සඳ පහන් රාත්‍රියක, තරුද නිදන රැයක, ඔබ සිහිවූ මොහොතක, යනාදී වශයෙන් පටන් අරන් ලියපු ඒවා එහෙම අපේ කට්ටියට මතක ඇති. නෑ නෑ මේ පෙම් හසුන් ගැන නෙමෙයි ලියන්න යන්නේ, සමරු පොත් ගැන.:) සමහරු නම් 'මහ දවාලේ', 'නිදි විකාරෙන්', වගේ ඒවත් ලියනවා.:) පොතක් හොයන්න පරණ පොත් ටික අදිනකොට ඕලෙවල් කාලේ ඔටෝ එක හම්බවුනා. පොත හොයන එක පැත්තක තියලා මම ඒක කියෙව්වා. ඉතින් ඒකෙ තිබුන කෑලි ටිකක් තමයි දැන් මේ කොටන්න යන්නේ. තොගේ සමරු පොතේ තිබුන ඒවා අපිට මොකටද කියල බනින්න එපා හොඳේ... මම පව්!
ඕලෙවල් කාලේ අපේ ගෙදර රෑට සෙට් වෙලා අපි 4 දෙනෙක් පාඩම් කළා. ඕලෙවල් කිට්ටු වෙනකොට තමයි කෙලිය පටන් ගත්තේ. ඒ කාලෙට හැමෝම වගේ ඔටෝ පොත් ගන්නවා නේ. ඉතින් දවසට එකෙක්ට අනිවා එකක් වත් ලැබෙනවා ලියන්න. ඉතින් රෑට පාඩම් කරල ඉවර වෙලා පටන් ගන්නවා ඔටෝ ලිවිල්ල. ආයෙත් ඉතින් පාඩම් කරනවා වගේ ඕනවට එපාවට නෙමෙයි ඒක කරන්නේ, ෆුල් කැපවීමෙන් ඔටෝ ලියන්නේ. ඒවා ලියල ඉවර වෙද්දී 3 විතර වුන දවස් පවා තිබුනා. නිකන් කතාව වගේ ලියන්නෙත් නෑ, නිසදැස්ම තමයි ලියන්නේ, සෙල්ලං නෑ.;) අප්පත්තියේ, ලෝක අමාරුවෙන් තමයි ඉතින් නිසදැසක් ගැටගහගන්නේ. ඇයි ඉතින් එකක් දෙකක් නෙමෙයිනේ. ඒ නිසා තමයි ඔය වැඩේට ගොඩක්ම වෙලා ගියේ. හැබැයි එහෙමයි කියල අතාරින්නෙ නෑ, අනිත් උන්ගෙන් උදව් අරගෙන හරි ලියනවා. දවසක් අපේ එකෙක්ට ඌ ට්‍රයි කරපු කෙල්ලගේ ඔටෝ එක ලියන්න කියල දීල. ඌට ඒක ලියාගන්න බෑ, ආදරේ වැඩිකමට වචන එන්නේ නෑ.:P ඒ පාර අනිත් තුන් දෙනා සෙට් වෙලා නිසදැසක් ලිව්වා ලිවිල්ලක්, කොච්චරද කියනවා නම් අර කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කියලා තිබුනා, "එයා හිතේ තියන ඔක්කොම ඔටෝ එකේ ලියලා" කියල.:D අයියෝ සල්ලි කිව්වලු.
අනිත් අය මගේ ඔටෝ එකේ ලියපුවා ලියන්න කලින් මම ඒකෙ මුල පිටුවේ ලියපු නිසදැස ලියල ඉන්නම්කො.
ගෙවුණු අතීතයක
නෂ්ඨාවශේෂ අතර
විසල් වූ මතකයකි ඔබ මට...
ජීවිත වන්දනාව අර්ථවත් කරනු වස්
සිප් දැනුම ලබන්නට,
පැමිණියෙමු අප සැවොම
සොඳුරුතම වූ තක්සලාවට.
