twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, December 2, 2011

දැන් එතකොට කොල්ලන්ගේ විතරමද වැරැද්ද?


  
කාලෙකින් දවස් දෙක තුනක නිවාඩුවක් ගත්තා. හැබැයි මුකුත් ලිව්වේ නැත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ පොඩි ප්‍රශ්නයක් නිසා.:) මගේ කලින් පෝස්ට් එකත් දවස් දෙක තුනක් අයින් කරලා තිබ්බා ඒ නිසා. දැන් නම් අවුලක් නෑ වගේ. අද මේ කොටන්න කියල ලේස්ති වුනේ ආදරය සම්බන්ධ ගැටළුවක් ගැන. මේ ගැන කලින් ගොඩක් ලියවිලාත් ඇති. ප්‍රශ්නේ තමයි මුලින් ආදරය ප්‍රකාශ කරන්න ඕන කොල්ලමද කියන එක. එහෙමත් නැත්තන් කෙල්ලෙක් මුලින් ආදරය ප්‍රකාශ කිරීම වැරදිද කියන එක. ඔය සම්බන්ධව ලියවුනු ගොඩාක් දෙනෙක් අදහස් දක්වපු ලිපියක් මම ටික කාලෙකට කලින් දැක්කා. බ්ලොග් සහෝදරියක් තමයි ඒක ලියල තිබුණේ. එයාට වුන සිද්ධියක් නිසා තමයි එයාට එහෙම ලියන්න හිතිලා තිබුණේ. ඒ සිද්ධියේ හැටියට එහෙම ලියන්න හිතුන එක 100% ක්ම සාධාරණයි. හැබැයි ඒකෙ සම්පූර්ණයෙන්ම වැරදිකාරයෝ කරලා තිබුනේ කොල්ලන්ව. ඒ ප්‍රශ්නෙදි කෙල්ලන්ගේ පැත්තෙන් වෙන වැරදි ගැන කියවිලා තිබුනේ නෑ. (ඒක ඉතින් සහෝදරියන්ගේ බ්ලොග් වල නිතරම දකින්න ලැබෙන දෙයක් නේ.:)) මම ඒකට කමෙන්ට් එකකුත් දැම්මා, රිප්ලයි නම් ලැබුනේ නෑ. මට පස්සේ දාල තිබුන කමෙන්ට් වලටත් රිප්ලයි කරලා නම් තිබුනා.:) මම එතන දාපු කමෙන්ට් එකේ කියපුවත් එක්ක තමයි මේ කියන්නේ. මට කාලෙකට පස්සේ මේ ගැන ආයෙත් මතක් වුනේ මේ ලඟදි බ්ලොග් සහෝදරියක් එක්ක චැට් එකෙන් කරපු කතා බහක් නිසා. එයාත් ටික කාලයක් තිස්සේ හිතේ තියන දේ කොල්ලට කියාගන්න බැරුව බලාගෙන ඉන්නවා. අපි ඒ ගැන ගොඩක් කතා කළා. ඒ කතා බහෙන් මට කලින් හිතිලා තිබුනේ නැති කාරණා ටිකකුත් දැනගත්තා. ඊට පස්සේ තමයි මට මේ ගැන ලියන්න හිතුනේ.

මුලින්ම කියන්න ඕන කෙල්ලෙක් මුලින් ආදරේ ප්‍රකාශ කළා කියල ඒ කෙල්ල චාටර් කෙල්ලෙක් කියල හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. කෙල්ලෙක්ට වුනත් තමන් කැමති කොල්ලෙක් තෝරාගෙන එයාට ආදරේ කරලා, එයාට ඒක කියන්න අයිතියක් තියෙන්න ඕන නේ. ඒකෙ කිසි කතාවක් නෑ. දුක කියන්නේ ඉතින් එහෙම කිව්වම කෙල්ල චාටර් කියල හිතන කොල්ලෝ ඉන්නවා. ඒක අවිවාදයෙන් පිළිගන්න වෙනවා. අපේ ලොකු අම්මගේ පොඩි පුතා ඇතුළුව කීපදෙනෙක්ම මට ඒ කතාව කියල තියනවා. ඒක වැරදියි කියල සාධනය කරන්න, එහෙමත් නැත්තන් එහෙම උන්ට බනින්න මම මේ වෙලාවේ උත්සාහ කරන්නේ නෑ. ඒක කවුරුත් දන්නවනේ, අමුතුවෙන් කරන්න ඕන නෑ නේ. අර මම කියපු පෝස්ට් එකෙත්, ඒකට වැටුන කමෙන්ට් වලත් ඒ ටික හොඳට පැහැදිලිවම වෙලා තිබුනා. මම උත්සාහ කරන්නේ කතා නොකෙරෙන පැත්ත ගැන කතා කරන්න. ඒ කිව්වේ කෙල්ලෝ ඇයි තමන්ගේ හිතේ තියන ආදරේ කියන්නේ නැතුව හිතේ හිරකරගෙන ඉන්නේ කියන එක ගැන කතා කරන්න. කොල්ලම මුලින් ආදරේ කියන්න ඕන කියල කොල්ලන්ට වඩා හිතාගෙන ඉන්නේ කෙල්ලෝ. ඒක බොහොම පැහැදිලියි. වෙනස තියෙන්නේ කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නෑ. අර මම කලින් කියපු පෝස්ට් එකේ කියවුණු විදියට නම් කෙල්ලෝ එහෙම ආදරේ කියන්නේ නැතුව ඉන්නේ කොල්ල කෙල්ල ගැන වැරදියට හිතයි කියන බය නිසාලු. හැබැයි ඇත්ත කතාව නම් කාරණේ ඒක විතරක් නෙමෙයි. එහෙම වෙන්න හේතු කීපයක්ම බලපාන්න පුළුවන්.

1. බය

මෙතන බය කිව්වේ සාමාන්‍යයෙන් ආදරයක් ප්‍රකාශ කරන්න තියන බය. ඒක ඉතින් කෙල්ලන්ට විතරක් නෙමෙයි, කොල්ලන්ටත් තියන එකක් නේ. (අප්පච්චියේ එක පාරක් කෙල්ලෙක්ගෙ මූණ බලාගෙන ඕක කියාගන්න බැරුව මම විඳපු දුකක්. මම තේරුණා මාව විජලනය වේගෙන එනවා කියල. පස්සේ මම බැරිම තැන ඇහුවා "ඔයාට තේරෙන්නේ නැද්ද මම කියන්න හදන දේ?" කියල. වෙලාවට කෙල්ල කිව්වා "මට තේරෙනවා" කියල.)

2. අර කලින් කිව්වා වගේ තමන් ගැන වැරදියට හිතාවි කියන හැඟීම

එහෙම පටු විදියට හිතන කොල්ලෝ ඉන්න නිසා මෙහෙම බයක් ඇතිවෙන එක සාධාරණයි. හැබැයි ඒකට උත්තරේ ආදරේ කියන්නේ නැතුව හිතේ තියාගෙන ඉන්න එක නෙමෙයි. මෙහෙමයි, ඕන කසාදයක් කියල ඕක කියල දාන්න. කොල්ල හොඳ කොල්ලෙක් නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ. එක්කෝ ආදරේ පිළිගනීවි, නැත්තන් වැදගත් විදියට ප්‍රතික්ෂේප කරාවි. කොල්ල අරම පටු විදියට හිතන එකෙක් නම් එයා ඒ නිසාම කෙල්ලව ප්‍රතික්ෂේප කරාවි. ඉතින් දෙයියනේ කොල්ල එහෙම පටු විදියට හිතන එකෙක් නම් එහෙම එකෙක් නැති වෙන එකමනේ හොඳ. කොහොමත් එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්නත් බෑ නේ. එතකොට ඒකෙන්ම මිනිහ කවුද කියල තේරුම් ගන්නත් පුළුවන් නේ.

