twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Monday, July 4, 2011

ආදරය, විවාහය හා විවාහයෙන් පසු ආදරය

මාතෘකාව ගොඩක් දිග වුනාට ඇත්තටම මම කතා කරන්න යන්නෙ 'විවාහයෙන් පසු ආදරය' කියන කෑල්ල ගැන. මට මේ ගැන ලියන්න හිතුනෙ ඇඳට වෙලා ඇලර්ට් එකක් දාගෙන ඉන්නකොට මතක් වුන සිද්දියක් නිසා. මම මේක දැක්කෙ ටිකක් පොඩි කාලෙ. නවය දහය වසර වලදි විතර මට මතක හැටියට. වැඩි විස්තර ඕන නෑ නෙ, කතාව කියන්නම්කො.

මම යාලුවෙක් එක්ක ටවුන් එකට ගියා මොකක් හරි වැඩකට. අපි දෙන්න පාර දිගේ ඇවිදගෙන යනව. ඒ වෙලාවෙ පාරෙ අනිත් පැත්තෙන් තරුණ ජෝඩුවක් ආව ළමයෙකුත් වඩාගෙන. අම්ම තමයි ළමයව වඩාගෙන ආවෙ. පොඩි එකාට අවුරුදු 2ක් විතර ඇති. කොහොමහරි එක පාරටම අම්මගෙ කකුල පැටලිලා ළමයත් එක්කම වැටුන. වැටුනට පස්සෙ තමයි අපි දැක්කෙ. තාත්ත පැනල ළමයව වඩා ගත්ත. පොඩි එකාගෙ ඇඟ පුරාම වැලි. තාත්ත ඉක්මනට වැලි ටික පිහදාල අත පය ඔක්කොම හරව හරව බැලුව තුවාල වෙලාද කියල. වාසනාවට පොඩි එකාට තුවාලයක් නෑ. පොඩි එකා බය වෙලා අඬනව. තාත්ත පොඩි එකාව නලව ගන්න හදනව. අම්මත් පොඩි එකාව අතගගා නලවන්න හදනව. වැටිච්ච පාරට අම්මගෙ අත නම් තුවාල වෙන්න ඇති. අත පුරාම වැලි තියනව මම දැක්ක. ඒත් ඒ තාත්ත අම්මට තුවාල වුනාද කියලවත් ඇහුවෙ නෑ. ඒ වෙනුවට තාත්ත පොඩි එකා වැටුන එක ගැන අප්‍රසාදෙන් මොනවහරි ඒ අම්මට කිව්ව. පාරෙ අනිත් පැත්තෙ හිටපු නිසා කියපු දේවල් නම් මට ඇහුනෙ නෑ. අම්ම දැන් අඬන්න වගේ. තමන්ගෙ අතින් පොඩි එකා වැටුන නිසාත්, තාත්ත කියපු දේ නිසාත් අම්ම ගොඩක් අපහසුතාවයකට ලක් වෙලා හිටියෙ. ලඟ පාත හිටපු මිනිස්සුත් එතනට එකතු වෙලා හිටියෙ.

මට ඒ වෙලාවෙ ඒ අම්ම ගැන ගොඩක් දුක හිතුන. ඒ තරුණ තාත්ත හොඳ තාත්ත කෙනෙක් වෙන්න ඇති. එයා දරුවට ගොඩක් ආදරෙයි කියන එක ඒ වෙලාවෙ එතන හිටපු කාටත් තේරුනා. ඒත් එයාට ඒ වෙලාවෙ හොඳ සැමියෙක් වෙන්න බැරි වුනා. අර තරම් අපහසුතාවයට ලක් වෙලා හිටපු ඒ ගෑනු කෙනාගෙ හිත හැදෙන්න එක වචනයක් කියන්න එයාට බැරි වුනා. එයා කලේ ඒ ගෑනු කෙනා අතින් වුන වැරැද්දට දොස් පවරපු එක විතරයි. මොකක් හරි හිත හැදෙන්න පොඩි දෙයක් කිව්ව නම් ඒ වෙලාවෙ හැටියට ඒ ගෑනු කෙනාට ඒක ලොකු දෙයක් වෙන්න තිබුන. ඒත් එහෙම වුනේ නෑ. අඩු ගානෙ එයාට තුවාල වුනාද කියලවත් ඇහුවෙ නෑ. මම ඒ ජෝඩුව ඈතට යනකනුත් ටිකක් වෙලා බලන් හිටිය පස්සෙ හරි එහෙම දෙයක් කියාවිද කියල. ඒත් නෑ.
 
ඒ ජෝඩුව ගොඩාක් තරුණ ජෝඩුවක්. අනිවර්යයෙන්ම යලු වෙලා බැඳපු දෙන්නෙක් වෙන්න ඕන. (මොකද එච්චර අඩු වයසින් මංගල යෝජනාවකින් බන්දවන්නෙ නෑ නෙ.) ඒත් ඒ ආදරය එදා වෙනකොට කොයි තරම් දුරට ඉතුරු වෙලා තිබුනද කියල මම කල්පනා කලා. හැබැයි ඉතින් ඔය වුන සිද්දිය නිසාම ඒ තාත්ත හොඳ සැමියෙක් නෙමෙයි, ඒ තාත්ත ඒ අම්මට ආදරේ නෑ කියල එක පාරට කියන්න බෑ.  නමුත් ඒ වෙලාවෙ ඒ තාත්තට දරුව ගැන තිබුන ආදරෙන් දහයෙන් එකක් වත් ඒ අම්ම ගැන තිබුන නම් කොච්චර හොඳද.

මට තේරෙන විදියට විවාහයෙන් පස්සෙ කාලයත් එක්ක ආදරය අඩු වෙන එක ලංකාවෙ ගොඩක් දුරට තියන දෙයක්. අනිත් රටවල් ගැන නම් කියන්න දන්නෙ නෑ. මම හිතන්නෙ නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ආදරය කරන කාලෙ නොතිබුන දාහක් ප්‍රශ්න බැන්දට පස්සෙ ඇති වෙන්නත් ගොඩක් වෙලාවට ඒක හේතු වෙනව. ආදරය කරන කාලෙ අනිත් කෙනාගෙ තියන අඩුපාඩු, නොගැලපීම් ආදරය නිසා ඉවසගෙන ඉන්නව. ඒත් බැන්දට පස්සෙ ඒ දේවල් නිසා මරාගන්න හදනවා. ඒ කියන්නෙ අර අඩුපාඩු, නොගැලපීම් වලට ඔරොත්තු දෙන්න හේතුවක් වුන ආදරය ඒ වෙනකොට නැති වෙලා ගිහින්. ඊට පස්සෙ ඉතින් ජීවිතේම ප්‍රශ්න තමයි. ඒ එක පැත්තක්. තව සමහර ජෝඩු ඉන්නව එහෙම රන්ඩු වෙන්නෙත් නෑ, හැබැයි තමන්ගෙ පාඩුවේ ඔහේ ඉන්නව. අනිත් කෙනා උන්නද මලාද කියල ගානක් නෑ. එහෙම ඉන්නනම් බැන්දෙ අපරාදෙනෙ. සමහර මිනිස්සු ඉන්නව, බඳින්නෙ නොබැඳ බැරි කමට. අම්මල තාත්තල කියන නිසා, එහෙමත් නැත්තන් බඳින එක සමාජයීය සාධකයක් නිසා තමයි ඒගොල්ලො බඳින්නෙ. එහෙම අයනම් අනෙ නොබැඳ ඉන්න එක හොඳයි තවත් කෙනෙක්ගෙ ජීවිතයක් නාස්ති කරන්නෙ නැතුව. තවත් සමහරු ඉන්නව බඳින්නෙ නීත්‍යානුකූලව ලමයෙක් හදා ගන්න විතරයි. එයාල වෙන කිසි දෙයක් විවාහෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපේ මාමත් එහෙම ඩයල් එකක්. ඒ කසාදෙ තියෙන්න නමට විතරයි.

ඔය ප්‍රශ්නෙම තව පැත්තක් තමයි ආදරේ තිබුනත් ඒක නොපෙන්වීම. ආදරේ කියන්නෙ පෙන්නන්න ඕන දෙයක්, දැනෙන්න දෙන්න ඕන දෙයක්. හිතේ තියාගෙන හිටියට වැඩක් නෑ. ආදරේ හිතේ තියගෙන නොපෙන්වා ඉන්න එකත් අනිත් පාර්ශවයට දැනෙන්නෙ ආදරේ නෑ කියන විදියටම තමා. සමහර මිනිස්සු මැදි වියට වගේ එනකොට හිතනව දැන් තරුණ කාලෙ වගේ ඉන්න ඕන නෑ, දැන් අපි වයසයි කියල. මගේ කනටම එහෙම කියනව ඇහිල තියනව. මම දකින විදියට ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ආදරේ කියන එක ජීවිත කාලෙටම එක විදියට තියෙන්න ඕන. මම ඒකෙන් කියන්නෙ නෑ හැමදාම අර ආදරේ කරන කාලෙ වගේ තුරුල් වෙලා උම්ම දිදී ඉන්න ඕන කියල. ළමයි ලොකු මහත් වෙනකොට අම්මල තාත්තලාට එහෙම හැසිරෙන්න බෑ නෙ. ඒවුනාට ආදරේ පෙන්නන්න ඕන තරම් ක්‍රම තියනව. එක වචනනෙකින්, කතා කරන ස්වරයෙන්, එක බැල්මකින්, හිනාවකින් ආදරේ කියන එක දැනෙන්න දෙන්න පුලුවන්. ඒකට වයස බේදයක් ඕන නෑ. 

අඹු සැමියො අතරෙ දුරස්ත බාවයක් ඇති වන තව කාරණයක් තමයි දරුවන් ලැබීම. ඒක හැමතිස්සෙම එහෙම නෑ. ඒත් සැලකිය යුතු ප්‍රතිශතයක් එහෙම වෙනව. ඊට පස්සෙ තමන්ගෙ දරුව තමන්ගෙ ජිවිතේ වගේ වෙනව, තමන්ගෙ සහකාරයට එච්චර කල් තිබුන තැන නැති වෙනව. එච්චර කල් ඇඟේ දැවටි දැවටි හිටපු ගෑනිට මිනිහ උන්නද මලාද කියල බලන්න වෙලාවක් නැති වෙනව. එච්චර කල් චාටු කතා කිය කිය හිටපු මිනිහ ගෑනිව අමතක කරල දරව එක්ක විතරක් හුරතල් වෙන්න ගන්නව. හිතන්නකො, එක දරුවෙක් ඉන්න පවුලකට අලුතෙන් දරුවෙක් ආවම ආදරේ අඩු වීම නිසා ලොකු දරුව මානසිකව වැටෙන වෙලාවල් තියනව නේද? ඒ විදියටම සැමියා හෝ බිරිඳටත් ඒ තරම් දරුණුවට නැතත් සුලු වශයෙන් හරි ඒ ප්‍රශ්නෙ ඇති වෙන්න පුලුවන් නේද? ඔය තැනදි නම් ඔය වැරැද්ද සාපේක්ෂව වැඩියෙන් වෙන්නෙ කාන්තා පාර්ශවයෙන්. අම්ම කෙනෙක් දරුවන්ට තියන අසීමිත ආදරෙත් එක්ක ඒක සාධාරනයි කියල කෙනෙක් කියන්න පුලුවන්. ඒත් මට හිතෙන්නෙ නම් ඒක තමන්ගෙ සැමියට කරන අසාධාරණයක් කියල. මන්ද මට හිතෙන විදිය කිව්වෙ.  මට කවද හරි දවසක එහෙම වුනොත් නම් ගොඩක් දුක හිතේවි. අනිත් අය නම් මේකට එකඟ වේවිද දන්නෙ නෑ, මම නම් හිතන්නෙ ඕනම කෙනෙක්ගෙ පළමු තැන ලැබෙන්න ඕන තමන්ගෙ සැමියාට හෝ බිරිඳට. ඊලඟට තමයි දරුවො. ජීවිතේ ඕනම කාලෙක තමන්ගෙ සැමියාට හෝ බිරිඳට තියන ආදරය සැලකිල්ල නොවෙනස්ව එකම විදියට තියනව නම් තමයි ඒ පවුල් ජීවිතය ගොඩක් ලස්සන වෙන්නෙ.   

