twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න
Showing posts with label ප්‍රබන්ධ. Show all posts
Showing posts with label ප්‍රබන්ධ. Show all posts

Saturday, March 17, 2012

තවත් එක් (කෙටි) කතාවක්




හිරුගේ තද හිරු රැස් පහව ගොස් පරිසරය සෞම්‍ය ස්වභාවයක් ගනිමින් සිටියේය. එහෙත් ඒ සෞම්‍ය බව විඳ ගැන්මට තරම් මා වාසනාවන්තයෙක් නොවීය. දින ගණනක් අතු නොගෑ මිදුල, උසට වැවී තිබුණු තණකොළ, වියලී ගිය මල් ගස්, මවා පෑවේ අත්හැර දැමූ නිවසක අකාරයක්ය. දින ගණනක් පුරාවටම අවට නිවෙස් වලින් තම ආහාර වේල සපුරා ගත් ටිකිරා ඒ ගැන කිසිදු තරහක් ඇති කර නොගෙන තවමත් ගේට්ටුව අසලට වී වත්ත මුර කරයි. වැට අයිනේ ඇති අඹ ගහ මුළුමනින්ම මියගොස් ඇත්තේය. එහි දිරාගිය සැකිල්ල මතට වී සති ගණනක් පුරාවට සිටින කාක්කා දෙස මම බලා සිටියෙමි. අඹ ගෙඩියක් තබා කොළයක් වත් නැති ගස මතට වී ඌ නිසොල්මනේ සිටියි. 

"පුතේ...."

මම අම්මාගේ හඬින් අවදි වී ගෙතුලට ඇදුනෙමි. ඇඳ අසල ඇති මේසය අල්ලාගෙන ඇය වම් ඇලයට හැරෙමින් සිටියාය.

"ඇයි අම්ම හැරෙන්න හදන්නේ?"

"එකම විදියට ඉන්න බෑ දරුවෝ."

මම ඇයට හැරෙන්නට උදව් කර ඇඳ අසල තබාගෙන තිබූ බැංකුවෙන් වාඩි වුනෙමි.

"ඇයි අම්ම කතා කළේ?"

"අර දරුවා තාම ආවේ නැද්ද පුතේ?"

"තාම නෑ අම්මේ, මම දැන් කතා කරනකොට බස් එකෙන් බහින්න හදන්නේ කිව්වා. දැන් ඒවි."

"හ්ම්ම්...."

"දැන් ඇයි අම්ම නිශාට එන්න කියන්න කිව්වේ? ඔන්න ආයෙත් එයා එක්ක රණ්ඩු වෙන්න නම් හදන්න එපා හොඳද."

"පිස්සුද දරුවෝ, මැරෙන්න වැටිලා ඉන්න මම මොකටද තවත් රණ්ඩු වෙන්නේ. පුතා බය නොවී ඉන්නකෝ."

මා මේ සිටින්නේ අවුරුදු විසි හතක් මා රැක බලාගත් මගේ අම්මාගේ මරණ මන්චකයේය. වෛද්‍යවරුන්ට අනුව ඇයට තවත් දින දෙක තුනකට වඩා ජීවත් වීමට අවස්ථාවක් නැත. තරුණ කළ අධික ලෙස වෙහෙස වී ඇති නිසා ඇගේ සිරුර ඉතා දුර්වල බවත්, එම නිසා තව දුරටත් ඖෂධ ලබා දීමෙන් ඇගේ මරණය ඉක්මන් විය හැකි බවත් වෛද්‍යවරුන් පැවසුවෝය. තවදුරටත් කළහැකි කිසිත් නැතැයි ඔවුන් පැවසුවෝය. එසේ කියා ප්‍රතිකාර නවතා අම්මාගේ ටිකට් කැපුවේ මීට දින හතරකට පමණ ඉහතදීය. වාට්ටුවෙන් පැමිණෙන වෙලාවේ එහි සිටි වෛද්‍යවරයා මගේ කරට අත දමා පැවසූ වදන් තවමත් මගේ කන් වල දෝංකාර දෙයි.

"පුතා අම්මව සතුටින් තියන්න. එයාට තව වැඩි දවසක් නෑ."

තාත්තාගේ හදිසි වියෝවෙන් පසු අක්කාත් මාත් උස් මහත් කිරීමට අම්මා නොවිඳිනා දුක වින්දාය. අපේ සියලුම අවශ්‍යතා සපිරුණේ අම්ම කුලී වැඩ කර උපයාගත් මුදලිනි. දෑසින් වැටෙන කඳුළු සඟවා ගැනීමට මම ඇඳ මතින් හිස තබා ගත්තෙමි. අපහසුවෙන් ඔසවාගත් සුරතින් ඇය මගේ හිස පිරිමදින්නට විය. ඒ සුවය මා වින්දේ බොහෝ කලකිනි. ඇය යමක් කියන්නට වෙර දරන බවත් එහෙත් ඇය ගොළු වී ඇති බවත් මට හැඟිනි.

"සුරංග! සුරංග!!"

"අන්න අම්මේ නිශා ඇවිත්."

"අනේ පුතේ ඒ දරුවව එක්කන් එන්න."

මා කාමරයේ සිට ගේ ඉදිරිපසට ඇවිද ගියේ තරමක් චකිතයකින් යුතුවය. හිසේ කෙස් ගාණටත් වඩා මෙහි පැමිණ ඇති නිශා අවසන් වතාවට මෙහි පැමිණියේ මීට වසර තුනකට පමණ ඉහතදීය. ඒ අම්මා ඇයට බැන එලවාගත් දවසේය. සුපුරුදු ලෙන්ගතු සිනාවෙන්ම මුව සරසා ගත් ඈ දොර අසල සිටගෙන සිටියාය. ඒ සිනාව යට සැඟවුණු වේදනාව මට නොපෙනුනාම නොවේ. මා මද වේලාවක් නිසලව ඈ දෙස බලා සිටියා විය යුතුය.

"කොහොමද නිශා? එන්න ඇතුලට."

"වරදක් නෑ සුරංග. ඔයාට කොහොමද? ඔයා ඇදිල ගිහිල්ල." ඈ පැවසුවේ වේදනාත්මක ස්වරයෙනි. මා ඊට සිනහවකින් පමණක් පිළිතුරු දැක්විය.

"අම්මගේ තත්ත්වේ කොහොමද සුරංග?"

"තව දවස් දෙක තුනකට වඩා ජීවත් වෙන එකක් නෑ කියල ඩොක්ටර්ස්ලා කියන්නේ නිශා."

මගේ  මුහුණ දෙස බලා සිටියා විනා ඇය කතා නොකලාය.

"අපි යමු නිශා, අම්ම ඔයා එනකල් මග බලාගෙන ඉන්නේ."

"ඇයි සුරංග අම්ම මට එන්න කිව්වේ?"

"අනේ මන්ද නිශා, ඇහුවට කියන්නේ නෑ."

"මට ආයෙත් බනීවිද දන්නේ නෑ නේද?" ඈ බොහොම ආයාසයෙන් මුහුණට සිනාවක් ආරූඪ කරගත්තාය.

"නෑ නෑ, බනින්න නම් නෙමෙයි කිව්වා." මා එසේ කීවද හිත යට පොඩි බයක් නොතිබුනාම නොවේ. කුමක් වෙන්න යනවාදැයි මට කිසිම  අදහසක් නොවීය. 

නිශා දුටු විට අම්මාගේ මුහුණේ ඇතිවූ ඉරියව් වෙනස මම හොඳන් බලාසිටියෙමි. පසුගිය කාලයේ ඇයට තදින්ම වෛර කල අම්මා ඈ දුටු විගස බොහොම ආදරෙයෙන් සිනහසීම මට මහත් ප්‍රහේලිකාවක් විය.

"අම්මට කොහොමද අම්මේ?" නිශා වෙනදා මෙන්ම අදත් කටපුරා අම්මා කියා ඇයව ඇමතුවාය.

"මගේ ලඟට එන්න දුවේ."

නිශා බෑගය ඇඳ උඩින් තබා බංකුවේ වාඩි වූවාය.

''ඉන්න නිශා මම පුටුවක් ගේන්නම්.''

''එපා එපා සුරංග, මෙහෙම හොඳයි.''

අම්මා කීමට යන දේ දැන ගැනීමේ අටියෙන් මාද උලුවස්සට හේත්තු විය.

''දූ දැන් මොනවද කරන්නේ?''

''මම මැනේජ්මන්ට් කෝස් එකක් කරන්න පටන් ගත්තා අම්මේ. තව මාස දෙකකින් ඒක ඉවරයි.''

''හ්ම්ම්... දූ තාමත් මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ?''

''අනේ නෑ අම්මේ, එහෙම දෙයක් නෑ.''

''මගේ අතින් ලොකු වැරැද්දක් වුනා දරුවෝ. ඔය දෙන්නව වෙන් කරල මම මහ පාපයක් කරගත්තෙ.''

එවර නිශා නිහඬය. ඈ බිම බලාගෙන සිටින්නීය.

''මම දූට එන්න කිව්වෙ ඒ වැරැද්ද හරි ගස්සන්න.''

මට මගේ කන් අදහා ගත නොහැකි විය. මා නිශා දෙස බලද්දී ඈද මා දෙස පුදුමයෙන් බලා සිටියාය. මට ඇසුනු දේ ඇයටද ඇසුනා විය යුතුය.

''මොකද දෙන්නම බය වෙලා? මම මේ ලෙඩ විකාරෙන් කියවනව නෙමෙයි.'' ඈ පැවසුවේ සිනා සෙමිනි. එහෙත් ඒ සිනහව පැවතියේ මොහොතකි.

''පොවපු කිරි වලට මම ලොකු වන්දියක් ඉල්ලුවා දරුවෝ. මට මගෙ දරුවගෙ සතුටට වඩා කෙහෙල්මල් කුලේ ලොකු වුනා. මට දැන් මගෙ ගැනම ලැජ්ජයි දරුවෝ.''

''අනේ එහෙම කියන්න එපා අම්මේ. මෙයයි අක්කයි වෙනුවෙන් අම්ම විඳපු දුක අපි දන්නවනේ. අම්මා ගොඩක් ආඩම්බර වෙන්න ඕන තාත්ත කෙනෙක් නැතුව ළමයි දෙන්නෙක් මෙච්චර තැනකට ගෙනාවට.''

''මැරෙන්න වැටිල ඉන්නකොට තමයි දුවේ හැම දේම තේරෙන්නේ. මම මෙච්චර කාලයක් කර උඩ තියාගෙන හිටියේ කොච්චර වැදගැම්මකට නැති දෙවල්ද කියල දැනුයි මට තේරෙන්නේ. මම මගෙ දරුවගෙ ජීවිතේ විනාස කලා. මගෙ දරුවගෙ විතරක් නෙමෙයි දූගෙ ජීවිතෙත් මම විනාස කලා. දැන් අවුරුදු තුනක් වෙලත් තාමත් අපේ එකා දූ ගැන මතක් කර කර විඳවනවා. මම හොඳටම දන්නවා දූත් එහෙමයි කියලා. මම දූගේ විස්තර ඔක්කොම දන්නවා. පරක්කු වෙලා හරි දැන් මට ඒ වැරද්ද හදන්න ඕන දුවේ.''

හැඬුම් අතරින් අම්මා කතා කරද්දී නිශා කඳුලු පිසදාගනු බොඳවූ දෑස් තුලින් මම දුටුවෙමි.

''තාමත් ඒ වැරැද්ද හරිගස්සන්න පුලුවන් නේද දුවෙ?''

වචනයක් වත් කතා කරගැනීමට නොහැකි වූ නිශා හිස සැලුවාය. අම්මාගේ මුහුණේ ඇති වූ සිනහව තුළ කොයිතරම් සතුටක් ගැබ්ව තිබුනාද යන්න මට මිනිය නොහැකි තරම් විශාල විය.

"මට දැන් සැනසිල්ලේ ඇස් දෙක පියාගන්න පුළුවන් දුවේ."

"අනේ මගේ කොල්ලව හොඳට බලාගන්න දුවේ. මේ පිස්සට කවුරුහරි ළඟ නැත්තන් මුකුත් කරගන්න බෑ."

"හරි අම්මේ, මම අම්මට පොරොන්දු වෙනවා මම සුරංගව අම්ම බලාගත්ත වගේම බලාගන්නවා කියලා."

තවදුරටත් ඒ කතාවට සවන් දීමට තරම් ශක්තියක් නොතිබූ නිසා මම ඉස්තෝප්පුව දෙසට ඇදුනෙමි. හාන්සි පුටුවට බරවූ මාගෙ ඇස් ඉදිරිපිට, අතීතය පොතක් මෙන් දිගහැරෙන්නට විය. නිශා කුඩා කල පටන්ම මාගෙ හොඳම මිතුරියයි. සැපේදී මෙන්ම දුකේදීත් එක මෙන් ලඟ සිටි අතලොස්සෙන් කෙනෙකි ඈ. අප කෙමෙන් තරුණ වියට එලඹෙද්දී ඒ යාලුකම යාලුකමකට එහා යෑම අපට වැලැක්විය නොහැකි වූවා මෙන්ම එය වැලැක්වීමට අපට වුවමනාවක්ද නොවීය. පරිපූර්ණ නොවූ මිනිසුන් අතර පරිපූර්ණ බැඳීම් ඇති විය හැකිය යන්නට අප දෙදෙනා තරම් උදාහරනයක් තවත් නොවීය. එහෙත් අපි එතරම් වාසනාවන්ත නොවීමු. අපේ සම්බන්දයට නිශාගේ ගෙදරින් ආශිර්වාදය ලැබුනත් මගේ අම්මා ඊට තදින්ම විරුද්ධ විය. හේතුව වූයේ කුල ප්‍රශ්නයයි. අම්මාට අනුව ඇයගේ කුලය අපිට කිසිසේත්ම නොගැලපෙන්නේය. අම්මාගේ දෙවනි දියනිය ලෙස අම්මා සැලකූ නිශා අම්මාගෙ පරම සතුරෙකු බවට පත්වූයේ එලෙසිනි. අම්මාගෙ කැමැත්ත ගැනීමට ඇය නොකල දෙයක් නැත. අම්මාගෙ දැඩි විරුද්ධත්වය නිසා පසුකාලීනව නිශාගේ දෙමවුපියන්ද අපේ සම්බන්ධයට විරුද්ධ වුවත් ඇය කිසි විටෙක උත්සාහය අත්නොහලාය. මම මානසිකව වැටෙද්දී ඇය නිරතුරුව මාව ශක්තිමත් කළාය.

මීට වසර තුනකට පමන පෙර ඇය අවසන් වතාවට මෙහි පැමිණි දිනය මට සිහි වෙයි. ඇය එදා පැමිණියේ අම්මා සමග කතා කර කෙසේ හෝ අප දෙදෙනාගේ සම්බන්ධයට අවසර ලබා ගැනීමේ අටියෙනි. එහෙත් සිදුවූයේ අනෙකකි. අප කෙතරම් කරුණු කිව්වත් අම්මාගේ අදහස බිඳකුදු වෙනස් නොවීය. අම්මා ඇයට හොඳටම බැන වැදුනාය. නිශා පරාජය බාර ගත්තේ අම්මාගේ තර්ජනයක් හමුවේය.

''නිශාදී, මේක හොඳට අහගනින්. හැබයි උඹ මගේ කොල්ලගෙ ඇඟේ එල්ලුනොත් අම්මපා මම වහ බොනවා. මගේ මිනිය උඩින් තමයි උඹට මේ ගෙදරට එන්න වෙන්නේ.''

නිශා තවත් වචනයක් වත් කතා නොකලාය. ඇය පිස්සියක් මෙන් හඬමින්ම දිව ගියාය. සියල්ල අවසන මට තීරණයක් ගැනීමට සිදුවිය. මම අවසන් වතාවට ඇය හමුවීමට ගියෙමි. ඇය මා කී හැම දෙයක්ම තේරුම් ගත්තාය. ඈට මාව අම්මාගෙන් දුරස් කිරීමට කිසිම උවමනාවක් නොවීය. ඈ හැමවිටම ඇගේ සතුටට වඩා සැලකුවේ මගේ යහපතයි. ඈ මට යන්න අවසර දුන්නත් මා ඈ එහි තනිකර එන්න හදද්දී ඈ නැවතත් මගේ අතේ එල්ලී හඬන්නට වූයේ මොනම හේතුවක් නිසාවත් ඈට මා අමතක කර හිත හදාගැනීමට නොහැකි නිසා විය යුතුය. ලෝකයම අහිමි වූවා සේ ඈ හඬද්දී මා ඇය එහි තනිකර දමා ආවේ කෙසේදැයි මට අදටත් සිතගත නොහැක.