3. ආඩම්බරකම

ඔන්න ඕක ගැන තමයි මට වැඩියෙන්ම කියන්න ඕන වුනේ. ඔය කොල්ලම ආදරේ කියනකල් බලාගෙන ඉන්න අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මෙන්න මේ හේතුව නිසා තමයි එහෙම කරන්නේ. ගොඩක් කෙල්ලො හිතාගෙන ඉන්නෙ කොල්ලම ඇවිල්ල තමයි මුලින් අහන්න ඕන කියල. කෙල්ලො කොච්චර ආදරේ කලත් තමන් මුලින් කිව්වොත් එක ලැජ්ජාවක් කියල තමයි ගොඩක් කෙල්ලො හිතන්නෙ. ලැජ්ජාවකටත්  වැඩිය ඒක මදි කමක් කියල තමයි හිතන්නේ. කොල්ලම පස්සෙන් වැටීගෙන ඇවිත් අහනව නම් තමයි කෙල්ලො කමති. ඔය ලොකු කතා කිව්වට කොල්ලෙක් පස්සෙන් එනකොට යලුවොත් එක්ක රස කර කර කියන්නයි, කැමතිද ඇහුවම අගේ කරන්නයි ලොකු ලයින් දෙන්නයි තමයි ගොඩක් කෙල්ලො කැමති. බොරු ආඩම්බරකමට නොකිය ඉඳල අන්තිමට කියනවා කොල්ලෝ වැරදියට හිතන නිසයි කියන්නේ නැත්තේ කියල. (හැමෝම ගැන නෙමෙයි මේ කියන්නේ හොඳද)  

මට මතකයි අර පෝස්ට් එකේ ඇනෝ සහෝදරියක් කියල තිබුන මතුපිටින් රොක් පොරවල් වගේ හිටියට අද සමාජයේ කොල්ලො ළඟ තියෙන්නේ ගල් යුගයේ මති මතාන්තර කියල. ඒකම තමයි ඉතින් අනිත් පැත්තටත් කියන්න වෙන්නෙ. කොන්ඩෙ ස්ට්‍රේට් කරල ඩෙනිම් ගහල රොක් පොරීල වගේ හිටියට ලංකාවේ කෙල්ලො ළඟ තියෙන්නෙත් ගල් යුගයේ මති මතාන්තර. ඔය වගේ තැනක ටෝක් දුන්නට ඇත්ත ජීවිතේ ඔය කියන අය ඔයිට වඩා හාත්පසින්ම වෙනස් චරිත රඟපාන්නේ. 

අර මාත් එක්ක චැට් කරපු සහෝදරී මෙහෙම කතාවක් කිව්වා. ගොඩක්ම කෙල්ලො එහෙම දෙයක් කියන්න බය ඊට පස්සෙ කොල්ල අනිත් අය ඉස්සරහ කෙල්ලව චාටර් කරාවි කියලලු. මන්ද මම නම් හිතන්නෙ නෑ කොල්ලෙක් එහෙම දෙයක් කරාවි කියල. මම නම් කවදාවත් එහෙම දෙයක් නම් අහල නෑ. තව එයා කිව්ව එහෙම කෙල්ල ඇහුවම සමහර කොල්ලො ආතල් එකට යාලු වෙනවලු. මම ඒ වෙලාවේ නම් ඒ ගැන එයාට මුකුත් කිව්වේ නෑ. හැබැයි මම නම් ඒ කතාව එච්චර විස්වාස කරන්නේ නෑ. එහෙම වෙන්නේ නෑම කියල මම කියන්න යන්නෙත් නෑ. ඒත් මෙහෙම හිතන්නකෝ, කෙල්ලෙක් කවුරු හරි කොල්ලෙක්ට ආදරේ කරන්න ගන්නවා නම් හොඳට හොයල බලල, හොඳ කොල්ලෙක් කියල හොඳටම විස්වාස නම් විතරනේ ආදරේ කරන්නේ. ඇත්තටම ගොඩක් කොල්ලෝ වගේ කෙල්ලෝ ආවට ගියාට ඔය වගේ අදහස් ඇති කරගන්නේ නෑ නේ. ඇඳුමක් ගන්න ගියාම කෙල්ලෝ තෝරන තේරිල්ලට කොල්ලෙක් තෝරාගන්නවා නම් කොයිතරම් නම් දේවල් හිතනවා ඇද්ද? ඉතින් එහෙම හොඳ කොල්ලෙක්ට ඔය වගේ දෙයක් කිව්වා කියල අර සහෝදරී කියපු වගේ දෙයක් වෙන්න තියන අවදානම ගොඩක්ම අඩුයි නේ. මම නම් කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අරම වෙයි මෙහෙම වෙයි බොරුවට හිතාගෙන කොල්ලම මුලින් කියන්න ඕන කියන එක සාධාරණීකරණය කරගන්න එක. 

දැන් ඔය මාත් එක්ක කතා කරපු සහෝදරීට නම් ඔය ප්‍රශ්න නෑ හොඳද. එයාට තියෙන්නේ මම කියපු පළවෙනි හේතුව විතරයි. ඒ කියන්නේ ඒක කියාගන්න පොඩි බයක් තියනවා එක හේතුවක් නිසා. (මේ ටික දැම්මේ මගේ ආරක්ෂාවට.:D)

ගොඩක්ම වෙලාවට කෙල්ලෝ කරන්නේ කොල්ලෙක්ට හිත ගියොත් කෙලින්ම කියන්නේ නැතුව වටින් ගොඩින් එක එක හින්ට් දීල කොල්ලව ෆෝම් කරගෙන කොල්ල ලවාම කියව ගන්න එකනේ. ඒක ඉතින් කොල්ලට තේරුනොත් හොඳයි. නැත්තන් ඉතින් හැමදාම පසුතැවෙන්න වෙන්නේ. පස්සේ කාලෙක කොල්ල දැනගත්තොත් කොල්ල වුනත් පසුතැවේවි. මම දන්න ඔහොම සිද්ධි ඕන තරම් තියනවා. දැන් ඉතින් ඔය විඳව විඳව ඉන්නවා. ඒවා නම් ඉතින් මෝඩ කම, වෙන කියන්න දෙයක් නෑ. මම දන්න දෙන්නෙක් ඉන්නවා, කෙල්ල කොල්ලට ගොඩක් කල් ඉඳල හිතෙන් ආදරේ කළා. ඒක එයා පෙන්නුවත් එක්ක. ඒ වුනාට ඒ කෙල්ල ගොඩක් සෝෂල්, හැමොත් එක්කම හොඳට හිනා වෙලා කතා බහ කරලා ඉන්න කෙල්ලෙක්. ඒ නිසා අර කොල්ලට ඒ කෙල්ලගේ වෙනසක් පෙනුනේ නෑ. කොහොමහරි කෙල්ල කිව්වෙත් නෑ, කොල්ල දැනගත්තෙත් නෑ, ඒක කාලයත් එක්කම එහෙමම වැළලිලා ගියා. පස්සේ ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වුනා. ඊටත් පස්සේ කෙල්ලගේ වෙන යාලුවෙක් කිව්වට පස්සේ තමයි කොල්ල දැනගත්තේ එහෙම එකක් තිබුන කියල. මේ ලඟදි ඔය දෙන්න චැට් කර කර ඉන්නකොට ඔය කතාව ඇදිල තිබුනා. ඒ කෙල්ල අදටත් සෑහෙන දුක් වෙනවා අරූව නොලැබුන එකට. එදා ඒ වචනේ කියාගන්න බැරි වුන එකට අදටත් ඒකි දුක් වෙනවා.