පවුල් ජීවිතය තුළ ආදරය අඩු වීම තමයි දික්කසාද වලටත් ගොඩක් හේතු වෙන්න පුලුවන්. දෙන්නට දෙන්නගෙ ආදරයක් නැති වුනාම නැති ප්‍රශ්නත් ඇති වෙනව. මම කලින් කිව්ව වගේ අනිත් කෙනාගෙ වැරැද්දක් නොගැලපීමක් අමතක කරල ඒක යටපත් කරන්න තරම් ආදරයක් දෙන්න අතරෙ නැති වුනාම ඒක දික්කසාදයක් දක්වාම යන්න පුලුවන් ඉතින්. අනිත් එක බලන්න මැදිවියේ මිනිස්සු කොච්චර නම් අනියම් සම්බන්ධකම් පවත්වගෙන යනවද? ඇයි ඒ? ළමයි හදල අවුරුදු 15ක් 20ක් එකට ජීවත් වෙලා දැන් මොකටද තවත් කෙනෙක්ගෙ ආස්‍රයක් බලාපොරොත්තු වෙන්නෙ? අර මම කලින් කිව්ව වගේ කාලයත් එක්ක ඒ මිනිස්සුන්ගෙ පවුල් ජීවිත වල තිබුන ආදරේ නැති වෙලා ගිහින්. පවුල් ජීවිතයෙන් ඒ ආදරේ ලැබෙන්නෙ නැති වුනාම අලුත් තැනකින් ඒ ආදරේ ලබාගන්න පෙලඹෙනව. ඒ වැඩේ හරියි කියල කියන්න බෑ කොහොමවත්. මම ඒක සාධාරනීකරනය කරන්න හදනව නෙමෙයි. ඒත් ඉතින් අපි කවුරුත් පෘටහ්ජන (අකුරු හරිද මන්ද) මිනිස්සුනෙ. ඒ නිසා ඒ වගේ දේකට පෙළඹෙන්න ලොකු ඉඩක් තියනව. ඔය කිසි හේතුවක් නැතුව වලස්ත කමට ඔය වගේ වැඩ කරන ගෑණු පිරිමිත් ඕන තරම් ඉන්නව. උන් ගැන නෙමෙයි මේ කියන්නෙ.

ඉතින් මම හිතන විදියට නම් ආදරේ කියන එක හැමදාම නොවෙනස්ව හෝ තව තවත් වැඩි කරගෙන ජීවත් වෙන්න පුලුවන් නම් පවුල් ජීවිත වල ප්‍රශ්න ගොඩක් අඩු වේවි. ඒ වගේම හැමදාම බැඳපු අලුත වගේ සතුටින් ඉන්න පුලුවන් වේවි. අම්ම තාත්ත ආදරෙන් සතුටෙන් ඉන්නව නම් ඒක ළමයින්ටත් ලොකු මානසික ශක්තියක්. එහෙම නැතුව අම්මයි තාත්තයි දුරස් වෙලා හිටියොත් දරුවොත් ටික ටික ඒ දෙන්නගෙන්ම ඈත් වෙන්න පුලුවන්. අම්ම තාත්තගෙ බැඳීම ශක්තිමත් නම් පවුලෙ හැම බැඳීමක්ම ආරක්ශිතයි. 



 (මේක මට හම්බවුනේ facebook එකෙන්. මෙහෙම ඉන්න පුලුවන් නම් කොච්චර හොඳද නේද?)


ඔන්න ඔහොම තමයි ඉතින් කසුන්ට හිතෙන්නෙ. මේක කියවන අයගෙ අදහසුත් දැනගන්න මම කැමතියි. පුලුවන් නම් තමන්ගෙ අදහසත් කියල යන්න.

Wednesday, June 29, 2011

දෑස පියාගෙන කිමද (අවසාන කොටස)


...................................................................................................................................................................
මම අමාරුවෙන් දෑස් විවර කරගත්තෙමි. මා සිටින්නේ රෝහලේය, මා දැක ඇත්තේ සිහිනයකි. මට හීල්ලුනි. එහෙත්..... අරුමයකි, හීනෙන් මා විඳි සුවය මා තවමත් විඳිමි. මම සැබවින්ම ඒ සුවය විඳිමි. මගේ කෙස් අතරින් දිවෙන ඒ අතැඟිලි මම හොඳින් හඳුනමි. මම වහා හිස ඔසවා බැලුවෙමි. ඒ ඇයයි. මගේ හිස අතගාමින්, වෙනදා මෙන් ආදර බර බැලමකින් මා දෙස බලා සිටින්නේ මගේ ආදරණීය බිරිඳයි.

"මැණික!"

මම කෑගසාගෙන නැගිට්ටේ පුටුවත් පෙරලාගෙනය. ඇය අමාරුවෙන් සිනාසුනාය.

"කොයි වෙලාවෙද සිහිය ආවෙ?" මම ඇගේ මුහුණ දෑතින්ම අල්ලා ගත්තෙමි.

"දැන් විනාඩි 30ක් විතර වෙනව ඇති පැටිය."

වචන වලට පෙරලා ගත නොහැකි හැඟිම් ගොන්නක් මා සිතේ තෙරපෙන්නට විය. කුමක් කියන්නදැයි මටම නොවැටහේ. මට ඇය හා කතා කිරීමට අවශ්‍ය වුවත් කටින් හඬ පිට වුනේම නැත. මා වචන වලින් නොකීවත් මගේ හැගීම් ඈ තේරුම් ගන්නට ඇත. හැමදාමත් මෙන් මා සිටින තත්ත්වය තේරුම් ගත් ඇය, අනුකම්පා සහගත ලෙස මා දෙස බලාසිටියාය. වචන වෙනුවට වැල නොකැඩී කඳුලු කැට කඩා හැලෙන්නට විය. ඒ නම් සතුටු කඳුලු විය යුතුමය. ලොකු දුව ඉපදුන දිනයේවත් මා මෙතරම් සතුටක් නොලැබූ බව මට හොඳටම විශ්වාසය. මගේ කඳුලු පිසින්නට ඇය උත්සාහ කලද අත එතරම් එසවීමට තවම ඇයට ශක්තියක් නැත. මම දෑතින්ම ඇගේ අත අල්ලා ගත්තෙමි.

"ඉතින් ඇයි මට කතා කලේ නැත්තෙ?" මම කඳුලු අතරින් වචන ගැටගසා ගත්තෙමි.

"මගේ අත උඩ ඔයා නිදාගෙන ඉන්න හැටි දැකල මට ඇහැරවන්න ලෝබ හිතුන."

"ඔයා හරි ලමයෙක් නෙ. ඉන්න මම ටක් ගාල ඩොකටර්ව එක්කගෙන එන්නම්."

"අනේ පැටියො චුට්ටක් මගේ ලඟට වෙලා ඉන්නකෝ. ඩොකටර්ට පස්සෙ කතා කරමු."

" එහෙම බෑ නෙ වස්තුවේ, මොනව හරි ට්‍රීට්මන්ට් කරන්න තියනවද දන්නෙ නෑ නෙ. ඉන්න මම ටක් ගාල එන්නම්."

මම හඬමින්ම වෛද්‍යවරිය සොයා දිව ගියෙමි.

අධික දුකට මෙන්ම අධික සතුටටද මිනිසුන්ගේ මනස විකල් වන්නේය. මම වෛද්‍යවරියගේ කාමරය පසු කර සෑහෙන දුරක් දුවා තිබුනි. මම නැවතත් හැරී අසිහියෙන් මෙන් දුවන්නට විය. මම වෛද්‍යවරියගේ කාමරයට දුවන අතරමගදී හමුවූ හෙදියන් කීපදෙනක්ම වික්ශිප්තව මා දෙස බලාසිටියෝය. මාගේ දිවීමත්, දෑසේ කඳුලුත් ඔවුන්ට පවසන්නට ඇත්තේ වෙන කතාවකි. ඔවුන්ට සියල්ල පහදා දීමට අවැසි වුවත් දැන් වෙලාවක් නැත. මා නැවතුනේ වෛද්‍යවරියගේ කාමරයේ දොර අසලය. හොඳටම හති වැටී සිටි නිසා කතා කරගැනීමට අපහසු විය.

ඇය මා දුටු විගස මා අසලට දිව ආවාය.

"ඇයි මිස්ටර් ගුණවර්ධන, මොකද මේ හති දාන්නෙ?" ඇය ඇසුවේ සැකයෙන් මෙනි.

"ඩොක්ටර්..."

"කියන්න මිස්ටර් ගුණවර්ධන. මොකද වුනේ?"

"මම.... මම කිව්ව නේද ඩොක්ටර්... එයා.. එයාට මුකුත් වෙන්නෙ නෑ... කියල."

"එයාට සිහිය ආවද?"

මම ජයග්‍රාහි සිනහවකින් හිස සලා ඇයට පිලිතුරු දුන්නෙමි.

"ඔය ඇත්තමද? කොච්චර හොඳද. ආහ්, යමු බලන්න. එයාව චෙක් කරන්න ඕන."

වෛද්‍යවරිය හා මම කාමරයට එන විට හෙදියන් කීප දෙනෙක්ම බිරිඳගේ ඇඳ අසල සිටියෝය.

"ආහ්, ඩොක්ටර් ආවද?"

වෛද්‍යවරිය කෙලින්ම ගියේ ඇයව සම්බන්ද කර තිබූ පරිගණකය වෙතයි.

"මිස්ටර් ගුණවර්ධන දුවපු විදියට අපි බය වුනා. ඇපි හිතුවෙ මොකක් හරි කරදරයක් වෙලා කියල."

"මට හිතුන."

ඉන්පසු වෛද්‍යවරිය බිරිඳව පරීක්ෂා කලාය.

"හ්ම්ම්, ඔයගෙ වයිෆ්ට දැන් කිසි ප්‍රශ්නයක් නෑ. මේ, එයාගෙ මොලෙන් දැන් සාමාන්‍ය විදියට සිග්නල් යනව. ඒ කියන්නෙ එයාගෙ මොලේ දැන් ආයෙත් සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක වෙලා"

ඇය පරිගණක තිරයේ යම් ප්‍රස්ථාරයක් පෙන්වමින් පැවසුවාය. වෛද්‍යවරියගේ එම වචන පිපාසයෙන් මැරෙන්න යන මිනිසෙකුට ලද දිය පොදක් වන් විය. මගේ හිතට දැනුන සැනසීම, සැහැල්ලුව වචන වලින් නම් කෙලෙසක වත් විස්තර කල නොහැකිය. මම බිත්තිය අල්ලගෙන එතැනම වාඩි විය. මගේ දෑස් පියවුනේය. මම දීර්ඝ හුස්මක් හෙලුවෙමි. මා සිටින තැන ගැන හැඟීමක් මට නොවීය. මා නැවතත් දෑස් අරින විට දුටුවේ සියල්ලෝම මා දෙස බලා සිටින ආකාරයයි.

"ඇයි ඔතනට වෙලා? මෙතනට එන්නකො." වෑහෙන කඳුලු අතරින් මගේ බිරිඳ පැවසුවාය.