අපේ ජීවිත මහ පුදුමාකාරය. වරක් අම්මා නිසා නිසා මම පනටත් වඩා ආදරය කල නිශාව නැති කරගැනීමට මට සිදුවිය. දැන් මා ජීවිතයේ වැඩියෙන්ම ආදරය කළ පුද්ගලයා වන අම්මා මාව හැරයන්නට සැරසෙන අතර ඇය නැවත නිශා සහ මාව එක් කර ඇත. දරාගත නොහැකි දුකකුත් එවැනිම සතුටකුත් අතර මගෙ සිත දෝලනය වෙයි.

''මම් එහෙනම් ගිහින් එන්නම් සුරංග.''

ඈ මාගේ ලඟට එන තුරුම මම ඇයව නොදුටුවෙමි. මෙතරම් කලක් අවදියෙන් සිටින විට සිතින් මවාගත්, නින්දේදී සිහිනෙන් දුටු ඒ රුව දැන් මා අභියසම ඇත. ඒ රුව දැන් නැවතත් මාගේමය.

''සුරංග?''

මා කිසිත් නොකියා ඇය දෙස බලා සිටි නිසා ඇය නැවත මා ඇමතුවාය.

''ආහ්... හරි නිශා, පරෙස්සමින් ගිහින් එන්න. ගිහින් මට කියන්න.''

''සුරංග, මට ඔයට දෙයක් කියන්න තියනවා.''

''කියන්න නිශා.''

''සුරංග, .....''

ඇගේ කතාවට බාධ වූවේ ඇගේ ජංගම දුරකථය නාද වූ බැවිනි.

''හෙලෝ මහෙශ්!''

''මම සුරංගගෙ ගෙදර ආව පොඩ්ඩකට.''

''ඔව් ඔව් එයා තමයි.''

''මම ඇවිත් කියන්නම් මහේශ්.''

''නෑ නෑ ඔයා ඉන්න මහේශ්. මම දැන් එන්න හදන්නෙ.''

''හරි, බුදු සරණයි.''

"කවුද නිශා?"

ඇය ජංගම දුරකථනය බෑගයට දමා නිහඬව බිම බලා සිටියාය.

"ඇයි නිශා, මොකද? කවුද ඒ කතා කළේ?"

"ඒ මම බඳින්න ඉන්න කෙනා සුරංග."

හිරු බටහිර අහසේ මුළුමනින්ම සැඟව ගොසිනි. වේගයෙන් හමන සුළඟ පරිසරය තව තවත් වියලි කරවන්නට විය. ටොමියා බඩගින්නේ කෙඳිරිගානු ඇසෙයි.

"දැන් සති දෙකකට කලින් මේක තීන්දු කළේ සුරංග. අම්මයි තාත්තගෙයි බලකිරීම ඉවසන්නම බැරි තැන, එයාලට තවත් බරක් වෙන්න කැමති නැති නිසා මම අන්තිමට කැමති වුනා. තව මාස තුනකින් වෙඩින් එක. අනේ අම්මට කියන්න එපා සුරංග. අම්ම ගොඩක් සතුටෙන් ඉන්නේ. මේක දැනගත්තොත් එයාට දරාගන්න බැරි වෙයි."

මා ඔලුව වැනුවා මට මතකය.

"අනේ මට දුක ඔයා ගැන සුරංග. අම්මත් නැති වුනාම ඔයාව බලාගන්නේ කවුද?"

කඳුළු සඟවන්නට ඈ ඉවත බලාගත්තත් එහි පලක් නොවීය. නොකඩවා වැටෙන කඳුළු බිඳු අතරින්ම ඈ යලිත් මා දෙස බැලුවාය.

"මට පොරොන්දු වෙන්න සුරංග ඔයා හැම දේම හොඳින් කරගෙන ලස්සනට ජීවත් වෙනවා කියලා."

ඇය මගේ අත ගෙන ඇගේ හිස මත තබාගත්තාය. මා නැවත ඔලුව වැනුවා විය යුතුය. ඇය ඇගේ ලේන්සුවෙන්ම මගේ කඳුළු පිසදා මගේ හිස අතගෑවාය. ඒ නම් නිසැකවම අවසාන වතාවමය.

"මම යන්නම් සුරංග, මහේෂ් අපේ ගෙදර ඇවිත්."

පොද වැටෙමින් තිබුණු නිසා නිශා කුඩයත් ඉහලගෙනම එලියට බැස්සාය. අන්දර වැට අතරින් ඈ නොපෙනී ගියේ අවසාන වතාවට බව දැන් මා හොඳින්ම දනී. දිරා ගිය අඹ ගස මත සිටි කාක්කා තවමත් එලෙසමය. ලෝකයම මොහොතින් මොහොත වෙනස් වුවත් ඌ තවමත් එතැනමය.

අම්මා කහිනු ඇසී මම නැවතත් කාමරය දෙසට ඇදුනෙමි.
...............................................................................................................................................................

ආදරය යනු ජීවිතයම නොවන බව සැබෑවකි. එහෙත් සැබෑ ආදරයක් නොලබන ජීවිතය ජීවිතයක් නොවන බවද ඒ තරමටම සැබෑවකි. කෙනෙක් එවැනි ආදරයක් ලැබීමට වාසනාවන්ත වන අතර තවෙකෙකු එසේ නොවන්නේය. 


Saturday, November 5, 2011

ඔබේ සුසුමින් මාද ජීවත් වෙමි.

ධනුක නැවතත් ඔරලෝසුව දෙස බැලුවේය. වේලාව 12.27යි. ඔහුගේ නොසන්සුන් කම තව තවත් වැඩි වන්නට විය. ඔහුගේ ගතත් සිතත් දෑසත් හොඳටම හෙම්බත් වී ඇති සෙයකි. එහි පැමිණ සිටි දහසක් දෙනා අතර ඔහු ඔහුට හිමි ආදරණීය මුහුණ සොයන්නට විය. එහෙත් ඔහු තව තවත් වෙහෙසටත්, කණස්සල්ලටත් පත් වූවා මිස ඔහු සොයන මුහුණ ඒ අතර නොවීය. ඔහු පෙර දින කීපයේ මතක අතර සැරිසරන්නට විය. වෙනදා මේ වේලාව වනවිට ඇය ඔහුත් සමග කාලය ගත කල ආකාරය ඔහුට සිහිවෙයි. ඔහුගේ යටි බඩ දෙසින් ඇතිවූ වේදනාව ඔහුට නොදැනුනේ ඔහුගේ හිතේ වේදනාව ඊට වඩා බොහෝ සෙයින් විශාල නිසා විය යුතුය. ඔහුට කතා කරන හෙදියගේ හඬ ඔහුට නෑසුනේ ඔහු ඇය ගැනම සිතුවිල්ලේ ගැලී සිටිය නිසා විය යුතුය.

"මිස්ටර් ධනුක...."

ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත. ඔහු සිටින තත්ත්වය අවබෝධ කරගත් හෙදිය ඔහු අසලටම පැමිණ ඔහුව ඇමතුවාය.

"වයිෆ් එනකල්ද බලන් ඉන්නේ?"

ධනුක පියවි සිහියට පැමිණියේ එවිටය.

"ආහ් මිස්... ඔව් එයා තාම නෑ නේ."

"ඒවි ඒවි." ඔහු දෙස අනුකම්පා සහගත බැල්මක් හෙලූ හෙදිය පැවසුවාය.

ඔහු දුර්වල සිනාවකින් පමනක් ඊට පිලිතුරු බැන්දේය.

"මම ආවේ ඔයා කාලද බලන්න. ඔයාට තව ටිකකින් බේතක් දෙන්න තියනවා."

එසේ කියා රාක්කය දෙස බැලූ හෙදියට පෙනුනේ බත් පාර්සලය තවමත් එසේම මේසය මත ඇති බවයි. ධනුක බිම බලාගෙන සිටියා විනා කිසිත් නොකිව්වේය.

"ඇයි තාම කාල නැත්තේ? අර මනුස්සය බත් එක ගෙනත් දීල කොච්චර වෙලාද?"

"අරය ආවම කන්නම් මිස්."

"අනේ මන්ද ඔයාල නම්... වයිෆ් නැතුව බත් ටික තනියම කාගන්නවත් බෑ නේද?"

ධනුකගේ පිළිතුර නැවතත් සිනහවක් පමණක් විය.

"හැබැයි මම ඔයාට තව විනාඩි 15යි දෙන්නේ. වයිෆ් ආවත් නැතත් 1.45 වෙනකොට කාල ඉන්න ඕන හොඳද. හරියටම 1ට බේතක් දෙන්න තියනවා. කාල විනාඩි 15ක් වත් ඉඳල තමයි ඒ බේත බොන්න ඕන."

"හරි මිස්"

ලෙඩුන්  බැලීමට වාට්ටුවට පැමිණි පිරිස දෙස ඔහු බලා සිටියේ අසරණ දෑසිනි. දෙමාපියන්, බිරින්දෑවරුන්, දරුවන් පැමිණ අනිත් ලෙඩුන්ගේ සුවදුක් විමසන ආකාරය, ලඟට වී කතා කරන ආකාරය ඔහුට පෙනෙයි. දහසක් දෙනා මැද ඔහු තනිවී සිටින්නේය. තවත් වේලාවක් ඔහු වාට්ටුවට ඇතුළුවන දොර දෙස බලා සිටියේ කොයි මොහොතක ඇගේ රුව දැක ගැනීමේ අටියෙනි. තවදුරටත් බලාපොරොත්තු සුන් වූ ඔහු කොට්ටය ඇඳ විට්ටමට හේත්තු කර ඊට හේත්තු වී තදින්ම දෑස පියා ගත්තේය. ඇය පැමිණේයැයි තිබූ බලාපොරොත්තුව ඔහු කෙරෙන් ගිලිහී ඇති සෙයකි.

ඔහු නැවත දෑස් ඇරියේ තමා ලඟ යමෙක් වේගයෙන් හුස්ම ගන්නා හඬ කණ වැකීමෙනි. හොඳින් හුරු පුරුදු හඬක් වූ එය ඔහු හඳුනා ගත්තේය. ඔහු දෑස් හැර ඇය දෙස බැලීය. තදින්ම හති දමමින් සිටි ඇය අනුකම්පා සහගත බැල්මකින් ඔහු දෙස බලා සිටියාය.

"මම හිතුව ඔයාට නින්ද ගිහින් කියල."

ඔහු කිසිත් නොකිව්වේය. ඔහුට ඔරලෝසුව බැලුනේ නිරායාසයෙනි. වේලාව 12.41 වී තිබුණි. ඇයද ඔහු අනුව යමින් ඔරලෝසුව දෙස බැලුවාය. ඇයගේ පමාව නිසා ඔහු අමනාපයෙන් සිටින බව ඇයට පැහැදිලි විය.

"අද හදිස්සි වැඩක් වැටුන ධනුක. ඔෆිස් එකේ ලොක්කෝ ඔක්කොමත් එක්ක මීටින් එකක් තිබුන. කොහොමවත් එන්න විදියක් තිබුනේ නෑ. ඒකයි එන්න පරක්කු වුනේ. මාත් එක්ක තරහද?"

ධනුක නිහඬය.

"ඔයා මාත් එක්ක තරහෙන් නේද ඉන්නේ?"

ධනුක තවමත් නිහඬය. දීර්ඝ හුස්මක් පිටකළ ඇය ධනුකගේ හිස අත ගාන්නට විය.

"මට එන්න පරක්කු වෙයි කියල තේරුණ නිසයි මම කලින්ම සුමනෙගෙ අතේ කෑම එක එව්වේ. ඔක්කොම කෑව නේද?"

"මම තාම කෑවෙ නෑ."

ඔහු කිව්වේ ඇසෙන නෑසෙන ගානටය. රාක්කය දෙස බැලූ ඇය දුටුවේ කෑම පාර්සලය තවමත් රාක්කය මත ඇති ආකාරයයි. හදවත දවා අලු කරන තරම් වේදනකුත්, සියුම් තරහවකුත් ඈ තුල හටගත්තේ එකවිටමය.

"ඇයි දරුවො කෑවෙ නැත්තෙ? මේ ලෙඩ වෙලත් ඉන්න වෙලාවෙ නොකා හිටියම හරි යනවද? මම සුමනෙ අතේ කියලම එව්වනෙ මම පොඩ්ඩක් පරක්කු වෙනවා, බත් එක කන්න කියල."

ධනුක නිහඬය. ඇය බත්මුල පිඟාන මත තබා ලිහන්නට විය.

"ඇයි කෑවෙ නැත්තෙ කියන්නකෝ?

"මට බඩගින්නක් තිබුනෙ නෑ."

"බඩගින්නක් තිබුනෙ නෑ කියල හරි යන්නෙ නෑ නෙ. ඩොක්ටර් කිව්ව නේද හරියට වෙලාවටම කන්න, නැත්තන් ගැස්ට්‍රයිටීස් වැඩි වුනොත් සර්ජරි කරපු එක තව අමාරු වෙයි කියල."

ධනුක, තමාට ඉදිරියෙන් ඇති ඇඳේ සිටි රෝගියාට ඔහුගේ බිරිඳ සහ දරුවන් වටවී කෑම කවන ආකාරය දෙස බලා සිටින්නේය. සරණි බත් කටක් අනා ඔහුගේ මුවට ලං කළාය. ඇයට කියා බත් කටක් කවා ගැනීමට බොහෝ වෙලා බලා සිටියත්, ඔහු බත් කට කටට දමා ගත්තේ අමනාපයක් මවාගෙනය.

"ඔයා මම පරක්කු වුන තරහට නේද ඔයා නොකා හිටියේ."

"නෑ, එහෙම එකක් නෑ."

"නැත්තේ මොකද? මම දන්නේ නැද්ද ධනූ ඔයා ගැන. මාත් එක්ක තියන තරහට ඔයා ඔයාගෙන්ම පළිගන්න එපා."

"තරහකට නෙමෙයි සරණි, මම ඉතින් ඔයාට කියල කවාගන්න ආස නිසයි හිටියේ. ඔයාට ඉතින් මට වැඩිය රස්සාව ලොකු වුනානේ."

අවසන් වාක්‍යය ඔහුගේ මුවින් පිටවූයේ බොහෝ සිහින් හඬිනි. ධනුකගේ ඒ වචන සරණිට උල් පිහියකින් පපුව මැදට ඇන්නාක්‌ මෙන් විය. සරණිට කතා කිරීමට අවශ්‍ය වුවත් වචනයක් වත් කියාගත නොහැකි ලෙස ඇය ගොළු විය. බත් අනමින් සිටි ඇගේ අත පිඟාන මතම ගල් විය. ඇය තත්ත්පර කීපයක්ම ධනුකගේ මුහුණ දෙස එක එල්ලේ බලාගෙන සිටියාය. ඇගේ බැල්මෙන් මිදෙනු වස් ධනුක බිම බලාගත්තේය. ඇය නැවතත් ධනුකගේ මුහුණ තමා දෙසට හරවා ගත්තාය.

"මොකක්ද ධනුක ඒ කතාවේ තේරුම? පොඩ්ඩක් මාව තේරුම් ගන්නකෝ. ඇත්තටම මට කොහෙත්ම එන්න විදියක් තිබුනේ නෑ. නැත්තන් මම පරක්කු වෙන්නේ නෑ නෙ. ගොඩක්ම අර්ජන්ට් මීටින් එකක් තිබුනේ." 
 
"මේක ලන්ච් අවර් එකනේ. ලන්ච් අවර් එකේ මොන මීටින්ද?" 

"ප්‍රයිවට් කම්පැනි වලවැඩ කරන්න ගියාම ලන්ච් අවර් කියල බලන්නේ නෑ නෙ ධනුක. ඔයා මට වැඩිය හොඳට ඒක දන්නවා නෙ. අද සතියේ අන්තිම දවස නිසා ඒ වැඩේ අද කොහොම හරි ඉවර කරලා සබ්මිට් කරන්න ඕන කියල බොස් කිව්ව."

ඊට දෙන්නට පිළිතුරක් ධනුක සතු නොවීය.