අවසාන වශයෙන් කොල්ලන්ට කියන්න තියෙන්නේ කෙල්ලක් එහෙම කිව්ව පලියට ඒකි චාටර් කෙල්ලක් කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා. ඒකෙන් හොයන්න බෑ කෙල්ල චාටර්ද නැද්ද කියල. ආදරය ප්‍රකාශ කිරීමේ සම අයිතිය පිළිගන්න. එහෙම කියන්න තරම් කෙල්ලෙක් පෙළඹෙනවා කියන්නේ දරාගන්න බැරි තරම් ආදරයක් එතන තියෙන්න පුළුවන්. අර කතාවක් තියෙන්නේ තමන් ආදරේ කරන කෙනා නෙමෙයි තමන්ට ආදරේ කරන කෙනා තෝරගන්න කියලා. ඉතින් එහෙම අවස්තාවක් ලැබුනම ඒක අවතක්සේරු කරන්න එපා.

කෙල්ලන්ට කියන්න තියෙන්නේ කවදාවත් ඔය වගේ දෙයක් හිතේ තියන් ඉන්නේ නැතුව කියල දාන්න. එතකොට කොල්ල අකමැති වුනත් හිත හරි නිදහස් මම කිව්වා නේද කියල. එහෙම නැති වුනොත් කවදාහරි පසු තැවෙන්න වෙනවා මම මේ දේ එයාට කිව්වා නම් කතාවේ වෙනසක් වෙන්න තිබුනා නේද කියල. ඒක හිතේ තියාගෙන ඉන්න එක තමන්ට වගේම ඒ කොල්ලටත් කරන අසාධාරණයක්. මොකද ඒ කොල්ලට ගොඩක් වටින කියන ආදරයක් නැති වෙන්න පුළුවන් කෙල්ල සද්ද නැතුව හිටියොත්. අරම වෙයි මෙහෙම වෙයි කියල තමන්ම තීරණය කරලා හිතේ තියන දේ නොකිය ඉන්න එපා. "අඳුරට ශාප කරමින් නොසිට එක පහනක් හරි දල්වන්න" කියල කතාවක් තියනවනේ. කෙල්ල මුලින් ආදරේ කියන එක ලැජ්ජාවක්, මදි කමක් කියල හිතන්න එපා. තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන දේ කරලා ඉන්න මුලින්ම. තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන දේ නොකර බොරුවට අනිත් අයට දොස් කියන්න එපා.  

 .................................................................................................................................................................
ප.ලි. ඔන්න ඔහොමයි කසුන්ට හිතෙන්නේ. මේ ගැන හිතට එකඟව මොනවා හරි කියන්න තියනවා නම් කියලම යන්න.

38 comments:

  1. මේ කෙල්ලෝ නම් කවදාවත් හදන්න බෑ.. මෙක බලල වත් හැදියල්ල කෝ....

    ReplyDelete
    Replies
    1. මන්ද බන් මූටවත් කියල බලනව වශියක් වත් කරගන්න
      www.nomileguru.blogspot.com

      Delete
  2. //මතුපිටින් රොක් පොරවල් වගේ හිටියට අද සමාජයේ කොල්ලො ළඟ තියෙන්නේ ගල් යුගයේ මති මතාන්තර කියල// සහතික ඇත්ත.

    අංක 2 ගැන පොඩ්ඩක් කියනවා නං, කෙල්ලක් ආදරේ ප්‍රකාශ කලාම ඒ ගැන වැරදියට හිතන්න පුළුවන් අය ඉන්නව ඕනතරං මේ සමාජෙ. හැබැයි ඔයා කියල තියන විදියට මෙතනදි සතුටුදායක අවසානයක් ඇතිනොවෙන්න පුළුවන්. මොකද සමහරු හිතන්න පුළුවන් "මෙයා ඕනදේකට ලේසියෙන් නම්මගන්න පුළුවන් කෙනෙක්" කියල. එහෙම හිතල පස්සෙ අත්හරින්න බලං ආදරේට කැමතිවෙන්නත් පුවවන්. ඒනිසා මම නං කියන්නෙ ඒවගේ අවස්තා වලින් ටිකක් විතර ප්‍රවේශම් වෙන්න ඕන කියල.

    ReplyDelete
  3. //අර මාත් එක්ක චැට් කරපු සහෝදරී මෙහෙම කතාවක් කිව්වා. ගොඩක්ම කෙල්ලො එහෙම දෙයක් කියන්න බය ඊට පස්සෙ කොල්ල අනිත් අය ඉස්සරහ කෙල්ලව චාටර් කරාවි කියලලු. මන්ද මම නම් හිතන්නෙ නෑ කොල්ලෙක් එහෙම දෙයක් කරාවි කියල//

    මෙහෙම දෙයක් මම ඇස් පනා පිටම දැකල තියනවා :)...ඒ කෙල්ල තාමත් පසු තැවෙනවා කරගත්ත දේ ගැන...

    තමන්ගෙන් කෙල්ලෙක් කැමතිද ඇහුවා කියලා හරි උජාරුවෙන් යාළුවන්ට කියන්න කැමති කොල්ලෝ ඕන තරම් ඇති...අපිට ඒක නැහැ කියන්න බෑ නේද?

    ReplyDelete
  4. ම්ම්ම්..මේ ගැන කීමට නම් බොහෝ දේ ඇති නමුත් කිසිවක් නොකියාම යන්න යමි.. ලිපිය අනර්ඝය..

    ReplyDelete
  5. ඔක තමා ඇත්ත කතාව.... හොද පොස්ට් එකක්.....

    ReplyDelete
  6. බලු වලිගෙ ඇද ඇරියත් කෙල්ලන්ගෙ මෝඩ කම් අරින්න පුළුවන්ද බන්... උඹ ගුටිකනව මේව ලියල...

    (වෙලාවට මම මේ වගේ කතාවක් උඹට කිව්වෙ නැත්තෙ ;) )

    ReplyDelete
  7. @පැණි දොඩම්
    :D ඒක නම් වෙන්නේ නැති දෙයක් සහෝ.

    @රාජ්
    ප්‍රවේශම් වෙන්න ඕන කියන එක නම් පිළිගන්නවා සහෝ. කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලෝ වුනත් එහෙමයි. තමන්ට හොඳටම විස්වාස නම් එහෙම දෙයක් කරන කෙනෙක් නෙමෙයි කියල එතකොට බය වෙන්න දෙයක් නෑ නේ.

    @සයුරි
    මම කලින් කිව්වා වගේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලම කියන්න බෑ තමයි. ඒ කොල්ල තමන්ට එහෙම දෙයක් කරන්නේ නෑ කියල ෂුවර් කරගෙන ඉන්න එක වැදගත්. එහෙම නැතුව පොල්ලෙන් ගහන්න වගේ කිව්වොත් ඔහොම දේවල් වෙන්නත් පුළුවන්. කෙල්ලන්ට විතරක් නෙමෙයි කොල්ලන්ටත් ඔහොම දේවල් ඕන තරම් වෙනවා නේද සහෝදරී? වෙනස තියෙන්නේ ඒවා ගැන එච්චර කතා කරන්නේ නැති එක.