උදාවූ වසන්තය
නිමාවී නොයන ලෙස
හදේ රැඳි මිතුරු දම
සදාකල් රැඳෙන්නට,
සමරුවක් තබනු මැන
හදේ ඇඳි සෙනෙහසට
ලෙන්ගතු නිසා
ඒ තරමටම මම ඔබට..!
ඔය මුල් පද තුන නම් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා ගොඩක් තැන් වල ලිව්වා.:) අනිත් උනුත් ඕක කොපි කරලා ගොඩක් ඒවාට දැම්මා.
ඉතින් ඔය විදියට පටන් ගත්ත සමරු පොතේ මුලම ලියල තියෙන්නේ ඒ කාලේ මට ගොඩක් විශේෂ කෙනෙක්, චානිකා. මගේ කලින් පෝස්ට් කියවලා තියන අයට සමහර විට මතක ඇති.
මෙන්න මේ කතාවේ ඉන්නේ එයා තමයි. එයා පොතේ මුලම ලිව්වා කියන්නේ ඉතින් මම කියලා ලියව ගත්තා. පොත මුලින්ම දුන්නේ එයාට. මම ලියන්න ඕන තැනත් මාක් කරලා දුන්නේ. එයා ඒකෙ නම ලියල තියෙන්නේ කාටවත් නම බලාගන්න බැරි වෙන්න. නැත්තන් ඉතින් මගේ ඔටෝ එකේ එයා මුලම ලියල තියනකොට රට්ටු එක එක ඒවා හිතනවනේ.:)
මතකද?
අපි එකට ඉස්කෝලේ ගියා...
රණ්ඩුවුනා, හිනාවුනා...
ඒ මතකයන් අතරින්,
අනාගතයට මාවත විවරවෙලා.
හිරුරැස් මවාපාන,
ඒ සදාතනික රහස ගැන
හිතන්නට කාලය එළඹිලා...
අනාගතය,
සැපවත් කරගන්නට,
පතන්නම් දිගාසිරි
හැමදාමත්....
මේක ලිව්වේ මගේ පොඩි කාලේ ඉඳන් හිටපු හොඳම යාලුවන්ගෙන් එකෙක්. ඒත් දැන් නම් ඌ අපෙන් ගොඩක් දුරස් වෙලා. හැබැයි අදටත් ඕන උදව්වක් ඉල්ලුවොත් කිසි කතන්දරයක් නෑ එවෙලේම කරලා දෙනවා.
ඔබගෙන් ලද
සහෝදරත්වය, දයාබරත්වය
සත්තයි... ලෙන්ගතුයි හැමදාම...
මුවෙහි රැඳෙන ඔබේ සිනහව,
අවිහිංසක ඔබේ දෑස,
සත්තයි... මිතුරුයි හැමදාම...
කඳුලට, සිනාවට, ජීවිතයට
මුහුණ දෙන්න
සවිමත්ය නුඹේ සිත...
කැඩී බිඳෙන සාගර රළ සේ
අකම්පිතව...
අහස් ගැබෙහි තරුවක් සේ
දීප්තිමත්ව...
පැතුම් පිරි හෙට දිනය ජයගන්න
අරුත්බර අනාගතයකට
ආසිරි පතමි මා...
ඊළඟට තියෙන්නේ අපේ
මහිමය ලියපු එක. ඌ ලිව්වා කිව්වට උගේ නෑනලු ලියල තියෙන්නේ.:) වෙලාවට එහෙම වුනේ, නැත්තන් මොකක්ද තියෙන්නේ කියලවත් බලාගන්න වෙන්නේ නෑ.:D
දයාබර මිතුර,
හිස් දෑතක් මිටි මොලවා ගෙන
මව් කුසින් එලියට පැමිණි දා සිටන්
තමන් ආදරය කරන ආස කරන
ගොඩාරියක් දේවල් දෝත පුරවා ගැනීම
ජීවිතයයි...
එසේ ඇහිඳ ගන්නට ඇති දේවලින්
හොඳම දේ ඇහිඳා ගත් ජීවිතය
සුන්දරයි...
මේ සෙයින් දුවන
අතිශය වෙහෙසකාරී වූත්,
පීඩාකාරී වූත් ජීවිතයේ විවේකී සුවය
ආදරයයි...