"ඇයි ධනුක ඔහොම හිත රිද්දන්නේ? හැමදාම තුන් වේලටම ගේට්ටුව අරිනකොටම දුවගෙන ඇවිත්, එක දවසක් පොඩ්ඩක් පරක්කු වුන නිසාද ඔයා ඔහොම කියන්නේ? ඉස්පිරිතාලේ හිටපු දවස් අමතක කරන්න, මීට කලින් කවදාවත් මට ඔයාට වඩා කිසිම දෙයක් ලොකු වෙලා තියනවද? අපේ පොඩි එකාටත් වඩා මට ඔයාව වටිනවා කියල ඔයා හොඳටම දන්නව නේද?"

දිලිසෙමින්  තිබුණු ඇගේ ඇස් වලින් කඳුළු බිඳු පේලියක් කඩා හැලෙන්නට විය. ඇය නැවතත් බත් කටක් ගෙන ධනුකට ලං කළාය. ඇය නැවතත් කිසිත් කියාවි යැයි ධනුක සිතුවත් ඇය ඊට වඩා කිසිත් කියන්නට නොගියාය. ධනුක බඩගින්නේ සිටි නිසා ඇයට වුවමනා වූයේ ඉක්මනින් ඔහුට බත් ටික කැවීමටය.

"සරණි! ඔයාට තරහ ගියාද?"

"තරහ ගියේ නෑ ධනුක, මට ගොඩක් දුක හිතුන මම මෙච්චර මහන්සියක් වෙද්දීත් ඔයා එහෙම කතාවක් කිව්වම."

"ඒක අමතක කරන්න සරණි. මට ඉබේම වගේ ඒක කියවනේ."

"ඉබේම කියවෙන්නේ ඉතින් හිතේ තියන දේවල් නේ."

"අනේ එහෙම නෑ. මට ඔයා පරක්කු වෙනකොට ගොඩක් දුක හිතුන. වෙනදට ඉතින් ගේට්ටුව අරිනකොට ඔයා මෙතන නේ."

"හ්ම්ම්, මම දන්නවා ඉතින් කොල්ල මම එනකල් පාර බලාගෙන ඉන්නවා කියල. මම මීටින් එකට ඉන්නේ නැතුව එන්න හදල බෝසාගෙන් හොඳට බැනුනුත් අහගත්ත."

"අනේ එහෙමද? මම දන්නවා සරණි.... කරන්නම දෙයක් නැති වුනොත් ඇරෙන්න ඔයා කවදාවත් නෑවිත් ඉන්නෙ නෑ කියල. මම කියපු කතාව අමතක කරල දාන්න."

එසේ කියූ ධනුක සරණිගේ ඇඟට හේත්තු වුනේය. ඇය ධනුකගේ හිස සිම්බාය.

"හ්ම්ම් අමතක කරන්න තමයි... මට කෑගහල අඬන්න හිතුන. හොස්පිටල් එක නිසා අමාරුවෙන් ඉවසගෙන හිටිය. සුලු පටු චෝදනාවක් නෙමෙයි නෙ ඔයා මට කලේ."

ඇය කිව්වේ නෝක්කාඩු ස්වරයෙනි. ධනුක කිසිත් නොකියා බිම බලගෙන සිටියේය. 

"හරි හරි පැටිය ඒක කමක් නෑ. දැන් කමුකො." ධනුකගේ මුහුණ දුටු සරණි කතාව වෙනස් කළාය. 
 
"ඔයා කාලද?"

"තාම නෑ ධනුක."

"එහෙනම් ඔයත් ඔහොමම ටිකක් කන්නකෝ." 

"හරි ඔයා තව ටිකක් කන්නකෝ, මම කන්නම්."

"ඉතින් මට කවන ගමන් ඔයත් ටිකක් කන්නකෝ." 

"හ්ම්ම්"

"ආහ් ඔයා ආවද? මම මේ මෙයා කාලද බලන්න ආවේ." හෙදිය සිනහවෙමින් එතනට පැමිණියාය.

"ඔව් මිස් අද පොඩ්ඩක් පරක්කු වුනා." 

"හ්ම්ම්, ඒක තමයි මෙච්චර වෙලා මූණ එල්ලගෙන හිටියේ. අපෝ බලන්න එපාය ඒ වෙලාවේ මූනේ හැටි. දැන් නම් හොඳට හිනා වෙලා ඉන්නවා." 

ධනුකත් සරණිත් සිනාසුනා මිස කිසිත් නොකිව්වෝය. 

"කොහොමහරි නෝන එනකල්ම හිටිය නේ බත් ටික කවාගන්න? මම මේ ආවේ තාමත් කාල නැත්තන් පැත්ත දාල හරි කවන්න." 

"තව චුට්ටෙන් මටත් පැත්ත දාල තමයි කවන්න වෙන්නේ. මාත් එක්ක තරහ වෙලා හිටියෙ මෙච්චර වෙලා." සරණිද කතාවට එක් වූවාය. 

"ඔය බොරු මිස්, එහෙම නෑ." 

"ආහ් නැත්තෙ මොකද, මට හිතා ගන්න පුළුවන් අර හිටපු විදියට. පොඩ්ඩක් එහෙ මෙහෙ වුනාට තරහ ගන්න එපා ඉතින්. මේ දවස් වල ඔයත් ගෙදර නැති නිසා එයාට වැඩ වැඩි ඇතිනේ." 

"අනේ ඔව් මිස්, මෙයත් ගෙදර නැති නිසා මට පිස්සුව වගේ මේ දවස් වල. වෙනදට මෙයත් ටිකක් හරි උදව් කරනව, දැන් එකත් නෑ නෙ. උදව් ඕනත් නෑ, පෙන්න හිටියත් හිතට හයියක් නෙ." 

ධනුක සරණි දෙස බැලුවේය.

"මේ ටිකේ ගෙදර ගියාම හරිම අවුල්. පොඩ්ඩගෙත් වාර විභහගේ කිට්ටුයි, ඒවත් බලන්න ඕනනේ. අනිත් එක ඔෆිස් එකෙත් වැඩ හිර වෙලා මේ දවස් වල. අදත් එන්න පරක්කු වුනේ ඒකයි."

සරණි ගැන ධනුකගේ හිතේ තදබල අනුකම්පාවක් ඇතිවිය. ඇයගේ හිත රිදවීම ගැන ඔහු බලවත් සේ පසුතැවීමට පත්වුනේය. 

"ඒකනේ, පවුනෙ මෙයාට."

ධනුක කිසිත් නොකියා බිම බලා සිටින්නේය. සරණි, ධනුකගේ හිස පිරිමදින්නට විය.

"ඔයා තමයි ඉතින් මෙයාව ඕනවට වැඩිය හුරතල් කරනව ඇත්තේ."

"අනේ ඔව් මිස්, වෙන කවුරු ඉතින් මෙයාව හුරතල් කරන්නද? පොඩ්ඩයි මෙයයි කියල ඉතින් මට වෙනසක් නෑ."

"අපෝ අපේ ගෙදරත් ඔහොම තමයි. අපේ එක්කෙනත් මේ වගේමයි. මහ බබාව බලාගන්න එක තමයි අමාරුම වැඩේ. උදේ ඉඳල හවස් වෙනකල් මහ කම්පැනියකුයි දාස් ගානක් මිනිස්සුයි හැන්ඩ්ල් කරනවා, හැබැයි ගෙදර ආපු ගමන් පොඩි එකා වගේ වෙනව. මම පේන්න හිටියේ නැත්තන් මූණ එල්ලගෙන තමයි ඉන්නේ."

"ආහ් එහෙනම් මම විතරක් නෙමෙයි නේද ඒ වගේ?" ධනුකගේ මුවට සිනහවක් නැගුණි. 

"නෑ නෑ තව ගොඩක් ඉන්නවා. ඉන්න, මම බේත් ටික අරන් එන්නම්. ඒ ටිකත් වයිෆ්ට කියලම පොවා ගන්න." 

හෙදිය සිනාසෙමින් යන්න ගියාය.

"තව පොඩ්ඩයි පැටියෝ, මේ ටිකත් කන්න." 

"සරණි, අනිත් දවසේ ඔෆිස් එකේ වැඩ දාල එන්න එපා. පොඩ්ඩක් පරක්කු වුනාට කමක් නෑ."

"නෑ නෑ, මාව රස්සාවෙන් අස් කලත් අනිත් දවසෙ අනිත් දවසෙ ගේට්ටුව අරින්නත් කලින් මම මෙතන ඇති."

"එහෙම එපා ළමයෝ. ඒ වැඩත් කෙරෙන්න ඕන නෙ. අනිත් එක මට දැන් ටිකක් හොඳයි නෙ." 

"හරි ධනූ, ඔයා ඒව ගැන හිතන්න එපා. ඔෆිස් එකේ වැඩ වගේද මට ඔයාගේ මූණ පොඩ්ඩක් බලාගන්න එක."

"හ්ම්ම්. පොඩ්ඩ මොකද, කරදර කරනවද?" 

"කරදරයක් නම් නෑ, තාත්තත් නැති නිසා අම්මට කරදර කරන්න එපා කිව්වම පාඩුවේ ඉන්නව." 

"දකින්නත් ආසයි." 

"මම හෙට එක්කගෙන එන්නම්කෝ."

"අනේ එක්කගෙන එන්න සරණි." 

"ආහ් ධනුක වතුර බොන්න, මම මේක හෝදගෙන එන්නම්." 

සරණි පිඟානත් රැගෙන වතුර කරාමය දෙසට යනු ධනුක ඇසිපිය නොහෙලා මෙන් බලා සිටියේය. ඇය නොපෙනී ගිය පසු යලි එනතෙක්‌ ඔහු නොයිවසිල්ලෙන් බලා සිටියේය. 
.....................................................................................................................................................................

ප.ලි. ගොඩක් දවසකින් මුකුත් ලිව්වේ නැති නිසා ලිව්වේ. ඒ වුනාට මේ ලෝකේ රහක් නෑ වගේ.:( කමක් නෑ ඉතින් පන දාගෙන කොටපු එකේ පබ්ලිෂ් කරල දානවා.

ප.ප.ලි. මාතෘකාව මාළු අයියගේ පෝස්ට් එකක පොඩ්ඩක් විතර කොපියක්.

Friday, August 12, 2011

පමාවී දුටු සිහිනය

මට ආයෙත් පොඩි කතාවක් ලියන්න හිතුන. මේක නම් එකාංගික කතාවක්. පෝස්ට් එක ගොඩක් දිගයි වගේ පෙනුනට කියවනකොට එච්චර දිග නෑ. දෙබස් ගොඩක් තියන නිසයි එහෙම පේන්නෙ. හරි, කියවලම බලන්නකෝ. වැරැද්දක් අඩුපාඩුවක් තියනව නම් කියල යන්න, හිත රිදෙයි කියල නොකිය ඉන්න එපා.
....................................................................................................................................................................

මැදි විය ඉක්මවා ජීවිතේ සැඳෑ සමයට එළඹෙමින් පවතින යුවලක් වන සිරිසේන හා කමලා සූදානම් වූයේ දවල් කෑමට සිරිසේන ගේ හොඳම මිතුරෙකු වූ විජේදාස ගේ නිවස බලා යාමටයි. ඔවුන් එලියට විත් දොර වසනවාත් සමගම ගේට්ටුව සද්ද වූයෙන් දෙදෙනාම හැරී බලුවෝය.

"අනේ.. දුව!"

ඇය දිව විත් කමලාවත්, සිරිසේනවත් වැලඳ ගත්තාය. ඊලඟ මොහොතේ ඇගේ දෑස් අගින් කඳුලු කැට කීපයක් කඩා වැටෙන්නට විය. ඒවා පිසදැමූ කමලා ඇගේ මුහුණ පිරිමදින්නට විය.

"කොච්චර කාලෙකින්ද දූව දැක්කෙ. අපි කොච්චර ආසාවෙන්ද හිටියෙ මේ මූන බලාගන්න."

"මාත් කවදද එන්නෙ කියල බලාගෙන හිටියෙ අම්මෙ. අම්මයි තාත්තයි කොහෙද යන්න හැදුවෙ?"

"අපි යාලුවෙක්ගෙ ගෙදර දවල් කෑමකට යන්න කියල හැදුවෙ දුවේ. නෝනෙ, මම කියන්නද. ඔයා ඉන්න මම ගිහින් එන්නම්. අපේ කෙල්ල සති ගානකින් ආවට පස්සෙ තනියම දාල යන්නෙ කොහොමද."

"අනේ ඔව් මහත්තයෝ, මාත් ඒකමයි හිතුවෙ. එහෙම කරමු."

"අනේ ඔය දෙන්න ගිහින් එන්න, කමක් නෑ."

"ඔව් එහෙම කරමු නෝනෙ."

"අයියෝ ඉතින් කියන දෙයක් අහන්නෙ නෑ නෙ. අම්මයි තාත්තයි ගිහින් එන්නකො, මම මාස ගානකට මෙහේ ඉන්න බලාගෙන ආවෙ."

"හරි හරි, ඒක කමක් නෑ දුවේ. තාත්ත ගිහින් ඒවි."

තව දුරටත් තර්ක කිරීම නිශ්ඵල බව තේරුම් ගත් කල්පනා නිහඬ වූවාය.

"හරි මහත්තයෝ එහෙනම් පරෙස්සමින් ගිහින් එන්න. බුදු සරණයි. විජේට විස්තරේ කියන්න."

"හරි. මම එහෙනම් ගිහින් එන්නම් දුවේ."

"හොඳයි තාත්තෙ. බුදු සරණයි."

සිරිසේන නොපෙනී යනතෙක් හිඳ කමලාත්, කල්පනාත් ගෙතුලට ගියෝය.

"දුව ඇඳුම් මාරු කරගෙන එන්න. මම තේකක් හදන්නම්."

"හරි අම්මෙ"

කල්පනා කාමරය තුලට විත් දොර අසල නැවතුනාය. දෑස පියාගත් ඈ දීර්ඝ හුස්මක් ඇතුලට ගත්තාය. මල් සුවඳක් විඳින්නාක් මෙන් කීප විටක්ම ඇය කාමරයේ සුවඳ ආඝ්‍රහනය කලාය. මේ කාමරය හා බැඳුනු ඇගේ මතකයන් කොතරම් නම් ඇත්ද? කමලා තේ රැගෙන සාලයට එන විටත් කල්පනා එලියට පැමිණ නොසිටියාය. ඈ කාමරයේ එහා මෙහා ඇවිදිනු දොර රෙද්ද අතරින් කමලා දුටුවාය. නිරායාසයෙන් ඉහලට ඇදුනු දීර්ඝ හුස්ම පිටකල කමලා ඇයට කතා කලාය.

"දූ එන්න තේ බොන්න."

කමලාගේ හඬින් පියවි සිහිය එලවාගත් කල්පනා කාමරයෙන් එලියට ආවාය.

"ඇයි අම්ම බොන්නෙ නැද්ද?"

"මායි තාත්තයි තේකක් බීපු ගමන් එලියට බැස්සෙ දුවේ."

"හ්ම්ම්. තේක නම් හරිම රසයි අම්මෙ. මට තාමත් බෑ නෙ අම්ම වගේ රසට තේ හදන්න."

"ඔන්න මාත් ආයෙ ආව." කියමින් සිරිසේනද ගෙට ගොඩවිය.

"ඇයි මහත්තයො ආයි ආවෙ?"

"මට යන්න හිත දුන්නෙ නෑ නෝනෙ. කොච්චර කාලෙකින්ද කෙලී ගෙදර ආවෙ."

"අයියෝ මම දන්නෙ නෑ, ඔය දෙන්නට නම් පිස්සු. අපරාදෙ, කලින් දන්නව නම් මම අද නෑවිත් හෙටම එනව."

"විජේගෙ හිත නරක් වෙයිද දන්නෙ නෑ මහත්තයෝ."

"නෑ නෑ, මම මිනිහට කතා කලා. තාම අපිට උයන්න පටන් ගත්තෙ නෑ කිව්ව. මම විස්තරේ කියල කිව්ව පස්සෙ දවසක එන්නම් කියල."

"හ්ම්ම් දැන් එහෙනම් මට දවල්ට උයන්න පටන් ගන්න වෙනව."

"යමු, අද මාත් එනව උයන්න. අම්ම ඇඳුම් මාරු කරන් එන්නකො."

ඇය පැමිණි පසු එහි වූ පාලුව මුලුමනින්ම නැති වූවා නොවේදැයි සිරිසේනට සිතුණි.

"තාත්තත් එන්නකො, ඒ පැත්තෙන් වාඩි වෙලා ඉන්න." ඇය සිරිසේනගේ අතින් අදින්නට විය.

