twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Tuesday, October 25, 2011

රෙදි ගැලවෙන්නම ගිය අවස්ථාවක්

අනේ බලන්නකෝ මට වෙච්ච වැඩේ. ලැපීගෙ අවුලක් ගිහින් ඊයෙ හදන්න අරගෙන ගියා. ඒක හදන්න තියල යන්න කිව්වා. සති දෙකක් විතර යනවලු හදල දෙන්න. :( අයියෝ දැන් හුස්ම වැටෙන්නෙත් නෑ වගේ. ඇත්තටම හිතට මාරම අවුල්. අපි ජීවිතේ ඇති කරගන්න බැඳීම් නිසා කොයිතරම් නම් දුක් වෙනවද? වැඩිපුරම මිනිස්සු එක්ක ඇති කරගන්න බැඳීම් නිසා අපි දුක් විඳිනවා. ඒ ඇරුනම ඔය වගේ භෞතික දේවල් වලට ඇතිවෙන බැඳීම් නිසාත් අපි දුක් විඳිනවා. හලේ මට නම් මේ සේරම එපා වෙලා තියෙන්නේ. දන් ඉතින් මේ ජීමේල් එකේ, ෆෝන් එකෙන් ටික ටික ටයිප් කරල තමයි මේක ලියන්නේ. (Real Time Unicode Converter එකට හරි යන විදියට  ෆෝන් එකෙන් ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරලා සේව් කරගෙන පස්සේ කම්පියුටර් එකෙන් convert කරගන්නවා.) කොහොමද මගේ කැපවීම.:)

ට්‍රේනින් කාලේ වෙච්ච තවත් සිද්ධියක් ලියන්න කියල මේ ලේස්ති වුනේ. කලිනුත් එකක් ලිව්වනේ, ඒක බලන්න මෙතනින් යන්න. මේක නම් ඉතින් චාටර්ම සීන් එකක්. කලින් එක ලිව්වට පස්සේ මට මේකත් ලියන්න ඕන කියල හිතුන. ඒත් පස්සෙ නිකන් නොන්ඩියි වගේ කියල නිකන් හිටිය. කමක් නෑ, ඕන වෙඩිමක්‌ කියල ඔන්න ඔහේ ලියල දානවා. කවුරු හරි මේකෙන් ආදර්ශයක් වත් ගත්තොත් ඒ මදෑ.:)

ඔන්න ඉතින් මායි අනිත් කෙල්ලයි වෙනද වගේ වැඩ කර කර (හෝ කයියක් ගහගෙන) ඉන්නවා. එතකොට අපේ ඉමීඩියට් බොස් අපි ලඟට ආව. අපේ ඉමීඩියට් බොස් විදියට හිටියේ පේර සිවිල් ඉන්ජිනියර් මිස් කෙනෙක්. ඇවිත් ඇහුව, "මම පෙන් එක ගෙනල්ල නෑ, ඔයාල ළඟ පෙන් එකක් තියනවද?" කියල. අනිත් කෙල්ල පෙන් එකක්‌ ගේන්නේ නෑ. මම නම් පුරුද්දට වගේ පෙන් එක බෑග් එකේ දාගෙන ඉන්නේ. මම පෙන් එකක් තියනවා කියල බෑග් එක ඇරිය පෙන් එක ගන්න. ඒක ඇතුලේ මගේ පෙන් එකයි, තාත්තට ඉස්සර ඔෆිස් එකෙන් ලැබුන පෙන් එකයි (128MB :D) දෙකම තියනවා. ඔන්න එතකොට තමයි මට ඇඟ සීතල වෙලා යන දෙයක් මතක් වුනේ. ඔය දෙකෙන් එකක වැඩිහිටියන්ට සුදුසු නැති වීඩියෝ දෙක තුනක් තිබුන.:( මට දැන් ඉතින් මතක නෑ ඔය දෙකෙන් මොකේද ඒ ටික තියෙන්නේ කියල. දැන් මිස් බලාගෙන ඉන්නවා පෙන් එක දෙනකල්. මට පෙන් දෙකම පේනවා, ඒත් මම බොරුවට හොයනවා වගේ බෑග් එක පෙරල පෙරල මතක් කරනවා මොකේද තියෙන්නේ කියල. 

කොහොම හරි යන්තන් දඟලල දඟලල මතක් කරගත්ත මොකේද තියෙන්නේ කියල. ඊට පස්සේ අනිත් පෙන් එක මිස්ට දුන්න. මිස් ඒක පියන් අයියට දුන්න වෙන සෙක්ෂන් එකකින් මොනවද දාගෙන එන්න කියල. මම ඉතින් සැනසුම් සුසුමක් හෙලලා බෑග් එක පැත්තකින් තිබ්බ. එතකොට මට මතක් වෙච්ච දෙයින් ආයෙත් පාරක් සර්වාංගයම සීතල වෙලා හීන් දාඩියත් දාන්න පටන් ගත්ත. විනාසයි! මට එතකොට තමයි හරියට මතක් වුනේ, මම මිස්ට දීපු පෙන් එකේ තමයි ඒ ටික තිබුනේ. දැන් මොනවා කරන්නද? පියන් අයියත් ගිහින්, මොන සෙක්ෂන් එකටද ගියේ කියල දන්නෙත් නෑ. දැන් ඉතින් මුළු ඇඟම වෙව්ලන්න අරගෙන ඉහෙන් කනෙන් දාඩිය දානවා. අරකිටත් තේරිලා මොකක් හරි අවුලක් කියල, ඒකි මගෙන් ඇහුව මොකද කියල. මම සීන් එක ලාවට කිව්වා. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ ඒකිත් මට බනිනවා ඔය විකාර මොකටද ඔෆිස් අරගෙන ආවේ කියල.    

දැන් ඉතින් දාඩිය දාලම මම විජලනය වෙලා. තොල කට වේලිලා, පපුව හිටු කියල ගැහෙනවා, කකුල් ඇත පය තරඟෙට වෙව්ලනවා, ලේ ටික වතර වෙලා, එක විකාරයයි එතන. අරකිත් බය වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා. ඒ භයානක අවස්ථාව උදා වුනා. රා කල සොළසක් බීල මත් වෙච්ච නාලාගිරි ඇතා වගේ පියන් අයිය දොර ඇරගෙන එනවා. දකුණු අතේ පෙන් එකත් තියනවා මට පේනවා. මට කරන්න කිසිම දෙයක් ඔලුවට ආවේ නෑ ඒ වෙලාවේ. හෙට ඉඳල ට්‍රේනින් එන්න වෙන්නේ නෑ කියල හිත හදාගෙන මම බලාගෙන හිටිය. අපේ මිස් නම් හරි හොඳයි. ඒත් ඉතින් දැන් කොහොමද ආයෙත් ඒ මනුස්සයගේ මූන බලන්නේ. අනිත් එක මිස්ගේ පිටිපස්සේ ඉන්න අය‍ට මිස්ගේ මොනිටර් එක හොඳට පේනවා. ෆෝල්ඩර් වීව් එක thumbnail විදියට තිබුනොත් ඒ අයටත් පේනවා. මරණයට මූන දෙනවා මිස වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. මිස්ගේ අතට පෙන් එක ලැබුනා..... මිස් ඒක මැෂින් එකටත් ගැහුවා..... මරන්න ගෙනියපු හරකෙක් වෙලාව එනකල් බලන් ඉන්නවා වගේ මම බලන් ඉන්නවා. තවත් දාන්න දාඩියක් ඉතුරු වෙලා තිබුනේ නෑ. 

මිස් පෙන් එක ගහල ඕපන් වෙනකල් බලන් ඉන්නවා. මිස් එක පාරටම ඇස් දෙක චූටි කරගත්ත. ඊට පස්සේ පාත් වෙලා පෙන් එක එහාට මෙහාට හෙලෙව්වා. පෙන් එක අරගෙන නෑ වගේ. ඒ වෙලාවේ නම් මගේ ඇඩ්‍රිනලින් හෝමෝන ක්‍රියාත්මක වුනා. මම දඩස් ගාල මිස් ලඟට ගියා. 

"පෙන් එක අරගෙන නැද්ද මිස්?"

" නෑ නෙ, මේකෙ සමහර වෙලාවට පෙන් ගන්නේ නෑ."

"දෙන්න මිස් මම අර මැෂින් එකෙන් බලන්නම්."

"ආහ් එහෙනම් එකෙන් අරන් නෙට්වර්ක් එකට දාන්නකෝ."

"හරි මිස්" 

අම්මෝ..........! ඔන්න ඉතින් ඊට පස්සේ තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. මට ඊට පස්සේ තේරුණා මම තාමත් ජීවත් වෙනවා කියල. ඊට කලින් සිද්ධි ටික නිකන් හරියට හීනයක්‌ වගේ. මොකක්දෝ පූරුවේ පිනකට තමයි මිස්ගේ මැෂින් එකේ පෙන් එක ඕපන් වුනේ නැත්තේ. ගිය ආත්මේ මම කවුරුහරි  අඳින්න ඇඳුමක් නැති කෙනෙක්ට ඇඳුමක් දෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති රෙදි ගලවෙන්නම ගිය වෙලාවක ඔහොම බේරුනේ.:D (මම අදටත් කල්පනා කරනවා ඒ බේරුන බේරිල්ල ගැන.) ඊට පස්සේ මම පෙන් එක මිස්ගේ අනිත් පැත්තේ තිබුන මැෂින් එකට ගැහුවා. හලේ මේ තියෙන්නේ මම කියපු ටික බැබලි බැබලි. ඉස්සෙල්ලාම කලේ ඒ ටික ඩිලීට් කරපු එක. ඊට පස්සේ ඕන ෆයිල් ටික නෙට්වර්ක් එකට දාල මිස්ට කියල, මම ගිහින් වාඩි වුනා. තාමත් ඇඟට පන නෑ වගේ. අරකි හිනා වෙවී මගේ දිහා බලාගෙන ඉන්නවා. වෙච්ච සේරම බලාගෙන ඉඳල. 

"අනේ කසුන් ඔයත් කරගන්න වැඩ!" 

මම පොඩි හිනාවක්‌ දාල ශේප් වුනා. ඒ ඔක්කොම ඉවර වුනාට පස්සේ මම දැක්කේ අපේ පරිපාලන නිලධාරී මිස් නිකන් අමුතු විදියට මගේ දිහා බලාගෙන ඉන්නවා. මගේ අමුතු හැසිරීම නිසා මුකුත් තේරුනාද දන්නේ නෑ. එහෙම වුනත් ඉතින් දැන් කරන්න දෙයක් නෑ නෙ. මම මුකුත් වුනේ නෑ වගේ හිටිය. 

අවවාදය: රාජකාරි වැඩ සඳහා භාවිතා කරන පෙන් එකේ තමාගේ රහසිගත පුද්ගලික දේවල් හෝ වැඩිහිටියන්ට සුදුසු නැති දේවල් තබා නොගත යුතුය. 

.....................................................................................................................................................................
ප.ලි. මේක ලියන්න අරන් දවස් 4ක් විතර වෙනවා.ෆෝන් එකෙන් ලියපු නිසා ගොඩක් වෙලා යනවා ලියන්න. අද කම්පියුටර් එකක් හම්බ වුනා. දැන් තමයි ඉවර කරගත්තේ.
  

Tuesday, October 18, 2011

පොඩි පොඩි කතා ටිකක්

සති එකහමාරකින් විතර මේ පෝස්ට් එකක් දාන්නේ. මම කලින් පෝස්ට් දෙකේම කිව්වනේ වැඩකට හිර වෙලා ඉන්නේ කියල. ඒක නිසා කමෙන්ට් කලේ වත් නෑ. වැඩියත්ම කමෙන්ට් එකක් දාන්න වත් හිතට නිදහසක් තිබ්බේ නෑ. කොහොමහරි ඒ කාර්යාබහුලකම නිසාම හිත රිදෙන දේවලුත් වුනා. හරි හරි ඒවා වැඩක් නෑ. ඊයේ පෙරේදා දවස් දෙකේම ෆිල්ම් බලපු එක තමයි කලේ. තරහ නැති වෙනකල්ම ෆිල්ම් බැලුව.:D  දැන් මේ කොටන්න යන්නේ ලොකු දෙයක් නම් නෙමෙයි, පොඩි පොඩි කතා ටිකක්. මට නම් මේවට හිනා ගියා, හැබැයි ඉතින් මම කියනකොට නම් හිනා යයිද දන්නේ නෑ. හිනා ගියේ නෑ කියල මට බනින්න එපා ඔන්න හොඳද. 

