twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Tuesday, September 20, 2011

චානිකා ( II කොටස)

කලින් පොස්ට් එකෙන් මැට්ට, මෝඩය වගේ ආදරණීය වචන කීපයක්ම අහගත්තා.:) හැබැයි මම නම් හිතුවේ බූරුවා, හරකා වගේ වචනත් අහගන්න වෙයි කියල.:D ඒ අස්සේ මහිමයට හෙන ආතල් එකක් ගිහින් උගේ නම කට්ටිය මට කිව්ව කියල.:P කලින් පොස්ට් එක බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලල එන්න. හරි දැන් කතාවට එමුකෝ. 

දැන් ඔන්න මම අර කලින් කියපු විදියට බොහොම බුද්ධිමත් විදියට, ලස්සනට ලියුම ලියල ඉවර කළා. ලියුම ඒකිට දුන්නේ හවස වෑන් එකේ එනකොට. සෙල්ලම් පොතක නෙමෙයි දාල දුන්නේ. මම O/L වලට අතිරේක විෂයක් විදියට ඉංග්‍රීසි සාහිත්‍ය කළා. (අම්මෝ ෆේල් නොවී බේරුනේ නුලෙන්.) ඒ සිලබස් එකට 'මඩොල් දූව'  පොතේ ඉංග්‍රීසි පරිවර්තනය තිබුනා. මාත් ඉතින් ඒ පොත අරන් තිබුනේ. හැබැයි ගත්තට පිටුවක් වත් කියෙව්වේ නම් නෑ.


කොහොමහරි ඒ පොතේ දාලා තමයි දුන්නේ. ඇඩ් එකකට නෙමෙයි ඔන්න, ඒ පොත අලුත් නිසා ඒකෙ දාල දුන්නේ. දෙනකොට එච්චර අත වෙව්ලුවේ එහෙම නෑ.:) ඉතින් ලියුම දීල බිත්තර තම්බ තම්බ ගෙදර ගියා. මගේ ජීවිතේට ගත කරපු දිගම දවස් වලින් එකක් ඒක. හැබැයි ෂුවර් එකටම එදා දවස පැය 24කට වැඩිය නම් දිගයි. ඔන්න ඉතින් ඊළඟ දවසේ දහසක් බලාපොරොත්තු තියාගෙන වෑන් එකට නැග්ග. මට පස්සේ හෝල්ට් එකෙන් තමයි චානිකා නගින්නේ. දැන් ඔන්න එයා නැගල මම ඉන්න තැනට එනවා. මගේ කට ඇරිලා, ඇස් උඩ ගිහින් එක විකාරයයි. එදා ඒකි වෙනදාටත් වඩා ලස්සනයිද මන්ද. ඒකි ඇවිත් මගේ ශීට් එක ලඟින් හිටගත්තා. ඊට පස්සේ වෙනද වගේ පොඩි හිනාවක්‌ දැම්ම. ඊට පස්සේ මුකුත් සද්දයක් නෑ. මේක හරි කෙළියක්නේ, දවසක්ම බලන ඉඳල ඉඳල උත්තරේ අහගන්න ආව, මේ කෙල්ල මුකුත් කියන්නෙ නෑ. 

බැරිම  තැන මම ඇහුව ලියුම කියෙව්වද කියල. ඒ පාර ඒකි ඔලුව වැනුව. ඊට පස්සේ ටිකක් අමාරුවෙන් වගේ කිව්ව "මම _____ (ඒකිගේ පස්සෙන් ආපු වෑන් එකේ ගිය අනිත් කොල්ලගේ නම) අයියට හා කියල තියෙන්නේ" කියල. (ඒ වචන ටික නම් අකුරක් නෑර මතකයි) මට මොකද වුනේ කියල මට හිතාගන්න බැරුව ගියා. හැඟීම් දැනීම් නැතුව ගියා වගේ වුනා. ඊට පස්සෙ මට මුකුත් ඇහුනෙත් නෑ, මුකුත් පෙනුනෙත් නෑ, මුකුත්ම දැනුනෙත් නෑ. මට තවත් කියන්න දෙයක් තිබුනේ නෑ. තිබුනත් කියාගන්නත් බෑ.  මම ගල් වෙලා වගේ ඔහේ බලාගෙන හිටියා. ටික වෙලාවකින් බොහොම අමාරුවෙන් පියවි සිහියට ආවා. චානිකා තාමත් මගේ ශීට් එක ලඟට වෙලා ජනේලයෙන් එලිය බලාගෙන යනවා. චානිකා මට කවදාවත් අයිති වෙන්නේ නෑ කියල දැන් මම දන්නවා, ඒත් ඒකි තාමත් මගේ ළඟ. වෙනද වගේම ඒකිගේ සුදු ගවුම මගේ උරහිසේ ගෑවෙනව. ඒ සුදු ගවුමෙන් එන සුවඳ අද වෙනදාටත් වඩා දැනෙනවා. ඒත් ඒ සුදු ගවුමේ අයිතිකාරි මට අයිති නෑ. අර #*&%!^ එයාව අයිති කරගෙන. බොහොම අමාරුවෙන් වචන ගැට ගහගෙන මම ආයෙත් ඒකිට කතා කළා. 

"අපිට වෙනද වගේ යාළුවො විදියට ඉන්න පුළුවන් නේද?"

"අනේ එහෙම ප්‍රශ්නයක් නෑ කසුන්. හැමදාම ඉස්සර විදියටම අපිට යාළුවො විදියට ඉන්න පුළුවන්." 

ඊට පස්සේ මම ජනේලයෙන් එලිය දිහා බලාගෙනම හිටිය. බලාගෙන ගියාට මුකුත් පෙනුනේ නම් නෑ ඇස් දෙක බොඳ වෙලා තිබුන නිසා. එදා දවස ඊට පස්සේ ගෙවපු හැටි ගැන නම් මතකයක් නෑ. දවසම ඔහේ බලාගෙන හිටිය කියල විතරක් මතකයි. මම අපේ එකාටත් සිද්දිය කිව්ව, ඌට නම් එච්චර ගානක් නෑ. මට නම් ඉතින් ලෝකෙම නැති වුනා වගේ. ඔහොම දෙයක් වුන පලවෙනි වතාවනේ. අනිත් එක ඔය කාලේ එච්චර දැනුම් තේරුම් තියන කාලයක් නෙමෙයිනේ. කොහොම වුනත් වෙනද වගේම යාලුවෝ වගේ ඉමු කිව්වට ඊට පස්සේ අපි දෙන්නගේ වැඩි කතා බහක් තිබුනේ නෑ. මොන හිතකින්ද ඉතින් කතා කරන්නේ? ඒකිටත් එහෙමම වෙන්න ඇති. 

ඔය විදියට ඉතින් ටික කාලයක් ගෙවිල ගියා. අපේ වෑන් එකේ මම 4, 5 වසර වල ගිය ඉස්කෝලේ හිටපු තව කෙල්ලෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මම අර 'බාල කාලේ මතකය' පොස්ට් එකේ ජීවිතේ පරුදුවට තියල හරි කී එක දෙනවා කියපු කෙල්ල. අනිත් කෙල්ල චානිකාගේ හොඳ යාලුවෙක්. මම අහපු එක චානිකා ඒ කෙල්ලට කියල. පස්සෙ දවසක ඒ කෙල්ල මාත් එක්ක ඒ ගැන කතා කළා. මාව පොඩි කාලේ ඉඳලම දන්න නිසා ඒ කෙල්ල මට ඇත්තම කතාව කිව්වා. අර කොල්ලගේ සල්ලි වලටලු චානිකා කැමති වෙලා තියෙන්නේ. ඒක වෙන්න ඇති, නැත්තන් මාත් එක්ක ලෝකෙ නැති දේවල් කියල බැනල පස්සෙ යාලු වේවිද. කොහොම වුනත් ඒක ඒකිගේ කැමැත්තනේ, මට මුකුත් කියන්න අයිතියක් නෑ නේ. අනිත් එක මගේ උවමනාවටනේ මම ආදරේ කලේ, එහෙම නැතුව ඒකි මට කිව්වේ නෑ නේ ඒකිට ආදරේ කරන්න කියලා.

