මාතෘකාව ගොඩක් දිග වුනාට ඇත්තටම මම කතා කරන්න යන්නෙ 'විවාහයෙන් පසු ආදරය' කියන කෑල්ල ගැන. මට මේ ගැන ලියන්න හිතුනෙ ඇඳට වෙලා ඇලර්ට් එකක් දාගෙන ඉන්නකොට මතක් වුන සිද්දියක් නිසා. මම මේක දැක්කෙ ටිකක් පොඩි කාලෙ. නවය දහය වසර වලදි විතර මට මතක හැටියට. වැඩි විස්තර ඕන නෑ නෙ, කතාව කියන්නම්කො.
මම යාලුවෙක් එක්ක ටවුන් එකට ගියා මොකක් හරි වැඩකට. අපි දෙන්න පාර දිගේ ඇවිදගෙන යනව. ඒ වෙලාවෙ පාරෙ අනිත් පැත්තෙන් තරුණ ජෝඩුවක් ආව ළමයෙකුත් වඩාගෙන. අම්ම තමයි ළමයව වඩාගෙන ආවෙ. පොඩි එකාට අවුරුදු 2ක් විතර ඇති. කොහොමහරි එක පාරටම අම්මගෙ කකුල පැටලිලා ළමයත් එක්කම වැටුන. වැටුනට පස්සෙ තමයි අපි දැක්කෙ. තාත්ත පැනල ළමයව වඩා ගත්ත. පොඩි එකාගෙ ඇඟ පුරාම වැලි. තාත්ත ඉක්මනට වැලි ටික පිහදාල අත පය ඔක්කොම හරව හරව බැලුව තුවාල වෙලාද කියල. වාසනාවට පොඩි එකාට තුවාලයක් නෑ. පොඩි එකා බය වෙලා අඬනව. තාත්ත පොඩි එකාව නලව ගන්න හදනව. අම්මත් පොඩි එකාව අතගගා නලවන්න හදනව. වැටිච්ච පාරට අම්මගෙ අත නම් තුවාල වෙන්න ඇති. අත පුරාම වැලි තියනව මම දැක්ක. ඒත් ඒ තාත්ත අම්මට තුවාල වුනාද කියලවත් ඇහුවෙ නෑ. ඒ වෙනුවට තාත්ත පොඩි එකා වැටුන එක ගැන අප්‍රසාදෙන් මොනවහරි ඒ අම්මට කිව්ව. පාරෙ අනිත් පැත්තෙ හිටපු නිසා කියපු දේවල් නම් මට ඇහුනෙ නෑ. අම්ම දැන් අඬන්න වගේ. තමන්ගෙ අතින් පොඩි එකා වැටුන නිසාත්, තාත්ත කියපු දේ නිසාත් අම්ම ගොඩක් අපහසුතාවයකට ලක් වෙලා හිටියෙ. ලඟ පාත හිටපු මිනිස්සුත් එතනට එකතු වෙලා හිටියෙ.
මට ඒ වෙලාවෙ ඒ අම්ම ගැන ගොඩක් දුක හිතුන. ඒ තරුණ තාත්ත හොඳ තාත්ත කෙනෙක් වෙන්න ඇති. එයා දරුවට ගොඩක් ආදරෙයි කියන එක ඒ වෙලාවෙ එතන හිටපු කාටත් තේරුනා. ඒත් එයාට ඒ වෙලාවෙ හොඳ සැමියෙක් වෙන්න බැරි වුනා. අර තරම් අපහසුතාවයට ලක් වෙලා හිටපු ඒ ගෑනු කෙනාගෙ හිත හැදෙන්න එක වචනයක් කියන්න එයාට බැරි වුනා. එයා කලේ ඒ ගෑනු කෙනා අතින් වුන වැරැද්දට දොස් පවරපු එක විතරයි. මොකක් හරි හිත හැදෙන්න පොඩි දෙයක් කිව්ව නම් ඒ වෙලාවෙ හැටියට ඒ ගෑනු කෙනාට ඒක ලොකු දෙයක් වෙන්න තිබුන. ඒත් එහෙම වුනේ නෑ. අඩු ගානෙ එයාට තුවාල වුනාද කියලවත් ඇහුවෙ නෑ. මම ඒ ජෝඩුව ඈතට යනකනුත් ටිකක් වෙලා බලන් හිටිය පස්සෙ හරි එහෙම දෙයක් කියාවිද කියල. ඒත් නෑ.
