරන පලියට හරි වැරදි හැම දේටම පාරට බහින්න උද්ඝෝෂන කරන්න, විශ්ව විද්‍යාල වල අය ආසයි.. ඒ වගේම තේරුමක් නැතිව රණ්ඩු වෙන්න ගහමරා ගන්න වගේම එයාලවත් තේරුම නොදන්න බර වචන වලින් විප්ලවවාදය ගැන කතා කරන්න එයාලාට පුළුවන්.."

"එහෙදි අපි හිතමුකො උපාධි අරං තොපි ලොකු මහත්තුරු උනා කියල, exam pass වෙලා කැම්පස් යන්න බැරි වෙච්ච උන් තොපිට ෆ්‍රයිඩ්රයිස් කවන්න කුඹුරු කොටන්නද ඔ්න?"

"තොට කුණු පණුව ගහල තමා මැරෙන්න ඔ්න කාලකන්නිය!" 

"කැම්පස් යන හැම එකාම දක්ෂ එවුන් නෙමෙයි.විභාගයක් පාස් උනාට උන් දැනුම තියෙන වැඩක් ඇති එවුන් නෙමෙයි.හරියට මේ ලිපිය වගේ."

"ඔහොම තමයි ඉතිං. කලාතුරකිං කෙනෙක්ට ලැබෙන දේවල් කෙනෙක්ට ලැබුනම විවිධ අං වර්ග එහෙම මතුවෙනව."

"අනිත් එක ඉගෙනගන්න ඔ්න උන්ට ඉගෙනගන්න බැරි කම. මේ කොහෙවත් යන උං ගිරව ගහල ගිහිං වැඩකට අැති පාඨමාලාවල් කරද්දි එ්වට අාසාව තියන අපි මුල ඉඳං ඉගෙනගන්න ඔ්න. නැත්තං අර උඹ කියනව වගේ ජොබ් කටු කරකර ඉන්න ඔ්න. එ්කද උඹ දන්න සාධාරනේ."

සමහරුන්ගේ හැම වචනයක් පිටිපස්සෙම තියෙන්නේ කැම්පස් ගිය උන් එක්ක තරහක්, වෛරයක්. (හැමෝම නෙමෙයි හොඳද, බොහොම සුළුතරයක්) මේ පුද්ගලික විශ්ව විද්‍යාල කතාවෙන් එලියට එන්නේ ඒවා.

මේක පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න, ජීවිතේ කියන්නේ තරඟයක්. අපි කැමති වුනත් නැතත් අපිට ඒ ස්වභාවයට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට අපි කැමති දේවල් වුනත් අපිට තරඟ කරන්න සුදුසුකම් මදි නම් නොලැබී යනවා. කැමති කැමති හැම දේම ලබාගන්න බෑ. අකමැති වුනත් අපිට ඒ ඇත්ත පිළිගන්න වෙනවා. ඒ තරඟයෙදි එක් එක් අය එක් එක් අංශ වලින් අනිත් අයව පහුකරගෙන යනවා. සෞන්දර්ය, ක්‍රීඩා, තාක්ෂණික කුසලතා, විවිධ නිර්මාණාත්මක හැකියාවන් වගේ විවිධ අංශ තියනවා කෙනෙක් තව කෙනෙකුට වඩා ඉස්සරහට යන. අධ්‍යාපනය කියන්නෙත් ඒ වගේ එක් අංශයක්. ඒකෙ ඉස්සරහට ගිය එකාගේ කකුලෙන් අදින්න එපා. ඌ ලබාගත්ත දේ හෑල්ලු කරන්න, වටිනාකමක් නැති කරන්න හදන්න එපා. අවසාන වශයෙන් මේකයි කියන්න තියෙන්නේ, අපි මේ තැනට ආවේ ගොඩක් අමාරුවෙන්, ගොඩක් කැපකිරීම් කරලා. ඒ නිසා අපි ඒ අමාරුවෙන් ලබාගත්ත දේ නැති කරලා දාන්න තරම් අමානුෂික වෙන්න එපා. මොකද ඒකෙ තියන වේදනාව දන්නේ අපි විතරයි. 
..................................................................................................................................................................

ප.ලි. ආයෙත් කියන්නේ හිතට එකඟව, හදවතින් විතරක් නැතුව බුද්ධියෙන් හිතල බලන්න මේ කියපු දේවල් ගැන. හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලා යන්න.

ප.ප.ලි. බ්ලොග් අවකාශේ මේක කියවන කිසිම කෙනෙක් මේක පුද්ගලිකව ගන්න එපා කියල ඉල්ලා සිටිනවා. 



Friday, December 2, 2011

දැන් එතකොට කොල්ලන්ගේ විතරමද වැරැද්ද?


  
කාලෙකින් දවස් දෙක තුනක නිවාඩුවක් ගත්තා. හැබැයි මුකුත් ලිව්වේ නැත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ පොඩි ප්‍රශ්නයක් නිසා.:) මගේ කලින් පෝස්ට් එකත් දවස් දෙක තුනක් අයින් කරලා තිබ්බා ඒ නිසා. දැන් නම් අවුලක් නෑ වගේ. අද මේ කොටන්න කියල ලේස්ති වුනේ ආදරය සම්බන්ධ ගැටළුවක් ගැන. මේ ගැන කලින් ගොඩක් ලියවිලාත් ඇති. ප්‍රශ්නේ තමයි මුලින් ආදරය ප්‍රකාශ කරන්න ඕන කොල්ලමද කියන එක. එහෙමත් නැත්තන් කෙල්ලෙක් මුලින් ආදරය ප්‍රකාශ කිරීම වැරදිද කියන එක. ඔය සම්බන්ධව ලියවුනු ගොඩාක් දෙනෙක් අදහස් දක්වපු ලිපියක් මම ටික කාලෙකට කලින් දැක්කා. බ්ලොග් සහෝදරියක් තමයි ඒක ලියල තිබුණේ. එයාට වුන සිද්ධියක් නිසා තමයි එයාට එහෙම ලියන්න හිතිලා තිබුණේ. ඒ සිද්ධියේ හැටියට එහෙම ලියන්න හිතුන එක 100% ක්ම සාධාරණයි. හැබැයි ඒකෙ සම්පූර්ණයෙන්ම වැරදිකාරයෝ කරලා තිබුනේ කොල්ලන්ව. ඒ ප්‍රශ්නෙදි කෙල්ලන්ගේ පැත්තෙන් වෙන වැරදි ගැන කියවිලා තිබුනේ නෑ. (ඒක ඉතින් සහෝදරියන්ගේ බ්ලොග් වල නිතරම දකින්න ලැබෙන දෙයක් නේ.:)) මම ඒකට කමෙන්ට් එකකුත් දැම්මා, රිප්ලයි නම් ලැබුනේ නෑ. මට පස්සේ දාල තිබුන කමෙන්ට් වලටත් රිප්ලයි කරලා නම් තිබුනා.:) මම එතන දාපු කමෙන්ට් එකේ කියපුවත් එක්ක තමයි මේ කියන්නේ. මට කාලෙකට පස්සේ මේ ගැන ආයෙත් මතක් වුනේ මේ ලඟදි බ්ලොග් සහෝදරියක් එක්ක චැට් එකෙන් කරපු කතා බහක් නිසා. එයාත් ටික කාලයක් තිස්සේ හිතේ තියන දේ කොල්ලට කියාගන්න බැරුව බලාගෙන ඉන්නවා. අපි ඒ ගැන ගොඩක් කතා කළා. ඒ කතා බහෙන් මට කලින් හිතිලා තිබුනේ නැති කාරණා ටිකකුත් දැනගත්තා. ඊට පස්සේ තමයි මට මේ ගැන ලියන්න හිතුනේ.

මුලින්ම කියන්න ඕන කෙල්ලෙක් මුලින් ආදරේ ප්‍රකාශ කළා කියල ඒ කෙල්ල චාටර් කෙල්ලෙක් කියල හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. කෙල්ලෙක්ට වුනත් තමන් කැමති කොල්ලෙක් තෝරාගෙන එයාට ආදරේ කරලා, එයාට ඒක කියන්න අයිතියක් තියෙන්න ඕන නේ. ඒකෙ කිසි කතාවක් නෑ. දුක කියන්නේ ඉතින් එහෙම කිව්වම කෙල්ල චාටර් කියල හිතන කොල්ලෝ ඉන්නවා. ඒක අවිවාදයෙන් පිළිගන්න වෙනවා. අපේ ලොකු අම්මගේ පොඩි පුතා ඇතුළුව කීපදෙනෙක්ම මට ඒ කතාව කියල තියනවා. ඒක වැරදියි කියල සාධනය කරන්න, එහෙමත් නැත්තන් එහෙම උන්ට බනින්න මම මේ වෙලාවේ උත්සාහ කරන්නේ නෑ. ඒක කවුරුත් දන්නවනේ, අමුතුවෙන් කරන්න ඕන නෑ නේ. අර මම කියපු පෝස්ට් එකෙත්, ඒකට වැටුන කමෙන්ට් වලත් ඒ ටික හොඳට පැහැදිලිවම වෙලා තිබුනා. මම උත්සාහ කරන්නේ කතා නොකෙරෙන පැත්ත ගැන කතා කරන්න. ඒ කිව්වේ කෙල්ලෝ ඇයි තමන්ගේ හිතේ තියන ආදරේ කියන්නේ නැතුව හිතේ හිරකරගෙන ඉන්නේ කියන එක ගැන කතා කරන්න. කොල්ලම මුලින් ආදරේ කියන්න ඕන කියල කොල්ලන්ට වඩා හිතාගෙන ඉන්නේ කෙල්ලෝ. ඒක බොහොම පැහැදිලියි. වෙනස තියෙන්නේ කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නෑ. අර මම කලින් කියපු පෝස්ට් එකේ කියවුණු විදියට නම් කෙල්ලෝ එහෙම ආදරේ කියන්නේ නැතුව ඉන්නේ කොල්ල කෙල්ල ගැන වැරදියට හිතයි කියන බය නිසාලු. හැබැයි ඇත්ත කතාව නම් කාරණේ ඒක විතරක් නෙමෙයි. එහෙම වෙන්න හේතු කීපයක්ම බලපාන්න පුළුවන්.

1. බය

මෙතන බය කිව්වේ සාමාන්‍යයෙන් ආදරයක් ප්‍රකාශ කරන්න තියන බය. ඒක ඉතින් කෙල්ලන්ට විතරක් නෙමෙයි, කොල්ලන්ටත් තියන එකක් නේ. (අප්පච්චියේ එක පාරක් කෙල්ලෙක්ගෙ මූණ බලාගෙන ඕක කියාගන්න බැරුව මම විඳපු දුකක්. මම තේරුණා මාව විජලනය වේගෙන එනවා කියල. පස්සේ මම බැරිම තැන ඇහුවා "ඔයාට තේරෙන්නේ නැද්ද මම කියන්න හදන දේ?" කියල. වෙලාවට කෙල්ල කිව්වා "මට තේරෙනවා" කියල.)

2. අර කලින් කිව්වා වගේ තමන් ගැන වැරදියට හිතාවි කියන හැඟීම

එහෙම පටු විදියට හිතන කොල්ලෝ ඉන්න නිසා මෙහෙම බයක් ඇතිවෙන එක සාධාරණයි. හැබැයි ඒකට උත්තරේ ආදරේ කියන්නේ නැතුව හිතේ තියාගෙන ඉන්න එක නෙමෙයි. මෙහෙමයි, ඕන කසාදයක් කියල ඕක කියල දාන්න. කොල්ල හොඳ කොල්ලෙක් නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ. එක්කෝ ආදරේ පිළිගනීවි, නැත්තන් වැදගත් විදියට ප්‍රතික්ෂේප කරාවි. කොල්ල අරම පටු විදියට හිතන එකෙක් නම් එයා ඒ නිසාම කෙල්ලව ප්‍රතික්ෂේප කරාවි. ඉතින් දෙයියනේ කොල්ල එහෙම පටු විදියට හිතන එකෙක් නම් එහෙම එකෙක් නැති වෙන එකමනේ හොඳ. කොහොමත් එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්නත් බෑ නේ. එතකොට ඒකෙන්ම මිනිහ කවුද කියල තේරුම් ගන්නත් පුළුවන් නේ.

3. ආඩම්බරකම

ඔන්න ඕක ගැන තමයි මට වැඩියෙන්ම කියන්න ඕන වුනේ. ඔය කොල්ලම ආදරේ කියනකල් බලාගෙන ඉන්න අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මෙන්න මේ හේතුව නිසා තමයි එහෙම කරන්නේ. ගොඩක් කෙල්ලො හිතාගෙන ඉන්නෙ කොල්ලම ඇවිල්ල තමයි මුලින් අහන්න ඕන කියල. කෙල්ලො කොච්චර ආදරේ කලත් තමන් මුලින් කිව්වොත් එක ලැජ්ජාවක් කියල තමයි ගොඩක් කෙල්ලො හිතන්නෙ. ලැජ්ජාවකටත්  වැඩිය ඒක මදි කමක් කියල තමයි හිතන්නේ. කොල්ලම පස්සෙන් වැටීගෙන ඇවිත් අහනව නම් තමයි කෙල්ලො කමති. ඔය ලොකු කතා කිව්වට කොල්ලෙක් පස්සෙන් එනකොට යලුවොත් එක්ක රස කර කර කියන්නයි, කැමතිද ඇහුවම අගේ කරන්නයි ලොකු ලයින් දෙන්නයි තමයි ගොඩක් කෙල්ලො කැමති. බොරු ආඩම්බරකමට නොකිය ඉඳල අන්තිමට කියනවා කොල්ලෝ වැරදියට හිතන නිසයි කියන්නේ නැත්තේ කියල. (හැමෝම ගැන නෙමෙයි මේ කියන්නේ හොඳද)  

මට මතකයි අර පෝස්ට් එකේ ඇනෝ සහෝදරියක් කියල තිබුන මතුපිටින් රොක් පොරවල් වගේ හිටියට අද සමාජයේ කොල්ලො ළඟ තියෙන්නේ ගල් යුගයේ මති මතාන්තර කියල. ඒකම තමයි ඉතින් අනිත් පැත්තටත් කියන්න වෙන්නෙ. කොන්ඩෙ ස්ට්‍රේට් කරල ඩෙනිම් ගහල රොක් පොරීල වගේ හිටියට ලංකාවේ කෙල්ලො ළඟ තියෙන්නෙත් ගල් යුගයේ මති මතාන්තර. ඔය වගේ තැනක ටෝක් දුන්නට ඇත්ත ජීවිතේ ඔය කියන අය ඔයිට වඩා හාත්පසින්ම වෙනස් චරිත රඟපාන්නේ. 