පස්සෙ පස්සෙ පොඩි පොඩි ආරංචි ආව ඒ සම්බන්දෙ මොකක් හරි අවුලක් තියනවා කියල. මට අර කෙල්ල තමයි කිව්වේ. එකිත් හරියටම දන්නේ නෑ. චානිකත් නිකන් අප්සට් මුඩ් වගේ ඉන්නේ. හැබැයි මම එච්චර ඒ ගැන හොයන්න ගියේ නෑ. වෙනද වගේ පුද්ගලික දේවල් අහන්න තරම් පුළුවන් කමක් තිබුනේ නෑ. දවසක් චානිකා මට ලියුමක් දීල කිව්ව ඒක අරූට (කොල්ලට) දෙන්න කියලා. ඒක නම් දෛවයේ සරදමක්ම තමයි. මම ආදරේ කරපු කෙල්ල වෙන කොල්ලෙකුට ලියපු පෙම් හසුනක් මට ගිහින් දෙන්න වුනා කිව්වම ඉතින් තවත් මොනවද. මට මොනවා හිතෙන්න ඇත්ද කියල හිතාගන්න පුළුවන් නේ. හැබැයි ඒකිට මගේ ගැන ලොකු විස්වාසයක් තියෙන්න ඇති. නැත්තන් මගේ අතේ ඒක යවන්නේ නෑ නේ. ඒක ෆුල්ස්කැප් කොලයක ලියල පොඩි වෙන්නම නවල තිබුනේ. මට මතක විදියට මම ඒක කියෙව්වේ නම් නෑ. මම ඒක අරුගේ අතටම ගිහින් දුන්නා. ඒ දෙන්න අතරේ ඊට පස්සෙ මොනවා වුනාද කියල මම දන්නේ නෑ.

ඊට ටික කාලෙකට පස්සෙ අපි වෑන් එකෙන් අයින් වෙලා බස් යන්න තීරණය කළා. අපරාදෙනේ සල්ලි නිකන් වෑන් වලට දෙන්නේ. අපේ සෙට් එකේ තුන් දෙනෙක් අපේ වෑන් එකේ ගියා. අපි කතා වුනා ඊළඟ වාරේ ඉඳල බස් එකේ යමු කියල. ඔය කාලේ ඔටෝ පිස්සුවක් තිබුන අපිට. මාත් ඉතින් ඔටෝ පොතක් අරගෙන වෑන් එකේ කට්ටියට ලියන්න දුන්න. ඒ කාලේ වෙනකොට මායි චානිකයි ගොඩක් ඈත් වෙලා හිටියේ. ඒ නිසා මම අර කලින් කියපු කෙල්ලට දුන්න එයාට ලියල දෙන්න කියන්න කියල. ඊට පස්සෙ දවසේ මම වෑන් එකට හවස නැග්ගම චානිකා මට ලඟට කතා කළා. කතා කරලා ඇහුව 

"ඇයි _____ (අර අනිත් කෙල්ලගේ නම) අතේ ඔටෝ එක එව්වේ, මට කෙලින්ම දෙන්න බැරිද?" කියලා. 

මට ඒකට දෙන්න උත්තරයක්‌ තිබුනේ නෑ. ඊට පස්සෙ ඒකි මට ඔටෝ එක දුන්නා. ඒකෙ අන්තිමට ඒකි ලියල තිබුන ' සදා නොවෙනස් නැගණිය' කියල. මට මතකයි, මම මහිමත් එක්ක හරි වෙන එකෙක් එක්ක හරි කිව්ව එහෙම ලිව්වට එයා දැනටමත් වෙනස් වෙලා කියල. :D ඒ කාලේ මම හරි ගොන් නේද? කොහොම හරි ඉතින් ටික දවසකින් අපි වෑන් එකෙන් අයින් වුනා. 

හැබැයි ඉතින් එතනින් කතාව නම් ඉවර වුනේ නෑ. හොඳ හොඳ සෙල්ලම් වුනේ ඊට පස්සෙ. ඒව ඊළඟ කොටසින් කියන්නම්. ඒවත් දැන ගන්න කැමති නම් ඊළඟ කොටසින් එකතු වෙන්න.:) 
....................................................................................................................................................................

ප.ලි. කතාව කෙටියෙන් කියනව කියල පටන් ගත්තේ. ඒත් පස්සෙ හිතුන ඊට හොඳයි විස්තර කරලම කියල එක කියල. අතගානව වැඩියි වගේ නම් හරි කම්මැලියි වගේ නම් හරි කට්ටිය කියන්න හොඳද.  


Sunday, September 18, 2011

චානිකා ( I කොටස)

ගොඩක්  දවසකින් ගෙදර ආවේ. ඇඟ අඩු කරගන්න කියල සෙට් එක දාල දැන් මුලු ඇඟම රිදෙනව. දැන් නම් ටිකක් අඩුයි. සෙට් එක දාපු මුල්ම දවසට පස්සෙ දවසෙ නම් පුදුම සනීපයක් තිබුනේ. අතක් පයක් එහාට මෙහාට කරගන්න පුදුම ගේමක් දෙන්න ඕන. හොස්ටල් එකේ තට්ටු තුනක් නගින එක නිකන් සිරීපාදේ නගිනව වගේ වැඩක් ඒ දවස් වල. තට්ටු දෙකේ ඇඳේ උඩට නගින එකයි බහින එකයි ඊට ආතල් වැඩේ. ඔය ඔක්කොමත් හරි, සංසාරේ අනිත්‍යයි කියල තේරෙන්නෙ උදෙට අහවල් වැඩේට ගිහින් පාත් වෙන්න ගියාම. අයියෝ ඒ වැඩේ හිටගෙන කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද කියල මට හිතුන. දැන් ඉතින් මේ ලේස්ති වුනේ ඉස්කෝලෙ කාලේ තිබුන ආදර කතාවක් ගැන කොටන්න. මට මේ ගැන ලියන්න හිතුනෙ පිස්සාගේ පෝස්ට් එකක් දැකල. ඒත් ටිකක් දිග කතාවක් නිසා කොටන්න වෙලාවක් ලැබුනෙ නෑ. කලින් පෝස්ට් පෝස්ට් එකේ කිව්වෙත් පොඩි කාලෙ ගැනනේ. ඒත් මේක නම් මේ O/L කාලෙ වුන සිද්දියක්. හරි දැන් නමස්කාරේ කිව්වා ඇති, කතාවට එමුකො.

මේ  කතාවේ කතා නායිකාවට අපි චානිකා කියල කියමු. ඔය චානිකා ගියෙත් මම ගිය ස්කුල් වෑන් එකේමයි. ඒකි මට වැඩිය අවුරුද්දක් බාලයි. අපේ වෑන් එක Journey සයිස් එකේ වෑන් එකක්. මම වාඩි වෙන්නෙ පිටිපස්සෙ ඉඳල දෙවනියට තියන තනි ශීට් එකේ. මගේ පිටිපස්සෙ හිටියේ මහිමය. මගේ ශීට් එක කෙලින් අනිත් පැත්තේ ඩබල් ශීට් එකේ කොනේ තමයි අපේ කතා නායිකාව චානිකා වාඩි වෙන්නෙ. ඒකි මාත් එක්ක ගොඩක්ම ෆිට්. වෑන් එකට නැග්ග වෙලාවේ ඉඳල කතා කර කර තමයි යන්නෙ. වැඩිහරියක් ඉතින් ඕපාදුප තමයි. අපි දෙන්නගෙ විනොදාන්ශේ එක එකාගේ ලව් සීන් ගැන විස්තර හොයන එක. අපේ ලොකු අම්මගේ පුතාගේ සීන් එක මට කිව්වෙත් ඒකිමයි. (මම දැනගෙන හිටියේ නැති වුනාට ඒක අපේ පැත්තේ සෑහෙන ජනප්‍රිය කතාවක්.) ඔහොම ඉතින් හැමදාම හිනාවෙවී කතා කර කර ඉන්නකොට අර සඳරුවට වෙනව වගේ නොදැනීම මාත් ඔකඳ වුනා. ඒකි ඉතින් යාලු ෆිට් එකට මාත් එක්ක හිටියේ. ඒත් ඉතින්  මට පොඩ්ඩක් හිනාවෙලා කතා කරාම ඒ ඇති ට්‍රැක් පනින්න. ඊට පස්සෙ ඉතින් සියලු වෙර වීරිය යොදල වැඩේට බැස්ස. මගේ වෙනසක් තියනවා කියල ඒකිටත් තේරෙන්න ඇති.

