හ්ම්ම්, පෝස්ට් 50 කුත් ලිව්වා. 50ට සුභ පතපු හැමෝටම ආයෙත් පාරක් ගොඩාක් ස්තූතියි. බ්ලොගේට අලුත් ඇඳුමකුත් ඇන්දුවා. කලින් තිබුන එකට මම ගොඩක් ආසයි. ඒ වුනාට වෙනසක් කරන්න ඕන කියලා හිතුනා. පස්සෙ කාලෙක ආයෙත් ඒක දානවා. මට අම්ම ඕන කියන පෝස්ට් එකේ මම කියන්නේ නෑ කියල හිටපු මගේ ආදර කතාවේ පොඩි සිද්ධියක් කිව්ව නේ. ඊට පස්සේ මට හිතුනා ඒ කතාවේ තව විශේෂ සිද්ධියක් කියන්න ඕන කියලා. මේක නම් එච්චර ලස්සන කතාවක් නෙමෙයි. ඒත් මේ වගේ දේවලුත් වෙනවා කියලා දැනගන්න මම මේක කියනවා. හැබැයි ඉතින් දැන් කාලේ වෙන දේවල් වල හැටියට මේ වගේ දේවල් වෙනවා කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නැතුවත් ඇති.
මේ සිද්ධිය වෙනකොටත් අපි යාළුවො කියන නමින් තමයි හිටියේ. මම එදා හිටියේ බෝඩිමේ. එතකොට මම උසස් පෙළ පළවෙනි අවුරුද්දේ හිටියේ. එදා අපේ ඉස්කෝලේ ස්පොට් මීට් එකට කලින් දවස. එදා එයා ටිකක් කලින් නිදා ගත්තා. ගුඩ් නයිට් මැසේජ් එකත් යවලා මම පාඩම් කර කර හිටියේ. ටිකක් රෑ වෙලා එයාගෙන් කෝල් එකක් එනවා. වෙලාව 11 - 12 අතර වගේ. මම බැලුවා මේ නිදාගන්න ගිය කෙනා මොකද කෝල් කරන්නේ කියලා. අනිත් එක අපි මැසේජ් කරගත්තට කෝල් කරන්නේ නෑ. හැම සති අන්තෙම යාලුවෙක්ගෙ හොස්ටල් එකේ තියන ෆෝන් බොක්ස් එකෙන් එයා මට කෝල් කරනවා. ඒ ඇරෙන්න මොබයිල් එකෙන් කෝල් එකක් ගන්නේ විශේෂ වෙලාවක විතරයි. මොකද ඒ කාලේ මේ වගේ කෝල් චාර්ජස් අඩු නෑ නේ. මාත් ඉක්මනට ආන්සර් කළා. එයා ටිකක් කලබලෙන් වගේ කතා කලේ. එයා මගෙන් physics පාස්ට් පේපර් එකක තියන ප්‍රශ්නයක් ගැන ඇහුවා. එයා කියන දේ හරියට පැහැදිලිත් නෑ. මම කරකවල අතෑරියා වගේ. physics එකස්පර්ට් මගෙන් ප්‍රශ්න අහන්නේ මොකද කියල. අනිත් එක මේ නිදාගෙන හිටපු ගෑනිට මහ රෑ එකපාරට මොකද physics ප්‍රශ්නයක් මතක් වුනේ? physics පේපර් එකවත් හීනෙන් දැක්කද දන්නේ නෑ.
මම ඉතින් කෝකටත් කියලා පාස්ට් පේපර් පොත අරගෙන ඒ කියපු ප්‍රශ්නේ හොයන්න ගත්තා. දැන් මෙයා ඉවරයක් නැතුව කියවනවා. මට තේරුණා ඇත්තටම මෙයාට physics ප්‍රශ්නයක් අහගන්න නෙමෙයි ඕන වෙලා තියෙන්නේ කියලා. මට එතකොට තමයි තේරුනේ මෙයා හොඳටම බයවෙලා ඉන්නේ කියලා. මම ඇහුවා මොකක්ද ප්‍රශ්නේ, ඇයි බය වෙලා වගේ කියලා. ඒත් මුකුත් කියන්නේ නෑ. ඊට පස්සේ මම සැරෙන් ඇහුවා "මොකක්ද වෙලා තියෙන්නේ? මට කියන්න." කියලා. ඊට පස්සේ එයා කිව්වා, "මෙහෙම කියන්න බෑ, කියලා." දැන් ඉතින් මට විකාරයි. මම ආයෙත් ඇහුවා. ඊට පස්සේ එයා කිව්වා "මෙතන කියන්න බෑ, මැසේජ් එකක් දාන්නම්" කියලා. ඊට පස්සේ ආපු මැසේජ් එකේ ඇඟ හිරිවැටිලා යන කතාවක් කියලා තිබුනේ.