මගේ හිතට දැනුන සැහැල්ලුව, සැනසීම කොතරම් දැයි මට ඇයට කියන්නට ඇත්නම් යයි මට සිතුණි. මාව සැමවිටම තේරුම් ගන්නා ඇය එය තේරුම් ගන්නට ඇත. මම පුටුව ගෙන ඇගේ හිස අසලින් වාඩි විය. හෙදියන් දෙදෙනෙක් කොට්ට දෙකක් තබා ඇයව ඇඳවිට්ටමට හේත්තු කලෝය.

"හරි, කට්ටිය දැන් යමු. මිස්ටර් ගුණවර්ධනට කතා කරන්න ගොඩක් දේවල් ඇතිනෙ. මෙච්චර දවස් තනියම නෙ කතා කලේ, දැන් දෙන්න එක්ක කතා කරන්න පුලුවන් නෙ."

මගේ බිරිඳ ක්ෂණිකව මා දෙස බැලුවාය. මම යන්තමට සිනාසුනෙමි. වෛද්‍යවරියත් හෙදියනුත් යන්නට ගියෝය. ඈත් මාත් තනිවිය. මම ඇගේ අත අල්ලා ගත්තෙමි. අතනොහැරෙන්නට තදින්ම අල්ලා ගත්තෙමි. ඇය මා යමක් කියන තෙක් බලා සිටියාය. එහෙත් කිසිත් කීමට වඩා ඇගේ ලඟට වී ඇය දෙස බලාසිටීමට මට සිත් විය.
 

"මම සිහිය නැතුව ඉන්නකොට ඔයා මොනවද මට කිව්වෙ?"

මම දීර්ඝ හුස්මක් හෙලුවෙමි.

"කොච්චර නම් දේවල් කිව්වද? ඔයා ඒව ගානකට වත් ගත්තෙ නෑ නෙ."

ඇය අමාරුවෙන් අත ඔසවාගෙන මගේ හිස අතගාන්නට විය.

"ඔයාට ගොඩක් දුක හිතුනද පැටිය?"

මෙතෙක් වේලා වියලී තිබුණු දෑස් නැවතත් තෙත් වන්නට විය. ඇයගේ ප්‍රශනයට පිළිතුරු දීමට මම උත්සහ නොගත්තෙමි. ඒ එය වචන වලින් කියා නිම කල නොහැකි නිසාය. මෙතෙක් කල් ඇය දෑස පියාගෙන සිටින විට දහසක් දේ කිව්වත්, ඈ මා දිහා බලාගෙන සිටින මේ මොහොතේ මම ගොලු වී සිටිමි. මම ඇගේ උකුලෙන් හිස තබා ගෙන අත් දෙක ඇගේ ඉන වටා දමා ඇයව බදා ගත්තෙමි. මට මහ හඬින් ඇඬෙන්නට විය.

"අනේ ඇයි මේ අඬන්නෙ? අනේ පැටිය අඬන්න එපා, දැන් ඉතින් මම ඉන්නවනෙ."

"අද මාව නවත්තන්න හදන්න එපා. මට ඇති වෙනකල් අඬන්න දෙන්න. ඔයා දන්නෙ නෑ පහුගිය කාලෙ මම ජීවත් වුනේ කොහොමද කියල."

"මම දන්නව. මට ඒ හැම දෙයක්ම ඔයාගෙ මූන බැලුවම තේරෙනව. ඔයා මට කොච්චර ආදරේද, මම නැතුව කොච්චර දුක් වුනාද කියල ඔය මූනෙන් පේනව මහත්තයෝ."

"ආයෙ කවදාවත් ඔහොම කරන්න එපා. ඔයා දන්නෙ නෑ මම කොච්චර බය වුනාද කියල. වැරදිලාවත් ඔයාට මොනව හරි වුනා නම් ඉතින්....! ඔයා දන්නවනෙ මට ඔයා නැතුව ඉන්න බෑ කියල."

"නෑ, මට මුකුත් වෙන්නෙ නෑ. ආයෙත් කවදාවත් පොඩ්ඩකට වත් තනි කරන්නෙ නෑ."

මම තව තවත් හඬන්නට වීමි.

"අනේ දැන් ඉතින් අඬන්න එපා පැටිය. මටත් දුකයි නෙ ඔයා ඔහොම අඬනකොට."

"ඩොක්ටත් කිව්ව ඔයාගෙ ජීවිතේ ගැන වැඩි විශ්වාසයක් තියන්න බෑ කියල. මම කිව්ව ඩොක්ටර්ට ඒක කොහොමවත් වෙන්න බෑ, ඔයාට කවදාවත් මාව දාල යන්න බෑ කියල."

"ඒකනෙ, ඔයාව දාල මම කොහේ යන්නද?"

"පොරොන්දු වෙන්න කවදාවත් මාව දාල යන්නෙ නෑ කියල."

"කවදාවත් නෑ, මම හැමදාම මගේ මහත්තයගෙ ලඟටම වෙලා ඉන්නව, සත්තයි."

මට ජීවිතයේ තව කිසිවක් උවමනා නැත. මම ඇගේ උණුසුමට තුරුල් වී සිටියෙමි. පොඩි දරුවෙකු තුරුලු කරගන්නා මවක් මෙන් ඇය මාව තුරුලු කරගෙන සිටියාය.

"කෝ පොඩි දෙන්න?"

"තාම ඉස්කෝලෙ ඇත්තෙ. මම හවසට එක්කගෙන එන්නම්."

"අනේ දකින්නත් ආසයි මගේ පැටව් ටික."

"ඔව්, ඒ දෙන්නත් ඔයා නැතුව මූණ එල්ලගෙන ඉන්නෙ."
.....................................................................................................................................................................

"May I come in doctor?"

"Ah Mr. Gunawardhana, please come in."

"ඩොක්ටර්, ඇත්තටම අරයට දැන් හොඳටම හොඳයි නේද? නැත්තන් සල්ලි ප්‍රශ්නයක් නෑ තව ටික කාලයක් මෙහේ තියා ගමු. පොඩි හරි රිස්ක් එකක් ගන්න මම කැමති නෑ ඩොක්ටර්."

"නෑ මිස්ටර් ගුණවර්ධන දැන් කිසිම රිස්ක් එකක් නෑ. තවත් ට්‍රීට්මන්ට් කරන්නත් නෑ. දැන් එයාට ටිකක් රෙස්ට් කරන්න දෙන්න විතරයි තියෙන්නෙ. බය වෙන්න එපා, එයාව ගෙදර එක්ක යන්න.

"Ok doctor."

"මිස්ටර් ගුණවර්ධන, ඔයාලගෙ ගෙදර සර්වන්ට්ල ඉන්නවද?"

"නෑ ඩොක්ටර්. ඇයි ඒ?"

"මේකයි මිස්ටර් ගුණවර්ධන, එයාගෙ අත පය ගොඩක් කල් එකම විදියටම තිබුන නිසා ඒව ආයෙත් සාමන්‍ය විදියට ක්‍රියාත්මක වෙන්න ටික කාලයක් යනව. ඒක ටිකෙන් ටික කලා නම් තමයි වැඩිය හොඳ. නැත්තන් එයාට ඇඟේ පතේ අමාරු එන්න පුලුවන්. ඒක නිසා එයාට එකපාරට ආයෙත් ගෙදර වැඩ ටික කරන්න දෙන්නෙ නැතුව ඉන්න පුලුවන් නම් වැඩිය හොඳයි මිස්ටර් ගුණවර්ධන."

"ඔව්, ඔව් ඩොක්ටර්. ඒක ප්‍රශ්නයක් නෑ. එයාට ආයෙත් හොඳටම හොඳ වෙනකල් මම එයාට වැඩ කරන්න දෙන්න නෑ. මම දවල් වරුවට එයාව බලාගන්න කෙනෙක් හොයාගත්ත. රෑට මම ඉන්නවනෙ. එයාට හොඳ වෙනකල් ගෙදර වැඩ ටික මට කරගන්න පුලුවන් වෙයි."

"ඒක හොඳයි මිස්ටර් ගුණවර්ධන. මම දන්නව, වයිෆ් වෙනුවෙන් ඔයාට ඕක බොහොම සුලු දෙයක්. මටත් මිස්ටර් ගුණවර්ධන වගේ හස්බන්ඩ් කෙනෙක් හිටියනම් කියල හිතෙනව."

"ඒ කිව්වෙ ඩොක්ටර්? ඇයි ඩොක්ටර් ගෙ හස්බන්ඩ්...."

"නෑ මිස්ටර් ගුණවර්ධන, මම තාම මැරි කරල නෑ."

"ආහ් එහෙමද, අපරාදෙ ඩොක්ටර් මට මල්ලි කෙනෙක් වත් නෑ නෙ. නැත්තන් ඩොක්ටර්ට දෙන්න තිබුන."

වෛද්‍යවරියට සිනහ පහල විය. මමද සිනාසුනෙමි.

" Now you are smiling."

"Of course doctor. I'm smiling now. I'm just simply living now. I was dying last days."

"I know Mr. Gunawardhana. I noticed that."

"Thank you very much doctor. And I'm very sorry about what happened that day."

"No, No, it's OK Mr. Gunawardhana. If I were you, I would have done the same thing. Just forget it." 

"මම එහෙනම් අරයව එක්ක යන්න ලේස්ති කරගන්නම් ඩොක්ටර්."

"හරි මිස්ටර් ගුණවර්ධන මම ටිකට් එක ලියල තියන්නම්. ඔයා වයිෆ්ව රේඩි කරගෙන එන්න."

"හරි ඩොකටර්."
..................................................................................................................................................................

වාහනය අපේ ගේ ඉදිරිපස නතර විය. මම බිමට බැස ඇයව දෑතින් ඔසවා ගත්තාය. චාමර වහා පැමිණ පිටුපස තිබූ රෝද පුටුව දිගහැර බිමින් තැබුවාය.

"ඕන නෑ චාමර, මට තාම මෙයාව වාරු කරගන්න පුලුවන්. ඕක ඇතුලෙන් තියන්න."

ඇය මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටියාය. මම ඇයව රැගෙන විත් සාලයේ තිබූ සෝෆාවෙන් වාඩිකරවීය. චාමර බඩු සියල්ල ඇතුලෙන් තබා වාහනය අසලට වී සිටියේය.

"චාමර එහෙනම් ගිහින් හෙට එන්නකො. අපි හෙට ගනන් හිලව් බේරමු."

"හරි සර්."

මම ඔහුව පිටත් කර ගෙතුලට පැමිණ ඇය අසලින් වාඩි වුනෙමි. මම දෑතින්ම ඇගේ සුරත අල්ලා ගත්තෙමි. ඇගේ අවුල් වී තිබූ හිසකෙස් මම සකස් කලෙමි. ඇගේ දෑස් දිලිසෙමින් තිබෙනු මම දුටුවෙමි.

"ඉන්න මම තේ ටිකක් හදාගෙන එන්නම්."

"තේ ඕන නෑ පැටිය, පස්සෙ බොමු. මට ඔයා ලඟට වෙලා ඉන්න ඕන."

"ඉතින් මම ටක් ගාල තේ හදාගෙන එන්නම්. ඔයාට මහන්සිත් ඇතිනෙ වාහනේ ඇවිත්."

"ඕන නෑ. ඔයා ලඟ ඉන්නකොට මගේ ඔක්කොම අමාරු නැති වෙනව."

"හ්ම්ම්"

"මාව ඔයාගෙ උකුල උඩින් හාන්සි කරගන්නකො."

මම ඇගේ හිස මගේ උකුල උඩින් තබා ගත්තෙමි. මම ඇගේ හිස අතගාන්නට පටන් ගත්තෙමි.

"වෙනද ඔයානෙ මගේ උකුල උඩට වෙලා සැපට ඉන්නෙ. දැන් ඉතින් මාව තියාගෙන ඉන්න."

"අයියෝ ඕන තරම් තියාගෙන ඉන්නංකො."

"ඔයාට මම නිසා ගොඩක් කරදර වෙන්න වුනා නේද?" මද නිහැඬියාවකින් පසු ඇය යලුත් හඬ අවදි කලාය.