"යමු එහෙනම්, මාත් එන්නම්."
....................................................................................................................................................................

ඔවුන් දිවා ආහාරය අවසන් කර ආලින්දයට වී සතුටු සාමීචියේ යෙදන්නට විය. ඒ මොහොතේ ඔවුන් බලාපොරොත්තු නොවූ අමුත්තෙක් අවසරයකින් තොරවම ගෙතුලට පැමිණියේය.

"ආහ් සහන් පුතා!"

"ආනේ සහන්, කොච්චර කාලෙකින්ද දැක්කෙ. එන්න වාඩි වෙන්න. දැන් ඉතින් අපිව මතක් වෙන්නෙවත් නෑ නේද? කෝල් එකක් වත් දුන්නෙ නෑ මතක ඇති කාලෙකින්." කල්පනා නෝක්කාඩු කියන්නට විය.

"අනේ එහෙම එකක් නෑ කල්පනා."

සහන් වෙනදාට වඩා වෙනස් බවත්, යම් අපහසුතාවයකින් සිටින බවත් සිරිසේනට වැටහිනි.

"පුතා, මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"අ... නෑ අංකල්, ප්‍රශ්නයක් නම් නෙමෙයි. මට ඇන්ටියි අංකලුයි එක්ක දෙයක් කතා කරන්න තියනව."

"ආහ්, එතකොට මම යන්න ඕනද?" කල්පනා ඇසුවේ සිනාසෙමිනි.

"නෑ, ඔයත් ඉන්න එක වැඩිය හොඳයි කල්පනා." ඔහුගේ පෙනුම බැරෑරුම්ය, සියල්ලන්ම ඔහු දෙස නෙත් යොමාගෙන සිටින්නෝය

"මම අද ඔයා ඉන්නව කියල නම් දන්නෙ නෑ. මම ඇන්ටියි අංකලුයි එක්ක කතා කරන්න ආවෙ. ඒත් මම ආවෙ ඔයා ගැන කතා කරන්න කල්පනා."

"මගේ ගැන?"

"ඔව්"

මද නිහැඬියාවක් පැතිර ගියේය. සහන්ගේ මුවින් පිටවන ඊලඟ වදන් පෙල ඇසීමට හැමෝම නොයිවසිලිමත් විය.

"මගේ ගැන වැරදියට හිතන්න එපා. අංකල් මම කැමතියි කල්පනාව කසාද බඳින්න."

කල්පනාට ඒ වදන් පෙල ඇසුනේ හෙනයක් පුපුරන්නාක් මෙනි. ඇය අයාගත් මුවින්, ඉහලට ගත් හුස්ම පහලට හෙලා ගත නොහැකිව සහන් දෙස බලා සිටියාය. සිරිසේන හා කමලාද දැඩි ලෙස විමතියට පත් වූ බවක් ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්නට විය.

"දැන් අවුරුදු තුන හමාරක් වෙනව. තාමත් කල්පනා අපේ එකා ගැනම හිත හිත ඉන්නව. ඔය විදියට ඔයාට හැමදාම ඉන්න බෑ නේද? ඔයා ඔහොම ජීවිතේ නාස්ති කරගන්නව කියන්නෙ ඒක අසංකට කරන අසාධාරණයක්."

සහන් පෙර කියූ දෙයින් විමතියට පත්ව සිටියත්, සහන් පසුව කියූ කතාව සිරිසේනත්, කමලාත් හිසා සලා අනුමත කලෝය. එතනින් එහාට වුනු කිසිම කතාවක් කල්පනාට නෑසුනාය. සහන් කල යෝජනාවෙන් ඈ සිහි මද තත්ත්වයට පත් වූවාක් මෙන් විය. නැවතත් සිහි එලබ ගත් කල්පනාට, සහන් තවමත් අම්මාට සහ තාත්තාට කරුණු පැහැදිලි කර දෙමින් සිටිනු දක්නට ලැබීය. ඇය වහා නැගිට කාමරය වෙත දිව ගියාය. ඇය නැගිට ගියේ කෝපයෙන්ද, දුකෙන්ද, කම්පනයෙන්ද කියා කිසිවෙකුටත් වැටහුනේ නැත. එහෙත් සහන් නොසැලී කතා කරන්නට විය.

"එහෙනම් ඇන්ටියි අංකලුයි කල්පනා කරල, කල්පනා එක්කයි, කල්පනාගෙ අම්මයි තාත්තයි එක්කත් කතා කරල මට කියන්න. මට හොඳටම විස්වාසයි මට කල්පනාව සතුටින් තියන්න, එයත් එක්ක හොඳින් ජීවත් වෙන්න පුලුවන් කියල."
....................................................................................................................................................................

සිරිසේන බර කල්පනාවකය. කමලා උයන අතරතුරේ සිරිසේන දෙස වරින් වර බැලුවෙ ඔහු යමක් පවසාවි යන බලාපොරොත්තුවෙනි. එහෙත් ඔහු අහස පොලොව ගැටලන්න කල්පනා කලා විනා කිසිත් නොකිව්වේය.

"මහත්තය මොකද හිතන්නෙ අර දරුව කියපු කතාව ගැන."

සිරිසේන තාමත් නිහඬය.

"මම නම් උඩින්ම කැමතියි මහත්තයො ඒ දරුවගෙ යෝජනාවට. ඒ දරුවව අපි පොඩි කාලෙ ඉඳලම දන්නව නෙ. කිසිම වරදක් කියන්න බැරි හොඳ දරුවෙක් නෙ. ඒ දරුවගෙ අම්ම තාත්ත වුනත් බොහොම වැදගත් මිනිස්සු නෙ."

"ඔව් ඒ කොල්ලගෙ නම් කිසිම අඩු පාඩුවක් නෑ. මාත් ඌට හරි කැමතියි. ඒ වගේ කොල්ලෙක් අපෙ කෙලීට බන්දල දෙන්න මාත් හරි කැමතියි."

සිරිසේන එසේ කීවද ඔහුගේ හිතේ යම් පරහක් ඇතිබව කමලාට දැනුනි.

"මේ පාරවත් මේ දරවව පිළිවෙලක් කරල දාමු මහත්තයෝ. අපි කොච්චර කල් ඉඳන් උත්සහ කලාද මේ දරුවට ආයෙත් කසාදයක් කරල දෙන්න. කොහෙද, තුන්සිය හැටපස් දවසෙම අපේ දරුව ගැන හිත හිත ඉන්නව මිසක් එහෙම දෙයක් ගැන හිතන්නෙවත් නෑ නෙ මේ ළමය. මේ වතාවෙ නම් බල කරල හරි මේ කටයුත්ත කරමු මහත්තයො. මේ කෙල්ලට හැමදාම මෙහෙම ඉන්න දෙන්න බෑ නෙ."

ඒක නම් ඇත්ත නෝනෙ. ඒ දේ නම් ඉක්මනට වෙන්න ඕන. ඒත්..."

"ඇයි මහත්තයෝ ඒත් කියන්නෙ? මොකක්ද ප්‍රශ්නෙ?"

"අනේ මන්ද නෝනෙ, මට මහ අමුත්තක් දැනෙනව. මේ කෙල්ලට අපේ කොල්ලව අමතක කරන්න බෑ කියල සහන් ළමය හොඳටම දන්නවනෙ. එහෙම එකේ ඒ ළමය මේ වගේ යෝජනාවක් කලේ ඇයි කියල මම කල්පනා කලේ."

කමලාට ඊට පිළිතුරක් නොවීය.

"බලමුකො. මම ඒ දරුවත් එක්ක ආයෙත් කතා කරල බලන්නම්." සිරිසේන නැගිට කුස්සියෙන් පිටවිය.
....................................................................................................................................................................

කල්පනා ඇඳට වී හිස් බැල්මකින් ජනේලයෙන් එලිය දෙස බලාගෙන සිටින්නීය. පෙරදින රාතියේ නින්දක් නොලැබූ බවත්, රැය පුරා හඬා ඇති බවත් ඇයගේ මුහුණ කියාපායි. ඇයට හඬන්නට තවත් කඳුලු නැත්තා සේය. අසංක හා ඇය විවාහ වූයේ අවුරුදු 5ක ආදර සම්බන්දයකින් අනතුරුවය. හැමෝගේම ආශීර්වාදය ලබා විවාහ දිවියට එලඹියත් මාසයයි දින පහකට පමණක් ඔවුන්ගේ විවාහ දිවිය සීමා විය. රැකියාව නිමවී නිවස බලා එන අතරතුර හදිසි අනතුරකින් අසංක සදහටම දෑස පියා ගත්තේ කල්පනාගෙ සිහින මාලිගා බිමටම සමතලා කරමිනි. අවුරුදු තුන හමාරකට පසුවත්  කල්පනාගෙ ජීවිතයේ වූයේ අසංකගේ මතකයම පමණක් විය. කල්පනාගේ දෙමව්පියුනුත් අසංකගේ දෙමව්පියන් වූ කමලාත් සිරිසේනත්, තවත් කසාදයක් කරගන්නා මෙන් කෙතරම් ඇවිටිලි කලද කල්පනා එය දැඩි ලෙසම ප්‍රතික්ශේප කලාය. ඒ අවුරුදු තුන හමාර තුල අම්මලා තාත්තල හතර දෙනකුගේ ආදරය ලබමින් කල්පනා ඇගේ ගෙදරත් අසංකගේ ගෙදරත් මාරුවෙන් මාරුවට කාලය ගත් කලාය. අමාරුවෙන් හිස ඔසවා ගත් කල්පනා අසංකගේ මේසය දෙසත්, ඒ මත ඇති ඔහුගේ ඡායාරූපය දෙසත් බලා සිටියාය.

"දුව...."

කල්පනා ප්‍රතිචාර නොදැක්වූවාය. කමලා ඇඳ මතින් වාඩි විය.

"තාමත් තරහෙන්ද ඉන්නෙ අපිත් එක්ක?"

කල්පනා නිහඬය.

"ඔයාට හැමදාම ඔහොම ඉන්න බෑ නෙ දරුවො. අපේ කොල්ල අපිව දාල යන්න ගියා. ඒත් දූ හැමදාම ඒ දරුව ගැන හිත හිතා ඉඳල ජීවිතේ නාස්ති කරගන්නවට අපි කවුරුවත් කැමති නෑ. දූට කියල ජීවිතයක් තියනව."

"අසංක තමයි අම්මෙ මගේ මුලු ජීවිතේම. ඇයි අම්මල ඒක තේරුම් ගන්නෙ නැත්තෙ. එයාගෙ මතකය ඇති මට මැරෙනකල්ම ජීවත් වෙන්න."

"දූගෙ හිතේ තියන ආදරේට එහෙම කිව්වට ඒක හරි යන්නෙ නෑ නෙ දුවේ. ජීවිතේ හොඳම කාලෙ මේ ගෙවෙන්නෙ. දරු පැටියෙක් හදාගෙන ගෙයක් දොරක් හදාගෙන ලස්සනට ඉන්න ඕන නෙ. ඒකයි ජීවිතේ කියන්නෙ. නැති වුන දෙයක් ගැනම හිත හිතා ඉන්න එක නෙමෙයි."

සිරිසේනද කාමරයට විත් උලුඅස්සට බර වුනේය.

"අනිත් එක සහන් ළමය කොච්චර හොඳ ළමයෙක්ද? පුතාගෙ හොඳම යාලුව, අපි පොඩි කාලෙ ඉඳලම දන්නව, ඔයත් හොඳටම අඳුනනව. ඔයාට පොඩ්ඩක් වත් බය වෙන්න දෙයක් නෑ. අපිටත් හිතේ කිසි බයක් නැතුව දූව දෙන්න පුලුවන්." කමලා නොනවත්වාම කියාගෙන ගියාය.

"අම්මලට මාව බරක්ද අම්මෙ? අපේ අම්මලටත් මාව මහ බරක් වෙලා. ඔය දෙන්නටත් එහෙමද? මාව ඔයගොල්ලන්ගෙ දරුවෙක් කියල හිතල ලඟ තියාගන්න බැරිද?"

ඒ වචන පෙළ කමලාව නිහඬ කිරීමට සමත් විය. එවර සිරිසේන කතාවට මැදිහත් විය.

"මොනවද දරුවො මේ කියන්නෙ, අපිට ඔයාව බරක් නෙමෙයි. ඒත් ගෑණු ළමයෙක් කවදාවත් දෙමව්පියන්ට අයිති නෑ. එයාව කවද හරි පිටට දෙන්න වෙනව. ඔය ළමය දැන් අපේම දරුවෙක්, ඉතින් අපිට කවද හරි ඔයාව කාටහරි දෙන්න වෙනව. අපේ ළමය නිසා ඔයා ළමය ඔහොම නිකන් නාස්ති වෙනව අපිට බලන් ඉන්න බෑ. මෙච්චර කල් ඔයගෙ කැමැත්තට ඉඩදීල අපි බලාගෙන හිටිය නෙ. දැන් වත් අපි කියන දේ අහන්න. අම්මයි තාත්තයි අද හවස මෙහේ එනව කිව්ව. ඒ ආවම මේ කටයුත්ත ස්ථීර කරගන්නව." සිරිසේන තරමක් දැඩි ස්වරයකින් පවසා කාමරයෙන් පිටව ගියේය. කමලා කල්පනාගෙ හිස අතගන්නට විය.

තමන්ට මෙවර ගැලවුමක් නැති බව කල්පනාට වැටහුනි. අසංකගේ දෙමව්පියන්ගෙ කැමැත්ත අනුව අනිවාර්යෙන්ම ඇයගේ දෙමව්පියන්ගෙද කැමැත්ත ලැබෙන බවත් ඉන්පසු ඒකමතිකවම මෙම යෝජනාව ස්ථීර වන බවත් ඇයට පසක් විය. සහන් ගැන මේ මොහොතේ කල්පනාගෙ හිතේ ඇති හැඟීම කල්පනාට වත් තේරුම් ගත නොහැකිය. එය තරහක්ද පිළිකුලක්ද නැත්හොත් වෙනයම් හැඟීමක්ද කියා පැහැදිලි නැත. අසංකගේ හොඳම යාලුවා වූ සහන් ගැන කල්පනාගෙ හිතේ තිබුනේ ලොකු ගෞරවයක් හා පහන් හැඟීමක්ය. දුකේදීත් සැපේදීත් හැමවිටම අසංක ලඟ සිටියේ සහන්ය. අසංකගේ හා කල්පනාගෙ ආදර කතාවට වැඩිම සහයෝගයක් ලැබුනේද සහන්ගෙනි. කල්පනා සිතුවිලි අතර අතරමං විය.

"ඇයි සහන් මේ වගේ යෝජනාවක් කලේ? එයා හොඳටම දන්නව මට කවදාවත් අසංක අමතක කරන්න බැරි බව. අපි දෙන්න කොච්චර අදරෙන් හිටියද කියල එයා හොඳටම දන්නව. ඒත් ඇයි මෙහෙම....? අසංක ඉන්න කාලෙ ඉඳලම සහන්ගෙ මගේ ගැන අසාවක් තිබුනද? නෑ නෑ ඒක නම් කොහොමවත් වෙන්න බෑ. සහන් ගොඩාක්ම හොඳ ළමයෙක්. එයා කවදාවත් මගේ දිහා වැරදි විදියට බලල නෑ. එහෙනම් මොකක්ද සහන්ට එක පාරට වුනේ? මොනව වුනත් ඉතින් දැන් මට කරන්න දෙයක් නෑ නෙ. සහන්ගෙ යෝජනාවට හැමෝම කැමති වුනොත් මට විරුද්ධ වෙන්න බෑ නෙ. අනිත් එක සහන්ට අකමැති වෙන්න මට කියන්න හේතුවක් ඇත්තෙත් නෑ. අසංක අමතක කරන්න බෑ කියන එක තවත් මෙයාලට කිව්වට වැඩක් නෑ."

සහන් සහ අම්මලා තාත්තලා හතර දෙනාගෙම සාකච්චා කිරීම් වලින් අනතුරුව කටයුත්ත ස්ථීර විය. අකමැත්තෙන් වුවත් තවත් අම්මලා තාත්තලාගෙ හිත රිද්දිය නොහැකි නිසා කල්පනාද කැමැත්ත දුන්නාය. සහන්ට කල්පනා සමග කතා කිරීමට අවශ්‍ය විය. ඔහු කල්පනාව කතා කරගෙන එලියට ගියේය.