අර මාත් එක්ක චැට් කරපු සහෝදරී මෙහෙම කතාවක් කිව්වා. ගොඩක්ම කෙල්ලො එහෙම දෙයක් කියන්න බය ඊට පස්සෙ කොල්ල අනිත් අය ඉස්සරහ කෙල්ලව චාටර් කරාවි කියලලු. මන්ද මම නම් හිතන්නෙ නෑ කොල්ලෙක් එහෙම දෙයක් කරාවි කියල. මම නම් කවදාවත් එහෙම දෙයක් නම් අහල නෑ. තව එයා කිව්ව එහෙම කෙල්ල ඇහුවම සමහර කොල්ලො ආතල් එකට යාලු වෙනවලු. මම ඒ වෙලාවේ නම් ඒ ගැන එයාට මුකුත් කිව්වේ නෑ. හැබැයි මම නම් ඒ කතාව එච්චර විස්වාස කරන්නේ නෑ. එහෙම වෙන්නේ නෑම කියල මම කියන්න යන්නෙත් නෑ. ඒත් මෙහෙම හිතන්නකෝ, කෙල්ලෙක් කවුරු හරි කොල්ලෙක්ට ආදරේ කරන්න ගන්නවා නම් හොඳට හොයල බලල, හොඳ කොල්ලෙක් කියල හොඳටම විස්වාස නම් විතරනේ ආදරේ කරන්නේ. ඇත්තටම ගොඩක් කොල්ලෝ වගේ කෙල්ලෝ ආවට ගියාට ඔය වගේ අදහස් ඇති කරගන්නේ නෑ නේ. ඇඳුමක් ගන්න ගියාම කෙල්ලෝ තෝරන තේරිල්ලට කොල්ලෙක් තෝරාගන්නවා නම් කොයිතරම් නම් දේවල් හිතනවා ඇද්ද? ඉතින් එහෙම හොඳ කොල්ලෙක්ට ඔය වගේ දෙයක් කිව්වා කියල අර සහෝදරී කියපු වගේ දෙයක් වෙන්න තියන අවදානම ගොඩක්ම අඩුයි නේ. මම නම් කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අරම වෙයි මෙහෙම වෙයි බොරුවට හිතාගෙන කොල්ලම මුලින් කියන්න ඕන කියන එක සාධාරණීකරණය කරගන්න එක. 

දැන් ඔය මාත් එක්ක කතා කරපු සහෝදරීට නම් ඔය ප්‍රශ්න නෑ හොඳද. එයාට තියෙන්නේ මම කියපු පළවෙනි හේතුව විතරයි. ඒ කියන්නේ ඒක කියාගන්න පොඩි බයක් තියනවා එක හේතුවක් නිසා. (මේ ටික දැම්මේ මගේ ආරක්ෂාවට.:D)

ගොඩක්ම වෙලාවට කෙල්ලෝ කරන්නේ කොල්ලෙක්ට හිත ගියොත් කෙලින්ම කියන්නේ නැතුව වටින් ගොඩින් එක එක හින්ට් දීල කොල්ලව ෆෝම් කරගෙන කොල්ල ලවාම කියව ගන්න එකනේ. ඒක ඉතින් කොල්ලට තේරුනොත් හොඳයි. නැත්තන් ඉතින් හැමදාම පසුතැවෙන්න වෙන්නේ. පස්සේ කාලෙක කොල්ල දැනගත්තොත් කොල්ල වුනත් පසුතැවේවි. මම දන්න ඔහොම සිද්ධි ඕන තරම් තියනවා. දැන් ඉතින් ඔය විඳව විඳව ඉන්නවා. ඒවා නම් ඉතින් මෝඩ කම, වෙන කියන්න දෙයක් නෑ. මම දන්න දෙන්නෙක් ඉන්නවා, කෙල්ල කොල්ලට ගොඩක් කල් ඉඳල හිතෙන් ආදරේ කළා. ඒක එයා පෙන්නුවත් එක්ක. ඒ වුනාට ඒ කෙල්ල ගොඩක් සෝෂල්, හැමොත් එක්කම හොඳට හිනා වෙලා කතා බහ කරලා ඉන්න කෙල්ලෙක්. ඒ නිසා අර කොල්ලට ඒ කෙල්ලගේ වෙනසක් පෙනුනේ නෑ. කොහොමහරි කෙල්ල කිව්වෙත් නෑ, කොල්ල දැනගත්තෙත් නෑ, ඒක කාලයත් එක්කම එහෙමම වැළලිලා ගියා. පස්සේ ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වුනා. ඊටත් පස්සේ කෙල්ලගේ වෙන යාලුවෙක් කිව්වට පස්සේ තමයි කොල්ල දැනගත්තේ එහෙම එකක් තිබුන කියල. මේ ලඟදි ඔය දෙන්න චැට් කර කර ඉන්නකොට ඔය කතාව ඇදිල තිබුනා. ඒ කෙල්ල අදටත් සෑහෙන දුක් වෙනවා අරූව නොලැබුන එකට. එදා ඒ වචනේ කියාගන්න බැරි වුන එකට අදටත් ඒකි දුක් වෙනවා.

අවසාන වශයෙන් කොල්ලන්ට කියන්න තියෙන්නේ කෙල්ලක් එහෙම කිව්ව පලියට ඒකි චාටර් කෙල්ලක් කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා. ඒකෙන් හොයන්න බෑ කෙල්ල චාටර්ද නැද්ද කියල. ආදරය ප්‍රකාශ කිරීමේ සම අයිතිය පිළිගන්න. එහෙම කියන්න තරම් කෙල්ලෙක් පෙළඹෙනවා කියන්නේ දරාගන්න බැරි තරම් ආදරයක් එතන තියෙන්න පුළුවන්. අර කතාවක් තියෙන්නේ තමන් ආදරේ කරන කෙනා නෙමෙයි තමන්ට ආදරේ කරන කෙනා තෝරගන්න කියලා. ඉතින් එහෙම අවස්තාවක් ලැබුනම ඒක අවතක්සේරු කරන්න එපා.

කෙල්ලන්ට කියන්න තියෙන්නේ කවදාවත් ඔය වගේ දෙයක් හිතේ තියන් ඉන්නේ නැතුව කියල දාන්න. එතකොට කොල්ල අකමැති වුනත් හිත හරි නිදහස් මම කිව්වා නේද කියල. එහෙම නැති වුනොත් කවදාහරි පසු තැවෙන්න වෙනවා මම මේ දේ එයාට කිව්වා නම් කතාවේ වෙනසක් වෙන්න තිබුනා නේද කියල. ඒක හිතේ තියාගෙන ඉන්න එක තමන්ට වගේම ඒ කොල්ලටත් කරන අසාධාරණයක්. මොකද ඒ කොල්ලට ගොඩක් වටින කියන ආදරයක් නැති වෙන්න පුළුවන් කෙල්ල සද්ද නැතුව හිටියොත්. අරම වෙයි මෙහෙම වෙයි කියල තමන්ම තීරණය කරලා හිතේ තියන දේ නොකිය ඉන්න එපා. "අඳුරට ශාප කරමින් නොසිට එක පහනක් හරි දල්වන්න" කියල කතාවක් තියනවනේ. කෙල්ල මුලින් ආදරේ කියන එක ලැජ්ජාවක්, මදි කමක් කියල හිතන්න එපා. තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන දේ කරලා ඉන්න මුලින්ම. තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන දේ නොකර බොරුවට අනිත් අයට දොස් කියන්න එපා.  

 .................................................................................................................................................................
ප.ලි. ඔන්න ඔහොමයි කසුන්ට හිතෙන්නේ. මේ ගැන හිතට එකඟව මොනවා හරි කියන්න තියනවා නම් කියලම යන්න.

Friday, September 2, 2011

නමක් නැති තවත් කතාවක්

කැම්පස් පටන ගත්ත නිසා වැඩිය බ්ලොග් පැත්තෙ සැරිසරන්න වෙලාවක් නෑ දැන්. ෆලෝ කරපු බ්ලොග් ටිකවත් ඔක්කොම කියවන්න වුනේ නෑ. අපි දැන් බිසි, ෆයිනල්ස්ල නෙ. :P අද නම් පොඩි ඉඩක් හම්බවුනා පෝස්ට් එකක් කොටල දාන්න. මේ දවස් වල තව කෙටි කතාවකුත් පොඩ්ඩ පොඩ්ඩ ලියාගෙන යනව. :) දවස් දෙකක් තිස්සෙ ලියන්න හිතන් හිටපු දෙයක් ගැන ලියන්න යන්නෙ. 

මම කැම්පස් එන්නෙ හිතාගෙන පෙරේද හවස ගෙදරින් බස් එකට නැග්ග. මම නගින කොට පොඩි පිරිමි ළමයෙක් වාඩි වෙලා ඉන්න අයට කොල වගයක් බෙදනව. ඔය දර්ශනය ඉතින් නොදැකපු කෙනෙක් නැතුව ඇති. මට හිතෙන විදියට අවුරුදු 8ක් 9ක් විතර පොඩි එකෙක්. මම හිටගෙන හිටපු නිසා මට කොළයක් නම් ලැබුනේ නෑ. ඒත් මට ඇහෙනව මිනිස්සු කතා වෙනව, ඉස්කෝලෙ යන්න සල්ලි නෑ ආධරයක් කරන්න කියල තමයි තිබිල තියෙන්නෙ. ඒකෙ තිබුන ගම අනුරාධපුරේ පැත්තෙ තියන එකක්ලු. (මම ඉන්නෙ ඊට ගොඩාක් පල්ලෙහා.) 

දැන් මිනිස්සු කතා වෙනව මේ පොඩි එකා "තනියම කොහොමද අනුරධපුරේ ඉඳන් ආවෙ?", "ඇයි මෙච්චර දුරක් ආවෙ?" මම හිටගෙන හිටපු තැන ශීට් එකේ හිටපු ගෑණු කෙනයි, පිටිපස්සෙ ශීට් එකේ හිටපු පිරිමි දෙන්නකුයි මේ පොඩි එකාගෙන් විස්තර ඇහුව. මම හොඳට බලාගෙන හිටියෙ ඒ දිහා. ඒ පොඩි එකා ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නෙ නෑ. ප්‍රශ්න මග අරින්න ගොඩක් උත්සහ කලා. අන්තිමට කිව්ව පුන්චි අම්ම එක්ක මෙහෙ ආවෙ කියල. අනිත් එකකට වත් උත්තරයක් ලැබුනෙ නෑ. හැබැයි එතන හිටපු හැම කෙනාටම එක දෙයක් තේරුනා, ඒ පොඩි එකා කිව්වෙ බොරු. හැබැයි එහෙමයි කියල මිනිස්සු සල්ලි නොදී හිටියෙ නම් නෑ. සැලකිය යුතු ලොකු ගානක් එකතු වුනා. මිනිස්සු ආයෙත් ඒ ගැන අහන්න ගියෙත් නෑ. 

දැන් ඒ පොඩි එකා කිව්වෙ බොරුවක් නම් මේකට කවුද වැරදි කාරයා. ඒ පොඩි එකාද? නෑ. මේ දුවල පැනල සෙල්ලම් කරන වයසෙ බොරු කියල බස් වල සල්ලි එකතු කරන්න පොඩි එකෙක්ට හිතේවිද? අනිවාර්යෙන්ම කවුරුහරි ඒ පොඩි එකාව ඕකට පොලඹවල නේද? එහෙනම් කවුද මේ දරුවො මෙහෙම එවන්නෙ? ඒ දරුවන්ගෙ අම්මල තාත්තලම නේද? ඊලඟ ප්‍රශ්නෙ ඒක හරිද කියන එක. මන්ද මම නම් ඔහොම දරුවො ලව්ව හම්බකරගෙන කන එකට සම්පූර්නයෙන්ම විරුද්ධයි. අනිත් දරුවො සෙල්ලම් කරනකොට ඒ ළමයි බස් ගානෙ ගිහින් හම්බ කරනව. ඒ ළමයින්ට ළමා කාලයක් කියල දෙයක් ඇත්තෙම නෑ. මොන ප්‍රශ්නෙ තිබුනත් අම්මල තාත්තල දැනගන්න ඕන තමන්ගෙ දරුවන්ට කන්න අඳින්න දෙන්න. එහෙම නැත්තන් ළමයි නොහදා ඉන්න ඕන. ඔහොම ළමයින්ව යවල සල්ලි හම්බ කරන එක ලේසියි නෙ. පොඩි එකෙක් ආවම කවුරු උනත් කීයක් හරි දෙනව. ඒක නිසා තමයි ලේසියට ඔහොම කරනව ඇත්තෙ. ඒක මහ පව්කාර වැඩක් කියලයි මටනම් හිතෙන්නෙ. ළමයි හැදුව නම්, ළමයින්ට කියල හම්බ කරන් කන්නෙ නැතුව මොන දහ දුකක් විඳල හරි උන්ට කන්න දෙන්න අම්මල තාත්තල දැනගන්න ඕන. අනිත් එක මෙතනදි පොඩි කාලෙම දරුව ඉගෙන ගන්නෙ බොරු කියල සල්ලි හොයන්න. එතකොට කවද හරි ඒ පොඩි එකා ලොකු වුන දවසක හොරෙක් මංකොල්ල කාරයෙක් වෙන එක උනත් මහ දෙයක් නෙමෙයි.

ඒත් ඒ දෙමව්පියන්ට සධාරණ හේතුවක් තියෙන්නත් පුලුවන්. වෙන කරන්නම දෙයක් නැති කමට තමන්ගෙ දරුවව මෙහෙම එවනව වෙන්නත් පුලුවන්. අපි බලන්නෙ පිටින් ඉඳල නෙ. ඒක නිසා අපිට ඇත්ත කතාව නොපෙනෙන්නත් පුලුවන්. ඒත් මම නම් කියන්නෙ මොනම හේතුවක් උඩ උනත් එහෙම ළමයි යවන එක හිතට එකඟව අනුමත කරන්න නම් බෑ. අර පොඩි එකා බස් එකේ එහා මෙහා ගියෙත් හරි අමාරුවෙන්. එච්චරටම පොඩි දරුවෙක්. එක අතක සල්ලි, අනිත් අතේ අර කොළ ටික, ඒ දර්ශනේ දැක්කම ඉතින් සංසාරෙ එපා වෙනව. මෙච්චර පොඩි කාලෙම ජීවත් වෙන්න ඔහොම දුක් විඳින්න වෙනව කියන්නෙ ඉතින් මොන තරම් අවාසනාවක්ද? කියන්නෙ බොරුවක් කියල දැන දැනත් හැමෝම වගේ සල්ලි දෙන්න ඇත්තෙ ඒකයි.  ඕක ඉතින් විසඳුමක් නැති තවත් එක ප්‍රශ්නයක්. 

අතපය හතර හොඳට තියන මිනිස්සු පවා ඔහොම එනව නෙ. එහෙම දෙන කොළ වල විවිධාකාර කතා තියෙන්නෙ. ඇත්තම කියන මිනිස්සු ඕන තරම් ඇති, ඒත් මට නම් හිතෙන්නෙ ගොඩක් අය කියන්නෙ බොරු. අපි කොහොමද ඉතින් ඇත්ත කියන අයයි බොරු කියන අයයි අඳුන ගන්නෙ? මම නම් දැන් මුකුත් හිතන්නෙ නෑ, කාටත් අතේ තියන විදියට කීයක් හරි දෙනව. බොරුවක් වුනත් වෙන මහන්සියට හරි හරි කීයක් හරි දෙන්න වටිනව කියල මම හිතන්නෙ. අපි යහපත් චේතනාවෙන් දුන්නොත්, ගන්න කෙනා ඇත්තක් කලත් බොරුවක් කලත් අපිට වත් පින් සිද්ද වෙනවනෙ. ගොඩක් මිනිස්සු කවුරු ආවත් තියන විදියට කීයක් හරි දෙනව. අපේ මිනිස්සුන්ගෙ තාමත් මනුස්සකම කියන දේ ගොඩක් තියනව හිතෙනව ඒ වෙලාවට. බොහොම ජැන්ඩියට ඇඳල යන සමහර ලොකු නෝන මහත්තුරු නම් ඉන්නව ඒ වගේ මනුස්සයෙකුට සත පනහක් වත් දෙන්නෙ නැති. ඒව ගැන කතා කරන්න ගියොත් වෙනම පෝස්ට් එකක් දාන්න වෙනව. 