පළවෙනි  කතාව අපේ ගමේ සෙට් එකේ එකෙක් ගැන. මිනිහ ලංකාවේ ලොකු පුද්ගලික සමාගමක ප්‍රාදේශීය ශාඛාවක මැනේජර් කෙනෙක්. මිනිහට ෆීල්ඩ් එකේ යන්න තමයි තියෙන්නේ. ඌ වැඩට යන්නේ බයික් එකේ. එක දවසක් බයික් එක නැතුව මිනිහ බස් එකේ ගිහින් තියනවා. ඒක එක පැත්තක ශීට් තුනක් තියන බස් එකක්ලු. ඔන්න ඉතින් මිනිහ ජනෙලේ අයිනේ වාඩි වෙලා යනවලු. ශීට් එකේ ඇතුලේ පැත්තේ කොනේ පන්ති යන කොල්ලෙක් ඉන්නව. ඒකා උසස් පෙළ කරන වයසේ විතර කොල්ලෙක්ලු. ඔහොම ඉතින් යනකොට මගින් කෙල්ලෙක් නැග්ගලු. ඒ කෙල්ල, සුදෝ සුදු , ලස්සනම ලස්සන, ............................, ..............................., (ඌ කියපු අනිත් විස්තර ටික කියන්න බෑ.:P) කෙල්ලෙක්ලු. ඒ කෙල්ල වට පිට බලල බලල වාඩි වෙන්න වෙන තැනක් තිබුනේ නැති නිසා අපේ එකා හිටපු ශීට් එකේ මැද වාඩි වෙලා. දැන් තමයි ඉතින් සෙල්ලම! දැන් අර පොඩි එකයි අපේ එකයි දෙන්නම එකම ගානට ඇඹරෙනවලු. අර පොඩි එකා අර කෙල්ල දිහා හොරෙන් බල බල ඉන්නවලු. අපේ එකා ඉතින් එහෙම දේවල් වලින් නවතින්නේ නෑ. ඔය වගේ වෙලාවට උගේ මැනේජර්කම් සේරම ඉවරයි. දැන් ඉතින් මිනිහට කොහොමහරි මේකිට නම්බර් එක දෙන්න ඕන වෙලා. නම්බර් එක දෙන්න ඕන වුනාට මූ ළඟ ලියන්න කොලයක් නැතිලු. (මේක මැනේජර් උනාට කරන වැඩක් නෑ. ඒක නිසා කොළ කෑල්ලක් වත් ගෙනියන්නේ නෑ.) හැබැයි මිනිහ ළඟ පෑනක් නම් තිබිල. ඔය වෙලාවේ තමයි බස් ටිකට් එක පිහිටට ඇවිත් තියෙන්නේ. 

මිනිහ ශේප් එකේ බස් ටිකක් එක ගත්තලු. දැන් අර පොඩි එකත් රබර් ඇහැ දාගෙන හිටපු නිසා ඌට තේරිලා අපේ එකා මොකාටද එන්න හදන්නේ කියල. දැන් මේකා අපේ එකා දිහා බලාගෙන ඉන්නවලු. වෙන එකෙක් බලන් ඉන්නකොට කොහොමද රෙද්දක් ඇඳගෙන බස් ටිකට් එකේ නම්බර් එක ලියන්නේ. දැන් ඉතින් අපේ එකා මූ අහක බලාගන්නකල් ඉන්නවලු. මොන! මේකා මේ පැත්ත බලාගෙනම ඉන්නවලු. පොඩ්ඩක් හරි අහක බැලුවත් ආයෙත් තත්පරයකින් ආයෙත් බලනවලු. බල්ල පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ කියනවනේ. ඒක ඉතින් පැහැදිලි ඉරිසියාව. කොහොම හරි ඉතින් එක අංකයක් ලියන්නත් හෙනම ගේමක් දෙන්න වුනාලු. ඔහොම ඉතින් දහසක් බාධක මැද්දේ, සෑහෙන වෙලාවක් ගිහින්, කෑල්ලෙන් කෑල්ල ලියල අපේ එකා නම්බර් එක ලියා ගත්තලු. ලියාගෙන පෑන සාක්කුවේ දාගෙන දෙයියනේ කියල ඊළඟ අදියරට සුදානම් වෙනකොටම අනේ කෙල්ල නැගිටල බහින්න ගියාලු. අයියෝ සල්ලි! කාට කියන්නද ඉතින් මේ අවනඩුව. මොනවා කරන්නද ඉතින් කියල මූ මූන දෙක කරගෙන ටිකට් එක සාක්කුවේ දාගන්න හදනකොටම අර එහා පැත්තේ හිටපු පොඩි එකා මහ හයියෙන් හිනා වෙන්න ගත්තලු. හෑහ්, මොකක්ද දෙයියනේ ඒ වුනේ? අරූ දැන් අපේ එකා දිහා බල බල බස් එකටම ඇහෙන්න හිනා වෙනවලු.  වෙච්ච වැඩේට ඌට හෙනම හැපි. අර බහින්න ගිය කෙල්ලත් දැන් ඒ පැත්ත හැරි හැරි බලනවලු. ඒකිට නම් සීන් එක තේරෙන්න ඇති. දැන් ඉතින් මොනවා කරන්නද, අපේ එකාගේ රෙදි නෑ. ඌ එතන ඉඳල අර කොල්ල බහිනකල්ම ආයෙත් ඒ පැත්ත වත් බැලුවේ නැතිලු. පව් අසරණය, එතන ඉඳල දිගටම ජනේලෙන් එලිය බලාගෙන ඇවිල්ල. මට ඔහොම එකක් වුනා නම් මම නම් ජනේලෙන් පනිනවා. මම නම් කියන්නේ හතුරෙකුට වත් ඔහොම දෙයක් වෙන්න එපා කියල.

ඊළඟ කතාව කැම්පස් එකේ එකෙකුට වෙච්ච දෙයක්. මිනිහට කෙල්ලෙක් ඉන්නවා. දන්නවනේ ඉතින් මේ වයසේ කපල් එකක් නම් ඉතින් පොඩි පොඩි ජිඟිරි බිඟිරි වැඩ වෙනවමනේ. මූ ඒ අංශෙන් ඉහලටම ගිය එකෙක්.:) මූ දවසක් හෙන දුක් මූඩ් එකක් දාගෙන අපේ කොල්ලෙකුට කිව්වලු, "බලපන් බන්, කෙල්ල මට කිව්වනේ බැන්දට පස්සෙ කරන්නත් මොනවා හරි ඉතුරු කරගන්නකො කියල". $%&$^#*@(&$* අයියෝ දෙයියනේ අර අසරණයට මොනවා හිතෙන්න ඇද්ද? අයියෝ මේවා අහන්න තරම් මාත් පව් කරලා තියනවා නෙ! දැන් ඌ ඕක කියල තියෙන්නේ එකෙක් එක්ක විතරයි. අපේ එකෙක්ට කිව්වම ඉතින් ආයෙත් මොනවද, ඊළඟ දවසේ කොහොමහරි මුළු බැච් එකම ඔය කතාව දන්නවා. මට මතක විදියට ඌ දවස් දෙක තුනක් රෙදි නැතුව කැම්පස් ආවේ. 

ඊට පස්සේ දවස් දෙක තුනකින් ඔය කතාව රීමික්ස් කරලා අපේ රෙපාට කතාවක් හැදුනා. කතා හදන්න නම් ඉතින් අපේ උන්ට පුදුම හැකියාවක් තියෙන්නේ. දැන් කොල්ලෝ කියන්නේ රේපාගෙන් කෑල්ල ඇහුවලු, "මොකක්ද අයියේ, බඳිනකල්ම ඉන්නවද හැම දේම කරන්න?" කියල.

අන්තිම එක නම් මෙලෝ රහක් නැති වෙයිද මන්ද. ඔන්න අපි කැන්ටින් එකේ කකා ඉන්නවා. අපිට දකුණු පැත්තේ මේසෙ පොෂ්ද පොෂ්වෙන්න දඟලනද මන්ද කෙල්ලෙක් හිටිය. දණහිසෙනුත් අඟල් දෙක තුනක් උඩට ඇඳන් ඇවිත් අපි වගේ අහිංසක කොල්ලන්ට හිතේ නිදහසේ බත් ටික වත් කන්න දෙන්නේ නැති කෙල්ලෙක්.:P (හැමදාම වගේ එහෙමයි :) ) ඒකිගේ යාළුවො සෙට් එකත් එක්ක තමයි හිටියේ. ඔහොම අපි කකා ඉන්නකොට ඒ කෙල්ල කාල අත හෝදන්න යන්න නැගිට්ට. නැගිටිනකොටම පුටුව ළඟ වාඩි වෙලා හිටපු බල්ලාගේ කකුල පෑගිලා ඌ මහ හයියෙන් කෑගැහුව. අර කෙල්ල කට රෝල් කරලා රෝල් කරලා බල්ලට "oh sorry" කියල කිව්වා. අපේ මේසෙ හිටපු උන් ටික තව ටිකෙන් බත් ටික පිට උගුරේ ගිහින් මැරෙනවා. අපි ඉතින් මනුස්ස කමට බොහොම අමාරුවෙන් හිනාව කාගෙන හිටිය. හැබැයි අපරාදේ කියන්න බෑ, ඒකිගේ යාළුවො ටික නම් කැන්ටිමටම ඇහෙන්න හිනා වුනා.

Friday, October 7, 2011

මෙන්න ගිලෙනෝ....!

අදත් පොඩි බ්රේක් එකක් ලැබුනා. රිසර්ච් එකට අමාරුවෙන් ගැට ගහගෙන ප්‍රපොසල් එකක් ලියාගෙන ගියාම ඒක කිසිම හිතක් පපුවක් නැති විදියට ඒක මදි කිව්වනේ අපේ සර්. ඊට පස්සේ විස්තර අහගන්න කෙනෙක්ව හම්බ වෙන්න යන්න කිව්වා. දැන් ඉතින් ඒ ගමන යනකල් කරන්න වැඩක් නෑ. ඒක නිසා ඉතින් දුවගෙන මේ පැත්තට ආව. කලින් පොස්ට් එකටත් කමෙන්ට් දාපුවට රිප්ලයි කරන්න වුනේ නෑ.

මේ දවස් වල අපේ හොස්ටල් එකේ එක සින්දුවක් නිසා හෙන විකාරයක් වෙලා තියෙන්නේ. කවුරුත් දන්නවා ඇතිනේ රොමේෂ්ගේ 'දිගු දෑස දුටුවාම' සින්දුව. ඒකෙ වීඩියෝ එක නිසා තමයි අවුල වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ සින්දුව, බලල නැත්තන් බලන්නකෝ.


කාමරේ  ඉඳන් එලියට හරි කැන්ටිමට හරි ගියොත්, මග දිගට කාමර හතරක පහක විතර ඔය සින්දුව තමයි ඇහෙන්නේ. අපේ බැච් එකේ එකෙක් මගදි දැක්කොත් "අනේ වචනයක් හරි කතා කරන්නකෝ පවන්" හරි "මට  ඔච්චර ආදරේ කරන්න එපා පවන්, කවද හරි මට ඔයාව නැති වුනොත් මට ඒක දරාගන්න බැරි වේවි" හරි "අනේ කවදාවත් මාව තනි කරන්න එපා පවන්, මාව මැරෙයි" ඔය තුනෙන් එකක් තමයි කියන්නේ. ඇත්තටම ඒ කෙල්ලගේ කට හඬ ඇහෙනකොට නම් මොකක්ද වෙනව වෙනව වගේ. නිකන් පා වෙනව වගේ දැනෙන්නෙ.:) දවසක් අපේ එකෙක් මලක් කඩ කඩ ඉන්නකොට මම ලඟට ගිහින් "අනේ කවදාවත් මාව තනි කරන්න එපා පවන්, මාව මැරෙයි" කියල කිව්වා. ඒ කෙල්ල හොඳටම බය වෙලා. ඒ කෙල්ල මේ සින්දුව අහල තිබිල නෑ.