"මොනවද මේ කියවන්නෙ ඔයා කොහොමද මට කරදරයක් වෙන්නෙ?"

"ඒ වුනාට ඔයා හරියට නිදාගත්තෙවත් නෑලු නේද? ඔයා හරියට කෑවෙ බිව්වෙත් නෑලු."

"ඔයා කොහොමද ඒව දන්නෙ?"

"මට නර්ස්ල කිව්ව. මට එයාල හැම දෙයක්ම කිව්ව."

"හ්ම්ම්"

"ආහ්, ඔය ඩොක්ටර්ට ගහන්න ගිය එකත් කිව්ව."

"අයියෝ මේ ගෑනු රටම ගිනි තියනව. මම ඩොක්ටර්ට ගහන්න ගියේ නෑ."

"හරි හරි මම දන්නව. මට නර්ස් කෙනෙක් ඔක්කොම විස්තරේ කිව්ව."

"තරහ යන්නෙ නැද්ද ඉතින් එයා කියපු කතාවට."

ඇය කිසිත් නොකියා මා දෙස බලාසිටියාය.

"මම දෙයක් කියන්නද පැටිය?"

"කියන්න."

"මම කොහොමත් දන්නව ඔයා මට ගොඩාක් ආදරෙයි කියල. ඒත් ඔයා මට මෙච්චරටම ආදරෙයි කියල මම දැනගෙන හිටියෙ නෑ."

"හ්ම්ම්, දැන් දන්නව නේද?"

ඇය හිස සැලුවාය

"එහෙනම් මීට පස්සෙ ඔහොම කරන්න එපා."

"නෑ, ආයෙත් කවදාවත් මම හෙම්බිරිසාවක් වත් හදා ගන්නෙ නෑ."

"ඒක හොඳයි."

"පොඩි දෙන්න ඉස්කෝලෙ ගිහින්ද?"

"ඔව්, ඊයෙත් යන්න වුනේ නෑ නෙ. අද බලෙන්ම යැව්ව."

"ඔයාටත් හරියට ඔෆිස් යන්න වුනේ නෑ නේද?"

"මාව නම් අස් කරලද දන්නෙ නෑ. ඔයා ලෙඩ වුනාට පස්සෙම දවස් හත අටක් වගේ තමයි ඔෆිස් ගියේ."

"අයියෝ බලන්නකො ඉතින් ඔයාගෙ වැඩ."

"කොහොමද ළමයො මම ඔෆිස් යන්නෙ ඔයා අර විදියට ඉන්නකොට?"
"අනේ එහෙනම් හෙටම ගිහින් එන්න."

"හෙටත් ඉඳල අනිද්දම යනව. ඔයාව දාල යන්න මොකක්ද වගේ. දවල් වරුවට ඔයාව බලාගන්න මම ගෑණු කෙනෙක්ට එන්න කිව්ව. එයා හෙට ඉඳල ඒවි. ඔන්න ඔයා පොඩ්ඩක් වත් මහන්සි වෙන්න බෑ හරිද. ඩොක්ටර් කිව්ව ඔයාට ගොඩක් විවේකය ඕන කියල. ගෙදර වැඩ ඔක්කොම මම බලාගන්නම්. ඔයාට තියෙන්නෙ හොඳටම හොඳ වෙනකල් කාල බීල රෙස්ට් එකේ ඉන්න. කොහොමත් ඔයා කුණු කුණු ගානවනෙ මම ගෙදර වැඩ වලට උදව් වෙනව මදි කියල. දැන් ඉතින් ඔයාට හොඳ වෙනකල් හැමදෙයක්ම කරන්නෙ මම."

"අනේ එහෙම ඕන නෑ පැටිය. ඔයාට මම නිසා පහුගිය දවස් වල වෙච්ච කරදර ඇති. මට දැන් හොඳයි නෙ. මට ගෙදර වැඩ ටික කරගන්න පුලුවන්."

"මේ මේ, ඒකට කලබල වෙන්න ඕන නෑ. ඒක තීරණය කරන්නෙ මම. පණ්ඩිත වෙන්නෙ නැතුව ඉන්න."

"ඔයාට ඉතින් කියල වැඩක් නෑ නෙ." 

"ඔව් එහෙම තමයි."

ඇය මා දෙස මොහොතක් බලා සිටියාය.

"ඇයි ඔයා මට ඔච්චරටම ආදරේ?"

"ඒකට උත්තරේ මම දන්නෙත් නෑ වස්තුවේ."
ඇය මට තුරුලු වී දෑස පියා ගත්තාය. ඇගේ දෑස් වලින් කඳුලු කැට කීපයක් ගිලිහෙනු මට පෙනුනි. මේ සතුට, සැනසීම යලි කවදාවත් අප වෙතින් නොගිලිහේවා යි මම පැතුවෙමි.

                                                                   ....සමාප්තයි....


Friday, June 24, 2011

ආයෙත් පාරක් හිත රිද්දුව නේද?

හරි නම් මම දැන් දාන්න ඕන මගේ කතාවෙ ඊලඟ කොටස. මට දෙතුන් දෙනෙක් බැන්නත් එක්ක මම කතාව දානව හෙමින් වැඩියි කියල. ඒත් මම මේක ගැන කියන්න ඕන හිතුන. ආයෙත් හිත රිදුනා. ඔව්, කාලෙකට පස්සෙ ආයෙත් හිත රිදුන. මගේ කලින් පෝස්ට් කියවපු අය නම් දන්නව ඇති මම ආදරෙන් දෙතුන් පාරක්ම පරාද වුනා කියල. ඒ හැම දෙයක් ගැනම මම හිත හදාගෙන හිටියෙ. ඒත් ආයෙත් පාරක් මගේ හිත පරාද වුනා. කලින් තරම් දරුණු නැති වුනත් ආයෙත් හිත රිදුන.

අන්තිම වතාවට මම ආදරෙන් පරාද වුනේ කැම්පස් ආවට පස්සෙ. ෆේස්බුක් එකෙන් අමුතුම විදියකට අඳුන ගත්ත ඇය හා මම යාලුකමට වඩා ගොඩක් දුර ගියා. අන්තිමට ඒක කෙලවර වුනේ ආදරයකින්. ඒත් ඒ ආදරයට වැඩි ආයුශ තිබුනෙ නෑ. එයාගෙ ගෙදරින් කැමති නෑ කියල ඒ සම්බන්දෙ නවත්තමු කියල එයා කිව්ව. (ඒක ඇත්ත හේතුව නෙමෙයි කියල නම් මම දන්නව. ඒත් ඇත්ත හේතුව මම තාම දන්නෙ නෑ.) කොච්චර කරුණු කිව්වත් වැඩක් වුනේ නෑ. එයාගෙ හිත වෙනස් වුනේම නෑ. අන්තිමට මනෝ විද්‍යා උපදේශක කෙනෙක් ගාවට ගිහින් තමයි මම අමාරුවෙන් හිත හදා ගත්තෙ. මම ඒක නෙමෙයි කියන්න ගියේ. මම කියන්න යන්නෙ එතන ඉඳල වුන කතාවක්.

ඒ විදියට සම්බන්දෙ නැවැත්තුවත් එයා මට කවදාවත් ඈතට යන්න දුන්නෙම නෑ. මම මැසේජ් කරන එක නැවැත්තුවම එයා ඇහුව ඇයි යාලුවෙක් විදියට එයාට මැසේජ් එකක් වත් එවන්නෙ නැත්තෙ කියල. එයා කිව්ව හැමදාම උදේට එයා මගේ මැසේජ් එක එනකල් බලන් ඉන්නව කියල. අරමුණක් නැතුව වුනත් හැමදාම මම මැසේජ් යැව්ව. ඒ අතරෙ මම ආයෙත් දෙතුන් පාරක් එයාට තේරුම් කරල දෙන්න උත්සහ කලා, ඒත් ආයෙත් කිව්වෙ ඒ කතාවමයි. පස්සෙ මම එයා ගැන තිබුන අදහස සම්පූර්ණයෙන්ම ඇතෑරියා. ආයෙත් කවදාවත් ඕන නෑ කියල හිතුව. පස්සෙ මම එයාටත් තේරුම් කරල දීල මැසේජ් යවන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුව. මම ඊට පස්සෙ ෆේස්බුක් එකෙන් වත් කතා කලේ නෑ. ටික කාලෙකින් එයා ආයෙත් ෆේස්බුක් එකෙන් චැට් කරන්න පටන් ගත්ත. ඒකෙන් වෙන්නෙ අමාරුවෙන් මම අමතක කරපු දේවල් ආයෙත් මතක් වෙන එක වුනත්, මම එයා එක්ක කතා කලා. එයා මගේ හිත රිද්දුවත් මම කවදාවත් කැමති වුනේ නෑ එයාගෙ හිත රිද්දන්න. ඒක නිසා මම කතා කලා. එයා කිව්ව එයා ඔන්ලයින් ඉන්නව දැක්කොත් කතා නොකර යන්න එපා කියල. මාත් සමහර දවස් වලට චැට් කලා. ඒත් මම වැඩිය ඒ වැඩේ කරන්න ගියේ නෑ. එහෙම කතා කරල ආයෙත් ටික දවසක් කතා නොකර ඉඳල මැසේජ් එකක් එවනව "ඔයාට දැන් මාව මතක් වෙන්නෙවත් නෑ නේද? මැසේජ් එකක් ඒකක් එවන්න වත් මාව මතක් වෙන්නෙ නැද්ද?" ඔය වගේ කතා දෙතුන් පාරක්ම කිව්ව. ඔන්න ඔහොම ටික කාලයක් ගත වුනා.

දැන් ටික දවසක ඉඳල එයා හැමදාම චැට් කරන්න ගත්ත. ඒ කිව්වෙ, මම ඔන්ලයින් ඉන්නව දැක්කොත් අනිව කතා කරනව. එයාගෙ විස්තර, ප්‍රශ්න, හැමදෙයක්ම මාත් එක්ක කිව්ව. ඔන්න එතකොට තමයි මම අමාරුවෙන් හදා ගත්ත හිත ආයෙත් වෙනස් වෙන්න ගත්තෙ. ඊට පස්සෙ කවදාවත් මම චැට් එක පටන් ගත්තෙ නෑ, හැබැයි මම බලාගෙන හිටිය එයා චැට් කරාවි කියල. කවදාවත් ඕන නෑ කියල හිතපු කෙනා එක්ක ආයෙත් අමුතු බැඳීමක් ඇති වුනා. මම එතකොටත් එයාව ඕන නෑ කියන තීරණයෙමයි හිටියෙ. ඒත් කියන්න තෙරෙන්නෙ නැති විදියට ආයෙත් මම එයාට ලං වුනා. ඊට පස්සෙ එයා වහෙන් ඔරෝ එක එක කතා කියන්න ගත්ත. එයා මට මොකක් හරි කියන්න උත්සහ කරනව කියල තේරුනා. එයා කිව්ව, "මම ජීවිතේ තීරන ගත්තෙ කිසිම වගකීමක් නැතුව, මට දැන් ඒ දේවල් තේරෙනව. මම දැන් ඒ දේවල් ගැන ගොඩක් දුක් වෙනව. මම දැන් ගොඩක් වෙනස් වෙලා ඉන්නෙ." කියල. පහුගිය දවස් වල ඔය වගේ ගොඩක් දේවල් කිව්ව. තව ඇහුව "ඔයා ඊට පස්සෙ කාත් එක්ක හරි යාලු වුනාද?", "ඔයා ආයෙත් කාටවත් ආදරේ කරන්නෙ නැද්ද?" ඔය වගේ ගොඩක් දේවල්. මම ආයෙත් කවදාවත් එයාට ආදරේ කියල කියන්නෙ නෑ, මට කවදාවත් එයාව ආයෙත් ඕන නෑ කියල දැඩි තීරනයක් අරගෙන තිබුනෙ. ඒ නිසා ඒ කියපු කිසි දේකට මම විශේෂත්වයක් පෙන්නුවෙ නෑ. ඒ හැම දේටම මම බොහොම පරෙස්සමින් උත්තර දුන්න. හැබැයි මම එහෙම දැඩි තීරණයක හිටියට මගේ හිත නම් දවසින් දවස ඒ පැත්තටම ලං වුනා. මට ඒක පාළනය කරන්න හැකියාවක් තිබුනෙ නෑ.