කොහොමහරි ඔය කාලෙ තව කොල්ලෝ දෙන්නෙක්ම චානිකාගේ පස්සෙන් එන්න ගත්ත. වැඩේ කියන්නෙ ඒ කොල්ලො දෙන්නගෙන් එකෙක් අපේ වෑන් එකේම එකෙක්. ඌ මට වඩා අවුරුද්දක් වැඩිමල්. හැබැයි ඌ වෑන් එකේදී නම් ඒකි එක්ක වචනයක්වත් කතා කරන්නේ නෑ. ඒකි මට ඒ දෙන්න ගැනම විස්තර කියනවා. මාත් එක්ක උන්ට සෑහෙන්න බැන්නත් එක්ක. මට ඉතින් ෆුල් ජොලි. එකක් උන් දෙන්නටම කැමති නෑ කියල දැනගත්ත එක, අනිත් එක මාත් එක්ක එහෙම දෙයක් කියන්න තරම් ෆිට් එකක් තිබුන එක. මම ඉතින් ඒ දවස් වල හිතින් කසාදත් බැඳලා හිටියේ. ඒ කොල්ලො දෙන්නගෙන් අනිත් එකා හෙන චන්ඩියෙක්.  ඌ මට වඩා අවුරුදු 2ක් වැඩිමල්. ඒක හැමදාම පාර අයිනට වෙලා ඉන්නවා අපේ වෑන් ඒක යන වෙලාවට. ඉතින් මිනිහට පේනව හැමදාම අපි දෙන්න කතා කර කර යන එක. මිනිහට දැන් මාත් එක්ක හෙනම මල. ඌ අපේ ගමේ ඇවිත් මගේ ගැන හොයලත් තිබුන. මොකක්දෝ පූරුවේ පිනකට මිනිහ අපේ ලොකු අම්මගේ පුතාගෙ යාලුවෙක්. ඒ නිසා යන්තං ගුටි නොකා බේරුනා. 

ඔන්න ඊට පස්සෙ තමයි භයානකම සිද්දිය වෙන්නෙ. චානිකාට හිතින් විතරක් ආදරේ කරපු තව එකෙක් හිටිය. ඒ අපේම සෙට් එකේ බොක්කක්. අදටත් හවසට අපේ ගෙදර කාඩ් ගහන්න එන සෙට් එකෙන් එකෙක්. දැන් මිනිහ NDT එකේ. අපි ඌට ආදරේට කනය කියමු. ඌ මට තමයි ඉස්සෙලම ඕක කිව්වෙත්. ඌ දන්නෙ නෑ මම ඒකිගේ පස්සෙන් යනවා කියල. ඒකි මගේ වෑන් එකේ යන බව මූ දන්නවා. ඉතින් මගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි මට සීන් එක කිව්වේ.  දැන් ඉතින් මොනව කරන්නද? 

"විරසක වී රුපුන් ලෙස යුධ වදින්නද? කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද?"

මම දැන් ලෝකෙ පෙරළන්න කල්පනා කරනවා. දැන් මට මූට බොරුවක් කරන්නත් බෑ. මගේ හිතේ තියන අදහස අතාරින්නත් බෑ. පස්සෙ හිතල හිතල බැරිම තැන ඇත්තම සීන් එක ඌට කිව්වා. ඊට පස්සෙ තමයි මම මෙච්චර කාලෙකට ගත්ත මෝඩම තීරණේ ගත්තේ. අපි දෙන්න කතා කරගත්ත අපි දෙන්නම සහයෝගෙන් වැඩේට බහිමු කියල. ඒ කිව්වේ දෙන්නම එකට පස්සෙන් යමු කියල. ඕව මතක් වෙනකොටත් විකාරයි දැන්. අනේ මන්ද මට හිතාගන්න බෑ මම කොහොමද එහෙම තීරණයක්‌ ගත්තේ කියල. සිරාවටම මට උගේ යාළුකම ගොඩක් ලොකු වුනා. මම හිතුව ඌටත් කරන්න පුළුවන් උපරිමයෙන් උදව් කරලා මගේ පැත්තෙනුත් මගේ ගේම ගහනව කියල. එතකොට ඒකි කැමති වෙන එකෙකුට කැමති වෙයිනෙ. හැබැයි ඌට නම් ඒකි කැමති වෙන්නෙ නෑ කියල මගේ විශ්වාසයක් තිබුන. ආදරය, යාළුකම, ආත්මාර්ථකාමිත්වය, පාරාර්ථකාමිත්වය කියන හැමදේම ඔය සිද්දිය ඇතුලේ මිශ්‍ර වෙලා තිබුන. මම හිතාගත්තා වගේම ඌට උදව් කළා. ඌ ඉතින් පස්සෙන් යනවා කිව්වට සිතින් විතරක් තමයි. ඒකි ඌ ගැන දන්නෙවත් නෑ. මම ඉතින් වටින් ගොඩින් උගේ ගැන විස්තර කිව්වා. මෙහෙම කෙනෙක් ඉන්නවා, ඌ ඔය ගැන අහනවා කියල. කොහොම හරි ඔහොම ටික කාලයක් ගිහින් මට චානිකාට මගේ හිතේ තියන දේ කියන්න ඕන වුනා. මට මුනට කියන්න බැරි බව දන්න නිසා මම හිතුව ලියුමක් දෙනව කියල. 

ඔය ඉතින් පළවෙනි පාරට තමයි ඔහොම වැඩක් කරන්න ලේස්ති වුනේ. ලොකු අම්මගේ පුතාගෙන් බේසික් ටික අහගෙන, තනිරුල් පොතක මැද පිටුවක් අරගෙන දන්න විදියට ලියාගෙන ගියා. මම අරූට කිව්ව මම මෙහෙම ලියුමක් දෙන්න හදනවා කියල. මම කිව්ව ඌටත් ලියුමක් ලියල දෙන්න කියල. ඌ කැමති වුනේ නෑ ලියුමක් දෙන්න. කැමති වුනේ නෑ කියන්නේ ඉතින් ඌ බයයි ඒකට. විස්වාස කරයිද දන්නෙ නෑ කිව්වට, පස්සෙ ඉතින් මම මගේ කතන්දරේ ලියල අන්තිමට උගේ ගැනත් ඡේදයක් ලිව්ව. එහෙම ලියල අන්තිමට ලිව්ව "ඔයා කැමති තීරණයක්‌ ගන්න" කියල.:D (වචන නම් හරියට මතක නෑ.)  වැරදිලා හරි ඒකිගේ හිතෙත් මගේ ගැන අදහසක් තිබුනත් ඒ ලියුම කියවපු ගමන් ඒක නැත්තටම නැති වෙනව නේ. ඇයි යකෝ මොන බුරුවද තමන්ගේ 'ලව් ලෙටර්' එකේ වෙන කොල්ලෝ ගැන ලියන්නේ. කොහොම හරි ඉතින් ඌත් එක්ක මගේ එච්චරට ෆිට් එකක් තිබුන. ඒ ෆිට් එක මගේ ගොන් කමත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් හොඳම ජාතියේ මී හරක් වැඩක් කරන්න මාව පෙළඹෙව්වා. 
.....................................................................................................................................................................

ප.ලි. හිතුවට වඩා කතාව ගොඩක් දිගයි වගේ. දිග වැඩි වුනොත් කම්මැලි හිතෙන නිසා ඉතුරු ටික ඊළඟ කොටසින් දාන්නම්. ඊළඟ කොටසින් කිව්වට තව කොටස් 2ක් වත් යාවි. ආහ් තව දෙයක්, චානිකා කියන්නෙ සුදු, ගොඩක්ම ලස්සන කෙල්ලෙක්. මගේ ලඟින් වත් තියන්න බෑ. ඔලුව විකාර වුනාම ඉතින් ඕව තේරෙන්නේ නෑ නේ. 

Friday, September 16, 2011

බාල කාලෙ මතකය

කාලෙකින්  මේ මොකක් හරි කොටන්න කියල ලේස්ති වුනේ. මේ දවස් වල වැඩ ගොඩ ගැහිල. ෆයිනල් ඉයර් එක පටන් ගත්ත ගමන් නිසා වැඩ වැඩියි. අනිත් එක රිසර්ච් එකක් කරන්නත් ඕන, ඒකත් පටන් ගත්ත විතර නිසා එක එක වැඩ ගොඩයි. අද පොඩි බ්‍රේක් එකක් ලැබුන. හරි හරි වැඩි කතා මොකටද නේද?

ඉස්කෝලෙ ගිහින් ඉවර උනාට පස්සෙ ගොඩක් අයට හිතෙනවනෙ ආයෙත් ඉස්කෝලෙ යන්න ඇත්තන් කියල. ආයෙත් අතීතයට ගිහින් ඉස්කෝලෙ යන්න චාන්ස් එකක් ලැබුනොත් මොන කාලෙටද අපේ කස්ටිය යන්න කැමති? ගොඩක් කස්ටිය නම් යන්න කැමති වෙන්නෙ O/L කාලෙට මම හිතන්නෙ. A/L කාලෙට යන්න කැමති අයත් ගොඩක් ඇති. ඇයි ඉතින් ඔය ගොඩක් ආදර සම්බන්දතා එහෙම පටන් ගන්නෙ ඔය කාලේ නෙ.:) ඒත් මම නම් එහෙම චාන්ස් එකක් ලැබුනොත් යන්න කැමති 4 වසරට. මට පිස්සු කියල හිතෙනවද දන්නේ නෑ. ඒක තමයි මම ඉස්කෝල ජිවිතේ ගෙවපු ලස්සනම කාලෙ. 6 වසර ඉඳල නම් මෙලෝ රහක් නෑ, පිරිමි පාසලකට නෙ ගියේ.:P. 3 වසරට එනකල් ගියේ ගමේ ඉස්කෝලෙට, 3 ඉඳල 5 වෙනකල් ගියේ ටවුන් එකේ ඉස්කෝලෙකට. ඊට පස්සෙ 6 ඉඳල ගියේ ආයෙත් වෙන ඉස්කෝලෙකට.