පහුගිය දවස් දෙක තුනක්ම ඇහැරුනේ එහා බ්ලොක් එකේ එකෙක් උදේට 'දම්සාරී' කියල ගිරිය යටින් කෑගහන සද්දෙට. වැරදිලාවත් ඒකට ඇහැරුනේ නැත්තන් ඊට පස්සෙ අපේ බ්ලොක් එකෙන් ඇහෙන හූවට නම් අනිවා ඇහැරෙනවා. ඉතින් අර කෑගහපු එකාගෙයි, ඔය සින්දුවේ වීඩියෝ එක හදපු එකාගෙයි දෙමව්පියෝ මතක් කරගෙන තමයි ඇඳෙන් බහින්නේ. සින්දුව නම් ඇත්තටම ලස්සනයි, කියල වැඩක් නෑ.

බිඳ දමා මගෙ සිහිනේ
ඇයිද ඔබ හැංගෙන්නේ
මට  දෙන්න මගෙ සිහිනේ
ළඟ ඉන්න පෙර වාගේ

ඔය ටික නම් බොක්කටම වැදුනා. පද වගේම තනුවත් ගොඩක් ලස්සනයි. හැබැයි වීඩියෝ එකෙන් නම් සින්දුව රස විඳින්න බෑ. ඒකෙ සින්දුව කාල තියෙන්නේ. සින්දුව හරියට අහන්න ඕන නම් ඕඩියෝ එක අහන්න ඕන.

අද කියන්න ආපු දේ කියන්න කලින් තව දෙයක් කියන්නම ඕන. ඒ කලින් පෝස්ට් එක ගැන. ඒකෙ 'කෑල්ල' කියන වචනෙ පාවිච්චි කරපු එක හරි නෑ කියල කීප දෙනෙක්ම කියල තිබුන. ඒ වචනෙන් අපහාසයක් වෙනව කියන අදහස තමයි කියල තිබුනේ. මම බොහොම අවධාරණයෙන් කියන්න ඕන කිසිම විදියකින් අපහාස කිරීමකට නෙමෙයි ඒ වචනෙ පාවිච්චි කලේ කියල. ඕක ඉතින් කොල්ලන්ගේ ශබ්ධකොෂේ වචනයක් නේ. පෙම්වතිය කියන වචනෙට සමාන වචනයක් විදියට ඕක පාවිච්චි කරනව එක ඉතින් කවුරුත් වගේ දන්නව නෙ. එහෙම නැතුව කිසිම අපහාසයක් ඒකෙ නෑ මම හිතන විදියට නම්. මග තොටේ ලස්සන කෙල්ලෙක් දැක්කම 'පට්ට කෑල්ල නෙ' කියල නම් කියනවා. ඒක ඉතින් වෙනම කතාවක්.:) චතුරංග පෙරේරා අයියත් කියල තිබුන පුළුවන් නම් ඒ 'කෑල්ල' කියන වචනෙ එඩිට් කරන්න කියල. චතුරංග අයිය ආවට ගියාට මුකුත් කියන කෙනෙක් නෙමෙයි කියල මම දන්නව. ඊට පස්සෙ තමයි මට මේ ගැන ලියන්නම ඕන කියල හිතුනේ. ඒ ගැන ලියන නිසයි මම ඒක එඩිට් කලේ නැත්තේ. මම ආයෙත් කියන්නේ ඒක කිසිම විදියක අපහාසයක් දනවන වචනයක් නෙමෙයි කියල. කරුණාකරල ඒක වැරදියට තේරුම් ගන්න එපා.

ඔන්න දැන් තමයි මාතෘකාවට එන්නේ. මම චානිකා (අවසාන කොටස) දී අන්තිමට කිව්ව ඊට දවස් දෙකකට කලින් අපේ සෙට් එක නාන්න ගිහින් මහිමයයි, ඒ කතාවේ අනිත් ප්‍රධාන නළුවයි (කනය) ගිලිල මැරෙන්න ගියා කියල. ඒ කතාව තමයි මේ කියන්න හදන්නේ. නාන්න නියම තැනක් තියනවා, හැබැයි කිලෝ මීටර් 3ක් විතර තියනවා කියල මහිමය තමයි අපිව එක්කගෙන ගියේ. හොඳ කිලෝ මීටර් තුන, කිලෝ මීටර් 10යි ගානක් තිබුන. ඒක පොඩි දොළක්. ලස්සන මඩ පාට වතුර ටික. අඩි 15ක් විතර වගේ පළල මට හිතෙන විදියට. මහිමය කිව්ව මැද හරියෙ තැනක් තියනවා ටිකක් ගැඹුරුයි කියල. ඌ කලින් ඇවිත් තියනවා. කට්ටිය ඉතින් ගිහිල්ල නාන ඇඳුම් ඇඳගෙන ඉවුරට වෙලා බලාගෙන ඉන්නවා බහින්න බයේ. මටයි මහිමයටයි විතරයි යාන්තමට හරි පීනගන්න පුළුවන්. පීනන්න කියන්නේ ඉතින් වතුරකට වැටුනොත් කොහොමහරි කරලා යාන්තන් ගොඩට ඒගන්න වගේ පුළුවන්. අපි දෙන්න ඉතින් ඉස්සෙල්ල බැහැල බැලුව ගැඹුරු තැන් තියනවද කියල. හෙමින් හෙමින් ඇවිදල බලල ගැඹුරු නැති හරිය බලාගත්ත. ඊට පස්සෙ තමයි කට්ටිය බැහැල නාන්න ගත්තේ.

දැන් ඉතින් ඔහොම ටික වෙලාවක් අපි නනා හිටිය. එතන ඉවුරේ ඉඳල දොළ පැත්තට නැවුන කොට කෑල්ලක් තියනවා. මම ඕකෙ ටික වෙලාවක් වාඩිවෙලා හිටිය. ඒ අතරේ කනය පොඩ්ඩ පොඩ්ඩ අර ගැඹුරු හරියට ඇවිද ඇවිද එනව. ඌටත් ගැඹුරු කොයි හරියද කියල බලාගන්න ඕන වෙලා. මහිමය වගේ එන්න හැදුව නම් කවුරුහරි පැනල අල්ල ගන්නවා, ඕක පිස්සනේ. ඒත් ඉතින් කනය ගොන් වැඩ කරන්නේ නැති නිසා කවුරුවත් එච්චර ගනන් ගත්තේ නෑ. දැන් මූ හෙමිහිට ඇවිදගෙන මැදට එනව. ඔහොම එනකොට මිනිහ එක පාරටම යට ගියා. දැන් මුගේ ඇස් දෙකෙන් උඩ විතරයි වතුර උඩ තියෙන්නේ. ඒ ටික ඉතින් වතුරෙන් උඩ තිබුන කියල වැඩක් තියන එකක්යැ. දැන් මේකා උඩ එනව යට යනවා, ආයෙත් උඩ එනව ආයෙත් යට යනවා, අපි වටේට වෙලා බලාගෙන ඉන්නවා. දැන් ඉතින් කරගන්න දෙයක් හිතාගන්න බැරුව වටේ ඉන්න උන් ටික කටවල් අරගෙන බලාගෙන ඉන්නවා.

ඔහොම ඉන්නකොට ඩයල් එකක් ජබොස්‌ ගාල පැන්න මැදට. හත් දෙයියනේ මහිමය පැනල තියෙන්නේ. කොස් ඇට දෙකක් උස නැති එකා තමයි අරූව බේරගන්න පැනල තියෙන්නේ. අර කලින් කිව්ව වගේ ඌට යන්තං වතුරකට වැටුනොත් ගොඩ එන්න පුළුවන් උනාට, වෙන එකෙක් බේරාගන්නවා තියා හිතන්නවත් බෑ. කොහොම හරි මහිමය පැන්න ගමන් කනය මහිමයව අල්ලගෙන. අල්ල ගත්ත කිව්වට අහුවෙලා තියෙන්නේ මහිමයාගේ බෙල්ලෙන්. දැන් කනය මර විකාරෙන් අරූගේ බෙල්ල මිරිකනවලු. ගිලෙන්න යන එකෙක් බේරගන්න ගිහින් ඌ තමන්ගේ බෙල්ල මිරිකුවම කොහොම සතුටක් දැනෙන්න ඇද්ද? දැන් මට තේරෙනවා මහිමයට වැඩේ ගොඩ දාගන්න බෑ කියල. දෙන්න මැදට වෙලා දඟලනවා විතරයි. ඔය වෙලාවේ තමයි මම ට්‍රැක් එකට ආවෙ. එච්චර වෙලා නිකන් විකාරෙන් වගේ බලාගෙන හිටියේ. ට්‍රැක් එකට ආව කියල ඉතින් මටත් අරූවත් අරගෙන පීනන්න බෑ නෙ. මම ටක් ගාල වතුරට පැනල අරූ ලඟට ගිහින් ඌව අදින්න හැදුව. ඌව අදින්න බෑ ඌ පිස්සුවෙන් වගේ දඟලනවා. ඒ පාර මම තව ටිකක් ලඟට ගිහින් පුළුවන් තරම් හයිය දාල අරූව ගොඩ පැත්තට තල්ලු කළා. ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියනවලු නෙ. ඌව ගොඩ පැත්තට තල්ලු කරනකොට මම මැදට තල්ලු වුනා. දැන් මට තේරෙනවා මාත් ගිලෙන හරියේ ඉන්නෙ කියල. ඒ පාර දඟලල මම එහා ඉවුර පැත්තට ගියා. ගිහින් හැරිල බලනකොට කනය ආයෙත් මැද ගිලෙන හරියේ ඉන්නෙ. මට මළ ඉතින්. මම අච්චර මහන්සි වෙලා වැඩක් වුනේ නෑ නෙ. 

ඔන්න ඔය වෙලාවේ තමයි අපේ සෙට් එකේ ඉන්න උසම එකා ක්‍රියාත්මක වුනේ. අර අවාසනාවට ලැජ්ජ හිතෙන ඇත්ත කතාවක් එකේ කොල්ල, අන්න ඌ තමයි මේ කියන්නේ. ඌ ගොඩක්ම උස නිසා අපිට වැඩිය ගොඩක් දුරට මැදට යන්න පුළුවන් ඌට. ඌ කනයගේ ළඟටම වගේ ගිහින් කනයව උස්සගෙනම ආව. උස්සගෙන ඇවිත් ගිලෙන්නේ නැති හරියෙන් ගෙනල්ල තිබ්බ. අම්මෝ ඇති යන්තං! හෑහ් කෝ එතකොට දැන් මහිමය. අනිත් එකෙක්ට වත් ඌව මීටර් නෑ. මට මොකක්ද කරුමෙකට ඌව මතක් වුනා. හැරිල බලනකොට මෑන්ස් නෑ, අත් දෙකක් විතරක් පේනවා. ඔන්න ඊට පස්සෙ ඔලුව පොඩ්ඩක් උඩ මතු වෙනවා, ඊට පස්සෙ ආයෙත් අත් දෙක විතරයි. කනයව බේරගන්න පොර වගේ පැන්නට කොස් ඇට දෙකක් වත් උස නැති නිසා මහිමය හොඳටම ගිලෙන්න එතන වතුර තියනවා. ඌට අර කලින් කිව්ව වගේ වතුරකට වැටුනොත් ගොඩට යන්තං පීන ගන්න පුළුවන්. ඒත් කලබල වෙලා නිසා මුකුත් කරගන්න බෑ. අනිත් එක අරූ පැන්න ගමන් මහිමයගේ බෙල්ල මිරිකුවලුනේ. ඉතින් ඌ විකාර වෙන්න ඇති. ඒ පාර මම ආයෙත් මැද හරියට කිට්ටු කරලා මහිමයගේ අත අල්ලගන්න හැදුව. කලබලේ වැඩි කමට දැන් අත අහුවෙන්නෙත් නෑ. කොහොම හරි දඟලල යන්තං අත අල්ල ගත්ත. ඊට පස්සෙ ශේප් එකේ ඉවුර පැත්තට ඇදගෙන ආව. 