එයා කාමරේ නිදාගෙන හිටියලු. එයාගේ හොඳම යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් කෝල් එකක් ඇවිත්. එයාට කතා කරලා ඉවර වෙලා ආයෙත් නිදාගත්තලු. නින්ද කැඩුන නිසා ටික වෙලාවක් යනකල් හරියට නින්ද ගිහින් නෑ. එහෙම ඉන්නකොට එයාට දැනුනලු එයාගේ ඇඳ ළඟ කවුරුහරි ඉන්නවා කියලා. කළුවර නිසා හරියට පෙනුනේ නැති වුනාට එයාට තේරුනාලු බෝඩිමේ අන්කල් තමයි ඒ ඉන්නේ කියලා. එයාට කරගන්න දෙයක් හිතාගන්න බැරි වුනාලු. එයා කෑගහලත් නෑ. ඊට පස්සේ ඒ මිනිහ මෙයාගේ මූණ දිහාවට පාත් වෙලා. එයාට කළුවරේ ඡායාවක් පෙනුනලු ඒ මිනිහ එයාගේ මූණ පැත්තට පාත් වෙනවා. එතකොටම මෙයා ඇඳේ අනිත් පැත්තට හැරිලා. ඒ පාර අර මිනිහත් කලබල වෙලා ටක් ගාල කාමරෙන් එලියට ගිහින්. ඒ වෙලාවේම තමයි මෙයා මට කෝල් කරලා තියෙන්නේ. එයා බයෙන් ඉන්නේ අර මිනිහා ආයෙත් ආවොත් කියලා.
මම එහෙමම අනිත් පැත්තට කෝල් එකක් ගත්තා. එයා ඒ වෙනකොටත් එහෙමම ඇඳේ හිටියේ. ඒ කාමරේට දොරක් වත් නෑ. මම කිව්වා ඉක්මනට කාමරේ ලයිට් එක දාන්න කියලා. එතකොට අර මිනිහා දැනගන්නවා නේ එයා නිදි නෑ කියලා. අනිත් එක ලයිට් එකක් දාල තියන කාමරේකට හොරෙන් රිංගන්න හදන්නේ නෑ නේ. බෝඩිමේ ඇන්ටිත් ගෙදර ඉන්නවා. ඒ නිසා ඒ මිනිහා හොරෙන් රිංගන්න හැදුවොත් මිසක් බලහත්කාරෙන් කාමරේට එන්න හදන්නේ නෑ නේ. ඊට පස්සේ එයා ලයිට් එක දාල ආයෙත් ඇඳට ආව. එයා හොඳටම බය වෙලා, හරියට කතා කරගන්නත් බෑ. මටත් දැන් හොඳටම බයයි. ලයිට් එක දාල නිසා ඒ මිනිහා ආයෙත් එන්නේ නෑ කියල විස්වාසයක් තිබුනා, ඒත් ඉතින් වැරදිලාවත් මොකක් හරි වුනොත් කාට කියන්නද? මම කිව්වා වැරදිලාවත් ඒ මිනිහා ආයෙත් කාමරේට ආවොත් ඇන්ටිට ඇහෙන්න හයියෙන් කෑගහන්න කියලා. මගේ ළඟ එයාගේ බෝඩිමේ ෆෝන් නම්බර් එකත් තිබුනා. ඒ මිනිහා ආයෙත් ආවොත් මම ටක් ගාල ඒකට කෝල් කරන්න බලාගෙන හිටියේ. එතකොට ඇන්ටි ඇහැරෙනවා නේ. අනිත් එක එතකොට ඌත් බය වෙනවා නේ.
ඒ ඇරෙන්න මට ඒ වෙලාවේ කරන්න පුළුවන්කම තිබුනේ එයාගේ බය නැති වෙනකල් එයා එක්ක කතා කර කර ඉන්න එක විතරයි. ඊළඟ ප්‍රශ්නේ ෆෝන් එකේ සල්ලි. ඒ දවස් වල අපි දෙන්න ළඟ තිබුනේ ඩයලොග් ප්‍රී පේඩ් සිම් දෙකක්. My 5 ඇක්ටිව් කරලා තිබුන නිසා විනාඩියකට රුපියල් 2ක් යන්නේ. නැත්තන් රුපියල් 4ක් ද කොහෙද. මගේ ෆෝන් එකේ ලොකු ගානක් තිබුනේ නෑ. එයාගේ එකෙත් වැඩිය සල්ලි තිබුනේ නෑ. කොහොමහරි ඕන වුනොත් බෝඩිමට කෝල් එකක් දෙන්න මගේ එකේ සල්ලි තියෙන්නත් ඕන, මොනවා හරි වුනොත් මට කියන්න එයාගේ එකෙත් සල්ලි ඉතුරු කරගන්නත් ඕන. ඒ පාර මම අපේ බෝඩිමේ තිබුන ඔක්කොම ෆෝන් ටික අරගෙන ආව. ඔක්කොම කිව්වට ෆෝන් තිබුනේ මහිමයටයි තව දෙන්නෙකුටයි විතර. ඒ ඔක්කොගේම සල්ලි ඉවර වෙනකල් කතා කළා. එක දිගටම කතා කලේ නෑ. විටින් විට කතා කලේ සල්ලි ඉවර වෙන නිසා. කොහොම හරි ඒ ෆෝන් ටිකෙන් සැලකිය යුතු වෙලාවක් ඇද්ද.