    "තමන්ගෙන් කෙල්ලෙක් කැමතිද ඇහුවා කියලා හරි උජාරුවෙන් යාළුවන්ට කියන්න කැමති කොල්ලෝ ඕන තරම් ඇති...අපිට ඒක නැහැ කියන්න බෑ නේද?"

    අපොයි ඔව් එහෙම අයත් ඇති. බොහොම සාමාන්‍ය දෙයක් වෙලත්, කොල්ලෙක් තමන්ගෙන් ඇහුවම බොහොම උජාරුවෙන් කෙල්ලෝ ඒක යාලුවෝ එක්ක කියන එකේ කොල්ලෙක්ට එහෙම දෙයක් වුනාම යාලුවොත් එක්ක උජාරුවෙන් කියන එක පුදුමයක් නෙමෙයි නේ. හැබැයි එහෙම කියලා අහපු කෙනාව අනිත් අය ඉස්සරහ චාටර් කරන එක කොහොමවත් අනුමත කරන්න බෑ. කොල්ලෙක් කලත්, කෙල්ලෙක් කලත් එක මහ ජරා වැඩක්. එහෙම අය ඉන්න නිසා තමයි මේ ප්‍රශ්නෙට හරි විසඳුමක් නැත්තේ.

    @Red Riding Hood
    ස්තූතියි සහෝදරී! ඒ වුනාට කියන්න තියන දේවලුත් කියලම ගියානම් හොඳයිනේ.:)

    @Suranga
    ස්තූතියි සහෝ! නොකියවෙන ඇත්ත කතාව.

    @සාතන්
    ගුටි කන්න බලාගෙන තමයි ලිව්වේ.:D නෑ ඉතින් කෙල්ලෝ හැම තිස්සෙම කිසි හිරිකිතයක් නැතුව කොල්ලන්ටම බනින එකේ අපි ඇයි ඕව නොකිය ඉන්නේ.

    "වෙලාවට මම මේ වගේ කතාවක් උඹට කිව්වෙ නැත්තෙ ;)"

    ඔව් ඔව් කිව්වනම් ඒකත් මේකේ දානවා.:D

    ReplyDelete
  8. ජනප්‍රිය නවකතාකාරිනියක් ඇයගේ නවකතාවක මෙහෙම ලියල තිබුනා

    "ගැහැණු හිත හරිම බොළදයි, සමහර වෙලාවට ආදරේ ඉල්ලලා කෑ ගහනවා.. ගැහැණුකම හින්දා කියාගන්න බෑ.. ගැහැණුකම නිසා ආදරේ හිගා කන්නත් බෑ.අපි අපේ පීඩාව යටපත් කරගෙනයි ඉන්නේ. එත ඇත්තටම ආදරේ මුණගැහුණු දවසට ඒ හැගීම දොරේ ගලනවා.වැව් සොරොව් බිදගෙන ගලා හැලෙනවා. අන්න එදාට රෑ පිනි වලටත් මල පිපෙනවා "

    ගොඩාක් කාලෙකට පස්සේ මේ ගොඩාක් ලගදි මට කෙනෙක්ට හිත ගියා, ඒක ආදරේ ද මන් දන්නේ නැහැ, කැමැත්තක්, එත් අර කියන බය නිසා සහ ලැජ්ජාව නිසා කියන්නේ නැහැ, ඔව් කවදාවත්ම කියන්නේ නැහැ ,, හිහි,

    ReplyDelete
  9. @වර්ණා
    "ගැහැණුකම නිසා ආදරේ හිගා කන්නත් බෑ."

    සරලවම කිව්වොත් ඕකට තමයි කියන්නේ ආඩම්බරකම කියලා. ලස්සන වචන වලින් කිව්වට බොරු ආඩම්බරය කියන කියන අවලස්සන දේ තමයි ඔතන තියෙන්නේ.

    "ඔව් කවදාවත්ම කියන්නේ නැහැ."

    ඔයාට හොඳ නම් ඉතින් එහෙම කමක් නෑ. හැබැයි කවදාහරි පසුතැවෙන්න බලාගෙනම එහෙම කරන්න නගෝ.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. හැබැයි ඒ කෙනාව දැකලත් නැහැ , වැඩියේ දන්නෙත් නැහැ. එත් ඒ වචන වලට මම කැමති ගොඩාක්, ඒක ආදරේ ද? නැද්ද? එහෙම දෙයක් ඒ කොල්ලට කියුවොත් මේකිට පිස්සුද කියල හිතයි, ඒ නිසා නොකියම ඉන්නවා කියල තීරණය කළා :)))

    ReplyDelete
  12. කවුරු වුනත් කමක් නෑ. කියන්න තියෙන දේ කීවානම් ඒ ඇති..

    ReplyDelete
  13. පරණ ආදර කතා ගොඩාක් මතක් වුනා මේක දැකලා.. අසූව දශකයේ එව්ව !

    ReplyDelete
  14. මේක ගැනනම් ඉතින් ගොඩක් දුරට කතා කරන්න පුළුවන්.. ඒත් මගේ මතය නම් ඔතන කවුරු ඉස්සර උනත් වැරදි නෑ කියන එක.. මං ඉස්කෝලේ යද්දි මගෙන් කෙල්ලො දෙන්නෙක්ම අහලා තියෙනවා.. නොයෙකුත් කාරණා නිසා මට බෑ කියන්න උනා.. ඒත් මං ඒකේ කවදාවත් වැරැද්දක් දැක්කේ නෑ.. ඕක හිතේ තියන් කාලයක් දුක් විදිනවට වඩා කැමැත්ත අකමැත්ත දැනගෙන හිත හදා ගන්න හරි පුළුවන්..

    අර මුලින් කියපු කාරණා 3ට මාත් එකගයි.. ඔතන තුන් වෙනි කාරණාව නම් ගොඩක් බලපානවා.. ඒක ඉතින් කෙල්ලන්ගේ හැටිනේ.. ඒක අපිට වෙනස් කරන්න බෑ..

    ReplyDelete
  15. හ්ම්ම් හොඳ අදහසක්,. මාත් මේක ආදර්ශෙට ගත්ත ඔන්න..

    ReplyDelete
  16. @Dinesh මෙයා ඉස්සර හරි ඩිමාන්ඩ් නේ..............?අනේ යනවා යන්න...

    ReplyDelete
  17. මට අහුවෙනවකෝ...............
    ගෑනු ළමයි වුනාම ආඩම්බරයි තමයි...ඇයි මොකද...?
    එහෙම කිව්වට මොකද...කවුරු ආදරේ ප්‍රකාශ කරත්...ආදරේ අවංක වෙන්න ඕනා..එහෙනන් එච්චරයි කියලා තමයි අසනි හිතන්නේ..

    මොනවා වුනත් කසුන්...ගෑනු ළමයි ගැන මාර දේවල්නේ දන්නේ අප්පා....