කොහොමහරි ඉතින් ඔය විදියට ජීවිත හානි නැතුව වැඩේ ශේප් කරගත්ත. සෑහෙන වෙලාවක් යනකල් මගෙ කකුල් දෙක වෙව්ලන එක නැවතුනේ නෑ. ඔක්කොම ඇතිවෙන්නම බය වුනා එදානම්. විනාඩි දෙකක් විතර යනකල් එකෙක්ට වත් කතා කරගන්න බැරි වුනා. හැබැයි එතන එකෙක් හරි ගිලිලා මරුන නම් ඌට ආයෙත් ජීවිතේට සමාජෙට මූන දෙන්න වෙන්නෙ නෑ. ඇයි දෙයියනේ අර චූටි දොලේ ගිලිලා මැරුණ කියන්නෙ මොන ලජ්ජාවක්ද? එතන බෙහොම පොඩි තැනක විතරයි ගිලෙන්න තරම් ගැඹුර තියෙන්නේ. අර වෙලාවේ කනයට තව අඩි දෙකක් ඉස්සරහට ආව නම් කිසි අවුලක් නෑ. කලබල වුනාම ඉතින් ඕව මතක් වෙන්නේ නෑ නෙ. හැබැයි මහිමය නම් හොඳට ගිලෙන්න වතුර තියනව එතන. තව චුට්ටෙන් කනය බේර ගන්න ගිහින් මහිමයට ෂොට් එක හම්බවෙනව. ඌ ඉතින් ඒ මොනවත් හිතුවෙ නෑ, දඩස් ගාල පැන්න අරූව බේරගන්න.  ඔන්න ඔහොමයි ඉතින් සිද්ධිය වුනේ. කොහොමහරි තාමත් කනයව බයිට් කරනව 'ගිලෙන්න ගිය එකා' කියල.


Saturday, October 1, 2011

හිතට වැදුන සිද්ධියක්

මම ආයෙත් කාලෙකට පොස්ට් එකක් දාන්නේ නෑ කියල හිතන් හිටියේ. ෆයිනල් ඉයර් එකේ රිසර්ච් එක පටන් ගත්ත ගමන් නිසා හොඳටම හිර වෙලා ඉන්නෙ. ඒ නිසා බ්ලොග් එක ගැන හිතන්නවත් වෙලාවක් නෑ. හැමදාම බලන බ්ලොග් ටිකටවත් කමෙන්ට් කළේ නෑ. හැබැයි අද වුන එක සිද්දියක් මට ලියන්නම ඕන කියල හිතුනා. බොහොම පොඩි කතාවක්. මේක මම මෙතෙක් දාපු පොඩිම පොස්ට් එක. 

මම  දැන් ටිකකට කලින් නිදාගෙන හිටියේ. මට දැන් නින්දෙන් වගේ ඇහෙනවා අපේ කාමරේ පොදි කලබයක් වගේ. හය හත් දෙනෙක් විතර සෙට් වෙලා මොකක් හරි ගැන කතා වෙනවා. අමාරුවෙන් ඔලුව උස්සගෙන බැලුව, එහා රූම් එකේ එකා අලුත් ලැපක් ගෙනත්. කට්ටිය වට වෙලා ඒක බල බල ඉන්නවා. ලැප ගෙනාපු එකා ෆුල් හැපි එකේ ඉන්නෙ. හිනා වෙනවා, කාමරේ පුරා ඇවිදිනවා, උඩ පනිනවා, එක විකාරයයි. අලුත් ලැපනේ ඉතින් එහෙම වෙන්න එපායැ කියල මම ඇඳටම වෙලා හිටියා.

ටික වෙලාවකින් සොෆ්ට්වෙයාර් ටිකක් දාගන්න කියල වෙන කාමරේකට ගෙනියන්න හැදුවා. ඒ කාමරේ එකා ගත්ත ලැප උකුලට, වරෙන් යන්න කියල එලියට ගියා. අයිතිකාරයා කෑගහන්න ගත්ත "අනේ යකෝ ඕක පරෙස්සමින් අරන් යමන්, ඔය මගේ කෑල්ල මහන්සියෙන් හම්බ කරපු සල්ලි" කියල. අයියෝ සල්ලි කිව්වලු, ඒ කියන්නේ මූට කෑල්ල තමයි මේක අරන් දීල තියෙන්නේ. ඒක තමයි මූ මේ මැරෙන්න හදන්නේ. 

ටික  වෙලාවකින් මම නැගිටල මොනවා හරි කාල එන්න කියල කැන්ටිමට ගියා. යන ගමන් අර ලැප අරන් ගියපු කාමරේටත් පොඩ්ඩක් ගියා. ඒ කාමරේ එකා සොෆ්ට්වෙයාර් දානවා, අයිතිකාරයා පැත්තකට වෙලා බලන් ඉන්නවා. මම උගෙන් ඇහුව "උඹත් කීයක්‌ හරි දැම්මද, නැත්තන් කෑල්ලද ඔක්කොම සල්ලි දැම්මේ" කියල. බලනකොට කෑල්ල කොහෙන්ද ලෝන් එකක් අරගෙන ලැප අරන් දීල තියෙන්නේ. ඌ කියක්වත් දාල නෑ. කෙල්ල පඩියෙන් වාරිකේ ගෙවනවලු. 

මූට ගෙදර නම් කම්පියුටර් එකක් තියනවා. ඒත් හොස්ටල් එකේනේ ඉන්නෙ. ඒක නිසා ඒක වැඩක් නෑ. ඇත්තටම තනි පාවිච්චියට කම්පියුටර් එකක් නැතුව අපේ රිසර්ච් එක කරන්න අමාරුයි. ඒ නිසා තමයි කෙල්ල බලෙන්ම වගේ මූට ලැපක් අරන් දීල තියෙන්නේ. උගේ අම්මල තාත්තල අතින් වෙන්න ඕන දෙයක් තමයි උගේ කෙල්ල කරලා තියෙන්නේ. මම උගෙන් විස්තර අහන වෙලාවේ උගේ මූනෙ ඉරියව් හොඳට බලාගෙන හිටියේ. ඌ මාරම සතුටකින් මාත් එක්ක විස්තර කිව්වේ. ඒ වගේම ඒ වචන වල අහිංසක ආඩම්බරයක් තියනවා උගේ කෑල්ල ගැන. ඒක ඌ කතා කරන විදියෙන් ඒක හොඳට තේරුනා.

ඔච්චර දෙයක් කරන්න උගේ කෙල්ල ඌට කොච්චර ආදරේ ඇද්ද? මම කෙල්ලෙක් ඔහොම දෙයක් කළා කියල නම් ඔය ඇහුවමයි. අපිට කොහෙද ඉතින් ඔහොම කෙල්ලො. මාත් මගුලක් කියනවා, ඔහොම තියා කොහොමවත් කෙල්ලෙක් නෑ නෙ අපිට.:P 

Monday, September 26, 2011

චානිකා (අවසාන කොටස)

කතාව හිතුවට වඩා දික් වුනා. පටන් ගත්ත එක ඉවර කරන්නත් ඕන නේ, ඒක නිසා අද නම් මේක කොහොම හරි කියල ඉවර කරනවා, හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ. සෙකන්ඩ් ශයි එක පටන් ගත්ත හැටිත් කිව්වනේ. අද තියෙන්නෙ සෙනසුරාද දවසේ වැඩසටහන් විස්තරේ කියන්න. කලින් කොටස් බැලුවේ නැත්තන් මෙන්න පාර.


ඊට කලින් මම ජීවත් වුන පසුබිම කියල ඉන්න ඕන. මම කලින් කිව්වනේ අපේ අම්මයි තාත්තයි හිටියේ නිල නිවාස වල කියල. ඒ නිසා මම හිටියේ ලොකු අම්ම ළඟ. (ඊටත් කලින් හිටියේ ආච්චි ළඟ.) ආච්චියි, පොඩි මාමයි හිටියේ මහ ගෙදර. අපේ අලුතෙන් හදපු ගේ තිබුනෙ ලොකු අම්මලාගේ ගෙට පාරෙන් මෙහා පැත්තේ. ටික කාලෙකට පස්සෙ අපේ ගෙදරත් කවුරුත් නැති නිසා ආච්චියි, පොඩි මාමයි අපේ ගෙදර ඇවිත් නැවතුනා. ඊට පස්සෙ මාත් හිටියේ අපේ ගෙදරමයි. හැබැයි අපි හැමෝටම කෑම දුන්නේ ලොකු අම්ම.

හරි දැන් කතාවට එමුකෝ. අපිට සෙනසුරාදා තමයි O/L ගණන් පන්ති තිබුනේ. අපිට (11 වසර) තිබුනේ උදේ 8 ඉඳල 12 වෙනකල්, චානිකාලට (10 වසර) තිබුනේ 1 ඉඳල 5 වෙනකල්.

(වෙන වින්ඩොව් එකක ඕපන් කරගන්න. එතකොට පැහැදිලිව පේනවා.)

ඔන්න මම චිත්‍රෙකුත් ඇන්ද පැහැදිලි කරන්න ලේසි වෙන්න.:) චානිකා ගෙදර ළඟ ඉඳල යාළුවො එක්ක පයින් තමයි පන්තිය ලඟට එන්නෙ. තව යාළුවො දෙන්නෙක් එනව ඒකි එක්ක. ඒ දෙන්නගේ ගෙවල් තියෙන්නෙ ඔය රූපෙටත් වඩා තව ටිකක් දකුණට වෙන්න. චානිකාගේ ගෙදරට කට්ටිය සෙට් වෙලා එතන ඉඳල පයින් පන්තියට යන්නෙ. අපිට ඉතින් හරි ශෝක්. අපි කරන්නේ උන් තුන් දෙනා එන වෙලාව අල්ලලා පයින් අපේ ගෙදරට එන එක. එතකොට ඔය උඩ අඳුරු කරල තියන සීමාවේ කොහේදී හරි අපිට චානිකාව මූනටම හම්බ වෙනවා. එහෙම කිව්වට ඉතින් ඕක එච්චර ලේසි වැඩක් නෙමෙයි. ඒකි කවදාවත් එක වෙලාවකට පන්තියට එන්නෙ නෑ. 12.30 ඉඳල 1.00 අතරේ කොයි වෙලාවේ ඒවිද දන්නේ නෑ. කොහොම හරි ඔය අතරේ තමයි එන්නෙ. ඉතින් අපි කරන්නේ පන්තිය ළඟම ඉන්න යාලුවෙක්ගෙ ගෙදර 12.00 ඉඳල 12.30 වෙනකල් ඉඳල 12.30 ට බයිසිකලුත් තල්ලු කරගෙන පයින් ගෙදර පැත්තට එනව. ඒ පන්තියට අපේ සෙට් එකේ ඔක්කොම වගේ ආව. හැබැයි මේ මිෂන් එකට එන්නෙ 5යි. අනිත් අය පන්තිය ළඟ ගෙවල් වල ඉන්නෙ. උන්ගේ ගෙවල් තියෙන්නෙ උඩ තියන රූපෙන් තව වම් පැත්තට වෙන්න. ඔය පස් දෙනාගෙන් තුන් දෙනෙකුට බයිසිකල් තිබුනා. මටයි, මහිමටයි, තව එකෙක්ටයි. මහිමයි අනිත් එකයි තමයි චානිකාල එනවද බලන්න ඉස්සරහින් යවන්නේ. මායි, අනිත් ප්‍රධාන නළුවයි, තව කොල්ලෙකුයි (ඌට ආදරේට කියන්නේ බඩා කියල.)  මගේ බයිසිකලෙත් තල්ලු කරගෙන පයින් යනවා, අරුන් දෙන්න බයිසිකල් දෙකෙන් ඉස්සරහින් යනවා ඔත්තු බලන්න.