4 වසරට ගොඩක් ආස වෙන්න ගොඩක් හේතු තියනවා. ප්‍රධානම හේතුව අපේ 4 වසරේ පන්ති බාර සර්. ඉස්කෝල ජිවිතේ මට වැඩිපුරම ආදරේ කරපු කෙනා තමයි ඒ සර්. මට විතරක් නෙමෙයි, ළමයි හැමෝටම ගොඩක්ම ආදරෙයි. හැබැයි මට ටිකක් වැඩිපුර ආදරෙයි. ඒ සර් ගැහුවෙ බැන්නේ බොහොම කලාතුරකින්. හැමදේම ආදරෙන් තමයි කියල දුන්නෙ. ඒක නිසාම අපි ඒ සර් කියන දේවල් ඒ විදියටම පිලි පැද්ද. ඒ සර් උගන්නන්නත් ගොඩක් දක්ෂයි. ඉතින් අපි දවස පටන් ගන්නෙ ගොඩක්ම සතුටින්. පන්තිය ගෙදර වගේ තමයි. ඒ සර් දවසක් මට විභාගයකදී හොරෙන් උදව් කලත් එක්ක. එච්චරට මම සර්ට හිතට අල්ලල තිබුනේ. ඒක ඉතින් හරි වැඩක් නම් නෙමෙයි තමයි. කොහොමහරි සර් එච්චරටම මට ආදරෙයි. මම ඊට පස්සෙ දෙතුන් පාරක්ම සර්ගේ ගෙදරත් ගිහින් තියනවා. ලඟදි සර්ට අපේ තාත්තව මුණ ගැහිල මට දෙන්න කියල සර්ගෙ අලුත් නම්බර් එකත් දිල තිබුන.

ඒ කාලෙ ඉතින් ඔලුවට කිසිම බරක් පතලක් නැති කාලයක් නෙ. ශිෂ්‍යත්වෙටත් කල් තියනවනේ, ඒක නිසා ඉතින් සෙල්ලමම තමයි. අපිට ජාතික ක්‍රීඩා දෙකක් තිබුන. 'ලොක් ඇන්ඩ් කී' සහ 'බඩවැල් ඇදීම'.:) 'ලොක් ඇන්ඩ් කී' ගැන නම් කට්ටිය දන්නව නම් ඇති නෙ. ඉන්ටවල් එකට ඕකම තමයි ඉතින්. එ ඇරෙන්න ඉඩක් ලැබුන හැම වෙලාවකමත් ඕක කරනව. එක පාරක් අපේ ප්‍රදර්ශනයක් තිබුන. ඒ කාලෙ ඉතින් ප්‍රදර්ශන වලට තියන්නෙ මැටි වලින්, පොල් කටු වලින්, කඩදාසි වලින්  කරපු නිර්මාන, තරු රටා වගේ දේවල් නෙ. ඕවයෙ ඉතින් විස්තර කරන්න දෙයක් තියන එකක්යැ. අපි ඉතින් ඒ දවස් ටිකේම ලොක් ඇන්ඩ් කී තමයි. ඒ දවස් ටිකේ ඇතිවෙන්නම සෙල්ලම් කළා. අනිත් එක ඕක බලන්න දවසකට දහ පහලොස් දෙනෙකුට වැඩිය ආවෙත් නෑ. ලොක් ඇන්ඩ් කී කරනකොට ඉතින් කෙල්ලො තමයි වැඩිපුරම ලොක් වෙන්නෙ. අනේ ඉතින් අපි කී එක දීල කෙල්ලන්ගෙ අතින් ඇදගෙන දුවනව. සෙල්ලමට විතරයි ඉතින් හොන්දද, වෙන මොකක් වත් අදහසකින් නෙමෙයි. ඒ කාලෙ අපෙ හිත් මල් වගේනෙ. දැනුත් එහෙම තමයි ඉතින්. :P එක කෙල්ලෙක් හිටිය, ඒකි ලොක් වුනොත් නම් මම ජිවිතේ පරුදුවට තියල හරි කී එක දෙනවා. :D




අපේ ඉන්ඩෝර් ජාතික ක්‍රීඩාව තමයි බඩවැල් ඇදීම. මට මතක විදියට ඒක නම් අපේම නිෂ්පාදනයක්. කෙල්ලොයි කොල්ලොයි දෙපැත්තට බෙදිල තමයි මේ සෙල්ලම කරන්නෙ. කෙල්ලොයි කොල්ලොයි දෙපැත්තට වෙලා මැදින් ඉරක් ගහල, මූනට මූන බලගෙන පේලි දෙකක් හැදෙනව. ඊට පස්සෙ හැමෝම ඉස්සරහ ඉන්න කෙනාගෙ බඩෙන් අල්ලගන්නව. පේලි දෙකේ ඉස්සරහම ඉන්න කෙල්ලයි කොල්ලයි අත් දෙක අල්ල ගන්නව. ඊට පස්සෙ ඉතින් දෙපැත්තට අදින්න තියෙන්නෙ. හරියට කඹයක් නැතුව කඹ අදිනව වගේ. කොහොම හරි අත ගැලවෙන්නෙ නැති වෙන්න ඉස්සරහ ඉන්න කෙනාගෙ බඩෙන් අල්ලාගෙන ඉන්න ඕන. ඉරෙන් ඉස්සරහට ඇදිල යන අය අවුට්. එක පැත්තක කට්ටිය ඉවර වෙනකල්ම සෙල්ලම යනව. ඒකෙ ලස්සනම වැඩේ තමයි සමහර වෙලාවට එක පැත්තකින් අවුට් වෙන අය අනිත් පැත්තෙ පේලියේ පිටිපස්සට සෙට් වෙන්න ඕන කියල නීතියක් දානව. ඔය කාලෙට කෙල්ලන්ගේ ඇඟපත කොල්ලන්ට වඩා තියනවනේ. (යොවුන් වර්ධක නැග්ම මතක අයට මතක ඇති කෙල්ලන්ගෙ සීග්‍ර වර්ධනය පටන් ගන්නෙ කොල්ලන්ට වඩා කලින් නෙ.) ඒක නිසා හොඳ තරඟයක් තියනවා. ඒත් ඉතින් අන්තිමට හැමදාම කොල්ලො තමයි දිනන්නේ. කෙල්ලන්ගෙ පේලියේ හැමදාම ඉස්සරහ හිටියේ අර 'ලොක් ඇන්ඩ් කී' කරනකොට මම දිවි පරුදුවට තියල බේරගන්න කෙල්ල. කොල්ලන්ගෙ පේලියේ මම තමයි හැමදාම ඉස්සරහ ඉන්නේ.:) දැන් ගොජබිය වගේ හිටියට ඒ කාලෙ පන්තියේ ඩයල් එක.

ඔය විදියට බොහොම සුන්දරව ඒ කාලේ ගෙවිල ගියා. ඇත්තටම ඒ කාලෙ නම ගොඩක්ම ලස්සනයි. හිතට බරක් නෑ, සෙල්ලමම විතරමයි. එහෙම නිදහසක් නම ජිවිතේ ආයෙත් කවදාවත් එන එකක් නෑ. A/L ඉවර වෙලා ඉස්කෝලෙන් අස් වෙනකොට මට දුක හිතුනෙ නෑ. කැම්පස් එකෙන් යන දවසටත් මට දුක හිතෙන එකක් නෑ. ඒත් ඔය ප්‍රයිමරියෙන් එද්දී මට ගොඩක්ම දුක හිතුන. ඇත්තටම මම ආසාවෙන් ඉස්කෝලෙ ගියේ ඒ කාලෙ විතරයි. ඊ‍ට පස්සේ ඉතින් නොයා බැරි කමට තමයි යන්නෙ. දැන් එක උපරිම තත්ත්වයට ඇවිත්. කැම්පස් යන්නෙ නිකන් මරන්න ගෙනියන හරකෙක් වගේ. :D


Thursday, September 8, 2011

උකුලට නාවත් එදා වගේ, මා ඔබෙ පුතු අම්මේ

ඉස්තෝප්පුව අතුගා දූවිලි ටික ඉස්තෝප්පුව කොනේ වූ මල් පඳුර මුලට එකතු කල කාන්ති කොස්සත් රැගෙනම උලුවස්සට හේත්තු වූවාය. ගේ දොරකඩ වූ පිච්ච පඳුර මලානික බවක් උසුලයි. විවර කර තිබූ ගේට්ටුව දෙසත් ඉන් එහාට දිවෙන මාවත දෙසත් ඇය අරමුණක් නැතිව මෙන් බලා සිටියාය. හිරුගේ අවසන් කිරණත් කෙමෙන් කෙමෙන් මැකී යද්දී කාන්තීට හිරු දෙස බැලුනේ නිරායාසයෙනි. බැසයන හිරුගේ වෙනදා දුටු ලස්සන දැන් මැකී ඇති බවක් කාන්තිට සිතෙයි. ඒ මක් නිසාදැයි තේරුම් ගැනීමට ඇය අපොහොසත්ය. ඇයගේ දැහැන බිඳුනේ ගේ ඉදිරිපිට නතර කල මෝටර් සයිකලයේ හඬිනි. සුසුමක් හෙලූ ඇය කොස්සත් රැගෙන ගෙට ගියාය.