..................................................................................................................................................................
ප.ලි. ටොපික් එක නම් පොඩි කොපියක්. මට මේකට ටොපික් එකක් මතක් වුනේම නෑ. ඒක නිසා ඒක දැම්ම.


Saturday, August 27, 2011

අවාසනාවට, ලැජ්ජ හිතෙන ඇත්ත කතාවක්

ගොඩක් කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. මගේ ලැපී මේ දවස් වල පිස්සු කෙලිනවා. කමෙන්ට් එකක් දාන්න පවා හරි අමාරුයි. එහෙමයි කියල ඇතෑරියෙ නෑ, කමෙන්ට් නම් කලා. මම ටික දවසක ඉඳල එක සිද්ධියක් ගැන ලියනවද නැද්ද කියල හිත හිත හිටියෙ. පස්සෙ හිතුව ලියනව කියල. ඇත්තටම මේව කියන්නත් ලැජ්ජයි. කමක් නෑ ලියනව, එකෙක් හරි මේ දේ ගැන හිතල බැලුවොත් ඒකත් ලොකු දෙයක්.ලොකු කළකිරීමකින් සහ තරහකින් මේ ලියන්නෙ.

මේ සිද්ධිය වුනේ මගේ යාලුවෙක්ට. යාලුවෙක් කිව්වෙ ඉස්සර හැමදාම හවසට සෙට් වෙලා කාඩ් ගහන අපේ බොක්කක්. අපි මිනිහට දිමුතු කියමු. ඌ අපේ සෙට් එකේ අනිත් උන්ට වැඩිය අවුරුදු 2ක් වැඩිමල්. දැන් මිනිහ කොළඹ ජොබ් එකක් කරනව. මිනිහගෙ කෑල්ල ජපුර කැම්පස් එකේ. කෑල්ල අපේ වයසෙ. අපේ සෙට් එකේ වෙන එකෙක්ට සල්ලි වගයක් ඕන වෙලා මගෙන් ඉල්ලුව. අපි ඌට කියමුකො දසුන් කියල. ඒ වෙලාවෙ මට සල්ලි දෙන්න තිබුනෙ නෑ. මම ඌට කිව්ව සල්ලි නෑ කියල. ඊට පස්සෙ ඌ අපේ කතා නායකය දිමුතුගෙන් සල්ලි ඉල්ලල.

දිමුතුගෙ බැංකු කාඩ් එක තියෙන්නෙ උගේ කෑල්ල ලඟලු. මොකටද ඒක තියාගෙන ඉන්නෙ කියල නම් දන්නෙ නෑ. කොහොමහරි දසුන් සල්ලි ඉල්ලුවම දිමුතු සල්ලි දෙන්න ටිකක් අදි මදි කලාලු.  මිනිහ වෙනදට කවදාවත් එහෙම කරන්නෙ නෑ. පස්සෙ දිමුතු කිව්වලු කෑල්ලට කියල කාඩ් එකෙන් අරන් දෙන්නම් කියල. ඊට පස්සෙ දිමුතු කෙල්ලට කියල සල්ලි අරන් දෙන්න කියල. ඒක කිව්ව ගමන් මේකට කෑල්ල හොඳටම බැනල. මොනව කියලද බැන්නෙ කියල නම් හරියටම දන්නෙ නෑ. බැන්න බව අපි දන්නෙත් පස්සෙ. ඌ හම්බ කරපු සල්ලි උගේ යාලුවෙක්ට උවමනාවකට දෙන්න ගියාම ඌ උගේ ගෑනිගෙන් බැනුම් අහන්න ඕන.:D


කොහොම හරි බැනල බැනල කෙල්ල සල්ලි අරගෙන. දැන් සල්ලි ගත්තට දසුන්ට දෙන්න විදියක් නැතිලු. දසුන්ට යන්න වෙලාවක් තිබුනෙ නැති නිසා දිමුතුගෙන් අහල උගේ පොතට දාන්න පුලුවන්ද කියල. ඒ දෙබස අපිට ආරංචි වුන විදියට මෙහෙමයි වෙලා තියෙන්නෙ.

දසුන්: දිමුතු අයියෙ මම අර සල්ලි ටික ගන්නෙ කොහොමද?

දිමුතු: සල්ලි ටික තාම අරකි ගාව බං. මට යන්න වෙලාවක් වුනේ නෑ. 

දසුන්: මට ඒ ටික හදිස්සියි නෙ. මේ, ඒ සල්ලි ටික මගේ පොතට දාන්න කියන්න බැරිද?

දිමුතු: අම්මෝ බෑ බං. උඹට දෙන්න සල්ලි ගන්න කියපු වෙලාවෙත් හොඳටම බැනුම් ඇහුව.

දසුන්: ඒ මොකද?

දිමුතු: අනේ මන්ද බං.

දසුන්: අනේ ඉතින් ඒකිට කියපන්කො මගේ පොතට සල්ලි දාන්න කියල.

දිමුතු: අනේ ආයෙත් බැනුම් අහන්න බෑ බං.

(දුරකථනය විසන්දි වෙයි.)

ඔන්න ඔහොමයි සිද්දිය වෙලා තියෙන්නෙ. කොහොමහරි දසුන්ගෙ වැඩේ කෙරුනෙ නෑ. දැන් හිතල බලන්නකො ඒ වුන දේ ගැන. ඌ දාඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි ඌට ඕන විදියට වියදම් කරන්න බෑ. උගේ ගෑණිට ඕන විදියට තමයි ඌ වියදම් කරන්න ඕන. කාඩ් එක කෑල්ල ඒකිගෙ ලඟ තියාගෙන ඉන්නෙ මොකටද කියල නම් දන්නෙ නෑ. සමහර විට ඒකි ඒකෙන් හිතේ හැටියට වියදම් කරනව ඇති. ඒ ගැන නම් හරියට කියන්න තාම අපි ලඟ තොරතුරු නෑ. ඒ මොනව උනත් ඌට තමන් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි තමන්ගෙ යාලුවෙක්ගෙ උවමනාවකට දෙන්න පුලුවන් කමක් නෑ. ඌ නටන්නෙ ගෑනිගෙ පදේට. උගේ ලඟ සල්ලි තිබ්බ නම් කවදාවත් ඌ නොදී ඉන්නෙ නෑ. ඒක අපිට හොඳටම ශුවර්. ඒත් කාඩ් එක ගෑනි ගාව නිසායි, ගෑනිට බය නිසයි ඌට කරන්න දෙයක් නෑ. 

ඕකිට මතක නෑ අපේ උන් ඔය ජෝඩුව නිසා කොච්චර කට්ට කාල තියෙද කියල. එක පාරක් දෙන්නත් එක්ක දවස පුරාම ඒකිගෙ ගෙවල් පැත්තෙ රවුම් ගහල රෑ වෙලා අරූට එන්න විදියක් නැතුව අපේ උන් තමයි ගිහින් එක්කගෙන ආවෙ. ඒ චන්දෙ දවසකට කලින් දවසෙ. බයික් දෙකකින් මහ රෑ ගිහින් අපේ උන් ඌව එක්කගෙන ආවෙ. ලස්සනම වැඩේ කියන්නෙ ඔය සල්ලි ඉල්ලපු දසුනුත් එදා ගියා ඌව එක්කගෙන එන්න. එහෙම කරපු එකාට තමයි ඔය වැඩේ කරේ. අපේ එකාට කොන්ද පණ තිබුන නම් සල්ලි ටික අරන් දෙන්න තිබුන. ඒ වුනාට ඇත්තම කතාව ඉතින් ඌට කොන්ද පණ නෑ. අපිට තමයි ලෝකෙ නැති ටෝක් දෙන්නෙ. අපිත් එක්ක කතා කරනකොට අපි මොනව කිව්වත් ඌ දාහක් තර්ක ගෙනල්ල හරි උගේ මතේ හරි කියල ඔප්පු කරනව. ඒ උනාට ගෑණි මොකක් හරි කිව්වොත් ඒක මොකක් වුනත් ඉස් මුදුනින්ම පිළිගන්නව. ඇත්තටම අපේ සෙට් එකට ලැජ්ජයි ඌ ගැන. මට නම් ඌ ගැන කියන්න තියෙන්නෙ ඉංග්‍රීසි අකුරු වලින් නම් P අකුරෙන් පටන් ගන්න සිංහලෙන් අකුරු හතරෙ වචනයක් විතරයි.

මම මේ දේවල් කියන්නෙ මේ සිද්ධිය නිසා විතරක් නෙමෙයි. කාලයක් තිස්සෙ දැකපු අහපු ගොඩක් දේවල් වලින් මම මේ කියන්නෙ. ඕක එක සිද්ධියක් විතරයි. සමහර වෙලාවට අපි කාඩ් ගහ ගහ ඉන්නකොට කෑල්ලගෙන් කෝල් එකක් ආවම අපිට කෑගහන්න එපා කියල කෝල් එක ආන්සර් කරල කියනව ගෙදර ඉන්නෙ කියල. වැරදිලාවත් කෝල් එකක් ගන්න පොඩ්ඩක් හරි පරක්කු වුනොත් ඊලඟට පුදුමාකාර බයකින් කෝල් එක ගන්නෙ. ඕව ගැන ඔක්කොම කියන්න ගියොත් මේක මෙගා සීරීස් එකක් වෙනව. අපිටත් කෙල්ලො කියල තියනව කොහේ හරි යනව නම් කියල යන්න, ගිහින් ආපු ගමන් කෝල් එකක් දෙන්න කියල. අපි එහෙම කරලත් තියනව. හැබැයි මේ විදියට මාව යටත් කරගන්න නම් කවුරුවත් උත්සාහවත් කරල නෑ.

අපි නම් දැනගත්ත ඇයි ඌ ඔච්චර ඒකිට බය කියල. ඒක උගේ කටින්ම දවසක් කියවුනා.  ඌ බයයි කෑල්ල ඌව දාල යයි කියල. ඌ කිව්ව, "මම දන්නව බං, මට ආයෙත් කවදාවත් ඔය වගේ කෙල්ලෙක් ලැබෙන්නෙ නෑ." උගේ ඒ සිතිවිල්ල තමයි හැම දේකටම හේතුව. කෙල්ල බොහොම ලස්සනට උගේ ඔලුවට ඒ විෂබීජෙ දාල තියෙන්නෙ. "මම තමයි මේ ලෝකෙ ඉන්න හොඳම කෙල්ල. ඔයාට කවදාවත් මං වගේ කෙනෙක් ලැබෙන්නෙ නෑ" කියල ඌගේ ඔලුවට දාල තියෙන්නෙ. දැන් ඉතින් ඒකි නැතිවෙයි කියන බයට ඒකි කියන කියන පදේට මූ නටනව. ඒකි කියන කියන පදේට නැටුවෙ නැත්තන් ඌව දාල යාවි කියල ඌ බයයි. මූ සිරාවටම හොඳ ගතිගුණ තියන, සුදු, හැන්ඩි කොල්ලෙක්. ඔයිට වඩා දහගුණයක් හොඳ, ලස්සන කෙල්ලෙක් ඌට හොයාගන්න පුලුවන්. ඒ වුනාට ඌ දැන් ගොනාට ඇඳල ඉන්නෙ. දැන් ඌව බේරගන්න බෑ.  ඌ නම් ඇත්තටම ඒකිට ආදරෙයි. ඒක ඌ කතා කරන වචනයක් වචනයක් පාසා පේනව. කෙල්ල ඒ ආදරේ ආයුධයක් කරන් ඉන්නෙ. අපි එක එක විදියට වටින් ගොඩින් කිව්ව ඌට. පස්සෙ මම කෙලින්ම කිව්ව ඒ ගැන. වැඩක් නෑ ඉතින් ආදරේ කරන්න ගියාම අන්ධ වෙනවනෙ. එහෙම වුනාම කොච්චර වැරදි තිබුනත් පේන්නෙ නෑ නෙ. මට දුක ඔය ලව් එකට මාත් වචනෙකින් හරි උදව් කරල තියන එක. 

මොකටද ඉතින් ඔහොම ජීවත් වෙලා. කොල්ලෙක් උනාම කොන්ද පන තියාගෙන ඉන්න බැරි නම් ඉතින් වැඩක් නෑ. අපි ඌට ඕක කෙලින්ම කිව්ව. ඌ කියන්නෙ "එහෙම එකක් නෑ, ඒ අපිට පේන හැටි" කියල. ඕන මගුලක් කරගන්න කියල අපි ඉන්නෙ. ඕව ඕනවට වඩා කියන්න ගිහින් අපි නිකන් නරක මිනිස්සු වෙනව ඊට පස්සෙ. අනේ මන්ද ඉතින් ඌට ලැජ්ජාවක් නැද්ද කියල. ඔය ඉතින් ඔය වගේ ඉන්න එකම එකත් නෙමෙයි නෙ. ඔය වගේ ඉන්න තව කොල්ලො කොච්චර ඇත්ද? සමහර කෙල්ලො කැමතියි තමන්ගෙ කොල්ලව තමන්ගෙ යටතෙ තියාගන්න. ඒකට අහු වුනොත් ඉතින් සොරිම තමයි. තමන් ඉන්න විදිය ගැන තීරණය තියෙන්නෙ තමන් අතේ. කෙල්ලට නැවීගෙන ඉන්න ගියොත් ඒක කෙල්ල පුරුද්දකටම තියා ගනීවි. ඔය ප්‍රසිද්ධ කියමනකුත් තියෙන්නෙ "කෙල්ලට එපා වෙනකල්, කොල්ල කෙල්ලගේ බල්ලාය" කියල. බල්ලෙක් වෙනවද, කොල්ල විදියටම ඉන්නවද කියන තීරණේ තියෙන්නෙ ඉතින් කොල්ලගෙ අතේම තමයි. හිතල බලන්න තමන්ට හොඳ මොකක්ද කියල. මම කිව්වෙ ඔය ප්‍රශ්නෙ එක පැත්තක් ගැන විතරයි. ඔය ප්‍රශ්නෙ අනිත් පැත්තටත් ඔය විදියටම වෙනව. 

දැන් කට්ටිය මගේ ගැන වැරදියට හිතන්න එපා. හිතන්න එපා ආදරේ දන්නෙ නැති, මහ අලි ඔලුවෙන් ඉන්න එකෙක් කියල. ආදරේ කියන එක නම් මම හොඳට දන්නව. මම ආදරේ වෙනුවෙන් ගොඩක් කැපකිරීම් පරිත්‍යාග කරල තියනව. ආදරේ කරපු කෙනාගෙ ආසවල් අනුව මගේ සමහර පුරුදු, මගේ ඇඳුම් පවා මම වෙනස් කරල තියනව. එයා කරන්න එපා කියපු දේවල් මම නොකර ඉඳලත් තියනව. ඒ වගේ දේවල් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. මොකද අපි ආදරේ කරද්දි අපේ ජීවිතේ ගැන ලොකු අයිතියක් අනිත් කෙනාට ලැබෙනව. එහෙම නැත්තන් වැඩකුත් නෑ. හැබැයි එහෙමයි කියල අපි කාගෙවත් රූකඩයක් වෙන්න වත්, දාල යාවි කියල බයෙ කියන කියන විදියට නටන්නවත් ඕන නෑ. එහෙම අය ඉන්නව නම් ඒ ගොල්ලන්ට යන්න දෙන එකමයි හොඳ. මොකද ඒ වගේ අය ඇත්තටම අපිට ආදරේ නෑ. ඒ වගේ අය වැඩිපුර ආදරේ කරන්නෙ තමන්ගෙ ආඩම්බරකමට, ලොකුකමට. ආදරේ කියල කවුරුවත් තමන්ගෙ ආත්ම ගරුත්වය නැති කරගන්න ඕන නෑ.