දැන් ඔය පයින් යනවා කියන එක එච්චර ලේසි නෑ. හිතල බලන්න, අපිට යන්න තියෙන්නෙ කිලෝ මීටර් 0.5යි. ඒ වුනාට ඒ දුර යන්න විනාඩි 30ක් ගන්න ඕන. ඇයි ඉතින් අර තුන් දෙනා කොයි වෙලාවේ ඒවිද දන්නේ නෑ නේ.

වේගය = දුර / කාලය

                = 0.5 km / 0.5 h

     = 1 km/h

ඒ කියන්නේ අපි යන්න ඕන පැයට කිලෝමීටර් 1ක වේගෙකින්. යකෝ මිනිහෙකුට ඔච්චර හෙමින් ඇවිදින්න පුලුවන්ද? කොහොම හරි ඒ වෙලාව ගන්නත් ඕන. නැවතිලා ඉන්නත් බෑ. පන්තිය ළඟ ඉන්න බෑ සර් දැක්කොත් ඊළඟ දවසේ පන්තියේදී ලුණු ඇඹුල් ඇතුව අහගන්න පුළුවන්. පාරේ නැවතිලා ඉන්න බෑ කවුරුහරි දැක්කොත් ලොකු අම්මට කියනවා. අපේ ලොකු අම්ම අපේ ගමේ ලොකු ඉස්කෝලේ ටීචර් කෙනෙක්. ඉතින් ගොඩක් අය ලොකු අම්මව අඳුරනවා. අපේ සීයත් අපේ පැත්තේ ඩයල් එකක්. ඉතින් සීයට වුනත් ආරංචිය එන්න පුළුවන්. ඒක නිසා කරන මගුලක් නොන්ඩි නොවී කරන්න ඕන. අපේ ගෙදරට වෙලා හිටියත් පාරේ යනකොට බලන්න පුළුවන් ඉතින්. ඒත් එහෙම මදි, මූනටම හම්බවෙන්න ඕන. ඒ නිසා ඉතින් යන්න පුළුවන් උපරිම හෙමින් යනවා. මිනිස්සු බල බල යනවා මේ දුවල පනින වයසේ කොල්ලො මොකද මේ ගාටන්නේ කියල.

කොච්චර හෙමින් ගියත් ඉතින් අර වේගෙන් නම් යන්න බෑ. ඒ වෙලාවට ප්‍රයෝජනයට ගන්නේ බයිසිකලේ. අනේ ඉතින් මුකුත් නොදන්න අසරණ බයිසිකලේ ඒ වෙලාවට කැඩෙනවා. හොඳට තියන චේන් එක ඉබේ පනිනවා, රෝද කරකැවෙන්නේ නැතුව යනවා, හැන්ඩ්ල් එක හැරෙන්නේ නැතුව යනවා, ලෙඩ ගොඩයි. මහ පුදුම බයිසිකලයක් සෙනසුරාදා 12.30යි 1.00යි අතරෙමයි කැඩෙන්නේ. එතකොට ඉතින් අපි තුන් දෙනා නැවතිලා බයිසිකලේ හදනවා. ගෙදර ළඟටම එනකොටත් ආවේ චානිකාල ආවෙ නැති වුනොත් තමයි ඉතින් ඕක කැඩෙන්නේ. කොහොම හරි මාසෙකට දෙපාරක් විතර ඕක කැඩෙනවාම තමයි. ඒ වැඩෙන් ඉතින් සැලකිය යුතු අමතර වෙලාවක් යවාගන්න පුළුවන්. සෙල්ලම් සේරම දාලත් අපේ ගෙදර ලඟට යනකොට ඒ තුන දෙනා ආපු නැති දවස් තිබුනා. එදාට ඉතින් ගෙදරට වෙලා බලනවා.:(

අපේ ඔත්තු කාරයෝ දෙන්නත් හෙන කට්ටක් කනවා. ඇයි ඉතින් උනුත් අර විනාඩි තිහම බලාගෙන ඉන්න ඕන නේ. උන් ඉතින් ඔය අඳුරු කරලා තියන සීමාවේ දෙපැත්තට බයිසිකල් පැද පැද ඉන්නවා. උන් දෙන්න චානිකාලව දැක්ක ගමන් කිසි කතාවක් නෑ හෙන ගහන්න වගේ එහෙමම අනිත් පැත්තට හරවගෙන එනවා අපිට පණිවිඩේ කියන්න. අපි ඉතින් එතකොට මූඩ් එක එහෙම හදාගෙන ලේස්ති වෙලා ඉන්නවා. ඇත්තටම උන් දෙන්නට වෙන කරන්න දෙයක් නැති කමට ස්වේච්චාවෙන්මයි ඕකට සෙට් උනේ. අපිත් එක්ක පැයට කිලෝමීටර් 1ක වේගෙන් ඇවිදිනවට වඩා ඒක හොඳයි කියල හිතෙන්න ඇති.:) සමහර දවස් වලට උන් ඔත්තු බැලිල්ල පැත්තකින් තියල අපේ ගෙදරට ගිහින් ඉන්නවා. චානිකාගේ යාළුවො දෙන්නත් හරි සෝයි. අපිව දැක්කම ඒකිව ඉස්සරහට දාල උන් දෙන්න පස්සට වෙනවා. අන්න යාළුවො.

දැන් ඉතින් ඔය සීන් එකෙන් දවසේ වැඩ ඉවර වෙන්නේ නෑ. ආයෙත් පන්ති ඇරිලා චානිකාල එන්නෙත් පයින්. අයියෝ ඉතින් අපි ඒ වෙලාවෙත් බලාගෙන හිටියේ නැත්තන් හරි නෑ නේ. ඒ පන්තිය අරින්නේ 5ට නේ. එතකොට ඉතින් අපි 5 වෙනකල් ඉන්න ඕන. මහිමයි අනිත් බයිසිකලේ තියන කොල්ලයි නම් ගොඩක් වෙලාවට යනවා. (උන් දෙන්නගේ ගෙවල් තියෙන්නේ එක පැත්තේ.) එතකොට ඉතුරු වෙන්නේ අපි දෙන්නයි බඩායි විතරයි. ඉතින් පැය හතරක් එක එක විකාර කර කර ඉන්නවා. පාඩම් වැඩත් කරනව, ගොඩක්ම කලේ කයිය ගහන එක තමයි. ඔය බඩා කියන එකා කියවන්න ගත්තම ඉතින් අපිට තියෙන්නේ අහන් ඉන්න විතරයි. අම්මෝ උගේ කයිය. කොහොමහරි ඉතින් පහ වෙනකොට ඊළඟ දර්ශනේට සුදානම් වෙනවා. අරුන් දෙන්නගේ ගෙවල් තියෙන්නේ ඔය රූපෙන් වම් පැත්තට තව ගොඩක් එහායින්. උන් දෙන්න බස් එකේ තමයි යන්නේ. අපි ඉතින් පාරට ඇවිත් ඉන්නවා චානිකාල එනකල්. චානිකාල ගියාම අරුන් දෙන්න එහෙමම බස් එකේ නැගල යනවා. සමහර දවස් වලට ගෙදරට වෙලාත් බලන් ඉන්නවා. වැඩේ කියන්නේ අපි ගෙදරට වෙලා හිටියත් ඒකි ගේ දිහා බලාගෙනයි යන්නේ. ඔය ඔක්කොම සෙල්ලම් කරන්න පුළුවන් මාම සෙනසුරාදත් වැඩ නිසා. 

කොහොමහරි සෙනසුරාද දවසට මුලින්ම කන්නේ හවස 6ට විතර. උදේ කාල යන්න වෙලාවක් වෙන්නේ නෑ, කිට මරල, ජෙල් නාල, ඔක්කොම කරනකොට පරක්කු වෙනවා. අනිත් එක කන්න නම් උඩහ ලොකු අම්මගේ ගෙදරට යන්නත් ඕන. ඒක නිසා උදේට කන්න වෙන්නේ නෑ. දවල්ට අරුන් දෙන්න ඉන්නවා නේ, උන් නොකා ඉඳිද්දි මට කන්න බෑ නේ. ලොකු අම්මට හැමදාම උන්ටත් එක්ක උයන්න කියන්නත් බෑ නේ. ඒක නිසා දවල්ටත් නෑ. ඊට පස්සේ ඉතින් හවස සෙෂන් එකත් ඉවර වෙලා අරුන් දෙන්නත් ගියාම තමයි ඉස් ඉස්සෙලාම බත් කටක් කන්න වෙන්නේ. ඒ කාලේ නම් ඉතින් ඕක කිසි ගානක් නෑ. හෙන ලොකු කමක් වගේ තමයි දැනුනේ. 'ආදරයෙදියි, යුද්ධෙදියි ඕන දෙයක් ඔට්ටුයි' කියල කියනවනේ. හැබැයි ඉතින් ඒ ගොන් වැඩ වලට දැන් විඳවනවා. දැන් වේලක් දෙකක් කන්න පොඩ්ඩක් පරක්කු වුනොත් බඩ පිපිල, උගුරට එන්න ගන්නවා.:( (ගැස්ට්‍රයිටීස් වල රෝග ලක්ෂණ) ඒ ටික කතාවට අදාළ නෑ. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ සෙනසුරාද දවස ගෙවුනේ.

ගණිතය පන්ති කිව්වට එතන ගණිතය, විද්‍යාව, සිංහල, සමාජ අධ්‍යයනය ඔක්කොටම පන්ති තියනවා. ඉතින් නිවාඩු කාලවලට 11, 10 දෙකටම එකට පන්ති වැටෙන වෙලාවල් තියනවා. එහෙම එකටම පන්ති ඉවර වුන දවසක චානිකාල එන්න හදනකොටම අපිත් එන්න පිටත් වුනා. අපි කතා වෙලා හෙමින්ම යන්න පටන් ගත්ත. දැන් උන් තුන දෙනා පොඩ්ඩ පොඩ්ඩ අපිට කිට්ටු වෙනවා. හැබැයි අපිව පහු කරගෙන යන පාටක් නෑ. යාළුවො දෙන්න සද්ද නෑ, අපිට දැන් ඇහෙනවා චානිකා කුටු කුටු ගානවා.

"මොනව කරනවද මන්ද? සක්මන් භාවනාව කරනවද කොහෙද"

අපි සැලුනේ නෑ, අපි එහෙමම ගියා. ඒ පාර දැන් තුන් දෙනා අපිව පහු කරගෙන යන්න හදනවා. චානිකා තමයි ඉස්සෙල්ල අපිව ඕවර්ටේක් කලේ. යාළුවො දෙන්න අපිව ඕවර්ටේක් කරන්න වගේ හදල ශේප් එකේ අයෙත් පහු වුනා. චානිකා ඒක දන්නේ නැතුව අපිව පහු කරගෙන ගියා. ඒකි ඉස්සරහට ගිහින් බලනකොට යාළුවො දෙන්න නෑ.:D ඒ පාර ඒකි මල පැනල කෙළගෙන යන්න ගියා. ඊට පස්සේ යාළුවො දෙන්නත් පස්සෙන් දුවගෙන ගියා. ඔහොම පොඩි පොඩි සිද්ධි නම් ගොඩක් තියනවා.