විමලසේන හා කාන්ති මධ්‍යම පන්තියට අයත් වූ පවුලකි. සුනෙත්, කාන්ති හා විමලසේනගේ එකම පුතාය. බොහොම සරල ජීවිත ගතකල ඔවුන්, ඒ සරල බව නිසාම සුන්දර හා නිදහස් ජීවිත වලට උරුමකම් කිව්වෝය. විමලසේන, කාන්ති හා සුනෙත් එකතුවෙන් තැනෙන පුංචි කැදැල්ල ඔවුන්ට මුලු ලෝකයම මෙන් විය. ඔව්හු කිසි විටෙකත් ස්වාධීන නොවීය. ඔව්හු සැම විටම එකිනෙකාගේ ආදරය, දායව, රැකවරණය මත යැපෙන්නෝ වූහ. එකිනෙකාගෙන් තොර ලොවක් ඔවුන්ට නැත්තා සේය.

සුනෙත් බයිසිකලය මතම කල්පනාවකට වැටුනේය. දිනෙන් දින උත්සන්න වන වෙනස්වීම් වලට හේතුව ඔහුට කොයි ලෙසකින් වත් අවබෝධ නොවේ. අත්වැරදීම් ලෙස සිතිය හැකි පොඩි පොඩි වෙනස්වීම් දැන් දැන් සිත රිදවන තරමේ සිද්ධි දක්වා වර්ධනය වී ඇත. දවසම වෙහෙස වී පැමිණි සුනෙත්ට මේ ප්‍රශ්නය තවත් අමතර මානසික පීඩාවක් එක් කළේය. වෙනදාට වැඩ ඇරී නිවසට එන විට ගේ දොරකඩට වී සිනහවකින් මුව සරසාගෙන සිටින අම්මාගෙ දර්ශනය සුනෙත්ට දිව ඔසුවක් මෙන් විය. වෙනදාට ගෙට ගොඩවන විටම තමාගේ බෑගය ඉල්ලගන්නා අම්ම දැන් තමා ගෙට එනතුරු වත් නොසිට ගෙට යන්නාය. හිත පුරා නැගෙන දහසක් සිතුවිලි යටපත් කරගෙන ඔහු බයිසිකලයෙන් බැස ගෙතුලට ගියේය.

සුනෙත් නාගෙන කාමරයට එන විට දුම් දමන තේ කෝප්පයක් මේසය උඩ විය. වෙනදට කුස්සියට ගොස් අම්මා හා තාත්තා සමග කතා කරමින් බොන තේක අද කාමරයේ මේසය මතට පැමිණ ඇත. එයින් කියවෙන්නෙ "උඹ කුස්සියට එන්න එපා" යන පණිවිඩය නොවේදැයි ඔහු සිතුවේය. එහෙත් ඔහු පුරුද්දට මෙන් කුස්සිය දෙසට ඇදුනේය. කමලා උයමින් සිටි අතර විමලසේන කුස්සියේ බංකුව මත තේ බොමින් සිටියේය. සුනෙත් තවත් බැංකුවක් ඇදගෙන බිත්තියට පිට දී වාඩි වුනේය.

"ඇයි අම්ම අද තේ එක කාමරෙන් ගෙනත් තිබ්බෙ?"

"තේක නිවෙන නිසා කාමරෙන් ගෙනත් තිබ්බෙ දරුවෝ."

ඒ කතාව එතනින් එහාට ගෙනයන්නට සුනෙත්ට උවමනාවක් නොවීය. ඔහු නිහඬවම තේ බොන්නට විය.

"මොකද පුතා අද මුණ මැලවිලා වගේ. අද ගොඩක් වැඩ තිබුනද?"

විමලසේන හඬ අවදි කලේ එහි වූ මූසල නිහැඬියාව බිඳිමිනි. තමාගේ මුණ මැලවී ඇත්තේ වෙන කිසිත් නිසා නොව අම්මාගේ වෙනස්කම් නිසා යයි කියන්නට සිත් වුවත් ඔහු කරබාගෙන සිටියේය.

"අද හරි මහන්සියි තාත්තේ."

වෙනදාට තුන්දෙනා එකතු වූ විට නොනවත්වාම දොඩන කාන්තිගේ නිහැඬියාව විමලසේනට ප්‍රශ්නයක් නොවුවාම නොවේ. සුනෙත් තේක බී අවසන් වනතුරු සිටි විමලසේන සුනේත්ගේ කෝප්පයත් රැගෙනම නැගිට ගොස් කෝප්ප දෙකම සෝදා තබා නැවත බංකුවෙන් වාඩි විය.

"පුතේ දැන් අවශ්‍ය කටයුතු ටික ඔක්කොම සූදානම් නේද?"

"ඔව් තාත්තේ ඒව නම් ඔක්කොම හරි."

"දඩාස්....." මහ හඬින් සාස්පානක් බිම වැටුණි.

"මොකද කාන්ති අද වෙලා තියෙන්නේ?"

"අත පැටලිලා වැටුනේ ඉතින්. හිතල කළා නෙමෙයිනෙ." ඇය නිදහසට කරුණු කීවාය.

"හ්ම්ම්. මේ, මොකක් හරි වැඩක් තියනව නම් කියන්න කාන්ති."

"අනේ මහත්තයෝ එහෙනම් පොල් ටික ගාල දෙන්නකෝ."

"ආහ්, කෝ දෙන්න."

"දෙන්න අම්මේ මම ඔය ළුණු ටික සුද්ද කරල දෙන්නම්."

"ඕන නෑ, මට මේක කරගන්න පුලුවන්. පුතාට මහන්සියි කිව්ව නේද? අර පැත්තෙන් ඉන්න, මම උයල කතා කරන්නම්."

තව  දුරටත් එතන රැඳීමට සිත නොදුන් නිසා සුනෙත් ආලින්දයට ගියේය.
....................................................................................................................................................................

"පුතා! පුතා!! එන්න කන්න."

ආලින්දයේ හාන්සි පුටුව මත සුනෙත්ට නින්ද ගොස් තිබුණි.

"යමු අන්න අම්ම කෑම බෙදනව."

කමලා පිඟන් තුනට බත් බෙදමින් සිටියාය. සුනෙත් යමක් සිතමින් මේසයට වැඩි වුනේය. ඔහු යම් තීරණයකට එළඹුණු සෙයක් දක්නට විය.

"අම්මෙ ගොඩක් කාලෙකින් කැව්වෙ නෑ නෙ, අද කවන්නකො."

සුනෙත් පැවසූ දෙයින් කාන්ති කම්පනයට පත් වූ බවක් පෙනුනත් නැවතත් ක්ෂණයකින් ඇයගේ මුහුනේ යම් නපුරු බවක් ඇඳිනි.

"අනේ කන්න දරුවො මට වද නොදී."

ඒ සුනෙත් බලාපොරොත්තු වී සිටි උත්තරයයි. මේ ප්‍රශ්නය අද කෙසේ හෝ විසඳා ගන්නට ඔහු තීරණය කර තිබුණි.

"මොකක්ද අම්මෙ අම්මට වෙලා තියෙන්නෙ? මට දැන් දවස් ගානක ඉඳල මට වෙනස්කම් කරනවා. මට දැන් සලකන්නෙ මම හරියට පිට මිනිහෙක් වගේ."

"එහෙම දෙයක් නෑ දරුවො, විකාර නැතුව ඔය කෑම ටික කන්න. කවන්න දැන් ඔයා පොඩි ළමයෙක් නෙමෙයි නෙ."

"අම්මට මම පොඩි දරුවෙක් නෙමෙයි කියල මතක් වුනේ දැන්ද?"

