ස්ට්‍රයික් එක නිසා විභාගේ කල් යනවලු..... එපා වෙනවා අලේ, දන්න මගුලක් ලියල ඕව ඉක්මනට ඉවර කරලා දාන්න පුළුවන් නම් හිතට නිදහස් නේ. විභාගේ කවද පටන් ගනීවිද කියන්න බැරි සීන් එකක් දැන් තියෙන්නේ. ඉතින් විභාගෙත් කල් යන එකේ මම හිතුවා යුගයේ දියාරුම ආදර කතාවේ තව කොටසක් කොටල දාන්න. අපරාදේ නේ නිකන් වෙලාව නාස්ති කරන්නේ.:) කලින් කොටස් බලනවා නම් මෙතනින් යන්න.
.....................................................................................................................................................................
කලින් කොටසේ කියපු විදියට කොල්ල සෑහෙන ලක ලෑස්ති වෙලා ගියා පළවෙනි වතාවට කල්පනාව මුණ ගැහෙන්න. බෝඩිමට ඇවිත් එයාට කතා කරලා එයා එහෙන් එනවා කියපු වෙලාව බලල තමයි මම බෝඩිමෙන් ගියේ. එයා කිව්වා කැම්පස් එක ළඟ ඉඳලා කොටුවට එන්න මෙච්චර වෙලාවක් යනවා කියලා, මම ඉතින් ඒ වෙලාවට හරි යන්න තමයි ගියේ. දැන් ඉතින් කොල්ල බස් එකේ යනවා. දෙහිවල හරියේදී විතර කෝල් එකක් එනවා, බලනකොට කල්පනා. මම බැලුවා එන්න එපා කියන්න වත්ද කියලා. බයෙන් සැකෙන් මම කෝල් එකට ආන්සර් කළා. එයා කිව්වා, "කසුන් මම කොටුවට ඇවිත් ඉන්නේ, ඔයා කොහෙද?" කියලා. හෑ, එහෙම වෙන්නේ කොහොමද? මම හරියට එයාට කැම්පස් එකේ ඉඳල මෙහාට එන්න යනවා කියපු වෙලාව බලල නේ ආවේ. එයා කියපු වෙලාවට වැඩිය විනාඩි 30ක් විතර කලින් එයා කොටුවට ඇවිත්. මම එයාට ඒක කිව්වා, නැත්තන් නිකන් මම පරක්කු වුනා වගේ නේ. එයා කිව්වා දුර යන බස් එකක් ඇවිත් ඒකෙ ආවේ, ඒ නිසා ගොඩක් කලින් ආව කියලා. ඊට පස්සේ මම කිව්වා මම තාම දෙහිවල කියලා. එයා කිව්වා හරි ඔයා එන්න මම බෝධිය ලඟට වෙලා ඉන්නම් කියලා.
දැන් ඉතින් මට හිතට අප්සට්. මගේ වැරද්දක් නැති වුනත් එයාට දැන් මම එනකල් බලාගෙන ඉන්න වෙනවා නේ ගොඩක් වෙලා. දැන් මට කලබලේ වැඩි කමට බස් එක නිකන් යන්නේ නෑ වගේ.:) මම නිකන් නලියනවා. කොහොමහරි ගෝල්ෆේස් එක හරියේදී ආයෙත් කල්පනාගෙන් කෝල් එකක් එනවා. මම ගත්ත ගමන් කිව්වා දැන් ගෝල්ෆේස් එක හරියේ කියලා. එයා ටිකක් විතර අප්‍රසාදෙන් කතා කළේ. යකෝ හරියට මගේ වැරද්දක් වගේ. එයා හරියට වෙලාව කියන්නේ නැතුව මම මොනවා කරන්නද. මම ඉතින් සද්ද නැතුව හිටියා හම්බවෙන පළවෙනි දවස නිසා.:) කොහොමහරි බෝධිය ලඟටත් ආව ඔන්න. මම බැහැල වටපිට බැලුවා එයා පේන්න නෑ. ඊට පස්සේ මම කෝල් එකක් දුන්නා එයාට. ඔන්න එතකොට අර බෝධිය ළඟ කඩ සෙට් එක අස්සේ ඉඳල එයා තව කෙල්ලෙක් එක්ක එලියට ආව. කවදාවත් හැබැහින් දැකලා නැති වුනත් දුර තියලම එක පාරින් එයාව අඳුර ගන්න පුළුවන් වුනා. කොල්ල ඉතින් හෙමින් හෙමින් ඒ පැත්තට කිට්ටු කළා.