චානිකා නිසා එක පාරක් මගේ අක්ෂකාස්ථිය (collar bone) පවා කඩාගත්තා. වලියකට ගිහින් එහෙම නෙමෙයි ඔන්න. ඒකිට පන්ති තිබුන දවසක අපි දෙන්න බයිසිකලෙන් ඒ පැත්තට ගියා. අපිට ඉස්සරහින් අත් ට්‍රැක්ටරයක් ගියා, අපි ඒක අල්ලගෙන යන්න හැදුවේ. එක පාරටම බයිසිකලේ හැන්ඩ්ල් එක ට්‍රැක්ටරේ ටේලර් එකේ ඇන්දේ පැටලුනා. මුකුත් කරගන්න වෙලාවක් තිබුනේ නෑ, හැන්ඩ්ල් එක හැරිලා බයිසිකලේ එතනම ඇදන් වැටුන. මම ගියේ ඉස්සරහ වාඩි වෙලා, බයිසිකලේ වැටුනේ දකුණු පැත්තට. මගේ උරේ තමයි බිම වැදුනේ. මට දැනුන ඇතුලෙන් නිකන් ගලවාගෙන යනවා වගේ. දැන් මට පුදුම සනීපයක් දැනෙන්නේ. :( එතන මිනිස්සු ටික දෙනෙකුත් හිටියා. මම කිව්වා ඉක්මනට ආයෙත් හරවගෙන යමු කියල. අරූ දන්නෙ නෑ නෙ මට තියන අමාරුව, ඌ කියනවා දැන් මෙහෙමම හරවගෙන ගියොත් නොන්ඩියි, ඔහොමම ඉස්සරහට ගිහින් ආයෙත් එමු කියල. මට ඉතින් අරූගෙ බෙල්ල පයින් පාගල මරන්න තරම් තරහයි. ඒ පාර ඌට දෙකක් කියල ඇදගෙන ගෙදර ආව. බෙල්ල කඳට සෙට් වෙන තැන ඉස්සරහින් පේන අස්ථි දෙකක් තියෙන්නේ, අන්න ඒ දෙකේ දකුණු පැත්තේ එක මුලුන්ම තමයි කැඩිලා තියෙන්නේ. ඒ කාලේ වෙනකොට ඒ අස්ථි හරියට හැදිල තිබිල නැති නිසා එච්චර අමාරුවක් වුනේ නෑ. කොහොම හරි අරූ හොඳටම බයිට් වුනා මාව සීන් එකෙන් අයින් කරන්න හිතලම කරපු වැඩක් කියල. ඌට නම් සීරීම් තුවාලයක් වත් නෑ.

ඕකෙ හැඟීම්බරම අවස්ථාව එන්නෙ ඊට පස්සේ. මම අත කඩාගෙන ඉන්නකොට තාත්ත ඇවිත් මාව එහෙ එක්කගෙන ගියා. ඊට පස්සේ සති තුනක් විතර අම්ම මාව එහේ තියාගෙන සාත්තු කළා. සිංහල බේතුත් කළා. එහේ ඉන්නකොට ලොකු අයිය (ලොකු අම්මගේ ලොකු පුතා) ආව මව බලන්න. ඌ ඇවිත් කිව්වේ මාව නන්නත්තාර වෙන කතාවක්. ඌ කිව්වා සුදු බොක් කට් කපපු ලස්සන ගෑනු ළමයෙක් මාව බලන්න චීස් බට්න් බිස්කට් එකකුත් අරන් ඇවිල්ල තියනවා කියල. අයියෝ සල්ලි කිව්වලු, ඒ ඉතින් චානිකා ඇරෙන්න වෙන කවුද? මට ඉතින් රටක්‌ රාජ්‍යයක් පහල වුනා වගේ. ඒකිට ගමේ යාලුවොන්ගෙන් ආරංචිය ලැබිල. පස්සෙ මට හෙනම අප්සට්, මම ගෙදර හිටපු නැති එකට. මොනව කරන්නද ඉතින් පින නෑ එහෙම දේකට. දැන් ඉතින් හිතල බලන්නකෝ මගේ හිතට එන දේවල්. මම පස්සෙන් යන කෙල්ල මාව බලන්න අපේ ගෙදර ආව කිව්වම ඉතින් ඊට වැඩිය දෙයක් තියේද? ඒකි මට කවද හරි කැමති වෙයි කියන විස්වාසේ මට තදින්ම ඇතිවුනා. ඊට පස්සෙ ඉතින් හොඳ වෙලා ආයෙත් ගෙදර එනකල්ම නිකන් හීන ලෝකෙක වගේ හිටියේ. මම ආයෙත් ගෙදර එන වෙලාවේ අපේ සෙට් එක ඇවිත් හිටිය. මුලුන්ම කලේ අර බිස්කට් ඒක කාපු එක. කොහොමහරි වාසනාවට වගේ ගෙදර කවුරුවත් ඒ කවුද කින්ද මන්ද ඇහුවේ නෑ.  

ආයෙත් හෙනම ගේමක් ගියා ඒකිගේ උපන්දිනේට. මට ඕන වුනා මොකක් හරි මමම හදපු කාඩ් එකක් වගේ එකක් දෙන්න. ඒ කාලේ වර්ඩ් වල ටයිප්කරනවා ඇරෙන්න වෙන මුකුත් දැනගෙන හිටියේ නෑ. කොහොම හරි කාඩ් එකක තිබුන මල් පොකුරක් කපාගෙන ඒක ස්කෑන් කරල, ෆොටෝෂොප් වලින් වටේ කපල, පාට හදල,  ඒක වර්ඩ් වලට අරගෙන තමයි වැඩේ කලේ. කරල කරලම තනියම තමයි ඔක්කොම ඉගෙන ගත්තේ. කාඩ් එකක් හදන්න ගියාට කාඩ් එකක් හදන්න තේරෙන්නේ නෑ, බර්ත්ඩේ කාඩ් එකක් අරගෙන ඒක ඇතුලට දාල දෙන්න පුළුවන් වෙන විදියේ කොලයක් තමයි පස්සෙ හැදුවේ. මාස තුනකට විතර කලින් වැඩේ පටන් ගත්ත නිසා වෙලාව අරගෙන හදල හදල ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන් වුනා. ඊළඟ ගොන් වැඩේ කලේ ඊට පස්සෙ. අනිත් එකාත් දන්නවා මම එහෙම එකක් හදනවා කියල. මම ඌටත් කිව්වා මොකක් හරි එහෙම එකක් හදල දෙන්න කියල. කොහෙද, ඌට බැරිලු. ඔන්න ඒ වෙලාවේ බුදු හාමුදුරුවොන්ට පමණක් දෙවැනි වුන මගේ මහා කරුණාව ආයෙත් අවදි වුනා. මම කිව්ව "හරි මචන් අවුලක් නෑ, අපි දෙන්නම මේකම දෙමු" කියල. අම්ම දැන ගත්ත නම් මට ගහන්නේ බැට් එකෙන්. ඇත්තටම දැන් ඕව මතක් වෙනකොට මට මං ගැනම පුදුම තරහක් එන්නෙ. මම ඒ කරපු දේවල් වලට මට අනිත් පැත්තට ලැබුනේ මොනවද කියල මම අදටත් කල්පනා කරනවා. 

කොහොම හරි ඒකෙ අකුරු වල පාට විතරක් වෙනස් කරලා අරූටත් එකක් හදාගත්ත. ඒක ප්‍රින්ට් කරගන්න ගිහිල්ලත් ලෝක කට්ටක් කෑව. ටවුන් ඒක පුරාම වරුවක් ඇවිද්ද ප්‍රින්ට් අවුට් එකක් ගන්න. හැම තැනම මොක්ක හරි අවුලක්. එක්කෝ ලයිට් නෑ, නැත්තන් තීන්ත ඉවරයි, ප්‍රින්ටරේ කැඩිලා, ඊටීසී. අන්තිමට එක තැනකින් ගහගෙන ගියා ඒකෙ රතු විතරයි වැදුනේ.:( පස්සෙ ඊළඟ දවසේ ආයෙත් ඇවිත් යන්තං තැනක් සෙට් වෙලා ගහගෙන ගියේ. ඊට පස්සෙ ඉතින් එක වගේම කාඩ් දෙකක් අරගෙන ලියල, අර කොළ දෙක ඇතුලට දාලා දෙන්න ලේස්ති කරලා තිබුනේ. මම O/L වලට තාක්ෂණික විෂයට කොමර්ස් කලේ. ඉස්කෝලේ හරියට කලේ නැති නිසා මම කඩෙන් තියරි තියන ලොකු පොතක් ගත්ත. (හාෆ් ශීට් සයිස් විතර කොළ තියන පොතක්) ඒ පොත ගත්ත අලුත තමයි කාඩ් එක දෙන්න සෙට් වුනේ. කලින් වගේම අලුත් පොතක දාල දෙන්න ඕන නිසා කාඩ් දෙක ඒක අස්සේ දාල දුන්න. අපේ පන්තියේ කෙල්ලෙක් හිටිය චානිකාගේ අර යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ගෙවල් පැත්තේ. ඒකි අතේ තමයි පොඩි පොඩි පණිවිඩ එහෙම යවන්නේ. ඉතින් අර කාඩ් දෙක දාපු පොත අර කෙල්ලට දුන්න චානිකාගෙ යාලුවගෙ අතේ චානිකාට යවන්න කියල. දැන් ඒක දීල ඊළඟ සතියෙ පන්ති ආවම අර කෙල්ල කිව්ව චානිකා පොතට තැන්ක්යූ කියන්න කිව්ව කියල. හෑහ්! ඒ මොකක්ද ඒ වුනේ? 

මේකයි වෙලා තියෙන්නේ, චානිකාත් තාක්ෂණික විෂයට කලේ කොමර්ස්. ඉතින් අලුත්ම පොතක් අස්සේ අරක දාල දුන්නම ඒකි හිතල ඒක උපන්දිනේට තෑග්ගක් කියල.:) අයියෝ සල්ලි! කමක් නෑ, ඒක ඒකිට හරි ප්‍රයෝජනවත් වෙන්න ඇතිනේ. ඒ අවුරුද්දේ වෙසක් එකටත් අපි දෙන්න කාඩ් දෙකක් දුන්න. ඒ පාර නම් අපි දෙන්නටත් කාඩ් දෙකක් ලැබුන. හලේ හරි සතුටුයි. ඉතින් ඔහොම වුනාම පිස්සු වැටෙන එක අහන්නත් දෙයක්ද?

11 වසරෙන් 3/4 ක්ම ඔය වගේ තමයි ගෙවුනේ. පස්සෙ ඒකි කියපු කතාවකින් මම හොඳටම වැටුන. ආයෙත් නැගිට ගන්න බැරි වෙන්නම වැටුන. මම ඒකිට අර අපේ පන්තියේ කෙල්ල අතේ මොකක් හරි කියල යැව්වා. ඒ පාර ඒකි කියල තිබ්බ එකිටයි මටයි යාළුවො විදියට ඉන්න ඕන නම් ආයෙත් ඔය වගේ දේවල් කියන්න එපා කියල. එච්චර කල් ඒකි හැමදාම හිනාවෙලා කතා කරන නිසා ඉතින් මම ඇත්තටම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ. එදා නම් මට සේරම එපා වුනා. දෙපාරක් හිතන්නේ නැතුව මම චානිකා ගැන තිබුන අදහස අතෑරල දැම්ම. තියන තරම් කටු කාල, ඒ අවුරුද්දේ මාස 9ක්ම නාස්ති කරලා අන්තිමට ඉතින් ලැබුන දෙයක් නෑ. එහෙම තමයි ඉතින් ජීවිතේ නේද. අපි බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙන්න ගියොත් එකෙත් ගතියක් නෑ නෙ. එතකොට අනිත් එකා මොකද කලේ? මම ගේම් එකේ නෑ කියන්නේ ඌ නිකන් සුක්කානමක් නැති වාහනයක් වගේ. ඌටත් ඉතින් වැඩේ අතාරින්න වුනා. පස්සෙ ආයෙත් ආරංචි වුනා චානිකායි අර කලින් කොල්ලයි ආයෙත් සෙට් වෙලා කියල. කාට කියන්නද ඉතින් මේ අසාධාරණ. 