ඔහොම ඉඳල ලඟදි දවසක එයා කිව්ව එයාට මාව මුනගැහෙන්න ඕන කියල. මට විකාර වෙලා ගියා. ඒත් මම වෙනසක් පෙන්නුවෙ නෑ. මම කිව්ව එන්නම් කියල. කොහොමත් මට එයාට බෑ කියන්නත් බෑ, අනිත් එක මටත් එයාව මුණගැහෙන්න ආස හිතුන. මොකද කියන්න නම් දන්නෙ නෑ. ඊට පස්සෙ එයා මගෙන් අහුව "ඔයාට ආයෙත් මගෙත් එක්ක කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?" කියල. මම කිව්ව ඉතින් අපි කොහොමත් හැමදාම කතා කරනවනේ කියල. මට හොඳටම පැහැදිලි වුනා එයා මට මොකක්ද කියන්න හදන්නෙ කියල. හැමදාම වගේ එයාට ඒ වෙලාවෙත් ඕන වුනේ ආයෙත් ඒක මට කියල කියව ගන්න. මම කිව්ව ඔයාට කතා කරන්න ඕන නම් කියන්න, මම එන්නම් කියල. කොහොම හරි ඉරිද එනව කියල වැඩේ ස්ථීර කරගත්ත. මට එයා එක්ක ආයෙත් කතා කරන්න දෙයක් තිබුනෙ නෑ. ඒත් මටත් ආස හිතුන ආයෙත් එයාව මුණගැහෙන්න. මගේ යටි හිතේ ලොකු ආසාවක් ඇතිවුනා ඒ ගැන. මම උත්සහ කලේ ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව, ගිහින් කියන දෙයක් අහගෙන ඉඳල එනව කියල. ඒත් ඉතින් මගේ හිත නම් ගොඩක් දුර ගියා. මට නොතේරුනත් මම එයාව මුණගැහෙන්න ආසාවෙන් බලන් හිටිය. අනේ ඉතින් ඔක්කොම කරල ඔන්න ඊයෙ හවස මැසේජ් එකක් ආව "ඉරිදට එන්න වෙන්නෙ නෑ, සොරි" කියල. කාට කියන්නද ඉතින්. 

බුද්ධියෙන් හිතල බැලුවොත් මට දුක් වෙන්න කිසිම හේතුවක් නෑ. මොකද එයාමයි කිව්වෙ මාව මුණගැහෙන්න ඕන කියල. මට නෙමෙයි නෙ උවමනාව තිබ්බෙ. ඒ හැම දෙයක්ම එහෙම වෙලත් ඇයි ආයෙත් මගේ හිත රිදුනෙ? මම මොකටද දුක් වෙන්නෙ? මට එයාට කියන්න දෙයක් තිබුනෙ නෑ නෙ. ඔය කිසි දෙයක් මගේ හිත තේරුම් ගන්නෙ නෑ නෙ. මගේ හිත දන්නෙ එකම දෙයයි ඒ ආයෙත් එයාව මුණගැහෙන්න ආසාවෙන් හිටිය කියන එක විතරයි. කොහොම හරි මම ආයෙත් පාරක් පරාද වුනා. මගේ හිත ආයෙත් පාරක් රිදුන. මේක කියවන කෙනෙක්ට හිතෙයි මූට පිස්සු කියල කියල. මට ආයෙත් එයාව ඕන නැත්තන් මම මොකටද දුක් වෙන්නෙ කියල හිතේවි. ඒක තමයි මටත් තේරෙන්නෙ නැත්තෙ. මට මම ගැන දුකයි, ඊට වැඩිය මට මාත් එක්ක තරහයි. වැඩකට නැති දේවල් වලට තේරුමක් නැතුව දුක් වෙනව. හැමදාමත් එහෙමයි.

සමහරවිට එයා එන්න බෑ කියන්න ඇත්තෙ ඇත්තටම මොකක් හරි හේතුවක් නිසා වෙන්න ඇති. සමහරවිට ආයෙත් දවසක එන්න කියාවි. මට නම් දැන් විකාරයි. ආයෙත් එන්න කිව්වත් යන්න ඕන නෑ කියල මම හිතාගෙන ඉන්නෙ. ඒත් මගේ හිත නම් එහෙම නෙමෙයි. මේක විකාරයක් වගේ වෙන්න ඇති. කියවපු අය තරහ ගන්න එපා, හිතේ දිකට ලිව්වෙ.   

....................................................................................................................................................................
ප.ලි.  මේක ලියන අතරෙත් එයා චැට් කලා. මුකුත් වුනේ නෑ වගේ කතා කලා. එන්න වෙන්නෙ නෑ කියල කිව්වෙ මොකද කියලවත් කිව්වෙ නෑ. මම ඇහුවෙත් නෑ. ඔයා කතා කරනකල් මම ඔයා එක්ක කතා කරනව. තව දෙයක්, ඔයා හැමදාම එකක් හිතේ තියාගෙන වෙන දෙයක් නෙ කියන්නෙ. ඔයාට ඕන ආයෙත් පාරක් ඒක මට කියලම කියව ගන්න. ඔයාට කැමති තරම් මගේ හිත රිද්දන්න. ඒත් මම කවදාවත් ඔයාගෙ හිත රිද්දන්නෙ නෑ. හැබැයි මම කවදාවත් ආයෙත් ඔයාට ආදරෙයි කියල කියාවි කියල නම් බලාපොරොත්තු වෙන්න එපා.

Tuesday, June 21, 2011

දෑස පියාගෙන කිමද (III කොටස)

කතාවෙ ඉතුරු ටික එක පාරට දාන්න හිටියෙ. ඒත් එතකොට දිග වැඩියි වගේ. ඒක නිසා තව කොටස් දෙකකට දානව.
....................................................................................................................................................................

දරුවන් දෙදෙනා වාහනය වෙත ඇරලවා, ඔවුන් පිටත් වනතෙක් බලා සිටියෙමි. බිරිඳගෙ මව නිවසේ නවත්වා ගැනීමට හැකි වීම මට විශාල සහනයක් විය. එසේ නොවුනා නම් දරුවන් දෙදෙනා බලා ගැනීම මට විශාල ගැටලුවක් වනු ඇත. තත්ත්වය අවබෝධ කරගෙන ආච්චීට කරදර නොකර සිටීමටත්, මල්ලී ගැන බලාගැනීමටත් තරම් දැනුවත් කමක් ලොකු දුවට තිබීමද මේ මොහොතේ හැටියට ලොකු භාග්‍යයකි. පිටත්ව යාමට පෙර, පොඩි පුතු වාහනයට නගින තෙක් හිඳ ඇය මා හා කතා කල දෑ මට යලිත් සිහිවිය.

"තාත්තේ, අම්මට දැන්ම සිහිය එන එකක් නැද්ද?"

"කියන්න බෑ දුවේ. ඩොක්ටර්ස්ලත් ඒක කියන්න දන්නෙ නෑ."

"අම්මට ඉක්මනට සනීප වේවි නේද තාත්තෙ?"

"ඔව් පැටියෝ, අම්මට ඉක්මනට සනීප වේවි. බය වෙන්න එපා."

"අම්මයි තාත්තයි නැතුව හරි පාලුයි. මල්ලිත් ගොඩක් දුකෙන් ඉන්නෙ."

"මම අම්මව ඉක්මනට සනීප කරගෙන එන්නම් පැටියො. ඔයා එතකල් මල්ලිව හොඳට බලා ගන්න ඕන හොඳද."

"හරි තාත්තෙ, තාත්ත ඒ ගැන බය වෙන්න එපා. තාත්ත අම්මව බලාගන්න, මම මල්ලියව බලාගන්නම්."

"මගේ හොඳ දුව."

ඔවැනි බැරෑරුම් කතා ඇගේ මුවින් නිතර පිටවන්නීය. මගේ බිරිඳ විහිලුවට ඇයට කියන්නෙ 'පැහිච්ච ආච්චී' කියාය.

.................................................................................................................................................................

කාලය පිලිඹඳ කිසිදු හැඟීමක් මට නැත්තා සේය. දින ගනන් ගෙවී ගියත් ඒ පිලිඹඳ මට කිසිදු අවබෝධයක් නොතිබිනි. වෙනදාට විනාඩි 30ක් එක ලෙස පුටුවක වාඩි වී සිටිය නොහැකි මම, පැය ගනන් වාඩි වී ඇය දෙස බලා සිටියෙමි. ඇගේ යහලුවන්, මගේ යහලුවන්, නෑදෑයින්, කාර්යාල මිතුරන් පැමිණ ඈ දෙස බලාසිට මා සැනසීමට උත්සාහ කර යන්නෝය. එහෙත් ඒ ගැන මගේ අවදානය යොමු නොවේ. මා බලාසිටින්නේ ඇය ඇඟිල්ලක් සොලවන්නේ, ඇසිපිය ගසන්නේ කොයි මොහොතකද කියාය. එහෙත් දවසින් දවස මගේ බලාපොරොත්තු බිඳ වැටුනා මිස, ඇය සෙලවුනේවත් නැත.


වෛද්‍යවරියද ඉන් පසු මා සමග බිරිඳ ගැන කතා කලේ නැත. බිම බලාගෙන කාමරයට එන ඇය ඉක්මනින් බිරිඳව පරික්ශා කර ඉක්මනින්ම පිට වෙයි. මටද ඇයගෙන් ඇසීමට තවත් කිසිත් නැත. කීමට ඇති හැමදේම ඇය එදා පැවසීය. එහෙත් දිනක් ඇය කාමරයට පැමිණි විට මම ඇය සමග කතා කලෙමි.

"තාමත් වෙනසක් නැද්ද ඩොක්ටර්?"

දීර්ඝ හුස්මක් හෙලූ ඇය කතාව ආරම්භ කලාය.

"නෑ මිස්ටර් ගුණවර්ධන, තාමත් කිසිම ප්‍රෝග්‍රස් එකක් නෑ. But you know, risk is getting higher."

ඇය කිසි විටෙකත් හිත හැදෙන්නට වචනයක් නොකියන්නේ මන්දැයි මට සිතිනි. මට පිළිගන්නට අමාරු වුවද ඇය කියන්නේ ඇත්ත වන්නට ඇත. එහෙත් ඒ ඇත්තට මා කෙසේ නම් මුහුණ දෙන්නද. වෛද්‍යවරිය පිට වූ පසු මම ඇගේ හිස අසලින් ඇඳේ වාඩි වුනෙමි. වෙනදා මා සමීපයේ සිටින විට තොරතෝන්චියක් නැතුව කියවන ඇය, අද කිසිත් නොකියා දෑසත් පියාගෙන සිටින්නීය. ඒ හඬ යලි කිසි දිනක මට අසන්නට නොහැකි වේදැයි සැකයක් දැන් දැන් මගේ සිත තුළ ඇති වන්නේය. මම ඇගේ හිස අතගාන්නට වුනෙමි.