මම එතනට ගියාට පස්සේ යාලුවා යන්න ගියා. එයා කිව්වා මගේ කිට් එක ලස්සනයි කියලා. ඊට පස්සේ අපි දෙන්න බස් තියන පැත්තට ඇවිදගෙන ගියා. පොඩි පොදක් වැටුනා ඒ වෙලාවේ. එයා කුඩේ එලියට අරගෙන දිග ඇරගත්තා. මම ඉතින් කුඩේ යටට යන්න ගියේ නෑ, මට කතා කළේ නෑ නේ. මම එහෙමම පොද වැටි වැටි ගියා. ඊට පස්සේ එයා මට කිට්ටු වෙලා මටත් එක්ක කුඩේ ඇල්ලුවා.
(මෙච්චර ලං වෙලා හිටියේ නෑ හොඳේ...:))
කිට් එක ලස්සනයි කිව්වට පස්සේ තාම අපි දෙන්න වචනයක් වත් කතා කළේ නෑ. මටත් කියන්න දෙයක් හිතාගන්න බැරුව හිටියේ. හැබැයි ඊට පස්සේ එයා කියපු දේ නිසා, අපි දෙන්න කතා නොකරම හිටිය නම් හොඳයි කියලා මට හිතුනා.
"අපිට දිගටම යාළුවො විදියට විතරක් ඉන්න බැරිද කසුන්?"
නිකමට හිතල බලන්න දාහක් බලාපොරොත්තු තියාගෙන පළවෙනි වතාවට කෙල්ලව හම්බවෙන්න ගියාට පස්සේ, උදේ පාන්දරම මෙහෙම කතාවක් කිව්වම මට කොහොම දැනෙන්න ඇද්ද කියලා. තත්ත්පර ගානක් යනකල් මට කියන්න දෙයක් හිතාගන්න බැරුව මම බලාගෙන හිටියා. මම බොහොම අමාරුවෙන් වචන ගැට ගහගෙන ඇහුවා "මෙච්චර දවසකට පස්සේ ඇයි ඔයා ඔහොම අහන්නේ?" කියලා. මට එයා දීපු උත්තරේ නම් දැන් මතක නෑ. කොහොමහරි එයා ගෙදරින් කැමති නැති කතන්දරේ නිසාලු එහෙම ඇහුවේ. ඊට පස්සේ කතා කරපුවා නම් මට මතක නෑ. කොහොමහරි ඉතින් එයා නොකෙරෙන පැත්තට කතා කරනකොට මම කොහොමහරි මේක කරමු කියන දේ තමයි කිව්වේ. ගෙදරින් කැමති නැති කතාවම තමයි එයා දිගටම කිව්වේ.
එයා ආයෙත් සරණි ගැනත් ඇහුවා. එයා ඇහුවා, "ඔයා ඔය තරම් සරණිට ආදරේ කළා නම් එච්චර ඉක්මනට එයාව අමතක කළේ කොහොමද?" කියලා. මම කිව්වා, "එයා මට අකමැති වුනේ මගේ පෙනුම නිසා නම්, තවත් මම එයාට ආදරේ කරලා තේරුමක් නෑ නේද" කියලා. ඊට පස්සේ එයා ඇහුවා "කවදාහරි මේ සම්බන්දෙ නවත්තන්න වුනොත් ඔයාට අර වගේම මේකත් අමතක කරලා හිත හදාගන්න පුළුවන් වේවි නේද?" කියලා. එයා නිකන් හින්ට් එකට වගේ ඒක ඇහුවේ. බොරු කතන්දර නැතුව මම ඇත්තම කතාව කිව්වා. "මෙහෙමයි, ඔයා මට ආදරේ කරන තාක් කල්, මාත් එක්ක ඉන්න තාක් කල් මට මේ සම්බන්දෙ වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්, හැබැයි එහෙම නැති වුන දවසට නම් මට මුකුත් කරන්න බැරි වේවි." (වචන බර වැඩිද මන්ද.:) මට මතක විදියට මම ඔය වචන ටික ඔහොමම තමයි කිව්වේ.) ඊට පස්සේ එයා මෙහෙම කතාවක් කිව්වා.