අලේ මන්ද ඇත්තද කියල නම්, ඔහොම තමයි තිබුනේ. මහිමගේ නෑනත් දන්න දේවල්!;)
මේක එක වසරේ ඉඳලම මාත් එක්ක එකටම හිටපු එකෙක් ලියපු එකක්. අද හවස මමයි මහිමයි ඌයි සෙට් වුන වෙලාවේ ඌ ඔටෝ එක ඔක්කොම කියවලත් ගියේ.:) අර මගේ
පොඩි පොඩි කතා ටිකක් කියන පෝස්ට් එකේ මුලින්ම ලියලා තියෙන්නේ ඌ ගැන.;)
අනන්තවත් වූ මේ
කුරිරු ලොව තුල
සුසන්දවත් වූ ඔබගේ මිතුදම
මගේ ජීවිතේ පුරාවටම
උඩුදුවන්නට විය...
සොඳුරු ඇසුරක්
පෙනෙන තෙක් මානයක නොමැතිව
පිපාසිතව සිටි මාහට,
ජල බිඳක් බඳුව
ඔබේ සොඳුරුතම ලෙන්ගතුකම
පණ පොවන්නට විය...
නිවැරදි තැන ප්‍රසංසාවටත්
වැරදි තැන නිසි මගටත්
ඔබ විසින් මාව
යොමු කරන්නට විය...
නෙතගට කඳුළු නැගුන විරාමයක
ඔබ මාහට ශක්තියක් විය.
එවන් මොහොතක
නිබඳවම ඔබ මට
දිරියක් විය...
ඔබ මට නිබඳ
ආදර්ශයක් විය...
මෙවන් මිතුදමක් පවතින තුරු
අප කෙසේ නොමග යම්ද?
ඔබෙන් ලැබූ ඒ
සොඳුරු ලෙන්ගතුකමත්,
අපේ මේ මිතුරුකමත්
සත්තයි සදාතනයි හැමදාම...!
ඒක නම් ඇඩ් එකක්ද මන්ද....;)
මේක තමයි මගේ ඔටෝ එකේ තියල තියන ඒවායින් මම ආසම එක. හැබැයි ඒක ලියපු එකා තමයි අවුල. යාලුවෙක් විදියට ඉඳල හැමදාම මාව පස්සට අදින්න හදපු එකෙක් තමයි මේක ලිව්වේ. ඒ වුනාට ඒ නිසදැස මාරම ලස්සනයි.
දම්පාට සිතිජ වලල්ලේ
බොඳවුණු සංසාර හීනයක
අනේ අප හමුවුනේ නොපෙනෙන ඉමක.
නොපෙනෙනා දුරකට සැඟවෙන්න නම්,
කඳුලින් පිරුණු දෑස් සඟවාගෙන හිනැහෙමු.
අපේ මිත්‍රත්වය නිසාවෙන්
යටගියාව මෙනෙහි කර
එහි සුන්දරත්වය විඳින විට,
ඒ ඇස්වලට පෙනෙන්නට
නුඹ වරෙන් සකිය
ඔය යහළු පෙම රැගෙන
නෙත් පෙනෙන මානයට.
තව ඉතින් ගොඩක් තියනවා, මට හිතට වැදුන ලස්සනම ටික තමයි මේ. තව ලියන්න ගියොත් කට්ටිය වැඩේ අතැරලා දාවි. ඔය මතක නම් හරිම සුන්දරයි, ඒ වගේම සංවේදියි. මට මතකයි මම උසස් පෙළ ඉවර වෙලා ඉන්න කාලේ එක පාරක් ඔය පොත කියවලා මගේ ඇස් වලට කඳුළු ආවා. මේ පාර නම් එචචර අවුලක් වුනේ නෑ.:) මේ ලියපු සමහර අය අවුරුදු ගානකින් දැකලා නෑ. ඒ ගැන මතක් වෙනකොට නම් ගොඩක් දුකයි. මොනවා කරන්නද, එහෙම තමයි ජීවිතේ.