"ඇයි වස්තුවේ ඔයා මෙහෙම කරන්නෙ? ඇයි මට මෙච්චර ගින්දරක් දෙන්නෙ? ඔයාට දුක නැද්ද මං ගැන? ඔයා දන්නවනෙ මට ඔයා නැතුව තත්පරයක් වත් ඉන්න බෑ කියල. මාත් එක්ක කතා කරන්නකෝ. අඩුගාගෙ ඇස් ඇරල මගේ දිහා බලන්න. ඔයා පොරොන්දු වුනා නේද කවදාවත් මාව දාල යන්නෙ නෑ කියල, හැමදාම ලඟින් ඉඳන් බලාගන්නව කියල. ඇයි දැන් එහෙනම් මෙහෙම කරන්නෙ? ඔයාට ඒව මතක නැද්ද? අඩුගානෙ මම කෑවද බිව්වද කියලවත් ඔයා බලන්නෙ නෑ නෙ. ඔයා නැතුව කවුද මාව බලාගන්නෙ?"

මගේ දෑසින් වැටුනු කඳුලු ඇගේ පපුව තෙමන්නට විය. ඒ කදුලු වල උණුසුම ඇයට නොදැනීම අරුමයකි.

"ඔයා දන්නවනෙ මම කවදාවත් දේවාල ගානෙ ගිහින් මොනවත් ඉල්ලල නෑ කියල. ඒත් මම මේ පාර දෙයියන්ගෙනුත් ඔයාගෙ ජීවිතෙ ඉල්ලුව. යන්න පුලුවන් හැමතැනටම ගිහින් ඔයාගෙ ජීවිතේ ඉල්ලුව. මම විතරක් නෙමෙයි හැමෝම ඔයාට බෝධි පූජා තිබ්බ, සෙත් කවි කිව්ව. මායි අක්කයි දළදා මාලිගාවටත් ගියා, ශ්‍රී මහ බෝධියටත් ගියා. ඒත් ඉතින්... ඒ කිසි දේක වැඩක් නෑ නෙ. ඩොක්ටර් කියනව ඔයාගෙ ජීවිතේ ගැන විශ්වාසයක් තියා ගන්න බැරිලු. ඒ බොරු නේද වස්තුවේ? එහෙම වෙන්නෙ කොහොමද. මට කියන්න ඔයා මාව දාල යන්නෙ නෑ නේද? කතා කරන්නකො."

මා නොදැනුවත්වම මා ඇගේ අතින් අල්ලා සොලවන්නට විය. 

"ඔයා හරි බොරුකාරයෙක් නෝනෙ, ඔයා පොරොන්දු වුනා නේද මේ ආත්මෙ විතරක් නෙමෙයි හැම ආත්මෙකම මාත් එක්ක ඉන්නව කියල. ඒ වුනාට දැන්.... ඔව්, ඔයා කිව්වෙ බොරු, ඔයා මට ආදරේ නෑ. ඒකනෙ ඔයා මට මෙහෙම කරන්නෙ. හැබැයි එක දෙයක්, ඔයා මට ආදරේ නැති වුනාට කමක් නෑ. ඒත් ඔයාට ඔයාගෙ පොරොන්දුව කඩන්න බෑ. මතකයි නෙ ඔයා මට පොරොන්දු වුනා කවදාවත් ඔයා මට කලින් මැරෙන්නෙ නෑ කියල. ඒක අමතක කරන්න එපා හොඳද. ඒක හොඳට මතක තියා ගන්න."

කෙතරම් දුක් ගැනවිලි කිව්වත්, බැන්නත්, තර්ජනය කලත්, ඒ කිසිවකින් පලක් නැත. මම පුටුව අසලට ගෙන වාඩි වී ඇගේ අත උඩින් හිස තබාගත්තෙමි.

"අද මොකද රෑ වුනේ?"

වාහනය ඉස්තෝප්පුවේ නවත්වනවාත් සමගම දොර අසල සිටි ඇය ඒ දෙසට දිව ආවාය.

"මම ගොඩක් වේලා තිස්සෙ බලන් ඉන්නෙ." ඔෆිස් බෑගය අතට ගන්නා ගමන් ඇය පැවසුවේ නෝක්කාඩුවට මෙනි.

"හෙට ටෙන්ඩර් එකක් සබ්මිට් කරන්න තියනව. රෑ වෙනකල් ඒකෙ වැඩ කරල, මිටින් එකටත් ඉඳල ආවෙ."

"හ්ම්ම් අද එහෙනම් මහන්සි ඇති නේද?"

"ඔව්, අද නම් හරි මහන්සියි. කෑම එකවත් කන්න වුනේ නෑ. දවසම බිස්කට් කකා හිටියෙ."

"අනේ එච්චර මොනවද තිබුන වැඩ කෑම එක කන්න බැරි වෙන තරම්?"

"අලුතෙන් ආපු ලමයෙකුට ටෙන්ඩර් එක බාර දීල තිබුනෙ. එයා වැඩෙ අනල. ඒක හෙට උදේම දෙන්නත් ඕන. ඒ පාර ඩිරෙක්ටර්ගෙ ඉඳල පියන්ට යනකල් හැමෝම බැහැල තමයි වැඩේ ගොඩ දාගත්තෙ."

"හ්ම්ම් ඒකද අද කෝල් එකක් වත් දුන්නෙ නැත්තෙ?"

"අනේ ඔව් වස්තුවේ. ඔලුව උස්සන්නවත් වුනේ නෑ අද."

"මම ඒත් බැලුව මොකද අද කෝල් එකක් වත් දුන්නෙ නැත්තෙ කියල. මම දවසෙම බලාගෙන හිටියෙ. මම ගන්නත් හදල, පස්සෙ මට හිතුන අද බිසි ඇති කියල. ගෙදර එනකල් හිටියෙ අල්ලගන්න."

"ඔන්න එහෙනම් දැන් අල්ලගන්න."

"තේකක් බීල ඉන්නවද? නැත්තන් වොශ් එකක් දාගෙන ඇවිත් ඔහොමම කනවද?"

මට පිලිතුරු දීමට ඉඩක් නොලැබිනි.

"නෑ නෑ තේකක් බීල ඉමු. ඉන්න මම හදන් එන්නම්."

ඇය සෝෆාවෙන් නැගිට යන්නට සැරසුනාය. මම ඇයව අල්ලා නවත්වා ගත්තෙමි.

"මට මුකුත් එපා, මට ඔයත් එක්ක ටිකක් ඉන්න ඕන."

"ඉතින් ඉන්න පැටියො, මම ටක් ගාල තේ දෙකක් හදන් එන්නම්. ඊට පස්සෙ කතා කරමු."

"බෑ බෑ, තේ ඕන නෑ ඔයා වාඩි වෙන්නකෝ."

"මොකද මේ අද හුරතලේ?" ඇය වාඩි වෙන ගමන් ඇසුවාය.

"අද දවසටම ඉතින් අපි දෙන්නට හුරතල් වෙන්න බැරි වුනානෙ."

"ආහ් ඒකද මේ."

"හ්ම්ම්" මම ඇයගේ උකුල මත හිස තබාගත්තෙමි.

"කෝ පොඩි දෙන්න?"

"චුට්ට බඩ පිරෙන්නම කිරි බීල දැන් නිදි. ලොකු කෙල්ල ඉස්කෝලෙ වැඩ කරනව."

"ආහ් ඒක හොඳයි. නැත්තන් අපි දෙන්න මෙහෙම ඉන්නව දැක්කොත් කෙල්ල විහිලු කරනව නාකි විසේ කියල."

"අපෝ ඔව්, එදා මතකනෙ අක්කලගෙ ගෙදර පාර්ටිය වෙලාවෙ සේරම ඉස්සරහ කියපු කතාව."

"අයියෝ."

"මට පොලව පලාගෙන යන්න හිතුන ලැජ්ජාවට."

මම තවත් ඇයට ලං වුනෙමි. මහන්සි වී සිටි නිසාත්, ඇය මගේ ඔලුව අතගාමින් සිටි නිසාත් මට එහෙමම නින්ද යන්නට ඇත.


Sunday, June 12, 2011

දෑස පියාගෙන කිමද (II කොටස)

අම්මෝ ගොඩක් කාලෙකින් ලියන්නෙ. ලියන්න තරම් මූඩ් එකක් තිබුණෙ නෑ, මහ කම්මැලි කමෙන් හිටියෙ. කොහොම හරි මේකෙ පළවෙනි කොටස කියවපු අයට දැන් කතාව මතකත් නැතුව ඇති. කතාව මතක නැත්තන් හරි අලුතෙන් කියවන කෙනෙක්ට හරි මෙන්න පළවෙනි කොටසට පාර.
....................................................................................................................................................................

හෙදියගේ පිටුපසින් මම වෛද්‍යවරියගේ කාමරය වෙත පියමැන්නේ තරමක හිතේ බියකිනි.

"Excuse me doctor, may I come in?"

"Ah please come in."

ඇය සිටියේ බිත්තියේ එල්ලා තිබූ කිසිවෙකුගේ හිසක MRI ඡායාරූපයක් පිරික්සමිනි. එය මාගේ බිරිඳගේ විය යුතු යයි මම අනුමාන කළෙමි.

"වාඩිවෙන්න මිස්ටර්"

ඇයට ස්තූති නොකරම මම වාඩි වුනෙමි.

"දැන් කොහොමද ඩොක්ටර් මගේ wife ට?"

ඒ ප්‍රශ්නයට උත්තර දීමට ඇය දැඩි උත්සාහයක් ගන්නා අයුරුත්, එහෙත් කිසිත් කියාගැනීමට නොහැකිව අසරණ වන අයුරුත් මම බලාසිටියෙමි. මද නිහැඬියාවකින් අනතුරුව ඇය හඬ අවදි කලාය. 

"ඔය දෙන්න marry කරල කොච්චර කල් වෙනවද?"

ඇය එකවරම ඇසූ ප්‍රශ්නයෙන් මම පුදුමයට පත් වුනෙමි.

"අවුරුදු එකොලහක් වෙනව ඩොක්ටර්."

"හ්ම්ම්. අද පොඩි දෙන්න ආවෙ නැද්ද? "

ඇයද කතා කරන්නේ මගේ මූන දිහා බලාගෙන නොව වෙනතක් බලාගෙනය.

"දැන් මග එනව ඇති ඩොක්ටර්. මම කිව්ව ඩ්‍රයිවර්ට එක්කගෙන එන්න කියල."

දීර්ඝ හුස්මක් ඉහලට ගත් ඇය කතාව ආරම්භ කළාය.

"මේකයි මිස්ටර්, මම කියන දේ හොඳින් තේරුම් ගන්න. ඔයාට මේ කියන දේ අහන් ඉන්න අමාරු වේවි. But I should tell you the truth."

මගේ මුහුණ අඳුරු වන දුටු ඇය කියන්නට ගිය දේ කීමට පසුබට විය. එහෙත් නැවතත් ඇය දැඩි උත්සාහයකින් කතාව ආරම්භ කළාය.

"ඔයාගේ වයිෆ්ට බොහොම රෙයා ඩිසීස් එකක් හැදිල තියෙන්නෙ. මම මගේ ජීවිතේට මෙහෙම පේෂන්ට් කෙනෙක් දැකපු පලවෙනි වතාව. ඒක මොලේ ආශ්‍රිත රෝගයක්. එයාගෙ මොලේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා තියෙන්නෙ. ඒකයි එයාට සිහිය නැත්තෙ."

මාත් සමග මල් වලට වතුර දදා සිටි ඇය මගේ දෑස් ඉදිරිපිටම එක්වරම කපාහෙලූ ගහක් මෙන් ඇදගෙන වැටුනු ආකාරය යලිත් මගේ මතකයට ආවේය. මා ඇය අසලට දිව යන විටත් ඇයට සිහිය තිබුණු අතර ඇය සිහිය නැතිවීමට පෙර පැවසූ දෙය මගේ සවන් තුල තාමත් දොංකාර දෙයි. "ඔයා මගේ ලඟ ඉන්නව නේද පැටිය? මට එතකොට බය නෑ."