"අපි පුළුවන් තරම් කල් මේ සම්බන්දෙ තියාගමු."
මට අදටත් හිතාගන්න බෑ එයා මොනවගේ අදහසකින්ද ඒක කිව්වේ කියලා. කොහොමහරි ඊට පස්සේ මම එයාට හච් සිම් එකයි, ගෙනාපු DVD දෙකෙන් එකකුයි දුන්නා. DVD දෙකම දුන්නේ නෑ, දැනට එකයි දෙන්නේ ඊළඟ පාර හම්බවුනාම අනිත් එක දෙන්නම් කියලා මම කිව්වා.:) කොහොමහරි එයා බහින තැනටත් ආව. එයා දැන් බය වෙලා කියලා මට හොඳට තේරෙනවා. එයා කිව්වා "අනේ කසුන් ඔයා ඊළඟ හෝල්ට් එකෙන් බහින්න, මම බහින තැන බහින්න එපා" කියලා. මට පරෙස්සමින් යන්න කියලා එයා බැහැල ගියා. මම ඊළඟ හෝල්ට් එකෙන් බැහැල එතනම තිබුන කඩේට ගියා මොනවා හරි බොන්න. මගේ තොල කට වේලිලා තිබුනේ.:) ඊට පස්සේ මම රෝල් එකක් කාල, බීම එකක් බීල ආයෙත් කොටුවට එන බස් එකකට නැග්ගා.
එයා ගෙදර ගියා කියල මැසේජ් එකකුත් ආව. මම එහෙමම ගෙදර යන්න බලාගෙන නේ ආවේ, මම බස් එකට නැගල වාඩි වෙලා සෑහෙන කල්පනා කළා එදා දවසේ වුන දේවල්. මට ඇත්තටම ඉස්සරහට මොනවා වේවිද කියලා හිතාගන්න බැරිවුනා. හැබැයි එක දෙයක් මට හොඳටම පැහැදිලියි, මේ සම්බන්දෙට මම හිතපු තරම් ලස්සන අනාගතයක් නෑ කියන එක. මම හිතා ගත්තා මොන දේ වුනත් මම ඒ හැම දෙකටම මූණ දෙනවා කියලා. මට ඒ වෙලාවේ මහන්සියත් එක්ක නිකන් අඩ නින්දේ වගේ හිටියේ. බස් එක ස්ටාර්ට් කරලා පොඩි දුරක් යනකොට මැසේජ් එකක් එනවා දැනුනා. බලනකොට කල්පනාගෙන්. මැසේජ් දෙකක් තියනවා. මගුලයි, පළවෙනි එක ඇවිත් විනාඩි 5ක් විතර වෙනවා. දෙවැනි එක තමයි ඒ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ඩෙනිමක සාක්කුවේ ෆෝන් එකක් දාගෙන එන්නකොට වයිබ්‍රේට් වුනාම ටක් ගාල දැනෙනවා නේ. ඒත් කොහොමහරි මට කලින් එක එනවා දැනුනේ නෑ. පළවෙනි එකේ තිබුනේ ඔයා දැන් කොහේද කියල අහල. එකට රිප්ලයි නැති නිසා දෙවනි එක දාල තියෙන්නේ, "ඇයි රිප්ලයි කරන්නේ නැත්තේ, ඔයා දැන් කොහේද ඉන්නේ" අහල.