ඒ ජෝඩුව ගොඩාක් තරුණ ජෝඩුවක්. අනිවර්යයෙන්ම යලු වෙලා බැඳපු දෙන්නෙක් වෙන්න ඕන. (මොකද එච්චර අඩු වයසින් මංගල යෝජනාවකින් බන්දවන්නෙ නෑ නෙ.) ඒත් ඒ ආදරය එදා වෙනකොට කොයි තරම් දුරට ඉතුරු වෙලා තිබුනද කියල මම කල්පනා කලා. හැබැයි ඉතින් ඔය වුන සිද්දිය නිසාම ඒ තාත්ත හොඳ සැමියෙක් නෙමෙයි, ඒ තාත්ත ඒ අම්මට ආදරේ නෑ කියල එක පාරට කියන්න බෑ. නමුත් ඒ වෙලාවෙ ඒ තාත්තට දරුව ගැන තිබුන ආදරෙන් දහයෙන් එකක් වත් ඒ අම්ම ගැන තිබුන නම් කොච්චර හොඳද.
මට තේරෙන විදියට විවාහයෙන් පස්සෙ කාලයත් එක්ක ආදරය අඩු වෙන එක ලංකාවෙ ගොඩක් දුරට තියන දෙයක්. අනිත් රටවල් ගැන නම් කියන්න දන්නෙ නෑ. මම හිතන්නෙ නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ආදරය කරන කාලෙ නොතිබුන දාහක් ප්‍රශ්න බැන්දට පස්සෙ ඇති වෙන්නත් ගොඩක් වෙලාවට ඒක හේතු වෙනව. ආදරය කරන කාලෙ අනිත් කෙනාගෙ තියන අඩුපාඩු, නොගැලපීම් ආදරය නිසා ඉවසගෙන ඉන්නව. ඒත් බැන්දට පස්සෙ ඒ දේවල් නිසා මරාගන්න හදනවා. ඒ කියන්නෙ අර අඩුපාඩු, නොගැලපීම් වලට ඔරොත්තු දෙන්න හේතුවක් වුන ආදරය ඒ වෙනකොට නැති වෙලා ගිහින්. ඊට පස්සෙ ඉතින් ජීවිතේම ප්‍රශ්න තමයි. ඒ එක පැත්තක්. තව සමහර ජෝඩු ඉන්නව එහෙම රන්ඩු වෙන්නෙත් නෑ, හැබැයි තමන්ගෙ පාඩුවේ ඔහේ ඉන්නව. අනිත් කෙනා උන්නද මලාද කියල ගානක් නෑ. එහෙම ඉන්නනම් බැන්දෙ අපරාදෙනෙ. සමහර මිනිස්සු ඉන්නව, බඳින්නෙ නොබැඳ බැරි කමට. අම්මල තාත්තල කියන නිසා, එහෙමත් නැත්තන් බඳින එක සමාජයීය සාධකයක් නිසා තමයි ඒගොල්ලො බඳින්නෙ. එහෙම අයනම් අනෙ නොබැඳ ඉන්න එක හොඳයි තවත් කෙනෙක්ගෙ ජීවිතයක් නාස්ති කරන්නෙ නැතුව. තවත් සමහරු ඉන්නව බඳින්නෙ නීත්‍යානුකූලව ලමයෙක් හදා ගන්න විතරයි. එයාල වෙන කිසි දෙයක් විවාහෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපේ මාමත් එහෙම ඩයල් එකක්. ඒ කසාදෙ තියෙන්න නමට විතරයි.