"කල්පනා, මට මේක කියන්න. ඔයාගෙ අකමැත්තෙන් නෙමෙයි නේද මේ කටයුත්ත වෙන්නෙ?"

කල්පනා නිහඬය.

"කියන්න කල්පනා, ඔයා කොහොමවත් මේකට කැමැත්තක් නැත්තන් අපි මේ වැඩේ නවත්තමු. මම හිතුවෙ ඔයා පස්සෙ හරි තේරුම් ගනී කියල." සහන්ගේ හඬ දුර්වලය.

"මට ආයෙත් කසාදයක් බඳින්න නම් කිසිම කැමැත්තක් නෑ සහන්. ඒත් මෙයාල කවදාවත් මට එහෙම ඉන්න දෙන්නෙ නෑ. කවද හරි මට ආයෙත් කසාද බඳින්නම වෙනව. ඉතින් වෙන කාවහරි බැඳ ගන්නවට වඩා, මාව තේරුම් ගන්න පුලුවන් ඔයා එක්ක යන එක හොඳයි කියල මට හිතුන. ඒක නිසයි මාත් කැමැත්ත දුන්නෙ."

සහන් මොහොතක් කල්පනා දෙස බලා සිටියාය.

"ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක් කල්පනා. හරි අපි ඇතුලට යමු."

"අ... සහන්!"

"ඇයි කල්පනා?"

"මම ඔයාට බොරු බලාපොරොත්තු දෙන්න කැමති නෑ. මේ.... මම කියන්න හැදුවෙ..."

"මොකක්ද කල්පනා?"

"මට ඔයාට හොඳ බිරිඳක් වෙන්න පුලුවන් සහන්, ඒත්.... ඒත් මට ඔයට කවදාවත් ආදරේ කරන්න බැරි වේවි. ඔයා දන්නවනෙ අසංකගෙන් පස්සෙ කාටවත් දෙන්න ආදරයක් මගේ ලඟ නෑ කියල."
....................................................................................................................................................................

කල්පනාගෙ ඉල්ලීමට අනුව කල්පනාගෙ පැත්තෙන් බොහොම සුලුවටත්, සහන්ගේ පැත්තෙන් සාමාන්‍ය ආකාරයටත් මංගල උත්සවය සුදානම් විය. කල්පනාගෙ පැත්තෙන් උත්සවය පැවත්වුනේ අසංකගේ නිවසේය. යන්න සූදානම් වී කල්පනා කමලාවත් සිරිසේනත් බදාගෙන හැඬූ ආකාරය කාගෙත් නෙත් අගට කඳුලු ගෙනාවේය.

"පුතේ මේ අපට ඉන්න එකම දරුව. අපේ පුතා බලාගත්ත වගේ මලක් වගේ මේ කෙල්ලව බලා ගනින්. කවදාවත් දුකක් දෙන්න එපා." සිරිසේන කඳුල අතරින් වචන ගැට ගසා ගත්තේය.

දෙවැනි දිනයේ කටයුතු අවසන් කර කල්පනා සමග එදින රැය සහන්ගේ දෙමව්පියන් සමග ගත කල සහන් පසුදින කල්පනාව තමාගෙ අලුත් නිවසට කැඳවාගෙන ගියේය. සම්පූර්ණයෙන් වැඩ අවසන් කර නොතිබුනත් ජීවත් විය හැකි මට්ටමකට එය නිම වී තිබිණි. අවශ්‍ය බඩු බාහිරාදිය සහන් විසින් කලින් එහි ගෙනවිත් තබා තිබිණි. කල්පනාගෙ මුහුනේ තවමත් හිනාවක් නොමැත.

"කල්පනා, අපි ඕන නම් අද අසංකලගෙ ගෙදර ගිහින් එමු."

"අනේ කොච්චර දෙයක්ද සහන්, ගිහින් එමුකො!"

ඇයගේ මුහුණේ ඉරියව් වෙනස් වෙන ආකාරය සහන් හොඳින්ම දුටුවේය.

"හරි ඔයා වොශ් එකක් දාගෙන එන්නකො. ඔයාගෙ බඩු ටික ඇතුලෙන් තියාගෙන අපි දවල් වෙන්න ගිහින් එමු."

"හරි සහන්."

කල්පනා තුවායත් රැගෙන නාන කාමරය දෙසට ගියාය. සහන් රෙදි අල්මාරිය විවර කලේය. හැම තට්ටුවකම රෙදි ගුලි කර දමා තිබුනි. කල්පනාගෙ රෙදි තබා ගැනීම සඳහා තට්ටු දෙකක් ලබා දීමට අදහස් කල සහන් රෙදි සියල්ල ගෙන තට්ටු දෙකකට ගුලි කර ඔබන්නට විය. කල්පනා නැවතත් නාන කාමරයෙන් එලියට ආවේ සහන්ට තේකක් සාදා දී ඉන්පසු නාගැනීමේ අදහසිනි.

විශාල පරිශ්‍රමයකින් පසුව රෙදි ටික තට්ටු දෙකකට සීමා කරගන්නට සහන්ට හැකිවිය. ඉන්පසු ඔහු අවදානය යොමු කලේ ලාච්චුවටය. මුලින්ම ඔහුගේ ඇස ගැටුනේ එහි වූ අසංකගේ ඡායා රූපයයි. එය අතට ගත් ඔහු මදක් ඒ දෙස බලා සිටියේය.

"ඔන්න අසංක අවුරුදු තුන හමාරකට කලින් උඹ මගෙන් ගත්ත පොරොන්දුව අද මම ඉශ්ඨ කලා. මම දන්නව තාම ඒක ඉවර නෑ. මම පොරොන්දු වෙනව,  මම කල්පනාව ජීවිත කාලෙම මලක් වගේ බලාගන්නව කියල."  

සහන් තිගැස්සුනේ පිටුපසින් ඇසුණු කෝප්පයක් බිඳෙන හඬිනි. පිටුපස හරී බැලූ ඔහු දුටුවේ තමා දෙස විමතියෙන් බලා සිටින කල්පනාය. තමා කියූ දෙය ඇසී අය අත තිබූ තේ කෝප්පය අතෑරෙන්න ඇතැයි ඔහු තේරුම් ගත්තේ බිම ඉහිරී තිබූ තේ හා බිඳි ගිය කෝප්පයෙනි. ඇය නොසෙල්වී ඔහු දෙස බලා සිටියාය. මොහොතකින් ඇගේ දෙනත් වලින් කඳුල කඩා හැලෙන්න වූ අතර එය හැඬීමක් බවට පත් වීමට ගියේ තවත් සුලු මොහොතකි. කිසිත් නොකී ඈ බිඳුන කෝප්පයේ කැබලි එකතු කරන්නට විය. සහන්ද අසංකගේ ඡායා රූපය පසෙකින් තබා ඊට එක් විය.  

"එතකොට ඔයා මේ හැම දෙයක්ම කලේ අසංකට වුන පොරොන්දුව නිසාද?"

"ඔව් කල්පනා."

"අනේ මට කියන්න සහන් එයා මොනවද ඔයාට කිව්වෙ?"

සහන් බිම වාඩි වුනේය.

"ඇක්සිඩන්ට් එක වුන වෙලාවෙ මමනෙ එයාගෙ ලඟට ඉස්සෙල්ලම ගියේ. එයාට තේරිල තිබුනෙ එයාට බේරෙන්න බෑ කියල. අසංක මගේ අත අල්ලගෙන කිව්ව 'මචන් මට යන්න වෙලාව හරි වගේ. මට දුක කල්පනා ගැන බං. මම මැරුනොත් ඒකි හැමදාම මගේ ගැන හිත හිත ඉඳීවි. මම දන්නව ඒ කෙල්ල ගැන. මම කැමති නෑ බං මං නිසාවත් එයා දුක් විඳිනවට. උඹ මගේ හොඳම යාලුව, මට පොඩි කාලෙ ඉඳල කියන්න බැරි තරම් උදව් කරල තියනව. මට මේ පාරත් ලොකු උදව්වක් කරපන්. උඹ කල්පනාගෙ වගකීම ගනින්. උඹ එයාව කසාද බැඳල එයාව හොඳට බලාගනින්' කියල. මට කියන්න දෙයක් හිතා ගන්න බැරුව මම බලාගෙන හිටිය. එතකොට අසංක ආයෙත් කිව්ව 'ප්ලීස් මචන්, මම වෙනුවෙන් ඒ දේ කරපන්. මට එතකොට සැනසිල්ලෙ මැරෙන්න පුලුවන්. නැත්තන් ඒ කෙල්ල මම නිසා ජීවිතේම නාස්ති කරගනියි.' කියල. මම කිව්ව 'හරි බං මම ඒක කරන්නම්' කියල. එතකොටම ඌ හිනාවෙලා ඇස් දෙක පියා ගත්ත."

කල්පනා ඉකි ගසමින් අඬන්නට විය.

"මම අසංකට එහෙම පොරොන්දු වුනාට මට මොනව කරන්නද කියල හිතා ගන්න බැරුව හිටියෙ. මම මෙච්චර කල් බලන් හිටිය කල්පනා ඔයා අලුත් ජීවිතයක් පටන් ගනීවි කියල. අසංක කිව්ව වගේම ඔයා කලේ අසංක ගැන හිත හිතම ඉන්න එක විතරයි. අසංකගෙ අම්මල, ඔයාගෙ අම්මල, ඔයාගෙ යාලුවො, අපි හැමෝම කිව්වත් ඔයා අසංකගේ මතකෙත් එක්කම ජීවත් වුනා මිසක් එතනින් ඉස්සරහට යන්න උත්සහ කලේ වත් නෑ. අසංකට ඕන වුනේ ඒ දේ නෙමෙයි කල්පනා. ඒකයි මම හිතල හිතල අන්තිමට තීරණයක් අරන් ඔයාට ප්‍රොපෝස් කලේ."

"අසංක මට එච්චර ආදරේ කලාද සහන්? අන්තිම මොහොතෙත් හිතුවෙ මගේ අනාගතේ ගැනද?"

සහන් කල්පනා අසලින් වාඩි වුනේය.

"ඌ ඔයාට ආදරේ කරපු තරම ඔයාවත් දන්නෙ නැතුව ඇති කල්පනා. ඒ වගේම මම දන්නව ඔයත් කියන්න බැරි තරම් ඌට ආදරෙයි. ඒක කොයිතරම්ද කියලත් අපි කාටවත් තේරෙන් එකක් නෑ. මම කවදාවත් කියන්නෙ නෑ ඔයාට අසංකව අමතක කරන්න කියල. ඔයා ඒ මතක එක්ක ජීවත් වෙන්න, ප්‍රශ්නයක් නෑ. හැබැයි මොනව වුනත් ඔයා සතුටින් ඉන්න ඕන. මොකද මම අසංකට පොරොන්දු වුනා ඔයාව සතුටින් තියනව කියල."

කල්පනාගෙ හැඬීම ඇයටම පාළනය කරගත නොහැකි තත්ත්වයකට පත්විය. ඇය සහන්ගේ උකුල මතින් හිස තබා ගත්තාය.

"ඔයාට අසංක වෙනුවෙන් ඔය තරම් කැප කිරීමක් කරන්න පුලුවන්ද සහන්? ඔයා නම් දෙවි කෙනෙක්."

"මට අසංක වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කල්පනා."

"අනේ මට සමාවෙන්න සහන් මම ඔයා ගැන මෙච්චර දවස් වැරදියට හිතාගෙන හිටියෙ."

"මම දන්නව කල්පනා."

"ඒත් ඇයි සහන් ඔය අපිට මේ කතාව කලින් කිව්වෙ නැත්තෙ?"

"මම ඔයාට ඒක පස්සෙ හෙමිහිට කියන්න හිටියෙ. ඒක ඒ වෙලාවෙ කියල ඔයාලගෙ තීරණේට බලපෑමක් කරන්න මම කැමති වුනේ නෑ."
....................................................................................................................................................................

සහනුත් කල්පනාත් බොහෝ වේලාවක් තිස්සේ අසංකගේ සොහොන දිහා බලාගෙන සිටින්නෝය. කල්පනාගේ ඇඬීමෙන් රතුවූ ඇස් දැන් වියලී ගොසිනි. ඒවායේ අමුතුම දීප්තියක් විය. ඔවුන් හරහා හමාගිය සීතල සුලඟ කල්පනා දෑස පියාගෙන තදින්ම විඳගත්තාය.

"අපි දැන් යමුද කල්පනා? අසංකගෙ අම්මයි තාත්තයි බලන් ඉන්නව ඇති."

"මම තව චූට්ටක් ඉඳල එන්නද සහන්?"

"හරි කල්පනා, මම එහෙනම් වාහනෙන් ඉන්නම්."

"හරි සහන් මම ඉක්මනට එන්නම්."

Wednesday, June 29, 2011

දෑස පියාගෙන කිමද (අවසාන කොටස)


...................................................................................................................................................................
මම අමාරුවෙන් දෑස් විවර කරගත්තෙමි. මා සිටින්නේ රෝහලේය, මා දැක ඇත්තේ සිහිනයකි. මට හීල්ලුනි. එහෙත්..... අරුමයකි, හීනෙන් මා විඳි සුවය මා තවමත් විඳිමි. මම සැබවින්ම ඒ සුවය විඳිමි. මගේ කෙස් අතරින් දිවෙන ඒ අතැඟිලි මම හොඳින් හඳුනමි. මම වහා හිස ඔසවා බැලුවෙමි. ඒ ඇයයි. මගේ හිස අතගාමින්, වෙනදා මෙන් ආදර බර බැලමකින් මා දෙස බලා සිටින්නේ මගේ ආදරණීය බිරිඳයි.

"මැණික!"

මම කෑගසාගෙන නැගිට්ටේ පුටුවත් පෙරලාගෙනය. ඇය අමාරුවෙන් සිනාසුනාය.

"කොයි වෙලාවෙද සිහිය ආවෙ?" මම ඇගේ මුහුණ දෑතින්ම අල්ලා ගත්තෙමි.

"දැන් විනාඩි 30ක් විතර වෙනව ඇති පැටිය."

වචන වලට පෙරලා ගත නොහැකි හැඟිම් ගොන්නක් මා සිතේ තෙරපෙන්නට විය. කුමක් කියන්නදැයි මටම නොවැටහේ. මට ඇය හා කතා කිරීමට අවශ්‍ය වුවත් කටින් හඬ පිට වුනේම නැත. මා වචන වලින් නොකීවත් මගේ හැගීම් ඈ තේරුම් ගන්නට ඇත. හැමදාමත් මෙන් මා සිටින තත්ත්වය තේරුම් ගත් ඇය, අනුකම්පා සහගත ලෙස මා දෙස බලාසිටියාය. වචන වෙනුවට වැල නොකැඩී කඳුලු කැට කඩා හැලෙන්නට විය. ඒ නම් සතුටු කඳුලු විය යුතුමය. ලොකු දුව ඉපදුන දිනයේවත් මා මෙතරම් සතුටක් නොලැබූ බව මට හොඳටම විශ්වාසය. මගේ කඳුලු පිසින්නට ඇය උත්සාහ කලද අත එතරම් එසවීමට තවම ඇයට ශක්තියක් නැත. මම දෑතින්ම ඇගේ අත අල්ලා ගත්තෙමි.

"ඉතින් ඇයි මට කතා කලේ නැත්තෙ?" මම කඳුලු අතරින් වචන ගැටගසා ගත්තෙමි.

"මගේ අත උඩ ඔයා නිදාගෙන ඉන්න හැටි දැකල මට ඇහැරවන්න ලෝබ හිතුන."

"ඔයා හරි ලමයෙක් නෙ. ඉන්න මම ටක් ගාල ඩොකටර්ව එක්කගෙන එන්නම්."

"අනේ පැටියො චුට්ටක් මගේ ලඟට වෙලා ඉන්නකෝ. ඩොකටර්ට පස්සෙ කතා කරමු."

" එහෙම බෑ නෙ වස්තුවේ, මොනව හරි ට්‍රීට්මන්ට් කරන්න තියනවද දන්නෙ නෑ නෙ. ඉන්න මම ටක් ගාල එන්නම්."

මම හඬමින්ම වෛද්‍යවරිය සොයා දිව ගියෙමි.