    ReplyDelete
  18. @වර්ණා
    මොකද අර කියන්නම් කියල දාපු කමෙන්ට් එක අයින් කලේ? :)

    අපොයි නගෝ ඒක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. මමත් හොඳටම ඇනගත්තා ඔහොම දැකලවත් නැතුව ආදරේ කරන්න ගිහින්. එහෙම වුනාම ලේසියෙන්ම රැවටෙන්න පුළුවන්. අනිත් එක වචන වලට ආදරේ කරලා කවදාහරි දැකපු දවසක හරි නෑ කියල හිතුනොත් පව් ඒ කොල්ලා. හෑහ්! පොඩ්ඩක් ඉන්න. වචන වලට කැමතියි කිව්වේ ඒකා බ්ලොග් ලියන එකෙක් වත්ද?

    @Roshan Herath
    ඒකනේ සහෝ, එතකොට පස්සේ දුක් වෙන්න දෙයක් නෑ නේ.

    @Weni
    ඒ කතාත් ලියමුකො වෙනී අයියේ. 80 දශකයේ ඒව අහන්නත් ආසයි.

    @Dinesh
    ඔව් නේ, හිතේ තියාගෙන ඉඳල පස්සේ දුක් විඳිනවට වඩා හොඳයි නේ කියල ඉවරයක්‌ කරගන්න එක. බෑ කිව්වත් කිව්වා කියල හිත නිදහස් නේ.

    ඔව් ඉතින්, මොනවා කිව්වත් ඒක තමයි ප්‍රධාන හේතුව. ඒ වුනාට කියන්නේ වෙන කතා.

    @Gimhani
    අන්න බලන්න හොඳ අක්කලා.:D ඒ වුනාට අර ටෝක් එක නම් ලොවෙත් නෑ.:P

    @අසනි
    ගෑණු ළමයි ටිකක් ආඩම්බර වෙන්න ඕන තමයි අසනියේ. ඒ වුනාට ඒකට වෙලාවක් කලාවක්, සීමාවක් තියෙන්න ඕන නේ. එහෙම නැති වුනාම චාටර්. ප්‍රශ්නේ තියෙන්නේ ආඩම්බර කමට නොකිය ඉඳල පස්සේ කොල්ලන්ට බනින එක.

    ගෑණු ළමයි ගැන තව ගොඩක් දේවල් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.:)

    ReplyDelete
  19. කොහොම උනත් හරිම කෙලින් ටෝක් එක .මෙයාගේ තියෙන මීටරේ ගැන හිතා ගන්න පුළුවන්.ජය වේ වා කොල්ල...

    ReplyDelete
  20. කසුන් කියපු බොහෝ දේ එක්ක මමත් එකඟයි
    මෙතනදී අංක 02 කරුණ තමයි වැදගත්ම දේ

    මම දන්නා යාළුවෙක්ගෙන් ඉස්කෝලේ කාලේදී එක කෙල්ලෙක් යාලු වෙන්න ඇහුවා. ඌ ඇවිත් අපිට එක කියද්දී අපි එක විස්වාස කලේ නැහැ. අන්තිමට දෙන්න යාළු වෙලා දැන් කසාදත් බැඳලා. දෙන්නම සතුටින්

    මම දන්නා තව ගෑනු ළමයෙක්, මම හොඳටම දන්නා යාලුවෙක් එයාගෙන් යාළු වෙන්න අහනකන් එයාගෙන් යාළු වෙන්න අහපු කොල්ලෝ 6, 7 දෙනෙකුටම බැහැ කිය කියා හිටියා
    අන්තිමට මගේ යාළුවා එයාගෙන් ඇහුවා විතරයි කෙල්ල හා කිව්වා. දැන් බැඳලා ළමයෙකුත් ඉන්නවා.

    හැබැයි මෙතැන මේ ගෑනු ළමයි දෙන්නම තමන්ගේ සුක්ෂම ඥානය පාවිච්චි කරලා නිවැරදිම තේරීම කරලා තිබුනා.
    එහෙම නිවැරදි තේරීමක් කරගෙන කොල්ලෙක්ගෙන් යාළුවෙන්න ඇහුවොත් කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නෙ.
    මම දන්නා කියන ඇය අතුරින් මෙහෙම දෙයක් දැක්කේ අර පළවෙනි වතාවේ විතරයි. දෙවෙනි වතාවෙත් කෙල්ල බලන් ඉන්නවා කොල්ල අහනකං.

    මට පෞද්ගලිකව මේ වගේ අත්දැකීම් පහක් විතර තියෙනවා. ඒත් ඒ එක ළමයෙක්වත් මගෙන් කෙලින් ඇවිත් යාළුවෙන්න ඇහුවේ නැහැ. මමත් ඒ අයගේ උනන්දුව ගැන දැන දැනත් නිශ්ශබ්ධව හිටියා. නිකම්ම නෙමේ තනිකඩව. ඇයි කියල මට අදටත් හිතා ගන්න බැහැ.
    හැබැයි මම ඒ ළමයින්ව කවදාවත් පහත හෙලලා කතා කරලවත්, කිසිම දෙයක් කරලා නැහැ.
    මට මේ විස්තර ඔක්කොම එන්නෙ මගේ(සහ එයාලගේ) යාළුවෝ(ගෑනු ළමයි) හරහා.

    කසුන් මට මේ මතක් කරලා දුන්නෙ මට පුදුම විදිහට අමතක වෙලා තිබුණු මගේ ජීවිතයේ සුන්දරම සිදුවීම් පෙළක්

    ReplyDelete
  21. @ වර්ණා
    මටත් හිතෙන්නෙ එයා බ්ලොග් ලියන කෙනෙක් කියලා
    අහන්න නංගියේ කිසි දෙයක් හිත් ඇතුලේ තියාගෙන හිරකරගෙන ඉන්න එපා
    ඔයා අහල නැද්ද මේ කතාව (මට මේක කියල දුන්නෙ මට වඩා ගොඩක් වැඩිහිටි යාළුවෙක්)

    -ගියොත් වචනයක්:ලැබුනොත් අලියෙක්-
    ඔන්න ඒක මනුස්සයෙක් පාරේ අලියෙක්ව අරගෙන යනවලු, ඒක දැකල ඒක මනුස්සයෙක් අලියා ගෙනියන මනුස්සයගෙන් ඇහුවලු "මට අලියව දෙන්න පුළුවන්ද කියලා"
    අර අලියා ගෙනියන මනුස්සය "බැහැ" කිව්වම ඒ සිද්ධිය එතනින් ඉවර උනාලු
    ඒත් මේක බලන් හිටපු තුන්වෙනියෙක් ඇවිත් ඇහුවලු "නොදෙන බව දැනදැනත්, ඇයි තමුසේ අර අලියව ඉල්ලුවේ" කියලා
    අර අලියා ඉල්ලපු මනුස්සය කිව්වලු "බැරි වෙලාවත් අලියා දුන්නොත් එහෙම" මට ලැබෙන්නේ අලියෙක්, නොදුන්නොත් මගෙන් යන්නෙ වචනයක් විතරයි කියල කිව්වලු.

    ReplyDelete
  22. කාතාව එලටම ලියලා තියනවා කසුන් එත් කෙල්ලෙක් කොල්ලේක් ගෙන් අහානවා හරිම අඩුයි.මෙක බලලාවත් එකෙක් හරියි අහයි.

    ලොකු පුතා: ඔයාගෙ කාතාවනම් එලම තමා කෙල්ලෙක් ගෙන් අහන්ඩ බයේ ඉන්න කොල්ලේකුට ... කොල්ලෙක් ගෙන් යාලු වෙන්ඩ අහන්ඩ බයෙ ඉන්න කෙල්ලෙකුට මෙ කතාව හොදටම ඇති හැදෙන්ඩ.