කාන්ති ඊට පිළිතුරු නොදුන්නාය. සුනෙත්ට තව දුරටත් කතාව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වුවත් ඔහුට ඒ සඳහා හැකියාවක් නොවීය.

"විමලෙ, ඔය දෙන්න කන්න, මම කුස්සිය පැත්ත අස් කරල දාලම එන්නම්. එතකොට ලේසියි."

මෙතෙක් නිහඬව බලා සිටි විමලසේන කඩහඬ අවදි කලේය.

"නෝනෙ, පොඩ්ඩක් වාඩි වෙන්නකො ඔහොම."

"මම අර පැත්ත අස් කරල දාල එන්නම් මහත්තයො. ඔය දෙන්න එතකන් කන්නකො."

"වෙනදත් එහෙමද කලේ? වෙනදත් නෝන බඩගින්නෙ ඉන්නකොට අපි දෙන්න තනියම කෑවද? අද මොකක්ද මේ අමුතු සෙල්ලමක්. ඔතනින් වාඩි වෙන්න, කතා කරන්න ගොඩක් දේවල් තියනව වගේ."

විමලසේනගේ හඬ තරමක් උස් විය. කාන්තිට වාඩි වෙනවා හැර වෙන විකල්පයක් නොවීය.

"හරි දැන් පුතා කියන්නකො මොනවද මේ අම්ම වෙනස් කම් කරනව කියන්නෙ."

තාත්තා ඒ කතාවට මුල පිරීම සුනෙත්ට මහත් සතුටක් විය. ඔහු පුටුවේ පසුපසට වී හරි බරි ගැසී වාඩි වුනේය.

"දැන් සති දෙක තුනක ඉඳල අම්ම එන්න එන්න වෙනස් වෙනව තාත්තෙ. හරියට කතා කරන්නෙත් නෑ, මොකක් හරි කිව්වත් වචනයයි දෙකයි, මාව හැමතිස්සෙම මග අරිනව, වෙනදට මම වැඩ ඇරිල එනකොට ගෙට එනකල් ඉඳල බෑග් එකත් ඉල්ලගෙන, කාමරේටම එන මනුස්සය දැන් මම ගේට්ටුවෙන් ඇතුලට එනකොටම ගෙට යනව. අනික වෙනදට මම වැඩ ඇරිල ආවම දාහක් ප්‍රශ්න අහන අම්ම දැන් මම ආව කියල ගානක් වත් නෑ. එදා රෑ මම අම්ම ටීවී බල බල ඉන්නකොට ගිහින් උකුල උඩින් ඔලුව තියාගත්ත, එක පාරටම මට වැඩ තියනව කියල නැගිටල යන්න ගියා. අද දැක්කෙ නැද්ද, වෙනදට බොරුවට හරි වැඩක් කියල මාව කුස්සියේ තියා ගන්නනෙ හදන්නෙ. ඒ වුනාට අද මම අහලත් වැඩක් නෑ කියල මාව එලව ගත්ත."

සති ගානක් තිස්සෙ හිතේ හිර කරගෙන සිටි දුක, වේදනාව, තරහව, සුනෙත් ලද අවසරයෙන් සහමුලින්ම නිදහස් කර දැමුවේය. සුනෙත්ගේ වදන් විමලසේනව ඈත අතීතයට ගෙන ගියේය. විමලසේනට සිහි වූයේ කුඩා කල සුනෙත් වැරැද්දක් කර අම්මා දඬුවම් කල විට, තමා ලඟට දුවගෙන විත් අවනඩුව කියන ආකාරයයි. කාන්ති බිම බලාගෙන සිටි නිසා ඇගේ ඇස් වල කඳුලු කිසිවෙක් දුටුවේ නැත. සිවිලිමේ සිට කෑගසනා හූනාගෙ හඬත්, කලබලයෙන් බත් කන බූලාගේ හඬත් ඇරෙන්න අවට පරිසරයම නිහඬය. ගහ කොළ පවා නිහඬව සුනෙත්ගේ දුක් ගැනවිල්ල අසා සිටින්නා සේය. විමලසේන හොඳ හුස්මක් ඉහලට ගෙන, නැවත එය පිට කර, උගුරේ රැල් බුරුල් කර කතාවට මුලපිරුවේය.

"මේ දරුව කියන කතාව ඇත්තද නෝනෙ?"

කාන්ති නිහඬය.

"ඇත්තටම මම මුකුත් නොකිය හිටියට මටත් ඔයාගෙ වැඩවල වෙනසක් පෙනුන ටික දවසක ඉඳල. මොකක්ද කියන්නකො කාන්ති ප්‍රශ්නෙ."

"අපි තවත් මොකටද මහත්තයෝ මෙයාව හුරතල් කරන්නෙ? මෙයා ගැන බලාගන්න මෙයා දැන් ගෑනියෙක්ව  ගේන්නනෙ යන්නෙ. ඉතින් තවත් මෙයාට අපිව වැඩක් නෑ නෙ." 

කෑගසමින් සිටි හූනා නිහඬ විය. බූලා බත් හිරකරගෙන කහිනු ඇසේ. සුනෙත්ගේ දෑස් ලොකුවී, මුව විවර වෙද්දී විමලසේනගේ මුවට මද සිනහවක් නැගෙනු පෙනුණි.

"මොකක්ද අම්මේ ඒ කතාවෙ තේරුම?"

"තේරුම? තේරුම උඹ දන්නව ඇතිනෙ පුතේ. දැන් උඹට අපිත් එක්ක හිටිය ඇති නිසා වෙන්න ඇතිනෙ කලබලේට ඔය කෙල්ලව උස්සගෙන එන්න හදන්නෙ. ඉතින් තවත් මොකටද අපි උඹ ගැන හොයන්නෙ?"

සුනෙත් නිදහස් කලාට වඩා වැඩි දුකක්, වේදනාවක්, කේන්තියක් කමලා ඒ වදන් වලින් පිට කළාය. එසේ වචන වලින් පිට කරගත නොහැකි වේදනාව කඳුළු වලට හැරවී නොනවත්වා ඇගේ දෙනෙතින් ගලන්නට විය.  සුනෙත්ට කතා කරනවා තබා ඉහලට ගත් හුස්ම පහලට හෙලන්න වත් හැකියාවක් නොවීය. ඔහු අසරණ දෙනෙතින් විමලසේන දෙස බැලුවේ කරන්නට හෝ කියන්නට දෙයක් සිතාගත නොහැකි නිසාය.

"ඉතින් නෝනේ මේ කොල්ල කවද හරි කසාද බඳින්න එපාය."

"ඒක හරි මහත්තයෝ, ඒත් මෙච්චර කලබලයක් මොකක්ද? තාම යන්තං අවුරුදු 26යි.මෙච්චර ඉක්මනට ගෑනියෙක් ගේන්න හදන්නෙ අපිත් එක්ක ඉඳල ඇතිවෙලා වෙන්න ඇතිනේ."

එවර විමලසේනත් නිහඬය.

"කේන්දර බලපු මනුස්සයත් කිව්වේ ලබන අවුරුද්දෙ අග හොඳම නැකතක් තියනව, ඒ කාලේ කලොත් හොඳටම හොඳයි කියල. කොහෙද, අපේ එකාට හදිස්සියනේ. ඔය මගුල ලබන මාසෙම කරගන්න ඕන වුනානෙ."

සුනෙත් අසරණ දෙනෙතින් තම මව දෙස බලාසිටියේය.

"ඉතින් කාන්තියෝ මේ දරුවා බැඳලා වෙන ගෙදරකට යන්නේ නැහැ නෙව. අපේ එකා අපිත් එක්කමනේ ඉන්නෙ."

"ඔයා හිතනවද මහත්තයෝ බැන්දට පස්සෙ මෙයා මෙහෙම අපිත් එක්ක ඉඳීවි කියල? ඊට පස්සෙ ඉතින් අපි උනන්ද මලාද කියල ගානක් නැතිවෙයි."

බොහෝ කලකට පසු විමලසේන කාන්තිගේ තර්කයන් හමුවේ පරාජයට පත්විය. ආදරයෙන්, සමගියෙන්, හැම අතින්ම සර්ව සම්පුර්ණ වූ ඔවුන්ගේ කැදැල්ලට හතර වෙනියෙකුගේ පැමිණීම කුමන ආකාරයේ බලපෑමක් කරයිද යන සැකය කාන්ති තුල විය. හතර වෙනියාගේ පැමිණීම ඔවුන්ගේ කුඩා පවුල, පවුල් දෙකකට කඩාවී යන බිය අය තුල තදින්ම විය.මෙතෙක් කල් තමාගේ ඇසුරේම සිටි එකම පුතු මෙතරම් ඉක්මනින් තමාගෙන් ඈත් වීම කාන්තිට දරාගැනීමට අපහසු විය.

