හ්ම්ම්... අවසානය දවසින් දවස කිට්ටු වෙනවා. තව ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් සති ගානක් ඉතුරු වෙලා තියෙන්නේ. සෑම හමුවීමක්ම අවසන් වෙන්නේ වෙන් වීමකින් කියනවා නේ. මටත් ඒ වෙන් වීමට තව පොඩි කාලයයි ඉතුරු වෙලා තියෙන්නේ. තාම නම් ඒ ගැන දුකක් නෑ, ඒත් ඉස්සරහට මොනවා වේවිද කියලා දන්නේ නෑ. බලමුකෝ! දැන් හැමදේම කාලයට බාරදීල ඉන්න මාත් පුරුදු වෙලා. කිසි දෙයක් ගැන වැඩිය හිතන්නේ නෑ. මම මේ කැම්පස් එකෙන් අවුට් වෙන එක ගැන කිව්වේ හොඳේ.:)
දැන් මේ බ්ලොග් කෙරුවාවත් මගේ අනිත් වැඩ වගේම වෙලා. ලියන්නත් කම්මැලියි, කියවන්නත් කම්මැලියි, සමහර ඒවා කැමැත්තෙන් කියෙව්වත් කමෙන්ට් කරන්න කම්මැලියි. ඕක තමයි ඉතින් තත්ත්වේ. අනිත් එක කැම්පස් ඉවර වෙන්න ළඟ නිසා මේ දවස් වල වැඩත් වැඩියි. ඒ නිසාත් බ්ලොගේ පොඩ්ඩක් පැත්තකට ගිහින් තියෙන්නේ. තව ටික දවසකින් නම් බෙල්ල මුලින්ම හිර වෙනවා. ඒ නිසා ඊට කලින් මොකක් හරි කොටන්න ඕන කියල මේ අමාරුවෙන් හිත හදාගෙන ආවේ. දැන් මේ කියන්න යන කතාවත් අර උඩ කිව්වා වගේ වෙන් වීමක් ගැන තමයි කියන්න යන්නේ. මම මූනුපොතේ පොඩි ඇඩ් එකක් දාල එහෙම පටන් ගත්තේ වැඩේ.:D මට මේක ලියන්න හිතුනේ සාතන් අයියගේ මූනුපොතේ ස්ටේටස් එකක් නිසා.:) මිනිහ තමයි මට ඕක ආයෙත් මතක් කළේ.
හරි දැන් නමස්කාරය කිව්වා ඇති, දැන් කතාවට එමුකො. මේ කොටන්න හදන්නේ මගේ ඒක පාර්ශවික නොවුන තුන්වෙනි සහ අවසාන ආදර කතාව ගැන. මම අර ආයෙත් පාරක් හිත රිද්දුවා නේද පෝස්ට් එකේ කිව්වේ මෙයා ගැන තමයි. මගේ චානිකා සීරීස් එකේ අන්තිමට මාළු අයිය කියලා තිබුනා අනිත් ආදර කතා ටිකත් දාන්න කියලා. මම ඒකට එදා නම් කිව්වේ ඒ එකක් මම මේ බ්ලොග් එකේ ලියන්නවත් කැමති නැති මාතෘකාවක්, අනිත් දෙක කියන්න තරම් විශේෂයක් නෑ කියලා. මම එදා එහෙම කිව්වට මේ කතාව නම් පොඩ්ඩක් අමුතුයි. ඒකත් කියන්න ඕන කියල මට කලින් හිතුනා. හැබැයි පස්සේ හේතු දෙකක් නිසා ඕන නෑ කියලා නිකන් හිටියා. එකක් සමහරු මේක විශ්වාස කරන්නේ නැති වේවි කියල හිතුනා, අනිත් එක මූ මෙච්චර මෝඩද කියලා කියවන අයට හිතෙන්න පුළුවන් කියල හිතුන නිසා.:) ඕන වෙඩිමක් කියලා ලියල දානවා. විස්වාස නොකරන උන් නිකන් හිටපල්ලා, මම මෝඩයා කියල හිතන උන් එහෙම හිතාගනිල්ලා.:D වෙන් වීමක් ගැන කියනවා නම් ඉතින් හමුවීමක් තියෙන්නත් ඕන නේ. මේක අමුතුම ආකාරයක හමුවීමක්.