"එයාගෙ මොලේ ක්‍රියාකාරීත්වය ආයෙත් හරියට පටන් ගත්තොත් තමයි එයාට සිහිය එන්නෙ. It means, එයාට සිහිය නෑ කියන්නෙ තාමත් එයාගෙ මොලේ හරියට වැඩ කරන්නෙ නෑ කියන එක. දැන් සති තුනක් වෙනවනෙ ඔය විදියට, ඒක එච්චර හොඳ නෑ මිස්ටර්. මම කියන්න හදන්නෙ මේකයි, ඉක්මනටම එයාට සිහිය ආවෙ නැත්තන් අපිට එයාගෙ ජීවිතේ ගැන බලාපොරොත්තුවක් තියා ගන්න බෑ."


ඇය වේගයෙන් කියා අවසන් කළ වදන් පෙල මගේ දෙසවන් තුලට ඇතුලු වූයේ මහා ගිගිරුමක් ලෙසය. පියවි සිහිය එලවා ගත නොහැකිව මා බොහෝ වේලාවක් ඇය දෙස බලාසිටියා විය යුතුය. සර්වාංගයම හිරි වැටී ඇඟ පණ නැති වනවා පමණක් මට මතකය.

මා නැවත සිහිය ලද්දේ මුහුණ මත වැටුනු වතුර බිංදු කීපයක සීතලටය.

"He is conscious."

අමාරුවෙන් ඇස් ඇරගත් මා දුටුවේ දණ ගසා ගෙන මා දෙස බලාසිටින වෛද්‍යවරිය හා හෙදියයි. මම බිම වැතිරී සිටියෙමි. ක්ෂණයකින් වෛද්‍යවරිය කියූ දේ නැවතත් මට සිහිපත් වුණි. ඒ වචන විශ්වාස කිරීමට කෙලෙසවත් සිත ඉඩ නොදෙන්නේය. මගේ බිරිඳ නොමැතිව මා මොහොතක්වත් ජීවත් වන්නේ කෙසේද? මේ භවයේ පමණක් නොව, මතු උපදින හැම භවයකම එකට ජීවත් වන්නට පොරොන්දු වූ ඇයගෙ ජීවිතය පිළිඹඳ විශ්වාසයක් තැබිය නොහැකි යයි වෛද්‍යවරිය කියන්නේ කෙසේද? මා ජීවත් වන්නේද ඇගේ හද ගැස්මෙන් බව වෛද්‍යවරිය නොදන්නවා විය යුතුය.

මම බිම වාඩි වුනෙමි.

"ඩොක්ටර්..."

මට කතා කිරීමට වචන නොමැත. ඇඬීමට කඳුල එන්නේද නැත. සියල්ල අහිමි වූවා සේ මහ මූසල හිස් බවක් පමණක් දැණුනි.

"නෑ ඩොක්ටර් ඒක වෙන්න බෑ. ඔයාල ඔයිට වඩා උත්සහ කරන්න. මම දන්නව එයාගෙ ජීවිතේ බේර ගන්න පුලුවන්."

"Please try to understand mister. We have done our best. Nothing more to do."

"How is that possible, there should be a way."

මම ආවේශයෙන් මෙන් වෛද්‍යවරිය වෙත කඩා පැන ඇගේ දෙවුරෙන් අල්ලා වැරෙන් සොලවන්නට විය. 

"I want my wife back. Do you understand? I want her back."

"Mister please, කලබල වෙන්න එපා." හෙදිය මගේ අතින් අල්ලා මා සන්සුන් කරන්නට උත්සාහ ගත්තාය.

මම බොහොම අමාරුවෙන් මාව පාළනය කරගතිමි. දීර්ඝ හුස්මක් හෙලූ මම කිසිත් කියාගත නොහැකිව බලාසිටියෙමි. දිලිසෙමින් තිබූ වෛද්‍යවරියගේ ඇස් වලින් කඳුලු බිඳු කීපයක් කඩා හැලෙනු මම දුටුවෙමි. ඇයට තවත් කීමට දෙයක් නොතිබූ නිසා මම යන්නට හැරුනෙමි.

"මට විශ්වාසයි ඩොක්ටර්, එයාට මොනවත් වෙන්නෙ නෑ.  She has no choice, she has to stay for me."

"I like your confidence. But I just told you the situation as it is."

"Thank you doctor."

මා කාමරයට යන විට මා තාවකාලිකව සේවයට ගත් රියදුරු තරුණයා කාමරයෙන් පිටත තිබූ පුටුවේ වාඩි වී සිටියේය. මා දුටු විගස ඔහු අසුනෙන් නැගිට මද සිනාවක් පෑවේය.

"මම සර්ට කෝල් එකක් ගත්ත වැඩ කලේ නෑ නෙ."

"ආ එහෙමද"

ඔහු ඉදිරියේ නොහඬා සිටීමට මම දැඩි උත්සාහයක් ගත්තෙමි. දුරකතනය අතට ගත් මා දුටුවේ එය ක්‍රියාවිරහිත වී ඇති බවයි.

"බැටරි බැහැල ඕෆ් වෙලා. චාමර ඇවිත් ගොඩක් වෙලාද?"

"නෑ සර්, විනාඩි පහක් විතර ඇති."

"හ්ම්ම්"

ඔහුට මගේ කටහඬේ තිබූ අප්‍රාණික බව හා වේදනාව දැනෙන්නට ඇත.

"බබාල දෙන්න ඇතුලෙ සර්."

"ඒ දෙන්නට කෑම ගෙනාව නේද?"

"ඔව් සර්, මම සර්ටත් කෑම එකක් ගෙනාව."

අප දෙදෙනා අතරේ ඇය රෝගී වූ මුල් දිනවල ඇතිවූ කතාබහක් මට සිහිපත් විය.

"සර් මම කෑම එකක් ගෙනාව මේක කාල ඉන්න."

"මට මොන කෑමද බං"

"එහෙම කියන්න එපා සර්. නොකා නොබී ඉඳල සර් ලෙඩ වුනොත් බබාල දෙන්නට මොකද වෙන්නෙ?
දැන් නෝනවයි බබාල දෙන්නවයි ඔක්කොම බලාගන්න ඕන සර්. ඒකට සර් කෙලින් ඉන්න ඕන."

"මම කොහොමද බං කන්නෙ මෙයා මෙහෙම ඉන්නකොට."

"මට තේරෙනව සර්, සර් ඉන්න තත්ත්වෙ. ඒත් සර් මේ වෙලාවෙ නෝනයි බබාල දෙන්නයි වෙනුවෙන් ජීවත් වෙන්න ඕන. ඒගොල්ලො ගැන හිතලවත් කන්න සර්."

"හ්ම්ම් ඒක හරි."

චාමර මම සේවය කරන ආයතනයට අනුබද්ධව කලක් රියදුරෙක් ලෙස සේවය කළේය. ඔහු ඉතා මිත්‍රශීලී හා විශ්වාසවන්ත තරුණයෙකි.

"චාමර කාලද?"

"ගෙදර ගිහින්ම කනව සර්."

"ගෙදර යන්න පරක්කු වෙනවනෙ, මේ දෙන්නට කවන්නත් ඕන නෙ. කැන්ටිමෙන් මොනවහරි කන්න."

මම මුදල් නෝට්ටු කීපයක් චාමර අත තැබුවෙමි."

"ඕන නෑ සර්. මම ගිහින් කන්නම්."

"මේක ගනින් බං."

චාමරව පිටත් කර, බොහොම ආයාසයෙන් සිනාවක් ආරූඪ කරගෙන මම කාමරයට ඇතුල් වුනෙමි. ලොකු දුව සහ පුංචි පුතු අම්මාගෙ දෙපසට වී ඇය දෙස බලාසිටිති. කාමරයට ඇතුලු වූ මා දෙස ඔවුන් බලාසිටියේ ප්‍රශ්නාර්ථයක් සහිත දෙනෙත් වලිනි. ඒ ප්‍රශ්නයට පිළිතුරු මා කෙසේ නම් දෙන්නද? මම පොඩි පුතු ලඟට කරගෙන ඔහුගේ හිස අතගෑවෙමි.

"තාත්ති, අම්මි මොකද තාම ඇස් අරින්නෙ නැත්තෙ? අම්මි ලෙඩ වෙලාද? අම්මිට අමාරුද?"

 පුංචි පුතුගේ ප්‍රශ්න වලින් මා තව තවත් අසරණ විය.

"අම්මිට මුකුත් වෙලා නෑ පුතා. අම්මිට මහන්සියි, එක නිසා අම්මි නිදාගෙන ඉන්නෙ."

"ඉතින් මෙච්චර දවස් නිදා ගන්නවද?"

"අම්මිට ගොඩාක් මහන්සියි පුතේ. අම්මි ඔෆිස් ගිහින්, ගෙදර වැඩත් කරල, අපිට කෑමත් හදල, පුතාලගෙ වැඩත් කරල, තාත්තිගෙ වැඩත් කරල, ඔක්කොම කරල දැන් අම්මිට ගොඩාක් මහන්සියි."

අවුරුදු 5ක් වූ පුංචි පුතුට ඒ පිළිතුර ප්‍රමාණවත් විය. අවුරුදු 9ක් වූ, වසයට වඩා මුහුකුරා ගිය දැනුමක් ඇති ලොකු දුව කිසිත් නොකියා අම්මා දෙසම බලාසිටියාය. අම්මාගෙ තත්ත්වය ගැන ඇයට වැටහීමක් ඇත්තා සේය.

"තාත්ති, මම එහෙනම් ආයෙත් කවදාවත් අම්මිට කරදර කරන්නෙ නෑ."

මම පුංචි පුතු පපුවට තද කරගත්තේ දරාගත නොහැකි වේදනාවකිනි.
 
"ඔව් පුතේ, මීට පස්සෙ අපි කවුරුත් අම්මිට කරදර නොකර ඉමු."

මෙතෙක් වේලා හඬන්නට ඇස් වල නොතිබූ කඳුලු වැල නොකැඩී දෙනෙත් අගින් බේරෙන්නට විය. එය හැඬීමක් බවට පත්වන්නට ගත වූයේ මොහොතකි. මෙතෙක් වේලා නිහඬව බලා සිටි ලොකු දුවටද තව දුරටත් ඇගේ කඳුලු අවනත නොවීය.

"තාත්ති ඇයි ඉතින් අඬන්නෙ? අම්මි නිදාගෙන ඉන්නකොට තාත්තිට දුකද?"

"ඉතින් මල්ලියෝ, අම්මි නිදාගෙන ඉන්නකොට තාත්තිට පාලුයි නෙ. ඒකයි තාත්ති අඬන්නෙ."

ලොකු දුව මා බේරාගැනීමට ඉදිරිපත් වූවාය. ඇය පැමිණ පුංචි පුතුගේ හිස අතගාන්නට විය.

"අයියෝ තාත්ති, ඕකට අඬන්න ඕනද? අපි අම්මි ඇහැරුනාම ඇති වෙනකල් කතා කර කර ඉමු."

මට කල හැකිව තිබූ එකම දෙය එයට හිස සැලීම පමණි. 

"තාත්තේ මට නම් බඩගිනියි. අපි කමුද?" ලොකු දුව එසේ ඇසුවේ බඩගින්නටම නොව, මාතෘකාව වෙනස් කිරීමට බව මට සිතුනි.

"ආහ් ඔව්, දැන් හවස් වෙලත් එක්ක. අපි කාල ඉමු."

Thursday, May 26, 2011

දෑස පියාගෙන කිමද (I කොටස)

"කෝ ඉතින් කට අරින්නකෝ."

"අනේ ඇති අනේ."

"නෑ නෑ, මේ ටිකත් කන්න ඕන."

"අයියෝ දැන් බඩ පිරිල ළමයෝ."

"මේ චුට්ටත් කන්නකො පැටියො."