හිතල බලන්න ආදරේ නිසා කවුරුවත් ඔහොම ජීවත් වෙන්න ඕනද? ආදරේ කියන්නෙ ජීවිතේ ලස්සන කරන දෙයක්. කවුරුවත් ඒ නිසා විඳවන්න ඕන නෑ. ඔහොම තමන්ගෙ ආදර වන්තයා හෝ ආදර වන්තියව පාගගෙන ඉන්න අය හොඳට මතක තියාගන්න ඔය විදියට ඉන්න පුලුවන් ගොඩක් වෙලාවට කසාද බඳිනකල් විතරයි කියල. මොකද දාල යාවි කියන බය තියෙන්නෙ කසාද බඳිනකල් විතරයිනෙ. කසාද බැන්දට පස්සෙ ඉතින් ඕවට රිටර්න් එක පොලියත් එක්කම ලැබෙන්නත් පුලුවන්. අනිත් වැදගත්ම දේ තමයි තමන්ගෙ ආදර වන්තයා හෝ වන්තිය ගෙ යාලුවන්ගෙන් එයාව ඈත් කරන්න උත්සහ කරන්න එපා. ආදරේ කියන්නෙ ජීවිතේම නෙමෙයි, යාලුවො කියන්නෙත් ජීවිතේ ලොකු කොටසක්. කෙනෙක් ආදරය කරන්න පටන් ගත්ත කියල එයා තමන්ගෙ යාලුවන්ගෙන් ඈත් වෙන්න ඕන නෑ නෙ. යාලුවන්ගෙන් ආදරය කරන කෙනාව අයින් කරන්න හදනව කියන්නෙ තනිකරම ආත්මාර්ථකාමි කමක් විතරයි. ඒ වැරැද්ද නම් ගොඩක් වෙලාවට කරන්නෙ කෙල්ලො.  
...................................................................................................................................................................

ප.ලි. පෝස්ට් එක මේලෝකෙ රහක් නෑ වගේ නම් සමාවෙන්න ඕන. හිතේ තියන ආවේගයත් එක්ක ලිව්වෙ. ඒත් මම හිතනව මේකෙ හිතන්න දෙයක් ඇති කියල. හිතල බලන්න තමන් උඩ ඉන්න  පාර්ශව දෙකෙන් එකකට අයිති වෙනවද කියල. ඔන්න ඔහොමයි කසුන්ට හිතෙන්නෙ. ඔයගොල්ලන්ගෙ අදහසුත් බෙදාගන්න කැමතිනම් පහළින් කොටල යන්න. 





   

Wednesday, July 20, 2011

ආදරය, විවාහය, දෙමව්පියන් හා වෙනත් ප්‍රශ්න

කලින් ලිපියෙන් මම කුල ප්‍රශ්නෙ ගැන කතා කලානෙ. ඒ ඇරුනම කසාදයක් කරගන්න ගියාම එන තවත් ප්‍රශ්න ගැන මගේ අදහස් කියන්නයි දැන් හදන්නෙ. කලින් ලිපිය කියවපු නැති කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් බලල එන්න. එතකොට වඩා පහසු වේවි.

මීට සම්බන්ධ මම දන්න තව සිද්ධියක් තියනව. අපෙ අම්ම ඉස්සර හිටියෙ අම්මලගෙ ඔෆිස් එකේ නිළ නිවාස වල. මම හිටියේ ආච්චි ලඟ. ඉස්කෝලෙ නිවාඩුව ආව ගමන්ම එහේ දුවගෙන යනව. අම්මගෙ ඔෆිස් එකේ හිටපු පරිපාළන නිළධාරී තුමා හරි හොඳ කෙනෙක්. මම එහේ ඉන්නකොට නිතරම ඒ ගෙදර යනව. ඒ අන්කලුයි, ඇන්ටියි මට හරි ආදරෙයි. ඒ ගෙදර අක්කල දෙන්නයි, අයියල දෙන්නයි හිටියෙ. අක්කල දෙන්න වැඩිමල්. ලොකු අක්ක මට ගොඩක්ම ආදරෙයි ඒ කාලෙ. ඒ අක්කට ජොබ් එකක් තිබුනෙ නැති නිසා අර අංකල් අක්කව ඒ ඔෆිස් එකේම ජොබ් එකකට දාගත්ත. අම්මලගෙ ඔෆිස් එක කෘෂි පර්යේෂණ ආයතනයක්. ඒකට මිනිස්සු පැල වර්ග ගන්න, ඇට වර්ග ගන්න, උපදෙස් ගන්න වගේ වැඩවලට නිතරම එනව. ඔහොම යනකොට අර අක්ක ඔය විදියට ඔෆිස් එකට එන කොල්ලෙක් එක්ක යාලු වෙලා. ඒ අයියට කුඹුරු ගොඩක් තියන කෙනෙක්. ගොවියෙක් කිව්වට අපේ හිතේ ඇඳෙන රූපෙ නෙමෙයි ඒ අයියගෙ තියෙන්නෙ. අපිට මතක් වෙන්නෙ අමුඩෙ ගහගෙන උදැල්ල කරේ තියාගෙන කුඹුරට පයින් යන කෙනෙක්නෙ. එයා එහෙම නෑ, එයා යන්නෙ තඩි බයික් එකක. එයා මිනිස්සු දාල කුඹුරු වැඩ කරවනව. ඒ අයියගෙ පරම්පරාව ගොවියෝ. ඒ අයිය ඒක මහන්සියෙන් බිස්නස් එකක් තරමටම දියුනු කරගෙන. කොහොම හරි අක්ක ඕක ගෙදරට කිව්වම ගෙදරින් තදින්ම විරුද්ධ වෙලා. දැන් එතන කුලේ ප්‍රශ්නෙකුත් නෑ, ඇයි ගොවි කුලේ නෙ. එතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ඇත්තටම ගොවියෙක් වීම. පුදුම ලෝකයක් තමයි මේක. ගොවි කුලේ වෙන්නත් ඕන, හැබැයි ගොවිතැන් කරන්න බෑ. ඒ අංකල් ලොකු පොඩි හැමෝම එක්ක හොඳට කතා බහ කරල පොළවෙ පය ගහල ඉන්න මනුස්සයෙක්. ඒත් ඒ වෙලාවෙ මොන විකාරයක් උනාද මන්ද. කොහොමහරි ගොවියෙක් නිසා අන්කලුයි ඇන්ටියි කැමති වුනේ නෑ. 

අක්ක දැඩි තීරණයක් අරගෙන තිබුන. දවසක් අක්ක ගෙදරින් පැනල ගියා. ගිහින් එහෙමම කසාද බැඳල අයියගෙ ගෙදරම නැවතුනා. ගෙදරින් ගිහින් දවස් දෙක තුනකට පස්සෙ අක්ක කසාද බැඳල කියලත් ආරංචි වුනා. අක්ක ඉන්න තැනත් හොයාගන්න පුලුවන් වුනා. ඒත් කවුරුවත් එහේ ගියේවත්, අක්කව එක්කගෙන එන්න හැදුවෙවත් නෑ. ගිය එකාට යන්න දෙන්න කියලයි අංකල් කිව්වෙ. ඒ පැත්තෙම තිබුනෙ ඒ ඔෆිස් එකේ වැඩ කරන අයගෙ නිළ නිවාස. හැමෝම ඉගෙන ගත්තු බුද්ධිමත් මිනිස්සු. ඒක නිසා කිසිම කෙනෙක් කිසිම වෙලාවක තැන තැන කතා හැදුවෙවත්, අපහාස කලේ වත් නෑ. ගමක වගේ ඔහොම වුනානම් ගෙදර උන් වහ බොනකල්ම කතා හදනවනෙ. කොහොම හරි හැමෝම කලේ ඒ මිනිස්සුන්ගෙ හිත හදන්න බලපු එක. හැමෝම කිව්වෙ, "ගොවිතැන් කලාට වරදක් නෑ නෙ, ඒක කොච්චර වැදගත් රස්සාවක්ද? අනිත් එක ඒ දරුවට හොඳට සල්ලි බාගෙ එහෙමත් තියන වැදගත් පවුලක ළමයෙක් නෙ" කියල. ඒ වුනාට ඒ අංකලුයි ඇන්ටියි නම් පුදුම දැඩි තීරණයක හිටියෙ. වී ගොවිතැන් කරන එක නිකන් ගන්ජ වවනව වගේ පහත් රස්සාවක් විදියට තමයි හැසිරුනේ. අපේ තාත්ත එහෙමත් ඒ පවුලට ගොඩක්ම හිතවත්. තාත්ත දවසක් බැනල තිබුන "ඔය විදියට ගොවියෙක්ව පිලිකුල් කරනව නම් ඔහෙල බත් කන එකත් නවත්තන්න" කියල. කොහොම හරි ඉතින් කාලයක් ගිහින්, හැමෝම ඔහොම කියල කියල, අක්ක නැති අඩුවත් දෙන්නට දරා ගන්න බැරි තැනට ආවම ජෝඩුවට ගෙදර ඇවිත් යන්න කියල අයියල දෙන්න අතේ පණිවිඩයක් යැව්ව.  

ඊට පස්සෙ හැම දෙයක්ම හොඳින් විසඳුනා. ඒ දෙන්න දැන් බොහොම සතුටින් ඉන්නව. බලන්නකො ඉතින් වැඩකට ඇති දේකටද විරුද්ධ වුනේ කියල. කුලෙත් අවුලක් නෑ, සල්ලිත් තියනව, වැදගත් පවුලක ළමයෙක්, ඒ අයියගෙත් කිසි අඩු පාඩුවක් නෑ; එකම අවුල ගොවිතැන් කරන එක. ඊලඟට අහන්න වෙන්නෙ ඉතින් ගොවිතැන් කරන එකේ මොකක්ද තියන අවුල කියල. දන්නෙ නෑ ඉතින් ඒ දෙන්නගෙන්ම තමයි අහන්න වෙන්නෙ. ඔය වගේ විකාර අදහස් කවදා නම් මිනිස්සුන්ගෙ ඔලු වලින් අයින් වේවිද?

ඊලඟට ඔය වගේ ආදරයකට විවාහයකට බාධා එන හේතු තමයි ආර්ථික පරතරය, සමාජ පරතරය වගේ දේවල්. ඒ දේවල් ගැන වුනත් එකපාරට බැලුවම හිතෙන්නෙ වැඩකට නැති දේවල් කියල. දෙන්න අතරෙ තද බැඳීමක්, හොඳ අවබෝධයක් තියනව නම් ඔය දේවල් විවාහ ජීවිතයකදි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ තමයි. හැබැයි ඒකෙත් එක්තරා සීමාවක් තියනව. හැමතිස්සේම එක හරි යන්නෙ නැති වෙන්න පුලුවන්. හිතන්නකො කොටිපතියෙක්ගෙ දුවෙක්ට බැඳල කටුමැටි ගේකට යන්න වුනා කියල. ඒ දෙන්නට ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන් වේවිද? ආදරය කියන එක කොච්චර තිබුනත්, ඒ කෙල්ල අවුරුදු 25ක් 30 විඳපු සැප සම්පත් නැති වුනාම කාලයත් එක්ක ප්‍රශ්න එන්න පුලුවන් නේද? මෙච්චර කල් අම්ම තාත්තගෙන ලැබුන දේවල් මිනිහගෙන් ලැබුනෙ නැති වුනාම ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් නේද? මොනව කිව්වත් අපි පෘටහ්ජන මිනිස්සුනේ. ඒ කෙල්ල අවුරුදු ගානක් පුරුදු වුන විදියක් තියනව නෙ. ආදරේ තිබුන කියල ඒව වෙනස් කරන්න අමාරුයි. ලුණුයි බතුයි කාල ඉමු කියල පටන් ගන්න අය, කාලයක් ගියාම තේකට සීනි මදි වුනාම මරා ගන්න හදනව. (ඔය ප්‍රශ්නෙ අනිත් පැත්ත වුනොත් නම් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ විදියක් නෑ. ඒත් ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න දෙමව්පියොත් ඉන්නව. ඒ ඉතින් ආයෙත් අර පුහු මහන්තත්තෙ තමයි.) ඒක නිසා ඒ වගේ දේකට යොමු වෙන්න කලින් හොඳට හිතන්න ඕන. ඇත්තටම මට මේ විදියට ඉන්න පුලුවන් වේවිද කියල බුද්ධියෙන් විමසල බලන්න ඕන. ඇත්තටම ඔය දේවල් හිතන්න ඕන සම්බන්දයක් ඇති කරගන්න කලින්. ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙ ඉතින් ඔහොම ප්‍රශ්නයක් තිබුන කියල දාල යන්න අමාරුයි නෙ. ඒත් ඉතින් අන්තිමට දෙමව්පියන්ගෙ අවසර ඉල්ලන්න ගියාම ලැබෙන්නෙ නෑ. ඒ මිනිස්සු කැමති වෙන්නෙ නෑ තමන් තියන හැම සම්පතක්ම දීල හදපු දරුව දුක් විඳිනව දකින්න. දැන දැන ඒ වගේ දේකට අවසර දෙන්න දෙමව්පියන්ට බෑ. ඒ වුනාට ඉතින් දරුවො ඉන්න තත්ත්වෙ උඩ ඒ ගොල්ලො ඒක තේරුම් ගන්නෙ නෑ. එතකොට ඉතින් ප්‍රශ්න තමයි.

සමාජ පරතරයත් ඔය වගේම ප්‍රශ්නයක් තමයි. සමාජ තත්ත්වය කියන එකෙන් මම අදහස් කලේ වලව් කාරයො, වංශවත් පවුල් කියන එක නෙමෙයි. අපි සමාජයේ ජීවත් වෙන විදිය කියන එකයි. මෙහෙම හිතන්නකො, හොඳට වැදගත් විදියට කාටවත් වැරද්දක් නැතුව, සමාජයේ ගෞරවය තියාගෙන ජීවත් වෙන පවුලක දුවෙක් රස්තියාදුකාරයෙකුට දෙන්න අම්මල තාත්තල කැමති වෙයිද? අනිත් පැත්තට එහෙම වැදගත් පවුලකට රස්තියාදුකාර කෙල්ලෙක්, රස්තියාදුකාරයෙක්ගෙ දුවෙක්, නංගි කෙනෙක් ගේනවට අම්මල තාත්තල කැමති වෙයිද? එහෙම දේකට විරුද්ධ වෙන එක සම්පූර්ණයෙන්ම සාධාරණයි. ඒ වගේ වුනාම අනිවාර්යෙන්ම ප්‍රශ්න ඇති වෙනව. ඒත් දරුවො ඕක තේරුම් ගන්නෙ නෑ. ඒ වගේ හේතුවක් නිසා මෙච්චර කල් ආදරේ කරපු කෙනා අතාරින්න දරුවො කැමති වෙන්නෙ නෑ. ඒක නිසා මම ආයෙත් කියන්නෙ, හොඳම දේ තමයි සම්බන්දයක් පටන් ගන්න කලින් ඔය හැම දෙයක්ම හිතල ගැලපෙන කෙනෙක් තෝරගන්න එක. තමන්ගෙ ආර්ථික මට්ටමට ගැලපෙන, සමාජ මට්ටමට ගැලපෙන, ගැලපෙන අදහස් තියන කෙනෙක්. එතනදි හදවතින් විතරක් නෙමෙයි, බුද්ධියෙනුත් කල්පනා කරල තීරණයක් ගන්න. එතකොට ඔය කසාදයක් කරගන්න ගියාම අම්මල තාත්තල එක්ක රන්ඩු කරන්න වෙන එක අඩු වෙයි. 