මම පස්සෙ කල්පනා කරපු දෙයක් තමයි ඔය වුන මහන්සිය ඉංග්‍රීසි සාහිත්‍ය සබ්ජෙක්ට් එකට යෙදෙව්වා නම් 'C' එකක් වත් ගන්න තිබුන නේද කියල.:) එතකොට පරක්කු වැඩියි. කොහොමහරි චානිකාගෙයි අරූගෙයි සම්බන්දෙ අදටත් තියනවා. ඒ කොල්ලත් මොරටුව කැම්පස් එකේ. අපි නම් හිතුවේ ඌ නිකන් රස්තියාදුකාර ඩයල් එකක් කියල. මොන පිස්සුද ඌ පලවෙනි පාරම මොරටුව ඉන්ජිනේරින් ගියා. දැන් නම් අවුට් මම හිතන්නේ. චානිකාත් ලෝ එන්ට්‍රන්ස් කරනවා. මොරටුව ළඟ පාතම කොහේ හරි නැවතිලා ඉන්නේ. දෛවයේ සරදම් නම් තාමත් එහෙමමයි. ඒකි සමහර වෙලාවට කැම්පස් එක ලඟට ලඟට එනවා අරූව හම්බ වෙන්න. දවසක් ෆයිනල් අයියලාගේ එක්සෑම් ඉවර වෙලා බකට් එකක් දීල මඩ නාගෙන එලියට එනකොට මෙන්න මේකි හෝල්ට් එකේ ඉන්නවා. ජිල් බෝල වගේ ඇස් දෙක ලොකු කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. මට කතා කරන්න යන්න ඕන වුනත් මඩ නාගෙන හිටපු නිසා ගියේ නෑ. 'කල් හෝ නා හෝ' එකේ මියුසික් එකත් පැත්තකින් යනව වගේ ඇහුන, මම ගනන් ගත්තේ නෑ. ඊට පස්සෙ දවසක නම් ඒකි එතන ඉන්නවා දැකල මම ගිහින් කතා කළා. එතකොට තමයි විස්තර දැන ගත්තේ.  තාමත් වෙනද වගේම හිනා වෙලා කතා කරනවා.

විස්වාස කරන්න පුළුවන් නම් මේකත් විස්වාස කරන්න. මම කලින් කිව්වනේ මගේ අනිත් ප්‍රධාන නළුවා NDT කියල. ඌ NDT එන්න කලින් IT වලටයි තවත් මොකක් හරි දෙකකට විතර ඇප්ටිටියුඩ් ටෙස්ට් ලියන්න කැම්පස් ආව. ඒ ආපු වෙලාවක ඌව කැන්ටිමට එක්කගෙන ගිහින් කාල එලියට එන්න ආව. දෙයියනේ... චානිකයි කොල්ලයි කැන්ටින් එක කොනේ වාඩි වෙලා උකුළු මුකුළු කර කර තේ බොනවා. අපි දෙන්නට දෙන්න මූනට මූන බලාගත්තේ ඉබේම වගේ. ඒ වෙලාවේ මට ඇතිවුන හැඟීම මට තාමත් තේරුම්ගන්න බෑ. මොකක්දෝ වාසනාවකට උන් දෙන්න අපිව දැක්කේ නෑ. ඔලු දෙක සාක්කු වල දාගෙන ශේප් එකේ මාරු වෙලා ආව. ඔන්න ඔහොමයි ඉතින් අපිට වෙන්නේ. ඕක තමයි ඉතින් මගේ පලවෙනි ආදර කතාව.
 ....................................................................................................................................................................
ප.ලි. තව පොඩි පොඩි සිද්ධි නම් ගොඩක් තියනවා. ඒව ඔක්කොම ගලප ගලප ලියන්න වෙලාවක් නෑ. උඩින් පල්ලෙන් කිව්වම රහකුත් නෑ. ඒ නිසා ඒව ලිව්වේ නෑ. කොහොම හරි මොකක් හරි එක අරමුණක් වෙනුවෙන් මම ජීවිතේ වැඩියෙන්ම මහන්සි වුනේ ඔය වැඩේට. ඒ වගේම ගොඩක් පාඩම් පවා ඉගෙන ගත්තා.  

ප.ප.ලි. අර චානිකා ගෙනාපු චීස් බට්න් එකේ ටින් එක තාමත් මගේ ළඟ තියනවා. ඒක නංගිගේ අල්මාරියේ දාල තියෙන්නේ.:) 

ප.ප.ප.ලි. තව පොඩ්ඩෙන් මේ පොස්ට් එක දන්න වෙන්නේ නෑ. පෙරේදා අපි සෙට් එක නාන්න ගිහින් කතාවේ අනිත් ප්‍රධාන නළුවයි, මහිමයයි ගිලිලා මැරෙන්න ගියා. අම්මෝ මතක් වෙනකොටත් හිරි වැටෙනවා. ඉඩක් ලැබුන වෙලාවක ඒ ගැනත් ලියන්නම්. 


Friday, September 23, 2011

චානිකා ( III කොටස)

එන්න  එන්නම වැඩ ගොඩ ගැහෙනවා නෙ. හැමදාම බලන බ්ලොග් ටිකටවත් කමෙන්ට් දාන්න වුනේ නෑ. හලේ තරහ වෙන්න එපා හොඳේ. මගේ අන්තිම පොස්ට් එකට දාපු කමෙන්ට් වලට රිප්ලයි කරන්නවත් වුනේ නෑ. පරක්කු වුනොත් මුල කොටස් දෙක කියවපු අයට කතාව අමතක වෙන නිසයි මේ ලැබුන වේලාවෙන් තව කොටසක් දාන්නේ. නැත්තන් වැඩේ චා වෙනවනේ.

කලින් පෝස්ට් දෙකෙන් මගේ පළවෙනි ආදර කතාවෙ ෆස්ට් ශයි එක ගැන කිව්වනෙ. අද කියන්න යන්නෙ මම ඒකෙ සෙකන්ඩ් ශයි එක කරපු හැටි. ඔන්න ඉතින් එ වෙනකොට අපි වෑන් එකෙන් අයින් වෙලා බස් එකේ යනව. අපිත් එක්ක බස් එකේ යන්න 5ක් හිටිය. අපේ වෑන් එකේ ගිය 3යි, මේ කතවෙ අනිත් ප්‍රධාන නලුවයි, තව වෙන වෑන් එකක ගිය කොල්ලෙකුයි. අපි පස් දෙනාම ගියේ එකම ඉස්කෝලෙට. ඔය කාලෙ වෙනකොට මම චානිකා ගැන තිබුන අදහස සම්පූර්ණයෙන්ම අතෑරල තිබුනෙ. පුළුවන් කමකට නෙමෙයි ඉතින්, තවත් මගේ හිත රවට්ට ගන්න බැරි නිසා. මම ඉතින් ආයෙත් පරණ පුරුදු විදියටම දැහැමින් සෙමින් කාලය ගත කලා. ඔහොම ඉන්නකොට මට දවසක් චානිකාගෙ කොල්ල හම්බ වුනා. ඌත් ගියේ අපේ ඉස්කෝලෙටමයි. මම ඉතින් කතා නොකර බැරි කමට කතා කලා. ඌ ඒ වෙනකොට දන්නව මම හිතන්නෙ මාත් චානිකාගෙ පස්සෙ ගියා කියල. ඌ නිකන් මාත් එක්ක කතා කලේ කින්ඩියට වගේ. මොනව කරන්නද ඉතින් කුම්බලා මාළු කෑවනම් විඳවපන් බලලෝ කියල මාත් හිටිය. (ඒක ගැලපෙනවද මන්ද) ටිකක් කතා කරල මම ඇහුව දැන් ඉතින් දෙන්නගෙ ලව් එක නැගල යනවද කියල. ඊට පස්සෙ ඌ කියපු කතාවෙන් මම ආයෙත් පිස්සෙක් වුනා.

මිනිහ කිව්ව "දැන් ඒක ඉවරයි" කියල. මට නිකන් ඒ වචන ටික ඇහුනෙ හීනෙන් වගේ. ඌ ලොවෙත් නැති ටෝක් එකක් ඊට පස්සෙ දුන්නෙ. ඌ කිව්ව "කොච්චර හොඳ උනත් එකම පොත හැමදාම කියවනකොට එපා වෙනව නෙ බං. ඒවගෙ තමයි මේකත්" කියල. ඒ වචන ටික නම් හරියටම මතකයි. මට ඉතින් දැන් ඌව කන්න පුලුවන්. වෙලාවට මම හරක් මස් කන්නෙ නෑ. ඇයි යකෝ මට කරගන්න දුන්නෙත් නෑ. දැන් ඌ කරන්නෙත් නෑ. හැබැයි ඉතින් ඌ ඒ කියපු කතාවෙන් මට ඇත්තටම ඇතිවුනේ තරහකට වඩා සතුටක්. මොකද කියල කියන්න ඕන නෑ නේ.:) කොහොමහරි ඌ කියපු කතාවෙන් අමාරුවෙන් මෙල්ල කරගෙන හිටපු මගෙ අහිංසක හිත ආයෙත් පිස්සු කෙලින්න ගත්ත. ඇයි ඉතින් දන් චානිකා අරුත් එක්ක සම්බන්දයක් නැත්තන් මම කොහොමද හිත හදාගෙන ඉන්නේ? මගේ හිත දැන් නන්නත්තාර වෙලා, හරියට කුණාටුවකට අහුවුන බස් ටිකට් එකක් වගේ. කොහොමහරි මම ඒ වෙලාවෙම හිතාගත්තා ආයෙත් ගේමට බහිනවා කියල. ඊට පස්සෙ ඉතින් මම පුරුදු විදියටම අරූටත් විස්තරේ කිව්ව. අපේ ඉතින් හිත හොඳ වැඩියි නෙ. අපරාදෙ කියන්න බෑ ඌත් කිසි කතාවත් නැතුව ආයෙත් වැඩේට ආව. ඊට පස්සෙ ඉතින් එපා කියන්නද? පස්සෙ ඉතින් දෙයියො බුදුන් සිහි කරල අපේ හවුල් ව්‍යාපාරෙ ආයෙත් පටන් ගත්ත.:) සෙකන්ඩ් ශයි එක පටන් ගත්තට බයෙන් බයෙන් හිටියේ ප්‍රතිචාර කොහොම වෙයිද කියල. පුදුමෙ කියන්නෙ ප්‍රතිචාර නම් අවුලක් නෑ, වෙනද වගේම හිනා වෙනව, හම්බ වුනොත් කතා කරනවා.

දැන් ඉතින් වැඩේ පටන් ගත්තට කලින් වගේ ලේසි නෑ. මම දැන් වෑන් එකේ නෙමෙයි නෙ යන්නෙ. හැබැයි හම්බවෙන්න පුලුවන් තැන් කීපයක් තිබුනා. හම්බවෙන්න කිව්වට ඉතින් මූන බලාගන්න විතරයි. ඒත් මදෑ ඉතින් මුකුත්ම නැතුවට වඩා. අපේ ඉස්කෝලෙ ළඟ ඉඳල ටිකක් දුර පයින් ගියාම අපේ පැත්තට යන බස් අල්ල ගන්න පුළුවන්. ඕන නම් බස් ස්ටෑන්ඩ් එකට ගිහින් යන්නත් පුළුවන්. හැබැයි ඒක ඉතින් වටයක් වගේ. වැඩිපුර බස් කුලියත් යනවා, වෙලාවත් වැඩිපුර යනවා. ඒ වුනාට ඉතින් අපි නම් ගියේ බස් ස්ටෑන්ඩ් එකට ගිහින්. අපේ වෑන් එක චානිකාලගේ ඉස්කෝලේ පැත්තට ගිහින් ඒ ගොල්ලෝ අරගෙන බස් ස්ටෑන්ඩ් එක ලඟින් තමයි යන්නේ. අනේ ඉතින් අපි දෙන්න එතනට ගිහින් බලාගෙන ඉන්නව වෑන් එක යනකල්. අපි දෙන්න කිව්වට ඉතින් බස් එකේ යන සෙට් එකේ අනිත් උනුත් යනවා. උනුත් අතින් සල්ලි දීල හරක් බලනව කියන්න වගේ අතින් සල්ලි වියදම් කරගෙන අපිත් එක්ක එනවා. පව් නේද උන්? අපි දෙන්නම ගියාට දෙන්නම එක තැන නෙමෙයි ඉන්නෙ. මීටර් දහයක් විතර පරතරයකින් තමයි ඉන්නෙ. වෑන් එක ඈත එනවා පේනකොට පපුව දඩි බිඩි ගාල ගැහෙන්න ගන්නවා, කකුල් දෙක ලාවට වෙව්ලන්න ගන්නවා වගේ පොඩි පොඩි සීන් තිබුන.:) ඒකිත් ඉතින් දන්නවා අපි දෙන්න බලාගෙන ඉන්නවා කියල. ඒක නිසා අපේ පැත්ත බලල පොඩි හිනාවක්‌ දාල තමයි යන්නේ. ඒ පොඩි හිනාව ඇති ඉතින් දවසක් ජීවත් වෙන්න. ඒ පොඩි හිනාව බලාගන්න අපි හෙනම කට්ටක් කනවා, ඒත් කිසි දුකක් නෑ ඒ ගැන. හැබැයි ඉතින් එච්චර කරල වෑන් ඒක මිස් වුන දවසට හරිම සන්තෝසයි.