මම කල්පනා කළා දැන් මේකට රිප්ලයි කලොත් පළවෙනි මැසේජ් එක ගණන් ගන්නේ නැතුව ඉඳල දෙවනි එක ආවට පස්සේ රිප්ලයි කළා වගේ වෙනවා නේ. පළවෙනි එක දැනුනේ නෑ, දෙවනි එක දැනුනේ කියන එක ඉතින් ඇත්තටම පිළිගන්න අමාරුයි නේ. ඒ නිසා මම හිතුවා නින්ද ගිහින් වගේ ඉඳලා තව ටිකකින් මැසේජ් කරනවා දැන් මැසේජ් දෙක දැක්කේ කියලා. කොහොමහරි ඉතින් ඒ වෙලාවේ මගේ ඔලුවට ආවේ එහෙමයි. එහෙම හිතල ටික වෙලාවක් ඉන්නකොට මෙන්න තවත් මැසේජ් එකක් ආව. අම්ම ගහනවා දැන් බැට් එකෙන්. දැන් නම් ඉතින් කොහොමවත් එවෙලේ රිප්ලයි කරන්න බෑ නේ. ඊට පස්සේ තවත් ටික වෙලාවක් බලාගෙන හිටියා. වාසනාවට ආයෙත් මැසේජ් එකක් ආවේ නෑ. ඊට පස්සේ ටික වෙලාවකින් මම මැසේජ් එකක් දැම්මා, මට නින්ද ගිහින් හිටියේ දැනුයි මැසේජ් තුන දැක්කේ. මම දැන් අහවල් හරියේ ඉන්නේ කියලා. ම්හු.... සද්දයක් නෑ. මට හිතුනා මල පැනලා වෙන්න ඇති කියලා. මම ඒ පාර ආයෙත් මැසේජ් එකක් දැම්මා ඇයි සද්ද නැත්තේ කියලා. ඒත් සද්දයක් නෑ. මම කිව්වේ බොරුවක් වුනාට ඒක බොරුවක් කියලා එයාට කොහෙත්ම හිතෙන්න විදියක් නෑ. එයත් දන්නවා මම එදා දෙතුන් පාරක් එහෙමහේ ගිහින් මහන්සි වෙලා ඉන්නේ කියලා. එහෙනම් ඇයි මෙච්චර තරහ ගිහින්???
ටිකකින් මම ආයෙත් මැසේජ් එකක් දැම්මා, "ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ, ඇයි කතා කරන්නේ නැත්තේ? මොකක්ද වුන ප්‍රශ්නේ?" කියල අහල. ඔන්න ඊට පස්සේ මැසේජ් එකක් ආව. හැබැයි ඒක එච්චර ලස්සන මැසේජ් එකක් නෙමෙයි.
[ඔයා පරෙස්සමින් යන්න කසුන්. ගිහිල්ල මට මැසේජ් එකක් දාන්න.]
ඔච්චරයි කියලා තිබුනේ. දැන් ඉතින් මට හිතාගන්න බෑ මොකද වෙලා තියෙන්නේ කියලා. මම ඊට පස්සෙත් මැසේජ් කළා. හැබැයි ඒවාට රිප්ලයි නම ආවේ නෑ. මම දැන් කරකවලා අත ඇරියා වගේ. ඔච්චර මල පනින්න තරම් දෙයක් වුනේ නෑ නේ. එදා දවසේ වුන දේවලුයි ඊට පස්සේ ඔය සිද්ධියත් එක්ක මට ඉතින් පිස්සුව වගේ. පස්සේ මාත් නිකන් හිටියා. එහෙම බලහත්කාරෙන් මැසේජ් කරන්න ඕන නෑ නේ ඉතින්. කොහොමහරි මම ගෙදරටත් ගියා. ගිහින් මැසේජ් එකක් දැම්මා මම ගෙදරට ආව කියලා. ඒත් සද්දයක් නෑ. මම ඉතින් ඊට පස්සේ ආයෙත් මුකුත් කියන්න ගියේ නෑ. මට කිව්වේ ගියාම කියන්න කියලනේ, මම ඒක කිව්වනේ, ඒ ඇති. මම එදා සෑහෙන හිතේ අමාරුවෙන් නිදා ගත්තේ. එයාට එක පාරට මොකද වුනේ කියල මට හිතාගන්න බෑ. ගොඩක් දවස් බලාගෙන ඉඳලා, ජීවිතේ ලස්සනම දවස වෙයි කියල හිතාගෙන හිටපු දවස අන්තිමට ගෙවිල ගියේ මහා දුකකින්.
ජීවිතේ මහ පුදුමයි නේද? සතුට දුක කියන හැඟීම් දෙක අතරේ තියෙන්නේ කොයිතරම් පොඩි පරතරයක්ද?
...................................................................................................................................................................
කල්පනා.....................
ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......
කල්පනා (V කොටස)
ළඟදීම....!
:D :D :P :P