අධික දුකට මෙන්ම අධික සතුටටද මිනිසුන්ගේ මනස විකල් වන්නේය. මම වෛද්‍යවරියගේ කාමරය පසු කර සෑහෙන දුරක් දුවා තිබුනි. මම නැවතත් හැරී අසිහියෙන් මෙන් දුවන්නට විය. මම වෛද්‍යවරියගේ කාමරයට දුවන අතරමගදී හමුවූ හෙදියන් කීපදෙනක්ම වික්ශිප්තව මා දෙස බලාසිටියෝය. මාගේ දිවීමත්, දෑසේ කඳුලුත් ඔවුන්ට පවසන්නට ඇත්තේ වෙන කතාවකි. ඔවුන්ට සියල්ල පහදා දීමට අවැසි වුවත් දැන් වෙලාවක් නැත. මා නැවතුනේ වෛද්‍යවරියගේ කාමරයේ දොර අසලය. හොඳටම හති වැටී සිටි නිසා කතා කරගැනීමට අපහසු විය.

ඇය මා දුටු විගස මා අසලට දිව ආවාය.

"ඇයි මිස්ටර් ගුණවර්ධන, මොකද මේ හති දාන්නෙ?" ඇය ඇසුවේ සැකයෙන් මෙනි.

"ඩොක්ටර්..."

"කියන්න මිස්ටර් ගුණවර්ධන. මොකද වුනේ?"

"මම.... මම කිව්ව නේද ඩොක්ටර්... එයා.. එයාට මුකුත් වෙන්නෙ නෑ... කියල."

"එයාට සිහිය ආවද?"

මම ජයග්‍රාහි සිනහවකින් හිස සලා ඇයට පිලිතුරු දුන්නෙමි.

"ඔය ඇත්තමද? කොච්චර හොඳද. ආහ්, යමු බලන්න. එයාව චෙක් කරන්න ඕන."

වෛද්‍යවරිය හා මම කාමරයට එන විට හෙදියන් කීප දෙනෙක්ම බිරිඳගේ ඇඳ අසල සිටියෝය.

"ආහ්, ඩොක්ටර් ආවද?"

වෛද්‍යවරිය කෙලින්ම ගියේ ඇයව සම්බන්ද කර තිබූ පරිගණකය වෙතයි.

"මිස්ටර් ගුණවර්ධන දුවපු විදියට අපි බය වුනා. ඇපි හිතුවෙ මොකක් හරි කරදරයක් වෙලා කියල."

"මට හිතුන."

ඉන්පසු වෛද්‍යවරිය බිරිඳව පරීක්ෂා කලාය.

"හ්ම්ම්, ඔයගෙ වයිෆ්ට දැන් කිසි ප්‍රශ්නයක් නෑ. මේ, එයාගෙ මොලෙන් දැන් සාමාන්‍ය විදියට සිග්නල් යනව. ඒ කියන්නෙ එයාගෙ මොලේ දැන් ආයෙත් සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක වෙලා"

ඇය පරිගණක තිරයේ යම් ප්‍රස්ථාරයක් පෙන්වමින් පැවසුවාය. වෛද්‍යවරියගේ එම වචන පිපාසයෙන් මැරෙන්න යන මිනිසෙකුට ලද දිය පොදක් වන් විය. මගේ හිතට දැනුන සැනසීම, සැහැල්ලුව වචන වලින් නම් කෙලෙසක වත් විස්තර කල නොහැකිය. මම බිත්තිය අල්ලගෙන එතැනම වාඩි විය. මගේ දෑස් පියවුනේය. මම දීර්ඝ හුස්මක් හෙලුවෙමි. මා සිටින තැන ගැන හැඟීමක් මට නොවීය. මා නැවතත් දෑස් අරින විට දුටුවේ සියල්ලෝම මා දෙස බලා සිටින ආකාරයයි.

"ඇයි ඔතනට වෙලා? මෙතනට එන්නකො." වෑහෙන කඳුලු අතරින් මගේ බිරිඳ පැවසුවාය.

මගේ හිතට දැනුන සැහැල්ලුව, සැනසීම කොතරම් දැයි මට ඇයට කියන්නට ඇත්නම් යයි මට සිතුණි. මාව සැමවිටම තේරුම් ගන්නා ඇය එය තේරුම් ගන්නට ඇත. මම පුටුව ගෙන ඇගේ හිස අසලින් වාඩි විය. හෙදියන් දෙදෙනෙක් කොට්ට දෙකක් තබා ඇයව ඇඳවිට්ටමට හේත්තු කලෝය.

"හරි, කට්ටිය දැන් යමු. මිස්ටර් ගුණවර්ධනට කතා කරන්න ගොඩක් දේවල් ඇතිනෙ. මෙච්චර දවස් තනියම නෙ කතා කලේ, දැන් දෙන්න එක්ක කතා කරන්න පුලුවන් නෙ."

මගේ බිරිඳ ක්ෂණිකව මා දෙස බැලුවාය. මම යන්තමට සිනාසුනෙමි. වෛද්‍යවරියත් හෙදියනුත් යන්නට ගියෝය. ඈත් මාත් තනිවිය. මම ඇගේ අත අල්ලා ගත්තෙමි. අතනොහැරෙන්නට තදින්ම අල්ලා ගත්තෙමි. ඇය මා යමක් කියන තෙක් බලා සිටියාය. එහෙත් කිසිත් කීමට වඩා ඇගේ ලඟට වී ඇය දෙස බලාසිටීමට මට සිත් විය.
 

"මම සිහිය නැතුව ඉන්නකොට ඔයා මොනවද මට කිව්වෙ?"

මම දීර්ඝ හුස්මක් හෙලුවෙමි.

"කොච්චර නම් දේවල් කිව්වද? ඔයා ඒව ගානකට වත් ගත්තෙ නෑ නෙ."

ඇය අමාරුවෙන් අත ඔසවාගෙන මගේ හිස අතගාන්නට විය.

"ඔයාට ගොඩක් දුක හිතුනද පැටිය?"

මෙතෙක් වේලා වියලී තිබුණු දෑස් නැවතත් තෙත් වන්නට විය. ඇයගේ ප්‍රශනයට පිළිතුරු දීමට මම උත්සහ නොගත්තෙමි. ඒ එය වචන වලින් කියා නිම කල නොහැකි නිසාය. මෙතෙක් කල් ඇය දෑස පියාගෙන සිටින විට දහසක් දේ කිව්වත්, ඈ මා දිහා බලාගෙන සිටින මේ මොහොතේ මම ගොලු වී සිටිමි. මම ඇගේ උකුලෙන් හිස තබා ගෙන අත් දෙක ඇගේ ඉන වටා දමා ඇයව බදා ගත්තෙමි. මට මහ හඬින් ඇඬෙන්නට විය.

"අනේ ඇයි මේ අඬන්නෙ? අනේ පැටිය අඬන්න එපා, දැන් ඉතින් මම ඉන්නවනෙ."

"අද මාව නවත්තන්න හදන්න එපා. මට ඇති වෙනකල් අඬන්න දෙන්න. ඔයා දන්නෙ නෑ පහුගිය කාලෙ මම ජීවත් වුනේ කොහොමද කියල."

"මම දන්නව. මට ඒ හැම දෙයක්ම ඔයාගෙ මූන බැලුවම තේරෙනව. ඔයා මට කොච්චර ආදරේද, මම නැතුව කොච්චර දුක් වුනාද කියල ඔය මූනෙන් පේනව මහත්තයෝ."

"ආයෙ කවදාවත් ඔහොම කරන්න එපා. ඔයා දන්නෙ නෑ මම කොච්චර බය වුනාද කියල. වැරදිලාවත් ඔයාට මොනව හරි වුනා නම් ඉතින්....! ඔයා දන්නවනෙ මට ඔයා නැතුව ඉන්න බෑ කියල."

"නෑ, මට මුකුත් වෙන්නෙ නෑ. ආයෙත් කවදාවත් පොඩ්ඩකට වත් තනි කරන්නෙ නෑ."

මම තව තවත් හඬන්නට වීමි.

"අනේ දැන් ඉතින් අඬන්න එපා පැටිය. මටත් දුකයි නෙ ඔයා ඔහොම අඬනකොට."

"ඩොක්ටත් කිව්ව ඔයාගෙ ජීවිතේ ගැන වැඩි විශ්වාසයක් තියන්න බෑ කියල. මම කිව්ව ඩොක්ටර්ට ඒක කොහොමවත් වෙන්න බෑ, ඔයාට කවදාවත් මාව දාල යන්න බෑ කියල."

"ඒකනෙ, ඔයාව දාල මම කොහේ යන්නද?"

"පොරොන්දු වෙන්න කවදාවත් මාව දාල යන්නෙ නෑ කියල."

"කවදාවත් නෑ, මම හැමදාම මගේ මහත්තයගෙ ලඟටම වෙලා ඉන්නව, සත්තයි."

මට ජීවිතයේ තව කිසිවක් උවමනා නැත. මම ඇගේ උණුසුමට තුරුල් වී සිටියෙමි. පොඩි දරුවෙකු තුරුලු කරගන්නා මවක් මෙන් ඇය මාව තුරුලු කරගෙන සිටියාය.

"කෝ පොඩි දෙන්න?"

"තාම ඉස්කෝලෙ ඇත්තෙ. මම හවසට එක්කගෙන එන්නම්."

"අනේ දකින්නත් ආසයි මගේ පැටව් ටික."

"ඔව්, ඒ දෙන්නත් ඔයා නැතුව මූණ එල්ලගෙන ඉන්නෙ."
.....................................................................................................................................................................

"May I come in doctor?"

"Ah Mr. Gunawardhana, please come in."

"ඩොක්ටර්, ඇත්තටම අරයට දැන් හොඳටම හොඳයි නේද? නැත්තන් සල්ලි ප්‍රශ්නයක් නෑ තව ටික කාලයක් මෙහේ තියා ගමු. පොඩි හරි රිස්ක් එකක් ගන්න මම කැමති නෑ ඩොක්ටර්."

"නෑ මිස්ටර් ගුණවර්ධන දැන් කිසිම රිස්ක් එකක් නෑ. තවත් ට්‍රීට්මන්ට් කරන්නත් නෑ. දැන් එයාට ටිකක් රෙස්ට් කරන්න දෙන්න විතරයි තියෙන්නෙ. බය වෙන්න එපා, එයාව ගෙදර එක්ක යන්න.

"Ok doctor."

"මිස්ටර් ගුණවර්ධන, ඔයාලගෙ ගෙදර සර්වන්ට්ල ඉන්නවද?"

"නෑ ඩොක්ටර්. ඇයි ඒ?"

"මේකයි මිස්ටර් ගුණවර්ධන, එයාගෙ අත පය ගොඩක් කල් එකම විදියටම තිබුන නිසා ඒව ආයෙත් සාමන්‍ය විදියට ක්‍රියාත්මක වෙන්න ටික කාලයක් යනව. ඒක ටිකෙන් ටික කලා නම් තමයි වැඩිය හොඳ. නැත්තන් එයාට ඇඟේ පතේ අමාරු එන්න පුලුවන්. ඒක නිසා එයාට එකපාරට ආයෙත් ගෙදර වැඩ ටික කරන්න දෙන්නෙ නැතුව ඉන්න පුලුවන් නම් වැඩිය හොඳයි මිස්ටර් ගුණවර්ධන."

"ඔව්, ඔව් ඩොක්ටර්. ඒක ප්‍රශ්නයක් නෑ. එයාට ආයෙත් හොඳටම හොඳ වෙනකල් මම එයාට වැඩ කරන්න දෙන්න නෑ. මම දවල් වරුවට එයාව බලාගන්න කෙනෙක් හොයාගත්ත. රෑට මම ඉන්නවනෙ. එයාට හොඳ වෙනකල් ගෙදර වැඩ ටික මට කරගන්න පුලුවන් වෙයි."

"ඒක හොඳයි මිස්ටර් ගුණවර්ධන. මම දන්නව, වයිෆ් වෙනුවෙන් ඔයාට ඕක බොහොම සුලු දෙයක්. මටත් මිස්ටර් ගුණවර්ධන වගේ හස්බන්ඩ් කෙනෙක් හිටියනම් කියල හිතෙනව."

"ඒ කිව්වෙ ඩොක්ටර්? ඇයි ඩොක්ටර් ගෙ හස්බන්ඩ්...."

"නෑ මිස්ටර් ගුණවර්ධන, මම තාම මැරි කරල නෑ."

"ආහ් එහෙමද, අපරාදෙ ඩොක්ටර් මට මල්ලි කෙනෙක් වත් නෑ නෙ. නැත්තන් ඩොක්ටර්ට දෙන්න තිබුන."

වෛද්‍යවරියට සිනහ පහල විය. මමද සිනාසුනෙමි.

" Now you are smiling."

"Of course doctor. I'm smiling now. I'm just simply living now. I was dying last days."

"I know Mr. Gunawardhana. I noticed that."

"Thank you very much doctor. And I'm very sorry about what happened that day."

"No, No, it's OK Mr. Gunawardhana. If I were you, I would have done the same thing. Just forget it." 

"මම එහෙනම් අරයව එක්ක යන්න ලේස්ති කරගන්නම් ඩොක්ටර්."

"හරි මිස්ටර් ගුණවර්ධන මම ටිකට් එක ලියල තියන්නම්. ඔයා වයිෆ්ව රේඩි කරගෙන එන්න."

"හරි ඩොකටර්."
..................................................................................................................................................................

වාහනය අපේ ගේ ඉදිරිපස නතර විය. මම බිමට බැස ඇයව දෑතින් ඔසවා ගත්තාය. චාමර වහා පැමිණ පිටුපස තිබූ රෝද පුටුව දිගහැර බිමින් තැබුවාය.

"ඕන නෑ චාමර, මට තාම මෙයාව වාරු කරගන්න පුලුවන්. ඕක ඇතුලෙන් තියන්න."

ඇය මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටියාය. මම ඇයව රැගෙන විත් සාලයේ තිබූ සෝෆාවෙන් වාඩිකරවීය. චාමර බඩු සියල්ල ඇතුලෙන් තබා වාහනය අසලට වී සිටියේය.

"චාමර එහෙනම් ගිහින් හෙට එන්නකො. අපි හෙට ගනන් හිලව් බේරමු."

"හරි සර්."

මම ඔහුව පිටත් කර ගෙතුලට පැමිණ ඇය අසලින් වාඩි වුනෙමි. මම දෑතින්ම ඇගේ සුරත අල්ලා ගත්තෙමි. ඇගේ අවුල් වී තිබූ හිසකෙස් මම සකස් කලෙමි. ඇගේ දෑස් දිලිසෙමින් තිබෙනු මම දුටුවෙමි.

"ඉන්න මම තේ ටිකක් හදාගෙන එන්නම්."

"තේ ඕන නෑ පැටිය, පස්සෙ බොමු. මට ඔයා ලඟට වෙලා ඉන්න ඕන."

"ඉතින් මම ටක් ගාල තේ හදාගෙන එන්නම්. ඔයාට මහන්සිත් ඇතිනෙ වාහනේ ඇවිත්."

"ඕන නෑ. ඔයා ලඟ ඉන්නකොට මගේ ඔක්කොම අමාරු නැති වෙනව."

"හ්ම්ම්"

"මාව ඔයාගෙ උකුල උඩින් හාන්සි කරගන්නකො."

මම ඇගේ හිස මගේ උකුල උඩින් තබා ගත්තෙමි. මම ඇගේ හිස අතගාන්නට පටන් ගත්තෙමි.

"වෙනද ඔයානෙ මගේ උකුල උඩට වෙලා සැපට ඉන්නෙ. දැන් ඉතින් මාව තියාගෙන ඉන්න."

"අයියෝ ඕන තරම් තියාගෙන ඉන්නංකො."

"ඔයාට මම නිසා ගොඩක් කරදර වෙන්න වුනා නේද?" මද නිහැඬියාවකින් පසු ඇය යලුත් හඬ අවදි කලාය.

"මොනවද මේ කියවන්නෙ ඔයා කොහොමද මට කරදරයක් වෙන්නෙ?"

"ඒ වුනාට ඔයා හරියට නිදාගත්තෙවත් නෑලු නේද? ඔයා හරියට කෑවෙ බිව්වෙත් නෑලු."

"ඔයා කොහොමද ඒව දන්නෙ?"

"මට නර්ස්ල කිව්ව. මට එයාල හැම දෙයක්ම කිව්ව."

"හ්ම්ම්"

"ආහ්, ඔය ඩොක්ටර්ට ගහන්න ගිය එකත් කිව්ව."

"අයියෝ මේ ගෑනු රටම ගිනි තියනව. මම ඩොක්ටර්ට ගහන්න ගියේ නෑ."