ඔය ප්‍රශ්නෙම තව පැත්තක් තමයි ආදරේ තිබුනත් ඒක නොපෙන්වීම. ආදරේ කියන්නෙ පෙන්නන්න ඕන දෙයක්, දැනෙන්න දෙන්න ඕන දෙයක්. හිතේ තියාගෙන හිටියට වැඩක් නෑ. ආදරේ හිතේ තියගෙන නොපෙන්වා ඉන්න එකත් අනිත් පාර්ශවයට දැනෙන්නෙ ආදරේ නෑ කියන විදියටම තමා. සමහර මිනිස්සු මැදි වියට වගේ එනකොට හිතනව දැන් තරුණ කාලෙ වගේ ඉන්න ඕන නෑ, දැන් අපි වයසයි කියල. මගේ කනටම එහෙම කියනව ඇහිල තියනව. මම දකින විදියට ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ආදරේ කියන එක ජීවිත කාලෙටම එක විදියට තියෙන්න ඕන. මම ඒකෙන් කියන්නෙ නෑ හැමදාම අර ආදරේ කරන කාලෙ වගේ තුරුල් වෙලා උම්ම දිදී ඉන්න ඕන කියල. ළමයි ලොකු මහත් වෙනකොට අම්මල තාත්තලාට එහෙම හැසිරෙන්න බෑ නෙ. ඒවුනාට ආදරේ පෙන්නන්න ඕන තරම් ක්‍රම තියනව. එක වචනනෙකින්, කතා කරන ස්වරයෙන්, එක බැල්මකින්, හිනාවකින් ආදරේ කියන එක දැනෙන්න දෙන්න පුලුවන්. ඒකට වයස බේදයක් ඕන නෑ.
අඹු සැමියො අතරෙ දුරස්ත බාවයක් ඇති වන තව කාරණයක් තමයි දරුවන් ලැබීම. ඒක හැමතිස්සෙම එහෙම නෑ. ඒත් සැලකිය යුතු ප්‍රතිශතයක් එහෙම වෙනව. ඊට පස්සෙ තමන්ගෙ දරුව තමන්ගෙ ජිවිතේ වගේ වෙනව, තමන්ගෙ සහකාරයට එච්චර කල් තිබුන තැන නැති වෙනව. එච්චර කල් ඇඟේ දැවටි දැවටි හිටපු ගෑනිට මිනිහ උන්නද මලාද කියල බලන්න වෙලාවක් නැති වෙනව. එච්චර කල් චාටු කතා කිය කිය හිටපු මිනිහ ගෑනිව අමතක කරල දරව එක්ක විතරක් හුරතල් වෙන්න ගන්නව. හිතන්නකො, එක දරුවෙක් ඉන්න පවුලකට අලුතෙන් දරුවෙක් ආවම ආදරේ අඩු වීම නිසා ලොකු දරුව මානසිකව වැටෙන වෙලාවල් තියනව නේද? ඒ විදියටම සැමියා හෝ බිරිඳටත් ඒ තරම් දරුණුවට නැතත් සුලු වශයෙන් හරි ඒ ප්‍රශ්නෙ ඇති වෙන්න පුලුවන් නේද? ඔය තැනදි නම් ඔය වැරැද්ද සාපේක්ෂව වැඩියෙන් වෙන්නෙ කාන්තා පාර්ශවයෙන්. අම්ම කෙනෙක් දරුවන්ට තියන අසීමිත ආදරෙත් එක්ක ඒක සාධාරනයි කියල කෙනෙක් කියන්න පුලුවන්. ඒත් මට හිතෙන්නෙ නම් ඒක තමන්ගෙ සැමියට කරන අසාධාරණයක් කියල. මන්ද මට හිතෙන විදිය කිව්වෙ. මට කවද හරි දවසක එහෙම වුනොත් නම් ගොඩක් දුක හිතේවි. අනිත් අය නම් මේකට එකඟ වේවිද දන්නෙ නෑ, මම නම් හිතන්නෙ ඕනම කෙනෙක්ගෙ පළමු තැන ලැබෙන්න ඕන තමන්ගෙ සැමියාට හෝ බිරිඳට. ඊලඟට තමයි දරුවො. ජීවිතේ ඕනම කාලෙක තමන්ගෙ සැමියාට හෝ බිරිඳට තියන ආදරය සැලකිල්ල නොවෙනස්ව එකම විදියට තියනව නම් තමයි ඒ පවුල් ජීවිතය ගොඩක් ලස්සන වෙන්නෙ.