ඊලඟට තව දෙයක් කියන්න ඕන. මම අර කලින් කියපු කතාවෙ ඒ ඇන්ටියි අංකලුයි කරපු දේ සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ වුනාට ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒ අක්ක කරපු දේ හරි කියල. අක්ක කරපු වැඩෙත් සම්පූර්ණයෙන්ම වැරදියි. අම්මල තාත්තල හරි හෝ වැරදි හෝ, ඒ දෙන්නගෙ කැමැත්ත ආශිර්වාදය නැතුව කසාදයක් කරගන්නව කියන්නෙ කිසි සේත් අනුමත කරන්න බැරි වැඩක්. තමන්ගෙ දෙමව්පියන්ට එහෙම ගින්දරක් දෙන එක මහ පවක්. ඒ වගේ දෙයක් නම් හිතන්නවත් එපා. මගේ කලින් පෝස්ට් එකට ඇනෝ කෙනෙක් දාපු කමෙන්ට් එකක කෑල්ලක් මම මෙතන දාන්නම්. "අර අයිය නම් කොන්ද පණනැති ගොනෙක්...." ඒ කියන්නෙ ඇනෝ කියන විදියට තමන්ගෙ අම්මට පිටු පාන්න බැරි නිසා තමන්ගෙ ආදරය අමතක කරපු උගේ කොන්ද පණ නෑ. කොන්ද පණ තියනව කියන්නෙ තමන්ගෙ අම්මව ඇතෑරල කෙල්ලෙක්ව ගේන එකද? අවුරුදු 25ක් 30ක් තමන්ව උස මහත් කරල හදාගත්ත අම්මව තාත්තව අමතක කරල අවුරුදු දෙක තුනකට කලින් අඳුන ගත්ත කෙනෙක් එක්ක යන එකද කොන්ද පණ ඇති කම කියන්නෙ? ඒකට කියන්නෙ ගුණමකු කම, වෙන මොනවත් නෙමෙයි. මම ඒ අනෝ එක්ක කිසිම තරහකින් නෙමෙයි මේ කියන්නෙ. අපේ සමාජයේ ඔය අදහස ගොඩක් දුරට තියනව. මගේ කණටම ඇහිල තියනව ඔහොම කතා. ඒකයි මම ඒක මෙතන දැම්මෙ. ඒ වැරදි මතේ නම් ඉන්න එපා. කොන්ද පණ තියනව කියල දෙමව්පියන්ගෙ අකමැත්තෙන් කසාදයක් කරගන්නවත් පැණල යන්නවත් හදන්න එපා.  

කොහොමහරි අම්මල තාත්තලගෙ කැමැත්ත ගන්න බලන්න. ආදරෙන් තේරුම් කරල දෙන්න බලන්න. වද කරල කරල කොහොමහරි කැමති කරවගන්න. (නිදි විකාරෙන් ඉන්න වෙලාවක හරි කමක් නෑ. :P) බැරිම වුනොත් ඉතින් කරන්න දෙයක් නෑ, ඒ අය කියන දෙයක් කරන්න. මොන දේ වුනත් අම්මල තාත්තලට අපේ ජීවිත ගැන කියන්න බැරි තරම් ලොකු අයිතියක් තියනව. ඒ නිසා අන්තිම තීරණේ ඒ අයට ගන්න දෙන්න. එහෙමයි කියල අම්මල තාත්තල වැඩකට නැති කුල මල වගේ දේවල් නිසා දරුවන්ට තහන්චි දාන්න එපා. හැමතිස්සෙම දරුවන්ගෙ පැත්තෙන් හිතන්න. එහෙම හිතල දරුවන්ට හොඳම දේ දෙන්න. මොකද අම්මල තාත්තලගෙ ඒ තීරණෙන් එතනින් එහාට දරුවන්ගෙ ජීවිතේම තීරණය වෙනව. ඔන්න ඔහොමයි කසුන්ට හිතෙන්නෙ. කියවන අයගේ අදහසුත් දැන ගන්න පුලුවන් නම් මම කැමතියි.

Sunday, July 17, 2011

ආදරය, විවාහය, දෙමව්පියන් හා කුළය

අදත් කියන්න යන්නේ ආදරය හා විවාහය ගැන මම දරන අදහසක්. හැබැයි කලින් කතා කරපු මාතෘකාවට වඩා වෙනස් එකක්. එදා කිව්වෙ කසාදෙන් පස්සෙ වෙන දේවල් නෙ. අද කියන්න යන්නෙ කසාදයක් කරගන්න ගියාම එන ප්‍රශ්නයක් ගැන. මාතෘකාව දැක්කම තේරෙන්න ඇතිනෙ. කුළ ප්‍රශ්නෙ ගැන තමයි කියන්න යන්නෙ. මට ඔය ගැන ලියන්න හිතුනෙ මධුරංගය දාපු පෝස්ට් එකක් මතක් වෙලා. ආගම්, ජාති ප්‍රශ්නෙට වඩා ගොඩක් දරුණුවට බලපාන ප්‍රශ්නයක් තමයි ඔය කුළ ප්‍රශ්නෙ. ඇයි ඉතින් ආගම්, ජාති තියෙන්නෙ තුන හතරයි, ඒත් කුළ කීයක් නම් තියනවද? සිංහල අපිට 18ක්ම තියනව. මම දන්න විදියට මුස්ලිම් අයගෙත් ඔය වගේ කුළ බෙදීමක් තදින්ම තියනව. (මම වැරදි නම් කවුරු හරි මාව නිවැරදි කරන්න.) අනිත් ජන වර්ග ගැන නම් දන්නෙ නෑ. එතකොට කසාදෙකට ආගම හරි ජාතිය හරි හරස් වෙනවට වඩා වැඩි සම්භාවීතාවක් තියනව කුළය හරස් වෙන්න.

මම අපේ අයියගෙ කතාව කියලම පටන් ගන්නම්. ඒ කිව්වෙ ලොකු අම්මගෙ පුතා.  ලොකු අම්මලගෙ ගෙදර තියෙන්නෙ අපෙ ගෙදරට පාරෙන් එහා පැත්තෙ. (මම මේක මධුරංගගෙ පෝස්ට් එකෙත් කමෙන්ට් එකක් විදියට කෙටියෙන් දැම්ම.)  මිනිහ TTI එකේ ඩිප්ලෝමා එකක් කරන්න ගියා. ඒකෙ තුන් හතර පාරක්ම ට්‍රේනින් දානවනෙ. එක පාරක් වැටිල තිබුන වෝටර් බෝඩ් එකේ සයිට් එකකට. එතනදි මිනිහට කෙල්ලෙක් සෙට් වෙලා. කොහොම හරි ඒක ආදර සම්බන්ධයක් දක්වාම ගිහින්. ඉතින් දෙන්න ඔහොම ඉන්නකොට අපේ එකාට බැංකුවකට පැනගන්න චාන්ස් එකක් ආව. විභාග, සම්මුඛ පරීක්ෂණ හය හතකින් පස්සෙ මිනිහව තේරුණා. මිනිහ TTI එක අතෑරල බැංකුවට ගියා. ඔහොම මාස දෙක තුනක් ගෙවුන. අර අක්ක පළවෙනි පාර A/L කරල හිටියෙ. හොඳ රිසල්ට් එකක් තිබිල නෑ. ආයෙත් විභාගෙ කරන්න තරම් ගෙදරට වත්කමක් තිබිල නෑ. ඒක නිසා වෝටර් බෝඩ් එකේ පොඩි රස්සාවක් තමයි කර කර ඉඳල තියෙන්නෙ. ඒ පාර අපේ එකා කියල ආයෙත් විභගෙ කරන්න ඌ වියදම් කරන්නම් කියල. මිනිහට දැන් රස්සාවකුත් තියනව නෙ. ඊට පස්සෙ අක්ක ආයෙත් විභාගෙ කලා. රිසල්ට් එනකල් අපේ එකා ඌගෙ බැංකුවෙ පොඩි ටෙම්පරි ජොබ් එකකුත් සෙට් කරල දුන්න.  දෙවනි පාර සාමාන්‍යයෙන් හොඳ රිසල්ට් එකක් තිබුනලු. ඒ පාර මිනිහ කොහොම හරි අක්කව වෙන බැංකුවකට දාගත්ත. මේ ටික මාතෘකාවට අදාල නෑ, ඒත් පසුබිම විස්තර කරල ඉන්න එක හොඳයි නෙ.

ලොකු අම්මගෙ මහත්තය, ඒ කියන්නෙ අයියගෙ තාත්ත නැති වුනේ අයියල පොඩි කාලෙ. දැන් ඔතන ප්‍රශ්නෙ ඇති වුනේ ඒ අක්කගෙ කුළේ නිසා. ලොකු අම්මයි, අයියයි ගොවි කුලේ. ඒ අක්කගෙ කුලේ නම් මම දන්නෙ නෑ, හැබැයි ලොකු අම්මට ඒක මදිලු. ලොකු අම්ම ඕක දැනගත්ත වෙලාවෙම කෙලින්ම විරුද්ධ වුනා. අයිය දන්න හැම විදියටම ලොකු අම්මව කැමති කරගන්න හැදුව, ඒත් බැරි වුනා. අයිය අපෙ පවුලෙ අනිත් අයටත් ඔය ගැන කිව්ව. අනිත් අය හැමෝම වගේ අකමැත්තක් තිබුනෙ නෑ. දැන් කාලෙ ඔය වගේ දේවල් බලන එක තේරුමක් නෑ කියලයි කවුරුත් කිව්වෙ. ඒත් ලොකු අම්ම හිටපු දැඩි විරුද්ධවාදී ආකල්පය නිසා කවුරුවත් ඔය ගැන ලොකු අම්ම එක්ක වැඩිය කතා කරන්න ගියේ නෑ. මම අයියට කියල තිබුනෙ ඔය කුල මල හෙවිල්ල නම් මහ විකාර වැඩක්, මම නම් කොහොමවත් අනුමත කරන්නෙ නෑ කියල. අර ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව කියනවනේ, මිනිහ ලොකු අම්මට කියල මල්ලිත් මෙහෙම කිව්ව කියල. අනේ ලොකු අම්ම අපෙ අම්මත් එක්ක අසරණ මටත් බැනල තිබුන.

ඒ කාලෙ ඌට අවුරුදු 26ක් 27ක් විතර ඇති. රස්සාවක් කරල තනියම හම්බ කරගෙන ස්වාධීනව හිටිය වුනත් අපේ ලොකු අම්මගෙ තීරණේ වෙනස් කරන්න ඌට බැරි වුනා. ඒ තරමට ලොකු අම්ම දැඩි තීරණයක හිටියෙ. කොහොම හරි අන්තිමට අයියට ඒ සම්බන්ධෙ නවත්තන්න වුනා. අවුරුදු 4ක් ආදරේ කරල අන්තිමට කුලේ නිසා ඒ දෙන්නට වෙන් වෙන්න වුනා. අපේ ලොකු අම්ම ඉස්කෝලෙක උප විදුහල්පති කෙනෙක්. සමාජෙත් එක්ක කොච්චර ගැටුනත්, කොයිතරම් දැන උගත්කම් තිබුනත්, ගතානුගතික අදහස් ඔලුවෙ පුරවගෙන තමයි ඉන්නෙ. ඒ අක්කගෙ ගෙදරින් මේ සම්බන්ධෙ ගැන දන්නව. ඒ ගෙදර අය නම් කැමති වෙලා හිටියෙ. අයිය ඒ දවස් වල ඒ ගෙදරත් යනව. පස්සෙ බැරිම තැන අයිය ඒ ගෙදර අයට පැහැදිලි කරල දුන්න අම්ම කවදාවත් මේකට කැමති වෙන්නෙ නෑ කියල. ඒ ගෙදර අයත් ඒක තේරුම් ගත්ත. ඒ අය කියල තිබුන "අම්මගෙ අකමැත්තෙන් මේක කරන්න බෑ නෙ, කමක් නෑ පුතා මේ සම්බන්ධෙ නවත්තන්න" කියල. ඒත් ඒ අක්ක කොහොමවත් කැමති වුනේ නෑ ඒකට. එයා කිව්වෙ අයියව ඕනමයි කියල. ඒත් අයියට කරන්න දෙයක් තිබුනෙ නෑ. මට මතකයි දවසක් අයිය ෆෝන් එක ඕෆ් කරන් හිටිය අක්ක කෝල් කරන නිසා. ඒ පාර අක්ක ගෙදර ෆෝන් එකට කෝල් කලා. ඒ වෙලාවෙ අයිය අක්කට හොඳටම බැන්න. මාත් එතන හිටියෙ. මට ඒ වෙලාවෙ නම් හොඳටම අප්සට්. බැනල බැනල ෆෝන් එක තියල බොහොම අමාරුවෙන් ඌ කඳුලු තද කරගෙන හිටිය.

මට තාම මතකයි ලොකු අම්ම අන්තිම තීරණේ දීපු වෙලාවෙ, ඌ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන මාව හම්බවෙන්න ආපු හැටි. මිනිහ කෙලින්ම ආවෙ මාව හම්බ වෙන්න. ඌට මොනවත් කතා කරගන්න බැරි වුනා. මටත් මොනවත් අහන්න උවමනා වුනේ නෑ, උගේ ඇස් දෙකේ උත්තරේ තිබුන. ලොකු අම්ම කියල තිබුන ඒ කෙල්ලව ගෙනාවොත් ලොකු අම්ම වස බොනව කියල. මම ඒක දැනගත්තෙ පස්සෙ. එදා ඒ ගැන කතාව ඉවරෙටම ඉවර වුනා. ඒ අක්ක අන්තිමට එවපු මැසේජ් එක මගේ ලඟ මෑතක් වෙනකල්ම තිබුන. මොකක් හරි හේතුවක් නිසා ඌ ඒ වෙලාවෙ මගේ ෆෝන් එකට සිම් එක දාගත්ත. ඒ මැසේජ් එක කොච්චර ලොකුද කියනව නම් දෙපාරකට එවල තිබුනෙ. ඒකෙ අන්තිමට තිබුන "මට ජීවිතයක් දුන්නෙ ඔයා, මම කවදාවත් ඒක අමතක කරන්නෙ නෑ. ඒ හැම දේකටම ගොඩක් ස්තූතියි. මම කවදාවත් ඔයා එක්ක තරහ නෑ. ඔයා හැමදාම හොඳින් ඉන්න." කියල. (ගිය අවුරුද්දෙ ෆෝන් එකේ අවුලක් වෙලා රීසෙට් කලා, ඒ වෙලාවෙ තමයි ඕක නැති වුනේ.) ඇත්තටම අපේ අයිය නිසා ඒ අක්කට හොඳ ජීවිතයක් ලැබුන. දෙවනි පාර විභාගෙ කරවල බැංකුවක හොඳ රස්සාවකට දැම්මෙ අපේ එකා. ඒත් ඒ හැම දේටම වඩා ජීවිතේ ලස්සන කරන්න පුලුවන් ආදරේ අන්තිමට නොලැබී ගියා.

ඇයි මිනිස්සු මෙච්චරම මේ කුලේ කියන දේ ගැන හොයන්නෙ? ඕක ගැලපුනා කියල මොකක්ද ඇති වැඩේ? අවුරුදු 4ක ආදරයක් නැති කරල දන්න තරම් ඕක වටිනවද? අයියගෙ සතුටට වැඩිය ලොකු අම්මට කුලේ ලොකු වුනාද? අම්ම කෙනෙක්ගෙ ආදරය කියන්නෙ ඕකද? මේ ප්‍රශ්න වලට මට තාම උත්තර හොයගන්න බැරි වුනා. සමහර විට කවදාවත් හොයා ගන්න බැරි වේවි.