විමලසේන, කාන්ති දෙසත් සුනෙත් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ අනුකම්පා සහගතවය. කියන්නට දෙයක් ඔහුටද සිතා ගැනීමට නොහැක. සුනෙත් නිහඬව අසා සිටියා විනා වචනයක් වත් කතා කිරීමට උත්සහ නොගත්තේය. ඔහු අමාරුවෙන් හිස ඔසවාගෙන කාන්ති දෙස බැලුවේය. තමා කීවේ අනවශ්‍ය කතාවක් යයි කාන්තිට සිතුනේ කඳුළු පිරී දිලිසෙන සුනෙත්ගේ දෑස් දුටු විටය. ඒ  බැල්ම කාන්තිගේ හදවත දවා අලුකරලන්නට සමත් විය. සුනෙත් දෙස බලා සිටිය නොහැකි නිසා ඇය තම දෑස්  ඔහු කෙරෙන් සඟවන්නට  උත්සහ ගත්තාය. එහෙත් ඇයට එසේ සිටීමට නොහැකිය.  තම කුසින් උපන් එකම දරුවාගේ කඳුළු කාන්තිට  කෙසේවත් ඉවසිය නොහැක. මහමෙරක් මෙන් දැඩි කරගෙන තිබූ ඇගේ හිත උතුරා යන දරු සෙනෙහසින් වෙඬරු පිඬක් මෙන් උණුවී ගියේය. ඇය අසුනින් නැගිටුනේ නිරායාසයෙනි. සුනෙත් ලඟට ගිය ඇය සුනෙත්ගේ හිස පපුවට තුරුළු කරගත්තේ දරාගත නොහැකි වේදනාවෙනි.

"අනේ අඬන්න එපා මගෙ පුතේ."

"එතකොට ඒ නිසාද අම්ම මගෙන් මෙහෙම පළිගන්නේ?"

"අනේ එහෙම කියන්න එපා දරුවෝ. අම්මල කවදාවත් දරුවන්ගෙන් පළිගන්නේ නෑ."

සුනෙත් හා කාන්ති දෙදෙනාම හඬද්දී විමලසේන කඳුළු සඟවා ගැනීමට දැඩි වෙහෙසක් දරනු පෙනුණි.

"උඹ අර දරුවව එක්කගෙන ආවම ඉස්සර වගේ අපිත් එක්ක එකට ඉන්න වෙන එකක් නෑ නෙ මගෙ පුතේ. ඒකයි මම දැන් ඉඳලම පුතා නැතුව ජිවත් වෙන්න පුරුදු වුනේ."

"මම හිතුවෙ ඉතින් මම ඉකමනට පිළිවෙලක් වෙනවට අම්මල උනත් කැමති ඇති කියල."

දෙදෙනාගේම  හැඩීම වැඩි වුවා මිස අඩුවක් නම් නැත. විමලසේන පසෙකට වී බලා සිටියා විනා කිසිත් කීමට නොගියේය.

"හරි, අපි එහෙනම් කසාදෙ කල් දාමු අම්මේ. ලබන අවුරුද්දේ හොඳ නැකතක් තියනව කිව්වනේ, ඒකටම කරමු."

"අනේ එපා පුතේ එහෙම ඕන නෑ."

"නෑ ඉතින් අම්මගෙ අකමැත්තෙන් මේක කරන්න ඕන නෑ නෙ. මම නිශාට තේරුම් කරලා දෙන්නම්."

"පිස්සුද ළමයෝ? දැන් මේ ඔක්කොම සුදානම් කරල ආයෙත් කල් දාන්න? විකාර කතා කියන්න එපා." විමලසේනගේ හඬ දැඩිය.

"අනේ ඔව් පුතේ, එහෙම නම් කරන්න එපා. මම ඉතින් හැම දේම ඕනවට වඩා හිතනවනේ. මම කියපු දේවල් ගැන හිතන්න එපා. ඒව ඔක්කොම අමතක කරන්න. පුතා ඔය කටයුතු ටික හොඳට සුදානම් කරගන්නකෝ."

සුනෙත් නිහඬය. සුනෙත්ගේ නිහඬතාවය  කාන්තිව නොසන්සුන් කරවයි. ඇය සුනෙත්ගේ හිස දෑතින්ම තමා දෙසට හරවා ගත්තාය.

"මේ බලන්න පුතේ, දැන් ඔය ඔක්කොම අමතක කරල දාන්න. මම ආයෙත් එහෙම වැඩ කරන්නේ නෑ."

"එහෙනම් කමක් නෑ. හැබැයි අම්ම මට පොරොන්දු වෙන්න ඕන ආයෙත් මට වෙනස්කම් කරන්නේ නෑ කියල."

"නෑ දරුවෝ, ආයෙත් කවදාවත් එහෙම කරන්නේ නෑ. මම පොරොන්දු වෙනවා."

සුනෙත් නැවතත් කාන්තිට තුරුලු වුනේය. විමලසේන තවදුරටත් ඔහුගේ කඳුළු සඟවන්නට උත්සහ නොගන්නේය.

"අම්ම බය වෙන්න එපා අම්මේ, නිශා ආව කියල මම කවදාවත් අම්මලාගෙන් ඈත් වෙන්නේ නෑ. මම පොරොන්දු වෙනවා. මම එහෙම මුල අමතක කරන විදියෙ මිනිහෙක් නෙමෙයි අම්මෙ. එයා ආවම අපේ පවුලට තව කෙනෙක් එකතුවෙන එක විතරයි වෙන්නෙ."

දෙනෙතින් නොනවත්වාම කඳුළු කඩා හැලෙද්දී කාන්ති සුනෙත්ව තදින්ම තම දෑතට හිරකරගෙන ඔහුගේ හිස සිම්බාය.

"දැන් කෑම ටික සීතල වෙලත් ඇති. එන්න, මම අද දෙන්නටම කවන්නම්."

"අන්න හරි ශෝක්." විමලසේන අපහසුවෙන් වචන ගැට ගසා ගත්තේය.

කාන්ති පුටුවක් ඇදගෙන විමලසේන හා සුනෙත් අතරින් තබාගෙන දෙදෙනාටම කවන්නට විය.

"හැබැයි පුතෝ උඹටයි මටයි නැන්දම්මගෙයි ලේලිගෙයි රණ්ඩු බේරනවට වැඩක් නැති වෙයි මේ යන විදියට."

"අනේ නිකන් ඉන්න මහත්තයෝ. මම එහෙම කරන්නේ නෑ. මම කොයිතරම් ආදරේද ඒ දරුවට? පුතා බය වෙන්න එපා, එහෙම වෙන්නෙ නෑ."

"ඒක නෙමෙයි පුතේ, වෙලාවට අපිට කෙල්ලෙක් හිටියෙ නැත්තෙ. නැත්තන් ඉතින් ජීවිතේට ඒ කෙල්ලට කසාදයක් බඳින්න දෙන්නෙ නෑ මේ මනුස්සය."

"ඔයා නම් හරි නරකයි විමලෙ. දැන් ඉතින් ඕක කිය කිය මට විහිලු කරයි."

"නැත්තන්, ඕක ඇති තව කාලෙකට."

දෑස්වල නැගුනු කඳුළු වියකී යද්දී කෑම මේසය දෙසින් සිනා හඬක් නැගෙන්නට විය. සිවිලිමේ සිටි හූනා නැවත කෑගසන්නට විය. බූලා නැවත කලබලයෙන් බත් කන හඬ එළියෙන් ඇසෙයි.

Monday, September 5, 2011

මට හෙනම මළ උඹ එක්ක



වදකාර හිත,
මට හෙනම මළ උඹ එක්ක
පොඩ්ඩක් ඇත්තන් ඇති
කොහේ හරි පැටලෙන්න

පොඩිම පොඩි දෙයක් අල්ලගෙන
ගව් ගනන් දුරට යන
ලොවෙත් නැති හෙන උසට
අහසෙ මාලිග හදන
ඇත්තටම උඹට පිස්සුද?
මට හෙනම මළ උඹ එක්ක

අන්තිමට කෙලවගෙන
එන්නෙපා මගේ ලඟට
උඹේ ඔය ගොන් කමට
කරන්න නම් දෙයක් නෑ මට

ඒ සිරාවටම,
මට හෙනම මළ උඹ එක්ක.