"හරි හරි මම දන්නව. මට නර්ස් කෙනෙක් ඔක්කොම විස්තරේ කිව්ව."

"තරහ යන්නෙ නැද්ද ඉතින් එයා කියපු කතාවට."

ඇය කිසිත් නොකියා මා දෙස බලාසිටියාය.

"මම දෙයක් කියන්නද පැටිය?"

"කියන්න."

"මම කොහොමත් දන්නව ඔයා මට ගොඩාක් ආදරෙයි කියල. ඒත් ඔයා මට මෙච්චරටම ආදරෙයි කියල මම දැනගෙන හිටියෙ නෑ."

"හ්ම්ම්, දැන් දන්නව නේද?"

ඇය හිස සැලුවාය

"එහෙනම් මීට පස්සෙ ඔහොම කරන්න එපා."

"නෑ, ආයෙත් කවදාවත් මම හෙම්බිරිසාවක් වත් හදා ගන්නෙ නෑ."

"ඒක හොඳයි."

"පොඩි දෙන්න ඉස්කෝලෙ ගිහින්ද?"

"ඔව්, ඊයෙත් යන්න වුනේ නෑ නෙ. අද බලෙන්ම යැව්ව."

"ඔයාටත් හරියට ඔෆිස් යන්න වුනේ නෑ නේද?"

"මාව නම් අස් කරලද දන්නෙ නෑ. ඔයා ලෙඩ වුනාට පස්සෙම දවස් හත අටක් වගේ තමයි ඔෆිස් ගියේ."

"අයියෝ බලන්නකො ඉතින් ඔයාගෙ වැඩ."

"කොහොමද ළමයො මම ඔෆිස් යන්නෙ ඔයා අර විදියට ඉන්නකොට?"
"අනේ එහෙනම් හෙටම ගිහින් එන්න."

"හෙටත් ඉඳල අනිද්දම යනව. ඔයාව දාල යන්න මොකක්ද වගේ. දවල් වරුවට ඔයාව බලාගන්න මම ගෑණු කෙනෙක්ට එන්න කිව්ව. එයා හෙට ඉඳල ඒවි. ඔන්න ඔයා පොඩ්ඩක් වත් මහන්සි වෙන්න බෑ හරිද. ඩොක්ටර් කිව්ව ඔයාට ගොඩක් විවේකය ඕන කියල. ගෙදර වැඩ ඔක්කොම මම බලාගන්නම්. ඔයාට තියෙන්නෙ හොඳටම හොඳ වෙනකල් කාල බීල රෙස්ට් එකේ ඉන්න. කොහොමත් ඔයා කුණු කුණු ගානවනෙ මම ගෙදර වැඩ වලට උදව් වෙනව මදි කියල. දැන් ඉතින් ඔයාට හොඳ වෙනකල් හැමදෙයක්ම කරන්නෙ මම."

"අනේ එහෙම ඕන නෑ පැටිය. ඔයාට මම නිසා පහුගිය දවස් වල වෙච්ච කරදර ඇති. මට දැන් හොඳයි නෙ. මට ගෙදර වැඩ ටික කරගන්න පුලුවන්."

"මේ මේ, ඒකට කලබල වෙන්න ඕන නෑ. ඒක තීරණය කරන්නෙ මම. පණ්ඩිත වෙන්නෙ නැතුව ඉන්න."

"ඔයාට ඉතින් කියල වැඩක් නෑ නෙ." 

"ඔව් එහෙම තමයි."

ඇය මා දෙස මොහොතක් බලා සිටියාය.

"ඇයි ඔයා මට ඔච්චරටම ආදරේ?"

"ඒකට උත්තරේ මම දන්නෙත් නෑ වස්තුවේ."
ඇය මට තුරුලු වී දෑස පියා ගත්තාය. ඇගේ දෑස් වලින් කඳුලු කැට කීපයක් ගිලිහෙනු මට පෙනුනි. මේ සතුට, සැනසීම යලි කවදාවත් අප වෙතින් නොගිලිහේවා යි මම පැතුවෙමි.

                                                                   ....සමාප්තයි....


Tuesday, June 21, 2011

දෑස පියාගෙන කිමද (III කොටස)

කතාවෙ ඉතුරු ටික එක පාරට දාන්න හිටියෙ. ඒත් එතකොට දිග වැඩියි වගේ. ඒක නිසා තව කොටස් දෙකකට දානව.
....................................................................................................................................................................

දරුවන් දෙදෙනා වාහනය වෙත ඇරලවා, ඔවුන් පිටත් වනතෙක් බලා සිටියෙමි. බිරිඳගෙ මව නිවසේ නවත්වා ගැනීමට හැකි වීම මට විශාල සහනයක් විය. එසේ නොවුනා නම් දරුවන් දෙදෙනා බලා ගැනීම මට විශාල ගැටලුවක් වනු ඇත. තත්ත්වය අවබෝධ කරගෙන ආච්චීට කරදර නොකර සිටීමටත්, මල්ලී ගැන බලාගැනීමටත් තරම් දැනුවත් කමක් ලොකු දුවට තිබීමද මේ මොහොතේ හැටියට ලොකු භාග්‍යයකි. පිටත්ව යාමට පෙර, පොඩි පුතු වාහනයට නගින තෙක් හිඳ ඇය මා හා කතා කල දෑ මට යලිත් සිහිවිය.

"තාත්තේ, අම්මට දැන්ම සිහිය එන එකක් නැද්ද?"

"කියන්න බෑ දුවේ. ඩොක්ටර්ස්ලත් ඒක කියන්න දන්නෙ නෑ."

"අම්මට ඉක්මනට සනීප වේවි නේද තාත්තෙ?"

"ඔව් පැටියෝ, අම්මට ඉක්මනට සනීප වේවි. බය වෙන්න එපා."

"අම්මයි තාත්තයි නැතුව හරි පාලුයි. මල්ලිත් ගොඩක් දුකෙන් ඉන්නෙ."

"මම අම්මව ඉක්මනට සනීප කරගෙන එන්නම් පැටියො. ඔයා එතකල් මල්ලිව හොඳට බලා ගන්න ඕන හොඳද."

"හරි තාත්තෙ, තාත්ත ඒ ගැන බය වෙන්න එපා. තාත්ත අම්මව බලාගන්න, මම මල්ලියව බලාගන්නම්."

"මගේ හොඳ දුව."

ඔවැනි බැරෑරුම් කතා ඇගේ මුවින් නිතර පිටවන්නීය. මගේ බිරිඳ විහිලුවට ඇයට කියන්නෙ 'පැහිච්ච ආච්චී' කියාය.

.................................................................................................................................................................

කාලය පිලිඹඳ කිසිදු හැඟීමක් මට නැත්තා සේය. දින ගනන් ගෙවී ගියත් ඒ පිලිඹඳ මට කිසිදු අවබෝධයක් නොතිබිනි. වෙනදාට විනාඩි 30ක් එක ලෙස පුටුවක වාඩි වී සිටිය නොහැකි මම, පැය ගනන් වාඩි වී ඇය දෙස බලා සිටියෙමි. ඇගේ යහලුවන්, මගේ යහලුවන්, නෑදෑයින්, කාර්යාල මිතුරන් පැමිණ ඈ දෙස බලාසිට මා සැනසීමට උත්සාහ කර යන්නෝය. එහෙත් ඒ ගැන මගේ අවදානය යොමු නොවේ. මා බලාසිටින්නේ ඇය ඇඟිල්ලක් සොලවන්නේ, ඇසිපිය ගසන්නේ කොයි මොහොතකද කියාය. එහෙත් දවසින් දවස මගේ බලාපොරොත්තු බිඳ වැටුනා මිස, ඇය සෙලවුනේවත් නැත.


වෛද්‍යවරියද ඉන් පසු මා සමග බිරිඳ ගැන කතා කලේ නැත. බිම බලාගෙන කාමරයට එන ඇය ඉක්මනින් බිරිඳව පරික්ශා කර ඉක්මනින්ම පිට වෙයි. මටද ඇයගෙන් ඇසීමට තවත් කිසිත් නැත. කීමට ඇති හැමදේම ඇය එදා පැවසීය. එහෙත් දිනක් ඇය කාමරයට පැමිණි විට මම ඇය සමග කතා කලෙමි.

"තාමත් වෙනසක් නැද්ද ඩොක්ටර්?"

දීර්ඝ හුස්මක් හෙලූ ඇය කතාව ආරම්භ කලාය.

"නෑ මිස්ටර් ගුණවර්ධන, තාමත් කිසිම ප්‍රෝග්‍රස් එකක් නෑ. But you know, risk is getting higher."

ඇය කිසි විටෙකත් හිත හැදෙන්නට වචනයක් නොකියන්නේ මන්දැයි මට සිතිනි. මට පිළිගන්නට අමාරු වුවද ඇය කියන්නේ ඇත්ත වන්නට ඇත. එහෙත් ඒ ඇත්තට මා කෙසේ නම් මුහුණ දෙන්නද. වෛද්‍යවරිය පිට වූ පසු මම ඇගේ හිස අසලින් ඇඳේ වාඩි වුනෙමි. වෙනදා මා සමීපයේ සිටින විට තොරතෝන්චියක් නැතුව කියවන ඇය, අද කිසිත් නොකියා දෑසත් පියාගෙන සිටින්නීය. ඒ හඬ යලි කිසි දිනක මට අසන්නට නොහැකි වේදැයි සැකයක් දැන් දැන් මගේ සිත තුළ ඇති වන්නේය. මම ඇගේ හිස අතගාන්නට වුනෙමි.

"ඇයි වස්තුවේ ඔයා මෙහෙම කරන්නෙ? ඇයි මට මෙච්චර ගින්දරක් දෙන්නෙ? ඔයාට දුක නැද්ද මං ගැන? ඔයා දන්නවනෙ මට ඔයා නැතුව තත්පරයක් වත් ඉන්න බෑ කියල. මාත් එක්ක කතා කරන්නකෝ. අඩුගාගෙ ඇස් ඇරල මගේ දිහා බලන්න. ඔයා පොරොන්දු වුනා නේද කවදාවත් මාව දාල යන්නෙ නෑ කියල, හැමදාම ලඟින් ඉඳන් බලාගන්නව කියල. ඇයි දැන් එහෙනම් මෙහෙම කරන්නෙ? ඔයාට ඒව මතක නැද්ද? අඩුගානෙ මම කෑවද බිව්වද කියලවත් ඔයා බලන්නෙ නෑ නෙ. ඔයා නැතුව කවුද මාව බලාගන්නෙ?"

මගේ දෑසින් වැටුනු කඳුලු ඇගේ පපුව තෙමන්නට විය. ඒ කදුලු වල උණුසුම ඇයට නොදැනීම අරුමයකි.

"ඔයා දන්නවනෙ මම කවදාවත් දේවාල ගානෙ ගිහින් මොනවත් ඉල්ලල නෑ කියල. ඒත් මම මේ පාර දෙයියන්ගෙනුත් ඔයාගෙ ජීවිතෙ ඉල්ලුව. යන්න පුලුවන් හැමතැනටම ගිහින් ඔයාගෙ ජීවිතේ ඉල්ලුව. මම විතරක් නෙමෙයි හැමෝම ඔයාට බෝධි පූජා තිබ්බ, සෙත් කවි කිව්ව. මායි අක්කයි දළදා මාලිගාවටත් ගියා, ශ්‍රී මහ බෝධියටත් ගියා. ඒත් ඉතින්... ඒ කිසි දේක වැඩක් නෑ නෙ. ඩොක්ටර් කියනව ඔයාගෙ ජීවිතේ ගැන විශ්වාසයක් තියා ගන්න බැරිලු. ඒ බොරු නේද වස්තුවේ? එහෙම වෙන්නෙ කොහොමද. මට කියන්න ඔයා මාව දාල යන්නෙ නෑ නේද? කතා කරන්නකො."

මා නොදැනුවත්වම මා ඇගේ අතින් අල්ලා සොලවන්නට විය. 

"ඔයා හරි බොරුකාරයෙක් නෝනෙ, ඔයා පොරොන්දු වුනා නේද මේ ආත්මෙ විතරක් නෙමෙයි හැම ආත්මෙකම මාත් එක්ක ඉන්නව කියල. ඒ වුනාට දැන්.... ඔව්, ඔයා කිව්වෙ බොරු, ඔයා මට ආදරේ නෑ. ඒකනෙ ඔයා මට මෙහෙම කරන්නෙ. හැබැයි එක දෙයක්, ඔයා මට ආදරේ නැති වුනාට කමක් නෑ. ඒත් ඔයාට ඔයාගෙ පොරොන්දුව කඩන්න බෑ. මතකයි නෙ ඔයා මට පොරොන්දු වුනා කවදාවත් ඔයා මට කලින් මැරෙන්නෙ නෑ කියල. ඒක අමතක කරන්න එපා හොඳද. ඒක හොඳට මතක තියා ගන්න."

කෙතරම් දුක් ගැනවිලි කිව්වත්, බැන්නත්, තර්ජනය කලත්, ඒ කිසිවකින් පලක් නැත. මම පුටුව අසලට ගෙන වාඩි වී ඇගේ අත උඩින් හිස තබාගත්තෙමි.

"අද මොකද රෑ වුනේ?"

වාහනය ඉස්තෝප්පුවේ නවත්වනවාත් සමගම දොර අසල සිටි ඇය ඒ දෙසට දිව ආවාය.

"මම ගොඩක් වේලා තිස්සෙ බලන් ඉන්නෙ." ඔෆිස් බෑගය අතට ගන්නා ගමන් ඇය පැවසුවේ නෝක්කාඩුවට මෙනි.

"හෙට ටෙන්ඩර් එකක් සබ්මිට් කරන්න තියනව. රෑ වෙනකල් ඒකෙ වැඩ කරල, මිටින් එකටත් ඉඳල ආවෙ."

"හ්ම්ම් අද එහෙනම් මහන්සි ඇති නේද?"

"ඔව්, අද නම් හරි මහන්සියි. කෑම එකවත් කන්න වුනේ නෑ. දවසම බිස්කට් කකා හිටියෙ."

"අනේ එච්චර මොනවද තිබුන වැඩ කෑම එක කන්න බැරි වෙන තරම්?"

"අලුතෙන් ආපු ලමයෙකුට ටෙන්ඩර් එක බාර දීල තිබුනෙ. එයා වැඩෙ අනල. ඒක හෙට උදේම දෙන්නත් ඕන. ඒ පාර ඩිරෙක්ටර්ගෙ ඉඳල පියන්ට යනකල් හැමෝම බැහැල තමයි වැඩේ ගොඩ දාගත්තෙ."

"හ්ම්ම් ඒකද අද කෝල් එකක් වත් දුන්නෙ නැත්තෙ?"

"අනේ ඔව් වස්තුවේ. ඔලුව උස්සන්නවත් වුනේ නෑ අද."

"මම ඒත් බැලුව මොකද අද කෝල් එකක් වත් දුන්නෙ නැත්තෙ කියල. මම දවසෙම බලාගෙන හිටියෙ. මම ගන්නත් හදල, පස්සෙ මට හිතුන අද බිසි ඇති කියල. ගෙදර එනකල් හිටියෙ අල්ලගන්න."

"ඔන්න එහෙනම් දැන් අල්ලගන්න."

"තේකක් බීල ඉන්නවද? නැත්තන් වොශ් එකක් දාගෙන ඇවිත් ඔහොමම කනවද?"

මට පිලිතුරු දීමට ඉඩක් නොලැබිනි.

"නෑ නෑ තේකක් බීල ඉමු. ඉන්න මම හදන් එන්නම්."

ඇය සෝෆාවෙන් නැගිට යන්නට සැරසුනාය. මම ඇයව අල්ලා නවත්වා ගත්තෙමි.

"මට මුකුත් එපා, මට ඔයත් එක්ක ටිකක් ඉන්න ඕන."

"ඉතින් ඉන්න පැටියො, මම ටක් ගාල තේ දෙකක් හදන් එන්නම්. ඊට පස්සෙ කතා කරමු."

"බෑ බෑ, තේ ඕන නෑ ඔයා වාඩි වෙන්නකෝ."

"මොකද මේ අද හුරතලේ?" ඇය වාඩි වෙන ගමන් ඇසුවාය.

"අද දවසටම ඉතින් අපි දෙන්නට හුරතල් වෙන්න බැරි වුනානෙ."

"ආහ් ඒකද මේ."