අපි ඉන්නෙ විසි එක්වෙනි සියවසේ. ඒත් තාමත් මේ වගේ කිසිම වැඩකට නැති දේවල් ගැන මිනිස්සු හොයන එක නම් බොහොම කණගාටුවට කරුණක්. බුද්ධිමත් කියල සැලකෙන මිනිස්සු පවා ඔය විකාර ගැන හිතනව. ඇයි දරුවෙක්ගෙ සතුට වෙනුවෙන් කුල ප්‍රශ්නයක් අමතක කරන්න බැරි? දෙමව්පියො දරුවො වෙනුවෙන් මොන තරම් කැප කිරීම් කරනවද? ඇයි මෙතනදි තමන්ගෙ මහන්තත්තෙ දරුව වෙනුවෙන් කැප කරන්න බැරි? ඇයි තමන්ගෙ දරුවන්ගෙ හැඟීම් ගැන මෙතනදි විතරක් අම්මල තාත්තල අමතක කරන්නෙ? දරුවන්ගෙ ජීවිතේට නරකක් වෙන පවුලක් එක්ක දරුව එකතු වෙන්න හදන එක නවත්තනව කියන්නෙ වෙනම කතාවක්. මොකක් හරි එහෙම හේතුවක් තියනව නම් ඒක කොහොම හරි නවත්තන්න ඕන. ඒක ගැන වෙනම කතා කරන්න ඕන. ඒත් අඩු කුලේක පවුලක් එක්ක එකතු වුනා කියල දරුවගෙ ජීවිතේට වෙන්න පුලුවන් හානියක් නරකක් ගැන නම් මට හිතා ගන්න බෑ. (ඇත්තටම එහෙම හානියක් වෙනව නම් කවුරු හරි මට ඒක කියල දෙන්න.) එකම හානිය වෙන්නෙ දෙමව්පියන්ගෙ පුහු මහන්තත්තෙට. මම නම් දකින එකම හේතුව ඒක විතරයි ඔය වගේ විරුද්ධ වීම් වලට. ඒ කියන්නෙ දෙමව්පියො තමන්ගෙ ගැන විතරක් හිතලමයි ඔය වගේ තීරණ ගන්නෙ. වෙන විදියකින් කියනව නම් දරුවො වෙනුවෙන් ජීවිතේ වුනත් දෙන්න පුලුවන් කියන දෙමව්පියො තමන්ගෙ තත්ත්වය ආරක්ෂා කරගන්න දරුවන්ගෙ සතුට, දරුවන්ගෙ ජීවිත විනාස කරනව. ළමයින්ගෙ සතුට වෙනුවෙන් ඔය දේ අමතක කරල දාන දෙමව්පියො ඕන තරම් ඉන්නව. මාත් එහෙම ගොඩක් අවස්ථා අහල තියනව.  ඒත් හැමෝම එහෙම නෑ නෙ. හැමෝම එහෙම වුනානම් කොච්චර හොඳද.

ඌ පවුලෙ වැඩිමල් කොල්ල. තව අක්කයි මල්ලියි තමයි පවුලෙ හිටියෙ. ලොකු අම්ම වැඩියෙන්ම ආදරේ කලේ ඔය අයියට. මිනිහට ඔලුවෙ කැක්කුමක් හැදුනත් ලොකු අම්ම පුදුම විදියට කරදර වෙනව. ඒත් ඔය ප්‍රශ්නෙදි මිනිහ සමහර වෙලාවට නොකා නොබී පවා හිටිය. ලොකු අම්ම ඒ කිසි දෙයක් ගනන් ගත්තෙ නෑ.  අර තිබුන ආදරේට මොනව වුනාද කියල හිතා ගන්න බෑ. අයියගෙ පැත්තෙන් පොඩ්ඩක්වත් හිතන්න උත්සහ කලේ නෑ. කොහොමහරි අන්තිමට ලොකු අම්මට ඕන දේ වුනා. කොල්ලෙක්ටත් ඔහොම නම් කෙල්ලො ගැන කුමන කතාද. හැබැයි ලොකු තාත්ත ජීවත් වෙලා හිටිය නම් සමහරවිට ඔහොම නොවෙන්න තිබුන.  ඔය කතාවෙ ලස්සනම කෑල්ලත් මම කියන්නම්. ලොකු අම්ම අයියගෙ හිත වෙනස් කරන්න ඉනාවක් පවා දීල තිබුන. එතකොට හිතාගන්නකො ඔය කුල ප්‍රශ්නෙ කියන එක ලොකු අම්මගෙ හිතේ කොච්චර තදින් කාවැදිල තියෙන්න ඇත්ද කියන එක. අපේ ලොකු අම්ම කියන්නෙ එක්කෙනෙක් විතරයි. තව ඔය වගේ මිනිස්සු සමාජයේ කොච්චර ඇද්ද? සංඝමිත්තා මෙහෙනින් වහන්සෙ දැනගෙන හිටිය නම් ඔය කුලය කියන එක ඔච්චර ප්‍රශ්නයක් වේවි කියල, කවදාවත් ලංකාවට දහාඅට ශ්‍රේණියේ මිනිස්සු අරගෙන එන එකක් නෑ.

අනිත් එක කොහොමද කියන්නකො යාලු වෙන්න කලින් කෙනෙක්ගෙ කුලේ දැන්ගන්නෙ? ආගම, ජාතිය නම් හොයාගන්න පුලුවන්. මුස්ලිම් නම් ලේසියෙන්ම අඳුනගන්න පුලුවන්. නැත්තන් වටපිටාවෙන් හොයල බැලුවම අමාරුවක් නැතුව හොයා ගන්න පුලුවන්. යකෝ ඉතින් කුලේ කියන එක එහෙම හොයන්නෙ කොහොමද? අපේ ලඟම යාලුවගෙවත් කුලේ අපි දන්නවද? නෑ නෙ. ඒක නිසා ඉතින් යාලුවෙන්න කලින් ඒක හොයාගන්න විදියක් ඇත්තෙම නෑ. කොහොමත් තමන්ගෙ කුලය වුනත් ගොඩක් අය දන්නෙ නෑ නෙ. ඒකත් ඉතින් අම්මල තාත්තලගෙන්ම අහල තමයි දැනගන්න වෙන්නෙ.

තමන්ගෙ අම්මල තාත්තල තදින්ම කුල මල හොයන විදියෙ අය කියල තමන්ට තේරෙනව නම් හොඳම දේ තමයි, තමන් කාට හරි ආදරේ කරන්න පටන් ගන්නව නම් කලින්ම ඒ විස්තර හොයල ගැලපෙන කෙනෙක් හොයාගන්න එක. අදාල කෙනාගෙන්ම අහල හරි කමක් නෑ. ජෝක් නෙමෙයි, සිරාවටමයි කියන්නෙ. සම්බන්ධකම් වැඩි දුර යන්න කලින් ඒව හොයල බලන එක ඇඟට ගුණයි. මොකද ඔය කුල මල බේද වලින් අන්ධ වුන මිනිස්සුන්ට වෙන කිසිදෙයක් පේන්නෙ නෑ. කොච්චර ගැලපීම් තිබුනත් ඒ නොගැලපීම අමතක කරන්න ඔය වගේ ගොඩක් දෙනෙක් සූදානම් නෑ. අන්තිමට අවුරුදු ගානක් ආදරේ කරල නවත්තල දාන්න වේවි, අපේ එකාට වුනා වගේ. ඊට වඩා හොඳයි අම්මල තාත්තල එහෙමයි කියල දන්නව නම් කලින්ම හොයල බලල ගැලපෙන්නෙ නැත්තන් දෙපැත්තට වෙන එක.

 
අවසාන වශයෙන් අම්මල තාත්තලගෙන් ඉල්ලන්න තියෙන්නෙ මේකයි. (බඳින වයසෙ ළමයි ඉන්න අම්මල තාත්තල නම් මේක කියවන එකක් නැති වෙයි. ඒත් හැමෝම කවද හරි ඒ තැනට එනවනෙ. ඒ නිසා මේ දේ හිතේ තියාගන්න.) ඔය කුල මළ වගේ වැඩකට නැති දේවල් නිසා දරුවෙක්ගෙ ආදරයක් නැති කරල දාන්න එපා. දරුවන්ගෙ පැත්තෙන් හිතන්න. තමන්ට කුලේ මහ ලොකු දෙයක් වුනාට දරුවන්ට වටින්නෙ තමන්ගෙ ආදරය. දරුවො වෙනුවෙන් හැම කැප කිරීමක්ම කරන්න පුලුවන් නම් බොරු මාන්නෙ, මහන්තත්තෙත් දරුවො වෙනුවෙන් කැප කරන්න. තමන්ගෙ දරුවට වඩා කුලේ ලොකු කරගන්න එපා. පොවපු කිරි වලට එච්චර ලොකු වන්දියක් ඉල්ලන්න එපා. ඒක මහ පව් වැඩක්.

ඔන්න ඔහොම තමයි කසුන්ට හිතෙන්නෙ. මේක කියවන අයගේ අදහසුත් දැනගන්න පුලුවන් නම් මම කැමතියි.

....................................................................................................................................................................

ප.ලි. කුල ප්‍රශ්නෙ ඇරුනම ඔය වගේ කතා කරන්න ඕන තව දේවල් තියනව. තව අපි දෙමව්පියන්ගෙ පැත්තෙන් හිතන්න ඕන දේවලුත් තියනව. මම ඒවත් ලියන්න හිටියෙ. ඒත් ඒවත් කියන්න ගියොත් දිග වැඩි වෙනව. ඒව ඊලඟ ලිපියෙන් කතා කරමු.

Monday, July 4, 2011

ආදරය, විවාහය හා විවාහයෙන් පසු ආදරය

මාතෘකාව ගොඩක් දිග වුනාට ඇත්තටම මම කතා කරන්න යන්නෙ 'විවාහයෙන් පසු ආදරය' කියන කෑල්ල ගැන. මට මේ ගැන ලියන්න හිතුනෙ ඇඳට වෙලා ඇලර්ට් එකක් දාගෙන ඉන්නකොට මතක් වුන සිද්දියක් නිසා. මම මේක දැක්කෙ ටිකක් පොඩි කාලෙ. නවය දහය වසර වලදි විතර මට මතක හැටියට. වැඩි විස්තර ඕන නෑ නෙ, කතාව කියන්නම්කො.

මම යාලුවෙක් එක්ක ටවුන් එකට ගියා මොකක් හරි වැඩකට. අපි දෙන්න පාර දිගේ ඇවිදගෙන යනව. ඒ වෙලාවෙ පාරෙ අනිත් පැත්තෙන් තරුණ ජෝඩුවක් ආව ළමයෙකුත් වඩාගෙන. අම්ම තමයි ළමයව වඩාගෙන ආවෙ. පොඩි එකාට අවුරුදු 2ක් විතර ඇති. කොහොමහරි එක පාරටම අම්මගෙ කකුල පැටලිලා ළමයත් එක්කම වැටුන. වැටුනට පස්සෙ තමයි අපි දැක්කෙ. තාත්ත පැනල ළමයව වඩා ගත්ත. පොඩි එකාගෙ ඇඟ පුරාම වැලි. තාත්ත ඉක්මනට වැලි ටික පිහදාල අත පය ඔක්කොම හරව හරව බැලුව තුවාල වෙලාද කියල. වාසනාවට පොඩි එකාට තුවාලයක් නෑ. පොඩි එකා බය වෙලා අඬනව. තාත්ත පොඩි එකාව නලව ගන්න හදනව. අම්මත් පොඩි එකාව අතගගා නලවන්න හදනව. වැටිච්ච පාරට අම්මගෙ අත නම් තුවාල වෙන්න ඇති. අත පුරාම වැලි තියනව මම දැක්ක. ඒත් ඒ තාත්ත අම්මට තුවාල වුනාද කියලවත් ඇහුවෙ නෑ. ඒ වෙනුවට තාත්ත පොඩි එකා වැටුන එක ගැන අප්‍රසාදෙන් මොනවහරි ඒ අම්මට කිව්ව. පාරෙ අනිත් පැත්තෙ හිටපු නිසා කියපු දේවල් නම් මට ඇහුනෙ නෑ. අම්ම දැන් අඬන්න වගේ. තමන්ගෙ අතින් පොඩි එකා වැටුන නිසාත්, තාත්ත කියපු දේ නිසාත් අම්ම ගොඩක් අපහසුතාවයකට ලක් වෙලා හිටියෙ. ලඟ පාත හිටපු මිනිස්සුත් එතනට එකතු වෙලා හිටියෙ.

මට ඒ වෙලාවෙ ඒ අම්ම ගැන ගොඩක් දුක හිතුන. ඒ තරුණ තාත්ත හොඳ තාත්ත කෙනෙක් වෙන්න ඇති. එයා දරුවට ගොඩක් ආදරෙයි කියන එක ඒ වෙලාවෙ එතන හිටපු කාටත් තේරුනා. ඒත් එයාට ඒ වෙලාවෙ හොඳ සැමියෙක් වෙන්න බැරි වුනා. අර තරම් අපහසුතාවයට ලක් වෙලා හිටපු ඒ ගෑනු කෙනාගෙ හිත හැදෙන්න එක වචනයක් කියන්න එයාට බැරි වුනා. එයා කලේ ඒ ගෑනු කෙනා අතින් වුන වැරැද්දට දොස් පවරපු එක විතරයි. මොකක් හරි හිත හැදෙන්න පොඩි දෙයක් කිව්ව නම් ඒ වෙලාවෙ හැටියට ඒ ගෑනු කෙනාට ඒක ලොකු දෙයක් වෙන්න තිබුන. ඒත් එහෙම වුනේ නෑ. අඩු ගානෙ එයාට තුවාල වුනාද කියලවත් ඇහුවෙ නෑ. මම ඒ ජෝඩුව ඈතට යනකනුත් ටිකක් වෙලා බලන් හිටිය පස්සෙ හරි එහෙම දෙයක් කියාවිද කියල. ඒත් නෑ.
 
ඒ ජෝඩුව ගොඩාක් තරුණ ජෝඩුවක්. අනිවර්යයෙන්ම යලු වෙලා බැඳපු දෙන්නෙක් වෙන්න ඕන. (මොකද එච්චර අඩු වයසින් මංගල යෝජනාවකින් බන්දවන්නෙ නෑ නෙ.) ඒත් ඒ ආදරය එදා වෙනකොට කොයි තරම් දුරට ඉතුරු වෙලා තිබුනද කියල මම කල්පනා කලා. හැබැයි ඉතින් ඔය වුන සිද්දිය නිසාම ඒ තාත්ත හොඳ සැමියෙක් නෙමෙයි, ඒ තාත්ත ඒ අම්මට ආදරේ නෑ කියල එක පාරට කියන්න බෑ.  නමුත් ඒ වෙලාවෙ ඒ තාත්තට දරුව ගැන තිබුන ආදරෙන් දහයෙන් එකක් වත් ඒ අම්ම ගැන තිබුන නම් කොච්චර හොඳද.