මට අම්ම ඕන පෝස්ට් එකෙයි ඇගේ තනියට රැය පහන් කළෙමි පෝස්ට් එකෙයි කියපු මගේ පළවෙනි ආදර කතාව උසස් පෙළ ඉවර වෙනවත් එක්කම අවසන් වුනා. (එයාගේ නම සරණි) ඊට පස්සේ කාලය තමයි මම ජීවිතේ අමාරුවෙන්ම ගත කරපු කාලය. ඒ කාලේ ගෙවා ගත්තේ කොහොමද කියලා මට තාම හිතාගන්න බෑ.:) බොහොම පරිශ්‍රමයකින් සාමාන්‍ය තත්ත්වයට ආවත් මට එයාව කොහොමවත් අමතක කරන්න නම් බැරි වුනා. මොකක් හරි දෙයක් වෙලා කවද හරි මට එයාව ලැබෙනවා නම් කියන සිතුවිල්ලේ තමයි මම හිටියේ. කැම්පස් ආවෙත් ඔය වගේ මානසිකත්වයක. හැබැයි මෙහෙට ආවට පස්සේ අලුත් පරිසරය, කැම්පස් සංස්කෘතිය, අලුත් යාළුවො, සින්නො, රැග් එක වගේ දේවල් නිසා ඒ මතකය ටිකක් යට ගියා. ඔහොම කාලය ගෙවිලා, රැග් එකත් ඉවර වෙලා අපිට නිදහසේ ඉන්න පුළුවන් කාලේ ආව. ඔන්න ඔය කාලේ තමයි ෆේස්බුක් කියන කතන්දරේ දැනගත්තේ. කැම්පස් එන්න කලින් එක පාරක් ෆේස්බුක් කියන නම නම් අහල තිබුන. හැබැයි කිසිම අදහසක් තිබුනේ නෑ ඒ ගැන. මෙහෙ ආවට පස්සේ තමයි අපේ එකෙක් මට ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා දුන්නේ.
ඔය විදියට ඉතින් කාලේ ගෙවිලා ගියා. (මම කැම්පස් ආපු මුල්ම දවස් වල සරණිගේ යාලු අක්ක කෙනෙක් මට මැසේජ් එකක් දාල සුභ ආරංචියක් කියන්න තියනවා කියලා සරණිට කැම්පස් එකකට බෝට්ටුවක් ඇවිත් කිව්වා. හැබැයි මොන කැම්පස් එකේ මොන ඩිග්රියටද කියලා කිව්වේ නෑ.) මට හිතුන සරණිත් සමහර විට ෆේස්බුක් ඇති කියලා කැම්පස් නිසා. දවසක් මම සර්ච් කරලා බැලුවා. මෙන්න මෙයා ඉන්නවා...! ඊට පස්සේ ඉතින් අර යට ගිහින් තිබුන ඔක්කොම මතකය එක ක්ෂණයකින් ආයෙත් එලියට ආව. හදාගෙන හිටපු හිතට මොනවා වුනාද දන්නේ නෑ. මගේ හිතේ මොනවා තිබුනද කියලා දන්නේ නෑ, හැබැයි මම ඒ වෙලාවේම බොරු එකවුන්ට් එකක් හදලා ඒකිව ඇඩ් කරගත්තා. මගේ මොලේ කියන්නේ මැස්සෙක් වත් නැති හිස් එකවුන්ට් එකට තමයි ඒකිව ඇඩ් කළේ. (ඒ එකවුන්ට් එකේ නම මොකක්ද කියල දන්නවද බොලා?? ඒකෙ නමත් කසුන් චානක. මම කිව්වනේ ඕන හොර වැඩකට ඕක තමයි අහු වෙන්නේ.:)) හැබැයි වාසනාවට (හෝ අවාසනාවට) සරණි මාව ඇක්සෙප්ට් කරලා තිබුනා. හැබැයි එයා ඔන්ලයින් ආවේම නෑ. මම මැසේජ් එකක් දැම්මා නිකන්, බොහොම කෙටි පිළිතුරක් ලැබිලා තිබුනා ඒකට. මට දැන් මෙයාගේ විස්තර දැන ගන්න ලොකු වුවමනාවක් තිබුනා. එයා කොහෙද ඉන්නේ, යාලු වුන කොල්ල තාම ඉන්නවද, එයාට මාව මතකද, ඔය වගේ ප්‍රශ්න ගොඩයි මට.