    ReplyDelete
  23. කසුන් හිතන විදිහත් හරි. සම අයිතින් දෙගොල්ලන්ටම තියෙන්න ඕනා. ආදරය හිතේ තියාගෙන ඉන්නවට වඩා කියලා දාන එක හොදයි. එතකොට හිත නිදහස්. නැත්නම් හිතට බරක් !!!

    ඔය පොශ් කෙල්ලෝ කිව්වම මම් වැඩ කරන තැනත් සෑහෙන්න ඉන්නවා මාර පොෂ් කෙල්ලෝ. කොන්ඩේ ස්ට්‍රේට් කරලා ඇස් මැදලා කොටට ඇඳලා එහෙම. අහලා බැලුවම ගෙවල් තියෙන්නේ අනුරාධපුර පොලොන්නරු වගේ ඈත පලාත්. කාලයත් එක්කම කොළඹ ගති පුරුදු වෙලා

    ReplyDelete
  24. මන්දා මම නම් මේ ලිපිය අගේ කරනවා...

    හැබැයි අර ගල් යුගයේ මති මතාන්තර කතාව මොකක්ද කියලා තව පොඩ්ඩක් පැහැදිලි කරනව නම් හොඳයි....
    කොල්ලොන්ට අනාගතේ ගැන පැහැදිලි දැක්මක් තියෙන එක නම් ගල් යුගය කියලා අදහස් කරන්නේ මම කියන්නේ ඒක නම් වැරදි කියලා....

    ReplyDelete
  25. @Tharinduhw122
    තැන්කූ සහෝ! කෝ මේ කොලර් එක...

    @ලොකු පුතා
    ඒකනේ සහෝ, කොච්චර ලේසියෙන් විසඳ ගන්න පුළුවන් දේවල්ද මේ හිතේ හිරකරගෙන ඉඳල පස්සේ දුක් වෙන්නේ. අර දෙවැනි කතාවෙත් කොල්ල පහුවෙලා හරි අහපු නිසා හොඳයි. සහෝ කිව්වා වගේ නිවැරදි තෝරාගැනීමක් කරන එක ගොඩක් වැදගත්. ගොඩක් අයට ඔය වගේ අත්දැකීම් තියනවා ඇති සහෝ. හැබැයි දන්න ඒවටත් වඩා නොදන්නා ඒවා තමයි වැඩිපුර ඇත්තේ.

    අර අලියාගේ කතාව පොඩ්ඩක් මොඩිෆයි කරලා අපේ උන් කියන්නේ. "ගියොත් වචනයක්, ආවොත් කෙල්ලෙක්!" :)

    @පසිදු
    මම නම් හිතන්නේ නෑ සහෝ එහෙම හරි යාවි කියල නම්.:)

    @මධුරංග
    ඔව් බං, හිතේ තියන ඉඳල මොකටද? විඳවලා විඳවලා තව දවසක් හරි ඉක්මනට මරණයට ලං වෙන එකයි වෙන්නේ.

    @මකුළුවා
    අනේ මන්ද සහෝ, ඒක ඒ ඇනෝ සහෝදරීගෙන්ම තමයි අහන්න ඕන.:) මොනවා හිතාගෙන කිව්වද දන්නේ නෑ.

    ReplyDelete
  26. @ කසුන් සහ ලොකු පුතා අයියා.

    ඇයි බ්ලොග් ලියන කෙනෙක්ට පෙම් බදින්න බැරිද?
    ඒ කෙනාගේ හිත ලස්සනනම් ශරීරය ගැන නම් මම තකන්නේ නැහැ කසුන් සහෝ.,
    ලොකු පුතා අයියේ , කොහොම උනත් ඒ කෙනා ට මම ගරු කරනවා, මගේ මේ මෝඩ අදහසක් නිසා ඒ සහෝදරකම නැති කරගන්න බෑ,
    කොහොම උනත් ගැහැනියකට ලැජ්ජාව බය කියන දේ තියනවා, අන්න එකයි ගැහැණුකම කියන්නේ. මම නම් හිතන්නේ පිරිමියා අහන ඒක තමයි හොද කියලා. මගේ අදහස පමණයි.

    ReplyDelete
  27. ම්ම්ම්ම් මම ඊයේ සෑහෙන්න මහන්සි ව්එලා දිගම දිග කමෙන්ට් එකක් ටයිප් කර කර ඉද්දිම අපේ SLT ලයින් එක ඩිස්කනෙක්ට් ව්උනා නේ..(අද තමා හදලා තියෙන්නෙ...:/

    මේකට ලියන්න මටනම් හුගාක් අදහස් එනවා.කොහෙන් පටන්ගන්නද කියන්න බෑ..හිතාගන්න බෑ...

    මමත් කෙන්ක්ට හුගාක් කාලයක් තිස්සෙ හිතින් ආදරේ කලා. මම දන්නෙ නෑ මගේ හිත කොහොම ඒ තරමට එයාට ඇදුනද කියලා. මොකද ලේසියෙන් එහෙම වෙන්නෙ නෑ.අවසානෙදි කොහොමහරි ඕක කනින් කොනින් ගිහින්... එයාගෙ කනටටහ් ගිහින් තිබුනා, ඒකට එයා නොයෙක් විදියෙ ප්‍රතිචාර දක්වලා තිබුණා. නමුත් අදටත් මම දන්නෙ නෑ හරියටම මොකක්ද ඇත්ත නැත්ත කියලා.
    හැබැයි එයා මට කිසිම දෙයක් ඇගෙව්වෙනම් නෑ...අනේ මංදා..

    ඔය අතරෙ මට ළග යාළුවො කීපදෙනෙක්ගෙන් ලැබුණූ උපදෙස් පිට සිද්ධ වුනා එයා ගැන හිතන එක අතහරින්න. මොකද එයාලගෙ අදහස වුනෙත් කෙල්ලෙක් කොල්ලෙක් ගැන හිත හිත මෙහෙම වද වෙන එක චාට්‍ර් කියලයි...

    කොහොම වුනත් මට වුනත් එහෙම කෙලින්ම ආදරේ කියන්න හයියක් නෑ.. කවදාවත් එහෙම කියන්නෙත් නෑ.. කාලයට ඉඩ දීලා බලන් ඉන්නවා.. එයාව මට ලැබෙන එකකුත් නෑ කියලයි හිතෙන්නෙ...:(

    ReplyDelete
  28. මේ ලිපියනම් නියමයි!!!! අයියා.. හොද මාතෘකාවක්..

    ReplyDelete
  29. //අර මාත් එක්ක චැට් කරපු සහෝදරී මෙහෙම කතාවක් කිව්වා. ගොඩක්ම කෙල්ලො එහෙම දෙයක් කියන්න බය ඊට පස්සෙ කොල්ල අනිත් අය ඉස්සරහ කෙල්ලව චාටර් කරාවි කියලලු. මන්ද මම නම් හිතන්නෙ නෑ කොල්ලෙක් එහෙම දෙයක් කරාවි කියල//

    මෙන්න මේකට මට 100%ක් එකග වෙන්න බෑ.අනික් එක කොල්ලෙක් යාලු වෙන්න අහන එක සාමාන්‍ය දෙයක් හැටියටත් කෙල්ලෙක් ඇහුවොත් කෙල්ලට දාංගලේ වැඩි වෙලා කියන එකත් අපේ හුගක් අය කරන දෙයක්.ඉතිං තමුන්ගෙ නම කැත කරගන්නවට වඩා හිතේ තියාගෙන ඉන්න එක හොදයි කියලා කවුරු හරි කෙල්ලෙක් හිතනවානම් ඒකත් සාධාරණයිනෙ.