මට තේරෙන විදියට විවාහයෙන් පස්සෙ කාලයත් එක්ක ආදරය අඩු වෙන එක ලංකාවෙ ගොඩක් දුරට තියන දෙයක්. අනිත් රටවල් ගැන නම් කියන්න දන්නෙ නෑ. මම හිතන්නෙ නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ආදරය කරන කාලෙ නොතිබුන දාහක් ප්‍රශ්න බැන්දට පස්සෙ ඇති වෙන්නත් ගොඩක් වෙලාවට ඒක හේතු වෙනව. ආදරය කරන කාලෙ අනිත් කෙනාගෙ තියන අඩුපාඩු, නොගැලපීම් ආදරය නිසා ඉවසගෙන ඉන්නව. ඒත් බැන්දට පස්සෙ ඒ දේවල් නිසා මරාගන්න හදනවා. ඒ කියන්නෙ අර අඩුපාඩු, නොගැලපීම් වලට ඔරොත්තු දෙන්න හේතුවක් වුන ආදරය ඒ වෙනකොට නැති වෙලා ගිහින්. ඊට පස්සෙ ඉතින් ජීවිතේම ප්‍රශ්න තමයි. ඒ එක පැත්තක්. තව සමහර ජෝඩු ඉන්නව එහෙම රන්ඩු වෙන්නෙත් නෑ, හැබැයි තමන්ගෙ පාඩුවේ ඔහේ ඉන්නව. අනිත් කෙනා උන්නද මලාද කියල ගානක් නෑ. එහෙම ඉන්නනම් බැන්දෙ අපරාදෙනෙ. සමහර මිනිස්සු ඉන්නව, බඳින්නෙ නොබැඳ බැරි කමට. අම්මල තාත්තල කියන නිසා, එහෙමත් නැත්තන් බඳින එක සමාජයීය සාධකයක් නිසා තමයි ඒගොල්ලො බඳින්නෙ. එහෙම අයනම් අනෙ නොබැඳ ඉන්න එක හොඳයි තවත් කෙනෙක්ගෙ ජීවිතයක් නාස්ති කරන්නෙ නැතුව. තවත් සමහරු ඉන්නව බඳින්නෙ නීත්‍යානුකූලව ලමයෙක් හදා ගන්න විතරයි. එයාල වෙන කිසි දෙයක් විවාහෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපේ මාමත් එහෙම ඩයල් එකක්. ඒ කසාදෙ තියෙන්න නමට විතරයි.

ඔය ප්‍රශ්නෙම තව පැත්තක් තමයි ආදරේ තිබුනත් ඒක නොපෙන්වීම. ආදරේ කියන්නෙ පෙන්නන්න ඕන දෙයක්, දැනෙන්න දෙන්න ඕන දෙයක්. හිතේ තියාගෙන හිටියට වැඩක් නෑ. ආදරේ හිතේ තියගෙන නොපෙන්වා ඉන්න එකත් අනිත් පාර්ශවයට දැනෙන්නෙ ආදරේ නෑ කියන විදියටම තමා. සමහර මිනිස්සු මැදි වියට වගේ එනකොට හිතනව දැන් තරුණ කාලෙ වගේ ඉන්න ඕන නෑ, දැන් අපි වයසයි කියල. මගේ කනටම එහෙම කියනව ඇහිල තියනව. මම දකින විදියට ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ආදරේ කියන එක ජීවිත කාලෙටම එක විදියට තියෙන්න ඕන. මම ඒකෙන් කියන්නෙ නෑ හැමදාම අර ආදරේ කරන කාලෙ වගේ තුරුල් වෙලා උම්ම දිදී ඉන්න ඕන කියල. ළමයි ලොකු මහත් වෙනකොට අම්මල තාත්තලාට එහෙම හැසිරෙන්න බෑ නෙ. ඒවුනාට ආදරේ පෙන්නන්න ඕන තරම් ක්‍රම තියනව. එක වචනනෙකින්, කතා කරන ස්වරයෙන්, එක බැල්මකින්, හිනාවකින් ආදරේ කියන එක දැනෙන්න දෙන්න පුලුවන්. ඒකට වයස බේදයක් ඕන නෑ. 

අඹු සැමියො අතරෙ දුරස්ත බාවයක් ඇති වන තව කාරණයක් තමයි දරුවන් ලැබීම. ඒක හැමතිස්සෙම එහෙම නෑ. ඒත් සැලකිය යුතු ප්‍රතිශතයක් එහෙම වෙනව. ඊට පස්සෙ තමන්ගෙ දරුව තමන්ගෙ ජිවිතේ වගේ වෙනව, තමන්ගෙ සහකාරයට එච්චර කල් තිබුන තැන නැති වෙනව. එච්චර කල් ඇඟේ දැවටි දැවටි හිටපු ගෑනිට මිනිහ උන්නද මලාද කියල බලන්න වෙලාවක් නැති වෙනව. එච්චර කල් චාටු කතා කිය කිය හිටපු මිනිහ ගෑනිව අමතක කරල දරව එක්ක විතරක් හුරතල් වෙන්න ගන්නව. හිතන්නකො, එක දරුවෙක් ඉන්න පවුලකට අලුතෙන් දරුවෙක් ආවම ආදරේ අඩු වීම නිසා ලොකු දරුව මානසිකව වැටෙන වෙලාවල් තියනව නේද? ඒ විදියටම සැමියා හෝ බිරිඳටත් ඒ තරම් දරුණුවට නැතත් සුලු වශයෙන් හරි ඒ ප්‍රශ්නෙ ඇති වෙන්න පුලුවන් නේද? ඔය තැනදි නම් ඔය වැරැද්ද සාපේක්ෂව වැඩියෙන් වෙන්නෙ කාන්තා පාර්ශවයෙන්. අම්ම කෙනෙක් දරුවන්ට තියන අසීමිත ආදරෙත් එක්ක ඒක සාධාරනයි කියල කෙනෙක් කියන්න පුලුවන්. ඒත් මට හිතෙන්නෙ නම් ඒක තමන්ගෙ සැමියට කරන අසාධාරණයක් කියල. මන්ද මට හිතෙන විදිය කිව්වෙ.  මට කවද හරි දවසක එහෙම වුනොත් නම් ගොඩක් දුක හිතේවි. අනිත් අය නම් මේකට එකඟ වේවිද දන්නෙ නෑ, මම නම් හිතන්නෙ ඕනම කෙනෙක්ගෙ පළමු තැන ලැබෙන්න ඕන තමන්ගෙ සැමියාට හෝ බිරිඳට. ඊලඟට තමයි දරුවො. ජීවිතේ ඕනම කාලෙක තමන්ගෙ සැමියාට හෝ බිරිඳට තියන ආදරය සැලකිල්ල නොවෙනස්ව එකම විදියට තියනව නම් තමයි ඒ පවුල් ජීවිතය ගොඩක් ලස්සන වෙන්නෙ.   

පවුල් ජීවිතය තුළ ආදරය අඩු වීම තමයි දික්කසාද වලටත් ගොඩක් හේතු වෙන්න පුලුවන්. දෙන්නට දෙන්නගෙ ආදරයක් නැති වුනාම නැති ප්‍රශ්නත් ඇති වෙනව. මම කලින් කිව්ව වගේ අනිත් කෙනාගෙ වැරැද්දක් නොගැලපීමක් අමතක කරල ඒක යටපත් කරන්න තරම් ආදරයක් දෙන්න අතරෙ නැති වුනාම ඒක දික්කසාදයක් දක්වාම යන්න පුලුවන් ඉතින්. අනිත් එක බලන්න මැදිවියේ මිනිස්සු කොච්චර නම් අනියම් සම්බන්ධකම් පවත්වගෙන යනවද? ඇයි ඒ? ළමයි හදල අවුරුදු 15ක් 20ක් එකට ජීවත් වෙලා දැන් මොකටද තවත් කෙනෙක්ගෙ ආස්‍රයක් බලාපොරොත්තු වෙන්නෙ? අර මම කලින් කිව්ව වගේ කාලයත් එක්ක ඒ මිනිස්සුන්ගෙ පවුල් ජීවිත වල තිබුන ආදරේ නැති වෙලා ගිහින්. පවුල් ජීවිතයෙන් ඒ ආදරේ ලැබෙන්නෙ නැති වුනාම අලුත් තැනකින් ඒ ආදරේ ලබාගන්න පෙලඹෙනව. ඒ වැඩේ හරියි කියල කියන්න බෑ කොහොමවත්. මම ඒක සාධාරනීකරනය කරන්න හදනව නෙමෙයි. ඒත් ඉතින් අපි කවුරුත් පෘටහ්ජන (අකුරු හරිද මන්ද) මිනිස්සුනෙ. ඒ නිසා ඒ වගේ දේකට පෙළඹෙන්න ලොකු ඉඩක් තියනව. ඔය කිසි හේතුවක් නැතුව වලස්ත කමට ඔය වගේ වැඩ කරන ගෑණු පිරිමිත් ඕන තරම් ඉන්නව. උන් ගැන නෙමෙයි මේ කියන්නෙ.

ඉතින් මම හිතන විදියට නම් ආදරේ කියන එක හැමදාම නොවෙනස්ව හෝ තව තවත් වැඩි කරගෙන ජීවත් වෙන්න පුලුවන් නම් පවුල් ජීවිත වල ප්‍රශ්න ගොඩක් අඩු වේවි. ඒ වගේම හැමදාම බැඳපු අලුත වගේ සතුටින් ඉන්න පුලුවන් වේවි. අම්ම තාත්ත ආදරෙන් සතුටෙන් ඉන්නව නම් ඒක ළමයින්ටත් ලොකු මානසික ශක්තියක්. එහෙම නැතුව අම්මයි තාත්තයි දුරස් වෙලා හිටියොත් දරුවොත් ටික ටික ඒ දෙන්නගෙන්ම ඈත් වෙන්න පුලුවන්. අම්ම තාත්තගෙ බැඳීම ශක්තිමත් නම් පවුලෙ හැම බැඳීමක්ම ආරක්ශිතයි. 



 (මේක මට හම්බවුනේ facebook එකෙන්. මෙහෙම ඉන්න පුලුවන් නම් කොච්චර හොඳද නේද?)


ඔන්න ඔහොම තමයි ඉතින් කසුන්ට හිතෙන්නෙ. මේක කියවන අයගෙ අදහසුත් දැනගන්න මම කැමතියි. පුලුවන් නම් තමන්ගෙ අදහසත් කියල යන්න.

Friday, April 8, 2011

දරුවනි උඹලා මෙතරම් ගුණමකු වූයේ කෙසේද?

මා මේ ලිපිය ලියන්නේ තරමක් ආවේගයෙන් සහ කලකිරීමෙනි. මෙය පෝස්ට් එකක් දැමීමේ බලාපොරොත්තුවෙන් ලියන්නක් නොව හිතේ ඇතිවූ ආවේගයට හා කලකිරීමට ලියවෙන්නකි. මම අද ලොකු අම්මා සමග දානයකට සහභාගී වුනෙමි. ඒ වැඩිහිටි නිවාසයක දානයකටය.  එම වැඩිහිටි නිවාසය මගෙ නිවසට තරමක් ආසන්නයෙන් පිහිටා තිබුනේය. අප රාත්‍රී ආහරය රැගෙන යන විට ඔවුන් තැන් තැන් වලට වී අප එන තුරු බලාසිටියෝය. රෑ වුනු පසු රාත්‍රී ආහාරය ගෙන නින්දට යනු විනා කිරිමට කිසිත් ඔවුන්ට නැත. අප එහි ගිය පසු හැමෝම බුද්ධ පූජාව පිළිගැන්වීමට බුදු පහන අසලට රැස් වුනෝය. එහි වැඩිහිටියන් 30 දෙනෙක් සිටිති. බුද්ධ පූජාව නිමවූ පසු හැමෝම කෑම කාමරය දෙසට පිය මැන්නෝය. එහි බොහෝ තැන් වල කොට තාප්ප සහ අත් වැටවල් පිහිටා තිබුනේ දෙපා හරි හැටි වාරු නැති වැඩිහිටියන්ට වාරුවක් වන අටියෙනි. කෑම කාමරය  බිම් මට්ටමෙන් තරමක් පහලින් පිහිටා තිබූ බැවින් එයට පිවිසීමට පඩි පෙලක් බැස යා යුතුය. හැමොම ඉන් පහලට බැස ගත්තේ පඩි පෙලේ බිත්තියේ සවිකර තිබූ අත්වැටේ ආධාරයෙනි. ඔවුන් පහලට බැසීමට ගන්නා වෙහෙස තරමක් ඈතින් සිටි මට පැහැදිලිව පෙනුනි. කොහොමවත් පහලට බැසීමට නොහැකි සීයලා 6 දෙනෙක් එහි විය.  ඔවුන්ට කෑම බෙදා ඇඳ අසලට ගෙනවිත් දිය යුතු බව පාලකයා පැවසීය. හැමෝම කෑම කාමරයේ අසුන් ගත් පසු අපි කෑම බෙදන්නට පටන් ගත්තෙමු. තරමක් බරින් වැඩි වූ නිසා පරිප්පු භාජනය මට පැවරිනි. කෑම බෙදීමට පෙර කනවාදැයි අසා බෙදන ලෙස පාලකයා අපට උපදෙස් දුන් නිසා හැමෝගෙන්ම වෙන වෙනම අසා අවශ්‍ය තරමට පමණක් කෑම බෙදීමට අපි වග බලා ගත්තෙමු. ඔවුන් කෑම ගැනීම ආරම්භ කරන්නේ කෑම බෙදා අවසන් වී දානය දුන් අයට පින් දීමෙන්ද අනතුරුවය.

කෑම ගන්නා අතරතුර මම හැම කෙනාගේම මුහුනු දෙස පරීක්ෂාවෙන් බැලීමි. ඒ මුහුණු වල කිසිම හැඟීමක් සටහන්ව නැත. සතුටක් කියා දෙයක් ඇත්තේම නැත, දුකක්ද නැත. දුක යනු ඔවුන්ට බොහොමත්ම සාමාන්‍ය හැඟීමක් වෙන්නට ඇත. එම නිසා එය ඔවුන්ගේ මුහුණු වල කිසිත් සටහන් නොකරයි. කෑම ගන්නා අතරතුර වැරදීමකින් හෝ ඒ මුහුණක සිනාවක් මතු වේදෝයි මම විපරම් කළෙමි. එහෙත් මම අසාර්ථකය. හිස් බව විනා ඒ මුහුණු වල කිසිත් නැත. ඔවුන් කන අතරතුර අපි විටින් විට අඩු පාඩු අසා කෑම බෙදුවෙමු. අසුවොත් විනා බොහෝ දෙනෙක් අඩු පාඩුවක් තිබුනද නොකියති. කෑම කා අවසන් වූ පසු කැවිලි කීපයක් පිලිගැන්විනි. බොහෝ දෙනා එය පසුව කන්නට රැගෙන ගියෝය. ඉන්පසු ඔවුන් කෙලින්ම පියමැන්නෙ තමන්ගේ නිදන ශාලා වෙතටය. මා කලින් කිව්වා සේ කෑම කා නිදා ගනු විනා කිරිමට කිසිත් ඔවුන්ට නැත. කතා බහ කිරීමට දරු මල්ලන් නැත, සුරතල් කිරීමට මුණුබුරු මිණිබිරියන් නැත. ආච්චිලාගේ නිදන කාමර එක ශාලාවකත් සීයලාගේ නිදන කාමර තවත් ශාලාවකත් පිහිටා තිබුනි. ඔවුන් ඒ දෙස සෙමෙන් සෙමෙන් පිය මැන්නෝය. ඔවුන් බොහෝ දෙනා ශාලා දෙසට ගියේ "අපි යන්නම් පුතේ, බුදු සරණයි" කියාය. රැගෙන ආ භාජන නැවත අසුරා ගන්නා තුරු මම ඔවුන් දෙස බලා සිටියෙමි. ඒ මොහොතේ දහසක් දේ මා සිතට නැගෙන්නට විය.