ඊට පස්සේ මම කළ වැඩේ එයාගේ එකවුන්ට් එකේ ඉන්න කැම්පස් එකේ යාළුවො කියල හිතන්න පුළුවන් කෙල්ලෝ කොල්ලෝ 5ක් 6ක් ඇඩ් කරගත්තා. මට ඕන වුනේ උන් කවුරුහරි එක්ක ෆිට් වෙලා සරණි ගැන විස්තර අහගන්න. ඒක හිතන තරම් ලේසි නෑ කියලා මම දැනගෙන හිටියා. දන්නෙවත් නැති කෙනෙක් එක්ක කතා කරලා, යාළුකමක් හදාගෙන හොඳටම ෆිට් වෙලා නේ එහෙම දෙයක් අහනවා නම් අහන්න වෙන්නේ. ඒක ලොකු ප්‍රොසෙස් එකක් නේ. කොහොමහරි ඒ දේ කරනවා කියල හිතාගෙන තමයි මම ගේමට බැස්සේ. පස්සේ බලනකොට කෙල්ලෝ දෙන්නෙක්ද කොහෙද මාව ඇක්සෙප්ට් කරලා තිබුනා. හැබැයි දවස් දෙක තුනක්ම යනකල් ඔන්ලියින් දැක්කේ නෑ එක්කෙනෙක් වත්. මමත් කලබල නොවී හිටිය දවසක ඔන්ලයින් එනකල්ම. නැතුව එක පාරටම මැසේජ් එකක් දැම්මොත් මම මහ පැණියෙක් කියල හිතනවානේ.:)
ඉතින් ඔහොම ඉන්නකොට දවසක් අර දෙන්නගෙන් එක්කනෙක් ඔන්ලයින් ඉන්නවා දැක්කා. ඔන්න එතනින් තමයි මේ කතාව පටන් ගන්නේ. එදා ඒ ඔන්ලයින් හිටියේ කල්පනා, මේ කතාවේ කතා නායිකාව. ඉතින් හොඳ හුස්මක් අරගෙන දකුණු කකුල ඉස්සරහට තියලා hi කියලා ගහල යැව්වා. තත්තපර ගානකට පස්සේ එහා පැත්තෙනුත් hi කියල ආවේ මගේ මෙහෙයුමේ එක පියවරක් සාර්ථකයි නේද කියලා මට ලොකු සතුටකුත් අරගෙන. ඊට පස්සේ ඉතින් කතාව පටන් අරගෙන ශේප් එකේ ඇදගෙන ගියා. එයා අර සමහර කෙල්ලෝ වගේ කිසිම ආඩම්බර කමක් පෙන්නුවේ නෑ, බොහොම ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කළා. මටත් ඉතින් ඒක ලොකු පහසුවක් වුනා. එක පාරටම සීන් එක කියන්න බෑ නේ, ඒක නිසා ගොඩක් දවස් සාමාන්‍ය විදියට කතා කර කර හිටියා.
ගොඩක් ඉක්මනටම එයා මාත් එක්ක ෆිට් වුනා. සමහර දවස් වලට මම එයාව දැකලත් එයා කතා කරනකල් බලාගෙන ඉන්නවා.:) එයා දැක්කොත් අනිවා කතා කරන ගානට ෆිට් වුනා කොහොමහරි. මම හිතුවා දැන් සීන් එක කියන්න කාලේ හරි කියලා. ඊට පස්සේ මම දවසක් දෙයක් කියන්න තියනවා කියලා මුළු කතාවම කෙටියෙන් කිව්වා. කතාව කියලා එයා ගැන දැනගන්නයි මෙහෙම කලේ කියල කිව්වා.
To be continued.....
..............................................................................................................................................................
ප.ලි. මගේ පෝස්ට් දිග වැඩියි කියල චෝදනා කරන නිසා ඔන්න පොඩි කෑල්ලයි දැම්මේ. පොඩි වැඩියි වගේ නම් කියන්නෝ.
..............................................................................................................................................................
කල්පනා.....................
ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......
කල්පනා (II කොටස)
ඉල ඇදෙනකල් අඬන්න,
හෙම්බිරිසාව හැදෙනකල් හිනා වෙන්න,
යුගයේ දියාරුම ආදර කතාව......
කල්පනා (II කොටස)
ළඟදීම....!
:D :D :P :P