    ReplyDelete
  30. @වර්ණා
    "ඇයි බ්ලොග් ලියන කෙනෙක්ට පෙම් බදින්න බැරිද?"

    නෑ නෑ ඉතින් එහෙම එකක් නෑ. ඕකට තරහ ගන්න ඕන නෑ නේ.:) හ්ම්ම් හොඳට හිතල බලල හොඳයි කියල හිතෙන විදියක් කරන්නකෝ.

    @හිතුවක්කාරි
    "යාළුවො කීපදෙනෙක්ගෙන් ලැබුණූ උපදෙස් පිට සිද්ධ වුනා එයා ගැන හිතන එක අතහරින්න. මොකද එයාලගෙ අදහස වුනෙත් කෙල්ලෙක් කොල්ලෙක් ගැන හිත හිත මෙහෙම වද වෙන එක චාට්‍ර් කියලයි..."

    අපරාදේ කියන්නේ නියම යාළුවො ටිකක් ඉඳල තියනවා නගාට. මොනවා කිව්වත් ගොඩක් කෙල්ලන්ගේ ඔය ආකල්පය වෙනස් කරන්න බෑ. හිතේ හිර කරගෙන විඳව විඳව ඉන්න එක වැඩිය හොඳයි කියල හිතනවා නම් ඉතින්.... එහෙම කරන්න. ඒත් ඉතින් අපරාදේ කියල තමයි මට නම් හිතෙන්නේ.

    @නිසුපා
    අනේ මන්ද ඉතින් අක්කලා කොහොම ගියත් අන්තිමට එන්නේ එකම තැනට. කොල්ලමයි අහන්න ඕන කියල නේ මොනවා වුනත් අන්තිමට කියන්නේ. මන්ද ඉතින් එහෙම හොඳ නම් කමක් නෑ, හැබැයි අන්තිමට වැරැද්ද කොල්ලන්ගේ පිටේ පටවන්න එපා.:)

    ReplyDelete
  31. එහෙම කිව්වෙ කෙල්ලො නෙවෙයි.. කෙල්ලො කිව්වනම් මම ඒතරම් බය වෙන්නෙ නෑ.. කොල්ලොම කීපදෙනෙක් කිව්වෙ. ඔහොම ගිහින් මම චාට්‍ර් වෙයි අරකයි මේකයි.. කියලා

    ReplyDelete
  32. හිකිස්.....ඇත්තම කතාවනම්...කොල්ලො කෙල්ලො දෙගොල්ලොම හිතන විදිහෙ වැරැද්ද...සමාජය අපට හිතන්න බල කරලා තියෙන විදිහෙ වැරැද්ද...මතකද ගම්පෙරළියෙ මාතර හාමිනෙත් කියන්නෙ.. ඉලන්දාරිත් එක්ක ලියුම් හුවමාරු කරනවද හැදිච්ච ගෑනු ලමිස්සියෙක් කියලා...මොන තරම් පෙරලි සිද්ධ වුනත් තවමත් අපේ සමාජය ඉන්නෙ ඔතනින් ගොඩක් ඈතක නෙවෙයි කියලයි මංචි දකින්නෙ...

    මෙහෙම කියන මම ඔයාගෙ දැක්මට අනුවනම්...අර බය,ලැජ්ජාව,චාටර් වීම සහ ආඩම්බරකම කියන සාධක බල්ලට දාලා ආදරේ ප්‍රකාශ කරපු කෙල්ලෙක්...මටනං ඒ ආදරේ කියාගන්න තිබ්බ ලොකුම බය අපි දෙන්නා අතරෙ තිබ්බ යාලුකම නැති වේවිද කියන සැකයයි....හැබැයි එදානම් ඒක ප්‍රතික්ශේප වුණත් පස්සෙ දවසක ඒ වවුල් කුමාරයගෙ ආදරේ මංචිට හෙවත් මට හිමි වුණේ මං එදා ගත්ත ඒ තීරණය නිසායි...

    හැබැයි ඉතින් මගේ බ්ලොග් අඩවියේ ඒ කතන්දරේ ලියලා පැය 24ක් යන්නත් කලින් මට ඒ ගැන අපූරු කොමෙන්ටුවක් ලැබුණා ''අකමැති වුණු එකේ පුදුමයක් නෑනෙ ඉතින්...පැනලා දුන්නම...'' කියලා හිකිස්...

    ඒ මුලු කතාවම මෙතන ලියන්න නම් වෙලා නෑ මලේ.ඒත් ගෑනු ළමයෙක් ආදරේදි ඉස්සර වෙන එක ගැන මිනිස්සු තාමත් හිතන හැටි ගැන කියවන්න කැමති නම් ලැජ්ජා නැති කෙල්ලෝ.................!!! කියවලා බලන්නකෝ....

    ReplyDelete
  33. @හිතුවක්කාරි
    ඒකත් එහෙමද. ඒ කොල්ලොත් ඉතින් අර පටු විදියට හිතන විදියේ අය වෙන්න ඇති. හැබැයි මෙහෙම දෙයක් තියනවා, කියන්නේ නැතුව හිතේ තියාගෙන ඉන්න එකට වඩා නම් අමතක කරලා දාන එක හොඳයි. බොරුවට හිතේ තියාගෙන ඉන්න එකේ කිසිම තේරුමක් නෑ නේ. ඔයා කියන්නෙ නෑමයි කියන තීරණයේ ඉන්න නිසා අමතක කරලා දාපු එක තමයි හොඳ.

    @මකුළු පැංචි
    ආහ් මේ ඇවිත් ඉන්නේ. ඔයා 'ලැජ්ජා නැති කෙල්ලෝ' පෝස්ට් එක ගැන කියපු නිසා මම කියන්නම්. ඒක ගැන තමයි මම ඔය උඩ කියලා තියෙන්නේ.:)

    "ඇත්තම කතාවනම්...කොල්ලො කෙල්ලො දෙගොල්ලොම හිතන විදිහෙ වැරැද්ද."

    ඔය කතාව එදා පෝස්ට් එකෙත් තිබුනා නම් හොඳයි නේද සහෝදරී, සම්පූර්ණ වැරැද්ද කොල්ලන්ට පටවන්නේ නැතුව. ආයෙත් මගේ පෝස්ට් එකේ තිබුන දෙයක් මතක් කරනවා නම්, කෙල්ල මුලින් ආදරේ කිව්වම කෙල්ල චාටර් කියල හිතල ඒ කෙල්ලව ප්‍රතික්ෂේප කරන කොල්ලෙක් ඉන්නවා නම් උගෙන් කොහොමත් වැඩක් නෑ නේ. එහෙම උන් නැති වෙන එකමනේ හොඳ. ඒ නිසා කොල්ල කොහොම හිතුවත් කමක් නෑ කියල කියන්න තියෙන්නේ.

    දැන් ඔයාට වවුල්ස්ව ලැබුනේ ඔය විකාර හිතන්නේ නැතුව එයාට ඒක කියපු නිසානේ. ඔයා එදා එහෙම කලේ නැත්තන් අද ඔයාට වවුල්ස්ව නැති වෙන්න තිබුන. ඒකම තමයි මම කියන්නේ, අරම වෙයි මෙහෙම වෙයි කියල හිත හිත ඉන්නේ නැතුව හිතේ තියන දේ කියන්න කියලා. එතකොට ලැබෙනවා නම් ලැබෙයි, නැත්තන් හිත හදාගන්න තියෙන්නේ. හිතේ තියාගෙන ඉඳල අන්තිමට කොල්ලන්ට බනින්න එපා කියන එකයි මට කියන්න ඕන.