ජීවිතේ අවසාන කාලය මෙසේ වැඩිහිටි නිවාසයක ගෙවන්න නම් ඔවුන් දුක් මහන්සි වී දරුවන් හැදුවේ කුමකටද? දස මසක් කුස දරා දරුවන් මෙලොවට බිහි කල අම්මාටත් නොවිඳිනා දුක් විඳ දරුවන් පෝෂණය කල තාත්තාටත් අවසානයේ හිමි වන්නේ වැඩිහිටි නිවාසයද? මිනිසුන් මෙතරම් ගුණමකු අසත්පුරුශයන් වූයේ කෙසේද? ඕනෑම අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවන්ට තම පණට වඩා ආදරේය. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඒ ආදරය දරුවන්ගෙන් අම්මලා තාත්තලාට ලැබෙන්නේ නැත්තේ ඇයිද යන්න ලොකු ප්‍රශ්නයකි. මෙය ස්වභාවධර්මයට වැරදුනු තැනක්ද? වැරැද්ද ඇත්තේ කොතන දැයි මට නම් හරි හැටි නොතේරේ.

සාරධර්ම, සංස්කෘතිය හා සිරිත් විරිත් උපරිමයෙන් රකිනවා යයි කියන ලංකාවෙ වැඩිහිටි නිවාස කොපමන ඇත්ද. දෙමාපියන්ට සැලකීම ඒ සංස්කෘතියට අදාල නොවේද? මෙම තත්ත්වය කෙසේ හෝ වෙනස් විය යුතුමය. හොඳින් කියා බැරි නම් නීති මගින් හෝ මෙයට පිලියමක් යෙදිය යුතුව ඇත. වැඩිහිටි නිවාස තුල ඔවුන්ට අවශ්‍ය හැම දේම තිබුනද එතැන එක අඩුවක් ඇත. ඒ සතුටයි. කොතරම් පහසුකම් තිබුනද සතුට කියන දේ ඔවුන් ලඟ නැත. එය රජයටවත්, වැඩිහිටි නිවාස වල පාළකයන්ට වත්, දානය ලබා දෙන අපිට වත් ලබාදිය නොහැක්කකි. එය ලබා දිය හැක්කේ ඔවුන්ගේ දූදරුවන්ටය. එහෙත් ඒ අමන දූදරුවන්ට එයට වෙලාවක් නැත්තා සේය. උන් උන්ගේ ලොක හදාගෙන දෙමාපියන් අමතක කර ඇත. 

මම කිසි විටෙක කිසිවෙකුටත් නරකක් වෙවා යයි ප්‍රාර්ථනා නොකරමි. එහෙත් මේ මොහොතේ නම් එය වෙනස්ය. මාගේ එකම ප්‍රාර්ථනය 'තම දෙමාපියන්ට සලකන්නේ නැති දරුවන්ට කිසි දාක හොඳක් නොවේවා, ඔවුන්ට ශාප වේවා' යන්නයි.

ඉතා වටිනා පින්කමකට සහභාගී වුවද මා නැවත පැමිණියේ හිතේ විශාල බරක් හිර කරගෙනය.


ප.ලි. දානය තිබුනෙ ඊයෙ. ඒත් මට ඊයෙ ලියල ඉවර කරගන්න බැරි වුනා. දැන් තමයි ඉවර කළේ.

Tuesday, March 22, 2011

වැරදුනු අනුපාතය හෙවත් මොරටුවේ අඳෝනාව.

දැන් කට්ටිය බලනවා ඇති මොකක්ද මේ වැරදුනු අනුපාතය කියල. මම මේ කියන්න යන්නේ මොරටුව කැම්පස් එක ගැන කතාවක්. මාත් ඉතින් ඔන්න ඕකෙ තමයි ඉන්නෙ. මොරටුව කැම්පස් එකේ අනුපාතය 2:1. ඒ කියන්නෙ කොල්ලො දෙන්නට එක කෙල්ලයි. ඔන්න ඔතනින් තමයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ. අපි පොඩි කාලෙ හිතන් ඉන්නෙ කොහොමද? කැම්පස් ගියාම හරි ජොලියෙ ඉන්න පුලුවන් කියලනෙ. ඒ මදිවට කොහොමද උසස් පෙල පන්තිවල සර්ල දෙන ටෝක්ස්? "මේ කාලෙ විතරයි මහන්සි වෙන්න තියෙන්නෙ. කැම්පස් ගියාට පස්සෙ කෙල්ලෙක් යාලු කරගෙන ෆුල් ජොලියෙ ඉන්න පුලුවන්". අනේ අමරුවෙන් මොරටුවෙ ආපු උන්ට නම් ඉතින් ඕව කතන්දර විතරයි. මෙහේ අනුපාතය එක කෙල්ලට කොල්ලො 2යි. ඒ කියන්නෙ සෑම කොල්ලො දෙන්නෙක්ගෙන්ම එක කොල්ලෙක් ඉන්නෙ අවදානම් කලාපයේ. ඇත්තම කියනව නම් ප්‍රායෝගික හේතු නිසා ඔය ප්‍රශ්නය ඔයිටත් වඩා බරපතලයි.  මෙහේ හරියන කෙල්ලෙක් හොයා ගන්නව කියන්නෙ chemistry වලට A එකක් ගන්නව වගේ වැඩක්. එහෙම සිලෙක්ට් වෙන කෙල්ලන්ට පුදුම ඉල්ලුමක් තියෙන්නෙ.  එතකොට ඉතින් තියන තරඟය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ.

(ඕක IT going down එකකට ගොඩ කැන්ටින් එකේ අලවලා තිබුන පෝස්ටර් එකක්. සැ.යු. මේකෙ 4වෙනි පේළිය නම් මම අනුමත කරන්නෙ නෑ.)

ඉතින් කෙල්ලෙක් දාගන්න ෆුල්ම ගේමක් දෙන්න ඕන. මෙහේ කොල්ලො පොළවෙ පස් කන්නෙ නැති එක විතරයි. ඒකටම හරි යනව මෙහෙ ඉන්න කෙල්ලො ටිකත්. ලේසියකට කැමැත්ත නම් දෙන්නෙ නෑ. කොල්ලව මරවල තමයි කැමතියි කියල කියන්නෙ. හෙනම ලොකු ලයින් එක. එක අතකට වැරද්දක් කියන්නත් බෑ ඉතින්. තියන ඉල්ලුමේ හැටියට කෙල්ලො එහෙම ලොකු වෙන එක ස්වාබාවිකයි. ඒ නිසා මෙහෙ රජ කරන්නෙ ස්වබාදහමේ ප්‍රාතමිකම නීතිය. ඒ කිව්වෙ ප්‍රබලයා විසින් දුබලයා පරාජය කිරීම. සුපිරි ඩයල්ස් කොහොම හරි කරල ඉතින් කෙල්ලෙක් සෙට් කරගන්නවා. අනේ ඉතින් අපි වගේ අඩු සුදුසුකම් තියන උන්ට දෙයියන්ගෙම පිහිටයි. ඔහේ හූල්ල හූල්ල ඉන්නවා ඉතින්, වෙන මොනව කරන්නද? අපි නම් කමක් නෑ කියමු, මෙහේ ඉන්න ඉන්ජන්ටවත් කෙල්ලෙක් සෙට් කරගන්න බෑ නෙ. උසස් පෙළදි ලෝකෙ නැති ගැටලු විසඳපු උනුත් මොරටුවෙ මේ ප්‍රශ්නෙ ඉදිරියේ අසරණයි. කොහොම හරි ඔය ප්‍රශ්න නිසා මෙහේ කොල්ලන්ගෙන් 2/3 කට වඩා තනිකඩ ජීවිතේ තමයි ඉතින්. අර පන්තිවල සර්ලට දෙකක් කියල එන්න හිතෙන්නෙ ඔය වෙලවට තමයි. 

                        (මේක library එකේ මේසෙක ටිපෙක්ස් වලින් ලියල තිබුන කවියක්.)

තාම කතාව ඉවර නෑ, තව තියනවා. අපි කියමුකො කොහොම හරි කොල්ලෙක් සෙට් කරගත්ත කියල. වැඩේ කියන්නෙ ඊට පස්සෙත් සමහර කෙල්ලන්ගෙ ලොකු ලයිල් එක නෙ. ඇයි ඉතින් කෙල්ල දන්නව කොල්ල කොච්චර උනත් ඉන්නෙ බයෙන් කියල. මොකද තියන තරඟෙත් එක්ක කොයි වෙලෙ වෙන කොල්ලෙක් කෙල්ලව ඩැහැ ගනීද කියල කියන්න බෑ නෙ. කෙල්ලො ඕක දන්න නිසා පුදුම විදියට ගනන් උස්සන්නෙ. අනේ ඉතින් ලෝකෙ නැති දුක් විඳල කෙල්ලෙක් දාගත්ත එකාට ඊට පස්සෙ වෙන්නෙ ඒකෙ ගෑස් බල බල ඉන්න.  



හැබැයි ඉතින් එහෙම කිසිම ලොකු ලයින් එකක් නැති, හොඳ කෙල්ලොත් මොරටුවෙ ඉන්නවා. ඒකත් කියන්න ඕන. කොහොම හරි ඉතින් ඔන්න ඕකයි මොරටුවෙ කතන්දරේ. දුක කියන්නෙ ඉතින් ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ මෙහේ විතරයි නෙ. පේර, ජපුර, රුහුණ ඔය වගේ කේස් එකක් නෑ නෙ. ඕක කාගෙ වැරැද්දද, වැරදුනේ කොතනද කියල නම් මම දන්නෙ නෑ. හැබැයි කෙල්ලන්ගෙන් ඉල්ලන්න තියෙන්නෙ අඩුගානෙ 1:1 අනුපාතයටවත් මොරටුවට සිලෙක්ට් වෙන්න ට්‍රයි කරන්න කියල. එතකොටවත් මෙහෙ කොල්ලන්ට සාදාරනයක් ඉෂ්ට වෙයි නෙ. දැන් බොලා හිතනව ඇති, මේව මට කෙල්ලෙක් නැති නිසා දුකට කියන කතා කියල. ඔව් ඉතින් ඒක තමයි ඇත්ත.

Monday, March 14, 2011

මට තේරෙන්නෙ නැති ආදරේ

ආදරේ ගැන නම් ඉතින් ගොඩක් අය කතා කරනවා නේද? කමක් නෑ මාත් ඒ ගැන මට හිතෙන දේ කියන්නම්. මොකද මටත් ඒ ගැන ගොඩක් අත්දැකීම් තියනවා. ඇත්තටම ඔය ආදරේ කියන වචනෙ නිර්වචනය කරන්න පුලුවන් ජගතෙක් නම් මේ ලෝකෙ නෑ. මොකද ඒක කෙනාගෙන් කෙනාට, අවස්තාවෙන් අවස්තාවට වෙනස් වෙනව. සමහර වෙලවට ඒක හරි බොළඳයි, වෙලාවකට හරි ගැඹුරුයි. ඒ ආදරේ හරි බොළඳයි, නැත්තන් ඒක මහ සීරියස් ලව් එකක් කියල අපි වෙලාවකට කියනව. ඒක ඉතින් එක එක්කෙනාගෙ විදිය. හැබැයි ඉතින් ආදරේදි ඕනවට වඩා බොළඳ වෙන එකයි ඕනවට වඩා සීරියස් වෙන එකයි හොඳ නෑ කියල මාත් පිළිගන්නවා. අපේ ගොඩක් අය ආදරේ කරන්න ගිහින් ඇන ගන්නවා. මාත් ඉතින් එහෙම දෙතුන්පාරක්ම ඇනගෙන තියනවා.

අපේ කට්ටියට ගොඩක්ම වරදින්නෙ තමන්ට හරි කෙනා තෝරගන්න බැරි එකෙන්. ඒකට ඉතින් ඇත්තටම වාසනාව තියෙන්න ඕන. අවුරුදු ගනන් ආදරේ කරල බැඳල දික්කසාද වෙන අයත් ඉන්නවා, බස් එකේදි නොම්මරේ දීල සෙට් වෙලා බොහොම හොඳට පවුල් කන අයත් ඉන්නවා. මම නම් හිතන්නෙ ඒව පෙර කල පින් අනුව තමයි වෙන්නෙ. මම නම් ආදරේ විඳල තියනවට වඩා ආදරේ නිසා විඳවල තියනවා. මම ආදරේ වෙනුවෙන් හැම දෙයක්ම කලා. ඒත් ඒ වෙනුවට මට ලැබුනෙ දුක විතරයි. එහෙම තමයි ඉතින්, කෙනෙක් ආදරේ නිසා සතුටු වෙද්දි තව කෙනෙක් විඳවනව. ඒකත් ඉතින් පින තමයි. කොල්ලෙක්ට හොඳ කෙල්ලෙක් ලැබුනොත් ඉතින් ඊට වඩා දෙයක් නෑ. චාටර් කෙල්ලෙක් ලැබුනොත් නම් ඉවරම තමයි. කෙල්ලන්ටත් ඉතින් ඒක එහෙමම වෙන්න ඇති. 


මෙහෙම කතාවක් අහල තියෙද?
"Love is the cure for every pain. But there there is no cure for the pain of Love"

ඒත් එහෙමයි කියල අපිට ආදරේ නොකර ඉන්න බෑ නෙ. ආදරේ කරන්න, ඒක අපිට අවශ්‍ය දෙයක්. හැබැයි ඒ ආදරෙදි ටිකක් ආත්මාර්තකාමී වෙන්න. තමන් ගැන මුලින් හිතන්න. ආදරේ, ජිවිතේ කරගන්න එපා. වෙන් වෙන්න පුලුවන් තරමට විතරක් ලං වෙන්න. කොයිතරම් ලඟින් හිටියත් දවසක ඒ ආදරේ අපිව දාල යන්න පුලුවන් කියල මතක තියාගන්න. එතකොට අපිට ආදරේ නිසා එච්චර විඳවන්න වෙන එකක් නෑ. දෙතුන්පාරක් ඇනගත්තට පස්සෙ මම හොඳටම තේරුම් ගත්ත දේ තමයි මම ඔය කිව්වෙ.

මේක මට facebook එකේ හම්බ වුන ෆොටො එකක්


















තව දෙයක් කියන්න ඕන, ආවට ගියට, කම්මැලිකම නැති වෙන්න, ආතල් එකට නම් කාටවත් ආදරේ කරන්න එපා. කාටවත් බොරු බලාපොරොත්තු දීල, හිත කඩන්න එපා. ඒක මහ ලොකු පවක්. තමන්ගේ ආදරේ නැති වුනාම කොච්චර දුක හිතෙනවද කියල දන්නෙ එහෙම දේකට මූන දුන්න කෙනෙක් විතරයි. මම ඒක ගැන හොඳටම දන්නවා. අනිත් එක ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලාට නම් කියන්න තියෙන්නෙ, ඉස්කොලෙ යන කාලෙ නම් ඔය විකාර කරන්න එපා. එහෙම කරපු අයගෙන් 99.99% කටම පාඩුවක් මිසක් කිසිම දෙයක් ලබුනෙ නෑ. අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. ඒවට කල් තියනවා, කලබල වෙන්න එපා.



මට අන්තිමට කියන්න තියෙන්නෙ මේක තමයි. මේකත් මට facebook එකෙන් ලැබුන ෆොටො එකක්.