මං ගැනම දුකයි මේවා මතක් වෙනකොට. මම ඊට පස්සේ ඩයලොග් එකට කෝල් එකක් ගත්තා. "මට පොඩි හදිස්සියක්, මට දැනට ෆෝන් එක රීචාර්ජ් කරගන්න ක්‍රමයක් තියනවද? මම පස්සේ ගෙවන්නම්" කියලා ඇහුවා. ඒ යකා කියනවා "ඔව් මහත්මයාට උදව් කරන්න පුළුවන්, මහත්මයාට තියෙන්නේ ලඟම තියන වෙළඳ සැලෙන් රීචාර්ජ් කාඩ් පතක් මිලදී ගෙන ඒකෙ තියන අංකය ඇතුලත් කරගෙන රීචාර්ජ් කරගන්න පමණයි" කියලා. මට ඉතින් අරූව බිම දාල බෙල්ල පාගල මරන්න තරම් තරහයි. මම ඇහුවා, "ඒක මම දන්නවා, මට මේ වෙලාවේ කාඩ් එකක් ගන්න විදියක් නෑ, වෙන කිසිම ක්‍රමයක් නැද්ද?" කියලා. මිනිහ කිව්වා වෙන කරන්න දෙයක් නෑ කියලා. මොනව කරන්නද ඉතින්? ඒ දවස් වල ලෝන් තිබුනෙත් නෑ නෙ. හැබැයි ටවුන් එකට ගියා නම් මට කාඩ් එකක් අරන් එන්න තිබුනා. බෝඩිමේ ඉඳල ටවුන් එකට කි.මි. 4 ක් විතර තිබුනේ. ටවුන් ඒකෙ නයිට් කඩ දෙක තුනක්ම තිබුනා. සයිකලෙත් තිබුනා, ඕන නම් අපේ එකෙක් ඇහැරවගෙන එක්ක යන්නත් තිබුනා. කොහොමහරි මට ඒක ඒ වෙලාවේ මතක් වුනේ නෑ.
ඊට පස්සේ මම ආයෙත් එයාට කෝල් එකක් ගත්තා. මම කිව්වා "රීචාර්ජ් කරගන්න විදියක් නෑ. එක දිගට කතා කරන්න එපා, සැරින් සැරේ ටික ටික කතා කරන්න. ෆෝන් එක අතේම තියාගන්න. මොනව හරි වුනොත් ටක් ගාල මට කෝල් කරන්න" කියලා. ඔය විදියට ගොඩක් වෙලාවක් කෝල් කර කර මිස් කෝල් දිදී හිටියා. අර මිනිහා ඇහැරගෙන හිටියත් කතා කරන සද්දේ, කෝල් කරන සද්දේ ඇහෙනකොට ආයෙත් එන්න හිතන්නේ නෑ නේ. කොහොමහරි ෆෝන් එකේ කීයක් හරි ඉතුරු කරගන්න කිව්වට එයා මට කතා කරලා කතා කරලම සල්ලි ටික ඉවර කරගත්තා. දැන් මගේ එකෙත් තව පොඩි ගානයි තියෙන්නේ. මාත් ටික ටික කතා කර කර 4 විතර වෙනකල් කතා කළා. 4ට විතර මගේ එකෙත් සල්ලි ඉවරම වුනා. දැන් නම් එච්චර බයක් නෑ හැබැයි. ඔච්චර වෙලාවක් ගිහින් ඒ මිනිහ ආයෙත් එන එකක් නෑ කියල මට හිතුනා. මම කිව්වා කාමරේ ලයිට් එක දාලම තියන්න, පොඩ්ඩක් වත් නිදා ගන්න එපා කියලා. ඊට පස්සේ මම ඇඳේ වාඩි වෙලා බිත්තියට හේත්තු වෙලා හිටියා. මම එහෙම ගොඩක් වෙලා හිටියා. මට ඉතින් වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. ඊට පස්සේ මම ෆෝන් එකේ එලාම් එකත් තියාගෙන හාන්සි වුනා.