Friday, September 2, 2011

නමක් නැති තවත් කතාවක්

කැම්පස් පටන ගත්ත නිසා වැඩිය බ්ලොග් පැත්තෙ සැරිසරන්න වෙලාවක් නෑ දැන්. ෆලෝ කරපු බ්ලොග් ටිකවත් ඔක්කොම කියවන්න වුනේ නෑ. අපි දැන් බිසි, ෆයිනල්ස්ල නෙ. :P අද නම් පොඩි ඉඩක් හම්බවුනා පෝස්ට් එකක් කොටල දාන්න. මේ දවස් වල තව කෙටි කතාවකුත් පොඩ්ඩ පොඩ්ඩ ලියාගෙන යනව. :) දවස් දෙකක් තිස්සෙ ලියන්න හිතන් හිටපු දෙයක් ගැන ලියන්න යන්නෙ. 

මම කැම්පස් එන්නෙ හිතාගෙන පෙරේද හවස ගෙදරින් බස් එකට නැග්ග. මම නගින කොට පොඩි පිරිමි ළමයෙක් වාඩි වෙලා ඉන්න අයට කොල වගයක් බෙදනව. ඔය දර්ශනය ඉතින් නොදැකපු කෙනෙක් නැතුව ඇති. මට හිතෙන විදියට අවුරුදු 8ක් 9ක් විතර පොඩි එකෙක්. මම හිටගෙන හිටපු නිසා මට කොළයක් නම් ලැබුනේ නෑ. ඒත් මට ඇහෙනව මිනිස්සු කතා වෙනව, ඉස්කෝලෙ යන්න සල්ලි නෑ ආධරයක් කරන්න කියල තමයි තිබිල තියෙන්නෙ. ඒකෙ තිබුන ගම අනුරාධපුරේ පැත්තෙ තියන එකක්ලු. (මම ඉන්නෙ ඊට ගොඩාක් පල්ලෙහා.) 

දැන් මිනිස්සු කතා වෙනව මේ පොඩි එකා "තනියම කොහොමද අනුරධපුරේ ඉඳන් ආවෙ?", "ඇයි මෙච්චර දුරක් ආවෙ?" මම හිටගෙන හිටපු තැන ශීට් එකේ හිටපු ගෑණු කෙනයි, පිටිපස්සෙ ශීට් එකේ හිටපු පිරිමි දෙන්නකුයි මේ පොඩි එකාගෙන් විස්තර ඇහුව. මම හොඳට බලාගෙන හිටියෙ ඒ දිහා. ඒ පොඩි එකා ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නෙ නෑ. ප්‍රශ්න මග අරින්න ගොඩක් උත්සහ කලා. අන්තිමට කිව්ව පුන්චි අම්ම එක්ක මෙහෙ ආවෙ කියල. අනිත් එකකට වත් උත්තරයක් ලැබුනෙ නෑ. හැබැයි එතන හිටපු හැම කෙනාටම එක දෙයක් තේරුනා, ඒ පොඩි එකා කිව්වෙ බොරු. හැබැයි එහෙමයි කියල මිනිස්සු සල්ලි නොදී හිටියෙ නම් නෑ. සැලකිය යුතු ලොකු ගානක් එකතු වුනා. මිනිස්සු ආයෙත් ඒ ගැන අහන්න ගියෙත් නෑ. 

දැන් ඒ පොඩි එකා කිව්වෙ බොරුවක් නම් මේකට කවුද වැරදි කාරයා. ඒ පොඩි එකාද? නෑ. මේ දුවල පැනල සෙල්ලම් කරන වයසෙ බොරු කියල බස් වල සල්ලි එකතු කරන්න පොඩි එකෙක්ට හිතේවිද? අනිවාර්යෙන්ම කවුරුහරි ඒ පොඩි එකාව ඕකට පොලඹවල නේද? එහෙනම් කවුද මේ දරුවො මෙහෙම එවන්නෙ? ඒ දරුවන්ගෙ අම්මල තාත්තලම නේද? ඊලඟ ප්‍රශ්නෙ ඒක හරිද කියන එක. මන්ද මම නම් ඔහොම දරුවො ලව්ව හම්බකරගෙන කන එකට සම්පූර්නයෙන්ම විරුද්ධයි. අනිත් දරුවො සෙල්ලම් කරනකොට ඒ ළමයි බස් ගානෙ ගිහින් හම්බ කරනව. ඒ ළමයින්ට ළමා කාලයක් කියල දෙයක් ඇත්තෙම නෑ. මොන ප්‍රශ්නෙ තිබුනත් අම්මල තාත්තල දැනගන්න ඕන තමන්ගෙ දරුවන්ට කන්න අඳින්න දෙන්න. එහෙම නැත්තන් ළමයි නොහදා ඉන්න ඕන. ඔහොම ළමයින්ව යවල සල්ලි හම්බ කරන එක ලේසියි නෙ. පොඩි එකෙක් ආවම කවුරු උනත් කීයක් හරි දෙනව. ඒක නිසා තමයි ලේසියට ඔහොම කරනව ඇත්තෙ. ඒක මහ පව්කාර වැඩක් කියලයි මටනම් හිතෙන්නෙ. ළමයි හැදුව නම්, ළමයින්ට කියල හම්බ කරන් කන්නෙ නැතුව මොන දහ දුකක් විඳල හරි උන්ට කන්න දෙන්න අම්මල තාත්තල දැනගන්න ඕන. අනිත් එක මෙතනදි පොඩි කාලෙම දරුව ඉගෙන ගන්නෙ බොරු කියල සල්ලි හොයන්න. එතකොට කවද හරි ඒ පොඩි එකා ලොකු වුන දවසක හොරෙක් මංකොල්ල කාරයෙක් වෙන එක උනත් මහ දෙයක් නෙමෙයි.

ඒත් ඒ දෙමව්පියන්ට සධාරණ හේතුවක් තියෙන්නත් පුලුවන්. වෙන කරන්නම දෙයක් නැති කමට තමන්ගෙ දරුවව මෙහෙම එවනව වෙන්නත් පුලුවන්. අපි බලන්නෙ පිටින් ඉඳල නෙ. ඒක නිසා අපිට ඇත්ත කතාව නොපෙනෙන්නත් පුලුවන්. ඒත් මම නම් කියන්නෙ මොනම හේතුවක් උඩ උනත් එහෙම ළමයි යවන එක හිතට එකඟව අනුමත කරන්න නම් බෑ. අර පොඩි එකා බස් එකේ එහා මෙහා ගියෙත් හරි අමාරුවෙන්. එච්චරටම පොඩි දරුවෙක්. එක අතක සල්ලි, අනිත් අතේ අර කොළ ටික, ඒ දර්ශනේ දැක්කම ඉතින් සංසාරෙ එපා වෙනව. මෙච්චර පොඩි කාලෙම ජීවත් වෙන්න ඔහොම දුක් විඳින්න වෙනව කියන්නෙ ඉතින් මොන තරම් අවාසනාවක්ද? කියන්නෙ බොරුවක් කියල දැන දැනත් හැමෝම වගේ සල්ලි දෙන්න ඇත්තෙ ඒකයි.  ඕක ඉතින් විසඳුමක් නැති තවත් එක ප්‍රශ්නයක්. 

අතපය හතර හොඳට තියන මිනිස්සු පවා ඔහොම එනව නෙ. එහෙම දෙන කොළ වල විවිධාකාර කතා තියෙන්නෙ. ඇත්තම කියන මිනිස්සු ඕන තරම් ඇති, ඒත් මට නම් හිතෙන්නෙ ගොඩක් අය කියන්නෙ බොරු. අපි කොහොමද ඉතින් ඇත්ත කියන අයයි බොරු කියන අයයි අඳුන ගන්නෙ? මම නම් දැන් මුකුත් හිතන්නෙ නෑ, කාටත් අතේ තියන විදියට කීයක් හරි දෙනව. බොරුවක් වුනත් වෙන මහන්සියට හරි හරි කීයක් හරි දෙන්න වටිනව කියල මම හිතන්නෙ. අපි යහපත් චේතනාවෙන් දුන්නොත්, ගන්න කෙනා ඇත්තක් කලත් බොරුවක් කලත් අපිට වත් පින් සිද්ද වෙනවනෙ. ගොඩක් මිනිස්සු කවුරු ආවත් තියන විදියට කීයක් හරි දෙනව. අපේ මිනිස්සුන්ගෙ තාමත් මනුස්සකම කියන දේ ගොඩක් තියනව හිතෙනව ඒ වෙලාවට. බොහොම ජැන්ඩියට ඇඳල යන සමහර ලොකු නෝන මහත්තුරු නම් ඉන්නව ඒ වගේ මනුස්සයෙකුට සත පනහක් වත් දෙන්නෙ නැති. ඒව ගැන කතා කරන්න ගියොත් වෙනම පෝස්ට් එකක් දාන්න වෙනව. 

..................................................................................................................................................................
ප.ලි. ටොපික් එක නම් පොඩි කොපියක්. මට මේකට ටොපික් එකක් මතක් වුනේම නෑ. ඒක නිසා ඒක දැම්ම.