චානිකාව හම්බවෙන්න මම හොඳම කට්ට කන්නේ අඟහරුවාදා. (මට මතක විදියට) මම කිව්වට ඉතින් මම විතරක්ම නෙමෙයි. අපේ මහිමයත් ඒ කට්ට එහෙමම කනවා. එදාට චානිකාට පන්තියක් තියනවා අපේ ගෙවල් වලටත් ටික දුරක් එහා. ඒකි වෑන් එකේ ගිහින් ගෙදර බැහැල එහෙමම පොත් ටික අරගෙන බස් එකේ තමයි යන්නේ. මම කරන්නේ ඉතින් ඉක්මනට ගෙදර ඇවිත් ටක් ගාල ලේස්ති වෙලා ඒකි පන්ති යන බස් එකටම නගිනවා. (යාලුවෙක්ගෙ ගෙදර යනවා කියල තමයි ගෙදරට කියන්නෙ) වැඩේ තියෙන්නෙ ඉතින් ඉක්මනට ගෙදර එන එක තමයි. අන්න ඒ වෙලාවට තමයි මහිම පිහිටට එන්නෙ. අඟහරුවාදට ඉස්කෝලේ ඇරපු ගමන් මහිමත් එක්ක දූවගෙන එනවා අර අපේ පැත්තට බස් යන පාරට. 1.5km විතර තියනව අපේ ඉස්කෝලෙ ළඟ ඉඳල ඒ පාරට. ෆුල් රන් එකක් දෙන්න ඕන එතනට, නැත්තන් ගෙදර ලඟින් ඒකි යන බස් එක අල්ල ගන්න බැරි වෙනවා. ඒක නිසා පුළුවන් උපරිම වේගෙන් දුවන එක තමයි කරන්නේ. මට ඉතින් හතියත් තියනව, ඒත් එහෙම කියල කොහොමද? අතාරින්නෙ නෑ, පණ ඇද ඇද දුවන්නේ. මම නම් ඉතින් කමක් නෑ කියමු, මම දුවන්නේ මගේ වැඩේට නේ. අර අසරණ මහිමයත් ඉතින් මගේ පස්සෙන් දුවන්න ඕනනේ. ඒ යකා ඉතින් ඉස්කෝලෙ ලඟින් පටන් ගත්තම අර පාර ලඟට එනකල්ම මට බැන බැන තමයි පස්සෙන් දුවගෙන එන්නෙ. ඕක ඔච්චර කොට වුනෙත් මාත් එක්ක දුවලමද කොහෙද.:D


කොහොමහරි  කරල ඉතින් බස් එක අල්ල ගන්නවා. චානිකා හැමදාම එක බස් එකක යන්නේ, අනිත් යාලුවොත් එන්නෙ ඒකෙ නිසා. ඔන්න ඉතින් එදාට නම් ටිකක් කතා කරන්න ලැබෙනවා. මොනව කලත් ඒකි මාත් එක්ක කතා කරනවා. විනාඩි පහක විතර දුරක් තමයි යන්න තියෙන්නෙ. ඒත් ඉතින් ඒ විනාඩි පහ මට පැය ගානක් වගේ දැනෙන්නෙ. ඒ කතා කරන වචන ටික මගේ ජීවිතේට බලාපොරොත්තු ගොන්නක් එකතු කරනවා. හැබැයි එච්චර කට්ටක් කාලත් බස් එක මිස් වුන දවස් තිබුන. හවුලෙ නැතුව තනියම කරපු එකම වැඩේ තමයි ඕක. එහෙම ගිහිල්ල ඉතින් පන්තියට ටිකක් එහායින් බැහැල අනිත් පැත්තට එනවා. සමහර දවස් වලට ආයෙත් හවසට පන්තිය අරින වෙලාවටත් යනවා. අපේ වෑන් එකේ ගිය තුන් දෙනයි, මේ කතාවේ ප්‍රධාන නළුවයි ඇරුනම අපිත් එක්ක බස් එකේ යන්න සෙට් වුනා කියපු අනිත් කොල්ලගේ ගෙදර තියෙන්නෙ ඔය පන්තියටත් හෝල්ට් එකක් එහා. ඉතින් පන්තිය ඇරෙන්න කිට්ටු කරල උගේ ගෙදර ගිහින් ඉඳල පන්තිය අරින වෙලාව අල්ලලා එනව. සමහර දවස් වලට බයිසිකලෙනුත් යනවා. එහෙම ගියොත් ඉතින් පන්තිය ළඟ ඉන්නකොට මූන බලාගන්න විතරයි පුළුවන්. බස් එකේ ගියොත් එනකොටත් කතා කර කර එන්න පුළුවන්, හැබැයි ඉතින් මම බස් එකට නගින්න ඕන ඒකිට කලින් නිසා හරි බස් එක අල්ලගන්න එක තමයි අමාරු වැඩේ. 

ලොකුම ගේම යන්නෙ සෙනසුරාදට. ඒක ඊළඟ කොටසින් කියන්නම්. තව එක එක ජිල් මාට්‌ වැඩ කළා පොඩ්ඩකට හරි ඒකිගේ මූන බලාගන්න. ඔක්කොම කියන්න ගියොත් මේක ලියල ඉවරයක් කරන්න වෙන්නෙ නෑ. සමහර දවස් තිබුන දවසට තුන් හතර වතාවක් දකින. සමහර වෙලාවට දවස් දෙක තුන මූන බලාගන්න වෙන්නේ නෑ. එහෙම දවස් වලට ඉතින් හූල්ල හූල්ල තමයි ඉන්නෙ. ඒකි පොඩ්ඩක් මූන බලල හිනා වුනාම ඉතින් ලෝකෙම අමතක වෙනවා. ඒ ලැබෙන හයිය ඇති ඕන කට්ටක් කන්න. මම කොච්චර ඒ ගැන හීන මැව්වද කියල දැන් මතක් වෙනකොට මට මං ගැනම පව් කියල හිතෙනවා. ඔය ගැන හිත හිත මම කොච්චර නම් මූඩ් ගහල ඉන්න ඇත්ද? හම්බවුන වෙලාවක වැරදිලාවත් හිනා නොවී ගියොත් ඉතින් මට පුදුම විදියට ඒක හිතට වදිනවා. වැඩියත්ම දුක ඉතින් ඒකි කලින් මගේ හොඳම යාලුවෙක් නේ, ඒකයි. එහෙම දවසට ඉතින් මම අශ්වයා මැරිච්ච කව් බෝයි වගේ තමයි. 

කොහොම හරි ඒ කාලේ වෙනකොට අරූත් එක්කත් චානිකා දැක්කම හිනා වෙනවා. මට ඒ ගැන පොඩී ඉරිසියාවකුත් තිබුන. ඇයි ඉතින් මම නැත්තන් එහෙම එකෙක් ඉන්නවද කියලත් දන්නේ නෑ. මම ඌට කොච්චර උදව් කලත් මගේ හිත විශ්වාස කලේ චානිකා මටම අයිති වෙයි කියල. අපි දෙන්නම එකට දකින වෙලාවට නම් මාත් එක්ක තමයි හිනා වෙන්නේ. ඒත් මට මතකයි දවස් දෙකක් විතර මාත් එක්ක හිනා වෙන්නේ නැතුව අරූත් එක්ක හිනා වුනා. අම්මෝ ඒ දවස් දෙකේ නම් මම මැරිල වගේ හිටියේ. 

ඒ දවස් වල ඉතින් හීනෙනුත් පෙන්නේ චානිකාව තමයි. ලස්සනම සීන් එකක් තියනවා ඔය වගේ හීනයක්‌ ගැන. මගේ බ්ලොග් එක පල්ල මේක ඇත්තම කතාවක්. හැබැයි මට මතක විදියට මේක ෆස්ට් ශයි එකේදී වුන සිද්දියක්. ඒ කාලෙ වෙනකොට මම හිටියෙ ලොකු අම්මලාගේ ගෙදර. (අපේ ගෙදරට පාරෙන් උඩ පැත්තෙ ලොකු අම්මලාගේ ගෙදර තිබුනේ.) අපේ ගේ හදල තිබුනට අම්මල හිටියේ නිල නිවාස වල නිසා මම ලොකු අම්මලාගේ ගෙදර හිටියේ. ඇඳන් දෙකක් එකට දාල තමයි මායි පොඩි අයියයි (ලොකු අම්මගේ පුතා) නිදා ගන්නේ. ඔව් ඔව් මම අර කතාවේ කලින් කියපු එකා තමයි. ඔන්න ඉතින් දවසක් මම ලස්සන හීනයක්‌ දකිනව. මම අපේ බස් හෝල්ට් එකට යනකොට එතන තියන බංකුවේ ලස්සන ගෑනු ළමයෙක් වාඩි වෙලා ඉන්නව. (ඇත්තට එතන එහෙම බැංකුවක් නම් නෑ) මම ඈතදීම අඳුන ගත්ත, ඒ චානිකා. කළු ඩොට් තියන සුදු ගවුමක් එයා ඇඳන් හිටියේ. (ඇත්තටමත් චානිකාට එහෙම ගවුමක් තිබුන) මම එතනට ගියාම ඒකි මාත් එක්ක ආදරෙන් හිනා වුනා. ඊට පස්සෙ මාත් එතනින් වාඩි වුනා. අපි දෙන්න එහෙම කතා කර කර හිටිය ටිකක් වෙලා. කතා කලේ මොනවද කියල නම් දන්නේ නෑ. හීන එච්චර විස්තර ඇතුව පේන්නෙ නෑ නේ. ටික වෙලාවකින් මම චානිකාගේ අත උඩින් අත තිබ්බ. ඒකි මුකුත් කිව්වෙ නෑ. ඊට පස්සෙ මම හෙමිහිට ඒකිගේ අත අතගාන්න ගත්ත. අනේ ඔහොම ටික වෙලාවක් ඉන්නකොට මට ඇහැරුනා. මට තේරුනා ඒක හීනයක්‌ කියල.  දුක තමයි ඉතින් මොනව කරන්නද? හෑහ්! ඒ වුනාට මම තාමත් කාගෙහරි අතක් අතගානව. අනෙ අම්මේ මෙච්චර වෙලා මම චානිකාගේ අත කියල අතගාල තියෙන්නෙ පොඩි අයියගේ අත. ඊයා.......! මට ආපු තරහට මම උගේ අත පැත්තකට වීසි කළා. ඊට පස්සෙ ඉතින් බොහොම සන්තෝසෙන් ආයෙත් නිදා ගත්ත.
.....................................................................................................................................................................

ප.ලි. සෙනසුරාදට තමයි ලොකුම ගේම යන්නෙ. එදාට තනිකර සාමූහික මෙහෙයුමක් යන්නෙ. ඒක ඊළඟ කොටසින් කියන්නම්. ඊළඟ එකෙන් නම් කතාව ඉවර කරගන්න පුළුවන් වෙයි.