"හ්ම්ම්" මම ඇයගේ උකුල මත හිස තබාගත්තෙමි.

"කෝ පොඩි දෙන්න?"

"චුට්ට බඩ පිරෙන්නම කිරි බීල දැන් නිදි. ලොකු කෙල්ල ඉස්කෝලෙ වැඩ කරනව."

"ආහ් ඒක හොඳයි. නැත්තන් අපි දෙන්න මෙහෙම ඉන්නව දැක්කොත් කෙල්ල විහිලු කරනව නාකි විසේ කියල."

"අපෝ ඔව්, එදා මතකනෙ අක්කලගෙ ගෙදර පාර්ටිය වෙලාවෙ සේරම ඉස්සරහ කියපු කතාව."

"අයියෝ."

"මට පොලව පලාගෙන යන්න හිතුන ලැජ්ජාවට."

මම තවත් ඇයට ලං වුනෙමි. මහන්සි වී සිටි නිසාත්, ඇය මගේ ඔලුව අතගාමින් සිටි නිසාත් මට එහෙමම නින්ද යන්නට ඇත.


Sunday, June 12, 2011

දෑස පියාගෙන කිමද (II කොටස)

අම්මෝ ගොඩක් කාලෙකින් ලියන්නෙ. ලියන්න තරම් මූඩ් එකක් තිබුණෙ නෑ, මහ කම්මැලි කමෙන් හිටියෙ. කොහොම හරි මේකෙ පළවෙනි කොටස කියවපු අයට දැන් කතාව මතකත් නැතුව ඇති. කතාව මතක නැත්තන් හරි අලුතෙන් කියවන කෙනෙක්ට හරි මෙන්න පළවෙනි කොටසට පාර.
....................................................................................................................................................................

හෙදියගේ පිටුපසින් මම වෛද්‍යවරියගේ කාමරය වෙත පියමැන්නේ තරමක හිතේ බියකිනි.

"Excuse me doctor, may I come in?"

"Ah please come in."

ඇය සිටියේ බිත්තියේ එල්ලා තිබූ කිසිවෙකුගේ හිසක MRI ඡායාරූපයක් පිරික්සමිනි. එය මාගේ බිරිඳගේ විය යුතු යයි මම අනුමාන කළෙමි.

"වාඩිවෙන්න මිස්ටර්"

ඇයට ස්තූති නොකරම මම වාඩි වුනෙමි.

"දැන් කොහොමද ඩොක්ටර් මගේ wife ට?"

ඒ ප්‍රශ්නයට උත්තර දීමට ඇය දැඩි උත්සාහයක් ගන්නා අයුරුත්, එහෙත් කිසිත් කියාගැනීමට නොහැකිව අසරණ වන අයුරුත් මම බලාසිටියෙමි. මද නිහැඬියාවකින් අනතුරුව ඇය හඬ අවදි කලාය. 

"ඔය දෙන්න marry කරල කොච්චර කල් වෙනවද?"

ඇය එකවරම ඇසූ ප්‍රශ්නයෙන් මම පුදුමයට පත් වුනෙමි.

"අවුරුදු එකොලහක් වෙනව ඩොක්ටර්."

"හ්ම්ම්. අද පොඩි දෙන්න ආවෙ නැද්ද? "

ඇයද කතා කරන්නේ මගේ මූන දිහා බලාගෙන නොව වෙනතක් බලාගෙනය.

"දැන් මග එනව ඇති ඩොක්ටර්. මම කිව්ව ඩ්‍රයිවර්ට එක්කගෙන එන්න කියල."

දීර්ඝ හුස්මක් ඉහලට ගත් ඇය කතාව ආරම්භ කළාය.

"මේකයි මිස්ටර්, මම කියන දේ හොඳින් තේරුම් ගන්න. ඔයාට මේ කියන දේ අහන් ඉන්න අමාරු වේවි. But I should tell you the truth."

මගේ මුහුණ අඳුරු වන දුටු ඇය කියන්නට ගිය දේ කීමට පසුබට විය. එහෙත් නැවතත් ඇය දැඩි උත්සාහයකින් කතාව ආරම්භ කළාය.

"ඔයාගේ වයිෆ්ට බොහොම රෙයා ඩිසීස් එකක් හැදිල තියෙන්නෙ. මම මගේ ජීවිතේට මෙහෙම පේෂන්ට් කෙනෙක් දැකපු පලවෙනි වතාව. ඒක මොලේ ආශ්‍රිත රෝගයක්. එයාගෙ මොලේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා තියෙන්නෙ. ඒකයි එයාට සිහිය නැත්තෙ."

මාත් සමග මල් වලට වතුර දදා සිටි ඇය මගේ දෑස් ඉදිරිපිටම එක්වරම කපාහෙලූ ගහක් මෙන් ඇදගෙන වැටුනු ආකාරය යලිත් මගේ මතකයට ආවේය. මා ඇය අසලට දිව යන විටත් ඇයට සිහිය තිබුණු අතර ඇය සිහිය නැතිවීමට පෙර පැවසූ දෙය මගේ සවන් තුල තාමත් දොංකාර දෙයි. "ඔයා මගේ ලඟ ඉන්නව නේද පැටිය? මට එතකොට බය නෑ."

"එයාගෙ මොලේ ක්‍රියාකාරීත්වය ආයෙත් හරියට පටන් ගත්තොත් තමයි එයාට සිහිය එන්නෙ. It means, එයාට සිහිය නෑ කියන්නෙ තාමත් එයාගෙ මොලේ හරියට වැඩ කරන්නෙ නෑ කියන එක. දැන් සති තුනක් වෙනවනෙ ඔය විදියට, ඒක එච්චර හොඳ නෑ මිස්ටර්. මම කියන්න හදන්නෙ මේකයි, ඉක්මනටම එයාට සිහිය ආවෙ නැත්තන් අපිට එයාගෙ ජීවිතේ ගැන බලාපොරොත්තුවක් තියා ගන්න බෑ."


ඇය වේගයෙන් කියා අවසන් කළ වදන් පෙල මගේ දෙසවන් තුලට ඇතුලු වූයේ මහා ගිගිරුමක් ලෙසය. පියවි සිහිය එලවා ගත නොහැකිව මා බොහෝ වේලාවක් ඇය දෙස බලාසිටියා විය යුතුය. සර්වාංගයම හිරි වැටී ඇඟ පණ නැති වනවා පමණක් මට මතකය.

මා නැවත සිහිය ලද්දේ මුහුණ මත වැටුනු වතුර බිංදු කීපයක සීතලටය.

"He is conscious."

අමාරුවෙන් ඇස් ඇරගත් මා දුටුවේ දණ ගසා ගෙන මා දෙස බලාසිටින වෛද්‍යවරිය හා හෙදියයි. මම බිම වැතිරී සිටියෙමි. ක්ෂණයකින් වෛද්‍යවරිය කියූ දේ නැවතත් මට සිහිපත් වුණි. ඒ වචන විශ්වාස කිරීමට කෙලෙසවත් සිත ඉඩ නොදෙන්නේය. මගේ බිරිඳ නොමැතිව මා මොහොතක්වත් ජීවත් වන්නේ කෙසේද? මේ භවයේ පමණක් නොව, මතු උපදින හැම භවයකම එකට ජීවත් වන්නට පොරොන්දු වූ ඇයගෙ ජීවිතය පිළිඹඳ විශ්වාසයක් තැබිය නොහැකි යයි වෛද්‍යවරිය කියන්නේ කෙසේද? මා ජීවත් වන්නේද ඇගේ හද ගැස්මෙන් බව වෛද්‍යවරිය නොදන්නවා විය යුතුය.

මම බිම වාඩි වුනෙමි.

"ඩොක්ටර්..."

මට කතා කිරීමට වචන නොමැත. ඇඬීමට කඳුල එන්නේද නැත. සියල්ල අහිමි වූවා සේ මහ මූසල හිස් බවක් පමණක් දැණුනි.

"නෑ ඩොක්ටර් ඒක වෙන්න බෑ. ඔයාල ඔයිට වඩා උත්සහ කරන්න. මම දන්නව එයාගෙ ජීවිතේ බේර ගන්න පුලුවන්."

"Please try to understand mister. We have done our best. Nothing more to do."

"How is that possible, there should be a way."

මම ආවේශයෙන් මෙන් වෛද්‍යවරිය වෙත කඩා පැන ඇගේ දෙවුරෙන් අල්ලා වැරෙන් සොලවන්නට විය. 

"I want my wife back. Do you understand? I want her back."

"Mister please, කලබල වෙන්න එපා." හෙදිය මගේ අතින් අල්ලා මා සන්සුන් කරන්නට උත්සාහ ගත්තාය.

මම බොහොම අමාරුවෙන් මාව පාළනය කරගතිමි. දීර්ඝ හුස්මක් හෙලූ මම කිසිත් කියාගත නොහැකිව බලාසිටියෙමි. දිලිසෙමින් තිබූ වෛද්‍යවරියගේ ඇස් වලින් කඳුලු බිඳු කීපයක් කඩා හැලෙනු මම දුටුවෙමි. ඇයට තවත් කීමට දෙයක් නොතිබූ නිසා මම යන්නට හැරුනෙමි.

"මට විශ්වාසයි ඩොක්ටර්, එයාට මොනවත් වෙන්නෙ නෑ.  She has no choice, she has to stay for me."

"I like your confidence. But I just told you the situation as it is."

"Thank you doctor."

මා කාමරයට යන විට මා තාවකාලිකව සේවයට ගත් රියදුරු තරුණයා කාමරයෙන් පිටත තිබූ පුටුවේ වාඩි වී සිටියේය. මා දුටු විගස ඔහු අසුනෙන් නැගිට මද සිනාවක් පෑවේය.

"මම සර්ට කෝල් එකක් ගත්ත වැඩ කලේ නෑ නෙ."

"ආ එහෙමද"

ඔහු ඉදිරියේ නොහඬා සිටීමට මම දැඩි උත්සාහයක් ගත්තෙමි. දුරකතනය අතට ගත් මා දුටුවේ එය ක්‍රියාවිරහිත වී ඇති බවයි.

"බැටරි බැහැල ඕෆ් වෙලා. චාමර ඇවිත් ගොඩක් වෙලාද?"

"නෑ සර්, විනාඩි පහක් විතර ඇති."

"හ්ම්ම්"

ඔහුට මගේ කටහඬේ තිබූ අප්‍රාණික බව හා වේදනාව දැනෙන්නට ඇත.

"බබාල දෙන්න ඇතුලෙ සර්."

"ඒ දෙන්නට කෑම ගෙනාව නේද?"

"ඔව් සර්, මම සර්ටත් කෑම එකක් ගෙනාව."

අප දෙදෙනා අතරේ ඇය රෝගී වූ මුල් දිනවල ඇතිවූ කතාබහක් මට සිහිපත් විය.

"සර් මම කෑම එකක් ගෙනාව මේක කාල ඉන්න."

"මට මොන කෑමද බං"

"එහෙම කියන්න එපා සර්. නොකා නොබී ඉඳල සර් ලෙඩ වුනොත් බබාල දෙන්නට මොකද වෙන්නෙ?
දැන් නෝනවයි බබාල දෙන්නවයි ඔක්කොම බලාගන්න ඕන සර්. ඒකට සර් කෙලින් ඉන්න ඕන."

"මම කොහොමද බං කන්නෙ මෙයා මෙහෙම ඉන්නකොට."

"මට තේරෙනව සර්, සර් ඉන්න තත්ත්වෙ. ඒත් සර් මේ වෙලාවෙ නෝනයි බබාල දෙන්නයි වෙනුවෙන් ජීවත් වෙන්න ඕන. ඒගොල්ලො ගැන හිතලවත් කන්න සර්."

"හ්ම්ම් ඒක හරි."

චාමර මම සේවය කරන ආයතනයට අනුබද්ධව කලක් රියදුරෙක් ලෙස සේවය කළේය. ඔහු ඉතා මිත්‍රශීලී හා විශ්වාසවන්ත තරුණයෙකි.

"චාමර කාලද?"

"ගෙදර ගිහින්ම කනව සර්."

"ගෙදර යන්න පරක්කු වෙනවනෙ, මේ දෙන්නට කවන්නත් ඕන නෙ. කැන්ටිමෙන් මොනවහරි කන්න."

මම මුදල් නෝට්ටු කීපයක් චාමර අත තැබුවෙමි."

"ඕන නෑ සර්. මම ගිහින් කන්නම්."

"මේක ගනින් බං."

චාමරව පිටත් කර, බොහොම ආයාසයෙන් සිනාවක් ආරූඪ කරගෙන මම කාමරයට ඇතුල් වුනෙමි. ලොකු දුව සහ පුංචි පුතු අම්මාගෙ දෙපසට වී ඇය දෙස බලාසිටිති. කාමරයට ඇතුලු වූ මා දෙස ඔවුන් බලාසිටියේ ප්‍රශ්නාර්ථයක් සහිත දෙනෙත් වලිනි. ඒ ප්‍රශ්නයට පිළිතුරු මා කෙසේ නම් දෙන්නද? මම පොඩි පුතු ලඟට කරගෙන ඔහුගේ හිස අතගෑවෙමි.

"තාත්ති, අම්මි මොකද තාම ඇස් අරින්නෙ නැත්තෙ? අම්මි ලෙඩ වෙලාද? අම්මිට අමාරුද?"

 පුංචි පුතුගේ ප්‍රශ්න වලින් මා තව තවත් අසරණ විය.

"අම්මිට මුකුත් වෙලා නෑ පුතා. අම්මිට මහන්සියි, එක නිසා අම්මි නිදාගෙන ඉන්නෙ."

"ඉතින් මෙච්චර දවස් නිදා ගන්නවද?"

"අම්මිට ගොඩාක් මහන්සියි පුතේ. අම්මි ඔෆිස් ගිහින්, ගෙදර වැඩත් කරල, අපිට කෑමත් හදල, පුතාලගෙ වැඩත් කරල, තාත්තිගෙ වැඩත් කරල, ඔක්කොම කරල දැන් අම්මිට ගොඩාක් මහන්සියි."

අවුරුදු 5ක් වූ පුංචි පුතුට ඒ පිළිතුර ප්‍රමාණවත් විය. අවුරුදු 9ක් වූ, වසයට වඩා මුහුකුරා ගිය දැනුමක් ඇති ලොකු දුව කිසිත් නොකියා අම්මා දෙසම බලාසිටියාය. අම්මාගෙ තත්ත්වය ගැන ඇයට වැටහීමක් ඇත්තා සේය.

"තාත්ති, මම එහෙනම් ආයෙත් කවදාවත් අම්මිට කරදර කරන්නෙ නෑ."

මම පුංචි පුතු පපුවට තද කරගත්තේ දරාගත නොහැකි වේදනාවකිනි.
 
"ඔව් පුතේ, මීට පස්සෙ අපි කවුරුත් අම්මිට කරදර නොකර ඉමු."

මෙතෙක් වේලා හඬන්නට ඇස් වල නොතිබූ කඳුලු වැල නොකැඩී දෙනෙත් අගින් බේරෙන්නට විය. එය හැඬීමක් බවට පත්වන්නට ගත වූයේ මොහොතකි. මෙතෙක් වේලා නිහඬව බලා සිටි ලොකු දුවටද තව දුරටත් ඇගේ කඳුලු අවනත නොවීය.

"තාත්ති ඇයි ඉතින් අඬන්නෙ? අම්මි නිදාගෙන ඉන්නකොට තාත්තිට දුකද?"

"ඉතින් මල්ලියෝ, අම්මි නිදාගෙන ඉන්නකොට තාත්තිට පාලුයි නෙ. ඒකයි තාත්ති අඬන්නෙ."

ලොකු දුව මා බේරාගැනීමට ඉදිරිපත් වූවාය. ඇය පැමිණ පුංචි පුතුගේ හිස අතගාන්නට විය.

"අයියෝ තාත්ති, ඕකට අඬන්න ඕනද? අපි අම්මි ඇහැරුනාම ඇති වෙනකල් කතා කර කර ඉමු."

මට කල හැකිව තිබූ එකම දෙය එයට හිස සැලීම පමණි. 

"තාත්තේ මට නම් බඩගිනියි. අපි කමුද?" ලොකු දුව එසේ ඇසුවේ බඩගින්නටම නොව, මාතෘකාව වෙනස් කිරීමට බව මට සිතුනි.

"ආහ් ඔව්, දැන් හවස් වෙලත් එක්ක. අපි කාල ඉමු."