උදෙන්ම එලාම් එකට ඇහැරිලා දුවගෙන ගිහින් එහා පැත්තේ කඩෙන් කාඩ් එකක් දාගෙන එයාට කෝල් කළා. බුදු සරණින් එයාට කිසි කරදරයක් වෙලා තිබුනේ නෑ. එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. එයා එලි වෙනකල්ම ඇඳේ වාඩි වෙලා ඉඳල. එයා ඇන්ටිට මුකුත් කියන්න ගිහින් නෑ, වෙනද වගේ ලේස්ති වෙලා ඉස්කෝලේ ගියා. යන්න කලින් අම්මට කෝල් කරලා ඔක්කොම විස්තරේ කියලා. එයා ඒ වෙලාවේ කියල නැත්තේ අම්ම බය වෙයි කියලා. ඇත්ත ඉතින්, ඒ වෙලාවේ අම්මට කෝල් කළා නම් අම්මට බයටම මොනව හරි වෙනවා. එයාගේ අම්ම හිටියේ ගොඩාක් දුර. එයා හවස ඉස්කෝලේ ඇරිලා එහෙමම යාලුවෙක්ගෙ ගෙදර ගියා. පස්සේ අම්ම ඇවිත් අර බෝඩිමට ගිහින් එයාගේ බඩු ටික අරන් ඇවිල්ලා. අම්මත් ඒ ගැන මුකුත් කියන්න ගිහින් නෑ. බොරුවක් කියල ශේප් වෙලා ඇවිත්.
එදා රෑ එයයි අම්මයි දෙන්නම හිටියේ අර යාළුවගේ ගෙදර. එයාගේ අම්ම මට කතා කරලා නොසෑහෙන්න ස්තූති කළා. එයාගේ අම්ම මගේ ගැන දන්නවා. මම මැසේජ් කරන්න ගත්ත මුල් දවස් වලම එයා අම්මට මං ගැන කියලා තිබුනා. එයාගේ හැම දෙයක්ම අකුරක් නෑරම එයා අම්මට කියනවා. හැබැයි යාලුවෙක් විදියට විතරයි මාව අඳුන්වලා දීල තියෙන්නේ. ඊට පස්සේ එයත් කතා කරලා මට ගොඩාක් දේවල් කිව්වා. කොහොම වුනත් මම එදා එක දෙයක් හරියටම දැනගත්තා. ඒ මම එයාට කොච්චර ආදරේ කළාද කියන එක. මට ඒ වෙලාවේ ඇති වුන බයේ හැටියට මම තේරුම් ගත්තා මම එයාට කොච්චර ආදරේ කළාද කියලා. එයා ඉස්කෝලේ ගිහින් එයාගේ හොඳම යාළුවො දෙන්නටත් විස්තරේ කියලා. එයා මට කිව්වා යාළුවො දෙන්න මට තෑන්ක්ස් කළා කියලා. මම ලොවෙත් නැති ටෝකක් ඒ වෙලාවේ දුන්නේ. මම කිව්වා, "එයාල මට තෑන්ක්ස් කරන්නේ මොකටද? මම පරෙස්සම් කර ගත්තේ මගේ දෙයක් නේ" කියලා.:P කොහොමද මගේ ටෝක්ස්? අයියෝ සංසාරේ කිව්වලු! මගේ දෙයක් කිව්වට ඉතින් කලින් කිව්වා වගේ 'යාළුකම' කියන නම තමයි ඒ වෙනකොටත් අපේ සම්බන්දෙට තිබුනේ. ඒ වුනාට ඉතින් ඔහොම කතා තමයි යන්නේ.
මට එයාගේ අම්මත් එක්ක පුදුම තරහක් ආවේ කාමරේට දොරක් වත් නැති බෝඩිමක එයාව නැවැත්තුවා කියලා. අනිත් එක මට පුදුම අර මිනිහා ගෑනිත් ගෙදර ඉන්න වෙලාවේ එහෙම දෙයක් කරන්න හදපු එක. පුදුමාකාර අසහනයක් තියෙන්න ඇත්තේ. නැත්තන් ඉතින් ඔහොම දෙයක් කරාවිද. අපේ ලොකු අම්මගේ දුව හිටපු බෝඩිමකත් ටිකක් විතර ඔය වගේ වැඩක් වුනා. අක්කලා කාමරේ ඉන්න වෙලාවේ ඒ ගෙදර මිනිහා දොර රෙද්ද අතරින් බලාගෙන ඉඳල. අක්කල දැකල කෑගහලා.
ඉතින් අක්කලා, නංගිලාට කියන්න තියෙන්නේ, කොයිතරම් විස්වාසවන්ත තැනක වුනත් කාමරේට ලොක් කරන්න පුළුවන් දොරක් නැති තැනක නම් නවතින්න එපා. අම්මල තාත්තලා වුනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන ගෑනු ළමයෙක්ව බෝඩ් කරද්දී. පොඩි වෙලාවක් ඇති ආයෙත් හදන්න බැරි තරම් වැරද්දක් වෙන්න.