    ඔයා පිළිගනීවිද දන්නේ නෑ සහෝදරී, හැබැයි ගොඩක් කෙල්ලෝ ඔය වගේ දේවල් කියන්නේ නැතුව හිතේ තියාගෙන ඉන්නේ ආඩම්බරකමට. අපි කෙල්ලෝ, අපිට එහෙම අහන්න බෑ, කොල්ලොම ඇවිල්ල තමයි අහන්න ඕන, කියල තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. එහෙම ඉන්න අය ඉතින් පස්සේ කාලෙක හිතෙන් විඳවනවා.

    ReplyDelete
  34. @කසුන් :
    ඔව් එහෙමත් ඉන්නව වෙන්න පුලුවන් මල්ලි...ඒ කියන්නෙ ආඩම්බර කමට.. හැබැයි ඉතින් එහෙම ආදරයක් නම් කොල්ලට උනත් කෙල්ලට වුනත් තිබිලත් වැඩක් නෑ නේ..තමන් ආදරේ කරන කෙනා ඉස්සරහ මොන ආඩම්බර කම්ද.දැහෙම වෙනවනම් එතන ඇත්තම ආදරයක් තියෙයි කියල හිතන්නත් බෑ නේ නේද..?

    මම ඇත්තෙන්ම කොල්ලන්ට විතරක් ඇඟිල්ල දික් කරන්න උත්සහ කළේ නෑ මල්ලි..මම උත්සහ කළේ සමාජය දකින විදිහ ගැන කතාබහක් ඇති කරන්නයි..ඒත් ඉතින් කතාවට මූල බීජය වුණේ මිතුරෙකු වුණු පිරිමි ළමයෙක් කියාපු කතාවක් වීම නිසා ගොඩක් අය හිතල තිබුණෙ මම කොල්ලන්ට වැරැද්ද පටවනවා කියලයි.. :(

    ඒත් බලන්න මම කියල තියෙන්නෙ 'ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ට ඔහොම සෘජුවම ආදරය ප්‍රකාශ කරන එක නැහැදිච්ච වැඩක්ය කියන එක... සමාජය හිතන්නෙ එහෙමලු...' කියලා නේද.. ඒත් අපට වැඩියෙන්ම රිදෙන්නෙ පිරිමි ළමයිනුත් එහෙමම හිත එකෙන් තමයි.. මොකද එයාල සාමාන්‍යයෙන් දන්නවනෙ හිතේ තියෙන ආදරයක් ප්‍රකාශ කරගන්න තියෙන අමාරුව.. :)

    ඒත් ඇත්තෙන්ම දෙගොල්ලන් අතරම එහෙම හිතන අය ඉන්න බව මම දන්න නිසාම තමයි..'පැංචිගෙ වියමනට ඇවිත් මකුළු-වවුල් ප්‍රේමය ගැන කියවපු පිරිමි පාර්ශවයේ මිතුරනුත් එහෙම හිතනවද..???' කියලා අහන්නෙ නැතුව 'පැංචිගෙ වියමනට ඇවිත් මකුළු-වවුල් ප්‍රේමය ගැන කියවපු ඔයාලත් එහෙම හිතනවද..???' කියලා පොදුවේ ඇහුවේ...

    කොහොම වුණත් කෙල්ලො කොල්ලො දෙගොල්ලොම මතක තියාගන්න උවමණායි හැම මනුස්සයෙක්ටම සමානව හැඟීම් දැනීම් දැනෙන බව.. ඒ හැඟීම කියන්න තරම් කෙල්ලෙක්ට හෝ කොල්ලෙක්ට කාට වුණත් ලොකු ශක්තියක් අවශ්‍ය බව.. වානික් කෙනාට ඒ හැඟීම වෙනුවෙන් යමක් කරන්න බැරි වුනත් ඒ මනුස්සයගෙ හැඟීමට සහ ඒක කියන්න තරම් අවංක වීම ගැන එයාට ගරු කළ යුතු බව... එහෙම නැතුව එකිනෙකාට ඇඟිල්ල දික් කර කර හිටිය කියලනම් වැඩක් වෙයි කියලා මට නම් හිතෙන්නෙ නෑ...

    අඩුගානෙ මේ ලියන අපි අපිවත් වෙනස් වුනොත්...තව අවුරුදු ගානකින් හරි ''ලැජ්ජා නැති කෙල්ලො'' වැඩි වැඩියෙන් බිහිවේවි...එතකොට කාටද ලේසි වෙන්නෙ කියලා හිතලා බලන්ටකො.. :P

    ReplyDelete
  35. ඕහ්හ්හ්...කියන්නම ඕන දෙයක් කියන්න අමතක වුණා.. :(( සමාවෙන්න කියන එක...'මම ඒකට කමෙන්ට් එකකුත් දැම්මා, රිප්ලයි නම් ලැබුනේ නෑ. මට පස්සේ දාල තිබුන කමෙන්ට් වලටත් රිප්ලයි කරලා නම් තිබුනා.:)'

    ඇත්තෙන්ම ඔයාගෙ පෝස්ට් එක දකිනකල්ම මම ඔයාගෙ කමෙන්ට් එක දැක්කෙ නෑ..ඔයත් දන්නවා ඇති..මම මගේ බ්ලොග් එකේ හැම කෙනෙක්ටම පුද්ගලිකවම උත්තර දෙන කෙනෙක්.. ඒක කරන්නෙ කොමෙන්ටුව වැටිලා තියෙන පිලිවෙලටයි.. :( ඒත් මේ වරද කොහොම වුණාද කියලා අවංකවම මට හිතාගන්නවත් බෑ.. මම හිතනවා ඔයා මගෙත් එක්ක තරහ නැතුව ඇති කියලා.. අනේ හිත රිදුනනම් සමාවෙන්න... :((( මීට පස්සෙනම් හොඳට බලලා කමෙන්ට් කරන්න හිතාගත්තා... :(((

    ReplyDelete
  36. @මකුළු පැංචි
    "තව අවුරුදු ගානකින් හරි ''ලැජ්ජා නැති කෙල්ලො'' වැඩි වැඩියෙන් බිහිවේවි...එතකොට කාටද ලේසි වෙන්නෙ කියලා හිතලා බලන්ටකො."

    අපෝ එහෙම වෙනවා නම් කොයිතරම් දෙයක්ද? විශේෂයෙන්ම මං වගේ හිතේ තියන දේ කියාගන්න බැරි අයට ලොකු උදව්වක් එහෙම වෙනවා නම්.:)

    "ඇත්තෙන්ම ඔයාගෙ පෝස්ට් එක දකිනකල්ම මම ඔයාගෙ කමෙන්ට් එක දැක්කෙ නෑ."

    හ්ම්ම් මම එහෙනම් දැක්කේ නෑ කියල පිලිගන්නම්කො.

    ආහ් තව දෙයක්. ඔයා දිනේෂ්ට නංගි වෙනවා නේද? මාත් 88. එතකොට මම අයිය, ඔයා නංගි. ආව මෙතන අක්ක වෙන්න.:D

    ReplyDelete
  37. ඇත්තටම හොද පෝස්ට් එකක්

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.