"අයියො කාට කියන්නද ඉතින්?"

"එහෙම තමයි මම කවනකොට, ඔක්කොම කන්න ඕන."

"අපරාදෙ කවන්න කිව්වෙ. තනියම කෑව නම් ඉවරයි."

ඇයගෙ මූන වෙනස් වූයේ මා බලා සිටියදීමය.  මෙතෙක් වේලා ඇයගෙ මුව සැරසූ සිනහව කොහෙන් ගියාද නැත. හොඳින් අනා තිබූ බත් කට පිඟාන දෙස බලාගෙනම ඈ නැවතත් අනන්නට විය. මම කිව්වේ මෝඩ කතාවක් බව තේරුම් ගැනීමට එක මොහොතක් ප්‍රමානවත් විය.

"ඔන්න ඉතින්, කෝ මේ බලන්න."

මම ඇගේ මුහුණ මගේ දෙසට හරවා ගත්තද ඇය මා වෙතින් දෑස් ඉවතට ගත්තාය. 

"තරහ ගියාද?"

"නෑ, දුක හිතුන."

"ඉතින් අනේ විහිලුවක්නෙ කලේ."

"විහිලු තමයි, උයල ඔක්කොම කරල, අනල කවල තව එක එක කතාත් අහන්න ඕන."

"අනේ කවුද සුදූ එක එක කතා කිව්වෙ?"

මම ඇයට ලංවී ඇයව තුරුලු කරගත්තෙමි.

"අනේ යන්න ඔයාගෙ බොරු ආදරේ."

ඇය එසේ කීවද ඇයද මට තවත් තුරුලු වී සිටියා මිස මගෙන් මිදීමට උත්සහ නොගත්තාය.

"හරි එහෙනම් ඔය ටිකත් කවන්නකෝ."

"නෑ මේ කටවල් දෙක විතරක් කන්නකො. ඒ ඇති."



ඒ බත් කටවල් දෙකත් කවා ඈ යන්නට සැරසුනාය. මම ඇගේ අතින් අල්ලා ඇගේ ගමන වැලැක්වුවෙමි.

"තරහ නෑ නේද?"

"නෑ." ඇය කීවෙ නැවතත් බොරු නෝක්කාඩුවක් ආරෝපණය කරගෙනය.

"එහෙනම් පොඩ්ඩක් හිනා වෙන්න."

"හ්ම්ම්."

ඇය යාන්තන් දසන් පෙන්නුවා පමණි.

"අනේ එහෙම බෑ. හොඳට හිනා වෙන්න ඕන. නැත්තන් ඉතින් කාපු ඔක්කොගෙන්ම වැඩක් නැති වෙනව."

"හ්ම්ම්."

එවර ඇය ආදරබර සෙනෙහෙබර සිනහවකින් මට සංග්‍රහ කලාය.

"දැන් හරිනෙ?"

"හ්ම්ම් දැන් හරි."

"මල කෝලං" මා වෙත දඟකාර බැල්මක් හෙලූ ඇය පිඟානත් රැගෙන ගෙතුලට ගියාය.

එකවරම මගේ දැහැන බිඳුනේ කාමරයට ඇතුලු වූ හෙදියගේ අඩි ශබ්ධයෙනි. මා වෙත අනුකම්පා සහගත බැල්මක් හෙලූ ඇය කෙලින්ම ගියේ හෘද ස්පන්දනය හා රුධිර පීඩනය සටහන්ව තිබූ පරිගණකය වෙතයි. ඇය එම තිරයෙහි වූ යම් යම් දේ සටහන් කරගත්තාය. සේලයින් බෝතලයට යම් ඖෂධයක් එක් කල ඇය ඉක්මනින්ම යන්නට හැරුනාය.

"නර්ස්"

"ඇයි මිස්ටර්?"

ඇය පිළිතුරු දුන්නේ මගේ මුහුණවත් නොබලා ඇගේ අතෙහි වූ බෙහෙත් තැටිය සකසමිනි.

"මෙයාට දැන් කොහොමද?"

"එයාගෙ පල්ස් නෝර්මල්, බ්ලඩ් ප්‍රෙශර් එක නෝර්මල්, ඒත් අපිට තවම...

ඇය කියන්න ගිය දෙය නොකියා ඉතුරු ටික ගිල ගත්තේ මගේ මුහුණ බලගෙන ඉතිරිය කියන්න බැරි නිසා විය යුතුය. මා බලාපොරොත්තු වන පිලිතුර එය නොවන බව ඇය දනී. නැවත මා කිසිවක් අසන්නට කලින් ඇය වහාම කාමරයෙන් පිට වූවාය.

ඇය නිශ්චලය. මා කුමක් කීවත්, කුමක් කලත් ඇයට ගානක් වත් නැත. දැන් සති තුනක් තිස්සේ ඇය දෑස පියාගත් වනමය. මා අසල දැවටී සිටීමට දැඩි ලෙස ඇලුම් කරන ඇය, මා සති තුනක් තිස්සේ ඇය අසලටම වී සිටියද ගානකට වත් ගත්තේ නැත. මට වෙනදා බලහත්කාරයෙන් බත් කවන ඇය, මා කෑවාද කියා බලන්නවත් හිස ඔසවන්නේ නැත. අඩුම තරමේ මා මෙතරම් ඇය ගාවට වී අඬන්නේ ඇයිද කියාවත් ඇය අසන්නේ නැත.

ආදරයෙන් කීප විටක් පරාද වූ පසු විවාහ යෝජනාවකින් විවාහ වීමට මා හිත හදා ගත්තේ වෙන කරන්නට දෙයක් නැතැයි මට සිතුනු නිසාය. විවාහ යෝජනාවකින් වන විවාහයක් තුල මා බලාපොරොත්තු වන ප්‍රමාණයේ ආදරයක්, සමීප බවක් බලාපොරොත්තු විය නොහැකිය යන මතය තදින්ම මගේ සිත තුල විය. මා විවාහ දිවියට එලඹියේ එම තත්තවයට හිත හදාගෙනය. නමුත් මා එල්බ ගෙන සිටි එම නිගමනය කොතරම් වැරදි දැයි මා විවාහ වූ දින සිට අවුරුදු දහයයි මාස තුනයි දින එකොලහක් යනතුරු, එනම් අද දින වන තුරුම මොහොතක් පසාම මට පසක් විය. මා ලැබිය නොහැකි වේ යයි සිතූ ආදරය මහා වර්ශාවක් මෙන් මා වෙත ඇදහැලෙන්නට විය. මා බලාපොරොත්තු වූ ආදරයට වඩා කෙතරම් ආදරයක් මා ඇය කෙරෙන් ලැබුවේද යත් මා ඊට පෙර ආදරයේ නාමයෙන් විඳි කටුක අත්දැකීම් කිසි දිනක යලි මතකයට නොආවේය. ආදරය කුමක් දැයි මා දැන සිටි තරමට වඩා, එය සැබවින්ම කොතරම් විශාල දැයි මට කියා දුන්නේ ඇයයි. ළාමක බව, බොළඳ බව, ගැඹුරු බව, පරිණත බව; මේ හැම එකක්ම ඇගේ ආදරය තුල විය. ඇගේ ආදරය හමුවේ මා පොඩි දරුවකු බවට පත් වීම මට කිසිසේත්ම වැලැක්විය හැක්කක් නොවූ අතර එය වැලැක්වීමට මට උවමනාවක්ද නොවීය. මට මොහොතක් වත් ඇය නොමැතිව සිටීමට නොහැකි තත්ත්වයකට පත් වන්නේ මෙවැනි පසුබිමක් තුළය. ඇය විදේශ ගතවී සිටි සති දෙකක කාලය මගේ ජීවිතයේ දීර්ඝම හා අමිහිරිම සති වූයේ ඒ නිසාය. කාර්යාළයේදී දිනකට හතර වතාවක් පමණ ඇයට ඇමතුම් ලබා ගන්නේත්, කෙටි පණිවිඩ පහළොවක් පමණ හුවමාරු වන්නේත්, රාජකාරි වැඩ ගෙදර රැගෙන විත් කරන දින වලදී මාගේ ලැප්ටොප් පරිගණකය රැගෙන ගොස් කුස්සියේ තබාගෙන වැඩ කරන්නේත් ඒ නිසාය.

"මොකද ළමයො ඔයා කරන්නෙ?"

"ඇයි?"

"මගේ දිහා බලාගෙන ඉන්නෙ?"

'ඇයි ඉතින් ඒක හොඳ නැද්ද?"

"හොඳ නැත්තෙ නම් නෑ. ඒත් ඔය වැඩේ ඉවර කරල හිටිය නම් හොඳ නැද්ද? නැත්තන් මහ රෑ තිස්සෙ නිදි කිර කිර තමයි ඕක කරන්න වෙන්නෙ. "

"මම වැඩේ කර කර තමා ඉන්නෙ"

"මම බලාගෙන හිටියෙ දැන් ගොඩක් වෙලාවක් තිස්සෙ වැඩේ කරන හැටි. මගේ දිහා බලාගෙන ඉන්නව මිසක් වැඩක් නම් කලේ නෑ."

"ඔයාගෙ තමයි වැරැද්ද?"

"අනේ මම කරපු වැරැද්ද මොකක්ද?"

"ඔයා ලඟ ඉන්නකොට ඔයා දිහා බලනව ඇරෙන්න වෙන වැඩක් කරන්න හිතෙන්නෙ නෑ නෙ"

"ඔව් ඔව්, මේ මහ බබාව මෙච්චර හුරතල් කරන එක තමයි මගේ වැරැද්ද. මම පොඩි එකාව වත් ඔච්චර හුරතල් කරන්නෙ නෑ"

"හ්ම්ම්, එහෙනම් මීට පස්සෙ හුරතල් කරන්න එපා." මම බොරු දුකක් මවා ගතිමි.

ඇය තම අත තිබූ අල ගෙඩිය පසෙකට දමා වහාම මා වෙත පැමිණ මා සිටි බංකුවේ කොනකින් වාඩි වූවාය.

"මොකද මේ මූන දෙක කරගත්තෙ? අයියෝ, වචනයක් වරදින්න බෑ."

ඇය මගේ බඳ වටා අත යවමින් මා බදාගත්තාය.

"මගේ පැටියව මම හුරතල් කරන්නෙ නැතුව වෙන කවුරු හුරතල් කරන්නද."

මමද ඇගේ හිසට මගේ හිස හේත්තු කරගත්තේ ඇය ඉක්මනින් නැගිටීවි යන බියෙනි.

"මිස්ටර්.... මිස්ටර්"

"අහ් ඇයි... ඇයි නර්ස්?"

"ඩොක්ටර් ඔයාට පොඩ්ඩක් එන්න කිව්ව."

.................................................................................................................................................................

ප.ලි. ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්නෙ. පහුගිය දවස් වල ගොඩක් වැඩ තිබුන. දැන් තමයි නිදහසක් ලැබුනෙ. ඒත් ලියන්න කියල විශේෂ දෙයක් මතක් වුනේ නෑ. ගොඩක් අය කතා ලියන නිසා මටත් ආස හිතුන පොඩි කතාවක් ලියන්න. කලිනුත් එකක් ලියල තියනව නෙ. ඒත් ඒක ලියපු තරම් ලේසියෙන් මේක ලියන්න බැරි වුනා. ගොඩක් අයාසයෙන් තමයි මේක ලිව්වෙ. සාර්ථකද කියල නම් දන්නෙ නෑ. අනේ මේක කියවන අය වැරද්දක් අඩුපාඩුවක් තියනව නම් කියල යන්න. එතකොට මට ඊලඟ පාර හදාගන්න පුලුවන් නෙ. ලියාගෙන යනකොට හිතුන එක පාරකට දැම්මොත් දිග වැඩි වේවි කියල. එක නිසා එක කොටසක් දැම්ම.