පවුල් ජීවිතය තුළ ආදරය අඩු වීම තමයි දික්කසාද වලටත් ගොඩක් හේතු වෙන්න පුලුවන්. දෙන්නට දෙන්නගෙ ආදරයක් නැති වුනාම නැති ප්‍රශ්නත් ඇති වෙනව. මම කලින් කිව්ව වගේ අනිත් කෙනාගෙ වැරැද්දක් නොගැලපීමක් අමතක කරල ඒක යටපත් කරන්න තරම් ආදරයක් දෙන්න අතරෙ නැති වුනාම ඒක දික්කසාදයක් දක්වාම යන්න පුලුවන් ඉතින්. අනිත් එක බලන්න මැදිවියේ මිනිස්සු කොච්චර නම් අනියම් සම්බන්ධකම් පවත්වගෙන යනවද? ඇයි ඒ? ළමයි හදල අවුරුදු 15ක් 20ක් එකට ජීවත් වෙලා දැන් මොකටද තවත් කෙනෙක්ගෙ ආස්‍රයක් බලාපොරොත්තු වෙන්නෙ? අර මම කලින් කිව්ව වගේ කාලයත් එක්ක ඒ මිනිස්සුන්ගෙ පවුල් ජීවිත වල තිබුන ආදරේ නැති වෙලා ගිහින්. පවුල් ජීවිතයෙන් ඒ ආදරේ ලැබෙන්නෙ නැති වුනාම අලුත් තැනකින් ඒ ආදරේ ලබාගන්න පෙලඹෙනව. ඒ වැඩේ හරියි කියල කියන්න බෑ කොහොමවත්. මම ඒක සාධාරනීකරනය කරන්න හදනව නෙමෙයි. ඒත් ඉතින් අපි කවුරුත් පෘටහ්ජන (අකුරු හරිද මන්ද) මිනිස්සුනෙ. ඒ නිසා ඒ වගේ දේකට පෙළඹෙන්න ලොකු ඉඩක් තියනව. ඔය කිසි හේතුවක් නැතුව වලස්ත කමට ඔය වගේ වැඩ කරන ගෑණු පිරිමිත් ඕන තරම් ඉන්නව. උන් ගැන නෙමෙයි මේ කියන්නෙ.
ඉතින් මම හිතන විදියට නම් ආදරේ කියන එක හැමදාම නොවෙනස්ව හෝ තව තවත් වැඩි කරගෙන ජීවත් වෙන්න පුලුවන් නම් පවුල් ජීවිත වල ප්‍රශ්න ගොඩක් අඩු වේවි. ඒ වගේම හැමදාම බැඳපු අලුත වගේ සතුටින් ඉන්න පුලුවන් වේවි. අම්ම තාත්ත ආදරෙන් සතුටෙන් ඉන්නව නම් ඒක ළමයින්ටත් ලොකු මානසික ශක්තියක්. එහෙම නැතුව අම්මයි තාත්තයි දුරස් වෙලා හිටියොත් දරුවොත් ටික ටික ඒ දෙන්නගෙන්ම ඈත් වෙන්න පුලුවන්. අම්ම තාත්තගෙ බැඳීම ශක්තිමත් නම් පවුලෙ හැම බැඳීමක්ම ආරක්ශිතයි.
(මේක මට හම්බවුනේ facebook එකෙන්. මෙහෙම ඉන්න පුලුවන් නම් කොච්චර හොඳද නේද?)
ඔන්න ඔහොම තමයි ඉතින් කසුන්ට හිතෙන්නෙ. මේක කියවන අයගෙ අදහසුත් දැනගන්න මම කැමතියි. පුලුවන් නම් තමන්ගෙ අදහසත් කියල යන්න.





